විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


‘උඹ පිරිමියෙක් නම් වරෙන් මූණට මූණ ගහගන්න’ ඔබ සමහරවිට ජීවිතයේ එක වරක් හෝ මේ අභියෝගය ඔබේ සතුරෙකුට එල්ල කර ඇති. එසේම ඔබේ සතුරකු ඔබට ඒ අභියෝගය සමහරවිට එල්ල කර ඇති. ඉස්සර රජ කතාවල තිබුනෙත්, ‘එම්බල දුෂ්ඨය, ගනු කඩුව, එනු සටනට’ කියලා නේ. මුහුණට මුහුණ ලා සටන් කිරීම, මිනිස් ශිෂ්ඨාචාරය දියුණු වීමත් සමගම ගිලිහී ගියා. 😀 විශේෂයෙන් ලෝහ නලයකට වෙඩිබෙහෙත් සහ මූනිස්සම් දමා වෙඩි තැබීම හෙවත්, තුවක්කුව නමැති අවිය පාවිච්චි කිරීමට මිනිසා ඉගෙනගත් දවසේ පටන්, ප්‍රතිමල්ලවයන් අතර දුර වැඩි වුනා, ඉතින් ඒ ශිෂ්ඨාචාරයේ උපරිම අවස්ථාව තමයි සැඟවී සිට පහරදීම. 😀 😀 😀 සැඟවී සිට පහර දීම වානරයන් අතර පවා තිබෙනවා. මිනිසුන් අතර අදත් තිබෙනවා. හැබැයි එවැනි පහරදීමකදී සමහරවිට දුවලා බේරෙන්නත් අවස්ථාව තිබෙනවා. නමුත් සැඟවී සිට කරන වෙඩි තැබීමකදී නම්, බේරෙන්නට තිබෙන ඉඩකඩ ඉතාම අඩුයි. තුවක්කුකරුගේ ඉලක්කය වැරදුනොත් තමා බේරෙන්නට ලැබෙන්නේ ප්‍රධාන වශයෙන්ම. සැඟවී සිට වෙඩි තැබීම කොයි තරම් දුරට මානුෂික ද අමානුෂික ද යන්න විග්‍රහ කිරීම වෙනම කලයුතු දෙයක්.

මේ ලිපිය ලියන්නේ ලෝකයේම යුද හමුදා විසින්, අද කාලයේ යොදා ගන්නා, සැඟවුණු වෙඩික්කරුවන් හෙවත් ‘ස්නයිපර්ස්’ ලා  (Military Snipers) ගැන කියන්නයි.

   සැඟවුණු තුවක්කුකරුවන් ගැන ලියවුනු පොත් රාශියක් වෙළඳපොලේ තිබෙනවා. ලංකාවෙත් තිබෙනවා, ප්‍රධාන පෙලේ ඉංග්‍රීසි පොත් වෙළඳසැල් වල. මා ළඟනම් තියෙන්නේ එක පොතයි. මේ තියෙන්නේ එහි පිට කවරය. නමුත් අන්තර්ජාලයේනම් සැඟවුණු තුවක්කුකරුවන් ගැන දැනගතහැකි තොරතුරු මෙතෙකැයි කියන්නට බැරි තරම් තිබෙනවා. එයින් තෝරා බේරාගත් තොරතුරු මේ ලිපියෙහි ඇතුලත් වෙනවා.

white space

  ‘සැඟවුණු තුවක්කුකරුවා’  මේ කවුද? මොනවද කරන්නේ?

   පසුගිය අවුරුදු  තිහක විතර කාලයේ නම් ඔබ නිතර අහන්න ඇති නාඳුනන තුවක්කු කරුවන් පිළිබඳව. දැනුත් අහන්න නොලැබෙනවා නොවේ. මේ ඊයේ පෙරේදාත් එවැනි තුවක්කු කරුවන්ගේ ප්‍රහාර මගින් සාමාන්‍ය පුද්ගලයන් කීප දෙනෙකුගේ ජීවිත නැතිවී තිබුනා. ඒ වගේ පහත් වැඩකරන එවුන් සැඟවුණ තුවක්කු කරුවන් නොවේ. හදිසියේ කඩා පැන, එහෙම නැත්නම් මග රැකසිට, අහිංසක මිනිසකුට වෙඩි තබා පැනයන්නා, බියගුල්ලකු මිස, සැඟවුණ තුවක්කු කරුවකු නොවේ. සැඟවුණු තුවක්කු කරුවකු 100% ක් ම ඉලක්ක කරගන්නේ, තම පාර්ශවයට විරුද්ධ ක්‍රියාකරන, වෙනත් සන්නද්ධ පාර්ශ්වයක සාමාජිකයකු මිස, අහිංසකයකු නොවේ.

   ස්නයිපර් Sniper කියන වචනය සෑදී තිබෙන්නේ Snipe කියන වචනය ආශ්‍රිතවයි. පින්තුරය බලපුගමන් තේරෙනවනේ ඒ මොකද කියලා. කැස්වටුවා හෙවත් ‘ස්නයිප්’ කියන්නේ නිතර එලිපහලියට නොඑන ක්ෂණයකින් ඉගිලී නොපෙනී යන කුරුල්ලෙක්. ඌට වෙඩි තැබීම ඉතා අපහසු කාර්යයක්. දෙවැනි ලෝක යුද සමයේදී ඉන්දියාවේ සේවය කල බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන්ගේ එක් විනෝදාංශයක් වූයේ කැස්වටුවන් වෙඩි තැබීමයි. එය දක්ෂ වෙඩික්කරුවන්ට පමණක් කළහැකි දෙයක් වුනා. මන්ද කැස්වටුවාට වෙඩි තැබීමට නම්, ඉතා ඉවසීමෙන් හා සන්සුන්ව, කිසිදු ශබ්දයක් නොකර, ඌට ලං විය යුතුයි. එසේම නිතර එහාට මෙහාට පනින මේ කුරුල්ලා, ඉලක්ක කරගැනීමත් එතරම් පහසු නැහැ. ඉතින් මේ කුරුල්ලාට වෙඩි තැබීම ඔස්සේ කල්පනා කර, එය හමුදා කටයුතු වලට යොදවා ගැනීම නිසා, ස්නයිපර්ලා බිහිවුණා.

white space

  ස්නයිපර් කෙනෙක් කියන්නේ විශේෂ පුහුණු සොල්දාදුවෙක්. සාමාන්‍ය සොල්දාදුවකු ලබා තිබෙන්නේ වෙඩි තැබීම පිලිබඳ සම්ප්‍රදායික පුහුණුව පමණයි. එමෙන්ම සාමාන්‍ය සොල්දාදුවා පාවිච්චි කරන්නේ පොදුවේ පාබල හමුදා වලට නිකුත් කරන අවියක්. එසේම ඔහු එම අවිය පාවිච්චි කරන සෑම අවස්ථාවකම සැඟවී සිටින්නට ඉඩ ලැබෙන්නේ නැහැ. යුද්ධ භූමියේදී තුවක්කුවකින් වෙඩි තැබු විට, ඒ තුවක්කුව තිබෙන්නේ කුමන ඉසව්වේද යන්න, සාමාන්‍ය සොල්දාදුවකුට තම පුහුණුවෙන් ලද දැනුම හා යුද බිමේ අත්දැකීම් වලින් සොයාගත හැකියි. වෙඩි හඬ පැමිණි දිශාව, තුවක්කු කටෙන් එන සියුම් දුම, වෙඩි තබන්නා සිටින තැන පඳුරුවල කොළ සෙලවීම හෝ කැඩී ඉදිරියට විසිවීම, රාත්‍රී කාලයේදී නම් තුවක්කු කටෙන් පිටවන ගිනි එලිය, ආදී කරුණු ඒ සඳහා ආධාර වෙනවා. ඉතින් මෙවැනි අනතුරුදායක තත්වයක සිටයි, සාමාන්‍ය සොල්දාදුවා යුද්ධ කරන්නේ. සාමාන්‍ය සොල්දාදුවන් මාස දෙක තුනකින් ආධුනික පුහුණුව නිම කර, යුද පිටියට එවිය හැකියි. නමුත් ස්නයිපර් සොල්දාදුවකු හදන්න ඇත්තටම බැලුවොත් අවුරුද්දකට වඩා කල් යනවා. ඒ නිසා සාමාන්‍ය සොල්දාදුවන් සිටින පෙරමුණේම සිට ස්නයිපර් වරයකු සටන් කරන්න ගියොත් (එහෙම කරන අවස්ථා තියනවා) ඔහු ජීවිතක්ෂයට පත්වීමට ඇති ඉඩකඩ බොහොම වැඩියි. ඒ නිසා ස්නයිපර්ස් ලා බොහෝ විට වෙනමම ක්‍රමයකටයි යොදවන්නේ.

  ස්නයිපර් තුවක්කුකරු තම මවු ඒකකයෙන් වෙන්වූ පුද්ගලයෙක්.  එසේ වන්නේ ඔහු ස්නයිපර් පුහුණුව සඳහා තෝරාගත් පසු නැවත මවු ඒකකයට යාමට අවස්ථාව නොලැබෙන බැවින් සහ යුද බිමේ යොදවන්නේද ඒ ප්‍රදේශය තුල සිටින හමුදා වලට අනුයුක්තව මිස, සෑම විටම තම මවු ඒකකය සමග නොවන බැවින්. එක අතකට හමුදාව තුල අනාථයෙක්. ඔහුට යුද භූමියේ සටන් කරන හමුදා වලින් එතරම් විශාල සහයෝගයක් ලැබෙන්නේ නැහැ. එවැනි සහයෝගයක් දෙන්නට යුද බිමේ සටන් කරන සෙබළුන්ට අවකාශ ලැබෙන්නෙත් බොහොම අඩුවෙන්. මේ නිසා තනියම දිවි රැකගැනීම ගැනත් ස්නයිපර්ලාට විශේෂ පුහුණුවක් ලැබෙනවා. ඒ සියල්ලට වඩා වැදගත්ම දෙය වන්නේ ස්නයිපර් කෙනෙකු පාවිච්චි කරන තුවක්කුවයි. එය ස්නයිපර් කාර්යය සඳහාම විශේෂයෙන් නිපදවන ලද, ඉතා වටිනා, අතිශයින් සියුම් ක්‍රියාකාරිත්වයකින් යුත්, අවියක් වන අතර, එක් එක් ස්නයිපර් වරයා තම තුවක්කුවේ තමන්ටම ආවේනික වෙනස්කම්ද සකස්කර ගන්නා නිසා එහි වටිනාකම කියන්නට බැරි තරම්.

  එමෙන්ම වැදගත්වන තවත් දෙයක් වන්නේ ස්නයිපර් වරුන්ට සපයන පණිවිඩ හුවමාරු යන්ත්‍රයි. ඒවාද ඉතා සියුම් ක්‍රියාකාරීත්වයෙන් යුත්, ඉතා මිළ අධික යන්ත්‍ර වන අතර, ඔත්තු බලන සංඥා යන්ත්‍ර වලට හසු නොවන ක්‍රමවේදයන් අනුව සකස් කරන ලද ඒවා. එයින් යුද බිමේ සිටින තමන්ගේ වර්ගයේ සගයන්ට තමන් නිරීක්ෂණය කරන ඉලක්ක හා ඒ ඉලක්ක වල වැදගත් තොරතුරු ඉක්මනින් ලබාදීමේ හැකියාව තිබෙනවා. සාමාන්‍යයෙන් පණිවිඩ හුවමාරු යන්ත්‍රයක මයික්‍රෆෝනය තමන්ගේ කට අසලට ගෙන කතා කලයුතු බව ඔබට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. නමුත් ස්නයිපර්ලා පාවිච්චි කරන පණිවිඩ හුවමාරු යන්ත්‍රවල මයික්‍රෆෝනය තිබෙන්නේ ස්නයිපර්ගේ උගුරු දණ්ඩට හේත්තුවී සිටින පරිදියි. එයට ප්‍රධාන හේතුව ස්නයිපර්ට තම දෑත සෑම විටම නිදහස්ව තබාගැනීමට අවශ්‍ය නිසාත්, සාමාන්‍ය මයික්රෆොනයකට මෙන් හඬ නගා කතාකිරීම නිසා, සතුරන්ගේ අවධානයට ලක්වී, ඔහුගේ ජීවිතය අවදානමට පත් වන්නට ඉඩ ඇති නිසාත්. ඒ මයික්‍රෆෝනය උගුරෙන් පිටවන සියුම් ශබ්දය පවා ලබාගෙන පණිවිඩ හුවමාරු යන්ත්‍රයට ලබාදෙන නිසා හයියෙන් කතා කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. හෙමින් කොඳුරා කියන වචන පවා පැහැදිලිව ඇසෙනවා. (මේ ක්‍රමයේ මයික්‍රෆෝන, විශේෂ ක්‍රියාන්විත වල යෙදෙන, කමාන්ඩෝ, විශේෂ බලකාය, වැනි ඒකකද පාවිච්චි කරනවා) 

  සැඟවුණු තුවක්කුකරු හෙවත් ස්නයිපර් ගේ කාර්යභාරය වන්නේ, භූමියේ තමන් සිටින ස්ථානය, සතුරාට නිරීක්ෂනය වීමට ඇති ඉඩකඩ අසුරාලමින්, සතුරා සහ තමන් සිටින ස්ථානය අතර සෑමවිටම හැකි උපරිම දුරක් තබාගනිමින්, හැකිතරම් වෙස්වලාගනිමින් හා සැඟවී සිටිමින් (Camouflage and Concealment) සතුරු ඉලක්ක නිරීක්ෂනය කොට, සතුරාගේ චිත්ත ධෛර්යය බිඳ වැටෙන අකාරයේ ඉලක්ක වලට, එනම්, උසස් හමුදා නිලධාරීන්, හමුදා කණ්ඩායම් වලට අණ දෙන්නන්, පණිවිඩ හුවමාරු යන්ත්‍ර ක්‍රියා කරවන්නන්, බර මැෂින් තුවක්කු, මෝටාර්, යුද ටැංකි නාශක සැහැල්ලු අවි ක්‍රියා කරවන්නන්, (Light AntiTank Weapons = LAW) ගුවන් යානා නාශක අවි, (Anti Aircraft Guns = Ack Ack Guns) ක්‍රියා කරවන්නන්, වැනි ඉලක්ක වලට පහරදීමයි.

  සෑම විටම ඉලක්ක කරගන්නේ පුද්ගලයන්. බඩුබාහිරාදිය හෝ උපකරණ නොවෙයි. (ඉතා වටිනා උපකරණ වලට හානි කල හැකිනම් එසේ කරන අවස්ථාත් තිබෙනවා. නමුත් ප්‍රමුඛස්ථානය දෙන්නේ පුද්ගලයන්ටයි. උපකරණයක් ඉක්මනින් නැවත සපයා ගත හැකියි. විශේෂඥ පුහුණු සොල්දාදුවකු ඉක්මනින් සපයාගත නොහැකියි) ඉහත සඳහන් ආකාරයේ ඉලක්ක වලට පහර වැදුනාම, ඒ හමුදා කණ්ඩායම් බරපතල වික්ෂිප්ත භාවයට හා අවුලට පත්වන අතර ඔවුන්ගේ චිත්ත ධෛර්යය පහත වැටෙනවා. එයින්ම ඔවුන්ගේ ක්‍රියාන්විත ශක්තිය (Operation Capability) අඩාළ වෙනවා. ඒ අනුව, යුද සෙබළුන් රාශියක් යොදවා අත්පත් කරගත යුතු ජයග්රනනයක්, ස්නයිපර් වරු දෙතුන් දෙනෙක් යොදවා කරගත හැකි අවස්ථා ද තිබෙනවා.  

  ස්නයිපර් තුවක්කුකරුවන්, යුධ භූමියේ සැඟවී ගමන් කිරීම, ආහාර හෝ ජලය රහිතව විකල්ප ක්‍රම මගින් දිවි රැකගැනීම, අපහසුතා දීර්ඝ කාලක් දරා සිටීම, නිරීක්ෂනය සහ ඔත්තු බැලීම ගැනද, විශේෂඥ පුහුණුවක් ලබා සිටිනවා. එමෙන්ම ඔවුන් කැලෑවේ සැඟවී වෙඩි තැබීමටත්, නාගරික පරිසරයක ගොඩනැගිලි අතර සැඟවී වෙඩි තැබීමටත්, එකසේ විශේෂ පුහුණුවක් ලබා සිටිනවා. ඉතින්, මේ අය ගැන තවත් විස්තර මීළඟ කොටසේදී කතා කරමු.

Comments on: "සැඟවුණු මරුවා (පළමුවැනි කොටස) – The Sniper (Part One)" (142)

  1. මුලින්ම ලීපියට බොහොම ස්තුතියි!

    1.”සැඟවුණු තුවක්කුකරුවන් ගැන ලියවුනු පොත් රාශියක් වෙළඳපොලේ තිබෙනවා.” ඒ ගැන සිංහලෙන් පොතක් ලිව්වොත් හොඳ නැද්ද? නැතිනම් පරිවර්තනයක් කළොත්??

    2.”එක අතකට හමුදාව තුල අනාථයෙක්.” ස්නයිපර්වරු කිසියම් රෙජිමෙන්තුවකට අයත් නැත්ද?

    3.ඔවුන් ස්වාධීනද? එසේ නම් සැලසුම් සකස් කරන්නේ හා සනයිපර්වරුන්ට අණ දෙන්නේ කවුද?

    4.අපි ශිෂ්‍යභටයෝ කාලයේ අපට සරඹ පුහුණු කළ උපදේශක ‘sniper’ යැයි සඳහන් ලාංඡනය්ක් පැළඳ සිටියා. ඔහු ස්නයිපර්වරයෙක්ද?

    5.”උසස් හමුදා නිලධාරීන්” මට මතක් වුනේ එක් හමුදා නිලධාරියෙකුගේ තොප්පිය හුළඟේ යාම නිසා ඔහු මරණයෙන් ගැළවුනු හැටි. එහෙම නොවුනානම් මේ කමෙන්ට් එක ලියන්න වෙන්නෙත් නෑනෙ.

    6.හමුදාවෙ නිල වීඩියෝ හා ඡායාරූප ශිල්පී.. 🙂 ඔය විදිහට වෙනත් හමුදා සමග යුධෝපක්‍රම හුවමාරුව රටේ යුධ රහස් පිටවීමට හේතුවක් නෙමේද? (උගන්වන රටේ හෝ ඉගෙනගන්නා රටේ)

    • අම්මෝ ප්‍රශ්න පත්‍රයේ දිග.
      1. සිංහල පොතක් ලිවීම ඉතා දුෂ්කර ව්‍යායාමයක්. අපේ රට ඒ සඳහා තවම හැඩගැසී නැහැ.
      2. ස්නයිපර් වරු අයත් වන්නේ තම මවු එකකයටයි. ස්නයිපර් රෙජිමේන්තුව කියා රෙජිමේන්තුවක් නැත. අද මෙතන හෙට අතන අනිද්දා තව තැනක. ඒ කොතැනකවත් තමන්ගේ මවු ඒකකය නැත. ඉතින් ඔහු අනාථයෙක් නොවන්නේද?
      3. ඔවුන් ස්වාධීනයි. ඔවුන්ට අණ දෙන්නේ අදාළ ප්‍රදේශයේ බල සේනාධිපති වරයා.
      4. ස්නයිපර් ලාංඡනය උසස් ස්නයිපර් පාඨමාලාව කල අයත් අඳිනවා. නමුත් ප්‍රයෝගිකව ස්නයිපර් රාජකාරියේ යෙදෙන්නේ සුපිරි දක්ෂයන් පමණයි.
      5. අම්මෝ, ඒ සිද්ධිය මත වෙනකොට අදටත් පුදුම හිතෙනවා එදා මගේ ජීවිතය බේරුනේ කොහොමද කියලා.
      6. ඔය විදිහට නෙවෙයි මම වීඩියෝ කරලා තියෙන්නේ. මම ජාතික රුපවාහිනියේ විශේෂ පුහුණුවක් ලැබුවා ඒ ගැන. වරක් මම දොරවල් ගැලවූ හෙලිකොප්ටරයක එක පැත්තක ඇති කණුවට තබා මාව ගැට ගසාගෙන (බිමට වැටෙන එක වලක්වා ගැනීමට) මන්නාරම සිට වවුනියාව දක්වා යුද හමුදා බංකර පේලිය වීඩියෝ ගත කළා එහි ඉදිරි සැලසුම් සකස් කිරීම සඳහා. අනේ ඔය ඇමරිකන් කාරයෝ අපි හිතුවාට වඩා මැට්ටෝ.

      • ඔය ඇමරිකන් කාරයො එන්නේ අපිට උගන්නන්ම නෙවේ අපෙන් ‍යුධ අත්දැකීම් ගන්න විසේසයෙන්ම දීර්ඝ කාලයක් ගරිල්ලා යුධ්දයක් පවත්වාගැනීම …. සහ ඒ ගොල්ල මහන්සි වෙලා හදපු යුද්දේ අපි හොදට කරන්ව්ද කියලා බලාගෙන යන්ඩ නෙව

      • ආරක්ෂක හමුදාවත් එල්.ටී.ටී.ඊ යත් සනයිපර්කරුවන් යොදාගන්න පටන් ගත්තෙ පසුකාලීනවද? ඊලාම් යුද්ධයේ මුලම පාවිච්චි කරාද?

        • මුලින්ම පටන්ගත්තේ එල්.ටී.ටී.ඊ. ඒකෙන්. ඒ තර්ජනය අවබෝධ කරගත් අපි අපේ ස්නයිපර් පාසලක් පිහිටවා ඉතා සාර්ථකව ඒ අභියෝගය ජයගත්තා. දෙවැනි ඊලාම් යුද්ධය (1990) දී තමයි මුලුන්ම පටන්ගත්තේ.

      • දියතලාව ප්‍රගුණ වෙඩික්කරුවන්ගේ පාසල (Home Of Snipers) ගැනත් ටිකක් කිව්වා නම් තමයි හොද
        ඒ වගේම code name Niro ගැනත් කිව්වා නම්. මේ වෙලාව ඒකට හොදම වෙලාව

  2. ක්සැන්ඩර් | Xander said:

    අන්න මම බලා හිටිය ලිපියක්.. ස්නයිපර් වරු තමන්ගේ තුවක්කුවේ විශේෂිත වෙනස්කම් කරනවා කියා ඔබතුමා කිව්වා. ඒ මොනවාද? පොඩ්ඩක් පැහැදිලි මදි.

  3. බටහිර චිත්‍රපටිවල නම් ස්නයිපර් තුවක්කුකරුවන්ගෙ ක්‍රියාන්විත බලල තියෙනව. ලංකාවෙ නම් ඒ වගේ ෆිල්ම් හදන්නෙ නැති තරම්මනේ.

    මම හිතන්නෙ ඔය ස්නයිපර්ල තෝරගන්නෙ ප්‍රධාන වශයෙන්ම මූලික හමුදා පුහුණුවෙදි වඩා දක්‍ෂ ඉලක්කකරුවන් අතරින් වෙන්න ඇති.

    තව සුළු ප්‍රශ්නයක් තියෙනව. 🙂 යුද්ධයෙන් පසුව විශේෂඥ පුහුණුවක් ලබපු ස්නයිපර් වෙඩික්කරුවො මොන වගේ රාජකාරිවලද යොදවන්නෙ.

    • ලංකාවේ මෙතෙක් නියම යුද වාර්තා චිත්‍රපටියක් හැදිලා නැහැ. යුද්ධය දේශපාලන වාසියක් කරගන්නා චිත්රපටිනම් හැදිලා තියනවා.
      ඔව් ඔබ හරි. ස්නයිපර් පුහුණුව සඳහා තෝරාගන්නේ වාර්ෂික වෙඩි තැබීම් පුහුණුවේදී විශේෂ දක්ෂතා දක්වන අය.
      හමුදා පුහුණුව කවදාවත් අවසන් වෙන්නේ නැහැ. ස්නයිපර් වරු අදත් පුහුනුව කරනවා. අලුත් අයට පුහුණුව දෙනවා.

      • මාතා (2012) ගැන ඔබතුමා මොකද හිතන්නේ. ලංකාවේ මම දැක්ක හොදම චිත්‍රපටියක්. අවම සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරන් තියෙනවා. මෙච්චර අඩු බජට් එකකට B Genere movie එකක් හදන්න හුගක් මහන්සි වෙන්න වෙනවා. දේශපාලිනික වාසියක් නම් මම ඒකේ දැක්කේ නෑ
        http://www.imdb.com/title/tt1974319/

        • මාතා තාක්ෂනය අතින් ඉහලයි කියා පෙනෙන්නේ දියුණු තාක්ෂනය සහිත ජාත්‍යන්තර මට්ටමේ සිනමා කෘති නරඹා නැති අයට පමණයි. සිනමාත්මක වටිනාකම අතින් එතරම් හරයක් නැහැ. සිනමා කලාව අතින් මධ්‍යස්තයි. ඒ තමා මගේ කෙටිම විග්‍රහය.

      • මාතා චිත්‍රපටය අන්තිමයි.. වෙඩි සද්දය එන්නේ හරියට ටකරමේ රතිඤ පුපුරනවා වගේ..

        • මම එවැනි හේතු කීපයක් නිසයි කිව්වේ උසස් තාක්ෂනය සහිත ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපටි බලලා නැති අයට මෙය විශ්වකර්ම නිර්මාණයක් ලෙස පෙනෙනු ඇති කියලා.

      • ඔබ ඔය VFX කරපු තැන දැක්ක නම් ඔහොම කියන්නේ නෑ. හොලිවුඩ් Films VFX කරන studio එකකින් 1/100 ක් වත් නෑ. ගැහුවට පස්සේ සද්දේ එන, කෙල්ලොන්ගේ කකුල් පෙන්නලා සල්ලි හොයන චිත්‍රපටියකට වැඩිය දෙයක් මම මාතා චිතුපටියේ දැක්කා.

        @අංගොඩයා – හොද image quality එකක් තියා හොද සව්න්ඩ් අහන්න ලංකාවේ එකම චිත්‍රපටි ශාලාවක් වත් තියෙනවාද මහත්මයා? එහෙම රටක කොහොමද finalize print එක හොද සව්න්ඩ් quality එකක් තියෙන්නේ?

  4. නියම ලිපියක්…

    ස්නයිපර් ෆිල්ම් එක බලලා තියෙනවා… ඒකේ අන්තිම ශොට් එක මට අදටත් මතකයි…

    ලංකාවේ ස්නයිපර් කියපු ගමන් මතක් වෙන්නේ නීරෝ කියන රණ විරුවාවනේ… ඔවුන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා….

    • නීරෝ ගැනත් කියන්නම්.

      • අයියේ, ඉතාමත් වටින ලිපියක්. මාත් මේක් කියෙවුවම මතක් වුනේ නීරෝ රණ විරුවා ගැන. ඒ අපි දන්න මාධ්‍ය වලින් එළියට ආපු චරිතයක්. නීරෝ වගේම ‍යුධ පිටියේදී දක්ෂතා දක්වපු අය තව ඇති, ඒ ගැනත් හැකි පමණ එළි කරනවානම් වටිනවා.

        ආ තොප්පිය හුළගේ ගිය කතාව මොකක්ද?

        • මේ කතාවේ ඒක තැනක නීරොත් ඉන්නවා. ඒ කොටස පසුව පල කරන්නම්.
          තොප්පියේ කතාව මේකයි. මම වවුනියාවේ සේවය කරමින් ඉන්න කාලේ උතුරේ සිට එන මහජනතාව පරීක්ෂා කරලා මේ පැත්තට ඇතුළු කරන පරීක්ෂණ කපොල්ල බලන්න ගියා. එතන බංකරයෙන් ඉස්සරහට අඩි 10 ක් විතර ගියා මම ආරක්ෂක මුරයේ අය එපා කියද්දී. එහෙම ඉන්නකොට මගේ තොප්පිය සුළඟේ ගියා. මම ඒක ගන්න නැවෙනකොටම වෙඩි ශබ්දයක් ඇහුනා. මගේ සහායක සෙබලා එතනම මැරී වැටුනා. එයාට වැදුනේ එල්.ටී.ටී.ඊ ස්නයිපර් කෙනෙක් මට තියපු වෙඩිල්ල. මම එක වරම තොප්පිය ගන්න නැවුණු නිසා බේරුනා. අර සෙබලා ජීවිතේ පිදුවා.

  5. ඉතාමත් හොද ලිපියක් .ඔබ තුමන් ලග තියෙනවනම් ස්නිපර් වරුන් ගැන තියෙන පොත් වල ලිනක් ටිකක් දාන්න. sniper කෙනෙකුගේ පුහුණුව ගැනත් කියන්න පුලුවන්නම් හොදයි

  6. තවත් රසබර ලිපි පෙලක්
    මම දන්න එක්කෙනෙක් ඉන්නවා
    ශරිරයෙනුත් පුංචි අහිංසක පෙනුමක් තියන
    නිවිච්ච මනුස්සයෙක්
    මම මුලින් හමුදාවේ කියලා විශ්වාස කලෙත් නැ
    පස්සේ කාලයේ දැනගත්තේ එයාගේ හාමිනේගේ කට හින්දා
    එයත් ස්නයිපර් කෙනෙක්

  7. හමුදාවේ මම කැමතිම කොටස. බොහොම රසවත්ව ආරම්භය අරගෙන තියනව.
    “එනිමි ඇට් ද ගේට්” මට මතක විදියට ස්නයිපර් කතාවක්. ලංකාවේ ස්නයිපර් සෙබලියෝ ඉන්නවද? ෆිල්ම් එකකවත් ආසාවකට දැකල නෑ.

  8. මට අහන්න ප්‍රශ්නයක් තියෙනවා ස්නයිපර් බුලට්ස් ගැන.. විචාරක මහත්තයා ඊළඟ ලිපියෙන් ඒ ගැනත් කතාකරන්න යනවානං ප්‍රශ්නය නොඅහාම ඉන්නම්.. 🙂

  9. කෑම්ප් එකේ කෝකියෝ නේද අර දකුණු පැත්තෙ රූප සටහනේ ඉන්නෙ. මමයි දුවයි කාපු රස ම රස කිඹුලා බනිස් ගෙඩි ලැබුනේ පොළොන්නරුවේ හබරණ පැත්තෙ කෑම්ප් එකකින්.

  10. මම අහලා දැකලා තියන විදිහට අපේ යුධ ජයග්‍රහනයට ස්නයිපර්ලගෙන් ලැබුන සේවය අමිලයි. කොටින්ව හොල්මන් කරන්ඩ ඔවුන් සමත්වුනා කියලා තමා අහලා තියෙන්නෙ.. නීරෝ කියලා අපේ හිටපු සුපිරි ස්නයිපර් කෙනෙක් ගැන “ඔබ නොදුටු ලොවේ” ගියා මට මතකයි..

    http://obanodutulowak.blogspot.com/2012/05/blog-post.html

    • මේ ලිපි පෙලේ ඉදිරියේදී නීරෝ ගැන කියන්නම්. ස්නයිපර්ලා පසුගිය යුද්ධයේදී කරපු අගනා මෙහෙය ගැන පත්තරවල හෝ වෙනත් ජන මාධ්‍ය වල පළවුණේ බොහොම ටිකයි.

  11. මේක කියෙව්වාම මට හිතුනේ ඇයි මම යුද හමුදාවේ නැත්තේ කියලා.:D

    ස්නයිපර්ස්ලා පුහුණු කරන ආකාරයත්, එයාලා කන, බොන ආකාරය වගේ දේවලුත්,වනය තුල ඔවුන්ගේ ජීවිත ගෙවෙන අන්දමත්, සටහන් කරන්ට. එක තැනක ඔබ සඳහන් කරලා තියනවා එයාලා ආහාර හෝ ජලය නැතුව වෙන විකල්ප මගින් දිවි රැක ගන්න බව. ඒ තොරතුරු එන කල් ආසාවෙන් බලා ඉන්නවා.

    • අපේ යුද හමුදාවේ ස්නයිපර් වරියන් නැති නිසා ඔයාට පුළුවන් පලමුවැන්නිය වෙන්න. හිත විතරයි අවශ්‍ය (අධිෂ්ඨානය) 😀 😀 😀
      ස්නයිපර් වරු විතරක් නෙවෙයි කමාන්ඩෝ සහ විශේෂ බලකායේ සෙබළු පවා විශේෂ පුහුණුවක්‌ ලබනවා පරිසරයේ ඇති දේවලින් යැපෙන්න. සර්පයන් අල්ලා හිස කපා දමා හම ඉවත් කර රසවත් භෝජනයක් හදන්න පුළුවන්. හැම ගැසූ කුඩා මාළු අමුවෙන් කන්න පුළුවන්. තව විවිධ කොළ පොතු මුල් ගෙඩි වර්ගත් තියනවා.
      1991 දි මමත් මාසයක් විතර සුදු කැකුළු හාල් බත් මුරුංගා කොලත් එක්ක කෑවා. එහෙම වුනේ අපිට කෑම ගෙන එන ගුවන්යානා වලට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් පහරදුන් නිසයි. හාල් ඉවර වුනාම අන්තිමට අමු පැපොල් තම්බලා කෑවා. මම බඩගින්නේ ඉන්නවා බලන්න බැරි මගේ සොල්දාදුවෙක් පැපොල් ගසකට නැග්ග පැපොල් කඩන්න. එල්.ටී.ටී.ඊ. ස්නයිපර් කෙනෙක් ඔහුගේ ජීවිතය පැහැරගත්තා. එදා ඒ ස්නයිපර් ව හමු වුනානම් මම ඌව අහාරයට ගන්නවා.

      • “එල්.ටී.ටී.ඊ. ස්නයිපර් කෙනෙක් ඔහුගේ ජීවිතය පැහැරගත්තා. ” සිද්ධිය ගැන කණගාටුයි.. විශේෂ ඉලක්ක ඇරුණාම එහෙම හැම සෙබලාටම ස්නයිපර්ලා ඉලක්කය අල්ලනවාද?

      • ක්සැන්ඩර් | Xander said:

        ඔය කියන්නේ 91 දී අලිමංකඩට ගහපු එක වෙන්න ඕනේ. ඔතන හිටියා මම හොඳින් දන්නා කීප දෙනෙක්. කීප දෙනෙක් එදා දිවි පිදුවා. තව කෙනෙක් හමුදාචේ සොල්දාදුවන්ගේ පුහුණුව කියාපාමින් දවස්ගානක් හුඹස් මැටි පවා කමින් දිවි රැකගෙන ඇවිත් හිටිය. ඔහු අද මේජර් කෙනෙක් හෝ කර්නල් කෙනෙක්.

        */ මම බඩගින්නේ ඉන්නවා බලන්න බැරි මගේ සොල්දාදුවෙක් පැපොල් ගසකට නැග්ග පැපොල් කඩන්න. එල්.ටී.ටී.ඊ. ස්නයිපර් කෙනෙක් ඔහුගේ ජීවිතය පැහැරගත්තා. එදා ඒ ස්නයිපර් ව හමු වුනානම් මම ඌව අහාරයට ගන්නවා. /*

        මේ කොටස කියවද්දී දැඩි වේදනාවකුත් එක්ක ඔබ ඇතුළු එහි වූ සියල්ලන්ගේම බැඳීම ගැන එහි මහා කතාවක් තියන බව දැනුනා.

        • මේ සිද්ධියට මම මුහුණදුන්නේ කන්කසන්තුරේදී. ඒ කාලය මතක් වෙනකොට අදටත් හිතට දැනෙන්නේ ලොකු දුකක්. ඒ සොල්දාදුවාගේ ගෙදර අය කොහේ මොනවා කරනවා ඇද්ද කියලා හිතෙනවා.

      • ගම් වලට පැනලා අහිංසක කිසිත් නොදන්න සිගිති බිළිදාගේ සිට කපා කොටා මරා දැමූ LTTE පරයන්ට කොහෙද නීති. ඒවට කොහෙද මානව හිමිකම්?
        මේ ලගදී ජරා කොටියෙක් දෙවෙනි වතාවටත් මහ ඇමති කමට ඉල්ලන්න අත් උස්සන් එනවා TV එකේ දකිද්දී ලේ පිච්චුන තරම කියන්න වචන ට නෑ. ඒ මචිවට ඌට පොලිස් ආරක්ෂාව. දන්න විදිහට ඌ දළදා මාලිගාවට පහරදුන් මිලෙච්ඡ ප්‍රහාරය පිටිපස්සෙතච් ඉන්නවා (Source:- http://www.island.lk/2009/12/25/news1.html)
        අපිට මානව හිමිකම් අයිතිය නෑලුනේ. අපි මිනිස්සු නෙමෙයි වෙන්න ඇති.

        ප.ලි:- ඇවිදීම ශරීර සෞඛ්‍යට හිතකරය. සුදු වෑන් අවශ්‍ය නැත. (උපුටාගැනීමකි)

      • අහින්සක බල්ලන්ට අපහාස කිරීම ගැන මගේ බලවත් විරෝධය………..!!!!!!!!!!

  12. අනේ ඇත්තද? හරිම පව් හිතෙන කතාවක්…

    ඔය තොරතුරු කලින් ලියලා තියනවද? ලියලා නැත්නම් වහාම ලියන්ට කියලා බල කරනවා. 🙂

    හේතුව, මේ කතා සාමාන්‍ය මිනිසුන්ට මුහුණ දෙන්ට පුලුවන් අත්දැකීම් නෙමේ හන්දා. ඒ වගේම රටේ ආරක්ෂාව සඳහා ඔබ වැන්නන් කරන කැප කිරීම් ගොඩක් අය දන්නේ නැති හන්දා.

  13. මේවා අහද්දී අපේ හමුදාව ගැන තියන ආඩම්බරය තවත් වැඩි වෙනවා……….!
    Thank You Sir.

    • මමත් උත්සාහ කරන්නේ අපේ මිනිස්සුන්ට තියන අතීතය අමතකවීමේ රෝගය ටිකක් අඩු කරන්නයි.
      ඇගයීම ගැන ස්තුතියි.

      • මිනිස්සුන්ට අමතකයි කියලා මම නම් හිතන්නේ නෑ. මොකද අපේ රටේ නිතරම ඔය ගැන මතක් කරනවානෙ. හැබැයි මතක් කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ දේශපාලන වාසිනෙ. ඒකයි මට කණගාටු.

        • අද ගෑනු කෙනෙකුගේ වැදෑමහ වුනත් විකුනලා දේශපාලන වාසි ගන්නවා. ඊළඟ චන්දෙදි කතෝලික බැතිමතුන් වැඩිය ඉන්න ප්‍රදේශවල ප්‍රදර්ශනය කරන්න පාප් වහන්සේගෙන් මොනවහරි ඉල්ලගෙන එයිද දන්නේ නැහැ. 😀

      • 😀 හිනාවෙලා බිබී හිටපු තේ එකත් හැලුනා..

  14. මම කියවලා, නරඹලා තියෙන පරණම ස්නයිපර් කතාව The Day Of The Jackal. මේ මෑතකදිත් සෑහෙන ස්නයිපර් කතාවල් බලලා තියෙන බව මතක් වුනා විස්තරේ කියවනකොට.

  15. වැදගත් ලිපියක්.නොදන්නා දෙයක් දැනගැනීමට ලැබීම ගැන සතුටුයි.. මේකේ දෙවෙනි කොටසත් ඉක්මනින්ම දාන්න. ජය !!

  16. පුදුමයි ස්නයිපර් ලා තාම ගඩොල් කපන්ඩ යැව්වේ නැතුවා ( විසේස බලකායේ සෙබලුත් පස් කපන එකේ ) මන් දැකලා තියනවා ගුවන් සංග්‍රාමික ඒකකයේ සෙබලු සාමාන්‍ය මාර්ග කාවලේ යෙදෙනවා…..
    දැන් මේ වෙන දේවල් වල හැටිය්ට මට හිතෙනවා යුද්ධ්යෙන් මිය ගිය සෙබලා ජීවතුන් අතර සිටින සෙබලාට වඩා වාසනාවන්තයි කියලා…
    අඩු ගානේ කුඩ්ඩොන්ට කියලා ඔලු පලා ගන්ඩ වෙන්නෙත් නෑ නේ… !

    • කියාලා ලියාලා වැඩක් නැත. ඇයි දැක්කේ නැද්ද මේජර් කෙනෙක් තක්කාලි කිරණ පිචෑර් එකකුත් දාලා තිබුනේ දිනමිණේ. ආශ්චර්යය ආශ්චර්යය වෙන මොකුත් නෙවෙයි තනිකරම ආශ්චර්යය 😛

      • මට මෙහෙම හිතෙනවා විචාරක මහත්මයා පවතින ඕනෑම දූශිත රජයකට පාලකයකුට තම පැවැත්ම සදහා අවශ්‍ය අන්ග කීපයක් තිබෙනවා නේ
        1. තමා කියන විදිහහට නටන ආරක්ශක අන්සයක් ..
        2. ප්‍රචාරක ව්‍යාපාරයක්
        දැන් ලංකාවේ හමුදා සෙබලු යුද්ධය දිනා දුන්නාට පස්සෙ ඔවුන් වීරත්වට නැගීම මේ පාලක පැලැන්තියට අනාගත තර්ජ්නයක් නෙව ඒ නිසා ඔය මේජර් කෙනෙක් තක්කාලි කිරන දර්ශනයක් …
        සැරයන් කෙනෙක් කානු කපන හෝ බඩ ඉරිගු හිටෝන දර්ශන්යක්
        බ්‍රිගේඩියර් කෙනෙක් කුබුරක පැල හිටෝන සීන් ඒකක් වගේ දේකින් මේ සමස්ත හමුදාව තුල තියන ආත්මාභිමානය බිද හෙලිය හැකියි…
        සමාජය තුල ඔවුන්ගේ නායකත්වය පිලිබද බලාපොරොත්තුව සුනු විසුනු කල හැකියි…
        මෙන්න මේ සිම්පල් තියරිය තමා ඔය මාද්‍ය මගින් එලියට ආවේ
        පොඩ්ඩක් අර පින්තූරේ හොදට බැලුවොත් ඒ මේජර් වරයාගේ හිතේ තිබුන කල කිරීම පිලිඹුබු වන හැටි පැහැදිලියි…
        ඔය වගේම වතාවක් කිරිබත්ගොඩ නගරය මද්‍යයේ ගමනක් යමින් සිටි අවස්ථාවක කානු පිරිසිදු කිරීම නිරීක්ශනයේ සිටි නිලදාරිකු දිහා මන් බැලුවා මං ඒ මනුස්සයා එක්ක හිනා උනාම මිනිහා මට රව්ලා වගේ බැලුවා මන් හිතුවේ ඒ මනුස්සයා හිතන්ඩ ඇති අපි ඒ නිලදාරීනට සිනාසෙනවා කියලා…. එවැනි පෙනුමකින් තමා ඔහු බැලුවේ….
        ඇත්තටම විචාරක මහත්මයලා ඒ අතින් සැහෙන්ඩ වාසනාවන්තයි..
        මං විචාරක මහත්මයාට යෝජනා කරනවා Flags of Our Fathers සලරූව බලන්ට කියලා ….. යුද වදින සෙබලුන් ගැන සෑහෙන දුකක් කනගාටුවක් ඇතිවෙනවා….. !!
        ( http://www.imdb.com/title/tt0418689/ )

      • මේජර් කෙනෙකුට අරහෙම කරලත් නිදැල්ලෙ ඇවිත් ධාතු වඳින එකෙන්ම බාතිය කොච්චර නිල්ලට ගිහින්ද කියලා පේනවා.

        1.විචාරක මහත්මයා හිතන විදිහට මේ වගේ යුද්ධය අවසාන වීමෙන් පස්සෙ අතිරික්ත භටයන්ට මොනවද කරන්න ඕනෑ..?

        2.යුද්ධයක සේයාවක්වත් නැති රටක හමුදාවක යුධ පුහුණුව මොන වගේද?

        3.මම අහල තියෙන විස්තර අනුව අතීතයේ (60ගණන්වල වගේ) අපේ රටේ හමුදාවල අයව හදිසි රාජකාරිවලට විතරලු කැඳෙව්වෙ. හදිසි රාජකාරි කියන්නෙ වර්ජනයක් වුනාම ඒක පාලනය කරන්න. ඒ කිව්වෙ ලංගමේ වර්ජනයක් නම් බස් එලවන්න වගේ ඒවා. ඒක ඇත්තද?

        • ‘බකම් නිල්ලෙක්’ නෙවෙයි ඌ ‘බාතු ධල්ලෙක්’

          1. ලෝකේ කොහෙවත් අතිරික්ත භටයන් කියලා දෙයක් නැහැ. ඔවුන් කළමනාකරණය කිරීම තමයි වැදගත්. අලුතින් බඳවාගන්නේ නැතුව හිටියම විශ්‍රාම යාම නිසා පිරිස සෑහෙන්න අඩු වෙනවා. අපේ රටෙත් එහෙමයි. ඉන්න පිරිස කළමනාකරණය කරගන්න වැඩ පිලිවෙලක් තමයි අවශ්‍ය.

          2. යුද්ධයක සේයාවක්වත් නැති රටක හමුදාව ඉතා හොඳින් පුහුණු කලයුතුයි. නැත්නම් වෙන්නේ නිකම් උක්කුං බබාලා හැදෙන එක විතරයි. 1971 දි අපේ හමුදාවත් එහෙම තමයි. පළමුවැනි ජේ.වී.පී. යුද්ධයෙන් තමයි අපි ඉගෙනගත්තේ. දැකලා ඇති නේද හමුදා නිලධාරීන් ජීප් එකේ ඉදිරි ආසනයේ වාඩි වෙලා යනවා වම් අත දොර කවුළුවේ තියාගෙන. (මමත් එහෙම ගිය හැටි මතකයි. මට හොඳ හැටි මතකයි) එහෙම ජීප් එක කිහිල්ලේ ගහගෙන ගියාට විතරක් මදි. යුද්ධ කරන්නත් දැනගන්න ඕනේ. යුද්ධයක් නැත්නම් යුද අභ්‍යාස කරන්න ඕනේ. මේ දිනවල ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව මඩකලපුව පැත්තේ එවැනි අභ්‍යාසයක යෙදී ඉන්නවා. ඒකෙ නම ‘දියකාවා’ ඒ වගේම යුද්ධයක් නැති රටවල් තමන්ගේ හමුදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක හමුදා සේවයට යැවීමෙන් තම හමුදා වලට හොඳ අත්දැකීමක් ලබාගත යුතුයි.

          3. හදිසි අවස්ථා වලදී කැඳවීමේ ප්‍රතිපත්තිය අදටත් වලංගුයි. ඒ ප්‍රතිපත්තිය වලංගු වන්නේ ස්වේච්ඡා හමුදාවට පමණයි. ඕනෑම රටක ස්වේච්ඡා හමුදාව සාමාන්‍යයෙන් ගෙදර තමයි ඉන්නේ. ඒ කියන්නේ ස්වේච්ඡා හමුදාවට ගන්නේ වෙනත් රැකියාවල යෙදෙන අය. හදිසියක් වුනොත් ඒගොල්ලන්ව කැඳවනවා. හැබැයි ඒ ගොල්ලෝ වාර්ෂික යුද පුහුණුවකට අනිවාර්යයෙන් සහභාගී විය යුතුයි. ලංකාවේ අවසාන වතාවට ස්වේච්ඡා හමුදාව සේවයට කැදෙව්වේ 1983 දී. එදා සිට අද දක්වා ඒ අය නොකඩවා සේවයේ යෙදී ඉන්නවා. අපේ රටේ ඉහලම වීර පදක්කම වන පරම වීර විභූෂණය පළමු වතාවට ප්‍රදානය කල කපිතාන් සාලිය අලදෙණිය ස්වේච්ඡා හමුදා නිලධාරියෙක්.

      • පිළිතුරු වලට ස්තුතියි!

        සාම සාධක හමුදා වලට සෙබලුන් යැවීම ගැන නම් මම හිතන්නෙ වෙනත් රටක් වෙනුවෙන් මොකට මැරෙන්න යනවද කියලා තමා.

      • Flags of Our Fathers බලලා ඉවරුනාම Letters from iwojima බලන්න..
        එකම සිදුවීමක් කෝණ දෙකකින් විග්‍රහ කරලා තියෙනවා..

      • MIC මේජර් කෙනෙක්ගෙන් ගේම ඉල්ලලා යහතින් ඉදීමත් පුදුමයි. වෙන රටවල් වල නම් මුලු හමුදාවම ගහපු එකාගේ පස්සේ වැටෙනවා ඌට සංග්‍රහ කරන්න

        • රිටන් ඒක දෙන්න බැරුව නෙවෙයි. දන්නවනේ හේතුව.
          1989 දී මමත් හමුදාවේම සේවය කල මගේ සහෝදරයකුත් එවකට අපි පදිංචිව හිටිය නගරයේ මාළු මාකට් එකට ගියා සිවිල් ඇඳුමෙන්, මෝටර් බයිසිකලයකින්, මාළු ටිකක් ගන්න. එක තැනක තිබුන මාළු ඇඟේ ගහන්න ආවත් අපිට තේරුනා ඒ මාළු පරණයි කියලා. අපි ඒවා එපා කියලා ආපහු හැරෙන කොටම එහෙනම් මොකටද ..කෝ මාළු ඉල්ලුවේ කියලා මාළු පිහිත් ඇදගෙන දෙතුන් දෙනෙක් ආවා. පිස්තෝල අතේ තිබුනත් අපි දුවලා ගිහින් බයිසිකලේට නැග්ගා. එතකොට අපිට තැඹිලි කොම්බ වලින් ගැහුවා. අපි ගෙදර නොයා කෙලින්ම ගියා ළඟම තියන අපේ හමුදා කඳවුරට. එතනින් ට්‍රක් එකක් පුරවලා සෙබළු ආවා. ඇවිත් අර මාළු කඩේ සහ මාළු කාරයෝ ටික හොයාගත්තා ………………#$%^#@*&()+_&^%………. නන්නානේ නාන නනා

      • අංගොඩයා ෆිල්ම් බලලා එව්වා මතක තියාගනත් ඉන්නවා වගේ.. පුදුම මෙමරියක්නෙ..

      • @wicharaka – මන් එන්න පුළුවන් තැනක හිටියා නම් ඔබ තුමාට එකක් වත් බාන්න කරදර වෙන්න තියන්නේ නැහැ.. මගේ WWII එකතුව එහෙම්ම ගෙනල්ල දෙනවා..
        එක නෙමෙයි ඔබ තුමත් සෑහෙන ගණන් කාරයෙක් වගේ..

        @Hareendra – අසාවෙන් බලන කරන දේවල් ඕනේ කෙනෙක්ට මතක හිටිනවා නේ.. මගේ කාලයක් පිස්සුවක් තිබුනා WWII ආශ්‍රිත ඉතිහාසය තියෙන චිත්‍රපට එලෝලා ගිහිල්ලා බලපු.. එකයි තවම මතක.. බලලා නිකන් ඉන්නේ නැහැ,වැඩි දුර විස්තර google කරලත් බලනවා.. දැන් නම් වෙලාවක් නැහැ..

        • මගේ ලඟත් හොඳ චිත්‍රපටි එකතුවක් තියනවා. බාගෙන ඩීවීඩී වලට ගහගත්තු ඒවා.

          ගණන් කාරයෙක් වෙන්න පුළුවන් කාලේදී එහෙම නොකලොත් පස්සේ දුක් වෙන්න සිද්ධ වෙනවා. මගේ මගුල් මුද්දේ තියන කහ පුෂ්පරාග ගලෙන් සමහර නළල් වල මම සීල් තියලා තියනවා. හැබැයි අහින්සකයනේ නළල් වල නෙවෙයි. මරන්න තරම් වටින එවුන්ගේ.

      • අන්න වැඩ… 😀 😀

      • මේ බ්ලොගේ දැනුම වගේ විනෝදයත් යහමින් ලැබෙනවානෙ,.. “………………#$%^#@*&()+_&^%………. නන්නානේ නාන නනා” 😀 😀 😀

        අපේ ගෙවල් කිට්ටුව කොල්ලෙක් කෙල්ලෙක් බලන්න එහාගමට ගිය වෙලේක එහෙ වුන් ඌට නෙලළා බයික් එකත් කුඩු කරලා තිබ්බා.. ඌ ඌරො ඇතිකරන එකෙක්.. ඒත් පහුවදා SF සෙබළු ට්‍රක් එකක පුරවන් ගිහින් අර ගහපු එවුන්ටම නෙලලා තිබ්බා.. මොකද ඒකා තමයි කඳවුරේ ඌරු කෑම එකතු කරේ…

      • ඔය කිව්වට අරූ පහුවෙනිදා ප්‍රසිද්ධියේ දාතු බලන්නත් ආවෙ….ඒක නෙමේ සර්… ඔය රිටන් එක දෙන විදිහ හොරෙන් හරි අපිටවත් කිව්වනම්… අපි වත් සලකලා බලන්න..

      • මමත් දන්න ඒවා ගොඩක් තියෙනවා ඔය සම්බන්ධව. ගොඩක් ඒව ප්‍රසිද්ධියේ කියන්න බෑ.

        අපේ බස් ස්ටෑන්ඩ් එකේ (අනුරාධපුර) අයියලා ආමි එකෙන් ගේම ඉල්ලුවානේ. එදා මුලු නගරෙම චන්ඩි ගෙවල් වලට වෙලා ටී.වී බැලුවා.

  17. වටිනා තොරතුරු රාශියක සම්පිණ්ඩනයක්… මගේ මිතුරෙකුගෙ යාලුවෙක් හිටියා ස්නයිපර් කෙනෙක්…ඔහු පුරද්දට වගේ කොයි වෙලාවෙත් ඇගිල්ලක් කට ඇතුලට දාලා එළියට අල්ලනවා…. ඔහුගෙන් ඒ ගැන ඇහුවාම කිව්වෙ… කැළෑවෙදි සුළං හමන අතර විරුද්ධව ගමන් කරන නිසා සුළං හමන දිශාව සරළව දැන ගැනීමට එමගින් හැකියි කියලා….

    මම සිරාගෙ කාමරේ සිරා

  18. යුද බිමේ සැබෑව හැම වෙලාවේම සැඟවිලා රජවරුන්ට ස්තෝත්‍ර කියන්නාගේ බාසාවෙන් අමුතු කතන්දර තමයි මිනිස්සුන්ට අහන්න ලැබෙන්නේ,. ඒ නිසා ඔබ වැනි බොහෝ දෙනෙක් ලියනවානම් මම කැමතියි..

  19. ඒ කලෙ ඉඳල බලාපොරොත්තුවෙන් හිටිය ලිපියක්…බොහොම ස්තූතියි..

  20. හොඳ ලිපියක් සර්… ඉතුරු ටික එනකම් බලන් ඉන්නව…

  21. snipers ලගේ ප්‍රහාර වල මානුෂීය, අමානුෂීය පැත්ත බලනවා නම් කාලතුවක්කු ප්‍රහාර ගැනත් එහෙම බලන්න වෙනවා. දෙකේම වෙනසකට තියෙන්නේ ප්‍රහාරයේ බලය හා කාලතුවක්කු වෙඩි කරුවන් ඉලක්කය දකින්නේ නැති එක විතරයිනේ. මම හිතන්නේ sniper කෙනෙකුගේ ජීවිතය කාලතුවක්කු වෙඩි තබන්නෙනුගේ ජීවිතයට වඩා කොහොමත් අනතුරේ වැටෙනවා.

    මේක ටික කාලයක් තියෙන්නේ මට තිබුණු ප්‍රශ්ණයක්. ඇමෙරිකාවේ විශේෂ බළකායේ 1st SFOD-D (Delta Force), Navy SEALලගේ NSWDG (DEVGRU) වගේ ලංකාවෙත් විශේෂ බළාකායේ, කොමන්ඩෝ රෙජිමේන්තුවේ විශේෂ අංශ තියෙනවද? එතකොට හැම සන්නද්ධ සේවාවකම හෝ යුධ හමුදාවේ පමණක් තියෙන විශේෂ අංශ එක අණදීමක් යටතට වැටෙනවද? (USSOCOM වගේ) නැත්නම් ඒ ඒ අංශ වලට වෙනමම අණදීමක්ද තිබෙන්නේ? Navy එකේ SBS එක ගොඩබිම මෙහෙයුම් කළාද? වරායවල්, කඳවුරු ආරක්ශාව වගේ නෙවෙයි ප්‍රහාරක මෙහෙයුම්?

    • තව ඔබතුමා ගාව තියෙන Sniper, One on One පොතේ මිල සහා මිලදී ගත්ත තැන සඳහන් කරන්න පුළුවන්ද? 🙂

    • යුද්ධයේදී සර්ව සම්පූර්ණ මානුෂික බවක් ඔය කියන කිසිම රටක නැහැ. ස්නයිපර්ලා ගැන ඔබ දක්වන අදහසට මමත් එකඟ වෙනවා.

      එක එක රටවල හමුදා සංවිධානය එක සමාන යයි හිතන්න එපා.ඒ ඒ රටවල් අණ හා පාලනය පවත්වාගෙන යන්නේ තමන්ට අවේනික ක්‍රම වලට. අපේ කමාන්ඩෝ සහ විශේෂ බලකායන්හි ගුවන් යානා මංකොල්ල වැලැක්වීම, පැහැරගෙන ගොස් රඳවා තබාගෙන සිටින පුද්ගලයන් බේරාගැනීම, සහ තවත් එවැනි කටයුතු සඳහා විශේෂඥ පුහුණුව ලත් පිරිස් ඉන්නවා. ඒ සියලු අංශ පාලනය වන්නේ ඒ ඒ රෙජිමේන්තු මුලස්ථාන මගින්. සම්පුර්න පාලනය සිදු වෙන්නේ යුද හමුදා ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ ජෙනරල් මගින්. නාවික හමුදා විශේෂ යාත්‍රා බලගණය ගොඩබිම මෙන්ම ජලයේත් ප්‍රහාරක ක්‍රියාන්විත වල යෙදුනා.

      • ස්තූතියි! මම ඒ සංවිධාන ඉදිරිපත් කළේ උදාහරණයක් විදියට.

        එහෙම ප්‍රාණ ඇපකරුවන් තියාගත්ත අවස්ථා ලංකාවේ තිබුණද? යුද්ධේ අන්තිම කාලේ කොටි මිනිස්සු තියන් හිටිය එක ඇරුනම? එතකොට ඒ වගේ අවස්ථා වලදි පොලිස්සිය (STF) නෙවෙයිද ඒවා සම්බඳව ක්‍රියා කරන්නේ? පොලිසිය යටතේ තියෙන ප්‍රදේශවල හමුදාවට ක්‍රියාකරන්න (නීතියෙන්) බෑ කියල මම අහලා තියෙනවා.

        • ලෝකයේ නීත්‍යානුකූල හමුදාවක් කවදාවත් ප්‍රාණ ඇපකරුවන් තබාගන්නේ නැහැ. එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති වලට පටහැනියි. යුද්ධයක් පවතින කාලයක යුද නීතිය Martial Law ක්‍රියාත්මක වන්නේනම් හෝ හදිසි නීතිය හෙවත් මහජන ආරක්ෂක පනතේ අදාළ කොටස් ක්‍රියාත්මකව පවතින්නේනම් පොලීසිය ගැන නොතකා ක්‍රියා කිරීමට ත්‍රිවිධ හමුදාවට බලය ලැබෙනවා. ත්‍රස්තවාදීන්ගේ පාලනය යටතේ තිබෙන ප්‍රදේශයක මහජනතාව ගැන සොයාබලන්න පොලීසිය යෙදවිය නොහැකියි. මොකද ඔවුන් සංග්‍රාමික පුහුණුව ලැබුවන් නොවෙයි.

      • මම අදහස් කලේ කොටින් විසින් එහෙම රජයේ පාලන ප්‍රදේශ වල ගුවන් යානා, ගොඩනැගිලි අල්ලගත්ත අවස්ථා තිබුණද කියලයි, අපේ හමුදාව ගැන නෙවෙයි 😉

      • “මම අදහස් කලේ කොටින් විසින් එහෙම රජයේ පාලන ප්‍රදේශ වල ගුවන් යානා, ගොඩනැගිලි අල්ලගත්ත අවස්ථා තිබුණද කියලයි, අපේ හමුදාව ගැන නෙවෙයි” ගුවන්යානා ගොඩනැගිලි නම් මන්දා අමාත්‍යාංශයක් නම් තාමත් අල්ලගෙන ඉන්නවා.. පළාත් සභාවකුත් කලින් තිබුනා.. ආයෙත් අල්ලගනීද ශුවර් නෑ..

  22. යුධ හමුදා ස්වර්ණ ජයන්ති ප්‍රදර්ශනය BMICH ගිය වෙලාවේ ස්නයිපර්ස්ලා කීප දෙනෙක්ව සජීවීවම දැකගන්න පුලුවන් වුණා. එක තැනක ස්නයිපර් කෙනෙක් ඉන්නවාද කියලා හිතා ගන්නත් අමාරු වුණා…

  23. මහත්මයා ඉලක්ක වෙඩික්කරුවන් තමන් විසින් මරාදැමු සතුරන් ප්‍රමානය නිසා ඉතිහාසගතවෙනවා.මම දන්නා තරමින් ලොව සිටි දක්ෂතම sniper වරයා වසිලි ස්වට්සෙව් නම් කෙනෙක්.මට ඇති ගැටලුව මෙයයි.මරා දැමු සතුරන් ගණන සැබෑ බවට ඔප්පු කරන්නේ කෙසේද?

    • ලෝකයේ මෙතෙක් සිටි හොඳම ස්නයිපර් වරු ගැන ඉදිරියේදී කියන්නම්. ඒ වගේම ස්නයිපර් වරයකුගේ ඉලක්කය සාර්ථක වූ බව තහවුරු කරගන්න ආකාරයත් කියන්නම්.

  24. ඊය ඇවිල්ලා ටික දවසක් හිටියා නිවාඩු පාඩුවේ කියවන්න ඕනේ නිසා.. තාම ඇරඹුම විතරයි නේ.. බලාපොරොත්තු වෙනවා වෙනදා වගේම රස බර,හැර බර කතා මාලාවක් එයි කියලා..

    ජයෙන් ජය…

  25. නියමයි බෝරිං ලිපි කිපයකට පස්සෙ නියම ලිපියක් දාල තියෙන්නෙ, sniper වර්ග සහ ඒවගේ ක්‍රියාකාරීත්වය ගැනත් ඒවගේ micanism එක ගැනත් ලිපි ටිකක් පුලුවන්නම් ලියන්න… ජයවේවා…!!

  26. ඊලඟ එකත් ඉක්මනට දාන්ඩෝ…

  27. අකා මැරිලද? තාම මේ පැත්තෙ ඇවිත් නෑනෙ..

  28. නියමයි.. ආසයි…පට්ටයි…
    අනේ සර් හැකි ඉක්මනට ඔක්කොම ලියල දාන්ඩ…
    සර්ගෙ අත්දැකීම්, රස කතා, දුක් කතා, එහෙමත් මේකට කලවම් කරන්න..
    එතකොට තාක්ෂණික විස්තර කියවන්න කම්මැලි අයත් (මම නෙමේ) ඉවර වෙනකම්ම කියවයි.

  29. Cols. දයා සහ ලකී ආමි එකේ හිටපු හොඳම මාර්ක්ස්මන් ලා දෙන්නෙක්. මංහිතනවා ඒ දෙන්නා තමයි ස්නයිපර් ට්‍රේනින් මුලින්ම පටන්ගත්තේ. ඒ දෙන්නම දැන් ලංකාවේ නැතුව ඇති..

  30. ඔබතුමාට පුළුවන් නම්, ඊලඟ කොටසින් ලංකාවේ snipersලා පාවිච්චි කරන, කරපු අවි ආයුධ ගැනත් කියන්න. parades වලදි දැකපු විදියට නම් දැන් පාවිච්චි කරන්නෙ Accuracy International arctic Warfare series එකේ rifles. ලංකාවෙ හැටියට නම් මම හිතන්නේ පාවිච්චි වෙන caliber එක 7.62×51 වෙන්න ඕන.

    http://farm2.staticflickr.com/1395/4729620790_ec8df4d8e5_z.jpg (පිංතූරේ ඉන්න අයගේ තියෙන shoulder patch එක මොකක්ද? (C අකුරේ හැඩේට))

  31. […] තුන්වැනි කොටසයි අද ඉදිරිපත් කරන්නේ. පළමුවැනි කොටස සහ දෙවැනි කොටස කෙරෙහි ඔබ දැක්වූ […]

  32. මග හැරී ගිය මහ වටිනා ලිපි ගේඩයි මේ ලිපිය ඇස ගැටුනේ අහම්බෙන් විචාරකතුමා. ඔබතුමා කරන මේ ලේඛනගත මෙහවරටත් නැවතත් ගොඩක් ස්තුතියි

  33. American Sniper film එක බලලා Chris Kyle ගැන හොයල ලංකාවේ Niro ගැන හොයද්දි තමා මේ ලිපිය හම්බවුනේ…..නියම ලිපියක්….. sniper සහ ලංකාවේ special force ගැන ගොඩක් උනන්දු කෙනෙක් මන්….හැකිනම් මහසෝන් බලකායේ`බිහිවීම ගැන ලිපියක් පලකරන්න.ස්තුති

  34. Kothalawaka academy yanna a /l result monawada one?

  35. Army captain කෙලින්ම යන්න පුළුවන් ද….? පුළුවන් නම් ඕන සුදුසුකම් මොනවද විචාරක

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.