විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


gorillas   පසුගිය දිනවල අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල ඇතිවූ අවාසනාවන්ත, කාලකණ්නි සිදුවීම් පිළිබඳව තවමත් බ්ලොග් අඩවි වල කතාබහට ලක්වෙනවා. ජනමාධ්‍ය හා ජඩ මාධ්‍ය, තව සෑහෙන කාලයක්, කුණු මිනීමස් රසට ඇදී එන ගිජු ලිහිණියන් මෙන්, කුණු රසය අවුස්සමින්, මහජනතාවට කට ඇරගෙන, තුෂ්නිම්භූතව, ඉන්න දේවල් පෙන්නයි, කියයි, ලියයි. මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඒවා බලා, අසා, කියවා, අවිචාරයෙන් හැසිරෙයි. ඔයටික නේ වෙන්නේ.  

   සමහර බ්ලොග් අඩවි වල 1915 සිංහල – මුස්ලිම් කෝලාහලය ගැනත් ලියවෙලා තිබුණා. මට හිතුනා ටිකක් ඒ ගැන හොයලා බලන්න. ඔය අතරේදී මට මතක්වුනා මගේ පැරණි පොත් පෙට්ටියක ඒ සිද්ධිය සම්බන්ධ පොතක් තිබෙන බව. ඒ පොත මගේ පියාගෙන් මට ලැබුණේ සෑහෙන කලකට ඉහතදී. මට මතක හැටියට 1970 දශකයේ අග භාගයේදී. බොහොම අමාරුවෙන් පොත් පෙට්ටි කීපයක් අවුස්සලා අන්තිමට පොත හොයාගත්තේ ඊයේ උදේ. (2014/06/17) ඊයේ දවසම කළේ, පොතේ ඉරුණු තැන්, ‘බයින්ඩර්ස් ගම්’ ගාලා අලවලා, පිළිසකර කරන එකයි. පොතේ පිටු දුර්වර්ණ වෙලා. ස්කෑනරය මතට කඩදාසි කුඩු වගේ දූවිල්ලක් වැටුණ නිසා, සෑම පිටුවක්ම තීන්ත ගාන බුරුසුවකින්, පිසදාන්න සිදුවුණා. බොහොම අමාරුවෙන් ස්කෑන් කර, කියවීමට පහසුවන පරිදි, පිටු වල වර්ණය, පින්තූර සංස්කරණය කරන මෘදුකාංගයකින් සැකසුවා. මෙන්න ඒ පොත. 

1

2

z_p07-A-great    මා හිතන්නේ නැහැ අද මේ පොත පහසුවෙන් සොයාගත හැකියැයි කියා. පොත මුද්‍රණය කර තිබෙන්නේ 1916 දී, ලන්ඩන් නුවරදී. අවුරුදු 98 ක් පරණ පොතක් කියලා හිතාගන්නත් බැහැ. පොතේ මිල සඳහන් වන්නේ නැහැ. මෙම පොත, සමහර විට රාජ්‍ය ලේඛනාගාරයේ සංරක්ෂණය කොට ඇති. එමෙන්ම කොළඹ මහජන පුස්තකාලය, කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ පුස්තකාලය, වැනි තැන්වල තිබෙන්නට පුළුවන්. පොත සම්පූර්ණයෙන්ම නොකියවා, විවිධ මාතෘකා ඔස්සේ තෝරාගත් පරිඡේද කීපයක් මා කියවූවා. ඉන් පසුවයි, ඔබ සමග මේ පොතේ එන තොරතුරු බෙදාගන්නට හිතුනේ. මේ පොත ලියා තිබෙන්නේ, එවකට ලංකා ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ සාමාජිකයකු වූ, එමෙන්ම ලංකාවට නිදහස ලබාගැනීමේ ව්‍යාපාරයේ පුරෝගාමියකු වූ, ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මැතිතුමායි.

   හොඳයි පොතේ කතන්දරේ එතනින් නවත්තලා මාතෘකාවට බහිමු. අපේ රටේ සමාජය තුළ, අළු යට ගිනි පුපුරු මෙන් නිවී නිවී දැල්වෙන ජාතිවාදයට, ආගම් වාදයට, විසඳුමක් නැද්ද? විශේෂයෙන් මේ දිනවල යළිත් මතුවී තිබෙන සිංහල බෞද්ධ සහ මුස්ලිම් දෙපාර්ශවය අතර ගැටුම, අළු යට ගිනි පුපුරු නැවත ඇවිලීම නොවන්නේද? සෑම රජයක්ම, සෑම දේශපාලන පක්ෂයක්ම, කටින් බතලකොල හිටවනවා විතරක්ද? 1915 දීත් සිංහල බෞද්ධ සහ මුස්ලිම් ගැටුමක් සිදුවුනාලු. එදා මොකද වුණේ කියලා මේ පොතෙන් බලමුද?

7

8

   මෙතනින් එහාට වුනේ මේකයි. රජය මගින් ම පෙරහැර පැවැත්වීමට දුන් අවසරය රජය මගින්ම අවලංගු කලාම බෞද්ධ නායකයන් (නිළමේ වරුන්) ලොකු ප්‍රශ්නයකට මැදිවෙනවා. ඔවුන් දන්නවා 1815 උඩරට ගිවිසුමේ වගන්තියක් තිබෙන බව කිසිදු බාධාකිරීමකින් තොරව බුද්ධාගමේ කටයුතු කරගෙනයාමට අවසර තිබෙන බවට. ඉතින් ඔවුන් මහනුවර දිස්ත්‍රික් උසාවියේ නඩුවක් පවරනවා තම මානව හිමිකම් ඉල්ලා. එයින් ජයගන්න ඔවුන් පෙරහැර පැවැත්වීමට කටයුතු සංවිධානය කරමින් තිබියදී මුස්ලිම් වරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කල අභියාචනයක් අනුව තීන්දුවක් ලැබෙනවා, දිස්ත්‍රික් උසාවියේ තීන්දුව වෙනස්කර,  පෙරහැර පැවැත්වීමේදී පොලීසිය සහ පළාත් පාලන ඒකකය මගින් දෙන උපදෙස් පිලිපැදියයුතු බවට. මේ අතර කුරුණෑගල තෙලියාගොන්න ප්‍රදේශයේදී බෞද්ධ පෙරහරකට ප්‍රහාරයක් එල්ල වෙනවා. සියල්ල විඳදරාගනිමින් නුවර පෙරහැර සංවිධානය කෙරෙනවා. එහිදී සිදුවන්නේ මෙයයි.

img159

img160

   1915 මැයි මස 29 වැනි දින ඇරඹෙන මේ ජාතිවාදී/ආගම්වාදී කෝලාහල අවසන් වන්නේ 1915 ජූනි මස 5 වැනිදායි. ඒ කාලය තුළ තුවාල/මියයාම් ගණන් හිලව්, අදවගේ රස කර කර කියලා නොතිබීම වාසනාවක්. ඊට පස්සේ මොකද වුණේ? බෙදා වෙන්කොට පාලනය කිරීම නමැති නින්දිත ක්‍රමය අප මත පැටවූ සුද්දා, අපිටම තියලා කැපුවා. කාපු මකුණාටයි නොකාපු මකුණාටයි ඔක්කොටම දඬුවම් කරන්නයි සුද්දා ලැස්ති වුනේ. ඒක කලේ කලබල පවතී පලාත්වල හිටිය සැක කටයුතු පුද්ගලයන් සියල්ල අත්අඩංගුවට ගැනීමෙන් පමණක් නෙවෙයි. මහජනතාවගේ ඉඩම් පවරා ගැනීමෙන්. මෙන්න බලන්න සුද්දා සහ සුද්දාගේ ගෝලයන් වූ සමහර අපේම උන්නැහේලා මොනවද කලේ කියලා. 

img143

img144

img149

   මහ මුදලි සොලමන් ඩයස් බණ්ඩාරනායක (අගමැති සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මහතාගේ පියා) තම දේශපාලන හා පෞද්ගලික එදිරිවාදී පුද්ගලයන් මේ කලබල වලට වගකිවයුත්තන් සේ සලකා නීතිය ඉදිරියට ගෙනගිය හැටිත්, ඔවුන් ඉතා අපහසුවෙන් (සමහරු සිර දඬුවම් ද විඳ) ගැලවුන හැටිත් මේ පොතේ විස්තර කෙරෙනවා. මෙන්න එලෙස අත්අඩංගුවට පත්වූ අයගෙන් කීපදෙනෙක්.

Government reaction

The then British Government of Ceylon governed by Sir Robert Chalmers came down with a heavy hand on the Sinhalese community and declared martial law on 2 June 1915 and ordered the police and the Army to shoot any one who they deemed a rioter without a trial.

The colonial government arrested many prominent Sinhalese politicians and leaders on charges of treason and their houses were searched. Those arrested included D C Senanayake, his brothers, F R SenanayakeD.S. Senanayake (later the first prime minister of Ceylon), D B JayatilakaW A de SilvaF R Dias Bandaranaike, E T de Silva, Dr Casius Ferreira, C Batuvantudawe, D P A Wijewardene, John de Silva, W H W Perera, Martinus Perera, John M Senivaratne, H Amarasurya, D E Weerasuriya, Reverent G D Lanerolle, E A P Wijeyeratne, Harry Mel, A H E Molamure, D B JayatilakaA E Goonesinha, Battaramulla Unanse – a monk, Edmund and Dr C A Hewavitharatne, the brothers of Anagarika Dharmapala, who was also interned in Calcutta, where he had been during the unrest. After the arrests, riot compensation was exacted under threat of force

තම දේපොළ අහිමිවීමේ තර්ජනයට මුහුණදී සිටින අහිංසක වැසියන් වෙනුවෙන් හඬ නගන්නේ මේ පොතේ කර්තෘ වන පොන්නම්බලම් මහතායි. මෙන්න උදාහරණ.

img152

img153

img154

img155

   දැන් මේ ටික කියවා හිතන්න එපා, සිංහල මිනිස්සු බෝ පැල වගේ හිටියා, මුස්ලිම් මිනිස්සු තමයි ඔක්කොම කළේ කියලා. මෙන්න සිංහල ජන නායකයකුගේම ප්‍රකාශයකින් පැහැදිලි වෙනවා සිංහලයන් කෝලාහලයට සම්බන්ධවූ ආකාරය.

img156

  දැන් හොඳට හිතා බලන්න. එදා වෙච්චි දේම තමයි වෙනත් මුහුණුවරකින් අදත් සිදුවෙන්නේ. ඇයි මෙහෙම වෙන්නේ?

1. දේශපාලුවෝ බොහොමයක් මේ වගේ ප්‍රශ්න වලදී දෙන්නේ එදාවේල උත්තරයක්. යොදන්නේ එදාවේල පිළියම්. අලුත්ගම ප්‍රශනය වෙනුවෙන් සිංහල සහ මුස්ලිම් මිනිස්සු හිරේ යවලා, පුලුවන්නම් එල්ලුම්ගස් යවලා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.

2. හුදෙක් ආගම් සහ ජාතීන් පමණක් නියෝජනය කරන සමහර දේශපාලන පක්ෂ බොහොම කැමතියි මේ වගේ වියවුල් ඇතිවෙනවානම්. ඒ තුළ තමයි දේශීය හා විදේශීය වශයෙන් ඔවුන්ගේ පැවැත්ම රඳා පවතින්නේ.

3. ප්‍රශ්න විසඳනවා කියමින් ලෝකෙට ඇහෙන්න කයිය ගහන ජන නායකයෝ කරෙන්නෙත් ලොකුම බොරුවක්. ඔවුන්ට අවශ්‍ය මේ වගේ දේවල් විසඳන්න මම හැර වෙන කවුරුවත් මේ ලෝකේ නැහැ කියලා පෙන්නලා ජනතාව ගොනාට අන්දවාගන්න. ඡන්ද ටික හූරාකන්න.

4. විරුද්ධ පක්ෂ වලිනුත් සාර්ථක විසඳුම් යෝජනා ඉදිරිපත් වෙන බවක් පෙනෙන්න නැහැ. ඔවුන් බලන්නෙත් දේශපාලන වාසි ගන්න පමණයි. අපි බලයට ආවොත් දළදා මාලිගාව ඉස්සරහපිට පල්ලියක් ගහන්න ඉඩ දෙනවා කියලා හොරෙන් පොරොන්දු වුනත් පුදුම වෙන්න දෙයක් නැහැ. කවුරුත් බලයට කෑදරයි.

ඇත්තටම මේ වගේ ප්‍රශ්න වලට විසඳුම් තියනවද? අපොයි ඔව් තියනවා.

1. නීතියේ ආධිපත්‍යය කාටත් එක සමාන කිරීම තමයි මේ ප්‍රශ්නය ඇතුළු අද මේ රට වල් වැදී තිබෙන බොහොමයක් අර්බුද සඳහා ගතයුතු අතිශයින් ප්‍රමුඛස්ථානය දියයුතු ක්‍රියාමාර්ගය. බොදු බල සේනාවට එක නීතියක්. තොන්ඩමන්ට ගණන්කාරකම් පෙන්නන්න පුළුවන් විදිහට තව නීතියක්. (ඊයේ පෙරේදා දවසක හෙල්මට් නැතුව බයිසිකල් පදිමින් දොස්තර මහත්තයෙකුට ජාති දාපු මේ මිනිහා ඇමතියෙක් කියලා කියන්න පුලුවන්ද?) ආදී වශයෙන් නීතිය හෑල්ලුවට ලක්වීමේ උදාහරණ සිය ගණනක් ඔබ දන්නවා ඇති.

2. ජාතීන් හෝ ආගම් පදනම් කරගනිමින් පාසල් පිහිටුවීම නැවැත්විය යුතුයි. ඒ තමයි මේ අර්බුදවල වැදගත් මූල බීජය. කුඩාකාලේ ඉඳලම ජාතීන් සහ ආගම් වශයෙන් බෙදීම තුල නැතිවන්නේ සමානාත්මතාවයි. වැඩිහිටි අයට මතක ඇති අපිත් එක්ක ඒකාලේ ඉගෙනගත්ත මුස්ලිම්, දෙමළ, බර්ගර්, යාළුවො අතරින් එකෙක් හෝ දෙන්නෙක් පමණයි පසුව ජාතිවාදී පැත්තට බරවුනේ.

3. තම මව් භාෂාව මෙන්ම ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම අනිවාර්ය කලයුතුයි.

4. අනෙකාගේ ජාතික, ආගමික කටයුතු තම පෞද්ගලික නිදහසට හෝ රටේ නීතියට හානියක් නොවනතාක්කල් එය ඉවසා සිටීමට කුඩාකල සිටම පුරුදු පුහුණු කලයුතුයි. (හැබැයි යාපනේ, වවුනියාවේ, මඩකලපුවේ, හෙල්මට් නැතුව මෝටර් බයිසිකල් පැදීම, පසුපස අසුනේ හරහට වාඩිවී ගමන් කිරීම, වාහන ගමනාගමනයට බාධාවන පරිදි රෑට පාරමැද, ක්‍රිකට් හෝ අර වේවැල් බෝලයෙන් කරන (රාග?) ක්‍රීඩාව කිරීම, වාහන හා පුද්ගලයන් පරීක්ෂා කරන පොලීසියට බාධා කිරීම සහ බලපෑම් කිරීම, (ඒකනම් මෙහෙත් වෙනවනේ) බැංකු වලට ඇතුළුවීමේදී සම්පූර්ණ මුහුණ ආවරණය වන කළු ලෝගුවේ මුහුණු ආවරණය ඉවත් නොකිරීම, වගේ දේවල් නැවැත්විය යුතුයි) මඩකලපුව, කොටගල, වැනි නගරවල කර ඇති ඉදිකිරීම් අපි ඉවසා සිටින්නේ සහජීවනය අප තුළ ඇතිනිසා නේද? කුරුණෑගල ගල මත ඉදිකළ මහ බුදුරුව පාමුල පල්ලියක් තිබෙන්නේ. ඒ අයත් එසේම ඉවසන බවයි පෙනෙන්නේ. එක වරක් පමණක් ඒ බුදුරුවට කළුතෙල් ප්‍රහාරයක් එල්ල වුනා. කලේ කවුද කියා දන්නේ නැහැ.

   තවත් බොහෝ දේවල් මීට එකතු කරන්න ඔබට පුළුවන්. මා කැමතියි ඔබ ආවේගශීලී නොවී, සංවාදශීලීව අදහස් දක්වනවානම්. එවිට අපිට පුළුවන් මේ සංවාදය තවත් ඉදිරියට ගෙනයන්නට.

ආශ්‍රිත ලිපි

 

my-signature-for-blog[1]   2014 ජූනි මස 19 වැනි දින 2309 පැය

Comments on: "එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමද? – Are we going in a circle?" (36)

  1. ඉතාම වැදගත් ලිපියක් විචාරක තුමාට ගොඩක් ස්තුතියි

  2. History repeats itself කිව්වෙ ඒකයි නේද ? මේ අංශෙන් විතරක් නෙවෙයි හැම වරදින පැත්තක්ම බැළුවම පෙනෙන්නෙ ඔය ටික තමයි

  3. ඔබගේ අගනා විචාරයට පිවිසුමක් මගේ බ්ලොග් සටහන අග කමෙන්ට් එකකඑත් ඇතුළු කළා. අතිශය පරිශ්‍රමයකින් ලියන ලද මේ සටහනට ආචාරය ද පුද කරනවා.

    • මගේ මතකය නිවැරදි නම්, ඔබ මීට පෙර අදහස් දැක්වීම සඳහා මේ අඩවියට පැමිණ නැහැ. ඔබව ඉතා සාදරයෙන් පිලිගන්නවා. හැකි සෑම විටම පැමිණ අදහස් දක්වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලනවා. මේ ලිපිය අගය කිරීම පිළිබඳව ඔබට ස්තුතිවන්ත වෙනවා.

  4. බොහොම වැදගත් ලිපියක් විචාරක තුමා.නීතියේ ආධිපත්‍යය පිහිටුවන්නට කලින් නීතිය කොහෙද තියෙන්නෙ කියා සොයාගත යුතුයි නේද.

    • කියලා වැඩක් නැහැ හැලපෙ. නඩුයි බඩුයි දෙකම නානසාර හාමුදුරුවන්ගේ සිවුර අස්සේ දාගෙන නලවනවානේ. බලමුකෝ ඔව්ව එලියට පනින දවසක් එනවා.

  5. //ජාතීන් හෝ ආගම් පදනම් කරගනිමින් පාසල් පිහිටුවීම නැවැත්විය යුතුයි//- දීර්ඝ කාලීන විසදුමකට හොදම මාර්ගය.
    දැනට අඩුගණනෙ නීතිය හරියට ක්‍රියාත්මක කරනව නම් ඇති (හැම තිස්සෙම ඊලග චන්දෙ ගැන විතරක් බලන්නෙ නැතුව)

    • මෙතන යටින් යන වෙන සෙල්ලමක් තියනවා. මේ ඔක්කොම කරන්නේ ජනාධිපතිවරණයක් බලාගෙන. මේ ඇස්බැන්දුම රටේ මිනිස්සුන්ට තේරුම් කරදීම අපේ යුතුකමක්. වගකීමක්.

  6. Wicharakathuma,meewage poth kawruhari langa rekila thiyena ekata hemoma sathutu wennaona.Oya wagema Marchal low ekgena liyawuna “Hundred days under the Mrashel low”(Armand de suza)potha genath soyala puluwannam wisthrayak damanna.Balanna,isthuthi.

    • බොහොම ස්තුතියි රන්ජන්. මේ පොත කොයි තරම් වටිනවද කියලා මටත් හිතුනේ මේ අලුත්ගම සිද්ධියෙන් පස්සෙයි. ඔබ කියා තිබෙන පොත ගැනත් සොයා බලන්නම්. ඒ වගේ පොතක් ලැබුණොත් අනිවාර්යයෙන්ම ලිපියක් ලියනවා.

  7. ගොඩක් වැදගත් ලිපියක්. අර දේවල් කලින් දැනන් හිටියෙ නෑ ඇත්තටම. බොහොම ස්තූතියි ඔබට.

    • අපේ මතකයෙන් ඈත්වී යමින් පවතින, අද පරපුරෙන් සඟවා තබන මෙවැනි දෑ යලි යලිත් මතක්කරදීම වැඩිහිටි පරපුරේ ඉන්න අපේ වගකීමක්. ස්තුතියි ඇගයීම ගැන.

  8. කියල වැඩක් නැ ලොකු මහත්තය.අපි ම්කවදාවත් පාඩම් ඉගෙන ගන්නෙත් නැ.වෙන එකෙක්ට ඉගෙනගන්න දෙන්නෙත් නැ.
    මෙය ලියන්න වෙච්ච මහන්සියට මගෙන් ඔන්න සැලුට් එකක්.

    • ඉස්සරවෙලාම අපිට ‘බොරු පොත්’ දාගෙන එන ලොක්කන්ට කියන්න වෙනවා ඔයිට වඩා ලොකු පොත් අපි කියවලා තියනවා කියලා. නැත්නම් උන් හැම ඡන්දෙදීම ගෝනි නැතුව අපේ කරේ යන්න එනවා.

  9. කවුරුත් කිව්වා වගේ මේක ලොකු වෙහෙසක් දරලා ලියපු ලිපියක් විචාරක. ඒක ලොකු දැනුමක් ගෙනාවා අපිට. ඇත්තට ම ඔබේ අනන්‍යතාවය මේක තමයි… ඔබ අනික් බ්ලොග් ලියන්නන්ටත් ලොකු ආදර්ශයක් විචාරක. බොහොම අගෙයි…. අපේ ප්‍රණාමය…..

  10. නිර්නාමික said:

    ඒ කාලෙ ඉදංම මේ ප්‍රශ්නෙ තිබිච්ච බව ඔන්න මං අදයි දැනගත්තේ විචාරකතුමාට බෙහෙවින් තුති.ඒ කාලෙ ඉදංම හරි හමන් උත්තරයක් හොයපු නැති එකේ පාඩුව වෙන්න ඕන අද විදින්න වෙලා තියෙන්නෙ.තොංඩමෑන්ට කිසිම මනුස්සකමක් නෑ.වීඩියෝ එකක මං දැක්කා වේදිකාවක් උඩ ඉන්න කැමරාමන් කෙනෙක්ව මහ බලු විදියට තල්ලු කරන එකක්.මුන්ට මොකට ඡංදෙ දානවද කියලා මටනම් හිතාගන්න බෑ

    • මේ කමෙන්ට් එක නිර්ණාමික නෙමෙයි.මං මල් මල් අඩවියෙන්.මං මේ wordpress එකකට කමෙන්ට් කරනවමයි.මං හිතුවේ මේල් එක ටයිප් කළාම නමත් වැටෙයි කියලා

    • නාමිකව ආවත් නිර්නාමිකව ආවත් වැදගත් අදහස් සමග ආව ඔබව සාදරයෙන් පිලිගන්නවා. මේ අඩවියේ කමෙන්ට් කරන්න අමාරුනම් මගේ බ්ලොගර් අඩවියට එන්න wicharaka.blogspot.com

      අපේ රටේ තියන අවාසනාවන්තම තත්වයක් තමයි එදාවේල ක්‍රමයට ප්‍රශ්න විසඳීම. බලන්න අද කාලයේත් කරන්නේ ගෑණියෙකුට ළමයෙක් හම්බවෙන්න අමාරු වුනත් කොමිසමක් පත්කරන එක නේ.

      තොන්ඩමන් කියන්නේ අතිශයින් නූගත් අහිංසක ද්‍රවිඩ ජනතාව රවටාගෙන ජීවත්වන පල්හොරෙක්. නමුත් ඒ ඡන්ද ටිකට තියන පෙරේතකම නිසා අපේ පාලකයෝ ඒ වගේ නරුමයන් ඔඩොක්කුවේ තියාගෙන ආරක්ෂා කරනවා.

  11. විචාරකතුමෝ,
    1915 දී සිංහල,මුස්ලිම් කෝලාහලයක් උනා කියලා අහලා විතරයි තිබුණේ…
    මේ ලිපියෙන් ඒ ගැන සෑහෙන්න දැනුවත් උනා..
    ස්තුතියි.

    • ඔව් මේ තොරතුරු අද ටිකක් හැංගිලා තියෙන්නේ. ඒ නිසයි මේ වගේ එලියට දැම්මේ. ඔබේ දැනුමට යමක් එකතුවුනානම් සතුටුයි.

  12. බොහොම වටින පෝස්ට් එකක් විචාරක තුමා……
    මම මේක බුක් මාක් දාගත්ත නිවාඩුව කියවන්න ඕන ඉංගිලිසියෙන් තියෙන ටික…..
    මොකද….. රෑට…. රෑට තමයි කියවන්නෙ …. දවල්ට කියවන්න බැහැ …. නයිට් ටිසෝන් ගත්ත නිසා… 🙂 🙂

    • හා….උඹත් මම වගේම ඒ කාලේ රෑ ඉස්කෝලෙට ගිහිල්ලද ඉංග්‍රීසි ඉගෙනගත්තේ. මටත් එහෙම තමයි රෑට විතරයි ඉංගිරිසි පුළුවන්.

      කියවලා බලන්න කෙන්ජි සුද්දා එදා යුද්ද නීතිය මගින් ප්‍රශ්න විසඳපු හැටි.

  13. පොත ගැන ඔත්තුවට ස්තුතියි විචාරක. අපේ අයට ඇත්ත ඇති සැටියෙන් පෙනෙන්නේ කවදාද? එක ගින්නක් යන්තං නිවා ගත්තා විතරයි අලුතින් ගිනි අවුලන්න පොරකන ජඩයෝ නොදොකින්.
    ජාලේ පොත තියනවා ගූගල් දෙයියන්ට පින්සිද්ද වෙන්න.

  14. Tharaka (තාරක) said:

    ඉතා වැදගත් ලිපියක්. විචාරකතුමාට බොහොම ස්තුතියි අපට නොදැන හිටපු ගොඩක් දේවල් මේ වගේ ලිපියකින් දැනුවත් කලාට.

    රටක් විදියට අපට වෙලා තියෙන්නේ අපි ශ්‍රී ලාංකිකයින් ලෙස නොසිතන එකයි. අපි සිංහල, දෙමල, මුස්ලිම්, වෙනත් සුළු ජාතින් ලෙස බෙදී සිටින තාක් කල් එයින් ප්‍රයෝජන ගන්නේ දේශපාලකයින් සහ වෙනත් බල ලෝබී පුද්ගලයින්. අපි ජාතින්, ආගම් සහ පක්ෂ ලෙස බෙදී සිටින තාක් කල් මේ රට මේ තත්වයෙන්ම පවතීවි. (ඇතැම් විට මෙයටත් වඩා අන්ත වේවි).

    ලෝකයේ බහු ජාතික විවිධත්වයක් ඇති ඇමෙරිකාව වැනි රටවල් වල මිනිසුන් ජාතින් විවිධත්වය නොසිතා තමන් ඇමෙරිකානු ජාතිකයින් පමණක් යන්න සිතා කටයුතු කිරීම ඔවුන් ලබාගෙන ඇති සාර්ථකත්වයේ රහස වේ(මෙයින් ඇමෙරිකාවට කඩේ යමක් සිදු නොකෙරේ). අතීතයේ සිට අපේ ඉතිහාසයේ සිදුවූ බොහෝ අසාර්ථක වීම් වලට හේතුව බල ලෝබය සහ ජාතිකත්වය බව ඉතිහාසය ගැන සෙවීමේදී අපට තේරුම් ගත හැක.

    මෙයින් අත් මිදීමට නම් කුඩා කල පටන් දරුවන්ට තමන් ශ්‍රී ලාංකිකයින් ලෙස සිතීමටත්, වෙනත් ආගම්වලට, වෙනත් ජාතින්ට ගරු කිරීමටත්, අන් මත ඉවසීමටත්, තම මතවාදය කරා අන් අය බලෙන් පෙලබවිම නොකිරීමටත් හුරු කල යුතුය. අප ද එය හුරුවිය යුතුය.

    නැත්නම් අවසානයේ සිදුවන්නේ මෙවැනි සිදුවීම් තුලින් ජාත්‍යන්තරය රටේ අභ්‍යන්තර ප්‍රශ්න වලට මැදිහත් වීමත්, එය දඩ මිමා කරගෙන දුෂිත දේශපාලකයින් පවුල් පිටින් නැවත නැවතත් රටේ බලය අත් පත් කර ගැනීමත්, අසරණ ජනතාව මේවායින් පිඩාවට පත් වීමත් පමණි.

    අතීතයේ ඇතිවූ මෙවන් අපරිණත සිදුවීමක් මුල් කරගෙන පැවති කොටි ත්‍රස්තවාදයට ජාත්‍යන්තරයෙන් ලද සහය අප අමතක නොකළ යුතුය. නැවත මේ තුලින් ජාතිවාදී අරගලයක් ඇතිවුවහොත් අහිමි වන්නේ සාමාන්‍ය පවුල් වල තරුණ ජීවිත මිසක් පොහොසතුන්ගේ හා දේශපාලකයින්ගේ පවුල් වල දරුවන්ගේ ජිවිත නොවේ. ඔවුන් එදාට මේ රටේ වත් නොසිට වෙනත් රටවලට යනු ඇත.

    ගරු විචාරකතුමනි ඔබගේ බ්ලොග් පිටුව තුල දීර්ග ලෙස අදහස් පල කිරීම පිළිබදව සමාවන්න.

    • මට හිතෙනවා ඔබ කියන්න ගිය ඔක්කොම කියලා නැහැ. කොපමණ දීර්ඝ වුනත් මටනම් ඒ අදහස් වටිනවා. අපිට පුලුවන්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වගන්තියක් ගෙගෙන්න ඔය ජාතිවාදය ගැන කතාකිරීමත් දඬුවම් ලැබිය හැකි වරදක් කියලා, අන්න එක හරියට වටිනවා.

      අපි පාසලෙන් තමයි පටන්නගන්න ඕනේ මේ ජාතිවාදී ලෙඩේට බෙහෙත්දීම.

  15. 1915 සිංහල – මුස්ලිම් කෝලාහලය පිළිබද යමක් දැනගන්න උවමනාවෙන් සිටි වටපිටාවක තමයි ඔබ මේ වටිනා පැරණි ග්‍රන්ථය උපුටා දක්වමින් මේ ලිපිය ලියා තිබෙන්නේ. ඇත්තටම මහින්ද මාමගෙ ආණ්ඩුව තිස් වසරක යුද්ධය ජය ගත් බවට බොරු පුරාජේරුව මේ අවස්ථාව දක්වාම වරින් වර පෙන්නුවට ඇත්තටම අපි ජනවාර්ගික අර්බුදය ජය ගෙන තියෙනවද කියලා වැටහෙන්නෙ උතුරේ ඡන්ද ප්‍රතිඵල දැක්කම. ආණ්ඩුවෙන් මාර්ග, විදුලිය , ජලය ආදී යටිතල පහසුකම් සියල්ල මැනවින් සපුරා ඇති වටපිටාවක ඔවුන්ගෙන් වැඩි ඡන්ද ප්‍රමාණයක් බලාපොරොත්තු වුවත් ඊලමට සහයෝගය දක්වන කණ්ඩායමක් තමයි එහි ඵල නෙලා ගත්තෙ. ඒ අර්ථයෙන් පැහැදිලි වෙනවා ආණ්ඩුව තවමත් යුද්ධය දිනා නැති බව. ඊට පරිභාහිර සාධයක් ලෙස කාලයක් තිස්සේ අළු යට ගිණි මෙන් පැවති මුස්ලිම් – බෞද්ධ හැලහැප්පීම් අද කරළියට ඇවිල්ලා. තමාගේ පැවැත්ම පිළිබද මිසක රටේ පැවැත්ම ගැන අවධානයක් නැති මෝඩ පාලක ප්‍රජාවක් රටකරවන තාක් කල් සිවිල් ජන ජීවිත වලට විශාල හානියක් ගෙන දිය හැකි මෙවැනි ගැටලු කෙරෙහි සාධනීය විසදුමක් අපේක්ෂා නොකල හැකි බව තමයි මගේ හැගීම.

    • යුද්ධයකින් පුළුවන් වෙන්නේ සටනක් ජයගන්න පමණයි. මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න අමාරුයි. ඉස්සර වෙලාම ඉහලම තැනින් තමයි ආදර්ශය දෙන්න ඕනේ ජාතිවාදය නැති කරන්න.

  16. අපේ පාලකයෝ උත්සාහ කරන්නෙ අපිව බිඳවලා (ජාතීන් ජාතීන් අතර විතරක් නෙවෙයි සිංහල ජාතිය අතරත්) ඒ ගොල්ලන්ගෙ වාසි ලබා ගන්න. මොකද බිඳුණු ජාතියකින් ඔවුන්ට ලබාගන්න තියෙන දේ ගොඩක් වැඩියි එකමුතු ජාතියකට වඩා. අවාසනාවකට අපේ ජාතිය බේරගන්න ඉන්න ස්වාමීන් වහන්සේලාත් තම තමන්ගේ පන්සල්වලට ලැබෙන භෞතික වාසි වලට වහල් වෙලා ඔවුන්ගේ ඇම කාලා ඉන්නේ. ඒ වගේම උදලු තලේකට, ටකරමකට ඡන්දෙ දෙන අයට වඩා දිනාගන්න අය අපේ දේශපාලුවන්ට ඉන්නවා.
    මුස්ලිම් අයගේ එකමුතු කම පරද්දන්න තාම අපේ දේශපාලු හැතිකරේට බැරිවෙලා තියෙනවා. දැන් සිද්ධ වෙන්නෙ කපන්න බැරි අත ඉඹීමක්.

    • ඇත්තටම දැන් වෙන්නේ ඔබ මේ කියලා තියනදේ තමයි. අවුල් වැඩිවුණු තරමට මිනිස්සු රවට්ටගන්න පහසුයි. බලය රැකගැනීම සඳහා අම්මව වුනටත් විකුණගන්න තත්වයට අද පාලකයන් පත්වෙලා ඉන්නවා.

  17. There are some appreciable and important details regarding Gampola, Walahagoda Devalaya Case -1915 in the book, “Studies of some famous cases of Ceylon” that has been written by Former Supreme court judge, Volter Thalgodapitiya. There is also a Sinhala translation by late Abhaya Hewawasam (Former Principal & Translator) as “ Lankawe Suprakata Nadu Vibhaga Kihipayak – (Sooriya Publishers), Please read if you can.

  18. ක්සැන්ඩර්.. said:

    විචාරකතුමා ගේ මේ ලිපිය ඉතාම කාලීන දෙයක් විදියට මම දකින්නේ. මොකද මේ පොත් පත් වල තියන යතාර්ථය (විශේෂයෙන්ම ගැටුමේ එක පාර්ශවයක් සඳහා අසීමිත වාසි වෙන විදියට ) වෙනසකට ලක් කරමින් මේ ටිකේම මුනුපොතේ ගමන් කරනවා ඔබ දකින්න ඇති.

    මම නම් දකින්නේ මේ ටික, ඔය ගැටුමෙන් වාසි වෙන්නේ බොහොම සුළුතරයක් දෙනාටයි. අපි වගේ මැදපෙරදිග (ඔය කියන විදියට හලාල් නැති, හරාම් රටක) ඉඳල හම්බ කරලා තමන්ගේ ගෙවල් දොරවල් වගේම රටේ ආර්ථිකයට උර දෙන කම්කරුවාගේ ඉඳල විද්වතා දක්වා පිරිස නැවත ගෙන්වීමට සමත් දෙයක් මේ වෙන්නේ. මේකෙන් රටේ ආර්ථිකයට විදේශ විනිමය ලැබෙන එක පාලනය වෙලා නතර වෙලා බංකොලොත් වෙන්න පුළුවන්. (එතනින් හිතෙනවා කාටද මේවා වෙන්න ඕනේ කියල) ඊට අමතරව ලංකාව ගැන විදේශිකයන්ගේ සිත් වල තිබුණු දැක්ම සුනු විසුනු වෙන්න පුළුවන් මේ වැඩේ නිසා.

    ඇත්තටම එහෙම වෙලා තියෙන්නේ. මට හමුවුණු බොහෝ බ්‍රිතාන්‍ය/ ඇමරිකානු/ ලෙබනානි ඇතුළු අරාබි ජාතීන් තබා මැක්සිකෝ බ්‍රසීල ජාතිකයන් කතා කලේ බොහොම වේදනාවෙන්. ඔවුන් ගේ පොදු වචනය වුනේ, ලංකාවේ බෞද්ධයා මෙහෙම කරන කොටසක් කියල අපිට හිතාගන්න බෑ, අපි තවමත් පිළිගන්නේ නෑ මේක ඔබේ රටේ බෞද්ධයා කල ක්‍රියාවක් කියල, නමුත් මේකේ දේශපාලනයක් තියනවා කියලයි. ඔවුන් බොහෝ දෙනා ලංකාවට ගිය, ඇවිද්ද මිනිස්සු, ඔවුන් කියන්නේ ලංකාවේ සුන්දරත්වය වගේම මිනිස්සුන්ගේ සුන්දරත්වය.

    මේකට විචාරකතුමා රජයේ ඇතැම් ක්‍රියාවන් බලපෑවා. උදාහරණයක් විදියට එක්සත් ජාතීන්ගේ සරණාගත කඳවුරක් ලංකාව. එත් කෝ කඳවුරු? පකිස්තාන්, සිරියා, වෙනත් සියලු දෙනා මේකට එනවා. අදටත් එනවා. ඔවුන් රඳවන්න අවශ්‍ය රටේ ජනයාගෙන් වෙන්ව වෙනමම කඳවුරු තුල. එත් ඒ දේ කලේ නෑ මේ රජය. ඔවුන් මීගමුව වගේ නගර වල රඳවලා ඉන්නවා. රඳවා ඉන්නවා කිව්වට කවුද බලන්නේ ඔවුන් මොනවාද කරන්නේ කියල? මේ මිනිස්සු ගෙනා වෛරයේ විෂබීජ තමා ඔය එන්නේ. ඔය කන්ටේනර් ගණන් අහුවෙන්නේ. මේවා වුනේ මෑතක නේද? ඔන්න මුල..

    දෙයියනේ අපේ කරුමෙට මේ රටට හොඳ කොන්දක් තියන සල්ලිවලට බලයට කෑදර නැති අවංක සෘජු පාලකයෙන් බිහිවෙන්නේ නෑ නේ. මේකට එන්නෙත් කොච්චර දැම්මත් වල පිරෙන්නේ නැති මිනිස්සු..

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.