විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


49b94b9561a90   මේ ලිපිය ආරම්භයේදීම පහත දැක්වෙන කරුණු අවධාරණය කරනන්ට කැමතියි. ඔබ දන්නවා, පසුගිය අවුරුදු තුන පුරා, මා මෙම අඩවියේ වැඩිපුරම ලියා තිබෙන්නේ, හමුදාව පිලිබඳ ලිපි. ඒ මගින් මා අදහස් කළේ, ඔබේ හමුදා දැණුම දියුණු කරන්නයි. මෙම ලිපියත්, එවැනි, හමුදා දැණුම සම්බන්ධ ලිපියක් විනා, කිසිදු ආකාරයකින්, දේශපාලන අදහස් ගැබ්වූ ලිපියක් නොවේ. එබැවින්, මෙම ලිපියට අදාළ නොවන, ශ්‍රී ලංකාවේ දැනට පවතින රජයට පක්ෂව හෝ විපක්ෂව ඉදිරිපත් කෙරෙන, කුමන ආකාරයක හෝ දේශපාලන අර්ථකථන සහිත පාඨක අදහස් හෝ, ප්‍රස්තුතයට අදාළ නොවන අදහස්, ඉවත් කිරීමට සිදුවන බව, කාරුණිකව දැනුම් දෙනවා.

    අද උදෑසන (2015/01/14) රූපවාහිණී ප්‍රවෘත්තියක සඳහන් වුණා, හිටපු හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, (Chief of Defence Staff = CDS) සරත් ෆොන්සේකා මහතා, ෆීල්ඩ් මාර්ෂල් Field Marshal තනතුරට උසස් කිරීමේ අදහසක්, රජය තුළ පවතින බව. සමහරවිට ඔබ, ‘ෆීල්ඩ් මාර්ෂල්’ යනුවෙන් හමුදා නිළයක් ඇති බව දන්නවා ඇති. සමහරවිට නොදන්නවාත් ඇති. දන්න අයගේ මතකය අලුත් කිරීමටත්, නොදන්නා අයට දැණුම ලබාදීමත් සඳහායි, මේ ලිපිය ලියවෙන්නේ. මීට පෙර, මා ඔබට ත්‍රිවිධ හමුදාවේම සියලුම නිළ පිළිබඳව, සරලව කියාදී තිබෙනවා. මතක නැති අය මෙන්න මෙතනින් ගිහින් බලලා එන්නකෝ. එතකොට මේ ලිපිය තේරුම් ගන්න වඩාත් පහසුයි.

   දැන් මතකද කතන්දරේ. අපේ රටේ ත්‍රිවිධ හමුදාවේ මෙතෙක් තිබුණු ඉහලම නිළ තමා,

යුද හමුදාව = ජෙනරල්, 

Scan_20150114_141543 - Copy (2)

නාවික හමුදාව = අද්මිරාල්,

Scan_20150114_141543 - Copy

ගුවන් හමුදාව = එයාර් චීෆ් මාර්ෂල්

Scan_20150114_141543

   ඔන්න දැන් ශ්‍රී ලංකා යුද හමුදාවට අදාළව, ජෙනරල් නිළයට ඉහළ නිළය වන, ෆීල්ඩ් මාර්ෂල් නිළය ඇති කිරීමේ අදහසක් තිබෙන බව පෙනෙනවා. හැබෑටම කවුද ෆීල්ඩ් මාර්ෂල් කියන්නේ? එයා මොනවද කරන්නේ? එයා මොනවගේ නිළයක්ද අඳින්නේ? මෙන්න මේවා තමයි, අද අපි ඉගෙන ගන්න යන්නේ.

   ෆීල්ඩ් මාර්ෂල් කියන තනතුර, දීර්ඝ ඉතිහාසයක් තිබෙන යුද හමුදා තනතුරක්. ලෝක ඉතිහාසයේ ෆීල්ඩ් මාර්ෂල් කියන තනතුර පිහිටුවා ප්‍රදානය කර තිබෙන්නේ, සංග්‍රාමයේදී, යුද්ධෝපාය සැළසුම් සැකසීම, අණදීම, නායකත්වය යන කරුණු ඔස්සේ, සුවිශේෂී දක්ෂතා දක්වන ලද හමුදා සෙනෙවියන්ටයි. සංග්‍රාමයක් අවසන් වූවාට පසුව වුවත්, එම ගෞරවය ලබා දෙන්නට පුළුවන්. මා මීට පෙර ලියන ලද ලිපි කීපයකදීම ඔබට කියා ඇති, ශ්‍රී ලංකා යුද හමුදාවේ සැකැස්ම සහ පිළිවෙත්, බොහෝදුරට බ්‍රිතාන්‍ය යුදහමුදා සැකසුම් සහ පිළිවෙතට සමාන බව. එයට හේතුව, අපි සෑහෙන කාලයක් බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවතීම බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. නමුත් අද වනවිට, අපි අපට ගැලපෙන ප්‍රතිපත්ති සකසාගෙන තිබෙනවා. ඒ අනුව තමයි අපේ ත්‍රිවිධ හමුදා පාලනය වන්නේ. හැබැයි එකක් මතක තියාගන්න. අපේ යුද හමුදාව තවමත් පාලනය වන්නේ 1949 අංක 17 දරන යුද හමුදා පනතින්. මෙයට සංශෝධන එක්වී නැති තරම්. නමුත් කාලීනව, විවිධ ස්ථාවර නියෝග – Standing Orders මගින්, අවශ්‍ය පරිපාලන වෙනස්කම් සිදුවෙනවා. හමුදා නියෝග – Army Orders, හමුදා චර්යා නියෝග – Army Routine Orders, විශේෂ හමුදා නියෝග – Special Army Orders, යනුවෙන් නියෝග වර්ග තිබෙනවා. පස්සේ දවසක බලමුකො.  

   ත්‍රිවිධ හමුදාවේ නිළ හඳුන්වා දුන් ලිපියේදී, මා ඔබට කියාදුන්නා, කණිෂ්ඨ නිළධාරීන් – Subaltern Officers, ක්‍ෂේත්‍ර නිළධාරීන් – Field Officers, ප්‍රධාන නිළධාරීන් – General Officers, යනුවෙන් හමුදා නිළධාරීන් වර්ග තුනක් සිටින බව. ෆීල්ඩ් මාර්ෂල් කියන්නේ ප්‍රධාන නිළධාරී වර්ගීකරණයේ ඉහළම නිළයයි.

   බ්‍රිතාන්‍ය යුද හමුදාවේ ෆීල්ඩ් මාර්ෂල් තනතුරක් ඇතිකර තිබෙන්නේ, ක්‍රි.ව. 1737 තරම් ඈත අතීතයේදී. ෆීල්ඩ් කියන වචනයේ තියෙන්නෙත් ක්‍ෂේත්‍රය කියන තේරුම නේද? ඉතිං ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් අවශ්‍ය වන්නේ, විශේෂයෙන් මහා යුද්ධ පවතින සමයක, විශාල යුධභූමි වල, සමහරවිට රටවල් කීපයක, එකවර යුද හමුදා කීපයක් යොදවා, අණදීමේ කාර්යභාරය ඉෂ්ඨ කරන්නයි. ලෝකයේ සිටි එවැනි සුප්‍රසිද්ධ ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් තමයි, ෆීල්ඩ් මාර්ෂල් බර්නාඩ් මොන්ට් ගොමරි. දෙවැනි ලෝක යුධ සමයේදී, මේ ෆීල්ඩ් මාර්ෂල් වරයා, ඉන්දියාවේ සිට සිය අණදීමේ කටයුතු කරද්දී, ලංකාවේ හමුදාවත් ඔහු යටතේ තිබුණා. ෆීල්ඩ් මාර්ෂල් තනතුරේ ආරම්භය සිදුවී තිබෙන්නේ මධ්‍යතන යුගයේදී මහා බ්‍රිතාන්‍යය ආශ්‍රිතව බවයි සැලකෙන්නේ. 

bernard-montgomery

   අදත් ලෝකයේ ෆීල්ඩ් මාර්ෂල්ලා ඉන්නවද? ඉන්නවා, හැබැයි විශ්‍රාම ගිය අය. අදනම් ලෝකයේ කිසිම හමුදාවක සක්‍රිය සේවයේ active service ඉන්න ෆීල්ඩ් මාර්ෂල්ලා නැහැ. අවසාන වරට හිටිය ෆීල්ඩ් මාර්ෂල්, තමන් විසින්ම තමන්ව එම නිළයට පත් කරගත්තා. ඒ තමයි අද ඊජිප්තුවේ ජනාධිපති ලෙස ක්‍රියා කරන, අබ්ඩෙල් ෆාටා එල් සිසි.

   යුද හමුදාවේ ෆීල්ඩ් මාර්ෂල් නිළය හා සමාන, නාවික හමුදා නිළයේ හෝ (ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් – Admiral of the fleet) ගුවන් හමුදා නිළ වලට අදාළව, (මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝර්ස් – Marshal of the Air Force) නිළය දරන අයත්, ලෝකයේ කොහෙවත් නැහැ. එයට ප්‍රධාන හේතුව තමා, අද කාලයේ පැවැත්වෙන යුද්ධ වලදී, මහා පරිමාණයෙන් ගොඩබිම් හමුදා මෙහෙයවීමක් සිදු නොවීම. නවීන තාක්ෂණය නිසා, අනාගතය වනවිට, සොල්දාදුවන් වෙනුවට රෝබෝ වරුන් යුද පිටියට යනවිට, ‘රෝබෝ ෆීල්ඩ් මාර්ෂල්’ කෙනෙක්ව තමයි හදන්න වෙන්නේ 😀

   එහෙනම් මොකටද ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල් නිළය දෙන්න හදන්නේ? අනේ ඉතිං ඒක මගෙන් අහලා වැඩක් නැහැ. රජයෙන් තමයි අහන්න ඕනෙ. නමුත් මගේ උපකල්පන මෙසේයි. සමහරවිට ඔහුට කරන ගෞරවයක් ලෙස දෙන්නට පුළුවන්. එතකොට එයා ඒ නිළය ඇඳගෙන ආයෙත් හමුදා සේවයට එයිද? නැහැ. ඒකනම් කීයටවත් වෙන එකක් නැහැ. එහෙම අවශ්‍යතාවක් නැහැ. මතකනේ මම කලිනුත් කිව්වේ, ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් අවශ්‍ය වෙන්නේ, මහා පරිමාණයෙන් ගොඩබිම් හමුදා යොදවා, යුද හමුදා කීපයක් එක පාර්ශවයක් ලෙස එක්ව, සටන් කරන අවස්ථාවකදී පමණයි.

   හමුදාවේ සම්ප්‍රදායක් තිබෙනවා, යම්කිසි නිළධාරියකු, සේවයේ යෙදී සිටියදී දක්වන විශේෂ දක්ෂතා සහ කුසළතා වෙනුවෙන්, තාවකාලිකව, ගෞරවනීය ලෙස, ඊළඟ නිළයට උසස් කිරීම. නමුත් වැටුප් ලැබෙන්නේ පරණ නිළයට අදාළවයි.  එමෙන්ම, අගනා සේවා කාලයක් නිමකොට, විශ්‍රාම ගන්නා අවස්ථාවේදී ද, ඒ සේවය ඇගයීම සඳහා, ගෞරවාන්විතව ඊළඟ නිළයට උසස් කරනවා. එසේ කිරීම හැඳින්වීම සඳහා තිබෙන්නේ, ප්‍රංශ භාෂාවේ වචනයක්. ‘Brevet – බ්‍රවේ’ යනුවෙන් තමයි හඳුන්වන්නේ. අපි හිතමු ෆොන්සේකා මහතාට, බ්‍රවේ ෆීල්ඩ් මාර්ෂල් තනතුරක් දුන්නා කියා. එවිට ඔහුට පුළුවන්, එම නිළය ඇඳලා සිහිවටන ඡායාරූපයක් ගන්න. සේනාධිනායකයා අනුමත කරනවානම්, ඔහුට පිදෙන ගෞරවාචාර පෙළපාලියකට නිළ ඇඳුමෙන් සහභාගි වෙන්න.  ඔහුට පුළුවන් තම නමට ඉදිරියෙන් බ්‍රවේ ෆීල්ඩ් මාර්ෂල් කියලා ලියන්න. නමුත් සේනාධිනායකයාගේ කැමැත්ත අනුව, බ්‍රවේ උසස්වීමක් වෙනුවට, ස්ථිර උසස්වීමක් වුණත්, දෙන්න පුළුවන්. (විශ්‍රාම ගැනීමෙන් පසු, හමුදාවේ මේජර් සහ ඊට ඉහළ නිළවලට අයත් නිළධාරීන්ට, එලෙස තම නමට ඉදිරියෙන් නිළය ලියා විශ්‍රාමික යන්න සඳහන් කිරීමේ වරප්‍රසාදය තිබෙනවා, සේනාධිනායකයා විසින් ඔහුගේ අධිකාරිය Commission ඉවත් කර නැත්නම්) 

   හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියනවා. ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් විශ්‍රාම ගියත්, ඔහු හැමදාම සේවයේ ඉන්න විදිහටයි සළකන්නේ. එය නීතියක් නොවේ සම්ප්‍රදායක්. එය ඒ නිළයට කරන විශේෂ ගෞරවයක්. නමුත්, යුද්ධයක් ආවොත් ඔහුව කැඳවන්නේ නැහැ සංග්‍රාමික කටයුතු සඳහා. ඒ වුණත් ඔහුගෙන් විශේෂඥ උපදෙස් ගන්න පුළුවන්.

   මක්කිව්වා……..? අනේ අම්මපා, ඇහුවොත් අහන්නේ ඉතිං ඔහොම දෙයක් තමා. ඔහෙ නෑ අනේ……මෙතෙක් කල් ලෝකයේ කිසිම කාන්තා නිළධාරිණියක්, ෆීල්ඩ් මාර්ෂල් තනතුරක් දරලා නැහැ. හේතුව?……..හේතුව ඉතිං මං දන්නවයැ. සුදුසු අය නැතුව ඇති. බලමුකෝ අපිටවත් එක්කෙනෙක් හදන්න පුළුවන් වෙයිද කියලා 😀

   අපේ පොඩ්ඩි නම් ගෙදර ඉන්නේ ෆීල්ඩ් මාර්ෂල් වගේ වෙන්න ඇති. ෆීල්ඩ් මාර්ෂල් ඔමායා ගෙන් කාලෙකින් කිසිම ආරංචියක් නැහැ. ඊශ්‍රායලය පාලනය කරනවාද දන්නේ නැහැ. අපේ බස්සි නම් හොඳයි ෆීල්ඩ් මාර්ෂල් තනතුරකට. නියමෙට වැඩේ දෙයි.

   දැන් එක ප්‍රශ්නයක් තියනවා. ෆීල්ඩ් මාර්ෂල් තනතුර ලංකාවේ හදලා නිළ ඇඳුම එක වරක් හෝ අඳින්න අවසර දුන්නොත්, මොකක්ද උරහිසේ පළඳින නිළ ලාංඡනය? මේ ලිපියේ පළමුවැනි ඡේදයේ වම් පැත්තේ පෙන්වා තිබෙන්නේ බ්‍රිතාන්‍ය ෆීල්ඩ් මාර්ෂල් වරයකු තම හිස්වැස්මේ පළඳින ලාංඡනයයි. අපිටත් ඒ ඇසුරෙන් ලාංඡනයක් හදාගන්න වෙනවා. (cap badge)

   මෙන්න බලන්න ලෝකයේ රටවල් කීපයක ෆීල්ඩ් මාර්ෂල් තනතුරට අදාළව උරහිසේ පළඳින නිළ ලාංඡන.

field_1

   මෙහි දැක්වෙන ලාංඡන හතර පිළිවෙලින් එක්සත් රාජධානිය, ඉන්දියාව, පාකිස්ථානය සහ බංග්ලාදේශය යන රටවලට අයත්. මේ ඇසුරෙන් තමා අපේ රටටත් ලාංඡනයක් සකස් කරගන්නට සිදුවන්නේ. මා හිතනවා එය බොහෝදුරට, එක්සත් රාජධානියේ ලාංඡනයට සමාන වනු ඇති අතර, එම ලාංඡනයේ ඇති ඔටුන්න වෙනුවට, අපේ රටේ රාජ්‍ය ලාංඡනය යෙදෙනු ඇති. 

   මොකක්ද මේ සෑම ලාංඡනයකම පාහේ දකින්නට ලැබෙන්නේ. ධාන්‍ය කරල් හෝ ශාක පත්‍ර ලෙස අර්ධ කවාකාර හැඩයක් තුළ, යෂ්ඨි දෙකක් වැනි ලකුණක් දකින්නට ලැබෙනවා. ඉන්දියානු ලාංඡනයේ නම්, කඩුවක් වැනි ලකුණකුත් තිබෙනවා. නමුත් ලෝකයේ බොහොමයක් ෆීල්ඩ් මාර්ෂල් ලාංඡනයේ දක්නට ලැබෙන්නේ, යෂ්ඨි දෙකක ස්වරූපයයි. මේ යෂ්ඨිය ෆීල්ඩ් මාර්ෂල් වරයකු සතු අධිකාරී බලය නිරූපණය කරනවා. 

Jean-Baptiste,_comte_Jourdan,_maréchal_de_France_(1762-1833)

යෂ්ඨිය – Baton මෙන්න මේ වගේ දෙයක්

d4600_1

    මා හිතනවා ඉතා සංක්ෂිප්තව කරුණු දැක්වීමක් නිසා මීට වඩා විස්තර ඇතුළත් කිරීම සුදුසු නොවන බව. ඔබට ඇතිවන ගැටළු මෙහි සඳහන් කරන්න, හැකි උපරිමයෙන් පිළිතුරු දෙන්නම්. 

2015 ජනවාරි මස 14 වැනි දින 2354 පැය

Comments on: "ලංකාවටත් ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක්?" (47)

  1. ඇත්තටම ඇති වැඩේ මොකක්ද?? මම හිතන්නේ පොනීට නිසි ගෞරවය හා ඉපයීම් ලැබුනනං ඇති කියලයි.. ඒ කියන්නේ ජෙනෙරල් පට්ටම මදෑ…

    • ඇත්තෙන්ම මෙය ලැබෙනවානම් විශාල ගෞරාවයක්. ඔහුගේ සේවය ඇගයීමක්. ඉහළින්ම ඇගයීමක්. ජෙනරල් නිළය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. දැනුත්, අනාගතයේදීත්, සමහරවිට කිසිම යුද්ධයකට නොගිය අයටත් ජ්‍යොෂ්ඨත්වය මත පමණක් ජෙනරල් නිළය ලැබෙනවා. ඉතින් මේ මහ සෙනෙවියාත් ඒ යුද්ධ නොකරපු ජෙනරල් කෙනෙක් හා සමානද?

  2. @ දේශක සහබ්,

    සහබ්, ලංකාවේ නම බහුතරයක් ලේඩීස්ලාෆීල්ඩ් මාර්ෂල්ලා තමයි..!
    උදා:- තමන්ගේ ස්වාමි පුරුෂයාට අණ දෙන අතරම තමන්ගේ ලේලිවරුන්ට, බෑනාවරුන්ටත් අණ දීමේ බලය ඔවුන් සතුයි!!!
    ඇතැම් විට තුන්වන පරම්පරාව වන මුනුබුරි/ මිනිපිරියන් හට අණ දෙන අවස්ථා ද ඇත!!
    මේ අතර තමන්ගේ අනියම් ස්වාමි පුරුෂයන්ගේ පවුල් දක්වා නියෝග නිකුත් කිරීමට සමත් “චීෆ් ෆීල්ඩ් මාර්ෂල්ස්ලා” ද කලාතුරකින් හෝ දැක්නට ලැබේ……!!!!!!
    හික්z!!!

    ජයි හෝ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  3. මේක දේශපාලන අදහසක් නෙවෙයි.. මගෙ පුද්ගලික අදහස බොහෝ තොරතුරු මත පදනම්වෙලා ගත්ත. ඔබට මේ ගැන වඩා හොඳ අදහසක් ඇති. ජෙනරාල් ෆොන්සේකා මහතාගෙ නායකත්වය සංග්‍රාමික ක්‍රමෝපාය අප්‍රතිහත ධෛර්යය සහ නොනැමෙන චරිත ලක්ෂණ සහ වංචාවට දූෂණයට නොනැමි කම නොවෙන්නට අදත් උතුර නැගෙනහිර කොටි අතේ කවුරු මොනවා කලත්. ඒ නිසා ඔහුට මොන සම්මානය දුන්නත් මදි.. වසර පහක් තිස්සෙ ඔහු නොයෙකුත් අපහාස නින්දා වින්දා .. රාජ්‍ය මාධ්‍ය ඔහු වීරයාගේ සිට දුෂ්ඨයා දක්වා පහල හෙලීමට (සමහරුන් තුල -බහුතරයකගෙ හදවත්වල නෙවෙයි) සමත් උනා. අර කාණු කටාත් ජැකාත් ඔහුට කල අපහාසම ඇති.

    • ඔව් ඇත්තෙන්ම ඔහුට ෆීල්ඩ් මාර්ෂල් නිලය දෙනවානම් එය ඉතාම අගනා ක්‍රියාවක්. පළමුවෙන්ම කලයුත්තේ ඔහුට ජනාධිපති සමාව ප්‍රදානය කොට ඔහුගේ ප්‍රජා අයිතිය නැවත ලබාදීමයි.

  4. කුරුටු ගෑ ගී පවුර said:

    විචාරක තුමෝ………….

    හමුදාව ගැන මේ කතාව අහගන්න වෙන සුදුසු කෙනෙක් නැති බව අපි දන්නවා… අපිට හැකිනම් මේ ගැන තව ටිකක් විස්තර කියන්නකෝ… මේක ලබා දීමට පසු ලංකාව තුළ ඔහුට හිමිවන තත්වය ගැනත් අපි සංවාද කරමු… ඒ අනුව කියන්නේ අපිට තාම මේ තනතුරට අදාල නිල ලාංජන පවා නැති බව නේද???? රාජ්‍ය ලංජනය විතරක් දැම්මොත් ඒක මේජර් ලාංජනය වෙනවානේ.. ඒකට වී කරල් ඒකතු කරපු වෙනස් පලදනාවක් හදයිද??????

    • මේ තනතුර ලබාදෙන්නේ ගෞරව කිරීමක් හැටියට පමණයි. ඔහුට කිසිම අණදීමේ බලයක් පවරන්නේ නැහැ. එහෙම ක්‍රමයක් හමුදා පොතේ නැහැ. ශ්‍රී ලංකා යුද හමුදාවේ අනෙකුත් නිළ ලාංඡන වලට ගැලපෙන, දේශීයත්වය පෙන්වන ලාංඡනයක් හැදීම හරිම පහසුයි.

  5. මේ ගැන මුනුපොතේ තියනවා දැකපු වෙලාවේ නම් ඇත්තටම ලොකු සතුටක් ලැබුනා. ෆීල්ඩ් මාර්ෂල් තනතුර ගැන ලිපියක් දැන් ලියයි, දැන් ලියයි කියලා බලාගෙන හිටියේ. බොහොම ස්තුතියි විචාරකතුමාට.

    මගේ පෞද්ගලික මතය නම් මේ වෙලාවේ සරත් ෆොන්සේකා මැතිතුමාට එක සුදුසුයි කියන එක. පහුගිය කලේ එතුමාට සිදුවුණු අසාධාරනකම් එක්ක බැලුවම සහ එතුමාගේ චරිතය එක්ක බැලුවාම එතුමා ඒ තනතුර සදහා ඇත්තටම ගැලපෙනවා.

  6. ස්තූතියි විචාරක මහත්මයා, හැමදාමත් අපිට හමුදාව සම්බන්ධ අපි නොදන්න මෙවැනි තොරතුරු අරගෙන එනවට. ඔබ සඳහන් කරපු නිලයන් ගැන ලිපියෙදිත් මම ෆීල්ඩ් මාර්ෂල්වරු ගැන අහල කමෙන්ට් කරා. ඔබ ඒ වෙලාවෙ ඒ ප්‍රශ්නවලට පිළිතුරු දීලත් තිබුනා. ආසියානු කලාපයේ 70-80 දශකවලින් පසුව එවැනි තනතුරක් තිබුනෙ නැහැ කියල ඔබ එහිදි කිව්වා.

    ඔහු විශ්‍රාම ගියත් මේ නිලය ලැබුනු පසු නිලය අනුව නිලධාරීන් අතර ජේෂ්ඨත්වය හිමිවෙනව ද? මොකද ඔහුට පෙර විශ්‍රාම ගිය ජෙනරල්වරු මේ රටේ තව ඉන්නවා.

    • ස්තුතියි ලිපිය ඇගයීම පිළිබඳව. ඔබ අන්තිමට අහපු ප්‍රශ්නය හරිම වැදගත්. හමුදාවේ කිසිම කෙනෙක් (මොලය තියන සහ හැදිච්චකම තියන) තමන්ට වඩා හමුදා සේවය අතින් ජ්‍යොෂ්ඨ සහ තමන්ට කලින් විශ්‍රාම ගිය, එහෙත් දැන් තමන්ට වඩා නිළයෙන් පහළ කිසිම නිළධාරියකුට, තමන්ගේ නිළයේ උෂ්ණය පෙන්නන්න යන්නේ නැහැ. ඒ අයට සර් කියලයි කතා කරන්නේ.

  7. නිර්නාමික said:

    මාත් මේ කල්පනා කර කර හිටියේ…… මොකද්ද මේ feild marshal කියන්නේ කියල. දැන් හරි…..

  8. Wicharaka thuma,Idi Ameen,feild marshal hetiyata eyama pathkaragaththada?

  9. එතකොට විචාරක ජෙනරල්ගේ අර ගලවපු තරු පටි ආපහු ලැබුනද?

    • ඔව් හෙන්රි, මෙහෙමයි වෙන්නේ. සේනාධිනායක ජනාධිපතිතුමා විසින්, ඔහුට ජනාධිපති සමාව ප්‍රදානය කොට ගැසට් එකේ පළකරනවා, ඔහු යළිත් අධිකාරියට පත්කොට, (commission) කළින් තිබුණු නිළය (ජෙනරල්) ලබාදුන් බව. කලින් තිබුණු සියලු පදක්කම් සහ සම්මාන එවිට ස්වයංක්‍රීයව හිමිවෙනවා. ඉන්පසු ගැසට් පත්‍රයේම පළකරනවා (ඇත්තටම එහෙම වෙනවා නම්) ඔහුව ගෞරවනීය ලෙස ෆීල්ඩ් මාර්ෂල් නිළයට උසස් කළ බව.

  10. ෆීල්ඩ් මාර්ෂල් ධූරයක් ලැබීමට නම් විශාල පිරිස් (සේනාංක ) බලයකින් යුත් හමුදාවක් පාලනය කර තිබිය යුතුයයි මා අසා තිබෙනවා. එහි සත්‍යතාවයක් තිබෙනවා ද ?. එවැනි සීමාවක් තිබෙනවාද ?

    • මේ ලිපියේම මා කියා තිබෙනවා ෆීල්ඩ් මාර්ෂල් තනතුරක් ඇතිකිරීමට නම් විශාල හමුදාවක් අවශ්‍ය බව. නමුත් එලෙස අවශ්‍ය වන්නේ සක්‍රියව හමුදා සේවයේ යෙදීම සඳහා ෆීල්ඩ් මාර්ෂල් කෙනෙකු අවශ්‍ය වන්නේ නම් පමණයි. යුද්ධයක් අවසන්වී හමුදා විසිර ගියාට පසුව වුවත් ගොරව දැක්වීමක් වශයෙන් සක්‍රිය සේවයේ නොයෙදෙන ජෙනරල් වරයකු ගෞරවනීය ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කරන්න පුළුවන්.

  11. මගේ අදහස නම් යුද්දේ අවසන් නිසා දැන් ලංකාවේ හමුදාවල ප්‍රමාණය අඩු කළ යුතු බවයි. නැතිනම් නගර අලංකාර ජටයුතු තමයි කරන්න වෙන්නේ ෆීල්ඩ් මාෂල්ටත්.

    • ඇත්තටම එහෙම අඩුකිරීමක් සිදුවෙමින් පවතිනවා. ස්වේච්ඡා හමුදාවට අලුතෙන් බඳවා ගන්නේ නැහැ. වෛද්‍ය, ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ, නීති, වැනි අංශ සඳහා නිලධාරීන් සීමිත සංඛ්‍යාවක් පමණයි ස්වේච්ඡා හමුදාවට ගන්නේ. සෙබළුන් ගන්නේ නැහැ. රටේ විශාලත්වය සහ ජාතික ආරක්ෂාව ගැන කරුණු සලකා බලා අවශ්‍ය අවම ප්‍රමාණය පමණක් පවත්වාගෙන යාමට කටයුතු යොදා තිබෙන බවයි මා දන්නේ.

  12. මාෂල් තනතුර වෙනුවට තරු හයේ ජෙනරාල්කමක් ගත් ආමිකාරයා ගේ කතාව දන්නවා ඇති නේද?

  13. මම නම් හැමදාමත් මේ හමුදා ලිපි වලට කැමති.
    එල ද බ්‍රා

  14. එතුමා ෆීල්ඩ් මාර්ෂල් තනතුරට උසස් කරනවානම් එය ඉතා අගනා ක්‍රියාවක්.

    විචාරක තුමා මට පොඩි පහේ පරණ කතාවක් මතක් උනා.. දැන් බ්ලොග් එකත් වැඩිය නොලියන හින්දා තරහා අවසරයි මෙතනම එක කොටන්න.

    මං තුමා ඉතින් නුවර ප්‍රදේශ වැසියෙක් නොව දැන් ඉතින් මේ කෝලම් තොටට වෙලා හිටියට. ඔය නුවර හිටියා මනුස්සයෙක් මෙයාගේ නම මාෂල්. මෙයාට බොහොම හොඳ ගරාජ් එකක් තුබුණා.. නෙවෙයි තවත් තියෙනවා. එකේ නම තමයි මාර්ෂල් ගරාජ්. නුවර උසස් බාලිකා විදුහල අසල තමයි තියෙන්නේ. මෙන්න මේ තමයි කතාවේ මුල පිරුම.

    ඔන්න දවසක් මාෂල් ටිටෝ ලංකාවට ඇවිත් නුවර ගියාලු පොඩි පහේ සංචාරයක් සඳහා. ඔන්න ඔය වෙලේ අපේ මේ මාශ්ල්ට මාෂල් ටිටෝ හමු වෙලා තියනවා. ඒ වෙලේ මෙනන් මේ විදිහේ පොඩි සංවාදයක් උනාලු..

    මාෂල්: “Hellow who are,?”

    මාෂල් ටිටෝ : “Oh! don’ t you know, I am Marshal Tito”

    මාර්ෂල් : ” hooo… nice to meet you, I am Marshal of the Marshal Garage”

    කොහොමද ගමේ බයියන්ගේ වැඩ…..

  15. තව ඉල්ලීමක් තිබෙනවා, මාණ්ඩලික ප්‍රධානි තනතුර ගැනත් පොඩි විස්තරයක් කරන්න හැකිද?

    • මාණ්ඩලික ප්‍රධානී chief of staff නෙවෙයි ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති chief defence staff. . මාණ්ඩලික ප්‍රධානී කියන තනතුර ත්‍රිවිධ හමුදාවේම තියනවා. නමුත් ඒකාබද්ධ මෙහෙයුම් ආඥාපති කියන්නේ ත්‍රිවිධ හමුදාවම සම්බන්ධීකරණය කරමින් කටයුතු කරන නිලධාරියාට.

  16. නොදැනගෙන හිටපු දෙයක් දැන ගත්තා .. බොහොම ස්තුතියි .. හිටපු සොල්දාදුවන් යුද්ධය අවසන් වූ පසු වෙනත් සංවර්ධන වැඩ වල යෙදවීම වරදක් ද ? හමුදා නීති වල ඒක කොහොමද තියෙන්නේ ?

    • සොල්දාදුවා යුද්ධ කරන්නත්, වැසිකිලි පිරිසිදු කරන්නත් සූදානමින් සිටියයුතුයි. නමුත් වැසිකිලි පිරිසිදු කරන්නන් සිටියදී සොල්දාදුවන් ඒ සඳහා යෙදීම වැරදියි.

  17. ක්සැන්ඩර් said:

    මම මේ ගැන ඔබතුමා ලියාවි කියල හිතුවා. කොහොමත් මම කල්පනා කලේ ම ජෙනරාල් තුමා නැවත පත් කරාවි කියල. දේශපාලනය පැත්තක තියල ගත්තම එතුමා මේ සම්මානයට හොඳටම වටිනවා.. ඉන්දියාවේ මොකද දන්නේ නෑ ෆීල්ඩ් මාෂල් ට කැත්තක් එක්ක පොල්ලක් දීලා. 😀

    • ඔව් ඔහුට මෙවැනි ගෞරව කිරීමක් ලබාදීමේ වැරැද්දක් මමත් දකින්නේ නැහැ. ඔහු ඒ සඳහා සුදුසුයි.

      ඉන්දියාවේ ඉන්නේ කැති පොලු කාරයෝ කියලා කියන්න වෙන්න ඇති, අරවගේ ලාංඡනයක් හදලා තියෙන්නේ. 😀

  18. මේ තනතුර ගැන අද තමයි මම මුල්ම වතාවට කියෙව්වෙ..කරුණු හොයලා බලලා සංශිප්තව ඉදිරිපත් කිරීම ගැන විචාරක තුමාට මගේ ස්තූතිය හිමි වේ.

    • මට හිතුනා සමහර අය දන්නේ නැතුව ඇති කියලා. මොකද මේ නිළය ගැන අපේ හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවටයි මේ කතාකරන්නේ.

  19. ඔබෙන් හැර වෙනත් කෙනෙකුගෙන් සිංහල මාධ්‍යයට නොලැබුණ සාමාන්‍ය අයට දුර්ලභ විෂය ක්‍ෂේත්‍රයක දැනුම ගෙන එන තවත් වටිනා ලිපියක් වගේම ජාතියේ ණය ගෙවන්නට සුදුසු ඉතාම වටිනා යෝජනාවක් විචාරක තුමණි

  20. මා අසා තිබෙනව ෆීල්ඩ් මාර්ෂල් තනතුර ලබා දෙන්නෙ රටවල් අතර සංග්‍රමික යුද්ධයක් දිනීමට අණදුන් පුද්ගලයකුට කියා. ලෝක ඉතිහාසයේ මීට පෙර එකම රටක යුද්ධයකින් ජයගත් පුද්ගලයකුට ෆීල්ඩ් මාර්ෂල් තනතුර ලබා දී තියෙනවද?
    අඩුම තරමින් එසේ කිරීමට අවස්තාවක් තිබේ නම් සරත් පොන්සේකා මැතිතුමව ෆීල්ඩ් මාර්ෂල් නිලයෙන් පිදීම වටිනව.

    • ඔව් මාත් දන්නා තරමින් ෆීල්ඩ් මාර්ෂල් තනතුර ලබාදී තිබෙන්නේ රටවල් අතර යුද්ධයක් අණදුන් අයට පමණයි. නමුත් ඊලාම් යුද්ධයත් සුළුපටු එකක් නොවන බව අපි හැමෝම දන්නවානේ. ඒ නිසා මේ ගෞරවය පිරිනැමීම නරක නැහැ.

  21. මේක හොඳ නැතිද insignia ekata

  22. […] කතාකරේ……………හරි හරි මතක් වුණා, ෆීල්ඩ් මාර්ෂල් කතන්දරේ නේ. කෝ අනේ. තවම ඒ තනතුර දුන්නේ නැහැනේ. […]

  23. […] ලංකාවේ ප්‍රථම වරට පිහිටුවන්න යන ෆීල්ඩ් මාර්ෂල් තනතුර ගැන. ඔන්න දැන් ඒක පිහිටුවන්න තමා […]

  24. lipiya itha anargai thumani. Meya ma visin face book wetha share kala. E pilibadawa obata pera denum dimak sidu nokirima pilibada samawa illami. Sinhalen liyanna beri dura banuwen blog kiyawana nisayi

  25. මම කරන recerch එකට ත්‍රිවිධ හමුදාව ගැන කියවෙන ලිපි පෙල ගොඩක් වැදගත්..මම පරණ ලිපි හොය හොයා කියවනවා…නාවික සහ ගුවන් හමුදා තොරතුරු ටිකක් හොයා ගන්න අපහසුයි….ඒ ගැනත් ලියා ඇතනම් link එකක් සටහන් කරන්න පුලුවන්ද ..ලොකු උදවුවක් මගේ recerch එකට

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.