විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Division85  යුද හමුදාවක සැකැස්ම නොහොත් සංවිධානය වී ඇති ආකාරය මොනවගේද කියලා දැනගන්න බොහොම දෙනෙක් කැමතියි. පහුගිය යුද සමයේදී මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය මගින් යුද තොරතුරු වාර්තා කිරීමේදී යුද හමුදා භටපිරිස් අයත් වන විවිධ ප්‍රමාණයේ කණ්ඩායම් පිලිබඳ තොරතුරු කියවූවා/ඇසුවා/නැරඹුවා ඔබට මතක ඇති. නමුත් ඒ කියන භට කණ්ඩායම් මොන වගේද කියන ගැටළුව නම් ඔබෙන් සෑහෙන පිරිසක් අතරේ අදටත් ඉතිරිවී ඇති. පසුගිය කාලයේ මට සැලකියයුතු ඉල්ලීම් ගණනාවක් ලැබුනා හමුදාවක සැකැස්ම කෙබඳුද කියා ලියන්න කියලා. ඉතින් ශ්‍රී ලංකා යුද හමුදාව ඔහේ තිබුනාවේ. අවශ්‍ය විට පමණක් ඒ පැත්ත බලමු. අපි පොදුවේ යුද හමුදාවක සැකැස්ම ගැන කතා කරමු. මේ සඳහා මා ආධාර කරගන්නේ නේටෝ සංවිධානයට අයත් තොරතුරු සහ බ්‍රිතාන්‍ය යුද හමුදාවට අයත් තොරතුරු. එයට හේතුව වන්නේ බ්‍රිතාන්‍ය හමුදා සැකැස්මට බොහොම ආසන්න ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවේ සැකැස්ම තිබීමයි. ඉහත රූප සටහන ගත්තේ මෙතනින්

  figA-6 පුංචි උල්පතකින් උණන දියසීරාවකින් තමයි මහා ගඟක් වුනත් පටන්ගන්නේ කියලා ඔබ දන්නවනේ. ඉතින් හමුදාවක් හැදෙන්නෙත් සොල්දාදුවන්ගෙන් සමන්විත විවිධ ප්‍රමාණයේ කොටස් එක්වීමෙන්. ඔබ හිතන්නට ඉඩ තිබෙනවා මා මෙහි විස්තර කරන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සැකැස්ම කියා. නැහැ. මා මෙහි විස්තර කරන්නේ ‘නේටෝ – NATO’ සංවිධානයට අයත් පොදු සැළැස්ම පදනම් කරගත් විස්තරයකුයි. ඒ නිසා මෙහි යුද රහස් හෙළි කිරීමක් නැහැ. නේටෝ සංවිධානය පමණක් නොවේ, ඇමරිකාව, රුසියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය,  ඉන්දියාව, වැනි රටවල සහ තවත් රටවල් බොහොමයක යුද හමුදා සංවිධානයවී ඇති ආකාරය, ඕනෑම කෙනෙකුට, කිසිදු සීමාවකින් තොරව බලාගතහැකි ආකාරයට, සිංහල භාෂාව හැර වෙනත් භාෂා ගණනාවකින් අනතර්ජාලයේ පළවී තිබෙනවා. (සිංහලෙන් කියවන කෙනාට තමයි හුළං) ශ්‍රී ලංකා යුද හමුදාවේ, එක් එක් රෙජිමේන්තුව යටතේ ඇති බල ඇණි පිලිබඳ විස්තරයක් ද එහි ඇතුළත් වෙනවා. නමුත් ශ්‍රී ලංකා යුද හමුදාවේ ඒ විස්තර මා මෙහි ඇතුළත් කරන්නේ නැහැ. එය මෙතනට අවශ්‍ය නැති නිසා. ඒ නිසා මේ ලිපිය ‘යුද රහස් හෙළි කිරීමක්’ නොවෙයි.

  මොකක්ද හමුදාවක තියන පුංචිම කොටස? ඒ තමයි ‘පෙළ’ (Section) සාමාන්‍යයෙන් පෙළකට සෙබළුන් හත් දෙනෙක් අට දෙනෙක් විතර ඉන්නවා. පෙළකට ඉන්න ප්‍රධානියා තමයි ‘පෙළ අණදෙන්නා – Section Commander’ පෙළ අණදෙන්නෙක් ලෙස පත් කරන්නේ ‘කෝප්‍රල් – Corporal’ කෙනෙක්. ඊට පහළින් හෝ ඉහළින් ඇති නිළයක කෙනෙක් කවදාවත් පෙළ අණදෙන්නෙක් ලෙස පත් කරන්නේ නැහැ. (පහළින් තියන නිළය ‘ලාන්ස් කෝප්‍රල්’ Lance Corporal ඉහළින් තියන නිළය ‘සැරයන්’ Sergeant. අනේ වඳිඤ්ඤං, දැන් අහන්න එපා, කෝප්‍රල් ගේ නිළ ලාංඡනය මොකක්ද? සාජන් ගේ නිළ ලාංඡනය මොකක්ද? කියලා. එව්වා සවිස්තරව කියා දීලා හුඟක් කල්. දැන් අපි බලමු ඔය පෙළ හෙවත් පේළියේ ඉන්න පිරිස කවුද කියලා. කෝප්‍රල් 1 යි, ලාන්ස් කෝප්‍රල් 1 යි, සාමාන්‍ය සෙබළ Private 6 යි. (මේ වචනය ප්‍රයිවෙට් මිසක් ප්‍රයිවට් නෙවෙයි. සමහරු ලියන්නේ කියන්නේ ප්‍රයිවට් කියලා) දැන් හරි නේද අට දෙනා. හැබැයි ලෝකයේ හැම හමුදාවකම මේ විදිහට නැහැ. අඩු වැඩි වෙනවා. (වෙනස් වෙනවා) පෙළ හඳුන්වන සංකේතයක් තියනවා. ඒ සංකේත පාවිච්චි කරන්නේ හමුදා සිතියම් ලකුණු කිරීම සඳහායි. ඒ විතරක් නෙවෙයි. විශාල මැෂින් තුවක්කු, ගුවන් යානා නාශක තුවක්කු, ආර්.පී.ජී. මෝටාර්, යුද්ධ ටැංකි, කාලතුවක්කු, විවිධ බෝම්බ හා මර උගුල්, වැනිදේත් සිතියමක ලකුණු කරන්න සංකේත තියනවා. පස්සේ වෙලාවක බලමුකෝ ඈ. පෙළක් හෙවත් සෙක්ෂන් එකක් පෙන්වන්නේ මෙන්න මෙහෙම. .. මොකක්ද සංකේතය? තිත් දෙකක්. මේ තිත් දෙක තමන්ගේ හමුදාවේ පෙළක් නම් නිල්පාටෙන් ද, සතුරු හමුදාවෙනම් රතු පාටෙන් ද, තමයි ලකුණු කරන්නේ. ඒ කියන්නේ හමුදා සිතියමක අපේ හමුදාවට අදාළ දේවල් නිල් පාටෙනුත්, සතුරාට අයත් දේවල් රතු පාටෙනුත්, ලකුණු කරනවා. පෙළ ගැන  කතාව එතනින් ඉවරයි.

   Austrian_Line_Infantry_Platoon_1809  මේ පේළි තුනක් එකතුවෙලා තමයි ඊළඟ හමුදා කොටස සෑදෙන්නේ. ඒ තමයි ‘ඛණ්ඩය – Platoon’ (ප්ලැටූන් කියලා ලස්සන ඉංග්‍රීසි චිත්‍රපටියක් තියනවා, බලලා තියනවද) ඛණ්ඩයක් කියන්නේ පේළි තුනක එකතුව වන 24ම නෙවෙයි. තව ටිකක් වැඩි වෙලා 30 ක් 35 ක් වෙන අවස්ථාත් තිබෙනවා. රටෙන් රටට, හමුදාවෙන් හමුදාවට, මේ ප්‍රමාණය වෙනස් වෙනවා. අපි හිතමුකෝ 30 ක් විතර කියලා. මේකේ ලොක්කා කවුද? ලොක්කලා දෙන්නෙක් ඉන්නවා. පළමුවැනියා තමයි ‘ඛණ්ඩ භාර නිලධාරි – Platoon Commander’. ඔහුට පහළින් ඉන්න දෙවැනි ලොක්කා තමයි ‘ඛණ්ඩ භාර සැරයන් – Platoon Sergeant’. ප්ලැටූන් එකක් සිතියමේ පෙන්වන්නේ කොහොමද? හොර කොල්ලා………………………….. ඔච්චර අමාරු උත්තරේ හොරෙන් බැලුව නේද මගේ ෆයිල් එකෙන්?… හා හරි හරි, තිත් තුන තමයි සංකේතය. ඔය තියෙන්නේ …  😀

   පොහ් . . ..කජු කනවා වගේ වැඩක්නේ මේ හමුදා සිතියම්වල තියන සංකේත කියවන එක. (එහෙමද හිතාගෙන ඉන්නේ මල්ලී . . . .  හරි ඔහොම යන්කෝ ඉස්සරහට. දෙන්නම්  . . . . යන්ඩ)

   Chester_Wilsons_Army_Company ඊළඟ පිරිස තමයි කණ්ඩායම – Company.

  (අනේ මේ වචනය කවදාවත් ‘කොම්පැනි’ කියලා උච්ඡාරණය කරන්න එපා හොඳේ. ‘කම්පනි’ කියලා උච්ඡාරණය කරන්න. (කයන්න විවෘතව. ඒ කියන්නේ ‘කළුපාට’ කියන තැන කයන්න කියවෙන ආකාරයට) මම ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ වෘත්තීය ඉංග්‍රීසි පාඨමාලාව හදාරන කාලයේ, මගේ උපදේශිකාවක වූ, සුප්‍රසිද්ධ සිනමා/වේදිකා/ටෙලිනාට්‍ය නිළි, අයිරාංගනී සේරසිංහ මහත්මිය, මට දුන්නා හොඳ ‘ලැච්චර්’ එකක්  😀 මට කොම්පැනි කියවෙලා. අප්පේ හරිම සැරයි.

  ඒ වගේමයි මට ඉගැන්වූ ගුරුවරු අතර සැර/හොඳ සුප්‍රසිද්ධ අය තවත් දෙන්නෙක් ඉන්නවා. කෙටි කාලයක් සංගීතය ඉගැන්වූ සුජාතා අත්තනායක මහත්මියත් හරිම හොඳයි, ඒ වුනාට බුදු අම්මේ සැර. නමුත් ඊට පස්සේ මගේ සංගීත ගුරුවරිය වූ විශාරද චන්ද්‍රා රණතුංග නම් අම්මා කෙනෙක්, සහෝදරියක්, වගේ. අයිරාංගනී සේරසිංහ මහත්මියගෙන් ඉංග්‍රීසි ඉගෙනගත්තා වගේම, සුජාතා අත්තනායක මහත්මිය හා විශාරද චන්ද්‍රා රණතුංග මහත්මිය බුදුවෙන්ඩ, හඩු සංගීතයෙන් හොඳ සංගීතය වෙන්කරගැනීමේ හැකියාව සහ සංගීතය රස විඳීමේ හැකියාව, විශාල ලෙස වර්ධනය වුණා.) 

My Teachers

  කම්පනි එකක් හෙවත් කණ්ඩායමක් හැදෙන්නේ ඛණ්ඩ තුනක් එක්වීමෙන්. ඒ ඛණ්ඩ, No1 Platoon, No 2 Platoon No 3 Platoon ආදී වශයෙන් නම් කරනවා. (ආයෙත් කියන්න ඕනෙද රට රටවල් අනුව වෙනස්වෙනවා කියන එක) කණ්ඩායමක ඉන්නේ ඛණ්ඩ තුනේ එකතුව හා සමාන පිරිස නෙවෙයි. ඊට චුට්ටක් වැඩි වෙනවා. සමහරවිට 150 ක් විතර වෙනවා. කවුද ලොක්කා? කණ්ඩායම් භාර නිලධාරි – Company Commander සාමාන්‍යයෙන් එයා මේජර් කෙනෙක්. නමුත් නිලධාරි හිගය නිසා හෙට අනිද්දා මේජර් වෙන්න ඉන්න කපිතන් කෙනෙක් වුනත් පත්කරනවා අපේ රටේ. 

  (මොකක්දෝ කරුමයක් පළදීලා, මම ලුතිතන් කාලේ, වැඩ බලන කණ්ඩායම් භාර නිළධාරි හැටියට පත්කෙරුවා. ඉතින් ලොක්කා වගේ ජීප් එකත් කිහිල්ලේ ගහගෙන, (ඔබ දැකලා ඇති හමුදා නිලධාරීන් ජීප් එකේ යද්දී වම් අත ගරු ගාම්භීර විදිහට ජීප් එකේ ජනෙල් කවුළුව මත තබාගෙන යනවා. ඒකට අපි කියන්නේ ‘ජීප් එක කිහිල්ලේ ගහගෙන යනවා’ කියලා :D) මමත් හමුදා ක්‍රියාන්විත සාකච්ඡා වලට ගියාම, එතන ඉන්නේ කැප්ටන්ලා, මේජර්ලා, කර්නල්ලා.  බලසේනාධිපති (Brigade Commander) අහනවා, මොකාද අර රිලවා කියලා. (Who is that f****** Monkey කියලා. ගරු සරු ඇතුව අහන්නේ. කාටද ආඩම්බර බලසේනාධිපතිතුමා විශේෂයෙන් අහනකොට ඒ කවුද කියලා)  කොහොමටත් මගේ පෙණුමත් ඒ වගේම නේ.   😀 😀 😀  හයියෝ  . . . . . . . . .වෙඩි තියාගෙන, බෙල්ලේ වැල දාගෙන, මූදට පැනලා, වහ කාලා, මැරෙන්න හිතෙනවා)

  ඊළඟට කවුද ලොක්කා. ඊළඟට ඉන්නවා ‘කණ්ඩායම් භාර සැරයන් මේජර් – Company Sergeant Major = CSM’ මේ සඳහා පත් කරන්නේ බලලත් නිලධාරි II නිළයේ එක්කෙනෙක්. (මේ නිළතල හා ලාංඡන ඔක්කොම කලින් කියලා තියනවා) ඊළඟට ඉන්නවා ‘කණ්ඩායම් භාර උපකරණ පාලක සැරයන් – Company Quarter Master Sergeant = CQMS’. මේ සඳහා ඉන්නේ මාණ්ඩලික සැරයන් වරයෙක්. මේ CSM සහ CQMS යන දෙදෙනා සොල්දාදු ගණයට අයත් වුනත් ඔවුන්ට වඩා පහළ නිළවල ඉන්න සියලු දෙනාම සර් කියා ඇමතිය යුතුයි. මෙන්න කණ්ඩායම පෙන්වන සංකේතය පහත තියනවා.

 (හමුදාවේ සෑම දෙයකටම කෙටි යෙදුම් තියනවා. Section = Sec, Platoon = Pl, Company = Coy, Battalion = Bn, Brigade = Bde, Division = Div, Army = Ay, Section Commander = Sec Comd, Platoon Commander = Pl Comd, Brigade Commander = Bde Comd. මේ කෙටි යෙදුම් සප්ත මහා සාගරේ වගේ මහා ගොඩක් තියනවා. වෙන ලිපියකින් කතාකරමු)

200px-Platoon_Nato_svg

 tmu op spe 2  දිග වැඩිද? අමාරුද? මෙතනින් නවත්තන්නද? හරි, තව එකක් කියලා නවත්තනවා. කණ්ඩායම් හතරක් පහක් එකතුවීමෙන් හැදෙන හමුදා සංස්ථාව තමයි ‘බලඇණිය – Battalion’. බලඇණියක සාමාන්‍යයෙන් අවම වශයෙන් 500 ක් පමණ සිටින අතර උපරිම වශයෙන් 700 – 800 ක් ඉන්නවා. (අවශ්‍යතාව අනුව තවත් වැඩිවෙනවා විවිධ කොටස් වෙනත් අංශ වලින් ගෙනත් එකතු කලාම. මොනවද ඒ කොටස්? බිඳහෙලීම්, පිපිරවීම් හා මර උගුල් සඳහා ඉංජිනේරු සෙබළුන්, පණිවිඩ හුවමාරු විශේෂ ගුවන්විදුලි යන්ත්‍ර සඳහා සංඥා සෙබළුන්, සමහරවිට ස්නයිපර් සෙබළුන් ආදී වශයෙන්) අණදෙන්නේ ‘ලුතිතන් කර්නල් – Lieutenant Colonel’ වරයෙක්. නමුත් අපේ හමුදාවේ නිලධාරි හිගය නිසා මේජර් නිලයේ අණදෙන නිලධාරි වරුන් ඉන්නවා. ගරු මම තුමාත්, මේජර් නිළයේ සිටියදී, පාබල ඒකකයක අණදෙන නිළධාරි වීමේ වාසනාව (වාසනාව? :P) ලැබුවාවූ පින්වන්තයෙක්. (පින්වන්තයෙක්?) ඊළඟට ඉන්නේ ‘දෙවැනි අණදෙන නිළධාරි – 2nd in Command’ = 2iC. ඔහු බලඇණියේ ඉන්න ජ්‍යොෂ්ඨතම මේජර්. (ඉන්දියානු යුද හමුදාවේ, කර්නල් වරයකු පාබල බල ඇණියකට අණදෙන අතර, දෙවැනි අණදෙන නිළධාරි වශයෙන් ක්‍රියා කරන්නේ, ලුතිතන් කර්නල් වරයෙක්)

  මම කිව්වානේ කම්පනි කීපයක් තිබෙනවා කියා බලඇණියක. ඒවා නම් කරන්නේ A Company (යුද හමුදා කෙටි යෙදුම Military Abbreviation = A Coy), B Company (B Coy) ආදී වශයෙන් මේ ඒ, බී,  සී,  කියන ඒවා උච්ඡාරණය කරන්නේ හමුදාවට ආවේනික ක්‍රමයකට කියලා කිව්වා මතකද? (හම්මෝ……මේ බ්ලොග් අඩවිය නිසා, දැන් ඔයාලා හමුදාව ගැන දන්නා දේවල් හරී ගොඩයි, නේද මෙයාලා…….. 😀 :D) ඒ අනුව අල්ෆා කම්පනි, බ්‍රාවෝ කම්පනි, ලෙස තමයි කියන්නේ. එක කම්පනියක් තියනවා ‘Support Company – ආධාරක කණ්ඩායම’ කියලා. ඒ කණ්ඩායමේ තමයි ලොකු මෝටාර්, ආර් පී ජී අංශ, බර මැෂින් තුවක්කු අංශ, තිබෙන්නේ. සාමාන්‍යයෙන්, බලඇණි අධාරක අවි පිලිබඳ විශේෂ පාඨමාලාව Battalion support weapon course = BSW සමත් මේජර් කෙනෙකුට තමයි ආධාරක කණ්ඩායම අණදීම ලැබෙන්නේ.

  බලඇණි මූලස්ථානයේ ඉන්න අනික් අය කවුද? ඔන්න මෙතැනදී නම් මම අපේ හමුදාවට ආසන්නව යමින් ලියන්නේ. දෙවැනි අණදෙන නිළධාරි ළඟට ඉන්නේ ‘විධායක අධිකාරි – Adjutant’ ඔහු අණදෙන නිළධාරිගේ ‘මාණ්ඩලික නිළධාරියා – Staff Officer’. ඔහු තමයි අණදෙන නිළධාරි දෙන නියෝග නොපමාව, විධිමත්ව, ක්‍රියාත්මක වෙනවාද යන්න සොයාබලන්නේ. බලඇණියේ විනය හා පරිපාලනය ගැනත් ඔහු සොයාබලා අවශ්‍ය කටයුතු කළයුතුයි. පුහුණු කටයුතු භාරව ක්‍රියා කළයුතුයි. (රාජකාරි ලැයිස්තුව දිගයි) සාමාන්‍යයෙන් විධායක අධිකාරි ලෙස පත්වන්නේ කපිතන් නිළයේ නිළධාරියෙක්. ඊළඟට ඉන්නවා බුද්ධි නිළධාරි. බොහෝවිට ලුතිතන් හෝ කපිතන් (කපිතාන් නෙවෙයි කපිතන්) නිළයේ නිළධාරියෙක්. ඒ වගේම බලඇණියේ උපකරණ පාලක නිළධාරියා ඉන්නවා. (අපේ හමුදාවේ ක්‍රමය අනුව, මොහු, කෝප්‍රල් නිළයේ සිට බලලත් නිලධාරි 2 දක්වා නිළයක සේවය කර, ඉන් ඉවත්ව, නැවත පුහුණුවක් ලබා උපකරණ පාලක අධිකාරියට පත්කළ නිළධාරියෙක්) ඔහු ඉන්නෙත් බලඇණි මූලස්ථානයේ. ඔහු බලඇණියේ සියළු දෙනාගේ ආහාර පාන, ඇඳුම් පැළඳුම්, අවි සහ පතරොම්, ගැන සොයාබලා කටයුතු කරනවා. ඔහුගේ සහයට ‘රෙජිමේන්තු උපකරණ පාලක සැරයන් මේජර් – Regiment Quarter Master Sergeant = RQMS’ ඉන්නවා. ඔහුත් බලලත් නිලධාරි 2 පන්තියේ කෙනෙක්. බලඇණියක සිටින ජ්‍යොෂ්ඨතම සෙබලා හෙවත් ‘රෙජිමේන්තු සැරයන් මේජර් – Regiment Sergeant Major = RSM’ (ඔහු බලලත් නිලධාරි 1 පන්තියේ) ඉන්නෙත් බලඇණි මූලස්ථානයේ. බල ඇණියේ විනය, පරිපාලනය, පුහුණු කටයුතු තමයි මොහුගේ වගකීම් අතර ප්‍රධාන තැනක් ගන්නේ. බලඇණි මූලස්ථානයේ ආරක්ෂාව සළසන්නේ ‘මූලස්ථාන කණ්ඩායමෙන් – Headquarter Company’ සාමාන්‍යයෙන් එහි අණදීම් පැවරෙන්නේ දෙවැනි අණදෙන නිලධාරිට පසුව සිටින ජ්‍යොෂ්ඨතම මේජර්ටයි. මෙන්න බලඇණියේ සංකේතය.

200px-Platoon_Nato_svgඅම්මෝ, දැන්නම් වචන 1300 ත් පැනලා. අදට මේ ඇති. මෙතනින් එහා ටික ඊළඟ ලිපියෙන් කියන්නම්. නැත්නම් ඔලුව කුරුවල් වෙනවා. ඔය සංකේත අමතක කරන්න එපා. ඉස්සරහට ඕනෑ වෙනවා. අමතක කරලා මගෙන් හොඳ ‘ආමි හබ්බ’ අහගන්ඩත් එපා.  😀 😀 වෙලාවක් තිබුණොත්, අර මම ඉස්සර කියලා දීපු, හමුදා නිළ ලාංඡන ලිපියේ, පළමුවැනි කොටස සහ දෙවැනි කොටස  නැවත කියවන්න. එය මේ ලිපියට සම්බන්ධ නිසා.

වෙනදා වගේම පින්තූර ලබාගත්තේ Google Images වෙතින්

My Signature for Blog2013 අප්‍රේල් මස 04 වැනි දින 2318 පැය

Comments on: "බ්‍රිගේඩ්, ඩිවිෂන්, රෙජිමන්ට්, අම්මෝ ආමි එකේ තියන ජාති (පළමුවැනි කොටස) – Organisation of an Army (Part One)" (86)

  1. යුධ සිහි වටන සහ යුධ අවි අතර වෙනස නොදන්නා හරක් සඳහා පමණයි ! .

    අන්න හරි මේ ලිපි දෙකම සමගාමීව දාගන්න පුළුවන් වුණු එක වටිනවා… එක්තරා ජයග්‍රහණයක්.. මොකද කියවන මනුස්සයට හරියටම සබ්ජෙක්ට එක තේරුම් යනවා …
    මගේ පෝස්ට් එකෙනුත් මේකට ලින්ක් එකක් දාන්නම් විචාරකතුමනි …!

  2. අර කොළ පාටින් තියන කොටස නම් ගොඩක් රසවත්.

    ගොඩක් විස්තර ඉගෙන ගත්තා ලිපිය හින්දා

  3. තැන්කුයි කැප්ස්ටන්.. වටිනවා අගේ ඇති විස්තරේ.

  4. ඔන්න පොස්ටුව දැක්ක ගමන්ම දුවගෙන ආවා ආමි එකට යන්න බැරිවුනත් දැන් නම් ගොඩක් දේවල් දන්නවා ගියා වගේ තමයි.

  5. ‘අම්මෝ ආමි’ එකේ ‘මේජර්’ කෙනෙක් හම්බ උණානේ…හී හී…
    ‘විසිරයාමට අවසර… ස………..ර්’

    මේ ඔබේ ක ම්පනියේ ප්‍රයිවෙට් පොඩ්ඩි… 😀

  6. platoon නම් කියලා වැඩක් නැහැ පට්ටම film එක

  7. යකෝ යුද්ධ කරන එක ලේසියිනෙ මේවා මතක් තියාගන්න්වාට වඩා ..:D

  8. ගොඩක් වටිනා විස්තරයක්. දැන් තමයි දන්නේ ඔය වචන වල තේරුම. ආමි හබ්බ ගැනත් ලිපියක් ලියන්න බැරිද?

  9. කොටින්ගේත් මෙවැනි විදිමත් සිස්ටම් එකක් තිබුනාද?

  10. රටක මිනිස්සුත් ඔය විදිහට කාණ්ඩ කරලා වගකීම් බෙදලා දීලා හමුදාවේ තියෙන ඉහළ සිට පහළට එන නියෝග ක්‍රමයට අමතරව පහළ සිට ඉහළට යන යෝජනා සහ චෝදනා ක්‍රමයකුත් ස්ථාපිත කළානම් නියම පාලන ක්‍රමයක් හදාගන්ඩ තිබ්බා.මේක මගේ අදහසක් ඈ.ඔන්න හොරකං කරන්ඩ ඔට්ටු නෑ.

  11. මෙව්වා “රයිෆල් ගෲප්…ඉයස් කෝප්‍රල්” කිය කියා බොහොම අමාරුවෙන් ඉගෙන ගත්ත ඒවා නැද්ද????

  12. අපේ සිකුරිටි එකේ උනුත් අර මෙග පෝං වලිං ඇප්ලා බ්‍රාෙවෝ කියල මොරදෙනවා මට ඇහිල තිනෙවා.. ඒ එයාලගේ මොක්ක හරි රහස් හලෝ ක්‍රමයක් වෙන්නත් ඇති..

  13. යුද හමුදාවේ තමන්ට වඩා උසස් නිලධාරියෙකුට “සර්”ලෙස ආමන්ත්‍රනය නොකර,අදාල නිලධාරියාගේ නිලයේ නමින් ආමන්ත්‍රනය කරන්න පුලුවන්ද? විශිශ්ඨ ලිපියක්.ඔබට ජය…

    • තමන්ට වඩා උසස් නිලධාරියකුට කිසිසේත් නම කියා හෝ නිල නාමය කියා අමතන්න බැහැ. අපි මෙහෙම හිතමු. ඒකකයක අණදෙන නිලධාරි සොල්දාදුවකුට කියනවා කපිතන් ජයවර්ධනට එන්න කියන්න කියලා. ඒ සොල්දාදුවා කපිතන් ජයවර්ධන සොයමින් යනවිට ඔහු දකිනවා කපිතන් ජයවර්ධන තවත් නිලධාරීන් කීපදෙනෙකු සමග කතාකරමින් ඉන්නවා. මෙහිදී ඔහුට මෙහෙම කියන්න පුළුවන්. කැප්ටන් ජයවර්ධන සර්ට සී.ඕ. සර් එන්න කිව්වා. නිලධාරීන් අතරේ වුනත් දෙවැනි ලුතිතන් සහ ලුතිතන් නිල අතරේනම් සමහරවිට සර් කියන්නේ නැහැ.

      ස්තුතියි ඇගයීම පිළිබඳව.

  14. ආමී හබ්බ ගැන ලියනකං මං මගබලාගන ඉන්නවා , මේකට කමෙන්ට් දාන්න බැරිඇයි , හෙන කට්ටක් කන්න ඕන

  15. මට කාලෙක ඉදන් තියෙන ගැටලුවක් තියෙනවා…නියම වචනෙ ලුතිනන් ද නැත්නම් ලුතිතන් ද ?

    • ලුතිතන් තමයි සිරා නිවැරදි වචනය. මාධ්‍ය මගින් තමයි ඔය වචනය වරද්දන්නෙ. ඒ වගේම කපිතාන්, ජෙනරාල්, යන වචනත් කපිතන්, ජෙනරල්, ලෙස නිවැරදි විය යුතුයි.

  16. seal team 6 කියන්නේ මොකද්ද? ඒක LRRP වගේ කන්ඩායමක්ද?

  17. හයියෝ විචාරක තුමා වචන ගැන ගැන ඉන්න එපා. කියන්න තියෙන දේ කියලා දාන්න. අපි නම් වචන ගැන ගැන නෙවෙයි කියවන්නේ ඕන්න.
    එක දෙයක් තියෙනවා. ප්‍රයිවට් වැරදි නෑ. ඒක හරි. /praɪ.vət/ CALD.

    • ප්‍රංශ වචනයක් වූ lieutenant බ්‍රිට්ටෝ ලෙෆ්ටෙනන්ට් කියාත් උතුරු අමෙරිකානුවෝ ලූටෙනන්ට් කියාත් උච්චාරණය කරනවා. එක්සත් ජනපදයේ පොලීසියේ පවා ලූටෙනන්ට් සහ කැප්ටන් නිළයන් තියෙනවා

    • ඔන්න ඔහේ වෙලාවක අතෑරලා දාන්නම්කො ‘දෙක තුනක්” 😀

      ප්‍රයිවෙට් කියන්න කියලා මට ඉගැන්නුවෙත් විවෘත විශ්ව විද්‍යාලයෙන්ම තමා. උච්ඡාරන විධි විවිධ රටවලදී සහ ඉංග්‍රීසිය මව් භාෂාව නොවන තැන්වලදිත් වෙනස් වෙනවා නේද?

      • ඉන්දියාවෙත් තියෙනවා? මම හිතුවේ විචාරක ඉන්දියාවේ තියෙන්නෙ ලංකාවේ තියෙන ක්‍රමයම නොහොත් බ්‍රිතාන්‍ය පොලිස් අකෘතියමයි කියලා. ඒ කියන්නේ කොස්තාපල්ලා, සාජන්ට්ලා, එස් අයිලා, අයි පීලා, ඉන්න ක්‍රමය.

        >>ප්‍රයිවෙට් කියන්න කියලා මට ඉගැන්නුවෙත් විවෘත විශ්ව විද්‍යාලයෙන්ම තමා. <>උච්ඡාරන විධි විවිධ රටවලදී සහ ඉංග්‍රීසිය මව් භාෂාව නොවන තැන්වලදිත් වෙනස් වෙනවා නේද?<<
        ඔව්. නමුත් මම මෙතනදි standard English කියන වචනේ පාවිච්චි කලොත් මාව හමගහන්න කට්ටිය ඉඳී ඕනෙ තරම්. ඒ නිසා හොඳම දේ තමයි මේ ශබ්ද කෝෂ කීපයක උච්චාරණය පරීක්ෂා කරලා බලන එක. උදාහරණ English Pronouncing Dictionary/Cambridge Advanced Learner's Dictionary,Oxford Dictionaries, Websters dictionaries.

        මේවාගේ දීලා තියෙන IPS=International Phonetic Symbols ටික ඉගෙන ගත්තා නම් කෙලින්ම නිවැරදි එක මොකක්ද කියලා තීරණය කරන්න පුලුවන්.

        මේ IPS වලින් විචාරක = /vitʃa:rəkə/

        • නෑ නෑ සම්පූර්ණ බ්‍රිතාන්‍ය ආකෘතියම නැහැ. ප්‍රාදේශීයව වෙනස් වෙනවා. ඒ වගේම තමයි නිල ලාංඡන හමුදා නිල ලාංඡන වලට බොහෝ සමානයි. විශේෂයෙන් හමුදාවේ මේජර් ජෙනරල් ලාංඡනයට සමාන පොලින් නිල ලාංඡන තියනවා ඉන්දියාවේ.

          ඔයා කියන එක ඇත්ත තමා. අපිට හුරුවූ උච්ඡාරන විධිවලින් වෙනස් වෙන්න බහුතරය අකමැතියි. අනික ඒ බහුහර මතය සනාථ කරන්නත් මොකක් හරි සාධකයකුත් තියනවා. කොහොමද මම අර ෆොනටික්ස් වලින් විචාරක කියලා ලිව්වොත්?D

  18. නිර්නාමික said:

    +++++++++++++++

  19. දැනගන්නම ඕන ටිකක් ඊලග ලිපියත් කියෙව්වම සම්පුර්ණ වෙයි කියල හිතනව.
    ජීප් එක කිහිල්ලෙ ගහගෙන යන කොටස කියවද්දී,හිනා වෙලා පනගියා.
    අණ දෙන නිලධාරියාගේ සිට පහලට මුහුණු ටිකත් එලම තමා විචාරක තුමෝ….

    • බොහොම ස්තිතියි කෙන්ජි ප්‍රතිචාරයට.

      මිනිහෙකු තුල අවංකත්වය සාධාරණත්වය කියන එක තියනවනම් පුලුවන්වෙන්න ඕනේ තමන්ගේ ක්‍රියාකලාපය දෙස බලා සිනහසෙන්නට. ඒ නිසයි අර බල්ලෝ පින්තූරය දැම්මේ. යමෙකු එයින් කෝපයට පත්වෙනවානම් ඔහු බල්ලෙක්.

  20. මේක ලියල විචාරකගෙ ඔළුව කුරුවල් වෙනවනං මෙලෝ දෙයක් නොදන්න අපි ගැන ඇයි හිතුවෙ නැත්තෙ. 😀
    නියම ලිපියක්. අර අයිරාංගනී ඇන්ටි ඒ කාලෙ හරි ලස්සනයිනෙ.

    • නෑ නෑ මම කිව්වේ කියවන අයගේ ඔලුව කුරුවල් වෙයි කියලා තවදුරටත් ලිව්වොත්.

      මටනම් අයිරාංගනී සේරසිංහ මහත්මිය කවදත් පෙනෙන්නේ ඔය පින්තූරයේ ඉන්න විදිහට තමා.

  21. විචාරක…..මගේ මාමා කෙනෙක් හිටියා ආමි එකේ පහල නිළයක් දරපු. එයාට අනිත් අය කිව්වේ බොම්බඩියර්ද මොකක්ද කියලා. එහෙම අය ඉන්නවාද? මම ඒ කාලේ හිතුවේ ජෝක් එකක් කියලා.

  22. නියම ලිපියක්.ඉහල නිලයන් සේරටම පොදුවේ සර් කියලා කීමෙන් බැජ් වලින් තනතුර අඳුනා ගැනීමේ අපහසුව නැතුව යනවා නේද? සොල්දාදුවත් මේ සේරම මතක තියාගන්න ඕනේද?

    • ලිපිය ඇගයීම ගැන ස්තුතියි.

      තමන්ට ඉහලින් ඉන්න සියලු දෙනාටම සර් කියන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය සොල්දාදුවකුට පුළුවන් කෝප්‍රල්, සැරයන්, යන නිලයන්ට එම නිල නාමයෙන් අමතන්න. සර් කියන්න ඕනේ එතැන් සිට ඉහල නිලයන්ටයි. නිල ලාංඡන හඳුනන්නේ නැත්නම් ඔහුට හමුදාවේ සේවය කරන්න බැහැ. නිල ලාංඡන තිබෙන්නේ ඉතා සීමිත ගණනක්. එය මතකතබා ගැනීම කිසිසේත් අපහසු නැහැ. මගේ ලිපියේ තිබෙනවා නිල ලාංඡන ගැන මා ලියු ලිපි වලට සබැඳියාවන්. ඒවා කියවා බලන්න.

      • මම දැකපු තව දෙයක් මතක් උනා. සැරයන් කෝප්‍රල් වගේ නිලයන් අතරයි ලුතිතන් කපිතාන් නිලයන් අතරයි සෑහෙන පරතරයක් තියෙනවා නේද?

        කඳවුරුවලදී ඉහළ නිලයන් ටයි කෝට් දමාගෙන රාත්‍රී කෑම වේලට ඒ වගේම උත්සව වලට සහභාගි උනත් සැරයන් නිලයන් නිකම්ම කලිසමයි කමිසයයි ඇඳන් හිටියෙ.

        • කිසිම හමුදා නියෝගයකින් තහනම් කරලා නැහැ නිලධාරීන් පමණයි භෝජනාගාරයට යනවිට ටයි කෝට් අඳින්න ඕනේ කියලා. දියතලාව නුවරඑළිය මහනුවර වැනි ප්‍රදේශ වල තිබෙන කඳවුරුවල සැරයන් නිවස්නයේ ටයි මෙන්ම සමහරවිට කෝට් ඒකත් අඳිනවා.

  23. අද කියපුවානම් ඔක්කොම වගේ දැනගෙන හිටපුවා.. මීළඟ ලිපියෙන් නොදැන හිටපුවා එළියට එනකම් බලන් ඉන්නම්.. 🙂

    බල ඇණි සැකැස්ම පිළිබඳ විස්තර හෙළිකිරීම යුධ රහස් හෙළිකිරීමක් වන්නේ කොහොමද විචාරක මහත්මයා.. ඔව්වා ප්‍රසිද්ධ කාරණානෙ..

    චිත්‍රපටිය ගැන විස්තර කිව්වාට ස්තුතියි බාගෙන බලන්නම්.. කියන්නකො බලන්න සුපිරි චිත්‍රපටි කීපයක් නම්..

    ලිපියට ස්තුතියි..

    • සමහරු හිතන්න ඉඩ තියනවා මේවා යුද රහස් කියලා. නමුත් පාසල් ශිෂ්‍ය භටයන් දන්නවා මේවා රහස් නොවන බව. මීළඟ කොටස ටිකක් ගැඹුරු කරුණු වලට යොමු කරන්නම්.

      චිත්‍රපටි බලනවානම් අර බයිස්කෝප් සිංහලෙන් http://www.baiscopelk.com/ අඩවියෙන් සහ එක්ස්ට්‍රා ටොරන්ට් http://extratorrent.cc/ වැනි අඩවි වලින් අලුත්ම චිත්‍රපටි බලන්න පුළුවන්.

      ඇගයීම ගැන ස්තුතියි.

      • නෑ නෑ විචාරක මහත්මයා ඒ අඩවි ගැන මම් දන්නවා මට දැනගන්න ඕනෙ බලපු කෙනෙක් හොඳයි සුපිරියි කියලා හිතන ෆිල්ම් මොනවද කියලා. එක එක්කෙනාගේ රස වින්දනයත් වෙනස් තමයි ඉතින්..

        එහෙම නැතුව බලන්න ගියොත් බයිටුත් අපරාදෙ කාලෙත් අපරාදෙනෙ.. 🙂

        • මෑතකදී මම බැලුවා suddenly කියලා චිත්‍රපටියක් හරිම ලස්සනයි. ඇත්තටම චිත්‍රපටි රස වින්දනයත් බොහොම පුළුල් පරාසයක පැතිරෙනවා. වැඩිපුර බයිට් හම්බවෙන පැකේජ් දැන් තියනවා නේද සාධාරණ මිලට?

  24. ලිපිය කියවලා ඒඅක් අගැන ලියනන්න හිතන් හිටි එක මෙන්න මේක කියවලා යටටම ගියානෙ..

    මිනිහෙකු තුල අවංකත්වය සාධාරණත්වය කියන එක තියනවනම් පුලුවන්වෙන්න ඕනේ තමන්ගේ ක්‍රියාකලාපය දෙස බලා සිනහසෙන්නට. ඒ නිසයි අර බල්ලෝ පින්තූරය දැම්මේ. යමෙකු එයින් කෝපයට පත්වෙනවානම් ඔහු බල්ලෙක්.

    සහතික ඇත්ත.. තමුන්ගෙ ක්‍රියා දිහා බලලා තමුන්ටම හිනාවෙන්න පුළුවන් නම් ඒක ජීවිතේ හදාගන්න ලොකු උදව්වක්..

    • මුලින්ම මේ පින්තූරය දැකපු වෙලාවේ, (මුල් පින්තූරයේත් ඔය සිංහල තනතුරු නාම ඒ විදිහටම ඉංග්‍රීසියෙන් තියනවා) මම සෑහෙන වෙලාවක් හිනාවුනා. මමත් මේ ඉහල තනතුරු දරද්දී සමහර අයට මාව මේ වගේ පෙනෙන්න ඇති නේද කියලා හිතලා තවත් හිනාවුනා. මේ පින්තූරය සංස්කරණය කරගෙන තියාගෙන හිටියා සෑහෙන කාලයක් දාන්න සුදුසු අවස්ථාවක් එනතුරු.

  25. අම්මෝ යුද හමුදාව ගැන ගොඩක් විස්තර දැනගත්තා,මට තියෙන ප්‍රශ්නේ මේකයි,නිලධාරීන් අනබිමුඛයේත් සර් කියා හැඳින්විය යුතුද?අර ඔබ කියා තියෙන ආකාරයට සී ඕ සර් එන්න කිව්වා ආදී වශයෙන්.

    • පිස්සුද හැලපේ, ඔයයි මමයි තව අපි වගේ එක ජාතියේ එකෙක් දෙන්නෙකුයි ඉන්නවනම්, ඔයා ඇවිල්ලා මට කියන්නේ, අන්න උඹට ලොක්කා/බොස්/ එන්න කිව්වා කියලා. විධායක අධිකාරි Adjutant එන්න කිව්වනම් කියන්නේ අන්න උඹට ‘ඇජ්ජා’ එන්න කිව්වා කියලා. තව ඉතිං හදාගත්ත නම් තියනවනම් ඒ නමෙන් තමයි කියන්නේ.

  26. ලිපිය කියෙව්වා විචාරක තුමෝ. මටනම් එච්චර ආසා නෑ. ඒවුනාට මේවා සිංහලෙන් මෙහෙම ලියවෙන එක වැදගත්. කවදා හෝ කාට හෝ ප්‍රයෝජනවත් වෙයි.

    දැන් ඔය ප්ලැටුන් එකක් ඉන්නවා කියලා හිතන්නකො. ඒකෙ ප්‍රධානියා දෙන අණ පෙළ අණදෙන්නා විසින් නැවත පුනරුච්චාරණය කළොත් විතරද එයා යටතේ ඉන්න සෙබලු ඒක ක්‍රියාත්මක කරන්නෙ.

    >> හොර කොල්ලා………………………….. <<

    අමතක වුනාද මේක කෙල්ලොත් කියවනවා කියලා. 😀

  27. මෝඩ ප්‍රශ්නයක් අහන්නද? අණ පිළිපදින්න බැරි කෙනෙකුට හමුදාවේ ඉන්න බෑ නේද? මම කියන්නේ ඔය සමහර චරිත ඉන්නේ කවුරුවත් කියන දේ අහන්නේ නැති .. තම මතේට වැඩ කරන.. ඒ කියන්නේ මෝඩ නෙවෙයි.. ස්වාධින චරිත.. එහෙම අය ඔය සෙබළු විදියට ආවම මොකද කරන්නේ.. දඩුවම් කරනවද? නැත්නම් ට්‍රේනින් වලදී තනිකරම ඒ ගති නැති කරනවා ද?

    • පුහුණුවේදී එවැනි ගති ලක්ෂණ පෙන්වන අය ශික්ෂණය කරන්නේ ගහලා බැනලා නෙවෙයි. මනස වෙනස් කරන අභ්‍යාස ලබාදීමෙන්. පුහුණුවෙන් පසුවත් එවැනි ක්‍රමයට ක්‍රියාකරන අය ඉක්මනින් හමුදාවෙන් එලියට විසිවෙනවා. මම දැකලා තිබෙනවා එවැනි අය කීපදෙනෙක් ලොකු නිලධාරීන් හැටියට සිටියදී විසිවී ගියහැටි.

  28. කියෙව්වා, පුරවැසියෙක් විදියට සුට්ටක් කම්මැලියි, බලමුකෝ දෙවැනි කොටසත් කියවලා.
    //සුජාතා අත්තනායක මහත්මිය හා විශාරද චන්ද්‍රා රණතුංග මහත්මිය බුදුවෙන්ඩ, හඩු සංගීතයෙන් හොඳ සංගීතය වෙන්කරගැනීමේ හැකියාව සහ සංගීතය රස විඳීමේ හැකියාව
    මේං මේ ගැනත් කීවොත් විචාරක තුමනි ( අර සිංහල භාෂාව ගැන පෝස්ට් එක ගැනත් මතක තියේ )
    //අර උඩ සුස්ති අහපු කතාව නිසා LRRP ගැන මතක්වුනා ඒත් එක්කම 2002 දී වූ දෙය ගැන තියෙන මහා කෝපය (දුක) අලුත් වුනා.
    //උඩ දකුණේ පින්තුරේ කෝප්‍රල් දැක්කම හපෝයි මේ අසරණයා කියලා හිතෙනවා 🙂

    • කම්මැලි වෙන්න එපා මේ තොරතුරු බලාපොරොත්තු නැති වෙලාවක ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.

      ඇත්තටම අර සංගීතඥවරියන් දෙදෙනාගෙන් මා ලද දැනුම හරිම වටිනවා.

      මේ ලිපි කියවීමෙන් බොහෝ දෙනෙකුට අතීත කතා සිහිපත් වෙනවා.

      ඒ පින්තූරය සඳහා තෝරාගෙන තිබෙන බලු උන්නැහේලා ඇත්තටම හොඳින් ගැලපෙනවා ඒ ඒ නිලය අනුව. අන්තිමට ඉන්න සොල්දාදුවා දෙස හොඳින් බලන්න. ඒ මුහුණේ තියෙන්නේ මීළඟට මම මොකක්ද කරන්න ඕනේ, මට මොනවා වෙයිද වැනි හැඟීමක්.

  29. ඔන්න විචාරක මාත් ආව ……..
    නමෙන්ම කියන විදිහට ඔබගෙ සටහන් අර්ථවත් !!

    මේකයි විචාරක මට පොඩි ලෙඩක් තියෙනව , ඒ ටෙම්පරි මෙමරි අඩුකම 🙂 මට අග කියවද්දී මුල මතක නෑ :)) එක නිසා මේක හොඳින්ම තේරුම් ගන්න මම මේක තුන් පාරක් කියෙව්ව….

    • ඔබව ඉතා ආදරයෙන් පිලිගන්නවා. පරණ ලිපිත් කියවලා හොඳ නරක කියන්න. ඇගයීම ගැන ස්තුතියි.

      අයියෝ මෙමරි මදිනම් මොලය ඇතුලට ගහගන්නකෝ අලුත් මෙමරි චිප් දෙකතුනක්. 😀

  30. නියම ලිපියක්. මෙම ලිපිය කියවන්න කලින් උඩින් දිපු සබෑදි වලින් කලින් දිපු ලිපි දෙකමයි කොමෙන්ට් ටිකත් කියවලයි මේක කියෙව්වෙ. ඒ දෙක ටිකක් පරන ලිපි නිසා ඒකෙ අහන්න ඕන ප්‍රශ්න මේකෙ ඈහුවට කමක් නෑ කියල හිතනව. මොකද ඒකෙ දෑන් දාන ප්‍රශ්න බෑලුවො නෑති උනොත් කියල. platoon චිත්‍ර පටයත් බාගෙන බලලම තමා ආවෙ. ඒක ගෑන තොරතුරු දිපු එකටත් ස්තුතියි. එකත් ලස්සනයි එහෙම දන්න තව චිත්‍ර පට වල නම් දාන්න. මගේ ප්‍රශ්න පත්තරය පටන් ගන්නයි යන්නෙ.

    1. ඔබ කිව්වා ඕනම හමුදා සාමාජිකයෙකුට හමුදාපති දක්වා යන්න පුලුවන් කියල.නමුත් මම අසා තියෙනව වෛද්‍ය වරයෙක් ලෙස කොතලාවලින් හමුදා වට බෑදෙන කෙනෙකුට හමුදාවෙ යම් මට්ටමකට පමනක් යා හෑකියි කියා. එය සත්‍යක්ද? වෛද්‍ය වරයෙක් ගිය උපරිම තලය කුමක්ද?

    2. ‘පෙළ’ කට වෛද්‍ය වරයෙක් ලබා දෙන්නෑද්ද? ඛණ්ඩයකට වෛද්‍ය වරු කොපමන ලබාදෙනවාද?

    3. වෛද්‍ය වරුත් platoon චිත්‍රපටයෙ මෙන් ඉදිරියට යායුතුද?

    4. ජනරල් තනතුර ලෑබිමට හමුදාව යම් ප්‍රමානයකට වඩා විශාල විය යුතුද? මම එසේ අසා තිබෙනව.

    5. ෆොන්සේකා මහතා පමනක් ද හමුදා සේවයෙ සිටියදිම ජනරල් තනතුරට පත් වු එකම පුද්ගලයා.

    6. platoon චිත්‍ර පටයෙ මෙන් යුද්ධය අතරතුර කෙනෙකුගෙන් පලි ගතහොත් ලන්කාවෙ යුදහමුදාවෙ ලබදෙන ඉහලම දඩුවම කුමක්ද? එලෙස ලන්කාවෙ යුද්දය අතරතුර ත්‍රස්ත වාදින් ඝාතනය කල ලෙස පෙන්වමින් තමන්ගෙම සගයන් ඝාතනය කල අවස්තා තිබේද?

    7. යුද්දය අතරතුර ලන්කවෙ ජනරල් කෙනෙකු මියගියහොත් Field Martial තනතුරට උසස් කරනවාද?

    8. ලන්කවෙ ජනාදිපතිට ඕනෑම හමුදාපති කෙනෙක් ජනරල් තනතුරට පත් කල හෑකිද? ඒ යට ජාත්‍යන්තර පිලිගත් ක්‍රමයක් තිබේද?

    9. රටකට ක්‍රියාන්විතයෙ යෙදිසිටින ජනරල් වරු කිහිප දෙනෙක් සිටිය හෑකිද? (මෙජර්/ලුතිනන් ජනරල්ල නෙමෙයි ) ඇමරිකාවෙ මාද්‍ය සාකච්චා වල දෑක ඈත.

    මම කාලයකට පසු තමයි, ඔබගෙ ලිපියකට කමෙන්ට් කරන්නෙ. නමුත් හෑකි අයුරින් ඔබගෙ ලිපි කියවනවා. ඔබට බොහොම ස්තුතියි ලිපිමෙන්ම කොමෙන්ට් වලිනුත් දෑනුම බෙදා දෙනවාට.ඉදිරියටම කරගෙන යන්න ඔබට සුබ පතනවා !!!!!

    • ඔබ සෑහෙන සූදානමකින් සහ අවබෝධයකින් යුක්තව ලිපි සම්බන්ධ ප්‍රශ්න ඇසීම ගැන ප්‍රශංසා කරනවා. ඇගයීම ගැන ස්තුතිවන්ත වෙනවා. මෙන්න පිළිතුරු.

      1. ඔනෙම් සොල්දාදුවකු කියා කිව්වට හමුදාපති ධුරය සඳහා සුදුසුකම් ලබන්නේ, සටන්කාරී රෙජිමේන්තු Combatant Regiments සහ ආධාරක රෙජිමේන්තු Support Arms යන රෙජිමේන්තු වලට අයත් අයවලුන් පමණයි. වෛද්‍ය බලකාය සටන්කාරී රෙජිමේන්තුවක් නොවෙයි. එමෙන්ම වෛය බලකායේ නිලධාරියකුට හමුදාව අණදීම සඳහා අවශ්‍ය සටන්කාරී දැනුම නැහැ. ගුවන් හමුදාවේ වුනත් නාවික හමුදාවේ වුනත් හමුදාපතිකම ලැබෙන්නේ ඒ ආකාරයටමයි.

      2. පෙළකට, ඛණ්ඩයකට තියා බලඇණියකට වත් වෛද්‍යවරයකු ලබාදෙන්නේ නැහැ. වෛද්‍යවරයකු සටන් පෙරමුණට යැවීම කිසිදු ඵලක් නැති ක්‍රියාවක්. එයින් සිදුවන්නේ ඔහු නිරපරාදේ මියයාම පමණයි. සටන් පෙරමුණට පසුපසින් යුදබිමේ තියනවා ඉදිරි සැරහුම් මධ්‍යස්ථාන Advance Dressing Station = ADS යනුවෙන් හැඳින්වෙන, අවශ්‍යතාව අනුව තැන් තැන් වලට යමින් පවත්වාගෙන යන, ක්‍ෂේත්‍ර වෛද්‍ය මධ්‍යස්ථාන. වෛද්‍යවරුන් ඉන්නේ අන්න ඒ තැන්වල සහ ඊට ඉහල මට්ටමේ රෝහල්වල.

      3. එක් එක් රටේ යුද හමුදා වෛද්‍ය ප්‍රතිපත්තිය අනුව තමයි එය තීරණය වන්නේ. යුද චිත්‍රපටිවල අපි දකින සියලුදෙනා වෛද්‍ය වරුන් නොවෙයි. ඉහල මට්ටමේ ප්‍රථමාධාර පුහුණුව ලැබූ සොල්දාදුවන්.

      4. ඔව් යම් කිසි රටක යුද හමුදාවේ ජෙනරල් නිලය ඇතිකලහැකි වන්නේ හමුදාවේ සිටින සංඛ්‍යාව ප්‍රතිපත්තිමය වශයෙන් යම් විශාල ගණනකට පැමිණිවිටයි.

      5. නැහැ ඔහුට වඩා කළින් සිටි ජෙනරල් ලයනල් බලගල්ල, සිරිල් රණතුංග, එලෙස ජෙනරල් තනතුරේ හිටියා.

      6. ඕනෑම යුදහමුදාවක් පාලනය වන පනතක් හෝ රෙගුලාසි මාලාවක් තිබෙනවා. ඒ ඒ රට අනුව එම රෙගුලාසි වෙනස් වෙනවා. ලෝකයේ සෑම රටකම පාහේ තමන්ගේ හමුදාවට විරුද්ධ වන්නන්, ද්‍රෝහී වන්නන් සම්බන්ධයෙන් ක්‍රියාකළයුතු ආකාරය ගැන අණපනත් තිබෙනවා. අපේ රටේනම් යුද හමුදා අධිකරණයක් හෝ සිවිල් අධිකරණයක් මගින් මරණ දඬුවම පැනවිය හැකියි. අපේ අය අපට ද්‍රෝහී වුන අවස්ථා තිබෙනවා. අපේ කාලතුවක්කු හමුදාවේ සිටි ද්‍රවිඩ ජාතික කපිතන් වරයකු මුලතිවුහිදී කාලතුවක්කුද සමගින් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග එක්වුණා. ඔහු ආපසු අපට අහුවුනේ නැහැ. සටනේදී මියයන්නට ඇති.

      7. නොදනිමි. එය සේනාධිනායකයා විසින් ගතයුතු තීරණයකි.

      8. ඕනෑම හමුදාපති කෙනෙක් නෙවෙයි, ඔබව වුනත් හෙට හමුදාවට බඳවාගෙන, අනිද්දට ජෙනරල් කරන්න, අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සේනාධිනායකයාට බලය තිබෙනවා. ජාත්‍යන්තර පිළිගැනීම කුමක් වුවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සලසාදී තිබෙන ප්‍රතිපාදන තමයි වැදගත් වන්නේ.

      9. සිටිය හැකියි. ඇමරිකානු හමුදාවේ ඉන්නවා. එවැනි විශාල රටකට ඒ ක්‍රමය ගැලපෙනවා.

      නැවත වරක් ඔබට ස්තුතිවන්ත වෙනවා ලිපිය අගය කිරීම පිළිබඳව.

      • පිලිතුරු සෑපයිම පිලිබදව ස්තුතියි !!!!

        යුධ හමුදාවෙ වෛද්‍ය වරයෙකුට යුධ පුහුනුවක් දෙනවාද?
        යුධ හමුදාවෙ සිටින වෛද්‍ය වරයෙකුට ලෑබෙන නිලය කුමක්ද?(නිකම්ම නිකන් ඩොක්ටර් විතරද?)
        ඔහුට අනෙක් සෙබලුන් ආමන්ත්‍රනය කරන්නෙ සර් කියාද?

        • යුද පුහුණුවක් දෙන්නේ නැත. නිළ ඇඳුම් ඇඳීම, ඒ ඒ නිළය අනුව ආචාර සමාචාර කරන හැටි, අනෙකුත් සංග්‍රාමික නොවන යුදහමුදා පිළිවෙත් ආදිය කෙටි පුහුණුවකදී උගන්වනවා.

          MBBS උපාධිය සහිත වෛද්‍ය වරයකු කෙලින්ම බඳවා ගන්නවානම් කපිතන් නිළයටයි බඳවාගන්නේ. විශේෂඥ වෛද්‍ය වරුන් බ්‍රිගේඩියර් නිළයෙන් බඳවාගත් අවස්ථාත් තිබෙනවා.

          ඔහුට පහළ නිලයන්හි සියළු දෙනා අචාර කලයුතුයි, සර්/මැඩම් කියා ඇමතිය යුතුයි.

  31. ලස්සන පෝස්ට් එකක් විචාරක තුමනි ,
    මේවා දැකපුවම මට හිතෙන්නේ මේ සිස්ටම් එන්න ඇත්තේ අර ඉස්සර ලස්සනට පෝලිම් හැදිලා යුද්ද කරපු කාලෙන් වෙන්න ඇති කියල. අර the patriot එකේ වගේ .

    • අපි බටහිර ජාතීන්ගේ පාලනයට යටත්වූ කාලයේ සිට තමයි මෙලෙස බටහිර ක්‍රමයට අපේ යුද හමුදා සංවිධානය වෙනස්වුනේ. අදටත් තිබෙන්නේ ඒ ක්‍රමයම තමා.

  32. හොඳටම ප්‍රමාද වී මුත් පැමිණ ඉතා වටිනා තොරතරු රැසක් දැන ගත්තෙමි. ඔබ ලියන ආකාරයට දිගටම කියවන්න හිතෙනවා.

    • කිසිදු ප්‍රමාදයක් මමනම් දකින්නේ නැහැ සුදීක. ඔබ වගකිවයුතු රැකියාවක් කරන කෙනෙක්. ඉතිං ඔබට ඉඩ ලැබෙන වෙලාවට තමයි මේවා බලන්න ලැබෙන්නේ. මට වැදගත් වෙන්නේ පාඨක අදහස් පමණයි. එයින් මගේ අඩුපාඩු නිවැරදි කරගන්න පුළුවන්. ස්තුතියි ඇගයීම ගැන.

  33. This is more importance to us

  34. […] සමත්වීමෙන් පසුවයි. (මේ, ඔන්න ඉතින්, බලඇණිය, බලකාය, කණ්ඩායම, කියන්නේ මොකක්ද… දැන් අහන්න එපා) සටනේදී තුවාලවන තමන්ගේ […]

  35. නියමයි…

  36. […] දක්වා කොටස් ටික, කියලා දුන්නා අමතකද? අමතක නම් වහාම ගිහින් බලලා එනවා හොඳයි. ඒක අමතක නම්, මේ කතාව ඉස්සරහට ගෙනියන්න […]

  37. දැනුම නැව්ම් කරගන්න මනා පිටිවහලක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.