විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  අපි ගතකල පාසල් ශිෂ්‍යභට ජීවිතය හමුදා භටයකුගේ ජීවිතයට සෑහෙන තරම් ආසන්නව තිබුණි. පළමුවෙන්ම ජ්‍යෙෂ්ට ශිෂ්‍ය භටයකු ලෙස අපි ඇන්ද නිළ ඇඳුම යුද භටයකුගේ නිළ ඇඳුමට සර්වප්‍රකාරයෙන්ම සමාන විය. අපේ නිලධාරින් හොඳ පුහුණුවකින් යුත් අයවලුන් වූ අතර, එදා අපට සිටි නිත්‍ය හමුදාවේ උපදේශකයන්, සෑම විටම අපව උනන්දු කරවුයේ, ඉතා ඉහල හමුදා විනයක් පවත්වා ගැනීමටය. ඒ සමගම ඉංග්‍රීසි භාෂාව සැහෙන තරම් පාවිච්චි කිරීමටද සිදුවිය. මම ශිෂ්‍ය භටයකු ලෙස මුලින්ම පුහුණුව ලැබූ 1960 දශකයේදී සමහර ප්‍රධාන පෙලේ පාසල් වල .22 රයිෆල් වලින් යුත් ආයුධාගාර තිබුන අතර එම අවි වලට යොදන පතරොම් ළඟම පොලිස් ස්ථානයේ තබා තිබුණි. වෙඩි තැබීම් පුහුණුව සඳහා කුඩා වෙඩි පිටිද තිබුණි. මේ තත්වය වෙනස් වුයේ 1971 කැරැල්ලෙන් පසුවය. ඒ කාලයේ ශිෂ්‍ය භටයකුට පාසලේ යම් පිළිගැනීමක් තිබුණි. විශේෂයෙන් රෙජිමේන්තු සැරයන් මේජර් තනතුර උසුලන ශිෂ්‍යයාට ගුරුවරුන් පවා විශේෂයෙන් උසස් සැලකීමක් දැක්වුවෝය. එමෙන්ම ඔහු හැසිරුනේද නියම නායකත්ව ලක්ෂණ පිළිබිඹු කරමිනි. ඒ තනතුර දැරූ සිසුන් බොහොමයකට ඉංග්‍රීසි භාෂාව මනාව හැසිරවිය හැකි විය. පසු කාලයේදී අධ්‍යාපනය තරගයකටත් වඩා යුද්ධයක් තත්වයට පත්විය. විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් සිසු දරු දැරියෝ බොහෝ දුරට ඈත් වූහ. ආත්මාර්ථකාමී, යාන්ත්‍රික පරපුරක් බිහිවීම ආරම්භ විය. මෙහි වැරැද්ද සිසුන්ගේ නොවේ. එතනින් එහාට මම ඒ ගැන නොලියමි.

  දැන් මෙන් නොව එකල ශිෂ්‍ය භටයන් වර්ග දෙකක් සිටියහ. ඒ, කනිෂ්ට සහ ජ්‍යෙෂ්ට වශයෙනි. කනිෂ්ට ශිෂ්‍ය භටයකු වයස අවුරුදු 13 – 15 සීමාවේ සිටි අතර ජ්‍යෙෂ්ට ශිෂ්‍ය භටයකු වයස අවුරුදු 16-19 සීමාවේ සිටියේය. ඒ දෙපිරිසට නියමිත නිළ ඇඳුම්ද විය. ඇත්තටම එකල ජ්‍යෙෂ්ට ශිෂ්‍ය භටයෝ හොඳ උස මහත කොල්ලෝ වූහ. (අද නැතුවාම නොවේ) මේ වර්ග දෙකටම අවි පුහුණුව ලැබීමද විශේෂත්වයක් විය. කනිෂ්ට ශිෂ්‍ය භටයන්ට පුහුණුව ලැබුනේ .22 රයිෆලයෙනි. ජ්‍යෙෂ්ට ශිෂ්‍ය භටයන්ට .303 රයිෆලයෙන් සහ මැෂින් තුවක්කුවෙනි. ඉතින් අද මම කියන්නට යන්නේ ඒ තුවක්කු පිලිබඳවය. මේ තුවක්කු වර්ග කිසිවක් අද අපේ රටේ පාවිච්චි නොකරන නිසා, නීතිමය සීමා වලින් තොරව මේ විස්තරය කල හැකියයි සිතමි.

.22 රයිෆලය

  සාමාන්‍යයෙන් තුවක්කුවක ස්වභාවය විස්තර කිරීමේදී එයට යොදන පතරොම් වර්ගය අනුව එම තුවක්කුවේ හැඳින්වීම යෙදේ. පතරොමක පසුපස කෙලවර විෂ්කම්බය අනුව එම හැඳින්වීම සැකසෙයි. මේ තුවක්කුවට යොදන පතරොම හීනි කොච්චි කරලකට මඳක් විශාලය. අඟලකට මඳක් දිගින් වැඩි එය පැන්සලකට වඩා සිහින්ය. එහි පසුපස කෙලවර විෂ්කම්බය අඟල් දශම දෙකයි දෙකකි. (.22) ඒ නිසා මේ රයිෆලය හැඳින්වෙන්නේ .22 රයිෆලය යනුවෙනි.

  ඔබ අසා ඇති බෝර 12 තුවක්කුව බෝර 16 තුවක්කුව වැනි වචන. මුලින්ම කිවයුත්තේ එහි බෝර යන වචනය වැරදියි. නිවැරදි වචනය වන්නේ ‘බෝර්’ Bore යන්නයි. (වාහන එන්ජින් වල ‘බෝර් කරනවා’ කියන්නේ. ඒ වචනය තමයි හරි) බෝර් කියන්නේ තුවක්කුවක පතරොම ඇතුළු කරන ස්ථානය හෙවත් ‘චේම්බර්’ එක chamber  සකසා ඇති මිනුමටයි. එය කැලිබර් calibre කියාද හඳුන්වනවා.

  මේ රයිෆලය මුලින්ම නිර්මාණය කර තිබෙන්නේ 1914 දී පමණ. පළමුවැනි ලෝක යුද්ධ සමයේ ඉතා පුළුල් ලෙස ප්‍රයෝජනයට ගත්, .303 රයිෆලයෙන් පුහුණු කිරීම් සිදු කිරීමේදී, හදිසි අනතුරු සිදුවීම සහ පතරොම් වැයවීම අවම කර ගැනීමේ අරමුණෙන් තමයි, මේ රයිෆලය නිපදවා තිබෙන්නේ. 1921 පමණ වනවිට මෙය ශිෂ්‍ය භටයන් පුහුණු කිරීම සහ වෙඩිතැබීමේ ක්‍රීඩා සඳහා යොදාගන්න රයිෆලය ලෙස සියලුම පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල පාවිච්චියට ගැනුණා. කුඩා පාසල් සිසුන් වූ අපට මේ රයිෆලය පෙනුනේ කාලතුවක්කුවක් වගේ. කිලෝග්‍රෑම් 5 ක් පමණ බරකින් යුත් මේ රයිෆලයට එක වරකට ඇතුළු කල හැක්කේ එක පතරොමක් පමණයි. වෙනත් තුවක්කුවල මෙන් ‘ඩෝන්’ යනුවෙන් මහා හඬක් සහ පසුපසට විශාල තෙරපුමක් මේ තුවක්කුවේ නැහැ. ‘පටාස්’ හඬක් සහ සුළු ගැස්සීමක් පමණයි දැනෙන්නේ. ඉලක්කයේ සිට මීටර් 25 ක් දුර සිටයි අපි වෙඩි තැබීම පුහුණු වුනේ. මෙහි ඇති ‘බෝල්ට් එක’ ක්‍රියා කරවන්න ‘අලි මස්’ කෑවත් මදි කියලයි පුංචි අපට හිතුනේ. බෝල්ට් එක එපමණ තදයි. බෝල්ට් එක ගැන පසුව විස්තර කරන්නම්.

රයිෆලය / තුවක්කුව. මේ දෙකේ වෙනස මොකක්ද?

  අපි සාමාන්‍ය කතාබහේදී රයිපල් එක, තුවක්කුව, පිස්තෝලය, රිවෝල්වරය, වැනි වචන යෙදුවත්, සමහරු, ඒ තුවක්කු වර්ග වල වෙනස්කම් මොනවාද යන්න දන්නේ නැහැ. ඒ නිසා අපි බලමු ඒ දැනුම වැඩි දියුණු කරගන්න. රයිෆලයට ඒ නම ලැබී තිබෙන්නේ එහි බටයේ ඇතුලත ඇති විශේෂ සැකැස්මක් නිසයි. රයිෆල් බටය ඇතුලත සර්පිලාකාරව කැරකෙන කානු පද්ධතියක් තිබෙනවා. ඒවා හඳුන්වන්නේ ‘රයිෆ්ලින්ග්ස් Rifelings’ කියලයි. කානු දෙකක් අතර උස කොටසක් හෙවත් ගොඩැල්ලක් තියනවා. නමුත් තුවක්කුවක බටයේ ඇතුලත රයිෆ්ලින්ග්ස් නැහැ. එය ජල නළයක ඇතුළත මතුපිට මෙන් සිනිඳුයි. පහත පින්තූර බලන්න.

  ඔබ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි නරඹා තිබෙනවාද? ඒ චිත්‍රපටි වල නාමාවලිය දැක්වෙන අවස්ථාවේදී, ජේම්ස් බොන්ඩ් වෙඩි පහරක් එල්ල කරන දර්ශනයක් තිබෙනවා. ඒ දර්ශනය සකස් කර තිබෙන්නේ රයිෆල් බටයක් තුලින් බලන ආකාරයටයි. මෙන්න ඒ පින්තූරය.

දැන් ඔබට රයිෆලය සහ තුවක්කුව අතර වෙනස වැටහෙනවාද? මේ දෙකේ වාසි අවාසි මොනවාද? රයිෆලයේ ඇති කානු සහ ගොඩැලි සහිත බටය, එයට යොදන උණ්ඩයට වඩා මඳක් සිහින්. මේ නිසා උණ්ඩයට දැඩි පීඩනයක් ලැබෙන අතර කානු නිසා උණ්ඩයට කරකැවීමක් ලැබෙනවා. ඒ නිසා උණ්ඩය ගමන් කරන්නේ තම අක්ෂය වටා වේගයෙන් කරකැවෙමින්. එහි ප්‍රතිඵලය වන්නේ ඝන වස්තුවක් හිල් කරගෙන යාමට හැකියාව ලැබීමයි. නමුත් තුවක්කුවක බටය සිනිඳු නිසා එයට යොදන පතරොමක ඇති මූනිස්සම් තුවක්කුවෙන් පිටවන්නේ පුනීලයක හැඩයට විසිරෙමින්. මේ නිසා ඝන මතුපිටක් විනිවිද යාමේ හැකියාව අඩුයි. නමුත් කුරුල්ලෙකුට, දුවන මිනිසුන් පිරිසකට වෙඩි තැබීමට වඩාත් සුදුසු තුවක්කුවයි. කුරුල්ලා පියාඹමින් සිටින නිසාත් මිනිසුන් දුවන නිසාත් තනි උණ්ඩ සහිත රයිෆලයෙන් වෙඩි තැබීමේදී වැරදීමට ඇති අවස්ථාව වැඩියි. තුවක්කුවේ මූනිස්සම් විසිරී යන නිසා එක මූනිස්සමක් හෝ වදිනවා. නමුත් යුද කටයුතු වලදී අද යොදාගන්නේ ස්වයංක්‍රීය රයිෆල් නිසා ඒ අඩුව පිරිමැසෙනවා.

ඊළඟ කොටසෙන් තවත් විස්තර කියන්නම්.

Comments on: "අපේ කාලයේ තුවක්කු" (13)

  1. කැලිබර් කියාත් තුවක්කු වර්ගයක් මම අහලා තියනවා.බෝර ,බෝර් අදයි මම ඉගෙන ගත්තේ… හොද විස්තර කිරීමක්..

  2. මොකෝ එක දවසෙ ලිපි දෙකක්ම දාලා?

    ඒ දවස්වල ඉස්කෝලවලත් රයිෆල් තිබ්බද? අපිට නම් ලී කෑලි වලින් තමා වෙපන් ට්‍රේනින් කළේ..

    .22 එකෙන් වෙඩි තිබ්බාට අදයි දන්නෙ මොකද ඒකට .22 කියන්නෙ කියලා.. වෙඩි පිටියෙ ෆයරින්ග් තියෙනකොට ඇහෙන්නෙ බට කැලේකට ගිනි ගත්තාම බට පුපුරන සද්දෙයි..

    “විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් සිසු දරු දැරියෝ බොහෝ දුරට ඈත් වූහ. ආත්මාර්ථකාමී, යාන්ත්‍රික පරපුරක් බිහිවීම ආරම්භ විය. මෙහි වැරැද්ද සිසුන්ගේ නොවේ. එතනින් එහාට මම ඒ ගැන නොලියමි.”
    මම හිටියෙ මධ්‍යම පාන්තිකයින් වැඩිපුර හිටපු ඉස්කෝලෙක..සැරයන් විදිහට මට තිබුනු ලොකුම අභියෝගය වුනේ ශිෂ්‍යභටයින් පුහුණු කිරීම නෙමෙයි…මොක්කුන් හෝ 25ක් ඛ්න්ඩයේ රඳවා ගැනීම..මධ්‍ය්‍අම පාන්තිකයොනෙ කොහොමත් වැඩිපුර දුක් විඳින්නෙ..මොකද ඉහළට යන්න ලොකුම ට්‍රයි එක දෙන්නෙ ඔවුන්නෙ..ඒක නිසාම දෙමව්පියන්ගෙන් වගේම අනික් ගුරුවරුන්ගෙන් ගොඩක් තර්ජන ආවා..

    දැනට ශිෂ්‍යභට සාර්ථකවම ක්‍රියාත්මක වෙන්නෙ පෝසත්ම ඉස්කෝලවල හා දුප්පත්ම ඉස්කෝලවල..පෝසත්ම ඉස්කෝලවල උන්ට ඉහළට යාමේ ඕනකමක් නෑ..අම්මලා අප්පලාගෙ සල්ලි තියෙනවානෙ..දුප්පත්ම ඉස්කෝලවල සාර්ථක උන්ට ඉගෙනගන්න ඕනකමක් නැතිනිසා..

    කොකා ගැස්සුවාම මොකෝ වෙන්නෙ..ඒ ගැනත් කියන්න..

    • අර බැටළුවා දැක්කට පස්සේ නොදා ඉන්න බැරි වුනා. ඒකයි එක දවසේ ලිපි දෙකක් වැටුනේ. ඔයා විතරයි ඌව අඳුනගත්තෙ.

      ඒ කාලේ ශිෂ්‍ය භට ඛණ්ඩ තිබුන සෑම ඉස්කොලේකම යකඩ දොරවල් දමා ඝන බිත්ති සහිතව සහ සිවිලිමට උසින් දැල් ගැසූ ඉතා සුරක්ෂිත ගබඩා කාමරයක් තිබුනා. සියලුම නිල ඇඳුම්, ඉන පටි, හිස්වැසුම්, බූට්ස් අනෙකුත් උපකරණ (සිතියම්, කොම්පස්, වැනි) ආදිය එහි ගබඩා කර තිබුනා. මම දන්නා කාලේ කොළඹ සහ මහනුවර ලොකු ඉස්කෝලවල .22 රයිෆල් තිබුනා.

      ශිෂ්‍ය භට ව්‍යාපාරය පහත් තත්වයට අද වැටුනේ අධ්‍යාපන තරගය නිසා ගුරු පරපුරද නොමග ගිය නිසයි.

      තුවක්කුවකින් වෙඩි තැබීමේදී කොකා ගස්සන්නේ නැහැ. කොකා තම දබරැගිල්ලෙන් මිරිකනවා. ගැස්සුවොත් වෙඩිල්ල ඉලක්කයෙන් අහකට යනවා. පසුව විස්තර කරන්නම්.

      • මම දන්න විදිහට කොළඹ ප්‍රසිද්ධ විද්‍යාලයක් වන මගේ පාසලේ ශිෂ්‍ය භට කාමරය “armoury” තුළ රයිෆලයක් තවමත් තිබෙනවා

  3. ෆොරෙන්සිස් වලදී වෙඩි තිබ්බ තුවක්කුව අඳුරගන්න මේ රයිෆ්ලින්ග්ස් උදව් වෙනවා නේද? මම අහල තියනවා ඒක ඇඟිලි සලකුණක් වගේ වැඩ කරන්නේ කියල, වෙඩි තැබීම වලදී ඇතිවන සීරුම් පැලුම් හේතුවෙන්.

    • ඒ වගේ සීරීම් තැලීම් මෙන්ම විශේෂයෙන් බලන දෙයක් තමයි ෆයරින් පින් එක වැදීමෙන් පතරොමේ ප්‍රයිමර් එකේ ඇතිවෙන එබීම. එයත් බොහෝදුරට තුවක්කුවෙන් තුවක්කුවට (එකම වර්ගයේ තුවක්කු වුනත්) වෙනස් වෙනවා.

  4. තව දෙයක් ‍එකතු කරන්න ඕනේ මම හිතන්නේ.
    //උණ්ඩය ගමන් කරන්නේ තම අක්ෂය වටා වේගයෙන් කරකැවෙමින්.//
    ‍මේ හේතුවෙන් සෞජුව ඉලක්කය කරා ගමන් කිරීමට උණ්ඩයට හැකියාව ලැබෙනවා කෝණික ගම්‍යතාවේ දිශාව එකම දිශාවකට වැඩි කලක් පවත්වා ගැනීමට මේක හේතුවෙනවා. උණ්ඩය කැරකෙන්න ඕනේ මොන දිශාවටද කියලා සුරත් නීතියෙන් අපිට හොයාගන්න පුලුවන්. මහපට ඇගිල්ලේ දිශාවෙන් කෝණික ගම්‍යතාවේ දිශාව පෙන්නවනවා. වැඩි කලක් භ්‍රමණය වීම නිවැරදි ඉලක්කයට උන්ඩය ගෙනයනවා.

    • න්‍යායාත්මක කරුණු ගොඩක් මම විස්තර කරන්න නොගියේ ලිපිය සාමාන්‍ය පාඨකයාට නීරස වෙයි සිතා. ඔබේ ශාස්ත්‍රීය පැහැදිලි කිරීම අගය කරනවා.

    • spinning bullet එකකින් ගොඩක්ම බලාපොරොත්තු වෙන්නෙ aerodynamic stability එක. ඒකට විචාරකතුමා යොදපු විදගන යාම/හිල් කරගන යාම කියන එක පාවිච්චි කරන්න පුලුවන්. ගොඩක්ම වැදගත් වෙන්නෙ කරකැවෙන bullet එකකට වායුගෝලයෙන් ලැබෙන උඩිකුරු බලය (Lift එක, සරලවම ගත්තොත් ). මෙයින් උණ්ඩයේ සිරස් කඩාවැටීම අවම කරනව (cricket වල බෝලයක් spin කරල path එක වෙනස් කරන මූලධර්මයමයි). මේකහොඳටම පාවිච්චි වෙන්නෙ sniper rifle වලයි. කිලෝමීටර ගානක් යන උණ්ඩයට aerodynamic lift එකක් නොතිබ්බොත් වදින්නෙ මීටර දෙක තුනක් පහලින්. (sniper crosshair එකේ MIL Dots විතරක් මදි.) ඒ වගේම වාත ප්‍රතිරෝධය (Drag) අඩු කර ගැනීමකුත් තියනව.
      කෝණික ගම්‍යතාවයක් උණ්ඩයට ලබාදීමෙන් වෙන්නෙ අක්ශය වෙනස් නොවී තබා ගැනීමයි. ඒකෙ දැඩි දෙයක් හිල් කරගන යන්නත් උපකාරයක් තියනව. උණ්ඩයේ සිරස් කඩාවැටීම කෝණික ගම්‍යතාවයෙන් නවත්තන්න බැහැ

      වැරදි නම් නිවැරදි කොරන්ට 😀

      • බොහොම ස්තුතියි ඔබේ තාක්ෂණික කරුණු පැහැදිලි කිරීම ගැන. මේ කරුණු ඇතුලත් ලිපි සහ පොත් මා ළඟ තිබෙනවා. නමුත් මගේ පරමාර්ථය කියවන්නාට සරලව කියවා අවබෝධ කරගතහැකි අයුරින් ලිපිය ඉදිරිපත් කිරීම නිසා, එදිනෙදා ව්‍යවහාර භාෂාවේ වචන තෝරාගන්නවා.

        ඔබට නැවතත් ස්තුතියි මේ පැරණි ලිපිය කියවා අදහස් දැක්වීම පිළිබඳව.

  5. […] සහ මූනිස්සම් දමා වෙඩි තැබීම හෙවත්, තුවක්කුව නමැති අවිය පාවිච්චි කිරීමට මිනිසා ඉගෙනගත් දවසේ […]

  6. […] මේ අවිය ගැන දැනුමක් ලබාදෙනවා. අපිනම්, පාසල් ශිෂ්‍යභටයන් හැටියට හිටපු කාලේ, ඉගෙනගත්තේ මෙන්න මෙව්වා.  මේ ලිපිය […]

  7. […] වෙනත් සාමාන්‍ය තුවක්කුවකට වඩා වෙනස්. (මෙව්වා කලිනුත් කියලාදීලා තියනවා, කොහෙද ඔලුවේ තියාගන්න එකක්යැ) ඒ බටය […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.