විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 අද්‍යතන පරපුරේ පිරිමි ජනගහනයෙන් 99% ක් පමණ ඉන පටියක් පැළඳීම අරුමයක් නොවේ. අපි කුඩා දරුවන් අවධියේ ඉන පටි පැලැන්දේ මැදි වයසේ හෝ මහලු වයසේ අයවලුන්ය. සරමට උඩින් අඳින විවිධ ආකාරයේ බඳපටි එකල තිබුණි. ඒ කාලයේ කලිසමට බඳපටි පැළඳුවේ සීමිත පිරිසක් පමණි. බඳපටිය කාලීනව වෙනස්වන විලාසිතාවකි. මේ නිසා සෑම පිරිමියකුම මෙන්න මේ අආකාරයේ බඳ පටියක් පැළඳිය යුතුයි නීති පැනවිය නොහැකිය. කෙසේ වෙතත් මා ඔබ සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ, වර්තමානයේ සාමාන්‍ය සමාජ සම්මතයේ ඇති බඳපටි පැළඳීම පිලිබඳවය. බඳපටිය විලාසිතාවක් යයි සිතන්නේනම් හෝ එලෙස පිලිගන්නේනම් ඔබ ඇඳිය යුතු බඳපටි විලාසිතා කොපමණ තිබේද. එය සිතාගන්නටත් අපහසුය. මෙහි දැක්වෙන්නේ එවැනි විලාසිතා බඳපටි කීපයකි. එහෙත් ඒවා දිනපතා පාවිච්චියට සුදුසු නැත. උත්සව හෝ විනෝද ගමන් සඳහා සුදුසුය. අවස්ථාවට සුදුසු බඳපටි තෝරා ගැනීමට බොහෝ දෙනෙකුට හැකියාව ඇතත්, සමහරු අවස්ථාවට නුසුදුසු බඳපටි ද පළඳින බව පෙනෙයි.

බඳපටිය විලාසිතාවක් කරගන්නා අයටනම්, එය කෙබඳු වර්ණයක, කෙබඳු ප්‍රමාණයක, එකක්ද යන්න එතරම් ගැටළුවක් නොවේ. එහෙත්, එදිනෙදා රාජකාරි සහ කාර්යාලයීය කටයුතු සඳහා යනවිට ඔබ පළඳින බඳපටිය, ඔබගේ අනන්‍යතාවයට සුදුසු එකක් වීම අතිශයින් වැදගත් වෙයි. වර්තමාන සමාජයේ සාමාන්‍යයෙන් සම්මත බඳපටිය වන්නේ සෙන්ටි මීටර් 3 ක් (අඟල් 1  1/4 ක්) පමණ පළල, බොහෝවිට කළු පැහැති, (දුඹුරු පාටට ප්‍රිය කරන සෑහෙන පිරිසක්ද ඇත) එමෙන්ම රිදී පැහැති බකල් එකක් සහිත මෝස්‌තර නැති චාම් බඳ පටියකි. ඒ සඳහා උදාහරණයක් මීළඟ පින්තූරයෙන් දැක්වේ.

 මෙහි ඇති බකල් එක මේ ආකාරයම නොවුනත් පටියේ ස්වාභාවයනම් බොහෝ දුරට මේ හා සමාන බව ඔබද පිලිගන්නවා ඇති. බඳ පටියක් පළඳින්නේ කුමකටද? බඳපටියක් පැළඳීම අනිවාර්යද? මීළඟට අප සලකා බැලිය යුත්තේ එයයි.

සමහරෙකුට බඳපටිය විලාසිතාවක් වුවද බඳ පටියක් පැළඳීම මුලින්ම සිදුවී ඇත්තේ ආරක්ෂාව සඳහාය. තමන් අඳින ඇඳුම බඳ ප්‍රදේශයේදී සිරුරට තද කර තබාගැනීම, බඳපටියේ  එල්ලාගතහැකි උපකරණ, කුඩා මලු ආදිය ගෙනයාම සහ වැඩ කිරීමේදී ඒවා පහසුවෙන් පාවිච්චි කල හැකි වීම අනෙකුත් ප්‍රතිලාභ විය. බඳපටිය අනිවාර්ය අංගයක් වුයේ ආරක්ෂක හමුදාවන්ටය. එහෙත් මා එයින් එහාට බඳ පටියේ අතීතයට යාමට අදහස් නොකරමි.

අද වෙළඳපොලේ බඳපටි වර්ග ඕනෑ තරම් මිලදී ගත හැක. මීළඟට මා ඔබේ අවධානය යොමු කරන්නේ බඳ පටි මිලදී ගැනීම පිලිබඳවය. අපි වැඩි දෙනෙක් පොහොසතුන් නොවෙමු. එබැවින් අපට අපේ ආදායමට සරිලන පරිදි එදිනෙදා සියලු වියදම් පාලනය කරගැනීමට සිදුවෙයි. ඒ නිසා බඳ පටියක් සඳහා විශාල මුදලක් යට කිරීම ඵලක් නැති ක්‍රියාවක් බව ඔබ දැනටමත් තීරණය කර ඇති. එහෙත් ඔබ මිලදී ගන්න බඳ පටියක් දිනපතා පාවිච්චි කිරීමේදී, කොපමනකල් පාවිච්චි කලාද යන්න සිතා බලා තිබෙනවාද? සමහරවිට ඔබ බාල බඳපටි තුනක් පාවිච්චි කරන කාලය, එක හොඳ බඳ පටියක් පාවිච්චි කරන කාලයට සමාන වන බව ඔබ දන්නවාද? හොඳ බඳ පටියක් යනු කුමක්ද? කෘත්‍රිම සම් වලින් හෝ රෙක්සින් වැනි කෘත්‍රිම ද්‍රව්‍ය වලින් සෑදූ බඳ පටියක කල් පැවැත්ම ඉතා කෙටිය. එමෙන්ම එහි හැඩය වෙනස්වීම දුර්වර්ණවීම ඉක්මනින් සිදුවීමට බොහෝවිට ඉඩ තිබේ. හොඳ බඳ පටියක් සෑම විටම ස්වභාවික සම් වලින් නිපදවා ඇත. එහි හැඩය වෙනස්වීම හෝ දුර්වර්ණ වීම සිදුවන්නේ යටත්පිරිසෙයින් අවුරුදු 5 ක් වත් පාවිච්චි කිරීමෙන් අනතුරුවය. සමහරවිට එසේ වන්නේ ඔබ පටිය නඩත්තු නොකිරීම නිසාය. (නඩත්තු කරන්න පටිය බිරිඳක් ද? පසුව කියන්නම්) සාමාන්‍යයෙන් පිටකොටුවේ බඳ පටි මිල රු 150 සිට 400 පමණ වෙයි. ලොකු සාප්පු වල ඊට වඩා ඉහල මිල ගණන් වලට ඇත. රු 15000 ක් පමණ වන, වසර කීපයක වගකීමක්ද සහිත බඳ පටිද ලංකාවේ මිලදී ගැනීමට ඇත. එහෙත් අපටනම් ඒවා සිහිනයක් පමණි. සාමාන්‍යයෙන් මිල අධික වුවත් කල් පවතින බඳ පටි දෙකක් පහත දැක්වෙනවා.

    මේ බඳ පටි දෙස හොඳින් බලන්න. ඒවා හොඳ පෙනුමකින් යුක්තයි. බඳ පටිය ටිකක් පිම්බුණ ස්වභාවයෙන් නිපදවා තියනවා. නිර්මාණයේ උසස් බව පැහැදිලිව පෙනෙනවා. ශක්තිමත් බවද බාහිර පෙනුමේම තිබෙනවා. මේ නිසා තමයි සමහරු ටිකක් මිල වැඩි වුනත් මේ වගේ බඳ පටි ගන්න පෙළඹෙන්නේ. මීළඟ පින්තූරයෙන් පෙන්වා ඇත්තේ ඉතා මිල අධික බඳ පටියක්.

අපි දැන් අවධානය යොමු කලයුත්තේ බඳ පටියක් මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු මොනවාද යන්න පිළිබඳවයි.

මා ඉහතින්ද දක්වා ඇති පරිදි විවිධ අමු ද්‍රව්‍ය යොදවා සකසන ලද බඳ පටි අද වෙළඳපොලේ තිබෙනවා. ඔබටත් මටත් අවශ්‍ය ඉතාම අඩු මිලට ඉතාම හොඳ පෙනුමෙන් යුත් බඳ පටියක් මිලදී ගැනීමටයි. නමුත් බොහෝවිට අපි රැවටෙන්නෙත් එතනදීයි. ප්‍රමිතියෙන් අඩු අමු ද්‍රව්‍ය යොදවා පෙනුමෙන් ඉහල බඳ පටි නිපදවිය හැකියි. දැන් මම කියන්නම් බඳ පටියක් තෝරාගන්නා හැටි. මුලින්ම ඔබ කැමති බඳ පටිය ගෙන ඔබේ ඉන වටා තබා බලන්න. (මෙහෙම කරන්න වෙන්නේ පදික වේදිකාවේ සහ ලාබෙට බඩු විකුණන කඩ වලදී පමණයි. හොඳ බඳ පටියකට ඇසුරුමක් ඇති අතර, බඳ පටියේ දිග සහ පළල ඒ ඇසුරුමේ සඳහන් වෙනවා) ඔබ පටිය තේරීමේදී මුලින්ම එහි දිග ගැන සිතිය යුතුයි. එහිදී ඔබ සැලකිලිමත් විය යුත්තේ ඔබේ වම් අතට පහලින් ඉන ප්‍රදේශයේදී අවසන් වන කෙලවරකින් යුත් පටියක් තෝරා ගැනීමටයි. දැන් බොහෝදෙනෙක් අඳින්නේ යන්තම් බකල් එකට අඟල් දෙකක් එහායින් අවසන් වන පටි. එය එතරම් හොඳ පෙනුමක් නෙවෙයි. ඉක්මනින් ඒ ‘නැට්ට කොටස’ ආපස්සට ඇඹරී අවලස්සන පෙනුමක් දෙන්න ඉඩ තියනවා.

ඔබ තෝරාගත් බඳ පටිය ස්වභාවික සම් හෝ කෘත්‍රිම සම් හෝ වෙනත් කෘත්‍රිම අමු ද්‍රව්‍ය වලින් සාදන ලද පටියක් විය හැකියි. ඊළඟට ඔබ කලයුත්තේ පටිය අත් දෙකෙන් අල්ලා දෙපසට ඇද බැලීමයි. එය ඉලාස්ටික් මිශ්‍ර පටියක් නොවන්නේනම් එතරම් ඇදීමක් තිබෙන්නට බැහැ. ඇදීම මිලි මීටර් කීපයක් නම් එතරම් ගණන් ගතයුතු නැහැ. ඉලාස්ටික් ගතියෙන් යුක්තනම් එය දිනපතා පාවිච්චියට සුදුසු නැහැ. ඊළඟට ඔබ බැලිය යුත්තේ ඔබේ කලිසම් වල ඉන වටේ ඇති පටිය හා හැකි තරම් සමාන පළලක් මේ පටියට තිබෙන්නේද යන්නයි. පටිය කලිසමේ පටියට වඩා පළලින් අඩුනම් පෙනුම තරමක් අවලස්සන වෙනවා. ඒ වගේම කලිසමේ ඇති කාදු වලට හුඟක් හිරවී වැටෙන පටියක් නම් එයද අවලස්සනයි. හොඳ හම් පටියක ඇතුළු පැත්තේ රළු හමක් තිබෙන්නට බැහැ. එය ඔප මට්ටම් කර තිබිය යුතුයි. එමෙන්ම හොඳ හම් පටියක දාර දෙක දිගේ මැහුමක් තිබිය යුතුයි. නියම සම් බඳ පටි යනුවෙන් මා මෙහි ඇතුලත් කර ඇති පින්තූරයේ තිබෙන පටි දෙකෙහි ඒ මැස්ම පෙනෙනවා.   හොඳින් බලන්න ඔබේ ඇස් වසා දෙන්න හදන්නේ, හම් පටියක් වගේ පෙනෙන කෘත්‍රිම පටියක් විය හැකියි. පටිය ඉතා ඝන එකක් නොවිය යුතුයි. බඩවැල වගේ වැනෙන එකක්ද නොවිය යුතුයි. එදිනෙදා කාර්යාලයීය කටයුතු සඳහා යාමට, සම්මුඛ පරීක්ෂනයකට යාමට, මංගල්‍ය උත්සවයකට යාමට, ආදී සියල්ලටම ගැලපෙන්නේ ඉහත, ‘අද කාලයේ සම්මත බඳ පටිය’ යනුවෙන් දක්වා ඇති ආකාරයේ පටියකුයි. කලුපාට පටි ඕනෑම පාටක කලිසම් වලට ගැලපෙනවා. එහෙත් දුඹුරු පාට පටි එසේ ගැලපෙන්නේ නැති අවස්ථා තිබෙනවා.

ඉතින් අපි දැන් තෝරාගත් පටිය අඳිමු, නැත්නම් පළඳිමු. බහුතරයක් පටිය බඳින්නේ ගාන්චුව වම් අත පැත්තට එන ලෙසයි. ඒ ක්‍රමය තමයි හරි. මොකද කලිසමේ ගොල්ෆිය කියන කොටසේ දාරය තියෙන්නේ වම් පැත්ත උඩටත් දකුණු පැත්ත යටටත් තියන විදිහටයි. එහි විරුද්ධ පැත්ත තියෙන්නේ කාන්තාවන් අඳින කලිසම් වල. හැබැයි ඩෙනිම් කලිසම් වලට ඒ නීතිය අදාළ නැහැ.  ඒ නිසා ඔබ දැනට පටිය බඳින්නේ ගාන්චුව දකුණු අත පැත්තට දමා නම් එය වෙනස් කිරීම සුදුසු යයි මා යෝජනා කරනවා. ඔන්න දැන් අපි පටිය කලිසමේ කාදු තුලින් දාලා තද කරන්නයි යන්නේ. කොහොමද ගාන්චුව තුලින් පටිය අදින්නේ? බලන්න මේ පින්තූරය.

  දැන් තේරෙනවා නේද වැඩේ. ඔබත් මේ විදිහටද පටිය අදින්නේ? එවිට සිදුවන්නේ පටියේ මතුපිට ගාන්චුවේ දාරයේ තදින් ඇතිල්ලීම නිසා පටිය ඉක්මනින් විනාශයට පත්වීමයි. නිවැරදිව දැමීමට මෙහෙම කරන්න. 1. ගාන්චුව වම් අත්ලට හෙත්තුවනසේ වමතේ මහපට ඇඟිල්ල ඔබේ හිස පැත්තටත් මැද ඇඟිල්ල ඔබේ දෙපතුල් පැත්තටත් සිටිනසේ පටිය අල්ලාගන්න. 2. දකුණු අතින් පින්තූරයේ රතු ඊතලයෙන් පෙන්වන ආකාරයට පටිය ගාන්චුව තුලින් අදින්න. 3. අවශ්‍ය නියමිත සිදුර ළඟාවූ පසු වම් අතේ දබරැගිල්ලෙන් ගාන්චුවේ කටුව ඒ සිදුරට යොමු කරන්න. 4. පටිය ගාන්චුවේ අනික් දාරය තුලින් යවා ක්‍රියාව සම්පූර්ණ කරන්න. මෙය මුලදී මහා වදයක් ලෙස දැනුනත් ටික දිනකින් හුරුවෙනවා. පටියේ ආරක්ෂාවටයි එහෙම කරන්නේ. විශේෂයෙන්, දැන් තිබෙන කෘත්‍රිම සම් වලින් නිපදවූ පටි, මේ වැරදි ක්‍රමයට දැමීමෙන්, ඉතා ඉක්මනින් හානියට පත්වෙනවා.

හොඳයි අපි ඊළඟට බලමු පටිය ඇන්දාට පසු එය තිබිය යුතු ආකාරය කුමක්ද කියා. පටිය සෑම විටම කලිසමේ ගොල්ෆියේ දාරය සහ කමිසයේ උඩින් තියන පලුවේ (වම් පළුව) ඔබේ දකුණු අත පැත්තට වෙන්නට පිහිටි දාරය සමග එකම රේඛාවක පිහිටනසේ ඇන්දොත්, අමුතු පිළිවෙලක් සහ ලස්සනක් එනවා. එහෙම නැත්නම් පෙනෙන්නේ මෙහෙමයි.

බොහෝ දෙනෙක් නොසිතන දෙයක් තමයි මම ඔබට පෙන්වා දුන්නේ. මෙලෙස කමිසයේ දාරය, පටියේ ගාන්චුව, කලිසමේ ගොල්ෆියේ දාරය එකම රේඛාවක සිටිනසේ ඇඳීම කරන පිරිසක් තමයි යුද සෙබළු. ඔවුන් නිල ඇඳුමේ පමණක් නොව තමන් එදිනෙදා අඳින සාමාන්‍ය ඇඳුමෙත් මේ ක්‍රමය සුරකිනවා. නිවාඩු යාමට කඳවුරෙන් පිටවන සොල්දාදුවන් පිරිසිදු, චාම්, පෙනුමැති, ලෙස ඇඳ සිටිනවාද යන්න ජ්‍යෙෂ්ඨ නිලයන් පරීක්ෂා කරනවා. අපේ සොල්දාදුවා සාඩම්බරව යනවිට අපට ලොකු ආඩම්බරයක්.

දැන් බලන්න ඒ විදිහට ‘අලයින්මන්ට්’ එක තබා (මේ වචනය වාහන රෝද සමපාත කරන බොහෝ තැන්වල ලියා තිබෙන්නේ ‘එලයිමන්ට්’ යනුවෙන්. එය වැරදියි) ඇන්ද විට කොපමණ උදාර (smart) පෙනුමක් එනවාද කියා. ඉතින් ඔබට හිතෙන්නේ නැද්ද මෙහෙම ඇන්දොත් හොඳයි කියා. උත්සාහ කර වෙනස වටහාගන්න. නොවරදවාම කාන්තා පක්ෂයෙන් හොඳ ප්‍රතිචාර ලැබෙයි. (අත්දැකීමෙන් කියන්නේ)

  හොඳයි, අවසාන වශයෙන් මා ඔබට කියා දෙන්නේ පටියක් නඩත්තු කරන හැටියි. අංක එකේ නීතිය තමයි දැන් තිබෙන පටි බොහොමයක් දහඩියට සහ ජලයට ඔරොත්තු දෙන්නේ නැති බව මතක තබාගන්න. ගමනක් ගිහින් දාඩිය දාගෙන ආව ගමන් කමිසයත් බැනියමත් ගලවා වාඩිවී ඉන්නවිට දහඩිය බඩ දිගේ ගලාවිත් පටියට වැටෙනවා. පටියේ අවසානය ඉක්මන් වෙනවා. පුරුදුවෙන්න කමිසය ගලවන ගමන් පටියත් ගලවා තබන්න. දිනපතා වැඩට ගිහින් ආවත් පටිය කලිසමේ තිබියදී කලිසම වීසිකර දමන්න එපා. පහුවදාට තමයි ආය කලිසම හොයන්නේ. එසේ තැබීමෙන් පටිය ඇද වෙනවා. පටිය ගලවා ගාන්චුවෙන් එල්ලා තබන්න පටිය සම්පූර්ණයෙන් දිගහැරී සිටින ලෙස. වැස්සට තෙමුනොත් ලැබෙන පළමු අවස්ථාවේදීම පටිය ගලවා මේසයක් වැනි මතුපිටක තබා විදුලි පංකාවකින් හෝ සාමාන්‍ය සුළඟින් වෙලන්න. ගිනි අව්වේ තබන්න එපා. ඇද වෙනවා. මාසයකට වරක්වත් පටිය සපත්තු පොලිෂ් වලින් පොලිෂ් කල යුතුයි. හප්පේ. . . . . සමහරු දාන පටි කබර හම් වගේ. කවදාවත් පොලිෂ් කරලා නැහැ. කාලයකට වරක් පටිය පැතලි මතුපිටක දිගහැර බලන්න ඇදවී තිබෙනවාද කියා. එසේනම් ගාන්චුව ගලවා (සමහර පටි වල පමණයි) හෝ ගලවන්නට බැරිනම් ගාන්චුව තිබියදීම රූපවාහිනී ඇන්ටෙනාවක් සවිකර ඇති ගැල්වනයිස් කණුවක් වැනි රවුම් කණුවක, පටියේ යට පැත්ත සිටිනසේ තබා කෙළවරවල් දෙකෙන් අල්ලාගෙන, ඔබේ පපුව පැත්තට ඒ කෙළවරවල් දෙක ගෙන, හොඳින් බර වැටෙනසේ සෙමෙන් අතුල්ලන්න. බලනකොට පටි දැමිල්ලත් ලේසි නෑ නේද?

Comments on: "ඔයා බෙල්ට් එක හරියට අඳිනවා නේද" (35)

  1. හරියට පටිය පාවිච්චි නොකළොත් වගේම පටිය හරියට නඩත්තු නොකළොත් පටි රෝල් 🙂

    • ඔබේ කමෙන්ට් එකේ පටිය කියන වචනය දෙවැනි වරට යොදලා තියන තැන, පොඩි ‘වෙනසක්’ තිබුනා. මම එක පටිය කියලා හැදුවා. තරහ නැහැ නේද?

  2. හමුදාවේ කට්ටිය අදුර ගන්න මමත් පාවිච්චි කරන එක ලක්ෂණයක් තමයි ඕක.
    හමුදාවේ සපත්තු පොලිෂ් කිරීම ගැනත් හිමීට ලිපියක් ලියන්න කියල පොඩි ඉල්ලීමක් කරන්න කැමැතියි.

    • කේශාන්තයේ සිට පාදාන්තය දක්වා වැදගත් ඇඳුම් පැළඳුම් ගැන ඉදිරියේදී ලිවීමට අදහස් කරමි. මා උනන්දු කරවීම පිළිබඳව හරීටත්, ඔබටත්, පින්දෙමි.

  3. හරිම වටින ලිපියක්.. එදිනෙදා ජීවිතේදී නිතරම කරන දෙයක්නේ මේක.. මම හිතන්නේ හරී මේවගේ ඉල්ලීමක් කරලා තිබුනා හමුදා ජීවිතෙන් සාමාන්‍යය ජීවිතේට ගතහැකි දේවල් ගැන ලියන්ඩ කියලා..

    මමනම් එකම බෙල්ට් එකක් තමා කාලයක් පාවිච්චි කරන්නෙ. ඒක කැඩුනම අලුත් එකක්. දුබුරු භාවිතයක් ඇත්තෙම නෑ.. කැෂූවල් වලට තව වෙනම බෙල්ට් එකක්. ඔක්කොම දෙකයි. ලේසියි, පහසුයි, සරලයි..

  4. බොහොම ස්තූතියි විස්තරයට.

  5. සපත්තු, බෙල්ට්, ඔරලෝසු වගේ දේවල් අඳිනවා කියලා බාවිතා කරන්න පුලුවන්ද ? මටනම් ඒක නුහුරුයි. දානවා කියලා තමා අපේ භාවිතයනම්.. සමාවෙන්න ඕනා වැරැද්දක් හෙව්වා නෙමේ.. අමුතු දෙයක් ලෙස දුටුව දෙයක් ගැන ඇහුවා විතරයි.

    • ඇඳුම් = අඳිනවා. පැළඳුම් = පළඳිනවා. ඒක තමයි නිවැරැදි. ස්වර්ණාභරණ, ඔරලෝසු, ටයි, සපත්තු, මේස්, ඉනපටි, තොප්පි, ඔක්කොම පළඳින දේවල්. එදිනෙදා කතාබහේදී ඒ සියල්ලම ‘දානවා’ කියන වචනයෙන්, පැළඳීම තමයි අදහස් කරන්නේ. එහි වැරැද්දක් නැහැ. ඔබ අහලා තියනවද දුවටත් ‘පුතේ’ කියලා කතාකරන දෙමවුපියෝ ඉන්නවා. (බොහෝවිට පුතාලා නැති දෙමවුපියෝ) ඒ වගේ, පළඳින දේවල් වලටත් ‘අඳිනවා’ කියන අවස්ථා තියනවා. එය හරි වුනත් වැරදි වුනත්. බලන්න ඔබේ ප්‍රශ්නයෙන් අපි කොපමණ දුර ගියාද. මම සෑම විටම බලාපොරොත්තු වෙන්නෙත් මේ වගේ ප්‍රශ්න. ස්තුතියි ඒ ප්‍රශ්නයට.

  6. පිළිවෙලකට බෙල්ට් එකක් දන්නේ නැති වුනාම එක ගොඩාක් කැතයි.මමත් ඉන පටිය කලිසමේ ඉරි ගැන ගොඩක් සැලකිලිමත් වුනා ලංකාවේ ඉද්දි. මේ කියල තියෙන විස්තර ගොඩාක් මම අනුගමනය කරා.මොකද හැමෝම වගේ පිලිවලට ඉන්න කැමති කෙනෙක්.එත මේ ලිපියෙන් ඊටත් වැඩ ගොඩාක් දේවල් දැනගත්තා.

    දැන්නම් කැෂුවල් තමා වැඩට යද්දී අඳින්නේ.ඒ නිසා ගොඩාක් කාලෙකින් මේ වගේ ඇඳුම ඇන්දේ නැහැ.තවත් මේ ව්දියේ ඒවා දන්නා ..

    • එදිනෙදා අපි මොන විදිහට ඇන්දත්, ඉඳ හිට හෝ වැදගත් අවස්ථාවන්ට සහභාගී වීමට සිදුවෙනවා. අන්න එදාටයි තේරෙන්නේ පිළිවෙලකට ඇඳුම් ඇඳීමට දැන සිටීමේ අගය.

  7. හපෝයි දෙයියනේ මම කරන හැම දෙයක්ම වැරදියිනේ බලාගෙන යද්දි.පටිය කලිසමෙන් ගලවන්නේ කලිසම හෝදන්න යද්දි.ජීවිතේට පොලිෂ් කරලා නෑ.ෂර්ට් එක යට කරලා නොඅඳින නිසා හම් ගිහිං තියෙන නිසා තාම ගානක් නෑ….

    ඔය පටි මට ෂුවර්ම නෑ.දවසක් දුර නෑයෙක්ගේ ගෙදර යන්න අළුතින්ම බෙල්ට් එකක් ගත්තා පේමන්ට් එකෙන්.ඒ මනුස්සයා ඒක නමලත් පෙන්නුවා කැඩෙන්නේ නෑ කියලා ඉතිං මම ගත්තා.ඒකත් දාගෙන පහුවදා උදේම තඩි බෑග් එකකුත් අරගෙන පැය 4ක ගමනකට බස් එකට නැග්ගා.හිටගෙන යන්න සෙට් වුනේ ටික දුරක් යද්දි මට දැනුනා මොකාක් හරි එකක් මගේ පශ්චාත් බාගයට පහලින් බරට එල්ලෙනවා කියලා.යන්තම් අතගාලා බලද්දි තරු පෙවුනා ඩෙනිම තව දශමයක් පාත් වුනානම් බිම.මම පට ගාලා කලිසම උස්සලා බෙල්ට් එක තද කරද්දි බෙල්ට් එක අතේ… අන්තිමේ කලිසම වැටෙන එක නවත්තන්න කැප් එකේ තියෙන පටිය ඩෙනිමේ බකල් දෙකක් අස්සෙන් දාලා තද කරගත්තා.අර බෙල්ට් එක මාමට පෙන්නුවාම මාමා හිනාවෙලා ඒක දෙකට නවලා පෙන්නුවා බෝංචි ඇට කඩනවා වගේ බෙල්ට් එක කඩත්තැකි….

    එදා ඉඳන් හම්වලින් හදපු බෙල්ට් එකක් පාවිච්චි කරන්නේ හම ගියත් බඩු වැඩ.හමුදාවෙදි සෑහෙන්න පිළිවෙල උගන්නනවා නේද.අපේ මාමා කියනවා පර්ස් එකේ සල්ලි දාන්නෙත් පිළිවෙලට කියලා.(අපේ මාමා අලිමංකඩ ඇටෑක් එකේදි ෂෙල් එකක කොටසක් වැදිලා කකුල සැරින් සැරේ ශල්‍යකර්ම වලට භාජනය කලා මෑතක් වෙනකන්).

    • ඉස්සර පිටකොටුවේ පේව්මන්ට් එකේ, පටි විකුණන නියම කාක්කෝ ජාතියක් හිටියා. උන්ගේ කපටි වැඩේට දහස් ගණනක් මිනිස්සු අහුවුනා. උන් කරන්නේ මේකයි. අපේ ඇඟේ ගහලා විකුනනවා පටියක් රුපියල් 50 යි කියලා. (1980 ගණන්වල) හැබැයි ඒ පටි වල හිල් නැහැ. ඊළඟට අපි පටියක් තෝරගත්තම උන් කියනවා, ‘කෝ දෙන්න මහත්තයා පටියේ හිල් ගහලා දෙන්න’ කියලා. හිල් ගහපුවාම පටිය රු 100 යි. හිල් තුනක් ගහන ගාන තමයි ඒ. ඉතින් සමහර මිනිස්සු කට වහගෙන පටිය අරන් යනවා. සමහරු සණ්ඩු කරනවා. පොලීසියට පැමිණිලි ආවනිසා වැඩේ නැවතුනා.

      ඔයාට වගේම වැඩක් මටත් වුනා. මම ගත්ත බාල පටියක් නිතරම ගාන්චුවෙන් ගැලවෙන්න පටන් ගත්තා. ඔයා වගේම මගේ පටිය ගැලවුනේ කෝච්චියේදී. ඒක හදපු එවුන්ගෙයි, විකුනපු එවුන්ගෙයි දෙමවුපියන් දිව්‍යලෝකේ යන්න කියලා, පටිය විසිකර දැම්මා.

      ‘පර්ස් එකක්’ එහෙම නැත්නම් ‘වොලට් එකක්’ පිරිමියකු අත තිබිය යුතුමයි. ඒ ගැන ඉදිරියේදී ලිපියක් බලාපොරොත්තුවන්න.

  8. මට පටි දෙකක්ම ඇත දාපු කාලයක් මතක නැත

  9. හප්පේ ලේසි නෑනේ බලං ගියමා බෙල්ට් එකක් දාන එකත් 🙂

  10. පටිය නම් හරි විදිය නොදැන වුනත් පිලිවලට ඇඳලා තියනවා. මම නම් ගිය ආත්මේ ආමි කාරයෙක්ද කොහෙද.. ගොඩක් කරන වැඩ ඒ වගේ. මටම පුදුමයි.
    තව දෙයක්, ආමි එකේ ඉටි ගාල කරන බූට් පොලිෂ් ක්‍රමේ, ටයි එකක් පළඳින ක්‍රමේ එහෙමත් ලියන්නකෝ. මේ වගේ ලිපි මම කොහෙවත් දැකල නෑ.. සරලව ගොඩක් විස්තර කියල දීල. බොහොමත්ම ස්තුතියි, ඒ එක්කම තවත් මේ දේවල් කරන්න ඔබට ජය.

  11. සිංහල ටයිප් ගොඩදාගත්තා.. මිස් වෙච්ච පෝස්ට් ටික එලවලා එන්නම්..

    පටි ගැන කියනවනම් කොටුවෙ පේව්මන්ට් එකේ හිල් වලට අපේ තාත්තගෙනුත් සල්ලි ගන්න හදලා තිබුනා..ඒත් ඉතින් තාත්තා දෙකක් කියලා පටිය දාලා ඇවිත්..

    පටිය මමත් ඇඳලා තියෙන්නෙ වැරදියටනෙ.. කමිසයෙයි කලිසමෙයි දාර සමපාත කරත් පටියෙ බකල් එකේ හරිමැද ඒ ඉරට සමපාත වෙන්නයි ඇඳලා තියෙන්නෙ.. මීට පස්සෙ බකල් එකේ මුල්දාරෙ අඳින්නම්කො…

    තව මම අහලා තියෙන දෙයක් තම පටිය කලිසමේ පළවෙනි ලූප් එක ගාවින් ඉවරවෙන එක තමා නිවැරදි කියලා..

    තාම හොඳ පටියක් නම් පාවිච්චිකරලා නෑ.. හැබැයි බාල පටි උනත් මේන්ටේන් නම් කරනවා.. දෙමාපියො අමාරුවෙන් අරන් දීපුවා නාස්තිකරලා කොහොමද? හැබැයි කවදාවත් පොලිශ් කරලා නෑ…

    දැන් විවිධ ආකාරයට පටි පළඳිනවා නේද? මම දැක්කා ශිහාන් අයියා කලිසමේ පැත්තෙ දාරෙකට සෙට් වෙන්නත් බකල් එක දානවා.. අර සීරුවෙන් ඉද්දි අත් දෙක තියාගන්න දාරෙ.. ඇයි කාන්තා පාර්ශවෙත් දාන්නෙ.. එව්වනෙ පටි..

    අනික පටි බස්ස්සලා ඇඳිල්ල.. දැන් කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ඉණ තියෙන්නෙ ගොඩක් පහළින්නෙ..

    රන්ටැඹේදී ඇගිල්ල ගහන්න බැරිවෙන්න දාපු පටියත් මතක්වුනා..

    • මට හිතෙනවා ඔය සමහර කඩා වැටී නොවැටී ඉන්න, තමන්ට තමන් තරු වූ තරු, බකල් එක පස්ස පැත්තට තියලත් පටිය දාගනියි. තරු/නියො කොහේ කොහේ දාගනියිද මන්දා.

  12. ශිෂ්‍ය භටයෙක් විදියට පාසලේදි ලැබුන පුහුණුව නිසා මම දැනටත් කිට් එක ගානට ලයින් අප් කරල අඳිනවා! ඔබතුමාගේ බ්ලොග් එකනම් සෑහෙන්න වටිනවා! අද තමා දක්කෙ! කොහොම හරි අදම මේ සේරම පෝස්ට් කියවනවා!

  13. සරලව ගොඩක් විස්තර කියල දීල. හරි වටිනව.
    මම බ්ලොග් ලියන්නෙ නැති කවුරුත් ලියන දේවල් කියවල කමෙන්ට් කරන්නෙත් නැතුව හිමීට මාරුවෙන සුජියා.

  14. පටියත් එක්ක ලයින් අප් කරලා තමා අදින්නේ. හැබැයි පටිය සම් නෙමෙයි. රබර් මිශ්‍ර වර්ගයක්. අර සාමාන්‍ය දිලිසීමක් තියෙන්නේ. (ඒක නිසා පොලිෂ් කරන්න වෙන්නේ නැහැ) මේ පටිය දැන් මම අවුරුදු 1 1/2ක් වගේ පාවිච්චි කරනවා. බොහොම ස්තූතියි ලිපියට.

    • දිනපතාම ඒ පටිය දානවනම් අවුරුදු එකහමාරක් කියන්නේ හොඳ කාලයක්. අඩුම ගන්නේ තව එක පටියක්වත් ගන්න පුළුවන් නම් පටි දෙකේම ආයුෂ කාලය වැඩි කරගන්න පුළුවන් මාරුවෙන් මාරුවට ඇඳලා.

  15. හේනේ මාමා said:

    කලිසමක් , ෂර්ට් එකක් නියම විදියට මදින ආකාරයත් ලියන්නකෝ. ඔබට පුලුවන්

  16. පටිය දාන පියවර කිහිපය පැහැදිලි මදිනේ. පැහැදිලිව කියන්න පුලුවනි නම්, ලොකුම උදව්වක්(හැකි නම් පින්තූර සමග).
    මොකද, ඕක හින්දාම තමා පටි ගන්න වෙන්නෙ.

    • 1. කලිසම අඳින්න කළින් පටිය කලිසමට දාන්න. එහෙම දානකොට තියෙන්නේ ඕනේ ඔබ කලිසම ඇන්දම වම් අත පැත්තට පටියේ බකල් එක එන විදිහට. ඊට විරුද්ධ පැත්තට පටිය දාන්නේ කාන්තාවෝ. (සමහර අයට තරහ යයිද දන්නේ නෑ) හේතුව කියන්නම්. පිරිමි කලිසමක ගොල්ෆිය කියන කොටසේ වම් පැත්ත තියෙන්නේ දකුණු පැත්ත මතුපිටින්. ඒ වගේම කමිසයේ වම් පැත්තේ පළුව දකුණු පැත්තේ පළුවට උඩින් හිටින විදිහටයි තියෙන්නේ.ඒ අනුව ගැලපෙන්න තමයි පටිය දාන්නේ.

      2. ගෙදර ඇවිත් කලිසම ගලවලා රැක් එකට විසි කරලා දාන්න කලින් පටිය ගලවලා එහි බකල් එකෙන් එල්ලන්න පොළොවට ලම්බකව තියන විදිහට. නැත්නම් කලිසමේ තියනකොට පටිය අද වෙනවා. කල්පැවැත්ම අඩු වෙනවා.

      3. එකම පටිය හැමදාම දාන්න ගියොත් ඉක්මනින් අබලන් වෙනවා. කොහොම හරි පටි තුනක්වත් අරගෙන මාරුවෙන් මාරුවට දාන්න.

      අනිත් කරුණු ලිපියේ තියනවා නේද?

  17. ඉතාම වැදගත් පොස්ට් එකක් මේක විචාරක..

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.