විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


    අපි කොච්චර හොඳින් හිටියත් අපට හතුරුකම් කරන අය ඉන්නවා. අපි පාරේ අයින් වෙලා ගියත්, ඇඟේ හැප්පිලා ගෝරි දාගන්න එන අයත් ඉන්නවා. ඉවසලා ඉවසලා බැරිම තැන තමයි අපිත් මග රැකලා ඉඳලා උන්දලාගේ කොන්ද හරහා පොලු පාරක් දීලා පැනලා දුවන්නේ. වෙනත් වචන වලින් කියනවනම් රැක සිට පහර දීමක් කරන්නේ. හිතේ හයිය තියන අය අභියෝග කරනවා ‘පුළුවන්නම් අපේ පැත්තෙන් යන්ඩ වරෙන්’ කියලා. එහෙම එන්ඩ කියන්නෙත් ‘හොඳට සළකලා’ යවන්න නේද? 😀

  (Ambush) ඇම්බුෂ් කිරීම වනචාරී ගෝත්‍ර වලින් ඉගෙනගත් ක්‍රියාවක් ලෙසයි සැලකෙන්නේ. ඒ කියන්නේ ඇම්බුෂ් කිරීම එක අතකට වනචාරී (වනචර?) වැඩක්. නමුත් අද තිබෙන ‘දියුණු’  😀 ලෝකයේ ඇම්බුෂ් කිරීම වනචර වැඩක් නෙවෙයි. හමුදා ක්‍රියාන්විතයක්.

   හැබැයි එක පුද්ගලයෙක් මග රැක සිට, අතේ පොලු කෙටියක් වත් නැති, තව පුද්ගලයකුට පිහියෙන් ඇනලා, පොල්ලකින් ගහලා, මූණට ඇසිඩ් ගහලා දිවීම, ඇම්බුෂ් එකක් නෙවෙයි. බියගුළු පෞද්ගලික ප්‍රහාරයක්. අපිට බොහෝවිට එදිනෙදා සමාජයේ අසන්නට ලැබෙන්නේ ඒ වගේ පෞද්ගලික පහරදීම් පමණයි. මේ ළඟදිත් දුන්නේ ඉහලම අධිකරණ නිලධාරියකුට. (බොරු අනේ. එයා කියලා ගස්සවාගෙන, එනවා දැන් අපිව අන්දන්න. :D)

  හමුදා ඇම්බුෂ් එකක් යනු ඊට වඩා ඉතා දැඩි සැලකිල්ලකින් හා උපරිම ආරක්ෂාව, වෘත්තීය නිපුනතාව, බුද්ධි තොරතුරු, පදනම් කරගනිමින් කරන ක්‍රියාන්විතයක්. හොඳයි, අපි අද කතා කරමු මොකක්ද මේ රැක සිට පහර දීම හෙවත් ‘ඇම්බුෂ් ‘කියන්නේ කියලා. හැබැයි මුලින්ම මා එක දෙයක් ඔබට ඉතා පැහැදිළිව කිව යුතුයි. මේ ලිපියේදී මට රැකසිට පහරදීම පිලිබඳ සියළු න්‍යායික හා ප්‍රායෝගික කරුණු ඔබට කියන්නට බැහැ. ඒ නිසා සමහර කරුණු යන්තමින් හැඳින්වීමක් පමණයි කරන්නේ. මම යුද්ධ කරන්න උගන්වනවා කියලා, බලධාරීන් හිතුවොත්, ඔබට අනාගතේදී මේ බ්ලොග් අඩවිය අහිමි වනු ඇති. 

  අතීතයේදී රැකසිට පහර දීම සඳහා මහා විශාල සේනාවන් යෙදවූවා. ගමන් කිරීමට අපහසු දුර්ග මාර්ග, කඳු වැටි මැදින් වැටී ඇති පටු නිම්න, වැනි ස්ථාන තමයි ඒ සඳහා තෝරාගත්තේ. අපේ රටේ වීර සිංහලයන් සුද්දාට එරෙහිව මහා පරිමාන ඇම්බුෂ් කල බව අතීත කතාවල සඳහන් වනවා. විශේෂයෙන් කඩුගන්නාව දුර්ගය තමයි ඉංග්‍රීසි බලසේනා වලට එරෙහි රැකසිට පහරදීම් සඳහා යොදාගත්තේ. සුද්දන්ගේ හමුදා, ඒ කඳුකර මාර්ගයේ එද්දී, විශාල ගල් පෙරලීම, ගිනි ඊතල වලින් විදීම, තමයි ඒ වීර සිංහලයන් කල රැකසිට පහරදීම. ඒ කියන්නේ, යුද උපක්‍රම (Battle Tactics) ගැන, ඔවුන්ට ඒ කාලය අනුව ඉතා හොඳ අවබෝධයක් තිබුන අතර, එයින් ප්‍රායෝගිකව සාර්ථක ප්‍රතිඵල අත් කරගත් බවයි.

  ඒ නිසා ඇම්බුෂ් කිරීම අපට අලුත් දෙයක් නෙවෙයි. අලුත් වී තිබෙන්නේ තාක්ෂණය පමණයි. එමෙන්ම අද කාලයේ රැකසිට පහරදීමක්‌ සඳහා විශාල භට පිරිසක් යොදවන්නේ නැහැ. සමහර විට හත් අට දෙනෙකුටත් පුළුවන් එවැනිම කුඩා කණ්ඩායමක් හෝ විශාල පිරිසක් හෝ වැදගත් පුද්ගලයකු ගමන කරන වාහන පෙළක් ඉතා සාර්ථකව ඇම්බුෂ් කරන්නට. අපේ කොමාන්ඩෝ සහ විශේෂ බලකාය, පසුගිය යුද සමයේ, එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ තිබුණ ප්‍රදේශ වල කිලෝමීටර් 20 ක් හෝ ඊටත් වඩා දුරට ගොස් ඔවුන්ගේ නායකයන් කීප දෙනෙකුටම සාර්ථකව වැඩේ දුන්නා, රැකසිට පහරදීම මගින්. 

  මා ඇම්බුෂ් දෙකකින් අනූනවයෙන් බේරුනා, මගේ හමුදා සේවා කාලය තුළදී. පළමුවැන්න 1985 දී. එවකට මා සේවය කලේ පොළොන්නරුව – මඩකළපුව මාර්ගයේ පුනානි ප්‍රදේශයේ. මාස 4 කට පමණ පසුව මා ලද නිවාඩු දින පහ අවසන් වී, පාන්දරින්ම ආපසු පුනානි වෙත යන්න පිටත්වුනත්, බස් ප්‍රමාදය නිසා යන්නට නොහැකිවුනා. හවස්වනවිට මට පැහැදිළිව තේරුණා, ළඟම පිහිටි හමුදා කඳවුර වෙත යාම තමයි, වඩාත් ප්‍රඥාගෝචර වන්නේ කියා.

   ලොරි කබලක එල්ලුන මට, යන්තම් දිඹුලාගල මහා විහාරයේ පිහිටි කඳවුරට යාගත හැකිවුනා. එහි තිබුනේද මගේ රෙජිමේන්තුවේම කඳවුරක්. මා එහි සිට පුනානි අණදෙන නිලධාරි තුමාට ගුවන්විදුලි පණිවිඩයකින් දැන්වුවා, බස් නැති නිසා මා ප්‍රමාද වූ බවත්, ඒ නිසා දිඹුලාගල කඳවුරට පැමිණි බවත්, හෙට උදේම පුනානි වෙත එන බවත්. ඒ සඳහා අනුමැතිය ලැබුනා. (අනිවාර්යයෙන් අනුමැතිය දෙන්නට වෙනවා. මොකද, ඒ දිනවල ප්‍රධාන මාර්ගයේ මීටර් 500 න් 500 ට පමණ සෙබළුන් දෙතුන් දෙනා යොදවා මාර්ගයේ ආරක්ෂාව තහවුරු කරනවා. එයට කියන්නේ පිකට් picket කියලා. (මාර්ග ආරක්ෂක මුරය) (picquet නෙවෙයි) ඒ පිකට් එක සවස 5.00 ට පමණ ඉවත් කරනවා. මම ලොරියට නැග්ගේත් 5.30 ට විතර) පිකට් එක ඉවත් කල පසු ක්‍රියාන්විත රාජකාරි සඳහා යන විශාල සන්නද්ධ භට පිරිස් පමණක් පයින් යනවා හැර, හමුදා රථ ඒ මාර්ගයේ නොයවන්නේ, ඇම්බුෂ් වලට අසුවීමට හොඳටම ඉඩ තිබෙන නිසයි.  

   එදා රාත්‍රියේ පන්සලේ කඳවුරේ සහෝදර නිලධාරියාගෙන් ‘සියළු සත්කාර සංග්‍රහ’ විඳ, උදෙන්ම ගුවන් විදුලියෙන් කතාකර කිව්වා මාව රැගෙන යන්නට වාහනයක් එවන ලෙස. වාහනයක් එවන බව කිව්වත්, එය ප්‍රමාද වන බව පෙනී ගියා. මේ අතර, මගේ සහෝදර නිලධාරියා කිව්වා, ඔහුට රාජකාරි අවශ්‍යතාවක් තිබෙන නිසා, වැලිකන්ද කඳවුරට යන බැවින්, ඔහුගේ වාහනයෙන්, මා වැලිකන්ද දක්වා ගෙන යාහැකි බව. මම බොහොම කැමැත්තෙන් ඔහු සමග පිටත් වුනා. අපි වැලිකන්ද කඳවුරට ළඟා වෙමින් සිටියා. ඒ හරියේ පාර තනි කෙලින් පිහිටා තිබෙන්නේ.

  මේ වෙලාවේ අපි දුටුවා ඈතින් එන ජීප් රථයක්. මම අනුමාන කළා ඒ මා කැඳවාගෙන යන්නට එන ජීප් රථය කියා. මොහොතකින් මහා ‘බුම්ම්ම්ම්ම්ම්……’ හඬක් සමග ඒ ජීප් රථය පොළොවෙන් අඩි 10 ක් පමණ උඩට විසිවී ගිනි ගුලියක් වී පාරට වැටුනා. ඒ වනවිට අපේ රථයත් ඒ රථයත් අතර දුර මීටර් 500 ක් පමණ තිබුනේ. අපේ රථයේ රියදුරා ගැසූ බ්රේක් පාරට, මගේ ඔළුව රථයේ වා මුවාවේ වැදුණා. අපේ ආරක්ෂක මුරය වෙඩි තියාගෙනම එලියට පැන්නා. මමත් මගේ සහෝදර නිලධාරියාත් ආරක්ෂක මුරයේ හතර දෙනාව දෙදෙනා බැගින් යොදාගෙන, පාරේ දෙපස කැලය දිගේ වෙඩිතබමින් ඉදිරියට ගියා. නමුත් ඒ වනවිටත් ත්‍රස්තවාදීන් පැනගොස් තිබුණා.

  ඒ පැමිණ තිබුනේ මා රැගෙන යාමට පැමිණි රථයයි. එය සම්පුර්ණයෙන් කුඩුපට්ටම් වී තිබුණා. එහි සිටි සෙබළුන් පස්දෙනාගෙන් (රියැදුරු, ආරක්ෂක සෙබළු හතර දෙනා) තුන් දෙනෙකුගේ සිරුරු කැබලි වලට කැඩී තිබුණා. රියදුරු ගේ සිරුර කැඩී නොතිබුනත් මියගොස් සිටියා. එක සෙබළකු මරණාසන්න තත්වයේ සිටියා. අපි වහාම ගුවන්විදුලි මගින් තත්වය වාර්තා කල විගස, ඒ වනවිටත් සැක කටයුතු ශබ්දය ඇසුණු ආධාරක භට පිරිස් එහි ළඟා වෙමින් සිටියා.

  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් නියමුවකු එදා වීර ක්‍රියාවක් කළා. ඔබ දන්නවානේ පාර දෙපස සෙවන සඳහා වවා තිබෙන මාර ගස්. ඔහු මේ මාර ගස් දෙකක අතු වල යන්තමින් ගැටෙමින් (පුංචි රිකිලි හෙලිකොප්ටර් තලවල වැදී කැඩී වැටුනා) ඒ ගස් දෙකක් මැදින් හෙලිකොප්ටරය මහ පාරට බෑවා. ඒ නිසා අර මරණාසන්න සෙබළා පොළොන්නරුව රෝහල වෙත ගෙනගොස්, දිවි බේරාගන්නට හැකිවුණා.

  ඒ වෙලාවේ පැමිණි ආධාරක භට පිරිස් සමග අපි අවට පරීක්ෂා කළා. එහිදී හමුවුනා තවත් බිම්බෝම්බ වයරයක්. එය දිගේ පරීක්ෂා කිරීමේදී පෙනීගිය පුපුරා නොගිය තවත් බිම්බෝම්බයක් ඇති බව. පසුව බෝම්බ නිෂ්ක්‍රිය අංශයෙන් එය නිෂ්ක්‍රිය කළා. ඒ බෝම්බය සවි කර තිබුනේ පාරේ අපේ වාහනය ගමන් කළ තීරුවේ. ඒ කියන්නේ කොයි පැත්තෙන් හෝ එන හමුදා වාහනයකට පහර දෙන්නයි බෝම්බ දෙකක් යොදා තිබුනේ. අර වාහනය අපේ වාහනයට කලින් එතනට ආවා. තවදුරටත් පරීක්ෂා කරන විට මගේ කනට වතුර බින්දුවක් වැටුණා වගේ දැනුණා. උඩ බැලූවිට දැක්කේ, බෝම්බ පිපිරීමේදී, සිරුරෙන් වෙන්ව ගොස්, ගහක රැඳුණු, සොල්දාදුවකුගේ අතකින්, තවමත් ලේ බිඳු වැටෙන බවයි.

  දෙවැනි වතාවටත් මම ඇම්බුෂ් එකකින් ගැලවුනේ 1999 දී. එවකට ක්‍රියාත්මකව තිබුණු ජය සිකුරු ක්‍රියාන්විතයේදී (Operation Jayasikuru) වවුනියාවට උතුරෙන් පිහිටි අලුතෙන් අත්පත් කරගත් ප්‍රදේශයක ආරක්ෂාව තහවුරු කරගන්නට අපේ භට පිරිස් යොදවා තිබුනා. මා ඒ භටපිරිස් යෙදවීම පරීක්ෂාකර ආපසු පැමිණෙන්නට මගේ වාහනයට ගොඩ වෙද්දී මතක් වුනා එක්තරා ස්ථානයකට යොදවා සිටි භට පිරිස් ඊට වඩා මීටර් 100 ක් පමණ පසුපසින් සිටීම වඩාත් යෝග්‍ය බව. ඒ ප්‍රදේශයේ යොදවා සිටි කණ්ඩායම් භාර නිලධාරි වරයාට එය කියන්නට මා නැවතත් වාහනයෙන් බැස ගියා. මේ අවස්ථාවේදී හමුදා වාහනයක් යනවා මා දුටුවා. විනාඩි දෙකකින් පමණ මහා පිපිරුම් හඬක් ඇසුනා. අර වාහනය රැකසිට පහරදීමකට ලක්ව තිබුණා.

  අපේ ආරක්ෂක වළල්ල තුලට රිංගා ගත් තුන් දෙනෙකුගෙන් යුත් ත්‍රස්තවාදී කණ්ඩායමක් තමයි එය කර තිබුනේ. පැන යමින් සිටි ඔවුන්, එදාම සවස, වෙනත් ප්‍රදේශයකදී අපෙන් වෙඩිකා මියගියා.

  පහරදීමට හසුවූ වාහනයේ මා හඳුනන සොල්දාදුවකු සිටියා. මා එතනට යනවිට ඔහු පණ අදිමින් සිටියා. මම වහාම බිම වාඩිවී, ඔහුගේ හිස මගේ  මගේ  උකුලේ තබාගන්න විටයි දුටුවේ, ඔහුගේ ශරීරය දෙකට කැඩී ඇති බව. එළියට ඇවිත් තිබුණ ඔහුගේ හදවත, තවමත් ගැහෙමින් තිබුණා. ඔහු මා දෙසම බලා සිටියා. මාව හඳුනාගත් බවක් පෙනුණා. මා ඔහුට වතුර පොවන්නට උත්සාහ කළත්, ඔහු මඳ සිනහවක් පෙන්වමින්, මගෙන් සදහටම සමුගත්තා. එදා නම් මට හැඬුණා.

  මේ කතාවේ ඊළඟ කොටසට යන්න කලින්, රැකසිට පහරදීමකදී පාවිච්චි කරන බෝම්බ ගැන, කෙටි හැඳින්වීමක් කරන්නට අදහස් කරනවා. ඒ හැඳින්වීම, රැකසිට පහරදීම පිළිබඳ ඔබේ අවබෝධය වර්ධනය කරනු ඇතැයි සිතනවා.

ක්ලේමෝ බෝම්බ Claymore Mines

රැකසිට පහරදීම් වලදී වැඩිපුරම භාවිත කෙරෙන බෝම්බ වර්ගය මෙයයි. ඉතාම භයානක ප්‍රතිඵල දෙන බෝම්බයක්. ඔබෙන් සෑහෙන පිරිසක් මේ බෝම්බ ගැන අහලා තියනවාට සැකයක් නැහැ. ඒ අපේ රටේ පහුගිය යුද සමයේදී අහන්නට දකින්නට ලැබුණු ක්ලේමෝ බෝම්බ ප්‍රහාර නිසා. මේ බෝම්බ වයර් මගින් සම්බන්ධ දුරස්ථ පාලන ක්‍රමයකිනුයි පුපුරවන්නේ. වයර් රහිත දුරස්ථ පාලක දැන් තිබෙනවා. මේ බෝම්බය පිළිබඳව පින්තුර වලින් තොරතුරු කියන්නම්.

  ක්ලේමෝ බෝම්බය බැලූ බැල්මට හරියට ප්ලාස්ටික් පෙට්ටියක් වගෙයි. පිළිගත් ප්‍රමිතීන්ට අනුව හදන ලද ක්ලේමෝ බෝම්බයක් අඟල් 10 ක්‌ පමණ දිගයි. අඟල් 6 ක්‌ පමණ උසයි. අඟල් 2  1/2 ක්‌ පමණ ඝනකමයි. මේ පෙට්ටිය ඇතුලේ විදුලි බලයෙන් පත්තුවන ඩෙටනේටරයක් (සමහරවිට දෙකක්) අධිබල වෙඩි බෙහෙත් සහ යකඩ බෝල අතිවිශාල ගණනක් අඩංගු කරලා තියනවා. සාමාන්‍ය විදුලිපන්දම් බැටරි (Size D 1.5 V) දෙකක බලබලයෙන් පවා පුපුරා යන ඩෙටනේටර් තිබෙනවා. පිපුරුම් උපකරණයේ සිට බෝම්බය දක්වා වයරයක් ඇද තිබෙනවා. බැටරි තිබෙන්නේ පිපුරුම් උපකරණය ඇතුලේ.

  ඒ කාලේ එල්.ටී.ටී.ඊ. සංවිධානය අඩි 3 ක්‌ පමණ දිග, අඩි දෙකක් පමණ උස, අඟල් 4 ක්‌ පමණ ඝනකම ක්ලේමෝ දේශීයව නිපදවා තිබුණා. නමුත් ඒවා දුර ගෙනියන්න අමාරුයි. කැඩෙන්නට ඉඩ තිබෙනවා. දැන් ඉතින් මට හෝ ගාලා ප්‍රශ්න එයි කියා හිතෙන නිසා තමයි මේ පින්තුර පෙන්වන්නේ. මේ පින්තුරවල දැක්වෙන තොරතුරු කියවීමෙන් ඔබට බොහෝ දේවල් දැනගත හැකියි. මෙහි දැක්වෙන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව (මතක තබාගන්න ලෝකයේ සියලුම ආකාරයේ තුවක්කු, පතරොම්, බෝම්බ, යුද ටැංකි, යුද ගුවන්යානා, මිසයිල, සබ්මැරීන්, ආදී මෙකී නොකී සියල්ලටම අදාළ ජාත්‍යන්තර ප්‍රමිතීන් තිබෙනවා) නිපදවා ඇති ක්ලේමෝ බෝම්බයක්. පින්තුර මත ක්ලික් කර විශාල කරගෙන බලන්න.

  ක්ලේමෝ බෝම්බයක් පොළොවේ සවි කලාම එය පරිසරය තුල සැඟවිය යුතුයි. නැත්නම් සතුරාට එය නිරීක්ෂණය විය හැකියි. බොහෝවිට ක්ලේමෝ බෝම්බ අටවන්නේ විශාල් ගස් යට එහි කඳට තබා, හුඹස් වලට හේත්තු කර, ලොකු ගල් වලට හේත්තු කර, හෝ එවැනි ආවරණයක් තබාගෙන. එයට හේතුව ක්ලේමෝ බෝම්බය පිපිරීමේදී පසුපසට විහිදෙන කෑලි වලින් එය පුපුරවන්නාටද හානි වියහැකි නිසා.

  එසේම පිපිරුම් උපකරණයේ සිට බෝම්බය දක්වා විදුලිය ගෙන යන වයරයද සඟවා තිබිය යුතුයි. ඒ සඳහා සමහරවිට පොළොවේ අඟලක් පමණ ගැඹුරට කාණුවක් කපා වයරය එහි දමා ඉතා සුක්ෂ්ම ලෙස කාණුව වසා තබනවා. හොඳ වයරයක් නම ඇළක්, ඔයක්, වැනි දිය පහරක් යටින් වුනත් යෙදවිය හැකියි සැඩ පහර නැත්නම්.

බිම් බෝම්බ – Land Mines

 අවශ්‍ය වෙලාවට පුපුරවා හැරීම සඳහා මාර්ගයක වලක් හාරා අටවා තබන බෝම්බ තමයි බිම්බෝම්බ. හැබැයි මේ ක්‍රමය දැන් බොහොම ප්‍රාථමික ප්‍රහාරක ක්‍රමයක්. මාර්ගය තිබෙන්නේ තමාට අයිති නැති ප්‍රදේශයක නම්, මාර්ගය පරීක්ෂා කරන මුර සංචාර වලදී බෝම්බය අහුවෙන්න පුලුවන්. මොකද අනිවාර්යයෙන්ම බෝම්බයේ සිට පුපුරවන්නා සිටින තැන දක්වා වයරයකින් බලය සැපයිය යුතුයි. නැත්නම් බෝම්බයේ සිට එන වයරය පොලොව මතුපිටට එන තැනට, රැහැන් රහිත දුරස්ථ පාලක ක්‍රමයක් හෝ යෙදවිය යුතුයි. අනෙක තමන්ට අයිති නැති ප්‍රදේශයක මේ බෝම්බ ඇටවීම ඉස්සර තරම් ලෙහෙසි නැහැ දැන්. නිරීක්ෂණ ක්‍රම දියුණු නිසා. ඊට වඩා ක්ලේමෝ බෝම්බය ප්‍රතිඵලදායකයි. අනවශ්යනම් ආපහු අරන් එන්නත් පුළුවන්. පින්තුරයක් නොදෙන්නේ එතරම් වැදගත් නොවන නිසයි.

යුද ටැංකි නාශක බෝම්බ

Anti Tank Mines

 ජරාම ජාතියක්. අහු වුනොත් ආයේ ගැලවීමක් නෑ (කවුරු වගේද? අනේ මම දන්නෑ :D) යුද ටැංකි නාශක බෝම්බ ක්‍රියාත්මක වන්නේ, ඒ මත යෙදවෙන පීඩනය අනුව ක්‍රියාත්මක වන දුන්නක් (sprin) මගින්, බලය සපයන පරිපථය සම්පුර්ණ කිරීමෙනුයි. සැහැල්ලු වාහනයක සිට යුද ටැංකියක් වැනි බර වැඩි වාහනයක් දක්වා වෙනස්වෙන බර අනුව පත්තුවිය හැකි ආකාරයට සකස් කල හැකියි. ඒ කියන්නේ යුද ටැංකියක් සඳහා සවිකළ බෝම්බයක් උඩින් කාර් එකක් ගියාට එය පත්තු වෙන්නේ නැහැ. හැබැයි මෙය වලලා අත්හැර දමන්න බැහැ. එක්කෝ එයින් නියම ප්‍රයෝජනය ගතයුතුයි. නැත්නම් ගලවා ඉවත් කරගත යුතුයි. රැකසිට පහරදීම, තමන්ගේ ප්‍රදේශයට රිංගන්න එන සතුරන්ට එල්ල කරන එකක් නම්, එම පහරදීම නොකළොත්, අනිවාර්යයෙන් මෙවැනි බෝම්බ ඉවත් කලයුතුයි. නැත්නම් තමන්ගේ වාහනයක් ඊට අසුවිය හැකියි. සතුරාගේ ප්‍රදේශයේ දැම්මානම් ‘ඔන්න ඔහේ උඹම කාපන්’ කියලා ආපහු එන්න පුළුවන්, හැබැයි තමන්ගේ සිතියමක ඒ ස්ථානය ලකුණු කරගතයුතුයි. පසු කාලයක ඒ පැත්ත අල්ලා ගත්තොත්, එතනින් යන්න පෙර පරීක්ෂාකර ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා.

  යුද ටැංකි නාශක බෝම්බයක ක්‍රියාකාරිත්වය විස්තර කිරීම අනවශ්‍යයි කියා සිතනවා. ඒ නිසා පින්තුරයක් විතරයි පෙන්වන්නේ. මෙහි දැක්වෙන්නේ ඔබට පෙන්වීම සඳහා මතුපිට පස් ඉවත් කර ඇති බෝම්බයක්. පස්වලින් වැසීගිය පසු (තාර පාරක නම් තාර දාලාත් තියන්න පුළුවන්) මෙතන බෝම්බයක් තියනවා කියලා හොයාගන්න බැහැ. ඒ සඳහා බෝම්බ සොයන විශේෂ උපකරණ අවශ්‍යයි. 

   යුද ටැංකි නාශක සැහැල්ලු අවි

   Light Anti Tank Weapons

  වාහන වලට රැකසිට පහර දීම සඳහා තමයි මේ අවි පාවිච්චි කරන්නේ. මෙහිදී රොකට් බලයෙන් ඇදීයන බෝම්බයක් මගින් තමයි ප්‍රහාරය එල්ලවන්නේ. මේ ප්‍රහාරයත් ඉතා මාරාන්තිකයි. මේ බෝම්බයෙන් සෙල්සියස් අංශක 1500 කටත් වඩා වැඩි උෂ්ණත්වයක් ඇති කරන නිසා, යුද ටැංකි වල ඝන තහඩු උණුවෙනවා. ප්‍රහාරයට ලක්වූ යුද ටැංකියක ඇතුලේ ඉන්න අය, ටින් එකක් තුළ දමා රෝස්ට් කළා මෙන් වෙනවා. හම සිරුරෙන් ඉවත් වෙනවා.

  මේවා වර්ග කීපයක් තිබුනත් සාමාන්‍ය හැඳින්වීමක් විතරයි මේ ලිපියේදී කරන්නේ. මේ පින්තුරය මගින් ඔබට RPG 7 අවිය ගැන අවබෝධයක් ලැබෙනු ඇති. මේ අඩවියේ මුල් කොටස්වලදී අවි ආයුධ වල කොටස් ගැන කියවා ඇති ඔබට, මේ රුපය අවබෝධ කරගැනීම අපහසු නොවනු ඇති. 

  යුද ටැංකි නාශක අනෙක් අවිය වන්නේ රොකට් ලෝන්චරයයි. රොකට් ලෝන්චර් වර්ග කීපයක් තියනවා. නමුත් මෙතනට අදාළ නැහැ. මේ පිතුරයේ පෙනෙන්නේ රොකට් ලෝන්චරයක සාමාන්ය බාහිර පෙනුම. මේ අවියෙනුත් RPG 7 අවියේ මෙන්ම රොකට්ටුවකින් රැගෙන යන බෝම්බයක් තමයි පිටවෙන්නේ. නමුත් මෙහි හානිය ඊට වඩා බොහොම බරපතලයි.

  රොකට් ලෝන්චර සමහරක් සාදා තිබෙන්නේ එක වරක් පාවිච්චි කර ඉවත දැමීමටයි. ඒ කියන්නේ එහි සියළු කොටස් කම්හලේදී සවිකර එවන්නේ. බොහෝවිට වාහන හෝ යුද ටැංකි වෙත හදිසියේ රැකසිට පහරදීමක්‌ කරන්නේ නම් ඒ සඳහා යොදාගන්නේ එක වරක් පාවිච්චි කර ඉවත ලන වර්ගයේ රොකට් ලෝන්චර්. මේ පින්තුරයෙන් පෙනෙන්නේ රොකට් ලෝන්චරයක් ක්‍රියාත්මක වන ආකාරයයි.

හොඳයි, මේ ඉතා කෙටි ලිපියෙන්  😀 😀 😀 ඔබ අවබෝධය ලබාගත්තේ, රැකසිට පහරදීම සහ ඒ සඳහා යොදාගන්න ප්‍රධාන අවි සහ බෝම්බ පිළිබඳවයි. ඊළඟ ලිපියේදී, ඔබට සිදුවෙනවා, මේවා පාවිච්චි කරලා, රැකසිට පහරදීමක්‌ කරන්න. මතක තබාගන්න රැකසිට පහරදීම වැරදුනොත් භයානක සෙල්ලමක්.

 

 

Advertisements

Comments on: "පුළුවන්නම් වරෙන්කො අපේ පැත්තෙන් යන්ඩ (පළමුවැනි කොටස) – The Deadly Game ‘Ambush’ (Part One)" (121)

  1. ක්සැන්ඩර් | Xander said:

    මෙන්න ලිපි.. මටත් මේ ලිපිය කියෙව්වම පොඩි බයක් ආවේ මේක දැකලා මොකෙක්හරි මේ ලිපි ලිවිම නතර කරාවිද කියලයි. ඒත් අන්තර්ජාලේ ඉංග්‍රීසි බසින් නම් ගන්න පුළුවන් උපරිම තොරතුරු තියනවා.ඒවා අපේ අයට තේරෙන්නේ නැති හින්දා මේ වගේ අඩවි වැහෙන්න තියන අවධානම වැඩියි. ඒ නිසා ඔබතුමා මේ දත් තිස්දෙක මැද දිවක් වගේ කරන කාර්යය ගැන මගේ ප්‍රණාමය.

    • අනික් ඕනෙම ලෙඩකට බෙහෙත් තියනවා, මෝඩකමට බෙහෙත් නැහැනේ. අන්තර්ජාලයේ තිබෙන කරුණු අරන්, යුද උපක්‍රම සහ අවි ආයුධ ගැන ඉතා රහසිගත තොරතුරු ඇතුළත් එක ලිපියක් දැම්මොත්, ලංකාවේ එල්ලුම් ගහට යන පළමුවැනියා මම වෙන්ඩ බැරි නැහැ. නමුත් ඒ ලිපිම ත්‍රස්තවාදී සංවිධාන වලට ලංකාවේදීම කිසිම ප්‍රශ්නයක් නැතුව ඉංග්‍රීසි භාෂාවෙන් බලන්න පුළුවන්.

  2. මුල ඉඳලා අගටම කියෙව්වා… දැං ඔලුවන් රිදෙනවා…. ( ඇත්තටම සමහර දේවල් දැනෙනවා වගේ… අර යුද්ධ ටැංකිවල සිද්ධි එහෙම.. ) කොහොම ලියනවද මන්දා හිනා වෙවී….. ගර්ර්ර්ර්……

    • ඕවට අඬන්න ගියොත් මුළු ජීවිතේම අඬන්න වෙනවා. ලිපිය දිග වැඩිනම් හෙමින් කියවන්න අවස්ථා කීපයකදී.

      • හිරු, මේවා රාජකාරියක් විදිහට , අහන, දකින, විදින අයකුට ඒ ගැන හිතන්න වුනානම් මොනවා වේවිද

        හැබැයි මේවායින් මානසික බලපෑමක් නොවෙනවා කියන්න බෑ නේද විචාරක තුමෙනි…

  3. මේ ලිපිය කියවලා ඔලුවත් මොකක්ද උනා. යුද්ධ කාලේ සෙබලු විඳින අත්දැකීම් නිසා එයාලගේ මානසික තත්වයට යම් බලපෑමක් ඇතිවෙනවා නේද? ඔවුන් මේ පිලිබඳව මනෝ විද්‍යා ප්‍රතිකාර ගන්නවද?

    මේ වගේ මරණ, බෝම්බ පිපිරීම වැනි දේ හන්දා මිනිස් හදවත් දැඩිබවට පත්වෙනවද? සමාවෙන්ට මට දැනගන්ට හැමදාම ඕනි උනු ප්‍රශ්න කීපයක්. පිලිතුරු දිය නොහැකි නම් ඒත් කමක් නෑ.

    • හිරුගේත් ඔලුව රිදෙනවාලු. දැන් ඔයාගෙත් ඔලුව රිදෙනවාලු. ඊළඟට ඔලුව රිදෙන අය මට බනියිද මන්දා. 😀

      පශ්චාත් යුද සමයකදී සියලු නිලයන් කිසියම් මානසික පරීක්ෂාවකට ලක්කර අවශ්‍යනම් ප්‍රතිකාර හෝ ප්‍රතිකර්ම කල යුතුයි. අවාසනාවකට අපේ රටේ එක වුනේ නැහැ. වෙන්නෙත් නැහැ. ඒ නිසා තමයි සමහර හමුදා සොල්දාදුවෝ භයානක අපරාධ වලට පෙළඹෙන්නේ. ආදරය නොහඳුනන මෙජර්ලා බෝම්බ පුපුරවාගෙන මැරෙන්නේ. එයාලා හිතන්න පෙළඹෙනවා යුද්ධ උපක්‍රම තමයි ජීවිතයේ සියලු ප්‍රශ්න වලට විසඳුම කියලා. වියට්නාම් යුද්ධයෙන් පස්සේ ඇමරිකානු ත්‍රිවිධ හමුදා සොල්දාදුවන් අපරාධ වලට යොමුවීම් ඉතා ඉහල අගයක් ගත්තා. ඒවා වෙනුවෙන් අවශ්‍ය මනෝවිද්‍යාත්මක ප්‍රතිකර්ම යෙදු පසු අඩුවුනා. අපේ රටේ තිබෙන සංස්කෘතික හා ආගමික බැඳීම් නිසයි හමුදා සෙබළුන් ටිකක් අඩුවෙන් අපරාධ වලට පෙළඹෙන්නේ කියලයි මම හිතන්නේ.

      දීර්ඝ කාලයක් යුද්ධයක පැටලී සිටින විට හිත දරදඬු වෙනවා. ඇත්තම ඇත්තක් කියනවානම්, මගේ බිරිඳත් දුවලා දෙන්නත්, සමහර අවස්තාවලදී මට කාරුණිකව මතක්කර දෙනවා, මේ හමුදා කඳවුර නෙවෙයි කියා.

    • දැනට යුධ හමුදාවේ මනෝ ප්‍රතිකාර එකක දෙකක් ක්‍රියාත්මක වෙන බව මම කියවා තිබෙනවා. එකක් හමුදා රෝහලේ හා පනාගොඩ. මේ ඒකක බාරව සිටින්නේ විශේෂඥ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහත්මයා. නාවික හා ගුවන් හමුදාවත් මේ ඒකක (counseling ඇතුළුව) පිහිටුවාගෙන යන බව මම කියෙව්වා. නමුත් ප්‍රධානම ප්‍රශ්නය විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය. මේ හිඟය හමුදාවට පමණක් නෙමේ රටේම ප්‍රශ්නයක්. ලංකාවේ සුදුසුකම් ඇති විශේෂඥ වෛද්‍යවරුන් නැතිනම් අපේ පෞද්ගලික රෝහල් කරනවා වගේ සුදුසුකම් මතබෙදකාරී (questionable) විශේෂඥ වෛද්‍යවරුන් පිටරටින් ආනයනය කිරීම කරන්න බැහැනේ :/ .
      මේ විස්තර කලකට පෙර පලවූ පුවත්පත් වාර්තා මගින් කියුවේ.

      • කරගෙන යනවා. ප්‍රමාණාත්මක බව සහ ගුණාත්මක බව (ඔබ කියන ගැටළුද ඇතුළුව) මෙන්ම සෙබළුන් නිරන්තර විශ්ලේෂණයට භාජනය කිරීම සඳහා හමුදාව තුලින්ම තෝරාගෙන පුහුණුව ලත් අය දැනට ප්‍රමාණවත් තරමින් නැහැ.

  4. අදත් පළමු කොමෙන්ටුව මගෙන් වගේ,

    ඔබගේ මේ කාර්යනම් ඉතා මත් අනර්ගයි,
    ඉදිරි ළිපි කියවීමට බලාපොරොත්තුවෙන් බලා සිටිනවා,
    පොඩි ප්‍රස්නයක් තියනවා,
    රොකට් ලෝන්චරයකින් උන්ඩය පිටවීමේදී පිටුපසට එල්ල වන බලය දරා ගන්නේ කොහොමද?

    • අගය කිරීම ගැන ස්තුතියි. වැඩිය ගැස්සෙන්නේ RPG 7 අවිය. නමුත් බර මැෂින් තුවක්කුවක් තරම් ගැස්සෙන්නේ නැහැ. රොකට් ලෝන්චරයෙන් බෝම්බ යැවීම ගැන කැත වචන වලින් කියනාවානම්, කිසිදු මළ බද්ධයක් නැති දවසක, ටොයිලට් සීට් එකේ වාඩිවෙලා, පත්තරයක් බලන අතර, සියල්ල සුමුඳු ලෙස සිදුවෙනවා වගේ කිසිම ගැස්සීමක් නැහැ. 😀 😀 😀

  5. ඔබේ තුමාගේ ශෛලිය නම් පුදුමාකාරයි !!!!!!!!!!!!!!!!!!!!!
    හරිම රසවත් !

  6. ලිපි ටික ඔක්කොම කියෙව්වම ඔක්කොටම නෙලනවා තනියම… 🙂

    1. ක්ලේමෝ බෝම්බෙ වෙඩි බෙහෙත් පත්තු වෙන්නෙ ‘ස්පාර්ක්’ වීමකින්ද? වාහනවල ස්පාර්ක් ප්ලග් එක වගේ…

    2. මම මෙතෙක් කල් අහලා තිබුනේ ක්ලේමෝ බෝම්බයට අහුවුන අයගේ සිරුරු කැබලි නොවන වග.. ඔවුන් මිය යන්නේ කම්පනයෙන්ලු.. දැන් හිතෙන්නෙ යකඩ බෝල වැදිලා මිය යන බව..

    3. තව අහපු කතාවක් තමා බෝම්බයෙන් ඇති කරන පීඩනයෙන් අවට වාතය අයින් වෙනවලු.. ඒ රික්තය පුරවන්න ඇදී එන වාතයෙන්ලු හානිවෙන්නෙ.. මෙව්වා ඇත්තද?

    4. ද. මු. දසනායකට අටෝපු ක්ලේමෝ බෝම්බෙ මට මතකයි.. ඒක අටවලා තිබුනෙ පාරෙන් ටිකක් ඇතුලට වෙන්න තිබ්බ කැලේක.. ඒ වගේම හරියටම ඉලක්කෙටත් වැදුනා.. මට පුදුමත් හිතුනා ඈත තියෙන බෝම්බයක් හරියටම වේගයෙන් යන වාහනයට වදින්නම පිපිරවීම.. ඒත් විචාරක මහත්මයාගේ ක්ලේමෝ බෝම්බයක පරාසය පෙන්වන රූපය දැක්කාම සියල්ල පැහැදිලියි..

    5. බෝම්බ සොයන විශේෂ උපකරණ වැඩ කරන්නෙ කොහොමද?

    6. යුද ටැංකි නාශක සැහැල්ලු අවි මඟින් ඇතිවන අධික ගිනිදැල්ලෙන් සතුරාට ඇස ගැටීමේ අවස්ථාව වැඩී නේද?

    අපූරු ලිපියක්… දුර්ලභ පින්තූර වලටත් ස්තුතියි!

    • අර සිද්ධි ගැන යමක් කියන්ඩ අමතක වුනානෙ.. මැරෙන්නෙ නැති එකා ගලේ ගැහුවත් මැරෙන්නේ නෑ කියලා හිතුනා.. පුදුමාකාර බේරීමක්.. ඒ වගේම ඒ සිද්ධිවලදී දැක්වු නොසැලෙන බව ගැන පුදුමයි.. තමුන් සිටින්නේ මරණයට ඉතාම ළඟින් බව දැනෙනකොට ඇතිවෙන පීඩනය දරාගන්නෙ කොහොමද? වෙන රසාවකදී වෙන අත්වැරදි පියවන්න පුළුවන්.. ඒත් මේ රාජකාරියෙදි පොඩ්ඩ වැරදුනොත් ජීවිතයෙන් ගෙවන්න වෙන්නෙ..

      විචාරක මහත්මයා දන්නවා ඇති තුන්පාරක්ම එල්ලුම් ගහට නියම වෙලාත් බේරිච්ච මනුස්සයෙක් ගැන..

      • ටික කාලයක් යුද්ධයටම කොටුවෙලා ඉන්නකොට, මිනිස්සු මැරෙන හැටි, මිනිස් ජීවිතයක වටිනාකම බින්දුවට වැටිලා තියන හැටි දැක්කම, මොකක්ද මේ ලෝකේ කියලා හිතෙනවා. මම අවංකවම පෞද්ගලිකව සෑහෙන්න පින්කම් කරලා තියනවා. අදටත් රටට අණබෙර ගහන්නේ නැතුව කරනවා. ඒ පින් බලෙන් වෙන්න ඇති මගේ ජීවිතේ බේරුනේ. යුද්ධයේදී දෙවැනි ස්ථානයක් නැත කියලා කියමනක් තියනවා There are no runners-up in a War’ ඒ නිසා වැරදුනොත් වැරදුනාම තමයි.

        තුන්පාරක් එල්ලුම් ගහෙන් බේරීම අහලා තියනවා. විස්තර මතක නැහැ.

    • 1. නැත. ඩේටනේටරය යනු විදුලි බලය නිසා පුපුරා යන උපකරණයකි. එහි මුලික පිපුරුම් බලය නිසා වෙඩිබෙහෙත් වලට ක්ෂණික ගිනි බලයක් ලැබීමෙන් ඒවාද අධි බලයෙන් පුපුරා යනවා.

      2. ළඟම හිටියොත් සිරුර කැඩෙන්න පුළුවන්. කම්පනය තමයි බොහෝවිට මරණයට හේතුව වන්නේ. ආර්.පී.ජී ප්‍රහාර වලදී සිරුරට හානිය වැඩියි.

      3. ඔව්. බෝම්බයකින් විශාල රික්තයක් ක්ෂණිකව හදනවා. ඒ රික්තය පුරවන්න අවට තියන සියල්ල ඇදගන්න විට අපේ සිරුරු කෑලිවලට කැඩී යනවා.

      4. බෝම්බයේ ක්‍රියාකාරිත්වය ගැන අවබෝධයක් තිබේනම් ලඟින්ම තැබිය යුතු නැත.

      5. චුම්බක ප්‍රතිග්‍රාහක කිරණ විවිධ ක්‍රමවේද අනුව සැකසීමෙන්. (High frequency magnatic waves, Ultra sound waves)

      6. ඔව් පෙනෙනවා තමයි. නමුත් ගහපු ගමන් ඉවත්වන නිසා අල්ලා ගැනීම අමාරුයි.

      අනවශ්‍ය යයි සිතා ඉවත්කළ පින්තුර ගොඩක් තියනවා.

      • විස්තරවලට ස්තුතියි.. ඒ කියන්නෙ ඩෙටනේටරය ඇතුළෙයි මූලික පිපිරීම..

        • ඔව්, ඔයා දැකලා තියනවද පරණ ක්‍රමේට ගල් වෙඩි දානවා. අර බාස් උන්නැහැලා. ගල්බෝරේ කියලා කෑගහලා වෙඩි නූලක් පත්තු කරලා දුවන්නේ. එතැනදී පත්තු වෙන්නෙත් ඩෙටනේටර් එකක් තමයි. නමුත් එය ගින්දරෙන් පත්තුවන, ප්‍රාථමික එකක්. දැන් එය දියුණුයි.

  7. “<b පහරදීමට හසුවූ වාහනයේ මා හඳුනන සොල්දාදුවකු සිටියා. මා එතනට යනවිට ඔහු පණ අදිමින් සිටියා. මම වහාම බිම වාඩිවී, ඔහුගේ හිස මගේ මගේ උකුලේ තබාගන්න විටයි දුටුවේ, ඔහුගේ ශරීරය දෙකට කැඩී ඇති බව. එළියට ඇවිත් තිබුණ ඔහුගේ හදවත, තවමත් ගැහෙමින් තිබුණා. ඔහු මා දෙසම බලා සිටියා. මාව හඳුනාගත් බවක් පෙනුණා. මා ඔහුට වතුර පොවන්නට උත්සාහ කළත්, ඔහු මඳ සිනහවක් පෙන්වමින්, මගෙන් සදහටම සමුගත්තා. එදා නම් මට හැඬුණා.

    ඒ වගේ දේවල් දරා ගන්න සාමාන්‍ය මනුස්සයෙකුට නම් බැහැ. ඒත් යුද්ධයේදී ඒවා වලක්වා ගන්න බැහැනේ.

    කාලෙකට කලින් අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ගන්න හමුදා සෙබලෙක්ව දුටුවා. දැන ගන්න ලැබුණු හැටියට ඔහු අසල සිදු වුනු පිපිරීමක් නිසා ඇති වුනු කම්පනයෙන් තමා රෝගී වෙලා තියෙන්නේ. බොහොම මිත්‍රශීලී වුනත් හිටි ගමන කපිතාන් චරිතයකට ආරෝපණය වෙලා අසල සිටින අයට නියෝග දෙන්නත්, නියෝග නොපිළිපදින ඕනෑම අයෙකුට දරුණුව පහර දීම නිසාත් වරින් වර ඔහුව කුඩුවට දැම්මා.

    යුද්ධයකට පස්සේ ඉතින් අර ඉහල කමෙන්ටුවක ඔබතුමා කියල තියෙනවා වගේ ප්‍රතිකාර උපදේශන ක්‍රම තිබුන නම් හොඳයි තමයි.

    ඒත් “අපේ රටේ යුද්ධයක් තිබුන ද ?” කියල මතක නැතිව ඇති…. දෙමළ ජනතාවගේ සුභ සාධනය වෙනුවෙන් තිබුණු ව්‍යාපෘතියක් නම් තිබුනලු. මේක සිරි ලංකාවනේ.. කතා කරල වැඩක් නැහැ.

    අබලි යකඩ එකතු කරන මනුස්සයෙක් අර බම්බලපිටියේ කෝච්චියට තියපු ක්ලේමෝ බෝම්බය අහුලලා බැටරියක් කියල හිතල, ඒරියල් එක කපල නිෂ්ක්‍රීය කරල බිම දාල ගලකින් තලපු කතාව මතක් වුනා. මිනිස්සු ඒ දේවල් ගැන ගැන සිටීම වැරද්දක් නැහැ.

    • සාමාන්‍ය මනුස්සයා යුද හමුදා සොල්දාදුවාගේ හදවතේ ඉන්නවා. ඒ මනුස්සයාට උඩ එන්න නොදී තද කරගෙනයි ඉන්නේ. නමුත් එය වලක්වන්න බැරි අවස්ථා තියනවා.

      මමත් හිටපු ගමන් මගේ හමුදා චරිතයට ආරූඪ වුනාම තමයි, මගේ බිරිඳත් දුවලා දෙන්නත් කියන්නේ, මේ මේ මේක කෑම්ප් එක නෙවෙයි කියලා. තවමනම් අංගොඩ යන්න වුනේ නැහැ. නමුත් දීර්ඝ කාලීන යුද්ධයේ යෙදීමෙන් මානසික විකෘතිතාවයන්ට භාජනය වන කිසියම් පිරිසක් ඉන්නවා.

      අපේ සමහර අයට තියන පුරුද්දක් තමයි මෙච්චර බෝම්බ ගැන කියද්දී, ඇද නැති බලු බෙ**ක් දැක්කත් අතට අරන් බලන එක

      • පිළියන්දලද කොහෙද බස් එකක අයිතිකාරයෙක් නැති පාර්සලයක් තිබිලා සෙනඟ බස්සනකොට කවුදෝ එකෙක් ඒකෙ බෝම්බෙ වැහෙන්න දාලා තිබ්බ ඇඳුම්ද මොනාදත් අරගෙන ගිහින්ලු.. 🙂

    • “දැන ගන්න ලැබුණු හැටියට ඔහු අසල සිදු වුනු පිපිරීමක් නිසා ඇති වුනු කම්පනයෙන් තමා රෝගී වෙලා තියෙන්නේ. ”
      මෙය එවැනි මානසික රෝගී තත්ව වලට ලක්වූ අය කියන සිතින් මව ගත කතාවක් කියා මම කියවා තිබෙනවා. දොස්තර රුවන් ජයතුංග මහතා මේ ගැන බොහොම දීර්ඝව ලිපි ලිය තිබෙනවා.
      http://www.lankaweb.com/news/items/category/dr-ruwan-m-jayatunge-m-d/page/8/

      ඔහු හමුදා මනෝ ප්‍රතිකාර ඒකකයේ හිටපු සාමාජිකයෙක්. මේ මාතෘකා ගැන සිංහලෙන් ලියන ලිපි මට සොයා ගත හැක්කේ ඔහුගේ පමණයි.

      • ඉතාම වටිනා ලිපි පෙළක්. මෙහි මා වඩාත් අගය කරන්නේ යුද්ධය නිසා වැන්දඹු බවට පත කාන්තාවන්ගේ මානසිකත්වය ගැන ලියා ඇති ලිපියයි. ඇත්ත වශයෙන්ම හමුදාවේ වැන්දඹුවන්ට වඩා අසරණව සිටින්නේ යුද්ධයෙන් මියගිය සාමාන්‍ය වැසියන්ගේ (එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ද ඇතුළුව) වැන්දඹුවන්. ඔවුන් ගැනනම් විශාල සොයාබැලීමක් හා පුනරුත්තාපනය කිරීමක් අත්‍යවශ්‍යයි. එය කිසිදු ආකාරයක ඡන්ද හොයන ව්‍යාපාරයක් නොවිය යුතුයි.

  8. ඔබතුමාගේ අනිත් ලිපි වගේම තමයි මේ ලිපියත් ඉතා විශිෂ්ඨයි.
    නමෙන් දැන් හිටියත් ක්ලේමෝ බෝම්බෙක අභ්‍යන්තරය ගැන දැනගත්තේ අදයි.
    තමන්ගේ සතුරාගේ ප්‍රෙද්ශයකට බය නැතුව ගිහින් බෝම්බයක් අටවලා බලා ඉන්න කොයිතරම් හිත හයිය තියෙන්න ඕනද කියලා හිතුනා.

  9. නියම ලිපියක්. බෝම්බ නිෂ්ක්‍රීය කිරීම ගැන පොඩි විස්තරයක් දෙන්න බැරිද? සමහර වෙලාවට පුපුරවන්නෙ ඇයි?

    • බෝම්බ වලින් සමහරක් තියනවනේ බෝම්බ කාරයෝ හදපුවා. එවැනි බෝම්බ නිෂ්ක්‍රිය කරන වීරයෝ ඉන්න චිත්‍රපටි ඔබ නරඹලා ඇති. හැබැයි එයාලා ඉන්නේ චිත්රපටිවලම තමා. හැබෑ ලෝකයේ නෙවෙයි. එහෙන් මෙහෙන් වයර් අටවලා හදපු බෝම්බයක් නිෂ්ක්‍රිය කිරීම අපහසුයි. හේතුව බෝම්බයේ පරිපථය සොයාගැනීම අපහසු නිසා. එය ගලවන්නට යාමෙන් පුපුරා යාමට ඉඩ තිබෙනවා. ඒ වගේ ඒවා පුපුරවනවා. යුද්ධ කිරීම සඳහා හදපු බෝම්බත් පරනවී, ආරක්ෂක උපක්‍රම දුර්වලවී, තිබේනම් පුපුරවනවා හැර වෙනත් විකල්පයක් නැහැ. (අත් බෝම්බයක පින් එක මලකඩ කාලා නම් එය එහා මෙහා ගෙනයාම භයානකයි) බොහොමයක් නීත්‍යානුකුල බෝම්බ හදා තිබෙන්නේ ආරක්ෂිතව ගලවා ඉවත් කළහැකි ලෙසයි. නිෂ්ක්‍රිය කිරීමේදී කරන්නේ එහි පිපිරුම් මුලය ඉවත් කිරීමයි. ඉතා දිග විස්තරයක් කෙටියෙන් කිව්වේ.

  10. මේ වීඩියෝ එකේ ඈතින් ඉන්න සතුරන් වෙඩි තියෙනවා ඇහෙන සද්දේ තුවක්කුවෙන් ඇහෙන සද්දෙ ද නැත්නම් උණ්ඩය sound barrier එක කඩන සද්දෙද (crack)? අපේ හමුදාවට ඔහොම කැමරා (helmet cam) පැළඳගෙන ඉන්න අවසර තියෙනවද? මම දන්න විදියට ඔය මානව හිමිකම් කැඩුවයි කියන ප්‍රශ්ණ නිසා ගොඩක් අය ඔහොම කැමරා පැලඳගෙන ඉන්නවලු සාක්ෂි විදියට. මම අහලා තියෙන විදියට යුද්ධයකදි බොහෝ වෙලාවට සතුරාව පෙනෙන්නේ නෑලූ (මේ වීඩියෝ එකේ වගේ). ඒක ඇත්තද?

    • 1. මේ වීඩියෝවේ කොතනකවත් ඈතින් ඉන්න සතුරන් වෙඩි තියනවා ඇහෙන්නේ නැත. ඒ ඇහෙන්නේ තමන්ගේම භට පිරිසේ තමන්ට ඈතින් ඉන්න අය වෙඩි තියන හඬයි.

      2. කණ්ඩායමේ අනෙක් අයගේ තුවක්කු වලින් නැගෙන හඬ තමයි දෝංකාර දෙන්නේ crack හඬ එන්නේ.

      3. මේ අය නිකරුනේ පතරොම් වැය කරනවා පමණයි. මෝටාර්, කාලතුවක්කු, බර මැෂින් තුවක්කු, වැනි ආධාරක වෙඩි බලය යොදා නොගැනීම කැපීපෙනෙන අඩුවක්. වීඩියෝවේ විනාඩි 3.47 දී බලන්න මේ සොල්දාදුවා කලබලය නිසා තමන්ගේ තුවක්කුවේ පතරොම් හිර කරගන්නා jam/stoppage හැටි. ඒ වගේම මේ අය දිගට හරහට වෙඩි දාස් ගණනක තියලා කීප දෙනෙක් එකවර පතරොම් පුරවනවා. ඒ වෙලාව හොඳටම ඇති බඩගාගෙන එන සතුරෙකුට මෙයාලට අත් බෝම්බයක් ගහන්න. මෙයාලා ඉන්නේ මෙයාලගේ රටේ නෙවෙයි. මේ ස්ථානය ඒ රටේ අය හොඳින් දන්නවා. ඒ නිසා මෙතනට පහසුවෙන් මෝටාර් ප්‍රහාරයක් දෙන්න පුළුවන්. මේ අය කලයුත්තේ ඊට කලින් තමන්ගේ මෝටාර්, කාලතුවක්කු, අර ඈත පෙනෙන කන්ද පාමුලට යොමු කිරීමයි.

      4. අනේ අපේ හමුදාවට කැමරා හෙල්මට් නැහැ සමන්. ඒවා අපට හීනයක්‌ පමණයි. කැමරාවෙන් කරන ප්‍රධානතම කටයුත්ත සොල්දාදුවා යුද බිමේදී කරන හරි වැරදි බලා ගැනීමයි. දෙවනුව සොල්දාදුවන් යෙදවීමේදී සිදුවන හරි වැරදි අවබෝධ කරගැනීමයි. තුන්වනුව සිද්ධිය වාර්තා කරගැනීමයි. කැමරා හෙල්මට් එක විශාල වයර්ලස් නෙට්වර්ක් එකකට සම්බන්ධ වෙලා තියෙන්නේ. මම හිතන්නේ නැහැ මානව හිමිකම් ප්‍රශ්න වලදී මේ පින්තුර විශ්වාස කල හැකියි කියලා.

      5. යුදබිමේ විශාල සටන් ඇවිලී යනවිට, අපි පහර දෙන්නේ, තනි පුද්ගල individual targats ඉලක්ක වෙත නොවේ. ප්‍රදේශයක් area targats ආවරණය වන ඉලක්ක වලටයි. එහිදී සතුරා ඇසට පෙනෙන්නම අවශ්‍ය නැහැ.

      • එතකොට 5:22 වෙලාවට ඇහෙන්නෙත් friendly fire එකක්ද? කැමරාව හයි කරන් ඉන්න එක්කෙනා නම් කලබල වෙනව 😉

        සාමාන්‍යයෙන් සෑම මෙහෙයුමකටම කලින් ඒ වගේ එම ප්‍රදේශයට බර අවි එල්ල (aim) කල යුතුද? ප්‍රායෝගිකව එය කළ හැකි දෙයක්ද? මට හිතෙන්නේ කට්ටියම කලබල වෙනවා වැඩී වගේ. ඉලක්කය හරියට අඳුනාගත්තා නම් ඒගොලොන්ගේ තියෙන 40mm එකෙන් වුණත් ගහන්න තිබුණා කාලතුවක්කු මෝටාර් නැතත්. 3:47දී jam වෙනවා විතරක් නෙවෙයි ඔහුට පතොරම් වැල ආයේ දාගන්නත් අමතක වෙනවා. ඔක දැක්කම මතක් වෙන්නේ මේ වගේ load කරන්න අමාරු/කල්යන අවි වල පතොරම් ඉවර වුණාම reload කරන වෙලාවට වෙඩික්කරුවා ඉලක්කයක් වෙනවානේ, ඔහුට පහර දීමකදි තවත් ආවරණයකට යනවා ඇරෙන්න කරන්න දෙයක් නෑ නේ. ලංකාවේ හමුදාවට අඩුම ගානේ මේ වගේ අවි ක්‍රියා කරවන්නෙකුටවත් backup අවියක් දෙන්නේ නැද්ද?

        • 5.22 ට ඇහෙන වෙඩි කැමරා කාරයාගේ ළඟ ඉඳලා තියන නිසා මිනිහා ගැස්සෙන්නේ.

          Targat Softning කියලා දෙයක් තියනවා. ඒ ප්‍රදේශයට යන්න කලින් බර අවි, කාලතුවක්කු, එම්.බී.ආර්.එල්, ගුවන් ප්‍රහාර, මිසයිල්, ඔය ඔක්කොගෙන්ම ඒ ක්‍රියාන්විතයට ගැලපෙන අවි තෝරාගෙන ගැලපෙන දේ කරන්න ඕනේ. එවිට පාබල හමුදාවට පහසුයි ඉතිරි ටික කරගෙන යන්න.

          40mm එකේ දුර මීටර් 100 න් එහා විස්වාස නැහැ. මේ කට්ටිය කියන දේවල් අහගෙන ඉන්න. කැමරා හෙල්මට් කාරයා පලවෙනි අවස්ථාවේදී කියනවා I’m reloading කියලා අනික් අයට ඇහෙන්න. නමුත් fire coordination එක පසුව ගිලිහෙනවා. පතරොම් පුරවාගන්න අමාරු නැහැ. පිරවූ මැගසින් පට පට ගාලා සප්ලයි කරන්න වෙනම පිරිස් ඉන්නවා අපේ නම්. ඒ නිසා අමතර අවියක් අවශ්‍ය නැහැ. මෙය කුඩා කණ්ඩායමක් වගේ පෙනෙන්නේ. එහෙම නැත්නම් fighting patrol එකක් හෝ tank hunting patrol, වෙන්නත් පුළුවන්.

      • ඔබතුමාට පුළුවන් නම් ලංකාවේදි සාමාන්‍යය පා මුර සංචාරයක් (හරිද මන්ද. patrol එකක්) කෙරෙන ආකාරය, ගෙනියන අවි, patrol එකකින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන දේවල් පැහැදිලි කරන්න පුළුවන්ද? comment එකකින් බැරිනම් වෙනමම post එකකින් හරි? 🙂

        40mm අවියකින් සාමාන්‍යයෙන් පහර දෙන්නේ මොනවගේ ඉලක්ක වලටද? මම හිතන්නේ ඒක bunkers, tanks වගේ ඒවට නම් එච්චර effective නැතිව ඇති. ලංකාවේ Milkor MGL පාවිච්චි වෙන්න පටන් ගත්තේ කොයි කාලේ වගේද? මම ඒක දැකලා තියෙන්නේ නම් විශේෂ බලකායේ (අනුමාන විදියට) විතරයි, ඒගොලෝ විතරද ඒක පාවිච්චි කරන්නේ?

        • මුර සංචාර දිග මාතෘකාවක් සමන්, මම පසුව වෙනම ලිපියක් ලියන්නම්. මාසයක් විතර කාලයකින් නොලිව්වොත් නැවත මතක් කරන්න.

          40mm Grenade Launcher එක අපි පාවිච්චි කරන්න පටන් ගත්තේ 1990 දශකයේදී. මුලින්ම කොමාන්ඩෝ සහ විශේෂ බලකාය තමයි පාවිච්චි කලේ. නමුත් දැන් සෑම පාබල ඒකකයකම තිබෙනවා. යුද්ධ ටැංකි වලටනම් වැඩක් නැහැ. නමුත් බංකරයක් ඇතුලට වැටුනොත් ඉතාම මාරාන්තිකයි. මේ අවිය පාවිච්චි කරන්නේ අත් බෝම්බයක් විසි කළහැකි උපරිම දුර (මීටර් 30 ක් පමණ) සහ ටී 56 වැනි පුද්ගලික අවියකින් වෙඩි තැබිය හැකි අවම දුර (මීටර් 100 ක් පමණ) අතර තිබෙන හිඩැස (to fill the gap between maximum range of a hand grenade throwing and the minimum range of a personnel weapon) පිරවීමටයි. මෙයින් උපරිම මීටර් 250 කට පමණ දුරට බෝම්බයක් විදින්න පුළුවන්. බෝම්බය පුපුරන්නේ මීටර් 9 ක දුරක් ගිය පසුව යම් තද මතුපිටක ගැටුනොත් පමණයි. ඒ ආකාරයටයි සකසා තියෙන්නේ.

      • ස්තූතියි! මම මතක් කරන්නම්. අත් බෝම්බ ගැනත් ලිපියක් ලියන්න 😉

      • එහෙම තමා 😛

  11. මම මේ පැත්තට ආපු දෙවෙනි වතාව. අද ලිපිය බැලුවම තමයි ඔබතුමා හමුදාවේ හිටපු කෙනෙක් කියලා දැක්කේ. බොහොම ලස්සනට හදවතට දැනෙන විදිහට ලියලා තියෙනවා. මාත් හරි ආසයි ඕව ගැන දැනගන්න. සිංහලෙන්ම මෙහෙම දෙයක් කරන එක ලොකු දෙයක්. ඔබට ජය!

  12. කමෙන්ට් නොකළත් මා ඔබේ බ්ලොග් එකේ දීර්ඝ කාලීන පාඨකයෙක්. ඔබේ රචනය අති විශිෂ්ටයි. අප මොනවාද ලියන්නෙ කියලා අවංකවම හිතෙනවා ඔබේ ලිවීම දුටුවාම. මේ සටහන් දවසක පොතක් හැටියට මුද්‍රණය කරන්න බලන්න.

    • බොහොම ස්තුතියි ඔබේ ඇගයීම පිළිබඳව. ඔබ වැනි පාඨකයන් රැසක් මේ අඩවිය කියවන බව මා දන්නවා. අනාගතයේදී බලමු ලිපි එකතුවක් නිකුත්කරන්නට.

  13. මම 2006 අවුරුද්දෙ මගේ උසස් පෙළ ව්‍යාපෘතියට කලේ ක්ලෙමෝ බොම්බ යනු කුමක්ද කියනේ දවස්වල සෑහෙන්න ක්ලෙමෝ පිපිරුවනෙ. ඒකට ගොඩක් විස්තර ගත්තෙ විදුසර පත්තරේ තිබුනු ලිපියකින් සහ ඒ දවස්වල දුර්ලබ දෙයක් උනු අන්තර්ජාලයෙන්. හැබැයි ඉස්කෝලෙන් මගේ මහන්සියෙ තරමට හොද ඇගයීමක් හම්බවුනේ නෑ

    • ආධුනිකයකුට කවදත් තැනක් නැහැ. අනික බෝම්බ ගැන ලියන්න දන්නේ හමුදාවේ අය විතරයි කියලා දුර්මතයක් තියනවා. ආරක්ෂක විද්‍යාව කියලා විෂයයක් තියනවා. එයින් උපාධිය පවා ලබාගන්නට පුළුවන්. එය හමුදාවට සීමාවූ උපාධියක්‌ නොවෙයි. ලෝකයේ සිටින පුපුරන ද්‍රව්‍ය, අවි ආයුධ විශේෂඥයන් බොහොමයක් හමුදාවේ අය නොවෙයි.

  14. ලිපිය නම් නියමයි විචාරක මහත්මය. ඒ වගේම ඔක්කොටම ඉස්සරවෙලා කියන්න ඕන අර ෂර්ලොක් හෝම්ස් වොට්සන්ට කියපු වගේ “ඔබත් දැන් අමුතුම තාලෙ විහිළු කතා කියන්න අරගෙන“, (අර වරහන් ඇතුලෙ එහෙම දාල තියෙන එව්ව)

    බටහිර ක්‍රියාදාම චිත්‍රපටිවලනම් ඔය වගේ සිද්ධි ඕනතරම් බලල තියෙනව. අර වයර් එකක් ඇදල සම්බන්ධ කරපු උපකරණයෙ ලීවරය තදකරල බෝම්බ පුපුරවන සීන් එක කියවන කොට මතක් උනේ ලංකාවෙ රූගත කරපු bridge on the river kwai ෆිල්ම් එකේ අන්තිමට පාලම පුපුරවන දර්ශනය, පාලම හදපු යුධ සිරකරුවෙක්ම, තත්ත්වය අවබෝධකරගත්තම තමන්ගෙ සගයන් කරපු වැඩේ අවසාන කරන විදිය, ගිහින් අර පිස්ටනයක් වගේ එකක් උඩට ඇදවැටෙන හැටි.

    අර රොකට් විදින එහෙම අර තරම් ගින්දරක් පිටකරද්දි අල්ලගෙන ඉන්න බැරි තරම් පිටත ලෝහ ආවරණයෙ උෂ්ණත්වය ඉහළයන්නෙ නැද්ද. ඒක ආවරණය කරල තියෙන්නෙ මොනවයින්ද.

    • ලිපිය කියවීමේ වෙහෙස නිවන්නයි පොඩි විහිළුවක් දෙකක් දැම්මේ. දිග ලිපියක්නේ.

      Bridge on the River Qwai සමහර ජවනිකා දැන් මතකත් නැහැ.

      රොකට් විදිනය රත්වෙන්නේ නැහැ. ඒ උෂ්ණත්වය එලියටනේ යන්නේ. එහි පිටත ආවරණය එබනයිට් වැනි ශක්තිමත් කෘත්‍රිම ද්‍රව්‍යයකින් හදලා තියෙන්නේ. උෂ්ණය නෙවෙයි ප්‍රශ්නේ, මහා හෙන හඬක් පිටවෙනවා රොකට් එක පිටවෙද්දී. ඇත්තටම කන පැලෙන තරම්.

  15. ඔබතුමා පුදුම බේරිල්ලක් නේ බේරිලා තියන්නේ.
    අහන්න ආපු ප්‍රශ්න කීපයක් උඩ කමෙන්ට් වලින් අහලා තියනවා.

    විචාරක තුමා, සතුරා ජංගම දුරකතනයක් පාවිච්චි කරනවා නම්, ඒකේ තරංගය ඔස්සේ ඔහු සිටින ස්ථානය සොයාගෙන මිසයිලයක් යවන්න පුළුවන් ද ?
    ජොනී බට්ටෝ පෑගුනාම ඒක පුපුරන්නේ කකුල ආපහු උස්සනකොට ද..? ඒවයෙන් ආරක්ෂා වෙන්න විශේෂ පාවහන් පාවිච්චි කරනවා ද ?

    • පෙර ආත්ම වලත් මේ ආත්මයෙත් කල පින් නිසා මම බේරෙන්න ඇත්තේ.

      ජංගම දුරකථන සංඥා වලින් මම දන්නා තරමින් කියන්න පුළුවන් කොයි ප්‍රදේශයේ පිහිටි කුළුනද පාවිච්චි කරන්නේ කියන ඒක විතරයි. නමුත් චන්ද්‍රිකා දුරකථන පාවිච්චි කරනවා නම් හරියටම තැන අල්ලගන්න පුළුවන්. ප්‍රභාකරන්, ඔසාමා බින් ලාඩන්, දෙන්නම නුලෙන් බේරුණා චන්දිරිකා දුරකථන වලින්.

      පෑගුනාම සහ කකුල ඉවතට ගන්න හදනකොට යන කටම දෙකටම බෝම්බ හදන්න පුළුවන්.

      බට්ටන්ගෙන් බේරෙන්න දාන සපත්තු තියනවා. නමුත් ඒක හැම වෙලේම දාගෙන යුද්ධ කරන්න බැහැ. අවශ්‍ය අවස්ථා වලදී සහ බෝම්බ නිෂ්ක්‍රිය කිරීමේදී තමයි පාවිච්චි කරන්නේ.
      බට්ටෝ බූට්ස්

      • ඔය තියන්නේ පින්තුරයකුත්. බොහොම ස්තුතියි!!

      • මට මතක්වුනා ඒ කාලෙ විද්‍යාව පාඩමට පීඩනය උගන්වනකොට කියනවා බිම් බෝම්බ වලින් බේරෙන්න ලොකු අඩිය ඇති සපත්තුවක් පළඳින බව..

        විචාරක මහත්මයා කියලා තියෙන විදිහට ජංගම දුරකථන සංඥා වලින් පාවිච්චි කරන කුළුණ හරියටම කියන්න පුළුවන්.. නමුත් එය හැමවිටම ග්‍රාහකයාට ළඟින්ම පිහිටි කුළුණ වෙන්නේත් නෑ.. ඒ මොහොතේ වැඩිම සංඥා ප්‍රමාණයක් ඇති කුළුණට තමා සම්බන්ධ වෙන්නේ.. හැබැයි කුළුණු තුනකට යම් දුරකථනයකින් සංඥා ලැබෙනවනම් ආසන්න වශයෙන් ස්ථානය කිවහැකියි..

        • ස්ථාන තුනක විශේෂ direction finder සවි කරලා, ගුවන්විදුලි පණිවිඩ හුවමාරු කරන යන්ත්‍ර තිබෙන තැන හරියටම අල්ලා ගැනීමේ ක්‍රමයක් හමුදාවේ තියනවා. එයින් ප්‍රයෝජන ගන්නවා මම දැකලත් තියනවා. ඒ යන්ත්‍රවලට ජංගම දුරකථන වල සංඛ්‍යාත අහු වෙන බවක් මම අහලා නැහැ.

  16. අද ටිකක් බරපතලයි වගේ.. බලධාරියෝ දැන් නිදි. කේ.පී ටත් චෝදනාවක් නැති කොට බය වෙන්ට කාරි නැත. හෝ හෝ කට කට…
    මම ආස රොබින් හුඩ් ගෙ ඇම්බුෂ් එකට.

  17. සුපිරි ලිපියක්නේ….ඒත් පරිස්සමින්

  18. මෙහෙ මඟක දී හමුදා සේවයේ ඇඳුමක් ඇඳගෙන යන කෙනෙක් හමුවුනාම අතට අත දීලා “රට වෙනුවෙන් කරන ඔබේ සේවයට ස්තූතියි,” කියන සිරිතක් තියෙනවා. ඒ වගේම හමුදාවක හිටපු අයෙක් බව දැනගත්තාමත් එහෙම කියන එක ඇමෙරිකන් ඉතිහාසයේ සිට එන සිරිතක්.

    රට වෙනුවෙන් කරන ලද ඔබේ සේවයට ස්තූතියි විචාරක!

    ඇමෙරිකන් නිදහස් අරගලයේ දී ද මුල් ම සටන වූ කොන්කෝර්ඩ් හා ලෙක්සින්ග්ටන් සටන් වූයේ මේ වගේ ඇම්බුෂ් ක්‍රමයෙන්. http://si.wikipedia.org/wiki/ලෙක්සින්ග්ටන්_හා_කොන්කෝර්ඩ්_සටන්

    ලංකාවේ යුද්ධය අවසන් නිසා මේ වගේ සටහන් මාලාවක් සිංහල විකිපීඩියාවටත් කවදා හෝ විස්තර සහිතව ඇතුල් වේ යැයි පතමි.

    • මම හමුදාවට බැඳුණු කාලේ සොල්දාදුවෝ තනියම නිල ඇඳුමෙන් සැරසී (අවි රහිතව) රාත්‍රී දුම්රියෙන් යාපනේ පවා ගියා. අද නම් ප්‍රතිපත්තිමය වශයෙන් එහෙම යවන්නේ නැහැ. බස් රථයක් එනතුරු පාර අයිනේ ඉන්න සොල්දාදුවන්ට මම අදත් මගේ කාර් එකෙන් ලිෆ්ට් දෙනවා. නමුත් මගේ කාර් එක මෙන් තුන් ගුණයක් වටිනා කාර්, ආබාධිත සොල්දාදුවකු පාර පනින විට තදින් හෝන් ගහගෙන යනවා.

      මගේ සේවය ඇගයීම ගැන ස්තුතියි.

      ලින්ක් එකෙන් දුන් ලිපිය කියවන්නම්.

      විකියට ගොඩවන්නට මම පරිනත මදිද මන්දා.

      • මෙහෙ බොහෝ භාණ්ඩ හා සේවාවන් -ඇපල් කොම්පැණියේ සිට ඇමෙරිකන් එයාර්ලයින් ගුවන්සේවය … හෝටලයක කාමරයක් දක්වා- විශේෂ අඩු මිලක් හා ගමනේ දවස හා වේලාවන් වෙනස් වූවාට දඩ නැති සහන හමුදාවල ඉන්නා අය වෙනුවෙන් දෙනවා. හමුදා ඩිස්කවුන්ට් පවුලේ අයටත් ලැබෙන අවස්ථා තියෙනවා. ඒත් බේස් එකට ඒමත්, එතැනට ආපහු ගෙනැත් දැම්මම එතැන සිට ගෙදර යන ටිකත් එයාලගේ වගකීම තමයි මෙහෙත්.

        විකියට එන්න. එහි තියෙන සිංහල සංචිතය කිසිම විදියකින් ප්‍රමාණවත් නැහැ. මාත් කරන්නේ කොහොම දැයි තනියම ඉගෙන ගනිමින් තොරතුරු ඇතුල් කරමින් ඉන්නෙ. නොදන්න හරිය talk page ලිව්වාම ඇවිල්ලා උදව් කරන අය ඉන්න නිසා වැඩේ පහසුයි.

  19. අපේ වාසනාවට ඔබ බේරුනේ නැත්තං කව්රු මෙව්වා කියලා දෙන්නද

  20. ලංකාවේ හමුදාවේ නිළදාරීන් (විශේෂ බළකායේ හා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ) ඇමෙරිකාවේ රේන්ජර් පාසලේ පාඨමාලා කරනවා කියලා අහලා තියෙනවා. ඒක ඇත්තද? කොහොමද එම නිළදාරීන් ‍තෝරගන්නේ? ඇමෙරිකාවෙන් යුද්ධෙට විරුද්ධව සිටි කාළයෙත් එහි පාඨමාලා කළාද?

    • ඔව් එහෙම පාඨමාලා ලැබෙනවා. ඇමරිකාව යුද්දෙට විරුද්ධව හිටියා කියන්නේ දේශපාලන මතවාදයක් පමණයි.

      • 1.එම පාඨමාලා නිමකරන (ඇමෙරිකානු) සෙබළුන්ට ranger tab එක ලැබෙනවානේ, අපේ නිලදාරීන්ටත් එය ලැබෙනවද?
        2.නැත්නම් පුහුණුව පමනක්ද විසිර යෑමට සහභාගි වන්නේ නැද්ද?
        3. ඒ වගේ පිටරටකදි පුහුණුවක් නිමකරාම ලැබෙන ලාංඡන ලංකාවේ සෙබලෙක්ගේ/නිලදාරියෙක්ගේ නිල ඇඳුමක පළඳින්න අවසර තියෙනවද?

        • ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු දීම පහසුවීම සඳහා මම එය 1,2,3, වශයෙන් නැවත නම් කළා. ප්‍රශ්න ඇසීමේදී එහෙම කරනවානම් මට පහසුයි. මෙන්න පිළිතුරු:-

          1. එය තීරණය වන්නේ පාඨමාලාවේදී දක්වන සාර්ථකත්වය මතයි.

          2. නොදනීමි.

          3. යුද හමුදා මුලස්ථානය විසින් අනුමත කල පළඳනාවක් නම් පළඳින්න පුළුවන්. Ranger කියන නම සහිත පළඳනාව බැහැ.

      • ස්තූතියි!

        ඉදිරියෙදි මම එහෙම කරන්නම් 🙂

  21. ස්තූතියි විචාරක තුමා වෙනදා වගේම වටිනා තොරතුරු එකතුවක් අප වෙත ලබා දුන්නට… යුධ හමුදාවෙ ඉන්න මගේ මිතුරෙකුත් සතුරු අඩවියට හොර රහසේ රිංගලා එල්ල කල ප්‍ර‍හාර ගැන මා දැනුවත් කරලා තියෙනවා… ඒ කථා ඇහුවාම යුධ සෙබලා කියන්නෙ කෙතරම් පරිත්‍යාග කරපු උතුම් මිනිසෙක්ද කියන ගෞරවය හිතේ ඇතිවෙනවා… යුද්ධය නිමාවූ අලුත නම් මේ වීරයන්ට පුදුම පිළිගැනීමක් තිබුනෙ.. දැන් නම් තත්වය වෙනස් කියලයි මට හිතෙන්නෙ…

    අර රොකට ලොන්චර් එක දිගටම පාවිච්චි කලොත් උණ්ඩය ගමන් ගන්නා අවියේ බැරලය රත් වෙලා පුපුරන්න පුලුවන්ද ?

    • යුද්ධය නිමාවූ අලුතනම් ‘මහා යුධ සෙනෙවියාටත්’ හොඳට සැලකුවා. ඊට පස්සේ ‘හොඳටම සැලකුවා බෝඩිමකුත් දීලා’. අපි ගැන කුමන කතාද?

      රොකට් ලෝන්චර් එකෙන් දිගටම වෙඩි තැබීමේදී රත්වීමක් වෙනවා. විවේකයක් දියයුතුයි. වරක් ඉන්දියාවේදී මෙයින් පුහුණුව ලබද්දී එය හදිසියේ පුපුරායාම නිසා අපේ නිලධාරියකු මියගියා.

  22. නියමම පෝස්ටුවක් විචාරක මාමා… අකුරක් නෑර කියෙව්වා
    මම පොඩිකාලේ ඉදලම ආස අර රොකට් ලෝන්චර් එකට..ඒක මරු අප්පා… ෆුෂ්ෂ්ෂ්ෂ් ගාලා තියන්න තියෙන්නේ 🙂

    ඇයි තව මල්ටි බැරල් එකත් මරු…ඒක ගැනත් විස්තර දාමුකෝ 🙂

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    • බොහොම ස්තුතියි රජෝ.

      රොකට් ලෝන්චරේ ළඟ හිටියොත් රජාට තේරෙයි ‘ෆුෂ්…….’ ගෑමේ රඟේ 😀 😀 😀

      මල්ටි බැරල් එක ගැන පසුකාලේදී ලියවෙයි කියලා මටත් හිතෙනවා.

      එසේම වේවා! එසේම වේවා!!

  23. හැමදාමත් වගේ ලිපිය උපරිමයි… මටත් තියෙනවා හෝම් මේඩ් බෝම්බයක කතාවක් ලියන්න..හැමදාම හිතනවා ලියන්න උනේ නැහැ… අද ආයේ මතක් උනා…

    බ්ලොග් අවකාශේ ලොකු හිඩසක් ඔබ පුරවනවා.. ඒ වගේමයි කමෙන්ටුවලට පිළිතුරු දීමේදී ඇති උනන්දුව හා ඒ වෙනුවෙන් ගන්නා වෙහෙස…

    ඒත් එක්කම සුළු කාරණයක් මතක් කරලා දෙන්නත් කැමතියි… (ඔබ අසලදී විෂය ගැන මං පොඩි එකෙක්… ඒ හින්දා අමනාපයක් නැති වෙයි කියලා හිතනවා..) කමෙන්ට් වලට පිළිතුරු දීමේදී කාරනා මනාව පැහැදිලි කරනවා වගේම පොඩ්ඩක් බලන්න මේ අහන්නේ මොන වගේ දේකටද කියලා… අපෙන්ම ආයුධ අරං අපිටම ගහන උන් ටිකක් ඉන්නේ… වැඩි හරියක් කුතුහලයටත් දැනුම වර්ධනයටත් අහනවා උනාට අතරින් පතර ඉන්න පුළුවන් වෙන අදහසකින් අහන එකෙක් හෝ දෙන්නෙක්… අමතක කරන්න එපා ආදායම අහිමි උන යුධ කාක්කෝ වගේම සාම වෙළෙන්දෝ තාම සරන වග… මට කියවං යද්දී තැනින් තැනදී මතු උන සැක සංකා කිහිපයක් හින්දයි මේක ලියන්න හිතුවේ… වරදවා වටහා ගනු නැතැයි සිතමි… ස්තූතියි…

    • ඇගයීම ගැන බොහොම ස්තුතියි.

      මම දන්නවා ඔබ අදහස් කලදේ. ඒ වගේ ප්‍රශ්න අහන අය වරද්දා ගන්නා තැනක් තියනවා. ඒ මොකක්ද කියලා කියන්න බැහැ. ඒ වැරැද්ද සටහන් කරගෙන තමයි මම පිළිතුරු දෙන්නේ. ඔබ ඉතාම දක්ෂ විදිහට එය නිරීක්ෂණය කිරීම ගැන අතිශයින්ම ස්තුතිවන්ත වෙනවා. මීට වඩා තද භාෂාවෙන් වුනත් මට කියන්න. මම අමනාප වෙන්නේ නැහැ.

  24. ඔබේ ලිපියේ මුල් ටික හරිම සංවේදියි…ඒ ටික කියෙව්වම ඉතිරි ටික කියවන්න හිතුනෙ නැහැ(පස්සෙ බලමි)……අපවෙනුවෙන් හුස්ම පොද වා තලයට මුසුකල විරුවනි…ඔබලාට ..මාගේ .හදවතින්ම නැගෙනා ප්‍රනාමය පුදකරමි.
    විරුවන්ගේ අභිමානය විනාස කරන මිනිසුන්….(තිරිසනුන්)…ට..@#$%%%

    • මා හිතුවාට වඩා මේ ලිපියේ සමහර කොටස් සමහර අයට සංවේදී වී තිබෙනවා. ඒ ගැන දැන් කනගාටුවක්ද දැනෙනවා. ලිපිය පසුව කියවා අදහස් දක්වන්න. රණවිරුවන් අගැයු ඔබට මාගේ ප්‍රණාමය.

  25. ඔබතුමා ඉතාම වාසනාවන්ත අයෙක් බවයි මටනම් හිතෙන්නේ.
    මේ ක්ෂේත්‍රය පිළිබඳව දැඩි ආසාවක් තිබුනත් සිංහල මාධ්‍යයෙන් තොරතුරු ලබා ගැනීමට ඇති අපහසුතාවය නිසා මගහැරී ගිය විෂයයක්. තව දුරටත් මේ පිළිබඳව ලිවීමට ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරමි.

    “පෙනෙන සතුරාට වඩා නොපෙනෙන සතුරා ගැන අවධානය යොමු කිරීමත් වටිනා බව මතක් කිරීමට කැමැත්තෙමි. (SF පෙනෙන සතුරන්ගෙන් බේරුණු බවනම් සැබැවි.)

    • වාසනාව වගේම අවාසනාවත් මට ලැබුනා. අවාසනාව ගැන ලියනවා කවදාහෝ මේ බ්ලොග් එක නවත්වන දවසට.

      බොහොම ස්තුතියි ඇගයීම හා මා දිරිමත් කිරීම පිළිබඳව.

      ඉතාම අමාරුයි නොපෙනෙන සතුරන්ගෙන් බේරීම. මමත් නොපෙනෙන සතුරන්ගෙන් බැට කාලා තියනවා.

  26. ලිපියත් කියෙව්ව.. කොමෙන්ටුත් කියෙව්වා. ….
    බරසාර වචන නැති බොහොම සාරවත් බ්ලොග් එකක්.. දවසක් නිවාඩු දාලා කියෙව්වත් පාඩු නැහැ වගේ..j

  27. මටත් පොඩි බයක් ආවා මේවගේ ලිපි විචාරක මහත්මයාට ප්‍රශ්ණයක් ඇති කරයිදෝ කියලා.. ඒක හින්දා පරිස්සමින්.. කිව්වත් වගේ මෝඩ කමට බේත් නැහැනෙ..

    අර බිම් බෝම්බෙයි, ක්ලේමො එකෙයි සවිකිරීමේ වෙනස මට පැහැදිලි මදි..සතුරු බල ප්‍රදේශයක සවි කලාම ඔය දෙකම එකම තත්ත්වයන්ට නේද මුහුණ දෙන්නෙ. ක්ලේමො එකත් පරික්ශාවකදි අහුවෙන්ඩ පුළුවන් නේද ? එහෙනම් ඇයි බිම් බෝම්බෙ විතරක් එතනදි දුර්වල අවියක් වෙන්නෙ කියලා මට පැහැදිලි මදි..

    • බලමුකෝ මොකද වෙන්නේ කියලා. අන්තර්ජාලයේ මේවා විතරක් නෙවෙයි, කොහොමද සැලසුම් සහගත ප්‍රහාරයක් එල්ල කරන්නේ කියන එක පවා තියනවා ඉංග්‍රීසි භාෂාවෙන්.

      බිම බෝම්බය සවිකරන්න පොළොවේ වලක් හාරන්න ඕනේ. වෙලාව ගත වෙනවා. සතුරාට අහුවෙන්න පුළුවන් වල හාරමින් ඉන්නකොට. ඒ වගේම බෝම්බයේ ඉඳලා වයරයක් අදින්න ඕනේ නොපෙනෙන විදිහට. ඒ වයරයෙන්නේ බෝම්බය පුපුරන්න අවශ්‍ය විදුලිය දෙන්නේ. ආය ගලවන්න වුනොත් ඒකත් ලේසි නෑ. වල හාරලා ගන්න ඕනෙනේ. නමුත් ක්ලේමෝ බෝම්බය බෑග් එකක දාගෙන ගිහින්, පාර අයිනේ තියලා කොළ අතුවලින් හෝ ඒ පරිසරයට ගැලපෙන දෙකින් වහලා, තියන්න පුළුවන්. ටක් ගාලා අකුලාගෙන එන්න පුළුවන්. ක්ලේමෝ එක පාරට ටිකක් ඈතින් වුනත් හයි කරන්න පුළුවන් නිසා, සාමාන්‍ය මාර්ග පරීක්ෂාවකදී අහු නොවෙන්න තියන ඉඩකඩ වැඩියි.

  28. මේ වගේ දේවල් ගැන සිංහලෙන් ලිපියක් පල කිරීම වටිනා දෙයක්. ඔබතුමත් ඉංග්‍රීසියෙන් ලිපි ලියනවනම් ඕන ලිපියක් කිසි ප්‍රශ්නයක් නැතුව කරන්න පුලුවන් වෙයි.
    ඒක අපේ රටේ හැටියක්නෙ. ලංකාවෙ මිනිස්සු Research කරල ඒව පළකරන්නෙත් ඉංග්‍රීසියෙන්, ඒව කියවන සුද්ද ගොඩයනවා. අපිට හුලං

    • මම බ්ලොග් අඩවියක් පටන්ගන්න කලින්, හිතුවෙම ඉංග්‍රීසියෙන් ලියනවා කියලයි. අන්තිම මොහොතේ හිතුනා සිංහලෙන් ලියන්න. දැන් හිතෙනවා මම කලේ හොඳ වැඩක් කියලා.

  29. අතිශයින්ම මෝඩ ප්‍රශ්ණයක් අහන්නම්… 🙂

    ඔබට ආයෙත් යුද්ධයකට යන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ යනවාද..?

    තනි වචනෙන් නැතුව ටිකක් දිග උත්තරයක් දෙන්න පුළුවන්නම් හොඳයි… 🙂

    • මෙය කිසිසේත් මෝඩ ප්‍රශ්නයක් නොවේ. මේ බ්ලොග් එකේදී මීට පෙර උත්තර නොදුන්නත් මගේ මිතුරන් විසින් කීප වතාවක්ම මේ ප්‍රශ්නය මගෙන් අසා තිබෙනවා. ඒ අයට දුන් පිලිතුරමයි ඔබට දෙන්නෙත්.

      යුද හමුදාවේ සියළු නිලයන් විශ්‍රාම යාමේදී, ඔවුන්ව සම්පුර්ණ නිදහස් කිරීමක් නෙවෙයි කරන්නේ. ඔවුන්ව යුද හමුදා උපසේවයට යෙදවීමක් තමයි කරන්නේ. ඒ කියන්නේ සේනාධිනායකයාට (ජනාධිපති) අවශ්‍යනම් ඔවුන් නැවත සේවයට කැඳවිය හැකියි, ඔවුන් යහපත් සෞඛ්‍ය තත්වයක සිටිනවානම්. ඒ අනුව සේනාධිනායකයාගේ කැඳවීම ප්‍රතික්ෂේප කල නොහැකියි. ඉතින් කැමති වුනත් අකමැති වුනත් නැවත රාජකාරියට යා යුතුයි. නමුත් අන්තිම සෙබලාත් මැරී වැටෙන තත්වයට සටන් කරනවානම් පමණයි එසේ උප සේවයෙන් කැඳවන අය සටන් බිමට යොමු කරන්නේ. එය මෙතෙක් ලෝකයේ සිදුවී තිබෙන්නේ දෙවනි ලෝක යුද්ධයේදී පමණයි. (අපේ රටේ නොවේ වෙනත් රටවල) මට නැවත කැඳවීමක් ලැබෙන්නේ, පටු දේශපාලන අරමුණක් සඳහා යයි මගේ උපකල්පනය නම්, යුද්ධයට නොගොස් ඒ වෙනුවට ලැබෙන දඬුවම බාරගන්නවා. ඇත්ත වශයෙන්ම ඒ කැඳවීම සාධාරණ එකක් නම් කිසිදු පැකිලීමකින් තොරව යනවා.

  30. විචාරක තුමෙනි,
    මෙන්න ඔබේ මේ ලිපියේ කොටසක් අමු අමුවේ උපුටා එලකිරි.කොම් වෙබ් අඩවියේ දාලා තියනවා, ඔබ ගැන සදහනක් කර නැහැ.

    http://www.elakiri.com/forum/showthread.php?t=1499046

    • බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීම ගැන. මේ තරම් සදාචාරයෙන් පිරිහුණ අයද මහලොකු අඩවි පවත්වාගෙන යන්නේ. මා ඔවුන්ට දැනුම්දීමක් කරා මේ පිළිබඳව මගේ ස්ථාවරය. මා බලා සිටිනවා ඔවුන්ගේ පිළිතුර. නොලැබුනොත් බලමු.

      • නෙදකින් විතරක්.. අපේ ගොන් හැත්ත දන්නෙ ඔය වගේ එව්වා කරන්න තමයි.. මීට කලිනුත් ඔහොම සිද්ධි ගොඩක් වුනා.. මෑතදී හසිතගෙ බෞද්ධාගමික ලිපියක් බුකියේ පල කරපු එකෙකුට පහලින් කමෙන්ට් කරපු එවුන් පින් දීලත් තිබුනා.. හසිත තමුන්ගෙ අඩවියට ලින්කුවක් ඉල්ලුවාම හසිතව බ්ලොක් කරලා දාන්න තරම් පහත් තත්වෙකයි අර කොපි කරපු එකා හිටියෙ.. පස්සෙ පස්සෙ මිනිහා කොහොමහරි ලින්කුව දැම්මා..

        කොපි කිරීම ගැන මම අද දවලුත් හිතුවා.. අපේ උඩ ඉඳන් පහළටම තියෙන වනචාරි ගතියක්නෙ ඕක.. කැම්පස් වලත් මහාචාරෙගෙ ඉඳලා පොඩි එකා වෙනකම්ම අනුන්ගෙ කොපි.. අලුතින් යමක් හිතලා කරන එකාට ඒක කරගන්න බැරිවුනොත් ඌට බින්දුව..

        බලමුකො අයින් කරයිද කියලා..

        • මම සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් පැමිණිලි දෙකක්ම ඒ අඩවි කළමනාකරුට දැම්මා. බලමු ඔහු මහත්මයෙක්ද නැද්ද කියා. මුදියන්සේ කියා තිබුන බෝම්බ ලිපියට අමතරව ස්නයිපර්ලා ගැන මා ලියා තිබුන සමුර්ණ ලිපියම (කොටස් සියල්ලම) කොපිකර පල කරලා. අබ ඇට තරම් අකුරු වලින් උපුටා ගැනීමකි කියලා විතරක් තියනවා. කාගෙන්ද උපුටාගත්තේ කියලා නැහැ. ලැජ්ජා නැතිකම අඩවි කළමනාකාර කමටත් වඩා ලොකුයි. එළකිරි කිව්වට බලුකිරි වගේ මටනම් හිතෙන්නේ.

      • http://www.elakiri.com/forum/showthread.ඵ්ප්?ට්=1497396

        මෙතන උපුටාගැනීමක් කියලාවත් නෑ.

        උන්දෑ පිහි ගැනත් දන්නවා.. අල්ෆා-බ්‍රාවෝ-චාර්ලී, මොලොටෝව් කොක්ටේල්

        දිගටම බලන එක නතර කළා.. මූ බ්ලොගම කොපි කරලා… අන්තිම එකේ ඇරෙන්න අනික් එව්වල උපුටාගැනීමක් කියලාවත් නෑ..

        http://www.elakiri.com/forum/member.ඵ්ප්?උ=4359

        ඔය ප්‍රොෆයිල් එකෙන් දාලා තියෙන්නෙ..

        http://www.elakiri.com/forum/search.ඵ්ප්?සේර්චිඩ්=9880794&ප්ප්=25

        දිගටම බැලුවොත් කීයක් කොපි කරලද පෙනෙයි..

        http://www.elakiri.com/forum/showthread.ඵ්ප්?ට්=1497313

        ඔයත් මිනිහාම පලකරපු එකක්.. මට පු*නුත් හිනා ගියා…

      • සිංහලෙන් ගහන්න ගිහින් ලින්ක් මකබෑවෙලා නේද? පහළ එකේ තියෙන්නෙ අදාළ පුද්ගලයා දාපු ඔක්කොම පෝස්ට් ඒවා අතර විචාරක මහත්මයාගෙ පෝස්ට් ගොඩාක් තියෙනවා..

        http://www.elakiri.com/forum/search.php?searchid=9880794&pp=25

  31. විචාරක තුමනි,
    මෙවැනි බලු ගති ඇති අය සමාජයේ එමට ඉන්නවා, ඒක මේ සයිබර් අවකාශයේ නැති වෙන්න විදිහක් නෑනේ,
    මම හිතනවා හා මම පතනවා ඔබ මෙවැනි දේ නිසා ඔබගේ අපව දැනුවත් කිරීමේ විශිෂ්ඨ කාර්ය නවත්වන්නේ නැතිවෙයි කියලා.

    අනිත් කාරනය, එළකිරි.කොම් කියන්නේ ෆෝරම් එකක්, එහි පල කරන දෙයට එහි අයිතිකරුවන් වග කියන්නෙ නැතුව ඇති. මෙය සාමාජිකයන්ගේ ඇති තුච්ච ගතිය.

  32. ගරිල්ලා සටන් කියන්නේ මොනවාද කියල පොඩ්ඩක් කියන්න පුලුවන්ද? එලකිරි ලිපියක්

    • මගේ මේ එළකිරි ලිපියට ලැජ්ජා නැති එළකිරි කාරයෝ ඇරලා. ඒ ගැන ලියා ඇති ලිපියෙන් බලන්න.

      ගරිල්ලා සටන්ද ඇතුළුව සටන් ක්‍රම ගැන ඉදිරියේදී ලිපි පල කරනවා.

  33. හැමදාම වගේ වැදගත් තොරතුරු ටිකක් දැනගත්තා.
    ස්තුතියි.

  34. පොඩි නිවාඩුවක් අස්සේ මම නිරන්තරයෙන්ම බ්ලොග් එකට එනවා කමෙන්ට් නොකර ගියාට අවුලක් නෑ නේ

  35. දක්ෂයා ආරක්ෂා වෙන්න සකස් කරලා තියෙන දේවල් තමා දේවල් 🙂 අවංකව කිව්වොත් මේ බෝම්බ, අවි ගැන විස්තර ටික කියෙව්වාම මට හිතුණේ තවත් මනුස්සයෙක් නසන්න මිනිහා කොච්චර නම් දක්ෂ විදිහට තමන්ගේ නිර්මාණාත්මක මනස යොදවලා තියෙනවද කියලා… 😦

    • මිනිසා එදා සිටම වැඩිපුර උත්සාහ අරන් තියෙන්නේ තමන්ගේම වර්ගයා නසන්න මිසක් හදන්න නෙවෙයි. සතුන් අතරේවත් නැතුව ඇති එවැනි දුෂ්ට සිතුවිලි.

  36. මම ඔය ඉහත කී අවි සියල්ල පාවිච්චි කර තිබෙනවා සැබෑ දිවියේනම් නෙවෙයි ගේම් එකකදී. අපේ අවුන් දන්නේ කෙනෙක් වැදගත් යමක් කරද්දී නවත්වන්නනේ. මේ බ්ලොග් එකේ බැකප් එකක් අරන්තිබ්බනම් තමයි හොඳ

  37. තුමනි පළමුව ඔබතුමාට හිසනමා ආචාර කරමි.

    මේ ලිපි දැන් ඔක්කොම එකින් එක කියවනවා. මේ ලිපිය කියවද්දී මම බොහෝ අස කරන චිත්‍ර පටි දෙකක් වන බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි සහ බිහන්ඩ් ද එනිමි ලයින්ස් කියන චිත්‍රපට දෙක මතක් උනා.

    අර සෙබලාගේ හදවත එලියට අවා කියන සිද්ධිය… මාව තාමත් කරකවලා වගේ… මටනම් ලේ දැක්ක ගමන් කලන්තේ හැදෙනවා.

  38. මට මේ site එක හම්බ උනේ ලඟදි. මම ආසම විෂයක් තමයි මේක.
    කැබිතිගොල්ලැව බස් බෝබ්බේ පුපුරද්දී මම පාසලේ 10 වන ශ්‍රේණියේ. එදා මම හිතාගත්තා මමත් කවදා හරි ආමි ඔෆිසර් කෙනෙක් වෙලා ලොකු සෙට් එකක් අරන් ගිහින් කොටි කඳවුරු ගිනිබත් කරනවා කියලා.
    මට ඒ කාලේ මාරම ආමි උණක් තිබුනා. ඉස්කෝලේ කෙඩෙට් ප්ලැටුන් එකෙත් හිටියා.
    T56, MPMG, LMG ක්‍රියා කරන හැටි මට ඒ කාලේ කටපාඩම්. (Backward Action, Forward Action, Hammer Action & etc…)
    කමාන්ඩෝ භටයන්ට පමණක් දෙන සිමාන්විත පොත් පත් (අවි , බිඳහෙළීම්) පවා මම කියවලා ඒවා හොඳට මතකේ තිබුනා ඒ කාලේ.
    බඳවාගනිමේදී බලාපොරොත්තු වෙන මට්ටමටත් වඩා sit-ups, push-ups, pull-ups & etc කරන්න හැකියාව තිබුනා. (ආමි එකට යන්න විතරයි තිබුනේ :D)
    දැනටත් මිලිටරි දේවල් ගැන මම කතා කරන්න ගත්තම යාළුවො කියන්නේ (“මුගේ පෙකණි වල කපල තියෙන්නේ ආමි කෑම්ප් එකකද කොහෙද”) කියලා. 😀

    එත් පහු ගිය වසර හතර – පහ අතර කාලේ ජීවිතේ සිද්ද උන ආයෙත් වෙනස් කරන්න බැරි දේවල් කිහිපයක් නිසා ආමි ඔෆිසර් කෙනෙක් වීමේ හීනය මට අහිමි උනා. අදටත් මම ඒ ගැන පසුතැවෙනවා.

    ඔබතුමාගේ ලිපි කියවද්දී, ආසම දේවල් ගැන තොරතුරු දැනගන්න ලැබීම ගැන දැනෙන සතුට වගේම බොඳ උන හීනය ගැන මතක් වෙද්දී මටත් හොරෙන් සුසුමක් පිටවෙනවා.

    • ඔබ වැනි අය සෑහෙන ගණනක් මේ අඩවියේ ඔය ආකාරයටම අදහස් දක්වා තිබෙනවා. ඔබ හමුදාවට නොගියත්, රටට ආදරේ වීම ම කොච්චර වටිනවද?

      අපි ඔක්කොගෙම ජීවිත කාලීනව වෙනස් වෙනවා. එය අපට වලක්වන්න අමාරුයි. ආසාවෙන් වැළඳගන්න දේවල් ඉක්මනින් එපා වෙනවා. නොලැබුණු දේ උසස් කියල හිතෙනවා. මම දැන් වයස 61 ක මහල්ලෙක්. මේ කාලයතුල මා ලබා ඇති අමිහිරි අද්දැකීම් අපමණයි. නමුත් මම කොහොම හරි කඩා නොවැටී ඉන්නවා.

      ධනාත්මකව සිතන්න. ලැබුණු දේ හොඳයි කියා සිතන්න. උට්ඨාන වීර්යය වඩන්න. ඔබට ජය!

      • ලිපි වල භාෂා ශෛලිය අනුව නම් වයස 61 ක් කියලා හිතන්න වත් බැහැ. 61 ත් වයසක්ද? තව අවුරුදු 59ක් ජිවත් වෙන්න පුළුවන් ඔබට.
        දීර්ඝායු වේවා…

  39. ගොඩක් තොරතුරු දැනගත්තා,…

  40. […] දී තිබෙන නිසා නැවත මෙතන කියන්නේ නැහැ. මෙතනින් එක ලිපියක් සහ මෙතනින් තවත් ලිපියක් බලන්න […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: