විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


    imagesඔන්න ඉතින් කේන්ති ගන්න එපා මෙහෙම කිව්වා කියලා. මට මේ නිකමට හිතුන දෙයක් කිව්වේ. මේ දවස්වල මානව හිමිකම් කොමිෂන් ප්‍රශ්න, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අරක කොරනවලු, මේක කොරනවලු. බ්‍රිතාන්‍ය රජය අපේ රටේ හමුදාව පුහුණු කරලා අහිංසක දෙමල මිනිස්සු මරන්න උදව් කලාලු. ඒ මදිවට ඉන්දියාවේදී කොටින්වත් පුහුණු කලාලු. දැන් එක එක කතා එළියට එනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, නීත්‍යානුකූල රාජ්‍ය ලෙස පිළිගන්නා රටවල් දෙකක් අතර, යුද්ධාධාර ගිවිසුම් ඇතිකරගැනීම පිළිබඳව, කාටවත් කිසිම චෝදනාවක් නගන්න බැහැ. චෝදනා කලහැක්කේ, එම ආධාර, වෙනත් රටක ස්වාධිපත්‍යය වැනසීම සඳහා බලපෑමක් ඇති කරනවානම් විතරයි.

   ලංකාවේ ත්‍රිවිධ හමුදා නිලධාරීන්, බ්‍රිතාන්‍යයේදී පුහුණු කිරීම ආරම්භ වුණේ, අපි නිදහස ලබන්නටත් කළින්. බ්‍රිතාන්‍ය හමුදා නිළධාරීන්/නිළධාරිනියන්, දියතලාව යුදහමුදා විද්‍යා පීඨයේ පුහුණු උපදේශක රාජකාරි සඳහා මුලින්ම පැමිණියේ, 1970 දශකයේ අග භාගයේදී, අපේ රටේ පළමු වරට, කාන්තා බලකායක් ඇතිකළ අවස්ථාවේදීයි. අද දක්වාම ලංකාවේ ත්‍රිවිධ හමුදා නිළධාරීන්, එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, පාකිස්ථානය, චීනය, බංග්ලාදේශය, වැනි රටවල වැඩිදුර පුහුණුව සඳහා යනවා. ඒ යන්නේ දෙමළ මිනිස්සු මරන්න ඉගෙනගන්න නෙවෙයි. ලෝකයේ කොයි හමුදාවත් ලබන වැඩිදුර පුහුණුවීම් ලබන්න. එහෙම යන්නේ ලෝකයේ වෙනත් රටවලට හොරෙන් නෙවෙයි. ඒ ඒ රටේ හමුදා ගැන බුද්ධි තොරතුරු සොයන සෑම රටක්ම දන්නවා, පහුගිය අවුරුද්දේ, ඒ ඒ රටෙන්, ඒ ඒ රටට, කොපමණ හමුදා නිළධාරීන් සංඛ්‍යාවක් පුහුණුවට ගියාද, ඔවුන් ඉගෙනගන්නේ මොනවගේ දේවල්ද, කියලා. මාලදිවයින් යුදහමුදාවට අයත් කෙඩෙට් නිලධාරීන්, දියතලාව යුද හමුදා අභ්‍යාස විද්‍යා පීඨයට පැමිණ පුහුණුව ලැබුවේ/ලබන්නේ, අද ඊයේ නෙවෙයි. ශ්‍රී ලංකා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යා පීඨයේ පුහුණුව ලැබීම සඳහා, විදේශීය හමුදාවන්ට අයත් සිසුන්, සෑහෙන පිරිසක්, වාර්ෂිකව සහභාගි වෙනවා. ඒ නිසා අර චෝදනා එතරම් ගණන් ගතයුතු නැති, මෝඩකමට කියන කතා ලෙසයි මමනම් දකින්නේ.

  හොඳයි දැන් අපි හැරෙමුකො අපේ මාතෘකාවට. ලෝකය පුරා සිටින දෙමළ ඩයස්පෝරාව, විවිධ රටවල මෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේද අනුග්‍රහය, අනුකම්පාව, ඉතාම සූක්ෂ්මව දිනාගෙන, යළිත් අර අඳින්නේ, කෙසේ හෝ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කොට, ‘ද්‍රවිඩ ඊළමක්’ ගොඩනැගීමට බව රහසක් නොවෙයි. ඒ සඳහා ඔවුන් ඉදිරියට දාගෙන සිටින ප්‍රශ්නය තමයි මානව හිමිකම්. මානව හිමිකම් තිබිය යුත්තේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට පමණද? උතුරේ ද්‍රවිඩ වැසියන්ට පමණද? අපේ හමුදාවට හා දිවයිනේ දකුණු ප්‍රදේශවල ජනතාවට මානව හිමිකම් නැද්ද? එහෙනම් ඇයි එක පැත්තක විතරක් මානව හිමිකම් ගැන මෙච්චර කෑගහන්නේ? හොඳයි අපි මෙහෙම හිතමු අපි යුද්දේ පැරදුණා කියලා හිතමු. ඒ කියන්නේ ලංකාවෙන් බාගයක් අපිට අහිමි වෙනවා කියන එකයි.

2

   මතකද මේ යුද්දේ දිනන්න බැහැ කිව්ව අය. සෑහෙන දෙනෙක් ඉන්නවා හොඳ ප්‍රසිද්ධ පුද්ගලයෝ, යුද්ධය දිනන්න බැහැ කිව්ව. පහත දක්වනවා ඒ ගැන ලියන ලද පුවත් පත් තීරු ලිපියක්. හැබැයි ඒ ලිපියේ සමහර කරුණු, ටිකක් අතිශයෝක්තියට බරයි. 

කොටින්ට එරෙහි යුද්ධය ජය ගත නොහැකි යෑයි පැවසුවෝ

2007 මාර්තු 22 වැනිදා බ්ලුම්බර්ග් නමැති වෙබ් අඩවිය ආරක්‍ෂක විමර්ශකයන් යෑයි හඳුන්වන පිරිසක්‌ කළ ප්‍රකාශයන් තුළින් කියා සිටියේ රජයට හා කොටින්ට යුද්ධයෙන් ජයගත නොහැකි බවයි.

සිංගප්පූරුවේ ආරක්‍ෂක කටයුතු අධ්‍යයන ආයතනයේ ත්‍රස්‌ත මර්දන පර්යේෂණ ඒකකයේ ප්‍රධානි බැව් කියන රොහාන් ගුණරත්න එකී බ්ලුම්බර්ග් වෙබ් අඩවියට පැවසුවේ අර්බුදයට සාකච්ඡාමය විසඳුමක්‌ අවශ්‍ය බවයි. එසේම රජයට හා කොටින්ට යුද්ධය ජයගත නොහැකි යෑයි ඔහු කියා සිටියේය. කොටි සමග සාකච්ඡාමය විසඳුමක්‌ ඇති කර ගත යුතු යෑයි ගුණරත්න ප්‍රකාශ කර මාස තුනකට පසු ශ්‍රී ලංකා හමුදාව නැගෙනහිර ප්‍රදේශයම සිය පාලනයට ගත්තේය. රොහාන් ගුණරත්න මෙම ප්‍රකාශය කිරීමට පෙර ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවිය මෙහෙයවූ ඩී. පී. සිවරාම් හෙවත් තාරකී ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකා හමුදාව නැගෙනහිර අල්ලා ගැනීමට උත්සාහ කළහොත් එය පාරා වළල්ලක්‌ වන බව සඳහන් කළේය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සංජනා හත්තොටුව නමැත්තා බ්ලුම්බර්ග් වෙබ් අඩවියට ප්‍රකාශයක්‌ කරමින් විනයගමූර්ති කරුණා කොටි සංවිධානයෙන් වෙන් වුවත් කරුණාගේ සහය මත යාපනය මුදා ගැනීමට රජයට හැකි දැයි ප්‍රශ්න කළේය.

2007 මැයි මස නෝර්වීජියානුවන් ද පළකළේ රජයට කොටි සංවිධානය පරාජය කළ නොහැකි බවයි. ඊට පෙර හිටපු හමුදා මාධ්‍ය ප්‍රකාශක සරත් මුණසිංහ පැවසුවේ අර්බුදය යුදමය ක්‍රියාදාමයකින් විසඳිය නොහැකි බවයි. හිටපු ගුවන් හමුදාපති හැරී ගුණතිලක ද ප්‍රකාශයක්‌ කරමින් නැවතත් යුද්ධයකට යන අයට ලෝක ප්‍රජාවෙන් සමාවක්‌ ලැබෙන්නේ නැතැයි කීවේය.

කැනඩාවේ ඩී. බී. එස්‌. ජෙයරාඡ් කොටි සංවිධානයට 50,000 ක බළකායක්‌ ඇතැයි ද පළ කළේය. ඉන්දීය “රෝ” ඔත්තු සේවාවේ හිටපු ප්‍රධානි බී. රාමන්ද ශ්‍රී ලංකා හමුදාව ඉල්ලන් කනු ඇතැයි කියා සිටියේය. කිලිනොච්චියේදී හමුදාව මුළුමනින්ම විනාශ වන බව රාමන් පළ කළේය.

ඉන්දීය සාම හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානි කර්නල් හරිහරන් ද ශ්‍රී ලංකා හමුදාව පරාජය වනු ඇතැයි සඳහන් කර තිබිණි. එසේම මෙරට හිටපු ඇමරිකානු තානාපති රොබට්‌ බ්ලේක්‌ද කීවේ කොටින්ව යුදමය ක්‍රියාමාර්ගයෙන් පරාජය කළ නොහැකි බවයි. මෙයට සමගාමීව වීරකේසරී – සුධර්ඔලි සහ උදයන් යන පුවත්පත් කොටි ජය ගන්නා බවට අතිශයෝක්‌තියෙන් යුත් පුවත් ද්‍රවිඩ ජනතාවගේ මනසට ඇතුල් කිරීමට ක්‍රියා කළේය. වීරකේසරි හි සත්තිරියන් නමින් හඳුන්වාගත් තැනැත්තා ඊට මුල් විය. මෙරටින් විදේශ රටකට ගිය මුස්‌ලිම් මාධ්‍යවේදියකු පැවසුවේ කොටි සංවිධානය පරාජය කළ හැකිය යන මතය සිහින ලෝකයේ ප්‍රකාශයක්‌ බවයි. මේ හැර හිටපු හමුදාපතිවරයකු ද ශ්‍රී ලංකා හමුදාවට වන්නියට යැමට නොහැකි යෑයි කීවේය. කොළඹ ඉංගී්‍රසි පුවත්පතක ආරක්‍ෂක විමර්ශකයකු කොටි හා හමුදාවට යුද කර ජයගත නොහැකියි යන මතය ඉදිරිපත් කළේය. 2009 මැයි 14 දායින් පසු ඔහු නිහඬ විය. ඉන්දීය ලේ කා ඇනිටා ප්‍රතාප් ද පැවසුවේ හමුදාව විනාශ වී ප්‍රභාකරන් ජය ගනු ඇති බවයි. මම 2009 ජුනි මස ශ්‍රී ලංකාවට අවුත් ප්‍රභාකරන්ගේ ඉතිහාසය ලියනවා යෑයි ඇය කීවාය. එහෙත් ඇනිටා ප්‍රතාප් මේ දක්‌වාම කට ඇරියේ නැත. කොටින්ගේ දේදුන්න පුවත්පත සකස්‌ කළ රෝහිත භාෂණ අබේවර්ධන නමැත්තා කොටි ජයගනු ඇතැයි තරයේ විශ්වාස කළේය.

එහෙත් කොටි පරාජය වීමෙන් පසු ඔහු ජර්මනියට පැනගියේය. එසේ වුවත් කොටින්ව පරාජය කළ නොහැකි බව පැවසූ රොහාන් ගුණරත්න කොටි පරාජය වීමෙන් පසු මෙරටට සම්ප්‍රාප්ත විය. ඔහු ජාත්‍යන්තර ආරක්‍ෂක සමුළු අමතමින් දේශන ද පවත්වනු ලැබීය. මෙරට හමුදා ඉතිහාසයේ ලොකු ම විහිළුව එයයි.

මේ අතීතය මෙරට හමුදා නිලධාරීහු රැසක්‌ නොදනී. අපි මේ අතීතය හෙළි කරන්නේ අතීතය වසන් කිරීමට ඇතැම් පාර්ශ්ව ක්‍රියා කරන නිසාය.

එසේ වුවත් යුද්ධය නිමවීමත් සමගම යුද්ධ කරන්න බැහැ යෑයි පැවසූ ඇතැම් හිටපු හමුදා සහ පොලිස්‌ පාර්ශ්ව ද ග්‍රන්ථ ප්‍රකාශයට පත් කරමින් ලකුණු දමා ගැනීමට උත්සාහ කර ඇත.

– කීර්ති වර්ණකුලසූරිය

   හැබැයි මේ ලිපිය ලියා තිබෙන කීර්ති වර්ණකුලසූරිය ගැනත් යමක් කියන්න ඕනේ. ඔහු කලක් ජෙනරල් සරත් ෆොන්සේකාගේ ගුණ ගයමින්, එතුමා ඉර පෙන්වා හඳ කිව්වත් එය ඉහළින් පිළිගෙන වර්ණනා කරමින්,  පැදුරු තරම් විසාල පුවත්පත් ලිපි මගින් එතුමන්ට ප්‍රශස්ති ගායනා කරමින් සිට, (ඒ කාලේ අපිටවත් ජෙනරල් ළඟට යන්න බැහැ. මෙයා යනවා) ජෙනරල් අමාරුවේ වැටුණු වහාම, එතුමා හැර ගිය අවස්ථාවාදියෙක්. එමෙන්ම මේ ලිපියේදීවත් එතුමාට සාධාරණය ඉටු කරමින් කියා නැහැ, එතුමා තමයි ස්ථිරවම මේ යුද්ධය ජයගන්න පුළුවන් කියලා කිව්ව එකම සෙනෙවියා කියන එක.

iqbal   මේ ලිපියේ කියනවා ‘කොළඹ ඉංග්‍රීසි පුවත්පතක ආරක්ෂක විමර්ශකයකු’ යනුවෙන් සඳහනක්. මා අනුමාන කරනවා, ඒ කියන්නේ, ඉක්බාල් අතාස් ගැනය කියා. ඉක්බාල් අතාස් ට, ඒ කාලේ, අපේ ත්‍රිවිධ හමුදාවේම, ඉතා උසස් නිළධාරීන් සමග, සෑහෙන සමීප සබඳකම් තිබුණා. හමුදාපති වරයා පවත්වන, ඉහළ පෙළේ සංග්‍රාමික සාකච්ඡා වලදී කතාකළ දේවල් පවා, ඉක්බාල් අතාස් විසින්, Sunday Times පුවත්පතට ලියන ලද, Situation Report  (තත්ත්ව වාර්තාව) කොළමේ සඳහන් වුණා.  ඒ තොරතුරු ඔහුට ආවේ කොහෙන්ද යන්න අබිරහසක්. අද, මේ පුද්ගලයා, කොහාට මංගච්චලාදැයි මම නොදනිමි. ඒ කාලේ ඔහු ලිපි ලිව්වේ, හරියට, යුදබිම පුරා ඇවිද, තොරතුරු එකතුකරගත් ආකාරයක් පෙන්වමින්. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි පුවත්පත් නොකියවන අයද, මේ කොලම කියවන්නට පුරුදුව සිටි අතර, පසුව මෙහි සිංහල පරිවර්තනයක්ද ලංකාදීපයේ පළවන්නට විය. 

p9

   හොඳයි. යුද්දේ පැරදුනානම් අපි මොකද කරන්නේ? ඔබ මොකද හිතන්නේ? මා මෙතැනින් ලිපිය අවසන් කරන්නේ, මෙතැන් සිට බුද්ධිමත් සංවාදයක් ආරම්භ කිරීම පිණිසයි. හිතන්න………..අපිට මොකක් වෙයිද? අපි මොනවා කරයිද? 2009 දී අපි පැරදී යුද්ධය අවසන් වුනානම්, මේ වනවිට අපි කොහේ ඉඳියිද? 

my-signature-for-blog[1]   2014 ජූනි මස 17 වැනි දින 2303 පැය

Comments on: "ඇත්තටම අපි යුද්දේ පැරදුනා නම්……… If We Were Defeated……" (21)

  1. ප්‍රභාත් said:

    සර් අපි යුද්දේ පැරදෙනවා නම්,එහෙමනම් රටට ආදරයක් තියන අවසාන සිංහලයත් මේ ලෝකෙන් නැති උන දවසක ඒක වෙන්න ඉඩ තිබුනා. අපේ රට වෙනුවෙන් අපි වෙනුවෙන් ජිවිත පරිත්‍යාගයෙන්,තමන්ගේ ජිවිතේ හොඳම කාලය කැප කරමින්,තමන්ගේ ශරීරය කැප කරමින් අපට,මතු පරපුරට මේ රට බේරා දුන්න සර් වගේ හැම විරවරයෙක්ටම බොහොම පිං.

    රණබිම මැරුණේ සිංහලයෙකු නම්…….
    පපුවේ වෙඩි සලකුණ ඇත්තේ……….
    සතුරාට ලය දී මිස මැරුණේ නැ….
    ලේ පැල්ලම් නැ පිට පැත්තේ….//

    • බොහොම ස්තුතියි ප්‍රභාත්. මා දන්නවා අපේ මිනිස්සු කීයටවත් සටන අතාරින්නෙ නැහැ කියලා. නමුත් මා කිව්වේ නිකම් උපකල්පනය කරලා බලන්න පැරදුනානම් මොකක් වෙයිද?

  2. යුද්දේ පැරදුනානම් රටෙන් බාගයක් නෙවයි මුළු රටම නැතිවෙනවා.

  3. //අපි මොනවා කරයිද? 2009 දී අපි පැරදී යුද්ධය අවසන් වුනානම්, මේ වනවිට අපි කොහේ ඉඳියිද? // කාට කාටත්, නැවත නැවතත් හිතා බලන්නට, විමසන්නට,අවශ්‍ය, සුදුසු, ප්‍රශ්නයක් නගමින් මේ ලිපිය නිමවෙනවා. මේ ලිපියේ වටිනාම ස්ථානය සේ මා දකින්නේ එතැනයි. මේ වැදගත් ප්‍රශ්නය අප හමුවේ තැබීම වෙනුවෙන් ස්තුතියි විචාරක තුමණි

    • ඇත්තෙන්ම අපට රටක් ඉතුරු නොවන්නට තිබුනා. ලෝකයේ නොයෙක් රටවල සහයෙන් අපිව නැත්තටම නැති කරන්නට බොහෝදුරට ඉඩ තිබුනා.

  4. දිමුත් said:

    යුද්දෙ පරාද වුනානම් බොහෝදුරට දේශසීමා ගැටුම් ඇතිවේවි.මොකද එකිනෙකට විරුද්ධ රටවල් දෙකක් නේ.එල්.ටී.ටී.ඊ කාරයෝ මුළු රටම අල්ල ගත්තත් ඔවුන්ට සාමකාමී පාලනයක් ගෙනයන්නට නම් නොහැකි වේවි.මොකද සිංහල ජනතාව නිකං ඉදීවිය.ඒ වගේම ඉන්දියාව වුනත් කැමතිවෙන එකක් නැහැ ස්වාධීන දෙමල රාජ්ජ්‍යයක් තමන්ගේ රටට යාබදව තියෙන එක ගැන.මොකද යම් දවසක තමිල්නාඩුව වුනත් මෙයින් පන්නරය ලබාගෙන ඉන්දියාවෙන් වෙන්වීමට උත්සාහ ගනීවි.

    • ඔව් දිමුත්, මහා අවුල් ජාලයක් වෙන්නට ඉඩ තිබුනා. ඊශ්‍රායල් පලස්තීන ගැටුම වගේ තත්වයක් උදාවන්නට හොඳටම ඉඩ තිබුනා.

  5. යුද්ධයක් නොමැතිවීම කියන කාරණාව ඉතාම පුලුල් එකක්. මම යුද්ධයක් නොමැත කියන එක දකින්නේ නැගෙනහිර සහ බටහිර ජර්මනිය තිබුන විදියට. ඔය කියන උතුරු පළාත හිතන තරම්ම ලස්සනක් නැහැ. ලොකු ස්වාභාවික සම්පතකුත් නැහැ. අපේ අය යුද්දෙ ඉතාම නිෂ්ක්‍රිය මට්ටමකට දාල නිකං ඉන්නවා නම් එතනින් වැඩක් නැහැ. නමුත් යුද්දෙ පොඩ්ඩක් පැත්තකට දාල රටේ දකුනු පැත්ත ඉතා සීඝ්‍ර සංවර්ධනයකට ලක් කරා නම් එතනදි ප්‍රභාකරන්ගේ පැවැත්ම වඩාත් අවධානම් වෙනවා.
    එතනදි එක් පැත්තක සටන්කාමීන් බලය අල්ලාගෙන සිටිද්දි අනික් පැත්තේ සුරපුරයක් ගොඩනංවන එක ලේසි නැහැ. අමාරුයි.. හැබැයි එහෙම දෙයක් කරන්න ලොකු උනන්දුවක් තිබුන කෙනෙක් සහ විශාල දැක්මක් තිබුන ලොකු පුටු ටිකක් තිබුනා නම් ගොඩක් දේව්ල වෙනස් කරන්න පුලුවනි.

    ප්‍රභාකරන් සටන් කාමියෙක් මිස කිසිලෙසකින් යහපත් පාලකයෙක් නෙමෙයි. ඔහුට ජනතාව පාලනය කිරීමට තියෙන්න පුලුවන් හැකියාව අවමයි. ඒ පසුබිම තුල ජනතාවටම ප්‍රභාකරන් එපාම වෙනකල් තියන්න පුලුවන් වුනානම් එතනදි යුද්ධය නැති වීම සාර්තකයි. හැබැයි අපේ රටේ ඕක සාර්ථක වෙන්න තියෙන හැකියාව අඩුයි..අපේ රටේ දේශපාලනය තාම දියුනු නැහැ. ඒ මටටමට ඇවිත් නැහැ.

    ඒ පැත්තට එන්න එපා කිව්වහම අපේ සංගයියලා මෙච්චර මේ රටේ පුරාවස්තු කොල්ල කද්දි ඒ එල් ටි ටි පැත්තෙම පල්ලෙම රිංගලා බුදුපිලිම හොයාගනීවි..ආන්ඩුව කොච්චර බඩු මිල වැඩි කරලා පට්ටෙටම ගසා කෑවත් එල් ටී ටී එකෙන් ඒ පැත්තට යද්දි කඩන ටිකට් එක අලි පුකක් විදියට දකිවි. එවකට ඉන්න විරුද්ධ පක්ෂය අන්න රට දුන්නෝ අපිට තිබුන හිගන රට දැන් නැතෝ කියල බෙරිහන් දේවි.. ඒ වගේ තත්වයක් ඇතුලත ඕක තියොරිටිකලි කතාකරන්න පුලුවන් වුනාට..ඒ යුද්ද කාලසීමාවෙ තිබුන කිසිම රජයකට යුද්දය නැවැත්තුවානම් පැවැත්මක් නැති වෙනවා. යුද්දෙ නැතිවුන ගමන් ජනතාවට අනික් පස්න මතක් වෙනවා සහ යුද්දෙ ආතල් නැතිවීම සැරට දැනෙනවා..

    යුද්ධය දේශසීමා..රට, ආගම ,ජාතිය කියන්නෙ මනසෙ ඇඳුන දේවල්..එහෙම නැතුව සැබැවින්ම ඒවා පවතින්නෙ නැහැ. කොච්චර රට ගැන කැක්කුම තිබුනත් හෙට ඇමරිකන් එම්බසිය වීස දෙනව ලංකාවෙ සිංහල අයට කියල කිව්වොත් කොයි තරං දිගපෝලිමක් තියෙද? වැඩියෙන්ම රටට ආදරෙයි කියලා කෑ ගහන මිනිස්සුම තමයිඅපේ රට දාල ගිහින් පිටරට වඩින්නෙ..සරත් පොන්සේකා..බැසිල්, ගෝඨා පවා රටට ඔච්චර ආදරේ නං ඇයි ඩුවල් සිටිසන් තියාගෙන එහෙටම රිංගන්න බලන්නෙ..

    මං තව තැනකදි කිව්වා දෙවනි ලෝක යුද්දෙන් පස්සෙ ජපානය සහ ජර්මනිය නැවත නැගිටපු හැටි.. ජපානය නැත්තටම නැතිවෙල තියෙද්දිත් 1965 වෙනකොට ලෝක ආර්ථිකයේ විසේස තැනකට ගන්න ජපන් කාරයින්ට හැකි වුනා. ඒ වෙද්දි නෙමෙයි මේ මෑතක් දක්වා ජපානයේ සියලුම මිලිටරි ක්‍රියාකාරකම් බිංදුවටම බස්සලා තිබුනෙ. මිලිටරි හමුදාවක් නැහැ කියලා ජපානෙ නැති වුන් නහැ.. ජපානෙට නැතිවුන යුධ බලය එයාල තාක්ෂනයෙන් විද්‍යාෙවන් සහ වෙනත් මාර්ගවලින් සම්පූර්ණ කරගෙන ජපාන නාමය ලෝකය තුල ඉතිරි කරගත්තා. ජපානයට එදාත් අද වගේම ඒ වටේ රටවල් පවා තරහයි. ඒත් ජපනා යුද්දෙන් පස්සෙ ඇමරිකාවට ආර්ථිකමය සහ තාක්ෂණික පැත්තෙන් ඇටෑක් කලා..

    එදා දෙවන ලෝක යුද්දෙන් ජපානය සහ බටහිර ජර්මනිය අන්තෙටම පරදිනකොට ලෝකයේ බොහෝ රටවල් හිතන්න ඇති තවදුරටත් මේ රටවල්දෙකම පට්ට දුප්පත් වෙලා නැතිම වෙලා යයි කියලා.පොඩි කාලයක් දුප්පත් වෙල තිබුනත් අවසානෙ ඒ රටවල් කිසිම මිලිටරි බලයක් නැතුව ඉහලට ගියා.. ඒත් අපි..ණයට ගත්ත ආයුධ වලින් අවුරුදු පහකට ඉස්සෙල්ල ගහපු ඒව මතක් කර කර ස්වයං වින්දනයේ යෙදෙනවා..

    • බොහොම ස්තුතියි මේ දීර්ඝ අදහස් දැක්වීමට.

      උතුරු පළාත හරිම සශ්‍රීකයි. ඕනෙම දෙයක් වවන්න පුළුවන්. අපිට කර්කශ බවක් පෙනුනට, හාල්, පොල්, එළවලු, පළතුරු, මාළු, ඕනෑ තරම් තියනවා. ස්වභාවික සම්පත් තියනවා. විවිධ කර්මාන්ත අතිකිරීමට අවශ්‍ය යටිතල පහසුකම් තියනවා.

      ඔව් ප්‍රභාකරන් සටන් නායකයා පමණයි එල්.ටී.ටී.ඊ. එක දිනුවානම් බලාගන්න තිබුනා කවුද ඇත්තම නායකයා කියා. ඔහු සමහරවිට අදටත් සැඟවී ඇති.

      රටට ඇත්තටම ආදරේ කරන්නේ කවුද කියලා එදාටත් වඩා අද තමයි පෙනෙන්නේ.

      අවුරුදු පහකට ඉස්සෙල්ලා ගත්ත ආයුධ වලට අපි තවමත් ණය වාරික ගෙවනවා.

      එල්.ටී.ටී.ඊ. එක දිනුවානම් අපි හිතන තරම් ලේසියෙන් බදු ගෙවලාවත් ඒ පැත්තට යන්න ලැබෙන්නේ නැහැ.

  6. යුද්දෙන් පැරදුනානම් හරි රට බෙදුන නම්හරි මෙ රටත් හැමදාම ගිනිගන්න ගිනිකදක් වෙනව.මනව හිමිකම සැට් එකටනම හොදට නින්ද යනව.

    • ඔව් එල්.ටී.ටී.ඊ. සංවිධානය දිනුවානම් අපට කවදාවත් සැනසීමෙන් ඉන්න ලැබෙන්නේ නැහැ. ඔවුන් රටේ ඉතුරු ටිකත් අල්ලගන්න ක්‍රියාකරනවා.

  7. Wicharakathuma dawasaka me wage ratawal ganath kiyala dennako.
    http://www.elakiri.com/forum/showthread.php?t=1622022

  8. කමෙන්ට් කරන්න කොච්චර කම්මැලි වුනත්
    මේ වගේ ලිපියකට
    කමෙන්ට් නොකර යන්නේ කොහොමද!

  9. යුද්දේ පැරදුණා නම් දේශසීමා අර්බුධ දිගටම තියේවි.එහෙම නැතුව මුළු රටම යටත් උනා නං මොනවා වෙයිද කවුද දන්නේ.ඔය ඉන්න ලොක්කො ඔක්කොම ප්‍රභාට ගොට්ට අල්ලලා ඒ ආණ්ඩුවෙත් තනතුරු ටිකකට පැන ගනී.දෙපැත්තෙම පොඩි මිනිස්සු තැලෙයි හැමදාම වගේ.

  10. යුද්දෙ පැරදුනා නම් කොළඹදි හරි කෝච්චියක හරි පිපිරෙන බෝම්බයකට අහු වෙලා අපි මේ වෙද්දි ජීවතුන් අතර නොසිටින්නත් ඉඩ තිබුනා. ජයග්‍රාහකයාට පියවරු ගොඩායි…පරාජිතයට එහෙම නෑ කියලා කථාවක් තියෙනවනෙ…අන්න ඒ වගේ ජෙනරල් වීරයෙක් වගේ වැදුම් පිදුම් ලැබුව කාලෙ බොහෝ අය ඔහු වටා සිටි බවත් ඉන් පසු එළඹුන කාලෙ ඔහුව හැරගිය බවත් අපි දැක්කා…ඒක තමයි ලෝක ධර්මතාව..ඒ බවට හොදටම ගැලපෙන ගීතය තමයි මේ. ගායිකාව නන්දා මාලනිය.

    පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ
    පූජාසනයේ ඔබ හිඳුවා

    ඉසුරින් කිත් යසසින් බබළන දා
    ඔබගේ බැණුමත් ගීයක් වේ
    ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
    සිනාසුණත් එය වරදක් වේ

    පූජාසනයේ…

    කිරියෙන් පැණියෙන් උතුරා යන කළ
    ලොව ඔබ පාමුල හඬා වැටේ
    අත මිට හිඟ වී බෙල සුන් වන කළ
    ලොව ඔබ හිස මත කඩා වැටේ

    පූජාසනයේ…

  11. ක්සැන්ඩර් said:

    මට එහෙම හිතාගන්නත් බෑ.. පැරදුනා නං බොහෝදුරට ඒ වෙද්දී අපි ජීවත් වෙන්නේ නෑ ඉතුරු ටික දකින්න..

  12. Prof Nalin de Silva gana obe adahasa kumakda?

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.