විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  මේ ලිපිය ලියන්න පටන්ගත්තේ 2013 මැද භාගයේදී කියලා කිව්වොත්, ඔබ අතරින් සමහර අය, එය විශ්වාස නොකරනු ඇති. නමුත්, දිනෙන් දිනම ලිපිය ලිවීම මගහැරුණා. ඔන්න දැන් තමයි, ලිපියේ පළමුවැනි කොටස ඔබ වෙත ගෙන එන්න පුළුවන් වුණේ. හැබැයි පළමුවෙන් එක කරුණක් අවධාරණය කලයුතුයි. මේ ලිපිය ඉක්මණින් කියවා අවසන් කරන්නට බැහැ. අවබෝධය ලබාගැනීමට නම්, ලිපිය එකවරකට වඩා කියවන්න වෙනවා. ඒ වගේම හමුදා ක්‍රියාන්විත පිලිබඳ ඔබට සතුටුදායක අවබෝධයක් ලබාගන්නට, මේ ලිපිය ඉවහල් වෙනවා ඇතැයි මා සිතනවා.

   ඕනෑම වැඩක් හරියට කරන්න නම්, හොඳ සැළැස්මක් තිබිය යුතු බව, මම ඔබට අමුතුවෙන් කියා දෙන්නට අවශ්‍ය නැහැනේ. ජීවිතයේ යම්කිසි දියුණුවක් අපි ලබනවානම්, ඒ දියුණුවේ රහස වන්නේ, සැළැස්මක් අනුව වැඩ කිරීම බවත්, අපි දන්නවා. ගෙයක්, වාහනයක්, ගෘහ භාණ්ඩයක්, වැනි දෙයක් හදන්නෙත් සැලැස්මකට අනුව. අපි ඉගෙන ගන්නේ, විභාග වලට මුහුණ දෙන්නේ සැළැස්මකට අනුව. එහෙනම් මේ සැළැස්ම කියනදේ, අපේ ජීවිතයට බද්ධ වූ දෙයක් බව පෙනෙනවා. යුද්ධ කරන්නත් සැළැස්මක් ඕනේ. වසර දහස් ගණනක ඉතිහාසයේ සිදුවූ යුද්ධ වලදී පවා, සැළැස්මක් අනුව ක්‍රියාකර ඇති බව, ඉතිහාස කතාවලින් අප කියවා තිබෙනවා. ඉතින් අද මා ඔබ වෙත ගෙන එන්නේ යුද්ධයකදී සැළැස්මක් හදන්නේ කොහොමද, ඒ සැළැස්ම ක්‍රියාවට නගන්නේ කොහොමද, කියන මාතෘකාවයි.

මෙහිදී මා මුලින්ම කිවයුතු වැදගත් කරුණක් තිබෙනවා. ඒ තමයි, මේ කතාකරන්නට යන්නේ, සංග්‍රාමික කටයුතු නමැති විෂයයේ, ඉතා ගැඹුරු පරිච්ඡේදයක් බව. ඒ නිසා, මේ ලිපිය කොටස් කීපයකින් ඉදිරිපත් කරන්නටයි, මා සූදානම් වන්නේ. එසේ නොකළොත්, මෙය අවබෝධ කරගැනීමත් අපහසු වන අතර, නීරස බව නිසා, ඉතිරි කොටස් නොකියවා අත්හැර දැමීමටත්, සමහරුන්ට සිතෙන්න පුළුවන්. හැකිතරම් කුඩා කොටස් වලින් තමයි මේ ලිපිය ඔබට ලබාදෙන්නේ.

ඉහත සජීවීකරණ රූපය ලබාගත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙනි.

  සංග්‍රාමික තත්ව අගැයීමක් සහ සැළැස්මක් (Military Appeciation & Operation Plan) සැකසීම ඉතා කල්පනාකාරීව කලයුතු භාරදූර කාර්යයක්. එය පැහැදිළි කිරීම සඳහා මම ඔබේ ජීවිතයෙන්ම උදාහරණයක් ගන්නම්කො. (පින්තූරය ගත්තේ මෙතනින්) ඔබ පෙම්වතෙක් කියා හිතන්න. (ඔන්න………. පුදනකොටම කාපි යකා කිව්වලු. මම කිව්වේ හිතන්න කියලනේ. ආය අරවා මෙව්වා හිතන්න එපා) දැන් ඉතින් ඔබ නියම SPBR කෙනෙක් කියලා හිතන්න. මොකක්………?, SPBR දන්නෙ නෑ? ඇයි දෙයියනේ, මේ නාකි අපිටනේ දැන් ලව් කරන හැටිත් උගන්නන්න වෙලා තියෙන්නේ. හරි හරි ළමා………….යි, ලියාගන්න………..SPBR = ත්‍ය ප්‍රේභෘංග රාජයා. ඉතින් දැන් ඔබ ඔබේ මේ අකලංක වූ, නිර්ව්‍යාජ වූ, නිර්මල වූ, අති පාරිශුද්ධ වූ, සුරම්‍ය වූ, අර වගේ වූ, මේ වගේ වූ,  ප්‍රේමය වෙනුවෙන් මොනවද නොකරන්නේ. 😀 😀 😀  ( අර සින්දුවකත් තියනවා නේද, ‘ප්‍රේමය නම් – රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි….පාරිශුද්ධයි…සුරම්‍යයි’ කියලා. හැබැයි සමහර ප්‍රේම නම්, පාරේ සුද්දයි – හූරන් කයි තමා     😀  

  ඔන්න ඉතින් සාම්ප්‍රදායික ක්‍රමයට ඔබේ මේ ප්‍රේමයටත් මහා බාධක පරයටත් වඩා වැඩි බාධාවන් එල්ල වෙලා. ඉතින් ඔබ මොනවද කරන්නේ. සියළු උත්සාහයන් දරනවා මේ බාධක ජයගන්න. නමුත් කෙල්ලගේ පැත්තේ ඉන්න සතුරෝ ඉතාම ප්‍රබලයි. බුරුලක් ඇත්තෙම නෑ. අන්තිමට මොකද කරන්න වෙන්නේ? ඔබත් ලේසියෙන් පසුබසින කොල්ලෙක් නෙවෙයි. ඒ නිසා ඔබ කල්පනා කරනවා, හොඳම විසඳුම ‘ජම්පිං ගොයින්’ හෙවත් පැනලා යාම තමයි කියලා.

  හැබෑටම අවුරුද්දකට අපේ රටේ ජෝඩු කීයක්‌ නම්  පැනලා යනවා ඇද්ද? එයින් ජෝඩු කීයක්‌ ජීවිතයේ ඉදිරි කාලය සාර්ථක කරගනියිද? සාර්ථක කරගත් අයත් අසාර්ථක කරගත් අයත් ඉන්නවා. ඔබ දන්නා කියන, ඒ වගේ ‘ජම්ප් ඇන්ඩ් වෙන්ට්’ ජෝඩු, ඕනෙතරම් ඇති. නමුත් යුද්ධයකදී සැළැස්මක් අසාර්ථක කරගන්නවා කියන්නේ, ජීවිත දහස් ගණනක්, රටකින් කොටසක්, මිළ කළ නොහැකි තරම් දේපල, අහිමිවී යාහැකි මහා බරපතළ විපාකයක්. ඒ නිසා, සංග්‍රාමික සැළැස්ම, සෑමවිටම, එකම මොළයකින් විතරක් කළහැකි දෙයක් නොවෙයි. හැබැයි බොහෝවිට, එහි මුලික සංකල්පය එක මොළයකින් තමයි පටන්ගන්නේ.

  අපි දැන් ආපහු අපේ ආදර කතාව හෙවත් ප්‍රේම යුද්ධයට බහිමුද? දැන් ඉතින් ඔබ සත්‍ය ප්‍රේම භෘංග රාජයෙක්නේ. ඉතින් ඔබේ අනාගත රැජිණියව ඔබටම අයිති කරගන්න සෑහෙන සටනක් දෙන්න වෙනවා. ‘උන්මාද චිත්‍රා/දීඝ ගාමිණී’ කතාව වුණත්, එහෙම සංග්‍රාමික ආදර කතාවක්නේ. ඒ ඉතිහාස කතාව ඇසුරෙන්, මිල්ටන් පෙරේරා සහ රුක්මනී දේවී? ගායනා කර තිබෙන, ‘ඉතින් පලක් නැහැ කුමරිය හැංගිලා – ඔබෙයි මගෙයි පෙම් කතාව එළිවෙලා’ කියන ලස්සන ගීතය ඔබ අසා තිබෙනවාද? මටනම් අදටත් එය මතකයි.

  හොඳයි, දැන් අපි, ඔබ මුහුණ දී තිබෙන තත්වය, මුලින්ම විමසා බලමු. සංග්‍රාමික කටයුතු වලදී, මුලින්ම, දැනට තිබෙන තත්වය පිළිබද පුරෝකථනයක් (narrative) සකස් කෙරෙනවා. මෙය බුද්ධි තොරතුරු, චන්ද්‍රිකා සහ ගුවන් ඡායාරූප, වෙනත් විශ්වාසදායක මාර්ග වලින් ලබාගත් තොරතුරු, ආදිය පදනම් කරගෙනයි සකස්කර තිබෙන්නේ. මෙහිදී බොරු වැල්වටාරම් ලියන්නේ නැහැ. ‘පොල්ලෙන් ගැහුවා වගේ’ යථාර්ථය දැක්විය යුතුයි. හොඳයි, මෙන්න ඔබේ ප්‍රේම යුද්ධයේ පුරෝකථනය. මෙය ඔබ ඔබටම ලියාගන්න පුරෝකථනයක්. ඇයි එහෙම කරන්නේ? මතක තබාගන්න. යුද්ධයක් ඇරඹීමේ පළමුවැනි පියවර තමයි, මේ සවිස්තර පුරෝකථනය. මෙය පදනම් කරගෙන තමයි, යුද සැළැස්ම සකසන්නේ.

  ප්‍රේමෝන්මාද අප්පුහාමිලාගේ ප්‍රේමපාල වන මම අවිස්සාවේල්ලේ පදිංචි තරුණයෙක්මි. මම, නුගේගොඩ දේවාල පාරේ පදිංචි, උන්මාද චිත්‍රාගේ බාප්පාගේ කාමිණී නමැති තරුණිය සමග කලක සිට ප්‍රේම සම්බන්ධයක් පවත්වමින් සිටිමි. මේ සඳහා මගේ මෙන්ම  කාමිණී ගේ පාර්ශ්වයෙන්ද මතුව තිබෙන්නේ දැඩි විරෝධයක්. මාගේ අභිමථාර්ථ සාධක චින්තාමාණික්‍යය වූ කාමිනී 😀 😀 (මතකද වික්ටර් රත්නායක කියනවා, ‘මංගල පෝරුව මස්තකයේ ….මම ඇය අත ගනිමී……….අමන තරුණය’ කියලා) සමග විවාහවීමට නම්, මුලින්ම ඇය සමග වෙනත් ප්‍රදේශයකට පලා යාම හැර වෙනත් විකල්පයක් නැති බව පැහැදිලිවම පෙනෙනවා. කාමිණීට අයියලා දෙන්නෙක් ඉන්නවා. ඔවුන් කාමිනීගේ ගෙදරමයි ඉන්නේ. ඊට අමතරව, කාමිණීගේ බාප්පා, ඒ අසළ නිවසක වෙසෙන අතර, ඕනෑම වෙලාවක, හදිසි කලබලයකදී, ඒ පැත්තේ කොල්ලන් හත් අට දෙනෙකු වහාම කැඳවාගන්නත්, වාහන දෙක තුනක් ලබාගන්නත් ඔහුට පුළුවන්. ඔහු අතේ පිස්තෝලයක් තිබෙන බවත් සමහරු කියනවා. ඔහු ප්‍රදේශයේ කුප්‍රකට ගණන්කාරයෙක්. අපේ ප්‍රේම සම්බන්ධය හෙළිවීමෙන් පසු, කාමිණීගේ ගමන් බිමන්, ඇගේ දෙමවුපියන් විසින් අතිශයින් සීමා කරලා තියෙන්නේ. ඇය ගෙදරින් පිට යනවානම්, ඇගේ අම්මා ඇය සමග යනවාමයි. සමහරවිට අයියලා දෙන්නගෙන් එක්කෙනෙක්ද යනවා. එහෙම කරන්න හේතුව, ‘මට හිතුනොත් මම ඔලුව හැරිච්ච අතක යනවා’ කියා කාමිණී ප්‍රකාශ කර තිබීමයි. එමෙන්ම කාමිණී මා සමග පැනයනු ඇතැයි කියන සැකයත් ඔවුන් තුළ ඇති බව සිතිය හැකි ප්‍රකාශ, ඔවුන් වරින් වර කර ඇති බව මගේ මිතුරන්ට ආරංචි වී තිබෙනවා. මේ අතර කාමිනීව ව්‍යාපාරිකයකුට විවාහ කරදීමට යන බව, ඇය මා වෙත දන්වා එවා තිබෙනවා. ඒ ව්‍යාපාරිකයා, කාමිණීට වඩා අවුරුදු 15 ක් පමණ වයසින් වැඩි වන අතර, තලත්තෑනි පෙනුමකින්ද යුක්තයිලු. කෙසේ වෙතත් ලබන මස 26 වැනිදා කාමිණීගේ ගෙදරදී විවාහය ලියාපදිංචි කර, පසුව විවාහ උත්සවයක් ගැනීමට යන බවත්, මේ ගැන රහසිගතව කරුණු සොයාබැලීමට, මා විසින් යොදවා තිබෙන, මගේ මිතුරන්ගෙන්, වැඩිදුරටත් තොරතුරු ලැබී තිබෙනවා. මේ නිසා ඊට පෙර ක්‍රියාත්මක වී කාමිණී සමග පැනයාමට මට සිදුවී තිබෙනවා. මගේ ආධාරයට මට මිතුරන් 6 දෙනෙකු සිටින අතර, වාහන තුනක්, මෝටර් බයිසිකල් දෙකක්, ත්‍රිරෝද රථයක්, ඔවුන් සතුව තිබෙනවා. ඒ හැර, ආත්මාරක්ෂක සටන් ක්‍රම මැනවින් ප්‍රගුණ කළ මිතුරන් දෙදෙනෙකුද,  ඒ අතර සිටිනවා. මට මෝටර් බයිසිකලයක් තිබෙනවා. එය වේගයෙන් යාමට තරම් සුදුසු යාන්ත්‍රික තත්වයක නැහැ. එමෙන්ම මට මෝටර් රථ හෝ ත්‍රිරෝද රථ පැදවීමේ හැකියාවක්ද නැහැ.

space 2

 AIM – අරමුණ

1.   සියල්ලට පළමුව ඔබ ඔබේ අරමුණ පැහැදිලි කරගතයුතුයි. නිවැරැදි අරමුණකින් තොරව කිසිවක් කරන්න බැරි බව මම ඔබට අමුතුවෙන් කියා දියයුතු නැහැනේ. දැන් ඔබේ අරමුණ තමයි ඔබේ තථ්‍ය ප්‍රේමය වෙනුවෙන් ඔබේ පෙම්වතිය අයිති කරගැනීම. යුද්ධයකදීනම් අරමුණ විස්තර කරන්නේ කිසියම් සතුරු පිරිසක්, සතුරු කඳවුරක්, ප්‍රහාරයක් මගින් අත්පත් අල්ලාගැනීම/අත්පත් කරගැනීම හෝ විනාශ කිරීම ලෙසයි. අනේ ඉතින් පෙම්වතියව විනාශ කරන්න බැහැනේ. (බැන්දට පස්සේ?) ඒ නිසා අත්පත් කරගැනීම තමයි කරන්න වෙන්නේ. 😀 සමහරවිට මේ සඳහා කාලසීමාවක් නියම කරගන්න වෙනවා. අහවල් දින අහවල් වෙලාවට ප්‍රථම මෙය කළ යුතුයි කියලා. (time factor) මොකද ඊට වඩා පරක්කු වුනොත් අපට අවාසි විය හැකියි.

  (යුද්ධය පැත්තෙන් හිතමු. අපිට ආරංචියක් එනවා, සතුරන්ගේ 200 ක විතර භට පිරිසක්, තව දින දෙකක් තුළ, මඩකලපුවේ සිට අම්පාරට කැලෑ පාරවල් ඔස්සේ පයින් එන බව. අපේ ඉන්නේ 75 දෙනයි. නමුත් අපිට ආධාරයට ගෙන්න ගන්න කවුරුවත් නැහැ. යුද්ධ ටැංකි, කාලතුවක්කු, හෙළිකොප්ටර් මොකවත් නැහැ. නමුත් මේ දුර්ලභ අවස්ථාව අතාරින්නත් බැහැ. ඉතින් මොකද කරන්නේ? අන්න ඒකට මූණ දෙන්න තමයි සොල්දාදුවා පුහුණු කර තිබෙන්නේ. ආයේ කවදාවත් උන්ගේ 200 කට එක තැනකදී වැඩක් දෙන්න අවස්ථාවක් නොලැබෙන්නත් පුළුවන්. උන් ආවොත් අම්පාර වනසයි. අහිංසක මිනිස්සු මරයි. මහා විනාශයක් කරයි. අපේ ජීවිතේ පුදලා හෝ උන් වැළක්විය යුතුයි. ඒ නිසා අපි ක්‍ෂණිකව තත්ත්ව අගැයීමක් කරලා, කොහොමද 75 කින් 200 කට වැඩක් දෙන්නේ කියලා සැළැස්මක් හදනවා)

  කෙල්ලගේ දෙමවුපියෝ කෙල්ලව ගෙනිහින් කොහේ හරි හැංගුවොත් මොකද වෙන්නේ? කෙල්ලගේ අර නපුරු බාප්පා මටත් කලින් ක්‍රියාත්මක වෙලා මිනිහා ළඟ තියන ‘කට පුංචා’ ගෙන් මට වැඩක් දුන්නොත් මොකද වෙන්නේ? ඒ වගේම තමයි, යුද්ධයකදී, සතුරන් ඒ කඳවුරෙන් ඉවත් වුනොත්, සතුරා අපට වඩා කළින් පහර දුන්නොත්, මොකද වෙන්නේ? අන්න ඒ නිසා, අරමුණ ඉටුකරගැනීම සඳහා කාල සීමාවක් යොදාගන්න වෙනවා. ඊළඟට සළකා බැලිය යුතු න්‍යායාත්මක සාධක ගණනාවක් තිබෙනවා. මේ සාධක එකින් එක ඉතා සැළකිල්ලෙන් නිරීක්ෂණය කරමින්, විග්‍රහ කරමින් තමයි අගැයීම Appreciation සකස් කෙරෙන්නේ. ඒ අගැයීම පදනම් කරගනිමින් තමයි ක්‍රියාන්විත සැළැස්ම ඉන් අනතුරුව සකස් කෙරෙන්නේ. දැන් මෙතෙක් දුර මේ තොරතුරු කියවා බැලුවම, යුද්ධය ඔබ හිතන තරම් ලේසි නෑ නේද? ඒ නිසා තමයි හමුදා නිළධාරියකුට වසර කීපයක උසස් පුහුණුවක් සහ ඉන්පසු පිට රටවල පවා පාඨමාලා ලබාදෙන්නේ. එවැනි පුහුණුව සහ යුදබිමේ ලබන අත්දැකීම් තුළින් තමයි යුද්ධයක් දිනවිය හැකි මහ සෙනෙවියන් බිහිවන්නේ. එහෙම නැතුව ප්‍රාදේශීය සභා, පළාත් සභා, හෝ පාර්ලිමේන්තුවේ බොරු කයිය ගහන උන්නැහේලා ගෙන් නෙවෙයි.  

space 2

FACTORS – සාධක

GROUND AND WEATHER – භූමියේ සහ දේශගුණයේ ස්වභාවය

2. Ground in General – භූමිය පිළිබඳව පොදුවේ සලකා බැලීම

  යුද හමුදා සංග්‍රාමික සැලැස්මකදීත් මුලින්ම සළකා බලන්නේ දැනට තිබෙන යුද තත්වය හෙවත් අභියෝගය හෙවත් නොපමාව කළයුත්ත කුමක්ද කියන එකයි. ටිකක් බරපතළ විදිහට කියනවානම්, භූමිය හෙවත් පාරිසරික වාතාවරණය නැත්නම් කෙල්ල ඉස්සීමේ සටන කළයුත්තේ, කෙබඳු පරිසරයකදීද යන්න තමා, මුලින්ම වැදගත් වන්නේ. අපි හිතමු, අපි කෙල්ලව ආශ්‍රය කලාට, කෙල්ලගේ ගෙදර පැත්තේ වැඩිය ගිහින් නෑ කියලා. එහෙම වුනොත්, තමන්ම හෝ තමන්ගේ මිතුරන්ගෙන් හෙවත් මිතුරු හමුදාව (own or friendly forces), යොදවලා තමයි, ඔත්තු බැලීමේ කටයුතු කරලා, ඒ පැත්තේ සිතියම්, ගුවන් ඡායාරූප, අධ්‍යයනය කරලා, පුලුවන්නම් චන්ද්‍රිකා ඡායාරූපත් බලලා, භූමිය පිලිබඳ අවබෝධයක් ලබාගතයුතු වෙන්නේ. ඉතින් අපි දැන් තනියම නෙවෙයිනේ ‘කෙල්ල ඉස්සීමේ මෙහෙයුම’ හෙවත් ‘Operation Girl Lifting’ 😀 කරන්න යන්නේ. ඒ නිසා ඔබත් සමග ක්‍රියාන්විතයට යන සියලුදෙනාගේ ප්‍රයෝජනය සඳහා ගනු ලබන මූලික පියවර ලෙස, සංග්‍රාමික තත්ත්ව ඇගයීමක් (මේ වැඩේ යුද්ධයක්නේ) හෙවත් Battle Appreciation එකක් සැකසිය යුතු වෙනවා. ඒ නිසා තමයි අපි මේ අගැයීම හෙවත් Appreciation එක හදන්නේ. ඒ සැළැස්ම තමයි මේ විස්තර කෙරෙන්නේ.

  ඔන්න මෙතනදී තමයි අර මම කලින් කිව්ව විදිහට කෙල්ලගේ නිවස පිහිටි ප්‍රදේශය ගැන කෙටි විස්තරයක් ඉදිරිපත් කරන්නේ. කෙල්ල (යුද්ධයේදී නම් සතුරා) කිලිනොච්චියේ හිටියත්, මැදවච්චියේ හිටියත්, අලිමංකඩ හිටියත්, පාමන්කඩ හිටියත්, භූමි විස්තරය තමයි අංක එක වෙන්නේ. මෙහිදී දීර්ඝ විස්තර අනවශ්‍යයි. කෙබඳු බාධක මැද, කෙබඳු ආකාරයක ආවරණ සතුරාටත් තමන්ටත් තිබේද? වැඩේ කිරීමට යොදාගතහැකි පාරවල් සහ ප්‍රවාහන කටයුතු කෙසේද, ඉලක්කය වෙත ළඟාවන්නේ කෙසේද, ඉලක්කය හෙවත් කෙල්ල ඉන්න ස්ථානය අවට පරිසරය සහ සතුරුකම්වල තත්වය කෙසේද, වැඩේ කිරීමට කාලගුණික/දේශගුණික බාධා ඇතිවේද, (මේ පහුගිය මහා වැසි කාලය වගේ එකක් සමහර විට කෙල්ල ඉස්සීම වැනි වැඩකදී වාසියක් වෙන්න පුළුවන්. නමුත් කිලිනොච්චි, මුලතිවු, වැනි පළාත්වල මහා වැහි කාලය කියන්නේ සංග්‍රාමික කටයුතු වලට මහත් බාධාවක්. නොදකින් ඒ කුණු වැස්ස මතක් වෙනකොටත් අප්‍රසන්නයි) 

  හරි. දැන් බලමු කෙල්ල ඉන්න ප්‍රදේශය පිලිබඳ භූමි ලක්ෂණ සාධකය Ground Factor මොන වගේද කියා. ඔන්න මම හිතන විදිහට ඔබේ කෙල්ල ඉන්නේ නුගේගොඩ, පාගොඩ, දේවාල පාරේ අංක 01010 කියන ගෙදර. (බුදු අම්මේ ඇත්තටම එහෙම එකක් තිබුනොත් මම බ්ලොග් ලියලා ඉවරයි) කොහොමද විස්තර කරන්නේ? සාමාන්‍යයෙන් සමතලා භූමි ප්‍රදේශයකි. (හැබැයි දේවාල පාර හරියේ පොඩි කඳු ගැට කීපයක් තියනවා) නාගරික, ජනාකීර්ණ ප්‍රදේශයකි. අතුරු පාරවල් බහුලය. බොහොමයක් නිවාස තාප්ප වලින් වටවී ඇත. විශාල ගස් සහ තරමක් ඝනව වැවුණු රුක්ගොමු සහිත ගෙවතු අතරින් පතර දැකිය හැකිය. (මෙතැනදී වාසි අවාසිත් ස්ථානයේ අපට තිබෙන වැදගත් තොරතුරුත් පොඩ්ඩක් විස්තර කරන්න ඕනේ) අපි හිතමු කෙල්ලගේ ගෙදර ආසන්නයේ, පොඩි හිස් ඉඩමක් තියනවා කියලා, තවම නිවසක් හදලා නැති, එමෙන්ම තරමක් උස පඳුරු වලින් යුක්ත. ඒ බිම්, කොටස අපේ වැඩේට වාසියක්. අපේ ක්‍රියාන්විතයේ භට පිරිසට, එතන මුලින්ම අත්පත් කරගන්න පුළුවන්නම්, එතන ඉඳලා ඉතුරු කොටස් කරන්න ලේසියි. ඒ නිසා භූමි ලක්ෂණ සාධකය විස්තර කිරීමේදී එවැනි විශේෂ ස්ථාන ගැන කියන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි, අවට පිහිටි නගර සහ ගම් ගැනත් සඳහනක් කරන්න ඕනේ. ඒ කියන්නේ නුගේගොඩ, පිටකෝට්ටේ හන්දිය, ජුබිලි කනුව හන්දිය, යන ප්‍රදේශවත් යටත්පිරිසෙයින් විස්තර කරන්න ඕනේ.

  අමාරුද? තේරෙන්නේ නැද්ද කියන දේවල්? ‘මේකා මොන මගුලක් කියනවාද මම දන්නේ නෑ’ කියලද හිතෙන්නේ? හරි, අදට මෙතනින් නවත්තමු. මේක පුලුවන්නම් කීපවිටක් කියවන්න ටිකක් ඔලුවට වදිනතුරු. ප්‍රශ්නත් අහන්ඩකො තියනවනම්. හැබැයි අහන්ඩ නම් එපා, අපේ රටේ අහවල් ක්‍රියාන්විතය කළේ මෙහෙමද? වගේ දේවල්. උත්තර දෙන්ඩ පුළුවන් ඒවාට දෙන්නම්. තවත් සාධක ගැන ඊළඟ ලිපියෙන් සළකා බලමු.

my-signature-for-blog[1]   2014 ඔක්තෝබර් මස 08 වැනි දින 0051 පැය 

 

Advertisements

Comments on: "කරන්න දෙයක් නෑ මම ප්ලෑන් කරලා වැඩේ දෙනවා (පළමුවැනි කොටස) – Battle Appreciation and Plan (Part One)" (31)

  1. ඇති යාන්තං,කාලෙකින් සංග්‍රාමික ලිපියක් ලියල තියෙන්නේ.ජය වේවා ඉතිරි කොටසුත් ඉක්මනට දාන්න.

  2. නිර්නාමික said:

    හොඳ ලිපියක් විචාරක මහත්මයා.

  3. බොහොම ස්තුතියි. නියම ලිපියක්. ආසකරන දෙයක් ගැන ලියල තියෙන්නෙ විචාරකතුමා. අනිත් ලිපි ටිකත් ඉක්මනට දාන්න.

  4. Good information. Lucky me I found your website by chance (stumbleupon).
    I’ve saved as a favorite for later!

  5. Kamathima gaatiye post ekak theory pattha aduine sir ;-( 😐
    antima hariye idama oni mokatada? Podi udawuwak oni wadidura kiyawanna megana wishara tiyana thanak kyana puluwanda?

  6. ගැඹුරු විෂයයක් සිත්ගන්නා කතා සහ උදාහරණ මගින් සරළ ලෙස පැහැදිලි කරන්නට ගන්නා උත්සාහය ගොඩක් වටිනවා විචාරකතුමා

    • මේක හරි අමාරු වැඩක් ගුණසිංහ මහත්මයා. න්‍යායාත්මක කරුණු සිංහලෙන් විස්තර කිරීම හරිම අමාරුයි.

      බොහොම ස්තුතියි ඇගයීම ගැන.

  7. ක්සැන්ඩර් said:

    ඔය ඉඩම අර බාප්පාගේ කසිය පොට් එකක් වුනා එහෙම නං ඉතිං අත්පත් කරගත් වහා සතුරු ප්‍රහාරයකට ලක්වෙන්න ඉඩ වැඩියි. ඒ මදිවට සතුරයි පොලිසියයි දෙකම එන්න ඉඩ තියනවා.. හප්පේ..

    • හමුදා ක්‍රියාන්විතයකදී සෑමවිටම අපි මුහුණ දෙන්නේ අභියෝග වලටයි. උපක්‍රමිකව ඒ අභියෝග ජයගැනීම තමයි සටනකදී සිදුවන්නේ. ලිපි පෙළ දිගටම කියවන්නකෝ.

  8. sir
    mama serch karala baluwa tikak wenath side walinuth athatama toraturu godak:-O ! giwithetama! kiyawala iwarakaragna bri wei itin ehema subject ekaka me wage blog ekak karana obatumata sthuti karana wachana mama nam dane na

    • ඔබට බොහොම ස්තුතියි බුද්ධි මේ කාර්යය ඇගයීම ගැන. අන්තර්ජාලයේ සොයා බැලුවොත් තොරතුරු තිබෙනවා. නමුත් හරිම සංකීර්ණයි. මම පුළුවන් විදිහට හැමදෙනාටම ගැලපෙන විදිහට ලියන්න උත්සාහ කරනවා.

  9. සාමාන්‍ය ජීවිතය මමත් ඕම දේවල් කරනවා ,එතකොට ජිවිතේ මාර ගති බැනුමක් ඇහුවත් දුකක් එන්නේ නැ,ඉන්නේ යුද මනසිකත්වයකනේ ,පොඩි battle lost උනාට war එක ගොඩ 🙂

  10. හ්ම්ම්… දැන් නේ බළලා මල්ලෙන් පැන්නේ, යුධ ශිල්ප කියකියා කෙල්ලෝ උස්සන ක්‍රම කියලා දෙනවා වගේ…

  11. මම මේ ලිපිය පලවෙනකල් කාලාන්තරයක් තිස්සේ බලාගෙන හිටියා. ඒත් දැන්නම් මගේ මෙහෙයුම ඉවරයි. අපරාදේ …. .
    කලින් මේ ලිපිය කියවන්න ලැබුනානම් කියලා හිතෙනවා.
    කමක් නෑ … සර්
    ඉතුරු ටිකත් ලියන්න. තව යුද්ධ ගොඩක් ජීවිතේට ඒවිනේ .

  12. නිර්නාමික said:

    Can you give me your email address please ?

  13. […] මේ කතාවේ පළමුවැනි කොටස? මතක නැත්නම්, මෙන්න මෙතනින් ගිහිල්ලා, කියවලා එන්නකෝ. එහෙම නැතුව මේ කොටස […]

    • , the French public is pretty worked up about the Hermès/LVMH saga and rooting for the &qret;undoudog", such as it is: they feel Hermès is part of the French heritage, so that might influence the vote.

  14. […] ඔබට ලබාදෙන ලිඛිත විස්තරයක් අනුව, තනියම යුද සැලැස්මක් සකසා, සිතියමක් ඇඳ, එම භූමියේ අදාළ තැන් […]

  15. […] පිටියෙන් එන ඉල්ලීම් වලට අනුව. ඒ වගේම, ප්‍රහාරක සැලැස්මක්‌ සැකසීමේදී, කල්තබා තීරණය කරනවා, සපෝට් කොම්පැනිය […]

  16. […] අනුව, වෙන වෙනම සැලසුම් හදන්න ඕනේ. (මතකයි නේද සැලැස්මක් හදලා ගහන හැටි) නමුත්, ආරක්ෂක ප්‍රදේශයක් පවත්වා […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: