විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

නිකං ගිහිං නිකං ආවා


z_p01-People   මේ සටහන තබන්නේ සතුටෙන් නෙවෙයි. කලකිරීමෙන්. මෙවැන්නක් ලියන්න මා හිතා හිටියේ නැහැ. අලුතෙන් ආරම්භ කළ, ‘කරන්න දෙයක් නෑ‘ ලිපියේ ඉතිරි කොටස් සඳහා වෙහෙසෙමින් සිටින අතර, හදිසියෙන් මෙය ලියන්න සිදුවුණේ.

 (පින්තූරය ගත්තේ මෙතනින් )

අපේ රටේ තිබෙන කාලකන්ණි දේශපාලන ස්වරූපය, කදිමට නිරූපණය කරන අවස්ථාවකට, අද මට මුහුණ දෙන්නට සිදුවුණා. කතාව හැකි තරම් කෙටිකර කියනවා නම්, මෙන්න මෙහෙමයි.

   පෞද්ගලික අවශ්‍යතාවක් නිසා අද මට කොළඹ ගොස් එන්නට සිදුවුණා. ඉන්ධන වියදම් කරගෙන, ඒ මදිවට පාරේ යන වලවෙට්ටු ඩ්‍රයිවර්ලා සමග වෙට්ටු දමමින්, වාහනය පදවාගෙන, ලේ කෝප කරගෙන යනවාට වඩා, කෝච්චියේ ගිහින් එන්න හිතාගෙන හිටියේ, ඊයේ පෙරේදා ඉඳලා. නමුත්, දුම්රිය රියැදුරු වර්ජනයක් තිබෙන නිසා, ඊයේ (ඔක්තෝබර් 9) ගියේ නැහැ. දුම්රිය ගමන පහසුයි, ඉක්මන්. බස් එකේ යාම වෙහෙසයි. බස්වල දාලා තියන, සින්දු යනුවෙන් නම්කර ඇති, වමනේ යන වර්ගයේ ඝෝෂා, පිත කෝප කරවන සුළුයි. නමුත් අද වත් (ඔක්තෝබර් 10) නොගියොත්, මේ ගමන අනවශ්‍ය ලෙස කල් යනවා. එයින් තුන්වෙනි පාර්ශ්වයකට කරදරයක් සිදුවෙනවා. ඒ නිසා, අමාරුවෙන් හෝ බස් එකේ යන්න හිතාගෙන, ඊයේ නින්දට ගියා.

   නමුත් මට පාන්දර ඇහැරුණා, කර්ණ රසායන හඬකින්. ඒ කියන්නේ පාන්දර 4.33 කෝච්චිය යන සුමධුර හඬින්. 😀 මම වහාම අපේ ජනාධිපතිනියට කිව්වා, ‘මම බස් එකේ යන්නේ නැහැ. හතරහමාරේ කෝච්චිය ගියානම්, ඊළඟට හය සහ හයහමාර කොච්චි දෙකත් යයි. ඒ නිසා මම කෝච්චියෙම යනවා’ කියා. ඔන්න ඉතිං ඇඳ පැළඳගෙන ගෙදරින් එලියට බැස්සා, දුම්රියපොළට යන්න බස් එකට නගින්න. මම කියලා ඇති මීට කළින් ලිපියක, මම වාසය කරන්නේ නියම ‘පතිරූප දේශයක’ කියලා. මීටර් 50ක් වත් යන්න ලැබුණේ නැහැ, මගේ මිත්‍රයෙක් මාව දැකලා ඇහුවා, කොහෙද යන්නේ කියලා. මම කිව්වා කොළඹ යන්න මේ ස්ටේෂන් එකට යනවා කියලා. ‘ඔහොම ඔන්න, ඔහොම ඉන්න, මම කාර් එකෙන් ගෙනිහින් දාන්නම්’ කියලා, බලෙන්ම වගේ මාව එතුමාගේ කාර් එකෙන් ස්ටේෂන් එකට ගෙනිහින් දැම්මා. මට විතරක් නෙවෙයි, උදේට පාරට බහින අපේ පැත්තේ බොහොමයක් අයට, මෙවැනි සත්කාර ලැබෙනවා. තමන්ගේ දරුවන් සේ සළකා, අනුන්ගේ දරුවන්ද තම වාහනයෙන් උදේට පාසලට ඇරලවීම, තමන්ගේ දරුවන් සමග ප්‍රමාද වෙමින්, අනුන්ගේ දරුවන් සිටින පාසල් වෙත ගොස්, ඔවුන්ද දමාගෙන ඒම, (ඔව්, හවසට වැඩ ඇරිලා එන අනුන්ගේ නෝනලාත් දාගෙන එනවා. තමන්ගේ නෝනා දකිනවා, අනුන්ගේ නෝනාව, ඒ නෝනාගේ ගෙදරටම ඇරලවා එන හැටි. නමුත් එතනින් එහා කිසිදෙයක් නැහැ) දිනපතා සිදුවෙනවා.

   අම්මෝ……ස්ටේෂන් එකේ මහා සෙනගක් ඉන්නවා. දැන් මොකැයි කරන්නේ. ඔන්න ඔහේ එල්ලිලා හරි යනවා කියලා හිත හදාගත්තා. ටිකට් කවුන්ටරේ තවම වහලා, කෝච්චිය එන්ඩ තව විනාඩි 15ක් විතර තියෙන්නේ. වැඩ කරන කවුරුවත් පෙනෙන්න නැහැ. මම අඳුනන පොලිස් රාළහාමිලා දෙන්නෙක් ස්ටේෂන් එකේ ඉන්නවා නිළ ඇඳුමෙන්. මම එයාලගෙන් ඇහුවා, ‘බලන්නකො ටිකට් කවුන්ටරේ වහලනේ කොහොමද ටිකට් ගන්නේ’ කියලා, ‘අද ස්ට්‍රයික් නේ මහත්තයා, ටිකට් දෙන්නේ නැහැ, අපි මෙතන ඩියුටි ඉන්නේ, ඔන්න ඔහේ කෝච්චියට ගොඩවෙලා යන්න’ කියලා එයාලා කිව්වා. මේ වෙලාවේම, දිනපතා කෝච්චියේ කොළඹ යන මගේ යාලුවෙක් ආවා. මම මේ ප්‍රශ්නය එයාට කිව්වා. ‘අයියෝ ……මහත්තයා, ඊයෙත් මිනිසු ආවේ ටිකට් නැතුව, අල්ලන්නේ නැහැ, බයනැතුව යන්න’ කියලා එයා කිව්වා.

   ඔබට දැකලා ඇති නේද, ස්ටේෂමක තියන අර සංඥා උපකරණයක් තියනවා, බෙල් එකක් වදිනවා, ඊට පස්සේ අර ටැබ්ලට් කියන පිත්තල කෑල්ල එලියට එනවා. ඒක අර වලල්ලේ දාලා එන්ජිමට දෙනවා, අද මෙව්වා මොකුත් නැහැ. හිටපු ගමන් රේල් ගේට්ටුව වැහුවා. ඒ වෙලාවට වදින බෙල් එක වැදුනෙත් නැහැ. කෝච්චිය ආව, හෝන් ගහන්නේ නැහැ. අනේ……..වෙනදට කට කපලා එන කෝච්චියේ සෙනග නැහැ. ඒ නිසා වාඩිවෙන්නත් ඉඩ තිබුණා. ඔන්න ඉතිං ටික දුරක් යනකොට සෙනග නොහිටියේ කෝච්චියේ වහලයේ විතරයි. හැබැයි මට බයයි, ලැජ්ජයි, කොයි මොහොතේ හෝ ටිකට් පරීක්‍ෂකවරු එයි කියලා. නමුත් ආවේ නැහැ. මම හිතාගත්තා, මගේ හැඳුනුම්පත, විශ්‍රාමික හැඳුනුම්පත, ඔක්කොම පෙන්වනවා කොටුව දුම්රියපොළේදී. පෙන්නලා, ඇත්තම කියලා, ටිකට් එකකට මුදල් ගෙවනවා කියලා. නමුත්, මහා පුදුමයක්. කොටුව දුම්රියපොළේ ගේට්ටු හායි ගාලා ඇරලා දාලා. ටිකට් බලන අය පැත්ත පළාතේ නැහැ. ටිකට් කවුන්ටර් වහලා. මොනවා කරන්නද? මම එළියට ගියා.  

   මගේ වැඩ කටයුතු අවසන් කරගෙන, ආපහු පිටත්වෙන්න කළින්, මම අපේ ඇත්තිට ඇමතුමක් දුන්නා, ‘මම දැන් ආපහු එන්න බස් නැවතුම්පොළට එනවා’ කියලා. එයා උත්තර දුන්නා, ‘නෑ නෑ මෙන්න රේඩියෝ එකේ කිව්වා, කෝච්චි 42ක් දිව්වා කියලා, ඒ නිසා කෝච්චියෙම එන්ඩ’ කියලා  බොහොම සතුටෙන් කොටුව දුම්රියපොළට ආවා. අනේ………උදේ වගේම පාලුයි. ටිකට් කවුන්ටර් වහලා, ඔක්කොම ගේට්ටු ඇරලා, සමහර මගීන්, පිටවීමේ දොරටු වලින් ඇතුළට යනවා. ඇතුළුවීමේ දොරටු වලින් එළියට එනවා. කාර්ය මණ්ඩලය කියලා කවුරුවත් නැහැ. පොලීසියේ මහත්තුරු දෙන්නෙක් හිටියා. මම ඇහුවා ‘කෝච්චි තියනවද?’ කියලා. මගේ ගමනාන්තය අහලා, එයාලා කිව්වා, ‘ඔය පළවෙනි වේදිකාවේ තියන කෝච්චිය, තව පැය බාගයකින් යනවා කියලා, දැනගන්න තියනවා’ කියලා. (ලැයිස්කීපරෙත් වහලා) එයාලා ඒ බව දැනගත්තත්, මොකක් හෝ හේතුවක් නිසා, ස්ථිරව කියන්නේ නැති බව පෙනුණා. මම ඇහුවා, ‘ටිකට් ගන්නේ කොහොමද?’ කියලා. ‘ටිකට් ප්‍රශ්නයක් නැහැ, මහත්තයා යන්න’ කියලා කිව්වා. මොනවා කරන්නද, මම කෝච්චියේ නැගලා ගෙදර ආවා. කෝච්චියේ එන මගීන් බොහොමයකගේ හිත සතුටෙන් පිරිලා, හිනාවෙනවා ඔක්කොම, ‘හැමදාම මේ වගේ නිකං යන්න තියනවනම් මරුනේ’ කියලා එක මගියෙක් කිව්වා.

   ඇත්තටම මේක සතුටට කාරණයක්ද? අපි ගමන් කළේ නිකං ද? මේ දින දෙක තුළ දුම්රිය දෙපාර්තමෙන්තුවේ පාඩුව මිලියන 100ක් විතර ඇතිලු. කවදා හෝ පොළියත් එක්ක ඒ ඔක්කොම ගෙවන්නේ, කෝච්චියේ යන නොයන, මේ රටේ මහජනතාව නොවේද? මිහින් ලංකා ගුවන් සේවයේ (සේවයේ?) මෙවර පාඩුව රුපියල් මිලියන 32000ක් කියලා අද පත්තරේක තිබුණා. දුම්රිය සේවකයෝ ඉල්ලන්නේ රු 1000 කට ටිකක් වැඩි වැටුප් වැඩිවීමක් ලු. ඇයි හත්ඉලව්වේ, මිහින් ලංකා එක මූදට තල්ලු කරලා, ඒ මකර කටට හැමදාම අයවැයෙන් ගිල්ලවන මිලියන් ගණන් සල්ලි වලින් කොටහක් දාලා, මේ ඉල්ලීම ඉටු කරලා, ස්ට්‍රයික් කරන එක දවසකට, දුම්රියෙන් වෙන මිලියන 50 කට වැඩි පාඩුව නවත්ත ගනිංකෝ.

   දුම්රිය මගීන් දෙන්නෙක් පැමිණිල්ලක් ගොනු කරලා, අධිකරණ නියෝගයක් නිකුත් කරලාලු, වහාම ස්ට්‍රයික් එක අත්හිටුවනු, වැඩට එනු, ලබන 24 වැනිදා උසාවියේ පෙනීසිටිනු, කියලා. හොඳයි, අපි මොහොතකට මෙහෙම හිතමු, ස්ට්‍රයික් කාරයෝ කියනවා, ‘අපිව හිරේ දමාපල්ලා, රස්සාවෙන් අස්කරපල්ලා, අපි එන්නෑ වැඩට’ කියලා. ඉතිං උන්ව අල්ලාගෙන ගිහින් රිමාන්ඩ් කරනවා. නමුත් කොයි අප්පොච්චිගේ පුතාලා (නොදෝකිං, ඒ ….ගෙ පුතාලට පුළුවං අවලං වැඩ විතරනේ) දාලද කෝච්චි දුවවන්නේ. අනේ සාලේ…………මේ එදාවේල හොයාගන්න බැරුව, ඔලුව ගිනි අරං දුවන මගීන්, උසාවිම යයි. අපි දන්නවනේ, බේකරි තියරියවත් හරියට බැරි ‘වල් ගොම’ කාරයා, මිනිහගේ හෙන්චයියලා දෙන්නෙක් යවන්න ඇති උසාවියට. නැත්තං 13 වෙනිදට යාපනේ කෝච්චිය දුවනවා බොරුයි. හොඳ හම්බන්තොට හුප්පද වලින් තමයි අහගන්න වෙන්නේ, ලොක්කාගෙන්. වල් ගොමයාට එන්.කුමාරිගේ ගවුම අස්සට තමයි රිංගගන්න වෙන්නේ.

   මතකද පහුගිය කාලේ ආණ්ඩුවෙන් නිවේදනයක් කරලා තිබුණා, විවිධ වෘත්තීන්හි නියැලෙන අය, යුද හමුදා ස්වේච්ඡා බලසේනාවට බඳවා ගන්නවා කියලා. ඔන්න ඒ වැඩේ වටිනාකම ආණ්ඩුවට තේරෙන්නේ, මෙන්න මේ වගේ වෙලාවටයි. මේ කෝච්චි කාරයෝ හමුදාවට බැඳිලා හිටියානම්, එක නියෝගයකින්, ඔවුන්ව හමුදා සේවය යටතේ කෝච්චි රාජකාරියේ යොදවන්න තිබුණා. මේ කපටියෝ ඒක දැනගෙන තමා, අමතර පඩියක් ගන්න පුළුවන්කම තියෙද්දිත්, හමුදාවට බැඳිලා නැත්තේ. 

   තම කුජීත දේශපාලන ක්‍රමය වෙත එල්ලවන අභියෝග, ඒකාධිකාරී බලය යොදවා මර්දනය කිරීම, හැමදාම කලහැකිවේයයි මේ මොට්ටපාලලා හිතනවාද?   

my-signature-for-blog[1]   2014 ඔක්තෝබර් මස 10 දින 2356 පැය

Advertisements

Comments on: "නිකං ගිහිං නිකං ආවා" (21)

  1. ආශ්චර්යයට යන දුම්රිය පිටත් වෙලා ගොඩක් කල්. ටිකට් අනවශ්‍යයි..

  2. නිර්නාමික said:

    40 ශ්‍රී ලොරියක් තියනවා මරු භාන්ඩෙ…. ලෑල්ලට පෑගුවහැකි…. ගන්නවද… අයිතිකාරයා රට යන්න හදන නිසා විකුනන්න දාලා තියෙන්නෙ….

    මම ඉතින් මෙලෝ හසරක් නොදන්නා රට බූරුවා, ගොන් බජ්ජා, අබබ්බයා, නිසා මේකම කිය කියා ඇවිදිනවා. හැම සයිට් එකකම. අනේ පුලුවන්නම් මගේ පුකට පයින් එකක් ගහලා එලවන්නකෝ.

  3. හ්ම්ම් එකත් එහෙම තමා නේද?

  4. හ්ම්ම්ම්…..කියල වැඩක් නැහැ විචාරක තුමණි ….

  5. අපේ රටේ දුම්රිය සේවය විතරක් නොවේ විචාරක තුමනි, රජයේ රැකියාවලට බඳවා ගැනීම් වල සිටන්ම සියලුම ක්‍රියාපටිපාටි විකෘති සහ දූෂිත වෙලා තියෙන්නේ. සමහරුන්ට පීනන්න තරම් සල්ලි….. තවත් පිරිසකට එදා වේල සොයාගන්නේ කොහොමද කියන එකත් ගැටළුවක්.

    • ඉතාම ඉහල සුදුසුකම් තියන අයත්, මේ අටවත් පාස් නැති, දේශපාලන ගෙරි බල්ලන්ගේ රැකියා ලැයිස්තුවට නම දාගන්න, උන්ගේ පුකට වඳින්න ඕනෙ. මොනතරම් කාලකන්ණි කමක්ද?

  6. චා. චා.. චා… එහෙම කියන්ඩ එපා. එතුමා පිට පොට ගහගෙන් තනියෙන්ම යුද්ධ කරලා අපිට දිණුම අරගෙන දුන්නනෙ. ඒ මදිද අපිට ආස්චර්යෙට යන්ඩ. නැද්ද මං අහන්නෙ ?

  7. පරක්කු වෙලා මේ පැත්තේ අවේ. 🙂

    දැන් මේ රටේ සුදුසු මිනිස්සු නෙමේ ඕන කරන තැන වල ඉන්නේ. එකයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ.

    අනවශ්‍ය දේවල් වලට සාමාන්‍ය ජනතාවගේ මුදල් වියදම් කරලා ගොන් හරක් ගොඩක් සැප විදින එකයි දැන් වෙලා තියෙන්නෙ. රුපියල් 1000 කින් නෙමේ රුපියල් 5000කින් හරි මිනිස්සුන්ගේ පඩි වැඩි කරන්න පුළුවන් මේ ආණ්ඩුවේ දුෂණය සහ අනවශ්‍ය වියදම් නැවත්තුවොත්. වැඩේ කියන්නේ චන්දයක් ලග එනකොට බඩු මිල ටිකක් අඩු කරපු ගමන් මේ ඉන්න මෝඩ මිනිස්සු උන්ටම චන්දෙ දුන්නොත් තව අවුරුදු 6ක් දුක් විදින්න තමයි වෙන්නේ. ඒ දේ හරියට තාම මේ රටේ හුගදෙනෙක්ට අවබෝධ වෙලා නෑ.

    මේ ආණ්ඩුව තව පාරක් චන්දෙ දිනලා ආණ්ඩුවක් කෙරුවොත් ලංකාවට ඉතින් අබ සරණයි. අන්ත අසරණයි කියල තමා කියන්න වෙන්නේ.

    මේ ආණ්ඩුව මේ රටට කරණ විනාශය තේරුම් ගත්ත කෙනෙක් ඉන්නවනම් ඒ අය තම තමන්ගේ නෑදෑ හිතවතුන්ටත් එක තේරුම් කරලා දීලා ඊළගට එන චන්දෙන් මුන්ව ගෙදරම අරින්න ඕන.ඊට පස්සේ ජයලලිතාට විරුද්ධව නඩු දැම්මා වගේ කරපු දේවල් වලට නඩු දාන්න ඕන.

    යුද්දේ දින්නා කියල හැමදේම එකෙන් වහන්න දෙන්න බෑ. අනික යුද්දේ දින්නේ රණවිරුවෝ මිසක් දේශපාලකයෝ නෙවෙයි. මාසික වැටුපකට මරණය අතේ තියාගෙන සටන් කලේ දේශපාලකයෝ නෙවෙයි.

    • බොහොම ස්තුතියි තාරක ඔබේ දීර්ඝ අදහස් දැක්වීමට.

      බලය වැඩි වුනාමත් කඩාවැටීම ඉක්මන් වනවා. ඒ නිසා තවපාරක් බලය දුන්නොත් අපිට බලන්න පුළුවන් ඇතුළෙන්ම පුපුරලා කඩාවැටෙන හැටි.

      යුද්දේ තැටිය ගහලා ගහලා දැන් ගෙවිලා තියෙන්නේ. තවමත් ඈත ගම්වල ඉන්නවා, නයි ටී එන් විතරක් බලන, දිනමිණ විතරක් කියවන, ඥානාලෝකය නොවැටුණු මිනිස්සු. අන්න ඒ මිනිස්සුන්ගේ බුද්ධි ප්‍රබෝධයක් ඇතිකරන්න, මේ ඊනියා විරුද්ධ පක්ෂ උනන්දු වියයුතුයි.

  8. ක්සැන්ඩර් said:

    හොඳ වෙලාවට මිහින් ලංකා එක ස්ට්‍රයික් කරලා ප්ලේන් වල නිකං යන්න නෑ.. නැත්තං ඉතිං චීනා ලංකාව ගන්නේ හෙට අනිද්දා සින්නේට..

    • මිහින් ලංකා එකේ සල්ලි දීලා ගියත්, නිකං ගියා වගේ තමයි. මොකද එහෙම යන අයගේ බරපැන දරන්න බදු ගෙවන්නේ මේ රටේ අහිංසක මිනිස්සුනේ.

  9. අපේ රට මේ යන විදිහට යුද්දෙ තිබුනද නැද්ද වැඩක් නෑ… මහජනයා සදා අනාතයි. ඒත් දෙයියනේ මිනිස්සුමනේ මැට්ටන්ට, කාලකන්නින්ට හුරේ දාල බලේ දෙන්නෙ. කාපන්කො ඉතින් හැමදාමත් පුස්නාම්බ…
    වැඩක් ඇති දෙයක් අපි කතා කරමුකො… මහත්තයො කියන්නකො බලන්න කොහොමද යුහ ස්වේච්චා සේවයට එකතුවෙන්නෙ සහ රාජකාරි කරන්නෙ කියල. හිතන්නකො මන් පුද්ගලික රැකියාවක් කරනවා, ඒකෙන් ඉවත් වෙන්න ඔනෙද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: