විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  122750013214Pmpu‘වෑර්ලස්’ කියන වචනය අපි කුඩා කාලයේ සමාජය තුළ නිතර භාවිත වුන වචනයක්. ඒ කාලේ වෑර්ලස් හෙවත් ගුවන්විදුලි යන්ත්‍ර ඉතා සීමිත සංඛ්‍යාවක් තමයි භාවිතයේ තිබුනේ. පැරණි ගමක නම්, ගමේ ආරච්චි මහතා, වෙල් විදානේ, ඉස්කෝලේ ලොකු මහත්තයා, ගමේ කඩේ මුදලාලි, වැනි අයගේ නිවෙස්වල තමයි ගුවන්විදුලි යන්ත්‍ර තිබුනේ. මගේ පියාත් ඉස්කෝලේ ලොකු මහත්තයෙක් නිසා මා කුඩා කාලයේ සිටම අපේ ගෙදරත් වෑර්ලස් එකක් තිබුනා. සමහරු ‘වෑර්ලස් සැට් එක’ කියලත් කිව්වා. වෑර්ලස් කෑල්ල නැතුව නිකම්ම ‘සැට් එක’ කිව්ව අයත් හිටියා.

  හැබෑට මොකද ගුවන්විදුලි යන්ත්‍රයට වෑර්ලස් කිව්වේ? ඒ කතාව දැනගන්න ටිකක් අතීතයට යා යුතුයි. ඒ අතීතය ඉතා රසවත්. සමහර තොරතුරු ඔබට හාස්‍යජනක වෙතැයි සිතනවා. ඉතින් මේ ලිපියෙන් මා ඔබ සමග කතාකරන්නේ පැරණි ගුවන්විදුලි යන්ත්‍ර සහ හඬ පටිගත කරන සහ වාදනය කරන යන්ත්‍ර පිළිබඳවයි. 

  වෑර්ලස් කියන්න වචනය ඉංග්‍රීසි භාෂාවේ Wireless වය(ර්)ලස්  කියන වචනය සිංහල අපේ කණට ඇසුන ආකාරය අනුව සකසාගත්තක්. ඔබ දන්නවාද අපේ රට යටත් විජිතයක්ව පැවතී අවදියේදී සුද්දන්ගේ වචන අපේ කනට ඇසෙන ආකාරය අනුව සකසාගත් වචන රාශියක් භාවිත වුනා. උදාහරණ වශයෙන්, Criminal යන වචනයට අපේ අය කිව්වේ ‘කිරිමේල්’ කියලයි. Government යන වචනය ‘ගෝරමේන්තුව’ කියලා භාවිත කළා. වයර්ලස් යන්ත්‍රය සොයාගන්නට කලින් තිබුනේ වයර් හෙවත් කම්බි මගින් සම්බන්ධ කර පණිවිඩ යවන දුරකථනය පමණයි. ඒ හැර මහජනතාවට යම් රසාස්වාදයක් ලබාගැනීම සඳහා තිබුනේ ග්‍රැමෆෝනය වැනි උපකරණ පමණයි.

  vintage,gramophone,music,phonograph-a8fb526379443f836cf07f827dccef75_hග්‍රැමෆෝනයට අපේ ගැමියා කිව්වේ ‘ගිරැංපෝං’ එක කියලයි. ග්‍රැමෆෝන් තිබුන කාලේ ගුවන්විදුලි යන්ත්‍ර තරම්වත් ඒවා සමාජයේ ප්‍රචලිතව තිබුනේ නැහැ. ‘ගිරැංපෝං’ එක ගැන මම මෙතැනදී දීර්ඝ විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. සරලව කියනවානම් මෙහෙමයි. වයින් කරන දුන්නකින් බලය ලබාගෙන කරකැවෙන වෘත්තාකාර තට්ටුවක් මත, වයිනයිල් නමැති ද්‍රව්‍යයෙන් සකසන ලද තැටියක් රඳවනවා. එම තැටියේ, කලින් සකසන ලද, සියුම් සර්පිලාකාර කානුවක් තිබෙනවා. ඒ කාණුව දිගේ ඇදීයන ලෙස, ලෝහ ඉදිකටුවක් තබා තිබෙනවා. (අවශ්‍ය වෙලාවට තැබීමට සහ ඉවත් කිරීමට හැකියි) ඒ කාණුව, තැටි සකසන යන්ත්‍රය වෙත ලැබෙන, කිසියම් ශබ්ද මාලාවකින් ඇතිවන, කම්පන රටා අනුව, උස්පහත්වී සැකසුන කාණුවක්. එම කාණුව ඔස්සේ, අර ඉදිකටුව ඇදී යද්දී, කාණුවේ ගැටිති වල ස්වභාවය අනුව, අර ඉදිකටුව ඉහළ පහළ කම්පනය වෙනවා. ඒ කම්පනයෙන් උපදින හඬ, ලෝහ නලයක් මගින්, විශාල ලෝහ කේතුවකට යොමු කරනවා. එවිට, අර ශබ්ද වර්ධනයවී ඇසෙනවා. ඒ තමයි ග්‍රැමෆෝනයේ ඉතා සරල යාන්ත්‍රික විස්තරය.

  Rediffution 1හොඳයි ඉතින් කෝ වයර්ලස් කතාව? ඒ කතාවට යන්න කලින් තව එක කාරණයක් තියනවා. මම කිව්වනේ වයර්ලස් (වයර් රහිත) වුනේ වයර් සහිත තත්වයෙන් තිබුණ පණිවිඩ යැවීම නව වෙනසකට භාජනයවීම නිසා කියලා. ඉතින් මිනිස්සු වයර් දිගේ එන සංගීතය, ප්‍රවෘත්ති එහෙමත් ඇහුවද? අපොයි ඔව්. ඉස්සර අපේ රටෙත් තිබුනා. හැබැයි කොළඹ විතරයි. ඒ මෙන්න මෙහෙමයි. වයර් සහිත දුරකථන මාර්ග සකසන ආකාරයටම කණු සිටුවා කම්බි යොදවා නිවෙස්වලට හෝ ඉල්ලාසිටින වෙනත් ස්ථිර ගොඩනැගිලි වෙත මේ සේවය ලබාදුන්නා. මාසික ගාස්තුවක් ගෙවිය යුතුයි. එහිදී සිදුවන්නේ ස්පීකරයක් සහිත පෙට්ටියක් වැනි උපකරණයක් සවිකිරීමයි. පෙට්ටියේ තියනවා හඬ අඩුවැඩි කරගැනීමට පාලකයක් සහ අපි බිත්ති විදුලිපංකාවක වේගය අඩුවැඩි කරන ආකාරයට කරකවියහැකි තවත් පාලකයක්. එයින් කෙරෙන්නේ නාලිකා තේරීමයි. ප්‍රධාන මධ්‍යස්ථානයේ සිට තැටි/පටි මගින් වාදනය කරන සංගීතය කම්බිදෙක දිගේ නිවසට එනවා. (නාලිකා කිව්වට දැන් වගේ නෙවෙයි. සිංහල දෙමල ඉංග්‍රීසි භාෂා තුන පමණයි) ලංකාවේ මේ ක්‍රමය පවත්වාගෙන ගියේ ‘රෙඩිෆියුෂන් Rediffusion’ නමැති පෞද්ගලික සමාගමක් විසින්. 1970 දශකයේත් මේ සේවය කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තිබුනා.  ඒ කියන්නේ, ලංකා ගුවන්විදුලි සේවය ආරම්භ කලාට පස්සෙත් රෙඩිෆියුෂන් අහපු අය හිටියා. ඒකට එක හේතුවක් වුනේ, ගුවන්විදුලියේ ප්‍රචාරය නොවෙන ‘නැගලා යන සින්දු’ රෙඩිෆියුෂන් එකේ අහන්න ලැබුන නිසයි.

  628x471ගුවන්විදුලි යන්ත්‍රය සොයාගැනීම නිසා ලෝක ඉතිහාසයේ මහත් විප්ලවයක් වුනා. මුළු ලෝකයම ගුවන්විදුලි තරංග වලින් එකට සම්බන්ධවුනා. එක රටක සිදුවන දෙයක් සජීවීව හෝ ඉතා සුළු වෙලාවක් තුළ ලෝකයටම දැනගන්න පුළුවන් වුනා. මගේ ජීවිතකාලය තුළ, මෙතෙක් මා අසා ඇති, වැදගත්ම සජීවී ගුවන්විදුලි ප්‍රචාරය ලෙස මා සලකන්නේ, මිනිසා හඳට ගොඩබට මොහොත අසන්නට ලැබීමයි. එවකට පාසල් සිසුවකු වූ මා, සහ අපේ පවුලේ සියළු දෙනා,  මේ විශ්මයජනක ප්‍රචාරය අසා සිටියේ ප්‍රාතිහාර්යයක් අත්විඳිනවා හා සමානවයි. ඇමරිකාවේ සිට කරන සජීවී විකාශය ඒ මොහොතේම සිංහලට පරිවර්තනය කර විකාශනය කෙරුණා. අදනම් අපේ ජංගම දුරකතනයෙත් ගුවන්විදුලි පහසුකම තිබෙනවා. පහසුකම වැඩි නිසාදෝ අද ගුවන්විදුලිය මහජන අප්‍රසාදයට ලක්වන අවස්ථා බහුලයි. ගුවන්විදුලි යන්ත්‍රය සොයාගැනීමේ ගෞරවය එක් අයකුට හිමි දෙයක් නොවෙයි. ඒ බව විකිපීඩියාවේ මේ ලිපියෙන් බලන්න පුළුවන්. නමුත් වැඩි ගෞරවය දිනාගත්තේ මාර්කෝනි නමැති විද්‍යාඥයා. නමුත් මේ ලිපියෙන් මම ඒ ගැන කතාකරන්න යන්නේ නැහැ.

  මා පාසල් සිසුවකුව සිටියදී, කාලයක්, විනෝදාංශයක් ලෙස, ගුවන්විදුලි කාර්මික විද්‍යාව සහ රූපවාහිනී කාර්මික විද්‍යාව ඉගෙනගත් අතර, තරුණ වියේදී, මගේ අතින්ම කොටස් සවිකර, විවිධ ආකාරයේ ගුවන්විදුලි යන්ත්‍ර කීපයක් නිපදවා තිබෙනවා. මා මුලින්ම ගුවන්විදුලි කාර්මික විද්‍යාව ඉගෙන ගනිද්දී, ලෝකයේම බහුලව තිබුනේ රික්ත නළ Vacuum Tube හෙවත් එදිනෙදා ව්‍යවහාරයේදී වැල්ව් (මේ වචනයත් සමහරු කියන්නේ ‘වෑල්’ කියලයි. සමහරු වයර් වලට ‘වෑර්’ කියනවා වගේ) යනුවෙන් හැඳින්වෙන ක්‍රියාකාරිත්වය සහිත, ගුවන්විදුලි යන්ත්‍ර. මෙහිදී ඩයෝඩ්, ට්‍රයෝඩ්, ටෙට්‍රෝඩ්, පෙන්ටෝඩ්, ආදී වශයෙන් ක්‍රියාකාරී මූල දෙකක්, තුනක්, හතරක්, පහක්, ඇති වෑල්ව් ගැන ඉගෙනීම අති සංකීර්ණ බව මතකයි. මා අටවැනි පන්තියේ සිසුවකුව සිටියදී, තනිවම සෑදු ගුවන්විදුලි යන්ත්‍රයේ පරිපථ සටහන, ඔබට පෙන්නුවොත් ඔබට ඇතිවන්නේ හාස්‍යයක් බව හොඳටම විශ්වාසයි. පළමුව බලන්නකෝ ඒ පරිපථය.  

oatboxcomp3

 කොහොමද ඔබට ඇතිවෙන සිනාව? හැබැයි මතකතබාගන්න මේ ගුවන්විදුලි යන්ත්‍රයෙන් විදේශීය ප්‍රචාර පවා අහන්න පුළුවන්. හැබැයි එක්කෙනෙකුට පමණයි. මොකද මෙහි තිබෙන්නේ ඉයර්ෆෝනයක්. විදුලිබලය හෝ බැටරි බලය අවශ්‍ය නැහැ. මේ පරිපථය වෙත ලැබෙන ගුවන්විදුලි තරංග වල බලයෙන්ම තමයි ක්‍රියාකරන්නේ. මෙහි හඬ අඩුවැඩි කරන පාලකයක් නැහැ. එවැන්නක් අවශ්‍ය නැති නිසා. මෙහි තිබෙන්නේ අඟල් දෙකක පමණ විෂ්කම්බයෙන් යුත් අඟල් හතරක් පමණ දිග කාඩ්බෝඩ් නලයක්. එහි තඹ කම්බියක් පොටවල් 40ක් ලෙස ඔතා තිබෙනවා. ඒ එතුමේ පොටවල් පහකට එකක් පමණ වන පරිදි සම්බන්ධක සකසා තිබෙනවා. Antenna කියන තැනට කම්බියක් (අඩි 10ක් පමණ උසට) යොදවන අතර Ground කියන තැනට තවත් කම්බියක් සවිකර එය ඉතා හොඳින් භූගත Earth කලයුතුයි. ඉන්පසු ඉයර්ෆෝනය කනේ රඳවාගෙන Alligator Clip යනුවෙන් දක්වා ඇති ක්ලිප් එක අර නලයේ ඔතා ඇති කොයිල් එකේ එක් එක් සම්බන්ධක ස්ථාන වලට සවි කරාම විවිධ ගුවන්විදුලි ප්‍රචාර අහන්න පුළුවන්. හැබැයි ඝෝෂාකාරී ශබ්දත් එනවා. නමුත් ලොකු විනෝදයක් ලැබෙනවා. මෙහි තවත් ක්‍රමයක් තිබුනා. මෙහි Diode නමැති ස්ථානයේ තිබෙන්නේ  ක්‍රිස්ටල් නමැති ගලක්. අඟල් කාලක පමණ, කිසිදු සම්මත හැඩයක් නැති රිදී/රන් පැහැය මිශ්‍ර ගලක්. (ලෝහ/ඛනිජ) උල් කරන ලද කම්බි කැබැල්ලක් ඒ ගලේ එක එක ස්ථානවලට තැබුවිටත් හඬ පැහැදිලි කරගන්න පුළුවන්. මා දන්නේ නැහැ දැන් පාසල් සිසුන් විනෝදය සඳහා මෙවැනිදේ කරනවාද කියා. (විකාරද? නෙට් එක තියනවනේ. මොකටද ආය කම්බි කෑලි?) මා ඉගෙනගත් පොතේ තිබුනේ මෙන්න මෙහෙමයි.

img011

  ඉහත දක්වා තිබෙන්නේ, මා, පාසල් සිසුවකු ලෙස ගුවන්විදුලි කාර්මික ශිල්පය ඉගෙනගත් අවධියේ, පරිහරණය කල පොතකින් පිටුවක්. ඒ පොත අදත් මා සතුව තිබෙනවා. මේ පොත මට කළින් මගේ පියාත්, මගේ අයියාත්, පරිහරණය කර තිබෙනවා. මේ පොත 1950 දශකයේ අග භාගයේදී හෝ 1960 දශකයේ මුල භාගයේදී මුද්‍රණය කරන්නට ඇති බවයි සිතන්නේ. පිට කවරය නැති නිසා හරියටම කියන්නට බැහැ.

img010

මුල්ම කාලයේ නිපදවුණ ගුවන්විදුලි යන්ත්‍ර පෙනුමෙන් නම් එච්චර ලස්සනවුනේ නැහැ. ඒ කාලයේ ගුවන්විදුලි යන්ත්‍ර කීපයක් පහත දක්වනවා.

Gamage%203%20valve%20receiver%201926%20(voor)

EHSCOTT_ALLWAVE15-1

Zenith712b

ලස්සනයිද? හැබැයි එකක් මතකතබාගන්න. මේවා අද මිල කළ නොහැකි කෞතුක භාණ්ඩ. මේවා ළඟ තියන කිසි කෙනෙක්, කීයටවත්, ඒවා විකුණන්නේ නැහැ. මා ඔබට කිව්වා මුල් යුගයේ මේ ගුවන්විදුලි යන්ත්‍ර රික්ත නළ හෙවත් වෑල්ව් මගින් ක්‍රියා කලේ කියලා. නරකද වෑල්ව් ගැනත් සරල දැනුමක් ලබාගත්තොත්? මේ බලන්න මෙන්න මේවට තමයි වෑල්ව් කියන්නේ.

il_fullxfull_347210583

මේවාගේ පිටත ආවරණය නිපදවා තිබෙන්නේ වීදුරු වලින්. (ඒ කාලේ මා අතින් මේවා කීපයන්ම බිඳිලා තියනවා නොසැළකිල්ලෙන් බිම වට්ටවා ගැනීමෙන්) ගුවන්විදුලි යන්ත්‍ර පරිපථයක එක් එක් ස්ථානය සහ ස්වභාවය අනුව විවිධ වර්ගවල, විවිධ හැඩයේ, විවිධ ප්‍රමාණයේ, වෑල්ව් නිපදවෙනවා. නමුත් ඒ සියල්ල බොහෝදුරට සිලින්ඩරාකාර හැඩයෙන් යුක්ත වන අතර ක්‍රියාකරන්නේ එකම න්‍යායක් අනුවයි. ඔබ දැකලා නැතිව ඇති කොහොමද ගුවන්විදුලි යන්ත්‍රයක මේවා සවිකර තිබෙන්නේ කියා. මෙන්න බලන්න.

nordmendeturnadotinside

අදට මේ ඇති නේද? තව ගොඩක් විස්තර තියනවා. දැනට පෙනෙන විදිහට කොටස් තුනකටවත් යන්න වෙයි වගේ. සියල්ල රඳා පවතින්නේ ලැබෙන ප්‍රතිචාර මත තමයි.

මෙම ලිපියෙහි දක්වා ඇති, පොත්පිටු දැක්වෙන ඡායාරූප දෙක හැර, අනෙකුත් සියලුම ඡායාරූප, Google Image වෙතින් ලබාගත් බව සඳහන් කරමි.

My Signature for Blog2013 පෙබරවාරි මස 19 වැනි දින 0113 පැය

Advertisements

Comments on: "අපි අහපු වෑර්ලස් (පළමුවැනි කොටස) – Vintage Radio Sets (Part One)" (67)

  1. මේවා අපිට අහන්න දකින්න ලැබෙන්නේ නැති විස්තර. රික්තක නල භාවිතා කරලා හදන බල වර්ධක ඉතා උසස් ගුණාත්මක භාවයකින් යුක්තයි කියනවා නේද..
    කැපිටල් රේඩියෝ කියල ආයතනයකින් තැපැල් මාර්ගික පාඨමාලාවක් සඳහා ගෙන්වා ගත් විස්තරයක් මා ළඟ තියනවා. ඒ ඔය කියන පොත මුද්‍රණය කල ආයතනයම වෙන්නත් පුළුවන්.ඒක ආරම්භ කරල තියන්නේ 1950 වසරේ. එහි ලිපිනය, බත්තරමුල්ල කියලයි සඳහන් වෙන්නේ.

    • ඉදිරි කොටස් වලදී වෑල්ව් ගැන තව කියන්නම්.
      කැපිටල් රේඩියෝ ආයතනය මම දැකලත් තියනවා. ඒ කාලයේ ලංකාව පුරාම සිටියා එයින් තැපැල් මාර්ගිකව ඉගෙනගන්න අය.

  2. ඉතාම වටිනා ලිපියක්. ඒ වගේම ඔබගේ පොත් සුරැකීම පැසසුමට ලක් විය යුතුයි. මගේ ඔෆිස් එකේ ඉන්න සෙනරත් ඔබ වැනිම උනන්දුවෙක් මේ විෂයට. ඔහු කෙතරම් කීවත් බැටරි නැතිව ගුවන්විදුලියට සවන් දිය හැකි බව, කිසිවකු පිලි ගන්නේ නෑ.

    • මම හිතාගෙන ඉනවා ළඟදීම මගේ පුස්තකාලය ඇසුරු කරගෙන ලිපි ලියන්න. පොත් නැති ලෝකයක් මටනම් එපා. හරිම දුකයි සුදීක අද ළමයි ඔක්කොම දේ ඉස්කෝලෙන් සහ ටියුෂන් වලින් පමණක් කරන්න උත්සාහ කිරීම ගැන.

  3. ප්‍රතිචාර මත ඔබේ දැනුම රඳවා තබන්න ඒපා.බොහෝ දෙනෙක් කියවනවා.ඒ.් ප්‍රතිචාර නොදක්වයි.එම ඔබේ මෙහෙවර ඉදිරියටම කරන්න.ජය වේවා!ආ……….එක නෙමෙයි අර අත්සන දාපු විදිය කියලා දෙන්කෝ

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    • මම ඇත්තටම ලියන්නේ ප්‍රතිචාර 10 ක් බලාපොරොත්තුවෙන්. මොකද ඒ හොඳටම ඇති මගේ ලිපිය සාර්ථකද නැද්ද කියලා හිතාගන්න. ඊට වඩා යමක් නැහැ.

      අත්සන පොඩි කොළ කෑල්ලක ගහලා ස්කෑන් කළා. ඉන්පසු එය resolution එක අන්තිමටම අඩු කරපු image එකක් බවට පත්කලා photo editing software එකකින්. එය පින්තූරයක් ලෙස තමයි ඇතුලත් කරන්නේ.

  4. ඔය කියන පරණ වෑරලස් (හී හී ) එකක් අපේ ගමේ තියනවා තාම. මේ ලිපිය කියවපුවාම තේරුම් ගත්තු දෙයක් තමා, අපිට නොපෙනුනාට , මිනිසුන්ගේ ජීවිතේ කොතරම් වෙනස් වෙමින් පවතින දෙයක්ද කියන එක.

    මම ලඟදිත් කල්පනා කලේ, අපි දැන් කාර්ඩ්ස් දාලා අරින දොරවල් පස්සේ කාලෙක, අපි ලංවෙනකොටම එකිනෙකා වෙනම අඳුනාගෙන විවර වෙන ක්‍රමත් තියෙයි නේද කියලා.

    ඉතින් අනෙක් භාණ්ඩ ගැන කුමන කතාද? 😀

    • අනාගතේදී ඒ දොරවල් ඇරෙන්නේ ඔයා කියන විදිහට විතරක් නෙවේ. Welcome Sir/madem කියලා මිනිස් කටහඬකින් කියවෙන පිළිගැනීමකුත් සහිතවයි. දැන් වුනත් එය කරන්න තාක්ෂනය ලෝකයේ තියනවා.

  5. අන්න හිනා මූන වැරදුනා… 😦

    • තේරුනේ නැත. හරි හරි දැන් තේරුනා. ඔන්න මම දැම්මා එතනට හිනා මූණක්. ඔයාගේ හිනා මූණු පින්තූරයක් ස්කෑන් කරලා දැම්මනම් ඉවරනේ.

  6. විචාරකතුමා නොදන්න දෙයක් නෑනේ. 🙂
    විද්‍යා පොතක තිබිල මාත් ට්‍රයි කලා ඒකාලෙ වෑර්ලස් එකක් හදන්න. වැඩේ හරිගියේ නෑ.

    • ගුවන්විදුලි/රූපවාහිනී කාර්මික ශිල්පය මගේ ප්‍රියතම විනෝදාංශයක්. දැන්නම් අතහැරිලා තියෙන්නේ. එච්චර අමාරු දෙයක් නෙවෙයි. තනියම ඉගෙනගන්නත් පුළුවන් බොහොමයක් දේවල්.

  7. යුද්දය පමණක් නොමැතිව මේ වගේ ඒවත් දාන එක හොදයි,
    සර් ජිනීවා වල මොකක් වේද ?
    ආණ්ඩුව ගැන ආදරය නැති උනත් රටට හොදක් වෙන්න කියල තමා මන් හිතන්නේ

    • ඔව් එකම විෂයය ලියනකොට මටත් එපා වෙනවා.

      ජිනීවා අපට ටිකක් අභියෝගයක් වෙයි. ඉතාම සංවිධානාත්මකව මුහුණ දියයුතු වෙනවා. ඒ අස්සේ සමහරු ජිනීවා වලට අමු ද්‍රව්‍ය සපයනවා. ප්‍රොක්සි එකකින් ගිහින් ලංකාවේ තහනම් සිංහල සයිට් බලන්න මොනවද තියෙන්නේ කියලා.

  8. ආ ආ මෙන්න තව කොමෙන්ටුවක්… කරුණා කරලා ලියලා දාන්ට අනිත් ටිකත්… 😀

    අපේ ගෙදරත් ඔය පරණ වෑර්ලස් දෙකක්ම තිබුනා.. අපරාදේ කියන්ට බැහැ මංතුමා තමා පොඩි කාලේ ඒ දෙකම කෑවේ.. තාත්තා මතක් වෙන ගානේ බනිනවා.. ඒකට ඉතිං මං මක් කොරන්නද..මං හැදුවේ ඒවා කන පිට ගහලා මගේම රේඩියෝ ලයින් එකක් හදන්නනේ.. මං හිතුවේ හැම එකම කන පිට ගැහුවම පීකරේ මයික් එකක් වෙලා ඇන්ටනවා විකාශන කුළුන වෙයි කියලා… මං බයිසිකල් ඩයිනමෝ එකට බැටරි කරන්ට් එක දුන්නම ඔය අගේට මෝටරයක් වගේ ගැස්සි ගැස්සි කැරකුනේ… ඉතිං රේඩියෝවත් එහෙම වෙන්ට එපැයි කියලා මං ඒක පුළුවන් විදියට කණ පිට ගැහුවා… කෝ වැඩේ සිද්ධ උනේ නැහැනේ.. මං හිතන්නේ සුද්දා අපිට විකුණලා තියෙන්නේ බාල රේඩියෝවක්ද කොහේද.. 😀

    • අම්මපා මාරයෝ ඔය ක්‍රමයට මිනිහෙක් කණපිට ගැහුවොත් මොකක් වෙයිද? 😀

      ඉතිං ඔය රේඩියෝ කණපිට ගැහුවම ගමේ මිනිස්සු ‘මාර බාස් උන්නැහේ’ කියලද කතා කලේ? 😀 😀

      • අපේ ගමේ එකාලට කොහේම මං වගේ එකෙක්ගේ අගයක් තේරෙන්නේ.. උන් මට කිව්වේ මක බාස් කියලා… 😀

        අත දෙන්න එකෙක් හිටියේ නැහැ..නැත්තං මං මෙතන නෙවෙයි අද ඉන්නේ… රාජගිරිය මායිමේ… 😀 😀 😀

    • ඔන්න මාරයා කිව්වම මට තව කතාවක් මතක් වුනා..

      මට පොඩි කාලෙ හිතුනා ඩයිනමෝවෙන් එන කරන්ට් එකෙන් මෝටරය කරකවන්න පුලුවන්නම්, ඒ කැරකෙන මෝටරෙන් අර ඩයිනමෝව ආයෙ කරකවලා භාහිර බලයක් නැතුව අන්‍යෝන්‍යයව මේදෙක වැඩ කරන්න බැරි ඇයි කියලා.. එහෙම හිතලා එකක් හදලත් බැලුවා හරි ගියේ නෑ.. 🙂 ඒක හරිගියානම් අද වහිනකම් බලන් ඉන්න ඕනා නෑ.. 🙂

      • ඔය ප්‍රශ්නය මම අටේ පන්තියේදී මට විද්‍යාව උගන්වපු ‘ඇල්ලේපොළ’ නමැති ගුරුතුමාගෙන් ඇහුවා. එයා න්‍යායාත්මකව එය පැහැදිලි කළා කල නොහැකි බව. මට දැන් එය විස්තර කරන්න මතක නැහැ.

      • ක්සැන්ඩර් said:

        මේ මගේ තවත් ආස විෂයක්. මගේ මාමා හොඳ විදුලි කාර්මික ශිල්පියෙක්. දැන් කැනඩාවේ ඉඳන් එයාගෙම රේඩියෝ ඈම්ප් එහෙම හදලා විකුණනවා. ඉතින් එයා කරන වැඩ මම පොඩිකාලේ ඉඳල බලාන ඉඳල මට චුට්ටන් දැනුමක් තියනවා ඔය ගැන. අපේ මාමා කියන්නේ වෑල් වලින් එන ශබ්දය බොහොම සුපිරිසිඳු මටසිලිටු එකක් කියලයි.

        • ඔබේ මාමා හරියටම හරි. වෑල්ව් වලින් ගන්න gain එක කවදාවත් ට්‍රාන්සිස්ටර් වලින් හෝ අයි.සී. වලින් ගන්න බැහැ. ඒ ගැන ඊළඟ කොටසකදී ලියන්නම්. ස්තුතියි ඔබට.

  9. අර කිස්ටල් රේඩියෝ වැඩේ විනෝද ජනකයි, හොදට ඇහෙනවා කන් ඇහෙන්නේ නැති අය පාවිච්චි කරන ඉයර්පෝන් එකක් අමුනපුවහම

  10. ඔන්න ඉතින් මමත් මේ පැත්තේ ගොඩ උනා ඔබ ආ මාවත ඔස්සේම ඇවිත්.

    මට හිතෙන්නේ ඔයා මගේ සමකාලීනයෙක් කියලා. අපේ ගෙදරත් රේඩිෆියුෂන් එකක් තිබනා නමුත් ඒ මහනුවර. ඒ වගේම වැල්ව් වලින් වැඩ කරපු රෙදිඔය්වක් තිබුනා. එකට දැම්මේ ලොකු බැටරියක්. ඒ දවස්වල එකට කියුවේ Dry Battery කියලා.

    මමත් ඔයා වගේම පාසල් යනකාලේ ඔය පරිපථය හදලා තියෙනවා. ඔය පොත මගේ ලඟත් තිබුනා. ඒ කලේ කැපිටල් රේඩියෝ ආයතනයෙන් තැපැල් මගින් පොත් සහ උපාංග ගෙන්න ගත්තා.

    මේකට ෆොලොවර් එකක් දාන්නකෝ.

    • ලොකු සන්තෝෂයක් සමකාලීනයෙක් හමුවීම. විවිධ ගුවන්විදුලි යන්ත්‍ර සහ බැටරි වර්ග ගැනත් කියන්නම්. ඉඩ ලද හැමවිටම මේ පැත්තේ එන්න.
      මම කැමරා සමාජයකට බැඳුනේ 1967 දී (පාසලේ කැමරා සමාජය) මම පටන්ගත්තේ 120 ෆිල්ම්රෝල් වලින්. ඊට පස්සේ තරුණ කාලේ යෙශිකා ඉලෙක්ට්‍රෝ 35 එහෙම පාවිච්චි කළා. දැන්නම් තියෙන්නේ පොඩි සෝනි ඩිජිටල් එකක්.

  11. ඔය රෙඩි‍ෆියුෂන් ක්‍රමයට තමයි අපි අදත් ටීවී බලන්නෙ විචාරක. සර්විස් ප්‍රොවයිඩර් අර සැටලයිට් ඩිෂ් එකකින් ගන්න ටීවී චැනල් පාර දිගේ වලලලා තියෙන කේබල් දිගේ අපේ ගෙවල් වලට එනවා. රූපවාහිනිය වැඩ කරන්න විදුලියත් කේබල් දිගේනෙ එන්නෙ. ඉතින් අපි නම් ආපහු ‍රැහැන් සහිත යුගයට ගිහින් ඉන්නෙ.

    අර රේඩියෝ ලස්සනයිනෙ විචාරක. ඔය දෙවෙනි ලෝක යුද්දෙ කාලෙ චිත්‍රපටිවල මිනිස්සු යුද්දෙ ගැන අහනවා පේන්නෙ ඔන්න ඔය වගෙ ඒවායින් තමයි.

    තව එකක් විචාරක. අද පවා රේඩියෝවට කියන්නෙ වයර්ලස් කියන ඉංග්‍රීසි ජාතිකයෝ මට හමු වෙලා තියෙනවා.

    සිංග්‍රීසි යුනිකෝඩ් එකට මොකද වුනේ?

    • Physical damages වෙන්නේ නැත්නම් වයර් ක්‍රමය තමයි හොඳම. මම මුලින්ම දැකපු වීඩියෝ කැසට් ප්ලේයරයේ දුරස්ථ පාලකය සම්බන්ධ වෙන්නේ අඩි 10 ක් විතර දිග වයරයකින්. දැන් දැක්කොත් හිනාවෙලා පණ යනවා.

      ඇත්තටම මටත් ඒ රේඩියෝ ලස්සනයි. නමුත් දැන් වගේ ‘මොඩ්’ (මෝඩ?) නැති නිසා සමහර අය කැතයි කියනවා.

      අපේ තාත්තා, අම්මා, සහ එවැනි වැඩිහිටියන් මැරෙන තුරුම පාවිච්චි කලේ වයර්ලස් කියන වචනේ තමයි.

      බ්‍රවුසර් එක වෙනස් කළා අකුරු ප්‍රශ්නය විසඳුනා. ඒත් ඔබ දුන් එකත් ඉන්ස්ටෝල් කරගත්තා. බොහොම ස්තුතියි.

  12. ….මේ දේවල් මෙහෙම සිංහලෙන් අන්තර්ජාලයට එකතු වීම හරි වටිනවා
    විචාරක තුමා..මාත් පුළුවන් විදිහට මේ ගැන දානවා..මොකද මාත් උපන්
    දා ඉඳන් ඕව ගැන තමයි උනන්දු උනේ..ඉතින් දන්නවා මේ දේවල් ගැන
    උනන්දු කෙනෙක්ගේ උද්යෝගය..
    පුළුවන් වෙලාවට මේවත් ඇවිත් බලන්න……..

    රූපවාහිනී ආයතනයක ප්‍රධාන පාලක මැදිරිය ….

    චන්ද්‍රිකා තාක්ෂනය මුල සිට සරලව:Satellite Transmis……….

    02. චන්ද්‍රිකා තාක්ෂනය මුල සිට සරලව:Satellite Tran…….

  13. අපි පුංචිකාලෙ අපේ ගෙදර තිබුනෙ සද්දන්ත රේඩියෝ එකක් .. ඒකෙ නම එච් එම් වී.. හිස් මාස්ටර්ස් වොයිස්..

  14. අපිත් පොඩිකාලෙ ඔය ක්‍රිස්ටල් රේඩියෝ වැඩේ කලා. ඇන්ටනාවට ගත්තෙ ඉස්කෝලෙ කොඩි කණුව.

    ඔය කැපිටල් රේඩියෝ වගේම කුමාරසිංහ රේඩියෝ කියල ආයතනේකින් මාත් ඔය තැපැල් මාර්ගික පාඨමාලාව කළා. ඒ ගොල්ලො කෑලි එවනව ගෙදෙට්ට රේඩියෝ හදන්න සර්කිට් එකත් එක්ක. එහෙම හදපු එක තාමත් මා ගාව තියෙනව.

    ඔය වෑල් වල තියෙන පවර් එක නිසා ගුවන්විදුලි විකාශනාගාරවල අන්තිම වර්ධක අදියරට තාමත් පාවිච්චි කරන්නෙ වෑල් කියල තමයි මං අහල තියෙන්නෙ.

    • ඇත්තටම මෙවැනි දේ පිළිබඳව පාසල් අවදියේදී ලබන මූලික දැනුමෙන් තමයි අනාගත විද්‍යාඥයන් බිහිවන්නේ.

      කුමාරසිංහ ආයතනය තිබුනේ මුලින්ම පොල්ගහවෙල. පසුව පිටකොටුවේ පීපල්ස් පාක් වෙළඳ සංකීර්ණයට ගෙනගියා. දැන් කොහොමද කියා මා දන්නේ නැහැ.

      අදටත් ගුවන්විදුලි/රූපවාහිනී විකාශන යන්ත්‍ර වල (Transmitter) අන්තිම වර්ධක අදියරේ වෑල්ව් තමයි තියෙන්නේ. ඒ ගැන ඉදිරි කොටසේදී කියන්නම්.

  15. මට හිතෙන්නේ ඔබ තුමා අපේ තාත්තලාගේ පරපුරේ. ගෙවල් කීපයක කට්ටිය එකතුවෙලා එක ගෙදරක වෑර්ලස් අහපු යුගයක ලස්සන මතක අපේ තාත්තා නිතරම කියනවා. ඔය සඳ ගමන ගැන එය කියනව. මේ ලිපිය අනිවාර්යෙන් මම එයාට පෙන්වන්න ඕනි. හුගක් සතුටුවේවී.

  16. මම ආසම ආසම මාතෘකාවක් විචාරක මහත්මයෝ.. ආසම ආස එකක් 🙂 🙂 🙂 ගොඩක් ස්තූතියි මේ වැඩේට අත දැම්මට..

    තරියත් ලිව්වා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ ඉතිහාසය ගැන ලිපි කිහිපයක්.. ඒකට සබැඳිය මෙතනනි..

    http://thariyagekeruwawa.blogspot.com/2012/12/blog-post_13.html

    අර Rediffusion ගැන අහලා මගෙ ඇස් උඩ ගියා.. මම කවදාවත් අහලා තිබුන කතාවක් නෙමේ ඒක.. ඒක වෙන්න ඕනා මේක වැර්ලස් වෙන්න බලපාපු ප්‍රධානම හේතුව..

    ඔය “වයර් ලස් ” “වැර්ලස්” වුනා වගේම තමයි “කන්ද” “කැන්ඩි” වුන කතාවත් නේද ?

    අපේ ගෙදර 1990 දශකයේ මුල වෙනකම්ම තිබුනෙ තාත්තා විසින් මේ වගේ එකලස් කරපු රේඩියෝවක්.. අපි මුවන්පැලැස්ස, කාලි දූපත, සින්දු.., ක්‍රිකට් විස්තර විචාර, එකි නොකී සියලු ජාති 1990 මුල වෙනකම්ම ඇහුවෙ ඒකෙන්.. කිසි අවුලක් නැතුව ඒක වැඩකළා.. ඔය වැල්ව් කියලා ඔබ කියනා ජාති මහා ගොඩාක් ඒකාලෙ තාත්තා ගාව තිබුනා.. අපිටනම් ඒවා නිකන්ම යකඩ කූරු හයි කරපු වීදුරු කෑලි විතරයි ඒ කාලෙ.. 🙂

    අර ඔබේ පරිපතය දැකලා මටනම් හිනා ගියේ නෑ… කිසිම බලයක් නැතුව වැඩ කරන්නෙ කොහොමද කියලා පුදුම වුන එකනම් වුනා..

    තව විස්තර ගොඩාක් ඉදිරියෙදි බලාපොරොත්තු වෙනවා..

    ඔබ විස්තර, පින්තූර හොයලා වෙනදා වගේම වැඩේ තිතටම දීලා තියනවා.. නැවතත් නැවකට ස්තූතියි.. 🙂

    • නැවක් විතර විසාල කමෙන්ට් එකට මුලින්ම බොහොම ස්තුතියි. ඇත්තටම මම හිතුවේ මේ මාතෘකාව යන්තම් උඩින් පල්ලෙන් අතගාලා එක ලිපියකින් අවසන් කරන්න. නමුත් මගේ මතක අවදිවනවිට එය එසේ කල නොහැකි බව වැටහුනා. ඒ නිසයි දීර්ඝව ලියන්න හිතුවේ. මේ විෂයය ඔබේ ප්‍රියතම විෂයයක් වීම සතුටක්.

      Rediffusion මහනුවරත් තිබිලා තියනවා. මමනම් අහලත් තියනවා කොළඹදී.

      තරියා ගේ ලිපි පෙළ ඒ දවස්වලම කියෙව්වා. මම අදහස් දක්වලත් ඇති. බොහොම හොඳයි. ලංකාවේ ගුවන්විදුලි ඉතිහාසය මම නොකියන්නේ තරියා කියලා තිබුන නිසා. මම ලියන්නේ ගුවන්විදුලි යන්ත්‍ර ගැන පමණයි.

      කන්ද කැන්ඩි කලේ සුද්දාද, ලන්සියාද, පරංගියාද, කියලා හරියටම මතක නැත.

      පේනවා නේද ඔබේ තාත්තා වගේ ඒ කාලේ හිටිය තාත්තලා හොඳ වැඩකාරයෝ. පුතාලා වැඩබැරි දාසලා 😀 😀

    • හහ් දැන්නම් හිතන්නවත් එපා මේක උඩින් පල්ලෙන් ගහලා දාන්න හොඳේ… 🙂

      ඔබේ ලිපියත් අංග සම්පූර්ණ වෙන්න ඉතිහාසයත් ටිකක් එකතු කළොත් කොහොමද ? අනික තරියට මිස් වෙච්ච ඔබ අත්දැකීමෙන්ම දන්න කරුණුත් ඇතිනෙ.. මේ Rediffusion කේස් එක ඒ වගේ එකක්..

      ඇත්තටම අපේ තාත්තට හොඳ කාර්මික ඥානයක් තිබුනා.. මටත් ඒ කාලේ ඒ පැත්තට පොඩි නැබුරුවක් තිබිලා පස්සේ ඒක එහෙම්මම නැතුව ගියා.. තාත්තා එක්ක බලපුවම මම ඇත්තටම වැඩ බැරි දාස කෙනෙක් තමා.. 😦

      • ඔව් සෙන්නා මේ කමෙන්ට්ස් වලින් ඔබ සියලුදෙනාම මගේ මතකයේ වැලලීගිය තැන අවුස්සා මතක්කර දෙනවා. බොහොම පින්. හැබැයි දැන් පෙනෙන්නේ කොටස් තුනකටවත් යන්න වෙයිවගේ. ඉතිහාසයේ සමහර දේවල් ලියන්නම්.

        ඇත්තටම අපි බොහොම දෙනෙකුට අපේ තාත්තලා කල දේවල් කරන්න බැහැ. මගේ තාත්තා මා පිටේ තියාගෙන ගඟේ පීනනවා. අපේ කොණ්ඩය කපනවා, කුඩා කාලේ අපේ කලිසම් කමිස ගෙදරදීම රෙදිකපා මසා දෙනවා, චිත්‍ර අඳිනවා, තොරන් ගහනවා. කාර්මික වැඩ, වඩු වැඩ, කරනවා. අපිට මෙහෙම වුනේ ඒ ගැන ඇල්මක් ආදරයක් නොතිබුන නිසා වෙන්න ඇති. කොහොම වෙතත් යම් තරමකට හෝ ඒ දස්කම් අපිතුල ශේෂවී තිබෙනවා. අපේ දරුවෝ?

      • ඔය කියන දේ ගොඩක් හරි මහත්මයා , මොකද
        අපි එකක් ගැන හිතේ තියන් ලිව්වට කමෙන්ට් කරන
        අය නිසා තමයි ගොඩක් දේවල් එලියට එන්නේ..මගෙත්
        හැම පෝස්ට් එකටම වඩා විශාලයි කමෙන්ට් හරහා එකතු වෙන
        කරුණු..මාත් මේ තාක්ෂණික දේ ලියන එක ටික කාලෙකට නවත්තල
        තිබ්බේ ඒ ගැන උනන්දු අය නැති නිසා..මොකද අනිවාර්යෙන් ප්‍රශ්න කිරීම්
        එක්ක යන්න ඕනෙමයි ඔය දේවල්..නැතුව මොළේට කිඳා බහින්නේ නැහැ ..
        ස්තූතියි ඊයේ දිනයේ පැමිණියාට …:D

        • ඔබ කියනදේ හරියටම හරි. කතන්දරයක් කියනකොට අහගෙන ඉන්න අය හූමිටි තිබ්බේ නැත්නම් කතාන්දරය කියන්න එපා වෙනවනේ. ඒ වගේ තමයි මේකත්.

  17. සුපිරිම පෝස්ටුවක් නේ විචාරක තුමා… බොහොම ආසාවෙන් කියෙව්වා වගේම විශාල දැනුමක් ද ලබා ගත්තා.. ස්තුතියි ඔබට..

  18. අපේ ගෙදර තිබ්බා අර අතින් කර කවන ලොකු ස්පීකර මලක් තියෙන ග්‍රැමෆෝ එකක්.. තැටි වල තිබ්බෙ රුක්මණී දේවිගෙ සින්දු හතරක්.. අනිත් අර බල්ලෙක් ඉඳගෙන සින්දු අහන් ඉන්න ලොකු තැටි වල නම් තිබ්බෙ ඉංග්‍රීසි සින්දු තමයි..ඒ කාලෙ මතකෙ අවදි කෙරෙව්වාට පින් විචාරක තුමාට.. අනිත් ටිකත් ලියන්ඩකෝ..

  19. දැන් නම් මෙහෙ ඉඳන් ලෝකේ වටේ තියන වෑර්ලස් අහන්නෙ අයිෆෝනයෙන්!

  20. අපේ ගෙදරත් තිබුනා පරණ රේඩියෝවක්. ඒක වැඩ කරන හැටි බලන්න ගලවන්න ගිහින් ඒක ඉවරම වෙලා ගියා. ඊට පස්සේ රේඩියෝවක් හදන්න කෑලි එහෙන් මෙහෙන් එකතු කරල වැඩේ බාගයක් ගෙනියනකොට තාත්ත ඇවිත් සද්දේ දැම්ම . ඉතින් වැඩේ ඇතැරියා. 😦

  21. මාර රහයි. අනේ අර පොත මටත් කියවන්න තිබුනා නම්කියලා හිතුනා. මමත් ඔය වෑල්ව් ගැන ටිකක් දන්නවා. වෑල්ව් කිහිපයක් දැනටත් මාගාව තියෙනවා. කොහොම වුනත් තවම වෑල්ව් රේඩියෝ එකක අයිති කාරයෙක් වෙන හීනේ හැබෑ කරගන්න බැරි වුනා. එකක් ගෙන්න ගන්න නම් අදහසක් තියෙනවා. අපේ කාලේ අපි ඔය වැඩේම ට්‍රාන්සිස්ටර් අමුනලත් කෙරුවා. ඒකත් බැටරි නැතුව. මොකද කොයිල් එකේ ජනනය වෙන විදුලිය ප්‍රමානවත් ට්‍රන්සිස්ටරේ ඔන් කරන්න. කොහොම උනත් මට නිකන් ගෙදර ගියා වගේ දැනුනා. අපූරුයි මහත්මයා අපූරුයි. හිතට ආපු සේරම කෙ‍ටුවා නම් මෙතනතවත් පෝස්‍ටුවක් වෙනනිසා ඕං මම ගියා.

    • ඔබ කොපමණ දිග අදහස් දැක්වීමක් කලත් එය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එය ලිපියට ආලෝකයක් වනු ඇති.

      වෑල්ව් රේඩියෝ, නියම සුදුසුකම්ලත් කාර්මිකයන් අතින් හෝ ඒ රේඩියෝව නිපදවූ සමාගම් විසින්ම නැවත මුල් තත්වයටම සකසා,(Restore) විකුනන්න තියනවා, පිට රටවල.
      මෙන්න බලන්න.
      ට්‍රාන්සිස්ටර් ගැන ඉදිරියේදී ලියනවා.

  22. මටත් පාසල් කාලයේදී ඔය ඉලෙක්ට්‍රොනික් අංශය ගැන උනන්දුවක් තිබුනා. ඒත් ඒක දුර දිග ගියේ නෑ සරල පරිපථ කීපයකින් ඔබ්බට. කුමාරසිංහ රේඩියෝ ආයතනයේ දැන් තත්වයනම් දන්නේ නැහැ. ඒත් මීට අවුරුදු 7-8 කට කලින් පුවත්පත් දැන්වීමක් දැකල ඒ අයගෙන් පොතක් ගෙන්නා ගත්තා. ඒත් ඒවා යාවත්කාලීන වෙලා නැහැ 80 දශකයෙන් මෙපිට. වැල්ව්‍ පරිපථ නම් තිබුනේ නැහැ. ඊටත් කාලෙකට කින් ඔය සෙනිත් කියල සඟරාවක් ගෙන්න ගත්ත මතකයි.

    Redifussion ගැන නම් ඇහැව්වෙත් අදයි.

    බොහොම ස්තුතියි මේ ලිපිය පල කිරීම ගැන.. තව මදි.

    • මා හිතන්නේ කුමාරසිංහ ආයතනය දැන් ක්‍රියාත්මකව නැහැ. සෙනිත් සඟරාවත් මට මතකයි. නමුත් ඒ සඟරාවේ දුන්න පරිපථ, බොහොම පරණ ඒවා.

      රෙඩිෆියුෂන් කාලය සමග වියැකී ගිය දෙයක්.

      තව තොරතුරු ඊළඟ කොටසෙන් දෙන්නම්.

      ස්තුතියි අදහස් දැක්වීම ගැන.

  23. ඉමල්ක ද සිල්වා said:

    අපේ තාත්ත නම් කිව්වා ඔබ තුමා ඇදල තිබ්බ ඩයෝඩ් රේඩියෝ වල ඇහුනේ “චරු චුරු” සද්දයක් විතරයි කියල තාත්ලත් පොඩි කාලේ ඔව්ව හැදුවලු ,අද කාලේ තියෙන රේඩියෝ වලට වැඩිය ඔය පරණ රේඩියෝ කොච්චර ලස්සනද , පුලුවන්නම් හමුදාවේ සන්නිවේදන ක්‍රම ගැන අපි නොදන්නා ටිකකුත් දාන්නනකෝ

    • අද අපි එෆ්.එම්. තරංග වලින් අහන තරම් පැහැදිලි හඬක් අපි හදපු ක්‍රිස්ටල් යන්ත්‍ර වලින් ලබුනේ නැහැ. නමුත් එයින් ලද ආස්වාදය, මම තනියම පොඩි රේඩියෝ එකක් හැදුවා කියන හැඟීම, කියන්න බැරිතරම් වටිනවා.

      කණගාටුයි, හමුදාවේ සන්නිවේදන යන්ත්‍ර ගැන ලිවීමට නොහැකිවීම ගැන. එයට හේතුව රහසිගත කරුණු ඇතුලත් නිසා. හැබැයි මම හමුදාවේ සන්නිවේදන අක්ෂර මාලාව ගැන ලිපියක් ලියලා තියනවා. මෙතනින් බලන්න.

  24. ඒ කාලෙ තිබුන ඩ්‍රයි බැටරි වෑල්ව් රේඩියෝ එකක් අපේ ගෙදරත් තිබුනා.බැටරිය කාලයක් යනකොට බහිනවා.එතකොට කරන්නෙ දවල්ට අව්වෙ තියනව. රෑට පැය දෙක තුනක් අහන්න පුලුවන් එහෙම කරලා.බෙරෙක් කියන වර්ගයෙ බැටරි තිබුනෙ.තාත්තා බ්‍රවුන්ස් එකෙන් තමයි අලුත් බැටරියක් ගේන්නෙ.පස්සෙ ට්‍රාන්සිස්ටර් යුගයට ආවහම ගොඩක් අය තමන්ගෙ වෑල්ව් රේඩියො ට්‍රන්සිස්ටර් කලා.ඔය ක්‍රිස්ටල් රේඩියෝ මමත් හැදුවා. අපි නම් කලේ අර්ත් එක ප්ලග් එකේ නියුට්‍රල් එකට ගහන එක.කුමාරසිංහ සහ කැපිටල් රේඩියෝ අතර තරඟයක් තිබුනා.නවයුගය පත්ත්‍රයේ කාලයක් ගියා හොඳ ලිපිවගයක් ගුවන් විදුලි සහ රූපවාහිනී ගැන ගිරිඋල්ලේ ගාමිනී තිලකරත්න කියලා කෙනෙක් ලියපු මතකද? රෙඩි‍ෆියුශන් නම් 75 විතර කාලෙත් තිබුනා.

    • මුලින්ම ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා, ඉතා අගනා කරුණු රැසක් ඉදිරිපත් කිරීම පිළිබඳව. මේ කරුණු ඉදිරි ලිපිවලදී කියවෙනවා. ඔබ මේ විෂයය පිලිබඳ ලබාතියන අත්දැකීම් ඉතා වටිනවා. ගිරිඋල්ලේ තිලකරත්න මහතා 1980 දශකයේදී පමණ නේද ලිපි ලිව්වේ. එවැනි අය කීප දෙනෙක්ම හිටියා පොත් පවා පල කරපු. රෙඩිෆියුෂන් එක භාවිතයෙන් ඉවත්වුවාට පසු ඒ ස්පීකර් ඉහල මිලට අලෙවි වුනා. ඒ කාලේ දැන්වගේ පහසුවෙන් ස්පීකර් ගන්න තිබුනේ නැහැ. ඩ්‍රයි බැටරි ගැනත් ඉදිරියේදී කියන්නම්.

      • ගාමිනී තිලකරත්න නවයුගයට ලිව්වෙ 70 ගනන්වල අග.එයා ITVT කියල ආයත්නයක් දාල ඒ විශය ඉගැන්නුව 1978 කාලෙ.මමත් කාලයක් ගියා එයට.කලුසුදු TATUNG TV එක මතකද?ඒව තමයි ප්‍රැක්ටිකල් වලට ගත්තෙ.70 ගනන්වල ස්පීකර් සහ අනෙක් ඉලක්ට්‍රොනික් බඩු ගන්න වොක්ශෝල් වීදියෙ සතොසෙ පෝලිමේ හිටිය එකත් මතක් වුනා.

        • මා නිවැරදි කිරීම ගැන ස්තුතියි. ටාටුන්ග් ටී.වී. එකේ නේද අර කම්බියක් රවුමට නවා සකස්කළ ඇන්ටෙනා එකක් ආවේ? 70 ගණන්වල මමනම් බඩු ගත්තේ 2 වැනි හරස් වීදියෙන්. ගණන් වැඩි වුනත් හොඳ බඩු තිබුනා.

  25. ඒ දවස් වල අපි රේඩියෝ එක හයියෙන් හරි නැත්තම් විශේෂ වැඩසටහනක් නැතුව ඔහේ දාලා තිබුණොත් තාත්තා කියනවා හරියට “සයිවර් කඩේ වගේ” කියලා. (තොරතෝංචියක් නැතුව කට කියවනකොට කියන්නෙ “මරිය කඩේ වගේ” කියලා 😀 )
    පස්සෙ තමයි දැනගත්තෙ මේ සයිවර්(සෛව ) කඩ වල තිබිලා තියෙන්නෙ රැහැන් සහිත විකාශන යන්ත්‍ර කියලා. මේ විකාශන යන්ත්‍ර උදේ සිට රෑ වෙනකම් ම ක්‍රියාත්මක වුණා ල.)

    • රැහැන් සහිත විතරක් නෙවෙයි රහිත කාලෙත් ඒ කඩවල එහෙම තමයි රේඩියෝ එක දැම්මේ. ආපෝ…. මට හොඳට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ තෝසේ කන්ඩ යන (සත 30 කින් තුන් දෙනෙකුට කන්ඩ පුළුවන්) කඩේ රේඩියෝ එක කොච්චර සද්දද කියනවනම් වෙටර්ලට යටිගිරියෙන් කෑගහලා තමයි කතාකරන්නේ. 😀

  26. ඒ කාලෙ අපේ ගමටම තිබිලා තියෙන්නෙ වෑර්ලස් දෙකයි. එකක් අපේ තාත්තගෙ මාමා කෙනෙක් ගාව. අනික අපේ අම්මගේ තාත්තා හෙවත් සීයා ළඟ. තාත්තගෙ මාමා වතුපිටිවල සුපිරින්ටැන්ඩන් වැඩ එතකොට කොන්තරාත්තු වැඩ කරපු මනුස්සයෙක්. මිනිහාට කියන්නෙත් සුද්දා කියලා. එකක් සුදු හින්දා වගේම එව්වා මෙව්වා පන්නලා හොයන් ආපු සල්ලි සුද්දා වගේ වියදම් කරන හින්දා.

    මිනිහා ගමට එනකොට එන්නේ අලුත් ම පන්නයේ රේඩියෝවක් අරගෙනලු. ඒක සද්දෙට දාගෙන අතින් පයින් වියදම් කරන් ශපාන් එකේ ඉන්නවලු. අර සමහර රට ගිය ඇත්තො ලංකාවට ඇවිත් ඉන්නෙ. ඊට පස්සෙ ඔක්කොම සල්ලි වියදම් කරලා ගෙදරින් යන්නෙ අර රේඩියෝ එකත් විකුණලාලු. ඒ රේඩියෝ එක පුරුද්දක් විදිහට විකුණලා තියෙන්නෙ අපේ සීයට. අපේ සීයත් කලින් පාර ගත්තු රේඩියෝව කාවහරි අල්ලලා විකුණලා අලුත් එක ගන්නවාලු.

    මේ රේඩියෝව අහන්න හවසට හවසට කට්ටියත් එනවලු.

    හොඳම කාරණාව ඡන්දෙ අහන එකලු. ඡන්දෙ දා රෑට ගමේ කට්ටියම එක තැනකට එකතුවෙනවලු. එකතැනකට කිව්වෙ රේඩියෝ එක තියෙන තැනකට. ඒ එද්දි කෑමත් හදන්ලු එන්නෙ. ඉතින් කට්ටිය පාට පක්ෂ භේදයක් නැතුව අර කෑමත් බෙදාගෙන කකා ඡන්දය අහනවලු. තමන්ගෙ පැත්තට ආසනයක් ආවම ඒ පැත්තෙ අය රතිඤ්ඤා දානවලු. අනික් පැත්තට ආසනයක් ආපුවම ඒ අයත් දානවලු.

    කමෙන්ටුව පෝස්ටුවට අදාළද මන්දා?

    • ඇත්තටම රේඩියෝ සම්බන්ධ මෙවැනි රසවත් කතා බොහොමයක් ගම්බදව තිබෙනවා. මමත් මතක් වුනොත් ඊළඟ කොටසේදී ලියන්නම්. බොහොම ස්තුතියි මේ විස්තරයට.

  27. හ්ම්ම්ම්ම් නියමයි මමත් නිකන් ඉන්න වෙලාවක ට්‍රයි කරලා බලන්න හිතාගත්තා ඔය සරල වෑර්ලස් එක හදන වැඩේ.
    කෝරලේ වලව්ව

  28. […] අපි අහපු වෑර්ලස් පළමුවැනි කොටසට ඔබෙන් ඉතා සතුටුදායක ප්‍රතිචාර ලැබී […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: