විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


   රැක සිට පහර දීම පිළිබඳව මා ලියනලද පළමුවැනි සහ දෙවැනි ලිපි වලට ඔබෙන් ලැබුන ප්‍රතිචාර කියවන අතරෙදියි, මේ පුංචි කතාව මතක් වුනේ. මේ කතාව රැක සිට පහර දීම ඉගැන්වීමේ දේශනයට සම්බන්ධ රසවත් සිද්ධියක්. ඇත්ත කතාවක්. 1980 දශකයේ මුල් භාගයේදී සිදුවූවක්.

  ඔන්න එකෝමත් එක කඳවුරක හිටියා, තරමක් වයසක කපිතන් කෙනෙක්. මොහු සටන්කාරී නොවන රෙජිමේන්තුවකින් (Non Combatant Regiment) සටන්කාරී රෙජිමේන්තුවකට යා කළ කෙනෙක්. කාලයක් ගියාට පස්සේ සටන්කාරී රෙජිමේන්තුව වෙත අන්තර් රෙජිමේන්තු මාරුවීමක්‌ ගත් කෙනෙක්.  ඔහුව යොදවා තිබුනේ බොහෝවිට විනය සහ පරිපාලනයට අදාළ රාජකාරි සඳහායි. ඔහු යුද හමුදාවට බැඳෙන්නට පෙර හොඳ පාසල් ගුරුවරයෙක්. දක්ෂ ගායකයෙක්. බොක්ස් ගිටාර් වාදකයෙක්. දකුණේ මිනිහෙක්. වැඩිපුර කතා කරන්නේ ඉංග්‍රීසියෙන්. එයාට තිබුනෙත් ඉංග්‍රීසි නමක්. එයාගෙම ගී නිර්මාණත් ගායනා කරනවා.

  දවසක්‌ නිළධාරි නිවස්නයේ තිබුනා සැඳෑ සාදයක්. රාත්‍රිය වනවිට සාදය උච්ඡතම අවස්ථාවට පැමිණුනා. ඔන්න අපේ කපිතන් තුමා (ඒ කාලේ අපි ලුතිතන් වරු) ගිටාරයත් අතට අරගෙන, එයා විසින්ම, මුළු බලඇණියේ කීර්තිය විදහාපෑම සඳහා නිර්මාණය කල ගීයක් ගයන්න පටන්ගත්තා. හැබැයි මේ ලෝක රහක් නැහැ. (දැනුත් ඒකමනේ වෙන්නේ. දැන් ඉන්න ‘ගායකයන්’ කියන සමහර අයගේ ගීත, එයාලට විතරයි රස විඳින්න පුළුවන්. මෙලෝ රහක් නෑ. නිකම් ජිල්බෝල හොද්ද වගේ.) එයාගේ ගීතයේ තිබුනා ……………..යේ (හිස්තැන තිබුනේ කඳවුර පිහිටි ප්‍රදේශයේ නම) ඉතින් කපිතන් තුමා …………….යේ යුද්ධ භටයෝ………..කියලා උච්ඡ ස්වරයෙන් ඇදලා කියනකොටම, තරමක් පදම් වී සිටි මගේ සහෝදර ලුතිතන් කෙනෙක්, ‘බජ්ජ හුටයෝ………..’ කියලා මහා හඬින් අර ස්වරයෙන්ම කිව්වා. කපිතන් තුමා රවලා බැලුවා අර නිළධාරියා දිහා. ඉංග්‍රීසි ශබ්ද කෝෂයේ අප මෙතෙක් අසා නැති වචන ගණනාවක් කියාගෙන කියාගෙන ගියා. ඊටපස්සේ ගිටාරයත් දමලා ගහලා යන්න ගියා. (ඒ වචන පස්සේ කාලේදී මට නම් බොහොම ප්‍රයෝජනවත් වුනා 😀 😀 😀 )

   එයා හරිම කැමතියි මහජනතාව අතරේදී තමන් සාමාන්‍ය ඇඳුමෙන් ඉන්නවිට එයාව දකින සොල්දාදුවන් එයාට ආචාර කරනවා දකින්න. එවිට ඔහු බොහොම උජාරුවෙන් වට පිට බලනවා, මිනිස්සු එය දැක්කාදැයි බලන්න. වරක් ඔහු නගරයේ සිටින විට තමන්ගේ කඳවුරේ සෙබළුන් කීප දෙනෙක් රාජකාරි අවශ්‍යතාවයකට නගරයට ඇවිත් සිටිනු දුටුවා. ඔහු සිටියේ සාමාන්‍ය ඇඳුමෙන්. සොල්දාදුවන් සිටියේ නිළ ඇඳුමෙන්. ඔන්න ඉතින් ඔහු වටේපිටේ ඉන්න මිනිස්සුන්ට ඇහෙන්න අර සොල්දාදුවන් සමග සිටි කෝප්‍රල්ට කතා කළා. ‘ කෝප්‍රල් මෙහාට එන්න’ (සාමාන්‍යයෙන් අපි සොල්දාදුවන්ට කියා තිබෙනවා, ‘අපි සාමාන්‍ය ඇඳුමෙන් සැරසී ගමනක් යනවා දැක්කොත්, අපිට ආචාර කරන්න එපා, අවශ්‍යතාවක් නැත්නම් කතා කරන්නත් එපා, දැක්ක බව ඉඟියෙන් පෙන්නුවොත් ඇති’ කියලා. ඒ අපේ ආරක්ෂාවට සහ අනවශ්‍ය ලෙස මහජනතාවගේ අවධානයට ලක්වීම වලක්වා ගන්නයි.) ඔන්න ඉතින් අර කෝප්‍රල් ‘ඇයි සර්’ කියාගෙන අරයගෙ ළඟට ආවා. නමුත් ආචාර කළේ නැහැ. මෙයා මොහොතක් බලා සිටියා ආචාර කරයි කියලා. කලේ නැහැ. මෙයා කිව්වා ‘ හරි කෝප්‍රල් යන්න’ කියලා. කෝප්‍රල් ගියා. මෙයා මොහොතකින් නැවතත් කෝප්‍රල්ට කතා කළා. කලින් වතාවේ වුන දේම තමයි සිදුවුනේ. කෝප්‍රල් ආචාර කළේ නැහැ. මෙයා එයාව ආපහු යැව්වා. ආයෙත් මොහොතකින් මෙයා කෝප්‍රල්ට කතා කළා. ඒ සැරේ කෝප්‍රල්ට කේන්ති ගිහින් ළඟ හිටිය සොල්දාදුවකුගෙන් ඇහුවා, ‘මොකක්ද බන් මේ යකාට වෙලා තියෙන්නේ’ කියලා. ‘සෙලියුට් කරන්න කෝප්‍රල්, සෙලියුට් කරන්න’ කියලා සොල්දාදුවා උත්තර දුන්නා. ඒ උපදේශය හරිගියා. කෝප්‍රල් නගරය දෙදරන හඬින් අඩිය පොළොවේ හප්පලා, සීරුවෙන් සිටගෙන ගැහුවා සෙලියුට් එකක්. ‘සර්’ කිව්වා මහා හඬින්. චඃ, මෙයාගේ මූනේ ඇඳුනා ලස්සන හිනාවක්. ‘හා කෝප්‍රල් කොහොමද, කොහෙද යන්නේ’ කියලා කෝප්‍රල් ගෙන් ඇහුවා. ඊට පස්සේ උජාරුවෙන් වටපිට බැලුවා.

   ඔන්න ඉතින් මෙයාට දවසක් බලාපොරොත්තු රහිතව දේශනයක් පවත්වන්න සිදුවුනා. අලුතෙන් බලඇණියට ඇතුළත් කළ, ආධුනික සෙබළුන් පිරිසකට, රැක සිට පහරදීම පිළිබඳ දේශනය කරණ ලෙස, අණදෙන නිලධාරි වරයා මොහුට නියෝග කළා. කරුමෙක මහත, ඔහු, මූලික නිලධාරි පුහුණුවේදී, රැක සිට පහරදීම ඉගෙනගත්තාට පස්සේ, කවදාවත් ඒ දැණුම පාවිච්චි කරලා නැහැ දේශනයක් සඳහාවත්. ඒ බව හෙළිවීම, තමන්ගේ තත්වයට මදිකමක් වගේම, අණදෙන නිලධාරිගේ නියෝගයක් නිසා බෑ කියන්නත් බැහැ. කඳවුරේ ඉන්න වෙනත් නිලධාරියකුගෙන් ඉල්ලන්නත් ලැජ්ජයි, තමන් වෙනුවෙන් ඒ දේශනය කරන්න කියලා, මොහුගෙ තියන මහන්තත්ත කමට. එහෙම නැත්නම් ඒ දේශනය පිළිබඳ පාඩම් සටහන් ඉල්ලගන්නත් ලැජ්ජයි, තරුණ නිළධාරියකුගෙන්, තමන්ගේ තියන ලොකු කමට. ඔන්න ඉතින් ඔහු දේශනය පටන් ගත්තා……… ළමයි, (මම මීට කලිනුත් කියලා ඇති නිළධාරීන් ලෙස අපි අපේ සොල්දාදුවන්ට ආදරයෙන් කතා කරන්නේ ළමයා, පුතා, කියලා. ..කොල්ලා 😀 ….පුතා 😀 කියවෙන අවස්ථාත් තියනවා) අද අපි ඉගෙන ගන්න යන්නේ රැක සිට පහරදීම මොකක්ද? රැක……….සිට……..පහර……..දීම. ආයෙත් කියන්න රැක……..සිට……….පහර………..දීම……… හොඳයි මීට කලින් රැක සිට පහර දීලා තියන අය අත උස්සන්න. මොනවා එක්කෙනෙක් වත් නැද්ද?

   එක ආධුනිකයෙක් බයෙන් වගේ අත ඉස්සුවා ‘ඕව් හොඳයි, බොහොම හොඳයි, කොහෙදිද පුතා රැක සිට පහර දුන්නේ, දක්ෂ ළමයෙක්. අහගන්නවා අනික් අය, ඕව් පුතා කියන්න ඔයා රැක සිට පහර දුන්හැටි’. ආධුනිකයා ඇඹරෙමින් කිව්වා ‘සර්, මෙතන ඉන්න අපි ඔක්කොම ආධුනිකයෝනේ, ඉතින් අපි තවම යුද්දෙට ගිහින් නැහැනේ’ කියලා. ‘මීහරකා, බූරුවා, ඕක කියන්නද නැගිට්ටේ. ඉඳගනින්’ කියලා දේශකයා අර අහිංසකයට සැර දැම්මා.

  දැන් මෙයා දේශනය කරගෙන යනවා, මෙන්න මෙහෙම. ‘ළමයි අපි සොල්දාදුවෝ උනාම සතුරාට රැකසිට පහර දෙන්න ඕනෑ. හොඳටම පහර දෙන්න ඕනෑ. නැත්නම් සතුරා අපිට රැකසිට පහර දෙනවා. ඒ නිසා අපි හැමවිටම සතුරාට රැකසිට පහර දෙන්න ඕනෑ. කොහොමද පහර දෙන්නේ. රැකසිට තමයි පහර දෙන්නේ. ආයෙත් කියන්න……………….. රැක………..සිට……….පහර………දෙන්නේ………….අන්න හරි. අපි සතුරා එනපාරේ රැකගෙන බලාගෙන ඉඳලා පැනලා පහර දෙනවා. දැන් තේරුණාද? අපි හොඳට රැකගෙන ඉන්න ඕනේ. නැත්නම් සතුරා අපිව දැකලා බයේ පැනලා යනවා. ඒ නිසා හොඳට බලා ඉන්න ඕනේ සතුරා එන පාර අයිනට වෙලා සතුරා එනවද කියලා. එනකොටම පහර දෙන්න ඕනේ දුවන්නම. ආය මේ පැත්ත පලාතට එන්න බැරි,වෙන්න දුවන්නම ගහන්න ඕනේ.

  සාමාන්‍යයෙන් රැකසිට පහරදීම පිලිබඳ දේශනය පැයක දේශනයක්. (දැන්නම් ඉතින් ඔබටත් පුළුවන්නේ ඇම්බුෂ් ලිපි දෙක කියවා ඒ දැනුම ලබාගෙන තිබෙන නිසා :D) ඉතින් දැන් මෙයා පැයක් දේශනය පවත්වන්න ඕනෙනේ. ඒ නිසා, මේ විදිහට, පැයක කාලය, නොයෙක් වැල්වටාරම් කියමින් ඇදගෙන යනවා හැර, වෙනත් විකල්පයක් නැහැ. හමුදාවේ සෙබළුන්ගේ පුහුණු පාඨමාලාවක දේශනයක් පවත්වනවිට, පාඨමාලාවේ සිටින කොමිෂන් නොලත් නිලධාරි උපදේශකයන් (කෝප්‍රල් සිට බළලත් නිළධාරි 1 දක්වා) දේශන ශාලාවේ පසුපසම ඇති ආසන පේළියේ වාඩිවෙනවා. එහෙම කරන්නේ විශේෂයෙන් පාඨමාලාවේ සිසුන් සම්පුර්ණ අවධානයෙන් දේශනය ශ්‍රවණය කරනවාද, දේශකයාගෙන් ප්‍රශ්ණ අසා දැණුම තහවුරු කරගන්නවාද, දේශකයා අසන ප්‍රශ්ණ වලට පිළිතුරු දෙනවාද, පන්තියේ නිදාගන්නවාද, (නිදාගත්තොත් නම් දේශනයෙන් පස්සේ බඩුම තමයි :D) පාඨමාලාවේ කටයුතු පිළිබඳව එහි සිසුන්ට පිළිතුරු දිය නොහැකි කිසියම් ප්‍රශ්නයක් හෝ පාඨමාලාව පිළිබඳව හෝ එම දේශනයට අදාළ විෂයය සම්බන්ධ ගැටළු ඇත්නම්, දේශකයාට ඒ සඳහා පිළිතුරු දීම හා සහාය වීම, වැනි කටයුතු සඳහායි. ඉතින් මේ උපදේශක වරුන්ට පුළුවන් අර නිළධාරියාට වඩා හොඳින් දේශනය කරන්න. මොකද එයාලා ඒ දේශනය ඉහේ කෙස් ගාණට අහලා තියන නිසා. දැන් මේ අමුතු දේශනය අහලා එයාලට හිනාව නවත්තගන්න බැරි තරම්.

  ඔවුන් අතින් කට වසාගෙන හිනාවෙමින් ඉන්නකොට, අණදෙන නිළධාරිතුමාත් ආවා දේශනය නිරීක්ෂණය කරන්න. එය සාමාන්‍ය යුදහමුදා සම්ප්‍රදායක්. පුහුණු පාසලක නම්, එසේ දේශනයක් පැවැත්වෙන විට, සේනාවිධායක,  ප්‍රධාන උපදේශක, වැනි නිලධාරීන් වරින් වර පැමිණ දේශනය නිරීක්ෂණය කරනවා. එහිදී, දේශකයා මෙන්ම සිසුන්ද නිරීක්ෂණයට ලක්කරන්නේ, පාඨමාලාවේ ගුණාත්මකභාවය ආරක්ෂා කරගැනීමටයි. එවැනි නිළධාරියකු පැමිණිවිට, දේශකයා තම දේශනය නවත්වා, ‘පන්තිය නොසැලෙන්’ කියා විධානය කොට, ‘තුමනි, පන්තිය කරගෙන යාමට අවසර පතමි තුමනි’ කියා අවසර ඉල්ලනවා. එසේ කරන්නේ හමුදා සම්ප්‍රදාය අනුව ජ්‍යෙෂ්ට නිළධාරියාට දැක්විය යුතු නිසි ගෞරවය දැක්වීම සඳහායි.

  ඔන්න ඉතින් අපේ දේශකයාත් නිසි ගෞරව සම්ප්‍රයුක්තව අණදෙන නිළධාරියාව පිළිගත්තා. මෙහිදී, එවැනි ජ්‍යෙෂ්ට නිළධාරීන් වාඩි වෙන්නෙත්, පසුපසම ආසන පේළියේ. එහි සිට තමයි, පන්තිය හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. නමුත් දැන් අපේ කතා නායකයාගේ නහය මතට දාඩිය බින්දු හත අටක් දාලා. මොකද ඔහු දන්නවා එක වැරදීමක් වුනොත් තමන්ගේ තත්වය කුමක්ද යන්න අණදෙන නිළධාරි වරයාට දැනෙන බව. කරන්න දෙයක් නැහැ. ඔහු ආපහු දේශනය පටන් ගත්තා. හරි, අපි කොතනද නැවැත්තුවේ. ඔව්, අපි සතුරා එනවිට හොඳට බලා ඉඳලා ගහන්න ඕනේ. එතැන්සිට ඔහු නැවතත් අර කලින් කියන ලද වාක්‍ය ටිකම කියාගෙන යන්න පටන්ගත්තා. අණදෙන නිළධාරි වරයාට වහාම වැටහුණා, කොතැනක හෝ කුමක් හෝ වැරදී ඇති බව. ඔහු දේශකයාට කිව්වා, OK, You stop there and dismiss the class. Then come and meet me at my office’  කියලා. එහෙම කියාගෙන දඩාස් ගාලා පුටුව පස්සට තල්ලු කරලා නැගිටලා ගියා.

  අනේ ඉතින් අපේ දේශකයා, පන්තිය එතනින් අවසන් කරලා, ගියා අණදෙන නිළධාරි වරයාගේ කාර්යාලයට. අණදෙන නිළධාරි වරයා ඔහුට බඩකට විතරක් නෙවෙයි, කන්දෙකත් පිරෙන්නම දැඩි අවවාද දුන්නා. ඔහුට නියෝග කළා, වහාම නිවැරැදි දේශන සටහන සොයාගෙන, එය කියවා, දේශන සැළැස්ම හදාගෙන, තමන්ව හමුවන ලෙස පසුදිනයේ. අනේ ඉතින් අපේ නිළධාරියා රෑ නිදිමරාගෙන, කණිෂ්ට නිළධාරීන්ගේ උපදෙසුත් අරගෙන, දේශනයට සුදානම්ව අණදෙන නිළධාරිතුමාව හමුවුනා. අණදෙන නිළධාරිතුමා පැයක් පමණ ඔහුගේ දේශන සටහන් පරීක්ෂා කර, අනුමැතිය දීමෙන් පසු, ඔහු නැවත නිවැරදි ක්‍රමයට දේශනය කළා.

2012 ඔක්තෝබර් මස 29 දින

Advertisements

Comments on: "කැප්ටන් ගේ රැක සිට පහර දීම." (70)

  1. තවත් හොඳ පොස්ට් එකක්. ඇති විශිෂ්ටයි

  2. ඇමරිකානු සිවිල් යුද්ධය වෙලාවෙ ඉංග්‍රීසි භට පිරිසක් පාරක ගමන් කරද්දි ඈතින් තව පිරිසක් එනබව ඇහිල ඔවුන් වහාම සැගවිල පහරදීමකට සූදානම් වෙලා තියෙනව එහිදි ඔවුන්ට දැන ගන්න ලැබෙනව මේ එන්නෙ ජෝර්ජ් වොශින්ටන් සහ තව ස්වල්ප දෙනෙක් කියල එතනදි ඔවුන්ට සාර්තක ප්‍රහාරයක් දෙන්න අවස්තාව තිබුනත් ඉංග්‍රීසින් සැගවී පහර දෙන්නෙ නෑ කියල ඔවුන් ජෝර්ජ් වොශින්ටන් ඇතුලු පිරිසට නිරුප්‍රදිතව යන්න දීල තියෙනව. මේක මම පොඩිකාලෙ මුතුහර සගරාවක කියවපු දෙයක් ඒ කාලෙ නම් විස්වාස කරා ඒත් දැන්නම් එහෙම හිතන්න අමාරුයි.

  3. මේවා කියවනකොටයි පුහුණුවේදී වෙච්ච හිනා කන වැඩ මතක් වෙන්නේ..කරුමෙට කියන්න පුළුවන් මට්ටමේ ඒවා නෙවෙයි නෙව… 😀

    • මටත් ඒ වගේ කියාගන්න බැරි කතා ගොඩක් තියනවා. මගේ වයසට නොගැලපෙන නිසා තමයි නොලියා ඉන්නේ. මම අහපු කතාවක් කෙටුම්පත් කරලා තියනවා. බලමුකෝ එකවත් ලියලා දාන්න හෙමිහිට.

  4. අනදෙන නිලධාරීතුමා දේශකයාට ඇම්බුශ් එකක් දීල වගේ….:)

    • නිකම්ම නෙවෙයි කවුන්ටර් ඇම්බුෂ් එකක්.

      • අන්න එක ගුරු මුට්ටියක්. මොකක්ද මේ කවුන්ටර් ඇම්බුෂ්?

        • මුට්ටිය නැතුව කොහොමද දරුවා අද ජීවත් වෙන්නේ. 😀

          1. අපිට කලින් ඔත්තුවක් ලැබුනොත් අහවල් තැන සතුරාගේ ඇම්බුෂ් එකක් තියනවා කියලා , අපිට පුළුවන්, ඒ ඇම්බුෂ් එකේ සතුරන් අපි එනතුරු බලා ඉඳලා, අපි නැති නිසා ආපසු යනවිට, ඔවුන්ව ඇම්බුෂ් කරන්න.

          2. අපි විශාල පිරිසක් බව නොදැන, සුළු පිරිසක් යොදවා සතුරා අපිව ඇම්බුෂ් කලොත්, අපෙන් කොටසකට පුළුවන්, වටෙන් කැරකී ඇවිත්, සතුරාගේ පසුපසින් ඔහුට පහර දෙන්න.

          ඔන්න මුට්ටිය හැලුවා අල්ලගන්න එකයි ඇත්තේ. 😀 😀 😀

  5. මොකෝ විචාරක මහත්මයා අද පෝස්ට් එකේ නම ලියලා..

    දේශන ගැන කියවද්දි නම් රසවත් අතීතයක් මතක් වුනා.. ‘පන්තියප් නොසැලෙන්’ කියන හැටි.. මුලින්ම දේශකයා අදාළ ඛන්ඩ භාර නිලධාරියා පන්තිය භාරදෙන්නෙත් එහෙම නේද?

    අපිට නම් දේශනවලට පුටු ලැබුනෙ නෑ.. ගස් යට තමා ඉන්න වුනේ.. මැරිලා මැරිලා මාච් කරලා ඇවිත් දේශනයට වාඩි වුනාම නින්ද යන එක අහන්නත් දෙයක්යැ..

    ඔය වගේ බලෙන් ගෞරවය ගන්න හදපු ගුරුවරයෙකුත් ඒ කාලෙ අපේ ඉස්කෝලෙ හිටියා.. අපේ ඉස්කෝලෙ පොඩි පන්තිවල ඉඳලාම තියෙන සිරිතක් තමයි ගුරුවරයෙක් දුටු තැන ‘God Bless You Sir’ කියන එක.. ඕක සමහර වෙලාවට ගුරුවරුන්ට වදයකුත් එක්ක.. ඒත් මේ කියන මනුස්සයා ඕක කියවාගන්න හරිම කැමතියි.. ඉස්කෝලෙ ඇතුලෙදිටත් වඩා පාරෙදි බස් නැවතුමේදි වගේ.. කිව්වෙ නත්නම් බනිනවාත් එක්ක.. මටත් දෙතුන් පාරක් බස් හෝල්ට්වලදි බැනලා තියෙනවා.. පස්සෙ මම කරේ එයා එනකොටම හැංගෙන එක.. සමහරවිට එයාට පේනවත් එක්ක..

    • අස්සනකුත් ගහලාම දාන්න හිතුනා.

      ඔව් ඔබ හොඳින්ම දන්නවනේ ශිෂ්‍යභට පුහුණුවේදී පන්තිය බාරදෙන හැටි. එක වරක් අපේ ඉස්කෝලේ හිටිය මගේ යාලුවෙක්, සාජන් මේජර් කාලේදී, උදෑසන පෙරෙට්ටුව වාර්තා කළා ඛණ්ඩ භාර නිලධාරි වරයාට. (මගේ යාලුවා සිංහල නෙවෙයි. එක අතකට පවු මෙහෙම කියනඑක) තිදෙනෙක් ගිලන්ව ඇත තුමනි, කියන ඒක තිදෙනෙක් ගිලාබැෂ ඇත තුමනි, කියවුනා. අපිට ගිය හිනාව නිසා අර නිලධාරියා අපට දඬුවම් දුන්නා.

      දේශනයක් පුටු වලද ගස් යටද කියලා තීරණය වන්නේ එහිදී උගන්වන කරුණු අනුවයි. ගොඩක් රූප සටහන් පෙන්වනවානම් වඩාත් සුදුසු පුටුව තමයි.

  6. මෙහෙ හදිසි තත්වය යටතේ වාහන පදවන්නට අවසර ලැබිච්ච අය කිහිප දෙනෙක් හිටිය. ඔවුන් කිසිවෙක් ඒ කාලය ඇතුලත කොහේවත් ගියේ නැහැ, ඔවුන්ව අවශ්‍ය වෙච්ච හදිසි තත්වයක් පැන නැඟුනේ නැති නිසා. මට මතක් වුනේ ලංකාවේ දී හදිසි නීතිය යටතේ මහා මාර්ග වල යන්න අවසර ලැබෙන අය වට පිටාවේ ඉන්න අනිත් අයට පෙන්වන්න නිකරුනේ තෙල් පුච්චාගෙන අනවශ්‍ය ගමන් බිමන් යන හැටි.

    • අරුණි, බොහොම ස්තුතියි කුනාටු තර්ජන මැද සිටිද්දීත් මේ පැත්තේ ආවාට. 15 දෙනෙක් මරුනලු නේද? මම දැක්කා රුපවාහිනි වාර්තා කරයෙක් ස්කුබා ඩයිවින්ග් කිට් එකක් ඇඳගෙන වාර්තාකරණයේ යෙදෙනවා. තවත් වාර්තාකාරයෝ බොරුවට කුණාටුවට පනිනවා. තමන්ගේ චැනල් ඒක උස්සලා තියන්න වෙන්න ඇති මෙහෙ වගේම. ඒ වගේම ජීවිතාරක්ෂක භටයෝ ඒ ජෝකර්ලාව අයින් කරන්න උත්සාහ කරණ හැටිත් දැකලා මට හිනාව නවත්තගන්න බැරිවුනා.

      • කුණාටුව නිසා මිය ගියා යැයි කියන සංඛ්‍යාව 50 ක් හැටියට දැනට වාර්තා වෙන්නෙ. කුණාටුවත් එක්ක සීතල වැඩිවුනා. සීතල වතුර වැටෙද්දී ස්කූබා ඇඳුම සීතල සෑහෙන ප්‍රමාණයකින් අඩු කරනවා. ඒ නිසා ඒක ඇඳගෙන යාම නම් නුවණැති වැඩක්. කැප්ටන්ලාට වගේ නෙමෙයි මාධ්‍යවේදීන්ට ඒ ඒ චැනල් ගෙවන්නෙ නම් ඒ අය තමන්ගෙ චැනල් එක උස්සලා තියන්න හදන විකාර වැඩ වලටම නේද? 🙂

        • අරුණි, මම පලවෙනි වතාවටයි ඇහුවේ උමං දුම්රිය මාර්ග යටවෙලා කියලා. ඒ උමං දුම්රිය මාර්ගයක තත්වය බලන්න කිමිදුම් කරුවෙක් යන හැටිත් දැක්කා.

  7. ආයෙත් කියන්න රැක සිට පහර දීම,ආයෙත් කියන්න රැක සිට පහර දීම……………………
    හොඳ කතාවක් මටනම් මර හිනා
    මම මේක කියව කියව හිනවෙද්දී ගෙදර උන් බලනව මේකට පිස්සුද කියල

  8. ‘බජ්ජ හුටයෝ..’ හික් හික්.
    ඔවැනි දේශනයක් කරන්න කියල එක දවසින්ද නියෝග එන්නෙ. කොම්පීටර නැති යුගයේ විස්තර හොයා ගන්නත් අමාරු වෙන්න ඇති.

    • එක දවසින් නෙවෙයි විනාඩි 10 කට කලින් කිව්වත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ සෑම දෙයක්ම ඔලුව නමැති කොම්පියුටරයේ නැත්නම් යුද්දේ පරාදයි.

      • හපොයි දෙවියනේ විනාඩි 10න්,,, ඔහොම එකක් උනොත් බෑ කියන්න බැරිද?? මටත් ඔහොම සීන් කෝන් එකක් උනා. ඉස්සර K.D.A එකේදී. මම “හාපෝ මට බෑ” කීව. මම සිවිල් වැසියෙක් හන්දත් පිනට වැඩ කල හන්දත් බරක් පතලක් තිබ්බේ නෑ.

        • යුද්දෙට ගියාම අපිට අපේ සතුරාට කියන්න බැහැනේ ‘පොඩ්ඩක් හිටපන් මම පොතෙන් බලලා ඇවිත් දෙනවා තොට ඇම්බුෂ් එකක්’ කියලා. හමුදා දැනුම ඔලුවේ නැත්නම් ඔබ යුදබිමේ ඇවිදින මළමිනියක් හා සමානයි.

      • මට නම් පුළුවන් විනාඩි දහයෙන් ඇම්බුශ් කරන හැටි කියලා දෙන්න.. කලින් ලිපි දෙක කියෙව්වනෙ..

  9. මම අහලා තියෙනවා උසස් නිලධාරියෙක් නිළ ඇදුමෙන් සැරසිලා හිටියත් හිස් වැසුම පැළැද නැතිනම් සැලියුට් කරන්න අවශ්‍ය නෑ කියලා… ඒ කථාව සත්‍යද ?

    නිලධාරීන්ගේ මේ වගේ අඩුපාඩු ඒ අයගෙ උසස් වීම් වලට බල පාන්නෙ නැද්ද ? සටහන අවසානයේ තියෙන අත්සන කාගෙද…. ඔන්න මට ඇති වුන ප්‍ර‍ශ්න…

    අලුත් පෝස්ටුවක් සමග හැමදාම අලුත් වෙන ඡායාරූපය නම් ඉතාම වටිනවා…

    • ශිෂ්‍යභට කාලෙදි මම අහලා තියෙන විදිහට සැලියුට් කළයුත්තේ තරු වලට ඉහළ නිලයන්ට පමණයි.. ඒවගේම අචාර කරන්නාත් ලබන්නාත් හිස් වැසුම් පැළඳසිටිය යුතුයි.

    • සියලුම නිළයන් ගොඩනැගිල්ලකින් පිටත සිටිනවිට හිස්වැසුම පැළඳ සිටීම අනිවාර්යයි. නිලධාරියා හෙළුවෙන් හිටියත්, ඊට පහල සිටින නිලධාරීන් හා සොල්දාදුවන් සම්පුර්ණ නිළ ඇඳුමෙන් සැරසී හිස් වැස්මද පැළඳ සිටිනවා නම්, අර නිලධාරියාට ආචාර කළ යුතුයි. ඕනෑම නිලයක අයකු නිළ ඇඳුම ඇඳ සිටින විට, හිස්වැස්ම පැළඳ නැතිනම්, තමන්ට වඩා උසස් නිලයක කෙනෙකුට ආචාර කිරීම හෝ තමන්ට වඩා පහල නිලයක අයකු තමන්ට අචාර කලවිට, එයට ප්‍රති ආචාර කිරීම හෝ කළ නොහැකියි. ඇමරිකානු හමුදාවෙනම් සාමාන්‍ය ඇඳුමෙන් සිටියදීත් අචාර කළ යුතුයි. ප්‍රති ආචාර කලයුතුයි.

      නිලධාරීන්ගේ දුර්වලතා අනිවාර්යයෙන් ඔවුන්ගේ උසස්වීම් කෙරෙහි බලපානවා. සෑම නිලධාරියකු වෙනුවෙන්ම (සෙසු නිලයන්ගේ නම් කෝප්‍රල් සිට බලලත් නිලධාරි 1 දක්වා) වාර්ෂික රහස්‍ය වාර්තාවක් හදනවා, ඔහුට අණ දෙන නිලධාරියා විසින්. එහි හොඳ නරක දෙකම ලියන්න පුළුවන්. එය එතනින් ඉහල මුලස්ථානයට යැවීමට පෙර අර නිලධාරියාට අවස්ථාව දෙනවා කියවා බලා අත්සන් තැබීමට. එහිදී ඒ වාර්තාවට තමන් එකඟ නැත්නම් එකඟ නොවෙමි කියා ලියා අත්සන් තැබීමට අයිතිය තිබෙනවා. එතනින් ඉහලට ගිය විට අසාධාරනකම් සිදුවෙනවානම් ඒ පිලිබඳ දුක්ගැනවිලි පිලිවෙලින් ඒ ඒ උසස් නිලධාරියා වෙතත්, ඊළඟට හමුදාපති තුමාටත් එහිදීත් සාධාරණය ඉටු නොවුනොත් ජනාධිපතිතුමා දක්වාත් යාහැකියි.

      අස්සන් පොජ්ජ මාගේය. නිකමට යොදා බැලුවෙමි. නොගැලපේනම් ඉවත් කොරමි.

      අලුත් ලිපියක් සමග ඉදිරිපත් කිරීමට පින්තුරයක් හෙවීමත් සටනකි.

      ප්‍රතිචාරයට බොහොම ස්තුතියි.

  10. මීට පෙර ලිපිවලින් නොදන්නා දේවල් ගොඩක් දැනගත්ත.අද ලිපිය රස සාගරයක්!”බජ්ජ හුටයෝ” විහිළුවට හරි අදමයි ඇහැව්වේ.අනිත් එක ජිල්බෝල හොද්දක් හදල බලන්න හිතුන.

    • ඔය බජ්ජ හුටයෝ කෑල්ල අදටත් ඒ නිලධාරි නිවස්නයේ ඉඳහිට කියවෙනවා. ජිල්බෝල හොද්දක් අමුතුවෙන් හදන්න ඕනේ නැහැ. දැන් ඉන්න සමහර සිංහල ගායකයන් කියන අය. පරණ සින්දු වල අන්තරා කොටස්, අතුරු වාදන කොටස්, කිසි හිරිකිතයක් නැතුව හොරකම් කරලා, කියන සින්දුවක් ඇහුවොත්, ජිල්බෝල හොද්දේ රස තමා දැනෙන්නේ.

  11. ඔහොම වැඩත් වෙනවා එහෙනං…!

  12. සමහරු ඔහොම තමයි තරු පටි නලලේ අඳින්නෙ. ඕක හීන මානයක්නෙ. සමහර නිළධරීන් විතරයි officer and a gentleman වර්ගයට අයිති වෙන්නෙ.

    අර යටින් ගහලා තියෙන්නෙ විචාරකගෙ අත්සන නම්, අරුන් ඕකත් එක්කම කොපි කරයි.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    • නිලධාරියානම් ඔය තරු ‘කොහේ’ ගහගත්තම මොකද? එයාට අයිති ඒවානේ. සමහර නිලධාරීන්ගේ නෝනලා, මහත්තයාගේ තරු තමන්ගේ ………..ගහ ගන්න ඒක තමයි ඉවසන්න ආමාරු. 😀 😀 😀

      බලමුකෝ අත්සනත් කොපි කරයිද කියලා.

      • හහ්, හහ් මමත් හිතනවා ඕක හමුදාවේ අයට ටිකක් දැනෙනවා ඇති කියල. එක්තරා පිං අතේ පොදු වැඩ සටහනකදී එක්තරා නෝනා කෙනෙක් කීවා නෙව මට,, “තැබිලි ගෙඩියක් කපලා ගෙනෙන්” කියල, ටිකක් තදට හමුදා ඕඩර් එකක් විදියට.
        අහිංසක මමත් ගෙඩි 2ක් ම කපලා ගිහින් “which one do you like, sweet lady” කීවම මූන 2 ක උනා. පස්සෙ තමා දැනගත්තේ හමුදා ලොක්කෙක්ගේ බිරිදක් බව.

      • “අහිංසක මමත් ගෙඩි 2ක් ම කපලා ගිහින් “which one do you like, sweet lady” කීවම මූන 2 ක උනා. ”

        තේලුනේ නෑ..

  13. ජිල් බෝල හොද්ද වගේද මස්කටුයි ඉදිආප්පයි , අන්න කෑම

  14. // (නිදාගත්තොත් නම් දේශනයෙන් පස්සේ බඩුම තමයි ) //

    එදා එහෙනම් පන්තියටම බඩු හම්බෙන්ඩ ඇති නේද ? 🙂

    • දේශනයකදී කවුරුහරි නිදාගෙන අහුවුනොත් ඔහුව පහසු ඉරියව්වේ (easy position) තබනවා. පහසු ඉරියව්ව කියන්නේ, ඔහු තම සපත්තුවේ පා ඇඟිලි තුඩු කොටස (toe) තම ඩෙස්ක් එක මත තබා, අත් දෙකෙන් හිටගෙන ඔලුව උස්සා දේශකයා දෙස බලාගෙන ඇහුම්කන් දිය යුතුයි. හරිම පහසු ඉරියව්වක් 😀 😀 😀

  15. අද මරු රස කතාවක්නේ ලියලා තියෙන්නේ!

  16. අර තරමක් වයසක කපිතාන් තැනගේ කතා ටික හරිම ලස්සනයි. එයාගේ දේශනය වගේ දේශනයක් කරන්ට තියනවා නම් හොඳයි. දවසක ට්‍රයි කරලා බලන්ට ඔනි. 🙂

    ජිල්බොල හොදි….විචාරකටත් හිතටත් හොඳ අදහස් එනවානේ. 😀

    • අන්න වැඩේ කරනවානම්. ඔයා ඉන්න රටේ ශ්‍රී ලාංකික කට්ටියක් අල්ලාගෙන දවසක කරන්න ඒ වගේ දේශනයක්.

      දවසක හදලා බලන්නකෝ ජිල්බෝල හොදි ටිකක්. ඒ කියමනේ යටි පෙළ අරුත හරි වැදගත්. ජිල්බෝල හරි ලස්සනයි. පාට පාට වීදුරු බෝල වලට හිත ඇදිලා යනවා. නමුත් ඒවා ජිල්බෝල ගහන්න මිසක් හොදි හදන්න සුදුසු නැහැනේ. හොද්දක් හැදුවොත් ලැබෙන්නේ හොද්දට යොදපු මිරිස් තුනපහ රසය පමණයි. එතනින් එහා හිතලා බලන්න.

  17. උස් තැන් දැක හැකිළෙන්නේ, මිටි තැන් දැක පුප්පන්නේ 🙂

  18. බොහොම සීරියස් ලිපි කීපයකට පස්සෙ මේ වගෙ එකක් ලියන එක නම් නියමයි.. චිත්‍ර අඳින්නත් දක්ශයි වගේ මට නම් පෙනෙන්නෙ..

    • ලියාගන්න බැරි කතා ගොඩාක් තියනවා අනේ. ඒවා සම්පුර්ණයෙන්ම පොඩි ළමයින්ට පමණයි. ඉතින් මොනවා කරන්නද? බොහොම ස්තුතියි ඇගයීම පිළිබඳව.

  19. ලිපියනම් වෙනදා වගේම සුපිරියි විචාරක
    එන්න සමකය වටේ රවුමක් යන්න

  20. හික් හික් …. බජ්ජ හුටයෝ. ඒක නම් මරු. මට නිකමටවත් කලින් ඕක හිතිල නෑ නෙව. 😀

    අර කපිතන්ගෙ ජාතියෙ බඩු නම් සාමාන්‍ය සෙබලුන්ටත් බයිට් වෙනව ඇති නේ. මට මතකයි ටික කාලෙකට කලින් බලපු හින්දි ෆිල්ම් එකක හිටියා නිලධාරියෙක්, වැඩ කරන අයට උපදෙස් දෙන්න යනව මෑන් මෙන්න මෙහෙමයි ඔය වැඩේ නිවැරදිව කරන්නෙ කියල එයාම ඒ වැඩේ කරන්න පටන් ගන්නව.

    • හුඟ දෙනෙක් කලින් හිතලා නැති තව දේවල් තියනවා ලියන්න තමයි අමාරු. ඒවා බොහොමයක් 21 +++

      ඇත්තටම ඔය කපිතන්ගේ තවත් කතා තියනවා. ආයේ වෙලාවක ලියන්නම්.

  21. හරිම රසවත් ලිපියක් !!

  22. ක්සැන්ඩර් | Xander said:

    අපුරු කපිතාන් කෙනෙක් වෙන්න ඇති. එත් මට හිතෙන්නේ මෙයා එතනින් උඩට නම් යන්න නැතුව ඇති. කමෙන්ට් ටිකත් කියවගෙන එන ගමන් මට මතක්වුනේ Sun Tsu ගේ Art of War කියන පොත.

  23. මම මුලින් හිතුවේ වෙන රටක කතාවක් කියලා.

  24. ඇනෝපිලිස් said:

    කතාව පන්කාදුයි.. ඒ වගේම තරහා අවසර……. ඔබතුමා අනිත් අයට කොපි කරන්න එපා කිව්වට ඔය ලස්සනට වෝටර් මාක් මකල, ගත්තෙ කොහෙන්ද කියල නොදා නෙට් එකේ පින්තුර උජාරුවට දාල තියෙන්නෙ……..මගෙන් වැරදි දෙයක් කියවුනා නම් සමා වෙන්න…. අනික කොපි කලාට කම් නෑ කොපි කල තැන දානවනම් ” යන මතයේ මම ඉන්නෙ…………

    • මම ගන්න පින්තූර වෙනමම සේව් කරලා තියාගෙන ඉන්නවා. ඒ සෑම එකකම ලින්ක් එක දාන්න ගියොත් ලිපිය පිරෙයි ඒ ලින්ක් වලින්. කවදා හෝ පින්තුරය පිලිබඳ ප්‍රශ්නයක් ඇතිවුනොත්, අර සේව් කල පින්තුරයත් සමග සියල්ල පෙන්වන්න සුදානම්.මෙතෙක් කලක් ප්‍රධාන පෙලේ වෙබ් සයිට් වලින් හෝ මගෙන් මේ ගැන විමසා නැහැ. මම එක ලිපියක් ලියා බලන්නම් ලින්ක් දාලා.

  25. මේ වගේම පොලිස් නිලදාරියෙකුත් හිටය. “සර්” කියල අහ ගන්න හරි කැමති. කාටහරි ඇති/නැති වරදක් කියල බනිනවා. සර් කියල අහගන්න. 🙂
    තව උසස් රැකියා කරන අයට බැනල ගිහින් කියනවලු මම අර දොස්තරටත් බැනල තියනවා අර විදුහල්පතිටත් බැනල තියනවා අර නිලදාරියටත් බැනල තියනවා අර ……. මෙහෙම ලිස්ට් එකක් කියනවලු.

  26. අයි.ටී පැත්තෙන් මම කරන දේවල් වලින් දේශනයක් දෙන්න කීවොත් නම් විනාඩියෙන් දෙන්න පුළුවන්

  27. මම නම් දන්නේ නැති දෙයක් ඕනෙම කෙනෙක්ගෙන් අහල දැනගන්නවා. මොකද එහෙම ඇහුවා කියල මට දෙයක් නැති වෙන්නේ නැහැ. ඇති වෙලා තියෙනවා මිසක් (අත්දකීමන් කියන්නේ) අහන්නේ නැතිව හිටියොත් ගොඩක් දේවල් නැතිවෙනවා.

  28. […] මේ පහළ පින්තූරයේ ඉන්නෙත් අපේ හොඳම ගායකයෙක්. මම මෙයා ගැන ලිපියක් මීට කලින් ලියලා ති….  […]

  29. හිකිස් ලෙඩක් වගේ සර්

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: