විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com

ගීතයෙන් ගීතය


sujatha1   නෑ නෑ, ඒ අර සින්දු කියන තරගේ නේ. මේක එහෙම දෙයක් නෙවෙයි. මේක මගේ මතකය අවදි කිරීමක්. පැරණි ගීත සහ ගායක ගායිකාවන් හඳුන්වා දෙමින්, මීට පෙර මා ඉදිරිපත් කල ලිපිය මතකයි නේද? මේ දිනවල, සිංහල බ්ලොග් ලෝකය පුරා, ගීත සාහිත්‍යයට විශේෂ තැනක් දෙන ලිපි, නිතර ලියවෙනවා. ඇත්තටම, පැරණි සිංහල ගීත සාහිත්‍යය ගැන, මගේ මතකය යලිත් අවදිවුණේ, පැරණි හින්දි ගීත සොයමින්, යූ ටියුබ් එකේ සැරිසරණ අවස්ථාවකයි. හින්දි සංගීතය තුලින්, සිංහල සංගීතය පෝෂණය වූ බව, ඔබ බොහෝ දෙනෙකු දන්නවා.

   මුල් කාලයේදී, හින්දි ගීත තනු වලට සිංහල ගීත නිර්මාණය කිරීම, බහුලව සිදුවුනත්, පසු කාලීනව, එහි වටිනාකමක් නැති බව අවබෝධ වූ නිසා, ස්වතන්ත්‍ර ගීත නිර්මාණය කෙරෙහි, දේශීය සංගීතඥයන් යොමුවුණ අතර, 1960 දශකයෙන් ඇරඹුණු, ස්වතන්ත්‍ර ගීත නිර්මාණය නිසා, හින්දි තනු කොපි කිරීම අතහැරී ගියා. එයට තවත් හේතුවක් වුනේ, එවැනි ගීත දැඩි ලෙස විවේචනයට ලක්වීමයි.

   කෙසේ වෙතත් සමහර කොපි ගීත, අද දක්වාම ජනප්‍රියත්වයෙන් නම් ඉහලින් තිබෙනවා. ඔබෙන් බොහෝ දෙනෙකුගේ මතකයේ නැති, එවැනි ගීත කීපයක් හඳුන්වා දෙන්නයි, අද මා උත්සාහ කරන්නේ. මේ ගීත ඉදිරිපත් කරන්නේ, ඒ ඒ වර්ෂය අදාළ කරගෙන නෙවෙයි. මගේ මතකයට නැගෙන ආකාරයටයි.

   ‘මං පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කේ අදයිනෙ ඔයා’ නමැති ගීතය සැබවින්ම අතිශයින් ජනප්‍රියවූ ගීතයක්. මෙහි මුල් ගායකයාගේ නම හෙන්රි පෙරේරා වගේ තමයි මතක. මේ ගීතය, පසු කාලයක, ආර්.මුත්තුසාමි සංගීතඥයාගේ පුත්, මොහාන් රාජ් ගායනා කල බවත් මතකයි. මා මෙහි දක්වන්නේ, සිංහල නාට්‍යවේදියකු වන වික්ටර් විජයන්ත විසින්, එම ගීතය ගායනා කල අවස්ථාවක්.

   මෙතැන් සිට ඉදිරියට දක්වන සෑම වීඩියෝවක්ම, සම්පූර්ණයෙන් නැරඹීමට අවශ්‍ය නැහැ, ඔබේ අන්තර්ජාල දත්ත කෝටාව සීමිත නම්. පළමුවැනි විනාඩි එකහමාර පමණ නැරඹුවාම ඇති. හඬ ඇසුවත් ඇති.

   මං පොඩි කාලේ.

   මේ ගීතයේ තනුව, 1957 වර්ෂයේ තිරගතවූ, ‘තුම්සා නහින් දේඛා’ නමැති හින්දි චිත්‍රපටියේ ගීතයකින් ලබාගත් එකක්. මේ තියෙන්නේ එම ගීතය.

   මොහිදීන් බෙග් සමග ජී.එස්.බී.රානි පෙරේරා ගායනය කරන, ‘පෙම් පහන නිවී’ නමැති ගීතය, නිතර ගුවන්විදුලියෙන් ප්‍රචාරයවූ ගීයක්. විශේෂයෙන්, ප්‍රේමයේ විරහව අත්විඳින තරුණ තරුණියන් අතර නිතර කියවුන, පෙම්පත් වල ලියවුන, ගීතයක්.

   (අපේ කාලේ තිබුණේ එස්.එම්.එස්. ලව් නෙවෙයි. ප්‍රේම සාහිත්‍යයක්. පෙම්පත් කියන්නේ,එක්තරා ආකාරයක සාහිත්‍ය නිර්මාණ)

   මේ ගීතයේ තනුව ලබාගෙන තිබෙන්නේ, 1953 වර්ෂයේ තිරගතවූ, ‘ආ’ නමැති හින්දි චිත්‍රපටියෙන්. මේ තියෙන්නේ එම ගීතය.

   ජී.එස්.බී.රානි පෙරේරා විසින් ගායනා කල, ‘බැඳි ආදරයට මාගේ පිටුපා යාවිද වෙන්වී’ යන ගීතය, අතිශයින් ජනප්‍රිය ගුවන්විදුලි ගීතයක්. එම ගීතය පහත දක්වනවා.

   මේ ගීතයේ තනුව ලබාගෙන තිබෙන්නේ, 1965 වර්ෂයේ තිරගතවූ, ‘අර්සු’ නමැති හින්දි චිත්‍රපටියෙන්. මේ තිබෙන්නේ එම ගීතය.

   එච්.ආර්.ජෝතිපාල ගායනය කල, ‘මේ ජීවනයේ මුළු සංසාරේ’ නමැති ගීතයට, වරක් ජනප්‍රිය සම්මානයක්ද ලැබුනා. මේ තිබෙන්නේ එම ගීතය.

   මේ ගීතයේ තනුව ලබාගෙන තිබෙන්නේ, 1972 වර්ෂයේ තිරගතවූ, ‘ප්‍යාර් කා ඝර්’ නමැති හින්දි චිත්‍රපටියෙන්. මේ තිබෙන්නේ ඒ ගීතය.

   මිල්ටන් පෙරේරා ගායනය කල, ‘කල්‍යාණියෙ ඔබ නෑසූ කතාවක් කියන්නම්’ නමැති ගීතය, අපේ කාලයේ පෙම්වතුන් අමන්දානන්දයට පත් කළ, ඔවුන්ගේ හද පතුළටම කිඳා බැසගත් ගීතයක්. මේ තිබෙන්නේ එම ගීතය.

   මේ ගීතයේ තනුවත්, ඉහත සඳහන් අර්සු චිත්‍රපටියේම එන ගීතයකින් ලබාගෙන තිබෙන්නේ. මේ තියෙන්නේ එම මුල් ගීතයයි. අර්සු චිත්‍රපටිය, ලංකාවේදී, ප්‍රදර්ශන වාර්තා බිඳහෙළු චිත්‍රපටියක්.

   1968 වර්ෂයේ තිරගතවූ, අක්ක නගෝ’ නමැති සිංහල චිත්‍රපටියේ, ලතා වල්පොල ගායනා කල, ‘ගලනා සීත ජලේ’ නමැති ගීය, අතිශයින් ජනප්‍රිය ගීයක්. මේ තිබෙන්නේ එම ගීතයයි.

   මේ ගීතයේ තනුව උපුටාගෙන තිබෙන්නේ, 1960 වර්ෂයේ තිරගතවූ, ‘ජිස් දේශ් මෛන් ගංගා බෙහ්තී හෛ’ නමැති, හින්දි චිත්‍රපටියෙන්. මේ තිබෙන්නේ එම මුල් ගීතයයි.

   1965 වර්ෂයේ තිරගතවූ, ‘සත පණහ’ සිංහල චිත්‍රපටියේ, සුජාතා අත්තනායක ගායනය කළ, ‘මල්සරාට ප්‍රේම ලෝකෙ මාලිගා තනා’ නමැති ගීතය, එකල ඉතා ජනප්‍රිය වුණා. මේ තිබෙන්නේ ඒ ගීතයයි.

   මේ ගීතයේ තනුව ලබාගෙන තිබෙන්නේ, 1961 වර්ෂයේ තිරගතවූ, ‘සසුරාල්’ නමැති හින්දි චිත්‍රපටියේ එන ගීතයකින්. මේ තිබෙන්නේ එම හින්දි ගීතයයි.

   මේ ලිපියෙන් කියවෙන්නේ, කලකට ඉහතදී අහපු ගීත වුනත්, මෑත කාලේ අහපු ගීතයක් ගැනත් කියන්න    හිතුනා. මෑත යුගයේදී, හින්දි ගී තනුවක් අනුකරණය කරමින් ගයන ලද සිංහල ගීතයක් තමයි, චම්පා කල්හාරි ගායනා කරන, ‘මල්යායේ සමනල්ලු’ නමැති ගීතය.

   මේ ගීතයේ තනුව ලබාගෙන තිබෙන්නේ, 1954 වර්ෂයේ තිරගතවූ, ‘ටැක්සි ඩ්‍රයිවර්’ නමැති හින්දි චිත්‍රපටියෙන්. මේ එම ගීතයයි. බලන්න, මේ ජවනිකාවේ පෙනී සිටින නිළියගේ මුහුණ, අද ජනප්‍රිය හින්දි නිලියක් වන, ඓශ්වර්යා රායි ගේ මුහුණට බොහෝදුරට සමානයි නේද කියා. මේ නිළියගේ නම ශීලා රමානි.

   සමහර අවස්ථා වලදී, ප්‍රවීනයන් පවා, දැන හෝ නොදැන, අනුකරණ තනු සහිත ගීත ගායනා කර තිබෙනවා. මේ ඒ සඳහා උදාහරණ.

   ‘පෙම්බර මධු’ චිත්‍රපටියේ එන, ‘පෙම්බර මධු මගේ’ නමැති ගීතය හින්දි/උර්දු චිත්‍රපටියක එන ගීතයක තනුවක් අනුකරණය කිරීමක්.

   මේ තියෙන්නේ මුල් ගීතය ‘චිරාග් කහාන් රෝෂනී කහාන්’ නමැති චිත්‍රපටියෙන්.

   නන්දා මාලනීටත් වැරදුනාද?

   නන්දා මාලනී ගයන, ‘ඔබ අපෙයි ශ්‍රී ලංකා’ නමැති ගීතය, ඔබ අසා ඇති බවට සැකයක් නැහැ.

   එම තනුවටම ගැයුණු, උර්දු ගීතයක් තමා මේ තියෙන්නේ. මේ ගීත දෙකෙන්, මුලින් නිර්මාණය වූයේ කොයි ගීතයද යන්න මට ගැටළුවක්.

   මෙවැනි ගීත සිය ගණනක් මතකයේ තිබුණත්, ඒ සියල්ල මෙහි දැක්වීම අවශ්‍ය නැති බවයි, මගේ හැඟීම. මේ ගීත ඉදිරිපත් කිරීමෙන් අදහස් කළේ, අපේ ගායක ගායිකාවන් පහත් කොට දැක්වීමක් නොව, අතීතයේදී, ඉන්දීය සංගීතය, අපේ සංගීතයට කොතරම් විශාල බලපෑමක් කලේද යන්න පැහැදිළි කිරීමටයි. මේ හා සම්බන්ධ තවත් අතිරේක තොරතුරු, ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නට තරම් කරුණුත්, මා මතකයේ තිබෙනවා. අනාගතයේදී, එම කරුණු ඔබවෙත ගෙන එන්නට සිතා සිටිනවා.

2016 සැප්තැම්බර් මස 10 වැනි දින 2324 පැය

Advertisements

Comments on: "ගීතයෙන් ගීතය" (8)

  1. ​විචාරකතුමා බොහොම මධ්‍යස්තව කරන ඉදිරිපත් කිරීම සැබවින්ම සාධාරණයි. අපේ ගුවන් විදුලිය කොළඹ සිට හින්දි ගී ඉන්දියාවට විකාශණය කල අවධියේ පටන් සිංහල ගීතය බොහෝ දුර ගමනක් පැමිණ ඇත. අපි පාසැල් යන කාලයේ ගෙදර තිබු කොලපාට ලොකු ඇහැක් වැනි ලයිට් එකක් තිබු පිලිප්ස් රේඩියෝවේ අමරදේවයන්ගේ ගීතයක් යන විට අපේ අම්මා කොහේ සිට හෝ පැමිණ “මේ අමරයා නහයෙන් අඬනවා” කියා රේඩියෝව වසා යන්නට පුරුදු වී සිටියාය. ​පසුව සී ද එස් කුලතිලක මහතා ජනගී ආශ්‍රයෙන් කළ ගී නිර්මාණ ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන්නට පටන් ගත්තාට පසු අපේ ගෙදරද සෑහෙන වෙනසක් ඇති විය. සිංහල ගී විප්ලවයේ මල් පලගත්තේ රිජ්වේ තිලකරත්න මහතා ගුවන් විදුලිය භාර ගත්තාට පසුවය. කෙළවරක් නොමැතිව ඇසෙන්නට පටන් ගත් දේශාභිමානි ගී වලට අමතරව නිර්මාණය වූ ප්‍රබුද්ධ ගී නිසා හින්දි තනු අනුකරණ ක්‍රමයෙන් අඩුවී ගියේය. එහෙත් විචාරක තුමා කියා ඇති පරිදි හින්දි තනුවලට ගැයූ ඇතැම් සිංහල ගී තවමත් ජනප්‍රියව පවතී. අපි ඒවා ඇසීම නවත්වා දැමුවේද නැත. නමුත් මට දැන් ඇති එකම ප්‍රශ්ණය වික්ටර් රත්නායක වැනි ප්‍රවීණයෙක් පෙම්බර මධු ගැයුවේ එක අනුකරණ ගීයක් බව නොදැනදැයි කියා හිතා ගන්නට බැරි කමය. තනුව කුමක් හෝ වේවා වික්ටර් රත්නායකයන්ගේ ගායනාවද කරුණාරත්න අබේසේකරයන්ගේ ගී පදමාලවද පී .එල්.ඒ. සෝමපාලයන්ගේ සංගීතයද ඉතා උසස් තත්වයක පැවති බව නම් පිළිගත යුතුය. අපි ඒ එක්තරා ආකාරයක සුන්දරවූ අතීතයට නැවත ගෙනයාම ගැන විචාරකතුමාට බොහොම පිං .

    • අනේ තිස්ස, ඔය තුමා කෑල්ල කපලා, නිකම්ම විචාරක කියන්නකෝ. එතකොට පරණ කෑගලු සබැඳියාව තවත් වැඩිවෙනවා.

      මතකද SLBC හින්දි සේවය. අර ෂෙල්ටන් පෙරේරා ගායකයාගේ බිරිඳ හින්දි ජාතික ශෂී පෙරේරා එහි නිවෙදිකාවක්ව හිටියා. ඒ සේවය ඉන්දියාවේ හරිම ජනප්‍රියයි.

      හෙහ් හෙහ්, අපේ තාත්තලාටත් අමරදේව ඇල්ලුවේ නැහැ. ඔව්වා ඔහොම තමයි අර ෆිලිප්ස් රේඩියෝ ගැන මම ලියපු ලිපි මාලාවක් තියනවා.

      මෙන්න පළමුවැනි කොටස

      ඔබේ අදහස් ගොන්න හරිම වටිනවා. අපේ කාලයේ ආපසු සැරිසැරීමක් තමයි මේ ලිපිය තුළ තිබෙන්නේ.

  2. සංගීතය අතින් ඉන්දියාව වගේ දැවැන්තයෙක් ළඟ ඉන්නකොට ඒ බලපෑමෙන් මිදෙන්න කොහොමත් බෑ. දැන හෝ නොදැන ඒ බලපෑමට යටත්වෙන්න සිද්ධවෙනව. ඉන්දියානු සංගීතයේත් වෙනත් රටවලින් අනුකරණය කරපු ගීත දකින්න තියනව කියල අහල තියනව. (බොඩිගාඩ් චිත්‍රපටයේ තේරී මේරී ගීතය එහෙම එකක්ලු). බොහොම ස්තුතියි ලිපියට

    • අපි ඉන්නේ ඉන්දීය උප මහාද්වීපය අසළ. සිංහලයන් හැදුනේ ඉන්දියාවෙන් ආව මිනිසුන්ගෙන්. ඉතින් ඔවුන්ගේ සංගීතය අපේ ලේ වලට මිශ්‍රවී තිබීම පුදුමයක් නෙවෙයි.

  3. අති විශිෂ්ටයි තුමනි… මේ ජීවනයේ මුළු සංසාරේ ගීතය මම ආසම ගීතයක්.සමහර දවස්වලට දවස පුරාම මේ ගීතය මුමුණ මුමුණ ඉන්න්වා.මේ ළඟදී මේරියන්ස්ලගේ ප්‍රසංගයක් බලන්න ගියා.ඒ ප්‍රසංගයේදී මේරියන්ස් නලින් මේ ගීය අපූරුවට ගායනා කරා.දැන් මේ ගීය තවත් සමීප වෙලා තියෙන්නේ උදාරා හිත සින්නක්කරම ලියාගෙන ඉන්න නිසා 🙂 🙂

    • බොහොම ස්තුතියි. මමනම් බොහෝදුරට අහන්නේ මුල් හින්දි ගීත පමණයි. එතුලින් මම ඉතා ඈත අතීතයකට යනවා.

      කොහොම මොන භාෂාවෙන් කිව්වත් මේ සංගීතය අපේ ලේ වල තියනවා නේද?

      • හරියටම හරි… අඩුම ගානේ තමන්ගේ ඉස්කෝලේ කාලේ සින්දුවක් කියලා ඩෙස්ක් එකකට තට්ටුවක් නොදාපු කෙනෙක් සොයාගන්න අමාරු ඒකයි (පොතේ ගුරාලත් අපි අතර නොහිටියා නෙවෙයි)

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: