විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Donald Duck Machine Gun    කටපුංචලාගේ ලොකු අයියලා ගැන ලියවෙන  මේ ලිපි මාලාවේ පළමුවැනි කොටස  ඔබ කියවන්නට ඇතැයි මා සිතනවා. සමහරු කියා තිබුණා එය කෙටි වැඩියි කියා. හරි, දිගටනේ ඕනේ. දෙන්නම් දිගට. හැබැයි ඊළඟට කියන්න එපා දිග වැඩියි කියලා. ඇත්තටම සිදුවුණේ මේ ලිපිය කොටස් දෙකකට කඩන්න තරම් කොට වැඩියි, එක කොටසකින් අවසන් කරන්නට තරම් දිග වැඩියි, යන හැඟීමේ මා දෝලනය වීමයි. ඔන්න අදනම් කොච්චර දිග වුනත් ඔක්කොම කියනවා. මුලින්ම එක ඉල්ලීමක් ඉටු කරන්න කැමතියි. පසුගිය කොටසේදී මා සඳහන් කල සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුවේ ගති ලක්‍ෂණ = Characteristics පැහැදිළි කරදෙන මෙන් කර තිබුන ඉල්ලීම පහත ඉටු කරනවා. (පින්තූරය ගත්තේ මෙතනින් )

   මුලින්ම කියන්නම් පසුගිය ලිපියේ සඳහන් කල .303 සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුව = LMG එක ගැන.

Bren1

  • වර්ගීකරණය : සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුව Light Machine Gun = LMG
  • නිෂ්පාදිත රට : මුල්ම මෝස්තරය චෙකොස්ලෝවේකියාව. වැඩි දියුණු කල මෝස්තරය බ්‍රිතාන්‍යය
  • සේවා කාලය : 1938 සිට 2006 දක්වා
  • අවියේ බර (මෝස්තරය අනුව) : කි.ග්‍රෑම් 10.35 සිට 11.25 දක්වා
  • අවියේ දිග : මීටර් 1.15
  • යොදන පතරොම් වර්ගය : බ්‍රිතාන්‍ය .303 පතරොම, නේටෝ කාණ්ඩයේ 7.62 x 51 පතරොම
  • වෙඩි තැබීමේ වේගය : විනාඩියකට උණ්ඩ 500 – 520 අතර
  • තුවක්කුවෙන් උණ්ඩ පිටවීමේ වේගය (Muzzle Velocity) : තත්පරයකට මීටර් 743.7
  • සඵල වෙඩි දුර (අනිවාර්යයෙන්ම ඉලක්කයක් සපුරා ගතහැකි උපරිම දුර – Effective Range) : මීටර් 550
  • උණ්ඩයක් සාර්ථකව යොමු කළහැකි උපරිම දුර (Maximum range) : මීටර් 1691.61

 

   පසුගිය ලිපියෙන් කිව්ව ඊළඟ තුවක්කුව තමයි චීනයේ නිෂ්පාදිත 7.62 සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුව. පහත දක්වන්නේ ඒ ගැන විස්තරයයි. මේ තුවක්කුවට යොදවන්නේ T 56 ප්‍රහාරක රයිෆලයට යොදන 7.62 x 39 වර්ගයේ පතරොමමයි. ඒ නිසා මේ තුවක්කුව T 56 LMG කියා හඳුන්වන්නට අපේ හමුදාවේ අය පුරුදුවී සිටිනවා.

F1DSARPD1

  • වර්ගීකරණය : සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුව LMG
  • නිෂ්පාදිත රට : මේ තුවක්කුව රුසියානු ජාතික Vasily Degtyaryov විසින් 1943 – 44 කාලයේදී සැලසුම්කර සෝවියට් රුසියාවේදී නිපදවන ලද්දේ 1945 දී ය. ඉන්පසු එහි විවිධ මෝස්‌තර නිපදවින. වර්තමානයේදී ශ්‍රී ලංකා යුද හමුදාව පාවිච්චි කරන්නේ 1960 දශකයට පසු චීනයේ නිෂ්පාදිත මෝස්තරයයි.
  • අවියේ බර (පතරොම් රහිතව) : කි ග්‍රෑම් 7.43
  • අවියේ දිග : මීටර් 1.037
  • පතරොම් වර්ගය : මි මී 7.62 x 39
  • විනාඩියකට වෙඩි තැබිය හැකි උණ්ඩ ගණන : 650 – 750 අතර
  • තුවක්කුවෙන් උණ්ඩ පිටවීමේ වේගය (muzzle Velocity) : තත්පරයකට මීටර් 735
  • සඵල වෙඩි දුර : අවම මීටර් 100 සිට උපරිම මීටර් 1000 දක්වා
  • උණ්ඩයක් සාර්ථකව යොමු කළහැකි උපරිම දුර (Maximum range) : මීටර් 1700 ක් පමණ

 

   මේ අවියේ තවත් එක මෝස්තරයක් තියනවා. නමුත් එය එතරම් ජනප්‍රිය නැහැ. මා හිතනවා එසේ වීමට බලපෑ ප්‍රධාන හේතුව වන්නේ ඉහත දැක්වෙන LMG එකට පතරොම් 100 ක ඩ්‍රම් මැගසින් එකක් යෙදිය හැකි වුනත් මේ තුවක්කුවට යෙදිය හැක්කේ පතරොම් 75 ක ඩ්‍රම් මැගසින් එකක් වීමයි.  මේ මැෂින් තුවක්කුව T 81 ප්‍රහාරක රයිෆලය ආශ්‍රිතව නිපදවා ඇති නිසා මෙය T 81 LMG කියා හඳුන්වනවා.

400px-Type_81_Machine_Gun

Machine_gun_Type81

   තවත් LMG දෙකක් විතරක් පෙන්නලා LMG ගැන කතාව අවසන් කරන්නයි හදන්නේ මොකද MPMG, GPMG, HMG, කියලා තව ලොක්කො ගොඩක් ඉන්නවා. තව කොටස් හැටහුටහමාරක් ලියන්න වෙයිද මන්දා ඒ ඔක්කොම ගැන කියන්න. කමක් නැද්ද? 1970 – 80 දශක වල ජනප්‍රියව තිබුණු එහෙත් දැන් ක්‍රමක්‍රමයෙන් භාවිතයෙන් ඉවත්වෙමින් පවතින LMG එකක් ඊළඟට පෙනන්නම්. ඒ තමයි FN MINIMI නමැති තුවක්කුව. ඔන්න පහලින් තියනවා.

FN_Minimi_B

1975 වසරේදී බෙල්ජියමේ නිෂ්පාදිත මේ තුවක්කුව අද බහුලවම පාවිච්චි කරන්නේ බෙල්ජියම අවට පිහිටි බටහිර යුරෝපීය රටවල්. අපේ හමුදාවේත් මේ තුවක්කුව තියනවා. නමුත් දැන් භාවිතය අඩුයි. මෙහි අලුත් මෝස්‌තර පවා වැඩියෙන්ම පාවිච්චි කරන්නේ බටහිර රටවල් සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල්. මේ තුවක්කුවේ තාක්ෂණික විස්තර කෙටියෙන් දක්වනවා.


  • නිෂ්පාදිත රට : බෙල්ජියම

  • මුලින්ම නිපදවුවේ : 1975 දී

  • තුවක්කුවේ බර : කි ග්‍රෑම් 6.85

  • තුවක්කුවේ දිග : මීටර් 1.040

  • පතරොම් වර්ගය : පැරණි මෝස්තරය 5.56 x 45 නව මෝස්තරය 7.62 x 51

  • වෙඩි තැබීමේ වේගය : විනාඩියකට උණ්ඩ 700 – 800 අතර

  • සඵල වෙඩි දුර : මීටර් 300 – 1000

  • පතරොම් යෙදීම : උණ්ඩ 200 වැලක් සහිත මැගසිනයක් මගින්

   ලෝකෙට ලොක්කා ඇමරිකාව මොකක්ද පාවිච්චි කරන LMG එක? කීපයක් තියනවා. බහුලවම පාවිච්චි කරන එක මෝස්තරයක් විතරක් පෙන්වන්නම්. ඒ තමයි M 249 LMG එක. ඇත්තම කියනවානම් මේ තුවක්කුව අර ඉහත දැක්වූ Minimi එකේ, ඉතා දක්ෂ ලෙස වැඩි දියුණු කල මෝස්තරයක්. 1980 දශකයේදී තමයි හදලා තියෙන්නේ. ඉතා සියුම් ක්‍රියාකාරිත්වයකින් යුත් මේ තුවක්කුවේ මිල බදු රහිතව බැලුවත් රුපියල් ලක්ෂ 5.5 ක් පමණ වෙනවා.

PEO_M249_Para_ACOG

   බර කි.ග්‍රෑම් 7.2 යි, දිග මීටර් 1.02, විනාඩියකට උණ්ඩ 800 ක් විතර වෙඩි තියන්න පුළුවන්, 5.56 x 45 පතරොම් යොදන්නේ වැලක් සහිත මැගසින් එකකින්. සඵල වෙඩි දුර මීටර් 700 යි, උණ්ඩයක් යන උපරිම දුර මීටර් 3600 යි.

 ඊළඟ කරුණු වලට යන්න කලින්, Ayilas A විසින් විමසා තිබුණු, ඉතා අගනා පැනයකට අදාළ, කරුණු පැහැදිළි කිරීමක් ඉදිරිපත් කිරීම සුදුසු බව පෙනීගියා. ඔහු අසා තිබුණු ප්‍රශ්නය මේකයි. මේ ලිපියෙන් කතාකරන්නේ මැෂින් තුවක්කු ගැන. ඒවා පූර්ණ ස්වයංක්‍රීයයි කියලා කියවෙනවා. T 56 කියන්නෙත් පූර්ණ ස්වයංක්‍රීය අවියක් full automatic ඉතින් ඒවා මැෂින් තුවක්කු නෙවෙයිද?

   මෙන්න පිළිතුර. T 56 කියන්නේ පූර්ණ ස්වයංක්‍රීය තුවක්කුවක් කියන එක ගැන වාදයක් නැහැ. ඒක ඇත්තයි. නමුත් ඒ වගේ අවියක් එක සෙබළකුගේ තනි පාවිච්චිය සඳහා නිකුත් කරන පෞද්ගලික අවියක් personnel weapon ලෙසයි සැලකෙන්නේ. නමුත් මැෂින් තුවක්කු කියන ඒවා, කුඩා සෙබල කණ්ඩායමක සිට, බලඇණියක් තරම් විශාල සෙබල පිරිසකගේ ආරක්‍ෂාව සහ, යුද බිමේදී අවශ්‍ය ආධාරක වෙඩි බලය support or covering fire  දීම සඳහා යොදාගන්නා, ආධාරක අවි support weapon ලෙසයි සැලකෙන්නේ. ඒවා තනි සෙබළකුට ක්‍රියාකරවන්න අමාරුයි. අවම වශයෙන් දෙදෙනකුවත් අවශ්‍යයි. ඒ නිසා තනි සෙබළකුට නිකුත් කරන්නෙත් නැහැ.

  ඉතින් මොකක්ද මේ සැහැල්ලු යාන්ත්‍රික තුවක්කු වලින් ගන්න ප්‍රයෝජනේ? යුද්දෙදි මේවා යොදවන්නේ කොහොමද?

 

   හොඳයි, ඒ විස්තර කෙටියෙන් කියනවානම් මෙන්න මෙහෙමයි. සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුවක් කියන්නේ, හමුදාවක තියෙන කුඩාම ඒකකය වන, සෙබළ පෙළක – section තිබෙන ආධාරක අවියයි. section support weapon ඔන්න ඉතින් ආයෙත් අමතක කරලනේ සෙබළ පෙළක් කියන්නේ මොකක්ද කියන එක. ඉතින් කොහොමද මේ පන්තිය කරන්නේ? යනවා යනවා, දුවලා ගිහින් බලාගෙන එනවා හමුදාවේ ඒ ඒ සංවිධාන ව්‍යුහයන් මොනවද කියන එක. මේ ලිපියේ ඉදිරි කොටස් තේරුම් ගන්න ඒ දැණුම නැතුව බැහැ.

   සෙබළ පෙළක ඉන්න ලාන්ස් කෝප්‍රල් Lance Corporal අතේ තමයි LMG එක තියෙන්නේ. ඔහුගේ ආධාරයට තවත් සෙබළකු ඉන්නවා. සෙබළ පෙළ යුද බිමේ ඉදිරියට යද්දී, ඔවුන්ගේ ආරක්‍ෂාව සඳහා ආවරණ වෙඩි (විශාල කෝණයක් ආවරණය වන පරිදි හෝ කිසියම් තැනකින් එල්ල වන සතුරු වෙඩි මැඩපැවැත්වීම සඳහා හෝ එල්ල කරන ප්‍රබල වෙඩි මුරය) සැපයීම සඳහා තමයි LMG එක යොදවන්නේ. හමුදා සිතියමක LMG එකක් ලකුණු කරන සංකේතයක් තියනවා. ඒ මොකටද? පස්සේ කතාකරමු වෙන ලිපියකින්. මෙන්න ඒ සංකේතය.

Japanese_Type_11_LMG_from_1933_book

  මෙය නිල් පාටින් ලකුණු කර තිබුනොත්, එය අපේ එකක්. රතුපාටින් නම්, සතුරාගේ එකක්. මේ ළකුණ සහ සිතියමේ ඇති ඊතල ලකුණු මාරු වෙන්නේ නැහැ. හමුදා සිතියමක ඊතල ලකුණු කරන්නේ මීට වඩා වෙනස් හැඩයකින්.

  හොඳයි, අද ලිපිය අවසන් කරන්න කලින් මේ පූර්ණ ස්වයංක්‍රීය full automatic කියන එක තව ටිකක් විස්තර කරලා දෙන්නම්. පූර්ණ ස්වයංක්‍රීය කරණය ක්‍රම දෙක තුනකින් සිද්ධ වෙනවා. ඔන්න එක ක්‍රමයක් කියලා දෙන්නම්. අපි කවුරුත් දන්නා T 56 තුවක්කුවෙන්ම කියන්නම්කො. කොහොමද එක පිට එක වෙඩි පිටවෙන්නේ කියලා. ඔබට පුදුම හිතෙයි ඒ යාන්ත්‍රනය දැක්කම. තුවක්කුවක් ඇතුලේ පතරොමක් පත්තු වුනාම විශාල වායු පීඩනයක් ඇතිවෙනවා. ඒ පීඩනය ආධාරයෙන් තුවක්කුවේ යාන්ත්‍රණයේ කොටසක් ක්‍රියාකරවන්න පුළුවන්. මේ විදිහට වායු පීඩනයෙන් ස්වයංක්‍රීය කරණය හඳුන්වන්නේ gas operated automatic gun කියලයි. T 56 තුවක්කුව ඇතුලේ තියනවා වායුවෙන් සිසිල්වන පිස්ටනයක්. මේ පිස්ටනය  පළමුවරට ඉදිරියට යැවීම සඳහා බලය දෙන්නේ තුවක්කුව කොක් කිරීමෙන් හෙවත් කොකින් හැඬලය පසුපසට ඇදීමෙන්. ඊට පස්සේ එය පසුපසට එන්නේ පතරොම පත්තුවී දෙන වායු පීඩනයෙන්. උණ්ඩ ඉවර වෙනතුරු එය ස්වයංක්‍රීයව සිදුවෙනවා. නැවත මැගසින් එකක් සවිකලොත් ආයෙත් කොක් කරන්න ඕනේ. පහත තිබෙන සටහන සහ වීඩියෝව බලා ප්‍රශ්න ඇත්නම් අහන්න.

KONICA MINOLTA DIGITAL CAMERA

LMG ගැන මේ කතාකරපු දේවල් හොඳටම ඇති. ඊට වැඩිය සංකීර්ණ තොරතුරු කියන්න ගියොත් LMG අජීර්ණය හැදෙන්න ඉඩ තියනවා. ඊළඟ කොටසින් හමුවෙමු. 

my-signature-for-blog[1]   2014 මැයි මස 30 දින 0035 පැය

Comments on: "කටපුංචලාගේ ලොකු අයියලා (දෙවැනි කොටස) Machine Guns and There Applications (Part Two)" (38)

  1. විචාරකතුමාට ගොඩක් ස්තුතියි. වෙනදා වගේම හොඳ ලිපියක්.

    මට පොඩි ප්‍රශ්න 2ක් තියනවා සර්. පූර්ණ ස්වයංක්‍රීය (full automatic) AK 47, T56 වගේ තුවක්කුවල විදියටමද පූර්ණ ස්වයංක්‍රීය පිස්තෝල වැඩ කරන්නෙත්. ඒ වගේම T56 වගේ තුවක්කුවකින් පැය 7ක් 8ක් එක දිගට සටන් කරන කොට අර කලින් ලිපියේ කියුවා වගේ තුවක්කු බටයට රත්වීම නිසා බලපෑමක් ඇතිවෙන්නේ නැද්ද?.

    • බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන. ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු මෙන්න.

      1. පූර්ණ ස්වයංක්‍රීය තුවක්කු වැඩ කරන ක්‍රමයට නෙවෙයි ස්වයංක්‍රීය පිස්තෝල වැඩකරන්නේ පූර්ණ ස්වයංක්‍රීය full automatic තුවක්කුවකින් නොකඩවා එක දිගට උණ්ඩ සියල්ලම පිටවෙනවා ට්‍රිගරය (කොකා) මිරිකාගෙන සිටින තුරු. නමුත් ස්වයංක්‍රීය පිස්තෝලයක automatic pistol (not full automatic) (පූර්ණ ස්වයංක්‍රීය තුවක්කුවකින් මෙන් නොකඩවා උණ්ඩ පිටවෙන්න හදපු මැෂින් පිස්තෝල machine pistol තියනවා. නමුත් ඒවාගෙන් වෙඩි තැබීමේදී ඉලක්කය වැරදීමට ඇති අවස්ථාව වැඩියි, ඉතා දක්ෂ වෙඩික්කරුවකු නෙවෙයි නම්. මොකද කුඩා අවියක් නිසා එහෙ මෙහෙ හැරෙනවා) සාමාන්‍ය ස්වයංක්‍රීය පිස්තොලයකදී සිදුවන්නේ එක උණ්ඩයක් වෙඩි තැබුවාම ස්වයංක්‍රීයව ඊළඟ උණ්ඩය වෙඩි තැබීමේ අවස්ථාවට පැමිණීමයි.

      2. පැය හත අටක් නොකඩවා වෙඩි තියන්න කවදාවත් සිදුවෙන්නේ නැහැ. එහෙම වෙඩි තියන්න ඉතා හොඳ පතරොම් සැපයුමක් තිබෙන්නේ ඕනේ. නමුත් එපමණ වෙලාවක් දරාසිටින්න අමාරුයි සොල්දාදුවකුට. පැය හතරක් පහක් වෙඩි තියාගන්න වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට බටය රත්වී ඇත්නම් එකවර වතුරට/මඩ ගොඩකට/ වැටුනොත් බටයේ පන්නරය බාලවීම, ඇදවීම, වෙන්න පුළුවන්. නමුත් වැස්සේ වෙඩි තැබුවාට කිසිම ප්‍රශ්නයක් නැහැ.

    • බොහොම ස්තුතියි සර්.

      දැන් මට තේරුණා automatic pistol එකක් කියන්නේ මොකක්ද කියන එක. අපිට ඉතින් කම්පියුටර් ගේම්ස් වලදි තමා මේවා ගැන දැනුම වටින්නේ.

  2. විචාරකතුමාට ගොඩක් ස්තුතියි. වෙනදා වගේම හොඳ ලිපියක්.
    මට පොඩි ප්‍රශ්න 2ක් තියනවා සර්. පූර්ණ ස්වයංක්‍රීය (full automatic) AK 47, T56 වගේ තුවක්කුවල විදියටමද පූර්ණ ස්වයංක්‍රීය පිස්තෝල වැඩ කරන්නෙත්. ඒ වගේම T56 වගේ තුවක්කුවකින් පැය 7ක් 8ක් එක දිගට සටන් කරන කොට අර කලින් ලිපියේ කියුවා වගේ තුවක්කු බටයට රත්වීම නිසා බලපෑමක් ඇතිවෙන්නේ නැද්ද?.

  3. හක්… දෙන්නම් දිගට කියලා පටන්ගත්තාම මම හිතුවා දිග ලිපියක් කියලා… මදි මදි…

    මං තුමාවත් මතක් කොරාට බොහොම ස්තුතියි. ඉතින් අප්පේ විනාඩියකට උන්ද 500ක් පිටවෙනකොට මැගසින් එකේ උන්ද 100-200 තිබිලා අහවල් දෙයක්ල් කොරන්නද? එතකොට මේ වගේ මැගසින් කියක් විතර ගෙනියනවද? පසුපසින් එන සැපයුම් වලින්ද ඇති තරම් පතරොම් ලැබෙන්නේ? .. මම ආයෙත් ඇනයක් වෙනවා නේද?

    මේ දවස්වල මම ෆුල් ටයිම් Call of Duty ගහනවා. මරු අප්පා. මටනම් අල්ලාම ගියේ MP5 එකට ග්‍රෙනේඩ් ලොන්ජර් එකකුත් හයි කරලා තියෙනවා. අනිත් නැගලා ගිය එක තමයි ස්නයිපර් එක. ඔලුවටම තියන්න මරු භාණ්ඩේ.
    හික් හික්.. මේකා කියනකොට ඔබතුමාට හිනා යනවා ඇති නේද දෙකොනින්ම?

    • මම ලිපියේ අන්තිමට කියලා තියනවානේ ඕනෙවට වඩා කියන්න ගියොත් LMG අජීර්ණය හැදෙනවා කියලා. 😀

      යුද බිමේදී මැගසින් පිරවීමට සහ ඒවා ඉදිරි භූමියට සැපයීමට වෙනම කණ්ඩායම් ඉන්නවා. අමතර පතරොම් යුද බිමේම පසුපස ආරක්‍ෂිතව තියාගෙන ඉන්නවා තවත් මැගසින් පුරවන්න.

      ගේම් ගහන එකනම් හොඳයි. හැබැයි හිතන්න එපා, ඇත්තම තුවක්කුව අතට ගත්තමත්, ඒ වගේ ගහන්න පුළුවන් කියලා.

    • මට තවත් පැනයක් මතු උනා. ඒ තමයි යම් වෙලාවක තුවක්කුව කොක් කළහොත් ඒ උණ්ඩයෙන් අනිවාර්යයෙන්ම වෙඩි තියන්න වෙනවාද? කොක් කරපු එක undo කරන්න හැකියාවක් නැතිද?

      • නැහැ, කොක් කළ තුවක්කුව ආරක්‍ෂිත තත්වයට (safety mode) ගෙන අර ලෝඩ් වූ පතරොම ඉවත් කර, ආපසු මැගසින් එකට දමන්න පුළුවන්. පතරොම් වැලක් නම්, ඒ වැලේ, තුවක්කුව ඇතුලේ තියන කොටස ඉවත් කරන්න පුළුවන්.

  4. ලිපිය දිග වැඩියි සිතමින් කියෙව්වාට කොහොමවත් දිග වැඩි නෑ. බොහාම වැදගත් දැනුම් සම්භාරයක් ගෙනා තවත් ලිපියක්Tha සහ tharaka අසන පැනයට පිළිතුරු මාත් අපේක්ෂා කරනවා විචාරක තුමණි

  5. දිමුත් said:

    අදනම් ටිකක් විතර දිගට ලිපිය ලියල තියෙනවා.බොහොම සතුටුයි ඒ ගැන.ඉදිරි කොටසුත් පලවෙනකම් නොඉවසිල්ලෙන් බලා ඉන්නවා.

    • බොහොම ස්තුතියි. මේ වගේ ලිපියක් ලියන එක තරමක් වෙහෙසකරයි. කරුණු හොයාගැනීම වගේම පරිවර්තනයෙදීත් ලොකු වගකීමක් දරන්න වෙනවා. ඊළඟ කොටසත් ඉක්මනින් දෙන්නම්.

  6. මේ තියෙන්නෙ සුපිරියටම දාලා.. කවුද කියන්නෙ ලිපිය දිග වැඩියි කියලා.?? කෝ පෙන්නන්ට එහෙම කියන එවුං ටික වෙඩි තියලා දාන්ට.. 😀

    M249 එක මාත් ආසම භාණ්ඩයක් තමා.. ඕකෙ airsoft gun එක තියෙනවා, මගේ wishlist එකේ තියෙන item එකක් තමා ඒකත්.. හැබැයි ගාන චුට්ටක් සැරයි.. 😦

    • බුදු අම්මෝ මගෙන් ඉගෙනගෙන මිනීමරනවා කියලා මටත් එල්ලුම්ගස් යන්න වෙයිද මන්දා.

      මමත් ආසයි airsoft gun එකකට. ලංකාවේ තියනවද මන්දා.

    • සර්.

      මෙහෙම ප්‍රශ්න අහන එක කරදරයක් කියල හිතන්න එපා. airsoft gun වලටත් ලයිෂන් ඕනද? මේ කමෙන්ට් එකට අදාල නිසි මෙතනම දැම්මේ

  7. මටත් පොඩි ප්‍රශ්නයක් මතු වුනා. ඔය තුවක්කුවල උණ්ඩ පිටවන වේගය ගත්තාම සාමාන්‍යෙයන් තත්පරයට 10 ක් විතර උණ්ඩ පිටවෙනවනේ. බැරිද ඒ පිටවෙන උණ්ඩ ගණන අඩු වැඩි කරගන්න.

    • උණ්ඩ ගණන අඩු කරන්න නම් මිරිකාගෙන ඉන්න ට්‍රිගරය (කොකා) වරින් වර අතහරින්න ඕනේ. ඒක පුහුණුවේදී කියලා දෙනවා. වැඩි කිරීම කියලා දෙයක් නැහැ. කොකා මිරිකගෙන හිටියොත් පට පට ගාලා ඔක්කොම යනවා.

  8. @ THARAKA. මොකක්දෝ තාක්ෂණික ප්‍රශ්නයක් නිසා ඔබ ඉහත airsoft gun වලට බලපත්‍ර ලබාගැනීම ගැන අහලා තියන ප්‍රශ්නයට එතන උත්තර දෙන්න බැහැ.

    මම දන්නා තරමින් ඒ වර්ගයේ තුවක්කු ලංකාවට ගෙන්වන්න අවසර දෙන්නේ නැහැ. ඔබට කලහැකිදේ තමයි, ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවියට ගිහින් ඊ මේල් මගින් විමසීමක් කරන එක.

  9. සිත්තරා said:

    Amazing article.

    1. If LMG means light machine gun, what is so light about it ?
      are there medium or heavy machine guns ?
      What makes them heavy?
      the weight of the gun or the calibre of the bullet or the range ?
    2. what are those huge guns with multiple barrels called ? the kind you see in action movies. usually with a huge guy operating it 🙂

    • Thank you very much for your inquisitiveness. Well, categorization or machine guns based on there size, caliber, capabilities, fire power, and so on. In military training and application in the battle field, the basic categorizations are, Light, Medium, and Heavy. Already I have explained about Light Machine Guns on this article. At the next article you may read about Medium and Heavy Machine Guns.

      There are several types of heavy guns with multiple barrels. Here I ‘m showing you a few examples. There are heavy machine guns with double barrels. However they are meant for anti aircraft purposes and anti naval craft purposes. and not to be used against Infantry.

      Old type multy barrel machine gun, presently not in use.

      Rambo with a real anti aircraft gun

      Anti aircraft/Naval craft gun in a battleship

      In some action movies some heroes use artificially made ‘Guns’ only for the movie and not existing in the real World. 😀

    • I think he’s asking about ‘Minigun’… Something like this…

    • I’m sorry I can’t understand what do you mean by minigun. Minimi I’ve already explained.

    • I already put a hyperlink for an image in my comment.. Please click the words ‘Something like this’ and u can see it..

      ps: It’s better if u can change some page settings, thus people can easily see there’s a hyperlink (a different text colour ie.)

    • Thanks Bura. I’ve understood what you really mean. (I’ve edited your comment and added the picture of that particular gun. Instead of hyperlink you can add the picture itself)

      This gun will not be used by Infantry soldiers in the battle field. This gun needs electricity to operate it’s barrel rotating mechanism. Therefore this type of guns are fitted on Helicopters, Battleships, Armoured Vehicles etc. In my blog post I’m referring only to machine guns used by Infantrymen in the battle field.

      I’ll try to make changes in the comment form as you suggested. Thank you once again.

    • You are welcome!

      I tried to insert an image in my above comment. But somehow it didn’t work, thus gave it up and inserted a hyperlink instead.. 🙂

  10. LMG අවිය ලංකාවෙ යුද්ධය රූපවාහිනියෙ පෙන්වපු නොයෙක් වතාවල මම දැකලා තියෙනවා…මේ අවිය ක්‍රියාත්මක කරන්න දෙදෙනෙක් අවශ්‍ය ඇයි කියන කාරණය මට වැටහුනේ නෑ…පොඩ්ඩක් එය විස්තර කරන්න පුලුවන්ද ?

    • ඕනෑම මැෂින් තුවක්කුවකට හොඳ පතරොම් සැපයුමක් නැත්නම් ඒ තුවක්කුවෙන් උපරිම වෙඩි බලය ගන්නට නොහැකි වෙනවා. එක්කෙනෙකු වෙඩි තබන අතරේ තව එක්කෙනෙක් අලුත් මැගසින් වලට පතරොම් පුරවා දීම හෝ එක මැගසින් එකක් ඉවර වනවිට අලුත් එකක් සවි කිරීම නොපමාව කලයුතුයි. ඒ නිසයි දෙන්නෙක් අවශ්‍යවන්නේ. සමහරවිට වෙහෙස නිසා එක්කෙනෙක් විවේක ගනිද්දී අනිකාට පුළුවන් වෙඩි තියන්න. සමහර තුවක්කුවල බැරලය මාරු කරන්නත් වෙනවා. ඉතින් දෙන්නෙක් නැතුව අමාරුයි.

  11. බ්ලොගර් වලට් වඩා මේකේ නියමයි, මන් ආසම මාතෘකාවක් ආයෙම ලියලා, thanks හොදේ

    • ඇත්තද දන්නේ නැහැ මම අහලා තියනවා වෘත්තීය මට්ටමේ බ්ලොග් ලියන්නන් බහුතරය පාවිච්චි කරන්නේ වර්ඩ්ප්‍රෙස් කියලා. මම බ්ලොග් ලිවීම ආරම්භ කලේ වර්ඩ්ප්‍රෙස් වලින් නිසාත්, වඩාත් හුරු මේ ක්‍රමය නිසාත්, මේ ක්‍රමයට ආසයි.

      බ්ලොගර් වලදී කමෙන්ට් එකකට පින්තූර හෝ වීඩියෝ එකක් දාන්න නම් අඩවි පරිපාලක විසින් ඒ සඳහා ටෙම්ප්ලේට් එක සකස් කර තිබිය යුතුයි. මම වරක් ඔයාගේ අඩවියේ කමෙන්ට් එකකට පින්තූරයක් දාන්න හැදුවත් හරිගියේ නැහැ. නමුත් වර්ඩ්ප්‍රෙස් වල එවැනි ප්‍රශ්න නැහැ.

      බ්ලොගර් අඩවියක කමෙන්ට් වලට වීඩියෝ හෝ පින්තූර දැමීම සඳහා ටෙම්ප්ලේට් එක සංස්කරණය කරන හැටි මෙන්න මෙතන තියනවා.

      මම දැන් මගේ බ්ලොගර් අඩවිය ඒ ආකාරයට හදලා තියෙන්නේ.

  12. සිත්තරා said:

    Thank you for the answer. yes i meant the gun in the picture. i believe Donald Duck is using one in he top of the article 🙂

  13. […] මේ ලිපි මාලාවේ පළමුවැනි කොටසට සහ දෙවැනි කොටසට ඔබෙන් ලද ප්‍රතිචාර මා බොහෝ දුරට […]

  14. […] ඉන්නවානම්, පළමුවැනි ලිපිය මෙතැනින්ද, දෙවැනි ලිපිය මෙතැනින්ද, තුන්වැනි ලිපිය මෙතැනින්ද, බලන්නට […]

  15. Ak 47 සහ T56 warga dekakda ?

  16. Mpmg ගැන තව හැදින්විමක් කරන්න පුලුවන්ද

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.