විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

ගිනි බිඳිල්ලේ අතීතය


gunslinger   ‘ගිනි බිඳිනවා’ යන යෙදුම, වර්තමානයේදී නම්, අපේ සමාජයේ එතරම් භාවිත වන්නේ නැහැ. නමුත්, පැරණි සාම්ප්‍රදායික කෘෂිකර්මය සහ සුළු පරිමාණයෙන් දඩයම පැවති සමයේදී නම්, මේ යෙදුම ඒ සමාජය තුළ බහුලව අහන්නට ලැබුනා. ‘ගිනි බිඳිනවා’ යනුවෙන් අදහස් කළේ, වෙඩි තබනවා යන්න බව, ඔබ අසා ඇතුවාට සැකයක් නැහැ. මතකයි නේද ඒ සමාජයට අදාලව අර ගමරාල ගිනි බිඳපු කතාව? මතක නැහැ. හොඳයි. බොහෝ දෙනෙක් දන්න කතාවක් වුනත් කෙටියෙන් නැවත කියන්නම්.

   ඔන්න එක ඈත ගමක, ගමරාළ කෙනෙක් හිටියා. එයාට හොඳ ගම හාමිනේ කෙනෙකුත් හිටියා. ගමරාල දක්‍ෂ ගොවියෙක්. මතකනේ අර හේතුහාමි. අන්න ඒ වගේ දක්‍ෂ ගොවියෙක්.

   ඔන්න එක දවසක් මහ රෑ, හේනේ ගිනි මැලයේ එළියෙන්, ගමරාලට යන්තමට පෙනෙනවා, ඌරෙක් ඇවිත් බතල පාත්තියට ඔට්ටුවෙන හැටි. ගමරාළ හෙමිහිට ගත්තා, තමන්ගේ බේත් තුවක්කුව අතට. ගමටම බෙදන්න ඌරුමාලු සපයාගන්න පුළුවන්, මේ තඩි ඌරව එළාගත්තොත් කියලා, ගමරාළට හිතුනා. වම් අතින් බැට්ටිය අල්ලාගෙන, දකුණතින් තුවක්කුව උරහිසට තද කරගත්තා. ගමරාළ හෙමිහිට ගම හාමිනේට කිව්වා, ‘යෝදියේ, ඔය ගිනිපේල්ලක් අරං මේ කණේ තියපං’ කියලා. නිදි මරගාතේ නැගිටපු ගම හාමිනේ, එක පාරටම ඇහුවා ‘මක්කැයි කිව්වේ’ කියලා. ‘ෂ්…………සද්ද කොරන්න එපා යෝදියේ, ඔය ගිනිපේල්ලක් අරං මේ කණේ තියපං’ කියලා ගමරාළ ආයෙත් රහසින් කිව්වා.

   ගම හාමිනේ කිව්ව, ‘හනේ මම කොහොමද එහෙම කරන්නේ’ කියලා. ‘බොට ඒකෙන් වැඩක් නෑ කිව්ව දේ කොරපන්’ කියලා ගමරාළ පහත් හඬින් ගෙරෙව්වා. ගම හාමිනේ ගිනිපේල්ලක් අරං, ගමරාළගේ කණේ තිබ්බා. කණ පිච්චෙන එක ඉවසාගෙන, ඌරුමාලු රසය මතක් කරගනිමින්, ගමරාළ නැවතත් හෙමින් ගෙරෙව්වා, ‘ඔය කණේ නෙවෙයි යකෝ’ කියලා. ගම හාමිනේ වහාම ගිනිපේල්ල තිබ්බා, ගමරාළගේ අනිත් කණේ. ගමරාළගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගියා. ‘ඔය කණේ නෙවෙයි ^%$#@*, මෙන්න මේ තුවක්කු කණේ තියපන්’ කියලා, අහල ගම් හතකට ඇහෙන්න කෑගහලා කිව්වා. අනේ…… ඒ සද්දෙට ඌරා පැනලා දිව්වා.

ඔන්න ඕකයි කතාව.

   දැන් මේ කතාවේ එන බැට්ටිය දන්නවද? ඒ කාලේ අපේ ගම්වල අය, ටෝච් එක හඳුන්වන්න, බැට්ටිය කියන නම භාවිත කළා. ඒ වගේම තමයි, මොකක්ද බේත් තුවක්කුව කියන්නේ? බේත් තුවක්කුව කිව්වේ, තුවක්කු බටය ඇතුළට, වෙඩි බෙහෙත් සහ මූනිස්සම කැට (සමහරවිට මේ සඳහා ගැල්වනයිස්ඩ් බාල්දි කොකු, කෑලිවලට කපා දානවා) දමා, අච්චුක් කූර නමැති ලී කූරෙන් කොටා තදකර, තුවක්කු බටයේ පසුපස කෙලවර පිහිටි, නිපල/නිපුල නමින් හැඳින්වෙන ස්ථානයට ගිනිතබා, වෙඩි තැබිය හැකි තුවක්කුවටයි.

   හොඳයි, මේ විස්තරය ඔබවෙත ඉදිරිපත් කළේ, ඈත අතීතයේදී, තුවක්කුව බිහිවීම සහ, එහි මූලික අවස්ථා වලදී භාවිත වුනු තුවක්කු, නිපදවා තිබුණු තාක්‍ෂණය කෙබඳුද යන්න, ඔබ සමග සාකච්ඡා කිරීමටයි. ඒ ඒ තුවක්කු වර්ගය පත්තු කිරීම සඳහා යොදාගත් තාක්ෂනය අනුව තමයි, මේ වර්ගීකරණය කර තිබෙන්නේ.

   ගිනි අවියක් – Firearm එහෙමත් නැත්නම් තුවක්කුවක් – Gun යන්න, මානව සමාජයට ඇතුළුවූයේ, 13 වැනි සියවසේදී පමණ යන්න තමා, වර්තමාන පිළිගැනීම වන්නේ. ලෝහ නලයකට වෙඩිබෙහෙත් දමා, එම වෙඩිබෙහෙත් ක්‍ෂණිකව ගිනිගැනීමට සැලැස්වීමෙන් උපදින අධික පීඩනය ආධාරයෙන්, යම්කිසි ප්‍රක්ෂිප්තයක්, වේගයෙන් ඉදිරියට මුදාහැරීමේ හැකියාව ඇති උපකරණය තමයි, තුවක්කුව හෝ ගිනි අවිය ලෙස නම් කෙරුණේ. එය මෙන්න මෙවැනි නිපැයුමක්. පහත සජීවීකරණ රූපය බලන්න.

handgonn

  මේ රූපයෙන් පැහැදිලි වෙනවා, ලෝහ නලයක් ලී මිටකට සවිකර ඇති බව. මෙහි නොපෙන්වන්නේ, ලෝහ නලයේ අගින්, වෙඩි බෙහෙත් සහ උණ්ඩය පිරවීම පමණයි. රූපයේ  Burning Wick යනු, දැල්වෙමින් පවතින තිරයක්. මෙය හොඳින් අඹරාගත් හණ ලණුවකට ගිනි තබා, එය සෙමින් දැල්වෙමින් පවතින ආකාරයට සකසාගැනීමක්. Touch Hole යනු, තුවක්කු බටයේ පසුපස කෙළවරේ පිහිටි කුඩා සිදුරක්. (අර අපි උණවෙඩි වලදී හදනවා වගේ) ඒ සිදුරට, අර තිරය තබා, ඇතුලේ ඇති වෙඩි බෙහෙත් දැල්වීමෙන් තමා, අවිය ක්‍රියාත්මක කරවන්නේ. උණ්ඩය පිටවන ආකාරයත් මෙහි දැක්වෙනවා. 

   13 වැනි ශතවර්ෂයේ අග භාගයට අයත් මේ නිපැයුම, එකල හැඳින්වුණේ, handgonne යන අමුතු වචනයකින්. එහි තේරුම Hand Cannon යන්නයි. 

   මේ තමා, ඉතා ප්‍රාථමික ගිනි අවි සංකල්පය.  පහත දැක්වෙන රූපයෙන්, මේ සංකල්පය ගැන, ඔබේ අවබෝධය පුළුල් වෙනවා ඇති. මෙය, ක්‍රි.ව. 1400 සමයට අයත්. 

firearm


   මා උත්සාහ කරන්නේ, එම දීර්ඝ විස්තරය, හැකිතරම් සංක්‍ෂිප්ත කොට, එහි මූලික අවධිය වර්තමානයට සම්බන්ධවන අවස්ථාව දක්වා විස්තරය, ඔබවෙත ගෙන ඒමටයි.

හොඳයි, හැමදාමත් අර විදිහට, යකඩ බටයට අතින් ගින්දර තබා ‘වෙඩි තැබීම’ වඩාත් දියුණු කර නොගත්තොත්, ‘යුද්දේ පරාදයි’ කියා මිනිසාට සිතුනා. ඒ නිසා මෙය වැඩිදියුණු කරන්නට පියවරගත්තා. ඒ අනුව තුවක්කු බටය මත තිබුණු සිදුර එහි පැත්තකින් සිටින සේ සැකසුවා. තුවක්කුව පත්තුවීමට අවශ්‍ය ගිනිබලය ලබාදීම සඳහා නව උපක්‍රමයක් යෙදුවා. 

   ඒ තමයි Flash Pan නමැති ක්‍රමය. කුඩා භාජනයක් වැනි ආවරණයක් තුළට දැම්මා, තුවක්කුව ඇතුළේ තියන වෙඩි බෙහෙත් පත්තුවීම සඳහා, මූලික ගිනිබලය ලබාදෙන වෙඩි බෙහෙත් කොටස. ඒ නිසා වෙඩිබෙහෙත් හැලෙන්නේ නැතිව, වැස්සට පින්නට තෙමෙන්නේ නැතිව, පාවිච්චි කරන්නට පුළුවන් වුණා. වෙඩි තැබීම පෙරට වඩා ඉක්මනින් කරන්න පුළුවන් වුණා. පහත සජීවීකරණය බලන්න. පත්තු වෙනතුරු ඉවසන්න. මේවා පරණ තුවක්කු.

flashpan

ඉතිං හිනාවෙන්න එපා. ඔබට පුදුම හිතෙයි මා ඊළඟට කියන කාරනාව ගැන දැනගත්තම. මොකක්ද දන්නවද? මේ උපක්‍රමය තමා වර්තමාන ගිනි අවි සංකල්පය සඳහා යොදාගත් වැදගත්ම සංකල්පය. මේ සංකල්පය ඔස්සේ, ඊළඟට නිපදවුණු ගිනි අවි සහ, ඒවායේ ක්‍රියාකාරිත්වය ඊළඟට බලමු. 
 
Matchlock Method 
 
   මැච්ලොක් කියන වචනෙට, තනි සිංහල වචනයක් දෙන්නට නම් අපහසුයි. මේ තමයි,  ගිනි බිඳිල්ල තරමක් දුරට ඉදිරියට ගෙන ආ ක්‍රමය. 15 වැනි සියවසේ මැද භාගයේ සොයාගත් මේ ක්‍රමය, 17 වැනි සියවස දක්වා භාවිතයට ගැනුණා. රොබින්සන් කෘසෝ කතාවෙත්, මේ වගේ තුවක්කුවක් ගැන කියවෙනවා. මෙන්න ඒ තුවක්කුවේ න්‍යාය සජීවීකරණයකින්.
match
   මා හිතනවා, මේ සජීවීකරණය ඔබට එක්වරම තේරුම් ගන්න අපහසුවෙයි කියා. හොඳයි, මම විස්තර කරන්නම්. ඔබේ වම් අත පැත්තේ තමයි තුවක්කු බටයේ කෙළවර තියෙන්නේ කියා සිතන්න. දකුණු අත පැත්තේ තියෙන්නේ තුවක්කුවේ මිට. Burning Wick කියන්නේ නිතර දැල්වෙමින් පවතින, ලණු කෑල්ලක් වැනි තිරය බව ඔබ දන්නවා. 
 
   Flash Pan  එක ඇතුලේ තමයි තියෙන්නේ තුවක්කු බටයේ තිබෙන වෙඩිබෙහෙත් පත්තුවීම සඳහා මූලික ගිනිබලය දෙන වෙඩිබෙහෙත් ටික. එය පිටටට හැලීම, තෙමීම, සුළඟින් ගසාගෙන යාම, වලක්වන්න තමා Flash Pan Cover නමින් ආවරණයක් තිබෙන්නේ. 
 
   බලන්න වෙඩි තැබීමට පෙර එය ඉවතට කරකවනවා. ඉන්පසු විවෘත වන Flash Pan එක මතට එනවා දැල්වෙන තිරය. එයින් අර වෙඩි බෙහෙත් ගිනිගන්නවා. දැන් තේරුනා නේද? පොඩි වීඩියෝ එකක් බලමු. එතකොට තවත් පැහැදිලි වෙනවා. 

 

   අමතක කරන්න එපා. පෘතුගීසීන් අපේ රටට මුලින්ම පැමිණි කාලයේ, ඔවුන් සතුව,  මේ වර්ගයේ තුවක්කු තිබෙන්නට ඇති. 

Wheellock Method 

   මුලින්ම බලමු, මොකක්ද ‘වීල් ලොක්’ තුවක්කුවක තිබෙන තාක්‍ෂණය කියා. බලන්න පහත සජීවී කරණය. 
wheel
මේ ක්‍රමය 1517 දී, ජර්මනියේදී සොයාගත් බවයි මූලාශ්‍රවල සඳහන් වෙන්නේ. කොහොමද මෙය ක්‍රියාත්මක වෙන්නේ? මේ තුවක්කුවේ තියනවා ප්‍රහාරක යාන්ත්‍රණයක්. එය හඳුන්වන්නේ Striker Arm යනුවෙන්. ඔබට පෙනෙනවා ඇති සජීවීකරණයේ ආරම්භක අවස්ථාවේ එය පසුපසට ඇද තිබෙන්නේ. එහි තිබෙනවා කළු පැහැති උලක් වැනි දෙයක්. ඒ තිබෙන්නේ Pyrite යනුවෙන් හැඳින්වෙන ඛනිජ වර්ගයක්. මෙම ඛනිජ වර්ගය රළු මතුපිටක ඇතිල්ලුනාම, එයින් ගිනි පුපුරු උපදිනවා. බලන්න මේ තුවක්කුවෙත් තියනවා, Flash Pan Cover එකක්. එය විවෘත වුනාම Flash Pan එකේ තිබෙන වෙඩිබෙහෙත් නිරාවරණය වෙනවා. 
 
   තුවක්කුවේ කොකා මිරිකුවාම, Striker Arm එක Flash Pan එක ළඟට පහත් වෙනවා. එවිටම Striker Wheel එක කරකැවෙනවා. එහි රළු මතුපිටෙහි, Striker Arm එකේ තියන Pyrite ගල ඇතිල්ලීම නිසා, ගිනි පුපුරු විහිදෙනවා. ඒවායින්, Flash Pan  එකේ තියන වෙඩිබෙහෙත් ගිනිගැනීමෙන්, තුවක්කුව පත්තුවෙනවා. මැච්ලොක් තුවක්කුවේ වගේ, ගිනි ඇවිලෙන තුරු බලාඉන්න ඕනේ නැහැ. මේ බලන්න වීඩියෝව.

 

 Snaphaunce Method
 
   ඊළඟට ලෝකයට බිහිවූ තුවක්කු යාන්ත්‍රනය හැඳින්වුණේ ස්නැෆෝන්ස් යනුවෙන්. මෙය ක්‍රි.ව. 1570 දී ජර්මනියේදී වැඩිදියුණු කල ක්‍රමයක්. පහත දැක්වෙන්නේ අදාළ සජීවීකරණයයි. 
snap
මෙහිදී Pyrite ගලක් වෙනුවට, ගිනි ගලක් යොදාගෙන ඇති අතර, ගිනිගල පහතට නැවී, ගිනිපුපුරු ඇතිකිරීම සඳහා නිමවා ඇති මතුපිටෙහි ඇතිල්ලීයාම යන සියල්ල, යාන්ත්‍රිකව සිදුවන ආකාරයට සකසා තිබෙනවා. පහත දැක්වෙන වීඩියෝවෙන්, ඔබේ දැනුම තවත් පුළුල්වනු ඇති.

 

Flintlock Method
 
   ෆ්ලින්ට්ලොක් ක්‍රමය, 1612 දී ,ප්‍රංශයේදී නිර්මාණය කෙරුණු තුවක්කු  යාන්ත්‍රණ ක්‍රමයක්. මුලින්ම බලමු සජීවීකරණය.
flintlck
   මේ ක්‍රමය ස්නැෆෝන්ස් ක්‍රමයට වඩා සරලයි. කාර්යක්ෂමයි. ඒ නිසා මේ ක්‍රමය 17 වැනි සියවස දක්වා ප්‍රචලිතව තිබුණා. බ්‍රවුන් බෙස් නමින් නිපදවුණු ෆ්ලින්ලොක් තුවක්කු වර්ගය අතිශයින් කාර්යක්ෂම තුවක්කුවක් ලෙස පිළිගැනුණා. දක්‍ෂ වෙඩික්කරුවකුට, මේ ක්‍රමය යටතේ, විනාඩියකට උණ්ඩ තුනක් පමණ වෙඩි තියන්නට හැකියාව ලැබුණා. මෙහිදී, ගිනිගල සහ එය ඇතිල්ලෙන යාන්ත්‍රණය, වඩා වේගවත්ව ක්‍රියාත්මක වුණා. පහත වීඩියෝවෙන් ඔබට ඒ බව පැහැදිළි වනු ඇති. 

 

 

Percussion Cap Method 
   මේ ක්‍රමය, 1805 දී, බ්‍රිතාන්‍යයේදී වැඩි දියුණු කරන ලද්දක්. මෙහිදී, තුවක්කු බටයට, තුවක්කු කටෙන් වෙඩිබෙහෙත් සහ මූනිස්සම් ඇතුළු කර වෙඩිතබන ක්‍රමය හෙවත්,  muzzle Loading ක්‍රමයේ වඩාත්ම දියුණු අවස්ථාව ලෙස, Percussion cap මේ ක්‍රමය අද්විතීය ස්ථානයක් ලබාගත්තා. මේ ක්‍රමයේදී, පිටතට පෙනෙන ගිනිගලක් හෝ, Flash Pan  එකක් නැහැ. ඒ වෙනුවට, තුවක්කු බටය තුළට කෙලින්ම ගිනිබලය ලබාදෙන යාන්ත්‍රණයක්, මේ තුවක්කුවේ තිබෙනවා. මෙන්න සජීවීකරණය.
percussion
   ඔබ කුඩා දරුවකු කාලේ, ‘කැප් තුවක්කු’ නමැති සෙල්ලම් තුවක්කු පාවිච්චි කර ඇති. එහි තිබෙන කැප් වලට පහර වැදුනම පත්තුවෙනවා. ඇත්තෙන්ම මේ තුවක්කුවේ තිබෙන්නේත්, ඒ ක්‍රමයමයි. ප්‍රහාරයේ පීඩනයෙන් තමා, මේ තුවක්කු කැප් එක පුපුරා, තුවක්කු බටයේ ඇති වෙඩිබෙහෙත් එකවරම ගිනිගැනීමට අවශ්‍ය ගිනි බලය ලබාදෙන්නේ.  මේ බලන්න වීඩියෝව.

 

හොඳයි, මේ තමයි ඉතා ඈත අතීතයේ සිට තුවක්කුව යන ආයුධය වැඩිදියුණු මුල් පියවර තැබූ ආකාරය. හොඳින් මතකතබාගන්න, මේ තුවක්කු වර්ගීකරණය කර තිබෙන්නේ ඒවායේ යාන්ත්‍රණය අනුවයි. වෙනත් නිර්ණායක යටතේ තුවක්කු විවිධ වර්ගීකරණ රාශියකට ඇතුලු කරන්න පුළුවන්. 
 
   18 වනි සියවදේ මුල් භාගයේදී  සොයාගත්, පතරොම් දමා වෙඩි තබියහැකි තුවක්කුව හෙවත් පතරොම් තුවක්කුව මිනිසාගේ අතට ලැබෙනතුරු ලොව හෙල්ලුවේ ඉහත සඳහන් යාන්ත්‍රණ වලට යට් තුවක්කු වලින්.
 
   තවත් මෙවැනි ලිපියකින් හමුවෙමු. 
 
2016 නොවැම්බර් මස 01 වැනි දින 2327 පැය   
Advertisements

Comments on: "ගිනි බිඳිල්ලේ අතීතය" (2)

  1. සුපිරි…………

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: