විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


53    හඃ හඃ හා……………ඔන්න කාලෙකට පස්සේ, අපේ ආදි පාද හෙවත්, පරණ කකුල් සෑහෙන ගණනක් මුණගැහුනා. හැබැයි ආදි පාදලා වගේම, අදත් හමුදා සේවයේ ඉන්න පාදලාත්, සෑහෙන ගණනක් සහභාගිවුණා, මේ හමුවට. බොහොම සුහදව සතුට, දුක, සිනහව, කඳුල, සහිතව ගෙවුණු දිනයක් ලෙස, නම් කරන්න පුළුවන්.

   කවුරුහරි කියනවනම්, මේවා දැන් ඇන්ටීක් බඩු කියලා, ඔව් ඇත්තටම ඇන්ටීක් බඩු. හැබැයි වටිනාකම කියන්න බැහැ. කල් ඉකුත්වීමක් නැහැ. මොකද බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් තමයි, ලෝකයේ සෑම රටකම පාහේ, විශ්‍රාමික හමුදා නිළධාරීන්, උපදේශකයන් වශයෙන් කටයුතු කරන බව. විශේෂයෙන්, යුද උපක්‍රම පිලිබඳ උපදේශනයේදී, පළපුරුදු, විශ්‍රාමික හමුදා නිලධාරීන් කියන්නේ, ඉතා අගනා සම්පතක්.

   සමහර අතිශයින් වැදගත් ඓතිහාසික සිදුවීම් පිලිබඳව, හමුදාවේ තිබෙන වාර්තාවල ඇතුළත් කරුණු,  තවදුරටත් තහවුරු කරගැනීමේ අවශ්‍යතාවක් මතුවුණොත්, ලෝකයේ බොහොමයක් රටවල්, විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ සහාය පතනවා. ඔබ දැක ඇති, බීබීසී, ඩිස්කවරි, වැනි ජාත්‍යන්තර රූපවාහිණී නාලිකාවල ඉදිරිපත් කෙරෙන, සමහර යුද වාර්තා චිත්‍රපටි වල, විශ්‍රාමික හමුදා සොල්දාදුවන් පවා අදහස් දක්වනවා. ඉතින්, සමහර අය හිතන පරිදි, විශ්‍රාමික හමුදා සාමාජිකයන් කියන්නේ, නිකම්ම නිකම් අතහැර දැමිය හැකි පිරිසක් නොවේ.

   එමෙන්ම මෙය හමුදාවට පමණක් සීමා වන්නේත් නැහැ. ඕනෑම වෘත්තියක, විශේෂඥ පළපුරුද්ද සහිත පුද්ගලයකු, විශ්‍රාම ගියත්, ඔහුගේ දැණුම විශ්‍රාම යන්නේ නැති නිසා, ඔවුන් සම්පත් දායකයන් ලෙස යොදවාගැනීම, ඉතා ප්‍රඥාගෝචරයි.

   අපේ මේ හමුවට සහභාගිවූ බොහෝදෙනෙක්, මගෙන් ඉල්ලා සිටියා, මේ හමුවේදී ලබාගත් ඡායාරූප, අන්තර්ජාලයේ පලකරන ලෙස, ඔවුන්ට එය සිහිවටනයක් වන නිසා. මේ ලිපිය ලියන්නේ, ඒ ඉල්ලීම් ඉටුකරදීමට මෙන්ම, ඔබ සමගත් ඒ අවස්ථාව පිළිබඳව, තොරතුරු හුවමාරු කරගන්නයි. හැබැයි එක දෙයක් කියන්න ඕනෙ. මේ පින්තූර එකක්වත්, මා විසින් ගන්නා ලද ඒවා නෙවෙයි. මම එදා කැමරාව ගෙනගියේ නැහැ. මේ පින්තූර, මගේ සහෝදර නිළධාරීන් විසින් ලබාගෙන, මා වෙත ලබාදුන් ඒවා. මෙතන ඉඳලා කතාව, හැකිතරම් ඒ පින්තූර වලින් ගෙනයන්නම්. ඉස්සරවෙලාම අපේ කඳවුරේ පින්තූර ටිකක් බලමුද?

   මේ ලිපියේ ඇති සෑම පින්තූරයක්ම, ක්ලික් කර, විශාල කර, බලන්න පුලුවන්. 

1

   මීට පෙරත් මා ඔබට කියා තිබෙනවා, අපේ කඳවුර ගැන. නිළ ඇඳුමෙන් සිටි කාලේ යන මාතෘකාවෙන්, මා ලිපි කීපයක් ඔබවෙත ඉදිරිපත් කර තිබෙනවා. මේ ස්ථානයේ හමුදා කඳවුර පිහිටුවා තිබෙන්නේ 1969 දී. ඊට පෙර, බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙය, උඩරට කඳුකරයේ තේ වතු පාලනය කළ, බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ දරුවන්ට පමණක් සීමාවූ පාසලක් ලෙසයි, පවත්වාගෙන ගොස් ඇත්තේ.

   මෙය හඳුන්වා තිබෙන්නේ ‘හිල් ස්කූල් – Hill School’ යනුවෙන්. අදටත්, හිල් ස්කූල්, නුවරඑළිය, කියා යවන ලිපියක්, නොවරදවාම කඳවුරට ලැබෙනවා. බලන්න මේ පින්තූරයේ ඇති ගොඩනැගිල්ල, පාසල් ගොඩනැගිල්ලක් බව, හොඳින්ම පෙනෙනවා. එදා විදුහල්පතිගේ කාර්යාලය, අද අණදෙන නිළධාරීගේ කාර්යාලය බවට පත්ව තිබෙනවා. දැන්නම් මේ ගොඩනැගිලි බොහොමයක්, විශාල වෙනස්වීම් රාශියකට ලක්ව තිබෙන අතර, තවමත් අළුත් ඉදිකිරීම් සිදුවෙනවා. ආරක්ෂක හේතු නිසා, කඳවුරේ ඇතුළත සියළුම ගොඩනැගිලි, මෙහි දක්වන්නට බැහැ.

  1990 දශකය පමණ වනතුරු, අතීතයේදී මේ පාසලේ උගත්, සුදු ජාතිකයන්ගෙන් සමහරෙකු, සංචාරකයන් ලෙස ලංකාවට පැමිණි අවස්ථාවල, ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලබා, මෙහි පැමිණුනා. ඔවුන්ගෙන් සමහරකු, කඳවුර ඇතුළත ඇවිදිමින්, අපි නොදන්නා ඉතිහාසය පවා, ඉතා සතුටෙන් කියාදුන්නා. ‘මේ මගේ පන්තිය තිබුණ තැන’ කියා හඬාවැටුණ ගැහැණු පිරිමි දෙපක්ෂයම සිටියා. ඔවුන් ගෙනා රසකැවිලි, ඔවුන්ගේම අතින්, අපේ සොල්දාදුවන්ට කැවූ අවස්ථා තිබුණා. අපේ සොල්දාදුවන් සමග, සිහිවටන ඡායාරූප ගැනීමටත්, ඔවුන් අමතක කළේ නැහැ.  වරක් එසේ පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයකු, තමා බ්‍රිතාන්‍ය හමුදාවේ හිටපු ජෙනරල් වරයකු බව ප්‍රකාශ කළේ, කඳවුරේ ගේට්ටුවෙන් පිටතට යන අවස්ථාවේදී, අපව ඉතා ඉහළින් අගය කරමින්. එහෙත්, අද කාලයේ ඔවුන් එන්නේ නැත්තේ ඇයි? මටනම් හිතෙන්නේ, එළෙස පැමිණෙන්නට කිසිවෙකුත්, අද ජීවතුන් අතර නැති වියහැකි බවයි. 

2

   ඉහත ඡායාරූපයෙන් පෙනෙන්නේ, අපේ කඳවුරේ උද්‍යානයේ කොටසක් සහ ඈතින් පෙනෙන නුවරඑළියේ ග්‍රෙගරි වැවයි. ඔබට පෙනෙනවා ඇති, පොල්ගස් වැනි ගස් වර්ගයක්. ඒ පෙනෙන්නේ, මුහුදු මට්ටමෙන් අඩි 5000 කට වඩා උස් බිම්වල පමණක් දකින්නට ලැබෙන, අධි ආරක්‍ෂිත ශාඛයක් වන, යෝධ මීවන ශාක කීපයක්. මේ ශාක මේ ප්‍රදේශය තුළ වුවත්, තැනකින් තැනකට ගෙනයන්න බැහැ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසර නැතිව. මේ ශාක අතීතයේ සිටම කඳවුරේ තිබෙන ඒවා. මේ ශාක වර්ගයේ, උද්භිද විද්‍යාත්මක නම දන්නා කෙනෙකු ඇත්නම්, කරුණාකර එය සඳහන් කරන මෙන්, කාරුණිකව ඉල්ලනවා. මේ පින්තූරයේ පෙනෙන තණපිටිය නඩත්තු කිරීම, සෑහෙන වෙහෙසකර වැඩක්. මේ තණකොළ වර්ගය මිළ අධිකයි. නඩත්තුව සඳහා විශේෂ දැණුමක් අවශ්‍යයි. තණපිටිය වටා රෝස මල් පාත්ති තිබෙනවා. පැරණි ඡායාරූප දෙකක් පෙන්වන්නම්, ඒ රෝසමල් පාත්ති වල.

18

ඔබේ වම් අත පැත්තේ සිට දෙවැනියට ඉන්නේ, ගරු මමතුමා (මල් බැලුවා විතරයි, මල් කැඩුවේ නැහැ. මේ පින්තූරය ගන්න කාලේ, 1980 ගණන්වල මුල, මල් කඩන්න ජංගම දුරකථන කියා දෙයක් තිබුණේ නැහැ)

My Daughters in Rose Guarden

මගේ පැට්ටියො දෙන්න පුංචි කාලේ කඳවුරේ රෝසමල් පාත්ති අසළ

(මේ පින්තූරයනම් මම ගත්ත එකක්)

   මේ උද්‍යානය, සෑම වසරකම, නුවරඑළිය වසන්ත සමයේදී පැවැත්වෙන, හොඳම උද්‍යානය තේරීමේ තරගයෙන්, වාර ගණනාවකදීම ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.

   පහත දැක්වෙන පින්තූරවල තිබෙන පඳුරු, විවිධ රූප, හැඩතල, ආකාරයට කපා සකස්කර තිබෙන්නේ, අපේ සොල්දාදුවකු විසින්. සොල්දාදුවාගේ හිත තුළත්, කලාව පිහිටා තියනවා. නමුත් සමහරු හිතන්නේ, සොල්දාදුවා කියන්නේ, නිකම්ම නිකම් දරදඬු හිතක් සහිත, මෙවලමක් පමණයි කියලා. 

3

5

සකස් කෙරෙමින් පවතින සිංහ රූපයක් 

6

4

7

වර්තමාන අණදෙන නිලධාරි, පැමිණ සිටි සියළුදෙනාව ආදරයෙන් පිළිගත්තා.

මේ සුහද හමුව පැවැත්වීමේ අරමුණ වුණේ, විශ්‍රාමික නිළධාරීන් සහ දැනට සේවයේ යේදී සිටින නිළධාරීන්ද එක්ව,

‘නිළධාරී සංසදයක් – Officers Association’ පිහිටුවා ගැනීමයි.

8

ප්‍රධාන සංවිධායක සභාව අමතමින්………

9

10

11

විවිධ කරුණු රාශියක්, දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය කෙරුණා.

12

මේ පහළ ඡායාරූපයේ මැද ඉන්නේ, අද අපේ බලඇණියේ ඉන්න, ලාබාලතම, තරුණ නිළධාරීන්.

13

තේ ටිකක් නොබී දිගටම සාකච්ඡා කරන්න අමාරුයිනේ. තේ බොන්න, එදා පැමිණ සිටි නිළධාරි පවුල්වල සාමාජිකයනුත් එකතුවුණා.

14

15

සභාවේ වැඩ අවසන් කරලා, පිරිස ටිකක් එළියට බැස්සා. (පහළ ඡායාරූප) ඔන්න ඉතිං පරණ කල්ලි ආයෙත් එකතුවෙලා, පරණ කතන්දර කියන්න පටන්ගත්තා.

16

17

18

19

බළඇණියේ වර්තමාන රෙජිමේන්තු සැරයන් මේජර් (RSM) තමා, මේ පහළ ඡායාරූපයේ ඉන්නේ. ඔහුගේ දකුණු අතේ, කළුපාට ඔරලෝසුවක් වගේ පෙනෙන්නේ, ඔහුගේ නිළ ලාංඡනයයි. රෙජිමේන්තු සැරයන් මේජර් ගැන, මා මීට පෙර ඔබට කියාදී තිබෙනවා.  ඔහු තමයි, බළඇණියක ඉන්න, ජ්‍යොෂ්ඨතම සොල්දාදුවා.

20

සෑම නිළධාරියකුම, රෙජිමේන්තු සැරයන් මේජර් සමග, වචනයක් දෙකක් කතාකරන්න අමතක කරන්නේ නැහැ. මෙතන ඉන්න විශ්‍රාමික නිළධාරීන්ගෙන් සමහරෙකු, සේවයේ යෙදී සිටියදී, මේ රෙජිමේන්තු සැරයන් මේජර් හිටියේ, සාමාන්‍ය සොල්දාදුවකු (Private) ලෙසයි. ඉතින්, අද ඔහුගේ උසස්වීම දැක, මේ සියළු දෙනා, ඔහුට සුබ පතනවා. ඔහුට එය විශාල ගෞරවයක්. සමහරු ඔහු සමග සිහිවටන ඡායාරූප පවා ගන්නේ, එදා, තමන්ගේ ගෝලයකු ලෙස හිටිය පොඩි කොල්ලා, අද RSM වෙලා ඉන්න එක, ලොකු සතුටක් නිසයි.

22

23

24

අම්මෝ………..පුදුම දුකක් විඳලා, ඇදගෙන ඇවිත් වාඩි කරවලා සමූහ ඡායාරූපයක් ගත්තා. 

25

අපේ බළඇණියේ ඉතිහාසය දැක්වෙන, DVD Slide Show එකක්, මම හදාගෙන ගියා. ඒක ප්‍රදර්ශනය කළ අවස්ථාවයි මේ. 

25a

ඊට පස්සේ?…………..ඊට පස්සේ බලනකොට, මෙන්න ඔක්කොගෙම අතේ, පුංචි පුංචි වීදුරුවල, අර ‘ඔරෙන්ජම් බාරලි’ ද මොනවද එව්වා දාගෙන ඉන්නවා. 

26

අපුච්චේ……………අර මොනවැයි අර ලෑලි කාමරේ වගේ එක ඇතුළේ පෙනෙන්නේ? 

27

28

මේ පහළ පින්තූරයේ තියෙන්නේ, අපේ බළඇණියේ සංගීත කණ්ඩායම. මේ කණ්ඩායම හඳුන්වන්නේ, ‘The Camouflage’ යන නමින්. මෙයාලා නැතුව ඔරෙන්ජම් බාර්ලි බොන්න බැහැ කිව්වනේ අපේ කට්ටිය. මේ ගීතය ගායනය කරන්නේ, විශ්‍රාමික, මුස්ලිම් ජාතික, කපිතන් වරයෙක්. වයස අවුරුදු 70 ට වැඩියි. ඔහු, හරූන් ලන්ත්‍රාගේ ගීත කීපයක්, ඉතා මිහිරි ලෙස ගායනා කළා. 

29


මේ පහළ පින්තූරයේ ඉන්නෙත් අපේ හොඳම ගායකයෙක්. මම මෙයා ගැන ලිපියක් මීට කලින් ලියලා තියනවා

30

31

32

33

34

36

අන්තිමට මේ තසිම් ටිකත් කාලා දායිද මන්දා 

37


ඔන්න බ්ලොග් කාරයොත් සින්දු කියනවා. හනේ හනේ වීදුරුව නම් අතින් බිම තියන්නේ නෑ වගේ.

38

39


මොකද අනේ හිටගෙන පානය කරන්නේ ඉඳගන්න පුටු නැද්ද? නැහැ නැහැ. මේ අනුගමනය කරන්නේ හමුදා සම්ප්‍රදාය.  පානය කරන්නේ හිටගෙන. ඒකට හේතු කීපයක් තියනවා. පළමුවැනි සහ වැදගත්ම එක තමයි, හිටගෙන ඉන්නකොට, තමන්ට තමන්ගේ සීමාව දැනෙන්න පටන් ගන්නවා. අන්න එතැනදී එක්කෝ නවත්වන්න ඕනෙ, නැත්නම් ‘කරන්ට් එක ඩිස්චාජ් කරගන්න’ ඕනෙ මොනවහරි කරලා.  මොකද, නිළධාරියකු මහත්මයකු ලෙස හැසිරෙන්න ඕනෙ. මෙතන නෝනලාත් ඉන්නවා. ඒ අයගේ ගෞරවයත් රකින්න ඕනෙ. බලන්න කවුරුවත් මෙතන දුම් බොන්නේ නැහැ. දුම්බීමට අවශ්‍ය නම්, පැරණි ක්‍රමය වුණේ, එතන ඉන්න නෝනලාගෙන් අහනවා, මැතිනියනි, මා මෙහි දුම්බොනවාට ඔබේ විරුද්ධත්වයක් තිබේද කියා. කවුරුවත් ඉතිං විරුද්ධයි නොකියා ඉවසාගෙන ඉන්නවා. නමුත්, දැන් අපි දන්නවනේ අක්‍රිය දුම්පානය ගැන. ඒ නිසා, අර ගොන් ප්‍රශ්නය අහන්නේ නැතුව, මෙතනින් එළියට ගිහින් දුම් බීලා එනවා.  ඒ වගේම තමයි හිටගෙන එකතැන ඉන්නේ නැහැ. සෙමෙන් ඇවිදිමින්, හැම දෙනාම එක්කම (කාන්තා පක්ෂයත් ඇතුළුව) වචනයක් දෙකක් කතාකර, තමන්ගේ සමාජශීලී භාවයත් පෙන්වනවා. හැබැයි, කාන්තාවට කතා කිරීමේදී විනීතව සංවරව ඉන්න ඕනෙ.

40

41


සංගීත කණ්ඩායම නැතුවද සින්දු කියන්නේ………

44

45

46

නෝනලා සහ දරුවෝ අරවගේ හිටවලා තියන්නේ නැහැ. ඒගොල්ලෝ වෙනම තැනක නිදහසේ අපේ පරණ සිහිවටන ඇල්බම් එහෙම බලමින් හිටියා. වරින්වර කවුරු හෝ නිලධාරියකු ගිහින් ඒ අය ගැන බැලුවා. ඒ තමයි සම්ප්‍රදාය. 

50

‘සර්…..’

‘ඈ…..’

‘සර් බීලද’

‘ඇයි?’

‘නෑ සර් බීලද කියන්නකො’ 

‘නෑ යකෝ….’

‘එහෙනං ඔය කොහෙද බලන්නෙ?’

‘කොහෙද?’

‘ඔය සර්ටයි මටයි එහාපැත්තෙ’

51


පොඩියට වගේ නැටුම් සංදර්ශනයකුත් ගියා. නමුත් එතකොටම කිව්වා, වෙලාව හවස 5.45 යි, දැන්වත් දවල්ට කමුද කියලා. ඈත පළාත්වලින් ආව අය යන්නත් ඕනෙ නිසා, ඒ ‘දවල් ආහාරයෙන්’ පස්සේ,  යන්තම් රෑ හතට විතර, කඳවුරෙන් එළියට එන්න පුළුවන් වුණා.

විශේෂ ස්තුතිය: ඡායාරූප ලබාදුන් කපිතන් ටී. එම්. කරුණාරත්නට සහ කපිතන් චන්න සිල්වාට 

my-signature-for-blog[1]   2014 සැප්තැම්බර් මස 21 වැනි දින 1153 පැය 

Comments on: "අපේ ආදි පාද හමුව – Meeting of Antiques and Old Crocks" (35)

  1. සුබපැතුම් ඔබතුමා ඇතුළු සැමටම !

  2. subapethum,watina photos tikak,wisheshayenma ara Garden eke phgotos tika,ape gardenersla supiri wedakauwo, mata Mehe udawiyata adambarayen penwatheki. (Ranjan)

    • බොහොම ස්තුතියි රන්ජන්. අපේ උද්‍යානයේ පින්තූර ඔය රටේ අයට පෙන්නුවාම ඔබ අපේ සංචාරක කර්මාන්තයටත් අනියමින් රුකුලක් දෙනවා. ඒ ගැන බොහොම සතුටුයි.

  3. ආ පරණ කෂ්ටිය ෂෙට් වෙලා වගේ නේ.මොනවද අර බොන්නේ.කොත්තමල්ලි වෙන්ට ඇති මයේ හිතේ.

  4. සුභ පැතුම් ඔබතුමාලගේ අලුත් නිළධාරී සංසදයට. කාලෙකින් පරණ යාලුවෝ ටික හමුවුනාම ගොඩක් සතුටු ඇති නේද?

  5. ම්ම්ම්…..කියවද්දී & පින්තුර බලද්දි පුදුම සතුටක් දැනුන……
    සියල්ලන්ගෙම සතුටු සිනා මුහුණු………
    විචාරක තුමා ඇතුළු සියල්ල කොතරම් සතුටක් ලබන්න ඇද්ද කියල හිතුන……
    කදවුර පාසලක් බව ඇහැව්වමයි ……

  6. ehenam apita thawa kathandara tikak balagana puluwan wei neda. sir mata mathak wuna parana sidiyak camp gya kale 😀 ape sir kenekge

  7. පරණ කකුල් හමුඋනාම හරිම සතුටක් දැනෙනවා නේද?..

  8. 🙂 kamak na sir lawata dana ara otuwa ge kathawa wage

  9. හරිම සතුටුයි විචාරක තුමා…මම ඔයාගෙ වයසෙ නොවුනට මෙතැනදි දැනෙන සුන්දරත්වය කොපමණද කියලා හිතාගන්න අපහසු නෑ…මගෙත් ආශාවක් තියෙනවා අපේ තූර්යවාදක ඛණ්ඩයේ ඉදලා ලෝකෙ වටේටම විසිරිලා ඉන්න අපේ උන් ටික එක තැනකට එකතු කරගෙන ලස්සන දවසක් ගත කරන්න…දැනට නම් එය අමාරුයි…ඉදිරි දිනයක කරන්න හැකි වේවි….විචාරක තුමාගෙ රෝස මල් දෙක අද ලස්සනට ඇති නේද…ගෙදර තම්පලා ගහක් එහෙම කපන්න නැතිද ? හැක් හැක්…

    • බොහොම ස්තුතියි සිරා ඇගයීම ගැන. ඇත්තටම හරිම සුන්දර අත්දැකීමක්.

      බොහොම හොඳ අදහසක් ඔයා ඉදිරිපත් කරලා තියෙන්නේ. මම ඊයේ පෙරේදා කුරුණෑගල ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට ගියාම දැක්කා කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ‘ආදී ශිෂ්‍යභට තූර්ය වාදක කණ්ඩායම් සාමාජිකයන්ගේ සංගමය’ යනුවෙන් ශෝකප්‍රකාශ බැනරයක් එල්ලා තිබෙනවා. මට හිතුනේ මේ අය අදත් මෙහෙම සංගමයක් පැවැත්වීම කොච්චර හොඳද කියලා.

      මා හිතනවා ඔයාගේ බ්ලොග් අඩවියෙන් ඔබේ අදහස ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන්න පුළුවන් වෙයි කියලා.

    • අපේ ආදි ශිෂ්‍ය සංගමයක් තියෙනවා විචාරක තුමා…ඒකෙන් ගොඩාක් උන් පිටරට දැන් ඉන්නෙ…සමහරු සමහර රටවල පදිංචි වෙලා…ඒ අය නිරතුරුව විවිධ කටයුතු සදහා මුදල් එවනවා..මා අදහස් කලේ මේ සියලුම චරිත එක තැනකට එකතු කර පවත්වන්නට හැකි සොදුරු හමුවීමක් ගැනයි…

    • ඇත්තටම ලෝකය පුරා විසිරී සිටින ආදී ශිෂ්‍යයන් එකතුකරගනීමෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ වගේමයි එවැනි හමුවක ඇති දුර්ලභ බව නිසා වටිනාකම බොහොම ඉහලයි.

    • කපන්න තම්පලා ගස් තියා තුත්තිරි ගහක් වත් නැහැ වගේ, ඒකනේ කථා නැත්තේ . පොල් ගස් නම් ඇති නැගලා කඩන්න

  10. මිනිහෙක් පරිණත වයසට එනකොට එකතුකරගෙන තියෙන දැණුම අත්දැකීම් අළුත් පරපුරට දෙන්න ක්‍රමයක් තියෙන්නම ඕනෙ. අවාසනාවකට වගෙ අපෙ අතරෙ මුල් බැහැල තියෙන මතයක් තමයි ඔය අවලංගු කාසි විවරණය…ඒකත් බහුතරයකට වලංගුයි… සුළුතරයක් ඉන්නවා වියපත්වීමේන් පසුත් පෙර පරිදිම තීක්ෂණ භාවය පවත්වාගෙන යන. සමහරු හරියට හොද්දෙ බැහැල ඉන්න හැඳි වගේ.. මම නම් එහෙම දැණුම දෙන්න පුළුවන් නිළධාරින් කීපදෙනෙක්ම පුහුණුකිරීමෙ ආයතනයේ උපදේශකවරුන් හැටියට බඳවා ගත්තා. එහෙම ගත් එක්කෙනෙක් දැන් වයස 75 වෙලත් විදේශ රටක පුහුණු කරුවෙක් හැටියට වැඩ කරනවා.

    • ඇත්තටම සරත් ඔය නොදන්නාකම සහ උද්දච්ඡ කම නිසා නැතිවන සම්පත් අපමණයි. ආචාර්ය ආතර් සී ක්ලාක්, ආචාර්ය ඊ.ඩබ්ලිව්.අදිකාරම් (සමහරු අහයි ඒ කවුද කියලා) ආචාර්ය එන්.එස්. කුලසිංහ, වැනි අයගෙන් අපි ලබාගත් සම්පත් දායකත්වය හොඳටම මදි කියලා මට හිතෙනවා.

      ඔබ ක්‍රියාකර ඇති බුද්ධිමත් පිළිවෙත අනුව අපේ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු, දේශපාලන ගොන්කම්වලින් තොරව කටයුතු කරනවානම්, රට දියුණු කිරීම මහ කජ්ජක් නෙවෙයි.

  11. පරණ සෙට් එකක් හම්බ වෙන එක මොනතරම් ආතල් එකක්ද…

  12. කස්ටිය ස්ටෙලා වෙලා වගේ. 😀

    මේක මේ කතාවට අදාල නෑ. ඒත් ලංකාවේ හමුදා ගැන ගැන අලුතින් හදපු විදේශීය වාර්තා වැඩසටහනක්.
    http://watchseries-online.ch/2014/09/special-forces-s01e04.html

    විශේෂ බලකා දිගු දුර මෙහෙයුම් පාඨමාලවට තෝරා ගැනීමේ පරීක්ෂනය ගැන තමා තියෙන්නේ.

    • සැට් කියන්නේ සැටේ සැට් 😀

      බොහොම ස්තුතියි අර වීඩියෝ එකට. කෙටි ලිපියක් ලියන්න තරම් දේවල් තියනවා.

    • ඇයි හැබෑටම ඔරේන්ජ් බාර්ලි වීදුරු ලේන්සුවෙන් අල්ලන්නේ?

      තවත් අහම්බෙන් හම්බුන එකක්. මේ දවස්වල බරටම මේ වැඩ තමා. 😀

    • ලේන්සු නෙවෙයි ඒ තියෙන්නේ paper serviettes. මම කිව්වනේ නිලධාරියෙක් මහත්මයෙක් වගේ හැසිරෙන්න ඕනෙ කියලා. ඉතින් බොන දේවල් කටෙන් පිටට පෙරෙන්න බැහැ. කන දේවල් තොල්වලින් පිට ගෑවී තිබෙන්න බැහැ. ඒ නිසා තමයි වීදුරුව සමග paper serviettes අතේ තියෙන්නේ.

      බොහොම ප්‍රයෝජනවත් වීඩියෝවක්. බොහොම ස්තුතියි.

    • ක්සැන්ඩර් said:

      AKA බොහොම ස්තුතියි ලින්ක් එකට ඈ.. මම මාස ගානක් හෙව්වා ඔය ටික.

    • download link නැද්ද ?? ටෝරන්ටුවක් වත් දාන්නකෝ

      • ඒවා නැත. ඒත් firefox වලට flashgot කියලා add-on එකක් තියනවා. ඒක දා ගත්තම ඔය වීඩියෝ බාගත හැකියි. හැබැයි subtitles එන්නේ නැත.

  13. ක්සැන්ඩර් said:

    ඇත්තටම හමුදා නිලධාරින් බොහොමයක් ම දෙනා ලංකාවේ අධ්‍යාපන සෞඛ්‍ය වගේ අංශ වල ශ්‍රම දායකත්වයට උපදේශකත්වයට ගන්නවා නං මං හිතන්නේ ගොඩක් පලදායි වෙයි. විශේෂයෙන් ශිෂ්‍ය අරගල ඇති විශ්වවිද්‍යාල වල ශිෂ්‍ය උපදේශකවරු විදියට හරි.

    හරිම ලස්සනයි කඳවුර. ඒ වගෙමයි ඔය හමුදා පිලිවල අහනකොට හරි ආසයි ඒවා දකින්න. කොහෙද ඉතිං බලල හුල්ලනවා ඇරෙන්න යන්න බැරිවුනා නෙව..

  14. […] නොවැම්බර් මාසයේ මට, ආදි පාද හමුවකට, (මතකනේ මීට කළින් ආදි පාද හමුව) රන්ටැඹේ ප්‍රදේශයේ පිහිටි ජාතික […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.