විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 මේ ලිපිය බැලීමට නොහැකි බව කීප දෙනෙක් දන්වා තිබුනා. ඒ නිසා නැවත පරීක්ෂා කළා. මටත් සංස්කරණ අවස්ථාවෙන් පිට සිට ඇතුළුවිය නොහැකි බව දැනුනේ එසේ පරීක්ෂා කිරීමේදීයි. මේ සංස්කරණයෙන් පසු, ඇතුළුවිය හැකිද යන්න බලනමෙන් සියලුදෙනාගෙන් කාරුණිකව ඉල්ලනවා.මෙන්න නැවතත් මුල සිට ඒ ලිපිය.

ඊයේ පෙරේදා දවසක අපේ ගම් පළාතේ සංගීත සංදර්ශනයක් පැවැත්වෙන බව දැනගත්තේ, ඒ සංදර්ශනය පැවැත්වෙන පිටිය ටකරම් වලින් වටකොට තිබෙනු දැකීමෙනි. මා එළිමහන් සංගීත සංදර්ශන බැලීම නැවත්වුයේ 1980 දශකයේ මුල් භාගයේදීයි. එයට හේතු දෙකක් තිබුණි.

  • 1. ආරක්ෂක හමුදා නිලධාරියකු වශයෙන් තරමක් දුරට මහජනයා රැස්වන තැන් මග හැර සිටීම වඩාත් සුදුසු බව මට හැඟී ගියනිසා.
  • 2. ඒ අවධිය වනවිට එවැනි ප්‍රසංග වල ඉදිරිපත් කෙරුණ ගායනා වලින් සමහරක් කෙසේවත් අසාසිටිය නොහැකි නිසා.

  ඉන්පසු කාලයේදී යුද හමුදාව විසින් සංවිධානය කල එළිමහන් ප්‍රසංග වලට රාජකාරි මට්ටමෙන් සහභාගිවීම හැර වෙනත් පොදු ප්‍රසංග කිසිවකට සහභාගිවී නැත්තෙමි. දැන් මා තරමක් විවේකී ජීවිතයක් ගත කරන නිසාත්, එදින මේ සංගීත සංදර්ශනය පැවැත්වෙන්නේ ඇසෙනතෙක් මානයේ නිසාත්, සංදර්ශනය අසා සිටීමට තීරණය කලෙමි.

  රාත්‍රී 8.00 ට පමණ මා සී.එන්.එන්. ප්‍රවෘත්ති ප්‍රකාශය නරඹමින් සිටියදී, පළාත දෙදරුම් කවමින් රතිඤ්ඤා හඬක් නැගුණි. නිවසින් එලියට පැමිණ බලන විට, ඒ අර සංගීත සංදර්ශන භූමිය දෙසිනි. ඒ සමගම ගුවනට එල්ල කෙරුණ මල් වෙඩි කීපයකි. මහා සංගීත සංදර්ශනයක් වගෙයි. මට සිතුනි. මම රූපවාහිනිය නිවා ඉස්තෝප්පුවේ පුටුවකට බර වූයේ සංගීත සංදර්ශනය ඇසීමටය. එහෙත්, ශබ්ද විකාශනයෙන් එන හඬනම් එතරම් සුබදායක නොවන බව පෙනෙයි. නිවේදකයකු හෝ වෙනත් මහා බලවත් පුද්ගලයකු ගෝරනාඩුවක් කරයි. ඒ මෙසේය. කෝ . . . . . . .පැත්තේ කොල්ලන්ට කෙල්ලන්ට අප්පුඩියක් ගහන්නවත් පණ නැද්ද. . . . . කෝ. . කෝ. . දෙන්නකෝ උඩ යන්න. . . අයියෝ ලැජ්ජයිනේ. . . ඔහොමනම් බෑ, මොකද අද කාලා නෙවෙයිද ආවේ? කිසියම් ප්‍රභූ වරයකු හෝ මැති ඇමති වරයකු පැමිණ සිටියදී, යටත්පිරිසෙයින් අත්පොලසන් නාදයක් දීමටවත් ප්‍රේක්ෂක ජනතාව අකාරුණික වී ඇති සැටියකි. නමුත් එවැනි ප්‍රභූ වරුන් කිසිවකුගේ නම නොකියවෙයි. මේ අත්පොලසන් ඉල්ලන්නේ සංගීතප්‍රසංගය ආරම්භ කිරීම සඳහාය. ඉදින්, ආරම්භ කිරීමට පෙර මෙසේ බලහත්කාරයෙන් අත්පොලසන් ගන්නේ කුමකටද? ප්‍රසංගය සාර්ථකනම් නිතැතින් අත්පොලසන් නොලැබෙන්නේද? මටනම් ගැටලුවකි.

  නිවේදකයා, දුම්මල වරම අතට ගත යකැදුරෙකු මෙන් හුස්මක් කටක් නොගෙන කියවාගෙන යයි. සෑම තත්පර දහයකට වරක්, සුවිශේෂ, වින්දනීය, ආකර්ශනීය, ලබැඳි, තාරුණ්‍යයේ, යන වචන යොදයි. අන්තිමේදී ඔහු ප්‍රකාශ කලේ අහවල් ස්ටාර් එකෙන් බිහිවූ (අම්මාගෙන් නොවෙයිද?) මන බන්දනීය, හද පිනවන, යුගයේ හඬ, අහවලා . . . . . . . .ලෙසය. මම හුස්මක්වත් නොගෙන ඒ හඬ අසනු රිසියෙන් දෙසවන් යොමු කලෙමි. අහෝ. . . එච්.ආර්. ජෝතිපාලයන්ගේ ගීයක් ගයනු ඇසේ. ජෝතිපාලයන්ගේ ගීතයක් ගැයීමට ස්ටාර්ලා කුමටද? එය ස්ටාර්ගේ ස්වතන්ත්‍ර ඉදිරිපත් කිරීමක් නොවේ. අනුකරනයෙකි. ඉදින් ඔහු තරුවක් වන්නේ කෙසේද?

ඔබේ කාලය මරන්නේ නැතිව ඉතිරි කොටස කියන්නේනම් මෙසේය. ජෝතිපාලගේ ගීත තුනකට පසු ස්ටාර් යයි කියන ගායිකාවක් හඳුන්වාදෙන ලදී. ඇය කිසිදු ලැජ්ජාවකින් තොරව ලතා වල්පොල මහත්මියගේ සහ ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ ගීත දෙසාබෑවාය. (එය දෙසාබෑමක් මිස ගායනයක් නොවේ)

මෙලෙස, මිල්ටන් මල්ලවාරච්චි, සනත් නන්දසිරි, අබේවර්ධන බාලසුරිය, ප්‍රියා සූර්යසේන, ඉන්ද්‍රානි පෙරේරා, සුජාතා අත්තනායක, මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග්, ආදී ගායක ගායිකාවන් රැසකගේ ගීත 20 ක් ගායනය (ගායනය?) කලපසු එක්තරා තරුවකගේ අලුත්ම සී.ඩී. එකෙන් කියා ගීතයක් ඉදිරිපත් කෙරුණි. ඒ ගීතය ගුවන්විදුලි නාලිකාවක අහම්බෙන් අසා ඇත්තෙමි.එහෙත් මෙතැනදී ගායනය අහසට පොලොව මෙන් වෙනස්ය. මේ ගයන්නේ අර ගායකයාගේ නමින් වෙන කෙනෙක්ද යන සැකය පවා මට ඇතිවුනි. මේ ගායකයාට අද සිදුවී ඇති ‘අපලය’ තේරුනේ එවිටය. ඒ ගීයේ ඇතැම් කොටස් පරිගණකය මගින් සකසා පටිගත කල ඒවාය. එවැනි කොටස් සාමාන්‍ය සංගීත කණ්ඩායමකට වේදිකාවකදී ප්‍රතිනිර්මාණය කල නොහැකිය. එසේනම් කලයුත්තේ ඒ කොටස් පසුබිමෙන් (අසන්නන්ට /නරඹන්නන්ට හොරෙන්) පරිගණකයක් ඇසුරෙන් හෝ සී.ඩී. තැටියක් මගින් වාදනය කිරීමය. මේ ‘ටිරිකිස් වැඩේ’ මට නිදර්ශනාත්මකව පෙන්වා දුන්නේ එක්තරා සංගීත කණ්ඩායමක ශිල්පියෙකි.

  මෙම සංගීත සංදර්ශනයේ මා දුටු විශේෂත්වයනම්, සෑම ගායක ගායිකාවක්ම වේදිකාවට පැමිණෙන විටත්, වේදිකාවෙන් පිටව යන විටත් නිවේදකයා, පුන පුනා, නරඹන්නන්ගෙන් අත්පොලසන් ඉල්ලාසිටීමය. සල්ලිත් ගෙවා ඇනුම්පද අසමින් අත්පොලසන් දීමට කුමට යනවාදැයි මට සිතුනි. ටික වෙලාවකින් නිවේදකයා, ‘දැන් අපේ (ඒ නම මා කලින් අසා නැත) වාදක මණ්ඩලයේ කොල්ලෝ ටික. . . මේ සොමි කොල්ලොටික. . . (සොමි කියන්නේ සෞම්ය නේද? ඉතික් ඔවුන් සොමිදැයි බැලීමට ඔවුන් අතගා බැලිය යුතු නේද?) වැඩේ දෙන්නයි යන්නේ. අපේ කොල්ලට කෙල්ලන්ට හොඳ සොමියක් දෙනවා මෙතන ඉඳලා’ කිව්වේය. වාදක මණ්ඩලයේ කොල්ලෝ ටික වේදිකාව උඩ සිට පහල ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට ‘දෙන වැඩේ සහ සොමිය’ කුමක්දැයි මම අසා සිටියෙමි. අහෝ! වට්ටෝරු හින්දි චිත්‍රපටියක ප්‍රේමාලාපයක් ගයන්නේ හින්දි භාෂාවේ කෙල පැමිණියකුසේ සිතා සිටින, අර වාදක කණ්ඩායම් සාමාජිකයෙකි. පර බසක් උච්ඡාරණයේදී රැකිය යුතු රීති තිබේ. හින්දි බසෙන් එක උදාහරණයක් කියමි. ‘මුජේ’ යන වචනයේ ‘ජේ’ යන්න අල්ප ප්‍රාණ නොව මහප්‍රාණය. ඉදින් මෙලෙස, වේදිකා මත, මුදල්ද අයකර දෙසාබාන්නේ, සමහරවිට ඒ බසින් කුනුහරපද වියහැකි වචන නොවේද? එය අසාගෙන මෙලෝසිහියක් නැතුව දඟලන තරුණ කැල මම වරක් දෙකක් දැක ඇත්තෙමි. ඔවුන් අනාගතයේදී කෙබඳු රස වින්දනයකට පත්වේද?

  එතැන්සිට වාදක මණ්ඩලය හින්දි, ඉංග්‍රීසි, ද්‍රවිඩ, ගීත රැසක් ගායනා කල අතර ඒ සියල්ල චිත්‍රපට පසුබිම් ගීත හෝ වෙනත් ජනප්‍රිය ගීත මිස ඔවුන්ගේ නිර්මාණ නොවීය. නැවතත් ‘ස්ටාර්ලා’ තමන්ගේ ගීත ගායනා කලමුත් ඒ පදමාලා කෙරෙහි මට ඇතිවූයේ අනුකම්පාවකි. අපේ ගමේ ගොඩේ ඇත්තෝ, කඨෝර, ග්‍රාම්‍ය, අශ්ලීල, භාෂා විලාශය අප්‍රසිද්ධියේ හැඳින්වුයේ ‘යකෝ . . කෝ බාසාව’ යනුවෙනි. මා අසාසිටි සමහර ගීත වල පදමාලා අර ‘යකෝ . . කෝ බාසාව’ පදනම් කරගෙන ලියන ලද ඒවාය. ඒ ගීත කොතරම් රළුද යත් එයින් හුදෙක්ම පිටවන්නේ සංවර කරගතයුතු චිත්තාවේග බව පැහැදිලිව පෙනෙයි. මට ලියන්නට හැකි වචන වලින් ලිව්වොත් හරියට මෙන්න මේ වගේය.

“මම-අද-යන-කොට-පා-රට-බල්-ලෙක්-පැන්-නා-මම-උගෙ-හොම්-බට-ඇන්-නා-උගෙ-හොම්-බත්-මගෙ-කෙල්-ලගෙ-හොම්-බව-ගේමයි”

  මෙයට අර කොත්තු රොටී සංගීතය මුසුවූ විට ඇතිවන කඨෝර බව පරිසරය දෙදරවාගෙන යයි. කුමක් කරන්නද? දොර වසාගෙන ගෙතුලට ආවෙමි. මේ වර්ගයේ ගායකයෝ අහම්බෙන් රූපවාහිනියේ දැක ඇත්තෙමි. ඔවුන්ගේ විකට ස්වරූපය විකට ජවනිකා සඳහා යොදාගන්නේනම් කොපමණ හොඳද? මෙවැනි අයට මා කියන්නේ ‘රූප සින්දු කාරයෝ’ කියාය. ඔවුන්ට ඇති ගායන හැකියාවක් නැත. ඔවුන් කරන්නේ ගීතයට කිසිසේත් සබඳකමක් නැති විකාර හෝ අධි ශෘංගාරාත්මක, සමහරවිට කාමුක, රූප රැසක් තිරයේ ගලායාමට සැලැස්වීමයි. එයින් වශීවන නුණුවන දනා එයින් මත්ව, අර ගොරහැඩි ගායනය මහා ගීතයක්මැයි සිතා ඒ විප්‍රකාරයේ ඇලෙති/ගැලෙති. මේ රූප සින්දු කාරයෝ ගයන අතර තම දෑත දෙපසට දිගු කරති. අංශක 45 ක කෝණයකට දෑත තබාගෙන දෑතෙහිම දබරැඟිලිද දිගු ගරමින් හිස ඉහල පහල වනති. මට මතක්වෙන්නේ කැරපොත්තාය. ඌද උගේ ස්පර්ශක (antenna) මෙලෙසම වනයි.

මෑතකදී වෙබ් පුවත්පතක ඉහත සඳහන් වර්ගයේ එක්තරා ගායකයකු ගැන තොරතුරක් පලවිය. (මෙබඳු ගායක ගායිකාවන්ගේ, නිවේදක නිවෙදිකාවන්ගේ, නර්තන ශිල්පිනියන්ගේ, මෝස්‌තර නිරූපිකාවන්ගේ, උපන්දින, විවාහ සංවත්සර, බල්ලාගේ පූසාගේ උපන්දින, ආදී දෑ විශාල මාධ්‍ය ප්‍රචාර සහිතව පවත්වන්නේ තම ගිලිහෙන ජනප්‍රියත්වය රැකගැනීමට විනා අන් කවර කෙන්ගෙඩියකටද?) වත්මන් පරපුරේ ගායකයකු වන ඔහුගේ දියණියද බිරිඳද සහිත ඡායාරුපයක් පළකරමින් විස්තරයක් එහි පල කර තිබුණි. ඒ ගැන විවේචනාත්මක අදහසක් දැරූ පාඨකයකුට පිළිතුරු දෙමින් තවත් පාඨකයකු කියා තිබුනේ එම ගායකයා ‘ශ්‍රී ලංකා මියුසික් ඉන්ඩස්ට්‍රි’ එක ‘ඉන්ටර්නැෂනල් ෆෝරම්’ එකට ගෙන යාමට කටයුතු කල අයකු බවය. අඳෝමැයි! ඒ කියන්නේ දැන් මේ රටේ ඇත්තේ සංගීත කලාවක් නොව සංගීත කර්මාන්තයකි. හරියටම හරි. වැරදුනේ මටය. මේ ඊනියා ‘ගායකයෝ’ කරන්නේ කුමක්ද යන්න මතක්වුයේ ඉන්පසුවය. කාගේ හෝ ගීතයක තනුවේ කොටස් හෝ සම්පූර්ණ තනුවම සොරාගැනීම, නැතහොත් පැරණි ගීතයක අතුරු වාදන කොටසක් සොරා ගැනීම, ඉන්පසු එයට තවත් සක්ක වචන කෑලි සහ ‘කොම්පියුටර් ටිරිකිස් කෑලිද’ මූට්ටු කර, අලුත්ම ස්වතන්ත්‍ර නිර්මාණයක් ලෙස හොර ලේබල් ගසා, රට පැටවීමය. අම්මා අප්පා විකුණාගෙන කෑම හා සාකල්‍යයෙන්ම සමානය. එක්තරා පැරණි රසාංගයක් මෙලෙස අමු අමුවේ දූෂණය කල අමනයකු, ‘මේ ට්‍රැක් එක මට හම්බ වුනේ අපේ ඩැඩීගේ ඕල්ඩ් එල්.පී. රෙකෝඩ් එකකින්’ කියා කියනු, මම ගුවන්විදුලියෙන් අසා සිටියෙමි. ඒ මුල් නිර්මාණයේ හිමිකරුවන්ට එක වචනයකින් හෝ තුති නොපිදු මේ ගුණමකුවා, අදත් එය උගේ නිර්මාණයක් ලෙස ලෝකයට පෙන්වයි.

  නිදි යහනට වැටුණු මම, මනසින්, මා එදා දුටු සංගීත සදර්ශන දෙකකට ගියෙමි. එකක් 1960 දශකයේදී නැරඹු සංදර්ශනයකි. අනෙක 1970 දශකයේදීය. නගරයට සැතපුම් කීපයක් දුරින් සිටි අපි, මේවා නැරඹීමට ආවේ ගියේ පයින්ය. දුප්පත්කමද එසේ කිරීමට එක හේතුවක් විය. අනෙක ඒ ගමන රස ගුලාවකි. (මත්ද්‍රව්‍ය, මත්පැන්, සිගරට්, වනචර වැඩ වලින්තොර) ඒ ගැන වෙනම ලියමි. ඒ සංදර්ශන නොමිලේ පෙන්වූ (අදත් ඕනෑතරම් තිබේ) අතර, අපි අදමෙන් ‘ඩුප්ලිකේට් ස්ටාර්ලා’ නොව, එදා නියම ගායකයා හෝ ගායිකාව ගයනු වශීවී බලා සිටියෙමු. මට මතක හැටියට ඒ කාලයේ බොහොමක් ප්‍රසංගවල සංගීතය සැපයුවේ පැට්‍රික් දෙනිපිටිය මහතාගේ සංගීත කණ්ඩායමය. නැතහොත් ‘සියැක්’ වාදක මණ්ඩලයය. විස්තර කථකයන් ලෙස මගේ මතකයට එන දෙතුන්දෙනෙක් ඇත, කරුණාරත්න අබේසේකර, ලලිත් එස් මෛත්‍රීපාල, ගුණසේකර කේ පතිරණ, වැන්නවුන්ය. මේ සංගීත කණ්ඩායම් වල ශිල්පීහු තම රාජකාරිය වන සංගීතය සැපයීම අකුරටම කළහ. ගායනයට පැන්නේ නැත. එමෙන්ම අර නිවේදකයෝ, නරඹන්නන්ට තර්ජනය කර, අපහාස කර, ඇනුම්පද කියා අත්පොලසන් නොඉල්ලුහ. ‘ඔබේ අත්පොලසන් නාදය අපව දිරිමත් කරවන බව කාරුණිකව මතක් කරනවා’ යනුවෙන් පමණක් ඉඳහිට ප්‍රකාශ කළහ. ඒ ප්‍රසංගයක පිළිවෙලක් තිබුණි. මුලින්ම ඉඩදුන්නේ නැගීඑන ශිල්පීන්ටය. එලෙස මා දැක්කේ ලතා දිසානායක, මල්ලිකා කහවිට, රූපා ඉන්දුමතී, අයිරින් ද අල්විස්, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, වැනි අයවලුන්ය. 60 දශකයේ සංදර්ශනයේදී මම මුල්වරට ධර්මදාස වල්පොල දුටු අතර ඉන්පසු කිසි දිනක නොදුටුවෙමි. මිල්ටන් පෙරේරා, එච්.ආර්.ජෝතිපාල, ලතා වල්පොල, මොහිදීන් බෙග්, ඇන්ජලින් ගුණතිලක, මිල්ටන් මල්ලවාරච්චි, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, හරූන් ලන්ත්‍රා, නාරද දිසාසේකර, සිසිර සේනාරත්න, ඉන්ද්‍රානි විජේබණ්ඩාර, අයිවෝ ඩෙනිස්, තව කොපමණ දිග ලැයිස්තුවක්ද. අවසන් කොටසේදී ගායනා ඉදිරිපත් කලේ වොලී බැස්ටියන්, එම්.එස්.ප්‍රනාන්දු, නිහාල් නෙල්සන්, ඇන්ටන් ජෝන්ස් වැනි ගායකයන්ය. 70 දශකයේදී දුටු සංදර්ශනයේදී අබේවර්ධන බාලසුරිය, නිරංජලා සරෝජිනී, ක්ලැරන්ස් විජේවර්ධන, ඉන්ද්‍රානි පෙරේරා ප්‍රමුඛ ත්‍රී සිස්ටර්ස්, ඇනස්ලි මාලේවන, එඩ්වඩ් ජයකොඩි, චන්ද්‍රිකා සිරිවර්ධන, චන්ද්‍රානි ගුණවර්ධන, සුනිල් එදිරිසිංහ ඇතුළු තවත් කලාකරුවන් රැසක් එක්ව සිටියහ. රාත්‍රී 8.30 ට පමණ ඇරඹෙන මේ ප්‍රසංගයක් පාන්දර 5.00 පමණ වනතුරු, බෝම්බ ගැහිලි, පිහියෙන් ඇනිලි, වැනි ‘අතුරු ආබාධ’ වලින් තොරව පැවැත්වුනි. සෑම ගායක ගායිකාවකටම අත්පොලසන් නාදයක් ලැබුණි. අපි ගියේ එකල රේඩියෝවෙන් (එෆ්.එම්. නොතිබුන නිසා රේඩියෝවේ හඬ රළුයි) ඇසුණු ගීත, වඩාත් උසස් තාක්ෂණයෙන් ශ්‍රවනය කිරීමට විනා වේදිකාවේ අඩනිරුවත් නැටුම් දැකීමට නොවේ. අපි ආදරය කල ගායකයා/ගායිකාව සජීවීව දකිමින්, ඔහුගේ/ඇයගේ හඬ සජීවීව ශ්‍රවනය කිරීමට තරම් අපි වාසනාවන්ත වූවෙමු.

  අද අපි මේ විප්‍රකාර දකින්නේ ඇයි? හේතු රාශියක් තිබෙන බව පෙනෙයි. සාහිත්‍යය සහ භාෂාව පිරිහීමට පත්ව ඇත, සාහිත්‍යය පාසලෙන් එලියට ඇදදමා ඇත. ඉතිහාසය විසිකර දමා ඇත, සංදේශ කාව්‍යයක් සම්පූර්ණයෙන් කියවූ උසස් පෙළ සිංහල විෂයය හදාරන සිසුන් කීදෙනෙක් මේ රටේ ඇද්දැයි නොදනිමි. ඒ අධ්‍යාපනයේ පැත්තය. ටියුෂන් විභාග, නැවත ටියුෂන් විභාග, නමැති ක්‍රමයට කොටුවූ දරුවෝ අන්තස්සරයන් වී හමාරය. දෙමාපියෝ ජීවිත සටනේ ගැලෙමින් අපාදුක් විඳිති. අපේ කාලයේ සිටි ගුරුවරු බොහොමයක්, පොත විතරක් කියාදී ‘ඉතුරු ටික උගන්නන්න මගේ ටියුෂන් පන්තියට වරෙන්’ කිව්වේ නැත පොතේ නැති ජීවත්වීමේ උපදෙස් රැසක් නිතර දීමට ඔවුන් උත්සුක නොවුයේනම් අපේ පරපුරෙන්ම මේ රට වැනසෙන්නට ඉඩ තිබුණි. ‘පැන මඩ කඩිති වැව් තාවුල් ඒ කාලේ, පෙන්වා මග නොමග නොවැටී යන තාලේ’ කියා සුනිල් එදිරිසිංහ කිව්වේ එවැනි ගුරුවරුන් ගැනය. අද අවවාදයක් කලත් මානව හිමිකම් නඩුවක් වැටෙන කාලයක් නිසාදෝ, ගුරුවරු, ‘යන අතක පලයන්’ න්‍යායෙන් උගන්වති.

  රේඩියෝව මුලදී ගෙයින් විසිවිය. රූප පෙට්ටිය රාත්‍රී අඳුර දුරලන පහනක් මෙන් හවස හයේ සිට ඔහේ දැල්වෙයි. ළදරුවා තම ලෝකය හඳුනාගන්නේ එහි දකින සරුවපිත්තල ලෝකයෙනි. දැන් රේඩියෝව එෆ්.එම්. නාලිකා කාරයන්ගේ බූදලයකි. ඕනෑම කුණුගොඩක් ආටෝප දමා විකිණීමට ඔවුහු දක්ෂයෝය. අර ‘හොටං පයිසි පං එක දැනිලා’ කියමින් රූප පෙට්ටියේ බඩු විකුණන වර්ගයේ උන්නැහේලා බිහිකරන්නේද, වනසන්නේද, පුද්ගලික රූපවාහිනී/ ගුවන්විදුලි නාලිකා කාරයෝය. මා ඉහත දැක්වූ කිසිදු ගායකයකු, ගායිකාවක, එකල ගුවන්විදුලි වෙළඳ දැන්වීම් වලට තම කටහඬ නොදුන්හ. රූපවාහිනී වෙළඳ දැන්වීම් වල පෙනී නොසිටියහ. ඔවුන්ගෙන් බොහොමයකට එවැනි අවස්ථා ලැබුනද සහභාගී නොවුයේ, දීඝ කාලයක් සතතාභ්‍යාසයෙන් ගොඩනගාගත් තම කීර්ති කදම්බය වෙළඳ දැන්වීමකින් සොයන තුට්ටු දෙකට වඩා ඉතා වටිනා බැවිනි. අද ඉන්න අර ‘මියුසික් ඉන්ඩස්ට්‍රී කාරයෝ’ හොයන්නේ, කාගේ වැදෑමහක් හෝ, ගීත කෑල්ලක් නැටුම් කෑල්ලක් දමා, විකුණා සාක්කුවට ගත්මනාවක් දාගන්නේ කෙසේද යන්නට, කුණු මසට ඉව අල්ලන ගිජු ලිහිණියන් මෙනි.

  ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගම සේකර, මඩවල එස්. රත්නායක, ගීතරචක පරපුර ප්‍රේමකීර්ති ද අල්විස් පරපුර දක්වා ගලාවිත් අද සිඳී ඇත. අජන්තා රණසින්හලාගේ සමන් චන්න්ද්‍රනාත්ලාගේ පෑන් අද නිහඬය. එදා අපි ගුවන්විදුලියෙන් ඇසූ ‘මධුවන්ති’ වැනි වැඩසටහන් අද සීනෙන් ගෑ සුවඳක් මෙනි. එදා අමරදේවලා චන්ද්‍රරත්න මානවසින්හලා මාදින්නාගොඩ වෙල්යායේ සිහිල් සුළඟ විඳිමින් කලේ හෙළ ගී කෙත අස්වැද්දීම විනා, ඩැඩීලාගේ එල්.පී. රෙකෝඩ් වලින් ට්‍රැක් හොරකම් කිරීම නොවේ. මොකක්හෝ අටාලයක් අටවා, ලෝකයේ කොහේ හෝ කොනක ඇති ටකරම් සිම්පොසියම් එකකට ගොස්, උඩපැන කෑ ගසා, විකාර ඇඳුම්, හස්ත විකාර මුඛ විකාර පෙන්වා, එය අපේ රටේ හැටියයි කියා, උන්ගේ ගෝත්‍රික ගති වලට සමාන නිසා දෙන, තුට්ටු දෙකේ සම්මාන උස්සගෙනවිත් පම්පෝරි ගැසීමට නොවේ. ඒ තවත් පැත්තකි.

  මේ ඊයේ පෙරේදා මා අපේ රටේ සිටින විශිෂ්ටතම ගායකයකුගෙන් විමසුවේ ‘ඇයි අලුතෙන් ගීත නොගයන්නේ’ යන ප්‍රශ්නයයි. මෙන්න පිළිතුර, ‘මහත්තයෝ, අපි කැමතියි අලුත් ගීත ගයන්න. පරණ ගීතම හැමදාම පට්ට ගහන්න අපිටත් ඕනේ නැහැ. නමුත් හැමදාමත් මිනිස්සු ආසයි කියා කියා ඉල්ලන්නේ ඒවා. ඒ කියන්නේ රසය දන්නා මිනිසුන්ගේ ලේ වල තවමත් දුවන්නේ ඒවා. අපට මාසෙකට ගීත රචනා සෑහෙන ගණනක් ලැබෙනවා. අනේ ඒවගේ වැඩි හරියක තියන පදමාලා කියෝපුවාම බෙල්ල මිරිකගන්න හිතෙනවා. ඒ තරම් බොළඳ හරසුන් පදමාලා එන්නේ. අමාරුවෙන් ඒ පදමාලාවක් වෙනස් කරන්න ඇහුවොත් ඒ කිසිම රචකයෙක් කැමති නැහැ. ඉතින් අපි අපේ පාඩුවේ ඉන්නවා’ මේ සිදුවී තිබෙන්නේ සාහිත්ත්‍යය පිරිහීමේ ප්‍රතිඵලය නොවේද?

  මේ කතිකාව මෙතෙකින් හමාර කල නොහැකිය. මේ විෂම චක්‍රය වෙනස් කලයුතුය. ඒ සඳහා කලයුත්තේ සංස්කෘතික පොලීසියක් දමා පුද්ගලික ගුවන්විදුලි නාලිකා රූපවාහිනී නාලිකා වැසීම නොවේ. අර ස්ටාර් වර්ගයේ ඊනියා ගායක ගායිකාවෝ හිරේ දැමීම නොවේ. බුද්ධි වර්ධනයට කටයුතු කිරීමය. කියවීම සහ ඇහුම්කන් දීම වැඩි දියුණු කිරීමය. භාෂා සහ සාහිත්‍ය ඥානය වැඩි දියුණු කිරීමය. අවබෝධය වර්ධනය කිරීමය. සංවාදයට වැඩි අවස්ථා ලබාදීමය. තිරස්චීනයන් මෙන් කාකොටා නොගෙන යතාර්ථය බුද්ධියෙන් විමසා බැලීමය. මේ සඳහා වගකිවයුත්තන්ට,

  • මෙය ඇහෙනවාද? . . .

 

  • පෙනෙනවාද?. . .

 

  • නැත්නම් මර නින්දේද?

Comments on: "සංගීත සංදර්ශනයක් ඇසුවෙමි (නව පිටපත)" (16)

  1. දැන්නම් වැඩ වගේ.. 🙂

  2. මේ ව්‍යාධියට පුංචි පහේ අත් බෙහෙතක් දෙන්නම තමා මහත්තයෝ මගේ බ්ලොග් එක පටන් ගත්තෙත්…
    කරන්න දෙයක් නෑ මඩිස්සලේට හෙණ වැදුනාම කිල්ලෝටය ඉතිරි වේදැයි ඇසුවාලු
    ලතා දිසානායක, මල්ලිකා කහවිට, රූපා ඉන්දුමතී, අයිරින් ද අල්විස් මේ වාගේ කට්ටිය දහදෙනෙක් විතර එක්කහු කරගෙන පොඩි පහේ ප්‍රසංගයක් කරන්න හිතන් ඉන්නවා – බලමු – මහරගම යොවුන් රඟහලේ කරන්න ඉන්නේ – ඔබටත් දන්වන්නම් – එතෙක් ඔබගේ සංවේගය බෙදාගමි

    • ඔබතුමා කරන්න හදන්නේ ලොකු පුණ්‍ය කර්මයක්. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

  3. මේ රසඥ්යතාවය පිරිහීමට හේතුව ලෙස එක්තරා මාධ්‍ය ආයතනයක් බව ලියා තියන ලිපියක් මා කලකට පෙර විකල්ප වෙබ් අඩවියක කියවූවා. ඒ ලියා තිබුන ලිපියෙත් සිංහල භාෂාව එතරම් හොඳ උනේ නැහැ (මාත් ලොකු සිංහල උගතෙකු නොවේ). මා නම් හිතන්නේ අර මාධ්‍ය ආයතනය බිහි උනේ අඩු රසාඥ්යතාවයක් ඇතිවෙමින් පවතින අවස්තාවක දුටු වෙළඳ පලප්‍රයෝජනය නෙලා ගන්න මිසක, ඒ ආයතනය නිසා මේ රසඥ්යතාවය පිරිහුණා නොවේ. බටහිර අනුගමනය කරගනිමින් ආරම්භ කළ මේ සුපිරි තරු බිහිකරන වැඩ සටහන් හරියට අපේ ප්‍රජාතන්ත්‍ර වාදය වගේ. දෙපැත්තේ තියෙන්නේ එකම දේ උනත් සිදුවන්නේ වෙන දෙයක්. මා ජිවත් වන ඕස්ට්‍රේලියාවේ, සයිමන් අයියගේ ඇමෙරිකානු අයිඩල් වැඩසටහනේ දේශීය නිෂ්පාදනය උන ඕස්ට්‍රේලියන් අයිඩල් ප්‍රථම වැඩසටහනේ පළමු තැනට ආවේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරුණයෙක්. ඔහු මේ වන විට ඉතා ජනප්‍රිය ස්වතන්ත්‍ර නිර්මාණ (හිට්ස්) රාශියක් බිහිකර තියනවා. වෙන රටවලද තත්වය මේකමයි. ලංකාවේ රසික පරපුර මේ නිර්මාණ පරිහානියට මුලිකම හේතුවයි. අනික තමා සරල වින්දනයක් ලබාදෙන නිර්මාණ පීචන් නිර්මාණ ලෙස හංවඩු ගහපු අපගේ දෙන්නම් බැටේ විචාරකයන්. කළා නිර්මාණ බිහිවිය යුත්තේ මහා ජනතාවගේ රසවින්දනය උදෙසා. මා වැනි සාමාන්‍ය කෙනෙකුට නොතේරෙන කලාකෘතියකින් ඇති වැඩක් මට නම් නැහැ. මිල්ටන් පෙරේරා කියන සින්දුවක් ඔහුගේ පුත්‍ර ප්‍රියංකර කියනු අසන විට මට ඇතිවන්නේ රසයක් නොවේ අපුලක්. මේ එක පුතෙකුටවත් තාත්තලාගේ ප්‍රතිභාව අහලකින් වත් පිහිටලා තිබුනේ නැහැ.නමුත් ඔවුනට තාත්තලාටත් නොතිබුන වෙළඳ වටිනාකමක් ඇත්තේ මේ රසිකයන් නිසා. බටහිර නම් මේ පරණ ගීත අලුතින් කියලා මුදල් හම්බ කරන්න බැහැ. ප්‍රතිභාපුර්ණ නවකයන් දිනපතාම බිහිවෙනවා. මා ඉතා ප්‍රියකරන වික්ටර් රත්නායක නම් ඔහුගේ පුතුන්ට කිවේ, මගේ ගීත ඔබලා ගයලා ඒවා කන්න එපා, හැකියාවක් තියනවා නම් තමන්ගේ ස්වතන්ත්‍ර ගීත ගයන්න කියලා. මා හිතන්නේ ඔහු කළේ ගොඩක් හොඳ දෙයක්. මගේ ප්‍රතිචාරය ඔබගේ සටහනට වඩා දික්වෙන්න කලින් මා අසපු මේ දෙයත් ලියන්නම්. තරු තෝරන එක්තරා වැඩසටහනකදී ආධුනික ගායකයෙක් ෂෙල්ටන් පෙරේරාගේ එගොඩහ යන්නෝ ගීතය ගායනා කළා (මා මෙය නැරඹුවේ අහම්බෙන්). ඔහු ගායනා කළේ “මම මේ ගඟුලේ නගුලේ නැගලා එගොඩ මෙගොඩ යනවා” මට තියන ප්‍රශ්නය නම් මේ ගීතය ඔවුන් රූපවාහිනියෙන් ඉදිරිපත් කරන්න කලින් පුහුණු වෙන කොට මේ “මීහරක්” වරද කියා දෙන්න කව්රුවත් හිටියේ නැත්ද? ඇත්තම කරුණ නම් මේ ගයන්නේ මොකක් ගැනද කියලා මේ වැඩසටහන නිෂ්පාදනය කරන අයියලා වත් දන්නේ නැතුව ඇති!

    • බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට. මීට පස්සේ කොපමණ දිග වුනත් කියන්න තියන සියල්ලම කියන්න. මම කුණුහරප විතරයි කමෙන්ට්ස් වලින් ඉවත් කරන්නේ. නව නිර්මාණ කියලා ‘ජකබක’ වචන සහ ටකරං සංගීතය යෙදුවට ජනප්‍රිය නොවෙන්නේ, ඩෙනිම් ඇන්දත්, කොන්ඩේ පන්ක් කරත්, මොන විච්චූරණ කලත්, අපේ දේශීය සංස්කෘතිය කියන ලේ තමයි අපේ මනසේ තියෙන්නේ. නැත්නම් මේ වෙනකොට පැරණි කලාකරුවෝ ආගිය අතක් හොයාගන්න බැරිවෙනවා. වාණිජ පරමාර්ථ ඔලුවේ තියන එකෙක්වත් කලාකාරයෙක් නෙවෙයි.

  4. විචාරක සංගීත සංදර්ශණයක් කියලා හිතුවට ඇත්තටම ඒක එහෙම එකක් නෙමෙයි… ඒකට කියන්නේ “මියුසිකල් ෂෝ එකක් ගහනවා” කියලයි… ඒවා ගහන්නේ එහෙම තමයි… 😀 😀 විචාරක සංගීත සංදර්ශණයක් බලාපොරොත්තුවෙන් “මියුසිකල් ෂෝ එකක් ගහන” හැටි බලපු එකයි වැරදී…

    • අම්මපා ඔයාගේ කතාවනම් ඇත්ත. මම ඔය ෂෝ එක බැලුවේ නැහැ, ගෙදර ඉස්තෝප්පුවේ ඉඳලා අහගෙන හිටියා විතරයිනේ. බැරිවෙලාවත් බැලුවානම් එහෙම මිනීමරුවෙක් වෙනවා.

  5. මම මේක කලින් දාපු වෙලාවෙ කියෙව්වා.. හැබැයි ඒකෙ කමෙන්ට් කරන්ඩ බැරි මොකක්ද අව්ලක් තිබුනා.

    මටනම් ඔය සංගීත සංදර්ශන පේන්ඩ බැහැ. ඒවට ගියම සින්දු අහන එක එපා වෙනවා.. ඒ මදිවට ඒවා අතරෙ වෙන විගඩම්.. මගෙ මුලු ජීවිතේටම මම එකම එක පාරයි ඔය විකාරයක් බලන්ඩ ගියේ. අම්මපා නොදෝමකින් කියලා හිතුනා.

    • සල්ලි හෙවීම පරමාර්ථය කරගත් කාලකන්නි පිරිසකගේ පස්සෙන් යන වර්තමාන පරපුර බේරාගැනීමයි අපේ යුතුකම.

      රැගත් සුරා පිරූ විතින්

      සුරත් තඹුරු පෙති විලසින්

      පුවත් නොදැන බමන මතින්

      නටත් අයෙක් සුරා මතින්

      -ගුත්තිල කාව්‍යය-

  6. මටත් මේ දේ දැන් හිතෙනවා.ඒත් ඉස්සර මට මේ කිසි දෙයක් තේරුනේ නැහැ.ඒවා බලන්න යන්නෙත් ඒ වගේ රසිකයෝ.අපි ඒ කාලේ ගියේ සංගීතය රසවිදිනවට වැඩ ශබ්ද රස විඳින්න.ඒ හැම දෙනෙක්ටම වයසත් එක්ක ඒ දේවල් තේරේවි.

    ඉස්සර කාලේ වගේ ගීත නිර්මාණය වෙන්නේ නැහැ කියන එකට එකඟයි ඒත් ඒ දේ සිද්ද වෙන්නේ නැත්තේ කාගේ වරදින්ද?රසිකයා බාල වීමක්ද නැත්නම් නිර්මාණ කරුවා රසිකයා බාල කරලද?

    • මට තේරෙන විදිහටනම් භාෂාව සහ සාහිත්‍යය පිලිබඳ විඥානය දියුණුවූ තරමට තමයි ගීත සාහිත්‍යය පෝෂණය වන්නේ. භාෂා සහ සාහිත්‍ය දැනුම කියන්නේ විභාගයක් තියලා මැනලා ඒ,බී,සී,ඩී, සම්මාන දීමෙන් ප්‍රතිඵලයක් ඇති දෙයක් නෙවෙයි. මිනිසා තම කියවීම, ලිවීම, කතා කිරීම ඇහුම්කන්දීම යන ව්‍යායාමයෙහි, ස්වෝත්සාහයෙන් සහ දැඩි ආකල්ප වර්ධනයකින් යුතුව නිබඳවම යෙදී සිටීමෙන්, වර්ධනය කරගතයුතු කුසලතාවක්. ඒ වගේම මම හිතනවා ගීත සංකල්පනාවක් පද මාලාවක් බවට පත්කිරීම, බලහත්කාරයෙන් මනස වෙහෙසා කළහැකි දෙයක් නෙවෙයි, එය කලහැක්කේ භාෂා සහ සාහිත්‍ය ඥානයෙන් පිරුණු සිතකට මානව දයාව ඇතුළුවීමෙන් පමණයි. ජීවිත සටන උග්‍ර වනවිය පරිකල්පනය පිරිහෙනවා. නිර්මාණකරණය අවප්‍රමිතිගත වෙනවා. මට තේරෙන්නේ දැනට වෙලා තියෙන්නේ එයයි.

  7. අද කාලේ අපි අහන සිංදු, ඇහෙන සිංදු සහ බලෙන් අස්සවන සිංදු කියන කොටස් තුන ඇතුළේ කරකැවි කැවී ඉන්නවා

  8. මෙන්න අද කාලේ ගීත හැදෙන හැටි

  9. […] තරු අද කෝ? ඔවුන්ට හැකියාව ඇත්තේ, ඊනියා සංගීත කළබෑගෑණියක, කවදත් සුපුරුදු සිංදු සැට් එකක් කියා, […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.