විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 ගුවන්විදුලි පණිවිඩ හුවමාරුව ත්‍රිවිධ හමුදාවට මෙන්ම පොලීසියටද එකසේ පොදු දෙයකි. එහෙත් පොලිස් ගුවන්විදුලි පණිවිඩ හුවමාරු පිළිවෙත ත්‍රිවිධ හමුදා පණිවිඩ හුවමාරු පිළිවෙතට හාත්පසින්ම වෙනස් ඉතා සරල ක්‍රමයකි. පොලිස් නිලධාරීන් අතේ ගෙනයන පණිවිඩ හුවමාරු යන්ත්‍රයකින් හෝ ඔබ කෙදිනක හෝ පොලිස් ස්ථානයකට ගොස් ඇත්නම් එහිදීද පොලිස් පණිවිඩ හුවමාරු යන්ත්‍ර වලින් නිකුත්වන පණිවිඩ අසා ඇති. ඒ පණිවිඩ ඔබට පහසුවෙන් තේරුම්ගත හැකියි. උදාහරණයක් වශයෙන් මහරගම පොලිස් ස්ථානයේ සිට අවිස්සාවේල්ල පොලීසියට ඇමතුමක් කරන්නේ ‘අමතන්න මහරගමට අවිස්සාවේල්ල’ යනුවෙන්. (විහිලුවට කියනවා, ‘අමතන්න වලස්මුල්ලට බකමූණ’ කිව්වම, බකමූනෙන්, ‘හූම්. . . .  හූම්. . . . ‘ කිව්වලු. ‘බකමූනට වලස්මුල්ල අමතන්න’ කිව්වම, ‘ගර්ර්. . . . ගර්ර්. . . . කිව්වලු)  එය අසා සිටින ඕනෑම කෙනෙකුට වැටහෙනවා මේ කොහෙන් කොහාටද කතා කරන්නේ කියා. එමෙන්ම ‘සැක කටයුතු නිල්පාට කැන්ටර් රථයක් එනවා වහාම අත්අඩංගුවට ගන්න’ කියා කිව්වොත්, එයත් අසා සිටින ඕනෑම කෙනෙකුට වැටහෙනවා. ඒ කැන්ටර් රථයට සම්බන්ධ කෙනෙක් එය අසා සිටියොත්, කැන්ටර් රථයේ යන අයට ජංගම දුරකතනයක් තිබේනම්, එයට කතාකර අනතුරු ඇඟවීමක් කල හැකියි.

නමුත් ත්‍රිවිධ හමුදාවේ පණිවිඩ හුවමාරු එසේ සරලව කල නොහැකියි. යුද්ධයකදී රහසිගත බව කොතරම් ඉහලින් ආරක්ෂා කලයුතුද යන්න, පසුගිය යුද සමයේ අත්දැකීම් නිසා මේ රටේ බොහෝ දෙනෙක් දන්නවා. හමුදා පණිවිඩ හුවමාරුවක එක ඉස්පිල්ලක් ඇලපිල්ලක් වැරදුනොත් යුද්ධය පැරදී රටක් තවත් රටකට යටත් වන්නට සිදුවිය හැකියි. නැත්නම් තමන්ගේම හමුදාවේ සිය දහස් ගණනකගේ ජීවිත හානි විය හැකියි. ගුවන් යානා, නැව්, යුද ටැංකි ආදිය සතුරා අතට පත්විය හැකියි. මේ නිසා ආරක්ෂක හමුදා පණිවිඩ හුවමාරු කටයුතු සිදුවන්නේ ඉතා සංවිධානාත්මකව ඉහල විනය නීති සහ දැඩි අධීක්ෂණය යටතේයි.

 මෙහි දැක්වෙන ආකාරයේ පණිවිඩ හුවමාරු යන්ත්‍ර ඔබ පොලිස් නිලධාරීන් අතේ මෙන්ම සමහරවිට හමුදා නිලධාරීන් අතේද තිබෙනු දැක ඇති. මෙවැනි යන්ත්‍රයක් සොරකම් කරගතහොත් පහසුවෙන් පොලීසියේ හෝ හමුදාවේ පණිවිඩ අසා සිටිය හැකියි. පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊය එසේ කල අවස්ථා තිබුනා. නමුත් නවීන තාක්ෂණයෙන්ම එය ජයගත්තා. ඒ නිසා පසු කාලයේදී අපේ හමුදාවන්ට පහරදී පණිවිඩ හුවමාරු යන්ත්‍ර අත්පත් කරගත්තත්, එම යන්ත්‍රවල තිබුණු එක්තරා තාක්ෂණික උපක්‍රමයකින් ඒවා නැවත පාවිච්චියට ගත නොහැකි ලෙස ක්‍රියා විරහිත කරවන්නට අපේ හමුදාවට නවීන තාක්ෂණික පහසුකම් ලැබුණා.

ආරක්ෂක හමුදා භාවිතා කරන පණිවිඩ හුවමාරු යන්ත්‍ර ඉතා උසස් අධි තාක්ෂණික පහසුකම් වලින් යුක්තයි. උදාහරණයක් වශයෙන් එක ප්‍රධාන මධ්‍යස්ථානයක් යටතේ පවතින උප මධ්‍යස්ථාන වලින්, තෝරාගත් මධ්‍යස්ථාන සමග පමණක් රහසිගත පණිවිඩ හුවමාරු කල හැකියි. එයට අදාළ නොවන අනෙක් මධ්‍යස්ථානවල යන්ත්‍ර වලින් එවිට නැගෙන්නේ ‘ෂෝ. . .’ යනුවෙන් හඬක් පමණයි.

 මේ ලිපියෙන් මම අදහස් කරන්නේ පණිවිඩ හුවමාරු යන්ත්‍ර පිළිබඳව ඔබ දැනුවත් කිරීමට නොවේ. එසේ එම යන්ත්‍ර පිළිබඳව ලියනවානම් අඩුම ගණනේ දීර්ඝ ලිපි තුනක්වත් ලියන්න වෙනවා. එය පසුවට තබා මගේ ප්‍රධාන මාතෘකාවට බහින්නම්. මේ ලිපියේ මාතෘකාවේ තේරුම කුමක්ද? රෝමියෝ කවුද? ජුලියට් කවුද? ඒ දෙන්න හොටේල් එකකට ගිහින් විස්කි බිව්වේ ඇයි? ඒ කතාව සහ හමුදාවේ පණිවිඩ හුවමාරුව අතර ඇති සම්බන්ධය කුමක්ද? මෙතැන්සිට මා විස්තර කරන්නේ ඒ කතාවයි.

පණිවිඩ හුවමාරු කටයුතු වලදී එම පණිවිඩ වල ඇති වැදගත්කම අනුව ඒවා වර්ග කරනවා. එක වර්ගයක් හැඳින්වෙන්නේ ‘නිවර්ග’ යනුවෙන්. එයින් අදහස් කෙරෙන්නේ එම පණිවිඩය හමුදාවේ ඕනෑම පණිවිඩ හුවමාරු යන්ත්‍රයකට කෙලින්ම යොමු කිරීමේ වරදක් නැති බවයි. උදාහරණක් වශයෙන් ‘ඔබ කඳවුරේ සේවය කරන, මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචි අයගේ නාම ලේඛනයක් හෙට දින 1500 පැයට පෙර (බියුගල් ලිපිය නිසා දැන් ඔබ දන්නවා හමුදාවේ වෙලාව කියන ලියන හැටි) මෙම කඳවුරට ලැබෙන්නට සලස්වන්න’ යන පණිවිඩය රහස්‍ය පණිවිඩයක් නොවේ. ඉතින් එවැනි පණිවිඩයක් සඳහාත් අර අති රහසිගත පණිවිඩ සඳහා පමණක් වෙන්වූ ගුවන්විදුලි ජාලය පාවිච්චි කිරීම තේරුමක් නැති අතර, ඒ ජාලයේ හදිසි සහ අත්‍යවශ්‍ය පණිවිඩ හුවමාරුවටද එයින් බාධා සිදුවෙනවා. ඒ නිසා මෙවැනි පණිවිඩ යැවීමට වෙනම ගුවන්විදුලි ජාලයක් තිබෙනවා. එකම යන්ත්‍රයෙන් වුනත් අවශ්‍ය විට මේ දෙවිදිහටම කරන්න පුළුවන්. (එය දීර්ඝ විස්තරයක්) එවිට ඒ යන්ත්‍රය ‘රහසිගත’ ස්විච් එක ඕෆ් කරලා ‘සාමාන්‍ය’ ස්විච් එක දාගන්නවා කියලා හිතන්නකෝ.

සාමාන්‍ය පණිවිඩ යැවීම එසේ සිදුකලත් එහි නිවැරදිතාවය ගැන ඉතාම සැලකිලිමත් විය යුතුයි. කෙනෙක් කියන දෙයක් ඊට සම්පූර්ණයෙන් වෙනස්වූ ආකාරයකට අර්ථ කථනය කරගන්න අවස්ථා විශේෂයෙන් දුරකථන සංවාද වලදී ඔබ අත්විඳ ඇති. අංජුලා කියන නම මංජුලා ලෙස තේරුම් ගැනීම, විමල් කියන නම බිමල් ලෙස තේරුම් ගැනීම, එයට උදාහරණයක්. මම ඉතා හොඳ උදාහරණයක් යුද හමුදාවෙන්ම කියන්නම්. මම කපිතන් නිලයේ සිය මේජර් නිලය දක්වා උසස් කිරීමේ පරීක්ෂණයට පෙනීසිටීම සඳහා සූදානම් වෙමින් සිටි අවදියයි ඒ. ඒ දිනවල අපේ කඳවුර පාලනය වූ බලසේනා මූලස්ථානය මගින් එම විභාගයට පෙනී සිටින නිලධාරීන් සඳහා දේශණ මාලාවක් සංවිධානය කෙරුනා. යුද්ධයේ ඉන්න ගමන් එක දේශනයකට සියලු දෙනාටම එන්නට බැරි නිසා එකම දේශනය විවිධ කණ්ඩායම් වලට කීප වරක් පවත්වනවා. එක විෂයයක් තිබෙනවා වර්තමාන ලෝකයේ, දේශපාලන, සංග්‍රාමික, ආර්ථික, කරුණු පදනම් කරගත්. එය හඳුන්වන්නේ ‘කාලීන තොරතුරු’ Current Affairs’ යනුවෙන්. එක් දිනක් මා ඇතුළු පිරිස බලසේනා මූලස්ථානයට යාමට සූදානමින් සිටිනවිට අපේ කඳවුරේ ගුවන්විදුලි පණිවිඩ හුවමාරුකරු පැමිණ දැනුම් දුන්නා සර්, අද සර්ලට එන්න එපා කිව්වා. එහෙ කරන්ට් රෙපෙයාර්ලු, යනුවෙන්. අපි සාප කරමින් අපි සිටින බංකර් වළල්ලට ආපසු යාමට සූදානම් වුනා. මම නිකමට දුරකථන ඇමතුමක් ගත්තා බලසේනා මූලස්ථානයේ සහෝදර නිලධාරියකුට. ඒයි මොකක්ද බං ඔතන ජෙනරේටර් එකක් තියනවා නේද ලයිට් ගියාම දාගන්ඩ? මේ කරන්ට් රෙපෙයාර් කියලා එන්ඩ එපා කියන්නේ මොකද? මම ඇසුවා. කවුද බං කරන්ට් රෙපෙයාර් කිව්වේ? මමමනේ ඒ පණිවිඩේ උඹලගේ කෑම්ප් එකට කිව්වේ. මම කිව්වේ අද ‘කරන්ට් එෆෙයාර්ස්’, ඒ නිසා එන්ඩ එපා කියලා. මම දන්නවනේ උඹලා කලින් ඒක කළා කියලා. ඒ නිසයි එන්ඩ එපා කිව්වේ. අපේ පණිවිඩ හුවමාරුකරු කරන්ට් එෆෙයාර්ස් තේරුම් ගත්තේ කරන්ට් රෙපෙයාර් විදිහටයි.

ඉතින් මෙවැනි ජංජාල ඇතිවීම වලක්වා ගැනීම සඳහා, ඉංග්‍රීසි හෝඩියේ සියලුම අකුරු, ගුවන්විදුලි පණිවිඩ යැවීමේදී නිවැරදිව සටහන් කරගැනීම පිණිස, අවශ්‍ය අවස්තාවලදී වචනය නොකියා, ඒ වචනයේ අකුරෙන් අකුර කියවනවා. විශේෂයෙන් අර මා කලින් සඳහන් කල පරිදි පුද්ගල නාම, ලිපින, ආදිය කියවන්නේ මෙලෙස අකුරෙන් අකුර. මෙය පුහුණුවූ පසු ඉතා වේගයෙන් කල හැකියි. මේ ක්‍රමය නේටෝ සංවිධානයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ සියලුම රටවල් පාවිච්චි කරනවා. ඒ නිසා අපේ හමුදාවේ සාමාජිකයකුට ඒ රටවලදී වුවත්, පණිවිඩ හුවමාරුවේ දුෂ්කරතා ඇතිවන්නේ නැහැ. මෙහිදී ඉංග්‍රීසි හෝඩියේ එක් එක් අකුර උච්ඡාරණය කරන්නේ මෙහෙමයි.

A – අල්ෆා

B – බ්‍රාවෝ

C – චාර්ලී

D – ඩෙල්ටා

E – එකෝ

F – ෆොක්ස්ට්‍රොට්

G – ගොල්ෆ්

H – හොටෙල්

I – ඉන්ඩියා 

J – ජුලියට්, 

K – කීලෝ

L – ලීමා

M – මයික්

N – නොවෙම්බර්

O – ඔස්කාර්

P – පාපා

Q – කිව්බෙක්

R – රෝමියෝ

S – සියරා

T – ටැංගෝ

U – යුනිෆෝම්

V – වික්ටර්

W – විස්කී

X – එක්ස්රේ

Y – යැන්කී

Z – සූලූ(ඉසෙඩ් හඬ)

උදාහරණයක් වශයෙන් බලමු ‘නිමල්’ යන වචනය කියන්නේ කොහොමද කියා. නොවෙම්බර්, ඉන්ඩියා, මයික්, අල්ෆා, ලීමා. ඒ විදිහටයි කියන්නේ. මේ ක්‍රමය සිංහල අකුරු සඳහාද සකස් කරගෙන තිබෙනවා. මා කවදාවත් එය පාවිච්චි කර නැතිනිසා සියලු අකුරු දන්නේ නැහැ. සිංහර අකුරු වලදී බොහොමයක් තිබෙන්නේ කාන්තා නම්. පද්මා, රංජනී, වැනි. ඒ වගේම පිල්ලම් (ඉස්පිලි පාපිලි ආදිය) සඳහාද වෙනම වචන යොදනවා. උදාහරණයක් වශයෙන් කොටුව කියා කියන විට ටුයන්න නොකියා ටයන්නට පුටුව කියා කියනවා. මෙහිදී පුටුව කියන්නේ ටයන්නට යොදන පාපිල්ලටයි. මෙන්න තවත් පුංචි කතාවක්. එක කඳවුරකින් තව කඳවුරකට සිංහලෙන් පණිවිඩයක් යැව්වලු. එක තැනකදී කිව්වලු ‘පද්මාට ඇලපිල්ල’ කියලා. අනික් පැත්තට ඒක ඇහිලා තියෙන්නේ ‘පද්මාට කැරකිල්ල’ කියලා. ඒ පැත්තේ පණිවිඩ හුවමාරුකරුගේ නෝනගේ නමත් පද්මලු. එයා ඇහුවලු ‘පද්මාට කැරකිල්ල වුනාම තමුසෙට මොකද? මමනේ එයාගේ හස්බන්ඩ්. බැන්දට පස්සේ ගෑනුන්ට ඔහොම ඒවා වෙනබව දන්නේ නැද්ද? කියලා.

දැන් අර ඉංග්‍රීසි අකුරු මගින්, අර මාතෘකාවේ ඉන්න රෝමියෝ, ජුලියට්, ඔක්කොම අල්ලගන්න පුළුවන් නේද?

Advertisements

Comments on: "රෝමියෝ ඔයා ජුලියට් එක්ක හොටෙල් ගිහින් විස්කි බිව්ව නේද?" (100)

  1. ඔය ෆොනටික් ඇල්ෆබට් එකනම් ශිපින් කරන අපිත් පාවිච්චි කරනවා. සමහර එවුන් ඕකත් එක්ක එල්ලෙ ගහනවා.. එකෙක් දවසක් කියනවා E for India කියලා.

    විචාරක් මහත්තයො, අර රොජර් කතාව ගැනත් කෙටියෙන් හරි විස්තරයක් කරන්ඩකො.

    • අදනේ දන්නේ ඔයා නැව් කප්පිත්තෙක් කියලා. ඉතින් ඔයා තමයි සුදුසු අර ලිපිය ලියන්ඩ. මම ලින්ක්ස් ටිකත් දෙන්ඩද?

      සාමාන්‍යයෙන් නේටෝ සහ පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල ඉංග්‍රීසි හෝඩිය සංඥා යැවීම සඳහා පාවිච්චි කරන ආකාරය දැන් පැහැදිලියිනෙ. ඊට අමතර දෙයක් තමයි ‘හමුදා පණිවිඩ හුවමාරු කතා පිළිවෙත’. Mititary Communication Voice Procedure. මෙහිදී එක් පණිවිඩ හුවමාරු ස්ථානයක් තවත් පණිවිඩ හුවමාරු ස්ථානයක් අමතන්නේ කෙසේද යන්නේ සිට පාලක මධ්‍යස්ථානය, උප මධ්‍යස්ථානය, සෑම විටම ඉහල මධ්‍යස්ථානයේ අණ පිළිපැදීම, ආදී කරුණු රැසක් තිබෙනවා. රොජර් යන වචනය ජන සමාජයේ තිබෙන, කෙලින්ම තේරුමක් නැතත්, පොදු සම්මතයක් සහිත වචන වගේ එකක්. උදාහරණයක් වශයෙන් මාළු දැල් ඇදීමේදී ‘හෝයියා’ කීම. යමක් ඉස්සීම තල්ලු කිරීම කරද්දී ‘හා ඕන්’ කීම හා සමානයි. මා ඔබේ පිටුවේදී සඳහන් කලාක් මෙන් රොජර් යන වචනය යොදන්නේ මෙහෙමයි. අපි හිතමු ඔබත් මාත් අතර ගුවන්විදුලි සංවාදයක් සිදුවෙනවා කියා. මම ඔබට කියනවා හෙට උදේ 9 ට ඇවිත් මාව හම්බවෙන්න කියා. එවිට ඔබ මුලින්ම කියන්නේ රොජර් කියලයි. එයින් අදහස් කරන්නේ හොඳයි/හරි/තේරුනා/එහෙම කරන්නම් යන තේරුම්. ඉන් පසුව තමයි අහන්නේ ඔබ මගෙන්, එනවිට කිසියම් තොරතුරු හෝ ලිපි ලේඛන හෝ රැගෙන ආ යුතුද කියා. එමෙන්ම මට කියන්නට අවශ්‍ය වෙනවා තරමක් දීර්ඝ පණිවිඩයක්. පණිවිඩ හුවමාරු යන්ත්‍ර වලදී දුරකතනයක මෙන් එකවර දෙදෙනාටම කතාකල නොහැකියි. එක යන්ත්‍රයක කතා කිරීමේ බොත්තම එබුවම අනෙක් යන්ත්‍රයේ ඒ බොත්තම එබීමෙන් පලක් නැහැ. ඉස්සර වූ යන්ත්‍රයේ පණිවිඩය තමයි පිටවෙන්නේ. මේ නිසා ඉතා දැඩි විනයක් අවශ්‍යයි කතා කිරීමේදී. ඉතින් මගේ පණිවිඩය දීර්ඝනම් කුඩා කොටසක් කියා, මම ඔබෙන් අහනවා ‘රොජර් සෝ ෆා’ කියා. roger so far එයින් අදහස් කරන්නේ මෙතෙක් කියපු ටික තේරුනාද කියන එකයි. එවිට ඔබ රොජර් කිව්වොත් පමණයි එතනින් එහා දේවල් කියන්නේ. ඔබට නොතේරුනොත් ඔබ කියනවා සේ අගේන් say again කියලා එවිට මම සියල්ල නැවත කිව යුතුයි. කිසියම් වාක්‍යයක එක්තරා වචනයකට පසුව කියූ ටික තේරුනත් ඊට පෙර ටික හරියට ඇහුනේ හෝ තේරුනේ නැත්නම් ඔබ කිව යුත්තේ සේ අගේන් ඕල් බිෆෝ say again all before කියා, ඉන්පසු අර අවසානයට තේරුම්ගත් කොටසේ පළමුවැනි වචනය. එවිට මා ඊට පෙර කොටස නැවත කියනවා. ඔබ එය තේරුම් ගෙන රොජර් කියනවා. කිසියම් වාක්‍යයක, එක්තරා වචනයක සිට, පසුවට කී කොටස නොතෙරුනානම් ඔබ අහන්නේ, සේ අගේන් ඕල් ආෆ්ටර් යනුවෙන්. පැය ගණනක දේශනයක් කොහොමද මෙහෙම ලියන්නේ?

      • මම හිතුවේ රොජර් කියලා කියන්නේ පණිවුඩ හුවමාරුවේදී කාට හරි කියන අන්වර්ථ නමක් කියලා 😀

        • අනවර්ථ නාම තියනවා හමුදා ගුවන්විදුලි ජාල වල. මම දාපු පටබැඳි නම් අදටත් තියනවා. නිතර හයියෙන් කෑගහන රේඩියෝ ඔපරේටර් කෙනෙක් ඉන්නවා. මම එයාට කියන්නේ ‘වෙන්දේසි කාරයා’ කියලා. අදත් ඒ නම ලියාපදින්චියි. ඔය වගේ ‘ලොකු නංගී’ (ගෑනු ළමයෙක් නෙවෙයි කොල්ලෙක්) ‘අඟුරු මාමා’ ‘කච කච’ ආදී මම ඒ කාලේ දාපු නම් අදත් පාවිච්චි වෙනවා. හොඳටම තරහ ගියාම අපි බනිනවා නේද තමුසේ ඕනේ . . . . . . ක් කරගන්නවා කියලා. රේඩියෝ එකෙන් එහෙම බනිනවා සමහර වෙලාවල ඕනේ ‘හොටෙල්’ එකක් කරගන්න කියලා.

      • රොජර් රොජර්…

        මට ඇත්තට දැන ගන්ඩ ඕනා වුනේ ඕකට “රොජර්” කියන වචනෙ ආවෙ කොහොමද කියන එක. මෙතෙක් විස්තර කරපු ටිකත් අලුත් මට. ඒක ට ස්තූතියි.

        කප්පිත්තෙක් නෙමේ.. එහෙම වෙන්ඩ තිබුන නම් හොඳයි.. ඒත් ඒවගේ රැකියා තියනවා කියලා දන්නෙත් මේ රැකියාව කරන්ඩ ආවට පස්සෙයි. ඕක අපේ අධ්‍යාපන ක්‍රමයේ එක දුර්වල තාවයක්.. මොකද දොස්තරලා, ඉන්ජිනේරුවො සහ කලා කාරයන්ව විතරනෙ අපේ ක්‍රමයෙන් එළියට එන්නෙ. ලෝකෙ තියන තව දහසකුත් එකක් රැකියා වලට පුහුණු කිරීමක්වත්, ඒ පිළිබඳ අධ්‍යාපනයක්වත් හරියට ලබා ගන්ඩ, දැන ගන්ඩ තියන හැකියාව අඩුයි.

        අනේ ඔබ තුමාම ඒක ලියන්ඩ.. මට මේ දවස්වල කිසිදෙයක් කරන්න හිතේ එකලාසයක් නෑ.. හෝම් සික්..

        • සමහර රටවල තියනවා වඩු වැඩ, මේසන් වැඩ, වෑල්ඩින් වැඩ, සඳහා උපාධි. අනේ ඉතින් අපේ උන්නැහේලා ඕවා කවදා තේරුම් ගනියිද. එහෙනම් මම අර ලිපිය පටන්ගන්නම් ඔබේ අනුමැතිය ආශිර්වාදයක් කරගෙන.

      • // සමහර රටවල තියනවා වඩු වැඩ, මේසන් වැඩ, වෑල්ඩින් වැඩ, සඳහා උපාධි. //

        ඔය විදියෙ කාර්මික අංශයට උපාධි දීමක් පිළිබඳ කාලෙකට කලින් සූදානමක් තිබුණ නේද අපේ රටෙත්? මම හිතන්නෙ ඊරියගොල්ල මහත්තය අධ්‍යාපන ඇමති හැටියට හිටපු කාලෙ. අපේ රටේ අයගෙ තිබුණු නොදැනුවත්කම නිසා හෝ මාන්නය නිසා ඇතිවුණු විරෝධතා හේතුවෙන් ඒ වැඩේ යටපත් වුණා කියල මම අහල තියනව.

        • එච්චර ඕනේ නැහැ, මේ රටේ තියන කාර්මික විද්‍යාල ටික හරියට දියුණු කලානම් විශේෂයෙන් මැද පෙරදිග රැකියා සඳහා දැනට නුපුහුණු ශ්‍රමිකයන් ලෙස යන අයගෙන් 90% ක් හොඳ වැටුපක් ගන්න පුහුණු ශ්‍රමිකයන් ලෙස යවන්න පුළුවන්. එවැනි විශිෂ්ට පුද්ගලයෙක් තමයි මොරටුව ජර්මානු – ලංකා කාර්මික විද්‍යාලයෙන් බිහිවූ, ඊයේ පෙරේදා අපෙන් සමුගත්, සනත් විජේවර්ධන (ඔබා මාමා) මහතා. කොහෙද, නිදන් හාරලා කඩු හොයාගෙන රජ වෙන්නනේ හදන්නේ. අපි නොදන්න මොනරතැන්න.

      • අද උදේ මට ඔබාමාමගෙන් ඊ-මේල් එකක් ඇවිත් තිබුනනෙ..

      • ස්තුතියි ඔබට. දිග කතාවක් කොට කරලා ලියලා කියන එක නම් පේනවා මේ සටහනෙන්, ඒ වුනත් මේ සටහන ගොඩක් වටිනවා අපිට. ඔබතුමාට පුළුවන් නම් පොස්ට් එකක්ම දාන්න මේ ගැන. තව දෙයක්, මෙතනට අදාළ නැති වුනත් අහන්නේ, අර හමුදාවේ කර්නල් නිලයෙන් ඉහලට ගහන රතු කොලර් ටැග් දෙක මගින් කියන්නේ ඒ නිලය හමුදාවේ පොදු නිලයක් කියලාද? ඒ කියන්නේ රෙජිමේන්තුවෙන් නිදහස් කියලාද? පුලුවන්නම් මේ ගැනත් ලියන්න.
        ———————————————————————————————–
        @ හරි: මටත් ඔය කියන මේල් එක ආවා. ඒක යාහු එකක් කියලා මාරයා කිව්වමයි දැක්කේ. මැරිච්ච මනුස්සයෙක්ටවත් ඉන්නේ දෙන්නේ නෑ නේ මේ මිනිස්සු. ඔහොම ගිහින් කමෙන්ට් කරන්නත් පටන්ගනීද දන්නේ නෑ හොර අයිඩී වලින්.

        • ලෙනියාර්ඩ්ක්සැන්ඩර්, මට පෙනෙන්නේ ඔයා ඔක්කොම දන්නවා නමුත් පොඩි සැකයක් තියනවා. හමුදා නිලධාරියකු තමන් අයත් රෙජිමේන්තුවේ බැජ් එක අඳින්නේ ලුතිතන් කර්නල් නිලයට එනතුරු පමණයි. කර්නල් නිලයේ සිට කැප් එකේ අඳින්නේ යුද හමුදා ලාංඡනය. එයින් අදහස් කරන්නේ ඉන්පසු ඔහු යුද හමුදාවට අයිතියි කියන එකයි. ඔහුගේ කොලරයේ දෙපස තියන රතුපාට ටැග දෙකට කියන්නේ ‘ජෝජට් පැච්’ කියලා. නමුත් තම රෙජිමේන්තුවට දක්වන ආදර ගවුරවය වශයෙන් උරහිසෙන් පහලට එල්ලෙන ලෙනියාඩ් නමැති පළඳනාව තම රෙජිමේන්තු වර්ණයෙන් අඳිනවා.
          ලෙනියාඩ්

      • ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. පොඩ්ඩ පොඩ්ඩ දැනගන හිටියට එහෙමට දන්නේ නෑ. මම ඔය දේ නිරීක්ෂණය කලේ මෝටර් ක්‍රොස් තරඟය ගැන කියන්න ආව ලුතිනන් කර්නල් සමරසිංහයි කර්නල් සුමේධයි කියන මහත්වරු දැකලා. ඒ මහත්වරු තොප්පිය පැළඳගෙන හිටියේ නැති නිසා ඒ ගැන දැක්කේ නෑ. නමුත් ලෙන්යාඩ් ඒක නම් දැක්කා.

      • එතකොට copy that කියන්නෙත් Again කියන එකමද? මම හිතන්නේ ඒක use කරන්නේ NATO රටවල් හරියටම දන්නේ නෑ

        • copied කියන්නේ, ඔබ කිව්වදේ ත්රුනා/ලැබුනා/සටහන් කරගත්තා කියන එකයි. copy that කියන්නේ එලෙසම තේරුණද/ලැබුනාද/සටහන් කරගත්තාද කියන එකයි. බොහෝ විට NATO රටවල් තමයි පාවිච්චි කරන්නේ.

    • E for India..!!?? how about G for Jesus.. hikz. 😀

      Over.

  2. ක්සැන්ඩර් |Xander said:

    ඔය කොල් සයින් මන් අහල තිබ්බට තෙරුම ඇහුවෙ අද. මොබයිල් ඒකේ සිංහල හරියට රෙන්ඩර් වෙන්නෙ නෑ. හෙට ලිපිය බලන්නකෝ ඒක ගැන ලියන්නෙ.

  3. ඉස්සර මම අහගන ඉදලා තියනවා තැපැල් කන්තෝරැවෙත් ඔය භාෂාව පාවිච්චි කරනවා

    • හරියට හරි. තැපැල් දෙපාර්තමේන්තුව ඉස්සර ටෙලිග්‍රෑම් යැව්වේ මේ විදිහටයි. හැබැයි ඒගොල්ලෝ පාවිච්චි කලේ, A – ආතර්, B – බර්ටි, H – හැරී, ආදී වශයෙන්. නේටෝ සංවිධානයේ ක්‍රමය නෙවෙයි, එංගලන්තෙන් ආව ක්‍රමයක්.

  4. මට චූටි ප්‍රශ්නයක් ඇති වුණා. (ටිකක් ගොන් ප්‍රශ්නයක් වගේ :)) අර ඔබ දක්වා තිබෙන විදියට ඉංග්‍රීසි අකුරු වේගයෙන් කියන්න පුහුණු වූ කෙනෙක්ට පසුව මොකක්හරි අවස්ථාවකදි සාමාන්‍ය විදියට වචනයක spelling කියන්න ගියහම අපහසුවක් දැනෙන්නෙ නැත් ද? ඒ කියන්නෙ පුරුද්දට කටට එන වචන කියන්නෙ නැතුව ඔහුට ආයාසයෙන් හිතල-මතල උත්තර දෙන්න වෙනව නේ ද?

    • ඉතාම හොඳ ප්‍රශ්නයක්. හමුදාවේ විතරක් නෙවෙයි ඕනෑම රැකියාවකට අදාලව නිතර යෙදෙන පාරිභාෂික වචන සහ රාජකාරි වචන තිබෙනවා. උදාහරණයක් වශයෙන් මම ගෙදරදොරේ එදිනෙදා කටයුතු වලදී ගෙදර උන්දෑ එක්ක කතා කරද්දීත්, ‘අවුලක් නෑ, ක්‍රමවේදයක් යොදමු, ආකල්ප සහ කුසලතා වර්ධනය කල යුතුයි’, වගේ වචන දාලා කතා කලොත් එක්කෝ මම ගෙදර අයගෙන් ඈත් වෙනවා. නැත්නම් ජෝකරයෙක් වෙනවා. ඇත්තටම මේ රෝගය තිබුනා මගේ බිරිඳට. ඇය ගුරු උපදේශිකාවක්. මට සිදුවුනා පළමුව විහිළුවෙන්, දෙවනුව අපහාසයෙන්, තුන්වනුව තදින්, කියාදෙන්නට, රාජකාරි යෙදුම් ගෙදර පාවිච්චි කරන්න එපා කියලා. අපට අපේ පුහුණුවෙදීම ඒ බව කියා දෙනවා. මටනම් කවදාවත් එවැනි පැටලීම් සිදුවී නැහැ. නමුත් අදටත් මම හමුදාවේ යාලුවෙකුට දුරකතනයෙන් කතා කරන විට අර විදිහට සමහර වචන කියනවා. එය ඔහුටත් මටත් ලොකු පහසුවක්. අනික මේ විදිහට අකුරු උච්ඡාරණය හමුදා රහසක් නෙවේ. පුරුදු වුනොත් සමහර අම්මල තාත්තලට පොඩි ළමයි ඉන්න තැන වලත් රහස් කියන්න පුළුවන්. පෙම්වතුන්ට ඊට වඩා වටිනවා.

  5. සියල්ල පැහැදිලියි තුමෙනි.

  6. විචාරක – ඇවිදින විශ්වකෝෂය මේජර් හෝ ඊට ඉහල නිලයක් දැරූ බව මේ පෝස්ට් එකෙන් තේරුම් ගත්තා. සුබ පැතුම්!

    henryblogwalker the Dude

    • නිමිති ප්‍රකාශයට ස්තුතියි.

      • දැන් ඇවිදින විශ්ව කෝෂය කියල නමකුත් තියෙනවද ?
        ඔබතුමා 1981 ඇවිත් 2010 විශ්‍රාම ගිය නම් මම හිතන්නේ ක්’නල්, බ්‍රිගේඩියර් හෝ මේජර් ජෙනරාල් නිලයේ සිටි කෙනෙක් වීම බොහෝ දුරට විය හැකියි.

        • අනේ කිසිම නාමයක් එපා, බනින නාමයක් හැර. මගේ අනන්‍යතාවය සඟවාගෙන ඉන්නේ එයින් සමහර තොරතුරු ලිවීමට බලපෑම් එල්ලෙවෙයයි කියා සිතන නිසයි.

      • බලපෑම් කොහොම එනවද කියන එක කාටවත් කියන්න බෑනේ. ඔය තරම් සංවේදී මාතෘකා කතා නොකරන අපිත් අපේ අනන්යතාව හංගන්නේ ඉන්නේ. ඒත් මම හිතන්නේ 80-85 කලේ හමුදා සේවය පටන් ගත් නිලධාරියෙක් මේ බ්ලොගය කියෙව්වොත් ඔහුට තේරෙයි මේ කව්ද කියලා.

        • වාසනාවකට වගේ, ඒ කාලයේ අයගෙන් මම විතරයි වගේ, මේවගේ වැඩක යෙදිලා ඉන්නේ සහ බ්ලොග් කියවීමෙවත් යෙදිලා ඉන්නේ. ඒ කාලයේ බොහෝ දෙනාට පරිගණක තාක්ෂණය අල්ලන්නේ නැහැ.

      • බ්ලොග් කෙසේ වෙතත් ඒ කාලේ පිරිසකට මුහුණු පොත නම් අල්ලලා ගිහින් තියෙනවා.

        • මටත් එක්කෙනෙක් කියලා මම ඔය මූණු පොතට මූණ දැම්මා. පසුව වැටහුනා මම ඒ වැඩේට සුදුසු නැහැ කියලා. ඒ නිසා බොහොම අමාරුවෙන් මූණ හංගගත්තා. අදටත් තියනවාද දන්නේ නැහැ හංගගන්න බැරිවුණ පින්තූර.

      • මුණ හැංගුව විතරද ගිණුම අවලංගු කලේ නැද්ද?

        • කළා කළා, මට තේරෙන දේවල් ඔක්කොම කළා. සෑහෙන කාලයක් යනතුරු ඊ මේල් ආවා නැවත එන්න කියලා. දැන්නම් නැහැ. මගේ ගෝලයෝ කීප දෙනෙක් ඇහුවා සර් මොකද දැන් මූණු පොතේ නැත්තේ කියලා. එයින් මම සනාථ කරගත්තා මගේ මූණ හැංගිලා බව.

  7. මම ටියුබ් ලයිට්,,, පණිවිඩේ තේරුන්නෑ.
    රෝමියෝ ඔයා ජුලියට් එක්ක හොටෙල් ගිහින් විස්කි බිව්ව නේද?// r j h g w?????

    • මාතෘකාව එහෙම දැම්මේ අවධානය ගන්නයි. එහෙම නැතුව ඒ වාක්‍යයේ තේරුම හොයන්න නෙවෙයි. එහි තියන රෝමියෝ, ජුලියට්,හොටෙල්,විස්කි කියන වචන හතර නිතර අපි අහන ඒවානේ. නමුත් ඒවා හමුදා කටයුතු සඳහාත් යොදා ගන්නා බව පෙන්වීමටයි ඒ මාතෘකාව දැම්මේ.

  8. පද්මාට කැරකිල්ල!
    //මේ ලිපියෙන් මම අදහස් කරන්නේ පණිවිඩ හුවමාරු යන්ත්‍ර පිළිබඳව ඔබ දැනුවත් කිරීමට නොවේ. එසේ එම යන්ත්‍ර පිළිබඳව ලියනවානම් අඩුම ගණනේ දීර්ඝ ලිපි තුනක්වත් ලියන්න වෙනවා//
    බ්ලොග් අවකාශයේ වැඩිම ලියන්න දේවල් තියන පුද්ගලය විචාරක වෙන්නැති. එක මාතෘකාවක් ගැන කියනකොට තවත් දෙකතුනක් මතුවෙනව.
    -රාජ්.

  9. අංගොඩයා.. said:

    Roger that,over and out..

  10. හොඳ පැහැදිලි කිරීමක්!

  11. 10-4
    ශපීරෝ අවුට්

  12. නියම විස්තරේ ගොඩාක් දේවල් දැනගත්තා.

    “පත්මාට කැරකිල්ල.”

  13. “Roger” means “I have received all of the last transmission” in both military and civilian aviation radio communications. This usage comes from the initial R of received: R was called Roger in the radio alphabets or spelling alphabets in use by the military at the time of the invention of the radio, such as the Joint Army/Navy Phonetic Alphabet and RAF phonetic alphabet. It is also often shortened in writing to “rgr”. The word Romeo is used for “R”, rather than “Roger” in the modern international NATO phonetic alphabet.
    Contrary to popular belief, Roger does not mean or imply “I will comply.” That distinction goes to the contraction wilco (from, “will comply”), which is used exclusively if the speaker intends to say “received and will comply.” Thus, the phrase “Roger Wilco” is both procedurally incorrect and redundant.

  14. අපි ඉස්කෝලේ යන කාලේ ලා මරුසියාස් කියලා පොඩි ගැන් එකක් හදාගෙන තිබුණා… ලොකු දැනුමක් නැතත් චිත්‍රපටි වලින් අහුලගත්ත මිලිටරි උපක්‍රම ගොඩක් පාවිච්චි කලා… මතක් වෙද්දිත් හිනා යනවා…නිකන් ඉන්න හැමවෙලාවෙම වගේ අත් දෙක එකට එකතුකරගෙන ඇගිලි දෙකෙන් අතේ පිස්තෝලයක් තියෙන විදියට තමයි හැසිරෙන්නේ… (ඒ දවස්වල අපි සෙට් එකට පිස්සු කියලා තමයි ඉස්කෝලේ කතාව තිබුණේ)

    අවේලාවේ කැන්ටිමට යද්දී කොරිඩෝ දිගේ කණු, බිත්ති වලට කවර් වෙවී තමයි යන්නේ… එකෙක් ඉස්සරහට ගිහින් පාර බලලා ක්ලියර් කියලා කෑගහනවා… ඊටපස්සේ පිටිපස්සේ එකා ඌවත් පහුකරගෙන ඉස්සරහට යනවා… ඌ ක්ලියර් කිව්වම අනිකා ඉස්සරහට යනවා… සර් කෙනෙක් හරි ෆ්‍රිෆෙක්ට් හරි එනවා දැක්කොත් ඉස්සරහින් ඉන්න එකා අත උස්සලා ඇගිලි නමනවා… කට්ට්ය එහෙට මෙහෙට වෙනවා…

    ආ ටොයිලට් එකට ගියාම පයින් ගහලා තමයි දොර අරින්නේ.. එකෙක් දොරට පයින් ගහලා ටක් ගාලා බිත්තියට කවර් වෙනවා… අනිකා ඇගිලි දෙක්න් පිස්තෝලේ උරුක් කරගෙන ඇතුලේ එකෙක් ඉන්නවද කියලා චෙක් කරනවා… ඔය වගේ විකාර කෝටියයි.. දැන් මතක් වෙන්නේ ටිකයි… 😀

    ආ කැන්ටිමෙන් ස්මැක් බෝතල් උස්සනවා… ඒකත් ලෙසටම කරනවා… මට මැවිලා පේනවා “පුනා” කියලා අපේ සෙට් එකේ එකෙක් සිග්නල් එකක් දෙනවා ඇගිලි දෙක තමන්ගේ ඇස් දෙක ඉස්සරහට උරුක් කරලා පෙන්නලා ඊට පස්සේ ඒ ඇගිලි දෙකෙන්ම කැන්ටිමේ මුදලාලිව පෙන්නනවා… ඒ කියන්නේ ඌ ස්මැක් බෝතලේ උස්සනකල් අපි මුදලාලිට ඇහැගහගෙන ඉන්න ඕනේ…

    බුදු අම්මෝ… අපි බැංකුවක් කොල්ල කමු කියලත් කතා වුණා 😀 ඒක නම් ක්‍රියාත්මක කරන්ඩ වුනේ නෑ… 😀

    • ඉස්කෝලේ යනකාලේ ඒවාගේ දේවල් නොකලොත් ඌ කොල්ලෙක් නෙවෙයි. බලන්න අදටත් ඒවා කොච්චර රසවත්ද. ඔබ දැකලා තියනවද පරණ කවුබෝයි චිත්‍රපටි වල තියනවා, කවුබෝයිලා සිගරට් (ඒවා අතින් ඔතපු, සුරුට්ටු වගේ සිගරට් ජාතියක්) එක පත්තු කරන්නේ, ඒ කාලයේ තිබුන අනාරක්ෂිත ගිනිකූරු, තමන්ගේ සපත්තුවේ හීල් එකේ අතුල්ලලා. ඔය වැඩේ දැකලා, අපි ඉස්කෝලේ යන කාලේ, ගිනිපෙට්ටියේ ගිනිකූර ගහන කොටස පටියක් වගේ කපලා අරන්, සපත්තුවේ හීල් එකේ අලවලා, සාක්කුවේ ගිනිකූරු දාගෙන ගිහින්, ස්කූල් බස් එකේදී, බස් ස්ටෑන්ඩ් එකේදී පත්තු කරනවා. (විශේෂයෙන් කෙල්ලන්ට පෙනෙන්න) මම කියන්නේ 1960 ගණන්වල කතාවක්.

      • හා හා… අර පොඩි රෝද වගේ ඒවා හයිකරගත්තේ නැද්ද..?

        ගිහාන් කියලා මගේ යාලුවෙක් හිටියා ඌට ඕනේ වුනා බයික් එකක් වෙනුවට අස්සයෙක් අරගෙන උගේ පිටේ ක්ලාස් එන්න… 😀 ඌ ට්‍රයි කරන කෙල්ලට පේන්න… අස්සයා ගේට්ටු කනුවේ බැඳලා පංතියට ඇවිදගෙන එද්දී හෙන ගතියට තියෙයි නේද මචං කියලා ඌ අහනවා… වැඩේ කරගන්න බැරිවුනා… 😀

        • මම අටේ පන්තියේ ඉගෙන ගනිද්දී (1960 දශකයේ) ඒ ප්‍රදේශයේ දිස්ත්‍රික් උසාවියේ විනිසුරු වරයාගේ පුතා, සමහර දවස්වල ඉස්කෙලේ එන්නේ අස්සයා පිටේ. කුදිරකාරයා ලඟින් එනවා. අරයා ඉස්කෝලේ ලඟදි අස්සයා පිටින් බැහැලා, කුදිර කාරයාට අස්සයා දෙනවා. මිනිහා උගේ පිටේ යන්නේ නැහැ. රේන්ස් පටියෙන් අල්ලගෙන ආපහු අරන් යනවා.

        • වයසක මනුස්සයාට අදනේ තේරුනේ ‘අර පොඩි රෝද වගේ ඒවා’ කියන්නේ මොකක්ද කියලා. ඒවාට කියන්නේ ස්පර්ස් කියලා. එයින් කරන්නේ අශ්වයාගේ කිහිල්ලට යටින් කිති කැවීමයි. එවිට අශ්වයා වේගයෙන් දුවනවා.
          ස්පර්ස්

  15. Military Phonetic Alphabet එක සිවිල් ආයතනවලත් දැන් භාවිතා වෙනවා..විශේෂයෙන්ම සමාගම් මගින් පවත්වාගෙන යන Call Centres වල. Operators ලා අපේ නම් කියවගන්න බැරි උනාම ස්පෙල් කරන්නේ Phonetic Alphabet එක පාවිච්චි කරලා….

    • ඒ තැන්වල හමුදාවේ සිට පැමිණි අය ඉන්නවද? නැත්නම් සිවිල් ආයතන වලට නේටෝ කෝඩ් එක පාවිච්චියට අවසර තියනවද?

      • Phonetic Alphabet එක සාමාන්‍ය ව්‍යවහාරයේ තියනවා. British පාසැල්වලත් උගන්වනවා ඒ වගේම සමහර යුරෝපීය රටවල ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා භාවිතා කරනවා..

      • අංගොඩයා.. said:

        Explorer කිව්වමයි මතක් උනේ,මෙහෙත් calling center agents ලා යම් ස්ථානයක නමක්,ලිපිනයක් එහෙම කියනකොටත් මේ ක්‍රමය භාවිතා කරනවා තමයි.ලංකාවේදී නම් අඩුයි.

  16. නියම ලිපියක්, කාලෙකින් මේ පැත්තේ ආවෙ, phone එකෙන් බැලුවත් comment කරන්න විදිහක් නෑනේ… පුලුවන්නම් ඊලඟ ලිපියකින් Body armour ගැන ලියන්න.

    • ඉස්සර කාන්තාවෝ හැට්ටයට යටින් අඳින ඇඳුමට කිව්වේ ‘බොඩිය’ කියලා. ඒ බොඩි ආමර් එක ගැන ලියන්නද?

      • අංගොඩයා.. said:

        ඒ ගැන ලිව්වත් කමක් නැහැ.. එකට යටින් තියෙන එක ගැන ලිව්වොත් කමක්ම නැහැ..

        • මොනවද ඉතින් බොඩි ආමර් එක යටින් තියෙන්නේ තඩි බොඩියනේ. අර කවුද විකට නළුවෙන් මේ ලඟදි එහෙම එකක හැප්පිලා මොනවද උනාලු නේද? අම්මපා ඕවා හදලා තියෙන්නේ කොන්ක්‍රීට් වලින්ද?

      • අංගොඩයා.. said:

        විකට නළුවාගේ කතාව නම් දන්නේ නැහැ.. සාමාන්‍ය ඒවා නම් කල් යන්න යන්න බුරුල් වෙනවා මිසක් කොන්ක්‍රීට් වගේ හයි වෙන්න විදියක් නැහැනේ..

  17. මේ ප්‍රශ්නේ නම් මේකට කොහෙත්ම අදාල නෑ. එත් යුද හමුදා ස්වේච්චා බල ඇණිය, නිත්‍ය සේවය හා යුද හමුදා උප සේවය කියන එකයි අතර වෙනස මොකක්ද?

    • අදාලත්වයක් නැත්තේම නැහැ. කොහොම ඇහුවත් අහන්නේ හමුදාවට සම්බන්ධ දෙයක්නේ. හමුදාවේ මූලික ව්‍යුහය ගැනයි ඔබ අහන්නේ. නිත්‍ය හමුදාව යනු ස්ථිර සේවය සඳහා බඳවාගනු ලබන, පවත්වාගෙන යනු ලබන, හමුදාවයි. ඒ සඳහා ඉතා ස්ථාවර සුදුසුකම් අනිවාර්යයෙන් සැපිරිය යුතුයි. සේවා කොන්දේසි සහිත ගිවිසුමකට අත්සන් කල යුතුයි. කැඩෙට් නිලධාරියකු ලෙස බැඳෙන්නේ නම්,රු ලක්ෂ 10 ක පමණ ඇපයකට අත්සන් තැබිය යුතුයි. (ඇපකරුවකු විසින්) සාමාන්‍ය සෙබළුන්ට එවැනි ඇප නැහැ.සේවා කොන්දේසි වලදී අවම සේවාකාලය මෙපමණක් යයි දක්වා තිබෙනවා. (නිලධාරීන්ටත් සෙබළුන්ටත් යන දෙගොල්ලන්ටම) එම කාලය ඉකුත්වීමට පෙර, මට වලක්වාගත නොහැකි හේතුවක් නිසා ඉවත්වීමට සිදුවුනොත්,(යුද්ධය නිසා නොවන ස්නායු ආබාධයක්, හදවත් රෝගයක්, පිළිකාවක්, වකුගඩු ආබාධයක්,) හමුදාවෙන් වෛද්‍ය පහසුකම් සහිතව සහ දීමනා සහිතව ඉවත්විය හැකියි. එහෙමෙ නැතුව පැනලා ගියොත්, සේවට වාර්තා නොකර සැඟවී ගියොත්, අර ඇපය රාජසන්තක වෙනවා. නිත්‍ය හමුදාවේ සියලු දෙනාටම ඉතා උසස් මට්ටමේ වෘත්තීය පුහුණුවක් ලැබෙන අතර සේවයේ යෙදී සිටියදී දේශීය මෙන්ම විදේශීය පාඨමාලා වලට යොමු කෙරෙනවා. විශේෂයෙන් අධිකාරිලත් නිලධාරීන් (දෙවැනි ලුතිතන් සිට ලුතිතන් ජෙනරල් දක්වා) විදේශීය පාඨමාලා සඳහා යොමු කෙරෙනවා.

      යුද හමුදාවේ තියනවානේ රෙජිමේන්තු. ගැමුණු, සිංහ, ගජබා, කොමාන්ඩෝ වගේ. (තව ගොඩක් තියනවා.) ඒ සෑම රෙජිමේන්තුවක්ම හැදිලා තියෙන්නේ නිත්‍ය හමුදාවේ සහ ස්වේච්ඡා හමුදාවේ බලඇණි එක්වීමෙන්. නමුත් ජ්‍යෙෂ්ට නිත්‍ය හමුදා බලඅණියි.

      ස්වේච්ඡා හමුදාව පවත්වාගෙන යන්නේ ආධාරක සේනාවක් හැටියටයි. සාමාන්‍යයෙන් නිත්‍ය හමුදාවට බඳවාගන්නේ වයස අවුරුදු 18 – 22 අතර අයවලුන්. නමුත් ස්වේච්ඡා හමුදාවට බඳවා ගැනීමේදී උපරිම වයස් සීමාව කාලීනව ඊට වඩා වැඩි කල හැකියි. ඔවුන්ට දෙන පුහුණුව නිත්‍ය හමුදාවට දෙන පුහුනුවම වුවත් විෂයය කරුණු ඉතා ගැඹුරටම ගෙන යන්නේ නැහැ. කෙසේ වෙතත් සේවයී යෙදී සිටියදී පුහුණුවද ලැබෙනවා. නිලධාරීන්ට අවශ්‍ය පරිදි විදේශ පුහුණුව ලැබෙනවා. එමෙන්ම අවශ්‍ය පරිදි නිත්‍ය සේවයට ස්වේච්ඡා නිලධාරීන් සහ සෙබළුන් ස්ථිරව අන්තර්ග්‍රහණය කරනවා. එමෙන්ම යුද්ධමය අවශ්‍යතා යටතේ පුහුණුව වෙනසකින් තොරව ලබාදිය හැකියි. කෙසේ වෙතත් සම්ප්‍රදායයක් වශයෙන් ස්වේච්ඡා බලඇණි පමණක් යොදවා, සම්පූර්ණ ක්‍රියාන්විතයක් සිදුකරන්නේ නැහැ. (Offensive Role) ආරක්ෂාව පිලිබඳ රාජකාරිනම් සම්පූර්ණයෙන් බාර දෙනවා. (Deffensive Role) නිත්‍ය හමුදාව සහ ස්වේච්ඡා හමුදාව අතර නිල ඇඳුම් වලින් හෝ නිළ සහ තනතුරු වලින් හෝ වලින් හෝ ඒ ඒ නිලයට අදාල බලතල වලින් හෝ වැටුපෙන් හෝ අනෙකුත් පහසුකම් වලින් හෝ කිසිදු වෙනසක් නැහැ. වීරක්‍රියා සඳහා ලැබෙන පදක්කම්, අනෙකුත් සේවා පදක්කම් එලෙසමයි වෙනසක් නැහැ. (ලංකාවේ පළමු වරට, ත්‍රිවිධ හමුදාවේද පළමු වරට, අපේ රටේ උසස්ම පදක්කම වන, පරම වීර විභූෂණය හිමි වුනේ, ස්වේච්ඡා නිලධාරියකු වූ, කපිතන් සාලිය අලදෙනියටයි.) නමුත් නිත්‍ය හමුදාව සෑම විටම ස්වේච්ඡා හමුදාවට වඩා ජ්‍යෙෂ්ටයි. ස්වෙච්චා හමුදාවේ වසර දහයක සේවා කාලයක් ඇති කපිතන් කෙනෙක් සිටිනවායයි සිතන්න. නිත්‍ය හමුදාවේ වසර හතක සේවයක් ඇති කෙනෙක් අද කපිතන් නිලයට උසස් වුනානම් ඔහු අර ස්වේච්ඡා හමුදාවේ කපිතන්ට වඩා ජ්‍යෙෂ්ටයි. ස්වේච්ඡා හමුදාවේ නිලධාරියකුට ලැබිය හැකි ඉහලම පත්වීම වන්නේ ස්වෙච්චා බලසේනාවේ නියෝජ්‍ය සේනා විධායක තනතුරයි. යාහැකි උසස්ම නිලය වන්නේ මේජර් ජෙනරල් නිළයයි. එහි සේනා විධායක තනතුර උසුලන්නේ සෑම විටම නිත්‍ය හමුදාවේ මේජර් ජෙනරල් වරයෙක්. එකම නිලයේ වුනත් නිත්‍ය හමුදාවේ මේජර් ජෙනරල් ජ්‍යෙෂ්ටයි. ස්වේච්ඡා හමුදාවේ නිලධාරීන්ද ගිවිසුමකට අත්සන් කලයුතුයි. සෙබළුන්ට නැහැ. සාමාන්‍යයෙන් පැරණි සම්ප්‍රදාය වූයේ ස්වේච්ඡා හමුදාවේ නිලධාරීන් ලෙස බඳවාගනු ලබන්නේ කිසියම් විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන අයවලුන් පමණයි. දැන්නම් එය එලෙසම ක්‍රියාත්මක වන්නේ නැහැ. අපි හිතමු රජයේ මාණ්ඩලික නිලධාරියකු ස්වේච්ඡා හමුදාවේ නිලධාරියකු ලෙස හමුදාවට බැඳුනා කියා. ස්ථිර රාජ්‍ය සේවයේ කාර්යාල කාර්ය සහායකයකු සෙබලෙකු ලෙස බැඳුනා කියා. මේ දෙදෙනා ස්වේච්ඡා හමුදා සේවයේ යෙදී සිටිනතාක්කල් ඔහුගේ සාමාන්‍ය රැකියාවේ වැටුප එලෙසම ගෙවිය යුතුයි. අහිමි වන්නේ අතිකාල දීමනා වැනිදේ පමණයි. අර්ථසාධක අරමුදල, වැන්දඹු අනත්දරු දීමනා, එලෙසම හිමියි. එසේම කාර්යක්ෂමතා කඩඉම් වලින් සමත්වීම දිය යුතුයි, යුද්ධය නිසා ඒ විභාග වලට පැමිණිය නොහැකි බැවින්. යුද හමුදාවෙන් ඔවුන්ට වැටුප් ගෙවන්නේ මෙහෙමයි. ඔහුගේ සාමාන්‍ය රැකියාවේ මූලික වැටුප සහ යුද හමුදා නිලයට අදාළ මූලික වැටුපෙන් වැඩි කෝකද කියා බලා (අහන්න දෙයක් නැහැ හමුදා වැටුප වැඩියි.) ඒ දෙක අතර වෙනස සහ හමුදාවෙන් ලැබෙන අනෙකුත් දීමනා සහ වරප්‍රසාද (මාණ්ඩලික රථ, දුරකථන බිල් ගෙවීම, ගෙවල් කුලී සහ තවත් දේ ) ලැබෙනවා. ස්වේච්ඡා හමුදාවේ සෑම නිලයකුටම අව්ශ්‍යවිටක වැටුප් රහිත දීර්ඝකාලීන නිවාඩුවක් (වසරක් දෙකක් වුනත්) ගත හැකියි. හැබැයි යන්නට පෙර හමුදාවෙන් දී ඇති සියල්ල හමුදාවට බාරදී යායුතුයි. ඉල්ලු වහාම දෙන බවට සහතිකයක් නැහැ. යුද්ධමය තත්වය අනුවයි තීරණය වන්නේ. එසේම හදිසි තත්වයක් මත කැඳේව්වොත් වහාම ආ යුතුයි. නැත්නම් අත්අඩංගුවට ගන්නවා. එමෙන්ම හමුදාවෙන් විශ්‍රාම වැටුප් ලබා ගැනීමටනම් එලෙස කැඩි කැඩී හෝ, වසර 20 ක් සම්පූර්ණ කල යුතුයි, තමන්ට වයස 57 පිරෙන්නට පෙර. වෘත්තීය විශේෂඥයින් (වෛද්ය, ඉංජිනේරු, ගණකාධිකාරී, තොරතුරු තාක්ෂණය, නීති, වැනි) කෙලින්ම ලුතිතන් නිලයේ සිට බ්‍රිගේඩියර් නිලය දක්වා නිලයන්ට බඳවාගන්නා අතර, එහිදී වයස් සීමාවන් සලකන්නේ නැහැ. ඔවුන් බඳවාගන්නේ ස්වේච්ඡා හමුදාවටයි.

      යුද හමුදාවට බැඳුනු කෙනෙකු ඉන් විශ්‍රාම ගියා කියා, ඔහු සම්පූර්ණයෙන් යුද හමුදාවෙන් ඉවතට යන්නේ නැහැ. ඔවුන් යන්නේ උප සේවයටයි නිත්‍ය හමුදාවේ අය නිත්‍ය උප සේවයටත්, ස්වෙච්චා හමුදාවේ අය ස්වේච්ඡා උප සේවයටත් තමයි දාන්නේ. එයින් අදහස් කරන්නේ යම් දිනයක රටට ලොකු අභියෝගයක් එල්ලවුනොත් ඔලුවේ පන තියනවනම් ඔවුන්ව නැවත සේවයට කැඳවනවා කියන එකයි.

      උත්තරය දිග වැඩිද?

      • යුද හුමදා ස්වේච්ඡා බල සේනාවට වෘත්තීය විශේෂඥයින් (වෛද්‍ය, ඉංජිනේරු) අය බදවා ගන්නවා කියලා පත්තරේ තියෙනවා. මටත් බැදෙන්න ආසයි. අනිවාර්්‍යන්ම ඒගොල්ලෝන්ටත් හමුදා පුහුනුව ලැබෙනවද? ඒහෙනම් මරු

        • ඒ ගොල්ලන්ට ලැබෙන්නේ මහා ලොකු පුහුණුවක් නෙවෙයි. නිල ඇඳුම ඇඳීම, ශාරීරික අභ්‍යාස, සාමාන්‍ය අචාර සමාචාර සරඹ විධි, වෙනත් යුද හමුදා පිළිවෙත් ආදිය ගැන පුහුණුවක් පමණයි ලැබෙන්නේ. සටන් ඒකකයකදී ලැබෙන බර පුහුණුව ලැබෙන්නේ නැහැ.

      • නමුත් ඒ ගොල්ලොත් ඉදිරි සංග්‍රාම භූමියට යනව නේද? ඉස්කෝලෙදි කැඩෙට් කරා නම් අපරාදේ ඔය උණ හොද කරගන්න තිබ්බා අප්පා. දැන් තමා තේරෙන්නේ ගොං කම්. මට නම් මුලින්ම ඕකට ආසා හිතුනේ මට TAKEWANDO සටන් කලාට ඉ‍ගැන්නුව කොරියන් ජාතික මාස්ටර් කෙනෙක්. එතුමා අපිට හරිම තද විදිහට හිටියේ. මට ජීවිතේට හම්බ වෙච්ච හොදම ගුරුවරයා. එතුමාගෙන් තමා හමුදා පුහුණුව කොයි වගේද කියලා තේරුම් ගත්තේ. අපි පොඩි වුනත් දරන්න පුලුවන් සැර දඩුවම් ලැබුනා. (එතුමා SF,STF වලටත් ඒ දවස්වල ඉගැන්නුවා කියලා ආරංචියි)
        අදාල නැති වුනත් උණ‍ට හේතු කාරණාව කිව්වේ ඕං

        • ඉදිරි සටන් භූමිය කියන්නේ සටන සිදුවන තැනට යන්නේ නැහැ. (යවන්නෙත් නැහැ) සටන් භූමියේ පසුපසින් තිබෙනවා ක්ෂේත්රයේදීම ප්‍රථමාධාර ලබාදී තුවාල කරුවන් බේරාගන්න ස්ථාන. ඒ තැන්වලටනම් යවනවා. ඒ තැන තරමක් අනතුරුදායකයි. සතුරු කාලතුවක්කු ප්‍රහාර, මෝටාර් ප්‍රහාර, ගුවන් ප්‍රහාර වලට ලක්විය හැකියි. නමුත් එවැනි වෘත්තිකයන්ට උගන්වන්නේ නැහැ කැලෑ සටන්.

  18. උත්තරය විස්තර සහිතයි. දැන් උප සේවයට ගිය කියන්නේ විශ්‍රාම ගිය වගේ දෙයක්නේ. විශ්‍රාම වැටුප හම්බෙනවා, නිල අඩුම අදින්නේ නෑ වගේ දෙයක්?
    එතකොට අධිකාරියෙන් ඉවත් කිරීම කියන්නේ “demote” කරනවා වගේ දෙයක්ද? තව විශ්‍රාම ගන්නනවා කියන්නේ බලෙන් විශ්‍රාම යවනවා කියන එකද? (මේවා මේ ගැසට් එකේ තියෙන ඒවා. කාලෙකට කලින් තේරුම නොදන්නවා හා එතරම් අදාල නොවුනට බැලුවා)

    • ඇත්තටම විශ්‍රාම ගියා කියන්නේ විශ්රාමයම තමයි. යුද හමුදා පනත අනුව තමයි ඔවුන් උප සේවයට දමන්නේ. නමුත් කවදාවත් ඒ අයව (පහුගිය යුද්දෙදිවත්) ආපසු කැඳවපු අවස්ථාවක් නම් නැහැ. යුද හමුදාවේ අධිකාරිලත් නිලධාරීන් කියන්නේ දෙවැනි ලුතිතන් සිර ජෙනරල් දක්වා නිලයන්. ඔවුන්ගේ සේවය අසතුටුදායකනම්, අපකීර්තිසහගත නම්, යුද හමුදා පනතට පටහැනි බරපතල විෂමාචාරයක් කලානම්, යුද හමුදා මූලික පරීක්ෂණ උසාවියකින් හෝ, බලසේනාධිපති, සේනාංකාධිපති, ආරක්ෂක සේනා ආඥාපති, වැනි ඉහල නිලධාරීන් යුද හමුදාධිපති තුමාට වාර්තා කොට කරනු ලබන පරීක්ෂණයකින් වරදකරු බව ඔප්පු වුනොත් හෝ, යුද්ධාධිකරණයකින් දෙන තීන්දුවක් මගින් හෝ සේනාධිනායකයා වන ජනාධිපතිට පුළුවන්, ඕනෑම අධිකාරිලත් නිලධාරියකු අපකීර්තිසහගතලෙස හෝ එසේ නැතිව හෝ අධිකාරියෙන් ඉවත් කරන්න. අපකීර්තිසහගත ලෙස ඉවත් කිරීමේදී කරන චාරිත්‍රයක් තියනවා. නමුත් මිනිස්කම සලකා බලා එය කරන්නේ නැහැ. එහිදීකරන්නේ අණදෙන නිලධාරියාගේ සිට එම බල ඇණියේ කණිෂ්ටතම සොල්දාදුවා දක්වා සියලු දෙනා තනි පෙළක් හදනවා. අණදෙන නිලධාරියා ඉන්නේ සරඹ භූමියේ. කනිෂ්ඨතම සෙබලා ඉන්නේ කඳවුරේ ප්‍රධාන ගේට්ටුව අසල. දඬුවම ලබන නිලධාරියා ඔහුගේ පුද්ගලික බඩුබාහිරාදිය සහිත මල්ලත් සමග නිල ඇඳුමෙන් සැරසී අණදෙන නිලධාරියා වෙත එනවා. අණදෙන නිලධාරියා ඔහුට අපහාසයෙන් බැණ, තමන්ගේ කඩුවෙන් අර නිලධාරියාගේ උරහිසේ ඇති අධිකාරි ලාංඡන (තරු) කපා දමා ඔහුට පා පහරක් දෙනවා. ඊළඟට ඉන්න නිලධාරීන්ද පිලිවෙලින් ඔහුගේ නිල ඇඳුමෙන් කෑල්ල බැගින් ඉරා පහරදී අපහාස කර එලවනවා. අන්තිමට ඔහු සොල්දාදුවන්ගේ අතින්ද පහර ලබනවා. අන්තිම කනිෂ්ඨ සෙබලා ඔහුට පා පහරක් දී ගේට්ටුවෙන් එලියට එලවනවා. මේ සියල්ල අවසන් වනතුරු තූර්ය වාදක කණ්ඩායමෙන් ඒ සඳහාම විශේෂවූ වාදනයක් ඉදිරිපත් කරනවා. (මමත් අහලා තියනවා පමණයි. දැකලා නැහැ) demote කියන්නේ නිළයෙන් පහත හෙලීමනේ. අධිකාරිලත් නිලධාරියකු කවදාවත් නිළයෙන් පහත හෙලන්නේ නැහැ. නිලධාරීන් නොවන අයවලුන් පමණයි නිළයෙන් පහත හෙලන්නේ. නිලධාරීන්ට කරන්නේ එක්කෝ ඔහුට තව දුරටත් උසස්වීම් නොදී ඉන්නවා. එවිට ඒ ඒ නිලයට අදාලව සිටිය හැකි උපරිම වයස් සීමාවට පැමිණිවිට (ලුතිතන් අවු 40, කපිතන් අවු 45, මේජර්, ලුතිතන් කර්නල්, කර්නල්, අවු 55, බ්‍රිගේඩියර්, මේජර් ජෙනරල්, ලුතිතන් ජෙනරල් යන නිලයක හොඳින් හිටියත් නරකින් හිටියත් සේවය කලහැක්කේ වසර 4 යි. ඊට පෙර අවු 57 පිරුනොත් විශ්‍රාම ගතයුතුයි.ඒ අවුරුදු 4 අවසානයේ ඊළඟ උසස්වීම නැත්නම් මොන වයසේ හිටියත් විශ්‍රාම යා යුතුයි) සේවා කාලය අනුව විශ්‍රාම වැටුප් ඇතුව හෝ නැතුව හමුදාවෙන් ඉවත්වෙන්න සිදුවෙනවා. ඒ හැර සේවය තවදුරටත් අවශ්‍ය නොවේ යන තීරණය මත විශ්‍රාම ගන්වන්නට පුළුවන්. එක්තරා ඉතා ජ්‍යෙෂ්ට නිලධාරීන් දෙතුන් දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දැම්මා 2000 – 2002 කාලයේ, තමන්ගේ උසස්වීම් දෙන්න කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය ආරක්ෂක අමාත්‍ය වරයාට නියෝග කළා වහාම උසස්වීම් දෙන්න කියා. අර නඩු තීන්දුව එන්න කලින් (ඔවුන් දිනන බව දැනගෙන වෙන්න ඇති) ආරක්ෂක ලේකම් වරයා ජනාධිපතිට නිර්දේශ කළා ඒ නිලධාරීන්ගේ සේවය තව දුරටත් අනවශ්‍ය බව. ජනාධිපති වරයා තමන්ගේ බලතල අනුව ඔවුන් විශ්‍රාම යැව්වා. තීන්දුව ආවේ ඊට පස්සේ. ඉතින් වැඩක් නැහැනේ.

  19. ඉතාමත් සම්පුර්ණ විස්තරයක්. ගත්ත මහන්සියට ඔබතුමාට ස්තුතියි.

    තව එක ප්‍රශ්නයක් තියෙනවා (ඔබතුමාට මම කරදර කරනවා වැඩිද මන්ද? : / ).
    බලසේනා හෝ සේනාංක වල නම නැත්නම් අංකය සාදා ගන්නේ කොහොමද?
    55 සේනාංකය කියුවට සේනාංක 55 නැහැනේ. 553 බලසේනාව (උදාහරණයක් විදිහට ) කියන්නේ 53 සේනාංකයේ 3 වන බලසේනාව කියන එකද?
    සේනාංක නම නැත්නම් අංකත් ඒ විදිහට කුමක් හෝ ප්‍රදේශයක හදුන්වන්නද තියෙන්නේ?

    • දැනට කෙටියෙන් කියන්නම් පස්සේ දිග විස්තරයක් ලියන්නම් පෝස්ට් එකක්ම. යුද හමුදාවක විවිධ බලකායයන් (Corps) තිබෙනවා. පාලනය සඳහාත් ක්‍රියාන්විත රාජකාරියේ යෙදවීම සඳහාත් මුලින්ම ඒවා ආරක්ෂක සේනා (Security Force Headquarters) වලට බෙදනවා. ඒවා හැඳින්වෙන්නේ ඒ ඒ ප්‍රදේශ වල නමින්. යාපනය ආරක්ෂක සේනා බල ප්‍රදේශය, වන්නි ආරක්ෂක සේනා බල ප්‍රදේශය අන්න ඒ වගේ. ඒ යටතේ තිබෙනවා සේනාංක. (Division) අපි හිතමු 1 වැනි සේනාංකය 2 වැනි සේනාංකය 3 වැනි සේනාංකය කියලා සේනාංක තුනක් තිබෙනවා කියා. එයින් 1 වැනි සේනාංකය යටතේ බලසේනා (Brigade) තුනක් තිබෙනවා කියා සිතමු. එවිට ඒ බලසේනා තුන වන්නේ 11 බලසේනාව, 12 බලසේනාව සහ 13 බලසේනාව, 2 වැනි සේනාංකය යටතේ නම් 21, 22, 23, බලසේනා. බලසේනාවක් යටතේ හමුදා ඒකක (Army Units) හෙවත් බල ඇණි (Battalions) තුන හතරක් තිබෙනවා. මුළු රටම 1,2,3,4,5, වගේ බලකා (Corps) වලට කැඩුවොත් 1 වැනි බලකාය (1 Corps) යටතේ 11 සේනාංකය (11 Division) 12, සහ 13 වශයෙන් සේනාංක හැදෙනවා. ඒ ආකාරයට 5 වැනි බලකාය යටතේ 51, 52, 53, යනුවෙන් සේනාංක හැදුනොත් ඒ සේනාංක යටතේ ඇති බලසේනා (Brigades) 511, 512, 513, ආදී වශයෙන් නම් කෙරෙනවා.

  20. 533 මතක් උනේ 2000-2001 කාලේ සිද්දි නිසා. මට මතක හැටියට සරසාලේ සිදු වූ සටනක් නිසා.

  21. හැමදේම පැහැදිලි..

  22. හ්ම්ම්ම් ගොඩක් දුරට පිටත් මේවා වැදගත් වෙනවා ඩෙස්ක්ටොප් සපෝර්ට් වලට මෙහෙ ඉන්න ඉන්දියන් පකිස්තාන් හරක් එක්ක වැඩ කරද්දී කියන දේ නෙවෙයි උන් කරන්නේ. මම මේ පොස්ට් එක බුක්මාර්ක් කරගත්තා.

    පත්මට කැරකිල්ල එකනම් උපරිම ලොල්. අර මිනිහට මල පනින්න ඇති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: