විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

Posts tagged ‘පුංචි කතන්දර’

තවත් කතන්දර තුනක් – Another Three Stories

2  කාලෙකින් පුංචි කතන්දර කීපයක් ලියන්න බැරිවුනා. හමුදා තොරතුරු දිගටම ලියාගෙන යනකොට ඒ දීර්ඝ ලිපි ඔබට එපාවෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි බොහොමයක් බ්ලොග් අඩවි වල පුංචි කතන්දර බහුලව තියනවා. හැම පැත්තක්ම සමබර කරගැනීමට කරන උත්සාහයක් මෙන්ම, රසයේ විවිධත්වයක් ඔබ වෙත ගෙන එන්නයි,  මේ පුංචි කතන්දර කීපය ලියන්නේ. හැබැයි ඉතින් අපේ රට, දිනපතා, ජනතාවට සෑහෙන්න විහිළු සපයන නිසා, මෙවැනි කතාවලින් හිනායන්නේ නැති තරමට, ජනතාව දැන් විවිධ දේශපාලන විහිළු වලින් හෙම්බත් වෙලා ඉන්නේ. ‘දිනපතා පාර්ලිමන්ට් ජෝක්ස් බලන අපිට මෙව්වත් විහිළුද’ කියා ඔබ ආපහු මගෙන්ම අහන්නත් ඉඩ තියනවා. කියවලා බණින්න හරි කමක් නෑ, ඉස්සර වෙලා කියවලාම බලන්නකෝ. 

 1. රතු ඉන්දියානු සංඥාව

 contatti රතු ඉන්දියානු ගෝත්‍රික නායකයෙක්, ඇමරිකාවේ ජනශූන්‍ය පළාතක, සිය වාහනය පදවාගෙන යමින් හිටියා. හදිසියේම ඔහුගේ වාහනය ක්‍රියාවිරහිත වුනා. ඔහු දන්නා තරමින් උත්සාහ කළා, එහි දෝෂ නිවාරණය කරගන්නට.  නමුත් හරිගියේ නැහැ.  ඔහුට වැටහුණා, කාර්මිකයකුගේ සහාය ලබාගන්නට වෙන බව.  සාක්කුවට අත දා බැලුවම, අතේ තිබුනේ ඩොලර් 4 යි. ඒ කාළේ ජංගම දුරකථන තිබුණේත් නැහැ.  ඔහු නොබියව, තම සාම්ප්‍රදායික පණිවිඩ හුවමාරු ක්‍රමය වන, දුම් සංඥා ක්‍රමය භාවිත කරන්නට තීරණය කළා. ඒ අනුව ඔහු වහාම ගිනිගොඩක් ගසා,  තම වර්ගයා ඉන්න ඈත ප්‍රදේශයකට පෙනෙන ලෙස, දුම් සංඥාවක් යැව්වා, ‘මගේ කාර් එක කැඩුණා. මම අහවල් ප්‍රදේශයේ ඉන්නවා. ඩොලර් 500 ක් අරන්, වහාම කවුරුහරි එකෙක් වරෙල්ලා’ කියලා. ඇමරිකන් කාරයන්ව ආශ්‍රය කරලාම, රතු ඉන්දියන් වරුනුත් බොහොම කපටි වැඩ ඉගෙනගෙන තිබුනා. ඉතින් අර ඈත ගමේ අය හිතුවා ‘මේ නම්  ලොක්කාගේ සංඥාවක් වෙන්න බැහැ. කවුරුහරි එකෙක් ලණුවක් දෙන්නේ’ කියලා. එයාලා පිළිතුරු දුම් සංඥාවක් යැව්වා ‘මොකටද ඔච්චර සල්ලි?  ඔයා අපේ ලොක්කානම්, ඔයාගේ බාල පුතාගේ නම, දුම් සංඥාවකින් පෙන්නන්න’ කියලා.  මේ වෙලාවේ, අර රතු ඉන්දියන් ලොක්කා ඉන්න ප්‍රදේශයට ආසන්නව, ඇමරිකානු හමුදාව විසින්, පරමාණු බෝම්බ අත්හදා බැලීමක් සිදුකෙරුණා. එයින් අහසට නැගුණ, බිම්මලක හැඩය ගත්, මහා විශාල දුම්වලාව, අර රතු ඉන්දියන් ගමට පෙණුනා. ඒගොල්ලෝ වහාම නැවතත් දුම් සංඥාවක් එව්වා, මෙන්න මෙහෙම. ‘හා හා ලොක්කා, ඔච්චර කේන්ති ගන්න එපා. අපි සල්ලිත් අරන් දැන්මම එනවා.

2.  නෝනට ඇත්ත කියනවා

0511-0712-3112-4935_Old_Fashioned_Pilot_clipart_image  ඔබ බොහෝදෙනෙක් අහලා ඇති, ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ තිබෙනවා, ඉතාම රහසිගත අධි ආරක්‍ෂිත කලාපයක්, 51 වැනි ප්‍රදේශය (Area 51) කියලා. මෙහි ඇත්තටම සිදුවන්නේ කුමක්ද කියලා, නොයෙක් කතා ලෝකය පුරා පැතිරිලා තියනවා. එක ඉරිදා දවසක, මේ කඳවුරේ (අපි කියමුකෝ ඒක කඳවුරක් කියලා) ආරක්ෂාවට යොදා සිටි සොල්දාදුවෝ, ටිකක් වැඩිවෙන්න සුරාමේරය කළා. දවල් කෑමෙන් පස්සේ එයාලා නොදැනීම නින්දට වැටුනා. එක වරටම, කොහෙන් ආවද දන්නේ නෑ, ඉතා කුඩා පෞද්ගලික ගුවන් යානයක්, මේ කඳවුරේ ගුවන් පථයට ගොඩ බැස්සුවා. මුළු කඳවුරම කැළඹීමට පත්වුනා. හා පැටවකු අල්ලගන්න එන වෘක රැළක් වගේ, අවි අමෝරාගත් සොල්දාදුවෝ, යුද්ධ ටැංකි, ජීප්, ට්‍රක් රථ, ගිනි නිවන රථ, අර ගුවන්යානය වටකරගත්තා. බීමත්ව සිටි සොල්දාදුවන්, යානය ගොඩබස්වද්දී වෙඩි තැබුවත්, ඔවුන්ගේ ‘බීමත්කමට පින්සිද්ධ වෙන්න’ 😀 😀  යානයට කිසිදු හානියක් වෙලා තිබුනේ නැහැ. යානය වටකරගත් සොල්දාදුවෝ, කෑ ගහලා කිව්වා, නියමුවාට යානයෙන් එළියට එන ලෙස. සියළු දෙනා පුදුමයට පත්කරමින්, අවුරුදු 70 – 80 පෙනුමකින් යුතු පුද්ගලයෙක්, යානයෙන් එළියට ආවා. වෙන කවුරුවත් හිටියේ නැහැ. නියමුවා පමණයි. ඔහුගේ පෙණුම දැක්කම ,ගුවන් යානයක් පදවනවා තියා, බයිසිකලයක් තල්ලු කරන්නවත් පණ තියනවාද කියලා සැක හිතෙනවා. එයා මෙන්න මෙහෙම කිව්වා. ‘අද උදේ අපේ නෝනා කිව්වා, ඈත ප්‍රාන්තයක ඉන්න, එයාගේ තනිකඩ නංගිගේ ගොවිපොළට ගිහින්, අපේ නෝනා දෙන තෑගි පාර්සලය දීලා, එහෙන් දවල්ට කෑම කාපු වහාම එන්න. ඊට වැඩිය එක මොහොතක්වත් ඉන්න එපා කියලා.  ටිකක් කුණාටු ගතියක් තිබුණා. අර නංගී එන්න එපා කියද්දීත් මම ආවා. මාව කුණාටුවකට අහුවුනා. පියාසර කලයුතු දිශාව වැරදුණා. යානයේ ඉන්දන ඉවරවේගන ආවා. තව විනාඩි 10 කට වඩා පියාසර කරන්න බැරි තරමට ඉන්දන අඩුවුණා. මේ වෙලාවේ මම අහම්බෙන් දැක්කා ගුවන් පථයක්. ඉතින් ඒකට යානය බැස්සුවා. හැබැයි මම මේ ඉන්නේ කොහෙද කියලවත් මම දන්නේ නැහැ’. එයාට මේ ටික කියලා කට ගන්න හම්බවුනේ නැහැ, එතකොටම අර කුණාටුව ඒ ප්‍රදේශයටත් ආවා. දැන් යානය ගුවන්ගත කරන්නම බැහැ. කඳවුරේ පාලකයා තීරණයක් ගත්තා. ඔහු දන්නවා, තමන් ඉන්නේ කොහෙද කියලා, අර පුද්ගලයා නොදන්නා බව. කොහොම වුනත් එදා රෑ ඔහුව කඳවුරේ සිර මැදිරියකට දැම්මා. හොඳින් කන්න බොන්නත් දීලා, පහුවදා  උදේම, යානයේ ටැංකි පිරෙන්නම, ඉන්දනත් නොමිළේම දීලා, ඔහුගේ ඔළුවට පිස්තෝලයක් තියලා, මෙන්න මෙහෙම තර්ජනය කළා. ‘මෙහෙම කඳවුරක් තියනවා දැක්කා කියලා, තමුසේ කාටහරි කිව්වොත්, තමුසෙගෙ ජීවිතය ඉවරයි, හොඳද? තමුසේ මෙහෙම කඳවුරක් ගැන දන්නෙත් නෑ, දැක්කෙත් නෑ, තමුසෙගෙ ප්ලේන් එක ගොඩබෑවෙත් නෑ හරිද? පණපිටින් ඉන්න කැමතිනම්, ආයෙ කවදාවත් මේ පැත්තෙන්වත් පියාසර කරන්නත් එපා හරිද?’   ඔන්න ඉතින් අර ගුවන්යානය පිටත්වී ගියා. කඳවුරේ පාලකයා සැනසුම් සුසුමක් හෙළුවා. එදා හවස මහා පුදුම දෙයක් සිදුවුනා. ඉතාම පහතින්, ඊයක වේගයෙන් පැමිණි අර කුඩා ගුවන්යානය, ආයෙත් මේ කඳවුරේ ගුවන් පථයට ගොඩ බැස්සුවා. මුළු කඳවුරම යක්ෂාවේශ වුනා. ‘අදනම් මූව ආපහු යවන්නේ නැහැ’ කියලා, යානය වටකළා. කියන්නත් කලින් අර මහළු නියමුවා යානයෙන් එළියට ආවා. ඇවිත් මෙන්න මෙහෙම කිව්වා. ‘තමුසෙලාට ඕනෙනම්, මාව මරන්න බැරිනම්, ඕනේ කෙහෙම්මලක් කරනවා. හැබැයි ඊට කළින්, මෙන්න මේ ප්ලේන් එක ඇතුළේ ඉන්න මගේ ගෑණිට කියනවා, මම ඊයේ රෑ හිටියේ නංගිලාගේ ගෙදර නෙවෙයි කියලා’.

3.  හොඳම  ආදර්ශය හෙවත් පොඩි රවුම සහ ලොකු රවුම

judge1  කුඩු බොන්නට පුරුදුවෙලා හිටිය විශ්ව විද්‍යාල සිසුන් දෙන්නෙක්, කුඩු උරමින් සිටියදී, පොලීසියට කොටුවුනා. දෙන්නවම උසාවියට ඉදිරිපත් කළා. විනිශ්චයකාර වරයා, දෙන්නා ගැන තොරතුරු විමසලා, අමුතු ආකාරයේ තීන්දුවක් ගත්තා. ‘හොඳයි, තමුන් වගේ අය තමයි අනාගතයේදී මේ රට පාලනය කරන්න බාරගන්නෙත්, ඉතින් මේ රටට මොකක් වෙයිද කුඩු කාරයෝ පාලකයෝ වුනාම. (ලංකාවේ නෙවෙයි අනේ. මම කිව්වේ නෑනේ ලංකාවේ කියලා) මම තමුන්ට මාසයක් කල් දෙනවා. මේ මාසය ඇතුළත, තමුන් වගේ කුඩු බොන්න පෙළඹිලා ඉන්න විශ්ව විද්‍යාල සිසුන් විශාල පිරිසක්, එයින් අත්මිදෙන්න පොළඹවලා, තව මාසෙකට පස්සේ එයාලත් එක්කම මේ උසාවියේ පෙනීසිටින්න ඕනේ. ඒ වැඩපිළිවෙලේ සාර්ථකත්වය අනුව මම තීරණය කරනවා තමුන්ට දෙන දඬුවම ලිහිල් කරන්න’. කියලා. ඔන්න අතින් මාසෙකට පස්සේ පොලීසිය ආයෙත් මේ දෙන්නව උසාවියට ගෙනාවා. එක්කෙනෙක් තරුණයන් හත් දෙනෙක්ව අරන් ඇවිත් තිබුණා. අනිත් එක්කෙනා එක්ක මහා සෙනගක් ඇවිත් හිටියා. දැන් විනිශ්චයකාර වරයා කරුණු විමසනවා. අර සුළු පිරිසක් එක්ක ආව කෙනාගෙන් මුලින්ම කරුණු විමසුවා. ‘ඔව් කියමු බලන්න තමුන් කී දෙනෙක්ව මත්කුඩු බීමෙන් මුදාගත්තද කියලා’. නඩුකාරතුමා ඇහුවා. ‘ස්වාමීනී මම මගේ යාළුවන් හත් දෙනෙක් කුඩු බීමෙන් ඉවත් කරගත්තා’. අර විශ්ව විද්‍යාල සිසුවා පිළිතුරු දුන්නා. ‘කොහොමද ඒක කළේ’ විනිසුරුතුමා ඇහුවා. ‘හරි සරල ක්‍රමයකට ස්වාමීනි. මම කොළයක් අරගෙන ඇන්දා රවුම් දෙකක්. පළවෙනි රවුම ලොකුයි, දෙවැනි එක පොඩියි. o o  මම මේ සහෝදර ශිෂ්‍යයන්ට, ඒ රවුම් දෙක පෙන්නලා කිව්වා, මල්ලි මේ බලන්න, මෙන්න කුඩු බීලා හිරේ යන්න කලින්, ඔයාලගේ මොළේ තරම තමයි, මේ ලොකු රවුමෙන් පෙන්නන්නේ. මේ පුංචි රවුමෙන් පෙන්නන්නේ, කුඩු බීලා අහුවෙලා, හිරේ ගිහින් එළියට එනකොට, ඔයාලගේ මොළේ තරම කියලා. මෙයාලා ඒක හොඳින් තේරුම් අරගෙන, කුඩු බීමෙන් ඉවත් වුණා’. විනිසුරුතුමා බොහොම සතුටට පත්වුනා. ‘කෝ ඊළඟ එක්කෙනා’ කියලා එයාටත් කතා කළා. ‘ඔව්, මොකද මේ තමුන් මහා සෙනගක් අරන් ඇවිත් ඉන්නේ? උසාවිය රවට්ටන්නද හදන්නේ. මම දන්නවා කුඩු බොන අය එහෙම ලේසියෙන් එයින් අත්හරවන්න බැරි බව. බොරු කතා නොකියා, ඇත්ත කියනවා, තමුන් මොකද කලේ කියලා’. කිව්වා. ඔන්න ඉතින්, අර දෙවැනි විශ්වවිද්‍යාල ශිෂ්‍යයා, තමන් කළදේ විස්තර කළා. ‘ස්වාමීනි මමත් 156 දෙනෙක්ව කුඩු බීමෙන් ඉවත් කරගත්තා. මමත්, මගේ යාළුවා වගේම කොළයක් අරගෙන, රවුම් දෙකක් ඇන්දා. පළවෙනි එක පොඩියි. දෙවැනි එක ලොකුයි. o මම මගේ යාළුවන්ට කිව්වා, ‘මල්ලිලා, මෙන්න උඹලා, කුඩු බීලා අහුවෙලා, හිරේ යන්න කළින්, උඹලාගේ ගුද මාර්ග ජිද්‍රයේ ප්‍රමාණය, මෙන්න…………………………..

දැන් ඉතිං ඇති නේද? තවත් මෙවැනි කතා පසුව කියන්නම්. ගොහිං එඤ්ඤං හොඳේ.

පින්තූර ගත්ත තැන්

My Signature for Blog2013 ජූලි මස 07 වැනි දින 1125 පැය

%d bloggers like this: