විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


කොහොමද? .303 රයිෆලයෙන් වෙඩි තැබීමෙන් පසු ඔබ සනීපෙන් ඉන්නවද? හරියට තුවක්කුව අල්ල නොගත්තොත් උර ඇටය (Coller Bone) කැඩෙනවා. මම පාසල් ශිෂ්‍ය භටයකු කාලේ එහෙම වෙනවා මම දැක තිබෙනවා. එයට හේතුව උරහිසට හේත්තු වන පරිදි නිසි ලෙස රයිෆලය තබා නොගැනීමයි. රයිෆලයේ මිට (butt) සහ උරහිස අතර පරතරයක් සිටිනසේ රයිෆලය අල්ල ගත්තොත් එවැනි අනතුරු වෙනවා. දැනට තිබෙන පාසල් කාන්තා ශිෂ්‍යභට සාමාජිකයන්ටනම් මේ රයිෆලය කිසිසේත් සුදුසු නොවන බවයි මගේ හැඟීම. හැබැයි ටී 56 රයිෆලය මෙපමණ ගැස්සෙන්නේ නැති නිසා එය පහසුවෙන් පරිහරණය කල හැකියි. ඔබ පසුගිය ලිපියේදී .303 රයිෆලයට පතරොම් 10 ක් දැම්මා. ඒ කියන්නේ චාජර් දෙකක්. ඔබ සිතුවද මේ චාජර් කම්හලේදීම පතරොම් සහිතව එනවා කියා? එහෙමෙ නෙවෙයි. අපි අතින් චාජරයට පතරොම් සවි කරන්න ඕනේ. එක චාජරයට පතරොම් 5 බැගින්. ඉතින් දෙයියනේ චාජර් වලට පතරොම් පුරවන අතරේදී සතුරා අපිට අතවනලා අඬගහලා වෙඩි තියලා යයි නේද කියලා ඔබට සිතෙනු ඇති. නමුත් මොහොතක් සිතන්න. සතුරා අතේ තියෙන්නෙත් මෙවැනිම තුවක්කුවක්නම් දෙගොල්ලොම සමානයි. අනික චාජර් තියනවා කිලෝ ගානට. ඒ නිසා සටනට යාමට පෙර හැකිතරම් ප්‍රමාණයක් චාජර් පුරවලා සටන් බිමට ගෙනියනවා. ඔබ නොදන්නා තවත් දෙයක් කියන්නම්. අද පාවිච්චි කරන ටී 56 රයිෆලයට වුනත් පතරොම් පුරවන්න ඕනේ. ටී 56 අවියේ එක මැගසින් එකකට පතරොම් 30 ක් පුරවන්න පුළුවන්. සාමාන්‍යයෙන් එක තුවක්කුවකට මැගසින් 4 ක් එනවා. ඉති ඒ මැගසින් 4 ඉවර වුනාම මොකද කරන්නේ? ‘මල්ලී. . . මැගසින් පුරවනතුරු කෙටි විරාමයක් හොඳේ ‘ කියලා සතුරාට කියනවද? දැන් වුනත් කරන්නේ අර වැඩේම තමයි. සටනට යන්න කලින් අමතර මැගසින් දහස් ගණනක් පුරවා තබා ගන්නවා. බිම දිගේ බඩගාගෙන හෝ ගිහින් සටන් කරන පිරිසට ඒ මැගසින් දීම හෝ ඒ අයගේ මැගසින් ඉවර වනවිට එතනට වෙන කෙනෙක් යෙදවීම (අවස්තාව අනුව) කෙරෙනවා. ඒ වගේම යුද බිමේදීම ඉතා වේගයෙන් මැගසින් පුරවා ඉදිරි භූමියට යැවීමට වෙනම කණ්ඩායම් ඉන්නවා. එදත් අදත් එය එහෙමමයි. මැගසින් පුරවන යන්ත්‍රයක් ලෝකයේ කොහෙවත් හදලා නැහැ. ඔන්න ඔබ එකක් හැදුවොත් කෝටිපතියෙක් වෙන්න පුළුවන්.

පසුගිය ලිපියේදී අපි .303 රයිෆලයෙන් ඉදිරි භූමියට වෙඩිල්ලක් තබා බැලුවා මතක ඇති. ඉතින් ආයෙත් වෙඩිල්ලක් තියන්න ඔබ මොකද කල යුත්තේ? නැවතත් බෝල්ට් එක වමට කරකවා පස්සට අදින්න. එවිට ඔබ වෙඩි තැබූ පතරොමේ හිස් කොපුව එලියට විසිවෙනවා. දැන් නැවතත් බෝල්ට් එක ඉදිරියට තල්ලුකර දකුණට කරකවන්න. දැන් නැවතත් පතරොමක් චෙම්බරයට ඇතුළුවී තිබෙනවා. ඔය විදිහට ඔබට වෙඩි 10 ක් තැබිය හැකියි. ඉන්පසු එක්කෝ ඔබට පතරොම් පිරවූ මැගසින් එකක් ලැබුනොත් කෙලින්ම එය රයිෆලයට සවිකර නැවතත් වෙඩි තැබිය හැකියි. නැතිනම් ඔබට සිදුවන්නේ මැගසිනයට පතරොම් 10 ක් පිරවීමටයි.

රයිෆලයේ බෝල්ට් එක පිහිටි කොටසේ තවත් විස්තර මේ පින්තුරයෙන් බලන්න. තුවක්කුවකින් වෙඩි තැබීම කල්පනාකාරීව සහ ශාස්ත්‍රානුකූලව කලයුතු ක්‍රියාවක්. ඔබ දැක ඇති චිත්‍රපටිවල තුවක්කු සටන් වලදී නළුවන් හැරුණු හැරුණු අතේ සෑම වෙඩිල්ලක්ම නිවැරදි ඉලක්කයට තබනවා. එවැනි වෙඩික්කරුවන් ඉන්නේ චිත්‍රපටිවල මිසක් සැබෑ ලෝකයේ නොවන බව හොඳින් මතක තබාගන්න. එවැනි අය 10 ක් විතර යවලා අපට එල්.ටී.ටී.ඊ. යුද්ධය ජයගන්න තිබුනා, ඔවුන් ඇත්තටම මේ ලෝකයේ ඉන්නවානම්.

තුවක්කුවකින් වෙඩි තැබීමේ මූලික ඉරියව් තුනක් තිබෙනවා.

1. සිටගෙන වෙඩි තැබීම

2. දණ ගසාගෙන වෙඩි තැබීම

3. බිම දිගාවී වෙඩි තැබීම

සිටගෙන වෙඩි තැබීමටනම් ඔබ ඉලක්කය පහසුවෙන් දර්ශනය වන භූමියක සිටිය යුතුයි. ඉලක්කය ඔබට සෑහෙන තරම් ආසන්න විය යුතුයි. ඉලක්කය සතුරකු නම් සතුරාට ඔබව නොපෙනිය යුතුයි. රාත්‍රී කාලයටනම් මෙය එතරම් සුදුසු මදි. මේ රූප සටහනෙන් පෙන්වන්නේ සිටගෙන වෙඩි තැබීමේ ඉරියව්වයි.

 වෙඩි තබන්නා තම දෙපා අඩි දෙකක් පමණ පළලට තබාගෙන සිටිනවා. තුවක්කුව හොඳින් ග්‍රහණය කරගෙන සිටිනවා. හැබැයි ඔබ ගෑනු ළමයෙක් බදාගන්නවා වගේ කිටි කිටියේ තුවක්කුව බදාගත්තොත් කිසි දෙයක් කරන්නට බැහැ. (ගෑනු ළමයෙක් ඕනෙවට වඩා හයියෙන් බදාගත්තත් කිසි දෙයක් කරන්න බැහැනේ) තුවක්කුවේ බට් එක හොඳින් උරහිසට හේත්තුවී තිබෙනවා. වම් අතෙන් හෑන්ඩ් ගාඩ් එකත් දකුණු අතෙන් පිස්ල් ග්රිප් එකත් අල්ලාගෙන සිටිනවා.

දැන් බලන්න දණගසාගෙන වෙඩි තැබීමේ ඉරියව්ව. සිටගෙන වෙඩි තැබීමේ ඉරියව්වේදී මෙන් මෙහිදීද සැලකිල්ලට ගතයුතු කරුණු මොනවාදැයි ඔබට වැටහෙනවා ඇති.වෙඩි තබන්නාගේ දකුණු කකුල තබාගෙන සිටින ආකාරය නිසා තුවක්කුවෙන් ඇති කරන ගැස්සීමද පාලනය කරනවා. මේ රූප සටහන් වලදී ඔබ අවධානය යොමු කලයුතු අනෙක් කරුණ තමයි තුවක්කුව පොළොවට සමාන්තරව සිටිනසේ අල්ලාගෙන සිටින ආකාරය.

අපි දැන් බලමු බිම දිගාවී වෙඩි තැබීමේ ඉරියව්ව කෙබඳුද කියා.

 

වම් පස ඇති රූපයෙන් ඔබට පෙනෙන්නේ රයිෆලයේ බට් එකේ පිටුපසයි. බලන්න එහි ඉතා ඝන යකඩ තහඩුවක් සවිකර තිබෙනවා. එය හඳුන්වන්නේ ‘බට් ප්ලේට්’ එක කියලයි. ඒ බට් ප්ලේට් එකේ පුංචි දොරක් තිබෙනවා. දැක්කද එය විවෘත කර ඇති හැටි? එයින් එලියට එන්නේ රයිෆලය පිරිසිදු කිරීමට ගන්න තෙල් (රයිෆල් ඔයිල්) සහිත කුප්පියයි. ඊට අමතරව ඊළඟ රූපයෙන් පෙන්වන සුරයක් වැනි කොටස හෙවත් ‘වේට් එක’ සහ සිහින් ලනුව හෙවත් ‘පුල් ත්රූ’ එකත් තියෙන්නේ අර බට් ප්ලේට් කුහරයෙමයි. ඉතින් කොහොමද මේවා පාවිච්චි කර රයිෆලය පිරිසිදු කරන්නේ. මුලින්ම මේවා එලියට ගන්න. ඊළඟට රයිෆලයේ පතරොම් හිස්කර බටයේ මුල පැත්තෙන් (චෙම්බර්) ‘පුල් ත්රූ’ එකට සවිකර ඇති ‘වේට්’  එක යවන්න. එහි බරට එය සෙමෙන් බටය දිගේ ගොස් අනික් පැත්තෙන් මතු වෙනවා. එවිට එය ඉවතට ගන්න. නමුත් ලණුවේ මේ පැත්තේ කෙලවර ඔබ අතේ තිබිය යුතුයි. වේට් එකේ පැල්මක් තියනවා. එයතුලින් දැමිය හැකි සිහින් රෙදි පටි විශේෂයක් තිබෙනවා ‘ප්ලැන්ලට්’ කියා. එයින් පටියක් වේට් එකේ පැල්ම තුලින් යවා එය තෙල් වලින් පොඟවා ආපසු අදිනවා එවිට රයිෆල් බටය පිරිසිදු වෙනවා. අවශ්‍යතාවය අනුව මෙය කීප වරක් කිරීමට සිදුවෙනවා. ප්ලන්ලට් කෑල්ල කිලුටුනම් අලුත් එකක් යොදන්න. ඉන්පසු අනෙක් කොටස් සියල්ල ගලවා (බෝල්ට් එක, මැගසින් එක, ආදිය) තෙල් ගල්වා පිරිසිදු කර යුතුයි. ගොඩාක් වෙඩි තැබුවානම් බටයේ ඇතුලත මුලින්ම උතුරන වතුර දමා සෝදා ඉන්පසු ‘පුල් ත්රූ’ කල යුතුයි. වතුර බිඳක්වත් බටයේ ඇතුලත නොසිටින පරිදි පිරිසිදු කල යුතුයි. දැන් රයිෆලය සවිකර පිරිසිදු රෙදි කඩකින් පිසදමා හාදුවක්ද දී ආයුධාගාරයේ තැන්පත් කරන්න. මීළඟට මා ඔබේ අතට දෙන්නේ මීට වඩා ප්‍රබල අවියක්. එය පිළිගැනීමට සූදානමින් සිටින්න.

Comments on: "අපේ කාලයේ තුවක්කු 4" (24)

  1. මනරම් ලිපි මාලාවක්.. විස්තර සහිත ඡායාරූප සමගින් ඉදිරිපත් කරනා විලාසයද සිත්ගන්නා සුලුයි.

    ප්‍රශ්ණයක් අසන්නම්,

    එක පතොරොමක් තුල අත්තේ එක උන්ඩයද ? මම හිත්හගන හිටියේ අප ඇතුල් කරන පතොරොමම ඉලක්කය වෙත ගමන් කරන බවකුයි. ඔබ පතොරොම් කොපුවක් ගැන කතා කල බැවින් මට හැගුනේ පිපිරීමෙන් පතොරොම තුල වූ යම් දෙයක් ඉලක්කය වෙත තල්ලු කරන බවකුයි. මම වැරදිද මංදා..

    පතොරොම් තුල ඇත්තේ මොනවාද ? යකඩ බෝලද ? හෝ එවනි වෙනත් වූ යම් දෙයක්ද ? පැහැදිලි කිරීමක් කලහොත් අගනේයි.

    • ‘සෙනා’ ඔබ ඉතා බුද්ධිමත් ප්‍රශ්න කීපයක්ම අහලා තියනවා. මම කියන්නද, මම මෙතන පිළිතුරු දෙන්නේ නැතුව, විස්තරාත්මකව කියන්නම් මීළඟ ලිපියෙන්. එහෙම හොඳයි නේද?

    • සාමාන්‍යයෙන් රයිෆලයක පතොරමක් කියන්නේ උණ්ඩ කීපයක් ඇතුළත් කෙරුණු පෙට්ටියක්.නූතන රයිෆල් වල චාජර් ලීවරය ඇද උණ්ඩය වෙඩි කුටිය ඇතුළතට දැම්මට පස්සේ ට්‍රිගර් එක ඔබනවා,ඒ ට්‍රිගර් එකෙන් පොඩි ස්ප්‍රින්ග් එකක් වගේ කෑල්ලක් තල්ලුකරලා මැච් (උණ්ඩය පත්තු කිරීම සඳහා යොදාගන්නා කුඩා උපකරණයකි ) උණ්ඩය ගාවට ගෙනියනවා,එක එක රයිෆලයකට එක එක විදිහෙ මැච් වර්ග තියෙන්නෙ.ටී-56 රයිෆලයේ නම් පොඩි වායු පිස්ටන් එකකින් උණ්ඩයේ කොපුව රත් කරනවා,එතකොට උණ්ඩයේ කොපුව අතුලේ තියෙන වෙඩි බෙහෙත් රත් වෙලා පුපුරනවා.ඒ පිපිරීම නිසා උණ්ඩය කොපුවෙන් වෙන් වී තුවක්කුවෙන් නික්ම යනවා.ඒ පිපිරීමේ බලය නිසා කොපුව පස්සට ඇදෙනවා,එතකොට පොඩි දැතිරෝදෙක කොපුව වදිනවා.ඒ දැතිරෝදෙන් චාජර් ලීවර් එක පස්සට අද්දනවා ඊට පස්සේ හිස් කොපුව තුවක්කුවෙන් එළියට විසිවෙනවා.

  2. වෙඩි තැබුවට මොකද ඉවර උනාට පස්සේ වැඩ ගොඩයි නේ..

    • ඔන්න ඔතන තමයි හොරේ. කෑම කෑවම පිඟාන හෝදනවා වගේ, කිළුටු වුනාම රෙදි හෝදනවා වගේ, තුවක්කුවත් පිරිසිදු කරන්නම ඕනේ. අනික තුවක්කුව කාර්යක්ෂමව වෙඩි තැබීමට සූදානම් නැත්නම්, අපි සතුරාගේ අතින් මරණයට පත්වීම වලක්වන්න බැහැ. මමත් ඉස්සර හරි කම්මැලියි ඔය වැඩේට. දඬුවම් විඳලා තමයි හැදුනේ. ලොක්කෙක් වුනාම නම් සහයට ඉන්න සොල්දාදුවා තමයි එවැනි වැඩ කරන්නේ.

  3. එළ එළ .22 එකෙන් තමා තිබ්බේ කෑම්ප් ගිහිල්ලා..කැඩෙට් කරද්දී….

  4. //මැගසින් පුරවන යන්ත්‍රයක් ලෝකයේ කොහෙවත් හදලා නැහැ// – ඒ මොකද ඒ. වැඩේ එතරම් අමාරුද?? නැත්නම් පුපුරන ද්‍රව්‍ය නිසා ද.

    • පුපුරන නිසාම නෙවෙයි මම හිතන්නේ. ලෝකයේ පාවිච්චි කරන විවිධ පතරොම් වර්ග කොච්චරද කිව්වොත් පිස්සු හැදෙනවා. ඉතින් ඒ හැම එකකටම යන්ත්‍රයක් හැදීම ලේසි නැහැ. ඊළඟට ඔය යන්ත්‍රයක් හැදුවත් යුද භූමියේදී එය ප්‍රායෝගික නැහැ. පතරොම් පුරවා පාවිච්චි නොකර කාලයක් තිබුනොත් මැගසින් එක මෙන්ම පතරොම්ද සවුත්තු වෙනවා. තව විස්තර ඊළඟ ලිපියෙන් බලන්න.

  5. පට්ට පටපට…. මමත් ආසම සබ්ජෙක්ට් එකක්, දිගටම ලියන්න…. ජයවේවා

  6. “මැගසින් පුරවන යන්ත්‍රයක් ලෝකයේ කොහෙවත් හදලා නැහැ. ” මෙච්චර හදපු එකේ ඕකක් හදාගන්න බැරිවුනාද?

    “තුවක්කු සටන් වලදී නළුවන් හැරුණු හැරුණු අතේ සෑම වෙඩිල්ලක්ම නිවැරදි ඉලක්කයට තබනවා.” ඒවගේම තමා අනිත් උන් තියන එක වෙඩිල්ලක්වත් නළුවට වදින්නෙ නෑ…

    අද ගොඩාක් අලුත්දේ දැනගත්තා.. මේ කියන එව්වා කරන්ඩ තුවක්කුවක් ගන්න වෙයිද මන්දා?…

    හොඳයි හොඳයි දිගටම ලියන්න…

    • ඉස්සරවෙලාම ගන්න වෙඩිබෙහෙත් කොටන තුවක්කුවක්. ඒක හොඳ ආරම්භයක් වෙයි.

      • වතුර තුවක්කුවකුයි, කැප්‍රෝල් දාලා තියෙන එකකුයි තියෙනවා…

        ඒවා ගැන කියාදෙන්නෙ නැද්ද? 🙂

        • ඔබ අහලා ඇතිනේ අපේ රටේ හිටිය අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මැතිතුමාගේ ඝාතනය ගැන. මට මතකයි මගේ තාත්තා කුඩා ළමයකු වූ මාව ඔසවා එතුමාගේ දේහය පෙන්වූ හැටි. ඉතින් ඒ ඝාතනයට අසුවුනේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක්නේ. ඒ දවස්වල භික්ෂූන් වහන්සේලාට පාරේ වඩින්නත් බැරිලු, සමහරු අහනවලු ‘කෝ පිස්තෝලේ?’ කියලා. එක දවසක් හාමුදුරු නමක් බස් එකකින් වඩිද්දී කටකාර කෙල්ලෝ ටිකක් අහලා තියනවා ‘කෝ පිස්තෝලේ’ කියලා. හාමුදුරුවෝ කිව්වලු ‘තියනවා, හැබැයි ඒකෙන් ඔය ළමයින්ට වෙඩි තිබ්බොත් මැරෙන්නේ නැහැ උපදිනවා’ කියලා. කෙල්ලොටික නිකං සවුත්තු වෙලා ඊළඟ හෝල්ට් එකෙන් බැස්සලු.

      • මම කියපු දේ වෙන අර්ථෙකින් තේරුම් අරන්ද මන්දා ? ඕක තමා වල්හිත කියන්නෙ..

        මම කිව්වෙ අර පොඩිඋන් සෙල්ලම් කරන තුවක්කු ගැන.. වෙන අහවල් එකක් නෙමෙයි..

  7. තුවක්කුව සුද්ද නොකර තිබ්බොත් ඉල්ලකය වරදිනවා වගේම තුවක්කුව පුපුරන්නත් පුලුවන්ද?

    • තුවක්කුවක් සුද්ධ නොකර තිබීම නිසා පිපිරුවා කියලා මම අහලානම් නැහැ. ටී 56 රයිෆලය කටුක දේශගුණයට හොඳින් ඔරොත්තු දෙනවා. මෙය ඇත්තද කියා බලන්න එකවරක් ටී 56 රයිෆලයක් දියතලාවේ හලංගොඩ වැවේ ගිල්වා තැබුවා, සෑහෙන කාලයක්, පතරොම්ද සහිත මැගසින් එකක් සවිකරලා. වතුරෙන් උඩට ගන්නාවිට තරමක් මලකඩ කා තිබුනත් එයින් ඒ මොහොතේම වෙඩි තියන්න පුළුවන් වුනා. තුවක්කුව සුද්ද නොකලොත් වෙන්නේ උණ්ඩ හිරවීම, ක්‍රියාකාරිත්වය අවුල්වීම, තුවක්කුවේ දිරාපත්වීම ඇරඹීම, වැනි ප්‍රශ්න.

  8. කිසිම තදවීමක් නෑ… සමාවෙන්න ඕනා එහෙම දෙයක් හිතුණා නම්.. මම ඕක ටයිප් කරෙත් හිනාවෙවී..

    ටයිප් කරන අකුරු වලින් කටින් කියනවා වගේ හරිම අදහස දෙන්න බෑනෙ…

    මොනා කරන්නද?

    • ඔයා කලින් කිව්වා වගේම හරී මට දැන් හිතෙනවා කමෙන්ට්ස් ටික දවසකට පබ්ලිෂ් නොකර හිටියනම් හොඳයි කියලා. ඇත්තටම අර වෝටර් පිස්ටල් කතාවට මම අර පිළිතුර දුන්නේ, එහෙම යටි අදහසක් ඇතුව නෙවේ. එක දැකපු ගමන් ඔලුවට ආව දේ. අපි වෝටර් පිස්ටල් එකෙන් සහ කැප් රෝල් පිස්තෝලෙන් වෙඩි තිබ්බේ 1959 – 62 කාලේදී. ඒ තුවක්කු (made in England)

      • ආහ්.. එතනදීද තදවුනා කියලා හිතුනෙ…

        මට එතනදීත් තදවුනේ නෑ.. මම හිතුවෙ කමෙන්ට් ටික උත්තරත් එක්කම publish කරයි කියලා… කලින්ම දුන්නම අනිත් අයට හිතන්න බෑනෙ.. මේ දවසෙ උත්තර කියනවා කියලා කලින්ම කිව්වම හරි.. 🙂

        දැන් නම් තදවීගෙන එන්නෙ හරි උත්තරේ බලන්න මම් දහපාරකට වඩා ආවා….

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.