විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


2   මතකයි නේද මේ කතාවේ පළමුවැනි කොටස? මතක නැත්නම්, මෙන්න මෙතනින් ගිහිල්ලා, කියවලා එන්නකෝ. එහෙම නැතුව මේ කොටස තේරුම්ගන්න බැහැ. අපි කතාකරන්නේ, යුද්ධයකදී, කොහොමද ක්‍රියාන්විත සැළැස්මක් හදන්නේ කියන එකයි. මේ සඳහා අපි ආධාර කරගන්නවා, ප්‍රේමපාල සහ කාමිණී කියන දෙදෙනාගේ ආදර හුටපටය. මේ දෙන්නගේ ආදරයට, කාමිණීගේ පැත්තේ අය, යුද්ධ ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතිං, ප්‍රේමපාල ක්‍රියාන්විතයක් සැළසුම් කරමින් ඉන්නවා, කාමිණීව ඇගේ ගෙදරින් පන්නාගෙන, තම ප්‍රේම විමුක්තිය සොයා යන්නට. අන්න ඒ සැළැස්ම හදනකොට, වැදගත්වන කරුණු තමයි, අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. දැන් හරි නේද? ඔක්කොම වල් පල් ඔලුවෙන් අයින් කරලා, හොඳ අවධානයෙන් කියවන්න. නැත්නම් ක්‍රියාන්විතය ‘හබක්’ 😀 අපි, පසුගිය ලිපියේදී, ක්‍රියාන්විතයේ අරමුණ – Aim සහ ක්‍රියාන්විතය සැළසුම් කිරීමේදී වැදගත්වන සාධක – Factors වලින්, මූලික කොටස් දෙකක් පමණක් සාකච්ඡා කළා. කොහෙද, හිත එකලස් කරගෙන, ඔලුව නිදහසේ තියාගෙන, මෙව්වා කරන්න ලැබෙන්නේ නැහැනේ. එහෙන් කෝච්චි ස්ට්‍රයික් එකක් ආවා. ඊළඟට බයිසිකල් සෙල්ලමක් ආවා. මෙව්වා හින්දා, මේ ලිපිය ලියන එකත් පමාවුණා. අර ලිපි දෙකෙන් කියලා තිබුණ දේවල් දැක්කම, කොහොමද අනේ නොදැක්කා වගේ ඉන්නේ. ඒ නිසයි මේ ලිපිය පොඩ්ඩක් ප්‍රමාද කරලා, ඒ කාරණා ගැන දෙකක් කියලා හිටියේ. හරි හරි එව්වයින් කමක් නැහැ. බහිමුකො යුද්දෙට. 

   අද මුලින්ම බලමු, පසුගිය ලිපියේදී සාකච්ඡා කරන්න පටන්ගත්තු, ‘සාධක – Factors’  වල ඉතිරි කොටස්. අපි අන්තිමට කතාකළේ භූමිය සහ කාලගුණ තත්වය යටතේ, අපි මේ ක්‍රියාන්විතය කරන්න යන ප්‍රදේශය මොන වගේ එකක්ද යන්න, සවිස්තරව හඳුනා ගැනීමයි. (Ground and Weather > Ground in General) මතකනේ කොහෙද මේ ක්‍රියාන්විතය සිදුකිරීමට නියමිත කියලා. මතක නෑ. ඔන්න ඉතිං ඊටිං ද විලේජ් කියන්නේ ඕකට තමයි. ඇයි අනේ අපි මේ වැඩේ දෙන්න යන්නේ. නුගේගොඩ පාගොඩ ප්‍රදේශය ආශ්‍රිත, දේවාල පාරේ කියලා, සිතියමකුත් දාලා, කතාකළා මතක නැද්ද පහුගිය කොටසේදී? හපොයි…… තමුන්නාන්සේලා වගේ විශිෂ්ට මතකයක් තියන උන්නැහේලා ටිකක් එක්ක, යුද්දයකට යන්න ලැබීම, මගේ පූරුවේ ????? ක්. 

3. බාධක – Obstacles

10   මේ සාධකයෙදී සලකා බලන්නේ, අපිට ක්‍රියාන්විතය කරන්න සිදුවී තිබෙන ප්‍රදේශයේ ගමන් කිරීමේදී, කෙබඳු ආකාරයේ බාධක වලට මුහුණ දෙන්න වෙයිද කියන එකයි. ගංගා, වැව්, මඩ වගුරු, කුඹුරු යායවල්, මහ කඳු, ජනාවාස, තාප්ප, වැටවල්, ඔය කොයි ඒවාත් බාධක. මහ කැලයක් නම්, වන සතුන් ඉන්නවා. නාගරික පෙදෙස්වල රාත්‍රියට පාරේ ඉන්න බල්ලන් නිසා හරි කරදරයි.  බල්ලන්ගේ බිරීම නිසා අපේ ගමන මිනිස්සුන්ට දැනෙන්න පුළුවන්.

4. ආවරණ – Covers 

soldiers    අපි මේ යන්නේ කෙල්ලෙක් උස්සන්න නේ. නිකං චිත්‍රපටියක වගේ, ‘චෙස්ට් ෆෝවඩ් දාලා, පුක් බැක් දාලා’ යන්න බැහැ. කෙල්ලගේ ගේ ළඟට කිට්ටු කරනකොට, අරවට මෙව්වට මුවාවෙමින් තමයි යන්න ඕනෙ. නැත්තං, කෙල්ලගේ බාප්පොච්චි අතේ තියනවා කිව්ව කටපුංචා ගෙන්, කළු කුඩු බස්නේ ලැබෙන්ඩ ඉඩ තියනවා. මොනවද අපිට මුවාවෙන්න හැකි ස්ථාන හෙවත් ආවරණ කියන එක, සිතියමකින් බලන්න පුළුවන්. මගේ යාලුවෙකුට පුළුවන්, මේ කෙල්ලගේ ගේ පැත්තේ කරක් ගහලා හොයාගන්න, ආවරණ වශයෙන් පාවිච්චි කළහැකි ස්ථාන. පාර අයිනේ තියන ලොකු දැන්වීම් පුවරුවක් වුනත් ආවරණයක් තමයි.

5. මාර්ග සහ ප්‍රවාහනය – Roads and Transport  

M   දැන් අපි දන්නවා, අපිට යන්ඩ අවශ්‍ය, නුගේගොඩ (පිටකෝට්ටේ කිව්වත් හරි) දේවාල පාරට බව. ඉතිං, මෙතනට යන්ඩ පාරවල් කීයක් තියනවද? නෑ නෑ, එහෙම මේ ඒ ළඟම වටේ තියන පාරවල් නෙවෙයි. මතක නැද්ද ප්‍රේමපාල ඉන්නේ කොහෙද කියලා? අවිස්සාවේල්ලේ. හයියෝ……….ඔන්න ඔය වෙලාවට තමයි ඉතිං දෙන්න හිතෙන්නේ………. කණ පැලෙන්න කකුල් දෙකටම. දැන් හිතලා බලන්න, ප්‍රේමපාලට පුළුවන්, හයිලෙවල් පාරදිගේ නුගේගොඩට ඇවිත්, පාගොඩ පාර දිගේ එන්ඩ. නැත්නම් හයිලෙවල් එකේ ඇවිත්, මහරගම නාවින්න හන්දියෙන් දකුණට හැරිලා, ජුබිලි කනුව හන්දිය පහුකරලා, පිටකෝට්ටේ හන්දිය හරහා එන්ඩ. ලෝ ලෙවල් පාර දිගේ ඇවිත්, කඩුවෙල, බත්තරමුල්ල, ඇතුල් කෝට්ටේ, හරහා එන්ඩ. ඇතුල් කෝට්ටෙන් හැරෙන්නැතුව, බොරැල්ල, ඇස් වාට්ටුව, පැත්තෙන් කැරකිලා, හයිලෙවල් එක දිගේ නුගේගොඩ පැත්තෙන් එන්ඩ. (මම දන්නේ නැති පාරවල් ඔයා කියන්ඩකො) ඔන්න ඔහොම, පාරවල් සෑම එකක් ගැනම, මුලින්ම සළකා බලන්න ඕනෙ. මොකද, ඒ සෑම පාරකම, වාසි අවාසි දෙකම තියනවා. එතකොට ප්‍රවාහනය. ඔව්, එතැනදී බලන්නේ, මොනවගේ වාහනද මේ ගමනට සුදුසු, වාහන වලින් බැහැලා පයින් යන්න අවශ්‍යද? එහෙනම් ඒ කොතෙන්දිද? ඔන්න ඕවා තමයි ප්‍රවාහනය යටතේ හිතන්න ඕනෙ.

6. ළඟාවිය හැකි මාර්ග – Approaches 

    පාරවල් කොච්චර තිබුණත් මෙතනට ළඟාවීම සඳහා සුදුසුම මාර්ග ගැන විශේෂයෙන් සළකා බැලිය යුතුයි. අඩුම ගණනේ එවැනි ළඟාවීමේ මාර්ග තුනක් වත් හොයාගන්න පුලුවන්නම් හොඳයි. හොඳයි නෙවෙයි කොහොම හරි හොයාගන්න ඕනෙ. දැන් මේ කෙල්ලගේ ගෙදර අවට තියන වෙනත් ගෙවල්වල පිළිකන්න පැත්තෙන් වුනත් ළඟාවීමේ මාර්ග තියෙන්න පුළුවන්. මෙතනදී එක් එක් ළඟාවීමේ මාර්ගය ගැන,

i. සවිස්තරාත්මක හැඳින්වීමක්

ii. ඒ ඒ ස්ථාන වලට ඇති දුර කොපමණද යන්න පැහැදිලි කිරීමක් අනිවාර්යයයෙන් තිබිය යුතුයි.

iii. මාර්ගයේ ස්වභාවය අනුව ගමන ඉතා පහසු/පහසු/සතුටුදායක/ ආදී වශයෙන් වර්ග කර පෙන්විය යුතුයි.

iv. ඒ ඒ මාර්ගය අනුව කොපමණ භට පිරිසක් යෙදවිය හැකිද යන්න පැහැදිලි කලයුතුයි.

v. ඒ ප්‍රදේශයේ තිබෙන, සටනේදී වැදගත්වන ස්ථාන, (උස් බිමක්, උස ගොඩනැගිල්ලක්, තාප්ප වලින් වටවූ ආවරණ ප්‍රදේශයක්, පාලමක්, වැනි) මොනවාදැයි විස්තර කලයුතුයි.

vi. එක ළඟාවීමක් අවුල් සහගත තත්වයකට පත්වුනොත් අනෙක් ළඟාවීමක සිට ආධාරක භට පිරිස්වල ආධාරය ලබාගත හැකිදයන්න පැහැදිළි කලයුතුයි.

vii. කොපමණ ආවරණ ගණනක් ඇත්ත වශයෙන්ම තිබේද යන්න පැහැදිළිව දැනසිටිය යුතුයි.

viii. මේ පාරෙන් ගියොත් මෙතනට වැටෙනවා යන දැණුම තිබිය යුතුයි. (නිවැරදි දිසාවට යාමේ හැකියාව)

ix.  අපි සතුරු ප්‍රදේශයට ගොස්,  අපේ මුළු හමුදාවම එකතුවන්නේ, මෙන්න මෙතෙන්ට = Assembly Area,  ක්‍රියාන්විත කණ්ඩායම මුලින්ම එකතුවන්නේ, මෙන්න මෙතෙන්ට = Forward Base, ක්‍රියාන්විත කණ්ඩායම, වැඩේ පටන් ගන්න ආසන්නව රැඳෙන්නේ, මෙන්න මෙතන = Forming up Place යන දේවල්, කල් තබා සැළසුම් කළයුතු අතර, කණ්ඩායමේ සෑම දෙනාම ඒවා දැන සිටිය යුතුයි.

7. ඉලක්කගත ප්‍රදේශය අවට භූමි ලක්ෂණ (ස්වභාවය)

   වැඩේ දෙන්න යන ප්‍රදේශය ගැන දැනගන්න පුළුවන් හැම දෙයක්ම, පුළුවන් තරම් දුරට, දැනගෙන හිටිය තරමට, ක්‍රියාන්විතය පහසු වෙනවා. සාර්ථක වෙනවා. අපි යන්නේ නුහුරු තැනකට. ඒ නිසා, එතන කොයිවගේද කියන එක, විවිධ කරුණු ඔස්සේ සලකා බලනවා. ඒ මෙන්න මෙහෙමයි.

i. විශාලත්වය (දිග පළල):- අපිට අදාළ ඉලක්කය තිබෙන්නේ කොපමණ විශාලත්වයක පැතිරීමක් සහිතවද? උදාහරණය; කෙල්ලගෙ ගෙදර තියෙන්නේ පර්චස් 20 ක විතර ඉඩමක.

ii. හැඩතල මොන වගේද. උදාහරණය; ඉඩම වටේ කොට තාප්පයක් තියනවා. හරි හතරැස් නෙවෙයි. ගෙයි ඉදිරිපස මායිමයි පසුපස මායිමයි දිගයි. අනික් මායිම් දෙක ඊට වඩා කෙටියි. දෙපැත්තක් තියෙන්නේ පාරවල් දෙකකට. ඒ කියන්නේ ඉස්සරහ පැත්තයි, අපි ගෙදරට මූණ දෙනකොට, අපේ වම් පැත්තයි. සමතලා බිමක්. ගෙදර සැළැස්ම, ඉස්සරහ දොර තියන විදිහ, ඒ දොර හැර, ගෙට ඇතුළුවිය හැකි වෙනත් දොරවල්, කඩාගෙන යන්න පුළුවන් දොරවල්/ජනෙල් තියනවාද, කෙල්ල ඉන්නවායයි අනුමාන කරන කාමරය, ගෙදර අනික් අය ඉන්න කාමර,  සී සී ටී වී කැමරා තිබේද, බල්ලන් ඉන්නවාද, බලු කූඩුව කොතනද තියෙන්නේ.

 iii. අපි එකවරම ගෙට කඩාගෙන පැන්නම එන ප්‍රති ප්‍රහාර වැලැක්වීම සඳහා, අපේ ක්ෂණික ප්‍රහාරක කණ්ඩායම් කීයක් විතර දාන්න වෙයිද.

iv. කෙල්ල ඉස්සීමේ මෙහෙයුම සඳහා ගෙට ඇතුළුවීමට ඉතාම සුදුසු ගෙදර කොයි පැත්තෙන්ද

v. අපේ කණ්ඩායමේ එක් එක් අය, කොතනින්, කොයි වෙලාවටද, ඇතුළුවෙන්නේ

vi. කෙල්ලගේ ගෙට ආසන්නවම තියන, අනිවාර්යයෙන් ජයගතයුතු බාධක. උදාහරණ; තාප්පය, කෙල්ලගේ ගෙදර ඉන්න බල්ලා,

8. කාලගුණය (දේශගුණය) :-

i. මේ දවස්වල ඒ පැත්තේ කාලගුණ තත්වය කොහොමද. දවසේ නිශ්චිත වේලාවකදී මහ වැහි ලැබෙනවද, වැස්ස නැද්ද,

9. සැකසුම් – Deductions 

   ඔන්න මේ ලිපිය ලියන්න ගිහින්, මම අමාරුවේ වැටුණ තැනක් මේක. මොකද, හමුදා පොතේ තියන ඉංග්‍රීසි යෙදුම්, සිංහලෙන් කියන එක හරිම අමාරුයි. හමුදාවේදී මෙව්වා කවදාවත් සිංහලෙන් උගන්නන්නේ නැහැ. හමුදා ක්‍රියාන්විත සැළැස්මකදී, මෙතන මේ deductions කියන්නේ, සාමාන්‍ය ව්‍යවහාරයේදී, අඩුකරනවා කියන තේරුමෙන් නෙවෙයි. ක්‍රියාන්විතයට අදාළ, ඒ ඒ පියවර සඳහා, ඉතා තර්කානුකූලව සහ බුද්ධිමත්ව සිතාබලා, ගතයුතු හොඳම පියවර කුමක්ද යන්න, තීරණය කිරීමයි. මේ සඳහා, හමුදා මූලෝපාය ඥානය – Military Tactical Knowledge ඉතා ඉහළ මට්ටමකින් තිබිය යුතුයි.

61   පොඩි උදාහරණයක් කියන්නම්, අපේ මේ කතාවේ එන කෙල්ලවම සම්බන්ධ කරලා. ඔන්න ඔයාට කෙල්ල කියනවා, හෙට අපි දෙන්න උදේ වරුවේ පිචෑර්ස් එකක් එහෙම බලලා, දවල් හොඳ හෝටලේකින් කාලා, හැන්දෑවේ බීච් එකටත් ඇන්ටර් වෙලා, පොඩි වෝක් එකක් දාලා, වැටකෙයා පඳුරක පහසත් විඳලා, එමු කියලා.

   දැන් ඉතිං ඔහේගේ දනිස් දෙක මැන්ඩලින් ගහන්න පටන් ගන්නවා. නෙද්දකිං විතරක් මේ ……ට ……න යන්න ඕනෙ වුණේ, මගේ අතේ සතේ නැති දවසකමනේ. ඇයි යකෝ, පඩිගන්න තව සුමානයක් තියනවා. මොන ………ද මම සල්ලි හොයන්නේ? ඒ මදිවට පිචර් බලන්නයි, කන්නයි, බීච් යන්නයි, මොන ……..ද?

   හ්ම්………නොගියොත් මගේ පටිරෝල් වෙනවා. කාඩ් කුඩු වෙනවා. අමාරුවෙන් අටවගත්ත (අටම්පහුර නෙවෙයි) ලව් එකට කෙළවෙනවා. ඉතිං මොකේදැයි දන් වළඳන්නේ කිව්වලු. ඒ මදිවට නිවාඩුවක් ගන්න වෙනවා. ටිකක් හොඳ ෂර්ට් එකකුයි කලිසමකුයි අඳින්න වෙනවා. සපත්තු දෙකකුත් හොයාගන්න වෙනවා. වියදමට සල්ලි………? බස් ගාස්තු ත්‍රී වීල් ගාස්තු කීයක් විතර යයිද………? පිචර් හෝල් එකේ ටිකට් වලට….අනිවාර්යයෙන් මේකි ඉන්ටවල් එකට අයිස් චොක්ස් ඉල්ලනවා…….අයිස් චොක්ස් නෙවෙයි දෙන්න හිතෙනවා……..දවල් කෑමට…..ෆ්‍රයිඩ් රයිස්, කොකා කෝලා, ඩෙසර්ට්? ඇයි බීච් එකේදිත් එක එක ජාති ඉල්ලයි……….බුදු අම්මේ……..මං වැටිච්ච අමාරුව. මේකිව බැන්දට පස්සේ, මගේ ඇටකටු වලින් සුප් හදලා බොයිද දන්නේ නෑ……..

   දැන් මෙහෙම හිතන්න. දැන් ඔය ඉහළ ඡේද දෙකේ තියන ප්‍රශ්න විසඳගන්න ඔබ මොනවද කරන්නේ? ඉස්සරවෙලාම නිවාඩු ගැනීම. නිවාඩුවක් ඉල්ලන්න, සාධාරණ (කපටි) කරුණු දෙක තුනක් හිතන්න වෙනවා නේද? එයින් එකක් තමා අන්තිමට තෝරාගන්නේ. සල්ලි හොයාගැනීම? ඔයාගේ අතේ දැනට තියනවා මෙච්චරක්, යාළුවෙකුගෙන් ඉල්ලා ගන්නවා මෙච්චරක්, වියදම අඩුකරගන්න, සෑහෙන කල්වේලා ඇතුව පයින් යනවා සෑහෙන දුරක්, නැත්නම් යාලුවෙකුගේ බයිසිකලයකින් ගිහින් දම්මවා ගන්නවා, අහළ පහළ ඉන්න අය ඔයා ගැන නිතර හොයන අය කියලා හිතන්න. ෂර්ට්, කලිසම්, සපත්තු, එහෙම යාළුවෙකුගෙන් ගජේ ගහගන්න පුළුවන්නේ……..වෙනදා නොයන විදිහට, ජැන්ඩි පහට ඇඳලා, කොහෙද යන්නේ කියලා හොයන එකෙන් ගැලවෙන්න, එක්කෝ බොරුවක් ලැස්ති කරගන්න ඕනෙ. නැත්නම් පාන්දරින් යන්න ඕනෙ, එහෙමත් නැත්නම් සාමාන්‍ය ඇඳුමක් ඇඳගෙන ගිහින්, වෙන තැනකදී කිට් බිට් ගහගන්න ඕනෙ. කෙල්ල ඔයාව හම්බවෙන්න එන්ඩ කියන තැනට යන පාරේ, ඔයාගේ නෑදෑයෝ ඉන්නවා. ඒ අයගේ අවධානයට ලක් නොවෙන්න, වෙන පාරකින් යන්න වෙනවා. දැන් හිතලා බලන්න යුද්ධයක් වගේ නේද මේක? ඉතිං යුද්දෙදිත් ඔහොමම තමා වෙන්නේ. බලමු කොහොමද වෙන්නේ කියලා. 

i. ඉලක්කය වෙත ළඟාවීමේ මාර්ග ප්‍රමුඛතාව සැකසීම. (අපි කලින් කියලා තියනවනේ කෙල්ලගේ ගෙදරට යන්න පුළුවන් පාරවල් කීපයක් ගැන. අවසාන වශයෙන් එයි පාරවල් තුනක් පමණ තෝරාගන්නවා. ඉන්පසු බොහොම කල්පනාකාරීව සලකා බලා අවසාන තීරණය ගන්නවා මෙන්න මේ පාරෙන් තමයි යන්නේ කියලා) ඒ පාර, සැලැස්මේ ලකුණු කරන්න ඕනෙ.

ii. භට පිරිසේ සංයුතිය. (මේ වැඩේට මට මොන වගේ අය හිටියොත්ද වඩාත් සාර්ථකව වැඩේ කරන්න පුළුවන් වෙන්නේ? ත්‍රී වීල් ඩ්‍රයිවර්ලා දෙන්නයි, මොටෝබයික් දෙකයි, කාර් එකයි, හොඳට ගහගන්න පුළුවන් එවුන් හතර දෙනයි, ඔන්න ඔය විදිහට යුද්දෙදි නම් කාලතුවක්කු, යුද ටැංකි, මෝටාර්, මැෂින් තුවක්කු,භට පිරිස්, ආදිය)

iii. කෙල්ලගේ ගෙදර ගේට්ටුව කඩාගෙන ඇතුලට දානවද බයිසිකල්? (යුද්දෙදි නම් ප්‍රහාරක අවස්ථාවේ දී යුද ටැංකි යොදාගන්නවාද? මෙහි වාසි අවාසි දෙකම තියෙන්න පුළුවන් නිසා, ඉතා කල්පනාවෙන් කලයුතුයි. බලන්න, බයිසිකල් දෙක ගෙදර මිදුලට ගැනීමේදීත්, වාසි අවාසි දෙකම තියෙන්න පුළුවන්)

iv. කඩු, පොලු, බයිසිකල් චේන්, රම්බෝ පිහියා, එහෙම ගෙනියනවානම්, එව්වා අතේ තියන අය කොතන ඉඳලද වැඩේ කරන්නේ.? (යුද්දෙදි නම්, කාලතුවක්කු, මල්ටි බැරල්, මෝටාර්, ලොකු මැෂින් තුවක්කු, ස්ථාන ගත කරන්නේ කුමන ස්ථාන වලද?)

v. හරියටම කොයි වෙලාවටද ගේම් එක පටන් ගන්නේ. (හරියටම මෙන්න මේ වෙලාවට කියලා අනිවාර්යයෙන් තීරණය කළයුතුයි. ඊට පෙර එහෙමෙහෙ රස්තියාදුවේ යන්නේ නැහැ. එහෙම ගියොත් සැක ඇතිවෙලා, සතුරා අපට කලින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්)

vi. කෙල්ලගේ ගෙදර ගේට්ටුව වහලා තිබුනොත් කඩාගෙන යන්නේ කොහොමද කියන එක සහ අපි ඇතුළට ගියාට පස්සේ වැහුවොත්, ඒක කඩන්නේ කොහොමද? (යුද්දෙදි නම් ඉංජිනේරු බලකායේ සහාය ගන්නවද. ඉංජිනේරු බලකාය කරන්නේ, අපිට බාධාවන දේවල් පුපුරවා හරිනවා, පාරවල් ක්ෂණිකව හදා දෙනවා. සතුරාට අපි ළඟට එන්න බැරි විදිහට බාධක ඇති කරනවා. ඉංජිනේරු සහාය අවශ්‍ය නම්, ඒ සඳහා කල්තියා සැළැස්මක් හැදිය යුතුයි.)

හරි අදට මේ ඇති.

මතු සම්බන්ධයි………!!!!

my-signature-for-blog[1]    2014 ඔක්තෝබර් මස 18 වැනි දින 0031 පැය

Comments on: "කරන්න දෙයක් නෑ මම ප්ලෑන් කරලා වැඩේ දෙනවා (දෙවැනි කොටස) – Battle Appreciation and Plan (Part Two)" (23)

  1. වටිනා ලිපියකි! 🙂

  2. චිත්‍රපටිවලදී නම් මේ විදියට සැලසුම් කරනවා දැකලා තියනවා. ඒත් මේ ලිපිය බැලුවට පස්සේ තමා තේරෙන්නේ ඇත්ත හමුදා මෙහෙයුමක් කොච්චර අමාරුද කියලා. නියම ලිපියක් ගොඩක් දේවල් දෑන ගත්තා.

    ස්තුතියි විචාරකතුමාට.

  3. යුද්ද කරන්නත් පට්ට යුද්දයක් දෙන්න වෙනවා නේ 😀 .එල එල.ජයවේවා දිගටම ලියන්න.

  4. මේ ලිපි පෙළ ඉතාම වටිනවා පළමු ලිපිය අමතක දැයි නැවත් ගිය විගස සියල්ල සිහි කරගත හැකි වුනා. ගැඹුරු තැන් පැහැදිලි කිරීම් සරළ ලෙස හා සිත්ගන්නා ලෙස ලියවෙනවා විචාරක තුමණි

    • ඇත්තෙන්ම ගුණසිංහ මහතාණනි ගැඹුරු යුද න්‍යායාත්මක කරුණු කියාදීම එතරම් පහසු නැහැ. මේ අස්සට මේ ආදර හුටපටයක් රිංගවා ගත්තේ මතක තබාගැනීමේ පහසුව සඳහා.

      ඇගයීම ගැන ස්තුතියි.

      • පටලවා ගත් ආදර හුටපටය ලිපියට හානියක් නොවේ. ලිපියේ ගැඹුරු අන්තර්ගතය අවබෝධ කරගැනීමට එය උපකාරයක් විචාරක තුමණි

  5. ප්‍රේමවන්තයා said:

    විචාරක තුමෝ…. ඉස්සෙල්ලාම කියන්න ඔනේ මම ඔබතුමගෙ බ්ලොග් අඩ්විය කියවන්නෙක් උනාට අද තමයි ඉස්සෙල්ලාම කොමෙන්ටුවක් කොටන්නේ…මොකද මේ ලිපිය එච්චරටම රසවත්……
    මට තියෙන ප්‍රශ්නේ මෙතනදී පණිවුඩ හුවමාරුවත් (communication) සෑහෙන්න වැදගත් නේද? බැරිවෙලා හරි සතුරාට අරංචි උනොත් විනාසයි නේද…..??? [ කෙල්ලගෙ ගෙදරට ආරංචි උනොත් ( බැරිවෙලා හරි කෙල්ලගෙ පැත්තෙ ඔත්තුකාරයෙක්ට ඇහුනොත්) සුම්මා නේද……???? ]

    • ඔබේ පළමුවැනි කමෙන්ට් එකට බොහොම ස්තුතියි. මේ විදිහට දීර්ඝ කාලයක් මගේ බ්ලොග් එක බලන අය සෑහෙන ගණනක්, ඔබ කියන ආකාරයටම කියලා තියනවා, දිගටම බැලුවත් අද තමයි කමෙන්ට් එකක් දමන්නේ කියා. ඒ කියන්නේ, මා ඒ අයගේ හදවත/මනස ස්පර්ශ කළ විට තමයි, ඔවුන් තුළ කමෙන්ට් එකක් දැමීමට අදාළ උත්තේජනය ඇතිවෙන්නේ. ඒ ගැන මා නිහතමානීව ආඩම්බර වෙනවා.

      පණිවිඩ හුවමාරුව මෙවැනි ක්‍රියාන්විතයකදී අතිශයින් ප්‍රමුඛතාවය ලැබෙන කාර්යයක්. ඒ ගැන පසුව විස්තර කියනවා. මෙවැනි ක්‍රියාන්විත වලදී පාවිච්චි කරන පණිවිඩ හුවමාරු යන්ත්‍ර විශේෂ ගණයේ ඒවා. එම පණිවිඩ සතුරාට අහන්න බැහැ. හමුදා පණිවිඩ හුවමාරු ගැන මීට පෙර මා ලියා ඇති ලිපියක්,

      මෙතනින් බලන්න පුළුවන්

  6. ලොකුසැර් පහුගිය පොස්ට් දෙකටම මම දාපු කමෙන්ට් නැහැ නේ.මක්කයි වුනේ

    • කණගාටුයි. කිසිම කමෙන්ට් එකක් වාරණය කර නැහැ.හොයලා බලන්නම් ස්පෑම් වෙලාද කියලා.

      • ස්පෑම් ගොඩේ තිබුණෙත් නැහැ. මෙහෙම වුණාද දන්නේ නැහැ. ඔබ, මේ අඩවිය කියා සිතාගෙන, මේ නමින්ම මා පළකරන, බ්ලොගර් අඩවියේ කමෙන්ට් කලාද දන්නේ නැහැ.

  7. කොච්චර වටින ලිපියක්ද?
    මේ ලිපිය ජීවිතේ හැමදේටම පාවිච්චි කරන්න පුළුවනි. ඇත්තටම සැලසුම් කිරීම් කියන එක හොදටම තිබුනාම,අනිත් දේවල් එච්චර අමාරු නැහැ.

    බොහොම ස්තූතියි . .. . වෙනදා වගේම මේ ලිපියටත්

  8. ආකෘති හා අනුරූ හදලා විස්තර කිරීම් හා පුහුනු වීම් කරන්නේ නැද්ද?
    සිරාගේ සිතියම් කතාවේන් පස්සේ මේක හිතුනේ. හමුදාවේ 1:50000 සිතියම් වලට වඩා නිවැරදිතාව වැඩි චන්ද්‍රිකා ඡායාරූප මගින් සෑදූ සිතියම් භාවිතා කරනවා නේද?

  9. යුද්ධ කරන එකත් බලන් ගියාම හරිම අමාරැ වැඩක් නේ. ගොඩක් මහන්සි වෙලා ලියලා තියෙනවා. ස්තුතියි ලිපියට.

    Gossip Lanka News/

  10. supiri post set eka sir……………

  11. ක්සැන්ඩර් said:

    බලාන ගියාම යුද්ධ කරන එකත් හරිම පණ යන වැඩක් අප්පා..

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.