විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


මේ සිදුවීම් කීපයට මා මුහුණ දුන්නේ 2002 දී පමණ බවයි මගේ මතකය.එවකට මා සේවය කලේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොටසකුත්,  මුලතිවු දිස්ත්‍රික්කයේ කොටසකුත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කොටසකුත් අයත්වනලෙස පිහිටවා තිබුන බලසේනා මූලස්ථානයකයි. මේ මූලස්ථානයේ කඳවුරු ආරක්ෂාව  සඳහා කාන්තා බලකායට අයත් භට ඛණ්ඩ දෙකක් යොදවා තිබුනා. ඒ සාමාන්‍ය පාබල සොල්දාදුවන් විසින් කරන ලද කඳවුරු ආරක්ෂක මුරයට අමතරවයි. කෙසේ වෙතත් කාන්තා සෙබළියන්ට දී තිබුනේ දිවා කාලයේ මුරය සහ රාත්‍රී කාලයේ සූදානමින් සිටීම පමණයි.

කාන්තා සෙබලියන් සිටීම පිරිමි සෙබළුන්ගේ චිත්ත ධෛර්යය, වික්‍රමාන්විත බව, රාජකාරි උනන්දුව වැඩිවීම, කෙරෙහි බලපාන බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැනේ. ඒ උනන්දුව සීමාව ඉක්මවා යාම නිසා යම් යම් ප්‍රශ්න කාලීනව ඇතිවූ අතර, යුදහමුදා නීතිය සහ මානුෂීය ගුණධර්ම යන දෙකම සංකලනය කරගනිමින් ඒ ප්‍රශ්න නිරාකරණය කර ගන්නට අපට හැකි වුනා.
එක් වරක්  බලසේනාවට අයත් යුද හමුදා ඒකක අතර ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කෙරුනා. නොකඩවා යුද්ධයේම යෙදී සිටින සොල්දාදුවන්ට කිසියම් මානසික සහනයක් ලබාදී ඔවුන්ගේ ආතතිය දුරු කිරීමටයි එවැනි දේ සංවිධානය කෙරෙන්නේ. මේ තරගාවලියේදී බලසේනා මූලස්ථාන කණ්ඩායමට ආධාරයක් වශයෙන් ඔවුන්ගේ චිත්ත ධෛර්යය, නැංවීමට ජයඝෝෂා කණ්ඩායමක් (Cheering Squad) ලෙස කාන්තා බලකායේ සෙබලියන් කණ්ඩායමක් ද නම් කෙරුනා. අවාසනාවකට මෙන් ක්‍රිකට් කණ්ඩායම සහ ජය ඝෝෂා කණ්ඩායම ගමන්ගත් යුද හමුදා ට්‍රක් රථය අතරමගදී පෙරලුනා. කිසිවෙකුටත් බරපතල තුවාල සිදුවුනේ නැහැ. සුළු සීරීම් තැලීම් පමණයි. මේ සිද්ධිය අලලා අනෙකුත් බලඇණි විසින් ‘කාඩ්’ ගහන්නට පටන් ගත්තා . මොකද ඔවුන්ට එවැනි ජයඝෝෂා කණ්ඩායමක් නොසිටි නිසා.  ට්‍රක් එක පෙරලෙන්නට පෙර සෙබලියන් සහ සෙබළුන් ගමන් ගත්තේ ට්‍රක් එකේ පසුපස කොටසේ එකිනෙකට මුහුණලා ඇති ආසන පේලි දෙකෙයි. ට්‍රක් එක පෙරලුනේ සෙබලියන් උඩුබැලි අතට සිටිනසේ. එවිට සෙබළුන් කෙලින්ම ඔවුන්ගේ ඇඟ මතට වැටෙනවා. සමහර සෙබළියන්ට තැලීම් තුවාල ඇතිවී තිබුනේ ඒ හේතුවෙන්. හොඳම ‘කාඩ් එක’ මේකයි. ඔන්න ඉතින් දැන් ට්‍රක් එක පෙරලිලාලු. සෙබළු සෙබළියන්ගේ ඇඟ උඩලු. සෙබලියෝ කෑගහනවලු ‘අනේ අයින් වෙන්න, අපිව බේරගන්න’ කියලා. එතකොට සෙබළු කියනවලු, ‘හා හා එහෙම කරන්න බැහැ. යුද හමුදා නීතිය අනුව යුද හමුදා පොලීසියෙන් එනතුරු, අනතුරට සම්බන්ධ කිසිවක් වෙනස් කිරීම තහනම්, ඒ නිසා ඔහොම ඉන්න’ කියලා. (නමුත් එය ඇත්තක් නොවන බව ඔබේ දැනගැනීමට මෙහි සඳහන් කරනවා)
යුධය දරුණු ලෙස පැවති අවධියේදී භටපිරිස් උපරිම ලෙස සටනට යොමු කරන්නට සිදුවුනා. එහි ප්‍රතිඵලයක් වශයෙන් රාත්‍රී මුරයටද කාන්තා සෙබලියන් යෙදවීමට සිදුවුනා. ඔවුන්ට ලබා දුන්නේ වඩාත් අඩු සතුරු තර්ජනයක් සහිත බංකර් 7 ක්, මේ කාලයේ මට ඒ කඳවුරේ කඳවුරු සේනාවිධායක (Camp Commandant) වගකීම පැවරුණා. මෙහිදී කඳවුරු ආරක්ෂක මුරය පිලිබඳ වගකීම දැරිය යුතුයි. ඒ නිසා ම වඩාත් අවධානය යොමු කලේ රාත්‍රී මුරය උපරිම මට්ටමෙන් පවත්වාගනීමටයි. රාත්‍රී මුරය පරීක්ෂා කිරීමට යාමේදී කාන්තා සෙබලියන් සිටින බංකර් පරීක්ෂාකිරීම එක්තරා පිළිවෙතකට අනුව සිදු කල යුතුයි. මා තනිව එහි යාම නීතිය උල්ලංඝනය කිරීමක් මෙන්ම අනවශ්‍ය ‘ලෙඩ’ දාගනීමක් වෙනවා. ඒ නිසා සෙබළියන්ගේ බංකර් පරීක්ෂා කිරීමට මා ගියේ කාන්තා සෙබලියන් භාර නිලධාරිනිය, ඇගේ සහයිකාව සහ කඳවුරේ රෙජිමේන්තු සැරයන් මේජර් සමගයි. එක් දිනක් මෙසේ රාත්‍රී මුරය පරීක්ෂා කිරීමට සෙබළියන්ගේ බංකර් දෙසට අප හතරදෙනා යනවිට පළමුවැනි බංකරයට මීටර් 15 ක් පමණ තිබියදී ඉතා තද සුවඳ විලවුන් සුවඳක් දැනුනා. රෙජිමේන්තු සැරයන් මේජර් සහ මම ඒවා පාවිච්චි කර සිටියේ නැහැ. අනික් දෙන්නා කාන්තාවන් නිසා ඔවුන්ගෙන් ඇසුවා සුවඳ විලවුන් ගල්වාගෙනද ඉන්නේ කියා. ඔවුන් නැහැ කිව්වා. මෙය දැන් විශාල ගැටළුවක්. අපි හෙමි හෙමින් පළමුවැනි බංකරය ලඟට අවා. එහි එවෙලේ රාජකාරියේ යදී සිටි සෙබළිය යුද හමුදා පිළිවෙත අනුව අභියෝග කර අපිව නවතා, හඳුනාගැනීම කළා. ඇය අසලට යනවිටයි අපට වැටහුනේ සුවඳ වහනය වන්නේ ඇයගෙන් බව. ඇය රාත්‍රී මුරයට ඒමට පෙර නෑමෙන් පසු සුවඳ විලවුන්ද නා, පැමිණ ඇති බව අපට තහවුරු වුනා. එපමණක් නොව ඒ බංකරයේ සිටි තවත් සෙබලියක්ද එලෙසම විලවුන් නාගෙන සිටින බව වැටහුනා. එහි වැරැද්ද කුමක්ද? හොඳ විමර්ශනශීලී සතුරකු මේ අසල ප්‍රදේශයට ආවොත් පහැදිලි වෙනවා මෙහි ඉන්නේ කාන්තා සෙබලියන් බව. මොකද ඒ සුවඳ වර්ගය අනුව එය පිරිමි සුවඳක් නොවේ. ඉතින් මට සිදුවුනා අර සෙබලියන් දෙදෙනාව නැවත නාවා විලවුන් රහිතව මුරයේ යොදවන්නට. සෙබලියන් භාර නිලධාරිනිය එය අකුරටම ඉටුකර තිබුනා.
තවත් දිනක එලෙසම මුරය පරීක්ෂාවට යාමේදී එක බංකරයකින් ‘කරකරස්’ ගා කොලයක් ඉරන හඬක් ඇසුනා. අපි මොහොතක් නැවතී කන්දීගෙන සිටිනවිට යමක් හපනවාක් මෙන් ‘කරුස් කුරුස්’ හඬක් ආවා. සොයාබැලීමේදී දැක්කේ මුරයේ සිටින සෙබළිය බිස්කට් එකක් අනුභව කරන බවයි. යුදහමුදාවේ සියලු දෙනාට පෝෂණ විශේෂඥයන් ගේ උපදෙස් අනුව සැකසු ඉතා හොඳ අහාර ඕනෑතරම් ලැබෙනවා. බංකරයක මුරයේ සිටින කෙනෙක් සෑම විටම සම්පූර්ණයෙන් නිශ්ශබ්දව විමර්ශනයේ යෙදිය යුතුයි. ඉතින් මේ සෙබළිය කලේ විශාල වරදක්. මම එවෙලේම දඬුවම දුන්නා. අපි බලාසිටියදීම සම්පූර්ණ බිස්කට් පැකට්ටුවම කා නිම කිරීමයි දඬුවම. ඇය හඬමින්ම දඬුවම වින්දා.
අපේ සෙබලියන් අවශ්‍ය තැනදී සටනට නොබියව එක්වන හැටි මා මුල්වරට දුටුවේ මේ කඳවුරට එල්.ටී.ටී.ඊ. කාලතුවක්කු ප්‍රහාරයක් එල්ලවූ දවසෙයි. සතුරු කාලතුවක්කු ප්‍රහාරයෙන් කඳවුරට තරමක හානියක් සිදුවුනා. තුවාලත් සිදුවුනා. ඔය අතරේ කඳවුරේ තිබුණු මිලිමීටර් 130 කාලතුවක්කු වලින් සතුරාට ප්‍රතිප්‍රහාර දීම ඇරඹුනා. සෙබළුන් ඉදිරියට ගිය පසු කඳවුරේ ආරක්ෂාවේ වැඩි වගකීම සෙබළියන්ට පැවරුණා. ඔවුන් නොබියව බංකර් වලට ගොස් සූදානමින් සිටියා. ඒ අතර, කාලතුවක්කු වලට අවශ්‍ය උණ්ඩ අවසන් වෙමින් පැවති නිසා, පොලොව යට පිහිටි ගබඩාවකින් ඒවා රැගෙන, කාලතුවක්කු තිබුන තැනට යැවිය යුතු වුනා. මිලිමීටර් 130 කාලතුවක්කු උණ්ඩයක්, ඒ උණ්ඩය යොදා වෙඩි තැබීම සඳහා යොදන ‘චාජරය’ නමැති කොටසත් සහිතව කිලෝග්‍රෑම් 30 කටත් වඩා බරයි. ඒ වගේම  විශාලයි. (පිත්තලෙන් සෑදු මේ කොටස අලංකාරය සඳහා හමුදාවේ අයගේ නිවෙස්වල තබා තිබෙනු ඔබ දැක ඇති.) අපේ සෙබලියෝ සතුරු ප්‍රහාරය මැදම මේවා කර ගසාගෙන ගොස් අවශ්‍ය තැනට ලබාදුන්නා.

Comments on: "සුවඳ හමන ‘නයිට් ගාඩ් එක’" (27)

  1. ඒ වීර සෙබලියන්ට මගේ උත්තමාචාරය !!

  2. මම ආසාවෙන් කියවනවා ඔබතුමාගේ මේ අත්දැකීම්…

  3. අපි නොහිතපු මොහොතක නොහිතන විදිහට අපි ගැන සතුරාට ඉඟි ලැබෙනවා…

    ඔච්චර සද්දෙන් බිස්කට් කෑවෙ කොහොමද මන්දා?

    • ඒ ගෑනු ළමයා එක කටට ක්‍රීම් ක්‍රැකර් එකක් විතර කෑවා,මම කිව්වට පස්සේ. කලින් ඔච්චර හයියෙන් කන්න ඇත්තෙත් කවුරු හරි දකින්න කලින් වෙන්න ඇති.

  4. බොහොම ලස්සන මතකයක්

  5. විහාර මහා දේවිය, සෝමා දේවිය වගේ වීරෝදාර කාන්තාවන් සිටිය රටක් නොවැ මේක

  6. දිගටම ලියන්න හරිම රහයි

  7. තව ටිකක් විස්තර ලිව්වනම් හොඳයි,. එහෙම කිව්වේ මට හිතෙනවා මේ පොස්ට් එක මගින් නවත්තල කියල. ඒකයි,.

    • තව තොරතුරු තියනවා එලෝ කෝටියට. කොහොමද අනේ ඒවා ලියන්නේ? ඒවා වැඩීම වැඩි වැඩිහිටියන්ට පමණයි.

  8. මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. අද හමුදාවේ තත්වය වෙනස්. හුගක් මංකොල්ල කම් , දුෂණ වලට ex security , duty security අය සම්බන්දය.
    ඒ ගැන කල හැකි විකල්පයක් කියන්න බැරිද?
    වෙන රටවලත් යුද්දයෙන් පස්සේ මෙහෙමද?
    ඒ ගොල්ලෝ මේවා වැළකුවේ කොහොමද ?

    • කිසිසේත් තරහ වන්නේ නැහැ. ඇත්ත කිව්වම තරහ වන්නේ මෝඩයෝ. ඕනෑම රටක දීර්ඝ යුද්ධයකින් පසුව සාමය උදාවුනත්, සන්නද්ධ හමුදා සාමාජිකයන් සම්බන්ධවන අපරාධ බහුල වෙනවා. දීර්ඝ කාලයක් මාළු කඩේක මාළු කපන මිනිහා, ප්‍රශ්න විසඳන්න හදන්නේ මාළු කපන පිහියෙන්. ඒ වගේ තමයි සන්නද්ධ ගැටුම වලට දීර්ඝ කාලයක් මැදිවී සිටි සොල්දාදුවන් සිතන්නේ, ඒ ගැටුම් වලදී ක්‍රියාකළ ආකාරයටම සාමාන්‍ය ජීවිතයේ ප්‍රශ්න විසඳන්නයි. ලෝකයේ බොහෝ රටවල හමුදා සාමාජිකයන් මේ තත්වයෙන් මුදාගැනීම සඳහා හමුදා උපදේශන සේවා (Counselling) බහුල ලෙස යොදාගන්නවා. ලංකාවේ එය ඉතාම ප්‍රාථමික මට්ටමේයි පවතින්නේ. මේ විදිහට ගියොත් මේ අවාසනාවන්ත තත්වය වර්ධනයවී මහජනතාව අතර හමුදාවට ඇති ආදරය ගෞරවය නැති වෙනවා. හමුදාව ලවා පාරවල් සුද්ද කරවීමෙන්, ඩෙංගු මර්දන වැඩ කරවීමෙන්, එළවලු විකිණීමෙන්, ඔවුන් තවත් මානසිකව ඇදවටෙනවා. මේවා කියන්නේ කාටද? ඇමරිකා එක්සත් ජනපදයේ තවමත් ඉන්නවා වියට්නාම් යුද්ධයට ගිය සෙබළු, අදටත් අපරාධ වලට සම්බන්ධ වන. ආණ්ඩුවේ හෙන්චයියලාට දෙන සංවර්ධන ව්‍යාපෘතිවල මහා පරිමාන ඉදිකිරීම් වගේ දේවල් හමුදාවට දෙනවානම් අඩු වියදමකින් උසස් ප්‍රතිඵල ගත හැකියි. නමුත් දේශපාලුවන්ට (අර 10% මෑන්ට) යන කුට්ටිය අඩු වෙනවා. එවැනි ව්‍යාපෘති තිබෙනවා හමුදාවේ නම්බුවත් රැකගනිමින් කළහැකි. කැලෑ කැපීම නැවත්වීමට රක්ෂිත කැලෑවල රාජකාරියේ යෙදවිය හැකියි. ඒත් එතකොට කොහොමද නැගෙනහිර වෙරළේ, පරිසර නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් හෝටල් ගහන්න ලී කපන්නේ. හමුදා සාමාජිකයන් අපරාධ වලට සම්බන්ධවීම වැළක්විය නොහැකි දෙයක් නොවේ. හමුදා සෙබළුන් තරම් පහසුවෙන් නම්යකරණයට ලක්කලහැකි පිරිසක් තවත් නැති තරම්. ඔක්කොටම කලින් සමහර දේශපාලුවෝ ළඟ ඉන්න අපරාධකාරී හමුදා සාමාජිකයන් පුනරුත්තාපනය කලයුතුයි. සුදු වෑන් ජොබ් වල ඉන්න හමුදා සාමාජිකයන් ආපසු යැවිය යුතුයි. ඉතින් ඔබම සිතන්න කුමක්ද විසඳුම කියා.

      • ඔන්න මම තවත් ලිපියකට මාතෘකාවක් හොයල දුන්නා. අපිට මේ ගැන හොද ලිපියක් දෙන්න වෙනද වගේම.

        • සාර්ථක ලිපියක් ලියන්න කරුණු එකතුකරගත් ගමන් ලියන්නම්. හමුදාව තුලට දේශපාලනය පැමිණීම ගැන හිතේ කැකෑරෙන දේවල් ගොඩක් තියනවා. සමහර ඒවා ලියන්න වෙන්නේ ජෙනරල් ෆොන්සේකා වගේ හිරේ යන්න බලාගෙනයි.

      • ඇත්තටම මෑත අතීතයේදී හමුදා සෙබලා යුද හමුදා සෙබලා සිටියේ යුධ මානසිකත්වයෙන්. ඒක කරේ සටනේදී සම්පූර්ණ හැකියාව ඒ සදහා යොදවා ගැනීමටයි. ඒකත් සෙබලා වෙනුවෙන්මයි. මොකද එහෙම නොවුනොත් අවාසිට ඔහුටම නිසායි. එහි වරදක් නැති බව අවිවාදිතයි. නමුත් යුද්ධය අවසන් වූ විගස ඔවුන් සංවර්ධන කටුයුතු වලට යොදා ගැනුනා. මිනිසෙක් කියන්නේ ඉතා දියුණු මනසක් තියෙන කෙනෙක්. මිනිස්සුන්ට කරන්න පුලුවන් දේවල් හිතා ගන්න බෑ. ලංකාව වගේ සුපිරි හැකියාවක් සහිත හමුදාවක එය විශේෂයි. ඒ වගේම සෑම හමුදා සෙබලෙක් තුලම නායකයෙක් ඉන්නවා. ඔහු ඔනෑම වෙලාවක් ඔනෑම අභියෝගයකට මුහුණ දෙන්න බලාපොරොත්තුවෙනුයි ඉන්නේ. නමුත් ඔවුන්ව සංවර්ධන කාර්යයන් වගේ දේකට අර වගේ සෙබලෙක් යොදා ගැනීමේදී මනා ක්‍රියාවලියකට යටත්ව සිදු කල යුතුයි. එසේ නොවූ විට සිදුවන දෙයයි අද ඔබට මේ‍ පෙනෙන්නේ. අපේ රටේ හමුදා සෙබලාට පුදුම ගරුත්වයක් ජනතාව තුල ඇත. ඔවුන්ගේ කැපකිරීම් කාටවත් අමතක කල නොහැක. පවතින පාලනය එය වැරදි විදියට යොදා ගැනීම මෙයට ලොකුම හේතුව බව පෙනී යයි. පොලිස් ලොක්කොන්ට වැඩ වැරදුනාම හමුදාව කැදවන්නේ ඒ හේතුවෙනි. බොහෝ තැන්වල විරෝධතාවයන් හමුදාව පැමිණි පසු නවත්වන බව ප්‍රායෝගිකය. ඒ අර තිබෙන ගරුත්වයයි. එය වැරදියට පාවිච්චි කිරීම මෝඩකම මිසක් වෙන කුමක්ද? ‍(මේකෙන් වැරදි දෙයක් කියලා තිබෙනවානම් සමාවෙන්න. නමුත් මේක තමයි මගේ මතය)

        • ඔබ කිසිම වැරදි දෙයක් කියලා නැහැ. අපේ සෙබළු කොයි තරම් බුද්ධිමත් කාර්යශූර අයද කියන එක මම වටහාගත්තේ ලංකාවට ඇවිත් ගිය ඉන්දියානු සෙබළුන් සහ අපේ සෙබළුන් සංසන්දනය කිරීමෙන්. උපහාසයට හෝ අපහාසයට කවුරුහරි ඒ කාලේ කිව්වා ඉන්දියන් වඳුරු හමුදාව කියලා. ඒක 200% ක් ඇත්ත. ඒ සෙබළුන්ගෙන් 90% ක් විතර ඉන්නේ ලියන්න කියවන්න දන්නේ නැති අය. අපිරිසිදුකම ඒ නිලධාරීන්ගේ පවා තියනවා. කුල භේදය, ආගම් භේදය හමුදාව ඇතුලෙත් තියනවා. එතනින් නවතිමු.
          පාබල සොල්දාදුවකු (Infantryman) සතු මූලික ගුණාංග තියනවා අන්තර්ජාතිකව පිළිගත් (ටිකක් දිග විස්තරයක්) එයින් එකක් තමයි තත්වානුරූපව හැඩගැසීම. (adaptability) අපේ සොල්දාදුවෝ ඒ අතින් විශිෂ්ටයි. ඉස්සර යුද හමුදා සොල්දාදුවන්ගෙන් බහුතරය යන්තම් අට පාස් අය. (යුද්ධය නිසා යලිත් එවැනි අය ගන්නට සිදුවුනා) නමුත් දැන් පොදුවේ ගත්කල බහුතරය ඊට වඩා උගත් අය. තත්වානුරූපව වෙනස්වියහැකි සොල්දාදුවන්ව කොළඹ නගරයේ වැසිකිලි පිරිසිදු කරන්නත් යොදවන්න පුළුවන්, අවශ්‍යතාවයේ තරම පැහැදිලි කරලා දුන්නොත් සොල්දාදුවාට තේරෙන විදිහට. නමුත් එක එක දේශපාලන පෙන්දන්ගේ ප්‍රතිරූපය පුම්බන්න මේ අභිමානවත් සොල්දාදුවන් යෙදවීමයි දුක.
          ලෝකයේ ඕනෙම තැනක පොලීසියට කල නොහැකි කාර්යයකදී හමුදාව සහායවීම ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක්. (රම්බෝව නවත්වන්න පොලීසියට බැරි වුනානේ)

  9. ඉතින් මට සිදුවුනා අර සෙබලියන් දෙදෙනාව නැවත නාවා විලවුන් රහිතව මුරයේ යොදවන්නට.

    (අනේ මන්ද …..)

    සෙබලියන් භාර නිලධාරිනිය එය අකුරටම ඉටුකර තිබුනා.

    • නෑ නෑ එයින් අදහස් කලේ මම ඒ දෙන්නව නෑව්වා කියන එක නෙවෙයි. එහෙම කරානම් මට ඊට ටික දවසකට පස්සේ ගෙදර එන්නයි වෙන්නේ. මගේ නියෝගය අර නිලධාරිනිය විසින් ක්‍රියාත්මක කළා. හැබැයි ඉතින් නාවපු කතා තියනවා සිය ගණනක්. කොහොමද ලියන්නේ?

  10. බිස්කට් පැකට්ටුවම කා නිම කිරීමයි දඬුවම. ඇය හඬමින්ම දඬුවම වින්දා.// පව් හොදේ.

    • අන්න එතන තමයි ප්‍රශ්නේ. අනුකම්පාවට ගියොත් භූමි කම්පාවකින් තමයි ඉවර වෙන්නේ. එහෙම භූමි කම්පා වලට අහුවෙලා සමහර නිලධාරීන්ට භූමි කම්පාවත් අරගෙන යුද හමුදාවෙන් යන්න වුනා.

  11. අනුකම්පාවයි මානුෂියත්වයයි දෙකක් කියලයි මට හිතෙන්නේ

    • සත්තකින්ම ඔව් අනුකම්පා කරලා යුද හමුදාවක් අණදෙන්න බැහැ. හොඳම උදාහරණය තමයි ජෙනරල් ෆොන්සේකා. එතුමා හමුදාපති කාලයේ ඉර පෙන්නලා ඒ තියෙන්නේ හඳ කිව්වොත් ඔක්කොම ඔව් ඒ හඳ කියන්න ඕනේ. ඒ විදිහට එකම අණක් යටතට හමුදාව ගත් නිසයි යුද්ධය දිනුවේ. මානුෂිකත්වයට උදාහරණය, එතුමා කවදාවත් කෑම කන්නේ නැහැ, තමන්ගේ ආරක්ෂක මුරය කෑම කාලා ඉන්නේ කියා දැනගන්න තුරු.

  12. මහත්මයා ඔබතුමා ඉතාමත් උසස් නිලදාරියෙක් කියන එකට කිසිම සැකයක් නැහැ.මම ටික කාලෙකට කලින් youtube වලින් දැක්කා පිරිමි නිලදාරියෙක් පුහුණුවක් ඉන්න කන්තා සෙබළියකට අමනුශික විදිහට පහර දෙනවා .හමුදාවක ඉන්නේ ළදරුවෝ නෙමෙයි .එත් ඒ සෙබළිය අඩනවා .ඒ වගේ අමනයෝ ඉන්න රටක ඔබ තුමා අගේ කොට සලකනවා

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.