විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  Female recruits in the Israel Defense Forcesකට පුංචා කියන වචනය ඉස්සර තරම් දැන් භාවිත වෙන්නේ නැහැ. කාලෙන් කාලෙට අපේ වාග්මාලාව වෙනස් වෙනවනේ. අර්ථවත් වචන සමුදායක් සමගින් වාග්මාලාව වෙනස්වීම භාෂාවක දියුණුවට හේතු වෙනවා. නමුත් කිසි වැදගැම්මකට නැති වචන මේ තරම් ගොඩක් නිතර එකතුවෙන එකම භාෂාව සිංහලද කියලා වෙලාවකට හිතෙනවා. හරි හරි, භාෂා කතාව පැත්තක තියලා කට පුංචා කතාවට යමුකෝ. ඉස්සර කට පුංචා කිව්වේ තුවක්කුවට. තුවක්කු බටේ අග තියන කට ගැන තමයි එහෙම කිව්වේ. ඇත්තටම කට පුංචි වුනාට, කට පුංචාගේ වැඩ පුංචි නැති නිසා, ඔන්න කාලෙකට පස්සේ කට පුංචාලා දෙන්නෙක්ම අරන් ආවා ඔබට පෙන්නන්න. එක්කෙනෙක් ඇත්තටම පුංචියි.  එක්කෙනෙක් ටිකක් ලොකුයි. බලමුද දෙන්නගේ හැඩරුව වැඩකිඩ. 

  untitledඔබ බොහෝ දෙනෙක් T 56 ප්‍රහාරක රයිෆලය ගැන දන්න බවට කිසිදු සැකයක් නැහැ. ත්‍රිවිධ හමුදා හෝ පොලිස්, එහෙමත් නැත්නම් ග්‍රාමාරක්ෂක සාමාජිකයකු නොවුනත්, ඒ රයිෆලය ඇතුළු ආරක්ෂක අංශ පාවිච්චි කරන සමහර ගිනි අවි, පාවිච්චි කරන්න දන්න අය, ඔබ අතර ඉන්න බව රහසක් නෙවෙයි. බොහොම සන්තෝස වෙනවා ඒ ගැන. හැබැයි, ඒ දැනුම වැරදි විදිහට පාවිච්චි කරන්න එපා. කවදා හෝ, කිසිදු සැකයකින් තොරව, සාධාරණ ක්‍රියාවක් ලෙස ඔප්පුවන ක්‍රියාවක් සඳහා, ඒ දැණුම පාවිච්චි කරන්න. ගිනි අවියක් පාවිච්චි කිරීමේදී ඔබ මතකතබාගත යුතු වැදගත්ම දේ, ඔබ දෙසටත්, ඒ හා සමානවම හෝ ඊටත් වැඩියෙන්, ගිනි අවි එල්ලවෙන බවයි.

  type81-bඔබ මීට පෙර අසා තිබුනාද, T 56 රයිෆලයට බාල සහෝදරයෙක් ඉන්නවා කියා. ඒ සහෝදරයා තමයි T 81 ප්‍රහාරක රයිෆලය. (Type 81 assault rifle) මේ රයිෆලයට යොදන්නෙත් T 56 රයිෆලයට යොදන 7.62 x 39 පතරොම් වර්ගයම තමයි. ඒ කියන්නේ එකම කැලිබරය. ( මම ඔබට කලකට ඉහතදී කියලා දුන්න පතරොමක කතා අමතකද?) ඉහත තිබෙන රයිෆලයත් එක්ක සංසන්දනය කර බලද්දී මොනවද ඔබට පෙනෙන වෙනස්කම්? ඊට වඩා විශාලයි වගේද? බරයි වගේද? දිගින් වැඩියි වගේද? ප්‍රබලයි වගේද?

  • type_81_l1  හොඳයි අපි බලමු මේ රයිෆලය මොනවගේ එකක්ද කියා. මේ රයිෆලය අදටත් අපේ ත්‍රිවිධ හමුදාව පාවිච්චි කරන ප්‍රබල අවියක්. ඔබ දන්නවනේ, T 56 රයිෆලය, රුසියානු AK 47 රයිෆලය අනුකරණය කරමින්, 1956 දී චීනය විසින් නිෂ්පාදිත අවියක් බව. T 81 රයිෆලයත් චීන නිෂ්පාදනයක්. 1971 දී තමයි මුලින්ම සැලසුම් කර තිබෙන්නේ. මෙය අනුකරණයක් නෙවෙයි. 1981 දි තමයි මුලින්ම අත්හදා බලා තිබෙන්නේ. 1983 දී තමයි වෙළඳපොළට නිකුත්කර තිබෙන්නේ. (මමනම් පෞද්ගලිකව මේ අවියට කැමති නැහැ. සද්දේ වැඩියි, ගැස්සෙනවා වැඩියි, T 56 බබා වගේ 😀 බබා) මේ රයිෆලයේ ගති ලක්ෂණ මොනවාද කියා බලමු. මා හිතනවා T 56 රයිෆලය සමග සංසන්දනාත්මකව එය පෙන්වන්න.

img101  

 AK_BayonetChineseType81 T 56 රයිෆලයට වගේම මේ රයිෆලයටත් බයිනෙත්තුවක් තිබෙනවා. ඇත්තටම බයිනෙත්තුවක් තුවක්කුවකට සවි කරන්නේ ක්‍රම දෙකකින් සටන් කරන්න 1. තුවක්කුවට සවි කර තිබියදීම බයිනෙත්තුවෙන් සතුරාට අනින්න පුළුවන්. ඒ වගේම තුවක්කුවෙන් ගලවලා අරගෙන පිහියක් වගේ යොදාගෙන අනින්න පුළුවන්. නමුත් අද ලෝකයේ කොහෙවත් බයිනෙත්තු සටන් නැහැ. ලෝකයේ සෑම තැනකම තුවක්කු වලට අද බයිනෙත්තු සවි කරන්නේ ගෞරවාචාර පෙළපාලියක් සඳහා පමණයි.

slawc_a_2 img100 

එපමණක් නොව මේ රයිෆලයෙන් බෝම්බ විදීමද කරන්න පුළුවන්. ඒ සඳහා විශේෂයෙන් නිෂ්පාදිත බෝම්බ වර්ගයක් තිබෙනවා. නමුත් අපේ ත්‍රිවිධ හමුදාවනම් ඒවා බහුලව යොදාගත්තේ නැහැ. එයට හේතුව මිලිමීටර් 40 බෝම්බ විදින තුවක්කු වෙනමම භාවිත කිරීමයි. 

img099

  අනික් හේතුව වෙඩි තියන ගමන් තුවක්කු කටට බෝම්බ සවි කර කර ඉන්න එක ටිකක් කරදරයි. තමන්ගේ පතරොම් වලට අමතරව එවැනි බෝම්බ ගෙනයාමත් සොල්දාදුවකුට ටිකක් කරදරයි. ඊට වඩා ලේසියි බෝම්බ විදින තුවක්කුව පාවිච්චි කිරීම. (ඒ තුවක්කුව ගැන පසුව ලියන්නම්) රයිෆලයකට සවි කරන බෝම්බය තමයි මේ දැක්වෙන්නේ. මීට වඩා පැහැදිලි පින්තූරයක් හෙව්වත් හම්බ වුනේ නැහැ. 

  මේ තුවක්කුව සම්පූර්ණයෙන් කොටස් වලට ගැලවූ විට පෙනෙන ආකාරය පහත දක්වනවා. නමුත් ඉතා සංකීර්ණ නිසා ඒ සියලු කොටස් විස්තර කරන්නේ නැහැ.

img106 white space Comparisson 

තවත් වෙනසක් පෙන්වන්නම්. ඒ තමයි මේ තුවක්කු මෝස්‌තර දෙකේ ආරක්‍ෂිත අගුල පිහිටා ඇති ආකාරය. T 56 තුවක්කුවේ ආරක්ෂක අගුල විශාලව සහ ශක්තිමත්ව තිබෙනවා. එය තිබෙන්නේ තුවක්කුවේ දකුණු පැත්තේ. T 81 තුවක්කුවේ ආරක්ෂක අගුල ඉතා කුඩායි. එය තිබෙන්නේ තුවක්කුවේ වම් පැත්තේ. T 81 තුවක්කුවේ අගුල ඉතා පහසුවෙන්, නොදැනුවත්වම වෙඩි තැබීමේ ඉරියව්වට වැටීමට ඉඩ තිබෙනවා. එයට හේතුව එය ඉතා කුඩා සහ පහසුවෙන් තල්ලුවන ලීවරයක් නිසා. ඒ හේතුව නිසා මේ තුවක්කුවෙන් අත්වැරදීමෙන් වෙඩි පිටවූ අවස්ථා කීපයක් මම යුද බිමේදී දැක තිබෙනවා.

untitled

එයා ගැන කතා කළා ඇති නේද? දැන් ඊළඟ එක්කෙනා. එයාටනම් ඔබ බොහොම ආදරය කරනවා සිකුරුයි. 

  18මේ ඉන්නේ. කොහොමද නිකම් හුරුබුහුටි පෙනුම. මෙයාත් අපේ හමුදාවේ ඉන්නවා. විශේෂ බලකාය සහ කොමාන්ඩෝ රෙජිමේන්තුවත් එක්ක තමයි විශේෂයෙන් ඉන්නේ. ඇත්තටම මෙය ඉතාම හුරුබුහුටි ස්වයංක්‍රීය අවියක්. ඔබ බොහෝවිට මෙය දැක ඇති බටහිර ක්‍රියාදාම චිත්‍රපටි වල. මතකතබාගන්න මේ තුවක්කුව යුද බිමට ගැලපෙන්නේ නැහැ. මෙය ගැලපෙන්නේ ළඟ ළඟ (කෙටිදුර) සිදුවන වීදි සටන්, ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීමේ සටන් සහ විශේෂයෙන් ප්‍රභූ ආරක්ෂාව සඳහායි. ඇත්තටම මෙය විශාල ස්වයංක්‍රීය පිස්තෝලයක් ලෙස හඳුන්වන්නත් පුළුවන්. තනි අතින් වෙඩි තියන්න පුළුවන්, ඒ තරම් ගැස්සෙන්නේ නැති නිසා.  UZI, Mini UZI, UZI Pistol, ආදී වශයෙන් මෝස්‌තර කීපයකින් එන මේ තුවක්කුව ඉතාම ජනප්‍රිය අවියක්. තවමත් ඒ ජනප්‍රියත්වය එතරම් පහත වැටී නැහැ. මේ ලිපියේදී මම මේ තුවක්කුවේ වෙනත් මෝස්‌තර ගැන කතාකරන්න යන්නේ නැහැ. මේ ලිපියෙන් කතාකරන්නේ මෙහි දක්වා තිබෙන Mini UZI තුවක්කුව ගැන පමණයි.

  අපි මීළඟට බලමු මේ තුවක්කුවේ තාක්ෂණික විස්තර.

  • වර්ගය : සැහැල්ලු යාන්ත්‍රික තුවක්කු
  • නිර්මාතෘ  : ඌසියල් ගැල්
  • පළමු සැලසුම සැකසීම : 1948
  • නිෂ්පාදනය ඇරඹීම : 1950
  • නිෂ්පාදක : ඊශ්‍රායල් හමුදා කර්මාන්ත Israel Military Industries = IMI ( ඒ හැර ඊශ්‍රායලයේ අනුමැතිය යටතේ වෙනත් රටවල පිහිටි සමාගම් විසින්ද නිපදවනවා)
  • මෙතෙක් නිපදවා ඇති අවි ගණන : කෝටියකට අධිකයි
  • අවියේ බර (පතරොම් රහිතව) : කිලෝග්‍රෑම් 3.5 යි
  • අවියේ දිග (මිට හෙවත් බට් එක දිගහැර) : මිලිමීටර් 640 යි (අඟල් 25 යි)
  • අවියේ දිග (මිට හකුලා) : මිලිමීටර් 470 යි (අඟල් 18.5 යි)
  • තුවක්කු බටය හෙවත් බැරලයේ දිග : මිලිමීටර් 260 යි (අඟල් 10.2 යි)
  • යොදන පතරොම් වර්ගය : මිලිමීටර් 9 ( මේ හැර මේ අවියේම වෙනත් මෝස්‌තර සඳහා .22LR, .45 ACP, .41 AE යන මෝස්‌තර වල පතරොම් යොදනවා.
  • වෙඩි තැබීමේ වේගය : විනාඩියකට උණ්ඩ 600 යි
  • උණ්ඩ ප්‍රවේගය : තත්පරයකට මීටර් 400 යි
  • සඵල වෙඩි දුර : මීටර් 200 යි
  • උණ්ඩ යෙදීම : පතරොම් 20, 25, 32, 40, 50 ලෙස විවිධ ප්‍රමාණයේ මැගසින් මගින්.

  මේ තුවක්කුවෙන් වෙඩි තියන හැටි සරලව පෙන්වන්නම්. කොටස් ගලවමින් සවිකරමින් විස්තර කරන්න ගියොත් ලිපිය අනවශ්‍ය විදිහට දික් වෙනවා. පහත දැක්වෙන පින්තූරයෙන් ඔබට සතුටුදායක අවබෝධයක් ලැබෙනු ඇති.

Mini UZI Fire

A, R, S, යන ස්ථාන වලට සේෆ්ටි ලීවරය යොමු කලවිට සිදුවන්නේ මෙයයි.  A= Automatic සම්පූර්ණ ස්වයංක්‍රීය තත්වය. එනම් ට්‍රිගරය මිරිකාගෙන සිටිනතාක් කල් සියලුම පතරොම් පත්තු වෙනවා. R = Rapid ට්‍රිගරය එකවරක් මිරිකු විට තුවක්කුවෙන් එක වෙඩිල්ලක් පමණක් පිටවෙනවා. නැවත ට්‍රිගරය මිරිකු විට එක වෙඩිල්ලක් පිටවෙනවා. ඒ කියන්නේ ට්‍රිගරය මිරිකන වාරයක් වාරයක් පාසා එක වෙඩිල්ල බැගින් පිටවෙනවා. S = Safe තුවක්කුව අගුලු දැමීම. තුවක්කුව සම්පූර්ණයෙන් ක්‍රියාවිරහිත සහ ආරක්‍ෂිත තත්වයට පත්වෙනවා. තුවක්කුවේ කොටස් පහත රූපයෙන් බලන්න.  

img102 තවත් කට පුංචාලා ඉන්නවා. පස්සේ දවසක හඳුන්වලා දෙන්නම්. පින්තූර ලබාගැනීම Google Images වෙතිනි. ශ්‍රී ලංකා යුද හමුදා සම්මාන මුරයේ පින්තූරය www.army.lk වෙතිනි. My Signature for Blog2013 මාර්තු මස 22 දින 2332 පැය

Advertisements

Comments on: "මෙන්න තවත් කට පුංචලා දෙන්නෙක් – Two more Guns" (98)

  1. මට නම් T81ට වඩා T56 හුරුබුහුටියි, ලස්සනයි.. ඔය දෙකටම වඩා AK47 එක ලස්සනයි.. 🙂

    දැන් දැන් UZi එක තරමටම TAVOR එකයි X95 එකයි ජනප්‍රිය වේගෙන යනවා නේද.???

    • මටනම් T56 Fixed Butt සහ AK 47 ඒ තරම් වෙනසක් දැනුනේ නැහැ පාවිච්චි කරද්දී. දෙකම එකවගේ තමයි.

      අම්මෝ…….. අර ඔයා කියලා තින ඒවා වගේ අලුත් තුවක්කු මෝස්‌තර වලට තව ටිකක් පහුවෙලා යමු.

  2. ක්සැන්ඩර් said:

    ආන්න මං කැමතිම තුවක්කුවේ සහෝදරයෙක් අද පෙන්නලා. බොහොම ස්තුතියි විචාරක මහත්තයෝ සිංහල ලිපි වලට, මේ දැනුම ඉංග්‍රීසියෙන් තිබ්බට සිංහලෙන් ලියවෙන්නේ මෙතන විතරද මන්දා.

  3. හොඳ විස්තරයක්. අපිට මේවා අලුත්ම සබ්ජෙක්ට්.

  4. lord of war චිත්‍ර පටියේ ප්‍රධාන චරිතය පළමු වරට විකුනන්නේ UZI එකක්. UZI කියන්නේ දැක්කම ආස හිතෙන නිෂ්පාදනයක්. UZI එකකට උණ්ඩ 20 ක මැගසින් එකක් දාලා Automatic ආකාරයට වෙඩි තිබොත් තප්පර 2 න් ඔක්කොම ඉවරයි නේ.
    T81 වැඩිපුර ගැස්සීමට හේතුව බර අඩුකම සහ වෙඩි තැබීමේ සීග්‍රතාව වැඩිකම නේද? සඵල වෙඩි දුර වැඩිවීමට හේතුව බටයේ දිග වැඩිවීම නේද? T81 හි සඵල වෙඩි දුර වැඩිවුවත් වැඩිපුර ගැස්සෙන නිසා ඉලක්කයක් ගැනීම අපහසු වෙන්න ඕන.

    • ඔබේ දැනුම ඉහලින් අගය කරනවා. ඌසි එකේ පතරොම් 20 මැගසින් එක හරියටම තත්පර දෙකෙන් ඉවර වෙන්නේ නැහැ. ටී 81 ගැන ඔබ කියන කරුණු හරි. හැබැයි ටී 81 හරියට ඉගෙනගත්තට පස්සේ ටී 56 ට වඩා හොඳින් වැඩගන්න පුළුවන්.

  5. මටනම් T 81 හොඳට හිතට ඇල්ලුවා… අර පොඩි එකානම් වැඩකට ඇති එකෙක් නෙමේ..ඌ නිකන් ඩ්‍රිල් එකක් වගේනෙ.. 🙂

    • පොඩි එකා ඕනේ තැනක පහසුවෙන් අරන් ගිහින් හතර අතේ වනන්න පුළුවන්. අරයා හංගගෙන යන්න අමාරුයි. පොඩි එකාගේ සද්දෙත් අඩුයි, සයිලන්සර් හයිකරන්නත් පුළුවන්. ඌ ඩ්‍රිල් එකක් තමයි. වැදුන වැදුන තැන ඩ්‍රිල් වෙනවා. 😀

    • ඔය පැත්තේ කට පුංචාලා යන යන තැන ඉන්නවා නේද?

      • නැහැ විචාරක, තුවක්කුවක් කිසිදාක අතින් වත් අල්ලලා නැති අය එහෙම කතා පතුරවමින් නීත්‍යානුකූල අවසරයෙන් තියාගන්න හැකි තුවක්කු නීත්‍යානුකූල පුරවැසියන් වෙතින් අයින් කරන්නට උත්සාහ ගත්තට කට පුංචාලා තියෙන්නෙ රටේ ආරක්ෂක රහස් රකින අයට විශේෂ අවසර වලින් ලැබෙන, මිලිටරි අයට සේවයේ යෙදෙන විට ලැබෙන සහ හොරෙන් තියාගන්නා නීති කඩන අයට විතරයි.

        • ඒකනම් හොඳයි. මම හිතන්නේ නෑ නීත්‍යානුකුල අවි නීත්‍යානුකුල අයිතිකරුවන්ගෙන් ඉවත් කිරීම එතරම් බුද්ධිමත් වැඩක් කියලා.

    • ඊමේල් එකක් ලැබුණා මම ලියලා ප්‍රතිචාරයේ දෝෂයක් ගැන. එයා හරි. මෙහෙම කට පුංචාලා තියෙන්නෙ ඇමෙරිකාවේ ටික දෙනාටයි කියල නිවැරදි වෙන්න ඕනෑ. Handguns ගොඩක් අයට තියෙනවා, ඩබල් බැරල් ඊ ළඟට, මේ ජාතියෙ ඒවා ළඟ තියාගන්න අය ගැනයි මම ඉහත කිව්වෙ.

  6. //එපමණක් නොව මේ රයිෆලයෙන් බෝම්බ විදීමද කරන්න පුළුව//

    ඒ බෝම්බය ක්‍රීයාත්මක වෙන්නේ කොහොමද, බුලට් එකෙ බෝම්බයේ පස්සට වැදිලා බෝම්බය ඉස්සරහට යනවද, චුට්ටක් කමෙන්ට් එකකින් පැහැදිලි කරනවද

    ඌසී එකට නං මම හරි ආසයි, එස් ටී එෆ් ලත් ඕක තියාගන ඉන්නවා දැකලා තියනවා,

    අනේ ලොකු දෙයක් මෙව්වා ආයේ ලියන්න ගත්ත එක

    මිනිස්සු ආයුධ වලට මෙච්චර ආසා ඇයි අප්පා

    • හුට්ටබටා. අමතක උනානේ. බෝම්බ විදින්න යොදන පතරොමක් තියනවා. එකෙන් දෙන්නේ පීඩනයක් විතරයි. සාමාන්‍ය පතරොමක් දැම්මොත් ඒක ගිහින් බොම්බේ පස්සස පැත්තට $#%@ තමයි.

      ඌසි එක කවදත් ජනප්‍රිය අවියක්.

      තව තුවක්කු ගොඩක් තියනවා. වෙලාවකට හරි කම්මැලියි ඒවා ගැන ලියන්න.

      හොඳ ප්‍රශ්නයක් ඇත්තටම සාමය සාමය කියලා කොච්චර කෑ ගැහුවත් හොඳ යුද්ධ චිත්‍රපටි ජනප්‍රිය වෙන්නේ ඒවාගේ තියන තුවක්කු සෙල්ලම් නිසා නේද?

  7. අර ඌසි එකනං නියම බඩුවක් වගේ පේන්නෙ.
    T56 යි 81 යි අතරෙ වෙනස්කම් අද තමයි දැනගත්තෙ.

    • ඌසි එකෙන් වෙඩි තියලා බලන්න ඕනේ ප්‍රසන්න. නිකම් බටර් වගේ ලිස්සලා යන්නේ උණ්ඩ.

      ඇත්තටම T 81 ගැන සිංහලෙන් කල පළමුවැනි හැඳින්වීම වෙන්න පුළුවන් මේ ලිපිය.

  8. සඵල වෙඩි දුර කියන්නේ කුමක්ද? මේ දුර ඇතුලෙදි කෙනෙකුට මරණය ලඟා කරදිය හැකි බවක්ද?

  9. දැන් ඉතින් තුවක්කුවක් හොයාගන්න ඕනේ 😀

  10. T 56,T 81 වැනි අවි වලින් රාත්‍රී වෙඩි තැබීමේදී මල් වෙඩිල්ලක් මෙන් ගිනි පුලිගු සහිත දැල්ලක් පිටවීම අවාසියක් නේද? බැරලයේ කෙළවර සිදුරු සහිතවන අවිවල මේ තත්වය දක්නට නැහැ නේද?

    • කිසිදු ගිනි අවියකින් වෙඩි තැබීමේදී බටයෙන් ගිනි පිටවීම සම්පූර්ණයෙන් වලක්වන්න බැහැ. සයිලන්සර් සවි කලොත් විතරයි වලක්වන්න පුළුවන්. නමුත් යුද්ධය සඳහා සාදා තිබෙන සෑම ගිනි අවියකටම සයිලන්සර් නැහැ. අපේ ගිනි එලිය සතුරාට පෙනෙනවා වගේම සතුරාගේ ගිනි එලිය අපටත් පෙනෙනවා. ඒ නිසා හැකි සෑම විටම ආවරණයක සිට තමයි වෙඩි තියන්නේ. ඔබ කියන ආකාරයේ ගිනි එලිය අඩු කිරීමට යොදන flash hider එකෙන් වුනත් සම්පූර්ණ ආවරණයක් ලැබෙන්නේ නැහැ.

  11. අපේ පාතාල අයියලාත් “මිනි උශි” පාවිච්චි කරල තියනවලු.

  12. උසියක් කියන්නේ මම බොහොම ආස භාණ්ඩයක් …
    ප්‍රංශේදී නම් රුපියල් ලක්ෂ 3 වගේ මුදලකට සමාන
    ගාණක් තමයි වෙන්නේ….පුද්ගලික ආරක්ෂාව වෙනුවෙන්
    පාවිච්චි කරන්න පුළුවන් තව පුද්ගලික හේතු කීපයක්
    යටතේ ….. ( තමන්ගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියට විතරයි හැබැයි
    දෙන්න පුළුවන් )

    ස්තූතියි මේ කරුණු බෙදා ගත්තට විචාරක තුමා ……

    • ලක්ෂ තුන නෙවෙයි ඊට වැඩි වුනත් මමනම් ගන්නවා මෙහෙදිත් ඒ වගේ පාවිච්චි කරන්න දෙනවනම්. බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන.

      • විශ්ව රංගනාත් said:

        ඔබ විතරද කවදාවත් තුවක්කුවක් අල්ලපු නැති මම උනත් මෙහෙ බාවිතයට අවසර තියෙනවා නම් ගන්නවා uzi එකක්. අර උඩින් physicslanka නමින් comment කලේ මම. මම ගොඩක් කලකට ඉස්සර එහෙම wordpress blog එකකට නම වන කළා මගේ ගාව physicslanka.com තියෙන නිසා මම එක බාවිතා කරන්නේ නැහැ නමුත් wordpress වල comment කරන හැම විටම නම් ලියන්න වෙනවා. මට එක කරන්න බැරි වුනා.

        මම අවි වලට කැමතියි. මිනිසුන් තියා මට බල්ලෙක් වත් මරන්න බැහැ. මට කාලෙකට කලින් mechanical engineering ඉගෙනගන්න කාලේ අවි සැලසුම් කරුවෙක් වෙන්න කැමැත්තක් නම් තිබුනා. සමහර විට අවස්ථාවක් ලැබුනා නම් එහෙම වෙන්න තිබුනා. අපි වගේ අයට රට වෙනුවෙන් එහෙම දෙයක් කරන්න නම් පුළුවන් යුද්ද කරන්න නොයා.

        • අග ඉඳලා මුලට උත්තර දෙන්නම්. ලෝකයේ මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම අවි සැලසුම් කරුවන් (පරමාණු බෝම්බය ද ඇතුළුව) හමුදා සාමාජිකයන් නෙවෙයි. ඇමරිකාවේ පේට්‍රියට් මිසයිල් ගහන මුල්ම කණ්ඩායම සියලුදෙනා සිවිල්,/විද්‍යුත්/යාන්ත්‍රික/ ඉංජිනේරුවන්. ඇත්තටම අපේ රටට අහිමි වන බුද්ධිමය සම්පත් මෙපමණය කියා හිතන්න බැරි තරම් විශාලයි.

          අවි ගැන අධ්‍යයනය කිරීම මිනීමරන චේතනාවෙන් කරන දෙයක් නෙවෙයි. එය එක්තරා ආකාරයක දැනුම දියුණු කරගැනීමක්, විශේෂඥ දැනුම අවශ්‍ය අවස්ථාවල ලබාදීමට රුකුලක්. ලෝකයේ බොහෝ රටවල මෙවැනි විවිධ විෂයයන් සඳහාවූ විශේෂඥයන් ඉන්නවා. අපේ රටේ එවැනි ඇය නැති නිසයි බෝම්බයක් පිපිරුවත් පිටරටින් විශේෂඥයන් ගෙන්වන්න වෙන්නේ පරීක්ෂණ සඳහා.

    • එතරම් ලේසියෙන් ගන්න බැහැ.මොකද මේක ස්වයංක්‍රීය ගිණිඅවියක්
      විශේෂ පුහුණුවක් ලැබූ කෙනෙක්ම පමණක් භාවිතා කල යුතු.

      01.මානසික වෛද්‍ය වරයෙක්ගේ අනුමැතිය
      02.වත්කම් ප්‍රකාශය
      03.පුද්ගලික ආරක්ෂකයන් / හමුදාවක් සේවයේ යෙදවීමට ගත් අනුමැතිය
      04.වත්කම් සනාථ කිරීමක්
      05.ඇපකරයක්
      06.හිමිකරු ගැන පූර්ණ විස්තර
      07.
      08.

      වගේ දේවල් ඕනේ. 7/ 8 යන කරුණු මෙහි සඳහන් කිරීම නුසුදුසුයි..:(

      • බුදු අම්මෝ, මේ ඔක්කොම සම්පූර්ණ කලාම කීයෙන් කී දෙනාටද ගන්න ලැබෙන්නේ. නෑ නෑ එක අතකට එහෙම හොඳයි. මම හිතන්නේ සමාජ ආරක්ෂාව ගැන හිතලා දාපු නීති පද්ධතියක්.

        මොකද 7 සහ 8 කියෙව්වොත් අපි නරක් වෙයිද? 😀

  13. පහුගිය ලිපි හැම එකම වගේ කියෙව්වත් කමෙන්ට් කරන්න විවේකයක් තිබුණේ නෑ… හෙමිහිට හරි අනිත් තුවක්කු ගැනත් ලියන්න…

    ඊයේ පෙරේදා අන්තර්ජාලයෙන් මේ මනුස්සයාගේ වීඩියෝ වගයක් බලද්දී මට විචාරකවත් මතක් උනා… මෙයත් එක්ක හැන්දෑවක සෙට් උනොත් කතාකරන්න ගොඩක් දේවල් තියේවි නේ… 😀

    මෙන්න බ්ලොග් එක 🙂

    http://slingshotchannel.blogspot.com/

  14. අවි කෙරෙහි එතරම් ප්‍රිය තාවක් නොමැත.

    • ඒක හොඳයි නලීන්. ඔබවැනි සාමකාමී මනසක් තියන අය අවි වලට අකමැතිවීම පුදුමයක් නෙවෙයි. විනෝදාංශයක් ලෙස අවි ගැන දැනුම හොයන අයත් ඉන්නවනේ. ඒ අයටයි මේ ලිපිය.

  15. කාලෙකින් ආවේ…. පට්ටම බිසී මේ දවස්වල. මටනං මේ එකක්වත් අල්ලන්නෑ. UZI නිකං කච කච ගාලා හතර අතේ කැරකෙනවා මිසක් හරියට ඉලක්කයක් ගන්නවත් බෑ ඒක හොඳයි පිගටිං කරන එවුං රොත්තකට වෙඩි තියන්න වගේනං. T56ත්නං හොඳයි classic වැඩී දැං ඒක පරනයි.

    • ඔයාගේ අධ්‍යාපන වැඩකටයුතු සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඌසි එක හැන්ඩ්ල් කරන නිවැරදි ක්‍රමය අල්ලගත්තට පස්සේ බඩුම තමයි. ඉස්සරහට නියම බඩු පෙන්වන්නම්.

  16. ” Uzi Gun ” අර මැර වින් ගේ පුත්තරයා පොටෝ එකක් දාලා තිබ්බේ Uzi Gun එකකින් වෙඩි තියන …. ඔය පොටෝ සෙට් එක්කම් තිබ්බා …. !!! ….
    ඔබතුමා M 16 ගැනත් පොඩි හ්දින්වීමක් කරන්ඩ තින් ……..

    • කමකට නැති රස්තියාදු කාරයින් ගැන කතාකරන්න මම කැමති නැහැ. තවත් තුවක්කු බොහොමයක් ගැන ඉදිරියේදී කියන්නම්.

      • ඇත්ත … ඔය කාල කන්නි ගැන කතා කරලා වඩක් නැ තමා … නමුත් ආරක්ෂක අංශයට නිකුත් කරපු අවි ඔය විදිහට පාවිචිචි කරන්ඩ පුළුවන් එකම රට ලංකාව වෙන්ඩ ඇති …. ! ඔබතුමා ගෙන් ඉල්ලීමක් කරන්ඩ හිටියේ ලෝකයේ සිදුවූ පැරණි යුද තත්වයන් ගැන ඉතිහාසමය වැදගත් වාර්තා ලිපි පෙලක් පල කරන්ඩ කියලා ….

        • ආරක්ෂක අංශ සමහරක් සම හරක් දේශපාලුවන්ගේ බූදලය වෙලා. ඕනේ එකාටයි එපා එකාටයි ඔක්කොටම අවි පුහුණුව හොරෙන් ලබා දෙනවා.

          පැරණි යුද්ධ බොහොම හොඳ මාතෘකාවක් ඉදිරියේදී ලියන්නම්.

  17. බය හිතෙන බඩු නේ..!

  18. T56 එකට වඩා මටනං T81 එක අල්ලලා යනවා. විචාරකතුමා කිව්ව එකේ අනිත් පැත්ත තමා මට… T56 මල විකාරයක්නේ… දෙපැත්තට ගහනවා වැඩියි… ටී එයිටි වන් එක එයිට වඩා ස්ථාවරයි මට හිතෙන හැටියටනං… පරණ රයිෆල් එකක් තරං නැති උනත් ටී පයිව් සික්ස් එකට වඩා එයිටි වන් එකෙන් ටාගට් එකට ගහතෑකි… හැබැයි ටී ෆයිව් සික්ස් එකේ ෆික්ස් බට් (ලී) එකනං තරමක් හොඳයි අර උලව් කචල් පට් එකට වඩා… සයිඩ් බට් එක ටිකක් හොඳා.. හැබැයි වැඩියම නෙවෙයි.

    • T 56 කචල් බට් (Collapsible Iron Butt) ඒ කාලෙදිම අපට එපා වුනා. දැන් ඒ මෝස්තරය ත්‍රිවිධ හමුදාවෙන් අයින් කරලා තියෙන්නේ. T 56 දෙපැත්තට ගහන්නේ නොකඩවා එක දිගට (Full Auto Mode) වෙඩි තියනකොට. ඒකට විසඳුම් දෙකක් තියනවා. 1. අවිය පැත්තට හරවා (මැගසින් එක පොළොවට සමාන්තරව පිහිටන ලෙස) වෙඩි තැබීම. 2. තුවක්කු බටයේ අගින් අංශක 45 ක කෝණයකට අඟලක විතර කෑල්ලක් කපා ඉවත් කිරීම. T 81 ඇත්තටම හොඳ අවියක්. මම කිව්වේ මම කමතිනෑ T 56 ට තියන ලව් එක අතාරින්න. 😀

  19. ඌසි බට්ට දැක්කම නම් ආසාවේ බෑ. 🙂

  20. මේවායින් ගෑනු ලමයින්ට හොඳ මොනවද? 🙂

    • අම්මෝ එකක්වත් හොඳ නෑ. සුකොමල ලඳ බොළඳ බව නැතිවෙනවා. ඒත් දැන් කාලේ ලෝකේ යන විදිහට, හෑන්ඩ් බෑග් එකේ ගෙනියන්න පුළුවන් පුංචි පිස්තෝලයක් පාවිච්චි කරන්න දැනසිටීම වැදගත්.

  21. කාටහරි වෙඩි තියාගෙන තියාගෙන යන්න හිතෙනවා 🙂 🙂 🙂

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    • බුදු අම්මෝ රජෝ, හීනෙකින්වත් හිතන්ඩ එපා. රාජ සම්පත් එපා වෙලාද? කොහොමද එදා අර කැබ් එක රාජ භවනට පෙරලුන වෙලාවේ මිනි ඌසියක් අතේ තිබුණානම්. 😀

  22. ගිනි අවි වලට එතරම් ප්‍රියතාවයක් නම් නැහැ. ඒත් මම කැමතිම අවිය තමයි suppresser එකක් සවි කරපු sniper අවිය. කොම්පියුටරේ ගේම් ගහද්දි මම ගොඩක් වෙලාවට තෝරන්නේ මේක තමයි.

    • ගිනි අවි කියන්නේ කවදාවත් ආදරයෙන් වැළඳගත යුතු දෙයක් නොවේ. නමුත් ඒවා ගැන දැනගෙන සිටීම ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඔබ ස්නයිපර් අවියට කැමති වී තිබෙන්නේ නිතරම ඒ අවිය පාවිච්චි කරන නිසයි. කවුරුත් එහෙම තමයි.

  23. කියෙව්වෙමි. ආසාවක් ඇතිඋනා මේකකින් වෙඩි කොරලා බලන්න. ඒත් ඉතින් අපට එහෙම අවස්ථාවක් උදා වෙන්නේ නෑ නෙව….

    • පිට රටවලනම් තියනවා විනෝදාංශයක් ලෙස වෙඩිතැබීම කරන සමාජ. අපේ රටේ ඇතිවෙන්න තව කල්යයි. ශ්‍රී ලංකා රයිෆල් සමාජයේ වර්තමාන තත්වයත් මම දන්නේ නැහැ.

      • අවස්ථාව තියෙනවා මහත්මයා. හැබැයි අපට නෙමේ. මම පොඩි වැඩක් කොලා ඒක ටැස් කොරලා බලන්නයි මේ කෙ‍ටුවේ. වැඩේ ගොඩද කියලා බලමු.

  24. බීට්ල් දාපු පලවෙනි වීඩියෝ එකේ වගේ සුපිරි භාණ්ඩයක් තියෙනවා ප්‍රිඩේටර් වන් ෆිල්ම් එකේ. මමනම් ආසම වෙපන් එක ඒක තමයි. 😀

    1956දී ආපු ටී ෆයිව් සික්ස් එකමද තාම පාවිච්චි වෙන්නේ? අපේ රටේ වැඩිපුරම තියෙන්නේ එව්වා නේද?

    • සමහර චිත්‍රපටිවල පෙන්වන්නේ ඒ චිත්‍රපටිය වෙනුවෙන් සැකසූ ගිනි අවි. ඒවා ඇත්ත ඒවා නෙවෙයි. චිත්‍රපටියට අවශ්‍යදේ කර පෙන්වියහැකි ඒවා.

      1956 මෝස්තරයෙන් පසු ටී 56 අවියට වෙනස්කම් රාශියක් කර තිබෙනවා. අපේ ත්‍රිවිධ හමුදාව දැන් පාවිච්චි කරන්නේ ටී 56 මාර්ක් 2 අවියයි.

  25. හැම තුවක්කුවකටම අදාල serial no එකක් තියනවද?
    කොටි ත්‍රස්තවාදීන්ගෙන් අල්ලගත්ත තුවක්කු/අවි ආයුධ අපේ හමුදාව පාවිච්චි කරනවද?

    • හොර කම්හලකින් හැර, ලෝකයේ ඕනෑම රටක කම්හලක නිපදවන, සෑම ගිනි අවියකටම, අනුක්‍රමික අංකයක් තියනවා. ලෝකයේ කොහෙවත් එකම අංකයෙන් අවි දෙකක් නිපදවෙන්නේ නැහැ.

      එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති අනුව ක්‍රියාකරන ලෝකයේ කිසිම හමුදාවක්, සතුරාගෙන් අල්ලාගත් අවි සතුරාට එරෙහිව හෝ වෙනත් කාර්යයන් සඳහා පාවිච්චි කරන්නේ නැහැ. ප්‍රදර්ශනය කිරීම නම් වරදක් නෙවෙයි.

  26. කේ.යු.ජී.උදාර said:

    අයිය නොහිටිය නම් අපිත් මේව කොහෙන් කියල දැනගන්න ද…….
    බොහොම ස්තූතියි ලිපියට.

    • ඉංග්‍රීසි භාෂාවෙන් මේ තොරතුරු මීටත් වඩා සවිස්තරව අන්තර්ජාලයේ තියනවා. මම හිතන්නේ සිංහලෙන් මේවා ලියන පළමුවැනියා මම විය හැකියි.

  27. uzi එකට තමයි වඩාත් කැමති.. ඒත් මැගසින් එක එළියට පේන එක හරිම කැතයිනෙ… නිකන් කෑල්ලක් අමුණලා වගේ…

    අද ලිපිය නම් කෙටියි..

    • තවත් දිග මැගසින් තියනවා ඌසි එකට ගහන. කැත වුනාට වැඩ කරනකොට ලස්සනයි 😀 හිතාමතාම කෙටි ලිපියක් ලිව්වේ. දිග මාතෘකා කීපයක් පෝලිමේ තියනවා.

  28. ලිපියනම් නියමයි.කට පුංචලා නැතුව ඔය ලොකු කටවල් තියෙන හාදයො ඒ කිව්වෙ කාලතුවක්කු වගේ එව්ව ගැනත් ලිපියක් දාන්න පුලුවන්නම් හොඳයි.

  29. ඔන්න අපි ආසම දෙයක් ගැන දාලා. නියමයි වස්තුවේ ඔහොම යමු

  30. ඉමල්ක ද සිල්වා said:

    මං නම් කැමතිම ගන් එක M4 එක එක ගැනත් පොස්ටුවක් දාන්නකෝ විචාරක තුමෝ , තව එකක් T 56 න් ෆයර් කරන කොට දෙදරීම වැඩි කමට ඉලක්කය ගැනීම ගොඩක් අපහසු වෙනවා නේද , Uzi ගන් එක හොදට ඉලක්කය ගන්න පුළුවන් එකක් නේ , තව දෙයක් ගැන වල සයිලන්සර් ගැනත් මොනා හරි ලියන්නකෝ

  31. සිංහලෙන් තියන හමුදා ප්‍රකාශන ඉතාම අල්පයි. නැති තරම් කිව්වත් නිවැරදියි. මේ බ්ලොග් එකට ඔබතුමා යොදන කාලය හා ශ්‍රමය බලන හැම කෙනෙක්ම අගය කරනවා.
    පොඩි මාතෘකාවක් ගැන ලිපියක් ඉදිරිපත් කරන්න කියලා මගෙන් ඉල්ලීමකුත් තියනව. අපේ හමුදාවෙ සැකැස්ම සිංහලෙන් විස්තර කරන්න පුලුවන්නම් හරි වටිනවා. (අනුකන්ඩයක් කියන්නෙ මොකක්ද… බල ඇනියක් කියන්නෙ මොකක්ද.. ඒවායෙ සැකැස්ම ගැන විස්තරයක්)
    පහල සබැදියෙන් හොද ඉංග්‍රිසි විස්තරයක් තිබුනත් මෙවට කියන ඔය සිංහල නම් එක්ක ගලප ගන්න අමාරුයි.
    පහල ලිපිය රෙජිමේන්තුව ගැන. එතන දකුණු පැත්තෙන් තියන වගුව විස්තරාත්මකව ඉදිරිපත් කරන්න පුලුවන්නම් බොහොම ස්තුතියි
    http://en.wikipedia.org/wiki/Regiment

    • මටත් තවම හමුවෙලා නැහැ හමුදා තොරතුරු සහිත සිංහල බ්ලොග් අඩවියක්. මම හමුදාවෙන්ම ලද ශික්ෂණය නිසයි ලිපි ලිවීමේදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්නේ.

      ඔබ කරන ඉල්ලේම හැකි ඉක්මනින් ඉට්ටු කරන්නම්. නමුත් ලංකාවේ හමුදාව ගැන නොකියා පොදුවේ කතාකිරීම තමයි හොඳ. මොකද සමහර තොරතුරු ටිකක් රහසිගත ඒවා නිසා. කොහොම වුනත් ලිපිය නොවරදවාම දෙන්නම්.

      ඔබ ලබාදී ඇති විකිපීඩියා සබැඳියාව වෙනත් ලිපියකට අදාළ සුළු කොටසක්.

  32. AK47 ,UZi දෙක නම් හොඳට හුරුයි ගේම් වලදි වෙඩි තියලම.. අනිත්වා නම් දැක්කෙද අදද කොහෙද… 😀 ඇත්තටම කොහෙන්ද මේවා ඉගෙන ගත්තෙ ?

    • ඔබ අදහස් කරන්න ඇත්තේ පරිගණක ක්‍රීඩා ගැන වෙන්න ඇති. බොහොම හොඳයි. හැබැයි එක දෙයක් මතක තබාගන්න පරිගණක ක්‍රීඩාවේ අවිය සහ ඇත්තම අවිය අහසට පොලොව වගේ වෙනස් වෙනවා ඇත්තටම වෙඩි තැබීමේදී.

      කොහෙන්ද මේවා ඉගෙන ගත්තේ? අවුරුදු 30කට වඩා ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කිරීමෙන් තමයි ඉගෙනගත්තේ.

  33. මමං ඔය UZI එක ගැන දන්නේ IGI ගේම් එකෙන් වෙනද වගේම එල විස්තරයක්

  34. ප්‍රශ්න දෙකක් තියෙනවා.

    1. T81 උණ්ඩ පිටවන වේගය T56ට වඩා අඩු වෙලත්, range එක වැඩි උනේ කොහොමද?
    2. බයිනෙත්තුව සවි කලාම තුවක්කුවේ accuracy අඩු වන බව අසා තිබෙනවා. හැබෑද?

    • 1. T 81 රයිෆලයේ බැරල් එක (බටය) T 56 රයිෆලයේ බැරල් එකට වඩා අඟල් 1 1/2 ක් පමණ දිගින් වැඩිවීම නිසා range එක වැඩියි.

      2. බයිනෙත්තුවේ බරට වෙඩි තබන්නා කලින් හුරුවී නැත්නම් පමණයි එවැනි ප්‍රශ්න මතුවෙන්නේ. සාමාන්‍යයෙන් අද ලෝකයේ කොහෙවත් බයිනෙත්තුව සවි කරගෙන වෙඩි තබන්නේ නැහැ.

  35. […] කියලා තියන බව අමතක කරන්න එපා. ඕනෙනම් තවත් පරණ ලිපි අවුස්සා බලන්න. තුවක්කු ගැන ජීවිත […]

  36. […] එකක් වීමයි.  මේ මැෂින් තුවක්කුව T 81 ප්‍රහාරක රයිෆලය ආශ්‍රිතව නිපදවා ඇති නිසා මෙය T 81 LMG කියා […]

  37. සිංහල සාමාන්‍ය අයට අරුමයක්ව පවතින දැනුම බෙදාහරිනවාට ඔබතුමාට නැවතත් ස්තුතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: