විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


1     මතකද මම කලකට පෙර ලිපි පෙළක් ලිව්වා, ‘අපි අහපු වෑර්ලස්‘ කියලා. අද ලියන්න යන්නේ ඒ හා සමානවම ඒ කාලේ අපි දැකපු කාර් ගැනයි. මේ එක එක කාර් ගැන දිග විස්තර ලියන්න හැකියාව සහ මතකය තිබුණත්, සියලුම හැඳින්වීම් හැකිතරම් කෙටියෙන් කරන්න හිතුවා. අද වුනත් විවධ කාර් මෝස්‌තර ගැන උනන්දුවක් දක්වන අය සෑහෙන්න ඉන්නවා. එමෙන්ම විවිධ කාර් මෝස්‌තර රාශියක් තිබෙනවා. ඒ මෝස්‌තර ඉතා වේගයෙන් අලුත් වෙනවා. අපි කුඩා පාසල් සිසුන් හැටියට සිටි කාලේ මේ රටේ තිබුණු සීමිත කාර් වර්ග සහ මෝස්‌තර අපේ මතකයේ හොඳින් තැන්පත් වුණා. ඒ මතකය අවදි කිරීමක් තමයි මේ කරන්නේ. මා හිතනවා මේ කාර් ගැන දන්න අය ඔබ අතර ඇති. ඉතින් එවැනි අයට පුළුවන් මේ ලිපියේ අඩුපාඩු සම්පූර්ණ කරන්න. එහෙනම් පටන් ගනිමුද?

   හැබැයි මේක ලේසි වැඩක් නෙවේ. මතක් වෙන පිළිවෙලටයි මම ලියන්නේ. ඔබ අතරින්, මේ කාර් අපේ රටට ආව කාලය දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න, මොන රථයද මුලින්ම ආවේ කියලා.

   මගේ මතකයට මුලින්ම එන්නේ මොරිස් වර්ගයේ කාර්. අපි කුඩා කාලයේ වැඩිපුරම දැක්කේ මොරිස් වර්ගයේ වාහන. 1912 දී තමයි මොරිස් සමාගම එංගලන්තයේ ආරම්භ කර තිබෙන්නේ. මෙන්න මගේ මතකයේ ඇති මොරිස් රථ කීපයක්. ඊට පෙර බලන්න මොරිස් ලාංචනය කාලීනව වෙනස්වී ඇති ආකාරය.

morris logo

Morris_8_1936ඉහත ඇති මොරිස් එයිට් රථය 1936 දී නිපදවන ලද්දක්.  

  මේ රථයක්  1960 දශකයේදී කෑගල්ල ප්‍රදේශයේ තිබුණා මට මතකයි. නමුත් වඩාත් බහුලවම දකින්න ලැබුනේ මේ පහළින් තියන මොරිස් එයිට් මෝස්තරයයි. 

Morris_8_Series_E

මෙය මොරිස් එයිට් ‘ඊ’ මෝස්තරයේ රථයක්

   මොරිස් වර්ගයේ කාර් අතරින් ලංකාවේ අතිශයින්ම ජනප්‍රිය වුණේ මොරිස් මයිනර්, මොරිස් මයිනර් ටුවරර්, සහ මොරිස් 1000 යන මෝස්තරයි. ඒ මෝස්තර පහත දක්වනවා. මොරිස් මයිනර් රථය විශේෂයෙන්ම පාවිච්චි කළේ රියදුරන් පුහුණු කිරීමට සහ කුළී ගමන් යාමට. 

Morris_Minor_MM

800px-1949_Morris_Minor_Convertible_-_Flickr_-_The_Car_Spy_(8)

800px-Morris_Minor_1000_green_woody_l

  මේ ඉහත දක්වා තිබෙන මොරිස් මයිනර් 1000 රථයේ විශේෂත්වයක් තියනවා. ඒ තමයි එහි පෙනෙන අර කහ පාට පටි වැනි කොටස් සම්පූර්ණයෙන්ම ලීයෙන් සකසා තිබීම. මේ රථය, මුල් කාලයේදී, තේ වතුවල අධිකාරි වරුන් විසින් පාවිච්චි කරනු ලැබුවා.

  ඒ කාලයේ වාහන පැදවීමේදී බොහෝවිට පාවිච්චි කලේ හස්ත සංඥා බව ඔබ දන්නවා ඇති. නමුත් ඒ කාලයේ සමහර වාහන වල අපූරු ක්‍රමයකට වමට හැරවීම සහ දකුණට හැරවීම පෙන්වන ගැජට්ටුවක් තිබුණා. එය ක්‍රියා කරවුයේ රථයේ සුක්කානම අසළ සවිකර තිබු ණු යාන්ත්‍රික ස්විචයකින්. ඒ ස්විච් එක දැන් වාහනවල තිබෙන වයිපර් ස්විච් එක වගේ. මේ පහත දක්වන්නේ ඒ සංඥා උපකරණයයි. මෙයට කිව්වේ signal hand කියලා. මෙහි ඇතුලේ කුඩා විදුලි බුබුලක්ද දැල්වුනා. 

6a00d83452989a69e2017615215cab970c-800wi

  මොරිස් සමාගමේ වාහන තව බොහොමයක් තියනවා. ඒ සමාගම ගැන විතරක් කතාකරන්න එක ලිපියක් මදිවෙයි. ඒ නිසා කෙටියෙන් කරුණු දක්වනවා. මොරිස් ඔක්ස්ෆර්ඩ් නමින් හැඳින්වෙන වාහන මෝස්‌තර අවම වශයෙන් දෙකක් මට මතකයි. මේ මුලින්ම දක්වන මොරිස් ඔක්ස්ෆර්ඩ් රථය එතරම් ජනප්‍රිය වුණේ නැහැ. 

1200px-Morris_Oxford_MO_Saloon

  නමුත් මොරිස් ඔක්ස්ෆර්ඩ් රථයේ මෙන්න මේ මෝස්තරය අතිශයින් ජනප්‍රියයි. මා අසා තිබෙනවා මේ මෝස්තරය යාපනය ප්‍රදේශයේ විශේෂයෙන් ජනප්‍රියයි කියා. එමෙන්ම මා දැක තිබනවා යාපනය නගරයේ මේ වර්ගයේ රථ සෑහෙන සංඛ්‍යාවක්. 

1280px-Morris_Oxford_Series_V_as_in_early_Pinifarina_1489cc_mfd_1959

  මොරිස් සමාගමට අනුබද්ධිතව 1924 දී ඇරඹුණු එම්.ජී. සමාගම විසින් ආසන දෙකේ වේගවත් වාහන නිපදවීම ඇරඹුනා. MG යන අකුරු දෙකෙන් කියවුනේ, Morris Garages යන්නයි. මෙම MG වාහන ලොව පුරා අතිශයින් ජනප්‍රිය වුණා. එහි මෝස්‌තර දෙකක් පමණක් පෙන්වන්නම්. මුලින්ම තිබෙන්නේ MG ලාංඡනය එදා සහ අද දැක්වෙන ආකාරයයි.

22481-mg-logo

1200px-MG_TF_1954_FrontWP

800px-1961_MG_A_Twin_Cam.1

  මේ ඉහත දක්වා ඇති කොළපාට MG රථය සුදු, රතු, වැනි පාට වලින්ද තිබුණා. ඒ කාලේ මේ කාරයක අයිතිකරුවකු වීම අද හමර් රථයක් හිමිකරුවකු වීම වගෙයි.

  මොරිස් කාර් ගැන තවත් දිග විස්තර ලියන්න හැකිවුණත් මා හිතනවා ඉක්මනින්ම තවත් වාහන වර්ගයක් කරා යාම සුදුසුයි කියා. මීළඟට මා ඔබව රැගෙන යන්නේ ඔස්ටින් වර්ගයේ වාහන වෙතයි. මොරිස් වාහන තරම්ම ලංකාවේ පනමක් නොව ලෝකයේම ජනප්‍රියවූ වාහන පෙළක් ඔස්ටින් සමාගමෙන් නිපදවුනා. ඔස්ටින් සමාගමේ ඉතිහාසය 1905 තරම් ඈත අතීතයට දිවටනවා. මා මෙහිදී ඔබවෙත පෙන්වන්නේ ලංකාවේදී බහුලව දකින්නට ලැබුණු මෝස්‌තර කීපයක් පමණයි. ඒ ඒ කාර් මෝස්තරය අදාළ පින්තූරයේම සඳහන් කර තිබෙනවා. මුලින්ම තිබෙන්නේ ඔස්ටින් ලාංඡනය, විවිධ කාල වකවානු වලදී වෙනස්වී ඇති ආකාරයයි. 

austin_logo

1

OLYMPUS DIGITAL CAMERA

Austin A35 van

  ඔස්ටින් කාර් අතරින් බොහොම ජනප්‍රිය, මහේශාඛ්‍ය කාර් එකක් වුණේ ඔස්ටින් ඒ 55 කේම්බ්‍රිජ් රථයයි. මට මතකයි මගේ ලොකු අක්කා 1968 වසරේදී මනමාලියකවී ගමන්ගත්තේ මේ රථයකින් බව. ඒ කාලයේ, මට මතක හැටියට, ‘පුංචි බබා’ චිත්‍රපටියේ හෝ වෙනත් චිත්‍රපටියක, මේ වර්ගයේ රථයක්, මංගල රථය ලෙස යොදාගත් ජවනිකාවක් තිබුණා. එහිදී, එක පින්තූරයක් තිබෙනවා, රථයේ පසුපස වම් පැත්තේ දොර වීදුරුවෙන්, මංගල යුවල පෙනෙන ආකාරය දැක්වෙන ලෙස ගත් එකක්. මම හිතන්නේ, ඒ පින්තූරයේ ඉන්නේ, ජෝ අබේවික්‍රම සහ මාලනී ෆොන්සේකා. ඒ පින්තූරය බොහෝවිට, අපේ ජ්‍යොෂ්ඨ සිනමා නළු, ටෝනි රණසිංහගේ සොයුරු රැලෙක්ස් රණසිංහ විසින් ගත් එකක් බවයි මතක. කෙසේ හෝ ඒ කාලයේ සෑම විවාහ මංගල්‍යයකදීම මේ ආකාරයට පින්තූරයක් ගත්තා. මගේ ලොකු අක්කාගේ විවාහ මංගල ඡායාරූප අතරත් එවැන්නක් තියනවා. ඉහත දැක්වෙන මොරිස් ඔක්ස්ෆර්ඩ් රථයත්, මේ පහත දැක්වෙන ඔස්ටින් කේම්බ්‍රිජ් රථයත් සංසන්දනය කර බලන්න. 

1200px-Austin_A55_mkII_Cambridge_1959_front

  ඉහත දක්වා ඇති බොහොමයක් කාර් මෝස්‌තර වල Mark I, Mark II, ආදී වශයෙන් තවත් මෝස්‌තර තිබුණත්, ඒ සියල්ල මෙහි දක්වන්නේ නැත්තේ, ලිපිය ඉතා දීර්ඝ එකක් වීම වලක්වා ගන්නටයි. මගේ පරමාර්ථය, මේවා ඔබට පෙන්වාදීම සහ සමහර අයගේ මතකය අලුත් කිරීමයි. ඊළඟ කොටසේදී තවත් මෝටර් රථ වර්ග ගැන කතා කරමු.

my-signature-for-blog[1]2014 අප්‍රේල් මස 15 දින 2341 පැය

Comments on: "අපි දැකපු කාර් (පළමුවැනි කොටස) – Vintage Cars in Our Time (Part One)" (37)

  1. මේ මොඩල් වලින් අදටත් සුපිරි තත්වයේ තිබෙන කාර් මම ගොඩක් දැකලා තියනවා,MG කාර් තියන අය විකුනන්නෙත් නෑ අද කාලෙ,ලගදී කොළබදී MGප්‍රදර්ශනයක පොටෝ දැක්කා..
    විචාරක හිල්මන් කාර් මාක් එකක්ද නැත්නම් මොරිස් වල ආපු මොඩල් එකක්ද?අපේ සීයා අවුරුදු 17 දී A40 කාර් එකක් අරගෙන තියනවා,රු 3000 ගානක් කියලා කිවුවේ මට මතක විදිහට,මොරිස් කාර් ඉතා වේගවත් කියලා මම අහලා තියනවා.

    • ඇත්තෙන්ම මේ කාර් වලින් බොහොමයක් ශක්තිය සහ කල් පැවැත්ම අතින් බොහොම ඉහලයි. නමුත් ඉන්ධන කාර්යක්‍ෂමතාව අතින් පහලයි. ඒ නිසයි භාවිතයෙන් ඉවත්වුනේ. හිල්මන් කාර් ගැන ඉදිරියේදී කියන්නම්. MG කාර් වලට තියන ඉල්ලුම අදත් අඩුවෙලා නැහැ.

      • විචාරක ඔස්ටින් මිනි කූපර් ,රෝවර් මිනි කූපර් වල සම්භන්දය මොකද්ද? ඔය ඔස්ටින් කම්පැනිය වහපු කාලෙ ලන් කරලද ඔස්ටින් මිනි කූපරේ ආවෙ.ඊලග පෝස්ට් එකට මිනි කූපරෙත් දාමුකෝ

  2. හොද ලිපියක් පටන් අරගෙන පරණ කාර් ගැන
    ඉස්සර අපේ සීයට තිබුනා මොරිස් මයිනර් එකක්, මම දවසක් ඒක රිවස් කරද්දි තාප්පෙක වැදිලා තාප්පේ ඒ කොටස කඩාගෙන වැටුනා. කාර් එකේ බෆර් එක පොඩ්ඩක් තැලුන එක විතරයි වුනේ.
    ඔස්ටින් කේම්බ්‍රිජ් කාර් එකක් අපේ මාමටත් තිබුනා. තෙල් ගැලුමටම පොඩි දුරයි යන්න පුළුවන් වුනේ. ඒ නිසාම විකුණලා දැම්මා.

    • ඒ කාලේ තිබුන සමහර කාර් හැප්පුනොත් දැන් තියන තාප්ප විතරක් නෙවෙයි ගෙවල් වුනත් කැඩෙනවා. ඒ කාර් එච්චරටම ශක්තිමත්. ඔස්ටින් කේම්බ්‍රිජ් පාවිච්චිය අතහරින්න එක හේතුවක් තමා ඉන්ධන ප්‍රශ්නය.

  3. ලංකාවෙ ප්‍රසිද්දම එම්ජී ස්පෝට් කාර් එක රන්ජිත් විජේවර්ධනගෙ “ලු”! ලේක් හවුස් එක “ජනතා පාළනයට” දීල අත පිහදාගෙන ඒ කාරෙකේ නැගල ගිය හැටි ගැන ගුලි ලියල තිබ්බ කියවන කෙනාට චිත්‍රපටියක් වගේ පේන්න.

    මොරිස් කොම්පැනියෙ මිනි මයිනර් සහ මිනි මොක් එකතුවුනානම් තවත් වටිනව. මට මයිනර් කාර් දකිද්දි මතක් වෙන්නෙම විජේ ගාමිනී කළං රඟපු “නැතිවම බැරි ටැක්සී” සින්දුව. තඩි මීටරේ එලියෙන් හයි කරපු වහල කහ ගාපු පාර අයිනෙ ඉඳල අත දාල නවත්ත ගන්න තරම් තිබ්බ මයිනර් ටැක්සි වල සැප්ට ගිය කාලයක් ලංකාවෙත් තිබ්බ කියල අපී පොඩි උන් නං පිළිගන්න එහෙකුත් නෑ දැන්!!

    • බොහොම ස්තුතියි මිනි මයිනර් සහ මිනිමොක් මතක් කර දුන්නට. ඊළඟ ලිපියට එකතු කරන්නම්.

      ඇත්තටම ඒ කාලේ ටැක්සී………කියලා කෑ ගහලා ටැක්සියක් අරන් ගොඩ වෙලා ගිය හැටි අදටත් මතකයි.

    • විනිවිදිමි,
      ඔබට මතකද මේ සින්දුව තියන චිත්‍රපටය?
      මේ සින්දුවට ලින්ක් එකක් හොයාගන්න පුලුවන්ද?

  4. ඔස්ටින් අය්යා said:

    විචාරක මහත්තය මොරිස් මයිනර් 1000 කියල දාල තියෙන්නෙ Morris Minor 1000 Traveller රථයක්. ඕක මොරිස් මයිනර් 1000 station wagon එකක්. Station wagon automotive body-style also called an estate car. මේවා Morris Minor Estate කියලා කිව්වේ ඒකයි.

    මොරිස් මයිනර් 1000 කියන්නෙ ඔස්ටින් A-Series එන්ජිම (948cc or 1048cc) තියෙන මොරිස් මයිනර් මොඩල් එක. ඒක දොර 2 / 4 saloon, convertible, estate (Station Wagon) කියන තුන්-හතර විදියටම හැදුවා.

    • බොහොම ස්තුතියි. මම බලාපොරොත්තු වෙනවා මේ වගේ නිවැරදි කිරීම් දිගටම කරනු ඇති කියලා. පුලුවන්නම් තව කමෙන්ට් එකක් දාන්න පින්තූර සහිතව. මම අර 1000 එකේ පින්තූරය ගත්ත තැන තිබුන නම දැම්මේ.

  5. දැන් තියෙන්නෙ මොන හො‍ටු කාර්ද ? මෙන්න බඩු.. කාලතුවක්කු හයිකරන් යුද්දෙට ගෙනියන්න පුළුවන්.. මගෙ ජනප්‍රියම වාහනේ තල්ලු ෆෝඩ් කියල හඳුන්වපු ෆෝර්ඩ් ඇන්ග්ලියා කාර් එක..

  6. ඔය වගේ පරණ කාර් එකතු කරන මගේ යාලුවෙක් ගාවා ඔය සමහර කාර් දැනුත් තියෙනවා. මම අනිත් අය ගාවා තියෙන ඇන්ටික් භාණ්ඩ දැකලා සතු‍ටු වෙනවා මිස ඒවා ගන්න නඩත්තු කරන්න ආසාවක් නෑ. ඕක හරිම අමාරු වියදම්කාර වැඩක්.

    ඒ වුනාට මේවගේ පෝස්ට් දික්වෙන තරමට මම නම් කැමතියි.

    • ඔව් මේ වගේ කාර් නඩත්තු කර තබාගැනීම හරිම අමාරු සහ වියදම් අධික වගේම සෑහෙන ඉඩකඩක් අවශ්‍යවන කටයුත්තක්. නමුත් ලෝකය පුරාම මෙවැනි කාර් ලෝලීන් ඉන්නවා. ස්තුතියි ප්‍රතිචාරයට.

  7. ඔය කාර් වල නම් මිනිස්සුන්ටත් තිබුන නෙ. මොරිස්, ඔස්ටින්, මාටින්… මෙහෙ එකම පවුලක ඔය නම් ඔක්කොම තියන සහෝදරයින් ටිකක් ඉන්නව.

    • ඔව් මේ සමාගම් වලට අදාළ නිෂ්පාදකයන්ගේ නම් තමයි ඒවාට දාලා තියෙන්නේ. නමුත් දැන්කාලේ නම් කීයටවත් අපි ඒ නම් අපේ දරුවෙකුට දාන්නේ නැහැ නේද?

  8. පරණ කාර් කියන්නෙ ඉතිං මගේ ප්‍රියතම එකේ හොදම එක…මම ඇන්ටික් හදවතක් ඇති තරුණයෙක් කිව්වත් වරදක් නෑ….ඇත්තටම මේ වාහන වල පින්තූරයක් දැක්කත් හිතට අමුතුම සතුටක් දැනෙනවා…ඔබ දක්වා ඇති රථ වලින් මම පදවා තිබෙන්නෙ මොරිස් 1000 රථය පමණයි. එහි පවර් ස්ටියරිං නැති උනත් පැදවීමේදී හොද තෘප්තියක් ලැබෙනවා…..මොරිස් කාරය අනෙකුත් පැරණි වාහන වලට වඩා ඉන්ධන කාර්යක්ෂමතාව පැත්තෙන් හොදයි…මට මතක ඇති කාලෙත් ගම්පහ රිය පැදවීම පුහුණුකරවන තැන් වල මේ වාහනය භාවිතා උනා.

    පුද්ගලිකව කවදා හරි මොරිස් 8 රථයක හිමිකරුවෙකු වෙන්න මම හරිම ආසයි. එහෙම නැත්තා ට්‍රයම්ප් හෙරල්ඩ් රථයක හිමිකරුවෙක් වෙන්න ආසයි…නමුත් ඒවාට කලියෙන් වොක්ස් වැගන් බීට්ල් කාර් එක තමයි මගේ ප්‍රියතම වාහනය….

    පත්තරේ තිබ්බ දැන්වීමක් දැකලා මම දවසක් ඇමතුමක් දුන්නා මොරිස් 8 කාර් හිමිකරුවෙකුට…මම විවිධ විස්තර අහලා අන්තිමට ඇහුවා මේකෙන් නුවර එළි එහෙම යන්න බැරිද කියලා….ඒ ගැටලුවට මිනිහට තද වුනා….

    මේවා නුවර එළි ගියා….අද නෙමෙයි දැනට අවුරුදු 40 කට විතර එහා…මහත්තයා මේ බොරුවට කාලෙ කන්නෙ නැතුව නිකා ඉන්නවද කියලා දුරකථනය විසන්ධි උනා…

  9. නිර්නාමික said:

    Ko me SAmahanda ge kathandarare? baba Mama permision deela

  10. පරණ කාර් ගැන නියම විස්තරයක්. හැබැයි මං නං ඔව්ව දැකල විතරයි තියෙන්නෙ. නම්වත් වර්ගවත් දන්නෑ.

  11. අනෙ බොස් කොට කරන්න එපා.විස්තර ලියන්න දිග නොබල.

  12. නිර්නාමික said:

    නියමයි.. අවුරැදු උත්සවය ලැනත් ලියමු

  13. නිර්නාමික said:

    ඔය කියන signal hand නෙවෙයි නියම වචනය trafficator. ඔය කියන යුගයේ අදටත් පවතින වාහන කිහිපයක් මතක් වෙනවා.ඊලඟ පෝස්ට් වලට එකතු කරන්න.
    Wolseley 8 , 10
    Volkswagen carman-ghia
    Hillman minx
    Ford Prefect/Anglia
    Triumph Mayflower
    Standard 8, 10, Vanguard
    Simca Aronde
    Fiat Topolino
    Sunbeam Alpine

    මොරිස්, ඔස්ටින්, රයිලි, වුල්ස්ලි ඔක්කොම එකතු කළ ආයතනය BMC corporation . එදා බ්‍රිතාන්‍ය වාහන වල විශේෂත්වය තමයි අමතර කොටස් බොහෝ දුරට සමාන වීම ඒ නිසා අලුත්වැඩියාව ඉතාම පහසු වුනා.

    • බොහොම ස්තුතියි Trafficator කියන වචනය මතක් කර දුන්නාට. ඔබ සඳහන් කර ඇති වාහන මෝස්‌තර බොහොමයක් ගැන ඉදිරියේදී ලියන්නම්. Bougward Isabella එහෙම මතක් වුණේ නැද්ද?

  14. නිර්නාමික said:

    Bougward Isabella ඇත්තෙන්ම දැනුයි මතක් වුනේ. හොඳ සැප-පහසු ජර්මන් රථයක්. තව එකක් තමයි Renault Dauphine. ඒ කාලේ එක් එක් පළාත් වල සමහර වාහන වැඩියෙන් තිබුණා මතකද ? කහවත්තෙ -ෆෝඩ්, ගාල්ල බද්දෙගම පැත්තෙ ෆියට්. නුවරඑළියෙ-වොක්ෂෝල්, බේරුවල- හිල්මන්, මිද්දෙනිය ඇඹිලිපිටිය දිහා MW, යාපනය A 40 Somerset ,පසුකාලීනව බණ්ඩාරවෙල- ඩෙලිකා ත් තිබුණා. තව සමහර වාහන වලට local නම් හදාගෙනත් තිබුනෙ.
    ඔස්ටින් වඳුරු මූණ, මුක්කන් මොඩල්,ඩෙලිකා කිචි කිචි, ෆොක්ස්වැගන් කනේ මයිල්,මෑතකදි නිසාන් සෙරිනා එකට ‘සදහටම ඔබ මගේ’ කියලත් කිවුවනේ.

    • කියලා වැඩක් නෑ. වාහන මෝස්‌තර වලට අපූරු නම් හදන්න අපේ රටේ මිනිස්සු හරිම දක්ෂයිනේ.

      ඔය ලංකාවේ එක එක පළාත්වලට වාහන බෙදී ගියේ ඒ පරිසරයට terrain ගැලපෙන නිසා වෙන්න ඇති. යාපනේ නේද මොරිස් ඔක්ස්ෆර්ඩ්, ඔස්ටින් එහෙම වැඩියෙන් තියෙන්නේ.

  15. නිර්නාමික said:

    මගේ කොමන්ටුව කෝ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.