විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

musket   සෑහෙන කාලයක් අරෙහට මෙහාට අදිමින් හිටියා. කියලා දෙනවද නැද්ද? දෙනවද නැද්ද? කියලා හිතාගන්න බැරුව. පහුගිය කාලේ පුරාම, එක කට්ටියක් හරී……….ම ආසාවෙන්, මෙව්වා ගැන කියෙව්වා. අරක මෙහෙම වෙන්නේ කොහොමද? මේක අරෙහෙම වෙන්නේ කොහොමද? අරක මෙහෙම කලොත් මොකද වෙන්නේ? මේක අරෙහෙම කලොත් මොකද වෙන්නේ? කියා කියා ප්‍රශ්න ඇහැව්වා.

හැබැයි ඉතිං, පුළුවන් ඔක්කොටම උත්තර දුන්නා. බලගතු රහස් කියලා හිතන එව්වට, උත්තර නොදී මගහැරියා. සමහරු බැන්නා, ‘ඇයි යකෝ මේ රහස් මෙහෙම ප්‍රසිද්ධියේ කිව්වම, මහ විනාසයක් වෙන්න පුළුවන් නේද’ කියලා. අනේ අනේ නන්නානේ. බලනකොට සිංහලෙන් අන්තර්ජංජාලේ සැරිසරණ එවුන්ට විතරයි තහනම්. වෙනත් බාසා වෙල්ලන්ට භාෂා පාවිච්චි කරන්නන්ට තහනමක් නෑ. ඔන්න ඔහේ, ඕනේ කැකිරි ගෙඩියක්/කැකිරි වත්තක්/කෙහෙම්මලක්/ජංජාලයක්/මගුලක්/ඉලව්වක්/වෙන්න කියලා, අදනම් ඉන්තේරුවෙම්ම/සහසුද්දෙම්ම/හොරබොරු/ගුරුමුෂ්ටි/නැතුව, (හෝව් හෝව්, පොඩ්ඩක් ඇතුව) කියන එක කියනවා, බොක්කටම වදින්ඩ ඕං.

මොකක් ගැනද? ඇයි හිතාගන්ඩ බැරිද? අර අරක ගැන. ඔව්, අම්මපා, ඒක ගැන. මෙච්චරකල් වෙන එව්වා ගැන කිව්වට, මේක හංගගෙන හිටියේ, ‘හොඳ නෑ නේ ඉතිං’ කියලා හිතලා. බලනකොට මේ අපි අතරෙම ඉන්න, මීමින්නෝ, අංකුට්ටෝ, හාල් දන්ඩෝ, කුණකටුවෝ, පඟරනැට්ටෝ, පොල් ඇච්චෝ, හොච්ච දිග්ගෝ, කංකුනාලෑ ඇත්තෝ, බොට කඳාලා, ඔක්කොම දන්නවා. මේ තමුන්නැහැල වගේ පෘතග්ජනයෝ විතරයි නොදන්නේ. ඒ නිසා, තමුන්නාන්සේලාගේ පහන් සංවේගය හෙවත් ලාම්පු කණගාටුව සඳහා, ඔන්න අද කියනවා, කියනවා, කියනවාමයි.

හෝව් හෝව්, ඔච්චර තදවෙන්ඩ කාරී නෑ. මෙව්වා මෙහෙම මේ ඒකෑවර, සුටුස් ගාලා, කියන්ඩ පුළුවන් දේවල් නෙවෙයි. හුද්ද හිංගලෙන්, තාර බර ඇරලා, ලුණු ඇඹුල් දමා, පත අට එකට සිඳලා තමයි, කියන්ට ඕනැන්නේ. මෙන්න කටන්තරේ හෙවත්, මාතෘකාව හෙවත්, විෂයය හෙවත්, වෙන මොකක්හරි කමක් නෑ, අන්න ඒ අහවල් එක තමයි.

%d0%b0%d0%ba-47

   හෙහ් හෙහ් හෙහ්, කොහොමද? සුපිරියි නේද? 
 
  ඉතිං මහත්තයෝ මට බැනලා වැඩක් තියේද? මෙව්වා හදන්නේ ජීවිත නැති කරන්න තමයි. මෙව්වා ඉගෙනගත්තට, මොළේ තියන එවුන්, මෙව්වා හොයාගෙන මිනීමරන්න යන්නේ නැහැනේ. 

   මං මහත්තයලට කියලා දෙන්නේ, මෙන්න මෙහෙම දෙයක් තියනවා, ඒක මේවගේ ක්‍රියාකරනවා කියන ටික විතරයි. ඒ ගැන පොතේ දැනුමක් පමණයි දෙන්නේ. 

   කවුරු හරි හිතනවානම්, මේක බලලා, මේ ජාතියේ එකක් අරන්, පට පට ගාලා වෙඩි තියන්න පුළුවන් කියලා, ඒක නිකම්, දෙකොනින් හිනායන විහිළුවක් විතරයි. මේක හරියට ඉගෙනගන්න නම්, ප්‍රායෝගික පාඩම් පහක් තියනවා. එව්වා නොකර, මේ ලිපියක් කියවලා, මෙව්වා පාවිච්චි කොරන්න බැහැ. ගැස්සෙන පාරට, උරහිස් ඇටේ, (ඔව් සමහරවිට තවත් ඇට) කඩාගන්නවා විතරයි. 

   මෙව්වා එකක් හොයාගෙන, තමන්ගේ සතුරන් මරන්න හිතන කෙනා, මේ වගේ එකකින්ම නහිනවා. ඒකත් මතක තියාගන්නවා හොඳයි හිටං. 

විශ්මයජනක AK 47 ප්‍රහාරක රයිෆලය 
 
   හොඳයි, එහෙනම් අපි අද කතාකරන්නේ ඒ.කේ.47 ප්‍රහාරක රයිෆලය ගැනයි. AK 47 Assault Rifle. මා හිතන්නේ, යුද අවි පිළිබඳව, අවසාන වරට මා ඔබ සමග සාකච්ඡා කළේ, මෙන්න මේ ලිපියෙන්.  AK 47 අවිය ගැන ඔබ බොහෝ දේ දන්නවා. නමුත් ඒ දැනුම, තහවුරු කළ දැනුමක් බවට පත් කරන්නයි, මා උත්සාහ කරන්නේ. අද, පාසල් ශිෂ්‍යභටයන්ටත් මේ අවිය ගැන දැනුමක් ලබාදෙනවා. අපිනම්, පාසල් ශිෂ්‍යභටයන් හැටියට හිටපු කාලේ, ඉගෙනගත්තේ මෙන්න මෙව්වා. 

මේ ලිපිය ලියන්න කලින් ඔබට එක් කරුණක් අවධාරණය කළ යුතුයි. මෙම රයිෆලය ගැන කරුණු විස්තර කිරීමේදී, සෑමවිටම, අවියේ ඒ ඒ කොටස් පැහැදිළිව පෙන්වීම සඳහා, AK 47 වර්ගයේම රයිෆලයක පින්තූර සොයාගන්න අමාරුයි. ඒ නිසා, සමහර ස්ථාන වලදී පෙන්වන්නේ, ඊට ආසන්න, T 56 හෝ එවැනි නිෂ්පාදනයක පින්තූර වියහැකියි. නමුත්, එයින් ඔබේ දැනුමට බාධාවක්, අඩුපාඩුවක් , වන්නේ නැහැ.


AK 47 බිහිවීම 

    ඉතා කෙටියෙන් කියන්නේ. 

   දෙවැනි ලෝක සංග්‍රාම සමයේදී රුසියානු හමුදා, ජර්මානු ආක්‍රමණික හමුදා ඉදිරියේ පසු බසින ලද අවස්ථා බොහොමයි. මෙයට ප්‍රධාන හේතුවක් වුණේ, ජර්මානු හමුදාව සතුවූ, Sturmgewehr 44 හෙවත්, STG 44 යන කෙටි නාමයෙන් හැඳින්වුන, (ජර්මානු භාෂාවෙන් ප්‍රහාරක රයිෆලය, මෝස්‌තර අංක 44) ස්වයංක්‍රීය තුවක්කුවේ ප්‍රහාරයට මුහුණදීම, රුසියානු හමුදාවට, විශාල අභියෝගයක් වීමයි. 
   මේ කාලය වනවිට රුසියානු හමුදාව පාවිච්චි කලේ රුසියාවේ නිෂ්පාදිත,  PPSh-41 නමැති සබ් මැෂින් තුවක්කුවයි.
ppsh-41
   දෙවැනි ලෝක සංග්‍රාමයේ අග භාගයේදී, එනම් 1945 දී පමණ, STG 44 තුවක්කුව දැකීමෙන් රුසියානු හමුදාව විශ්මයට පත්වුණා. STG 44 තුවක්කුවේ හැඩය, ක්‍රියාකාරිත්වය, රුසියානුවන් තුළ ලොකු ආසාවක් ඇති කළා. 

   රුසියානු PPSH 41 තුවක්කුව කෙටියි. එයට යෙදුවේ, කුඩා උණ්ඩයක්. 
7-62x25

 නමුත් STG 44 තුවක්කුව, දිග බටයකින් යුක්ත වූවාසේම, ලොකු උණ්ඩයක්ද යෙදිය හැකිලෙස නිපදවා තිබුණා. 

german_7-92x33mm_kurz

   වේගවත් ක්‍රියාකාරිත්වය, මීටර් 300 ක පමණ දුරකට සාර්ථකව වෙඩි තැබිය හැකි වීම, වැනි හේතු නිසා ද STG 44 වඩාත් දියුණු අවියක් බව පෙනීගියා.  මේ අවියට සටනක් දීමට හැකි අලුත්ම අවියක් නිපදවීම සෝවියට් දේශයට මහත් අභියෝගයක් වුණා. 
 
   ඒ අභියෝගය බාරගත්තේ, AK 47 අවියේ නිර්මාතෘ, දැනට වසර තුනකට පෙර අභාවප්‍රාප්ත වූ,  ලුතිතන් ජෙනරල් මිඛායිල් කලෂ්නිකොව් විසින්.
michael_kalashikov
   දෙවැනි ලෝක සංග්‍රාමයේදී තුවාල ලබා, රෝහල්ගතව සුවය ලබමින් සිටියදී, කලෂ්නිකොව් ගේ යාබද ඇඳෙහි සිටි සොල්දාදුවා, ඔහුගෙන් මෙහෙම ඇසුවා.
 
    ‘හැම ජර්මන් සොල්දාදුවාටම මැෂින් තුවක්කුවක් තියනවා. අපේ සොල්දාදුවන් දෙතුන් දෙනෙකුගේ කණ්ඩායමකට විතරයි මැෂින් තුවක්කුවක් තියෙන්නේ. ඒ ඇයි?’
 
   මෙය කලෂ්නිකොව්ගේ සිතෙහි තදින්ම කිඳා බැස්සා. ඔහු අධිෂ්ඨාන කරගත්තා, සෑම රුසියානු සොල්දාදුවකුම, විශිෂ්ඨ ගණයේ මැෂින් තුවක්කුවකින් සන්නද්ධ කිරීමට. 1946 සිට ඇරඹි ඔහුගේ පර්යේෂණ නිමාවුනේ, 1947 දී Avtomat Kalashnikov = AK අවිය නිපදවීමෙන්. (රුසියානු භාෂාවෙන් අව්තෝමාත් යනු ඉංග්‍රීසි භාෂාවේ ඔටෝමැටික් යන තේරුමයි) 
 
   මෙහි සඳහන් නොකළ තවත් විස්තර රැසක් තිබෙනවා. ඊළඟ කොටසේදී හෝ, අවශ්‍ය වුනොත් ඔබේ අදහස් වලට දෙන පිළිතුරු වලින්, ඒ තොරතුරු කියන්නම්. 
 
2016 සැප්තැම්බර් මස 29 වැනි දින 0053 පැය 
%d bloggers like this: