විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


   යාලුවෙක් මිත්‍රයෙක් උදව්වක් උපකාරයක්‌ ඉල්ලුවොත් බෙල්ල කඩාගෙන හරි එය ඉෂ්ඨ කර දීම මා සතු හොඳ (හොඳ? :D) පුරුද්දක්. පසුගිය මාස දෙක තුළ, එකම යාළුවාට, දෙවරක්, එකම උදව්ව කරන්න සිදුවුනා. හැබැයි ඒ උදව්ව නිසා මගේ තුන්දොස් සෑහෙන්න ඇවිස්සුනා. මෙන්න මේකයි සිද්ධිය.

පළමුවැනි ජවනිකාව

   දන්නවා නොවැ අර කොම්බු ලකුණ දරණ නාලිකාව………..අන්න හරි. ඒක තමයි. ඒගොල්ලෝ අර ‘ට්වින්කල් ට්වින්කල්’ කෙළියක් කොරනවානේ හිටු කියලා. අනේ මගේ යාලුවෙක් (උන්නැහේ හොඳ විධායක මට්ටමේ රැකියාවක් කලත්, විචාර බුද්ධිය නම් හොඳ මදි. මක්කා කොරන්ඩද. තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කිව්වලුනේ) උන්නැහේ තමන්ගේ දරුවෙක්ව දාලා ට්වින්කල් ට්වින්කල් කෙළියට. පහුගිය මාසේ උන්නැහේ අපේ ගෙදර ඇවිත් බොහොම කරුණාවෙන් ඉල්ලීමක් කළා, ‘අනේ …..මහත්තයා, මගේ දරුවා ට්වින්කල් ට්වින්කල් කෙළියේ අවසාන දොළොස් දෙනාට තේරිලා ඉන්නවා, ඉතින් මේ කෙළියේ නීති රීති අනුව (සින්දු කියන්න පුළුවන් වුනත් බැරි වුනත්) දහ දෙනෙකුගෙන් යුත් ආරක්ෂක සේනාවක්/බලකායක්/බල ඇණියක්/විශේෂ ක්‍රියාන්විත කණ්ඩායමක්/(ඔබ කැමති එකක් දාගන්න) ගෙනියන්න ඕනෑය, ඉතින් ඔබතුමා වැනි හිත හොඳ මිනිසුන් (හිත හොඳ අම්මණ්ඩි හැමදාම බඩින් :D) විතරක් ගෙනයන්නයි කල්පනාව, ඒ නිසා අනුකම්පාවෙන් ඉවසා වදාරා ට්වින්කල් ට්වින්කල් කෙළියට ආරක්ෂක සේනාවට යන්න එන්නය’ කියා. 

   ‘ඉතින් මොකේදැයි දන් වළඳන්නේ’ කිව්වලු. බෑ කියන්න හිතුනත් (අවංකවම මම එවැනි කෙළි, රුපවාහිනියේ කිසිදු නාලිකාවක නොබලමි. ‘රණවීර ලා’ වෙනුවෙන් තියපු එකවත්, එහි ගී ගැයූ මගේ ගෝලයන් ද හිටියත්, නොබැලුවෙමි. මේ මිත්‍රයා වෙනුවෙන් ගිය ඒවාත් නොබලමි) මේ මිත්‍රයාද මට ඉතාම ලෙන්ගතු පුද්ගලයකු නිසා, මේ දුෂ්කර ක්‍රියාවට එකඟ වුනෙමි. සොල්දාදුවන් වූ අපට කියාදී තිබෙන්නේ තැනට සුදුසු විදිහට අඳින්න කියාය. මම අපේ ගෙදර ඇත්තීගෙන් ඇසුවේ අහවල් කෙළිය දන්නවාද කියාය. ලොකු දුවගෙන් අහන්න යන පිළිතුර ලැබුවෙමි. ලොකු දුවගෙන් ඇහුවාම ඇය කිව්වේ ‘අයියෝ තාත්තේ, මේක ඔයාලගේ නිලධාරි නිවස්නය නෙවෙයි, ටයි කෝට් ඕනෙ නෑ, නිකම් කැෂුවල් යන්න’ කියාය. දෙයියෝ මුණ බැලුවා. නමුත්, කවුරුහරි (නාකි)ලමිස්සියක්, තවමත් කඩවසම් පෙණුමෙන් යුත් මා නිසා, වසඟයට පත්වුනොත් යන බිය මා තුළ ඇතිවූ බැවින්, වයිවාරන්න නැති, සාමාන්ය අත් දිග කමිසයක් හා  තද පාට කලිසමක් ද සපත්තුද ඇන්දෙමි. 😛

  ට්වින්කල් ට්වින්කල් සංවිධායකයන්, විසින් තරගකරුවන්ට, සවස දෙක වනවිට පටිගත කිරීම සිදු කරන තැනට එන්නට දැනුම්දී තිබුණි. ඔන්න ඉතින් අපේ නඩය ආසන පහළොවේ වෑන් රථයකින් නියමිත තැනට ළඟාවුනේ පස්වරු 1.30 ටය.  ඒ එන අතරමග, නඩයට තේපැන් සංග්‍රහයක් සඳහා, මගේ මිත්‍රයාට රුපියල් 1500 ක් පමණ වැය විය. වෑන් රථයේ කුළිය රුපියල් 8000 ක් බව දැනගතිමි. ආපසු යන ගමනේදී රාත්‍රී ආහාර සඳහා තවත් රු 3000 කට ආසන්න මුදලක් වැය විය. දවසේ වියදම රු 15000 කට ආසන්න විය. (අනේ අපේ කාලයේ නම්, ‘පිබිදෙන ගායක පරපුර’ වැනි හරවත් ගුවන්විදුලි වැඩසටහනකට ආධුනික ගායක ගායිකාවන් ආවේ, ලංගම බසයෙන් බව අපි හොඳින් දනිමු. ඔවුන්ට කිසිදු ප්‍රමාදයක් හෝ මාර්ග තදබදයක් නොතිබුණි. වෙලාවට බස් ධාවනය විය.)

  සවස දෙක වනවිට අපි බලාපොරොත්තු දල්වාගෙන සිටියත්, ඊට කලින් පටිගත කිරීම් අරඹා තිබුණු වැඩසටහන, අවසන් නොවීය. නමුත් සවස තුනට තරග කරුවන්/කාරියන් සියලු දෙනා වේශ නිරූපණ හෙවත් හැඩවැඩ දැමීමේ ස්ථානයට කැඳවන ලදී. ඒ කටයුතු නිමවා පැයක් පමණ ගතවුවද (මා දන්නා තරමින් ආලේපන ගැල්වීමෙන් පසු හැකි ඉක්මනින් පටිගත කිරීම් කලයුත්තේ, ඒ ආලේපන වලින් ලබාදුන් පෙණුම වෙනස්විය හැකි බැවිනි. ඒ මදිවාට මේ දිනවල තිබෙන අධික උෂ්ණත්වය නිසා දහදිය දැමීම අධිකය.) කලින් වැඩ සටහන අවසන් වන බවක් පෙනෙන්නට නැත. අපේ පොඩි තරගකරුවා නොසන්සුන්ව සිටී. වයස අවුරුදු 12 න් පහළ දරුවකු මෙපමණ වේලා තබාගැනීම දුෂ්කර කටයුත්තකි. කෙසේ වෙතත්, අපගේ පූර්ව කුසල කර්මයක් පළදීම හේතුවෙන්, සවස පහට විනාඩි 10 ක් තිබියදී පටිගත කිරීමේ මැදිරියට ඇතුළු වීමට වාසනාව ලැබුණි. නිකම්ම යා නොහැකිය. සපත්තු ගැලවිය යුතුය. දූවිල්ලෙන් ආරක්ෂා කරගතයුතු කෝටි ගණන් වටිනා උපකරණ රාශියක්, ඇතුළේ සවිකර ඇතැයි මට සිතුනි. අහෝ, එහි තිබුනේ වෙනත් ඕනෑම ශ්‍රව්‍ය/දෘශ්‍ය පටිගත කිරීම් කරන ස්ථානයක ඇති උපකරණමය. රික්ත ශෝධකයකින් ඒවා පිරිසිදු කළහැකි බව මුන්නැහැලා නොදන්නා සේ ය. ඊටත් වඩා විහිළුව වන්නේ, වාද්‍ය වෘන්දයේ 10 ක් පමණ දෙනාද, කැමරා කරුවන් සහ ඔවුන්ගේ ආවතේව කරුවන්ද, ශබ්ද පරිපාලක, සම්බන්ධිකාරක, සහායක දෙතුන් දෙනා, වෙස් ගන්වන්නා, තේ ගෙනෙන කොළුවා, විනිශ්චය මණ්ඩලයේ තිදෙනා, ආදී සියල්ලන් සපත්තු සෙරෙප්පු පැළඳ සිත්සේ එළියට ඇතුළට ගමන් කිරීමයි.

  ප්‍රේක්ෂක ජනතාවට වාඩිවීම සඳහා සකස්කර ඇත්තේ කෘත්‍රිම අට්ටාලයක පැනවූ අසුන් ය. ඒ අට්ටාලය සවි ශක්තිමත් ඇතැයි සිතිය හැකි නමුත්, ඊට ගොඩවිය හැක්කේ හරි මැදින් සකසා ඇති පටු මං තීරුවෙන් පමණි. හදිසි අවස්ථාවක් (ගින්නක් වැනි) ඇති වුවහොත් පිට වෙනවා බොරුය. ඒ මදිවාට පටිගත කිරීමේ සමහර උපකරණද, එක් කැමරාවක්ද, ඇත්තේ ඒ අට්ටාලයේ ඉහලම කොටසේය. ඇතුළුවීමට පිටවීමට ඇත්තේ එකම දොරකි. ගිනි නිවීමේ උපකරණයක් අහල පහළ තිබෙනවා නොදුටිමි. ගොඩනැගිල්ලෙන් පිටත ඇති ජංගම විදුලි ජනක යන්ත්‍රයකින් ගන්නා විදුලි සැපයුම් රැහැන්, ධාරාලෝක සඳහා ඇති බල සැපයුම් රැහැන්, සහ රූපවාහිණී ශ්‍රව්‍ය/දෘශ්‍ය රැහැන් හැම තැනම බිම දිගේ එලා ඇත. ඔන්න ඉතින් වාඩි කරවීමේ අවස්ථාව ආවා කියමුකෝ, අරයාගේ කට්ටිය මෙතනට එන්න, මෙයාගේ කට්ටිය අතනට යන්න, යනුවෙන් මැදිරි සම්බන්ධිකාරකයා අණ දෙයි. (අහෝ, ඔහුට සම්බන්ධිකාරක කටයුතු ගැන දැණුමක් තිබිය හැකිය. නමුත් යමක් හරියට කණට ඇහෙන්නට කිවහැකි පිරිමි කටහඬක් නැත) වාඩි කරවීමේ කටයුතු අවසන් කරන්නට විනාඩි 20 ක් පමණ ගතවිය. (මිනිස්සු 100 ක් පමණ වාඩි කරවීමට) මිනිස්සු 100 ක් වාඩි කරවීමට සුදුසු මැදිරි, තමන් සතු පරිශ්‍රයක නැති නාලිකා. 😛 

  දෙවතාවක් එහාට මෙහාට මාරු වූ පසු අපි අසුන් ගත්තෙමු. ඒ අල්ල පනල්ලේ වටපිට බැලීමට අමතක නොකළේ මෙතන මොකද වෙන්නේ යන දේ දැනගැනීමටය. ‘තියුණු නිරීක්ෂණය’ මට ඉගැන්වූ යුද හමුදාව දිනේවා! ඔන්න ඒ වෙලාවේ තමයි දැක්කේ, ලාමක සුරතල් පෙණුමෙන් යුත් ගැටිස්සියක්, පිරිමි පෙනුමට වඩා ස්ත්‍රී පෙනුමට ආසන්න එවැනිම ඉලන්දාරියකු සමග දෙඅත් අල්ලාගෙන අල්ලාප සල්ලාපයේ යෙදී ඉන්න හැටි. මැදිරිය ආලෝකවත් කර තිබුනේ අවශ්‍ය අවම ප්‍රමාණයට බැවින් තරමක අඳුරක් ද ඇත. මේ දෙන්නාට මෙවැනි තැනක් හොයාගන්නට අමාරු ඇති, කාර්ය බහුලත්වය නිසා. ඒක තමයි මේ ප්‍රේක්ෂකයන් ගැනද නොසලකා, දෑත් අල්ලාගෙන, අර වර්තමාන නිවේදක භාෂාවෙන් කියන ආකාරයට ‘දොඩමළු වී’ සිටින්නේ. ‘ඒ තමයි නිවේදකයා සහ නිවේදිකාව’ මගේ මිතුරා මගේ කණට කෙඳිරීය. අම්මපා….. මට නිකම්ම කියැවුනි. හරි හරි මීළඟට කියන නිවේදන ගැන පෙර පුහුණුවක් වෙන්න ඇති. හැබැයි තරගය සඳහා පැමිණි පොඩි එවුන්, දෙමවුපියන් සමග සිටින අනෙකුත් දූ දරුවන්, මේ ජවනිකා නැරඹීම නම් සුදුසු නෑ නේද කියා මේ යුවලට නොසිතුනේ, ඔවුන්ගේ ලාමක මනස නිසා බව පැහැදිලි විය.

  මහා වේදිකාව මත එකට රැස්වූ කළු කෝට් කාරයන් පිරිසක් සල්ලාපයක යෙදී සිටිති. ‘ඒ තමයි ඔකෙස්ට්‍රා එක’ මගේ මිතුරා මා නැවතත් දැනුවත් කරයි. ඒ පිරිස වරින් වර මහා හඬින් සිනාසෙති. ඒ සිනාවේ ස්වරූපයෙන් හා ඔවුන්ගේ මුහුණුවල ඉරියවු නිරීක්ෂණය කිරීමෙන් පෙනීයන්නේ, ඒ සිනාව, සභ්‍ය නොවන කතාවක් ඇසීමෙන් එලියට පනින සිනාවක් බවය. ප්‍රේක්ෂක පිරිසක් (සමහර විට ඔවුන්ට වඩා බුද්ධියෙන් මුහුකුරා ගිය හෝ එසේ නැතහොත් ඔවුන්ගේ වැඩිහිටි ඥාතීන්ගේ වයසේ) මෙහි සිටිනවා නේද යන්න ගැන කිසිදු හැඟීමක් ඔවුන් තුළ නැතුවාසේ ය. ඔවුන් මෙහෙයවන උන්නැහේට එවැනි පාලනයක් තම කණ්ඩායම වෙත නැති බවද පැහැදිලිව පෙනේ. මට මතක් වුයේ අසහාය වාද්‍ය ශිල්පී අභාවප්‍රාප්ත විජේරත්න රණතුංග මහතාණන් ය. එතුමන් මෙහෙයවන සංගීත වාදක කණ්ඩායමක් කොතරම් විනයවත්ව හැසිරෙන්නේදැයි මම මෙවැනිම පටිගත කිරීම් වලදී දැක ඇත්තෙමි. වෙහෙස නිවා ගැනීමට විහිළුවක් නැති ජීවිතයෙන් පළක් නැත. නමුත් එය කලයුත්තේ තම තත්වය හෑල්ලුවට ලක්වන පරිදි නොවේ. (හෑල්ලුවට ලක්වීමට තරම් තත්වයක් ඇත්නම්)

  කොහොම කොහොම හරි පටිගත කිරීම ආරම්භ විය. මුලින්ම ඇත්තේ අප්පුඩි පටිගත කිරීමය. ඒ කියන්නේ මැදිරි සම්බන්ධිකාරකයාගේ අණ පරිදි ප්‍රේක්ෂකයන් විසින් වාර ගණනාවක් (10 ක් පමණ) අප්පුඩි ගැසිය යුතුය. සංස්කරණයේදී වැඩ සටහනේ ඒ ඒ තැන්වලට එබීමටයි මේ අප්පුඩි කෙළිය. ‘ඇයි වාහේ, කැමරා කෝණ හත අටකින් එකම අප්පුඩිය පටිගත කොරගන්ඩ බැරිද?’ මම මගෙන්ම අසා ගත්තෙමි. වවුලාගේ මගුල්ගෙදර ආ බව තේරෙන්නේ දැන් ය.  ඔන්න ඉතින් අර නිවේදක ජෝඩුව වේදිකාව මතට සම්ප්‍රාප්ත විය. දෙන්නාම ආහාර පාලනයෙන් ශරීරය කෘෂ කරගෙන ඇතිසේය. තව ටිකක් කෙට්ටු වුනානම් ඉතියෝපියාවෙන් හෝ සෝමාලියාවෙන් ආවා වගේ පෙනෙනු ඇත. මේ දෙන්නා සිංහලද, දෙමළද, ප්රංශ ද, ආර්ජෙන්ටිනා ද, යන්න මට තෝරා ගැනීමට අපහසු වුයේ, ඔවුන්ගේම සිංහල ඔවුන්ටම වැරදීම නිසා පටිගත කිරීම නවත්වමින් නැවත ඇරඹීමට සිදුවූ නිසාය. ඇත්තම හේතුව නම් ඔවුන්ගේ වාග් කෝෂයේ ඇත්තේ සීමිත වචන සංඛ්‍යාවක් බවත්, බොරුවට ඉංගිරිසි සෝබන කෑලි දැමීමෙන් නිකං සවුත්තු වන බවත්, මොනවට පසක් විය.

  සාමාන්‍යයෙන් ඕනෑම තරගයක් විනිශ්චය කරන විනිසුරු මඬුල්ල මධ්‍යස්ථ අපක්ෂපාත ලීලාවෙන් සිටිය යුතු බව පිළිගත් පොදු සම්ප්‍රදාය නොවේද? නමුත් මේ විනිශ්චය මණ්ඩලයේ තිදෙනාගෙන් දෙදෙනෙකු බොහෝ විටත් එක් අයකු වරින්වරත් තරගකරුවන්ගේ ගීතයෙන් මත්ව හාව භාව ලීලාවන් පෙන්වමින්ද, හස්ත විකාර, මුඛ විකාර පෙන්වමින් ද, තමන් මහත් අමන්දානන්දයට පත්වූ බව ප්‍රසිද්ධියේ පෙන්වති. සෑම තරගකරුවකුටම එසේ නොකරති. මේ කියන්නේ, ඔවුන්, තම හැඟීම් පාලනය කරගනිමින්, විනිශ්චයේ යෙදෙන්නට තරම් සුදුස්සන් නොවන බව නොවේද? නොඑසේනම් සමහර තරග කරුවන්ට විශේෂ අනුග්‍රහයක්, දිරි ගැන්වීමක්, පක්ෂපාතී බවක් ඇති බව නොවේද? ඉදින් මෙහි ඇති සාධාරණ විනිශ්චය කුමක්ද? විශ්චය මණ්ඩලයේ සිටින ලාබාලයා තමන් අඳබාලයකු බව පෙන්වන අවස්ථා බොහෝය. තමන් ඉන්දියාවේදී ලද සංගීත ඥානයේ බල මහිමය ගැන උජාරුවෙන් නිතර දෙසාබාන මේ පුද්ගලයා තමන්ට මේ රටේ කිසි තැනක් නැතැයි අවලාද කියයි. ‘ඇයි උන්නැහේ හොඳ නිර්මාණ කොරනවකෝ ඔහොම බෑඟිරි ගාන්නේ නැතුව. එතකොට ඒවා නියම ශාස්ත්‍රීය නිර්මාණ නම් ජනතාව පිළිගනියි නොවැ’ යයි කීමට කීප විටක්ම සිතුනත් ඉවසා සිටියේ, මගේ මිත්‍රයාගේ දරුවා වෙනුවෙනි. භාරතයෙන් සංගීත ඥානය ඔපවත් කරගෙන අදද සංගීතාම්බරයේ වැජඹෙන අමරදේවයන්ගේ පටන් දයාරත්න අමරා යුවල, සනත් නන්දසිරි, වැන්නවුන් මේ පුස්සා මෙන් බෑඟිරි නොගෑවේ ආත්ම ගණනාවක් පුරා රැගෙන ආ කුසලතාවද ඔවුන් සතු නිසාය. සංගීත විභාග සමත්වීම සහ නිර්මාණ කුසලතාව අතර වෙනස තේරුම් ගන්නට මොහුට තව ආත්ම ගණනාවක් සංසාරන්යයේ සැරිසරන්නට සිදුවනු ඇත. මේ අඳබාලයා, එතනින් නොනැවතී, මනප්පු චරිතයද විටින් විට රඟපායි. මොහු අර බාල බොළඳ නිවේදක යුවල සමග සම්ඵප්‍රලාප, මෝඩ විසුළු, වල යෙදෙයි. පටිගත කිරීම නවත්වා වැඩ සටහන එක තැන පල්වෙයි.  දුර බැහැර ගෙවා වෙහෙසවී මෙහි පැමිණි අපි, වැඩසටහන වෙනුවට, මේ ගොං පාට් බලා සිටිය යුතුය. ඊළඟ ගීත ගායනය සඳහා පුල පුලා බලා සිටින දරුවන් තවත් වෙහෙසට පත්විය යුතුය.

  එක් ගීතයක් ඉතා හොඳින් ගායනය කෙරෙද්දී සංගීතය මෙහෙයවන උන්නැහේ තම කොන්ගෝ බෙරයට නිවාඩු දී සටහන් වගයක් පෙරලා බලයි. අතරමගදී වාදනය අරඹයි. අනේ අර දරුවාට අනෙකෙකුගේ වරදට වන්දි ගෙවමින්, ගීතය නැවතත් මුල සිට කීමට සිදුවෙයි. මේ අවනඩු කියන්නේ කාටද?

  එදා අපේ දරුවා තරගයෙන් ගොඩ ගියේය. මම සුසුමක් හෙලා ‘අනේ මෙහෙම ලෝකයක්’ කියා සිතුවෙමි. මැදිරියෙන් එළියට ආ පසු දුටුවේ, හද කම්පා කරන දසුනකි. තරගයෙන් ඉවත් කෙරුණ දරුවන් දෙදෙනෙකු, හද කකියවන ආකාරයෙන් හඬා වැටෙයි. ඔවුන්ගේ දෙමාපිය හිතවතුන් ඔවුන් සනසන්නට අපමණ වෙහෙසක් දැරුවත්, එය අසාර්ථක විය. මේ පුංචි හිත්වල මේ දුක නිසා ඇතිවන්නේ කෙබඳු සිතිවිලිද? ඔවුන්ගේ මනසට, මේ දුක, කොතරම් දරුණු බලපෑම් එල්ල කරයිද? වයිරය, කෝපය, සමාජ විරෝධාකල්ප මේ පුංචි හිත්වල පැන නොනගීයයි සහතික කලහැක්කේ කාටද? ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යාමට තරම් ඔවුන්ගේ මනස සන්සුන්වේද? මේ නම් සැබෑම විප්‍රකාරයකි. දරුවන් දෙදෙනා ඔසවාගෙන ගොස්, තමන් පැමිණි වාහන වල දමාගෙන, අඳුරු මුහුණෙන් යුතුව පිටවී යන දෙමවුපියන් ගැන, මට ඇතිවුයේ අනුකම්පාවකි.

දෙවැනි ජවනිකාව

  මගේ මිත්‍රයා මා සොයා නැවතත් පැමිණියේ, පසුගිය සැප්තැම්බර් මස 30 වැනිදාය.  ‘මහත්තයා අපේ ළමයාට ඔක්තොබර් 8 වැනිදා නැවතත් තරගයට යන්න තියනවා. අනේ තරහ නැතුව එනවද එදාටත් යන්න’ යන ඉල්ලීම කළේය. බොරු කීමට අකමැති මම, මේ තරගයේ ඇති නිෂ්ඵල බවත්, මෙයින් ගායක ගායිකාවන් බිහිවීම කෙසේ වෙතත්, වෙළඳ කටයුතු ප්‍රවර්ධනය සාර්ථකව සිදු කෙරෙන බවත්, පහදා දුන්නෙමි. නමුත් ඔහු බැගෑපත්වූ තරම කෙතෙක්ද යත්, යළිදු අර විප්‍රකාරයේ ගැලෙන්නට මා හට සිදුවිය. හැබැයි මම එක දෙයක් ස්ථිරව ප්‍රකාශ කලෙමි. ‘මහත්තයා, මහත්තයා බොහොම කැමැත්තෙන් තමන්ගේ දරුවා මේ තරගයට යවනවානේ. මම ප්‍රාර්ථනා කරනවා දරුවා මෙවරත් සමත්වෙන්න කියලා. හැබැයි මෙවර තරගයෙන් මහත්තයාගේ දරුවා තේරුනොත් අනේ ආයෙනම් මට එන්න කියන්න එපා’. ඔහු එයට එකඟ විය. එදා ජවනිකාව හැකිතරම් කෙටි කර පහත දක්වමි.

  • පැමිණිය යුතු වෙලාව දී තිබුනේ මධ්‍යාහ්න 12.00 ලෙසය. හරියටම 11.50 ට එහි ගියෙමු.
  • වේශ නිරූපණය සඳහා ළමයින් ගත්තේ හවස 3.00 ට ය.
  • මැදිරියට සියලුදෙනා ඇතුළු කරගත්තේ සවස 4.20 ට ය. හේතුව ඊට කලින් පටන්ගත් වැඩසටහන අවසන් නොවීමය.
  • වාඩි කරවීමට සෑහෙන වෙලාවක් ගතවූ අතර සමහර අයට සිටගෙන සිටීමට සිදුවිය (පැය 3 ක්)
  • නිවේදක යුවලගේ ගොන් පාට් වඩාත් වැඩිවී තිබුණි. උන් දෙදෙනා එකිනෙකාට අපහාස උපහාස කරගනිමින් ඒ සඳහා අපේ අවධානයද සිනහවද බලාපොරොත්තු වෙති. මේ පෙන්වන්න හදන්නේ අපි හරි ජොලියෙන් ඉන්නවා කියන එකනම්, මොවුන් බම්මන්නන් මිස වෙන කවුරුවත් නොවන බව ඔවුන්ට එක හෙලා කිව යුතුය.
  • නිවේදිකාව තමන්ට දරාගන්නට බැරිතරම් අඩි උස සපත්තු පැළඳ සිටීම නිසා වේදිකාවෙන් බැසගත් වහාම එය ගලවා දමන බවත් කැමරාවට අසු නොවන පරිදි වේදිකාවට නගින්නේ සපත්තු දෙක අතේ අරගෙන බවත්, එය පළඳින්නේ නිවේදන කටයුතු කරන සුළු මොහොතට පමණක් බවත් දුටුවෙමි.
  • නිවේදකයාද කකුලේ අමාරුවකින් පෙළෙන්නෙකි. ඔහු එක් එක් වාරයේ නිවේදන කටයුතු නිමකර, වේදිකාවෙන් බැස, කොර ගසමින්, ‘අම්මෝ කකුල’ කියා ප්‍රේක්ෂකාගාරයටද ඇසෙන පරිදි කෙඳිරි ගාමින් වාඩි වෙයි.
  • අර අඳබාලයා එදා තවත් සිය ගුණයකින් තමා නියම ජෝකරයකු බව පෙන්වීය. මැදිරි සම්බන්ධීකාරකයා එක් එක් අවස්තාවලදී පටිගත කිරීම ආරම්භ කිරීම සඳහා කාල ගණනය කරද්දී මේ ජෝකරයාද එයට බාධා වන අයුරින් ඔහුද කාල ගණනය කරයි.  ඇඟමැලි කඩා මහා හඬින් ඈනුම් අරියි. නිවේදක යුවල සමග ගොන්පාට් වාද විවාද වල යෙදෙමින් කාලය කා දමයි. මේ විකාරය ඉවසා සිටිය නොහැකි කැමරා කරුවකු ‘මේ මේ ඇති ඇති දැන් ඕක නවත්තනවා’ කීවේ සැබෑම කෝපයෙනි. අනේ අර අඳබාලයාට ලැජ්ජාවක් නැද්ද? තමන් විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයකු නොවේද? කැමරාකරු පහත් රැකියාවක් කරන්නකු නොවේ. නමුත් වැඩසටහනේදී තමන්ට වඩා පහළ නිලයක් දරන්නකු අතින් දොස් ඇසීම ලැජ්ජාවක් බවවත් නොවැටහෙන්නෙකි මේ අඳබාලයා. තරගයට පැමිණි දැරියක් ආවේ පොතුහැර ප්‍රදේශයෙනි. මේ ජෝකරයා හිතන්නේ පොතුහැර තියෙන්නේ නන්දිකඩාල් කලපුවටත් එහා කියාය. ඔහු පොතුහැර යන වචනය ඇදපැද කිව්වේ ඒ නිසාය.
  • එදා අර නිවේදිකාව ව්‍යාත්ස්‍යායනගේ කාම සුත්‍රයේ එන ජවනිකාද පෙන්වූවාය. වැඩ සටහන අතරතුර ඇය, මැදිරි සහායිකාවක් කාමුක ලෙස බදාගෙන සිටියේ මේ ඉන්නේ කොහේදැයි කියා අසිහියෙන්ය. ඊළඟ වතාවේ ඒ මැදිරි සහයිකාව මැදට හිරවනසේ නිවෙදිකාවත් වේශ නිරුපන ශිල්පියාත් බදාගෙන සිටින ජවනිකාව එලි දැක්වුණි.

මගේ මිත්‍රයාගේ දරුවා ගොඩ ගියේය. පොතුහැර දැරිය නොතේරුණත් නොහඬා සිටීමට තරම් ආත්ම ශක්තියකින් යුක්ත වුවාය. අනෙක් පොඩිඑකානම් හඬා වැටුණි. අපි මේ යන්නේ කොහෙද? මේ ස්ටාර් කෙළියේ අවසානය කොහෙද? මේ දෙමවුපියන් තම දරුවන් රේස් අශ්වයන් යයි සිතා, ඔවුන් දක්කන්නේ අගාධයකට නොවේද? අපට නොගැලපෙන මේ විප්‍රකාරවල මීළඟ වැඩ සටහන් මීටත් වඩා දරුණු ලෙස ළමා මනසට බලපෑම එල්ල නොකරනු ඇතිද? ‘කෝ උඹ මහා ලොකුවට සින්දු කියන්න ගිහින් පැරදුනා නේද’ කියා තම පාසල් මිතුරන් අසන විට, මේ ළමුන්ගේ මනසට කුමක් වේද? මේ කරන්නේ, රටේ අනාගතය බාරගැනීමට සිටින අහිංසක දරුවන්, විකුණාගෙන කෑම බවත්, මනස විකෘති වන මේ දරුවන්, කෙබඳු පුද්ගලයන් බවට පත්වේද යන්නත්, මේ දෙමවුපියන්ට නොවැටහෙන්නේ ඇයි? මේ ස්ටාර් කෙළිය වෙනුවෙන් ඇඳුම් පැළඳුම්, ආහාර පාන, ගමන් වියදම්, වශයෙන් මහා ධනයක් වැය කිරීමට දෙමවුපියන්ට සිදුවෙයි. සමහරු ප්‍රකට සංගීතඥයන් ලවා තම දරුවා පුහුණු කරවන අතර, ඒ සඳහා අති විශාල ගෙවීම් කරන්නට සිදුවෙයි. සමහරවිට මේ සඳහා දෙමවුපියන් ණයට මුදල් ගන්නවාත් ඇති. අනේ මේ මුදල් මේ දරුවාගේ අධ්‍යාපනයට වියදම් කළහැකිනම් කොතරම් විශාල පළක් ප්‍රයෝජනයක් වනු ඇතිද? ඒ දරුවාගේ නමින් බැංකුවක තැන්පත් කලොත් කොපමණ වටිනවාද? ආපසු එන තුරුම මගේ සිතට වද දුන්නේ මේ සිතුවිලි සමුදායයි.

Advertisements

Comments on: "අහෝ ‘පොළොව’ ට්වින්කල් ට්වින්කල්" (82)

  1. මේවාගේ අපභ්‍රංස වලට මොනවා කියන්නද?
    කරුණාරත්න අබේසේකර, ලලිත් එස්. මෛත්‍රීපාල, ලැම්බට් පෙම්මාවඩු, සුමනා ජයතිලක වගේ අය නැති එකේ පාඩුව දැන් තමා තේරෙන්නේ. 70 දශකයේ අන්තිම කාලේ පිබිදෙන ගායක පරපුර රෙකෝඩින් එකක් බලන්න ගියා පවුලේ දන්න කියන කෙනෙක් කෙනෙක් සමග. වෙලාවට පටන් ගත්තා වෙලාවට ඉවරකරා. එදා මාව එක්කරගෙන ගිය සින්දු කියපු පුද්ගලයා අද විශිෂ්ඨ ශ්‍රේණියේ ගායකයෙක්.

    • සුනිල් එදිරිසිංහලා, එඩ්වඩ් ජයකොඩිලා, බිහිවුනේ පිබිදෙන ගායක පරපුර වැනි හොඳ වැඩසටහන් වලින්. ඒ වැඩසටහන් කලේ විකුණගෙන කෑමේ පරමාර්ථයෙන් නෙවෙයි. මේ ස්ටාර් කෙළියට තිත නොතිබ්බොත් ළමයි නෙවෙයි ආච්චිලා සීයලාත් ඉවරයි.

  2. කාට කියන්නද ? අහේතු කාලේන කජ්ජේන පූලන් කිව්වලු.. විචාරක මහතා පුන්චි පවක් කරලා තිබිලා තියනවා ඔය විසූකදස්සන බලන්න සිද්ද වෙලා තියෙන්නෙ ඒකයි..

    අපේ බාල පරම්පරාව ගැන ඇත්තටම දුකයි.. උන්ට කියලා ළමා කාලෙකුත් නෑ, තියන එකත් විගඩම් වලින් විනාස කරනවා..

    • අම්මපා මගේ පූරුවේ පවක් පලදීමක් තමයි මේකනම්. මට දුක ඒ කාලේ අපි කියවපු පොත්වල හිටිය මිනිස්සු කන රාස්සයන්ට වඩා භයානකයි මේ ළමයි කන රාස්සයෝ.

  3. මට මැවිලා පේනවා විචාරක ලස්සනට ඇඳගෙන, රූබර ලමිස්සියක් (නාකි ) හොයමින් නිරීක්ෂණයක යෙදෙන හැටි. හී හී…

    චිත්ත රූප මැවෙන විදියට ලියලා තියෙනවා.

    ආය පාරක් යන්ට එපා. අන්තිමට හිත හොඳකම වැඩිවෙලා, ඔය ළමයා හම්බවෙලාම තමා නතර වෙන්නේ…. 🙂

    ඒ එක්කම ඔය නාලිකාවේ උදවිය හා ඔබතුමාගේ යාලුවාද මේ සටහන කියවාවි කියලත් ප්‍රාර්තනා කරනවා. 😀

    • හිටියා පොඩි දුවේ, ඒ වගේ අය හිටියා. හුහ්, මමනම් බලයි ඔවුන් දිහා අපේ ඇත්තී ඉන්නකල්. 😀 😀 😀

      මගේ යාළුවාත් බලයි. අර ගොන්පාට් රැළ මේක දකිනවනම් හොඳයි.

  4. මේවට ළමයි දාන්න දඟළන වැඩි හරියක් අම්මලා තාත්තලා ළමයින්ගේ පිටින් තමන්ගේ ආසාවල් පස්සේ දුවන උදවිය… කවදා හරි ඒ ළමයි මේ අයව පාරට දැම්මට පවු නැත…

    • හරියට හරි මාරයෝ, හරියටම හරි. මට දුක අනාගතේදී මුන් ‘බ්ලූ ෆිල්ම් ස්ටාර්’ කියලා එකක් පටන් ගත්තොත්, මේ මෝඩ හැත්ත ඒකටත් තමන්ගේ දරුවන් යවයි, සල්ලි හම්බවෙනවානම්.

      • ක්සැන්ඩර් | Xander said:

        මේ කතාව දැක්කම මට මතක් වුනේ එක අම්මෙක් එක්ක මගේ ක්ලාස් එකට ආපු පුංචි ගෑනු ළමයෙක් ඇඳගෙන ආව ටීෂට් එක. පපුවේ ලොකු තරුවක් හිටින්න ගහලා ඇතුලේ පෝන් ස්ටාර් කියලා ගහලා. මම ඒ වෙලාවෙම ඒ ටීෂට් එකේ වරද ඒ අයට කිව්වම කෙල්ල රතු වෙලා ගියා..

        • මම දන්නා විවාහක කාන්තාවක් වරක් පන්සලට ඇඳගෙන ඇවිත් හිටිය ටී ෂර්ට් එකේ තිබුනේ ‘ටච් ඇන්ඩ් රිලීස්’කියලා. මගේ බිරිඳ එය දැකලා ඇයට කරුණු පහදා දුන්නම ඇය පස්ස නොබලාම පන්සලෙන් පිටවී යන්න ගියා.

  5. අනේ මෙහෙමත් නාලිකා.. මගේ මිත්‍රයෙකුත් කාලෙකට කලින් ඔය නාලිකාවෙම සිහින තරුව වැඩසටහනට ගියා.. මම එහි පටිගත කිරීමට සහභාගි නොවුනත් ඒ සඳහා ගිය අනෙකුත් මිත්‍රයෝ කීවෙත් ඔයිට සමාන කතාවක්.. ඒ ගොල්ලන්ව උදේ 9ටද කොහෙද ඇතුලට අරන් රෑ හය හත වෙනකම්ම පටිගතකිරීම තිබ්බලු.. ඉඳගත්තට පස්සෙ එළියට යන්න තහනම්ලු.. 9 ඉඳන් 6 වෙනකම්ම පුටුවෙලු.. කන්න බොන්නවත් නෑලු.. මහ ලොකුවට කෑම දෙනවා කිව්වට සිසිල් බීම වීදුරුවක් විතරලු දවසටම..

    නාලිකාවල ඇත්තොන්ගෙ ඔයවැනි නොමනා හැසිරීමට හේතුව නම් ලංකාවෙ බහුතර ජනතා ආකල්ප.. ටීවී එකේ මූණදාගන්න තිබුනානම් මැරුනත් කමක් නෑ කියලා හිතෙන මිනිස්සු ඉන්නවානෙ.. ඉතින් ඒ වගේ අය ඔය නාලිකාවල අයට වැඳගෙන ඉන්නෙ.. ඉතින් නාලිකාවල ඇත්තොත් හිතන් ඉන්නවා තමුන් හොලිවුඩ්, බොලිවුඩ් තරු වගේ කියලා.. මහලොකු පොරවල් පොරීලා කියලා..

    මම ඉන්න ගමන් එක් FM ගුවන් විදුලි නාලිකාවක් අහනවා.. සෝබන අඩුම එක වුනත් ඒකට කතාකරන ප්‍රේක්ෂකයින්ගේ විකාර දැක්කම හිතෙනවා අනේ මෙහෙම එවුන් ඉන්න රටකනෙ අපි ඉන්නෙ කියලා.. නාලිකාවලට ඒ කුණුවලෙන් ගොඩ එන්න වුවමනාවක් නෑ.. කුණු වල උනත් මොකද සල්ලිනෙ..

    විනිශ්චය මණ්ඩලවල ගොන්පාට් නම් එහෙමමයි හැම එකේම… වෙනසකට තියෙන්නෙ රජයේ නාලිකාවලට රාජකීය වන්දි බට්ටයින්ගේ පැමිණීම.. ඉතින් ප්‍රශස්ති ගීත් නොඅඩුව අහන්න පුලුවන්…

    • ඔයා කිව්වම තමයි මතක්වුනේ හරී, මේ අටමගලේ ඇතුලට ගියාම එලියට එන්න දෙන්නේ නැහැ. අර මෑතකදී පණුවෙක් හිටියා කියන කිරි පැකට් විකුණන කට්ටියගෙන් තමයි අනුග්‍රහය. හබැයි ප්‍රේක්ෂකයන්ට වතුර වීදුරුවක්‌ වත් නැහැ. මේ ගොන්පාට් එකට ගිහින් එන ගමන් තමයි මම ඔයාට කතා කලේ.

    • මම කියන්නෙත් මේ හරී කියන එක ගැනම තමා. ඒක එදා තිබිල තියෙන්නේ බඩු ගබඩාවක් (warehouse) වගේ එකකක. ඔය වගේම තමා, පැය ගානක් ගිහින්, වැඩ පාළු කරන් නටන පිස්සුවක්. ඒකේ පිස්සු වැඩියි, ඇයි මේකේ වගේ පොඩි උන් නෙමේනේ ඉන්නේ. ඉතින් තරග කරුවන්ගේ විකාරත් වැඩියි. ඔය රියලිටි කිව්වට ඔය කැමරාවට පෙන්න කරන විකාර වැඩ (කට්ටිය බදා ගන්නවා වගේ) ඔක්කොම ස්ක්‍රිප්ට් එකට අනුව කරන්නේ. ඕව ගැන කියන්න කියන්න බැරි කතාත් ටිකක් තියෙනවා.
      මගේ මතය නම් ඕවට සහභාගී විය යුත්තේ තමන් ගැන තීරණ ගන්න පුළුවන් වයසේ කට්ටිය (ඒකියන්නේ 18 වැඩි අය. මේ අය ගන්න තීරණ හරි කියනවා නෙමේ)

  6. අපොයි අපේ විචාරක මහත්තයාවත් ඇදගන ගිහිල්ලා වේදිකා සැරසිල්ල කරලනේ යාළුවා,
    ෂුවර් එකට අර කැමරා ශිල්පියා ඔය ආයතනයට සම්බන්ද නැති ස්වාධින ශිල්පියෙක් වෙන්න ඇති,

    ඔහොම වාත වෙනකොට කාර්මික ශිල්පීන් තමයි වචනයකින් හරි විරුද්ධවෙන්නේ , අනිත් උන්ට ගානක් නැ.

    සමහරක් ප්‍රවීනයොත් ඔයවාගේ වැරදි කරනවා,

    දවසක් අටමා ටැක් ඩොලියක් සමග ගියා ටෙලිනාට්ටියකට , ඒකේ රගපැවා මාරපනක් තියන නිලියකුත්,
    තව හිටියා අපේ ගෙවල් පැත්තේ මියගිය නලුවෙකුත් , තව දක්ෂතා තියෙද්දිත් අපරාදේ බාල අවර ගණයේ කසිකබල්වල රගපාන නලුවෙකුත් ,

    අඩි 40ක්විතර දිග ටැක් එකක් දාලා තිබුනා, නිලි අක්කා වලං හෝදනවා, සැමියා නලුවා පැලේ පිලට වෙලා ඉන්නවා (විනෝද කාමියෙක් උනාට වැඩේට පණ ඇරලා සහබාගි උන පොරක් අපරාදේ මැරුනේ), අනිත් නලුවා කැමරා ශිල්පියා දුන්න පාත් එකේ එනවා, මම ඩොලිය අදිනවා,

    කැමරාව හැසිරවීම සහ ටැක් වීම නියම තත්පරයට කෙරුවේ නැත්තං ඔක්කොම අවුල් වෙනවා , අපේ වැඩෛ් හරියට කරන්ඩ නං , නලු නිලියෝ තමන්ගේ ටයිමින්ග් හරියට තියාගන්ඩ ඕන, අර අක්කා

    පළවෙනි ටේක් එකේ වළද හෝදලා වතුර විසික් කරලා නැගිට්ටා

    දෙවනි ටේක් එකේ හොදමින් හිටිය වළද එහෙම්ම දාලා නැගිට්ටා

    තුන්වෙනි ටෙක් එකේ වතුර විසික් කරලා රෙද්ද කඩලා ඇන්දා

    හතරවෙනි ටෙක් එකේ මොකවත් නොකර කට ඇරගන බලාගන හිටියා

    ඩිරෙක්ටර් කැමරාමන්ට රව රවා ”කට් කට් ” ගගා තව ටේක් එකකට යමු කියනවා.

    කැමරාමනුයි මායි අක්කව ගොඩ දාන්ඩ හදනවා.

    කැමරාමනුත් අක්කට බය හන්දා මොකුත් කියන් නැ

    අටමා ඉතින් මෙලෝ රහක් නැති එකානේ . ඊලග ටෙක් එකට යන්න කලින් සෙට් එකටම ඇහෙන්ඩ මෙහෙම කියුවා

    ! අක්කා රිසල් එකේ ටයිමින්ග් වලටම ටේක් එකේදිත් එන්න , ඔයා සැරින් සැරේ වෙනස් කරනකොට අපි කොහොමද ඔයාව ෆලෝ කරන්නේ !

  7. මාත් ඔය කෙළියේ ඉන්න අඳබාලයා දැක තියනවා,ඌ කරපු දෙයක් නම් එකදු මාධ්‍යකවත් දැක ලා නම් නැත, භාතිය සන්තුෂ්ලාට හේත්තුවී සින්දු කීපයකට කට හොල්ලනවා නම් දැක ඇත. අඳබාලයා සිත සිටින්නේසංගීතයෙන් කෙළ පැමිනියෙකු ලෙසයි. පොඩි වුන්ට දෙන්නේ මහ බර සාර උපදෙස්. ඒ වා කාට තෙරෙනවාදැයි නොදැනේ.
    ඒ විගඩම් දැක්කම මටනම් පුකෙනුත් හිනා යනවා,

  8. වැඩසටහන් කොහොම වෙතත් අර ත්‍රිකෝණ නාලිකාවෙනං මිනිස්සුන්ට ඔච්චර කරදරයක් විඳින්න වෙන්නෙ නෑ.

  9. ස්තුතියි මේ සටහනට.

  10. ආයිත් අමුතුවෙන් කියන්න දෙයක් නෑ… මේවා පුදුමාකාර විකාර… මට තියෙන ප්‍රශ්නේ මෙච්චර වැරැද්දක් තමන්ගේ දරුවට සිද්ධ වෙනවා කියලා තේරුම් ගන්න බැරි ගොන් රැලක්ද මේ වෙනකොට දෙමවුපියෝ වෙලා ඉන්නේ කියලා…… ළමයගේ ආසාවට දක්ෂතාවයක් තියෙන දරවෙක් නම් යම් කිසි තරඟයකට ඇතුළත් කලාට කමක් නෑ…. ඒත් අම්මලා තාත්තලට පුළුවන් කමක් තියෙන්න එපැයි දරැවට ගැලපෙන, ළමා මනස විකෘති නොකරන විදියේ තරඟයක්ද, වැඩසටහනක්ද කියලා තේරුම් ගන්න…

    අනිත් එක මේ වගේ නාලිකා වල ( දැං කියයි මං බලන්නේ රෑපවාහිනී ITN විතරයි කියලා…. නෑ මම අනිත් ඒවත් අකමැත්තෙන් හරි පොඩ්ඩක් බලනවා.. එහෙම නැතුව මේ වගේ වැරදි ගැන කතා කරන්නේ කො‌ෙහාමද….) නිවේදක නිවේදිකාවෝ ලංකාවේ එවුන් නෙවෙයි ඉන්නේ.. වෙන මොක්කුද වෙන ග්‍රහලෝකෙකින් ආපු කට්ටියක්….. සිංහල දන්නෙත් නෑ ඉංග්‍රීසි දන්නෙත් නෑ, දෙමළ දන්නෙත් නෑ, අපංබ්‍රංස නම් ප්‍රගුණ කරලා තියෙනවා…. හුරතල් වෙවී කුනුහරප තමා වැඩි හරියක් කියන්නේ….. පැරදිලා යන ළමයි වාසනාවන්තයි…. මෙයාලගේ දිනන ළමයින්ට දෙයියන්ගෙම පිහිටයි.. මොකද උන්ට ආදර්ශෙට ගන්න වෙන්නේ අර බූරු රැලක්ව නේ…….

    ඊට අමතරව කියන්න කියෙන්නේ විකුණන්න තියෙන ඔක්කොම විකුණලා මේ වෙනකොට ආබාධිත අසරණ අයවත් විකුණන්න පටන් අරන් තියෙන්නේ… හැඟීම් වලට සංවේදී කම අඩු බටහිර රටවල් අයට මනුස්සකම කියලා දෙයක් තියෙනවා කියලා පෙන්නන්න X factor show ඕනෙ උනාට මේ ආසියාතික රටවල කරන්නේ මිනිස්සුන්ගේ හැගීම් විකුණන එක…..

    ටික දවසකට කලින් මමත් ලිව්වා මේ ගැනම පෝස්ට් එකක්… හැබැයි මගේ පෞද්ගලික අත්දැකීමක් නම් නෑ මේ ගැන.. දෙයියන්ට පිංසිද්ධ වෙන්න…

    රියැලිටි ෂෝ ගැන මට හිතුන දෙයක්

  11. අනේ දෙයියනේ මෙහෙමත් වැඩ. මගේ මිතුරු නිෂ්පාදිකාවක් මගේ දියණියද ඔවැනි නාඩගමකට එක් කර ගැනීමට කැස කැවූවා. මා ඇයට කෙලින්ම කිව්වා මා සතුටු නැති වග. මා ගැන දන්නා මගේ මිතුරිය නිෂ්ශබ්ද වූවා. ඔබගේ මේ ලිපිය නිසා මා ගත් තීරණයේ නිවැරදි බව අදත් මට පසක් වූවා. ස්තුතියි විචාරක.

    මෙරටෙහි වසන සියලුම ගොන් දෙමාපියනි ඔබේ දරුවා ජෝකරයෙක් නොකරන්න. රටට දැයට වැඩ ඇති පුරවැසියෙක් කරන්න.

    • කියලා වැඩක් නැහැ. තමන්ගේ දරුවා විකුණගෙන කනවා නේද කියන හැඟීම මේ මෝඩ වහන්සේලාගේ ඔලුවට එන්නේ නැත්තේ මොන බූතයෙක් වැහිලද කියලයි මට හිතාගන්න බැරි. කෝ ඔය එක එක ස්ටාර් වලින් ආව එවුන් අද පාරක්වත් අතුගානවා පෙනෙන්න නැහැනේ.

  12. එක නාලිකාවකවත් පුළුවන් නම් ඔය දෙමව්පියන් ට බුද්ධිය ටිකක් දෙන්න, හරිම වටිනවා. රූපවාහිනී වල මොන දේ පෙන්නුවත් ඒ මිනිස්සු ගෙදරට ඇවිත් බලෙන් ඇදගෙන යන්නෙ නෑනේ. දෙමව්පියෝ කියන අය දැනගන්න ඕන මොළය ටිකක් භාවිතා කරන්න. මීටත් වඩා වෙන මොනවා කියන්නද !

    • මමත් කියන්නේ ඒකම තමයි ලහිරු. ඔය නාලිකා කියන්නේ වෙළඳ ව්‍යාපාර. උන් බලන්නේ ‘ආච්චි ස්ටාර්’ හරි තියලා සල්ලි හොයන්නයි. ඇත්තටම මේ තරම් මිනිස්සුන්ගේ විචාර බුද්ධිය හීන වුනේ කොහොමද කියලයි මට හිතාගන්න බැරි.

  13. මල පැනල වගේ…!!!!
    අපේ අනාගත පරපුර විනාස කරන්නේ වර්ථමානයේ දෙමාපියන් විසිනි.
    එපමනකි.

  14. ක්සැන්ඩර් | Xander said:

    සමාජයේ විවිධාකාරයේ පැති තියනවා. ඒ දේවල් කොහොම වුනත් හීන මානයෙන් පෙලෙන මිනිස්සු ඉන්න සමාජෙක කඩ්ඩ පොලිෂ් කියලා බොරුවට කඩු කෑලි වනන හාල් කෑලි වලට හරියට කඩ්ඩෙන් දෙකක් කෙටුවාම උන්හිටි තැන අමතකවෙන්න යන්නේ තත්පර ගානක්.

    මේවට ළමයි ගෙනියන උන්ට, මේවා කරන උන්ට බලන උන්ට සහ එස් එම් එස් ගහන උන්ට ගහන්න ඕනේ මඩු වල්ගෙන්. ඒත් වැඩක් නෑ. මොළෙත් නෑ නේ උන්ට.. ඔහේ ඉඳි..

    පොඩි එවුන්ගේ තරඟ විතරක් නෙවෙයි මහා එවුන්ගේ තරඟ වලටත් ඔය ටික තමා මට කියන්න තියෙන්නේ..

  15. විචාරක මහත්තයා, ඇත්තටම ඔය වගේ දේවල් කතා කරලා වැඩක් තියෙනවද කියලත් හිතෙනවා. මමත් කිසිම නාලිකාවක, ප්‍රව්ර්ති වත් බලන්නේ නෑ. හේතුව නාලිකා දෙකක් ගත්තොත් කියන්නේ එකම කාරනාවක දෙපැත්ත. අනික තමය් දැන් ඉන්න නූගත් නිලියෝ ගොඩක් ගණිකාවෝ. එකේ ඇත්ත නැත්ත හොයන්න පුළුවන් පොඩ්ඩක් සමාජේ ආශ්‍රය කලාම. ඊට වඩා හොඳය් නොදැක්ක වගේ ඉන්න එක. කට කියන්නද මේවා? සමාජේ වෙන ගොසක් ප්‍රශ්න තියෙනවා, දැන් ආගම් අන්තවාදයක් තියෙනවා, සිංහල මිනිස්සුන්ට වල පල්ලට යන්න වෙලා තියෙනවා, ඉතින් ඕනෑම චන්ඩියෙක් කරන්නේ මේ වගේ බ්ලොග් එකකට කොමෙන්ට් එකක් දන එක විතරය්. මොකද විචාරක මහත්තයෝ ඉස්සර වගේ අසදරණයට විරුද්දව කතා කරන්න ගියොත් වෙන්නේ මැරෙන්න. aa

    • මමනම් මැරෙන්න ලෑස්තියි දිලීප ජාතියේ නිදහස වෙනුවෙන්. ඔයාලට තව ඉදිරියට ජීවිතයක් තියනවා. අපට එහෙම නැහැ. අපි දැන් විඳලා විඳවලා දෙකම කරලා තියනවා. මතු පරපුර වෙනුවෙන් මේ ජරා බලවේග සුනු විසුනු කර මැරෙන්න මම ලෑස්තියි.

      • යාළුවා, මැරෙන එක ලේසි. ඕව බලා බලා විදවනවට වඩා. කෙසේ වෙතත් මේ වගේ දේවල් වලට නිකන් මැරෙනවට වඩා වයසට ගිහින් මැරෙන එක නම් හොඳය. එත් අර අන්ත්වාදේ කියන දේ බංගා වල වගේ මෙහෙත් එනකන් තමා බලන් ඉන්නේ. ඊට පස්සේ අපි පෙන්නන්නම් මැරෙන හැටිය්.

  16. අපෝ ඔය ස්ටාර්ස්ල තෝරන එව්ව නම් මට දකින කොටත් අප්පිරියයි. මොන මළදානෙකට හැම චැනල් එකකම මේවා පෙන්නනවද මන්ද, මම නම් හිතන් හිටියෙ දැන් මිනිස්සුන්ට මේව ඇති වෙල ඇති කියල, එහෙම වෙන පාටකුත් නෑ, ඉස්සර ටීවීවල රෑ නවයෙන් දහයෙන් පස්සෙවත් දෙකයි පනහෙ ටෙලි ඇරුනම බලන්න පුළුවන් වැඩසටහන් තිබ්බා. දැන් හැම මළ ඉලව්වෙම සුපිරු තරු. මහ විකාරයක්. මම නම් අර වගේ වාත වෙන මැදිරියක හිටිය නම් තොපි ඕන මඟුලක් කරගන් කියල නැගිටල ගෙදර එනව පාරෙ බස් එකේ හරි, එක්ක ගිහිපු මනුස්සයට ඒ විකාර බල බල ඉන්න කියල.

    • මගේ සත්ව කරුණාව නිසා තමයි ඒ ගොන් පාට් එකට කොටු වෙන්න සිදුවුනේ. හැබැයි මුන් මොන තරම් පුස්සොද කියන එක ගැන සමීප අත්දැකීමක් ලැබුවා.

  17. දූපත් වැසියා said:

    විචාරක ඔය ක්ෂේතය ඉස්සරත් ඔය විදියමයි. මොළේ අඩු ෂෝ එක වැඩි ගෑනු පිරිල. තීරයේදී ලස්සන උනත්, සිංහලයේ මහා කලාකාරීලා තිරය පිටිපස්සේදී චාටර්. නම් ගම්, උදාහරණ සහිතව කියන්න හැකි උනත් නොකියමි. කොහොමටත් ඔබට ඔය වැඩ අල්ලන්නෙ නැති බව ෂුවර්.
    නමුත් එක දෙයක් ගැන එකග නොවෙමි. සමහරවිට ඔබ රූපවාහිනී (ජාතික රූපවාහිනී ආයතනයේ) මැදිරියකට ගොස් ඇති. හොදට ඉඩකඩ සහිත වහලේ එල්ලෙන, එහා මෙහා කළහැකි ලයිට් බොහෝ ගණනක් ඇති, මැදිරි සංකීර්ණයකින් සමන්විත තාක්‍ෂණයෙන් අනූන පරිසරයක්. නමුත් ඒ සියල්ල වාගේ ජපානයෙන් ලැබුන ආධාර මත පිහිටවූ දේවල්. අඩු මිල පුද්ගලික ස්ටුඩියෝ වල එවැනිදේ බලාපොරොත්තු නොවිය හැකියි.

    • ඔබේ අදහස් සියල්ල සමග එකඟ වෙනවා. ජාතික රුපවාහිනියේ කොළඹ, පිදුරුතලාගල, කොකාවිල් (එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයෙන් විනාශවූ) මධ්‍යස්ථාන සියල්ල මා දැක තිබෙනවා. ඒවායේ ආරක්ෂාව සපයා තිබෙනවා. ඇමරිකානු යුදහමුදා උපදේශකයන් යටතේ ලද පුහුනුවකදී රුපවාහිනි මධ්‍යස්ථානයක ක්‍රියාකාරිත්වය සහ පාලනය ඉගෙනගත්තේ ජාතික රුපවාහිනියේදී.

  18. මට දුක අහිංසක පොඩි දරුවෝ රුකඩ වගේ නටවන එක ගැනයි.. අන්තිමට කාගේ හරි නෑ දෑ වෙන කෙනෙක් උලුප්පලා සිය ගණනක් පොඩි උන්ගේ හිත තලන එක ගැනයි..

  19. නියම මනුස්සයව එක්කගෙන ගිහිල්ලා තියෙන්නේ 🙂 යාලුවා අපිට කරලා තියෙන්නේ ලොකු උදව්වක්… ගොන්පාට් නොඉවසන කෙනෙකුට අදකාලේ ජීවත් වෙන්න අමාරුයි… 😀 හමුදා ජීවිතේ පුරුදුකරපු ඉවසීම කාලෙකට පස්සේ ටෙස්ට් කරන්න ලැබුණා කියලවත් හිතහදාගන්න…

    ඒක නෙමේ විචාරක, දොඩමළු කියන වචනේ වැරදිද..? පොඩි පැහැදිලිකිරීමක් කරන්න පුළුවන්නම් වටිනවා…

  20. නියම මනුස්සයව එක්කගෙන ගිහිල්ලා තියෙන්නේ 🙂 විචාරකගේ යාලුවා අපිට කරලා තියෙන්නේ ලොකු උදව්වක්… ගොන්පාට් නොඉවසන කෙනෙකුට අදකාලේ ජීවත් වෙන්න අමාරුයි… 😀 හමුදා ජීවිතේ පුරුදුකරපු ඉවසීම කාලෙකට පස්සේ ටෙස්ට් කරන්න ලැබුණා කියලවත් හිතහදාගන්න…

    ඒක නෙමේ විචාරක, දොඩමළු කියන වචනේ වැරදිද..? පොඩි පැහැදිලිකිරීමක් කරන්න පුළුවන්නම් වටිනවා…

    • යාළුවො නිසා ඔය වගේ මට වෙච්ච දේවල් බොහොම තියනවා. මතක් කරලා ලියන්නම්. ඉස්කෝලේ යන කාලේ එකෙක්ගේ පෙම්වතියට ආරක්ෂාව දෙන්න ගිහිල්ලා ඒ කෙල්ලගේ අයියගෙන් ගුටි නොකා බේරුනා කකුල් දෙකට පින් සිද්ධ වෙන්න. 😀 😀

      දොඩමළු කියන වචනයේ කිසිම වැරද්දක් නැහැ. දොඩනවා කියන්නේ කතා කරනවා කියන එකයි. දොඩවනවා කියන්නේ අවසිහියෙන් කතා කරනවා කියන එකනේ. පුද්ගලයකු දොඩමළු වෙන්නේ බොහෝවිට බීමතින් ඉන්න විටයි. ඒ නිසා දොඩමළු කියන වචනය යෙදිය යුත්තේ සාමාන්‍ය තත්වයෙන් වෙනස්වූ කතා ස්වරුපය හැඳින්වීමටයි. අපේ සමහර ගොන් නිවේදක නිවේදිකාවෝ, සාකච්ඡාවේ, සල්ලාපයේ, යෙදීම හඳුන්වන්නේත්, දොඩමළු වෙනවා කියලයි. ඒ උන්ගේ ගොන් සංස්කෘතියේ ගොන් යෙදුම්.

  21. මෙව්වා හෙන විකාර දේවල්… පොඩි එවුන්ට එක එක විකාර උගන්නලා අන්තිමට කිසිම සදාචාරයක් නැති ඇඳුම් ඇඳගෙන ඇවිත් නටන්න පුරුදු කරන දේවලුත් ඔව්වවගේ මම දැකලා තියෙනවා… අපේ අම්මලත් අනේ හරි ෂෝක් පොඩි එවුන් කියලා ඉතින් බලනවා කනට ගහගන්න හෙඩ්සෙට් එකක් නැති නිසා හිටපු ගමන් අහගෙන ඉන්න වෙනවා… මේ කොම්බුවෙ විතරක් නෙමේ ත්‍රිකෝනෙත් තියෙනවා දැක්කා මේ වගේ වැඩසටහනක්… ඒ වගේ විකාර ලමයින්ට පුරුදු කරන්න ගත්තා කියමු තව අවුරුදු 5ක් 6ක් යද්දි ඒ පොඩි එවුන් තමයි රටේ අනාගතේ බාරගන්නේ… එතකොට ඒ ලමයින්ගේ මනස කොහොම හැදිලා තියෙයිද කියලා හිතන්නකෝ…

    හීන් නූලෙන් ළමයින්ව අනාථ කිරීමක් මේක… අඩුම තරමේ මේ විකාර නොකර ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් තිබ්බනම් හෙන ගහනවද මුන්ට.දැන් එව්වා දකින්න අඩුයි..

    මේ ලිපිය අදාල ඇත්තන්ගේ ඇස් ගෙඩි වලට පෙනේවා කියලා ප්‍රාර්ථනා කරනවා….

    • කොල්ලෙකුයි කෙල්ලෙකුයි හොරෙන් පැනලා ගියාමත්, විදේශීය කුමන්ත්‍රණ කියලා කෑ ගහන බූරුවංශලාට මෙව්වා පෙනෙන්නේ නැති එකයි දුක.

  22. මේක දැක්කම මට මතක් වුනේ ඒ කාලේ මුතුහර පටිගතකිරීම් වලට ගිය හැටි ගැන මගේ සැමියා කියූ කතා . ආයේ ඒ කාලෙට යන්න බැහැ තමයි. ඒ වුනාට අපේ මාධ්‍ය කලාව නම් ගිහින් තියෙන්නේ අගාධයට . ස්ටාර් තරඟ නම් අනේ මන්ද . බැලෙන්නෙත් නැහැ . ඔය විදේශීය නාලිකා වල යන ඒවා ඉඳහිට බලනව . ඒ රටවල පහසුකම් වැඩි නිසා මේ වගේ වෙන්නේ නැද්ද දන්නේ නැහැ . මොනවා වුනත් ළමයි ඕවට යවන එක ගැන මගෙත් මනාපයක් නැහැ .

    • පිට රටවලින් ගෙනෙන දේවල්, අමු අමුවේම අපේ සංස්කෘතියට ඔබන්න බැහැ කියලයි මමනම් හිතන්නේ. එයින් යමක් අරගෙන, අපේ ක්‍රමයට ගැලපෙන ලෙස කරනවානම් වරදක් නැහැ. හැබැයි, කටේ කිරි සුවඳවත් ගොස් නැති පුංචි එවුන් ලවා, ප්‍රේමය හා ශ්රුන්ගාරය සහිත ගීත ගායනා කරමින්, දෙමවුපියන් ඒ තාලෙට අප්පුඩි ගැසීම නම් අනුමත කරන්න බැහැ.

  23. ඉතාම වැදගත් කාලීන මාතෘකාවක් යටතේ ලියවුනු පෝස්ට් එකක්. මම සිරස සුපර් ස්ටාර් සීසන් 1 මුලදී බැලුවා. ඒත් එස්.එම්.එස් කතන්දරෙන් පස්සේ ඔක්කොම අතෑරියා.

    අද රටේ වැදගත් දෙයට වඩා සෝබනේට තමයි තැන ලැබිලා තියෙන්නේ. ඔය තරඟ වලින් ඇත්තටම දක්ෂයෝ කී දෙනෙක් හැලිලා තියෙනවද?පොඩි ළමයි විතරක් නෙවෙයි ගොඩක් තරාතිරම් වල අය මුන්ගෙ මාර්කටිං නිසා අමාරුවේ වැටිලා තියෙනවා. ඒවායේ ඉන්න නිවේදකයොත් ඊට එහා. ගණිකා මඩම් පවත්වන උන් තමයි ඒවාට එන්නේ. අධ්‍යක්ෂකත් බලන්නේ එන අයගේ සොබනේ මිසක් සුදුසුකම්, ගුණ යහපත්කම් නෙවෙයි. ඔතනට එන කී දෙනෙක්ගෙන් ලිංගික අල්ලස් අරන් තියෙනවද?

    තැනකට ගියාම වට පිට බැලිල්ල මගෙත් තියෙනවා. ඒක අපේ ජීවිත අත්දැකීම් එක්ක ආපු දෙයක් වෙන්නැති.

    • කලාව කියලා බෝඩ් ගහගෙන මිනිස්සුන්ගේ රසවින්දනය විකුණාගෙන කන්න හදන මේ කාලකන්නි හැත්ත මුළු රටටම ශාපයක්. අනික පැත්ත තමයි භාෂාව සහ සාහිත්‍යය මිනිස්සුන්ගෙන් ඈත් කරවීම නිසා පිටරටින් එන ඕනෙම දහ ජරාවක්‌ කලාව කියා බාරගන්නා තත්වයට මිනිස්සුන්ව පත්කර තිබීම.

    • මේ වසංගතය පාර්ලිමේන්තු පනතකින්වත් නවත්වන්න පුළුවන් වෙයිද මන්දා.

      • “මේ වසංගතය පාර්ලිමේන්තු පනතකින්වත් නවත්වන්න පුළුවන් වෙයිද මන්දා.” 😀

        ඒකට අත උස්සන්ඩ ඕනෙත් ඔය වගේම කට්ටියක්නෙ.. ඔක්කොටම කලින් එතන සංවර වෙන්ඩ එපැයි..

      • අද කාලේ පාර්ලිමේන්තුවෙන් මිනිස්සුන්ට ඕනි දේවල් වෙයි කියලා බලාපොරොත්තු වෙන්න අමාරුයි.
        * ඔබතුමා ලියලා තියෙන සංස්කෘතික, සදාචාරාත්මක පැත්ත ගැන විවාදයක් ආවොත්…
        * අපේ රටට මෙච්චර විනාශයක් කරපු, වල් නාශක කෘමි නාශක ගැන විවාදයක් ආවොත්..
        * ජාතිවාදය යටපත් වුවත්, ආගම්වාදයක් ඇතිවෙමින් පවතින මේ දිනවල නියපොත්තෙන්ම කැඩීමට උත්සාහ දැරුවොත්…
        * පොළොවේ පය ගහලා ජීවත්වෙන්න සුදුසු අධ්‍යාපන ක්‍රමයක් සකස් කලොත්…
        * හැමෝම තමන්ගෙ අයිතිවාසිකම් ගන්න ඉස්සෙල්ලා යුතුකම් මැනවින් ඉටු කලොත්…
        * ……………..
        අපේ රට කොච්චර ලස්සන වෙයිද?

        ඒත් එහෙම දෙයක් වෙන්නනම් පාර්ලිමේන්තුවට යන බඩ ගෙඩි අඩු කරලා මොලගෙඩි වැඩි කරන්න ඕනි. එහෙම නේද?

        • පාර්ලිමේන්තුවේ ඉන්න මැටි බඩාලාට, අවුරුදු පහකින්වත් කියාගන්න බැරි දෙයක්, ඔබ සරලව, සංක්ෂිප්තව, පැහැදිළිව කියා තිබෙනවා.එමෙන්ම ඔබ අදහස් කරන දෙ අපේ රටේ ඡන්දය පාවිච්චි කරන බහුතරයත් තේරුම්ගත යුතුයි.

  24. “වෙහෙස නිවා ගැනීමට විහිළුවක් නැති ජීවිතයෙන් පළක් නැත. නමුත් එය කලයුත්තේ තම තත්වය හෑල්ලුවට ලක්වන පරිදි නොවේ. (හෑල්ලුවට ලක්වීමට තරම් තත්වයක් ඇත්නම්)”

    ඉතා වැදගත්.

    • වෙන එකක් තියා මේ කළු කෝට් කාරයන්ව වාඩි කරවීමත් ප්‍රශ්නයක්. උන්ට සෑහෙන වතාවක් කිව්වමයි වාඩි වෙලා තමාගේ වාදන කටයුතු පටන් ගන්නේ. එතකල් අපි මයිනෝ වගේ බලා ඉන්න ඕනේ.

  25. සාමාන්‍ය මිනිස්සු නොදකින පැත්තක් ඔබතුමා පෙන්නලා දීලා තියන්නේ. මම මුලදී නම් ඕව TV එකේ යනකොට බැලුව. පස්සේ ඒක එපා උනා. තරඟයෙන් ඉවත් වුනු පුංචි ළමයින් ගේ මුණු දකින කොට දුක හිතෙනවා. ඒ අයට කොච්චර මානසිකව බලපානවා ඇත් ද..
    මුන් විකුනන්න පුළුවන් හැම දේම විකුනනවා.

  26. ඔය කොම්බුවෙ නාලිකාව හිතන් ඉන්නෙ තමන් තරං පොරක් තවත් නෑ කියලා… ඔවුන්ගෙ රියලිටි කියන කසිකබල් වැඩ සටහන් වලින් ජනතා ප්‍ර‍සාදය දිනාගෙන ක්ෂේත්‍රයේ ස්ථාවර වෙච්ච එකෙක් නෑ පෙන්නන්න… වරක් මා දන්නා මුස්ලිම් දැරියක්ද කොම්බුව නාලිකාවේ ළමා නර්තන තරගයට ගියාය.. මුස්ලිම් සමාජයේ දැරිවියන් මෙවැනි වැඩසටහන් සදහා යොමු කරන්නෙ අල්ප වශයෙන් වුවද මේ දැරියගේ දෙමාපියන් පටු විදියට නොසිතා ඇගේ දක්ෂතා එළි දක්වන්නට මේ අවස්ථාවට සහභාගි කලෝය. තරග වාරෙන් වාරෙට රුපියල් දහස් ගණන් වියදම් කරමින් ඇදුම් පැළදුම් සැකසුවාය… SMS ගස්සගන්න තවත් දහස් ගණනක් වියදම් කලෝය.. අවසන් තරගයටද සහභාගි වී දැරියට තෑගිත් ලැබුණි…

    ඇගේ දෙමාපියන්ම කියන පරිදි ඒ ලද තෑගි වල වටිනාකම ඔවුන් එක ඇදුමකට වියදම් කල මුදල තරම්වත් නොවටිනාය… කොම්බුව ළමයි පෙන්නා දෙමාපියන්ට කොම්බුව දැම්මේ එසේය… වැඩේ අසික්කිතය…

  27. මට අදහගන්න බැරි වෙන මොකවත් නෙවෙයි. මේ වෙලාව ගැන හැඟීමක් නැති කම.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

  28. කියලා වැඩක නෑ.තව ඔය වගේ එකක් යනවා ඔලු නාලිකාවෙත්.සමහර පොඩි උන් දැක්කම හිතෙනවා ඇත්තටම උන්ට පොඩියි කියන්න පුලුවන්ද කියලා

    • මේකෙත් එහෙමම තමයි. පුංචි දරුවෝ ගායනා කලේ ගුණදාස කපුගේ ගේ ‘උන්මාද සිතුවම්’, වික්ටර් රත්නායකගේ ‘මියුරු කල්පනා’, සනත් නන්දසිරිගේ ‘ලස්සන නම් නෑ පෙනෙන්නේ’, ඇන්ජලින්/ජෝතිපාල ‘මියුරු පෙම් මදිරාවේ’ වගේ ගීත. නිකම් නෙවෙයි, ඒ සමග කෘත්‍රිමව එබ්බවූ අංග චලන සහිතව. ඒ ගීත වල භාවාර්ථය, මේ ළමයින්ට නොතේරීම ගැන ඔවුන්ට සමාව දිය හැකියි. නමුත් අර ඔලමොට්ටල දෙමවුපියෝ? උනුත් පුස්සෝ. උන්ටත් බැහැ ඒ ගීතවල භාවාර්ථය අනුව, ඒවා වයස අවුරුදු 12 ට අඩු දරුවකු ලවා ගායනය කරවීම සුදුසුද නැද්ද යන්න හිතා ගන්න.

  29. ඇත්තටම කිව්වොත් ලංකාවේ ශ්‍රව්‍ය සහ දෘශ්‍ය මාධ්‍ය තුල දැන් නම් කලාවක්,හරයක් ඇත්තෙම නැහැ සර්,මොන නාලිකාව බැලුවත් මෙලෝ රහක් නැති මහ පතෝල වැඩසටහන් තියෙන්නේ,හොඳ නිර්මාණාත්මක වෙළඳ දැන්වීම් දකින්නේ කීයෙන් කීයද,ඕක නිසාම මං නම් ලංකාවේ රුපවාහිනී සහ ගුවන්විදුලිය සෑහෙන දුරට ඈත් කරලා තියෙන්නේ..

    • මමත් ඔබ වගේම තමයි. මමත් රුපවාහිනිය/ගුවන්විදුලිය පාවිච්චි කරන්නේ ප්‍රවෘත්ති බලන්න/අහන්න විතරයි. ඉතා කලාතුරකින් වැඩසටහන් එකක් දෙකක් බලනවා. බොහෝවිට බලන්නේ සමබර, හරවත්, අධ්‍යාපනික වටිනාකමක් ඇති, චන්ද්‍රිකා රුපවාහිනි නාලිකා.

      • ඒ නාලිකා බලනකොට පේනවා අපේ කස්ටිය ගෙඩි පිටින් ඒවායේ තියෙන වැඩසටහන් අනුකරණය කරන්න දරණ අසාර්ථක උත්සාහය,අනුගමනය කරන්න උත්සහ කලාට කමක් නැහැ,ගෙඩි පිටින් අනුකරණය කරන්න ගිහින් අනා ගන්නවට වඩා.. මේ ලඟදි මොකක් හරි නාලිකාවක ගියාලු නේද පොඩි ගෑනු ළමයින්ට කොට ඇඳුම් කෑලි එහෙම අන්දලා fasion shaw එකක් වගේ වැඩ සටහනක්? අනේ මන්දා රටේ මාධ්‍ය යන අත..
        ලංකාවේ ඉතිහාසය,ස්වභාව සෞන්දර්ය,නොයෙකුත් ජාතීන්ගේ සංස්කෘතික වටිනාකම් වගේ දේවල් එකතු කරලා කොච්චර හොඳ වැඩසටහන් කරන්න පුලුවන්ද? Nat Geo වගේ නාලිකාවක් බලනකොට මතක් වෙන්නෙම ලංකාවේන් මොන තරම් දේවල් කරලා පෙන්නන්න පුලුවන්ද කියලා,අනේ මන්දා ඔය මාධ්‍ය වල ඉහල නිලධාරීන් නිකන්වත් වැඩකට ඇති වැඩසටහනක් බලලම නැද්ද කියලා..

        • ජාතික රුපවාහිනියේත්, ස්වාධීන රූපවාහිනියෙත්, දක්ෂතා ඇති නිර්මාපකයන් සහ අවශ්‍ය තාක්ෂණික පහසුකම්ද තිබෙනවා. ඉතා කලාතුරකින් එවැනි නිර්මාණ අදටත් දකින්නට ලැබෙනවා. නමුත් 80 දශකයේ තරම් හොඳ නිර්මාණ නැහැ. ඒ නාලිකා දෙකටම වෙලා තියෙන්නේ දේශපාලන පුස්සන්ගේ සහ වන්දිභට්ටයන්ගේ ග්‍රහණයට හසුවීමෙන් අකර්මන්‍ය වීමයි. අනෙක් නාලිකා වෙළඳ ව්‍යාපාර නිසා ඔවුන්ගෙන් එවැනි නිර්මාණ කෙදිනකවත් බලාපොරොත්තු විය නොහැකියි.

          • හරියට හරි සර්,ඔය නාලිකා දෙකේ ඉන්න දේශපාලන වන්දිභට්ටයෝ නිසා තමයි කලින් තිබ්බ හොඳ නමත් හේදිලා ගිහින් තියෙන්නේ.. මට නම් දැන් ඔය සේරම නාලිකා එකයි..

  30. ඔබතුමාගේ අදහස් සමඟ මම සම්පූර්නයෙන් එකඟයි. ඇත්තම කිවොත් මම රූපවාහිනිය නැරඹීමෙන් අත් මිදුන කෙනෙක් අ.පො.ස. උ/පෙ කාලෙටත් කලින් ඉඳලම. (එතකොට මැච් බලන්නෙවත් නැද්ද කියල අහයි. ඇත්තම කීවොත් T20 එකේ සෙමියයි ෆයිනල් එකයි විතරයි බැලුවෙ අවසාන ලෝක කුසලාන අන්තිම මැච් එකට පස්සෙ!)
    ටීවී චැනල් වල ඉන්න උංට ඕන මොන කුණු හරුපයක් හරි පෙන්නලා ජනප්‍රිය වෙන්න! ඉංදියාව වාගේ රටවල යන වැඩ සටහන් කොපි කරල ලංකාවේ ගොං පාට් දාන එක තමා ඕවයෙ ප්‍රධානම වැඩේ! ඒ අය එම වැඩසටහන් ලංකාවට කොච්චරක් දුරට ගැලපෙනවද කියලවත් බලන්නෑනි! නිකන්ම නිකන් පුහු ජනප්‍රියත්වයක් ගන්න තරඟ කරනවා.
    පොඩි කාලේ ඉදංම පොඩි ලමයාගේ හිතට වෛරය ක්‍රෝධය ඇතුලු කරල ළමා මනස විකෘති තරනවා. ඊලඟට කෑ ගහනවා ලංකාවේ අපරාධ වැඩීලු! ඒකට මුලික උනේ ඒ වැඩිහිටියන්ම කියල මතක නෑ!

    ඇත්තම කීවොත් රූපවාහිනියට ඇබ්බැහි නොවුන ජීවිතය හරිම සැහැල්ලුයි!

  31. දන්නා මිනිස්සු කවදාවත් කියව කියව යන්නේ නැහැ. මොකද……… කියවන්න ගතකරන කාලේ කරන්න වැයකරන්න පුළුවන් නිසා. මෝඩ යක්කු

  32. […] මට බොහෝවිට සිතෙයි. කුඩා කාලයේදීම, ඒ දරුවන් ඉච්ඡා භංගත්වයට පත්වන සැටි, […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: