විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


   ‘අඟල් හයක් බස්සනවා’ කියන කියමන අපි තරුණ කාලේදී නම් නිතර අහන්න ලැබුණා. ඒ වචනය නිතර පාවිච්චි කලේ ගමේ මෙන්ම නගරයේද සිටි ගණන්කාරයෝ. එහි තේරුම වුනේ පිහියෙන් අනිනවා කියන එකයි. අදටත් ලොව දියුණු රටවල පවා, තුවක්කු පිස්තෝල වගේම, අපරාධ සඳහා යොදාගන්නා ආයුධයක් වන්නේ පිහියයි. අද කාලයේ, නිවෙස්වල ඇති මුළුතැන්ගෙයි පිහියාද, ඉතා භයානක ලෙස මිනිසෙකුට මරණීය තුවාල කිරීම සඳහා යොදාගත හැකියි. සමහර මුළුතැන්ගෙයි පිහිය, වෙළඳ සලකින් මිලදීගෙන යන අවස්ථාවකදී, එහි ලදුපත, එය ගෙන යන තැනැත්තා අතේ නැත්නම්, දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ අත්අඩංගුවට ගැනීමට පවා, පොලීසියට බලය තිබෙනවා. පිහිය මාරාන්තික අවියක් බවට පත්වුණේ අද ඊයේ නෙවෙයි. පිහිය ආයුධයක් ද උපකරණයක් ද යන්න තීරණය වන්නේ යොදාගන්නා ආකාරය සහ අවස්ථාව අනුවයි. පිහිය විතරක් නෙවෙයි වෙනත් උපකරණ වුනත් ආයුධයක් ලෙස (අත පය වුනත්) යොදා ගන්න පුළුවන්නේ. අද කතා කරන්නේ ඇතුවත් බැරි, නැතුවත් බැරි, පිහිය ගැනයි.

 

  පිහිය සම්බන්ධ කියමන් ලෝකයේ බොහෝ සංස්කෘතීන්හි අසන්නට ලැබෙනවා. අපේ දේශීය සංස්කෘතියේත් තියනවා නේද? ‘පිහිය රත්තරන් කියලා ඇණගන්නයැ’ කියලා. ඇත්තටම එයින් අදහස් කරන්නේ යම් කිසිවකු, උසස් පුද්ගලයකු යයි පිළිගැනීම මත, ඔහුගේ අකටයුතු ඉවසිය නොහැකි බවයි. ගෙදරදොර එදිනෙදා කටයුතු වලදී හෝ විනෝදය සඳහා ගස්කොලන් වලට කොටන්නට යාමෙන් හෝ පිහියකින් සුළු තුවාලයක් වත් කර නොගත් කෙනෙක් නැති තරම්. ඒ තරමට බහුලව පිහිය සමාජය තුළ භාවිතයේ පවතිනවා. පිහිය සම්බන්ධ තවත් කියමන් කීපයක් පහත දක්වනවා. හැබැයි මේ කියමන් වල යටි පෙළ අරුත සොයාගැනීම ඔබට බාරයි.

  • පිහිය කොමඩු ගෙඩිය උඩට වැටුනත් එකයි. කොමඩු ගෙඩිය පිහිය උඩට වැටුනත් එකයි. (අප්‍රිකානු කියමනක්)
  • ඔබේ දිය බඳුන මුවවිට තෙක් පිරෙව්වොත් උතුරා යයි. ඔබේ පිහිය නිතර මුවහත් කලොත් එය ගෙවීයයි. (දාර්ශනික ලාඔත් ට්සු)
  • නරක පිහියකින් කැපෙන්නේ කෝටුව නොව කපන්නාගේ ඇඟිල්ලයි. (පෘතුගීසි කියමනක්)
  • පිහියට තමන්ගේම මිට කපා දැමීමට නොහැකිය (කොරියානු කියමනක්)
  • පුහුල් ගෙඩියක හදවත තුල සිදුවන්නේ කුමක්ද යන්න දන්නේ පිහිය පමණි. (සයිමන් ශ්වාර්ස්)
  • සෙමෙන් ඔබේ පිටට තට්ටු කරන්නන්ගෙන් පරෙස්සම් වෙන්න. ඔවුන් ඒ සොයන්නේ පිහියක් සිටවීම සඳහා ඔබේ පිටේ සුදුසු තැනක් විය හැකියි.

 

  මේ වගේ තවත් කියමන් ඔබ දන්නවා ඇති. ඔබේ අදහස් සමග ඒ කියමන් ඉදිරිපත් කරනු ඇතැයි සිතනවා.

  අපේ සංස්කෘතියේත් ලෝක සංස්කෘතියේත් විවිධ කාර්යයන් සඳහා විවිධ පිහියා තියනවා. අපිට මතක තියන ඒවා නම් කලොත්,

  • මේස පිහිය
  • වප්පිහිය (වක්‍+පිහිය = වප්පිහිය)
  • කප්පාදු පිහිය
  • දැලි පිහිය
  • මාළු පිහිය
  • වාං කැත්ත
  • දෑකැත්ත
  • කිරි පිහිය
  • මන්නය (මන්න පිහිය)
  • කැත්ත
  • කුරුඳු කැත්ත
  • පොල් කෙක්ක (පිහිය)
  • දැලි පිහිය
  • උල් පිහිය (කිරිච්චිය)
  • බද්ධ පිහිය
  • දුනු පිහිය

  මෙහි මට අමතක වූ පිහිය වර්ග ඔබ මතක් කර දෙනු ඇතැයි සිතනවා.

  නවීන තාක්ෂණයෙන් අපිට ලබාදී තිබෙන පිහිය රාශියක් ද තිබෙනවා. වර්තමානයේ මුළුතැන්ගෙයක තිබෙන පිහිය වර්ග අප මවිතයට පත කරන තරම්. ඉස්සරනම් කුස්සියේ තිබුනේ මේස පිහිය වප්පිහිය මාන්නය වැනි සීමාසහිත පිහිය කීපයක් පමණයි. මිනිසාගේ ආහාර රටාවන් වෙනස්වීම, ආහාර සැකසීමේ ක්‍රම වෙනස්වීම නිසා කපන කොටන උපකරණ රාශියක් මුළුතැන්ගෙයට එකතු වුනා.

  පාන් කැපීමට ගන්නා පිහිය නවීන තාක්ෂණයෙන් අපට ලබාදුන් පිහියක්. මේ පිහියේ තිබෙන දැති සහිත තලය නිසා තරමක් පරණ පාන් හෝ අලුත්ම පාන් වුනත් නොතැලී, නොකැඩී, කපාගන්නට පුළුවන්. අපේ ගෙදරට 1990 දී මිලදීගත්, ස්වීඩනයේ නිෂ්පාදිත, පාන් කපන පිහිය, අදටත් ඉතා හොඳින් කැපෙනවා. එය මෙතෙක් මුවහත් තබා නැහැ. (එහෙනම් ඒක පාවිච්චි කරන්නේ නැතුව ඇති :P)

  සමහර පිහිය වර්ග අප පාවිච්චි කරන්නේ විශේෂ කාර්යයන් සඳහායි. එම පිහියෙන් ඒ විශේෂ කාර්යය හැර වෙනත් කිසිවක් කරන්නට ගියොත් එක්කෝ පිහියට හානි වෙනවා. නැත්නම් පිහිය පාවිච්චි කරන්නට තුවාල වෙනවා. එහෙමත් නැත්නම් කරන්නට ගිය කාර්යය විකෘති හෝ අවුල් වෙනවා.  උදාහරණ කීපයක් සලකා බලමු.

  ශල්‍ය පිහිය:-  

   මේ පිහිය තියෙන්නේ ශල්‍යකර්ම සඳහා පමණයි. එයින් එළවලු කැටයම් කරන්න බැහැ. 😀 ඒ පිහිය පාවිච්චි කරන ආකාරය දන්නෙත් ශල්‍ය වෛද්‍ය වරු පමණයි.

 

කිරි පිහිය:-

  සමහරු නම් මේ පිහිය දැකලත් නැතුව ඇති. මෙයින් කරන්නේ රබර් ගසෙන් කිරි ගැනීම සඳහා රබර් ගසේ පොත්තේ කැපුම් දැමීමයි.  කිරි පිහිය පාවිච්චි කරන්න දන්නෙත් රබර් කිරි කපන අය විතරයි. මේ සමග ඇති පින්තුරයෙන් පෙන්වන්නේ අපේ රටේ පාවිච්චි කරන සාම්ප්‍රදායික කිරි පිහියයි. මීට වඩා වෙනස් හැඩ වල කිරි පිහියා දැන් භාවිත කරනවා.

  වාං කැත්ත:-

   තලය සාමාන්‍ය කැත්තක තලයට වඩා පළලයි. මෙය පාවිච්චි කරන්නේ කැලය කපා එළි පෙහෙළි කිරීමටයි. දිග මිටක් සහ ශක්තිමත් තලයක් තිබෙනවා. මෙහි දැක්වෙන පින්තුරයේ නම් තිබෙන්නේ මිට කොට කැත්තක්.

 

කුරුඳු කැත්ත:-

   මෙය විශේෂයෙන් දකින්නට ලැබෙන්නේ අපේ රටේ දකුණු පළාතේ කුරුඳු වගා කරන ප්‍රදේශ වලයි. කුරුඳු කර්මාන්තය ආශ්‍රිතව සකසාකත් පිහියා වර්ග කීපයක් තිබෙනවා. කුරුඳු කැත්තක පින්තුරයක් සොයා ගැනීමත් අපහසුයි. සොයාගත් පින්තුර පහත දක්වනවා.  

 

 

පොල් කෙක්ක:-

   කෙක්කෙන් පොල් කැඩීම බහුල වශයෙන් සිදුවන්නේ වයඹ පළාතේ බවයි මම දන්නේ. මා වැරදිනම් නිවැරදි කරන්න. පොල් කෙක්ක පාවිච්චි කරන්නෙත් පොල් කැඩීමට විතරයිනේ. අනික එච්චර උස කෙක්කක් වෙනත් කටයුත්තකට අවශ්යවන්නෙත් නැහැ. පොල් කෙක්කක පින්තුරයක් සෙවීමට උත්සාහ කලත් එය සාර්ථක වුනේ නැහැ.

  කප්පාදු පිහිය:-

  කප්පාදු පිහියත් විශේෂ පිහියක්. අපේ රටේ පාවිච්චිකරන කප්පාදු පිහිය වප්පිහියේම විකාශයක් කිව හැකියි. පොදුවේ පාවිච්චි කළහැකි කප්පාදු පිහියකුයි පහත පින්තුරයේ දැක්වෙන්නේ.

  බද්ධ පිහිය:-

  කෘෂිකාර්මික කටයුතු වලදී භාවිත වන පිහියක් තමයි බද්ධ පිහිය. ශාක බද්ධ කටයුතු වලදී අවශ්‍ය කැපුම් සඳහාත්, ශාක වලින් පොතු ගලවා ගැනීම සඳහාත්, බද්ධ පිහිය භාවිත කරනවා. බද්ධ පිහිය විවිධ හැඩ වලින් තිබෙන අතර, මෙහි දැක්වෙන්නේ, පොදු බද්ධ පිහියක පින්තුරයකුයි.

 

  දුනු පිහිය:-

  අපි කුඩා කාලයේ අපේ වැඩිහිටියන් අත බොහෝවිට දුනු පිහිය දකින්නට ලැබුනා. ඔවුන් දුනු පිහියෙන් ගත් ප්‍රධානම ප්‍රයෝජනය වුනේ බුලත්විට කෑම සඳහා පුවක් කපා ගැනීමයි. දුණු පිහියේ තලය අංශක 90 කෝණයකට නවා, එහි මිට තුලට යැවිය හැකියි. අවශ්‍ය විට, එහි තලයේ ඇති කුඩා කට්ටය, මහපට ඇඟිල්ලේ නියපොත්තෙන් ඇද, දිග හැරිය හැකියි. ලී කැබැල්ලක්, කෝටුවක්, කපා ගැනීමටත් දුනු පිහිය සුදුසුයි. ඒ වගේම දුනු පිහිය මාරාන්තික ආයුධයක්. දුනු පිහි වර්ග දෙකක් තිබෙනවා. අතින් දිග හැරිය යුතු දුනු පිහි සහ බොත්තමක් එබූ විට, පිහිතලය, දුන්නක ආධාරයෙන්, ස්වයංක්‍රීයව එලියට එන දුනු පිහි, ඒ දෙවර්ගයයි.

       

 

  කිරිච්චිය:-

  අපේ පැරණි සංස්කෘතිය තුළ නිතර භාවිත වුන ආයුධයක් තමයි කිරිච්චිය හෙවත් උල් පිහිය. කම්මලක හදන සාමාන්‍ය උල් පිහිය සාමාන්‍ය මිනිහාගේ ආයුධයක් වූ අතර, විවිධ අලංකරණය කිරීම් සහිතව සමහර විට රන් රිදී වැනි වටිනා ලෝහ ද එකතුකර සාදනලද කිරිච්චි, රාජකීය සහ රදල පැලැන්තියේ ආයුධයක් ලෙස මෙන්ම, අධිකාරි බලයේ සංකේතයක් ලෙස ද භාවිත වුනා.

 

දැලි පිහිය:-

  දැලි පිහිය ගැනනම් ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. අදනම් දැලි පිහිය අභාවයට ගිගින්.  සමහර බාබර් සාප්පු වල කොණ්ඩය කැපීමේදී පාවිච්චි කරන්නේ නියම දැලි පිහිය නෙවෙයි. රේසර් තලයක් දෙකට කඩා, සවිකළ හැකි පිහියක්. අපි කුඩා කාලේදී බාබර් සාප්පු වල තිබුනා නියම දැලි පිහිය. ඒ වගේම ගෙවල් වල සහ පන්සල් වලත් තිබුණා. ඒ කාලේ මිනිස්සු මෝඩ නිසා, බය නැතුව බාබර් සාප්පුවේදී, එකම දැලි පිහියෙන් කොණ්ඩය රැවුල කැපුවා, හැම දෙනාගේම. ඒ මෝඩ මිනිස්සු සදාචාරවත් මිනිස්සු නිසා, ඒඩ්ස් වගේ රෝග හදාගත්තෙත් නැහැ. දැලි පිහිය නිසා ඒවා පැතිරුනෙත් නැහැ. කාලයක් ගැට කපන්නන්ගේ සහ පාතාලයන්ගේ ආයුධය වුනේ දැලි පිහියයි. අද ඊට වඩා දියුණු ආයුධ තියනවා නොවැ. ඉතින් මොකටද දැලිපිහි.

 

පිහියක මුලික කොටස් මොනවද?

  ඔබ කියයි, ‘පිහියක මොන කොටස්ද? තලය සහ මිට තමයි පිහියක කොටස්’ කියලා. නමුත් සමහර පිහියා ටිකක් සංකීර්ණයි. ඒ වගේ පිහියා වල කොටස් රාශියක් තියනවා. අද කාලයේ පාවිච්චි කරන සාමාන්‍ය මුළුතැන්ගෙයි පිහියක් අරගෙන බලමුද කොටස් කොපමණ තිබෙනවාද කියා. සමහරවිට ඔබ පුදුම වෙයි. මෙන්න බලන්න.

    ඔබ කිව්වා වගේම මෙහි ප්‍රධාන වශයෙන් තිබෙන්නේ තලය සහ මිට තමයි. නමුත් බලන්න, සමහරවිට අපි මෙතෙක් නොදන්නා කොටස් කීයක්,‌ පිහියක තිබෙනවාද කියා. ඒවා පහත නම් කරනවා.

  • A – Point – තුඩ – යමක් සිදුරු කිරීම සඳහා යොදාගන්නා, පිහි තලයේ කෙළවර.
  • B – Tip – උල – සාමාන්‍යයෙන් පිහි තලයේ දිගෙන් 1/3 ක් පමණ වන අග කොටස. වක්‍ර හැඩයේ කැපීම් සඳහා භාවිත කෙරෙයි.
  • C – Edge – කැපුම් තලය. තුඩෙහි සිට, මෙහි පහත, ‘හීල් Heel’ යනුවෙන් දැක්වෙන කොටස දක්වා ඇති දාරය.
  • D – Heel – තලයේ පසුපස කොටස. තලය මත දැඩි බර යොදවා කපන විට, ප්‍රධාන වශයෙන් බලය යෙදවෙන්නේ මේ කොටස මත ය.
  • E – Spine – පිහියේ පිට (කොන්ද) තලයේ ඝනකමින් වැඩි දාරය. තලයේ ශක්තිමත් බව රඳවා ගැනීමට ආධාර වන අතර, බර යොදා කපන විට, තලයේ ආරක්ෂාව තහවුරු කරයි.
  • F – Bolster – බෝල්ස්ටර් – (ගැලපෙන සිංහල වචනයක් ලැබුනේ නැත) පිහි තලය, පිහි මිටට තදින් ශක්තිමත්ව සවිවීම සඳහා, ඝනකමට සාදා තිබෙන, සම්බන්ධකය.
  • G – Finger Guard – ඇඟිලි ආරක්ෂක වක්‍රය. මේ වක්‍රය බාධකයක් ලෙස ක්‍රියා කරන බැවින්, කපන්නාගේ ඇඟිලි පිහි තලය වෙත ලිස්සා යාම වැළකෙයි.
  • H – Return – රිටන් – (ගැලපෙන සිංහල වචනයක් ලැබුනේ නැත) හීල් කොටස සහ බෝල්ස්ටර් කොටස එකට සම්බන්ධ වන ස්ථානය.
  • J –  Tang – ටැංග් – (ගැලපෙන සිංහල වචනයක් ලැබුනේ නැත) පිහියේ මිට තුළට කවා ඇති, පිහි තලයේ පසුපස කෙළවර.
  • K – Scales – ස්කේල්ස් – ටැංග් එකට දෙපැත්තෙන් සවිකර ඇති, (ලී, ප්ලාස්ටික්, හෝ එවැනි ද්‍රව්‍යයකින් සාදා ඇති) පිහි මිටේ පළු දෙක.
  • L – Rivets – ස්කේල්ස් දෙක, ටැංග් එකට සවි කිරීම සඳහා යොදා ඇති, රිවට් ඇණ.
  • M – Handle Guard – වාරුව – පිහිය අල්ලාගෙන සිටිනවිට අතින් ලිස්සායාම වළකින්නේ මිටෙහි පසුපස කොටසේ ඇති මේ වක්‍ර කොටස නිසාය.
  • N – Butt – බට් – පිහි මිටෙහි අවසන් කෙළවර.

  (මෙම සටහනේ I අකුර යොදා නැත්තේ අයි අකුර පින්තුරය තුළ පැහැදිලිව නොපෙණීමට ඉඩ ඇති නිසාය)     දැන් මොකද හිතෙන්නේ. අපි හිතනවාට වඩා දේවල්, අපි එදිනෙදා පාවිච්චියට ගන්නා පිහියේ තිබෙනවා නේද? පිහියේ කතාව මෙතනින් ඉවර නැහැ. තවත් පිහියා වර්ග සහ ඒවා සම්බන්ධ තාක්ෂණික තොරතුරු රැසක් ඊළඟ කොටසේදී කියන්නම්.

Advertisements

Comments on: "ඒයි…. වැඩිය කතාවට ආවොත් බස්සනවා අඟල් හයක් – (පළමුවැනි කොටස) – One and All, The knife (Part One)" (76)

  1. ඉගෙන ගන්නවනම් මොනතරම් දේවල් තියනවද…?

  2. කිරිච්චිය සහ ශල්‍ය පිහිය හැර අනිත්වා පාවිච්චි කරලා තියෙනවා.. හැබැයි ගමේදි..තේ පොල්, රබර්, කුරුඳු කොස්….ඕනිතරම් එහේ තිබ්බානෙ..මෙහෙදි නම් ඉතින් ඔය බටර් උලන පිහියයි, එළවළු කපන පිහියයි විතරයි..

    • ඉතින් අත්හදා බලන්නත් එක්ක කිරිච්චියයි ශල්‍ය පිහියයි පාවිච්චි කරලා බලන්නකෝ. 😀 😀 😀

      මමත් ඔබ වගේම, ගම්බද සුන්දර ළමා වියේදී, උදලු, පොරෝ, කැති, පිහියා, පාවිච්චි කළා.

  3. බැලූ බැල්මට සරළයි කියලා හිතෙන ඒවා කොච්චර සංකීර්ණද ? විචාරක මහත්මයත් දන්න දේවල්..

    “කියත” පිහියක් හැටියට සලකන්ඩ බැරිද ?

    වැඩි කතා/පුරස්න නෑ ඕන්, ආයෙ අගල් හයක් බස්සෝ ගන්නෙ මොකටෙයි 🙂

    • ගෙවතු වගා කටයුතු වලදී පාවිච්චි කරණ, අඟල් 12 ක් විතර දිග, පිහියක මිටක් වගේ මිටක් තියන, පුංචි කියතක් තියනවා. අතු රිකිලි කපාගන්න පාවිච්චි කරණ. එක අතකට ඒකත් පිහියක් තමයි.

      යුද්ධයෙදීවත් මම අඟල් හයක් බස්සවලා නැහැ. දැන්නම් එහෙම දෙයක් කරන්න කෝපය ටොන් 100 ක් විතර මගේ මනසට කවන්න වෙයි කාට හරි. 😀

  4. තවත් විශිෂ්ට සටහනක ආරම්භය…
    ඔබ බොහො මහන්සිවෙන හැඩයි අපට ඉත හරවත් ලිපියක් ඉදිරිපත් කිරීමට,
    එයට අපගේ ප්‍රණාමය

    අපේ පැත්තේ (කොත්මලේ- කිතුල් පැණි වලට ප්‍රසිද්ධයිනේ) කිතුල් මැදීමට ගන්නා පිහිය හදුන්වන්නේ ” කිතුල් පිහිය” නමින්. ඒක දැලි පිහිය තරම් තියුණුයි, ඒ වගේම මුවහත තියා ගන්න හැමදාම මුවහත් තියනවා )

    • ස්තුතියි අගය කිරීම පිළිබඳව. මහන්සිවී කරුණු සොයාගෙන ලියන ලිපියක් තමා බොහෝවිට සාර්ථක වෙන්නේ.

      මට අමතක වුන පිහියක් ඔබ මතක් කරලා තිබෙනවා. අපේ පැත්තේ, (සබරගමුව පළාතේ) කිතුල් මදින අය පාවිච්චි කරන පිහියට කියන්නේ, ‘මල් කපන පිහිය’ කියලා. හැකිනම් පින්තුරයක් දාන්න. සමහරු ඒ පිහිය බලන්නවත් දෙන්නේ නෑ. යම් යම් ඇදහිලි හා විශ්වාස නිසා.

      • කිතුල් මන්නය කියලත් කියනවා. එකේ තලය මිටට සවිවන තැන මුල තියන කට්ටයට ඇගිල්ල තියාගෙන ඕනි කපන්න. නැත්නම් කරකැවිල ඇවිත් ඇඟිලි ටික කැපෙනවා.. එහෙම නේද විචාරක තුමා..?

        • මම ‘කිතුල් නිෂ්පාදන’ පාවිච්චි කරලා තියනවා. 😀 අදටත් ඉඳ හිට ලැබෙනවා. නමුත් ඔය පිහිය ගැනනම් දන්නේ නැහැ. දන්නා එකමදේ එහෙම පිහියක් තියනවා කියන එක විතරයි.

      • //කිතුල් නිෂ්පාදන//
        😀 😀

    • ඔවු, අපිත් “මල් පිහිය”, “මල් කපන පිහිය” කියල කියනවා. දැන් ගමෙන් පිට ඉන්න නිසා පින්තූර කෑල්ලක් දාන්නනම් වෙන්නේ නැහැ, ඒ පිහිය වක් පිහිය වගෙ. එච්චර් තලය පළල නෑ, එච්චර වක් ඇත්තෙත් නෑ.
      විචාරක තුමා කියනවා වගේ ඒ සම්බන්ධ ඇදැහිලිත් තියනවා.
      මට මතකයි අපේ ලොකු අප්පච්චී හැමදාම මල් මදින්න යන්න කලින් දිග ලීයකට ගල් කුඩු දාල මදිනවා.
      තවත් විශේෂ දෙයක් තමයි මේ “මල් පිහියට” එයටම විශේෂිත ලී වලින් හැදුව කොපුවක් තියනවා. මොකද කිතුල් ගහට නගිද්දි මේ පිහිය කොපුව තුලට දාල ඉනේ ගහන් නගින්නේ.

      • ඕව් මට මතකයි ඒ කාලේ පිහියා මුවත් තියන්නේ උදලු මිටක් තරම් මහත ලීයකට ගල්කුඩු දමා පිහිය එහි මැදීමන්. ඒ කාලේ වැඩිහිටියන් අත තිබුණා වප්පිහියේ හැඩයට ආසන්න හැඩයකින් යුතු අඟල් හතරක පමණ තලයකින් යුතු පිහියක්. එය කොලපත් කැබැල්ලක ඔතා ඉනේ ගහගෙනයි හිටියේ. එය ඔවුන්ට බහුකාර්ය පිහියක් ලෙස ප්‍රයෝජනවත් වුනා. බොහොම ස්තුතියි ලබාදුන් තොරතුරු වලට.

  5. දිග අඟල් දෙකහමාරකට අඩු පිහි ගෙනයාමට තනමක් නැහැ නේද? මට මතකයි එහෙම මොකක් හරි නීතියක් තියෙනවා වගේ! අපිට ඕනකරන ඒවා ඉස්සරහා සටහන් වල ඇති නේද!

    • මමත් හිතන්නේ එවැනි පොඩි පිහියා ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් ලහිරු බබාලා ගෙනියන්න හදන්නේ රම්බෝ පිහියානේ. 😀 ඒවා ගැනත් ඉදිරි ලිපියෙන් කියනවා.

  6. ක්සැන්ඩර් | Xander said:

    ඔය තියෙන්නේ. මේ වගේ දේවල් පිහියක තියනවා කියන්න මම නම් දැනගෙන හිටියේ නෑ. වටිනා ලිපියක් ඒ එක්කම මේකෙන් දැනුමක් ලැබුනා දේවල් කීපයක් ගැනම.

  7. හොදින් දන්න ගොඩක් දේ වලට අදාළ අපි නොදන්නා දේ තියෙනවා කියන එකට මේ හොඳ උදාහරණයක්…

    WTC ප්‍රහාරයට කඩදාසි කපන භාවිතා කරපු බවක් අහල තියෙනවා.. පිහියකින් ගොඩක් ලොකු දේ කරන්න පුළුවන්.. 😀

    • ඕව්, ලෝක වෙළඳ මධ්‍යස්ථාන ප්‍රහාරයට කඩදාසි කපන පිහියා අරගෙන ගියේ විද්‍යුත් පරීක්ෂණ දොරටු වලින් අහු නොවී යන්නයි.
      සමහර පිහියා වලින් කරන්න බැරි එකමදේ කපන එකයි 😀

  8. මට මතකයි අපේ ගෙදර තිබුනා කුරහන් කපන්න ගන්න පිහියකුත්. තව කැත්තක් තියනවා. අපි කියන්නේ වා කැත්ත කියල. පිහියකට දිග මිටක් ගහල වගේ හැටි.බර නෑ. යොදා කුඩා ලඳු එළිපෙහෙළි කරන්න. තලය කප්පාදු පිහි තලයේ හැඩයට සමානයි. තේ දළු නෙලන අයත් කුඩා ප්‍රමාණයේ වක් පිහියක් භාවිතා කරනවා නේද ..
    අර කියමන් ටික අපුරුයි..!

    • අනේ පුලුවන්නම් ඒ කුරහන් කැත්තේ පින්තුරයක් දාන්නකෝ අපිටත් බලාගන්න. තේ ගස් කප්පාදු කරන්නෙත් කප්පාදු පිහියකින්.

      • විචාරක තුමා, ඒක දැනට තියනවද කියන්න බෑ . හොයල බලල තිබුනොත් දාන්නම්. කොහොමද දාන්නේ..? මෙතනට පින්තුර කමෙන්ට් දාන්න පුළුවන් ද..?

      • හොයා ගත්තොත් අර කිතුල් මන්නයේ ෆොටෝ එකකුයි කුරහන් පිහියේ ෆොටෝ එකකුයි මොකක් හරි කරලා මෙතනට දාන්නම් කෝ.

  9. තුවක්කුවෙන් පිහියට බැහැල වගේ.හොඳයි හොඳයි දිගටම ලියන්න ජයවේවා

  10. පිහි ගැන මෙච්චර විස්තරයක් මේ ඇහුවමයි.

    පිහිය ආයුධයක් හැටියට පාවිච්චියෙදි නම් මම හිතනව දෙකෙන්ම ප්‍රතිඵලය එක වුනත්, තුවක්කුවකින් වෙඩි තියල මරන එක හොඳයි කියල මන්නා පිහිවලින් කපල මරනවට වඩා. ඒක හරි මිලේච්ඡයිනේ. මන්නා පිහිවලින් කපල මරනව කිව්වම මට මතක්වෙන්නෙම ඉස්සර පත්තරවල තිබුණ ත්‍රස්තවාදීන් ගම් පිටින් කැති ගාපු සිද්ධි ගැන විස්තර, මම හිතන්නෙ ඒ දවස්වල උන්ගෙ ලාභදායී ජනප්‍රිය ක්‍රමයක් ඒක. (ඒ දවස්වල ලේ බේරෙන පිහි අතේ තිබුණු උන් දැන් ක්ලීන් සූට් ටයි කෝට් දාගෙන ලොකු පුටුවල ඉන්නෙ, ඒ භීෂණයට ගොදුරු වෙච්ච මිනිස්සුන්ගෙ ඥාතීන්ට මොනව හිතෙනව ඇද්ද මන්ද, අපිටත් මෙහෙම හිතෙද්දි)

    • පිහිය ගැන ලියන්න හිතුවේ කාලෙකට ඉස්සර. නමුත් කරුණු හොයාගෙන යද්දී සප්ත මහා සාගරේ වගේ කරුණු තියනවා. ඒ නිසයි තවත් කොටසකට යන්න හිතුවේ.

      කඩු, පිහි, වගේ ආයුධ වලින් කපලා මිනිසුන් මරලා දැම්මම, එය දකින අයගේ සිතේ ඇතිවන භීතිය අපමණයි. එවිට මිනිස්සු ගම් බිම් අතහැර පලා යනවා. අර මස් වැද්දන්ට ඕන වුනේ ඒකයි. හැබැයි ටයි කෝට් නෙවෙයි රජ ඇඳුම් ඇන්දත් ඔය මස් වැද්දන්ට කළකම් පල දෙනවා.

  11. මම මෑතකදී බැලුවා සෙරමික් පිහි හදන විදිය ගැන වැඩසටහනක්.. ඒ කියන විදියට නම් වර්ථමානයේ භාවිතවන තියුණුම පිහි ජාතිය ඒකයි.. ජපානයේ මේ පිහි හදන ප්‍රවීනයන් ආදි කාලයේ සමුරායි කඩු හදපු අයගේ පරම්පරාවල උදවිය බවයි ඒකෙ කිවුවේ..

    තුවක්කුවෙන් පිහියට බැස්ස එක හොඳයි.. හීන් නූලෙන් ගේම දෙන්න පුලුවන්.. 🙂

    • Zerconium Oxide මූලද්‍රව්‍ය වශයෙන් යොදාගෙන හදන Ceramic Zercornia පිහිය ගැන ඊළඟ කොටසේදී කියන්නම්.

      දැන් තුවක්කු නිහඬ වෙලානේ. රම්බෝ වගේ පිහියෙන් වැඩේ දෙනවා. හොඳයි නේද? 😀

  12. හහ් හා….. මේ තියෙන්නෙ අලුත් පාඩමක්. මම දන්නවා මේ මොකාටද එන්නේ කියලා

  13. පොල් කඩන කෙක්කට බඳින පිහියට අපි කියන්නෙ වා තලේ.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

  14. පෝස්ටුව නම් හරිම වෘත්තීමය විදිහට ලියලා තියෙනවා.. ඇත්තට යමක් ගැන දැනගන්න නොහිතන කරුණු කොපමණ තියෙනවාද?

    “වෙළඳ සලකින් මිලදීගෙන යන අවස්ථාවකදී, එහි ලදුපත, එය ගෙන යන තැනැත්තා අතේ නැත්නම්, දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ අත්අඩංගුවට ගැනීමට පවා, පොලීසියට බලය තිබෙනවා.” ඒ කියන්නෙ වැඩකට පාරෙ ගෙනියන්නත් බෑනෙ..

    “පිහිය රත්තරන් කියලා ඇණගන්නයැ” ඒ උනාට ඔය කස්ටිය ඇණ ගන්නෙ..

    “අදටත් ඉතා හොඳින් කැපෙනවා.” මම හිතන්නෙ පාන් කනවා අඩු ඇති.. 🙂

    අර නියපොතු කපන කටර් එක වගේ හැටහුටාමාරක් ගැජට්කෑලි දිග අරින්න පුලුවන් උපකරණය මොකක්ද? දිව අග තියෙනවා එන්නෙ නෑනෙ..

    • පදක්කම ගැනත් යමක් කියන්න පුලුවන් නම් හොඳයි..

      • ශ්‍රී ලංකා (ඒ කාලේ ලංකා) යුද හමුදාව පිහිටවුවේ 1949 අංක 17 දරන යුද හමුදා පනත අනුව. යුද හමුදාවක විශේෂ අවස්ථා සැමරීම සඳහා එවකට සේවයේ යෙදී සිටින සාමාජිකයන් වෙත පදක්කම් නිකුත් කිරීම ලෝකයේම සම්ප්‍රදායක්. ඒ අනුව අපේ යුද හමුදාව පිහිටවීම අනුස්මරණය කිරීම සඳහා නිකුත්කළ පදක්කමයි මේ. මේ පදක්කම අඳින කිසිවෙක් අද ශ්‍රී ලංකා යුද හමුදාවේ නැහැ. හේතුව මෙම ඔක්තෝබර් පළමුවැනිදාට ශ්‍රී ලංකා යුද හමුදාවේ වයස අවුරුදු 63 යි. ඉතින් අවුරුදු 63 කට කලින් මේ පදක්කම ලැබූ අය අද සේවයේ නැහැනේ.

    • පොස්ටුව වෘත්තීයමය කියන්නේ, මම වෘත්තීය පිහි කාරයෙක් කියන එකනේද? ඔලුව අතගාලාම ඇන්නා නේ? 😀

      වැඩකට පාරේ ගෙනියද්දි, සනාථ කරන්න පුලුවන්නම්, තමන් වෘත්තීය කෝකියෙක් කියලා, ප්‍රශ්නයක් නැහැ.

      අපොයි ඕව් අපේ කට්ටිය රත්තරන් පිහියෙන් පස්ස පැත්තටත් ඇනගෙන ගලවා ගන්න බැරුවයි ඉන්නේ.

      එකනම් ඇත්ත. අපේ ගෙදර පාන් කනවා හරිම අඩුයි. මම වැඩියෙන්ම කැමති රතු නාඩු, රතු සම්බා, රතු කැකුළු බත් වලට.

      දිව අග තියනවානම් ඉක්මනට කටෙන් එලියට දාන්න. නැත්නම් දිව කැපිලා හරි ජංජාලයක් වෙනවා. දැන්ම කියන්නේ නැහැ. ඊළඟ කොටසින් ඒ පිහිය ගැන කියන්නම්.

  15. corn knife සහ tobacco knife පින්තූර මෙතැනින්: http://www.fs.fed.us/eng/pubs/htmlpubs/htm88232601/brush.htm

    මෙහෙ තියනවා “තුවක්කු සටනකට පිහියක් ඇන්න ආවා වගේ” කියලා කියමනක්. Bringing a knife to a gunfight:
    1. The act of purposely or mistakenly bringing less than adequate weaponry to either a military conflict or a poorly organized hardcore show.

    ඒත්, පෑනෙන් (අද කාලේ පරිගණක කී බෝර්ඩ් එකෙන්) දිනන්න පුළුවන් සටනකට පිහියක්, තුවක්කුවක් උස්සන් යන්න ඕනෑත් නැහැයි කියලයි මම හිතන්නේ 😀

  16. මේක කියවද්දී ළමාකාලේ සුන්දර අත්දැකීමක් මතක් වුනා… වැඩක් ඇති දෙයක් නෙමෙයි ඒත් ආසාවට ලියනවා… Don’t ever try this at home…

    මමයි ඥාතී අයියා කෙනෙකුයි ඉස්සර ගමේ ඉද්දී පුරුදු වෙනවා පොල් ගස්වල ඇමිණිලා හිටින්න පොඩි උල් පිහියකින් දමලා ගහන්න… මුලදී ඌට පුරුදු වෙලා තිබුනේ පිහියේ තලේ පැත්තෙන් අල්ලලා විසිකරන්නයි… පස්සේ අපි දෙන්නම එකතු වෙලා පුරුදු වුනා මිට පැත්තෙනුත් ගහන්න… මම පොඩි කාලේ ඉඳන්ම විනෝදාංශයක් විදියට කලා ඩ්‍රම්ස්ටික් එකක් ඇඟිලි අතරේ කරකවන්න… මේකම පිහියට ආදේශ කරලා මම හදාගත්තා පොඩි වැඩ කෑල්ලක්… පිහිය අරන් ඇඟිලි අතරේ කරකවලා පොල්ගහේ ඇමිනිලා හිටින්න දමලා ගහන්න… 🙂 ළඟදි නම් කරලා බලන්න හම්බුනේ නෑ හැබැයි තවම ඒ හැකියාව ඇතියැයි හිතනවා…

    අපේ ඊළඟ පියවර උනේ ටීවී එකේ විදියට කෙනෙක්ව හිටවලා ඇඟ ගාවින් ගිහින් ඇමිනෙන්න පිහිහ විසිකරන්නයි… හැබැයි බයානක නිසා වැඩේ කෙරුනේ නෑ… 🙂

    • කොලු කාලේ කොලු කම් නොකලොත් ඒකා කොල්ලෙක් නෙවෙයිනේ. ඒවා රසවත් අත්දැකීම්. රුපවාහිනියේ, සිනමාවේ දකින එවැනි දෑ අත්හදා බලන්න ගිහින් ජීවිතය නැති කරගත් කොල්ලොත් ඉන්නවා. සෑම දෙයක්ම පමණ දැන කල යුතුයි.

      ඉතින් ආයේ පාරක් ඔය දක්ෂතාව වර්ධනය කරගත්තොත් කීයක්‌ හරි හම්බ කොරගන්ඩ බැරියැ ඔය සති පොළකට එහෙම ගිහින් එව්වා පෙන්නලා. 😀 😀 😀

    • මටත් ඔය පිස්සුව ඔහොම්මම තිබුනා බං බීටලේ.. බලං යනකොට අපි ඔක්කෝම එක වගේ ත්‍රස්තවාදියො ඒ කාලේ.. 😀

      • මටත් තිබුනා ඔය උණේ ඔහොම්මම. වැඩි සෙල්ලම් නම් බෑ.. ඒත් පිහි තලේ ගිහින් ඇමිනෙන්න ගහන්න පුළුවන් කම තිබුනා.. මම කෙහෙල් පඳුරු කීයක් නම් කියලා විනාස කොරලා ඇත්ද පිහිවලින් ගහලයි, ඊතල වලින් විදලයි.. මේ ලඟකදි ජොලියට වගේ අයන් බෝඩ් එක කෙලින් කරලා ඔය වගේ ගැහුවා පිහියෙන්.. දෙතුන් පාරක් වැඩේ හරියට වුනා, අන්තිමට තුඩ කැඩිලා ගියා.. මේ කාන්තාරෙ කොහෙද කෙහෙල් ගස්.. 😦

        • සෙන්නා මහත්තයෝ, අපි උත්සාහ කරන්න ඕනේ කාන්තාරෙත් කෙසෙල් ගස් හිටවන්න. ඒ තමයි මේ යුගයේ අපි කරන්න යන ආශ්චර්යය. මේ බලන්න සෙන්නා මහත්තයෝ, කාන්තාරේ කෙසේල්ගස් කියනකොටත් මගේ ඇඟේ මයිල් ඉස්මයිල් වෙනහැටි.

  17. කැති පිහි මන්නා ගැන සිංදුවක්….
    “කට වටකර වැට බඳින්න කැති මන්නා ගන්ට වෙනව – වැටට උඩින් පනින උන්ට මන්න පාර දෙන්ට වෙනව
    සාධාරණ පහර දීම…!”

    • නන්දා මාලනී නේද? මට දුක සුනිල් ආරියරත්නලාට, නන්දා මාලනීලාට, දැන් විරෝධාකල්ප ගී කියන ඒවා අමතක වී ගිහින් (කපටිකමට සහ පුද්ගලික වාසියට අමතක කර?) තිබෙන එක ගැනයි.

  18. අම්මෝ පිහි ගොඩ. පොඩ්ඩි ඉතින් වැඩිය පිහි පාවිච්චියක් (කුස්සිය පැත්තේ යන්නේ නැති නිසා) නෑ. මේක කියෙව්වට පස්සේ ඒ පැත්තේ යන ආසාව තවත් අඩු උනා. ඇත්තටම පිහි හොඳට පාවිච්චි කරන්ට පුලුවන් පිරිමින්ට හන්දා කුස්සිය පැත්තට ඒ අය වැඩියෙන් ඇරියොත් මොකද? මම මේ පෝස්ට් එක කියෙව්ව වෙලාවේ ඉඳන් කල්පනා කරන්නේ ඒකයි. 🙂

    • හරිම ෂෝක්, ඔයාගේ මොළේ දාන්න වටිනවා ඇලේ . පත්තරේ දැන්වීමක් දාන්නකෝ කුස්සිය ගැන හොඳ දැනුමක් ඇති මහත්මයකු ඕනෑ කර තිබේ කියලා. 😀 😀 😀

      • එයා ඒ දැන්වීම පත්තරේ නෙවෙයි ඉන්ටර්නෙට් එකේ දානවා මීට සෑහෙන කාලෙකට කලින් ඉඳලා.. 😉

  19. සුපිරි ලිපියක්නේ . පිහි පිළිබඳව ඉතා වටිනා තොරතුරු රැසක් දැනගත්තා. හරිම වටිනවා ඔබේ වැයමට තුති.
    එන්න සමකය වටේ රවුමක් යන්න

  20. මමත් කැත්තක් අරගන කොටන්ඩ යන කතාවක් ලියලා මේ පැත්ත ආවේ . මෙන්න මෙයා අගල් හයක් බස්සන්ඩ ලෑස්තිය

    • කැත්තත් අරගෙන වත්තට යනකොට – පෙත්තෙක් ඉඳගෙන කජු කනවා
      ලංසි පැටවු කොළඹ යන්ඩ නැවක් හදනවා – තකදොං නැවක් හදනවා

      ඒ රබන් පදේ ඔයාලගේ පැත්තේ කියන්නේ කොහොමද?

  21. පිහිය ගැන මෙතරම් විස්තරයක් දැන ගත්තේ අදමයි… මෙවැනි වටිනා යමක් පාඨකයන් වෙත දායාද කිරීමට ඔබතුමා ගත් වෙහෙස අගය කරමි….

  22. දූපත් වැසියා said:

    රොබින්-හුඩ් එකේ සැරක් බුක් බුක් ගාල වැටෙන්න දෙන්නෙ පිහි සෙට් එකකින්, කොහොමද..

    • සැරක් ගේ වැඩ ඉතාම අලංකාරයි. මම කියවා තිබෙනවා දකුණු ඇමරිකානු කෙටි කතාවක්. එක සර්කස් එකක ඉන්නවා, තම බිරිඳ ලෑල්ලකට හේත්තු කර ඇගේ ඇඟ වටා පිහියා ගහන මනුස්සයෙක්. දවසක් මේ දෙන්නා අමනාප වෙනවා. එදා අර පිහියෙන් ගැසීම පෙන්වද්දී ඔහු අතින් ‘වැරදීමකින්’ පිහිය බෙල්ලට වැදිලා ඇය මියයනවා. මට මුල් කතාවේ නම මතක නැහැ. නමුත් ලස්සනට මිනිස් ගතිගුණ විග්‍රහ කරන කතාවක්.

  23. පිහිය ගැන නොදත් කරුන ගොඩක් දැන ගත්තා. බොහෝම ස්තූතියි ලිපියට! මමත් පිහි ගැන මම දන්න ටිකක් කියන්නම්කො.
    පොල් පිහිය ගැන කිව්වොත් ඒකේ ලී වලින් හදපු මිටක් නැ නෙව. ඒකෙ දිගට තියෙන කොටසින් උණ ලීයට තද වෙන්න ලනු අදාරයෙන් බඳිනවා. සාමාන්යෙන් වෘත්තීය පොල් කඩන්නන් ලඟ මෙවැනි පිහිය කිහිපයක් තියෙනවා. මෙම පිහියා ඉතා තියුණු ලෙස මුවහත් තබා තියෙන්නෙ. සමාන්‍යෙයන් මෙම පොල් පිහිය පොල් කඩන්නන් විසින් වෙනත් අයට අල්ලන්නවත් දෙන් නෑ! එයට හේතූන් වන්නේ, භාවිතය නොදන්නා කෙනෙක්ගෙන් පිහියට ඇති විය හැකි හානියත්, තමන් එදා වේල හොයන් කන උපකරණයට ඇති ගෞරවයත් නිසා!
    ඔය ශ්‍යල්‍යාගාර පිහිය(Scalpel) කියන උපකරණය ගත්තොත් එයට ස්ථීර පිහිතලයක් නැ. මල නොකන වානේ වලින් නිර්මිත මිටත් එයට සවිකල හැකි තලයත් වෙන වෙනම එන්නෙ. තලය ගත්තම, යොදා ගන්නා කර්යය අනුව හැඩය වෙනස් වෙනවා. තලය පිහිවට සවි කරන්න කට්ට තියෙනවා මිටේ!
    අපේ ගෙවල් වලනම් තාමත් මන්නය භාවිතා වෙනවාග මේ මන්නෙ ගත්තහම ඒක පාවිච්චි කරද්දි ඉඳ ගන්න කොටසකුත් තියෙනවා ලී වලින්ම හදපු(පරන තාලෙ හිරමනේ වගෙ. තලේ විතරයි වෙනස්). එ ලි කොටස පිහිය නැතිව කොලොම්ඹුව ලෙස හඳුන්වනවා. අපේ අම්මලා කිරි අම්මලා(ආච්චි) හරි දස්ස විදිහට ඔකෙන් කොස් පොලොස් කපනවා වගේම වේගයෙන් හීනියට පලාත ලියනවා.
    මේකෙ පුලුවන්නමි ආරක්ෂක අංශ වල භාවිතා වන පිහි ගැනත් ලිපියක් ලියන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා!

    • බොහොම ස්තුතියි මේ ලබාදුන් විස්තරයට. මන්නය භාවිත කරන්න මමත් දන්නවා. පුංචි කාලේ ගෙදර මන්නයක් තිබුන නිසා. කොලොම්බුවත් මතක් කල එක හොඳයි. ‘වැදූවන් ඉදිරියේ කොලොම්බු ලන්නා සේ’ කියන කියමන අහලා තියනවද? එයින් අදහස් කරන්නේ තමන්ගේ මවට පියාට සමානව ගෞරව දැක්විය යුත්තන්ට අපහාස කරනවා කියන තේරුමයි.

      අපේ රටේ ආරක්ෂක අංශ පිහියා භාවිත කරන්නේ නැහැ. නමුත් ජීවිතාරක්ෂාව සඳහා භාවිත කරන පිහියා ගැන ඊළඟ කොටසේදී ලියනවා.

  24. විචාරක තුමා, මේ තවත් පිහියක්.. මේකට අපි කියන්නේ කඳන් පිහිය කියල. පලංචි ගහල ලී ඉරපු කාලේ කොටයේ නුල් ගහන්න කලින් පොඩි කට්ටයක් කපනවා. ඒ කට්ටය කපන්න පාවිච්චි කරන්නේ මේ පිහිය.මම දැකල නෑ කිසි දවසක මේ පිහියක් මුවහත් කරන බවක් නම්. පිහියේ බර නිසා මුවහත් කිරීම එච්චර අවශ්‍ය නැතුව ඇති. මං පොඩි කාලේ අපේ ගෙවල් කිට්ටුව ලී ඉරපු කට්ටියක් මේක පාවිච්චි කරනව මං දැක්ක. මේ ලින්ක් දෙකේ ඇති පින්තුර දෙකක්.
    1
    2

    • ඔබට බොහොම ස්තුතියි චන්දන මේ දැනුවත් කිරීම සම්බන්ධව. කඳන් පිහිය කියලා නමක් මම මීට කලින් අහලා තිබුනේ නැහැ. මගේ දැනුමට මෙන්ම මෙය කියවන අයගේ දැනුමට යමක් එකතු කිරීම ගැන ඔබට පින් දෙනවා. ඒම පිහියා දෙකෙන් පසුව (අංක 2) දක්වා ඇති පිහිය සාමාන්‍යයෙන් මැචට් කියලා හඳුන්වන පිහිය වගේ. එය හමුදාවේ පාවිච්චි කරනවා කැලේ යද්දී මග පාදා ගැනීමට.

      • ඒ පින්තූර දෙකේම දැක්වෙන්නේ එකම පිහිය. මං දෙපැත්තකින් ෆොටෝ දෙක ගත්තේ. මීට වඩා ප්‍රමාණයෙන් විශාලව තිබුනා. උඩුගත කලාම මුල් පින්තුරයේ විභේදනය ආවේ නෑ.

  25. මේ video එකේ තත්පර 4දි තියෙන ලාංඡනේ (commando ලාංඡනේට පස්සේ තියෙන එක) මොකක්ද?

    • මමත් ඒ ලාංඡනය දැක්කේ අදම තමයි පළමුවැනි වතාවට. මට තේරෙන ආකාරයටනම්, ඒ තිබෙන්නේ එම රෙජිමේන්තුවේ වීඩියෝ හෝ අධ්‍යාපන අංශයට අයත් ලාංඡනය. එහෙම නැත්නම් දිගුදුර විහිදුම් ක්‍රියාන්විත සඳහා යොදවන විශේෂ කණ්ඩායම සඳහා නිර්මාණය කරන ලද ලාංඡනයක්. මේ ලාංඡනය 2009 වනතුරු කිසිම සොල්දාදුවකු ඇඳ සිටිනවානම් මම දැක නැහැ.

      • ස්තූතියි!

        ඔබතුමා දනන්වද SF, Commando වගේ රෙජිමේන්තු වලට තිබෙන ශාරීරික යෝග්‍යයතා පරීක්ශණ වල මිනුම් දඬු? (මෙච්චර කාලයක් ඇතුලත push-ups මෙච්චරයි, sit-ups මෙච්චරයි වගේ?)

        • යුද හමුදාවේ සෑම සෙබළකුටම සෑම නිළධාරියකුටම, අනිවාර්යයෙන් සහභාගී වියයුතු, වාර්ෂික ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් තිබෙනවා. (අපි විහිළුවට කියන්නේ දුම් පරීක්ෂණය කියලා. අර වාහන වල කරන්නේ) විශේෂ බලකාට, කමාන්ඩෝ රෙජිමේන්තුව ඔවුන්ට ආවේනික වූ වෙනම යෝග්‍යතා පරීක්ෂණ කරනවා. ඒ සම්බන්ධ නිර්ණායක නම් මම දන්නේ නැහැ. නමුත් බර පටවාගෙන දිගු දුර ගමන් කිරීම තමයි බොහෝවිට කරන්නේ. ඒ හැර පැරෂුට් පුහුණුවට අදාළ අභ්‍යාස තිබෙනවා.

  26. මන් හිතන් හිටියේ පිහියට තියෙන්නේ මිටයි තලෙයි විතරයි කියල.. දැන් බැලුවම මතක තියාගන්නත් බැරි තරම් කොටස් තියෙනවානේ..

  27. ස්තුතියි.නියම විස්තරයක් .ඇයිද දන්නේ නෑ පොඩිකාලේ මමත් පුංචි සාක්කු පිහියල් ලග තියාගෙන ඉන්න ආස කලා 🙂

  28. ශල්‍ය වෛද්‍ය පිහිය දැක්කාම මතක් වුනේ දවසක් අපේ ක්ලාස් එකක ළමයෙක් උපන් දිනේට කේක් ගෙනල්ලා කපන්න පිහියක් නැතුව බලද්දී ශල්‍ය වෛද්‍ය පිහියක් හම්බෙලා ඒකෙන් තමා කේක් කැපුවේ 🙂 මොන විෂබීජ තිබ්බාද දන්නේ නැහැ

    • 1970 දී පමණ මා ඇසින් දැක තිබෙනවා, එක්තරා රජයේ රෝහලක මෘත දේහ කැපීම පිණිස උදවුවන කම්කරුවා අත තිබුණා තියුණු පිහියක්. ඔහු එය මෘත ශරීරවල සමහර කැපුම් සඳහා යොදාගන්නා අතර පසුව එය සබන්ගා සෝදා බුලත් කෑමට පුවක් කැපීමට පාවිච්චි කරනවා. ඔහු මියගියේ හඳුනා නොගත් රෝගයකින්.

  29. නිර්නාමික said:

    Chef’s knife. That also a knife type I suppose.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: