විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

පතරොමක කතාව 2


 පතරොමක කතාව 2 කොටසින් අද මා ඔබට හඳුන්වා දෙන්නේ රයිෆල් පතරොමයි. රයිෆල් පතරොම රයිෆලය හා සමගම 19 වැනි සියවසේ මුල් භාගයේදී නිපදවුණ අතර, වර්තමානය වනවිට ඉතා දියුණු තත්වයට පත්ව තිබෙනවා. තුවක්කු භාවිතය අද ද ලෝකය පුරා සිදුවන නිසා, තුවක්කු පතරොම්ද එලෙසම නිෂ්පාදනය වෙනවා. එහෙත් සංසන්දනාත්මකව සලකා බැලීමේදී තුවක්කු භාවිතයට වඩා රයිෆල් භාවිතය ඉතා ඉහලයි. මේ නිසා රයිෆල් පතරොම් ලෝකය පුරා නිපදවෙන්නේ කොටි ප්‍රකෝටි ගණනින්. ලෝකය පුරා රටවල ආරක්ෂක හමුදා භාවිත කරන්නේ තුවක්කු වලට වඩා රයිෆල්. එසේම දිනපතාම ලෝකයේ කොහේ හෝ රටක රයිෆල් භාවිතා කරන සටන් පවතිනවා. මේ නිසා රයිෆල් පතරොම් ආහාර ද්‍රව්‍යයක් මෙන් ඉක්මනින් අලෙවි වන භාණ්ඩයක්. එබැවින් ඒවා නිපදවීම ඉතා වාසි සහගත කර්මාන්තයක්. අවි ආයුධ නිෂ්පාදනයෙන් පොහොසත් වන්නේ බොහෝ බටහිර රටවල්. ලෝකයේ පළමුවැනි තැන ගන්න ආයුධ නිෂ්පාදකයා ඇමරිකා එක්සත් ජනපදයයි. පිලිවෙලින් දෙවැනි සහ තුන්වැනි තැන ලැබෙන්නේ රුසියාවට සහ ජර්මනියටයි. අනෙක් අතට මේ රටවලින් විශාල වශයෙන් අවි ආයුධ මිලදී ගන්නේ ආසියානු මහාද්වීපයට අයත් රටවල්. හොඳයි, මෙතැන්සිට අපි තාක්ෂණික කරුණු වලට යොමු වෙමු.

තුවක්කු පතරොම ඔබට හඳුන්වාදුන් අවස්ථාවේදී මා සඳහන් කලේ තුවක්කු පතරොම සිලින්ඩරාකාර හැඩයකින් යුක්ත බවයි. රයිෆල් පතරොමද සිලින්ඩරාකාර හැඩයක් ගත්තත්, එහි ඉදිරිපස දෙසට යනවිට පතරොම ක්‍රමයෙන් සිහින් වන නිසා, එහි සම්පූර්ණ සිලින්ඩරාකාර හැඩයක් නැහැ. ඉහත රූපයෙන් ඔබට ඒ බව මනාව පැහැදිලි වනු ඇති. තුවක්කු පතරොම් නිපදවීමේදී එහි බඳ සකස් කිරීමට ප්ලාස්ටික් හෝ ඝන කඩදාසි යොදාගත්තත්, රයිෆල් පතරොම සම්පූර්ණයෙන්ම ලෝහමය බඳකින්  යුත් පතරොමක් බව. එය කඩදාසි හෝ ප්ලාස්ට්ක් යොදවා නිර්මාණය කලොත් බලාපොරොත්තුවන ප්‍රතිපලය ලැබෙන්නේ නැහැ. එය අසාර්ථක වනවා මෙන්ම අනතුරුද සිදුවිය හැකියි. රයිෆල් පතරොමක් වාර සිය ගණනාවක් වුවද රයිෆලයට ඇතුළු කර, ආපසු ගලවා තැබිය හැකි වියයුතු අතර, ඉතා රළු දේශගුණික තත්වයන් යටතේ වුවද, මනාව ක්‍රියා කල යුතුයි. රයිෆල් පතරොමක් ලෝහ බඳකින් යුක්තව නිපදවන්නේ ඒ නිසයි. දකුණු පැත්තේ ඇති රූපයෙන් පෙන්වන්නේ ටී 56 වර්ගයේ රයිෆලයකට යොදන සාමාන්‍ය පතරොමක්. (සාමාන්‍ය පතරොම් වලට අමතරව විවිධ අවශ්‍යතා අනුව යොදන වෙනත් පතරොම් වර්ග තිබෙනවා. පසුව සාකච්ඡා කරනවා මෙම ලිපියේදීම) බොහෝවිට රයිෆල් පතරොමක බඳ නිපදවීම සඳහා යොදාගන්නේ පිත්තල. එහි ඉදිරි කොටස නිපදවීම සඳහා යොදාගන්නේ තඹ. දැන් බලන්න රයිෆල් පතරොමක මූලික කොටස්.

පතරොමේ පසුපසින්ම පිහිටා ඇති කොටසේ ප්‍රයිමරය හෙවත් කැප් එක දක්නට ලැබෙනවා. ඊළඟට තිබෙන වැදගත් කොටස වන්නේ රීම් එකයි. රයිෆලයට පතරොම ඇතුළු කලපසු එය රයිෆල් බටයේ චෙම්බරය තුල රැඳෙන්නේ මේ රීම් එක ආධාරයෙන්. රීම් එකට ඉදිරියෙන් ඇති කානුවක් වැනි රවුම හඳුන්වන්නේ එක්ස්ට්‍රැක්ටර් ග්රූ හෙවත් ඉජෙක්ෂන් ග්රූ කියලයි. මෙයින් කෙරෙන්නේ වෙඩි තැබූ පසු ඉතිරිවෙන පතරොම් කොපුව එලියට ඇද දැමීමට රයිෆල් බෝල්ට් එකට උදවු කිරීමයි. බෝල්ට් එකේ ඇති එක්ස්ට්‍රැක්ටර් නමැති නියපොත්ත වැනි සුළු කොටසකින් තමයි පතරොම එලියට අදින්නේ.

 ටී 56 රයිෆලය අදටත් අපේ ආරක්ෂක හමුදා පාවිච්චි කරන නිසා, එය අතහැර, දැනට භාවිත නොකරන, .303 රයිෆලයේ බෝල්ට් එක සහ, එහි ඇති (පතරොම් හිස් කොපුව එලියට ඇද දමන) එක්ස්ට්‍රැක්ටර් එක මෙහි දක්වා තිබෙනවා.

තුවක්කුවකට වඩා රයිෆලයක් අතිශයින් කාර්යක්ෂමයි. ඒ වගේම තරමක් සංකීර්ණයි. රයිෆලය සම්පූර්ණයෙන්ම යුද්ධය සඳහා සැකසෙන අවියක් නිසා, එහි පතරොමද ඉතා කාර්යක්ෂම සහ නිවැරදි ක්‍රියාකාරිත්වයකින් තිබිය යුතුයි. එමෙන්ම රළු දේශගුණයට ඔරොත්තු දීම, පාවිච්චි නොකර බොහෝ කාලයක් තබාගත හැකිවීම, රයිෆල් පතරොමේ විශේෂ ලක්ෂණයි.

අපි දැන් බලමු රයිෆල් පතරොමක සැකැස්ම කෙබඳුද කියා. මෙය ඉතා සංකීර්ණ ලෙස ඔබට පෙනුනත් සංකීර්ණ බවට වඩා එහි ඇත්තේ සූක්ෂ්ම බවයි. මෙය සම්පූර්ණයෙන්ම ලෝහමය පතරොමක් නිසා (බොහෝවිට පිත්තල, නැතහොත් තඹ) නිෂ්පාදන වියදම තුවක්කු පතරොමකට වඩා සාපේක්ෂව වැඩියි.

 රූප සටහන දෙස බලනවිටම ඔබට පෙනෙනවා මෙය සම්පූර්ණයෙන් ලෝහ වලින් නිපදවා ඇති බව. පතරොමේ පසුපසින්ම ඇති ප්‍රයිමරයේ ඇතුලත ඇත්තේ ෆයරින් පින් එකෙන් ලැබෙන පීඩනය හේතුවෙන් ක්ෂණිකව ගිනි ඇවිලෙන විශේෂ වෙඩිබෙහෙත් මිශ්‍රණයක්. හොඳින් බලන්න, තුවක්කු පතරොමේ මෙන් නොව මෙම පතරොමේ ප්‍රයිමරය තුල කිණිහිරය (Anvil) නමින් කොටසක් තිබෙනවා. එයින් සිදුවන්නේ ෆයරින් පින් එක ආධාරයෙන් ප්‍රයිමරයේ ඇති වෙඩිබෙහෙත් ටික කුඩා කිනිහිරයක් මත තබා තැලුවාක් මෙන්, දැඩි පීඩනයක් ක්ෂණිකව ලබාදීමයි. ඒ හේතුවෙන් ක්ෂණිකව ගිනි ඇවිලෙන ඒ වෙඩිබෙහෙත්, එතන තිබෙන (Flash Hole) නම් සිදුර හරහා, වහාම, ඊට ඉදිරියෙන් පතරොම් බඳ තුල, කුටීරයක් වැනි කොටසේ ඇති, වහා ගිනි ඇවිලෙනසුළු වෙඩිබෙහෙත් වෙත ගිනි බලය ලබා දෙනවා. එයින් ඇතිකරන ක්ෂණික පිපිරුම කොතරම් බලවත්දැයි කිවහොත්, ඊට ඉදිරියෙන් ඇති ‘බුලට්’ කොටස පතරොමේ බඳෙන් ගලවා තත්පරයකට මීටර් දහස් ගණනක වේගයෙන් රයිෆල් බටය දිගේ ඉදිරියට තල්ලු කර දමනවා. මේ වෙඩිබෙහෙත්වල ඇති තවත් ලක්ෂණයක් තමයි ඇවිලෙන විට දුම් නොනැගීම. එසේ වෙඩිබෙහෙත් සෑදීමට හේතුව වන්නේ, යුද බිමකදී වෙඩි තබන විට, තුවක්කුවෙන් දුම් පිටවුනොත්, සතුරාට ඉතා පහසුවෙන් වෙඩි තබන්නා සිටින තැන සොයාගත හැකිවීම වැලැක්වීමයි. රාත්‍රී කාලයෙදීනම් මීට වඩා ප්‍රබල ප්‍රශ්නයක් තියනවා. ඒ තමයි තුවක්කු බටය අගින් ගින්දර පිටවීම. එයනම් වලක්වන්න බැහැ. ඒ සඳහා සමහර රයිෆල් වල බටයේ අග ‘ෆ්ලෑෂ් හයිඩර්’ යනුවෙන් හඳුන්වන කොටසක් සකසා තියනවා. එයින් ඉටු කෙරෙන සේවාවන් දෙකක් තිබෙනවා. ඔබ කවදා හෝ දැඩි අඳුරු ස්ථානයක සිට රතිඤ්ඤයක්, නිලා කූරක්, අහස් කූරක්, කුඩා මල් වෙඩිල්ලක්, පත්තුකර තිබෙනවාද? එවිට සිදුවන්නේ වෙඩිල්ල පත්තුවී අවසන් වූ පසු ඔබේ දෑස් නිලංකාර වී අවට කිසිවක් නොපෙනී යාමයි. ඝන අඳුරේ වෙඩි තැබීමේදී සොල්දාදුවන්ටද මෙය සිදුවෙනවා, එය වලක්වා ගැනීමත්, තුවක්කුවේ ගිනි එලිය ඈතට දිස්වීම අඩුකර ගැනීමත්, තමයි ෆ්ලෑෂ් හයිඩර් එකෙන් කෙරෙන්නේ. 

හොඳයි, මෙතැන්සිට අපි බලමු රයිෆල් පතරොම රයිෆලය තුල පත්තුවීමෙන් පසුව සිදුවෙන්නේ කුමක්ද කියා. දැන් ඔබ දන්නවා රයිෆලයක බටයේ ඇතුලත සර්පිලාකාර කානු පද්ධතියක් තිබෙන බව. පතරොම පත්තුවී, බුලට් හෙවත් උණ්ඩය, රයිෆල් බටය දිගේ විදුලි වේගයන් ඉදිරියට ඇදෙන විට, එම කානු හෙවත් රයිෆ්ලින්ග්ස් වලින්, විශාල බලපෑමක් උණ්ඩයට එල්ල කරනවා. එනම් එම කානු නිසා, උණ්ඩයට ප්‍රබල කරකැවීමක් ඇතිකර දෙනවා.

උණ්ඩය තම අක්ෂය වටේ කරකැවෙමිනුයි ඉලක්කය වෙත යන්නේ. රයිෆලය තුලදී ඇතිවුණු දැඩි පීඩනය නිසාඋණ්ඩය තුල ඇති ඊයම් උණුවී ද්‍රව තත්වයට පත්වෙනවා.

එවැනි උණ්ඩයක් ඉතා ප්‍රබල මාරක උණ්ඩයක්. උණ්ඩය තම අක්ෂය වටා ඉතා වේගයෙන් කරකැවෙන නිසාත්, එය තුඩක් වැනි හැඩයකින් යුක්ත නිසාත්, යම් තරමක් තද මතුපිටක් වුවත් විදගෙන යාමේ හැකියාව එයට ලැබෙනවා. උණ්ඩය යම් මතුපිටක වැදුණු වහාම එම ගැටීමේ ප්‍රතිපලයක් ලෙස උණුවී ද්‍රව තත්වයේ තිබුණු ඊයම්, තද මතුපිටක් මත වැටුණු වැසි බිදුවක ජලය විසිරෙන්නාක් මෙන් විසිරෙනවා.

එවිට සිදුවන්නේ මිනිස් හෝ සත්ව සිරුරක නම්, උණ්ඩය ඇතුළුවූ තැන හිලක් සහ විසිරෙන ඊයම් නිසා උණ්ඩය

පිටවූ පැත්තේ මහා විවරයක් ඇතිවීමයි.

මේ තත්වය පැහැදිලි කරන රූප ඕනෑතරම් තිබුනත්, නැරඹීමේදී අඩුම සංවේදීතාවක් දෙන රූපයකුයි මා තෝරා ගත්තේ.

ඔබ මේ රූපය දැකීමෙන් කිසියම් කම්පනයකට පත්වූවානම්, මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා.

රයිෆලයකට යොදන පතරොම් වර්ග යුදමය අවශ්‍යතා අනුව වර්ග කර තිබෙන අතර, ඒ එක් එක් වර්ගයෙන් විවිධ ප්‍රයෝජන ලැබෙනවා. එලෙස වර්ග කර ඇති පතරොම් හඳුනා ගැනීම සඳහා එම එක් එක් පතරොම් වර්ගයේ බුලට් හෙවත් නෝස් කොටස මතුපිට වර්ණ කේත ක්‍රමයකට අයත් රවුම් පටි ඇඳ තිබෙනවා. ඒ වර්ග කිරීම් මොනවාදැයි මා දැන් ඔබට හඳුන්වා දෙන්නම්.

  •  
  • 1. Ball Cartridge = බෝල් පතරොම =  කිසිදු වර්ණයක් යොදා නැත = එදිනෙදා සාමාන්‍ය වෙඩි තැබීම් සඳහා.
  •  2. Tracer Cartridge = ට්‍රේසර් පතරොම = රතු හෝ, මෙරූන් හෝ, තැඹිලි පාට = බුලට් එකේ පසු පස රතු ගිනි එළියක් දැල්වෙයි. රාත්‍රී කාලයේදී තමන් දුටු ඉලක්කයක් අන් අයට පෙන්වීම.
  • 3. Armour Piercing cartridge = ආමර් පියර්සින්ග් පතරොම = කළු පාට = ඝන තහඩු විනිවිද යාම.
  • 4. Incendiary Cartridge = ඉන්සෙන්ඩයරි  පතරොම = ලා නිල් හෝ, තද නිල් = වැදුණු ස්ථානයේ ගිනි අවුළුවන සුළු.
  • 5. Armour Piercing Incendiary Cartridge =  API = ආමර් පියර්සින්ග් ඉන්සෙන්ඩයරි පතරොම =  ඉහත 3 සහ 4 යන දෙකෙහිම ලක්ෂණ එකට කැටිකර ඇත.
  • 6. Armour Piercing, Incendiary, Tracer Cartridge = APIT = ආමර් පියර්සින්ග්, ඉන්සෙන්ඩයරි, ට්‍රේසර් පතරොම = රතු පාට පටියක් සහ ඇලුමිනියම් පාට පටියක් = ඉහත අංක 2,3,4, යන තුනේම ලක්ෂණ එකට කැටිකොට ඇත.
  • 7. Drill Cartridge = ඩ්‍රිල් පතරොම = පුහුණු පතරොම = කිසිදු වර්ණයක් නැත. බඳෙහි කුඩා සිදුරු ඇත. පුහුණුවීමට පමණයි. වෙඩි තැබිය නොහැක.
  • 8. Blank Cartridge = බ්ලෑන්ක් පතරොම = පුහු පතරොම = නෝස් හෙවත් බුලට් කොටසක් නැත. වෙඩි තැබුවිට හඬ සහ දුම පිටවේ. හානියක් නැත. හමුදා අවමංගල්‍ය වලදී වෙඩි තබන්නේ මේ පතරොම් වලිනි.

ඉහත අංක 7 සහ 8 හැර අනෙක් සියලුම පතරොම් එක හා සමාන මාරක ප්‍රතිඵල දෙන බව අමතක කරන්න එපා.

මීළඟට මම අද භාවිතයේ නැති, පැරණි මැෂින් තුවක්කුවක් ඔබ වෙත ගෙන එන්නටයි සිතා සිටින්නේ.

Advertisements

Comments on: "පතරොමක කතාව 2" (66)

  1. පතුරම් ගැනත් එහි ක්‍රියාකාරිත්වයත් ඔන්න අද තමා හරියටම ඉගෙන ගත්තේ

  2. ඇති යන්තම්.. ඊළඟ එක ලියන්නෙ කොයි වෙලේද කියලා බල බල හිටියෙ..

    රයිෆල් උණ්ඩ ගැන ගොඩක් දේ දැනගත්තා මේ ලිපියෙන්.. බොහොම ස්තුතියි ගොඩක් ආසාවෙන් කියවපු ලිපියක්… බොහොම විස්තර සහිතව සිත්ගන්නා අයුරින් ලියා තිබෙන හැටි අපූරුයි…

    මම කලින් ලිපියෙත් කිව්වානෙ පතුරම් හිස්කොපු වගයක් තියෙනවා කියලා.. එව්වා Blank Cartridge වගේ.. උඩ කැරලි කැරලි හැඩෙත් තියෙනවා… ඒ කියන්නෙ අනිවාර්‍ය්යෙන්ම Blank Cartridge නේද? මම අහුලා ගත්තෙ කෑම්ප් එකේ තිබුනු කඳවුරක් අත්පත්කරගැනීමේ ආදර්ශයකින් පස්සෙ.. කවුද දන්නෙ වැඩකාරයො වගේ වෙඩි තියාගත්තෙ උණ්ඩ නැති ඒවලින් කියලා… අනික අවමංගල්‍යවලදී වෙඩි තියන්නෙත් ඒවැයින් කියලා දන්නෙ නෑනෙ.. අපි හිත හිත ඉන්නෙ උඩ ඉන්න කුරුල්ලෙක්ටවත් වැදෙයිද කියලා…

    ඊළඟට කෑම්ප් එකේ තිබුනු රාත්‍රී අවි පුහුණුවකදී කිව්වා කළුවරේ වෙඩි තියෙනකොට තුවක්කු බටේ දිහා බලන්න එපා කියලා.. අනිත් එව්වලින් බිමට තිබ්බත්…. ට්‍රේසර් බුලට් එකෙන් උඩටයි තිබ්බෙ… ට්‍රේසර් බුලට් සොල්දාදුවො අතර බෙදාදෙන්නෙ කොහොමද? අනික සතුරන්ටත් තමුන්ව පේනවා ට්‍රේසර් බුලට් එක නිසා..

    අනික් එක පිස්තෝලයේ සයිලන්සර් එක වැඩ කරන්නේ කොහොමද? දුං යන එක නෙමෙයි සද්දෙ නෑහෙන්න දාන එක… 🙂

    • කෝ උත්තර??

    • හරී, මගේ ලිපියේ අඩුපාඩුවක් තිබුනා. වර්ණ කේත ක්‍රමය අනුව මම පතරොම් වර්ග හතක පමණයි දක්වා තිබුනේ. නමුත් එය අටක් විය යුතුයි. දැන් එය නිවැරදි කර තිබෙනවා. නැවත බලන්න.

      ඔබ ළඟ තිබෙන්නේ බ්ලෑන්ක් පතරොම් කොපු තමයි. වැඩ කාරයෝ ජීව උණ්ඩ (ඇත්ත පතරොම්) වලින් පුහුණු වෙනවා. මමත් එහෙම කරලා තියනවා. එහත් මහජනතාව ඉන්න තැනක පෙන්වන සංදර්ශනයකදී ආරක්ෂක පියවරක් වශයෙනුයි පුහු පතරොම් පාවිච්චි කරන්නේ. පොළොවේ සිට අඟල් 18 ක් උසින්, පොළොවට තිරස්ව ගහපු, තියුණු උල් සහිත, කොන්සර්ටීනා වයර් නමැති කටු කම්බි පොටවල් වලට යටින්, එහි නොගෑවී, පිටේ බර මල්ලද සහිතව, සම්පූර්ණ යුද ඇඳුමෙන් ඒ කම්බි වලට යටි රිංගා යන අතර, කම්බි මට්ටමෙන් නොකඩවා මැෂින් තුවක්කුවකින් වෙඩි තියනවා. යන්තම් ඉස්සුනොත් බඩුම තමයි. හරී සනීපයි ඒ පුහුණුව.

      යම්කිසි ක්රියාන්විතයකදී අවශ්‍යතාව අනුව ට්‍රේසර් බුලට් ලබා දෙනවා. මම රාත්‍රියේ ඉලක්කයක් දැක්කනම් (ටී 56 රයිෆලය) මැගසිනය බුරුල් කර බෝල්ට් එක සෙමෙන් අරිනවා. මැගසින් එක බුරුල් නොකලොත් බෝල්ට් එක අරිනකොටම එහි උඩින්ම තියන පතරොම උඩ විසිවෙනවා. චෙම්බරයේ එතෙක් තිබුණු සාමාන්‍ය පතරොම ඉවත් කර ට්‍රේසරයක් දමා බෝල්ට් එක වසා (එවිට ට්‍රේසරය චෙම්බරයට යනවා.) නැවත මැගසිනය තදකර ළඟ ඉන්න අයට ‘Follow My Tracer’ කියා කෑගසමින් වෙඩි තැබීම අරඹනවා. මගේ ට්‍රේසරය දකින අනිත් අයත් එතනටම වෙඩි තබනවා. සමහර අවස්ථා වලදී මගසිනයේ සාම පතරොම් 5 කට එකක් ට්‍රේසරයක් සිටිනසේ පුරවනවා. එවිට නිතරම සියලුදෙනාම දකිනවා ඉලක්ක ඇති දිශාව. ට්‍රේසරය සතුරාට පෙනෙන්නේ නැහැ. බුලට් එකපිටිපස්සෙන් එලිය පිටතට විහිදෙන්නේ නැහැ.

      පිස්තෝල හෝ තුවක්කු සඳහා යොදන සයිලන්සර් වල ඇතුළ වාහනවල සයිලන්සරයේ ‘ගෙඩිය’ කියා බාස් උන්නැහේලා කියන කොටසේ සැකසුමට සමානයි. වටේට කුඩා කාමර මෙන් බෙදා තිබෙනවා මැදින් බුලට් එකට යන්න ඉඩ තබා.

      • ටේසර් බුලට් එක ගැන ලිපියක් ලියන්න පුලුවන් නම් හොඳයි..

        ට්‍රේසර් බුලට් එක යන පාර වෙනත් සතුරෙකුට පෙනිය හැකියි කියලයි මම හිතුවෙ.. දැනුයි මට හිතුනෙ ඒක මහා ගොන් ප්‍රශ්නයක් කියලා.. ඇයි ඒක දකින කට්ටිය ෆයර් කරනවා නම් සතුරාට කොහොමත් අහුවෙනවානෙ..

        ‘Follow My Tracer’ කියලම කියන්නෙ නැතුව ඇති 🙂

        • මටත් හිතෙනවා පතරොම් ගැන ප්‍රශ්න ගොඩක් එයි කියලා. මෙහෙම දෙන උත්තර මදිවෙන බව පෙනුනොත් වෙනමම පෝස්ට් එකක් ලියන්නම්.

          ඇත්තටම ‘ෆලෝ මයි ට්‍රේසර්’ කියන්නේ උගන්නන පොතේ තියන වචනය. ප්‍රයෝගිකව කෙරෙන්නේ මොකුත් නොකියාම ගහනවා. එය දකින අනිත් අයත් එතනටම ගහනවා.

  3. නියමයි මමත් බලබලා හිටියෙ ඊලඟ පෝස්ට් එක කවදා දායිද කියලා, මරු මරු ඊලඟට මොනවා ගැනද ලියන්නේ….
    (අමතර ප්‍රශ්නයක් තියනවා… දැං රයිෆලේ ඇමෝ ඉවරලො තියන වෙලාවක සතුරා දිගට හරහට වෙඩි තියනවා මැගසින් එකට උන්ඩ පුරවන්න කාලෙකුත් නැත්තං, බෝල්ට් එක ඇදලා චේම්බර් එකට උන්ඩෙ දාන්න බැරිද මැග් එක නැතුව)

    • ඔය ප්‍රශ්නේ යුද පුහුණුව ලබන කෙනෙක් ඇහුවානම් දෙන උත්තරය කවදාවත් මේකේ ලියන්න බැහැ. මෙහෙමයි සහන්, ඔබ කියන දේ කරන්න පුළුවන් නමුත් ප්‍රායෝගික නැහැ. මොකද බෝල්ට් එක ඇරලා චෙම්බරයට එක පතරොමක් දැමීමට ගතවන කාලය තුල ඔබ සතුරාගේ වෙඩි වරුසාවකින් පෙනේරයක් මෙන් හිල්වී යන්න හොඳටම ඇති. ඒ පතරොම වෙඩි තියපුවාම ඊළඟට මොකද කරන්නේ? කලයුත්තේ පසුපසට පැමිණ පතරොම් හෝ පතරොම් පුරවන ලද මැගසින් හෝ ලබා ගැනීමයි. වෙඩි තබන ගමන් පුළුවන් පසුපසට කෑගහන්න පතරොම් හෝ පුරවන ලද මැගසින් ඉල්ලා. ඒ අය ඉන්නේ මීටර් 25 – 50 දුරින්. නැත්නම් ඊළඟ ප්‍රහාරක කණ්ඩායම ඉදිරියට එනවා. එය කරන එක්තරා ක්‍රමයක් තියනවා. එය තරමක් රහසිගත දෙයක්.
      ඊළඟ පොස්ට් එකෙන් දෙන්නම් තඩි මැෂින් තුවක්කුවක්.

  4. බටය තුල තියන සර්පිලාකාර බව නිසා උන්ඩය භ්‍රමණයට ලක්වුනාම උන්ඩයේ මුහුණතම ඉලක්කයට වැදීම සිද්ධ වෙනව නේද. (බද නොවැදී).
    අහල ඇතිනේ රණබිම මැරුනේ සිංහලයෙකු නම් පපුවේ වෙඩි සලකුණ ඇත්තේ කියන සිංදුව. ටී56 උණ්ඩයක් පපුවට වැදිල පිට පැත්තෙන් පිට වෙන්නෙ විශාල විවරයකින් නේද? (සිංදුව බොරුවක් නේද?)

    • ඔව් ඔව් ඔබ හරි. රයිෆ්ලින්ග්ස් වලින් ලබාදෙන භ්‍රමණය නිසා උණ්ඩයේ තුඩ තමයි ගිහින් වදින්නේ.

      උණ්ඩයක් පපුවේ වැදී පිට පැත්තෙන් ගියාට, විශාල විවරයක් නොසැදෙන අවස්ථා බොහෝයි. හේතුව අපේ සිරුර පපුව සහ පිට අතර ඒ තරම්ම ඝන නොවෙන නිසා. අර මම පින්තූරයකින් පෙන්වා ඇති ප්‍රමාණයේ තුවාල තමයි බහුල.

      අර සින්දුව ඇත්ත වුනත් බොරු වුනත් ‘චන්ද්‍රිකා සිරිවර්ධනගේ’ ගේ ගීත වලට මමනම් ආසයි. අපි පාසල් යන කාලේ ඇසූ ‘පායන්නට එපා සඳේ’, ‘මිදුලේ මල් සූරිය ගහ මුදුනේ’, ‘රත්තරනින් රන් මාල නොබැන්දට’, වැනි ඇගේ ගීතවලින් ලැබූ පෙම් රසය අදටත් අපේ හිත්වල නොනැසී පවතිනවා.

  5. මීට කලින් මේ ගැන දැනගෙන හිටියේ නෑ.. බොහොම ස්තුතියි!

  6. පරක්කු වෙලා මේ ලිපිය දැක්කේ…ෆ්ලෑශ් හයිට්‍ර් එක ගැන කියෙව්වාම කාලයක් තිස්සේ මගේ හිතේ තිබුණු ප්‍රශ්ණයක් එකපාරම මතක් වුනා…

    සමහර ඉංග්‍රීසි චිත්‍රපටි වල සද්දේ නෑහෙන විදියට මිනිස්සුන්ට වෙඩි තියන දර්ශන වල පිස්තෝලේට සයිලන්සර් එකක් හයිකරලා වෙඩිතියනවා මම දැකලා තියෙනවා… ටුකුස් ගාලා හරි පොඩි සද්දයක් එන්නේ… ඇත්තටම එහෙම සද්දය මකා දමන්න පුළුවන්ද… එහෙම පුළුවන්නම් ඒක හැම පිස්තෝලෙකටම නිශ්පාදන්යේදිම එකතු කරන්නේ නැත්තේ ඇයි…

    ප.ලි. බුලට් පෲෆ් ජැකට් ගැන ලිපියකුත් ලියන්න පිළිවන්නම් අගෙයි…

    • ෆ්ලෑශ් හයිඩර්…

      (හෙළ බස මරණවුන් නිර්දය ලෙස පිටු දකිමි. )

      මේ බ්ලොග් එකේ කමෙන්ට් කරද්දී අතිරේක ප්‍රවේශමකින් ටයිප් කරන්නේ… වෙලාවකට හෙන අවුල් ඒක…

      • බොහොම හොඳයි ඔබේ අදහස් දැක්වීම, මා දන්නා තරමින් සිංහලයට වචන නිපදවෙන ක්‍රම කීපයක් තියනවා, තත්සම, තද්භව,නිෂ්පන්න කියන ක්‍රම. තාක්ෂණික පද (Technological Terms) නිපදවීම රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් (අද එහෙම එකක් තියනවානම්) කලයුතු දෙයක්. නැත්නම් එක එක්කෙනා තමන්ට කැමති කැමති විදිහට වචන හදාගන්නවා. ‘ෆ්ලෑෂ් හයිඩර්’ නමැති කොටසට සිංහල වචනයක් මට මෙතෙක් හමුවී නැහැ. ඒ නිසා එය එලෙසින්ම පාවිච්චි කළා. එපමණයි.

    • ඇත්තටම එවැනි ‘සයිලන්සර්’ හෙවත් ‘සප්ප්රෙසර්’ තියනවා. මම ඉතා කෙටි ලිපියක් පසුව ලියන්නම්. ඕනෑම පිස්තොලයකට, රිවොල්වරයකට, රයිෆලයකට, සවිකලහැකි සයිලන්සර් තිබෙනවා. එහි න්‍යාය, වාහන සයිලන්සරයේ න්‍යායට සමානයි. අපේ රටේ ගිනි අවි නීති රීති අනුව, පිස්තෝලයක් පාවිච්චි කිරීමට බලපත්‍රයක් ලබාගත් හැකි වුනත්, සයිලන්සරයක් ගන්නට ඉඩ ලැබෙන්නේ නැහැ. ඒවා අපේ රටට ගෙන්වන්නේ ආරක්ෂක හමුදා වල පාවිච්චියට පමණයි. මම මුලින්ම සයිලන්සරයක් පාවිච්චි කලේ 1989 දී. ඒ කාලේ තිබුණු භීෂණ සමයේදී, එක්තරා කල්ලි නායකයෙක් අත්අඩංගුවට ගන්න සෑහෙන්න වෙහෙසක් ගන්නට සිදුවුනා. ඒ ප්‍රදේශයේ රාත්‍රියට ගමන් කරන්නටම බැහැ බල්ලෝ බුරනවා. එවිට අර පිරිස පැන යනවා. බල්ලන්ට මස් ගෙනිහින් දාලා නිශ්ශබ්ද කරන්න බැලුවා. කොහෙද, උන් කන්න දෙන අත හපා කන්න හදන, මහා පර බල්ලෝ ජාතියක්. ඊළඟට බල්ලන්ව ‘සයිලන්ස් = නිහඬ’ කරනවා හැර වෙනත් විසඳුමක් නැහැ. වර්තමානයේ තිබෙන, ඉතාම දියුණු ස්වයංක්‍රීය අවියක් වන HK-MP5 රයිෆලයකට සයිලන්සරයක් සවිකර බල්ලන්ව නිහඬ කර, අරයව අත් අඩංගුවට ගන්නට පුළුවන් වුනා. (චිකේ. . . . . . බල්ලොත් මරපු ආමි කාරයෙක්නේ මේකා)
      Bullet Proof Jacket = වෙඩි නොවදින කබා. මේවා යුද්ධයේදී මෙන්ම ප්‍රභූ ආරක්ෂාවේදීත් පාවිච්චි කරනවා. මේවා නිපදවන්නේ Kevlar = කෙව්ලර් නමැති විශේෂ කෙඳි වර්ගයකින්. අපේ රටේ පෞද්ගලිකව මිලදී ගැනීමට හෝ පාවිච්චියට අවසර නැහැ. මීටරයක් දෙකක් ළඟ සිට, පිස්තෝලයකින් හෝ එවැනි ගිනි අවියකින් තබන වෙඩිල්ලකින් හෝ පුපුරා යන බෝම්බයක කුඩා ලෝහ කැබලි වලින්, ආරක්ෂා වීමේ හැකියාව තිබෙනවා.

  7. පරක්කු උනා මේක කියවන්ඩ..

    ඔය පතරොම පුපුරනකොට ඒ බලයෙන් තුවක්කුව හෝ රයිෆලයේ එම ස්ථානයේ පිපුරුමක් වෙන්නේ නැද්ද ? එහෙම වෙච්ච අවස්ථා නැද්ද ?

    • ආමර් පියර්සින්ග් උණ්ඩ බොහෝ ගණනක්, නිතරම වෙඩි තැබුවොත්, රයිෆල් බටයේ පන්නරය, ඉක්මනින් බාල වන බව අසා තිබෙනවා, දැකලා නැහැ. ඔබ කියන ආකාරයේ පිපිරීමක් කවදාවත් අහලා දැකලා නැහැ.

  8. අදයි මම මේ බ්ලොග් එක දැක්කේ.. මාර වටින විස්තර ටිකක්.. ඔබල වගේ අය යුද්ධෙ ඉවර කරල මේවගේ දැනුම අපට දෙන එකට අවංකවම ස්තූතියි.

    • සෑම සති කීපයකට වරක් අලුතෙන් එක්කෙනෙක් හෝ මේ බ්ලොග් එක දකිනවා. ඔබව අසමි දකිමි සොයමි වෙත ඉතා ආදරයෙන් පිලිගන්නවා. හැකි සෑම විටම එන්න. අලුත් යමක් දෙන්න සියලු උත්සාහ දරනවා. ඇගයීම පිළිබඳව බොහොම ස්තුතියි.

  9. ලිපිය නම් අපුරුයි. අපේ ගෙදර මම පුංචි කාලේ තිබුන බලපත්‍ර සහිත තුවක්කුවක්. අපේ තාත්ත ඒක පිරිසිදු කරන කොට මං කට ඇරගෙන බලා ඉන්නවා. තාත්තා කරන්නේ “මොනවද බලා ඉන්නේ” කියල මාව එලව ගන්න එක. පස්සේ කාලෙක ඒක පොලිසියට භාරදුන්න.
    දියතලාව කෑම්ප් එකේ නරියකන්දට යන කොටසේ පාර අයිනේ දැකල තියනවා ඔය වගේ පතරොම් කොටස්.
    \\”කොන්සර්ටීනා වයර්” //කෑම්ප් වල වටේට රෝල් වගේ සකස් කරලා තියන්නේ මේවද විචාරක තුමා..?
    කමෙන්ට් එක දාන්න දඟලපු තරමක්. බලමු මේ වතාවේ වත් හරියයිද කියල. බ්ලොගර් කමෙන්ට් දාන්න බැරිද …

    • ප්‍රීතියි ප්‍රීතියි!! වැඩේ හරි !!! 🙂

    • අපේ ගෙදරත් තිබුනා මම තරුණ වයසෙදිත් බෝර් 12 තුවක්කුවක්. තාත්තා ඒක ලයිසන් කරන්න කච්චේරියට (දැන් කාලයෙනම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට) අරගෙන යනකොට මගේ අතට තමයි තුවක්කුව දෙන්නේ. මම ඉතින් ඒක අරන් යන්නේ කාලතුවක්කුවක් ගෙනියනවා වගේ. 😀

      කොන්සර්ටීනා වයර් කියන්නේ හමුදා කඳවුරු වටා දමා තිබෙන අර රවුමට ඔතා (සර්පිලාකාර) තිබෙන කටු කම්බි වර්ගය තමයි.

      මේ බ්ලොග් ඒක වර්ඩ්ප්‍රෙස් නිසා බ්ලොගර් වලින් කමෙන්ට්ස් දාන්න අමාරුයි.

      බොහොම ස්තුතියි ලිපි කියවා අදහස් දැක්වීම ගැන.

  10. well done sir …. kalekata passe godak hoda deyak baluwa . niyamai . wish you al the best sir ..
    kushan from uk

    • බොහොම ස්තුතියි කුෂාන්. පැරණි ලිපියකට මෙවැනි ප්‍රතිචාරයක් මා බලාපොරොත්තු වුනේ නැහැ. ඔබ Google IME මගින් Google input Tool එක ලබාගෙන එයින් සිංහල භාෂාව ලබාගත්තානම් ඔබ ඔය ටයිප් කර තිබෙන සිංග්ලිෂ්, සිංහල වචන ලෙස පෙනෙනවා.

      • ගොඩක් හොඳ ලිපියක් ඔබ වැනි කෙනෙක් මෙවැනි කරුණු ගැන අපව දැනුවත් කිරීම ගැන අනේක වාරයක් ස්තූතිය පුද කරමි.

      • ඔබට පුළුවන් කමක් ඇත්නම් ලියන්න අපේ රණ විරුවන්ගේ අති විශිෂ්ඨ මෙහෙයුම් ගැන මොකද මෙහෙ ඉන්න ගොඩක් සිංහල මිනිස්සු නිකන් ලංකාව ගැන කතා කරන්නේ අපේ මව් රටේ කිසිම දෙයක් නෑ සේරම තියෙන්නේ මේ පර සුද්දගේ එංගලන්තේ කියල ඒ එකෙකුටවත් කිසි හැගීමක් නෑ සුද්දා උන්ගේ මේ නිසරු රට දියුණු කරලා තියෙන්නේ අපේ වගේ යටත් විජිත් වලින් හුරන් කාපු සම්පත් වලින් කියන එක.ගොඩ දෙනෙක් එහෙම උනාට තාමත් හොද සිංහලයෝ මෙහෙ ඉන්නවා එකත් කියන ඕන ගොඩක් ඉන්නේ සර්ව පිත්තල ලෝකෙක අතරමං උන පාවෙන ජීවිත.—-ස්තූතියි.——- කුෂාන්

        • මට ඉතාම හොඳින් තේරෙනවා ඔබේ හැඟීම. ඔබේ සිතේ මේ රට වෙනුවෙන් තියන වේදනාව. මටත් ලොකු ප්‍රශ්නයක් තියනවා. අපේ රණවිරුවන් ගැන තොරතුරු සෙවීම හරිම දුෂ්කරයි. මට තේරෙන්නේ නැහැ මට වඩා බලවත් හමුදා ආයතන වලින් ඇයි ඔවුන් ගැන තොරතුරු අන්තර්ජාලයේ පල නොකරන්නේ කියා. මම සියලු උත්සාහයන් දරනවා වරින්වර එවැනි තොරතුරු පලකරන්න. ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මා වෙත දහිරිය ලබාදීම ගැන.

  11. ලංකාවේ අපිට ආගන්තුක විෂයක් බොහොම පැහැදිලිව කියා දෙන ආකාරය විශිෂ්ටයි. ජය…

  12. Hello Wicharaka, I recently came to know about this blog, thanks for the informative articles, they certainly make good reading. Pardon me for writing in English for I have no Sinhalese WP skills nor software. Let complement you by saying that you being a retired Army karaya has better writing skills than some professional journalists in Sinhalese newspapers. I get nausea when I see some poorly organised articles with basic grammatical errors. I studied sinhalese only upto OL’s but my knowledge of Sinhala grammar is much better, but that is besides the point.

    Earlier you had disclosed that you participated in a raid to arrest one of the JVP leaders during 1988-89 and how you used a silencer gun to kill the dogs. I am not going to ask you about the fate that befell the JVP leader you captured, but suffice to say that every time I read or hear about that dark period of Sri Lankan history, it makes me sick. Now I am happily living in a foriegn country after leaving SL due to utter frustration of the way some innocent youth were massacred during that period. I have personaly seen 100’s of tyre pyres during that period, and you are one of the perpetrators, no doubt. Hundreds of thousands of other professionals also decided to leave the country during that period, so much so that the country was in a dire shortage of mid career professionals some years ago. Believe me, I am no JPVPer nor a JVP sympathiser, they deserve punishment for their brutalities, but I believe the people of the country deserved a better deal. And you the Army karayas were at the forefront of that barbaric crack down (I hope you can still sleep at night!). As long as the memory of that period is with me, I will not go back to live in SL, not even after my retirement. Not that I love the country less.

    • Dear Chandra, Thank you very much for your appreciation as well as all other expressions. If you have enough Sinhala knowledge there are very simple software ready to be used without much IT knowledge. ‘Google Input Tool’ is the most suitable freeware software, and you can type in Singlish like ‘mama gedara yanawaa’ after you type each word when you press space bar it will automatically translate in to Sinhala. ‘real Magic’ please try it.

      I have participated in JVP insurrection and Eelaam War as well. However those two events belongs to totally different theatres of war. I can swear upon my wife and two daughters that I did not kill any JVP Members, as I was a JVP Member in 1971. I did not released them, did not allow my men to kill them. I have arrested a very big number of them and properly handed over to my Commanding Officer for further action. Once I had to face for a human rights case as I was accused for disappearance of two young men. Ultimately I have proven that I did not arrest them at all. Even that JVP Leader killed in a gun battle with my men in an ambush which we have laid down for another group of JVPers who killed a most venerable priest in Badulla area. Yes we did a number of actions against the book. However everywhere in the world when there is a battle you can observe a number of violations of approved rules. JVP Movement is politically correct. However the way they have implemented the same was totally incorrect. The ordinary Citizens were benefitted by the JVP Movement as the Government/s paid much more attention on youth unemployment, University education and much more.

      If you do not have any idea to come back to Motherland, what can I say? However you can serve your Country from where you are currently living. Thanks you once again.

  13. Thank you Wicharaka, appreciate your taking my criticism on the chin. After reading your response I thought I over-reacted. Can we still be friends ? :- )

    Re. your comment on the JVP movement, yes, I agree there was more attention paid to things like youth unrest etc. after the 2 insurrections. But in my opinion the JVP movement is using the youth, particularly the underpriviledged to serve their agenda. They want the underpriviledged youth to stay underpriviledged so they have no shortage of activists to carry out their agenda. I was in Uni in the 80’s and I know first hand how they manipulated the students’ sentiments to fulfill their narrow political agendas ( I can give you a lot of examples but do not want to make this post any longer). Some of the JVP leaders those days later used to lead the infamous DJV (Ranjithan, Idamegama and D M Ananda were my contemporaries, I am sure you knew them)

    I have friends who are now Uni teachers and they tell me that it is the JVP that stand in the way not allowing any progressive programs to be implemented in the Unis. For ex. they do not even allow the students to speak in English. Recently some of my Alumni friends had been in the Uni premises with some of them wearing shorts. Some students had come and chased them away saying shorts are not allowed in the Uni premises ! Some Uni teachers among them identified those as JVP activists.

    An overhaul of the Arts degree curriculum has been overdue by a millenium. Uni graduates of a country are supposed to be an asset to the country, not a burden. Look what is happening now, I doubt there is a single Science graduate who is picketing in front of the Fort Railway Stn. !

    • Dear Chandana, there’s no dissatisfaction or barriers that you and me to argue with. This is a valuable exchange of ideas for me. Therefore I would like to keep dialogue with you witch is a good opportunity for me to broaden my mind. To be honest I do not have much more opportunities in this blog world to have forums like this.

      Any where in the world revolutionists are always get the attention of the underprivileged people as they can ‘use’ them even as Canon Fodders. Look at China, Cuba, Bolivia, early USSR, this situation was same. JVP Movement had a ‘Head’ when Wijeweera was alive. Unfortunately non of the second line Commanders understood the philosophy of Wijeweera. Like blind people described the Elephant, they have made their own views and concepts on Wijeweera’s ‘Teachings’. On the other hand when the people of the Country spell bounded by this new political campaign, JVP believed that they can overpower Mrs Bandaranayake’s Government within very shot period time and ultimately ended with heavy casualties of the ‘Child War’ they have fought with.

      Any man, any woman, any nation, any philosophy, any religion, needs strong existence. Otherwise they will fade a way within no time. this phenomenon is same for political parties. JVP is a Political party that exists, only when youths (specially Uni Students) are there. Therefore they always keeping them by making some induction on them and letting them to organize demonstrations, street fights, clashes with police, etc. If these poor students can understand where on earth they really stand or any strong campaign can teach them the truth behind, JVP will be disappeared within seconds. The Million Dollar question is what are the strategies that could cut down the curtain of JVP which cover the free vision of these poor Uni Students. So called ‘Youth Training under Army is not a solution. it makes more and more grudges and troubles.

      My elder Daughter a well mannered girl went to Uni from 2005 – 2009 where she completed her degree in History & Archaeology. During that period she was in the Iron Fist of JVP. We found that she was lying to me and my wife and going far away from the Uni on JVP campaigns. When I questioned her very hard, She said that students those who did not participate on JVP campaign were severely dealt with. Therefore She had to taken part on demonstrations in Colombo and once we had to take her to a Doctor to get treatment for Police baton charges. On the other hand my younger Daughter now on the final year at Colombo Medical faculty, did not participate in any kind of that type activities and JVP is not disturbing ‘Medicos’ ironically.

      Even The Uni lecturers Association is a jokers forum and I do not believe that they have any strategies or proper vision for the uplift of Uni education.

  14. ඉතමත් වටිනා ලිපියක්,
    සාමාන්ය රය්ෆල් පතුරමක් මිල කොපමන පමන වෙනවද? ලන්කවෙ පතුරම් නිපදවනවද? ලන්කවෙ සිවිල් වෑසියෙකුට තුවක්කුවක් ලගතබා ගෑනිම නිතියෙන් තහනම් නෙද?

    • බුදු අම්මෝ…… දුලිත, මොකටද රයිෆල් පතරොම් මිලට ගන්න යන්නේ. සාමාන්‍යයෙන් අපි හිතමු T 56 පතරොම් කියලා. මේවා අපේ රටට ගෙන්වන්නේ චීනයෙන්. 2010 පමණ තොග මිළ එකක් රුපියල් 3 ක් පමණ වුනා.
      ලංකාවේ සිවිල් වැසියෙකුට තුවක්කුවක් ළඟ තබාගැනීම තහනම් නැහැ. ඔහුට අවම වශයෙන් අක්කර 5 ක පමණ ඉඩමක් හෝ, නිතර ඉතා විශාල මුදල් (මිලියන් වලින්) ප්‍රමාණයක් එහා මෙහා ගෙනයාමට සිදුවන්නේ නම්, පතරොම් තුවක්කුවක් සඳහා බලපත්‍රයක් දිස්ත්‍රික් ලේකම් මගින් ඉල්ලිය හැකියි.

  15. මම මෙතෙක් හිතාගෙන හිටියෙ පතුරමෙ උල් හෑඩය මගින් පමනය් සතුරෙකුට හානි සිදුකරන්නෙ කියල. Cu වලින් උන්ඩය වටවෙලා තියෙනකොට Pb විසිරෙන්නෙ කොහොමද?Pb තියෙන්නෙ පතුරම මෑද නෙවෙය්ද? Pb විසිරෙන විදිහ මට එච්චර පහෑදිලි නෑහෑ.එක තව ටිකක් විස්තර කරන්න පුලුවන්ද?

    • ඔව් දුලිත, බුලට් එකේ තුඩ ආධාර වෙන්නේ ඉලක්කය විදගෙන ඇතුලට යාමටයි. එහිදී බුලට් එකේ තුඩ සාදා තිබෙන තඹ/පිත්තල ලෝහය ආධාර වනවා. නමුත් බුලට් එක ඇතුලේ තියන ඊයම් උණුවී ද්‍රව තත්වයෙන් තමයි ඒ වනවිට තිබෙන්නේ. ඉතින් වතුර බින්දුවක් බිම වැටුනා වගේ අර තුඩ කිසියම් දෙයක ගැටුනම ඊයම් එලියට විසිරෙනවා. තුඩ තම අක්ෂය වටේ වේගයෙන් භ්‍රමණය වන නිසා විසිරීමට එය ආධාරයක් වෙනවා. තව දුරටත් පැහැදිලි කරගැනීමට පහත දැක්වෙන ලිපි කියවන්න.

      http://karws.gso.uri.edu/jfk/scientific_topics/wound_ballistics/how_a_high-speed.html

      http://en.wikipedia.org/wiki/Hollow-point_bullet

      http://simple.wikipedia.org/wiki/Bullet

  16. කට්ටියට පතුරම් අමතක කාෙල දාප ඒක ෙහාදා 🙂

  17. oba thumaata haki nam mata oba thuma haa sambanda viya haki e-mail lipinayak labaa denna . mage e-mail lipinaya lakminih37@gmail.com

  18. සර් වායු රයිෆල් වලින් කොච්චර හානියක් කරන්න පුළුවන්ද ? ඒකට ලයිශන් ඕනෙද ? අනික පතුරම් ප්‍රසිද්ධියේ විකුනන්න අවසර තියෙනවද ?

    • වායු රයිෆලයක් කෙනෙකුගේ ඇසට, නළලේ පැත්තට, කන මුලට, බෙල්ලේ ඉදිරි පසට හෝ පිටුපසට, ඉතා ලංකර වෙඩි තබා මරන්න පුළුවන්.
      මරන්නද ලයිසන් ඕනෙද කියලා ඇහුවේ? 😀 තරහ වෙන්න එපා විහිළුවක් කලේ. වායු රයිෆලයක් පාවිච්චි කිරීමට බලපත්‍ර අවශ්‍ය නැත. ලංකාවේ සෑම ප්‍රධාන නගරයකම පාහේ ( විශේෂයෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය සහ විදුලි උපකරණ විකුණන වෙළඳසැල් වල, මේවා විකුනන්න තිබෙනවා. අවම මිල රු 12000/- ක් පමණ වන අතර කොළඹ නම් ඉතා විශිෂ්ඨ ගනයේ ඒවා රු 80000/- ට පමණ තිබෙනවා.
      වායු රයිෆලයකට දමන්නේ පතරොම් නෙවෙයි. ‘පෙලට්ස්’ යනුවෙන් හැඳින්වෙන, ඊයම් වලින් සාදා ඇති කුඩා මූනිස්සම් විශේෂයක්. වරකට මෙයින් එකක් පමණයි රයිෆලයට ඇතුළු කලහැක්කේ. වෙඩි තබන විට වෙනත් තුවක්කු මෙන් ‘ඩොන්’ ශබ්දයක් එන්නේ නැහැ. නිකම් ‘බෝහ්’ ශබ්දයක් එන්නේ. එය අඩි 10 ක පමණ දුරකට තමා ඇහෙන්නේ.
      වායු රයිෆල් ගැන මම ලියා තිබෙන ලිපිය මෙතනින් බලන්න.

      • 😀 අනේ සර් මම තාම නම් මරන්න හිතල නෑ . හැබැයි අවස්ථාවක් ආවොත් පස්සට යන්නෙත් නෑ .
        මම ඇහුවෙ සර් නිකම් පතුරම් කඩවල විකුනන්න දෙනවද කියල . කුරුනෑගල එහෙම කඩයක් ගැන ආරංචි උනා .
        සර් හමුදාවට අනන්‍ය සටන් ක්‍රමයක් තියෙනවද ?

        • කුරුණෑගල මහ වීදියේ මැද කොටසේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසලක වායු තුවක්කු විකිණීමට තිබෙනවා. ඒවාට යොදන පෙලට්ස් ද එතනින් ගන්න පුළුවන්. එතනටම යන්නේ නැතුව තවත් හොයලා බලන්න.
          හමුදාවට අනන්‍ය සටන් ක්‍රමය කියන එකනම් මට තේරුනේ නැත. තවත් දීර්ඝව විස්තර කර අසන්න.

      • හමුදාවට ආයුධ නැතිව කරන සටන් ක්‍රම විදියට ප්‍රසිද්ධ සටන් ක්‍රමයක්ද උගන්වන්නෙ නැත්නම් හමුදාවට අනන්‍ය එකක්ද කියල ඇහුවෙ සර් .
        ඇයි සර් ලංකාවෙ ආයුධ හදන්න දෙන්නෙ නැත්තෙ ? අනික ඉන්දියාවත් මිසයිල හදන්වනෙ .

        • සෑම හමුදා සෙබලෙකුටම ඔහුගේ මූලික පුහුණුවේදී ආයුධ රහිත සටන් කිරීම’ un armed combat’ යනුවෙන් සටන් ක්‍රමයක් උගන්වනවා. නමුත් වර්තමාන සටන් වලදී එය ප්‍රායෝගිකව යොදාගන්න ලැබෙන අවස්ථා නම් බොහොම අඩුයි.
          ලංකාවේ යුද්ධායුධ හදන්න දෙන්නේ නැහැ නොවෙයි. අපේ රටේ එවැනිදේ නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ තාක්ෂනය නැහැ. ඒවා පිටින් ගෙන්වලා මෙහෙ සෑදීම පාඩුයි. මිලදී ගැනීම ඊටවඩා ලේසියි. දස ලක්ෂ ගණනින් ආනයනය කරනවිට T 56 පතරොමක් රු 5 කට වඩා අඩු මුදලකට ගන්න පුළුවන්. නමුත් ටිකෙන්ටික අපි ආයුධ මෙහෙ සෑදීම වර්ධනය කරගැනීමේ වැඩපිළිවෙලක් සැකසීම හොඳයි. කවදා හෝ අපිට වෙනත් රටවලින් ආයුධ මිලදී ගැනීම අපහසු වුනොත් එදාට ප්‍රයෝජනයට ගැනීම සඳහා. මිසයිල් එකක් හදන්න යන සල්ලි වලින් ගමක් හදන්න පුළුවන්. ඉන්දියාව මිසයිල් හදද්දී ඉන්දියාවේම ඈත ගම්වල දිළින්දන් බඩගින්නේ මැරී යනවා. ලෙඩට දුකට ප්‍රතිකාර සහ මූලික සෞඛ්‍ය පහසුකම් නැතිව මැරිලා යනවා.

      • ඒ කියන්නෙ ආයුධ නව නිර්මාණ ලෙස සැකසීමට උහ්සහ කිරීම වරදක් නෙමෙයි ද ? අපිට පුළුවන්ද ආයුධ නිපදවන්න පුද්ගලිකව ? පුද්ගලික වියදමින් උත්සහ කරන්න පුළුවන්ද ?

        • මම හිතන්නේ නැහැ කාටවත් අවසර ගන්න ලැබෙයි කියලා ආයුධ නිපදවන්න. නව නිර්මානයක් ලෙස සංකල්පමය වශයෙන් පමණක් සැලැස්මක් හදලා ආරක්ෂක අමාත්‍යංශයට යොමු කර බලන්න වෙනවා එහෙම අදහසක් තියන කෙනෙකුට. පුද්ගලික වියදමින් උත්සාහ කිරීමත් දණ්ඩ නීති සංග්‍රහයට පටහැනියි.

    • කෙනෙක් මරන්න යොදා ගන්න බැරි ඒත් යුද්ධයෙදි උදවු වෙන උපකරණයක් නම් ?
      උදාහරනයකට බෝම්බ හොයන එකක් අඩු වියදමින් හදනව නම්? මම දන්න තරමින් එහෙම දේකට වත් උදවු කරන්නෙ නෑ නේද ?

      • හොඳ ප්‍රශ්නයක්. මටත් අමතක වුන පැත්තක්. ඒ වගේ දේකටනම් උදවු කරයි. හැබැයි මොලේ නැති දේශපාලුවෝ පස්සේ යන්න එපා අවසර ලබාගන්න. ඉස්සරවෙලාම අදාළ විෂයයට සම්බන්ධ විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් වැනි විද්වතකු සමග සාකච්ඡා කරන්න. පැහැදිලි සැලැස්මක් තිබිය යුතුයි. පේටන්ට් බලපත්‍රයක් ඉල්ලීමට තරම් සාධනීය ලක්ෂණ තිබිය යුතුයි. කොපියක් නොවිය යුතුයි.

  19. ඔන්න පතොරම් ගැන සෑහෙන්න දැනගත්තා

  20. අද තමයි මේක දැක්කේ මහත්තයෝ. මට පොඩි ගොන් ප්‍රශ්නයක් හිතට අවා. (මට සාමාන්‍යයෙන් එහෙම දේවල් හිතෙනවා.)

    මේ උණ්ඩයක් දඬු ආණ්ඩුවකට හිර කරලා, පිටි පස්සේ තිටෙන් කැප් එකට ඇනයක් තියලා, මිටියකින් වේගවත් පහරක් ගැහුවොත් කුමක් වේවිද?

    • අනේ ඒ වැඩේ ඔයාම කරලා බලන්නකෝ. මම දෙන්නම් පතරොමක් 😀 😀 රාත්තල් 7 1/2 කට වැඩි බලයක් යෙදෙව්වොත් අනිවාර්යයෙන් පතරොම පත්තු වෙනවා. මොකද කියන්නේ? කරලා බලමුද?

      • ඇත්තටම මට ඒ වැඩේ කරලා බලන්න අසයි. නමුත් ඉතා අනතුරු දායක විය හැකි නේද?

        • මම කන්කසන්තුරේ සේවය කරපු කාලේ මගේ යටතේ හිටියා හැමදේටම උනන්දු සොල්දාදුවෙක්. මෙයාට දවසක් හම්බවුනා එල්..ටී.ටී.ඊ. එකෙන් දාලා ගිය විදුලි ඩෙටනේටරයක්.

          විදුලි ඩෙටනේටර්රය
          මිනිහා මේක අරන් ගිහින් දැම්ම තාප්පෙකින් එලියට දාලා තාප්පෙට මෙහා පැත්තෙන් හිටගෙන දුන්න බැටරි කරන්ට් එක ඩේනේටරයට. මිනිහගේ කරුමෙට තාප්පයේ හිලක් තිබිලා මිනිහගේ අහවල් ප්‍රදේශය කෙලින්ම. එතනම තමයි ඩේටනේටරය තිබිලා තියෙන්නේ. පිපුරුමෙන් පස්සේ වෛද්‍යාධාර වලින් පසු සාමාන්‍ය තත්වයට ගත්තා. ඔන්න කරනවානම් වැඩ.

      • අපො ඒ කතාවෙන් පසේ මගේ අහවල් එක හිරිවැටිලා ගියා. නෑ නෑ පතරොම් ඕනෙම නෑ .

    • විචාරක තුමා මට ඔය වගේ අද්දැකීමක් තියනවා ,මගේ ලොකු අයිය හමුදාවේ දවසක් අපේ පොඩි අයියයි මමයි ලොකු අයිය ගෙනහල්ල තිබුන පතුරමක් (හැඩේ හරියට t 56පතුරම වගේ) අරගෙන එකේ ඉස්සරහ ඇණයකින්ද කොහෙද ඇරල එකේ තිබ්බ තේකොල කෑලි වගේ වෙඩි බේත් කොලේක දාල පත්තු කලා,මට මතක විදිහට එක සාමාන්‍ය ගිණිකුරක තිබ්බ වෙඩිබේත් වගේ පත්තු උනේ නෑ………..ඊට පස්සේ මට ඕන උනා අර පතුරම බෙල්ලේ දාන්න හදාගන්න මම තනියම එක අඬුවෙන් හිරකරලා පිටිපස්සේ තිබ්බ රව්මට ඇලිස් කටුව තියල ගැහුවා මහා සද්දයක් එක්ක එක පිපිරිලා මහේ අත් දෙකම තුවාල උනා අත්ලේ තුවාල වල කළු පාට කෝපි කුඩු වගේ හිරවෙලා තිබුණ. ඔලුව තෝන්තු උනා එදා. දවස් දෙක තුනක් ගියා මනස හදාගන්න , ඒ මීට අවුරුදු 12 ට විතර කලින් මගේ අමතක නොවනම සිදුවීමක්.

      • ඔබට ජීවත් වෙන්න වාසනාව තිබීම ලොකු දෙයක්. මා හිතන්නේ ජීවිතයටම අමතක නොවන පාඩමක් ඔබ ඉගෙනගත්තා. ඔබට බරපතල තුවාල සිදුවී රෝහල් ගතකරන්න සිදුවුනානම්, පතරොමක් ඔබ අතට ආවේ කොහොමද කියන එක ගැන පොලිස් පරීක්ෂණ පවත්වා, එහි ප්‍රතිඵලයක් ලෙස, ඔබේ සහෝදරයාගේ රැකියාව අහිමි වෙන්නත් ඉඩ තිබුණා.

        කිසිම දවසක තමන් නොදන්නා, සැක කටයුතු පුපුරන ද්‍රව්‍ය අතපතගාන්න එපා. මේ අවවාදය සිය කෝටි වාරයක් දුන්නත් පිළිපදින අය බොහොම අඩුයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: