විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 ත්‍රිවිධ හමුදාවේ එක සමාන නිළ මොනවාද යන්න පැහැදිලි කරදෙන මෙන් ඉල්ලීම් ලැබුනේ සෑහෙන කලක සිටයි. නමුත් කල් තබා ආරම්භ කර තිබුණු වෙනත් ලිපි සම්බන්ධ පරිවර්තන කටයුතු නිසා ඒ ඉල්ලීම් ප්‍රමාද කරන්නට සිදුවුනා. ඒ ගැන මගේ කණගාටුවද ප්‍රකාශ කරමින් අද ඒ ඉල්ලීම ඉටු කරනවා. නමුත් මේ ලිපියත් එක කොටසකින් අවසන් කරන්නට නොහැකි බව මට අවබෝධ වුනේ ලිපිය සබැඳි දළ සටහන සැකසීමෙන් පසුවයි. සමහරු ඉල්ලා තිබුනා ත්‍රිවිධ හමුදාවේ නිළ හා සමාන වන පොලිස් සේවයේ නිළ මොනවාද යන්නත් පැහැදිලි කරන ලෙස. මුලින්ම එයට පිළිතුරු දී ඒ ගැන කරුණු පැහැදිලි කිරීමක් කලොත් හොඳයයි මා හිතනවා.

ත්‍රිවිධ හමුදා යනු  සන්නද්ධ සේවා (Armed Forces) කියන ගණයට වැටෙන විශේෂ සංවිධාන. නමුත් පොලීසිය කියන්නේ දෙපාර්තමේන්තුවක්. දෙපාර්තමේන්තුවක් සහ සන්නද්ධ සේවයක් සංසන්දනය කිරීම ඉතා අපහසු කාර්යයක්. එයින් අදහස් කරන්නේ ත්‍රිවිධ හමුදාව උසස් පොලීසිය පහත් යයි කියා වරදවා වටහාගන්නට එපා. ත්‍රිවිධ හමුදා පාලනය වන්නේ ඒ සඳහා වෙන වෙනම සම්මතවූ පාර්ලිමේන්තු පනත් වලින් වන අතර පොලීසිය පාලනය වන්නේ දෙපාර්තමේන්තුවක් පවත්වාගෙන යාමට අවශ්‍ය ආකාරයේ පනතකිනුයි. ත්‍රිවිධ හමුදා නිලධාරින් වෙත පිරිනමන්නේ අධිකාරී බලයයි. (Commission) එය පිරිනැමීමේ ව්‍යවස්ථානුකූල බලය තිබෙන්නේ සේනාධිනායකයාට පමණයි. පොලිස් නිලධාරීන් වෙත පිරිනමන්නේ අධිකාරි බලයක් නොවෙයි. එය දෙපාර්තමේන්තුවක නිළ පත්වීමක්. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සේනාධිනායකයා (Commander in Chief) වන්නේ ශ්‍රී ලංකා ජනාධිපති වරයායි. ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් අතරින් කනිෂ්ඨතම අධිකාරි නිලයට පත්වන නිලධාරියාගේ අධිකාරි පත්‍රයට (Credentiels) වුවත් ශ්‍රී ලංකා ජනාධිපති වරයා පෞද්ගලිකවම අත්සන් කලයුතුයි. එතැන් සිට ඒ නිලධාරියා විශ්‍රාම යනතුරු හෝ සේවයෙන් පහ කරනතුරු ඔහු පිලිබඳ සෑම පත්වීමකදීම ජනාධිපති වරයා පෞද්ගලිකවම අත්සන් කලයුතුයි. එමෙන්ම දෙවැනි ලුතිතන් ලෙස අධිකාරියට පත්වීමේ සිට ඉහත සඳහන් පරිදි මාණ්ඩලික ශ්‍රේණියේ විශේෂ පත්වීමකදීම, සියලු නිළ උසස්වීමකදීම ඒ බව ශ්‍රී ලංකා ජනරජයේ ගැසට් පත්‍රයේ පලවෙනවා. (සේවයෙන් පහ කිරීම වුනත්) නමුත් පොලිස් සේවයේ නිලධාරීන් අතරින් ගැසට් පත්‍රයේ නම පළකරන්නේ සහකාර පොලිස් අධිකාරි සිට ඉහලට ඇති නිලයන්ගේ පමණයි. එහෙත් පොලිස් නිලධාරීන්ගේ නිලය සම්බන්ධ වෙනත් වෙනස්වීම් එසේ ගැසට් පත්‍රයේ පලකෙරෙන්නේ නැහැ. එබැවින් නිළ සමාන කරන්නට ගියොත් යුද හමුදාවේ දෙවැනි ලුතිතන්ට සමාන වන්නේ සහකාර පොලිස් අධිකාරියි. සමහර ත්‍රිවිධ හමුදා රෙජිමේන්තුවල අදටත් කඳවුරු තුල නිලධාරි නිවස්න වෙත ඇරයුම් ලබන්නේ පොලීසියේ ස.පො.අ. (A.S.P.) සහ ඊට ඉහල නිලයන් පමණයි.  ඒ නිසා ඒ කරුණු එසේ තිබෙන්නට හැර, අපි ත්‍රිවිධ හමුදාව ගැන කතා කරමු.

 ලෝකයේ සෑම රටකම ත්‍රිවිධ හමුදාවට කිසියම් ජ්‍යෙෂ්ඨතා අනුපිළිවෙලක් හිමිවෙනවා. අපේ රටේ එම ජ්‍යෙෂ්ඨතා අනුපිලිවෙල වන්නේ යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව යන අනුපිළිවෙළයි. සමහර රටවල නාවික හමුදාව ජ්‍යෙෂ්ටයි. මේ සඳහා පදනම වන්නේ මුලින්ම පිහිටවුයේ කුමන හමුදාවද යන්න මෙන්ම අනෙක් හමුදාවලට සාපේක්ෂව විශාලත්වය (භට පිරිස් ප්‍රමාණය) වැනි කරුණුයි. ඔබට මතකද ජනාධිපතිතුමා සහභාගිවන නිදහස් උත්සවය, රණවිරු අනුස්මරණය, වැනි විශේෂ නිළ උත්සවයකදී ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් එතුමා පසුපසින් සිටගෙන සිටින ආකාරය? මෙහිදී එතුමාට පසුපසින් එතුමාගේ දකුණු අත පැත්තේ කෙළවරම සිටගන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියායි. (Chief of Defence Staff) ඉන්පසු පිලිවෙලින් යුද හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති සහ ඉන් අනතුරුව පොලිස්පති සිටගන්නවා.  එසේ සිටගන්නේ හමුදා ජ්‍යෙෂ්ඨතා අනුපිලිවෙල අනුවයි.

අපේ රටේ සන්නද්ධ සේවා පවත්වාගෙන යන්නේ එංගලන්තයේ සන්නද්ධ සේවා ආකෘතිය අනුවයි. එයට හේතුව වන්නේ අපි බ්‍රිතාන්‍යයට යටත්ව සිටි සමයේ පිහිටවන සන්නද්ධ සේවා ඒ ආකෘතියට අනුව හැඩ ගැසීමයි. 1972 වනතුරු අපේ ත්‍රිවිධ හමුදා ඇන්දේ එංගලන්ත ත්‍රිවිධ හමුදාව අඳින නිළ ලාංඡනමයි. 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් වීමෙන් පසුවයි ලංකාවට අදාලවන ලෙස එම ලාංඡන වෙනස් කලේ.

 මෙසේ ලාංඡන වෙනස් වුනත් හමුදා සංවිධානයේ මූලික ආකෘතීන් එංගලන්තයේ ආකෘතීන් හා සසඳන විට, වෙනස්වී තිබෙන්නේ ස්වල්ප වශයෙන්. හමුදා සංවිධාන ව්‍යුහය වෙනමම කතා කලයුතු දීර්ඝ, සංකීර්ණ, මාතෘකාවක්. එය පසුවට තබා අපි මුලින්ම ත්‍රිවිධ හමුදා නිළ පිළිබඳව සාකච්ඡා කරමු.

වර්තමානයේදී අපේ රටේ බොහෝ දෙනෙකුට හමුදා නිළ පිළිබඳව සෑහෙන තරම් සතුටුදායක අවබෝධයක් තිබෙනවා. එයින් වඩාත් හොඳ අවබෝධය තිබෙන්නේ යුද හමුදාව ගැනයි. එයට හේතුව පසුගිය සමයේ යුද ප්‍රවෘත්ති වල වැඩිපුරම සඳහන් වුයේ යුද හමුදාව ගැන පුවත් නිසයි. කෙසේ වෙතත් නාවික හමුදාව සහ ගුවන් හමුදාවත් ඒ සටනේදී අනබිභවනීය සේවයක් කල බව අවධාරණයෙන් කිව යුතුයි.

හොඳයි, මෙතැන්සිට මා ඔබට හඳුන්වා දෙන්නේ හමුදා නිළ පිළිබඳවයි. මුලින්ම කිවයුතුයි, සන්නද්ධ හමුදාවක සාමාජිකයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ තමයි,

  • නිලධාරීන් (Officers)සහ
  • සෙසු නිලයන් (Other Ranks)වශයෙන්.

කෙටි යෙදුම (Offrs /  ORs)

  • මෙයින් නිලධාරීන් ලෙස සැලකෙන්නේ 2 වැනි ලුතිතන් සිට ජෙනරල් දක්වා නිලයන්. (ශ්‍රී ලංකාවේ මෙතෙක් ලබාදී ඇති ඉහලම නිලය ජෙනරල්. වෙනත් සමහර රටවල ෆීල්ඩ් මාර්ෂල් Field Martial යනුවෙන් ඊට ඉහල නිලයක් තිබෙනවා.)
  • සෙසු නිලයන් ලෙස සැලකෙන්නේ සාමාන්‍ය සෙබලාගේ සිට බලලත් නිලධාරි I දක්වා නිලයන්

නිලධාරීන්ගේ සහ සෙසු නිලයන්ගේ තවත් වර්ගීකරණ තිබෙනවා. කැඩෙට් නිලධාරියකු ලෙස (Cadet Officer) හමුදාවට බැඳෙන අයකු පුහුණුව සමත් වුවොත් ඔහුට ලැබෙන්නේ ක්ෂේත්‍ර අධිකාරියයි. (Field Commission) එමෙන්ම, උපකරණ පාලක රාජකාරි වල යෙදවීම සඳහා, බොහෝවිට බලලත් නිලධාරි II පන්තියේ නිලයන්, (අවශ්‍යතාවය අනුව නිලය මීට වඩා පහල හෝ මීට ඉහළින් ඇති බලලත් නිලධාරි I නිලය වියහැකියි) සුදුසුකම් පරීක්ෂාකර, කෙටිකාලීන පුහුණුවකින් පසු, අධිකාරියට පත්කරනවා. ඒ ආකාරයට අධිකාරියට පත්කිරීම හඳුන්වන්නේ උපකරණ පාලක අධිකාරිය (Quarter Master Commission = ‘Q’ Commission)යනුවෙන්. ඔවුන් පාලන රාජකාරි වල පමණයි යොදවන්නේ. අණදීමේ රාජකාරිවල හෝ ක්‍රියාන්විත (Operation)රාජකාරිවල යොදවන්නේ නැහැ. නමුත් ඔවුන් නැතුව යුද්ධ කරන්නත් බැහැ. ඔවුන් තමයි සියලු නිලයන්ගේ කෑම බීම, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම්, අවි ආයුධ, පතරොම්, ප්‍රවාහන කටයුතු, වැටුප්, ආදී විශාල පාලන කටයුතු සම්භාරයක් ඉටු කරන්නේ. ඒ බර ඔවුන්ට දී අනෙක් නිලධාරීන්ට යුද්ධය කලහැකියි. මේ ‘QM’ ලා ටත්, අනෙක් නිලධාරීන්ට මෙන්ම, ජෙනරල් නිලය දක්වා වුනත් උසස්වීම් ලබාගතහැකියි. මෙතෙක් මා දන්නා තරමින් බ්‍රිගේඩියර් නිලය දක්වා ගිය එක්කෙනෙක් හිටියා. හැබැයි, ඔවුන් නම ලියනවිට QM යන්න සඳහන් කලයුතුයි. උදාහරණය කපිතන් (උපකරණ පාලක ‘උපා’ යනුවෙන් ලියන්නේ) ඒබීසී ගුණපාල Capt (QM) ABC Gunapala. ඒ නිලධාරීන්ටත් අනෙක් නිලධාරීන්ට මෙන්ම අචාර කිරීම, ගරු කිරීම, වෙනසක් නැතුව සිදුකල යුතුයි, ඊට පහල සියලු නිලධාරීන් හා සෙසු නිලයන් විසින්. සම නිලයේ නම්,  එනම්, ක්ෂේත්‍ර අධිකාරියේ ලුතිතන් කෙනෙකු අද කපිතන් නිලයට පත් වුනත්, මෙතෙක් කපිතන් (උපා) නිලයේ සිටි නිලධාරියාට වඩා ජ්‍යෙෂ්ට වෙනවා. ක්ෂේත්‍ර අධිකාරියට පත් කරන කැඩෙට් නිලධාරියකුට ලැබෙන්නේ දෙවැනි ලුතිතන් නිලය වුවත්, උපකරණ පාලක අධිකාරියට පත් කරන නිලධාරියකුට ලැබෙන්නේ දෙවැනි ලුතිතන් නිලය නොව කෙලින්ම ලුතිතන් නිලයයි. ක්ෂේත්‍ර අධිකාරි නිලධාරියකු සහ උපකරණ පාලක නිලධාරියකු අතර නිළ ඇඳුමේ කිසිදු වෙනසක් නැහැ.

(උපකරණ පාලක නිලයට පත්වන මාණ්ඩලික සැරයන් හෝ, බලලත් නිලධාරි I හෝ II එතෙක් කල් ජීවත් වුනේ, බලලත් නිලධාරීන්ගේ සහ සැරයන් වරුන්ගේ නිවස්නයේ නොවැ. ඉතින් එය අතහැර අධිකාරිලත් නිලධාරීන්ගේ නිවස්නයට එනදා විශේෂ දවසක්. සමහරවිට ඔහුට කිසිදු නිළ ඇඳුමක් හෝ සිවිල් ඇඳුමක් පවා ගෙනයන්න ඔහුගේ පරණ සගයන් වන සැරයන් වරු, මාණ්ඩලික සැරයන් වරු, බලලත් නිලධාරිවරු, ඉඩ දෙන්නේ නැහැ. එය පුංචි නවක වදයක්. ‘චී. . චී. . සර්, ඕවා ඇඳන් යන්නේ කොහොමද ඔෆිසර්ස් මෙස් එකට’ කියා ඔහු ඇඳන් ඉන්න නිළ ඇඳුම පමණක් ඉතුරුවෙන්න අනික් ඔක්කොම ගන්නවා. ටික දවසකට පස්සේ දෙන්නේ. සමහරුනම් දෙන්නෙම නැහැ. හැබැයි ගත්ත අය ඒවා අඳින්නෙත් නැහැ. බොහෝවිට උපකරණ පාලක අධිකාරියට පත්ව එන නිලධාරියාගේ දරුවන්ගේ වයසේ, 2/ලුතිතන් වරුන්, ලුතිතන් වරුන් නිලධාරී නිවස්නයේ සිටිය හැකියි, ඒත් ඉතින් පුංචි නවක වදයක් නොදෙන්නෙත් නැහැ, නිලධාරි නිවස්නයට පිළිගැනීම වෙනුවෙන්. හැබැයි වයස ගැන සලකා බලා බොහොම පරිස්සමෙන් එය කරන්නේ)

හමුදාවේ නිලධාරීන් ඔවුන්ගේ නිලය අනුව ප්‍රධාන වර්ග තුනකට බෙදනවා.

  • කනිෂ්ට නිලධාරීන්. (Subaltern Officers)
  • ක්ෂේත්‍ර නිලධාරීන් (Field Officers) සහ
  • ප්‍රධාන (මහ) නිලධාරීන් (General Officers) වශයෙන්.
  • කණිෂ්ට නිලධාරීන් (Subaltern Officers) ගණයට වැටෙන්නේ, 2/ලුතිතන්, ලුතිතන්, කපිතන්, කියන නිළ තුනයි. (2nd Lieutenant, Lieutenant, Captain) 
  • ක්ෂේත්‍ර නිලධාරි (Field Officers)  කියන ගණයට වැටෙන්නේ,  මේජර්, ලුතිතන් කර්නල්, කර්නල්, යන නිළ තුනයි. (Major, Lieutenant Colonel, Colonel)
  • ප්‍රධාන (මහ) නිලධාරීන් (General Officers) වන්නේ, බ්‍රිගේඩියර්, මේජර් ජෙනරල්, ලුතිතන් ජෙනරල්, ජෙනරල්, යන නිළ හතරයි. (Brigadier, Major General, Lieutenant General, General)

ප්‍රධාන නිලධාරීන් හැඳින්වීමට ඔවුන්ගේ නිළ ඇඳුමේ අඳින නිල ලාංඡන වලට අමතරව තවත් සංකේතයක් පාවිච්චි කරනවා. ඒ මෙසේයි. බ්‍රිගේඩියර් සංකේතවත් කරන්නේ එක තරුවකින්. මේජර් ජෙනරල් තරු දෙකයි. ලුතිතන් ජෙනරල් තරු තුනයි, ජෙනරල් තරු හතරයි. මෙම නිලධාරීන් ගමන් කරන නිල වාහනයේ ඉදිරිපස සහ පසුපස බෆරයේ මේ තරු සලකුණු දකින්නට ලැබෙනවා. මෙසේ නිලධාරීන් වර්ගීකරණය කිරීම හා තරු සංකේත ලබාදීම ත්‍රිවිධ හමුදාවේම එක සමානව සිදු කෙරෙනවා. නිලධාරීන් ගැන මෙතරම් සවිස්තරව කියන්නේ ඔබට ඇතිවියහැකි ගැටළු හැකි තරම් අවම කිරීමටයි.

 මේ ලිපිය දැනටම සෑහෙන්න දිග බව පෙනෙනවා. ඒ නිසා ත්‍රිවිධ හමුදාවේ එක සමාන නිළ හඳුන්වාදීම ඊළඟ ලිපියෙන් කරන්නම්.

 

Advertisements

Comments on: "ඔයා බ්‍රිගේඩියර් ද, කමඩෝර් ද, ග්රූප් කැප්ටන් ද? (පළමුවැනි කොටස) – Equal Ranks in Three Forces (Part One)" (108)

  1. “මෙම නිලධාරීන් ගමන් කරන නිල වාහනයේ ඉදිරිපස සහ පසුපස බෆරයේ මේ තරු සලකුණු දකින්නට ලැබෙනවා.”
    …
    …ත්‍රස්වාදය තදින්ම තිබුණු කාලේ මේවා වහගෙන හමුදා වාහන පාරේ ගමන් කළා මතකයි

  2. ආරක්ශක මාණඩලික ප්‍රධානී කියන තනතුර, සියලුම හමුදාපති වරුන්ට ඉහලින් තිබෙන තනතුරක්ද ? නැත්නම් යුධ හමුදාවේ පමණක් තියන හමුදාපතිට වඩා ඉහලින් තියන තනතුරක්ද ?

    මට මතකයි සරත් ෆොන්සේකා මහතාට එම තනතුර පිරිනැමීම ගැන ඔහු එතරම් සතුටු වුනේ නැහැ. ටික කලෙකින්ම ඉල්ලා අස් වූවා.

    මෙම තනතුර හමුදා කෙරෙහි බලයක් නොමැති නාමික තනතුරක් පමණක්ද ?

    • ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කියන්නේ ත්‍රිවිධ හමුදාපති වරුන්ට වඩා ඉහල නිලයක්. වෙන රටවලනම් ඉතා ප්‍රබල නිලයක්. අවාසනාවකට අපේ රටේ තටු කපපු රාජාලියෙක්. ඒ ගොන්පාට් එකට අකමැති නිසා තමයි අස්වුනේ.

  3. එතකොට විචාරක, පොලිස් දෙපාර්තමේන්තුව යටතේ තියෙන විශේෂ කාර්ය බලකාය සන්නද්ධ සේවා ගනයට වැටෙන්නෙ නැත්ද?

  4. Field Martial තනතුර ලංකාවේ නැත්තේ ඇයි?

    • දැනට ලංකාවේ තියන ලොකුම හමුදාව යුද හමුදාවනේ. Field Martial තනතුරක් හදන්නනම් ඒ යුද හමුදාව තරම්ම විශාල ගුවන් හමුදාවක් සහ නාවික හමුදාවක් අවශ්‍යයි. හැබැයි විශ්‍රාම යන ජෙනරාල් කෙනෙකුව ගෞරවනීය (Bravet) ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් කර විශ්‍රාම යැවිය හැකියි. (නිල ඇඳුම අඳින්නේ නැතිව)

      • http://en.wikipedia.org/wiki/Military_organization#Hierarchy_of_modern_armies

        හමුදා ඒකක (formations) වල නම්, සිටිය යුතු සෙබල සංඛ්‍යාව හා ඒවාට අණ දිය යුතු නිලධාරීන්ගේ නිලයන්.
        මේකේ නිරවද්‍යතාව ගැන නම් මට සහතික වෙන්න බෑ.

        • ඔබ පෙන්වාදී තිබෙන්නේ සාම්ප්‍රදායික සම්මත ක්‍රමය (Conventional Pattern of Army Organisation) එක් එක් රටවල අවශ්‍යතා අනුව වෙනත් ක්‍රම යොදාගන්නවා. ඔබ දක්වා ඇති ක්‍රමය බ්‍රිතාන්‍යයේ ක්‍රමයයි. කමියුනිස්ට් රටවල් එය අනුගමනය කරන්නේ නැහැ.

      • මම හිතන්නෙ විශ්‍රාම යන හමුදාපතිවරුන්ට ලුතිනන් ජෙනරල් තනතුරෙන්, ජෙනරල් තනතුරට උසස් වීමක් ලැබෙනව නේද විශ්‍රාම ගිය දවසෙ ඉඳල ක්‍රියාත්මක වෙන විදියට. ඝාතනය කරපු ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයයි පාරමී කුලතුංග මහත්තයයිවත් ලුතිනන් ජෙනරල් නිලයට උසස් කළා නේද ඔවුන්ගෙ මරණෙන් පස්සෙ. (මම හිතන්නෙ මෙතෙක් ලංකාවෙ හමුදාපති නොවී ඒ තනතුර ලැබුවෙ ඔහුන් දෙදෙනා පමණයි) එහෙම කිව්වම මට තවත් දෙයක් මතක් වුණා. මම අහල තියෙනව එවකට රටේ නායකය ඔහු ගැන සැකෙන් හා බයකින් හිටි නිසා ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයට හමුදාපතිකම නොදී ඔහුට වඩා ජේෂ්ඨත්වයෙන් අඩු කෙනෙකුට ඒ තනතුර දුන්න කියල. (මේක බොරුද මම දන්නෑ, ඕව සිද්ධ වෙච්ච දවස්වල අපි රටේ දේශපාලනය ගැන දැනුමක් නැති පොඩි ළමයි) හමුදාපතිකම පාලකය කැමති කෙනාට දීම එකක් වුනාට කොබ්බෑකඩුව මහත්තයට ලැබිය යුතු ලුතිනන් ජෙනරල් තනතුර නොලැබීම හමුදාවෙ සාමාන්‍ය උසස්වීම් ලබා දීමෙ ක්‍රියාපිළිවෙතට ප්‍රශ්නයක් නෙවෙයිද? අපේ රටේ සේවයෙ ඉද්දි මෙතෙක් දීපු එකම ජෙනරල් තනතුරත් ෆොන්සේකා මහත්තයට දුන්නෙ සම්මානනීය තනතුරක් විදියට විතරයි කියල කියනව මම අහල තියනව, ඒක ඇත්තද?
        අපේ රටේ හමුදාපතිවරයා පමණක් ලුතිනන් ජෙනරල් කෙනෙක් වුනාට මම ඔය පත්තරවල කියවල තියෙනව පකිස්ථානෙ, ඉන්දියාව වගේ රටවලත් ලුතිනන් ජෙනරල්වරු කීප දෙනෙක් ඉන්නව කියල. ඔබ කියන විදියට ඒ එයාලගෙ හමුදාව විශාල නිසා වෙන්න පුළුවන්. තව, දකුණු ආසියානු කලාපෙ රටවල්වලින් එකකවත් ෆීල්ඩ් මාෂල් තනතුරක් නැත්ද? (මෙතන කීප දෙනෙක්ගෙ නම් සඳහන් කරන්න වුනේ ඒව නොඅසා ප්‍රශ්නෙ අහන්න බැරි නිසා. අනෙක මේ වගේ දේවල් දැනගන්න කෙනෙක් නැති නිසා තමයි ඔබතුමාගෙන් ඇහුවෙ)

        • අපි ප්‍රශ්නය කොටස් වශයෙන් අරගෙන බලමු නේද?
          විශ්‍රාම යන හමුදාපති වරුන්ට ගරු කිරීමක් ලෙස ජෙනරල් නිලය දෙනවා. නමුත් නිලය ස්ථිර කර ඒ නිලයට අදාළ විශ්‍රාම වැටුප් හදන්නේ නැහැ.
          ලුතිතන් ජෙනරල් කොබ්බෑකඩුව සහ පාරමී කුලතුංග ගැන ඔබේ ප්‍රකාශය හරි.
          ලුතිතන් ජෙනරල් කොබ්බෑකඩුව සම්බන්ධ ඔවැනි කතා බොහොමයක් හමුදාව ඇතුලෙත් ඒ කාලේ පැතිරුනා. සත්‍ය අසත්‍යතාව නොදනිමි. ඒ කාලේ මමත් ‘හමුදා පොඩ්ඩෙක්’. හැබැයි ජෙනරල් කොබ්බෑකඩුව ගැන මම දන්නා කතා තියනවා. මම ඔහු යටතේ කටයුතු කරලත් තියනවා. ඔහු හොඳ මහත්තයෙක්. කොබ්බෑකඩුව මහතාගේ නිල උසස්වීම නොලැබීම පිලිබඳ ප්‍රශ්නයටත් මගේ දැනුමෙන් දිය හැකි පිළිතුරක් නැත. සේනාධිනායකයාගේ කැමැත්තට අභියෝග කල නොහැක්කේය. චන්ද්‍රිකා මැතිනිය ජනාධිපතිනිය කාලේ වරක් බ්‍රිගේඩියර් වරු කීපදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් දැම්ම තමන් මේජර් ජෙනරල් නිලයට උසස් කරන ලෙස ඉල්ලා. ශ්‍රේෂ්ඨාධිකරණය එය අනුමත කළා. නමුත් සේනාධිනායිකාව විසින් ඔවුන් උසස්වීම් නොදී විශ්‍රාම ගැන්වුවා, සේවය තවදුරටත් අනවශ්‍ය බව ප්‍රකාශ කර. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සේනාධිනායකයාට ලැබී ඇති බලය අනුවයි.
          ෆොන්සේකා මහතාට ජෙනරල් තනතුර දුන්නේ සේවයේ යෙදී සිටියදීමයි. ඔහු ජෙනරල් නිලයට අදාළ නිල ඇඳුමෙන් තමයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරේ හිටියේ.
          ඉන්දියාව පාකිස්තානය වගේ රටවල හමුදාවේ ප්‍රමාණය අති විශාලයි. ඒ නිසා යුද හමුදාව අනු හමුදා වලට බෙදා ලුතිතන් ජෙනරල් තනතුරු එකකට වඩා ඇති කල හැකියි.
          දකුණු ආසියාවේ දැනට මම දන්නා තරමින් ෆීල්ඩ් මාර්ෂල් ලා නැත. ඉන්දියාවේ අන්තිමට හිටියේ 1980 දශකයේ පාකිස්තානයේ 1970 දශකයේ .

      • ස්තූතියි විචාරක මහත්තයා. ඔබ මගේ ‘ප්‍රශ්න පත්තරේටම‘ උත්තර දෙන්න තරම් නිහතමානී වීම ගැන.

        ලංකාවෙ හමුදාව ගැන කතාකරන හුඟක් අය ඉතාමත් ආදරණීයව, ගෞරවයෙන් කතා කරන පුද්ගලයෙක් ඉන්නව නම් ඒ ලුතිතන් ජෙනරල් කොබ්බෑකඩුව මහත්මයම තමා. මමත් ඔහු ගැන කතා ගොඩක් අහල තියෙනව. සමහර විට ඔය සිදුවීම්වල ඇත්ත තත්ත්වය දන්නව ඇත්තෙ ඒ කාලෙ දේශපාලනේ හිටපු බලකණු විතරක් වෙන්න ඇති.

        • පහුගිය කුණු ගොඩවල් හෑරුවොත්, දේශපාලුවෝ සෑහෙන ගණනක් කනත්තට දක්කන්න වෙනවා. දැනට වලේ ඉන්න එවුන්ගේ වලටත් බෝම්බ ගහන්න හිතෙනවා. සියල්ල දරාගෙන, වර්තමාන පරපුර යහපත් මාර්ගයකට ගන්න අපි උත්සාහ කරමු.

      • බොහොම ස්තුතියි.

      • මට සොයා ගත හැකි වාර්තා අනුව කොබ්බැකඩුව මහතා හමුදාවට බැදුනේ 1960. යුධ හමුදාපති වූ සිසිල් වය්ද්යරත්න මහතා හමුදාවට බැදී ඇත්තේ 1959.

      • Lieutenant General L.D.C.E. Waidyaratne VSV(army commander from 16th Nov. 1991 – 31st Dec. 1993) joined army on Juny 26, 1959.

        http://www.army.lk/pastcommanders.php
        http://www.island.lk/2003/05/24/opinio02.html
        http://www.dailynews.lk/2002/12/18/fea05.html

        Denzil Kobbekaduwa (1960 May-1992 August)
        http://en.wikipedia.org/wiki/Denzil_Kobbekaduwa

      • @ Aka,
        මම මුලින්ම කිව්වනේ මම ඇත්ත තත්ත්වය දන්නෑ, බොරු වෙන්නත් පුළුවන් මම අහපු කතාවක් විතරයි කියල. මමත් පොඩ්ඩක් සර්ච් කරල බැළුව, ඔබ කියන එක ඇත්ත වෙන්න ඇති. ස්තූතියි.

        http://en.wikipedia.org/wiki/Denzil_Kobbekaduwa

        http://www.dailynews.lk/2002/12/18/fea05.html

      • ඒ උනාට කතාව සැහෙන දුරට ඇත්ත වෙන්න පුළුවන්. එතුමාව දෙවරක් දේශපාලන හේතුමත සේවය අත්හිටුවල තිබෙනවා (1965 හා 1977). ඒ විස්තර විකිපිඩියාවේ තියෙනවා. හේතුව මා අසා ඇති ආකාරයට එතුමා හෙක්ටර් කොබ්බැකඩුව මහතාගේ නෑයෙක්.

  5. ස්තූතියි ඔබට, මේ වටිනා විස්තර ටිකට. මම නොදැන හිටපු කාරණාත් තිබුණ. මම හිතුව තරම් සරල නැහැ වගේ මේ වැඩේ. හරියට අර රුසියන් පරිවර්තන කියවනව වගේ, කතාව තේරුම් ගත්තත් නම් මතක තියා ගන්න එක තමා අමාරු.

    • අපි පාසල් ශිෂ්‍ය භටයන් ලෙස පුහුණුව ලබන කාලයේ හරිම අමුතු කතා විලාශයක් තිතියන නිලධාරියකු හිටියා. දිනක් දවල් කෑමෙන් පස්සේ තියන දේශනයකට ඔහු ආවේ කෑමෙන් පස්සේ එන නිදිමතත් එක්කයි. හමුදා වල එක සමාන නිල පාඩමේදී එයා මගෙන් ඇහුවා ‘හොඳයි තමුසේ කියනවා බලන්න ආමි එකේ කැප්ටන් නම් යුද හමුදාවේ කවුද කියලා’ මුළු දේශන ශාලාවම මහා හිනාවකින් ගිගුම් දුන්නා.

      • “කපිතාන්” කියලා කියන්නයි තිබුනේ. 😀

        • එයාගේ තව පුරුද්දක් තිබුණා අපි කවුරු හරි එයාට කිව්වම සර් මම අර වැඩේ කරා මේ වැඩේ කරා කියලා (අපිට භාරදුන් රාජකාරි ඉටුකිරීම පිළිබඳව) ගත් කටටම කියනවා ‘ටොප්නේ අයිසේ’ කියලා. එක දවසක් අපේ නිලධාරියෙක් හදිසියෙන් ඔහු ලඟට ගියා. ඔහු බරපතල ලෙස ලිපි ගොනුවකට අවධානය දීගෙන හිටියේ. අර නිලධාරියා කිව්වා ‘සර් අපේ අම්මා නැති වුනා’ කියලා. අරයා මොකද කිව්වේ. ‘ටොප්නේ අයිසේ’ කිව්වා. අර නිලධාරියාගේ ඇස්දෙක උඩ ගියා. එතකොට තමයි ලොක්කට වැඩේ තේරුනේ. ‘අයියෝ අයෑම් සොරි අයිසේ’ කියලා සිය පාරක් විතර කිව්වා.

  6. එතකොට නිලදාරීන්, සෙසු නිලයන් රෙජිමේන්තු හා ඒකක වලට දාන්නේ කොහොමද? විශේෂයෙන් නිලදාරීන් එහෙම? මම අහලා තියෙනවා ලකුණු ක්‍රමයක් තියෙනව කියලා, එක හරිද?

    • නිලධාරීන් සඳහා යුද හමුදා මූලස්ථානය විසින් සොයා බලනවා කුමන රෙජිමේන්තු වලටද නිලධාරීන් අත්‍යවශ්‍ය කියලා. ඒ සමගම කැඩෙට් නිලධාරීන් හැටියට පුහුණුව ලබද්දී කෙරෙන කාලීන ඇගයීම් තුලින් ලකුණු ලැබෙනවා. යුද හමුදාවේ රෙජිමේන්තු ජ්‍යෙෂ්ඨතාවක් තිබෙනවා. (ලෝකයේ කොයි යුද හමුදාවේත් තියනවා) ඒ දෙකම පදනම කරගෙන තමයි රෙජිමේන්තු වලට ඇතුලත් කරන්නේ. රෙජිමේන්තුවකට එන නිලධාරීන් එහි කුමන බල ඇණියට ඇතුලත් කරනවාද යන්න රෙජිමේන්තු මූලස්ථානවලින් කෙරෙන්නේ. ඉස්සරනම් සෙබළුන් පොදුවේ එක තැනක පුහුණු කරලා රෙජිමේන්තු වලට බෙදා හැරියා. දැන් රෙජිමේන්තු මට්ටමෙන් බඳවා ගෙන පුහුණු කිරීම සිදුවෙනවා.

      • අපි කැඩෙට් කරන කාළේ නම් කිව්වා armoured corps තමා ජ්‍යෙෂ්ඨත්වය වැඩිම කියලා. ඒක ඇත්තද?

        • ඔව් හරි. අදටත් ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහලින්ම සිටින්නේ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය (ශ්‍රීලසසබ) Sri Lanka Armoured Corps (SLAC)

      • මගේ දැනුමේ හැටියට කියන්නේ ජේ්‍යෂ්ඨත්වය වැඩිම Sri Lanka Light Infantry (SLLI) නෙමෙයිද?

        • නැහැ. සන්නාහ සන්නද්ධ බලකාය තමයි ජ්‍යෙෂ්ඨතම. පාබල රෙජිමේන්තු විතරක් වෙනම ගත්තොත් ශ්‍රී ලංකා පාබල හමුදාව ශ්‍රිලපාහ SLLI තමයි ජ්‍යෙෂ්ඨතම.

  7. සුපිරි පැහැදිලි කිරීමක්.. අති විශිෂ්ටයි සර්.!! 🙂

    අපේ රටේ ෆීල්ඩ් මාර්ෂල් කෙනෙකු නැත්තේ හමුදාව ඒ තරම් විශාල නොවන නිසාද.?? එහෙමත් නැත්තං ‍වෙන හේතුවක්ද.?? මේකම දකිනවා නාවික හමුදාවෙත්, අපේ ඉන්නෙ වයිස් අද්මිරාල් වුනාට වෙන රටවල අද්මිරාල්වරු ඉන්නවා..

    • ඇගයීම ගැන ස්තුතියි. මම ඉහත Wskr ට දීලා තිබෙන පිලිතුරම තමයි ඔබටත් කියන්න තියෙන්නේ ෆීල්ඩ් මාර්ෂල් තනතුර ගැන. නාවික හමුදාවේ පමණක් නොව යුද සහ ගුවන් හමුදා වලත් විශාලත්වය අනුව තමයි හමුදාපතිගේ නිලය තීරණය වන්නේ.

  8. “බ්‍රිගේඩියර් සංකේතවත් කරන්නේ එක තරුවකින්. මේජර් ජෙනරල් තරු දෙකයි. ලුතිතන් ජෙනරල් තරු තුනයි, ජෙනරල් තරු හතරයි.” ලුතිතන්, 2 ලුතිතන්, කපිතාන්ලාගෙ තරුත් එක්ක මට මේක පැටලෙනවානෙ..

    සන්නද්ධ සේවා මාණ්ඩලික ප්‍රධානි එතන හිටගෙන කරන්නෙ මොනවද?

    හමුදා තුනේ ආචාර කරන විදිහෙත්(Salute) යම් වෙනස්කම් තියෙනවා නේද?

    නාවික හමුදාව halt ගහන්නේ නෑ නේද?

    ආචාර පෙළපාලියේදී පොලිස්පතිතුමාව කලන්තෙ හැදී වැටුනු අවස්තාව මතකද?

    හොඳ විස්තරයක්… බොහොම ස්තුතියි!

    • තවත් ප්‍රශ්නයක් රටේ නායකයා හැර වෙනත් කෙනෙක් සේනාධිනායකයා වන රටවල් තියෙනවාද?

      යුධ හමුදාවට සරඹ පුරුදු කරන්නේ ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීමටද?

      • හොඳ ප්‍රශ්නයක්. විධායක ජනාධිපති ක්‍රමය ඇතිකරන්න කලින් ලංකාවේ නායකයා ලෙස සැලකුනේ අගමැති. (එංගලන්තෙනම් අදටත් එහෙමයි) නමුත් සේනාධිනායකයා වුනේ අග්‍රාණ්ඩුකාර වරයා.(එන්ගලන්තෙනම් අදටත් මහ රැජින)රටේ නායකයා සේනාධිනායක නොවෙන ඒ කියන්නේ අග්‍රාණ්ඩුකාර වරයකු සිටින තවත් රටවල් තිබෙනවා.
        යුද හමුදාවට සරඹ පුහුණු කරන්නේ පලමුවනුව එක් අණක් යටතේ ක්‍රියාකරවීම පුහුණු කිරීමටයි. දෙවනුව හමුදාවේ බොහෝ දේවල් කෙරෙන්නේ කිසියම් සරඹයකට අනුවයි. තුන්වනුව හමුදා පෙළපාලි කටයුතු සඳහා සරඹ පුහුණුව අත්‍යවශ්‍යයි. ශාරීරික යෝග්‍යතාව පවත්වාගැනීම සඳහා කරන්නේ ශාරීරික අභ්‍යාසයි.

      • පිළිතුරුවලට බොහොම ස්තුතියි!

        මෙන්න ඊළඟ ප්‍රශ්නය

        හමුදාවට ඇතුළුවන ඕනෑම කෙනෙකුට හමුදාපති නිලය දක්වා උසස්වීමට හැකිද?

        • පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන හැම දෙනාටම ජනාධිපති වෙන්න බැහැනේ. ඒ වගේ තමයි හමුදාවත්.ඕනෑම කෙනෙකුට අවශ්‍ය සුදුසුකම්, ජ්‍යෙෂ්ඨත්වය, විනය, පැවැත්ම, තිබෙනවානම් පුළුවන්. මෙතෙක් සාමාන්‍ය සෙබළකු ලෙස බැඳී හමුදාපති තනතුර දක්වා පැමිණි කෙනෙක් නම් නැහැ. ඒත් සාමාන්‍ය සෙබළකු ලෙස බැඳී මේජර් ජෙනරල් (උපකරණ පාලක නොවෙයි ක්ෂේත්‍ර අධිකාරිය) තනතුර දක්වා පැමිණි එක් අයකුත් බ්‍රිගේඩියර් තනතුර දක්වා පැමිණි දෙදෙනෙකුත් ඉන්නවා.

    • මහ නිලධාරීන් (General Officers) තමන්ගේ සංකේත තරුව උරහිසේ අඳින්නේ නැහැ. එය රතු පසුබිමේ රත්රන් පාටින් දැක්වෙන අඟල් 6 x 6 පමණ තරුවක්.
      සන්නද්ධසේවා මාණ්ඩලික ප්‍රධානී එතන හිටගෙන කරන්නේ ඒ තනතුර නියෝජනය කිරීමයි.
      හමුදා තුනේ ආචාර විධිවල වෙනසක් තියනවා. නාවික හමුදාව හෝල්ට් නොකරන්නේ ඔවුන් සෑම විටම නැව් තට්ටුවක් මත (deck) සිටිනවා කියන සංකල්පයෙන් ක්‍රියාකිරීමේ සම්ප්‍රදාය නිසයි.
      නිකම් ගිහින් හිටගෙන ඉන්න ටිකටත් කලන්තේ හැදෙන කෙනෙක් ඒ තනතුරට සුදුසු නැහැ.

      • හෙහ් හෙහ් …. එයා වැටුනෙ කලන්තෙ දාල නෙවිළු, අළුත් සපත්තු දෙක කකුල්වලට හිර නිසාළු.

        • යුද හමුදාවේ දෙන උපදෙසක් තියනවා. කවදාවත් ඊට පෙර නොදැමූ අලුත්ම සපත්තු දෙකක් පෙළපාලියකට අඳින්න එපා කියලා. ඒ ඔය හේතුව නිසාමයි. දින කීපයක් ඇන්දට පස්සේ කකුලට හරිගියාමයි පෙළපාලියකට අඳින්නේ. හමුදාව ඒ තරම් සියුම් දේ පවා සොයා බලනවා.

      • ඔව් නාවික හමුදාව halt ගහන්ෙන් නැත්ෙත් අනුනාදය (Resonance) මගින් සිදුවන අනතුරු වලක්වා ගැනීමට ෙවන්න අැති

        • ඔව් ඒක තමයි හේතුව. හමුදා භට ඛණ්ඩයක් පාලමක් උඩින් යනවිට ඔවුන්ගේ අඩිය තැබීමේ රිද්මය කැඩෙන විදිහේ අණක් දෙනවා. දෙවැනි ලෝක යුද සමයේදී භට ඛණ්ඩයක් පාලමක් මතින් යාමේදී අනුනාදය නිසා පාලම සෙබළුන්ද සමග කඩා වැටුනාලු.

  9. නියමයි!!
    මට තුබුණු ප්‍රශ්න බොහෝමයකට පිළිතුරු ලැබුනා. අපේ මස්සිනාත් එක්ක මම හමුදාව ගැන කතා නොකරන නිසා මේ ගැන ඔබෙන් අහන්නමයි සිටියේ. බොහොම ස්තුතියි.

  10. එතකොට පොලිසියේ අධිකාරි ලත් නිලයන් නැද්ද?

    • නැහැ. පොලිස් නිලධාරීන්ට දෙන්නේ අධිකාරිය (Commission) නොවෙයි. පොලිස් ආඥා පනත යටතේ නීති නිලධාරියා කියන බලයයි.

  11. ක්සැන්ඩර් | Xander said:

    අපුරු දැනුමක් දෙන ලිපියක්.. තරු වාහන ගැන නම් මම දැකලා තිබුනා යුද්ධ කාලේදී. ටිකක් දැනගෙන හිටියා ඒ ගැන, සරත් ෆොන්සේකා මහතා ගේ වාහනය දැකලායි හමුදාපති වරු නිදහස් දවසට එන වාහන දැකලයි.

    බොහොම ස්තුතියි ඔබ තුමාට.

    • දැන්නම් තරු ගහපු වාහන සෑහෙන්න යනවා.

      • විශ්‍රාම යන හමුදාපතිවරුන්ට ජෙනරල් තනතුර දෙන නිසා එයාලටත් ඔය තරු ගහන් වාහනවල යන්න පුළුවන් ද?
        තව සුළු දෙයක්, මේක නම් කුතුහලේ හින්දමයි අහන්නෙ. 🙂
        අර පාරෙ ඉන්න පොලිස් මාමල ඔය එස්. අයි. කෙනෙක් ගියත් සැලියුට් කරනවනේ. ඔය වගේ තරු ගහපු වාහනයක් යනකොට පොලිසියෙ අය එයාලට ආචාර කළ යුතුයි කියල නියමයක් තියනව ද? ඒ වගේම (පොලිසිය දෙපාර්තමේන්තුවක් විතරක් නිසා මම මේක අහන්නෙ), පොලිසියකට යම් කටයුත්තක් සඳහා නිල ඇඳුමින් යන උසස් හමුදා නිලධාරියෙකුට අදාල පොලිසියෙ ප්‍රධානියා ඔහුගෙ තනතුරට අදාල ගෞරවය ලබා දීමේ සම්ප්‍රදායක් තියෙනව ද?

        • විශ්‍රාම ගියාට පස්සේ නම්, එවැනි වරප්‍රසාද නැහැ. සේවාමුක්ත භට සංගමයෙන් දෙන හැඳුනුම්පත තමයි. එහි තමන්ගේ ඡායාරූපය, (සිවිල් ඇඳුමෙන්) නිලය, රෙජිමේන්තුව, ආදී විස්තර සඳහන් වෙනවා. බොහෝ පොලිස් නිලධාරීන් ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට නිසි ගෞරව දක්වනවා. සමහරු නැහැ. ඒ වගේම හමුදා සෙබළුන්ද දැනගත යුතුයි පොලිස් නිලධාරීන්ටත් ගෞරව කරන්න. රාජකාරි කටයුතු සඳහා පොලිස් ස්ථානවලට යන ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට නිසි ගෞරව ලැබෙනවා. නොලැබෙන අවස්ථාත් තිබෙනවා.

  12. ගැසට් පත්‍රයේ නාවික හමුදා නිලයත් සමග “අවි” කියල වරහන් ඇතුලේ දාන්නේ “උපකරණ පාලක” වගේ දෙයක්ද?
    ඔය තරුව ගහපු වාහන නම් මම ඉන්නේ හරියෙත් යනවා. යුද්ද කලේ වාහන ගියේ.

  13. “ඒ නිලධාරීන්ටත් අනෙක් නිලධාරීන්ට මෙන්ම අචාර කිරීම, ගරු කිරීම, වෙනසක් නැතුව සිදුකල යුතුයි, ඊට පහල සියලු නිලධාරීන් හා සෙසු නිලයන් විසින්. ”

    ආචාර කිරීම, ගරු කිරීම කිව්වම සාමාන්‍යයෙන් මොනවගේ දේවල්ද කළයුත්තේ සහ නොකළ යුත්තේ..? මෙන්න මේවා කළයුතුයි, මේවා නොකළයුතුයි කියලා සම්ප්‍රදායක් තියෙනවද..? රෆ්ලි කියනවානම්..?

    • මම අහන්නේ QM ගැන විතරක් නෙමෙයි පොදුවේ නිලඬාරීන්ට කෙරෙන ආචාර කිරීම, ගරු කිරීම ගැනයි…

      • කලින් උත්තරයේ සියල්ල පැහැදිලියි නේද? නිලධාරියා කියන්නේ නිලධාරියා ආය Q ද Field ද කියා වෙනසක් නැහැ ඊට පහලින් ඉන්න අයට. ඔවුන් බැඳී සිටිනවා නිසි ගෞරව දක්වන්න.

    • අධිකාරි ලත් නිලධාරියකුට දක්වන සියලු ගරු සැලකිලි කිසිදු වෙනසක් නැතුව කලයුතුයි කියන්නේ දුටු තැන ආචාර කිරීම, සීරුවෙන් සිටගෙන කතාකිරීම. කතාව අවසන් කාර ආපසු යාමට පෙර යලිත් ආචාර කිරීම, කඳවුරේ ගේට්ටුවෙන් එලියට හෝ ඇතුලට එනවිට මුර සෙබලා විසින් ආචාර කිරීම වැනි දේවල්. ඒවා නොකලොත් ඉතින් . . . . . . .තමයි.

      • මේ උත්තරේ දැක්කම මතක් වුනේ. ඔය හමුදාවල එක එක වැරදිවලට දෙන දඬුවම් එහෙම තියෙනව නේ ද? මම කියන්නෙ නීති පොත් ගැන නෙවි. මම අහල තියෙනව සමහරක් ඒව බලන් ඉන්න අයට විනෝදයක් වෙනව කියල. නරකද ඔබේ අත්දැකීම් ඇසුරෙන් ඔය ගැන පෝස්ට් එකක් ලිව්වොත්. මම දවසක් මාතර කොටුව ඇතුලෙ යුධ හමුදා කඳවුර ළඟින් පන්තියකට යද්දි දැක්ක පාරෙ අයිනෙම ටිකක් උසට හදල තිබුණු බාර් එකක සෙබලෙක් එල්ලිල ඉන්නව. මම හිතුව ව්‍යායාම කරන්න වෙන්න ඇති කියල ඒක ගනන් ගන්නෙ නැතුව ගියා. දෙයියනේ මම පැයකට වැඩිය ගිහිල්ල ආයෙ එද්දිත් ඒ කොල්ල එල්ලිල. මට පවු කියල හිතුනත් එක්ක.
        (මම හුඟක් රෑ වෙල කමෙන්ට් කරල උත්තර බලාපොරොත්තුවෙන් ඉන්නෙ මේ බ්ලොග් එකේ විතරයි. ඔබතුමත් ටිකක් රෑ වෙනකන් අවදියෙන් ඉන්නව වගේ අපේ මෝඩ ප්‍රශ්නවලට උත්තර දෙන්න. නැවත වරක්, ස්තූතියි ඔබට)

        • ඊයේ නම් ඔබ මට නිදාගන්න දුන්නෙම නැහැ. මම පරිගණකය නිවාදමන්න හදන විට නැවත නැවතත් ප්‍රශ්න ආවා. මම සාමාන්‍යයෙන් රාත්‍රී 12.30 විතර වනතුරු ජාලයේ සැරිසරනවා.
          හමුදාවේ දඬුවම් ගැන පොස්ට් එකක් ලිවීම ටිකක් පසුවට දමා ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නම්.
          හමුදාවේ අධිකාරිලත් නිලධාරියකුට පුළුවන් යම් යම් වරදී සම්බන්ධයෙන් සුළු දඬුවම් දෙන්න. උදාහරණයක් වශයෙන් යම් සෙබළකු නිවාඩු ගොස් එක් වරුවක් ප්‍රමාදවී කඳවුරට ආවා කියා සිතමු. ඉතින් ඒ සඳහා චෝදනා පත්‍ර සකසා අණදෙන නිලධාරීට ඉදිරිපත් කරනවාට වඩා පහසුයි වරද පිළිගන්නවාද කියා අසා පිළිගන්නවානම් කඳවුර පිරිසිදු කිරීම වැනි කටයුත්තක යෙදවීම. නමුත් දෙන දඬුවම මහජනතාවට පෙනෙන්න දෙන්න බැහැ. එය සොල්දාදුවාගේ මානව හිමිකම් කඩකිරීමක්. ඒ දඬුවම දෙන්නේ කාටවත් විනෝදයක් ලබන්න නෙවෙයි. එසේ කරනවානම් එයත් මානව හිමිකම් කඩ කිරීමක්.

      • ඔව්, දඬුවමක් දෙන්නෙ අනිත් අයට විනෝදය සපයන්න නොවෙන බව ඇත්ත. ඒත් මම ඔය හමුදාවෙ සෙබළුම කියනව අහල තියෙනව සමහර වෙලාවට අනිත් සෙබළුන්ට හිනායන දඬුවම් ලැබෙනව කියල, සාමාන්‍ය මහජනතාවට නෙවි. ඒකයි මම ඒ ගැන කිව්වෙ. අනිත් එක ඔබතුමා මාතර කඳවුරට ඇවිත් තිබෙනව නම් දන්නව ඇති ඒක විශාල එකක් නෙවි. නිල්වලා ගඟ පැත්තට වෙන්න තියෙන්නෙ ගොඩනැගිලි. අනිත් පැත්තෙන් කොටු දොර පැත්තෙ පාර අයිනෙ විතරයි කඳවුරේ ඉඩ තියෙන්නෙත් සරඹ වගේ දේවල් කරනව නම් ඒවට යම් යම් දේවල් හදල තියෙන්නෙත්. මම කිව්වෙ මම දවසක් දැකපු දේ. තණකොල ගලවන, වත්ත පිරිසිදු කරන අය ඇරෙන්න මමත් අර වගේ දෙයක් නම් ඊට පස්සෙ දැකලම නෑ. නිතර නිතර කොටුව පැත්තට යන්නෙ නැති නිසා මම වැඩි විස්තරයක් නම් දන්නෑ.

        • දැක්කම හිනායන දේවල් කරවන්න පුළුවන්. හැබැයි එහි පසු ප්‍රතිඵල ගැනත් හිතන්න ඕනේ. මෙහෙම හිතන්න. තමන්ගේ කුළුඳුල් දරුවා බලන්න නිවාඩු ගිය සොල්දාදුවෙක් වරුවක් ප්‍රමාදවී කඳවුරට එනවා. එහිදී ඔහුට දඬුවමක් ලෙස දෙනවා කිරි බෝතලයකට සූප්පුවක් ගසා මුළු කඳවුරේම අයට පෙනෙන්න ඒක බොන්න කියලා. ඒක එතරම් මානුෂීය දඬුවමක් නෙවෙයි.නොකඩවා දවස් තුනක් පමණ කඳවුරු ආරක්ෂක මුරයේ යෙදවීම ප්‍රමාණවත්. මාතර පමණක් නොවේ කිසිම යුද හමුදා කඳවුරක මහජනතාව නොදැකිය යුතු ක්‍රියාකාරකම් නොපෙනී තබාගැනීම දැඩි වගකීමක්.

      • තොප්පිය නැත්නම් “බෙරේ” එක නැතුව සැලුයුට් ගහන්නේ නෑ කියල මම අසා තිබෙනවා. එය ඇත්තක්ද?

        • ඕව්, යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ තොප්පිය නැතිව අචාර කරන්න බැහැ. (නිළ ඇඳුම ඇඳ තොප්පිය නැතුව එළිමහනේ සිටීම දඬුවම් ලැබිය හැකි වරදක්) නාවික හමුදාවේදී තොප්පිය නැතුව අචාර කරන්න පුළුවන්. ඇමරිකානු ත්‍රිවිධ හමුදාවම සාමාන්‍ය ඇඳුම ඇඳ සිටියදීත් අචාර කරනවා.

  14. බොහොම වැදගත් ලිපියක්,,,

    හමුදා සෙබළු අවනත කරගන්න දඩුවම් දෙන්න ඕනි ඇති.
    නමුත් සිවිල් ජනතාවට ඔය තියරි දාන එක වැරදියි. හමුදාවේ වැඩ හන්ද සමහර වෙලාවට රජයේ නියෝජිතයින්ටත් විවිධ කරදර වලට මූන පාන්න වෙලා තියනවා.

    • යුද්ධයක් පවතින කාලයක යම් යම් ආරක්ෂක කටයුතු ක්‍රියාත්මක කරවීම පිණිස හමුදාවට සිදුවෙනවා ඉහල රාජ්‍ය නිලධාරීන්ටත් බලපෑම් කරන්න. එහෙම කරන්නේ සියල්ලට පෙර රටේ ආරක්ෂාව තහවුරු කලයුතු නිසා. නමුත් යුද්ධයක් නැති කාලයක එසේ නොකළ යුතුයි.
      මම අදටත් යෝජනා කරන්නේ ලංකාවේ අනිවාර්ය හමුදා නීතිය ක්‍රියාත්මක කලයුතුයි කියලයි. අනිවාර්ය හමුදා නීතිය කියන්නේ ගෙවල්වල ඉන්න මිනිස්සු වහලුන් බවට බලහත්කාරයෙන් පත්කිරීම කියන වැරදි ආකල්පය මුලින්ම නැති කල යුතුයි.

      • මේ සිදුවීම් උනේ මිට වසර 10කත පමණ පෙර.

        මම ගාලු පාර දිගේ කොල්ලුපිටියේ සිට බල්බලපිටිය පැත්තට මගේ කාර් එක ධාවනය කරමින් සිටියා. පිටිපස්සෙන් කර්ර් එකක් හෙඩ් ලයිට් ගහගෙන, හොඳ එක එක දිගටන් නාද කරනවා. (මේ විදිහට හැසිරෙන උන් දක්කම මට තිකක් තද වෙනවා, එයට හේතුව මම සාමාන්යෙන් වාහනය පදවන් විට කොට කොටා යන එකෙක් නොව හැකි උපරිම වේගයෙන් ධාවනය කරණ නිසා.) මේ වේ ම ඊට වඩා වේගයෙන් යන්න බැහැ ඉදිරියෙන් වහනයක් යනවා, අනිත් මං තිරුවෙත් වාහනයක් . ඉතින් මේකා කොච්චර හෝන් ගැහුවත් මට කරන්න දෙයක් නැහැ. මම මූට අතින් සන් කරා මගේ වාහනයට උඩින් යන්න කියලා.
        ඊට පසු අනිත් මං තීරුව ඉඩ ලැබුන ගමන් මගේ වාහනය වමට ගත්තා මේ හදිසි කාරයාට යන්න ඉද දීලා. එවිට මු මාව ඉස්සර කර මගේ මග හරස් කළා එවිට තමයි දැක්කේ හමුදා නිල ඇඳුමෙන් සිටි රියැදුරා. මු වහනයෙ ගොර බාගෙට ඇරලා මට පිස්තෝලයක් (රිවෝල්වරයක්) දික්කරලා ආපහු ගියා.

        මේකද ඔබ කියන අනිවාර්යය හමුදා නිතිය?

        • නැහැ මේ නම් අනිවාර්ය හමුදා නීතිය නෙවෙයි නැහැදිච්ච කම. හොඳට මතක තියාගන්න මේවාට විරුද්ධව පියවර ගන්න පුළුවන්.

          1 වාහනයේ අංකය, දිනය, වෙලාව, ස්ථානය, සිද්ධිය, සවිස්තරව පොලීසියට පැමිණිලි කරන්න.

          2 යුද හමුදා මූලස්ථානයට කතාකර පැමිණිලි කරන්න. තවත් ලිඛිත පැමිණිල්ලක් නොබියව ලියාපදිංචි තැපෑලෙන් යුදහමුදාපතිට යවන්න. කාටවත් බැහැ ඔබට තර්ජනය කරන්න.

  15. හමුදා නිලධාරීන් තොප්පියේ වගේම කොලරයේ තමන්ගේ රෙජිමේන්තුවේ සලකුණ ගසනවානේ. ලුතිනන් ක’නල් නිලයේ නිලධාරීන් තොප්පියේ රෙජිමේන්තු සලකුණ නැති උනාට කොලරයේ ඒ සලකුණ ගසනවා නේද?

    • ලුතිතන් කර්නල් දක්වා නිලධාරීන් තම කොලරයේ දෙපස රෙජිමේන්තු ලාංඡනය අඳිනවා. කර්නල් වුනාම එයා මුළු හමුදාවටම අයිතියි. ඒ නිසා කර්නල් සහ ඊට ඉහල නිලවල අය කොලරයේ දෙපස අඳින්නේ සංකේතයක්. එයට කියන්නේ ජෝජට් පැච් කියලා.

      • එතකොට ලුතිතන් කර්නල් නිලයේ නිලධාරීන් හමුදාවටම අයත් නැද්ද? ලුතිතන් කර්නල් නිලයට පහල නිලධාරියෙකුට තමන්ගේ මව් රෙජිමේතුන්වේ කණ්ඩායමකට හැර වෙනත් රෙජිමේන්තුවක පිරිසකට අණ දිය නොහැකි නේද (රෙජිමේන්තුව මාරු කිරීමෙන් තොරව)?
        උදාහරණයක් ලෙස සිංහ රෙජිමේන්තුවේ මේජර් කෙනෙකුට පාබල හමුදා බැටලියනයකට අණ දිය නොහැකිනේ (අණ දෙන නිලධාරී ලෙස පත්වීමක් දිය නොහැකිනේ)? නමුත් සිංහ රෙජිමේන්තුවේ ලුතිතන් කර්නල් කෙනෙකුට මෙය කල හැකිනේ.

        • දැන්නම් වැඩේ නැගලාම යනවා අකා. බ්ලොග් නොලියා ලෙක්චර්ස් කරන්න වෙයිද මන්දා. කමක් නැහැ ඔබේ කුතුහලය සංසිඳවිය යුතුයි.

          1. ලුතිතන් කර්නල් නිලයේ නිලධාරියකු අයත්වන්නේ එක් ඒකකයකට. (Unit/Battalion) උදාහරණය ලුතිතන් කර්නල් ඒබීසී සිල්වා 1 වන සිංහ රෙජිමේන්තුව. නමුත් කර්නල් වුනාම කර්නල් ඒබීසී සිල්වා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව.
          2. ලුතිතන් කර්නල් නිලයට පහල එනම් මේජර් නිලයේ නිලධාරියකුට තම මව් ඒකකයට හෝ තම රෙජිමේන්තුවේ වෙනත් ඒකකයකට හෝ වෙනත් රෙජිමේන්තුවකට අයත් ඒකකයකට හෝ අණදීමේ අවස්තාව ලැබෙනවා. (මේ ක්‍රමය මා දන්නා තරමින් බහුලව ක්‍රියාත්මක වන්නේ අපේ රටේ) තම රෙජිමෙන්තුවට අයත් නොවන වෙනත් රෙජිමේන්තුවක, බල ඇණියක අණදීම සඳහා පත්කිරීම බොහෝවිට සිදුවන්නේ, ස්වේච්ඡා බලසේනාවේ නිලධාරීන් සම්බන්ධයෙනුයි. එයට හේතුව සමහර රෙජිමේන්තුවල අණ දෙන නිලධාරි ලෙස පත්වීමට තරම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නොමැති වීමයි.

          ඔබේ ප්‍රශ්නය අද දින 10.05 ටත් 10.28 ටත් දෙවරක් අසා තිබුනා. දෙකම එක නිසා පසුව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ.

  16. Can you explain about medals award in SL Army?

    Oopps.. Another post… 🙂

    P.S. I have updated Firefox and it vanish my Sinhala writing Add-on.

  17. nadeeka priyadarshanie said:

    කොතලාවල ආරක්ශක විද්‍යා පීඨයෙන් ත්‍රිවිධ හමුදාවට නිලධාරීන් බඳවා ගන්න හැටි පැහැදිලි කරන්න පුලුවන්ද? මා අසා තිබෙනවා එසේ බඳවා ගත් නිලධාරීන්ට යම් මට්ටමකින් එහා උසස් විය නොහැකි බව, එහි සත්‍යතාවක් තිබේද? නැතිනම් ඔවුන්ටත් හමුදාපති දක්වා උසස් විය හැකිද? ස්තූතියි

    • දැන් එය විශ්ව විද්‍යාලයක්. ඒ නිසා එය හඳුන්වන්නේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය කියලයි. එය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් අනුමතයි. (Kothalaawala Defence University – KDU) එයින් උපාධි ලබන අයට සීමාවන්ට යටත් වන්නට සිදුවන්නේ නැහැ, හමුදාවේ තිබෙන (career planning) වෘත්තීය අනාගත සැලසුම නිසි පරිදි අනුගමනය කලොත්. බඳවාගැනීමේ පිළිවෙත මා දන්නේ පැරණි ක්‍රමයයි. ඒ නිසා සියලු විස්තර මෙතනින් බලන්න.
      http://www.kdu.ac.lk/

  18. මටත් ප්‍රශ්ණයක් වෙලා තිබුනෙ ඔය කාර්වල පිටිපස්සෙ මෙට්ල් ප්ලේට් ඒක තියන තරුවලින් කියවෙන්නෙ ම්කක්ද කියල. බොහොම ස්තූතියි පහැදිලි කිරීමට

  19. මමත් දැන ගන්න ආසයි විශේෂ පුහුණු වීම වලින් ලැබෙන ලාංචන ගැන. උදාහරණයක් ලෙස කොමාන්ඩෝ සෙබළුන් තමන්ගේ කමිසයේ දකුණුපස (බොහෝ විට මේ ලාංචන මෙතන තමා තියෙන්නේ) පළදින ලාංචනය, පාබල හමුදා සෙබළුන් හා නිලධාරීන් පළදින කෙලින් අතට තැබූ කඩුවක සලකුණ, airbourne (මේකට සිංහලෙන් මොකක් කියනවද කියල නම් දන්නේ නෑ) කුරුල්ලා නැත්නම් තටු දෙකේ සලකුණ (http://www.warrelics.eu/forum/military_photos/airborne-special-forces/368652d1341841057t-airborne-insignia-question-airborne-patch.jpg), ආදිය ගැන.

    • අන්තිම කෑල්ලට ඉස්සර වෙලාම උත්තර දෙන්ඩද? අහලා තියනවද අර අතේ ‘පළඳින’ (…..) කුරුල්ලාගේ කතාව. මගේ ලව්වා නම් කියවාගන්ඩ බලාපොරොත්තු වෙන්ඩ එපා. ටිකක් හොයලා බලන්ඩ. ඔබ කියන ආකාරයේ ලාංඡන ගොඩක් තියනවා. වෙනම විස්තරයක් ලියන්නම් අවශ්‍ය රූප ටික එකතු කරගත් වහාම.

      • ඒ කුරුල්ලාගේ කතා ටික ටික වෙනස් ඒවා ගොඩක් අහල තියෙනවා 😉 . මම අහපු ප්‍රශ්නේට උත්තර දෙන එක රූප ඇතුලත් පොස්ටුවක්ම ලියුවොත් තමා හොඳ වෙන අයගෙත් දැන ගැනීම පිණිස. 🙂

  20. In your post you said, officers from Inspectorate (body of inspectors) are not considered as gazetted officers. But in the police hierarchy they are considered as junior gazetted officers. (That is the reason why I highlighted above hyperlink).
    Anyway, in early 70′s there were some clashes between senior police officers and army officers regarding duty issues. Therefore, in the first police gazette no (1), (after the new constitution 1972), the government stated, that from the rank of Sub Inspector, all ranks should be considered as gazetted officers (so-called commissioned officers) in dealing with three forces.
    Anyway, three forces tried to demean senior police officers up to 1990.As an example, when Sub Inspectors were assigned to training in army camps they were send to WO mess as result of above mentioned case of the commission status.
    If you think 2nd LT =ASP. Definitely Sub Inspector = Corporal. You see, how hilarious the situation is.
    For the recruitment, the educational requirements of cadets and the sub inspector is same throughout the history. Just think, is that responsible behaviour.
    Then, is that the problem of the officer who holds the rank? No really it is the problem of the top brass of the government.
    I have also undergone several training in military bases, but I had not faced same situation being a Sub Inspector.
    After leaving school, many students are applying three forces and police together and later on they join various organizations according their capacity. For me I think this is the problem of the people who create those unnecessary discrepancies.
    You have mentioned that police is a department it cannot compare with armed forces. It is true to some extent.
    But keep there are equal opportunities of similarities and dissimilarities armed forces in the international context. In some countries, police officers have both police and army ranks (ex CI =Major, etc. in Philippine national police) In Russia, Brazil, and Netherlands they have army ranks. I know it personally; because I had to work with them.
    In Sri Lanka, in any legislative document or statutory law, police department does not exist because always it is mentioned as “Police Force”. You can refer to any act or ordnance,
    This is my Challenge. In addition to that, in USA arm is run under the Department of the Army (DA).According to the principal law (the Constitution) police and three forces have to same limited privileges for collective bargaining and unions. So is then police force is really department. For me it is a word of screwing.
    You as a traditional army man, you did not appreciate what police really did to the nation. Really this is the psyche of specially army people. (I am not disrespecting you). Really, I appreciate your effort, and if you are a broad-minded person.
    In the Sri Lankan context, police was an alternative to armed force. But Government took all the benefit from Police by deploying them as army men while exploiting their labour by giving them small benefit in comparison to armed forces. Once, this reality was told to me by an army colonel either before a few years. I totally agreed to his opinion.
    I just wanted show my last example about the “Raviru Real Star”. Police and civil security forces are Ranviruvo. Did not they dedicate their soul, life and limbs? I heard this was a concept of the MOD. In nutshell, I am reasoning that in this manner. The Secretary is a conventional military person. He looks at everything through the military glasses.
    I am happy to say that officers from armed force are very cooperative and understanding. I know they can work together after those conventional men leave the services. But I am insisting the discipline is the discipline for every service.

    • My intention was to introduce all ranks and files of three forces and the police and not to compare their values. However still I stand for what I have exprssed and there was nothing against the law. if any uniformed officer is blessed with ‘Commissioned’ status he should have issued with necessary credentials. can you show any such thing issued to even an IGP? under the personnel signature of HE The President of Sri Lanka. (not the rubber seal) I did not disgrace police service anywhere in my article. you have send the same expression twice.therefore one expression was ommited.(did not checked spellings)

  21. It is not a matter of credential, I just wanted to add something………Anyway in police department do not have commissioned officer. It is true but just I wanted to draw your attention to that part also.
    IGP is directly appointed by the HE, but HE cannot terminate him. In the case he must asked to parliamentary Committee on High Posts. It is a long process.

    So that is it.

  22. in addition to that please refer .to ……..http://en.wikipedia.org/wiki/Police_rank

    • There’s nothing me to learn from that wikipedia page as any one can edit the same and enter more controvorcial facts. Police Officers has a dignity, honour, responsibility, and aaceptancy in the socity and there’s no argument about that. What I said was that it is very difficult to compare the ranks in a department and an armed force as the governing rules and regulations of those two type of institutes are extreamly differant. I beleave that we have come to the end of this exchange of ideas on this matter.

  23. Can you please compose an article about the uniforms of the armed forces of Sri Lanka?. I have learned a lot from your blog. I seem to remember there are numbers for the various uniforms. I wish you luck in your future endeavors.

    • Appreciate your comment. Yes, there are a number of Uniforms used by Soldiers as well as Officers . There is a Dress Regulation Book in the Army. I have a good idea about Army Uniforms but unfortunately I am poor in knowledge of Navy and Air force Uniforms. I will try to collect those information and once I have completed will present an article.

  24. Thank you very much. Even the Army uniforms only would be great. Right down to the badges and stars.

  25. Another question. What is the situation with tattoos in the army? Are they allowed? Banned or frowned upon?
    I think in other countries military personnel are allowed to get tattooed.

  26. well that is unfortunate. More to to with cultural stigma than actual military discipline i believe.

  27. මට නම් දවල් තරු පේනවා වගෙයි හරි complicated

  28. Could u plz give us a description about volunter forces.. How the recrution procedere will appilacable to degree holders MSc, phd ? I heard they are given Lt. Colonel and colonel ranks.. Does such people are junior to direct lower rank officers do volnter officer needa to salute them or say sir to them? Please give me ans to these 🙂

    • Dear Buddhika, First of all you must learn that, any Army in The World is Govern by an act which is approved by the Parliament or such Governing body of that particular Country. Also the highest Judicial Authority is the institute which will judge weather that rules and regulations are correct or not. Sri Lanka Army is Govern by the act No 17 of 1949. In that act it is explained in detail what is the Volunteer Force of Sri Lanka Army.

      There is only one difference between the Regular force and the Volunteer Force. If I am a Commissioned Officer belongs to the Volunteer Force and you are an Officer in the same rank and belongs to the Regular Force it is always recognises that the Regular Force Officer is always senior to Volunteer Force Officer. (remember both must be in the same rank. In case of if the Volunteer Force Officer is in a higher rank, any Regular Force Officer in a junior rank to him.her, should salute him/her and address as Sir and vice versa)

      Qualified personnel with specialised higher education standards will be direct enlisted to the volunteer force in accordance with the necessity of recruitment and number of vacancies available. If you are enlisted as a Colonel with your all sort of degrees decorations and paraphernalia, still you have to salute and say Sir to the officers in the rank of Brigadier and above weather they have joined the Army only with Grade 8 educational qualifications. If you are in the Volunteer Force a Colonel from the Regular Force is bloody well senior to you. Your remuneration package is higher than the Officers in the same rank who joined the army with less education qualifications. (Specially for Medical Doctors) All other benefits will be given as same as the other Officers in similar rank. And that’s the rule, that’s what the ‘book’ says.

  29. […] සරලව කියාදී තිබෙනවා. මතක නැති අය මෙන්න මෙතනින් ගිහින් බලලා එන්නකෝ. එතකොට මේ ලිපිය තේරුම් ගන්න වඩාත් […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: