විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

Archive for 2016 දෙසැම්බර් 22

විස්තර කරන්නේ දෑහින් දුටු දේය…..

හනේ මන්දා…….’මන්දා නාලනී’ වගේ, ගජමන් නෝනා කෙනෙක් නොවුනත්, පහුගිය දොහක ගිය ගමනක විස්තරයක් තමා මේ කියන්ඩ තනන්නේ. පහුගිය 10 සහ 11 දවස් දෙකේ, අපේ ගෙදර කට්ටිය සමග පොඩි සංචාරයක් ගියා. පොඩි කිව්වට පොඩිම නෑ. ‘දක්ෂිණ සීග්ගරගාමී පාරෙන්’ මාතර දක්වා ගිහින්, මාතර සිට පරිසර චාරිකාවක යෙදෙමින්, කතරගම ගිහින්, තණමල්විල උඩවලව, පැල්මඩුල්ල, අවිස්සාවේල්ල, කෑගල්ල, පැත්තෙන් ගෙදර ආවා. කිලෝමීටර් 750 ක විතර චාරිකාවක්. මෙන්න දළ වශයෙන් ගමනේ වැදගත් කොටස්. දකුණු පළාතේ ගිය කොටස විශේෂයෙන්.

මුලින්ම අපේ ගෙදරින් පිටත්වුනා පාන්දර 4.00 ට විතර. කඩවතට ගිහින්, සීග්ගරගාමී පාරෙන් ගියා කොට්ටාවට. එතනින් දාගත්තා, අපේ දෝනියන්දැයි බෑණා පොඩ්ඩයි. ආයෙත් සීග්ගරගාමෙට ඇතුල්වෙලා, යන්ඩ පටන්ගත්තා කියමුකෝ එකසිය ගාණට. අම්මපා සමහර තැන්වලදි නම්, 110 ටත් ගියා, වේගය අල්ලන කැමරා තියේද කියා, බල බලා. මුළු ගමනටම ඉතින් මම තමයි ඩැයිවර.

ඔය සීග්ගරේ අතරමග තියනවනේ, තේ බොන්ඩ, කෑම කන්ඩ, ආහාර ජීර්ණ පද්ධතියේ සහ මුත්‍රාශයේ බර අඩුකරගන්ඩ/වැඩිකරගන්ඩ තැනක්. එතන නවත්තලා, උදේට කාලා, මාතරට ගියයි කියමුකෝ. නොදෝකින්, අර ගෙඩි රුපියල් 550 ක් ගෙවපු කොළ කෑල්ලේ තියෙන්නේ, දළ වේගය පැ.කි.මී. 66 යි කියලා. ලැජ්ජා හතයි. මං වගේ ආමි ඩැයිවර කෙනෙකුට මොන තරම් අපහාසයක්ද? බැලින්නං අර නවත්තලා හිටිය කාලයත් ඇතුළුකොරලා තමයි, වේගය ගණන් හදන්නේ. අම්මපා මීට පස්සේ යන්නේ 60 ට.

ඔන්න අපි මාතරට සැපත්වුණා. ඉස්සරවෙලාම ඇහැට වදින්නේ අර සීමාමාලකය නේ. ඉතින් එතනට ගියා.

කෙළ මලියක්නේ. එතන නීතිරීති බොහොම තදයි. ‘හුහ්, පුත්තාකම ලේෂි කෙළියක් නෙවේ’ කිව්වලු, වෙසක් තොරණක් දැකපු හාජ්ජියාර් කෙනෙක්. මේ බලන්ඩකෝ.

ඒ මදිවට ලාළාමී කෙනෙක් දාලා ඉන්නවා, නීති කඩන එවුන්ට පොලුපාර දෙන්ඩ. මෙන්න ඒ ලාළාමී. බලා….න්ඩ පොල්ල අතේ.

මම අපේ ඇත්තිට කිව්වා, මගේ අහලකටවත් එන්න එපා කියලා. දුවටයි බෑණටයි කිව්වා, තොපි දෙන්නා මෙතැනදී නයයි පොළඟයි වගේ හිටපල්ලා, නැත්තං ලාළාමීගේ පොලුපාර තොපේ ඔලුවටම එයි කියලා.

මාතර අහට ඇවිල්ලා ඉතිං, මාතර කොටුව නොබැලුවොත් ලොකු අඩුවක්නේ. ඔන්න ඉතින් ඒක බලන්ඩත් ගියා. ඇත්තෙන්ම මේ පාසල් නිවාඩු කාලේ, දරුවන්ට මේවා පෙන්නනවානම් හොඳයි. නමුත් එවැනි කවුරුවත් මෙතනට ඇවිත් හිටියේ නැහැ.

මේ VOC කෑල්ල ගලවලා විකුණයිද දන්නේ නෑ හොරෙන්ම.

REDOUTE VAN ECK කියන්නේ මොකක්ද කියලා, දන්නා ඇත්තෙක් කියලා දෙනවා හොඳයි.

මෙතන තියන කුරුබිලියෙන්, දොරටු තුනක් එකවර ඇරෙනවා වැහෙනවා, දම්වැල් ලීවර ක්‍රමයකට. මෙන්න මෙව්වා තමයි ළමයින්ට පෙන්නන්ඩ ඕනේ.

හැබෑටම මේ මක්කැයි කියාලා ලියාලා තියෙන්නේ?

මෙහි තිබෙන කෞතුකාගාරය ඉතා වැදගත්. ලංකා ඉතිහාසයට අදාළ වැදගත් අභිලේඛනයක් වන, පනාකඩුව තඹ සන්නස මෙහි තැන්පත් කර තිබෙනවා. නමුත් ඡායාරූප ගන්න අවසර නැහැ. එහි හැඳින්වීම පමණක්, ඡායාරූපයට නගාගත්තා.

අද කාලෙත් අලුත් ඉස්ටැයිල් ඒකෙ සමහර ගෙවල්වල මෙන්න මේ වගේ දොරවල් තියනවා. හැබැයි එව්වට ඔය ඊට පහලින් තියන පින්තූරේ ජාතියේ දොර අගුලු නැති එක ලොකු අඩුවක්.

dsc04889

මාතර අහ ඉඳලා අපි ගියේ වෙහෙරහේනට. හපුච්චේ එතන නීති තවත් තදයි. මේ බලා……..න්ඩකෝ.

ඒ කියන්නේ පෙම් යුවලක් ශෝභනව හැසිරෙනවා නම්, වැරද්දක් නැහැ. අශෝභන කියන්නේ, කැතට ඇඳලා, මූණ කට හෝදන්නේ නැතුව, ඔලුව පීරන්නේ නැතුව, එන එකට වෙන්ටෑ. ශෝභන සහ අශෝභන මට්ටම් පිළිබඳ නිර්ණායක ටික, ඔය බෝඩ් ලෑල්ලේම පහලින් දැම්මානම් ඉවරයිනේ.

කවුරු මොනවා කිව්වත්, වෙහෙරහේන ගැන මගේ අවංක අදහස මෙයයි. වෙහෙරහේනේ, කිසිදු කෞතුක, ඓතිහාසික, කලාත්මක වටිනාකමක් මම නොදකිමි. මෙහි ඇති නිර්මාණ සියල්ලම පාහේ, ඉතා දුර්වල මට්ටමේ ඒවාය. මෙය, විනෝදයට යාමට සුදුසු ස්ථානයක් ලෙස, බොහෝදෙනා සලකන බව පැහැදිළිවම පෙනුනි.

ආධාර එකතු කිරීම සඳහා විවිධ උපක්‍රම යොදා ඇත. පොලොව යට පිහිටි කොටසේ සිටි පිරිසක්, ඒ කොටසින් පිටවී යාමෙන්, ආධාර ලබාගැනීම මගහැරෙතැයි සිතා, එක් ස්වාමීන් වහන්සේ නමක්, වැඩ්ඩ වැඩිල්ලේ වේගය දැක, මට සිනහව නවතාගත නොහැකි විය.

දෙවුන්දර ප්‍රදීපාගාරය නැරඹීමට ගිය අපේ ඔලුවට ‘ප්ර්රදීපාගාරය’ කඩා වැටුණේ මෙන්න මෙහෙමයි.

ඒ කියන්නේ ලංකාවේ කොයි හද්දිබ්බාගයේ ඉන්න පුංචිඅප්පුහාමි වුනත්, කොළඹ හාබර් මාස්ටර් බැහැදැක, පඬුරු පාක්කුඩම් ඔප්පුකර වරං නොගෙන, මෙතනට ඇතුළුවෙනවා බොරුය. එහෙම වරං ලබා නැත්තං, මෙතන පින්සිබල් මාස්ටර් ඉඩ දෙන්නේ නැත. වයිස් පින්සිබල් නැද්ද කියා අහන්ඩ හිතුනත්, දැන්නම්, ‘හාබර්’ කියන වචනේ ඇහුනත් ඇඟ හිරිවැටෙන නිසා, කට පියාගත්තෙමි.

පස්ස පැත්තෙන් ගොස් පින්තූර ගතිමි. (ඒ කියන්නේ, ප්‍රදීපාගාරයේ පසුපස ප්‍රදේශයෙන් ගිහිල්ලාය)

dsc04905

ඊට පස්සේ අපි දෙවුන්දර බලා ගමන් කළා. දෙවුන්දර උපුල්වන් දෙවාලය ආශ්‍රිත විහාරස්ථානයේ බෝධිය අතිශයින් මා සිත් ගත්තේය. එහි සිසිලස ඇත්තම දහම් සිසිලස සිතට දනවයි.

උපුල්වන් දේවාලය මනරම්ව වර්ණගන්වා තිබුණත්, එහි විදුලි කම්බි සවිකිරීම නම් බල්ලා මාක් ය. බස් නාක බස්නායක නිලමේටවත් මෙව්වා පෙනෙන්නේ නැද්ද හැබෑට? නවීන තාක්ෂණයෙන්, මේ කම්බි එකක්වත් නොපෙනෙන ලෙස සවිකල හැකි බව, උපුල්වන් දෙවියෝවත් නිලමේට පෙන්වා දෙත්වා!

හුම්……………ගාගෙන වේගයෙන් හුම්මානයට ගියත්, හුම්මානය හුම් කිව්වේ නැත. මූද කඩේ වහලාය. ඒ නිසා, හුම්මානයේ කට නිකම්ම වැහිලාය. දෙවරක් තුන් වරක්, පොඩ්ඩක් හුම් ගෑවා විතරය. ඇහැ රිදෙනතුරු, කැමරාව අටවාගෙන, දැන් එයි වතුර පාරක්, දැන් එයි කියා බලා හිටියත්, ආවේ නෑ ඒයි. ඉතිං මොකුත් නැතුව පල්ලම් බැහීමට සිදුවිය. අපි ගියාම පුවක් ගහෙත් දෙබල් කිව්වලු.

dsc04921

දීර්ඝ කාලයක් තිස්සේ, යන්නට සිතාසිටි තැනකට යාමේ වාසනාව පැදීම ගැන සතුටු වුයෙමි. ඒ උස්සන්ගොඩ ජාතික උද්‍යානයයි. මෙතනට මගේ සිත වැටුණේ, හේම නලින් කරුණාරත්න මහතා, HTV නාලිකාවේදී, මේ ප්‍රදේශය ගැන කළ වැඩසටහනක් දැකීමෙනි.

අනේ අපේ කට්ටිය බයවුනානේ මේ සුන්දර පාලු තැනිතලාවේ ඇවිදින්න. ඒ නිසා යන්තම් පොඩ්ඩක් එහාට මෙහාට ගියා විතරයි.

අපේ බෑණා පොඩ්ඩ නම් ටිකක් ඇවිද්දා.

හෑ………හදිස්සියෙන් දැක්කා, යම්කිසි පිරිසක්, උද්‍යානයේ සුඛ විහරණය කොරන ආකාරය. නමුත්, මේ උද්‍යානයට, පාපැදියක්වත් ඇතුළු කරන්න තහනම් නේද? අපි නොදන්නා සුඛ විහරණ. මට පට්…….ටාස් ගාලා තේරුණා, මොකෑ වෙන්නේ කියලා. මේ අයගේ අවධානය මා වෙත යොමුවී තිබුණත්, නෑ මේ වෙන පොටෝ ටිකක් ගන්නේ කියන හැඟීම ඔවුන්ට ලැබෙන පරිදි, ඔවුන්ව කැමරාවට අල්ලගත්තා. කලුපාට බයිසිකලයේ, ඉස්සරහ රෝදයට එහාපැත්තෙන් බිම තියන, අපේ මෙන්ඩාගේ බ්‍රෑන්ඩ් එක පෙනෙනවා, පින්තූරය මත ක්ලික් කරලා බැලුවම. මේ අය කාගේ අවසරයක්, බලයක්, වරමක්, බලපුළුවන්කාර කමක් නිසාද මෙහෙම කරන්නේ?

අපි කිරින්දට එනකොට ටිකක් හවස්වෙලා තිබුණා. කිරින්දේ සුන්දරත්වය තරමක් අඩුවී ඇති බවකුයි මා දුටුවේ. මා අවසන් වරට කිරින්දට ගියේ, 1980 දශකයේදී. ඒ කාලයේ එතන නොතිබුණු, මහා විහාර සංකීර්ණයක් දැන් එතන ගොඩ නගලා. ස්වභාව අලංකාරය සහ පරිසරය බරපතළ ලෙස විනාශ කරලා. මේ දේශපාලන ව්‍යාපාරයක් වෙන්න ඇති. ආධාර එකතු කිරීම බොහොම ජයට සිදුවෙනවා.

dsc04958

dsc04959

dsc04960

dsc04961

සොබාදහම ඇඳි රටා

ඒ මදිවට ඉතා අප්‍රසන්න දැන්වීම් පුවරුවක් පිහිටුවා තිබෙනවා. කිරින්ද බලන්න ඇවිත්, මුහුදේ ගිලීමෙන් මියගිය අයගේ නාම ලේඛනයක්, බිත්තියක ඇඳ තිබෙනවා. තවත් ලියන්න ඉඩතබා තිබෙනවා. මියගිය අයගේ නම සහ ලිපිනය එලෙස සටහන් කිරීම, බරපතළ ලෙස මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසයි මා දකින්නේ. ‘මේ බලපල්ලා නිකම් නැහිච්ච එවුන්’ කියනවා වගේ තමයි, මා ඒ පුවරුව දැක්කේ.

කිරින්දට වැඩිපුර එන්නේ, බැතිමතුන් නොව සංචාරකයන් බව, විහාරස්ථාන පාලකයන් දන්නේ නැද්ද? මේ විහාරස්ථානයට හොඳ ආදායමක් තිබෙන නිසා, මේ නාම පුවරුව වෙනුවට, ජීවිතාරක්ෂකයන් එක්කෙනෙකුවත් යොදවන්න පුළුවන්. නැත්නම්, වරින්වර, ශබ්ද විකාශන මගින්, සංචාරකයන්ට අවවාදාත්මක පණිවිඩයක් දෙන්න පුළුවන්.

කතරගමට එනකොට රෑ වුණා. පාසල් වියේ සිට මා කලණමිතු, සුනිල් සහ රාණි යුවළ, කතරගම පිහිටි ඔවුන්ගේ නිවසේ, අපට නවාතැන් දුන්නා පමණක් නෙවෙයි, අන්නපානාදී සියලු සත්කාර සංග්‍රහ ලබාදී සන්තර්පණය කළා. කතරගම් පින්තූර ලෙස මා ඔබට පෙන්වන්නේ කිරිවෙහෙරේ මේ පින්තූරය පමණයි.

ආපසු ගමනේදී, විදානේට සහ දෙමළ නයන්නාට සමන්වාගෙන එන්නට හිතා හිටියත්, කාලය ප්‍රමාණවත් නොවීම නිසා ඉඩක් ලැබුණේ නැහැ. එමෙන්ම, උඩවලවේ ඇත් අතුරු සෙවනට යාමත්, අවලංගු කරන්නටවුණා. ඒ වෙනුවට, උඩවලවේ ජලාශය අසල රැඳී, වැව් දියෙන් සැනහී, දවල් ආහාරය ගෙන පිටත් වුණා. 

අතරමගදී මග කැමරාව දුටු දසුන් කීපයක් පහත දක්වනවා. 

තවත් සංචාරක සටහනකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. 
 
2016 දෙසැම්බර් මස 21 වැනි දින 1234 පැය 
Advertisements
%d bloggers like this: