විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  අඟල් හයක් බස්සනවා කතාවේ පළමුවැනි කොටසෙන් අපි පිහිය ගැන සතුටුදායක දැනුමක් ලැබුවා. මේ එහි දෙවැනි කොටස. මෙහිදී, මා විශේෂයෙන් ඔබේ අවධානය යොමු කරවන්නේ, විශේෂ වර්ග වල පිහියා පිළිබඳවයි. නමුත් මම හිතුවා, මේ ලිපිය ආරම්භයේදී, අපේ වර්තමාන මුළුතැන් ගෙයි තිබෙන පිහියා කට්ටලයේ ඇති පිහියා වර්ග, නැවත හඳුන්වා දෙන්නට, ඒ එක් එක් පිහිය කුමන කාර්යයක් සඳහා යොදාගත යුතුද යන්නත් විස්තර කරමින්. මොකද, සමහර ගෘහිණියන්, හදිස්සියත් නොසැලකිල්ලත්, සමහරවිට නොදැනුවත්කමත් නිසා, එක් එක් කාර්යයට අදාළ නොවන පිහිය භාවිත කිරීම හේතුවෙන්, අනතුරු පවා සිදුකරගත් අවස්ථා තිබෙනවා.

   අද කාලයේ අපේ ඔලුව අවුල් කරන තරම් පිහියා ගණනාවක් ඇති මුළුතැන්ගෙයි පිහි කට්ටල  වෙළඳපොලේ දකින්නට ලැබෙනවා. නමුත් හොඳින් මතක තබාගන්න. අපට අවශ්‍ය වන්නේ අපේ ආහාර රටාවට අදාළ වන පිහියා පමණයි. (පිහියා පමණක් නොවෙයි නිවසට මිලදීගන්නා ඕනෑම ආකාරයක හෝ මාදිලියක උපකරණයක්/ගෘහභාණ්ඩයක්/පවා අපේ ජීවන රටාවට අවශ්‍ය හා ගැලපෙන එකක් විය යුතුයි) වෙළඳපොලේ ඉතා අලංකාරව අපේ ඇස ඇදීයන පරිදි ප්‍රදර්ශනය කර තිබෙන සියල්ල අපට අවශ්‍ය නැහැනේ. ඒ නිසා පිහියා තෝරා ගැනීමේදී අවශ්‍යම පිහියා කීපයක් පමණක් මිලදී ගැනීමයි වඩා සුදුසු. බොහෝ රටවල හරක්/ඌරු/බැටළු/එළු/මස් විශාල ගාත් ලෙස මිලදීගත හැකියි.  කුකුළන්/තාරාවන්/පාත්තයන්/කළුකුම්/ එහෙම පිටින්ම මිලදීගත හැකියි. එමෙන්ම විශාල මාළු, කූරි ලෙසද මිලදී ගත හැකියි. ඒ මස් මාළු නිවසේදී තමන්ට අවශ්‍ය ආකාරයට කපා ශුද්ධ කරගැනීමට විවිධ ආකාරයේ පිහියා අවශ්‍ය වෙනවා. නමුත් අපි වැඩි දෙනා කඩෙන් මාළු ටිකක් ගන්න අය නේද? ඒ මාළුත් එතනදීම කපා ගෙදර ගෙන ඒම නේද සිරිත. හරක් මස් සහ ඌරු මස් අපේ වැඩිදෙනෙක් කන්නේ නැහැ නේද? එමෙන්ම කුකුළු මස් කපා ගැනීම තමයි ටිකක් බරපතල එකම කාර්යය. බොහෝවිට ඒ ක්‍රියාන්විතය භාර දෙන්නේ ගෙදර මහත්තයාට. එයා ඉතින් පොරවෙන් ගහලා හරි කාර්යය ඉටුකර දෙනවා. එහෙම නේද? නමුත් නිවැරදි පිහිය භාවිත කරන්නට දන්නවානම් ඔබට ‘කුකුළු මස් ක්‍රියාන්විතය’ පහසුවෙන් කරගත හැකියි. නිවැරදි පිහිය නැති නිසා, තිබුනත් එය පාවිච්චි කරන නියම පිළිවෙත දන්නේ නැති නිසා තමයි අයිස් පිටින්ම කුකුළු මස් කපන්න යන්නේ, පොරවෙන් ගහලා.

  ඒ අවුල් වියවුල් වලින් මිදී, කුස්සියේ ඇති එක් එක් පිහිය, නිසි පරිදි හඳුනාගෙන වැඩ කරමු. 

  අපේ කුස්සියේ තියන, ගමරාලගේ වංගෙඩිය වගේ, සියලුම කැපිලි කෙටිලි වලට ගන්නා පිහිය තමයි මේ. මේ පිහියට කුස්සියේදී අපි කියන්නේ, පිහිය, මේස පිහිය, කපන පිහිය, එළවලු කපන පිහිය, (හැබැයි ඔක්කොම ජාති කපනවා. බෙල්ල වුනත් :D) ටිකක් නම්බුකාර නමක් දෙනවානම්, මේ පිහියට කියන්නේ සූපවේදී ගේ පිහිය (Chef’s Knife) හෙවත් කෝකි පිහිය (Cook’s Knife) කියලයි. ඊට මතරව ප්‍රංශ පිහිය (French Knife) කියලාත් සමහර රටවලදී හඳුන්වනවා. අඟල් 6 සිට 10 දක්වා පමණ දිගකින් යුත් එමෙන්ම අඟල් 1  1/2 ක පමණ පළලකින් යුත් තලයක් මේ පිහියට තිබෙනවා. මේ පිහිය පොදුවේ කොයි කටයුත්තටත් ගැලපෙනවා. නමුත් අපේ කුස්සිවල තිබෙන, මේ වර්ගයේ සමහර පිහියාවල, කැපෙන දාරය කියතක් වගේ කඩතොළු වෙලා. එයට හේතුව තමයි, මේ පිහියෙන් තද ආහාර වර්ග (කුකුළු මස් වල අස්ථි කොටස්, කරවල කටු වැනි දේ) වලට කෙටීම. මතක තබාගන්න, මේ පිහිය සාදා තිබෙන්නේ, කපන්නට මිස කොටන්නට නොවෙයි. මෙවැනි වටිනා පිහියක කැපුම් තලයට හානි වුනොත් එය නැවත සකසන්නට බැහැ.

  මහ පිහිය/නවීන මන්න පිහිය:- Cleaver:- මේ පිහිය තමයි ආහාර ද්‍රව්‍ය වලට කොටා කැබලි වෙන් කර ගැනීමට සුදුසු. සාමාන්‍ය පිහියෙන් වගේ කපන්නත් පුළුවන්. හැබැයි ඔබ කුමන පිහිය පාවිච්චි කලත් කැපුම් පුවරුවක් (Cutting Board) පාවිච්චි කලයුතු බව අමතක කරන්න එපා. එහෙම නොකලොත් පිහියට හානි වෙනවා. කපන ද්‍රව්‍ය එහෙමෙහෙ විසිරෙනවා. ඔබේ අතටත් හානි වීමට ඉඩ තියනවා.

  බොහෝ දෙනෙක් අධිශීත කල කුකුළු මස් මේ මහ පිහියෙන් කොටා කැබලි කිරීමට උත්සාහ කරනවා. නමුත් ඒ ක්‍රමය වැරදියි. මේ පිහියෙන් කොටන්නේ ලොකු මස් කැබලි වලටයි. අධිශීත තත්වයෙන් තිබෙන මස් කැපීමට අවශ්‍යනම් ඔබ පාවිච්චි කලයුත්තේ මේ පින්තුරයේ පෙන්වා තිබෙන ඉතා මිල අධික පිහියයි. (Saw Racker) නමුත්, අධිශීත තත්වයේ තිබෙන මස්, මඳ උණුවතුරේ තබා සීතල ඉවත් කලවිට, කටු වලින් මස් ඉවත් කිරීමට පාවිච්චි කරන, මෙහි පහත දැක්වෙන පින්තුරයේ ඇති හැඩයේ පිහියකින්, (Boning Knife) පහසුවෙන් කපාගත හැකියි.

 

   මුළුතැන්ගෙයි පිහියා ගැන ඉතා දීර්ඝ විස්තර ඇතත්, ඒ සියල්ල මෙහි සඳහන් කරන්නට අදහස් කරන්නේ නැහැ. මුළුතැන්ගෙයට අලුතෙන්ම එක්වී ඇත්තේ පහත දැක්වෙන පිහියයි. සාමාන්‍ය ව්‍යවහාරයේදී සෙරමික් පිහිය යනුවෙන් හැඳින්වෙන මේ පිහිය, ඉතා මිල අධික වන අතර, එය නිපදවා තිබෙන්නේ සර්කෝනියම් ඔක්සයිඩ් (Zirconium Oxide) නමැති මුලද්‍රව්‍යය පදනම් කරගෙනයි. දියමන්ති වලටත් වඩා තද ගතියක් ඇති නිසා, මෙයින් ඉතා සියුම් ලෙස කැපිය හැකියි.

 

  අපේ රටේ අහාර රටාවන් අනුව පිහියා වර්ග රාශියක් අවශ්‍ය නැති බව මා මීට පෙරත් සඳහන් කළා. ඒ නිසා විවිධ විච්චුරන පිහියා ගැන විස්තර ලියන්නේ නැහැ. ඒවා බොහොමයක් අපට අවශ්‍යත් නැහැ. මේ ලිපියේ පළමුවැනි පින්තුරයේ තිබෙන ආකාරයේ සරල පිහියා කීපයක් තිබුනාම අපට හොඳටම ඇති කියලයි මම නම් හිතන්නේ. සමහර අයට, (විශේෂයෙන් තමන්ගේ මුළුතැන්ගෙයි විශාල පිහියා කට්ටලයක් තිබෙනවා දකින්න කැමති අයට) හිතෙනවා ඇති මුළුතැන්ගෙයි පිහියා ගැන විස්තර කිව්වා මදි කියලා. එහෙම හිතනවා නම්,

  1. මෙතනින්
  2. මෙතනින්
  3. මෙතනින්
  4. මෙතනින්

  තව දුරටත් විස්තර බලන්න.

  මෙතැන්සිට මා ඔබේ අවධානය යොමු කරන්නේ විශේෂ සහ තරුණ පරපුර අතර ජනප්‍රිය පිහියා වර්ග කීපයක් ගැන තොරතුරු පිළිබඳවයි. ඒ අතරින් මුලින්ම මගේ මතකයට එන්නේ මා කුඩා කාලයේ සිට දැක පුරුදු පිහියක් වෙතයි.

ස්විට්සර්ලන්ත යුද හමුදා පිහිය  Swiss Army Knife

   මේ පිහිය ගැන පසුගිය ලිපියේදී, හීනලන්තයේ හරී විස්තර අසා තිබුනා. මේ පිහිය හඳුන්වන්නේ ස්විට්සර්ලන්ත යුද හමුදා පිහිය (Swiss Army Knife) යනුවෙන්.

   මේ පිහියට ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. එහි ආරම්භය ක්‍රි.ව. 1890 තරම් ඈතට දිව යනවා. 1880 ගණන් වලදී තමයි ස්විට්සර්ලන්ත රජය (අනේ කවදාවත් ‘ස්විස්ටර්ලන්තය’ කියා ලියන්නවත් කියන්නවත් එපා. එහෙම රටක්‌ ලෝකයේ නැති නිසා) සිතුවේ තම හමුදා සොල්දාදුවන්ට බහුකාර්ය සාක්කු පිහියක් ලබාදිය යුතුයි කියා. (අපිට තමයි වප්පිහියක් වත් නිකුත් කරන්නේ නැත්තේ :D) රජය එවැනි පිහියක් සොල්දාදුවන්ට ලබාදීමෙන් අදහස් කලේ, ඒ පිහිය ආධාරයෙන්, ටින්කෑම අඩංගු, ටින් භාජන විවෘත කරගැණීමට උදව්වක් වීම සහ එවකට ස්විට්සර්ලන්ත යුද හමුදාවේ පාවිච්චි කල ‘ශ්මිඩ්ට් රුබින් එම් 1889’ (Shmidt Rubin M 1889) තුවක්කුව ගැලවීමට යතුරු කට්ටලයක් ලෙස පාවිච්චි කිරීමයි. ඒ අනුව 1890 දී පළමු වරට නිකුත්කළ පිහියයි මේ.

 

   ඉතින් හිනා වෙන්න එපා. මේ පින්තුරය දැකලා. කොයි නිෂ්පාදනයත් ආරම්භයේදී ඔහොම තමයි. ස්විස් යුද හමුදා පිහිය කාලීනව ක්‍රමිකව දියුණු වෙන්න පටන් ගත්තේ එතැන් සිටයි. ස්විස් යුද හමුදා පිහිය හදන්නේ ස්විට්සර්ලන්තයේ වික්ටරිනොක්ස්  Victorinox නමැති සමාගමෙන්. මේ පිහිය එදත් අදත් ලෝකයේ අතිශයින්ම ජනප්‍රිය බහුකාර්ය පිහියක් ලෙස හඳුන්වන්න පුළුවන්. අද වනවිට මෙය කොතරම් දියුණු කර තිබේද යන්න විස්තර කරනවාට වඩා, එක පින්තුරයකින් පෙන්වීම වැදගත් කියා මට සිතුනා. මේ තියෙන්නේ වර්තමානයේ මේ පිහිය දියුණු කර ඇති ආකාරයයි.

  මම හිතනවා බහුකාර්ය යන වචනයේ පරිසමාප්ත අර්ථය මේ පිහියෙන් විද්‍යමාන වන බව. මේ පිහිය ගැන විස්තර ඇති නේද.

කුක්රි පිහිය – Kukri Knife

   යම් යම් අවි ආයුධ වලට හිමිකම් කියන ජාතීන් හෝ සංස්කෘතීන් තිබෙන බව ඔබට අමුතුවෙන් කිවයුතු නැහැනේ. කුක්රි පිහිය එවැනි එක්තරා ජාතියකට හා ඔවුන්ගේ සංස්කෘතියට දැඩිව බැඳී පවතින පිහියක්. ඒ තමයි ගුර්කා වරු. ගුර්කා වරුන්ගේ නිජ බිම වන්නේ නේපාලයයි.

 

  මේ පිහියේ හැඩය දුටු ගමන් ඔබට පෙනෙනවා ඇති මෙය අසාමාන්‍ය ආකාරයේ පිහියක් බව. ඇත්ත වශයෙන්ම මෙය දීර්ඝ ඉතිහාසයක් ඇති, පිහියක්. එපමණක් නොවෙයි, මෙය ඉතා දියුණු තාක්ෂණයක් පදනම් කරගනිමින් නිර්මාණය කරන ලද පිහියක්. මේ බලන්න මේ පිහිය කොතරම් සංකීර්ණ නිමැවුමක්ද කියා.

     

   මේ පිහිය මුලින්ම නිර්මාණය කර තිබෙන්නේ ක්‍රි.ව. 1550 දී පමණ. මෙය නිපදවා තිබෙන්නේ සටන් කිරීම සඳහාමයි. මෙහි හැඩය කාලීන වෙනස්කම් වලට භාජනයවී තිබෙනවා. මේ පිහිය නේපාලයේ ජාතික සංකේතයක් ලෙසද සැළකෙනවා. සාමාන්‍යයෙන් මෙය කුක්රි කියා හැඳින්වුනත්, ඛුක්රි, සහ ඛුකුරි, යනුවෙන්ද නේපාලයේදී හැඳින්වෙනවා. මෙහි තලය දැලි පිහියක් මෙන් තියුණුයි. ක්ෂණයකින් මිනිසකුගේ හිස කඳෙන් වෙන් කිරීමට මේ පිහියෙන් පුළුවන්. මේ පිහිය පාවිච්චි කරමින් නේපාල ජාතිකයන් ඔවුන්ගේ ජාතික උත්සව වලදී සාම්ප්‍රදායික නැටුම් වල යෙදෙනවා. නේපාලයද ඇතුළුව ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පවතී අවදියේදී ගුර්කා වරුන් බ්‍රිතාන්‍ය යුද හමුදාවට බඳවා ගත්තා. ඔවුන් සැබැවින්ම සටන්කාමී ජාතියක්. අදටත් බ්‍රිතාන්‍ය යුද හමුදාවේ ගුර්කා රෙජිමේන්තු හතරක් තිබෙනවා. ඔවුන් අදටත් තම නිළ අවියක් ලෙස කුක්රි පිහිය පාවිච්චි කරනවා. පහත දැක්වෙන්නේ කුක්රි පිහිය සහිත, බ්‍රිතාන්‍ය යුද හමුදා ගුර්කා සෙබළෙක්.

 

   කුක්රි පිහිය අනුකරණය කරගනිමින්, නැතහොත් කුක්රි පිහිය මුලාශ්‍රයක් වශයෙන් තබාගනිමින් නිපදවන ලද පිහියා වර්ග රාශියක් වර්තමාන ලෝකයේ දකින්න ලැබෙනවා. ඒ එක් එක් පිහිය වෙන වෙනම විස්තර කරන්නට ගියොත් මේ ලිපිය ඔබට නීරස වෙනවා. ඒ නිසා එවැනි පිහියක රේඛා සටහනක් පමණක් පහත දක්වනවා.

  මා දන්නවා ඔබ අතරින් සෑහෙන පිරිසක් බලාපොරොත්තු වෙනවා එක්තරා විශේෂ පිහියක් ගැන දැනගැනීමට. මේ පිහිය ගැන ලියන්න කියලා කාමරේ සිරාත් මගෙන් ඉල්ලීමක් කර තිබුණා. සාමාන්‍යයෙන් ඒ පිහිය හඳුන්වන ජනප්‍රිය නම තමයි රම්බෝ පිහිය කියන නම. බොහෝ දෙනා සිතා සිටිනවා මේ පිහිය යුද හමුදා සෙබළුන්ගේ අවියක් ලෙස නිකුත් කරන බව. සමහර රටවල එහෙම ඇති. නමුත් ශ්‍රී ලංකා යුද හමුදාවේ නම් එහෙම නිකුත් කිරීමක් නැහැ. තමන්ට නිළ වශයෙන් නිකුත් කර තිබෙන අවි හැර, වෙනත් අවි ආයුධ දරා සිටීම හෝ පාවිච්චි කිරීම, යුද හමුදා නීතිය මෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, ජාත්‍යන්තර මානුෂවාදී නීතිය යටතේ පනවා තිබෙන ප්‍රඥප්තීන්, බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක්. 

  1980 දශකයේ මේ රම්බෝ පිහියා ලෙඩේ අපේ හමුදාවට බෝවුනා. තරුණ නිලධාරීන් සහ සමහර කෝප්‍රල්/සැරයන්/ වරු මේවා බඳ පටියේ එල්ලාගෙන පංචායුධ කුමාරයෝ වගේ (හැබැයි අර පංචායුද ජෝකරයාට වඩා හොඳයි) සටනට බැස්සා. නමුත් හමුදා මුලස්ථානය විසින් ස්ථාවර නියෝග පැනවුවා, එය නීති විරෝධී බවට. එයින් පසු ලෙඩේ සුව වුනා. මහා ඝන වනයේ දින ගණන් රැඳී සිටිමින් ක්‍රියාන්විත වල යෙදෙන කුඩා කණ්ඩායම් ( 8 දෙනාගේ කණ්ඩායම් වැනි) වලට නම් වනයේදී ආහාර සොයාගැනීම හා සකසා ගැනීම සඳහා හොඳින් කැපෙන පිහියක් තිබීම ප්‍රයෝජනවත්. නමුත් ඔවුන්ටත් හමුදා නිකුත්කිරීමක් ලෙස රම්බෝ පිහියා ලබා දෙන්නේ නැහැ.

දිවි රැකගැනීමේ පිහිය – Survival Knife (රම්බෝ පිහිය – Rambo Knife)

  ගල් යුගයේ සිට මිනිසා සිය දිවි රැකගැනීම සඳහා සියුම් තුඩ සහිත කැපෙන සුළු තල යොදාගත්තා. ඒ තත්වය වඩාත් වර්ධනය වුනේ දඩයම් යුගයේදීයි. පිහියකින්, අප නොසිතන තරම් වැඩ කරගත හැකි බව, මිනිසාට වැටහුන අවදියේ පටන්, මිනිසා වෙහෙසුනේ, පිහිය ආයුධයක් ලෙස වඩාත් කාර්යක්ෂම තත්වයට පත් කිරීමටයි. 18 සහ 19 සියවස් වලදී මේ පිළිබඳව ලෝකය පුරාම දැඩි උනන්දුවක් ඇතිවුනා. ඒ අනුව වර්තමාන රම්බෝ පිහියේ මුලාරම්භය ලෙස සැලකිය හැක්කේ 1902 දී වෙබ්ස්ටර් එල් මාබල් නමැති ඇමෙරිකානු ජාතිකයා විසින් නිපදවන ලද, දිවි රැකගැනීමේ පිහියයි.

  මාබල් ගේ පිහිය පසුකාලීනව විශාල වෙනස්කම් රැසකට භාජනය වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි අද අපි දකින රම්බෝ පිහිය නිපදවුනේ. ඇත්ත වශයෙන්ම මේ පිහියට රම්බෝ පිහිය කියන නම ලැබුනේ, ‘සිල්වෙස්ටර් ස්ටැලෝන්’ Sylvester Stallone නමැති ජනප්‍රිය නළුවා, ‘ජෝන් රම්බෝ’ යන නමින්, ප්‍රධාන චරිතය රඟපෑ, ‘ෆස්ට් බ්ලඩ්’ First Blood චිත්‍රපටියේදී මේ පිහිය කැපී පෙනෙන ලෙස යොදාගත් නිසායි. රම්බෝ ගේ පිහියා වැඩ ටිකක් පහත වීඩියෝවෙන් බලන්න.

 

 මේ පිහිය බහුකාර්ය පිහියක් වශයෙන් අතිශයින් කාර්යක්ෂමයි. මා හිතනවා ඔබ අතරින් සෑහෙන පිරිසක් මේ පිහිය දැක ඇති කියලා ඇත්තටම. (පින්තුර හෝ චිත්‍රපට නෙවෙයි) මේ පිහියේ බාල අනුකරණ තිබෙනවා දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල නිපදවන. ඒවා කිසිම සවිශක්තියක් හෝ කල් පැවතීමක් නැති ඇස් බැන්දුම් පමණයි. ඇමරිකාවේ නිෂ්පාදිත හොඳ පිහියක් අද  රුපියල් 10000 ක් පමණ වනවා බදු රහිත මිළ. නියම රම්බෝ පිහිය සෑහෙන්න බරයි. ඒ බර නැත්නම් එහි ප්‍රයෝජනයක් නැහැ. දමා ගැසීමේදී සමබරතාව රැකෙන්නේ තලය සහ මිට නියමිත බරකින් යුක්ත වන නිසයි. එකක් ගන්න ඕනෙද? එහෙනම් මෙතනින් ගන්න.

  

   මේ පිහියේ නිර්මාණයද ඉතා සංකීර්ණ එකක්. මා කලින්ද සඳහන් කලාක් මෙන් එහි දීර්ඝ කාලීන විකාශයක් තිබෙනවා. ඒ නිසයි මා එක පිහියක පමණක් රේඛා චිත්‍රයක් ඉහත පෙන්වා තිබෙන්නේ. ඔබට මේ පිහියා පිලිබඳ තාක්ෂණික තොරතුරු රැසක් මෙතනින් බලන්න පුළුවන්. පිහිය බහුකාර්ය බව පෙන්වන පළමුවැනි රුපයයි මේ සමග තිබෙන්නේ. විස්තර කිරීම අනවශ්‍ය බව සිතනවා. පින්තුරය තුලින් ඔබට සියල්ල පෙනෙන නිසා.

  

  ඔබ සමහරකු දන්නවා ඇති, මේ පිහියේ මිට ඇතුළේ, ජල රෝධක  ප්ලාස්ටික් කන්ටේනරයක, විවිධ උපකරණ කීපයක් දමා තිබෙන බව. එවැනි උපකරණත් ඇතුළත් නිසයි, මෙය දිවි රැකගැනීමේ පිහිය නමින් හැඳින්වෙන්නේ. මේ පින්තුරයෙන් පෙන්වන්නේ, මිට ඇතුළේ මොනවද තියෙන්නේ කියලා.

  හැම පිහියකම වගේ මිට ඇතුළේ තියන දේවල් එක සමානයි බොහෝදුරට. එහෙත් වෙනස්කම් ද තිබෙනවා. මේ එවැනි පිහියක්.

 

  ඉතින් දැන් පිහියා කතන්දරේ දිග හැරුනා ඇති නේද? මීට වඩා දික් වුනොත්, ඔබට මේ ලිපිය එපා වෙලා, පිහියෙන් ඇණගන්න හිතෙයි. ඒ නිසා, කියවූ ඔබට ස්තුතිවන්ත වෙමින්, පිහියේ කතාව අවසන් කරනවා.

Comments on: "ඒයි…..වැඩිය කතාවට ආවොත් බස්සනවා අඟල් හයක් – (දෙවැනි කොටස) – One and All The Knife (Part Two)" (75)

  1. පළමු කොමෙන්ටුවද දන්නේ නෑ 🙂

    විචාරක තුමා ඔබ මේ අප වැඩිය නොසිතන පැති ගැන සිතා කරන මේ කාර්ය ඉතා වටින කාර්යක්.
    ඔබට ජය !

  2. මට නං ඉතිං කුස්සියෙ වැඩවලට පිහි දෙකයි ඕන.. Chef’s Knife එකයි, Cleaver එකයි තිබ්බම ඉහටත් උඩින්.. 🙂

    පොඩි නිවැරැදි කිරීමක් කරන්නට අවසරයි: නේපාලය බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව තිබුනේ නැහැ (ඒ නිසාම ඔවුන් පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකුත් නෙවෙයි)..

    මම හිතාගෙන හිටියේ රම්බෝ පිහිය අඩුගානෙ අපේ කමාන්ඩෝ සෙබළුන්ට/විශේෂ බලකා සෙබළුන්ට වත් නිකුත් කරනවා ඇතියි කියලා..

    • ඉන්දියාව බ්‍රිතාන්‍යයට යටත්ව සිටි සමයේ නේපාලය ඉන්දියාව යටතේ හෝ ඉන්දීය වක්‍ර පාලනය යටතේ තිබුණා කියලයි මට මතක. බොහොම ස්තුතියි නිවැරදි කිරීම ගැන.

      කොමාන්ඩෝ/විශේෂ බළකා සෙබළු අතේ පිහියා තිබෙනවා. නිකුත් කිරීමක් ලෙසම නෙවෙයි.

    • මම හිතන්නෙ බ්‍රිතාන්‍යට සටන කරලා දිනාගන්ඩ බැරිවුනේ නේපාලය විතරයි.. ඔවුන් ඒ සටනින් පසු බැස්සා හෝ පැරදුනා කියලා තමා මටත් මතක.

      • මටත් හරියටම මතක නැහැ.

      • නැහැ සෙන්නා, බ්‍රිතාන්‍යය (එතකොට බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දීය වෙළෙඳ සමාගම) ඒ ඇන්ග්ලෝ-නේපාලි යුද්ධය දින්නා.. නමුත් නේපාලය ඔවුන් එක්ක සමාදාන ගිවිසුමක් (සුගෝලි ගිවිසුම) ගැහුවා බ්‍රිතාන්‍යයට මිත්‍ර රටක් හැටියට ඉන්නට හා තමන්ගේ යම් යම් බිම් කොටස් (උදා: සිකීම්, වර්ථමාන හිමාචල් ප්‍රදේශ්, උත්තරඛාන්ද්) ඔවුන් යටතට පවරා දෙන්නට එකඟ වෙමින්..

        යටත් විජිතවලට නිදහස දෙද්දි බ්‍රිතාන්‍යය උනන්දුවුනේ නෑ මේවා නැවත නේපාලයට පවරන්න.. ඒ නිසයි අද මේවා ඉන්දියාවේ ප්‍රාන්ත වෙලා තියෙන්නෙ.. දන්නවනේ අදටත් ඩාර්ජිලින්ග් ප්‍රදේශයේ ගුර්කාවරු ඉන්නවා, මෙයාලා තමා ඉන්දීය හමුදාවේ ගුර්කා රෙජිමේන්තුවලට බඳවා ගන්නේ..

      • නැහැ විචාරක, බ්‍රිතාන්‍ය හමුදාවට බඳවගන්නේ නේපාලි ගුර්කාවරුන් පමණයි.. මේකත් මම අර උඩ කියපු සුගෝලි ගිවිසුමේ එක් වගන්තියක්, බ්‍රිතාන්‍ය හමුදාවට අවශ්‍ය සෙබළුන් සැපයීම.. 1800 ගනන්වල මේ සපයපු සෙබළුන්ගෙන් තමා බ්‍රිතාන්‍ය ගුර්කා රෙජිමේන්තු මුලින්ම පිහිටවන්නේ.. අදටත් ඒ‍ක‍ වෙනසක් වෙලා නැහැ..

        ඩාර්ජිලින්ග් තියෙන්නෙ ඉන්දියාවෙ නිසා ඒ ගුර්කාවරු සැලකෙන්නේ ඉන්දියානුවන් හැටියට, නේපාලි අය හැටියට නෙවෙයි.. මේ නිසා මෙයාලට තියෙන ඔප්ෂන් එක ඉන්දියානු හමුදාවට එක්වෙන එක තමා.. එහෙම නැත්තම් දේශසීමාව පැනලා ගිහින් නේපාලෙදි අයැදුම් කරන්න ඕන.. නමුත් ඇත්තටම වෙන්නෙ ඕකෙ අනිත් පැත්ත.. බ්‍රිතාන්‍ය හමුදාවට බැඳීමට තියෙන දැඩි ඉල්ලුම නිසා ඒකෙන් ප්‍රතික්ෂේප වෙන නේපාලි ගුර්කාවරු දේශසීමාව පැනලා ඇවිත් ඉන්දීය හමුදාවට එක්වෙනවා.. 🙂

      • ස්තූතියි බූරා.. අපොයි උන් ඒකත් දිනලද.. ? මම කොහෙදි හරි කියෙව්වනෙ බන් උන්ට ඕක දිනන්න බැරි වුනා කියලා.. නේපාලි කාරයෙක් ගහපු පම්පෝරියක්ද දන්නෑ එහෙනම් මට මතක..

  3. අපි කන කෑම හදන්න පිහි ගන්න කියපු කතාව වැදගත්. මෙහෙ දී පොල් ගෙඩියක් දෙබෑ කරගන්න මම ඔය පින්තූරයේ විදියේ ම මන්නයක් ගත්තා. කැපෙන පැත්තෙන් නෙමෙයි අනිත් පැත්තෙන් තමයි පොල් ගෙඩියට ගහන්නෙ කියලා සුදු අප්පුහාමිට කියලා දෙන්න ටික කාලයක් ගතවුනා!!!

    Swiss Army Knife එකක් නිතරම හෑන්ඩ් බෑගයේ … දවසක් සෙල්ලම් පිටියක දී චුවිම් ගම් කොණ්ඩෙ අලවාගත්ත ළමයෙකුගේ කොණ්ඩෙත් කැපුවා ඒකෙන්.

    • ඔහේ පොල් මිළ කොහොමද අරුණි. කොස් දෙල් එහෙමත් මෙහෙන් එවනවා නේද. ඉතින් හොඳ වප්පිහියකුයි, මන්නෙකුයි මෙහෙන් ගෙන්නගන්නකෝ. සුදු අප්පුහාමි මෙහේ කෑම උයන්න කන්න දෙකටම දක්ෂද. අර ළමයාගේ කොන්ඩේ කැපුවට පස්සේ ඒ කොන්ඩ මොස්තරේ දාගන්න තව ළමයි පස්සෙන් එන්න ඇති. 😀

  4. මුලින්ම කියවුනු විස්තරෙන් මම හිතුවේ මස් කපන පාඨමාලාවක් තියෙයි කියලා.. විහිළුවට එහෙම කිව්වට ඒ දැනුමත් හුඟක් වටිනවා.. මම දැකලා තියෙනවා බොහෝ අය මස් මාළු කපලා කොටලාමයි ගෙදර ගෙනයන්නෙ.. පිහි නැතිකමද කැපීමට නොදන්නා කමද මන්දා? ඒ වුනාට නියම විදිහට කපලා මස් කඩෙන් නම් මස් නොලැබේ…

    ස්විට්සර්ලන්ත(වැරදියි කියපු එක මට උච්චාරණය කරන්න බෑ) පිහිය තමයි මගේ දිව අග තිබුනෙ.. එතනදි අන්තිම රූපය නම් විහිළුවට හදපු එකක් නේද?.. ‘ඕනදෙයක් ඕනාවට වඩා ඕනෙ නෑ කියන්න හොඳ උදාහරණයක්’

    කුක්රි පිහියේ අර කට්ටා දෙක තියෙන්නේ මොකටද? ගුර්කා බල ඇණියක් කියන්නෙ ප්‍රධාන අවිය විදිහට පිහිය භාවිතා කරන කණ්ඩායමක්ද?

    ඒකෙන් මේකෙන් තව දෙයක් මතක් වුනා.. ‘නින්ජා’ වරුන් ගැන ලිපියක් ලියන්නකො…

    මම හමුදා පිහිය කියලා දැන හිටියේ දැලිපිහිය වගේ නමන්න දිගාරින්න පුළුවන් එකක්.. හමුදාවල ඉන්න අය ශිෂ්‍ය භටයින්ට එක එක දේවල් විකුණනවනෙ.. අන්න ඒ වෙලාවක දැකපු එකක්..

    ශ්‍රී ලංකා හමුදාවට පිහියක් ලබාදෙන්න තීරණය කර නැත්තේ ඇයි?

    අවසාන වශයෙන් ස්තුතියි.. විචාරක මහත්මයා පිහි වගේම කඩු ගැනත් දන්නවා ඇති.. 🙂 ඒවත් කියමු..

    ස්තුතියි!

    • නියම රාත්තල අනුව මස් මාළු කොහෙන්වත් නොලැබේ. එහෙනම් ඉතින් සුපිරිම සුපිරි වෙළඳ සලකට යන්න ඕනේ.

      ස්විස් පිහියේ රුපය විහිලුවට හදපු එකක් නොවේ. ජාලයේ බලන්න.

      කුක්රි පිහියේ කට්ට තියෙන්නේ මුඩි, පියන්, ආදිය ගැලවීමට.

      නින්ජා කියන්නේ හොඳ මදුරු දඟර වර්ගයකි 😀 😀 😀 කරුණු ලැබුනොත් ලියන්නම්.

      රන්ටඹේට එන ළමයින්ට නොයෙක් අනවශ්‍ය දේවල් විකුණන බිස්නස් එකක් යනවා කියලා මට වරක් ආරංචි වුනා.

      ශ්‍රී ලංකා යුද හමුදාවට පිහියක් අවශ්‍ය නැත.

      කඩු ගැන දන්නවා. I know Kadda very well. 😀 😀 ලියන්න පුළුවන් කරුණු හොයන්න ගියාම තමයි එපා එන්නේ. ලැබෙන්නේ කරුණු නෙවෙයි වෙළඳ දැන්වීම්.

  5. කියන්න වදන් නෑ… ජීවිතේ පළමු වතාවට තමයි සමහර පිහි වර්ග අද දැක්කෙ… මගේ ඉල්ලීම නිහතමානීව පිළිගෙන රම්බෝ පිහිය ගැන කරුණු ඉදිරිපත් කලාට ස්තූතියි විචාරක තුමා…. මම හිතාගෙන හිටියෙ ශ්‍රීලංකා යුධ හමුදාව රම්බෝ පිහි පාවිච්චි කරනවා කියලා… ඒ වගේම එහි මිට ඇතුලෙ ද්‍ර‍ව්‍ය ගබඩා කරලා තියෙනවා කියලා දැනගත්තෙත් අද… මේ නම පිටුපස රම්බෝ චිත්‍ර‍පටය තියෙනවා කියලා දැනගත්තෙත් අද… ඒ අර්ථයෙන් බලපුවාම බොහෝ අලුත් දේ පළමු වරට අද දැනගත්ත පෝස්ටුවක් නිසා මේ පෝස්ටුව ලිවීම සම්බන්ධයෙන් මගේ හෘදයාංගම කෘතඤතාව පළකරනවා….

    අර යූරි ගගාරින් යන වාහනයෙ තිබෙන අංකය කුමක්ද ? අද හමුදා වාහන වල ඇති යුහ අංක ක්‍ර‍මය ඊට පසු ඇති වූවක්ද ?

    • ඔබේ දැනුමට යමක් එක්වුණා නම් එය මට විශාල සතුටක්. එවිට මෙවැනි ලිපි ලිවීමේ වෙහෙස දුරු වන අතර තවත් ලිපි ලියන්න පෙළඹවීමකුත් ඇතිවෙනවා. බොහොම ස්තුතියි අදහස් දැක්වීම ගැන.

      ශ්‍රී ලංකාව 1972 දී ජනරජයක් වීමට කලින් අපි පාවිච්චි කලේ සම්පුර්ණයෙන්ම පාහේ බ්‍රිතාන්‍ය පාලන ක්‍රමයමනේ. ඒ කාලයේ යුද හමුදා වාහන වල අංකය යෙදුවේ ARMY = AY, නාවික හමුදාව NAVY = NY, ගුවන් හමුදාව AIR FORCE = AF, 1972 න් පස්සේ තමයි යුහ, නාහ, ගුවන්, යනුවෙන් අංක යෙදීම ආරම්භ කෙරුනේ.

      එක හමුදා කඳවුරකට අලුතෙන් ආව සොල්දාදුවෙකුට, සාජන් කෙනෙක් කිව්වලු, නාහ එන ඕනේ එකකට වෙඩි තියපන් කියලා. නාහ අංකයක් සහිත රථයක් ආවලු රාජකාරි වැඩකට. අර සොල්දාදුවා දිඩි දිඩි ගාලා වෙඩි තිබ්බලු 😀

  6. “තමන්ට නිළ වශයෙන් නිකුත් කර තිබෙන අවි හැර, වෙනත් අවි ආයුධ දරා සිටීම හෝ පාවිච්චි කිරීම, යුද හමුදා නීතිය මෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, ජාත්‍යන්තර මානුෂවාදී නීතිය යටතේ පනවා තිබෙන ප්‍රඥප්තීන්, බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක්.”

    මේ “No Easy Day” කියන පොතෙන් උපුටා ගැනීමක්. එහෙම බැලුවොත් මේක මානුෂීය නීති අමු අමුවේ කඩා දැමීමක්! 😛 මම පුද්ගලිකව නම් හිතන්නේ ඒක වැඩක් නැති නීතියක්. රටවල් දෙකක් අතර යුද්ධෙකදි නම් හොඳයි ඒත් LTTE, Al qaeda වගේ ත්‍රස්තවාදීන් එක්ක සටන් කරද්දි අනවශ්‍ය නීතියක්. මොකද උන්ට නීති පනවන්න කවුරුත් නෑනෙ. 😛

    “Of course, none of my guns were standard issue. We all had individual modifications on the trigger and grips. I know for a fact the armorers took great pride in taking care of the tools that took care of us. Without a doubt, DEVGRU had the best tools in the business.”

    “The armory was even better. Above the door was a sign: “You dream, we build.”

    ඔය පැත්තට කැමති අයට ඒ කොටසේ ඉතිරි ටික.

    “For a gun geek like me, it was heaven. I had them set up my two M4 assault rifles, one with a fourteen-inch barrel and one with a ten-inch barrel. I got an MP7 submachine gun and a collection of handguns, including the standard-issue Navy SEAL Sig Sauer P226. My primary weapon that I used daily was a suppressed Heckler & Koch (H&K) 416 with the ten-inch barrel and an EOTech optical red dot sight with a 3X magnifier. My H&K 416 with a fourteen-inch barrel I set up for long-range shooting. It was also suppressed, and on top I mounted a 2.5X10 Nightforce scope.

    I also set up my fourteen-inch H&K 416 with an infrared laser and a clip-on thermal sight that allowed for more precise night shooting. I didn’t use the gun much because my primary weapon, with the ten-inch barrel, worked for most missions, but it was nice to have a gun ready with a little more range if I needed it.

    I ran with a suppressed MP7 submachine gun on a few missions, but it lacked the knockdown power of my H&K 416. The submachine gun came in handy during ship boarding, in the jungle, or when weight, size, and the ability to stay extremely quiet were needed. Several times we shot fighters in one room with a suppressed MP7 and their comrades next door didn’t wake up. The H&K 416s didn’t compare to the MP7 when you were trying to be extremely quiet.

    Rounding out my guns were two pistols—the Sig Sauer P226 and an H&K 45C. Both were suppressor capable and I typically carried the 45. I also carried an M79 grenade launcher, which was called a pirate gun because it looked like a blunderbuss. Our armorers cut the barrel short and modified the stock into a pistol grip.”


    view-source:media.photobucket.com/image/recent/ea6bpilot/mark_owens_guns.jpg

    • එක් සොල්දාදුවකු යුද බිමේදී අවි කීපයක් ගෙනයාම වරදක් නොවේ. එම අවිය වඩාත් හොඳින් ක්‍රියාත්මක වීම සඳහා එහි වෙනස්කම් කිරීමත් වරදක් නොවේ. නමුත් යුද අවියක් යන සම්මතයට අනුකුල නොවන අවියක් පාවිච්චි කිරීමයි වැරදි. විස පෙවූ පිහි, ඊතල, වැනිදේ, රසායනික අවි, ජීව විද්‍යාත්මක අවි ඒ ගණයට වැටෙනවා. එමෙන්ම පතරොම් වලට විස පෙවීමේ තහනම් ක්‍රම තිබෙනවා.

      කොපමණ නීති තිබුනත් මානුෂීය බව තිබෙන්න ඕනේ අපේ හදවතේ. යුද්ධයේදී අපි අතට ලැබෙන බලය පාවිච්චි කිරීමේදී තමයි ඒ බලයේ තරම තේරෙන්නේ. එහිදී මානුෂක බව නැති කරගත්තොත් ජයග්‍රහණයට වඩා පරාජයකුයි ලබන්නේ. මම කියන්නේ අත්දැකීමෙන්මයි.

  7. අර බහුකාර්යය පිහිය දැක්කම ඔලුවත් එක්ක කැරකෙන්න ගත්තා වගේ.. 😀 රම්බෝ පිහියේත් මිට ඇතුලේ ඔච්චර දේවල් තියනවා කියල දැන ගත්තේ අදයි. අනෙක් විස්තරත් එලෙසම තමයි ඉතින්.
    බොහොම ස්තුතියි වටිනා තොරතුරු වලට.!

    • ඇගයීම ගැන බොහොම ස්තුතියි. මගේ ළඟ ඉස්සර තිබුණා රම්බෝ පිහියක්. මම ඒක තරුණ නිලධාරියකුට තෑගී දුන්නා. දැන් තිබුනානම් ගොන් දෙසපාලුවෙකුට දමලා අනින්න තිබුණා. 😀 ඇත්තටම මේ වගේ පිහියා හමුදා ප්‍රදර්ශන වල තියනවනම් බලා අතපත ගා අවබෝධයක් ලබාගත හැකියි.

  8. ඔබට ස්තූතියි.. දැන් පිහි ගැන හොඳ අවබෝධයක් තියනවා.. දැන් මටත් නිකන් පිහියක් ඉනේ ගහගන වැඩට යන්න හිතෙනවා .. 🙂

    ටෝගාගෙ පිහිය ගැන එහෙම මුකුත් දන්නවද ? ටාර්සන් ගොයියා ගාවත් පිහියක් තිබුනා කියලා මතකයි.

  9. සිරා පෝස්ට් එක සහෝ. ඉස්සර මගේ හොබී එකක් තමයි පිහි එකතු කරන එක!

  10. අපේ විචාරකතුමත් පුවත් මවන්නෙක්නෙ බලාගෙන යනකොට. මෙන්න පිහියේ තව ප්‍රයෝජනයක්. බ්ලොග් පෝස්ට් ලිවීම.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

  11. මං හිතුවා මේක මෙහෙම අවසන් වෙයි කියලා…. 😀 ඒ වගේම මට මාට්ටු උනා ඔය වගෙම දිවි රැකගැනීමේ “පෑනක් බලන්න

  12. ඔය ඔක්කොම පිහි පාවිච්චි කරන්ට පුලුවන් එක්කෙනෙක් හිටියානම් හරි. 🙂

    හැබැයි කෝකටත් දිවි රැකගැනීමේ පිහිය – Survival Knife ලඟ තියාගන්ට ඕනි. 😀

  13. සහෝදරයා සුපිරිම ලිපියක් නොදන්න බොහෝ දේවල් මම මෙතැනින් ඉගනගත්තා..

  14. නියම විස්තරයක්නෙ තියෙන්නෙ පිහි ගැන.
    අර උඩ තියෙන ජාතියෙ ස්විස් පිහියක්නං මා ගාවත් තියෙනව.

  15. කලින් වගේම පිහි ගැන නොදන්න දේවල් කීපයක්ම දැනගත්ත. මට නම් මස් මාළු කපන්න බෑ, එව්ව කන්නත් බෑ මට පිලී රහයි, (ඉඳල හිටල චිකන් විතරයි කෑවොත්) අපේ ගෙදර ඒ වැඩ කරන්නෙ අයියා. අර රම්බො පිහියෙ මිටේ තව ජාති තියෙන බව මම දැන්නේ දැනගත්තෙ.
    පිහියකට කැපුනම කරන්න පුළුවන් හොඳම ප්‍රථමාධාර කටයුතු ගැනත් ලිපියෙ අගට ලිව්වනම් හොඳයි වගේ නේද? ඒ ගැන අපිට වඩා හොඳ වැටහීමක් ඔබට ඇතැයි සිතනවා.

    • මුළුතැන්ගෙයි පිහියා ගාන හැටිත් (මුවහත් කරන හැටි) ලියන්න අමතක වුනා. ඔබ කිව්ව කාරණයත් එකතු කරලා, වෙනත් මාතෘකාවකට යා කරලා, ලියන්නම්.

      මමනම් හිතාගෙන හිටියේ සෑහෙන පිරිසක් ජීවිතේ එක් වතාවක් වත් රම්බෝ පිහියක් අතට අරන් බලලා ඇති කියලයි. අපේ රටේ පිහියා නීතිය නිසා ඒ අවස්ථාව අහිමි වෙනවා. ඒ ගැන කනගාටු වෙනවා.

      • විචාරක මහත්තය ඉතිං හමුදාවෙ ලොක්කෙක් නිසා කියයි. පිහි මොකද, බෝම්බ උනත් අල්ල බලන්න බැරියැ.
        ඔය පිහිවල හැඩ බල බල අතේ තියන් හිටපු කොල්ලො පොලෝසියෙ මාමිලට කියල නොමිලෙ ඇඟපත මසාජ් කරගතිපු කතන්දර නම් අහල තියේ. 😀 😀

        • අනෙක් රටවලට සාපේක්ෂව අපේ රටේ පිහියා ඇනුම් අඩුද මන්දා.

          පුදුම වැඩේ කියන්නේ 1988 – 89 කාලේ, හමුදා නිළ ඇඳුම් විකුණන කඩවල, මේ පිහියා එල්ලලා ප්‍රදර්ශනය කරමින් විකිණුවා.

  16. මහත්මයා, පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයන්ට කුඩා පිහියක් නිකුත් කරනවා.jack knife නම් වන මෙය සරල දුනු පිහියක්.බ්‍රිතාන්‍ය නිෂ්පාදනයක් වන මෙහි තලය ඉතාමත් තියුණු සහ ශක්තිමත් එකක්.

  17. ක්සැන්ඩර් | Xander said:

    මම බලාපොරොත්තු වුණා KA-BAR පිහි ගැන ටිකක් අහගන්න. 🙂 ඔබතුමා ඒ ගැන ලියයි හිතාන හිටියේ. මොකද කට්ටිය කියන්නේ ඒ ලෝකේ තියන හොඳම මිලිටරි පිහිය කියල නේ.

    කුකරි පිහිය ගැන නම් ටිකක් දැනුවත්. මොකද මෙහෙ නේපාල ජාතිකයෝ ඉන්නවා නේ

  18. මෙච්චර පිහි ජාති තියෙනවද ඇත්තටම ඈ 🙂

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

  19. Swiss Knife එකක අයිතිකාරයා වෙන එක ලංකාවේ සිනමා කාර්මීක ශිල්පින්ගේ එක හීනයක් , මට ඒ දවස්වල ඔය අසනීපය තදටම තිබුනා ,

    මට ටික දවසකින් නැදැකෙනෙකුගෙන් එව්වා එකක් ලැබුනා ,

    දවසක් අපි එකම වේලාවක හැක්සෝ බ්ලේඩ් එකකින් සහ මගේ ස්විස් නයිෆ් එකෙන් යකඩ කම්බි දෙකක් කැපුවා , හැක්සෝ බ්ලේඩ් එකට කලින් නයිෆ් එකෙන් යකඩය කැපුනා

    ටික දවසකින් අර නැදැයා මාත් එක්ක තරහාවෙලා අර ස්විස් නයිෆ් එක ආයෙත් ඉල්ලා ගත්තා

    මේ ලගදි ආයෙත් යාළුවෙලා ( මගේ උවමනාවට නෙමෙයි ) මම ඒ ගෙදරට ගියා

    හාමිනේව පාවිච්චි කරනවා වාගේ පරිස්සමට ආදරයෙන් මම පාවිච්චි කරපු ස්විස් නයිප් එක මිදුලේ පස් ගොඩක් උඩ තියනවා දැකලා ඇහැට කදුළු ආපු නැති ටික විතරයි

    • අනේ අටම්, මේ අදහස් ටික ලස්සණ පෝස්ට් එකක් කරන්න තිබුනනේ. දැනුත් ප්‍රමාද වැඩි නැහැ. අර පඳුරේ වහං වෙච්ච කුසුමාගේ කතාව වගේ ලියන්නකෝ.

      හොඳම ස්විස් පිහියක් ඩොලර් 900 – 1500 අතර වෙනවා බදු රහිත මිළ.

  20. ආව්ස් අප්පා….. අර පින්තූරෙ දාල තියෙන ස්විස් හමුදා පිහියක අයිතිකාරයෙක් වෙන්න තියෙනවනම්…..හැබෑට කොච්චර ආඩම්බරයක්ද..:)

  21. මේක නම් ලිපියට අදාල නෑ, හමුදාවට බඳවා ගැනීම ගැන ප්‍රශ්ණයක්.

    උපැස් පැළඳීම හමුදාවට බැඳීමට බාධාවක්ද? මම දැක්ක විදියට පොලිස්සියට නම් උපැස් පැළඳින අයව බඳව ගන්නේ නෑ.

    • සාමාන්‍යයෙන් උපැස් පළඳින අය ආධුනික නිලධාරියකු වශයෙන් හෝ ආධුනික සෙබළකු වශයෙන් බඳවාගන්නේ නැහැ.

      • එහෙම බඳවා නොගන්නේ විශේෂ හේතුවක් නිසාද?

        • හමුදා සේවයේදී ඇස් පෙනීමට හිමිවන්නේ අති විශේෂ වැදගත් කමක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ඉතින් කණ්ණාඩි පළඳින කෙනෙක් යුද බිමට යැව්වම හදිසියේ ඔහුගේ කණ්ණාඩි නැති වුනොත්, හානි වුනොත් ඇතිවන තත්වය කුමක්ද? ඒ නිසයි එහෙම බඳවා නොගන්නේ. නමුත් හමුදාවේ වෘත්තීන් සඳහා (ලිපිකරු,පරිගණක ක්‍රියාකරු,සැලසුම් ශිල්පී,වෛද්‍ය,ඉංජිනේරු,) කෙලින්ම බඳවා ගැනීමේදී නම් එය බලපාන්නේ නැහැ.

  22. අනේ ඇත්තට මේක අපේ මාමණ්ඩිට නම් අගේ ඇති ලිපිය.. අපිත් යන යන පාරට අලුත් පිහියා ගෙනෙවිත් දෙනවා. එත් ගෙදර හැමදාම මැල්ලුමක් කපන්න කැපෙන පිහියක් නැහැ.. හොඳට කැපෙන අලුත් පිහිය මොකක් උනත් මාමණ්ඩි කාරයා එකෙන් මල් ගස් අඹ ගස් වල ඇති කපලා පිහිය මොට්ට කරනවා.

    • දැන් තිබෙන මුළුතැන්ගෙයි පිහියා බහුකාර්ය නෙවෙයි කියන එක බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසයි තද මතුපිවල් වලට ඒ පිහි වලින් කොටලා පිහියට හානි සිදුකරන්නේ. තවමත් අපේ කම්මල් වල හදන පිහියා කෝකටත් ඔට්ටුයි.

      පවුනේ මාමන්ඩියානේ. කම්මලකින් හොඳ පිහියක් හදවලා දෙන්න 😀

  23. මම හිතුවේ පිහි සීරීස් එක තවත් දිගු වේවි කියලා. බොහෝ දේ දැනගත්තා, ස්තූතියි ඔබට!

    • තවත් ලියන්න නම් තිබුණා. මට හිතුනේ නීරස වෙයි කියලා. ඒ නිසයි කොටස් දෙකකට සීමා කලේ.

      • මං ගොඩක් කලෙක ඉදන් මේ සයිට් එක කියවනව අද තමයි පළවෙනියට comment එකක් දැම්මේ හොඳ සයිට් එකක්. හැකිතරම් post දාන්න

        විචාරක මහත්තයෝ රම්බෝ පිහි ලංකාවට ගෙන්න ගන්න පුලුවන්ද

        • ඔබේ අදහස් දැක්වීම ගැන ස්තුතිවන්ත වෙනවා.අදහස් දැක්වීම් වැඩිවූ තරමට ලිපි ලිවීමත් වැඩිවෙයි. මොකද මම සමහර ලිපි ලියන්න මාතෘකා හොයාගන්නෙත් මේ අඩවිය ගැන දැක්වෙන අදහස් වලින්මයි.

          රම්බෝ පිහියක් පෞද්ගලිකව නම් ලංකාවට ගෙන්වන්න ලැබෙන්නේ නැහැ. ආරක්ෂක හමුදාවක සාමාජිකයකුටවත් පෞද්ගලිකව ගෙනෙන්න බැහැ. ආරක්ෂක හමුදාවක ප්‍රයෝජනය සඳහා රාජ්‍ය මට්ටමෙන් පුලුවන්.
          (ඔබ, අපේ රටේ නීතියට යටත් නැති, ලොකු, අමන, දේශපාලුවකු හෝ එවැනි එකෙකුගේ ළඟම ඥාතියකු නම් පුළුවන් :D)

  24. ඉහත comment එකේ සිතේ නෙමේ site එකේ කියා නිවැරදි විය යුතුය .සමාවන්න!

  25. බාලදක්ෂ කටයුතු කරන කාලේ පිහිය ගැන වගේම පොරව ගැනත් උගන්වපු පාඩම් මතක් වුනා

  26. හ්ම්ම්ම් සෑහෙන්න ආසාවෙන් කියෙව්වා

  27. Jungle Survival වර්ගයේ පිහියක් සාමාන්‍ය සිවිල් වැසියෙකු ළඟ තබාගැනීම නීති විරෝධී ද? 2002 වසරේ මම ටික කලක් බාලදක්ෂ සමුහයේ සාමාජික වෙලා හිටියා. ඒ වෙනකොට “දිසා කොමසාරිස් රැහැන”(DC Cord) අපේක්ෂක senior බාලදක්ෂ අයියලා ළඟ මේ භාණ්ඩය තියෙනවා මම දැකලා තියෙනවා. ඔවුන් එය බඳ පටියේ එල්ලාගෙන හරිම උජාරුවෙන් ඇවිද්දා.

    ඒ වගේම මම හඳුනන පොලිස් බුද්ධි අංශ නිලධාරියෙක් ඉන්නවා. ඔහුට යම් යම් අවස්ථා වලදී මත්ද්‍රව්‍ය වලට සම්බන්ධව ඔහු විසින් අත්අඩංගුවට ගත් අයගෙන් හිරිහැර එල්ල වෙන්න ගියා. ඔහු රම්බෝ වර්ගයේ කුඩා තලය සහිත පිහියක් ළඟ තබාගෙන ඉන්නවා.

    අපිට ebay එකෙන් රම්බෝ වර්ගයේ පිහියක් ගෙන්වීමේදී ලංකාවේ නීතිය අනුව කුමක් වෙයිද? තැපෑලෙන් බදු හෝ වෙනත් නීතිමය ගැටළු වලට මුහුණ දෙන්න සිදු වේවිද?

      1. සාමාන්‍ය වැසියකුට Jungle Survival පිහියක් පෞද්ගලිකව ළඟ තබාගැනීමට අපේ රටේ තිබෙන නීති රීති වලින් ඉඩ ලැබෙන්නේ නැත. එය මාරක ආයුධයක් ලෙසයි සැලකෙන්නේ.
      2. අර පොලිස් නිලධාරියා කරන්නේද වැරැද්දකි. ඔහුට එවැනි පිහියක් පාවිච්චි කිරීමට අයිතියක් නැත.

      3. ebay එකෙන් ලංකාවට එවැනි පිහි එවන්නේදැයි නොදනිමි. නමුත් එවැනි පාර්සල් පරීක්ෂාකර එය ගෙන්වූ අය අත්අඩංගුවට ගැනීමට ඉඩ තිබෙනවා.

      පිළිතුරු දීමට ප්‍රමාදවීම ගැන සමාවන්න.

  28. ගොඩක් තොරතුරු දැනගත්තා, මම හිතුවේ ගුර්කාවරු කළු අප්‍රිකානුවන් කියායි.

  29. තරිඳු කුලතුංග said:

    සර් commando knife කියන්නෙ මොකක්ද එතකොට ? ඒක භාවිත කිරීමට අවසර අවියක් ද ? ඒ ගැන කියන්න පුලුවන් ද ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.