විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


  ශ්‍රී ලංකාවේ මුහුදු මට්ටමේ සිට වැඩිම උසින් පිහිටි භූමිය හෙවත් පිදුරුතලාගල ගැනයි මේ. පිදුරුතලාගල යනු ශ්‍රී පාදය මෙන් කඳු මුදුනක් නොවේ. එය කඳු වැටියකි. වැටියේ උසින් වැඩිම ප්‍රදේශය, නුවරඑළිය නගරයට ඉහලින් විරාජමාන වේ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් ප්‍රධාන විකාශනාගාරය, එහි පිහිටවීමට පෙර යුගයේ සහ පිහිටවූ මුල් යුගයේ, කඳු වැටියේ උසින්ම පිහිටි භූමි ප්‍රදේශයට නැග, එහි අසිරිය විදින්නට, ඕනෑම කෙනෙකුට අවසර තිබුණි. දේශීය විදේශීය සංචාරකයන් විශාල පිරිසක් මේ සොබාදම් අසිරිය නිබඳ විඳගත් නමුත්, දේශීය සංචාරකයන් සමහරකගේ, අශ්ලීල සහ අවිනීත හැසිරීම් නිසාත්, 1984 වර්ෂයේදී විකාශනාගාරයට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසාත්, මුළු කඳු වැටියම තහනම් අඩවියක් බවට පත්විය. පිදුරුතලාගල සිට ශ්‍රී ලංකාවේ භූමියෙන් අති විශාල ප්‍රදේශයක් දුර දක්න භාවිතයෙන් තොරව නැරඹිය හැකිය.


එක ප්‍රදේශයකට දැඩි හිරුරැස් පතිත වෙද්දී තවත් පෙදෙසකට මහා වැසි වැටෙන හැටිත්, තවත් පෙදෙසක් මිහිදුමෙන් නැහැවී ඇති සැටිත් එකවර නැරඹිය හැකි නිසා, දිව්‍යලෝකයක සිටින්නාක් මෙන් දැනෙයි.


අප සිටගෙන සිටින භූමියට වඩා පහලින් ගුවන් යානා පියාසර කරනු දුටුවිට අප සිටින උසෙහි තරම අවබෝධවෙයි. අධි රක්ෂිත වනාන්තරයක් වන මෙහි දිවියන්, ගෝණුන්, සහ ඇළි වඳුරන් ද ගැවසෙයි. ගෝන්නු රාත්‍රී කාලයේදී අපේ කඳවුර අසලට එන්නේ අප කා අවසන්ව ඉවත දැමූ බත් මිටක් ගිල දමන්නටය. ආරක්ෂක මුරයේ සෙබළුන් සිටි තැන්වල සිට මගේ කාමරය වෙත ලණුවක් ඇද එහි අග හිස් කිරි ටින් එකක් එල්ලා තබන්නේ ගෝණුන් පැමිණි බව මට දැනුම් දීමට ටකයක් වැනි සංඥාවක් වශයෙනි. අංශක 10 ක පමණ මර හීතලේ මම මේ ලස්සන සතුන් නරඹමි. කිසි දිනක කිසිදු සතෙකුට කිසිම හානියක් නොකළ බව මගේ දරුවන්ගේ නමින් වුවද දිවුරා ප්‍රකාශ කල හැකිය.


   මේ වනය පුරා ඇවිද මා ලැබූ ආස්වාදය වචනයෙන් විස්තර කිරීම අතිශයින් දුෂ්කරය. විවධ දුර්ලභ වන ඔසු ශාක, මාරත්මල්, යෝධ මීවන, ආදී ශාක මෙන්ම වනයට අමුතු පෙනුමක් ගෙන දෙන විවිධ ලයිකන වර්ගද, කුරු වනාන්තර ශාක ද මා සිත බැඳගත් බව මතකය. පිදුරුතලාගල මුදුනට මඳක් පහලින් ස්වභාවික ජල මූලාශ්‍රයක් ඇසුරෙන් සාදාගත් කුඩා පීල්ලක් ඇත. එකල අපි සමහර විට එහි ගොස් හිම මෙන් සීතල ජලය හූ කියමින් උඩ පනිමින් නාමු. රාත්‍රී කාලයේ ඇති සීතල වචනයෙන් විස්තර කල නොහැකිතරම්ය. යුද සෙබළකු එක වරකට නොකඩවා පැය දෙකක් මුරයේ යෙදිය යුතුය. සමහර සෙබළු නිළ ඇඳුමට ඇතුලෙන් තවත් ඇඳුම් දෙකක්වත් අඳින්නේ සීතලෙන් බේරීම සඳහාය.

  රූපවාහිනිය අපට ජපන් රටෙන් ලැබුන තෑග්ගක් බව ඔබ දන්නවා ඇත. කඳු පාමුල සිට කඳු මුදුනට බඩු ගෙනයන්නට ජපන්නු කුඩා කේබල් කාර් ක්‍රමයක් යොදවා තිබුණි. විකාශනාගාරයට අවශ්‍ය දේවල්, එහි කාර්ය මණ්ඩලයට අයත් කෑම බීම, ආරක්ෂක මුරයේ බඩුබාහිරාදිය, කෑම බීම ද්‍රව්‍ය, ඉහලට යැව්වේ මේ කේබල් කාර් මගිනි. හුදු විනෝදය සඳහා මමද වරක් හෝ දෙවරක් කේබල් කාර් මගින් ගොස් ඇත්තෙමි. නමුත් එය මිනිසුන් ගෙනයාමට සකසන ලද්දක් නොවන නිසා ගමන භයානකය. පසු කාලයේදී මෙය නිතර ක්‍රියා විරහිතවීම, කේබල් කඩා වැටීමෙන් බඩුබාහිරාදියට බරපතල හානි සිදුවීම වැනි හේතු නිසා අත්හැර දමන ලදී. නමුත් කළයුතුව තිබුනේ වඩාත් හොඳින් සකසා මිනිසුන්ටද යා හැකි පරිදි වැඩි දියුණු කිරීමය. සිදුවූයේ වටිනාකම මිල කල නොහැකි නොඉඳුල් වනාන්තරය කපා කොන්ක්‍රීට් ඇතිරූ මහ පාරක් තැනීමය.

  එකල අපි ආරක්ෂක මුරය වශයෙන් රාජකාරි සඳහා පිදුරුතලාගලට ගියේ පා ගමනිනි. වැටිය මුදුනට යාමට කඳු හතක් නැගිය යුතුය. එය පැය එකහමාරක දෙකක පමණ ගමනකි. දියතලාව කඳවුරේ පුහුණුවන කැඩෙට් නිලධාරීන් අභ්‍යාසයක් වශයෙන් කාල ගණනය කිරීමක් තුළ කන්ද නගින්නේ විනාඩි 55 ක් හෝ 70 ක් වැනි පරාසයක් තුල ය. තවත් කොටස් ඉදිරියට . . . . . 

Comments on: "නිළ ඇඳුමෙන් සිටි කාලේ 2" (6)

  1. ස්තුතියි! ලේසියෙන් යන්න නොලැබෙන සුන්දර තැනක්..

  2. සුන්දර මීමුරේටත් අන්තිමට වුණේ ඕකමයි

  3. සුන්දර පරිසරයක්.. \\ එක ප්‍රදේශයකට දැඩි හිරුරැස් පතිත වෙද්දී තවත් පෙදෙසකට මහා වැසි වැටෙන හැටිත්, තවත් පෙදෙසක් මිහිදුමෙන් නැහැවී ඇති සැටිත්// හිතේ මැවෙනවා ඒ දර්ශනය. මේවා විනාශ වෙලා යන එක තමයි කණගාටුව!

  4. […] මා ඔබට කියා තිබෙනවා, අපේ කඳවුර ගැන. නිළ ඇඳුමෙන් සිටි කාලේ යන මාතෘකාවෙන්, මා ලිපි කීපයක් ඔබවෙත […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.