පින්තූරේ දැක්කගමන් හිතාගන්න පුළුවන් නේද? ඔව් ඔව්, එව්වා කතාවක් තමා. ඇයි අර, අරයට හොඳනම්, එතකොට අර, මෙයා, ඔව් ඔව්, අන්න එයාට හොඳනම්, අර…..මේ මේ, අනික් එක්කෙනාට හොඳනම්, මමත් එකක් ලිව්වම මොකද එව්වා ගැන? ඔව්වට කොහෙද අනේ වයස බලපාන්නේ. මොකද මේ සිද්ධිය වුණේ වයස නිසාම නෙවෙයිනේ. මගේ තියන කම්මැලිකමයි නොසැළකිල්ලයි නිසා. බලන්ඩකො මේ පින්තූරේ ඉන්න හැන්ඩියා, මම වගේම කොල්ලෙක් නෙවෙයිද කියලා.
මේ සිද්ධිය සම්පූර්ණ ඇත්තක් බව ලැජ්ජාවේ තන්තෝසේ බැරුව දිවුරා පොරකාස කොරමි. සිද්ධියේදී කියවෙන අසල්වාසීන්ගේ නම් ද, ඇත්ත එව්වාය.
මෙහෙමයි කටන්තරේ. අපේ උන්දෑ ආවා, මම බොගක් කොට කොටා ඉන්නකොට, ගොම්පීටර් එක ළඟට.
‘මේ අනේ ඔය මගුල වහලා ලැස්ති වෙන්ඩකො පොළට යන්ඩ. මම උදේ කීයටද කිව්වේ පොළට යං කියලා. බලන්ඩකො ඔයා ඕකේ ඉඳගත්තම මෙලෝ සිහියක් නෑ නේ. මේ බලන්ඩ තේ එක. දැන් ඇල්වතුර වෙලා’
මම:- ‘හෝව් හෝව්………. පොඩ්ඩක් ඉන්ඩකෝ බෙලිකටු මල්ල පොළොවේ ගහන්නැතුව, ඔයා ලෑස්තිනම් මම තත්පර දහයෙන් ලෑස්තියි’. (හුටා, මෙතන තේ එකක් තියලා ගිහින් තියනවා මම දැක්කේ නැහැනේ)
එයා:- ‘ලැස්ති තමයි. දැන් බලන්ඩ, පොළට හැතැම්මක් දුරින් තමා කාර් එක නවත්තන්ඩ වෙන්නේ, බඩුත් උස්සගෙන ත්‍රී වීල් එකකින් තමා කාර් එක ළඟට යන්ඩ වෙන්නේ’
(අම්මපා කුරුණෑගල පොළ තියන දවසට කාර් එකක් නවත්තන්න තැනක් හෙවීම, නියම ගාණට එළවළු කිරන වෙළෙන්දෙක් හොයනවාටත් වඩා අමාරුය. පොළේ කාර් පාක් එකට රිංගන්න ගියාම, ආපහු කාර් එක එළියට ගන්න ගියාම, සංසාරේ එපා වෙනවාය)
මම:- ‘හරි හරි, මම මේ ඇඳගෙන ඉන්න ටී ෂර්ට් එක හොඳයි. කලිසමයි සෙරෙප්පු දෙකයි දාගන්න විතරයි තියෙන්නේ’
(හුහ්, මම ආමි කාරයෙක් කියලා අපේ උන්දැට අමතක වෙලා වගේ. ඒකාලේ පුහුණු උපදේශකලා, සීනියර්ස්ලා ‘කිට් චේන්ජිංග්’ දුන්නම, මේ පුතයා පට් පට් ගාලා ඇඳුම් මාරු කරලා පෙන්නන්නේ. පුහ්……. අනේ අනේ…. එව්වා කොරපු මට, මෙව්වත් වැඩද. තප්පර දෙකෙන් ඇඳගන්නංකො කලිසම ඔලුවෙන්)
හරි, දැන් ඇඳගෙන ඉන්න ෂෝර්ට් එක බොහොම පුංචි එකක් නිසා, ඒකට උඩින් කලිසම අඳිනවා. ඒක පහසුයි.
‘කවුරු දකින්නද කවුරු බලන්නද – දැන් මොකවත් නැත්තේ, ඒ… ඒ…, දැන් මොකවත් නැත්තේ’ (තිබුණත් වැඩක් නැතේ)
ඔන්න ඉතිං පොළට ගියා කියමුකො. අම්මපා මගේ ග්‍රහචාරේ කියන්නේ…… පොළ ළඟට යනකොටම, එතන නවත්තලා තිබුණ කාර් එකක් අහකට ගත්තා. ‘බුග්’ ගාලා මම එතනට කාර් එක ඔබාගත්තා. හප්පොච්චියෙ, සියලු දෙවි දේවතාවුන්නේ පිහිටයි.
හරි, ‘යමුකො බබී යමුකො බබී එළවළු ගන්ටා – අර දකුණු කකුල පෙරට තියා පං පං ගාලා’
හපොයි, අපේ උන්දෑ බණ්ඩක්කා 250 ක් ගන්ඩත්, විසිපස් පොළකටවත් යනවා. අනේ අම්මේ………. ඒ වෙලාවට මගේ ඉවසීමේ කටුව ගැහෙනවා. මොනවා කොරන්ඩද.
ඔන්න පොළේ ටිකක් දුර ඇවිදිනකොට, මට අමුත්තක් දැනෙන්ඩ පටන්ගත්තා. මට දැනෙන්නේ, යටට ඇඳගෙන ඉන්න ෂෝට් එකේ, සාක්කුවක තියන රෙදිකෑල්ලක්, (නිකම් ලේන්සුවක් වගේ එකක්) සාකුව හිල්වෙලා ද කොහෙද එලියට ඇවිත්, කකුල් දෙක අතරේ, (හරියටම දෙපරැන්ද මැද්දේ) එහාට මෙහාට ඇඹරෙනවා වගේ. මොකද්ද බොල මේ හුටප්පරේ?……….ම්හු..හිතාගන්ඩ බැහැ. හරි හරි ලේන්සුව වෙන්ඩ ඇති. කලිසමේ කකුල දිගේ පහළටම ගිහින් බිමට වැටෙන්නේ නැතෑ. එතකොට ඇහිඳගන්නවා. කියලා හිතාගත්තා.
තව ටිකක් පොලේ ඇවිදිනකොට මට දැනෙනවා අර රෙදි කෑල්ල හිතුවට වඩා ටිකක් ලොකුයි කියලා. ඒ වගේම දැන් කලිසම් කකුල දිගේ පහළට බැහීම ආරම්බ කොරලා කියලා. දණිස්ස දිහාට කිට්ටුයි. මම කලිසම් කකුලේ පිට පැත්තෙන් අතගාලා බැලුවා.
හී…………හ්, යකෝ, මේ මං අඳින ලාග්ගෙක් නේද? මේ #%^*@ මෙතනට ආවේ කොහොමද? ඇයි හත්දෙයියනේ දැන් මං මොකෑ කරන්නේ? මගේ නහය උඩට දාඩිය බින්දු හතක් දාලා. ඇඟ සීතල වෙලා. ඇයි යකෝ, පොළේ ඇවිදිද්දි මේක කලිසම් කකුලෙන් එළියට ආවනම්? කොයි දෙයිහාමුදුරුවන්ට කියන්නද? මුළු පොළම මාව වටකරගන්නවනේ, ‘මෙන්නෝ… මැජික් කාරයෙක් ඇවිල්ලා, මෙන්න බලපල්ලා, කලිසම අස්සෙන් ලාග්ගෝ අල්ලලා පෙන්නනවා’ කියලා.
අපේ උන්දැ මේ ගැන හාන්කවිසියක් දන්නේ නැතුව ඉස්සරහට ඇවිදගෙන යනවා. මම එක අතකින්, කලිසම් කකුලේ, අර ලාග්ගා රැඳිලා තියන තැනින් අල්ලගෙන, (පොලීසියෙන් දැක්කනම් කුඩු විකුණන එකෙක් කියලා අල්ලගන්නවා) අමුතුම ආකාරයේ ගමනකින්, යන්තම් අපේ උන්දැ ළඟට කිට්ටු වෙලා කිව්වා, ‘මේ, පොඩ්ඩක් ඉන්ඩ. මට පොඩි ප්‍රශ්නයක්’ කියලා. ‘ඇයි ඊයේ රෑ බීපුවා තවම දැනෙනවද? අන්න අර පැත්තේ තැඹිලි තියනවා’ කිව්වේ නැතෑ.
‘ඒ මගුලක් නෙවෙයි.. මම කණට කරලා කිව්වා, වෙලා තියන අබග්ගේ. අනේ………..ඒ වෙලාවේ උන්දැගේ මූණේ ස්වරූපය, වචන වලින් කියන්න බැහැ. ඇඳලා පෙන්නන්න වටිනවා.
‘දෙයියනේ……….කොහොම හරි යන්ඩ. ඉක්මනට කාරෙකට ගිහින් ගලවලා දාලා එන්ඩ’ උන්දැ කියපි.
‘හරි හරි, මමත් හිතුවේ ඒක තමයි. නමුත් මේක අතින් ලිස්සුවොත් තමා වැඩේ. කාර් එකට දුර මීටර් 250 ක් විතර තියනවා’
ඔහොම කියාගෙන මම මොකද්ද වෙච්ච මොකෙක්ද එකා වගේ, කාර් එක බලා පිටත්වුණා. හුටා……………..දේවිකා, මගේ මූණටම එනවා. දේවිකා කියන්නේ අපේ අසල්වැසි කාන්තාවක්. තිදරු මවක්, පෞද්ගලික අංශයේ බැංකුවක, විධායක ශ්‍රේණියේ නිළධාරිණියක්. මට එයාගේ පියාට වගේ සළකන්නේ.
‘අංකල්, ඇයි මොකද අංකල්ට සනීප නැද්ද? මොකද වුනේ? කෝ ආන්ටි? ‘අම්මෝ……. ප්‍රශ්න කෝටියයි. හෙහ්, අපි වගේ යුද්ධෝපක්‍රම, මූලෝපාය න්‍යාය, ‘බැටල් ටැට්ටිස්’ ද මොකද්ද එව්වා දන්න එව්වො, එහෙම ලේසියෙන් ඔය පුරස්න වලට අහුවෙන්නේ නෑ.
‘නෑ නෑ දේවිකා, මේ මගේ කකුලේ දණහිස හරියේ දාලා තිබුණ, ක්‍රේප් බැන්ඩේජ් එක ගැලවෙලා. මම මේ ඒක වැටෙන්න නොදී අල්ලගෙන, කාර් එක ළඟට යනවා, කාර් එකේදි ගලවලා දාන්න’
‘ඉන්න අංකල්, මමත් එන්නම් එහෙනම්’ (අයියෝ සාලවනේ……මේ මොකද වෙන්ඩ යන්නේ? කාර් එක ලඟට ගිහිං, දේවිකා දැක්කනම්, මගේ XXXXXXXL සයිස් ක්‍රේප් බැන්ඩේජ් එක, එයා කලන්තේ දාලා වැටෙනවා) ‘ නෑ නෑ දේවිකා, මට පුළුවන් ළමයෝ, ඔයා යන්න එළවළු ගන්න’
‘හරි අංකල් මම දිනේෂ්ට (දේවිකාගේ මහත්තයා) කියන්නම්, එයා අපේ කාරෙක ළඟ ඉන්නවා’
‘අනේ බොරුවට එයාට කරදර කරන්න එපා ළමයෝ’ කියාගෙන මම කාරෙක ළඟට කියා. කාලා වරෙන්කො. දිනේෂ් ඉන්නවා අපේ කාරෙක ළඟ. දේවිකා කෝල් එකක් දාලා කියන්න ඇති.
‘අංකල් දේවිකා කිව්වා අංකල්ට මොකක්ද ප්‍රශ්නයක් කියලා, මම මේ ඒකයි බලන්න අවේ’ දැන් ඉතිං ගැලවීමක් නැහැ. මේකා කීයටවත් මාව දාලා යන්නේ නැහැ. ක්‍රේප් බැන්ඩේජ් කතාව කිව්ව ගමන්, ‘ඉන්න මං උදව් කරන්නම්’ කිව්වා. කලිසම් කකුලේ, අල්ලාගෙන ඉන්න තැනින් අතහැරුනොත්, ලාග්ගා එලියට එනවා. හරි වෙන කොරන්ඩ දෙයක් නැහැ. දුන්නා කාරෙකේ යතුර දිනේෂ්ට. ‘ඇරපන්කො කාරෙක’ කිව්වා. මම නැග්ගා කාරෙකට. දිනේෂ් මම කියන්නත් කලින්, පටස් ගාලා කාරෙකට නැග්ගා. දැන් මට උදව් කරන්නයි හදන්නේ. ‘ඔහොම බලාගෙන හිටපන්’ මම කිව්වා. ඇදලා ගත්තා ලාග්ගා එලියට.
අරූ මුළු කුරුණෑගලටම ඇහෙන්න හූ කියා කියා හිනාවෙනවා. ‘තෝ මෙතන ඇති තරම් හිනාවෙය. කාටහරි කියලා තිබුණොත්, තෝ මරනවා’ මම කිව්වා. අනේ හවස් වෙනකොට ජගත්, අමිත්, අමරකෝන්, ධර්මසිරි, වගේ අපේ අසල්වාසී භවතුන්ගෙන්, පෝලිමේ කෝල් එනවා. ‘සර්, අංකල්, මහත්තයා, අර ජාතියේ ක්‍රේප් බැන්ඩේජ් තියන තැනක් අපිටත් කියන්ඩකො’ කියලා. ඉවරයි නේද සායම? නෑ නෑ, ඔව්වා දවසෙන් දෙකෙන් අමතක වෙනවා. හැබැයි පොඩි සාදයක් පැවැත්වෙන වෙලාවක ආයෙත් එළියට එනවා.
මෙන්න මේකයි වෙලා තියෙන්නේ. මම කොට කලිසමට උඩින් ඇන්ද දිග කලිසමේ, දෙපරැන්ද තියන තැන, කලින් ඇඳපු ලාග්ගෙක් තිබිලා. හොයන්නේ බලන්නේ නැතුව, මම ඒ කලිසම ඇඳගෙන ගියා. ඒකෙ ප්‍රතිඵලය තමයි ලැබුණේ. මදෑ ඔයින් ගියා, අතක් පයක් නොකැඩී.
2015 පෙබරවාරි මස 07 වැනි දින 1400 පැය
Comments on: "චිකේ….. මටමනේ වෙන්නේ…………… Is this Murphy’s Law" (33)
[…] චිකේ….. මටමනේ වෙන්නේ…………… Is this Murphy’s Law […]
හපොයි විචාරකතුමාටත් වෙන වැඩ … 😀 😀 😀
කරුමෙට ගාත් අටයි කියන්නේ ඔන්න ඕකට තමා 😀
අංකල් ඔයින් බේරුන ඇති. ඔක පොළ මැද්දෑවෙ වැටන නම් පු# හපාන පොළ මැද්දෙම වලක් හාරන වැලලෙන්ඩ වෙන්නෙ. හික්ස්
කවුරුවත් දකින්නේ නැතුව වැටුණනම්, මම වගේ වගක් නැතුව මාරුවෙනවා.
Ekiyanne, Lagga ekkama thamai nitharam kalisama galawanne.matath, kadima Padamak.
ඔව් රන්ජන්. මමත් කම්මැලිකමට ලාග්ගා ඇතුලේ තියෙන්න කලිසම ගලවලා, එහෙමම රැක් එකේ දානවා. ඔන්න ඒ නරක පුරුද්දෙ භයානක ප්‍රතිඵලේ.
අලුත් වචනයක් අල්ලගත්තා.. “ලාග්ග”
හෙහ් හෙහ්……..ඉස්සර අපේ පුංචි අම්මා කෙනෙක් හිටියා, අපිට කෑගහනවා, ‘හෝද ගනියව් උඹලෑ මේ කුණු ලාග්ගෝ උඹලම’ කියලා. ඒ මතකයෙන් තමා ලියවුනේ.
sir mata private eke kathakaranna puluwanda
මුලින්ම මට wmjgslsr@gmail.com ලිපිනයට ඊ මේල් එකක් එවා ඔබ ගැන හැඳින්වීමක් කරන්න.
Wili lejjai santhosai neda Sir
ජොකාට කියන මේ අලුත් නම අද තමයි ඉස්සෙල්ලා ඇහුවෙ…ඒතා ජොකා කියන තරම් කික් එකක් නෑ ඒ වචනෙ…මම පාසල් යන පුංචි එකා කාලෙ කලිසමේ ෂිපර් එක කැඩුනා..කොල්ලගෙ ගැජට් එක ලග කට ඇරිලා දැන්…මම බෑග් එකත් එතනට තද කරගෙන බස් එකේ සම වයසෙ කෙල්ලො පිරිවරාගෙන ගෙදර ආව හැටි මතක් වෙද්දි තනි ඇහැට ඇඩෙන්නෙ…
හැමෝම කියන නම නැතුව වෙන නමක් මතක් කලාම තමයි හුඟක් ඉස්සර කියපු මේ නම මතක්වුණේ. සිරා නම් සිපර් එක කැඩිලා බේරුණා. මට අහවල් එකට තුවාල විනා සිපර් එකට අහුවෙලා කලබලේට ‘වැඩ කොරන්න’ ගිහින්.
මගෙත් පුංචි එකා කාලෙ චූ බට්ටා අහුවුනා සිපර් එකට…සම්පූර්ණම වහලා ඉවරයි…කෑ ගැහෙන තරමට වේදනාව…කවුරුවත් ලග පාතක නෑ…හිතයි කටයි දෙකම තද කරගෙන අනිත් පැත්තට ආයෙමත් ඇරියා…වේදනාව ඩබල් ට්‍රිපල් වෙලා තරු පොකුරක් පැන්නා….
හම්මේ… දෙයියෝ දැක්කා වගේ… මටත් උනානේ ඔය සිදිධියම, මීට අවුරුදු 4 5කට උඩදී. ඒ කාලේ ඒ ලෙවෙල් ක්ලාස් යන දවස්. ක්ලාස් එකට යන්න විනාඩි දහයක විතර කදු පාරක යන්න ඕන. ක්ලාස් එකටත් පරක්කු වෙලා, ටික දුරක් ඔය පාරේ යද්දී කලිසම කෙලවරින් සුදු රෙදි කෑල්ලක් එලියට පැනලා. මුලින් හිතුවා මේස් එකක්වත්ද කියලා, ඒත් කෝකටත් කියලා දෙවනි පාර ආයේ බලද්දී තමා සන්තෝසේ වැඩි වෙලා විලි ලැජ්ජාව මතු උනේ…. දනිහිස ගාවින් නවත්තා ගන්න දෙයක් නෑ, යටටම ඇවිත්. තව ටිකක් ගියොත් මාත් මැජික් කාරයෙක් වෙනවා. පිටි පස්ස බැලුවා, ක්ලාස් එකේ කෙල්ලෝ පෝලිමයි, ඉස්සරහ බැලින්නම් ඒත් කෙල්ලෝ පෝලිමයි, එතන උන්නු එකම කොල්ලා මන් කියලා තේරුනාම සන්තෝසේ වාවා ගන්න බැරුව ගියා. පෙර කරපු පිනකට එදා සපත්තු දාලා හිටියා, ලේස් එක ගැට ගහගන්න නැමිලා එලියට පැනලා තිබුනු භාගේ ඇතුලට දා ගත්තා. විනාඩි දහයේ දුර හෙමින් හෙමින් පැය බාගයක් විතර ගිහින්, ලගම තිබුනු වැසිකිලියේ පිහිටෙන් ජාමේ බේරා ගත්තා….
අන්න මගේ ඥාතියෙක්. හෙහ් හෙහ් බලනකොට මේ ඇබැද්දිය තවත් අයට වෙලා තියනවා එහෙනං ඈ.
සහායට කාරෙකට ආපු ඩැනීට විස වායුවක් වැදිල සිහිය නැති උනයි කියල පත්තරේක තිබ්බා
ඌ තව ටිකක් හිනාවුනානම් මම ඔබනවා අර ලාග්ගා උගේ කටේ. වමනේ ගිහින් මැරෙන්න.
විචාරක කිසිම විචාරයක් නැතුව කලිසම ඇඳපු එකේ පල විපාක…
එකට ගැලෙව්වත් කවදාවත් ඒ දෙක එකට ඇඳුම් රැක් එකේ එල්ලන්නේ නැති නිසා මටනම් මේ ප්‍රශ්නෙට මුණ දෙන්න වෙන්නෙ නැහැ. ලාග්ගා කියන වචනය මටත් අළුත්.
ඒකනේ මම මුලදීම කිව්වේ කම්මැලිකමයි නොසලකිල්ලයි නිසා මේක වුණේ කියලා. මටත් හොඳ පාඩම් මෙව්වා. මොනවා කොරන්ඩද දැන් වෙලා ඉවරනේ වැඩේ. ආයේ කරන්නේ නෑ.
ඉස්සර ඕ.ලෙවල් කරන්න අවුරුද්දකට දෙකකට කලින් වයසෙදි මමත් පුරුදුවෙලා හිටියා ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිල්ලා ඇඳුම් මාරු කරනකොට කොට කලිසම ඇතුලෙම වවුලා ගලවලා දාලා තියන්න. ඉතින් සෙනසුරාදට ඔය මුළු රෙදි පොට්ටනියම උස්සගෙන වොෂින් මැෂිම ලඟට ගිහින් ඇඳුම් එකින් එක වෙන් කරලා තමා හෝදන්නේ.
දවසක් අපේ ගෙදර අමුත්තෝ කට්ටියක් හිටිය වෙලාවක ඇඳුම් ගොඩ උස්සගෙන ගිහින් ඇඳුම් ටික ශේප් එකේ තෝරලා වෙන් කරලා ඉවරවෙලා මැෂින් එකට දාන්න කලින් කොට කලිසමක් ගසද්දී ඒක ඇතුලෙන් පියාඹලා එලියට ආවේ නැතැයි වවුලෙක් ඔක්කොම කට්ටිය ඉස්සරහදී !!! මගේ පටි රෝල් ඉතින්……. 😛
එදායින් පස්සේ තමයි කලිසම් ඇතුලෙම වවුලා ගලවලා දාලා තියෙන පුරුද්ද නතර කරගත්තේ.
ඔයා වවුල් ජොක්කු ඇඳලා තියනවද? අර පටි ගැටගහන එව්වා? අපි 10 පන්තියට විතර එනතුරු ඇන්දේ එව්වා. මහලා දෙන්නේ අම්මා. මේ සිද්දිය කාටත් හොඳ පාඩමක්.
එහෙම ජාතියකුත් තිබුණද? ඒක නම් දැනගත්තේ අද තමයි. ඔය වවුලා කියන අන්වර්ථ නාමේත් අපි පාවිච්චි කළා “ජොකා” වෙනුවට… හිහි
හුකෑස්…හොඳ වැඩේ.කොහොමොද කරුමෙටවත් සර්ප පැටියෙක්වත් ඉඳලා අහවල් තැන කෑවනං.මොකෝ විස උරලා අයිං කරන්ඩ කියලයෑ..අනිත් දවසේ කළිසම හොඳට ගසලා එහෙම අඳින්ඩ මමත් හිතට ගත්තා.
විස උරයි අපේ උන්දැට කිව්වනම් 😀
😛 😀 😀 හිනා වෙලා බඩකොර වෙලා වගේ ලොක්කා…………
ඔහෙලට හිනා. මටම තමා වෙන්නේ.
//ඒකාලේ පුහුණු උපදේශකලා, සීනියර්ස්ලා ‘කිට් චේන්ජිංග්’ දුන්නම, මේ පුතයා පට් පට් ගාලා ඇඳුම් මාරු කරලා පෙන්නන්නේ. පුහ්……. අනේ අනේ…. එව්වා කොරපු මට, මෙව්වත් වැඩද.//
හික් හික් හු…..
ඒ කාලෙත් ඔහොමද දන්නේ නැහැ…
පිස්සුද, ඒ කාලේ අදවගේ බැරි බැරි ගාතේ නෙවෙයිනේ වැඩ කලේ. ඒ කාලේ කොරපුවා ලියන්න වෙන්නේ පොත් ගණන්.
කදුලු පනින්න හිනා. ඔපිසියෙ වුන් බලයි මට පිස්සුද කියල
[…] ඉන්දැද්දිං නං, සල්ලි වලට ගත්තේ, ඔය ලාග්ගෝ එහෙම තමා. නිළ ලාංඡන දුන්නේ හමුදාවෙන්. පැන්සොන් […]
ඔය සන්තෑසිය මට උනා මම 9 වසරේදී විතර. මම බයිසිකලේ පොල්ලේ වාඩිවෙලා ගියේ. පදින යාලුවට එක පාරට බයිසිකලේ බැලන්ස් නැතුව ඇල උනා. මම හයියෙන් දකුණු කකුල බිම ගහලා ගැම්ම ගත්තා. මෙන්න බොලේ බිම තියෙනවා තද නිල් පාට රෙදි ගුලියක්. හරියටම හන්දිය මැද. ත්‍රීවීල් මාම කෙනෙක් “අන්න පුතාගේ මොකක්ද වැටුනා” කියලා කිව්වා. මන් යාළුවා එක්ක කතා කරන ගමන් ඒ දිහා ඕනවට එපාවට බලල මගේ නෙවෙයි කියලා ආව. පස්සෙයි මතක් උනේ බොලේ බිම තිබුනේ මගේ නිල් පාට ජොකා කියලා. ඒ වෙලාවේ ඒක කල්පනා උනා නම් මට පොලව පලාගෙන යන්නයි වෙන්නේ.