විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  ??????????????????????????????????????????????????????????????????????????????????ඔබෙන් සමහර අයට මතක ඇති මම 2013 ජනවාරි පළමුවැනිදා ලිව්වා, සුබ නව වසර අපිම උදාකරගනිමු කියලා සුබ පැතුමක්. අපි ගෙවන්නේ කොයි තරම් ඒකාකාරී ජීවිතද? ඔබට හිතෙන්නේ නැද්ද අපි හැමදාම එකම රවුමේ යන්නේ කියලා. හිතලා බලන්න. අලුත් අවුරුද්ද, (ව්‍යවහාරික වර්ෂ ක්‍රමය අනුව) තෛපොංගල් උත්සවය, නබි තුමාගේ උපන්දින සැමරුම, මහා සිවරාත්‍රි දිනය, සිංහල දෙමළ අළුත් අවුරුදු උත්සවය, මහ සිකුරාදා දිනය, වෙසක් උත්සවය, පොසොන් උත්සවය, හජ්ජි උත්සවය, දීපාවලී උත්සවය, නත්තල් උත්සවය. ඔය විදිහට අපි එක අවුරුද්දක් තුළ විවිධ ජාතීන් හා ආගම් පදනම් කරගෙන, සංවත්සර හෝ සැමරුම් පවත්වනවා. රාජ්‍ය නායකයෝ, ආගමික නායකයෝ, මාධ්‍ය වෙත පණිවිඩ නිකුත් කරනවා. ඒවා මහා ඉහළින් පළ කරනවා. හැමදාම කියන්නේ එකමදේ. කරන්නේ එකම දේ. වෙන්නෙත් එකම දේ. ඊළඟ අවුරුද්දෙත් අපි ඔය රවුමේම යනවා.

  tumblr_mrtqa8pFOU1qfvq9bo1_500ඔය කාලසටහනට සාපේක්‍ෂව අපේ ජීවිතවල කොපමණ වෙනස්කම් වෙනවාද කියා සොයා බැලුවොත්, සිදුවෙන්නේ බොහොම ටිකයි. එයිනුත් බොහොමයක් භෞතිකමය වෙනස්වීම්. ඉඩමක් ගැනීම, ගෙයක් හැදීම, පදිංචිය වෙනස් වීම/කිරීම, රැකියාවක් ලැබීම/රැකියාවේ වෙනස්වීම්, එහෙම නේද? මම කියන්නේ ඒවා නරකයි කියලා නෙවේ. ඒවා කරන්න එපා, ඒවා පලක් නැති වැඩ කියලා නෙවෙයි, ඊට සාපේක්‍ෂව ආධ්‍යාත්මික වශයෙන් වෙනස්වීම් සිදුවන්නේ බොහොම ටිකයි. විවාහ වීම/දික්කසාද වීම, දරුවන් ඉපදීම/පවුලේ අය මියයාම  භෞතිකමය වෙනස්වීම්ද ආධ්‍යාත්මික වෙනස්වීම්ද? ඔබම සිතා බලන්න. 

   going-round-in-circles-G-Gawne-Kelnar මම කියන්න හදන්නේ මෙයයි. අපි මේ රවුමේ යාමෙන් වෙනස්විය යුතුයි කියලා ඔබට කවදාවත් හිතිලා නැද්ද? හිතුනත් කොහොමද එහෙම වෙනස්වෙන්නේ කියලා හිතෙන් තර්ක කරලා නැද්ද? මම මෙතනට කිසිම ආගමක් ගාවගන්න කැමති නැහැ. මම කියන්නේ නිදහසේ හිතන්න කියලා විතරයි. ඇත්තටම සමහර දේවල් තියනවා අපට වෙනස් කරන්න බැරි. නියමිත වෙලාවට රැකියාවට යාම, දරුවන් පාසල් යැවීම, වැනි දේවල්. ඒවා පැත්තක තියන්න. ඒවායින් සමහරක් අපි කරන්නේ කැමැත්තෙන් නොවෙයි. නොකර බැරි නිසා. අපේ ජාතික ආගමික චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමත් අර දිනපතා කරන අනෙක් කටයුතු මෙන් ඒ නියමිත දිනයේදී අවම මට්ටමෙන් කරලා ‘ඔන්න ඒ වැඩෙත් ඉවරයි’ කියලා හිත හදාගන්න එකද හරි, එහෙම නැත්නම් එයින් තමන්ටත් පවුලේ අයටත් යම්කිසි ආධ්‍යාත්මික සුවයක් දෙන ආකාරයට කරන එකද හරි.

  මම හිතන්නේ, ව්‍යවහාරික වර්ෂ ක්‍රමය නිසා, ජනවාරි පළමුවැනිදා, කිසියම් ආරම්භයක් ලෙස සළකනු විනා, සැමරුමක් ලෙස සළකා කටයුතු කිරීම අපේ රටේ බොහෝ දුරට සිදුවන්නේ නැහැ. සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද තමයි සැමරුමක් ලෙස වඩාත් තැනක් ලබන්නේ. එතැනදී නම් චාරිත්‍ර වාරිත්‍ර වලට මුල් තැනක් ලැබෙනවා. චාරිත්‍ර වාරිත්‍ර කියන්නේ කලයුතු දේ සහ නොකර වැළකී සිටියයුතු දේ කියන එකනේ. ඒවා අනුගමනය කිරීම හොඳයි. බාල පරපුරත් ඒ වෙත යොමුකිරීම හොඳයි. හැබැයි එය අන්ධානුකරණයක් නොවියයුතුයි. අද ඉන්න ළමයි තර්කානුකූලව විමර්ශනශීලීව ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න මේ චාරිත්‍ර වාරිත්‍ර ගැන වියහැකියි.

  මට මතක් වෙනවා බොහොම කාලෙකට ඉහත මා දුටු පුවත්පත් කාටූනයක්. මගුල් ගෙදරකට ගිය කුඩා දරුවකු (අර හැමදේම ගැන නොකඩවා ප්‍රශ්න අහන වයසක් තියෙන්නේ. අන්න ඒ වයසේ ළමයෙක්. මම දැකලා තියනවා හරකුන්ටත් වඩා පහළ මට්ටමේ මොළයක් තියන දෙමවුපියෝ, එවැනි ළමයින්ට තරවටු කර කටවසා, ඒ ළමයා සදාකාලික මොට්ටයෙක් කරන හැටි) තමන්ගේ පියාගෙන් විමසනවා ‘අර මොකද තාත්තේ අර මනමාලයාගෙයි මනමාලිගෙයි ඇඟිලි දෙක එකට අල්ලලා බැඳලා තියෙන්නේ’ කියලා. තාත්තා කියනවා ‘ඒ පුතේ අර කුඹුරේ හානකොටත් ගොන්නු දෙන්නා එකට බඳින්න එපායැ. අන්න ඒ වගේ තමයි’ කියලා.   😀

 13518511808067 අපි සිංහල/දෙමළ/මුස්ලිම්/ වුනේ කොහොමද? අපි බෞද්ධ/කතෝලික/හින්දු/මුස්ලිම් ආගමේ වුනේ කොහොමද? ඇයි අම්මේ අපි සිංහලෙන් ගාථා කියලා බුදුන් වඳින්නේ නැත්තේ? ඉතින් අම්මේ, බුදු හාමුදුරුවන්ට තිබුණනේ, සතියක් ඇහිපිය නොහෙලා බෝධිය දිහා බලා ඉන්නවාට වඩා, බෝධියට වතුර ටිකක් පෝර ටිකක් දාලා සත්කාර කරන්න. මෙන්න මේ වගේ ප්‍රශ්න ඔබේ දරුවා ඇහුවොත් ඔබ කෝප වෙනවද? දරුවාට තරවටු කරනවද මෝඩ ප්‍රශ්න අහන්න එපා කියලා? ඔබම හිතා බලනවද මොකක්ද දියයුතු සුදුසුම පිළිතුර කියලා? ඇත්තටම සමහර ප්‍රශ්න බොළඳ, මෝඩ, ඒවා වියහැකියි. ඒ ප්‍රශ්න අහන්නේ ළමයෙක්. හොඳින් මතක තියාගන්න ළමයා කියන්නේ පුංචි මිනිහෙක් නෙවෙයි. ළමයා කියන්නෙ ළමයාට. ඔහුට බැහැ මනසින් අපේ තත්වයට ඇවිත් ප්‍රශ්න අහන්න. ඔහු ඉන්නේ ඔහුගේ ලෝකයේ. අපි තමයි ඒ ලෝකය වනසන්නේ. අන්තිමට අපිම තමයි ළමයාව මානසිකව දූෂණය කරන්නේ.  

  හොඳයි, දැන් කොහොමද අළුත් අවුරුද්ද කියන එක හැමදාම තියාගන්නේ? ජනවාරි පළමුවැනිදාත් වෙනදා වගේම ඉර පායලා බැහැලා යනවා. ආයෙ අපට පුළුවනෑ ඒක අතින් අල්ලලා නවත්තන්න. අතින් අල්ලලා නවත්තන්න බැරි නම් අපි කරන්න ඕනේ හිතින් අල්ලලා නවත්තගන්න එක. ඔය බොහොමයක් දේවල් තියෙන්නේ අපේ හිතේනේ. අපි නිතර හිතෙන අලුත් වෙනවානම් (වෙන්න පුළුවන්නම්) අළුත් අවුරුද්ද අපේ හිතේ දිගටම තියනවා. ඒ කියන්නේ උදාවන හැම දවසම අලුත් දවසක් කියනඑක අඩු ගානේ උදේ වරුවටවත් හිතේ ධාරණය කරගන්න පුලුවන්නම් එය අපේ සාර්ථකත්වයට හේතුවක් වෙනවා. ඔව්වා කරන්න ආය මේ ධනාත්මක චින්තන පාඨමාලා කරන්න අවශ්‍ය නැහැ.  හොඳයි, දැන් මම ඔබට පුංචි යෝජනාවක් කරන්නයි හදන්නේ. මොකක්ද දන්නවද? මම පහත සඳහන් කරනවා කරුණු දහයක්. හිතලා බලන්න මේ දේවල් හාරන්න පුලුවන්ද බැරිද කියලා. ඉස්සරවෙලාම කරුණු දහය කියන්නම්කො.

1.  දිනපතාම වගේ දකින (පාරේදී/බස් නැවතුමේදී/කෝච්චියේදී/කාර්යාලයේදී/) එහෙත් තරහත් නැති, යාළුත් නැති කෙනෙකුට, සුබ උදෑසනක්/අද පරක්කු වුනා නේද/අද බස් නැද්ද/එපාවෙන වැස්සනේ/ වගේ වචනයකින් සංග්‍රහ කරන්නකෝ.

2. ඔබේ රැකියාව අභියෝගයක් කරගන්න. එය ජයගන්නට උත්සාහ කරන්න. දවස අවසානයේ සතුටුවියහැකි කාර්යභාරයක් අවසන් කරන්න. අද කොහොමහරි ඉවසීමෙන් වැඩ කරනවා. ඔෆිස් එකේදී කේන්ති ගන්නේ නැතුව ඉන්නවා කොච්චර වැඩ ආවත්. ඔන්න ඔයවගේ සිතුවිල්ලක් දෙකක් දෙකක් දිනපතාම හිතේ ඇතිකරගන්නකෝ.

3. උදේට වැඩට යන්න පෙර හෝ රාත්‍රියේ නිදාගන්න යන වෙලාවටවත් තමන්ගේ ආගම සිහිකරන්නකෝ. (මහා කැලේ ගස් යට කූඩාරම් වල ඉඳගෙන යුද්ද කරන සෙබළු බොහොමයක් දිනපතා ආගම අදහන්නේ ජීවිතයට තියන බය නිසා නෙවෙයි. භික්ෂූන් වහන්සේලා යුද බිමට ඇවිත් කළ ධර්මදේශනා ඇසීමෙන්) මම රෑ වෙනතුරු පරිගණකයේ එල්ලිලා ඉඳලා, නිදාගන්න යන්නේ, අපේ ගෙදර තැන්පත් කර තිබෙන බුදු පිළිමය පසුකරගෙනයි. ඉතින් අනිවාර්යයෙන්ම මතකයට එනවා ආගම සිහිකරන්න, නිදාගන්නට පෙර.  

4.  අද මම මෙන්න මේ හොඳ දේවල් කළා කියලා මතක්කරන්න නින්දට පෙර.  

5. විනාඩි පහක්වත් වෙන්කරගන්න සිරුර සැහැල්ලුවෙන ව්‍යායාමයක් කරන්න. (වෙහෙසවී වැඩ කරන අයටත් තියනවා සිරුරට සහනය දෙන එවැනි ව්‍යායාම)  

6.  ඔබ නිතර ලියන කෙනෙක් නෙවෙයිනම් දිනපොතක හෝ හැමදාම මොනවාහරි සටහන් කරන්න. විශේෂයෙන් තමන්ගේ සිතුවිලි සටහන් කිරීම සිත සැහැල්ලු කරගැනීමේ එක සාර්ථක ක්‍රමයක්.

7.  ලිවීම වගේම තමයි කියවීම. මමනම් පෞද්ගලිකව විශ්වාස කරන්නේ නැහැ පොතක් කියවීමෙන් ලැබෙන වින්දනය බ්ලොග් කියවීමෙන් ලැබෙනවා කියා. ඒ නිසා මුද්‍රිත පිටු කියවීමත්, දැනුම දියුණුවන, මනසට විවේකයක් දෙන, හොඳ ව්‍යායාමයක්.

8.  ගෙදර තියන ප්‍රශ්න කාර්යාලයටත්, කාර්යාලයේ තියන ප්‍රශ්න ගෙදරටත්, ගෙනයාම/ගෙන ඒම වළක්වාගන්න සියළු උත්සාහ දරන්න.

9. දිනපතාම ඔබේ අසල්වැසියන්ගෙන් එක්කෙනෙකුටවත් කතාකරන්න. ඒ අසල්වැසියාට කරදරයක් නොවේනම් විනාඩි පහක්වත් ඒ ගෙට ගොඩවී කතාකරන්න. යටත්පිරිසෙයින් දුරකථනයෙන් වත් කතාකරන්න. ගෙදර හදන කෑමබීම වලින් මොනවාහරි ඉඳහිටවත් දෙන්න. ආපසු බලාපොරොත්තු නොවන්න.

10.  ඔබේ දුර්වලතා හඳුනාගන්න. අනෙක් අය නිරීක්ෂණය කරන ඔබේ දුර්වලතා මගහරවා ගන්නට පැහැදිලි සැලැස්මක් හදාගන්න. (මම මේ දිනවල අධිෂ්ඨාන කරගෙන තිබෙන්නේ අන්‍යයන් උවමනාවට වඩා විශ්වාස කිරීමේ දුර්වලත්වය මගෙන් ඉවත් කරගැනීමටයි)

 මම මෙතන කිව්වේ කරුණු 10 ක් පමණයි. තව කරුණු එකතු කරන්න පුළුවන්. නමුත් මම හිතුවේ 10 ක් පමණක් කියන්නයි. අපි හැමදෙනාටම හැමදාම මේ ඔක්කොම කරන්නට බැහැ. මෙය අපේ චර්යාවන් වෙනස්කරගැනීම සඳහා කිසියම් රුකුළක් කරගැනීම තමයි කරන්න පුළුවන්.

අධිෂ්ඨානය

බුද්ධිය

චිත්තධෛර්යය තුළින්

සුබ නව වසරක් උදාකරගැනීමට

ඔබට හැකිවේවා! 

my-signature-for-blog[1]2014 ජනවාරි මස 1 දින 0001 පැය

Comments on: "හැමදාම සුබ අලුත් අවුරුද්දක් වේවා! කියමුද? කරගනිමුද? – An Everlasting New Year" (26)

  1. සෑම දාම සුබ අලුත් අවරුද්දක් කරගනිමු. ඔබ සහ ඔබේ ආදරනීයයන් සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවා !

  2. ලැබුවා වූ 2014 නව වසර මුළු වසර පුරාවටමත් සුබම සුබ එකක් බවට පත් කරගනිමු.
    සැමට සුබ නව වසරක් වේවා !

  3. පත්තර මල්ලි said:

    ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා විචාරක තුමනි !!

  4. පුරුදු විදියටම වටිනා හරවත් ලිපියක්.විචාරකතුමා සහ පවුලේ සැමට​ 2014 අලුත් අවුරුද්ද ජරමර බරබර කරදර නැති රසබර මනහර සුන්දර වු එකක් වේවා !!!!

  5. සුභ නව වසරක් වේවා විචාරක තුමනි!

  6. සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබටත්

  7. //”එහෙත් තරහත් නැති, යාළුත් නැති කෙනෙකුට, සුබ උදෑසනක්/අද පරක්කු වුනා නේද/අද බස් නැද්ද/එපාවෙන වැස්සනේ/ වගේ වචනයකින් සංග්‍රහ කරන්නකෝ.”// කාලෙකට කලින් මම ඔය වැඩේ කරා විචාරක මහත්තයෝ අපේ බස් හෝල් එකේදී මම දන්නෙත් නැති දැකල පුරුදු හැමදාම එන ගෑනු ළමයෙකුට .හෆ්ෆා ප්‍රතිචාරේ හරිම සෝචනීයයි …ඇඩේනවා තාම මතක් වෙනකොට.

    ඔබට සුබ නව වසරක් විචාරක මෙහිඔබ් සඳහන් කල කාරනා සියල්ලටම එකඟයි. ඇත්තටම ජීවිතේ හදාගන්න අපි හැම අවුරුද්දකම මේ වගේ ප්‍රාර්ථනා ඇති කර ගන්නවා. එත් ටික දවසක් යනකොට ආපහු පරණ කාලසටහන්ටම වැටෙනවා…අනන් එක නවත්වාගන්න එක තමයි අමාරු.
    ඔබට ජයෙන් ජය , උදාවූ වසරේදීත් ඔබ වැන්නවුන්ගේ ඇසුර ලබන්නට වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්

    • හපොයි ගෑණු ළමයින්ට එහෙම සුබ පතන්නට යාම ශරීර සෞඛ්‍යයට ගුණ නැත. යමක් අවබෝධ කරගන්න පුළුවන් මට්ටමේ කෙනෙකුට සුබ පැතුවම ඇති.

      ඔබටත් පවුලේ සැමටත් නව අවුරුදු ආසිරි පතනවා.

      බොහොම ස්තුතියි ඇගයීම පිළිබඳව.

  8. අනික් එකට කමෙන්ට් කලා. ඒකේ ලින්ක් එක මෙතන දාන්ට පුලුවන්ද කරුණා කරලා. මේක අප්ඩේට් වෙන්නේ වෙලා ගිහින්… 😦

  9. වෙඩි වගේ ලිපි ගොඩාක් දාන්න වෙන සුබ නව වසරක් වේවා විචාරක අංකල්……. ආ ඒ වගේම පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා.

    • සුබ නව වසරක් වේවා සහන්. කොහොමද මේ අවුරුද්දේ වැඩ පිළිවෙල ඔයාගේ? ඉදිරියට ලිපි කීපයක් සූදානම් වෙමින් පවතිනවා.

      • ම්ම්ම්… අවුරුද්දේ වැඩපිලිවෙල කියලා විශේෂ දෙයක්නම් නෑ….. පූර්ණ වශයෙන්ම ඉගෙනීමට වෙන්වෙලා, අනිත් ඒවා ඊලඟට. (අම්මනං කියනවා කසාදයක් බැඳගන්න කියලා අනේ මංදා ඉතිං ඕවා ඔක්කොටම කලිං බඳින්න කෙනෙක් හොයාගන්න එපැයි. 😀 )

        • හපොයි කොල්ලෝ ඉගෙනීම ඉවරවෙනකල් බඳින්න එපා. උපාධි පශ්චාත් උපාධි ඔක්කොම ඉවර කරගන්න එක තමයි හොඳ. හැබැයි අවුරුදු 32 වෙන්න කලින් බැඳගන්න (ගහකට තියලා හරි 😀 )

  10. ඔය ලැයිස්තුවෙන් වැඩි හරිය මම දැනටත් කරනවා විචාරක. ඔබට සහ පවුලේ සැමට සුභ නව වසරක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.