විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  බලු කිරි කාරයන්ගේ බලු වැඩ නිසා මේ ලිපිය සකස් කිරීම පසෙක තබා, ‘බලුකිරි හෙවත් ජරා ඔන්ලයින් සමාජය’ ගැන කෙටි ලිපියක් ලියන්න වුණා. ඒ පිලිබඳ අදහස් හා උපදෙස් ලබාදුන් ඔබ සියළු දෙනාට මුලින්ම හද පත්ලෙන්ම ස්තුතිවන්ත වෙනවා.

  

  පසුගිය ලිපියෙන් අපි කතා කලේ රැකසිට පහරදීමකදී විශේෂයෙන් ප්‍රයෝජනයට ගන්නා බෝම්බ සහ ආයුධ පිළිබඳවයි. සමහරවිට ඔබ හිතන්න ඉඩ තිබෙනවා එහෙනම් තුවක්කු පාවිච්චි කරන්නේ නැද්ද කියා. ඒවා පාවිච්චි නොකර කොහොමද රැකසිට පහර දෙන්නේ. ඒවා අනිවාර්යයෙන් පාවිච්චි කරනවා. T 56 වැනි සාමාන්‍ය තුවක්කුවල සිට T 56 සැහැල්ලු යාන්ත්‍රික තුවක්කු, MPMG  (Medium Purpose Machine Gun) වැනි ප්‍රබල මැෂින් තුවක්කු, දක්වා ඒ සඳහා යොදාගන්නවා. ඒ එක් එක් තුවක්කු යොදා ගැනීමේදී සහ ස්ථානගත කිරීමේදී විශේෂ සැලැස්මකට අනුවයි යොදන්නේ.

රැකසිට පහරදීමක අරමුණ කුමක්ද?

  පිළිතුර ඔබේ සාමාන්‍ය දැනුම තුළ තිබෙනවා. ඔබ ඔබේ සතුරෙකුට රැකසිට පහර දෙන්නේ ඇයි? ඔහුගෙන් ඔබට තියන කිසියම් තර්ජනයක්, අභියෝගයක් ඇත්නම් එය නැති කරගැනීම සඳහා. සතුරාගේ වැඩ පිළිවෙල සහ අනාගත සැළසුම් හෝ දැනට කරගෙන යන සැළසුම් අවුල් කිරීමට. සතුරා භීතියට පත්කර ඔහුගේ චිත්ත ධෛර්යය පහත හෙලීමට. සතුරා ඔබේ ප්‍රදේශයට පැමිණීම හැකිතරම් අඩු කිරීමට හෝ සම්පුර්ණයෙන් වැළක්වීමට.

  ඔබේ සහෝදරියට බැල්ම දාන්න ඔබේ ගෙවල් පැත්තේ කැරකෙන, ඔබට අල්ලන්නේ නැති මුණක් සහිත සතුරාට, එසේ නැතහොත්, දුකසේ ගොඩනගාගත් ඔබේ ප්‍රේමයට අකුල් හෙලන දුෂ්ඨයාට, පොඩි ඇම්බුෂ් එකක් දෙන්නේ ඉහත සඳහන් අරමුණු ඉටුකර ගන්නයි.

  ඉතින් යුද්ධයේදී වෙන්නෙත් මේ ටිකම තමයි. ඔබ ඔබේ සතුරාට පහරදීමට පිහියක්, පොල්ලක්, බයිසිකල් චේන් එකක්, ඇසිඩ්, (සමහරවිට කක්කා 😀 :D) පාවිච්චි කරනවා. හමුදාව යුද්ධායුධ පාවිච්චි කරනවා. ඔබ තනිවම හෝ හොඳම මිතුරකු හෝ මිතුරන් කීප දෙනෙකු සමග ක්‍රියාන්විතය කරනවා. හමුදාව කුඩා කණ්ඩායමක සිට විශාල භට පිරිසක් දක්වා බලයක් යොදවනවා. ඉතින් බලන්න ඇම්බුෂ් එක අපේ ජීවිතයට කොයිතරම් සමීපද කියා.

ඉතින් කියන්නකෝ ඇම්බුෂ් එක කරන හැටි

   හ්ම්ම්ම්ම්……… ඔන්න ඔතනදි තමයි මම අමාරුවේ වැටෙන්නේ. මොකද මේක ප්‍රවෘත්තියක් නේ. එහෙමත් නැත්නම් කතාවක් නේ. ඒ මදිවට මේක යුද්ධ කිරීම පිලිබඳ කතාවක්නේ. ප්‍රවෘත්ති වාර්තාකරණය පිලිබඳ සුප්‍රසිද්ධ කියමනක් තියනවා ඔබ අසා ඇති.

  මොකක්ද ඒ.

‘ප්‍රවෘත්තියක් හරියට ලස්සන තරුණියකගේ කොට ගවුමක් වගේ වෙන්න ඕනේ. බලන්නාගේ අවධානය දිනාගැනීමට තරම් කෙටි විය යුතුයි. අවශ්‍ය දේ ආවරණය වන තරමට දිග වියයුතුයි’.

  ඉතින් ඔන්න ඔය උපදේශය අනුව බොහොම පරෙස්සමෙන් වචන තෝරාගෙන, අවශ්‍ය අවම තොරතුරු ප්‍රමාණය ලියන එක මටනම් හිතෙන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ කරන්න නෙවෙයි. තමන්ව නොකැපී ගොළු බෙල්ලා දැලිපිහි තලයේ ගමන් කරනවා වගේ කරන්නයි. හොඳයි එහෙම කරන්න බලන්නම්.

රැකසිට පහරදීමක පියවර අනුපිළිවෙල

1. තොරතුරු සොයා බැලීම.

  සැළසුම් සහිත රැකසිට පහරදීමක්‌ සඳහා අවශ්‍ය මුලික කරුණක් වන්නේ තොරතුරු සොයා බැලීමයි. දැන් අර ඔබේ සහෝදරියට බැල්ම හෙලන ‘භූතයා’ ගැන තොරතුරු හොයාගන්නේ කොහොමද? ඔබේ යාලුවන්ට කියනවා මෙන්න මෙහෙම එකෙක් ඉන්නවා, ඌ යන එන තැන් මට කියපල්ලා, කියලා. පුලුවන්නම්, ඒ භුතයාගේ පින්තුරයක් ඔබේ ජංගම දුරකතනයෙන් අරගෙන, MMS මගින් යාලුවන්ට යවනවා මෙන්න භූතයා කියලා. ඔබත් මහන්සිවී තොරතුරු හොයනවා, ඔහුගේ චර්යා රටාව පිළිබඳව. එවිට හොයාගන්නට ලැබෙනවා, ඒ පුද්ගලයා උදේට ගෙදරින් එලියට බැස්ස වෙලාවේ සිට හවස ගෙදර එනතුරු යන එන තැන්, ඒ තැන් වලට යන එන වෙලාව, ආදිය. ඒ අනුව ඔබට පුළුවන් භූතයා ඇම්බුෂ් කිරීමේ සැලැස්ම හදන්න.

  යුධයේදී වෙන්නෙත් විමර්ශන මුර සංචාර, (Reconnaissance Patrol) නිරීක්ෂණ ස්ථාන, (Observation Points) (උස ගසක මුදුනේ, උස කන්දක් මුදුනේ, දුරදක්නයක් සහිත එක්කෙනෙක් හෝ දෙන්නෙක් යෙදවීමෙන් දැකගන්න පුළුවන්, ඉදිරි භුමියේ සතුරාගේ හැසිරීම්. සමහර ස්නයිපර්ලාත් මේ තොරතුරු ලබා දෙනවා) බුද්ධි තොරතුරු, (Military Intelligence Sources) ආදිය මගින් තමයි සතුරාගේ නිශ්චිත චර්යා (Routine Activities) (මේ වෙලාවට එනවා, මේ වෙලාවට යනවා, මෙපමණ පිරිසක් ඉන්නවා, මෙන්න මේවගේ ආයුධ අතේ තියනවා, මෙන්න මේ වගේ ඇඳුම් ඇඳලා ඉන්නේ, වැනි) පිළිබඳව දැනගන්නේ.

2. ස්ථානය තෝරා ගැනීම

  ඔබ අර භුතයාව ඇම්බුෂ් කරන්න තෝරාගන්නේ මොනවගේ තැනක්ද? වඩාත්ම හොඳ කාගේවත් ඇස නොගැටෙන තැනක්නේ. මිනිහා හවසට වැඩ ඇරිලා එන පාරේ සොහොන් පිටියක් එහෙම තියනවනම්, ඔබේ හිත හයියනම් තනිවම හෝ, නැත්නම් තවත් යාලුවෙක් එක්ක හෝ, සොහොන් පිටියේ හැංගිලා ඉඳලා ඇම්බුෂ් කිරීම නේද වඩා සුදුසු. ඉතින් ඒ වගේම තමයි සතුරා බලාපොරොත්තු නොවන තැනක් තෝරාගෙන තමයි හමුදා ඇම්බුෂ් එක යොදවන්නේ.

3. ස්ථානගතවීම, ප්‍රහාරය, ආපසු පැමිණීම

  දැන් ඔබ අර සොහොන් පිටියට යන්නේ කොහොමද? රටටම පෙනෙන්න නෙවෙයිනේ. කළුවර වැටුනට පස්සේ තාප්පෙන් පැනලා හෝ ගම්බද සොහොන් පිටියක් නම් වටපිට සෝදිසි කර හෙමීට රිංගා ගැනීමෙන් ස්ථානගත වෙනවා.  යුද්ධයේදී කරන්නේ, සිතියමක් සකස් කරනවා, මෙන්න මේ පාරෙන්, මෙන්න මේ වෙලාවට මෙන්න මේ ස්ථානයට, මෙන්න මේ ක්‍රමයට (පයින්/වාහනයෙන්/ඒ දෙකෙන්ම, ආදී වශයෙන්) යනවා කියලා.

  ඊට පස්සේ……… ඉතින් කියන්න ඔබේ ක්‍රමය. හැම වෙලේම මම කියනකල් ඉන්න එපා. හිතන්න හිතන්න, මොකක්ද ඊට පස්සේ ඔබ කරන්නේ? හොල්මනක්වත් කතාකරයිදෝ කියලා චූ යන තරම් බයේ ඉන්නවද, වරෙන් පුතෝ, දෙන්නම් අද ……යන්න කියලා සුදානම් වෙන එකද? හොඳයි මෙහෙම හිතන්න. ක්‍රියාන්විතය සඳහා අවශ්‍ය චිත්ත ධෛර්යය ලබාගැනීම සඳහා, ඔබ ඔබේ යාලුවත් එක්ක යන්නේ අරක්කු බෝතලේකුත් අරගෙන කියලා හිතන්න. ඔබ දෙදෙනාට පදම වැඩි වුනොත්, ආව කාරණය අමතක වෙලා, සොහොන් පිටියේ සුපර් ස්ටාර් පටන් ගත්තොත්, මොකද වෙන්නේ. ඒ වගේම පදම වැඩිවීම නිසා අර භුතය දැක්කම, ‘මල්ලී මට සමාවෙයන්, මම තරහ නෑ. උඹ හෙටම අපේ ගෙදර වරෙන්. මම අපේ නංගිව උඹට දෙනවා’ කියලා බදා ගන්නත් ඉඩ තියනවා නේද ඇම්බුෂ් එක පැත්තක දාලා. ඒ වගේම භූතයා ඉන්නෙත් හැම වෙලාවේම සෝදිසියෙන් කියලා හිතන්න. ඔබ දෙදෙනා සොහොන් පිටියේ කළුවරේ ඉන්න ගමන් සිගරට් එකක් පත්තු කරනවා. හොඳ සෝදිසියෙන් එන භුතයාට ඒ එලිය පෙනෙන්න ඉඩ තියනවා. සිගරට් ගඳ දැනෙන්න ඉඩ තියනවා. මිනිහා වැඩ කාරයෙක් නම් හෙමීට වටෙන් කැරකිලා ඇවිත් ඔබට වැඩක් දෙනවා. 

  දැන් තේරෙනවා නේද ඇම්බුෂ් එකකදී කොපමණ ඉහළ විනයක් සහ හැසිරීමක් තියෙන්න ඕනෙද කියලා. එක්කෙනෙකුට කැස්සක්, කිඹුහුමක්, ගියොත් මුළු ඇම්බුෂ් එකම ඉවරයි. මොකද අර භූතයා වගේ නෙවෙයි, යුද පුහුණුව හොඳින් ලබපු, ආයුධ වලින් සන්නද්ධ සතුරු පිරිසකට එරෙහිවයි මේ ඇම්බුෂ් එක කරන්නේ. එකයි මම මාතෘකාවේ දැම්මේ The Deadly Game ‘Ambush’ කියලා.

 ඇම්බුෂ් එකක් ස්ථාන ගත කලාට පසු රැකිය යුතු ඉහළම විනය තමයි සෙලවීමෙන් හෝ ශබ්ද නැගීමෙන් තොරව සිටීම. (මම පුහුණුව ලබන කාලේ අඹේවෙල පැත්තේ තමයි ඇම්බුෂ් අභ්‍යාසය තිබුනේ. මහ රෑ මර හීතලේ ඇම්බුෂ් එක දාගෙන ඉන්නවා. අපේ උපදේශකලා තමයි සතුරන් ලෙස එන්නේ. මගේ යාලුවෙක් ඇම්බුෂ් එකේ කපලා බුදි. ඒ මදිවට මේකා කොටයක් ඉරන්න පටන්ගත්තා, අඹේවෙලට නෙවෙයි මධ්‍යම සහ ඌව පළාත් දෙකටම ඇහෙන්න. කීප සැරයක් කිව්වා ‘යකෝ ගොරවන්නැතුව බුදියගන්’ කියලා. ඇහුවද පින්වත්නි, නෑ පින්වත්නි, ඉතින් අපේ පින්වත් උපදේශක පිරිසට මේ කොට ඉරීම ඇහුනා පින්වත්නි. අනේ උන්වහන්සේලා අප වෙත මහා කරුණාවෙන් වැඩම කර වදාරා, ඒ මහරෑ අපිව වඩම්මාගෙන ගිහින්, අයිස් වගේ සීතල වතුර වලකට වැඩම කෙරෙව්වා පින්වත්නි)  ඒ වගේම ඇම්බුෂ් එක ස්ථානගත කල පසු පණිවිඩ හුවමාරු යන්ත්‍රවල ස්පීකර් ක්‍රියාවිරහිත කොට හෙඩ්ෆෝන් දාගන්නවා. නමුත් කතා කරන්නේ නැහැ. අහගෙන ඉන්නවා පමණයි. අවශ්‍ය නැත්නම් සම්පුර්ණයෙන් ඕෆ් කරනවා.

  ප්‍රහාරය තුළ තිබිය යුතු වැදගත්ම ලක්ෂණය තමයි විශ්මයජනක බව සහ වේගවත් බව. (Surprise & Speed) ඔබ සොහොනේ රැකසිට, ‘අඩෝ……. උඹ අපේ නංගිට ලයින් දානවා නේද’ කියලා කෑ ගහගෙන ඉස්සරහට ගියොත්, භූතයා පැනලා දුවනවා. නැත්නම් මිනිහා ඔබට වඩා ඉස්සර වෙලා ප්‍රති ප්‍රහාරයක් දෙනවා. ඒ නිසා සතුරාට හිතාගන්නවත් බැරි තරම් පුදුම හිතෙන ආකාරයට, ප්‍රහාරය එල්ල විය යුතු අතර, මහා ජලාශයක බැම්ම කැඩුනා වගේ, හෝ ගාලා, වෙඩි වරුසා, ක්ලේමෝ ප්‍රහාර, ආර්.පී.ජී. ප්‍රහාර, රොකට් ලෝන්චර් ප්‍රහාර, එල්ල විය යුතුයි. ඉලක්කය විනාශවී කුඩුපට්ටම් වී යන විදිහට එල්ල විය යුතුයි. එක සතුරකුවත් ඉතුරු නොවිය යුතුයි. බේරී පැනයන සියළු දෙනාද විනාශ කළයුතුයි.

  දැන් මට බනින්න එපා, මම මහා තිරිසන් කතාවක් කියන්නේ කියලා. මම කියන්නේ ඇම්බුෂ් එකේදී කරන දෙයයි. එතැනදී මට ඉඩක් නැහැ මිනිස්කම ගැන බලන්න. එහෙම බලන්න ගියොත් මැරෙන්න වෙන්නේ මටයි. ඇයි? සතුරා මට වඩා ඉස්සර වුනොත් මොකද වෙන්නේ?

  ඇම්බුෂ් එකේ සියලුම කොටස් වලට අදාළ අය, තම තමන්ගේ කාර්ය භාරය අකුරටම ඉටුකළ යුතුයි. තමන් අතින් සිදුවන වරදක් නිසා තමන්ගේ පමණක් නොව තම පිරිසේ සියලු දෙනාගේම ජීවිත අහිමි වියහැකියි. හිතන්න ඔබේ අර භූතයා ටිකක් වැඩ කාරයෙක් කියා. එවිට ඔබට තනිවම ඇම්බුෂ් එක කරන්න බැහැ. අධාරක භටපිරිස් අවශ්‍යයි. කවුද අධාරක භට පිරිස්? ඔබේ යාලු මිත්රයෝනේ. කොහොමද ඒ අයත් ආධාර කරගෙන භුතයට වැඩේ දෙන්නේ. එක යාළුවෙක්ව රඳවනවා, භූතයා එන පාරේ, භුතයාට නොපෙනෙන විදිහට. එයාට අයිති කාර්යය තමයි ජංගම දුරකථනයෙන්/ටෝච් එළියකින්/දවල් කාලයේ කරනවානම් අතින් දෙන සංඥාවකින්, වැනි ක්‍රමයකින් ඔබට දැනුම් දීම, ‘ඔන්න බඩු එනවා’ කියලා.  දැන් ඔබට තිබෙන්නේ විශ්මයජනක බව සහ වේගය යොදාගනිමින් ප්‍රහාරය එල්ල කිරීමයි. හොඳයි, භූතයා ප්‍රහාරය කාගෙන දිගටම පාරේ දුවගෙන ගියොත්? අපරාදේ නේද සැලැස්ම. ඔන්න එතැනදී තව යාලුවෙක් අවශ්‍ය වෙනවා. එයා ඔබ වගේම හැංගිලා ඉඳලා දෙවැනි ප්‍රහාරය එල්ල කරනවා. එයා ඉන්නේ ඔබට වඩා මීටර් 10 ක් – 15 ක් ඈතින්. ඒ නිසා ඔබෙන් ගැලවුනත් භුතයාට ඔහුගෙන් ගැලවීමක් නැහැ. මේ ක්‍රමය වඩාත් විධිමත්ව, ඉහල මට්ටමේ පුහුණුව සහ නිරවද්‍යතාව පදනම් කරගනිමින් තමයි හමුදා ඇම්බුෂ් එකකදී කරන්නේ.

  දැන් ප්‍රහාරය අවසන්. මොකද කලයුත්තේ. සොහොන් පිටිය ළඟ පාරේ ඉඳං ‘යාහ්…… හූ’ කියලා මහා හඬින් කෑ ගසමින්, ජයග්‍රහණය සමරනවාද? භුතයාගේ ආධාරක භට පිරිසක් ඇවිත් ඔබට වැඩක් දෙන්න කලින් මාරු වෙනවද? ශරීරයට වඩාත් ගුණදායක වන්නේ මාරුවීමයි. කොහොමද මාරු වෙන්නේ? මතක තියාගන්න. මම කිව්වනේ භුතයාත් වැඩ කාරයෙක් විය හැකියි කියලා. භුතයාත් ඔහුගේ යාලුවන්ට කියලා තිබුනානම්, ඔබව කොහේදී හරි දැක්කොත් ඇම්බුෂ් කරන්න කියලා, ඔබ, සොහොන් පිටියට ඔබේ ගෙදර සිට ගිය පාරෙන්ම ආපසු එන එක, එතරම් ගුණ දායක නැහැ. මොකද, ඔබ යනවා බලා සිටි භුතයාගේ යාළුවො, ‘හරි මල්ලි, උඹ ගියා වගේ මේ පාරෙන්ම ආපහු එන්න ඕනනේ, වරෙන්කො එහෙනම්’ කියලා බලාගෙන ඉන්න පුළුවන්. ඔබේ සැලැස්මේ තිබිය යුතුයි ඇම්බුෂ් එක දෙන තැනට යන පාර සහ, ඇම්බුෂ් එකෙන් පසු ආපහු එන පාර කුමක්ද කියා. ඒ නිසා හමුදා ඇම්බුෂ් එකකදී ඒ සඳහා යන පාර සහ එන පාර පළමුව තීරණය කරනවා. අපි ඇම්බුෂ් එකට යනවා සතුරාගේ ඇස ගැටුනොත්, ඔහුට පුළුවන් අපි ආපසු එන පාරේ රැකසිට, අපිව ඇම්බුෂ් කරන්න. පේනවා නේද? The Deadly Game ‘Ambush’

  මා දන්නවා ඔබ මෙපමණ දුර මේ ලිපිය කියවාගෙන ආවත්, ‘හාපෝ………. අද පින්තුර නැහැනේ, මේ යකා බණ නේ කියන්නේ’ කියලා හිතන බව. ඔන්න ගෙනාවා ඔබව පින්තුරය වෙත. මේ පින්තුරය පරිගණකය මගින් අඳින්න මට ටිකක් වෙහෙස වෙන්න සිදුවුනා. හොඳින් මතක තබාගන්න, චිත්‍ර ඇඳීමේ සහ සංස්කරණය කිරීමේ මෘදුකාංග පිළිබඳව, කිසිදු පුහුණුවක් මා ලබා නැහැ. තනියම ඉගෙනගෙනයි මේ කරන්නේ. ඒ නිසා මේ චිත්‍රයේ අඩුපාඩු ඇති. මේ රූපයෙන් පෙන්වන්නේ වනාන්තර ප්‍රදේශයක් හරහා වැටී ඇති මාර්ගයක් බව උපකල්පනය කරන්න. මෙහි පෙන්වන සොල්දාදුවන් ඉන්නේ විවෘත භූමියක නොව, හොඳින් ආවරණයවී බවද සලකන්න. ඔබට පැහැදිළිව දැකබලා ගැනීමටයි මෙහෙම ඇඳ තිබෙන්නේ.

  මේ රූපයෙන් පෙන්වන්නේ සාමාන්‍යයෙන් ඉතා සරලව සහ ප්‍රාථමික මට්ටමෙන් යොදවන ඇම්බුෂ් එකක්. මීට වඩා ඉතා සංකීර්ණ ඇම්බුෂ් ක්‍රම තිබෙනවා. ඒවා කියන්න ගියොත් ‘ගොලුබෙල්ලා දැලි පිහියට කැපෙන්න ඉඩ තිබෙනවා’ 😀 😀 😀  ඒ නිසා ලද දෙයින් සතුටු වෙමු.  මේ රූපය මත ක්ලික් කර, එය විශාල කරගෙන බලනවානම් වඩාත් හොඳයි. ඇම්බුෂ් එකට යාමට පෙර, මේ සිතියම හෝ, මේ අනුව පොළොවේ සාදන ලද වැලි ආකෘතියක් (Sand Model) මගින්, කණ්ඩායමේ සියලු දෙනාට සම්පුර්ණ සැලැස්ම පැහැදිළි කර දෙනවා.

  රූපයේ ඇති වචන සිංහලෙන් නොයෙදුවේ ඒ සඳහා සිංහල වචන නැති නිසා නොවෙයි. පුහුණුවේදී සහ භාවිතයේදී පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි වචන නිසා.

  රූපයේ තිබෙන සමාන්තර කළු ඉරි දෙකෙන් පෙන්වන්නේ පාරක්. එහි ඇති රතුපාට කඩ ඉර Enemy Approach Path සතුරා එන්නේ මේ දිශාවෙන් බව ඔබට පෙන්වනවා. සතුරා එන මාර්ගයේ පැත්තක සිටින භට පිරිස ඔබ දැක්කාද? ඒ පිරිස හඳුන්වා තිබෙන්නේ Killer Group යනුවෙන්. ඒ තමා ඇම්බුෂ් එකේ ප්‍රධාන ප්‍රහාරක කණ්ඩායම. (මේ රූපයේ පෙන්වන භට පිරිස කීයද කියා ගණින්න එපා. මෙය නිදර්ශනයක් පමණයි. යොදවන සංඛ්‍යාව තීරණය වන්නේ, සතුරාගේ සංඛ්‍යාව කොපමණද, ඔහු අතේ ඇති ආයුධ මොනවාද, ඔහුට ආධාරක භට පිරිස් එයිද, වැනි කරුණු අනුවයි) ‘කිලර් ගෘප්’ එකේ තමයි ඇම්බුෂ් එක අණ දෙන්නා හෙවත් Ambush Commander ඉන්නේ. ඔහු තමයි ප්‍රහාරය ආරම්භ කරන්නේ. බලන්න, පාර අයිනේ සවිකර තිබෙන ක්ලේමෝ බෝම්බ තුනක ස්විච් එක ඔහු අතේ තියනවා. ඔහු ඒවා පුපුරවා හරිනවාත් සමගම, කිලර් ගෘප් එකේ අනිත් අය වෙඩි තැබීම ආරම්භ කරනවා. අර මම කිව්වේ මහා ජලාශයක බැම්ම කැඩුනා වගේ කියලා. කිලර් ගෘප් එකේ තමයි තියෙන්නේ ප්‍රබල මැෂින් තුවක්කුව.  Obstacle හෙවත් බාධකය කියන වචනය දැක්කාද? එතන තියෙන්නේ ප්‍රපාතාකාර ගල් කන්දක්. ප්‍රහාරය එල්ල වුවාට පසුව සතුරාට ඒ පැත්තට දුවන්න බැහැ. තේරුමක් නැහැ. එය බිත්තියක් වගේ ඉවුරක්නේ. මේ තමයි ප්‍රහාරක ස්ථානය තෝරා ගැනීමේ සාර්ථක බව. Early Warning Group එක දැක්කාද? ඒගොල්ලෝ තමයි Ambush Commander ට සංඥා කරන්නේ ‘ඔන්න බඩු එනවා’ කියලා. රාත්‍රී කාලයේ නම්, Early Warning Group එක අතේ තියන ලණුවක් Ambush Commander ගෙ කකුලේ බැඳ තිබෙනවා. සතුරා එනවිටEarly Warning Group එක ඒ ලණුව ඇද්දම, Ambush Commander දන්නවා, ඔන්න බඩු එනවා කියලා. එතකොට Back Stops කියන කණ්ඩායම මොකද කරන්නේ. එයාලා තමයි පැනයන සතුරන්ට වැඩේ දෙන්නේ. ඒගොල්ලෝ අතෙත් තියෙන්නේ ටී 56 සැහැල්ලු යාන්ත්‍රික තුවක්කුව වැනි තුවක්කු. තමන් ගමන් කරමින් සිටි දිශාවටම දුවන්න යන සතුරන්ට එයාලගෙන් ගැලවීමක් නැහැ. ඒ වගේම ආපහු තමන් ආව පැත්තට දුවන්න යන සතුරන් Early Warning Group එකේ ප්‍රහාරයට ලක්වෙනවා. Protection Party කියලා තවත් පිරිසක් ඉන්නවා දැක්කද? එයාලා තමයි ඇම්බුෂ් එකට ආරක්ෂාව සපයන්නේ. ඇම්බුෂ් පිරිස එන්න කලින් තමයි එයාලා ස්ථානගත වෙන්නේ. ඇම්බුෂ් එක ස්ථානගතවූ පසු, එයට පසුපසින් ඇවිත් ගහන්න සතුරා උත්සාහ කලොත්, මෙයාලට අහුවෙනවා. එතකොට මෙයාලයි ඇම්බුෂ් පිරිසයි දෙගොල්ලොම එකතුවෙලා, සතුරාට වැඩේ දෙනවා. ඒවා කලින් පුහුණුවූ දේවල්. ඇම්බුෂ් එක ඉවරවෙලා, ඇම්බුෂ් පිරිස ඉවත්වන විට, මේ පිරිස එහි රැඳී සිටිමින් හතර වටෙන්ම ආරක්ෂාව සපයනවා. ඔවුන් තමයි අන්තිමට ඉවත් වන්නේ. කවුද දන්නේ සතුරා අපිව දැකලා අපි සුදානම් වෙන්න කලින් පසුපසින් ඇවිත් ප්‍රහාරයක් එල්ල කරයිද කියලා. The Deadly Game ‘Ambush’. නිල්පාට කඩ ඉරි දෙකක් පෙනෙනවා නේද, එහි අගට ඊතලයක් සහිතව. එයින් Approach Route කියන්නේ, ඇම්බුෂ් කණ්ඩායම මේ ප්‍රදේශයට එන මාර්ගය. Withdrawal Route කියන්නේ ආපසු යන මාර්ගයයි. ඇම්බුෂ් එකට අයත් එක් එක් කණ්ඩායම් ස්ථානගතවන තැන් අතර පරතරය තීරණය වන්නේ, 1. ඇම්බුෂ් එක කරන්නේ දවල් කාලයේද රාත්‍රී කාලයේද, 2. භුමියේ ස්වභාවය, 3. යෙදවිය හැකි භට පිරිසේ ප්‍රමාණය, වැනි සාධක අනුවයි.

  මේ තමයි ඇම්බුෂ් එක කිරීමේ සරල විස්තරය. මීට වඩා කරුණු විස්තර කරන්න නම් ඔබට මුලික යුද උපක්‍රම ගැන පුහුණුවක් තියෙන්න ඕනේ. (ඔබට මුලික යුද පුහුණුවක් අවශ්‍යද? බැඳෙන්න විචාරක යුද හමුදා ඇකඩමිය වෙත, පහසු ගෙවීමේ ක්‍රම, වයස 55 – 60 අතර කාන්තාවන්ට පුහුණුව නොමිලේ. ඔබේ සැමියාට/බිරිඳට ජීවිත කාලය පුරාම නොබියව මුහුණ දෙන්න. එකම විසඳුම, විචාරක හමුදා ඇකඩමිය.)

  හඃ හා……………………..ඔන්න කට්ටිය එහෙනම් ඇම්බුෂ් එකකුත් කළා ඈ………කාටද ආඩම්බර? අපි අපිටම තමයි. මොකද මේක සාමුහික ප්‍රයත්නයක්නේ.

Comments on: "පුළුවන්නම් වරෙන්කො අපේ පැත්තෙන් යන්ඩ (දෙවැනි කොටස) – The Deadly Game ‘Ambush’ (Part Two)" (89)

  1. හැමදාම වගේ අදත් නියමයි! 🙂

    විශේෂ බළකායෙන් ප්‍රකාශයට පත් කරපු පොතේ ඔය විදියට කරපු ambushes ගොඩක් ගැන විස්තර තිබුණා. කරන හැටි නම් තිබ්බේ නෑ 😛

    1. අපේ කට්ටිය SLR වල ඉඳලා T-56 ට මාරුවුනේ ඇයි?

    2. FN FNC එක මුළු හමුදාවම පාවිච්චි කළාද නැත්නම් ‍තෝරාගත් අංශ විතරද?

    3. මම අහලා තියෙනවා AK type weapons වල aim කරන්න අමාරුයි කියලා sights වලට target එකයි වටපිටාවයි වැහෙන නිසා. ඒක ඇත්තද? ඒකේ accuracy එක කොහොමද?

    • ඇම්බුෂ් එකක් කරන හැටි මීටවඩා සවිස්තරව අන්තර්ජාලයේ තියනවා. සොයන්නාට සම්බවේ.

      1. SLR = Self Loading Rifle කියන එකේම තියනවා ඒක අර්ධ ස්වයංක්‍රීය රයිෆලයක් බව. ඉතින් ලෝකේ අනික අය සම්පුර්ණ ස්වයංක්‍රීය තුවක්කු පාවිච්චි කරද්දී අපට නිකම් බලා ඉන්න බැහැනේ.

      2. මුල් කාලයේදී ඒ රයිෆලය ගැමුණු හේවා බලකායට තමයි දුන්නේ. නමුත් තුවක්කු වර්ග ගොඩක් පාවිච්චි කිරීම වියදම් අධිකයි. අනික ඒ රයිඵලයේ කැලිබරය 5.56 වීමත් ප්‍රශ්නයක් වුණා.

      3. ඒ නිසා තමයි ඒ රයිෆල් වල forsight piller එක උඩින් විවෘතව තබලා තියෙන්නේ. නිරවද්‍යතාව ++

      • 2. එහෙම rifle එකක් issue කළේ field test එකකට වගේද? පස්සේ ඒකටම මාරු වෙන්න හිතාගෙන.

        3. Chinese versions වල ඒ කොටස සම්පූර්ණයෙන්ම වැහිලනේද තියෙන්නේ? ඔවුන් එහෙම කරන්නේ original එකෙන් වෙනස් වෙන්න ඕන නිසාද නැත්නම් වෙනත් හේතුවකටද?


      • මේ FN FNC නේද?

  2. මරු මරු ලියන රටාවත් වෙනස් කරලා

  3. සංකීර්ණ කතන්දරයක් ඉතා සරලව පැහැදිලි කිරීමක්. ඉතා අනර්ඝයි. ඇඩ් එකනම් මරු. (දැන් ගෑණු ටික යන්න ගනීද දන්නෑ WMA (Wicharaka Military Acadamy) පැත්තේ :D)

  4. දැන් හොඳටම පැහැදිලියි. රුප සටහන නියමයි.

    ගිය වතාවේ කියන්න හදලත් නොකිය හිටිය. මමත් කාලෙකට කලින් භුතයෙකුට ඇම්බුෂ් එකක් දුන්නා. හැබැයි සාමකාමීව. වුනේ මගේ ද්වි පුද්ගල බුද්ධි බලකාය එක් රැස් කල තොරතුරුත්, ඡායාරුපත් භුතයාට පෙන්නා කළු පැහැයෙන් තැපැල් කරවන බවට කාරුණිකව පහදා දීම. පිගි ,පොලු, බයිසිකල් චේන්, ඇසිඩ් භාවිතා වුනේ නැහැ. ප්‍රොටෙක්ෂන් පාටි එකේ අයගේ උදවු ඕනි වුනෙත් නැහැ.

  5. නියමයි නේ. අපිට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන් උදාහරණයකුත් දාලා තියන්නේ. 😀 ඇම්බුෂ් එකක් සතුරා ගේ භුමියේ ක්‍රියාත්මක කරන කොට පණිවිඩ හුවමාරු සංඥා අසු වෙන්නේ නැද්ද සතුරා ට. ඒ සංඥා වල සංඛ්‍යාතය නිතර නිතර වෙනස් කරන්න පුළුවන් ද ?
    එතකොට විචාරක තුමා, “ගරිල්ලා ප්‍රහාර” කියන්නේ මොකක් ද ?

    • දැන් තිබෙන සංඥා උපකරණ ඉතා ඉහලයි. වෙන කෙනෙකුට ග්‍රහණය කරගන්න බැරි සංඥා උපකරණ අද තියනවා. ඒ ගැන වෙනම ලිපියක් ලියන්න වෙනවා සියළු විස්තර කියන්න නම්. ගරිල්ලා ප්‍රහාර කියන්නෙත් එක්තරා ආකාරයක රැකසිට පහරදීමක්‌ තමා. නමුත් ඒ සඳහා යොදාගන්නේ මර උගුල් වැනි උපක්‍රම.

  6. ඔහොම ඇම්බුෂ් කරන්න ගිහින් අපේ හමුදාවට වැරදුන තැන් තියනවද,, නැත්නම් බොහෝ විට සාර්ථකද??

  7. මේ පෝස්ටුව කියවලා කෂ්ටිය දිගට හරහට ඇම්බුෂ් කරාවිද දන්නෙ නෑ…ගෑල්ළමයගෙ අයියලා, සහ මල්ලිලා… ඇම්බුෂ් ගැන දැන් හොදටම දනිමි. දැනුම දුන්නාට ස්තූතියි… කාන්තා ඇකඩමිය ළගකදී පටන් ගන්නවාද ? Code එක තවම යොදා නැති හැඩයි… තවමත් මෙහි අන්තර්ගතය කොපි කල හැකියි…

    • මටත් ඕනේ පත්තරවල වැටෙනවා බලන්න ‘බ්ලොග් අඩවියක් කියවීමෙන් පසු පවුද්ගලික ප්‍රහාර වැඩි වෙයි’ කියලා. 😀 😀
      කෝඩ් එක එව්වා බව දන්නේ නැත. අරගෙන දාන්නම්.

  8. “කොට ගවුම” නියමයි!!! අනේ පව් අර පිහිය උඩ ඉන්න Escargot.

    නිල ඇඳුම් ඇඳලා ඉන්න අයට ඉහළින් එන නියෝග ක්‍රියාත්මක කරන්න නීතිමය අවසරයක් ඇතිවයි ඇම්බුෂ් වල නියැළෙන්නෙ. ඒත් // ඔබේ සහෝදරියට බැල්ම දාන්න ඔබේ ගෙවල් පැත්තේ කැරකෙන, ඔබට අල්ලන්නේ නැති මුණක් සහිත සතුරාට, එසේ නැතහොත්, දුකසේ ගොඩනගාගත් ඔබේ ප්‍රේමයට අකුල් හෙලන දුෂ්ඨයාට, පොඩි ඇම්බුෂ් එකක් දෙන්නේ ඉහත සඳහන් අරමුණු ඉටුකර ගන්නයි.// යද්දී නම් පස්සෙ අත්විඳින්න වෙන ඵලවිපාක අමතක කරන්නත් එපා.

  9. විචාරක ඇම්බුෂ් එකක් දාගෙන බලාගෙන ඉන්නවා කියන ආරංචිය නිසා ගිය පාර ලිපිය හොරෙන්ම ඇවිත් බලලා, කමෙන්ට් එකක්වත් නොදා ගියා.. හූ හූ, අපව අහුවුනේ නෑ නේ.. 😀

    • හපනා හපනා. මට ඒ කාලේ ඇම්බුෂ් දාන්න මගේ පෙම්වතියගේ අයියලා දෙන්නම උනන්දු වුනේ නැහැ. කරේ එල්ලන්නමයි බැලුවේ. ඒ නිසා දැන් මම අවුරුදු 31 ක් තිස්සේ හිරේ ඉන්නේ. 😀 😀 😀

    • ඒ කාලෙම අයියලාට කියලා හරි ඇම්බුෂ් එකක් දාගෙන වෙඩිකාලා (ගුටිකාලා) මලානම් හොඳා කියලා හිතෙනවද.?? 😀

      මට පොඩි ප්‍රශ්නයක් ආවා, ප්‍රශ්නයක් කිවුවට ප්‍රශ්නයක්මත් නෙවෙයි.. Fully-automatic rifles ඕන තරම් පාවිච්චියට තියෙන මේ කාලෙත් machine-gun එකකින් ඇම්බුෂ් එකකට තියෙන වාසිය මොකක්ද.? Heavy machine-guns උස්සගෙන එහා-මෙහා යන්න වෙන එක ගෲප් එකේ swift mobility එකට බලපාන්නෙ නැද්ද.? විශේෂයෙන්ම ප්‍රහාරයෙන් පස්සෙ සතුරු back-up teams ඒමේ අවදානමකුත් තියෙද්දි..

      • හයියෝ…….. දුක හිතෙන කතා කියන්න එපා අනේ. ඔයා කොහොමද දැනගත්තේ? 😀 😀

        Full Automatic කිව්වම 9mm පතරොම් යොදන තුවක්කුත් තියනවා. නමුත් 7.62 x 39 කැලිබරයේ T 56 තුවක්කුවට වඩා 7.62 x 51 කැලිබරයේ MPMG එක ප්රබලයි. ඒ වගේම විනාඩියකට වෙඩි තැබිය හැකි වාර ගණන rete of fire, වෙඩි තැබීමේ දුර range, වඩා විශාල භූමියක් ආවරණය වන පරිදි වෙඩි තැබීමේ හැකියාව, field of fire, සුළු කාලක් තුල විශාල හානියක් කළහැකි වීම,(ඉක්මනින් වැඩේ අවසන් කිරීම ඉතාම වැදගත්) වැනි කරුණු දිහා බැලුවම වඩා හොඳ Machine Gun යෙදවීමයි. එය ඔසවාගෙන යාම එතරම් අමාරු නැහැ. ඊට වඩා බරපතල Machine Gun තියනවා. යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැහැ. සතුරාගේ ආධාරක භට පිරිස් ආවොත්, ඒකටත් මුහුණ දීමට බලාගෙනයි ඇම්බුෂ් කරන්නේ. ගහලා, දුවලා එනවා නෙවෙයි. ගහලා, ඉලක්කය සපුරාගත් බව සනාථ කරගෙන, වැදගත් ලිපිලේඛන හෝ උපකරණ ඇත්නම්, ඒවා ගන්න පුලුවන්නම් අරගෙන, හැකි ඉක්මනින් ඉවත් වෙනවා. ඇම්බුෂ් එකේ ඉන්න සියලුම දෙනා දන්නවා තමන්ගේ කොටස හරියටම මොකක්ද කියලා. සම්බන්ධීකරණයක් තියනවා ඒ කොටස් අතර. ඊට වැඩියනම් අහන්න එපා මගෙ දෙයියෝ.

      • නෑ නෑ ඊට වඩා අහන්නේ නෑ, මට අවශ්‍ය පිළිතුරු ලැබුනා.. 😀

        බොහොම ස්තූතියි.!!

  10. යොදාගෙන තියන උදාහරණ නියමයි. මට මැවිලා පේනවා, කියවන සහෝදරියෝ ඉන්න පිරිමි ලමයි එහෙම ඉතා උනන්දුවෙන් මේක කියෝන හැටි. ඒ වගේම යාලු ගෑනු ලමයින්ට සහෝදරයින් ඉන්නවා නම්, ඒ පෙම්වතුන් නැගිටගෙන මේක බලනවා හැටි. 🙂

    //ඔබ ඔබේ සතුරෙකුට රැකසිට පහර දෙන්නේ ඇයි? ඔහුගෙන් ඔබට තියන කිසියම් තර්ජනයක්, අභියෝගයක් ඇත්නම් එය නැති කරගැනීම සඳහා. //

    අද කාලේ නම් මේක සිදුවෙන්නේ කිසිම හේතුවක් නැතුව.

  11. ඔන්න කොල්ලනේ දැන් ඉතින් විචාරක ඇකඩමියේ පුහුණුව ගත්ත අයියලා ඇම්බුෂ් කරන හැටි පැහැදිලියි.. නංගිලාට පෙම් කරන්න ගිහින් ඉල්ලන් කෑමට පෙර හමුවීමේ සැලසුම් නැවත සමීක්ෂණය කරනවා හොඳයි..

    • හැබැයි මම නොකිව්ව එක දෙයක් තියනවා ප්‍රති ඇම්බුෂ් Counter Ambush කියලා දෙයක් තියනවා. එක තමයි අර ඇකඩමියේ උගන්නන්නේ. ඉතින් අයියලාගේ ඇම්බුෂ් වලින් තමන්ගේ පෙම්වතා බේරගන්න බලාපොරොත්තුවෙන නංගිලා වහාම තම පෙම්වතා පාඨමාලාවට යොමු කල යුතුයි. 😀 😀 😀

  12. ලණුවෙන් කරනා දේ දැනගතිමි.ස්තුතියි “(ඔබට මුලික යුද පුහුණුවක් අවශ්‍යද? බැඳෙන්න විචාරක යුද හමුදා ඇකඩමිය වෙත, පහසු ගෙවීමේ ක්‍රම, වයස 55 – 60 අතර කාන්තාවන්ට පුහුණුව නොමිලේ. ඔබේ සැමියාට/බිරිඳට ජීවිත කාලය පුරාම නොබියව මුහුණ දෙන්න. එකම විසඳුම, විචාරක හමුදා ඇකඩමිය)” ඒ ටික නම් Surprise .

    • ‘ලන්න’ ගැන ඒ කාලේ ඉඳලාම බලාගෙන හිටියා නේද කවදා හෝ එලියට එන්නේ නැතැයි කියලා. ඔන්න ලන්න පැන්නා. 😀 😀
      සර්ෆයිස් කියන්නේ බුල් සර්ෆයිස්. 😀 😀 😀

  13. දිලීප

    ඔඅගේ ලිපි ගණනාවක් කියවා කොමෙන්ටුවක් නොදැ යාම හොඳ නැති නිසා එකක් දැන්නම් අයෙත් දානකම්.
    1. පිහි සම්බන්ද ලිපිය ඉතා රසවත්.
    2. ඔබගේ ලිපි හොරකම් කිරීම පිළිඹදව මාගේ කණගාටුව. ඔබට කණගාටුවට කරුණක් නැහැ. මොකද, ලිපියේ කොපියක් පමණි ඔහු ලඟ තිබෙන්නේ දැනුම ඔබ ළඟ.
    3. SHOT GUNS ගැන දීර්ග විස්තරයක් දාන්න. ගලවා නැවත සකස් කිරීම, කල්පවත්මට කල හැකි දේ වැනි දේවල්.
    4. ඔබේ ලිපි දීර්ග යයි ඔබ සිතුවාට ඇත්තටම ඒවා මට නම් කොටය්. කියවන්න ආස හිතෙන මාතෘකා නිසා දිග තේරෙන්නේ නෑ 🙂

    • ‘දිලීප පොඩි පුතු’ මොකද මේ පැත්තේ ආවේ නැත්තේ කියා මමත් හිතමින් හිටියේ.

      1. ලිපිය රසවත් ඇති, පිහියෙන් ඇනීම නම් රසවත් නැත 😀
      2. ලිපි හොරකම් කල පහත් ජන්ම ලාභියා, ඔහුගේ හෘද සාක්ෂිය විසින් විනිශ්චයට භාජනය කරනු ඇති.
      3. Shot Gun එකේ නඩත්තුව ගැන කෙටි ලිපියක් ලියන්නම්.
      4. බොහොම ස්තුතියි.

  14. හැමදාම ව‍ගේ නියම විස්තරයක්. පින්තූරෙත් පැහැදිලියි.

    විචාරක කරල තියෙන වැඩේ හැටියට නංගිල ඉන්න අයියල ඇම්බුෂ් කරන්න පටංගත්තම නංගිට බැල්ම දාන අයිය පවුනෙ. ඒ ගොල්ලන්ට වැදගත් වෙන විදියට ඇම්බුෂ් වලින් බේරෙන හැටිත් කියල දෙන්න වෙයි. 😀

    • ස්තුතියි අගය කිරීම පිළිබඳව.
      හෙට අනිද්දා වනවිට පත්තරවල තියෙයිද, අන්තර් ජාලයෙන් ඉගෙන ගෙන, නංගිගේ පෙම්වතා ඇම්බුෂ් කල අයියා කෙනෙක්, පොලීසියට කොටුවෙයි කියලා? 😀 😀
      ඇම්බුෂ් වලින් බේරෙන්න හරිම පහසුයි. ඇම්බුෂ් වලට අහු නොවෙන ජීවන රටාවක් පවත්වාගෙන යාම තමයි විසඳුම. 😀

  15. මරුවට ලියලා තියෙනවා. වටිනා කරුණු ගොඩක් දැනගත්තා. පොඩි ප්‍රශ්නයක් ආව.

    1- දැන් අර කුඩා කණ්ඩායම් සතුරු ප්‍රදේශ වලට රිංගලා ඇම්බුෂ් කරනකොට අමතරව වෙනමම Protection Party එකක් යොදවන එක ප්‍රායෝගික නැහැ නේද? ඒ වෙලාවට කොහොමද කරන්නේ? මම ෆිල්ම් වල නම් දැකලා තියෙනවා එයාලගේ සෙට් එකේම ස්නයිපර් කෙනෙක් කට්ටියට ගාඩ් එක දෙනවා. ඒක කරන්නේ එහෙමද?
    2- අපෙත් කුඩා කණ්ඩායම් වල වෙනම ස්නයිපර් කෙනෙක් ඉන්නවද?
    3- ඇම්බුෂ් කරන හැටිනේ මේ කිව්වේ. ඊළඟට මේ ලිපි පෙලටම දාන්න ඇම්බුෂ් වලින් ආරක්ෂා වෙන්න කරන උපක්‍රම ගැනත්.

    තවත් දෙයක්, ඔබතුමා ලියාගෙන යන ලිපි පෙලට බාධාවක් නොවෙන විදිහට අපිට වැදගත් වන රටේ නීති ගැනත් ඉඳල හිටලා ලිපියක් දානවනම් ලොකු දෙයක්. නොදන්න කම නිසා කරදරේ වැටෙන වෙලාවලුත් තියෙනවනේ අපි.

    //වයස 55 – 60 අතර කාන්තාවන්ට පුහුණුව නොමිලේ// 😛 😛

    • ඇගයීම ගැන ස්තුතියි.

      1. කුඩා කණ්ඩායම් තමයි නියම Deadly Game Ambush එක කරන්නේ. එයාලට Protection Party එකක් නැහැ. කණ්ඩායමේ ඉන්න හත් අට දෙනා තමයි සියල්ල කරන්නේ. එහි ක්‍රමය මීට වඩා ටිකක් වෙනස්. එය කියන එක සුදුසු නැහැ.
      2. ඉන්නවා. එක්කෙනෙක් නෙවෙයි එවැනි කණ්ඩායම සියල්ලන්ටම ඒ පුහුණුව තියනවා.
      3. දිග විස්තරයක් ලියන්න වෙනවා. ලිවීම සුදුසුද නැද්ද කියලා ටිකක් හිතලා බලන්නත් වෙනවා.

      නීති ක්ෂේත්‍රය ගැන නම් මට තියෙන්නේ සාමාන්‍ය දැනීමක්. හමුදා නීතිය ගැන නම් සතුටුදායක දැනුමක් තියනවා.

      55 – 60 තරුණියන්ව උනන්දු කරන්න පාඨමාලාවට එන්න කියලා. මම කැමති මගේ වයසේ අයට ප්‍රමුඛත්වය දෙන්න. 😀 😀 😀

  16. බොහොම ස්තූති වෙනවා මේ ලිපියට…
    මටනම් කාවවත් Ambush කරන්න ඕන නෑ.ඒත් මාව කොයි වෙලාවේ හරි Ambush එකකට අහුවෙයි කියලා බයක් තිබුනා. දැන් මම දන්නවා කොහොමද Ambush එකකට අහුනොවී බේරිලා ඉන්නේ කියලා.

  17. නියම ලිපිය හොඳේ.ගරිල්ලා ප්‍රහාර ඇම්බුශ් එකකට වඩා දරුණුද?….ඔය නෝනලාට ඇම්බුශ් කරන හැටි කියල දෙනවනම් මහත්වරුන්ට කවුන්ටර් ඇම්බුශ් දෙන හැටිත් කියල දෙන්න.නැත්නම් මහත්වරුන්ට ජාතික ඇබැද්දියකට මුහුන දෙන්න වෙන්නෙ….:)

    • බොහොම ස්තිතියි ඇගයීම ගැන
      ගරිල්ලා ප්‍රහාර වලදී මර උගුල් වලට අහුවෙන අය දහදුක් විඳලයි මැරෙන්නේ. ඇම්බුෂ් එකකදී එක වෙඩි පාරයිනේ. සමහරවිට මර උගුලකට අහුවෙන අයව මැරෙන්න කැලේ අතැරලා යනවා. කැලෑ සතුන් කාලයි මැරෙන්නේ එතකොට.
      ෂ්..ෂ්..ෂ් කෑ ගහන්න එපා මම ඔය නෝනලාට මහත්තුරුන්ට හදලා තියන සිලබස් එක මෙහෙමයි. 1.ඇම්බුෂ්. 2. කවුන්ටර් ඇම්බුෂ්. 3. කවුන්ටර් කවුන්ටර් ඇම්බුෂ්. 4. කවුන්ටර් කවුන්ටර් කවුන්ටර් ඇම්බුෂ්. එතනින් එහාට එයාලා කැමති තරම් කවුන්ටර් දාගන්න පුළුවන්. 😀 😀 😀

  18. ලොක්කා දෙපැත්තටම උගන්නන්ද කොහෙද හදන්නේ.. ඒකත් හොදයි… හි හි…
    මට නං යුද්ධෙ මතක් වෙනකොටත් දුවන්නම හිතෙනවා…

    ඒත් මේවා වලට නං ටිකක් ආසයි… කොයි ආකාරයේ හෝ දැනුමක්, කවදා හෝ ප්‍රයෝජනවත් වෙන්න ඉඩ තියෙනවනේ.. අනිත් එක හොඳට මතක හිටින තාලෙට ලියවිලා තියෙනවා… ඒක නිසා කියෙව්වා… හි හි…

    ඔය ඇකඩමියේ ඒවා ප්‍රයෝජනේට ගන්න වෙන්නේ ළමයි ඉන්න කාලෙක තමා.. හි හි

    • හිතලා බලන්නකෝ දෙපැත්තටම උගන්වනකොට තියන වාසි. 😀
      කවදාවත් දුවලා බේරෙන්න බැහැ යුද්දෙකින්. අපි නිවැරදිව යුද්ධයට මුණ දුන්න නිසයි එයින් ජය ලබා අවසානයක් දැක්කේ.
      හදිස්සියකට ප්‍රයෝජනයකට ගන්න, පොල් ගහකට නගින්නේ කොහොමද කියන එක වුනත්, ඉගෙනගෙන තිබීම වැදගත්.
      ඇකඩමියේ අධ්‍යාපනය ලැබීම සඳහා, ඉක්මනින් දරුවන් ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා 😀 😀 😀

    • ‍මේකත් හරියට අර අමෙරිකාව ඉරාකෙයි-ඉරානෙයි දෙපැත්තටම සපෝර්ට් කලා වගේ වැඩක්.. දෙපැත්තෙන්ම ගාන කඩාගන්ටයි යන්නෙ.. 😀

  19. ඈ බං අය්යේ මේවා මෙහෙම එළි කරන එක හොඳඳ මන්දා. කාටත් වටිනවා ඒත් මේවා මිලිටරි රහස්වලින් කොටසක් නේද.මේවා වැරදි මිනිසුන් අතරට ගියොත්…

    • බොලං මල්ලියේ, මේවා මීට වඩා ඉතා ගැඹුරින් සහ ඉතා භයානක විදිහට, ඉංග්‍රීසි භාෂාවෙන්, ඕනෑ කෙනෙකුට පහසුවෙන් බලන්න පුළුවන් විදිහට, අන්තර්ජාලයේ තියනවා. මේවා බැලුවට වැඩක් නැහැ. කරන්න ඔය හිතන තරම් ලේසි නැහැ. මම කියන්නේ, මෙහෙම දෙයක් තියනවා, එය සිදුවෙන්නේ මෙහෙමයි, කියන එක පමණයි.

  20. සමහර වෙලාවට ඇම්බුෂ් වලට රිපීටර් ගිනිඅවියත් අමතරව රැගෙන යනවා.

    • ඔව්, විසිරෙන මුනිස්සම් වලින් ප්‍රයෝජනයක් ගන්න එහෙම කළා. නමුත් ඒ ක්‍රමය දැන් යල් පැනගිය ක්‍රමයක් ලෙස සලකන්නේ.

      • SPAS 15 කවදාවත් යුද්ධයේදී පාවිච්චි කලේ නැහැ. මෙය මාධ්‍යය සඳහා ගත් පින්තුරයක්. මම උත්තර දුන්නේ යුද්ධයේදී පාවිච්චි කලේ නැහැ කියන පදනමෙන්. නමුත් ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීම වැනි කටයුතුවලදී මෙවැනි තවත් අවි පාවිච්චි කරනවා.

      • ස්තූතියි! හමුදාවට අවශ්‍යය උපකරන/ආයුධ ‍තෝරාගන්නේ මොන ක්‍රමයකින්ද? (අදාල ඒකක ඔවුන්ට අවශ්‍ය උපකරන කිව්වම ඒවා ලබාදෙනවද?(in a perfect world 😛 ) නැත්නම් හමුදාවේ වෙනමම අංශයකින්ද ඒවා ‍තෝරලා බෙදා හරින්නේ?)

        මේක නම් පිහි post එකට අදාල එකක්. ‘ලොකු ලොකු’ පිහි ගෙන්න්නන්න බෑ වගේම මේවත් ලංකාවේ තහනම්ද? (පොරොව වුනත් මේක ‘tactical’ නේ) http://sogknives.com/store/F18-N.html

        • හමුදාවට අවශ්‍ය අවි ආයුධ පිළිබඳව තීරණ ගන්නේ ක්‍රියාන්විත අධ්‍යක්ෂ ජෙනරල් අංශය මගින්. ඒවා ගෙන්වන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය යටතේ යුද්ධෝපකරණ මාස්ටර් ජෙනරල් අංශයෙන්.

          හප්පොච්චියේ………. මේක භයානක යුද්ධායුධයක් නොවැ. මේකනම් ගෙන්වන්න බැරිවෙයි.

  21. උදාහරණෙත් සමඟ කළ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි ! මැරිලා මැරිලා ගෙදර එන මිනිහව ඇම්බුශ් කරන්ඩ සැළසුම් කිරීම ගැන මාගේ බලවත් මෙව්වා එක 🙂

    ඔය ඇම්බුෂ් එකකදි, කිබුහුමක් එහෙම යන්ඩ ආවොත් ඒක නවත්ව ගන්ඩ අනුගමනය කළ යුතු ක්‍රම සහ විධි තියනවද ?

    • මැරිලා මැරිලා ගෙදර එන මිනිහා කොහොමටත් ඇම්බුෂ් එකකට අහුවෙලා වගේ තමා ගෙදර එන්නේ. 😀 😀
      ඇම්බුෂ් එකකට යන්න කලින් බලනවා සියළු දෙනා සෞඛ්‍ය සම්පන්නව ඉන්නවාද කියලා. කිඹුහුමක් යන්න එනවිට නහය පැත්තකට තද කිරීමෙන් එය වලක්වා ගත හැකියි.

  22. ada palaweni wathawata obage blog ekata aawe.aapu gaman ledak waetuna.mokada manda mata komentuwa pest karanna baeri una.jaya.

  23. මේකට හැමදාම වගේ නියමයි කියන්න බෑ. මේවයෙන් මම මොනවා කරන්නද? මාලක වගේ අය‍ට නම් හොදයි. සාමාන්‍ය ජිවිතයට ගන්න පුළුවන් දේවල් ගොඩක් ඔබතුමා ළඟ තියෙනවා. ඒවා තමයි අපිට වැදගත්.නිතිය , තාක්ෂනය , අධ්‍යාපනය, කලාව, යුද්ධ එතිහසය , සමාදානය , සිවිල් සමාජය සහ යුද හමුදාව වගේ දේවල්. රැක සිට පහර දෙන්න සහ පහර කන්න මම කැමති නැහැ. අපි කතා කරලා බේරා ගමුද?

    • දැක්කනේ එල්.ටී.ටී.ඊ.එකත් එක්ක කතාකරලා බේරගන්න ගිහින් වෙච්චදේ, ඒ නිසා මේවගේ දේවලුත් ටිකක් දැනගෙන ඉන්න එක හොඳයි.

      ඔබ කියා තිබෙන පරිදි විවිධ මාතෘකා වලට යන්නම්. මේ වනවිට එවැනි මාතෘකාවකට අදාළ ලිපියක් සංස්කරණය වෙමින් පවතිනවා. සිනමාවට අදාළ එකක්.

  24. ලිපිය දිගවැඩි නිසා හැබැයි උඩින් පල්ලෙන් බැලුවේ….. නියමයි

  25. අගේ ඇති ලිපියක්… මමත් ඔක්කොම ලිපි බැලුවා නමුත් ප්‍රතිචාරයක් දාන්නෙ අදයි.
    මට පොඩි ප්‍රායෝගික ප්‍රශ්නයක් තිබෙනවා ලණුව ගැන… වැරදිලාවත් ලණුව සතෙක්ගේ මාර්ගයෙන් හෝ වෙනත් හේතුවක් නිසා ඇදුනොත් වැරදි සිග්නල් එකක් එනවා නේද නායකයා වෙත ?
    ඒ සඳහා සුවිශේෂ සංඥාමය ලණු ඇදිල්ලක් ද භාවිතා කරන්නෙ ?
    උදාහරණයක් විදියට සතුරා එනවා නම් මෝස් කෝඩ් එකේ වචනයක් දැක්වෙන ආකාරයේ කෙටි සහ දිගු ඇදිලි වලින් යුත් කෝඩ් එකක් ?

    • ඔබේ පළමුවැනි අදහස් දැක්වීමම ඉතා වටිනා එකක්. ඔය ප්‍රශ්නය කවුරු හරි අහනකම් මම හිටියේ. මොකද ලනුව ගැන ලියද්දී ඒ කොටස අමතක වෙලා. ලණුවේ පැටලෙන්න පුළුවන් සතුන් ඉන්න ප්‍රදේශයකදී ලණුව දාන්නේ නැහැ. අනික් එක Protection Party එකේ කීප දෙනෙක් ලණුව ආරක්ෂා කරනවා. ඒ නිසා ප්‍රශ්න ඇතිවෙන්නේ නැහැ. විශේෂ ඇදීමක් නැහැ ටිකක් ගැස්සෙන්න අදිනවා. (කොහොමද ඇම්බුෂ් කමාන්ඩර් නිදාගෙන හිටියොත් :D) දැන් තියනවා රහසින් කෙඳිරුවත් අනික පැත්තේ එක්කෙනාට පැහැදිලිව ඇහෙන, අති සංවේදී මයික්‍රෆෝන් සහිත පණිවිඩ හුවමාරු යන්ත්‍ර. ඒවායින් පුළුවන් නිහඬ රාත්‍රී පරිසරයකදී වුනත්, ඔන්න බඩු එනවා කියන්න. සතුරාට නොඇසෙන ආකාරයට.
      ලිපිය අගය කිරීම ගැන බොහොම ස්තුතියි. ප්‍රශ්න ඇසීම ගැන ඊටත් වඩා ස්තුතියි.

  26. වෙනද වගේම හොද පොස්ට් එකක් !
    කරුණාකරලා වෙලාවක් තියෙනවනම් sniper කෙනෙක් කාගෙවත් අවදානයක් ගන්නේ නැතුව යුද්දෙක එහෙමෙහෙ යන්නේ කොහොමද කියල පොඩ්ඩක් කියල දෙනවද, sniper ලිපි පෙළ හොදින් කියෙව්වත් ඒගැන එච්චර කියවුන්නති නිසයි ඇහැව්වේ

    • ඇත්තටම ඒ කොටසනම් මටත් අමතක වෙලා. බොහොම ස්තුතියි එය මතක් කර දුන්නාට. ඔබ දන්නවනේ පරිසරයේ සැඟවීම සහ පරිසරයට අනුව වෙස්වලා ගැනීම ගැන හමුදා භටයන් විශේෂ පුහුණුවක් ලබන බව. ඒ වගේම තමයි සතුරාගේ නිරීක්ෂණයට ලක්නොවී භුමියේ ගමන් කිරීම ගැනත් ඔවුන්ට විශේෂ පුහුණුවක් දෙනවා. එහිදී විවිධ ක්‍රමයට, බඩගාගෙන, දණගාගෙන, භූතයකු/හොල්මනක් වගේ, සෙවනැල්ලෙන් සෙවනැල්ලට මාරුවෙමින් යන ආකාරය ගැන විශේෂ පුහුණුවක් දෙනවා. ස්නයිපර් කෙනෙකුට පුළුවන් නොසෙල්වී එකම ඉරියව්වේ ඉතා දීර්ඝ වෙලාවක් ඉන්න. ඒ තමයි ඔවුන් ලබා ඇති උසස් පුහුණුවේ තිබෙන විශේෂත්වය.

      • බොහොම ස්තුතියි! කලින් ලිපියක යම් කෙනෙක් අසා තිබුණු ප්‍රශ්නයකට ඔබතුමා ලබා දුන් පිලිතුරක සදහන් වෙලා තිබුන හර්ෂ body armor ගැන ,මට ඒගැන විස්තර ටිකක් කියන්නකෝ

        • බොඩි ආමර් කියන එකේ මුලාරම්භය රෝමානු ශිෂ්ටාචාරය තරම් ඈතට දිව යනවා. ඔබ දැක ඇති පරණ චිත්‍රවල, චිත්‍රපටිවල, රෝමන් සොල්දාදුවන් යකඩ සන්නාහයන් ඇඳ සිටිනවා. ඒ යකඩ ඇඳුම කාලීනව විකාශය වීමක් තමයි අද තිබෙන්නේ. එදා කඩු හෙළි වලින් යුද්ධ කල නිසා ඒ ආකාරයට මුළු ඇඟම වසාගන්නට සිදුවුනා. අද ඉතින් තුවක්කු උණ්ඩ සහ බෝම්බ වලින් බේරීම සඳහා තමයි බොඩි ආමර් අඳින්නේ. මේවා සමහරක් තිබෙනවා කෙව්ලර් නමැති වෙළඳ නාමයෙන් හැඳින්වෙන. එය කෘත්‍රිම රසායනික මිශ්‍රණයක්. එයින් හදන ඇඳුම් බොඩි ආමර් ලෙස ක්‍රියා කරනවා. ඒවා සාමාන්‍ය සැහැල්ලු තුවක්කු/පිස්තෝල උණ්ඩ වලින් ආරක්ෂාවීමට සුදුසුයි. VIP අය වෙනුවෙන් සාදන එවැනි බොඩි ආමර් තිබෙන අතර අපේ රටේත් VIP, VVIP, අය ඒවා අඳිනවා. නමුත් බර මැෂින් තුවක්කු, මෝටාර් කැබලි වගේ දේවල් වලින් බේරෙන්න නම් මේ පහත දක්වා ඇති ආකාරයේ ඇතුලට යකඩ තහඩු යෙදු බොඩි ආමර් ඇඳිය යුතුයි.

  27. නැවතත් බොහොම ස්තුතියි !!!!!!!!!!!!!!!!!!!!!!!
    හර්ෂ නමින් අපේ ලංකාවෙත් BODY ARMORS නිෂ්පාදනය කරනවද?

  28. 1.මස්සිනා-මස්සිනාලගේ වලිය පිටින් දාලා ලස්සනට දැලි පිහියෙන් කිරිකාලා තියෙන පාටයි.. වෙනත් කතාවක් මඟින් කිව්වා උනත් අලංකාරව අඩුපාඩුවකින් තොරව සියල්ල පැහැදිලි වෙන්න කියා තිබෙනවා..

    2. “මැදි විය ඉක්මවූවෙක්මි. තවමත් සිතින් තරුණයෙක්මි. ” පැහැදිලිව පෙනුනි.

    3. යුද්ධයකට සම්බන්ධ පාර්ශව දෙකම යුධ උපක්‍රම සම්බන්ධ දැනුමින් පොහොසත්නෙ.. ත්‍රස්තවාදීන් උනත් තොත්ත බබාලා නෙමෙයිනෙ.. ඔවුනුත් බොහෝ යුධ උපක්‍රම දන්නවා.. ඉතින් මට තියෙන ප්‍රශ්නය එවැනි තත්වයක් යටතේ මේ සිද්ධාන්ත කොතරම් දුරට ප්‍රායෝගිකද යන්නයි..

    උදාහරණයකට මෙහෙම හිතමු.. සතුරු පාර්ශවයන්ගෙන් ඇම්බුශ් කිරීමට ලක්වියහැකි බව දන්නා නිසා එයින් වැළකීමට උපක්‍රම පාවිච්චි කළ හැකියි නේද? උදාහරණයකට කිව්වොත් එකම කාලයකදී එකම රටාවකට ගන් බිමන් යෑමෙන් වැළකීම වගේ..

    අපි හිතමු X පාර්ශවය ඇම්බුශ් කිරීමට Z පාර්ශවය යම් තැනක් සුදුසුයැයි තීරණය කළා කියලා.. විචාරක මහත්මයාගෙ උදාහරණෙ බාධාසහිත තැන වගේ.. තමුන් යන මාර්ගයේ එවැනි නැඹුරුවක් ඇති ස්ථාන X පාර්ශවය කලින් හඳුනාගෙන එතැනට වැඩි ආරක්ෂාවක් යෙදිය හැකියි නේද? බංකරයක් ඉදිකිරීම හෝ වැදගත් පුද්ගලයන් ගමන් කිරීමට පෙර එවන් ස්ථාන සෝදිසි මෙහෙයුමකට ලක්කිරීමෙන්.. ඊළඟට එවැනි ස්ථානයකට ළඟාවියහැකි මාර්ග අවහිරකළ හැකියි නේද?

    • 1. උදාහරණ නැතුව ඉගැන්වීම අසාර්ථකයි. ජීවිතයෙන් උදාහරණ නොගෙන කරණ ඉගැන්වීම් අන්තිම අසාර්ථකයි. බලන්න බුදු හාමුදුරුවෝ, යේසුස් වහන්සේ, උදාහරණ පෙන්නුවේ ජීවිතයෙන්.

      2. ඒක ඊටත් වඩා හොඳින් පැහැදිලි වෙන කතාවක් තියනවා ලියම්දෝ නොලියම්දෝ කියලා හිතෙන. මොකද ඒ කතාව අතිශයින්ම 21 +++

      3. මෙහිදී මා කිව්වේ ඇම්බුෂ් එකක් කරන්නේ මෙහෙමයි කියන එක ඉතා සරලව. ඊට වඩා සංකීර්ණ කරුණු ගොඩක් තියනවා මම නොකියපු. ඇම්බුෂ් මේ දැන් ක්ෂණිකව කරන්න පුලුවන්. මාස ගණනක් තොරතුරු හොයලා කරන්නත් පුළුවන්. ඒ සඳහා යොදාගන්න ඉතා සියුම් ක්‍රමවේද (Techniques) තිබෙනවා. මම ඒවා මෙහි සඳහන් කරන්නේ නැහැ.

      සතුරා පරයමින් තම අරමුණ සපුරාගැනීම තමයි අණදෙන්නන් විසින් සෑම විටම කරන්නට උත්සාහ කරන්නේ. වරදින අවස්ථා නැතුවාම නොවේ. සතුරා තමන්ව ඇම්බුෂ් කරයි කියලා හිතෙන තැන් ආරක්ෂා කිරීමට සෑම පාර්ශවයක්ම උත්සාහ කරනවා. නමුත් එය හැමදාටම හරියන උපක්‍රමයක් නොවේ. ඔබ ගෙදර සිට කොළඹ යන්න විකල්ප පාරවල් 5 ක් සහ ඒ පාරවල් පහේම ඔබේ ඔත්තු කරුවන් යොදා තිබෙනවා. නමුත් ඔබට ඒ පාරවල්වල මිනිසුන් සහ වාහන යන එක නවත්වන්න බැහැ. ඒ ඇති සතුරාට ඔබව අල්ලගන්න.

  29. මරේ….. මරු…… අනාගත සුභසිද්ධීය සඳහා ඉතාම ප්‍රයෝජනවත්…….

  30. අනාගතය අනා නොගැනීමට කදිම ආයෝජනයක් විචාරක ඇකඩමිය 🙂

  31. ‘ප්‍රවෘත්තියක් හරියට ලස්සන තරුණියකගේ කොට ගවුමක් වගේ වෙන්න ඕනේ. බලන්නාගේ අවධානය දිනාගැනීමට තරම් කෙටි විය යුතුයි. අවශ්‍ය දේ ආවරණය වන තරමට දිග වියයුතුයි’. 😀

  32. ‘ප්‍රවෘත්තියක් හරියට ලස්සන තරුණියකගේ කොට ගවුමක් වගේ වෙන්න ඕනේ. බලන්නාගේ අවධානය දිනාගැනීමට තරම් කෙටි විය යුතුයි. අවශ්‍ය දේ ආවරණය වන තරමට දිග වියයුතුයි’

    මට හරි වැදගත් වන දෙයක් කොහොම හරි මේ ලිපිය මටත් හරි වැදගත් ඉන්නවා මේ ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ ඇනොලා දෙතුන්දෙනෙක් උන්ට ගේම දෙන්න. 😀

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.