විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


 img_5596-1024x768-620x413  මම අද මෝටර් බයිසිකල් චිත්‍රපටිය නැරඹුවෙමි. චිත්‍රපටිය නරඹා, ආපසු නිවස වෙත වාහනය පදවන අතර, මා, මගේ බිරිඳ සහ, දියණියන් අතර ඇතිවූ සංවාදයද පදනම් කරගනිමින්, ඊට අමතරව තනිවම සිතමින් ආ කරුණු ද සලකා බලමින්, රාත්‍රී ආහාරයෙන් පසු, හරි බරි ගැසී පරිගණකය වෙත වාඩිවුණේ, සිනමා විචාරයක් කෙසේ වෙතත්, මගේ සිතුවිළි අකුරු කරන්නටය.

   මේ ලියන්නේ, අවංකවම මේ චිත්‍රපටිය ගැන මගේ හිතේ ඇතිවුණු අදහස් ය. ඒ අදහස් සමග ඔබ එකඟවීම මට අවශ්‍ය නැත. මා බලන්නේ මගේ දෘෂ්ටි කෝණයෙනි. මගේ දෘෂ්ටි කෝණයෙන් බලන්නට ඔබ බැඳී නැති අතර, මම ද ඔබේ දෘෂ්ටි කෝණයෙන් හෝ එසේ නැතහොත්, මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂ වරයාගේ දෘෂ්ටි කෝණයෙන් බලන්නට බැඳී නැත්තෙමි. අප සියලුදෙනා ස්වාධීන පුද්ගලයන් බැවින්, ස්වාධීනව අදහස් දැක්වීමේ අයිතිය, මම මෙහිදී භුක්ති විඳින්නෙමි.

   මේ චිත්‍රපටිය නරඹන්නට පෙර, අජිත් පැරකුම් ජයසිංහ විසින් මෙම චිත්‍රපටිය පිළිබඳව ඉදිරිපත් කරන ලද ලිපිය කියවා තිබුනෙමි. කෙසේ වෙතත්, ඒ ලිපිය කියවා, මා මෙම චිත්‍රපටිය ගැන සිතා සිටි අදහස්, සම්පූර්ණයෙන්ම වෙනස් වූ බව, මුලින්ම කිවයුතුයි. එය, අජිත් පැරකුම්ගේ වරදක් නොවේ. ඔහු ලියන්නේ, ඔහුගේ දෘෂ්ටි කෝණයෙනි. ඒ සඳහා පූර්ණ නිදහස හා අයිතිය ඔහුට ඇත.

   මගේ මතකයේ හැටියට, චිත්‍රපටියක් යනු කුමක්ද යන්න තේරුම් ගතහැකි ආකාරයට, මා චිත්‍රපටි නැරඹීම ආරම්භ කලේ, 1960 දශකයේ අග භාගයේදීය. මගේ සිනමා ගුරුවරයා වූයේ, සැබෑ ජීවිතයේදී ද ගුරුවරයකු සහ පුවත්පත් චිත්‍ර ශිල්පියකු වූ, මගේ බාප්පාගේ පුතාවන, විරාජිත් මහේන්ද්‍ර ආර්යසිංහ ය. ඔහු මට, සිංහල , ඉංග්‍රීසි, හින්දි, චිත්‍රපටි රාශියක් නැරඹීමේ අවස්ථාව සලසා දුන් අතර, එසේ නැරඹීමෙන් පසු, ඒ චිත්‍රපටි ගැන, මා සමග සාකච්ඡා කරමින්, යම්කිසි විචාරයක යෙදීමටත්, එකල පුවත්පත්වල පළවුණ සිනමා විචාරයන් කියවීම සඳහා, මා පෙළඹවීමටත්, ක්‍රියාකළේය.

   මේ වනවිට මා, යටත් පිරිසෙයින්, චිත්‍රපටි 500 ක් පමණ නරඹා ඇතැයි සිතමි. සිනමාහල් වලදී ද, වීඩියෝ කැසට් මගින් ද, ඩීවීඩී තැටි වලින් ද, අන්තර්ජාලයෙන් බාගත කරගැනීමෙන් ද, සිංහල, ඉංග්‍රීසි, හින්දි සහ සමහර වෙනත් භාෂා වලින් නිපදවා ඇති චිත්‍රපටි ද, නරඹා ඇත්තෙමි.

   මෙතෙක් මා චිත්‍රපටියකදී අසා ඇති, අතිශයින් කර්ණ කඨෝර, අවිනීත, අසංවර, ජුගුප්සාජනක, බෑඟිරි ගෑමක් අසා ඇත්නම්, එය මේ ‘මෝටර් බයිසිකල්’ චිත්‍රපටියේ, ‘ඊනියා පසුබිම් ගීත’ ලෙස ඔබා ඇති, විප්‍රකාරයන් බව ඉඳුරාම ප්‍රකාශ කරමි. මේවා ගීත නම්, මහ පාර අයිනේ, පදික වේදිකාවේ සිඟා කමින්, ජපන් මැන්ඩලීනයකින්, ‘අඩු කුලේ කියාලා අසරණයා’ ගීතය, යන්තමින් වයන යාචකයා, මහා ගාන්ධර්වයෙකැයි, මම නොබියව කියමි. මුළු චිත්‍රපටිය පුරාම පැතිරී තිබුණු, මේ අප්‍රසන්න බව, අමාරුවෙන් ඉවසා සිටියෙමි.

   මෙහිදී අධ්‍යක්‍ෂ වරයාට එක් දෙයක් කීමට කැමැත්තෙමි. රැඩිකල් සංගීතය කියා දෙයක්, අද්‍යතන සමාජය විසින් සම්මත කරගෙන තිබෙන්නට පුළුවන්. එය සම්මතයක් විනා, සම්ප්‍රදායක් හෝ, යම් මූලධර්ම මත පිහිටි දෙයක් නොවේ. ‘ඒක තමා ඕයි එව්වට රැඩිකල් කියන්නේ’ කියා, අධ්‍යක්‍ෂවරයා කියන්නේ නම්, ඒ රැඩිකල් කම මටනම්, සුනඛයකුගේ පශ්චාද් භාගයේ බැඳී මීයක් හා සමානයැයි කියමි.

   මුල මැද අග සහිත කතා හෙවත්, ‘ඔන්න එකෝමත් එක රටක’ කියා පටන්ගෙන, ‘ඉක්බිති සියල්ලෝ සතුටින් ජීවත් වූහ’ යනුවෙන් අවසන් කරන චිත්‍රපටි, දැන් යල් පැනගොස් ඇති බවත්, ප්‍රේක්ෂකයාගේ මනස තුළ යම් කම්පනයක් ඇතිකොට, ඒ ඔස්සේ, ඔහුද චිත්‍රපටියේ පාත්‍ර වර්ගයාගේ සමාජයේ සාමාජිකයකු ලෙස සිතන්නට පොළඹවන චිත්‍රපටි, වර්තමාන ලෝකයේ සිනමා නිර්මාණවල පදනම වී ඇති බවත්, එය එසේම වියයුතු බවත්, මම පිලිගනිමි. ‘රෂොමොන්’ වැනි චිත්‍රපටියක ඇති එකී සුවිශේෂී ලක්‍ෂණය, සිනමාව, කොතරම් ප්‍රබල ලෙස, මානව චර්යාවන් විග්‍රහ කිරීමේ මාධ්‍යයක් ලෙස භාවිත කළහැකිද යන්නට, එක් උදාහරණයක් පමණි.

   නවක සිනමාවේදීන්, නවමං ඔස්සේ ගමන් කිරීම, සතුටට කරුණකි. එහෙත්, එකී නවමං, සිනමානුරූපී වන්නේද නැද්ද යන්න පිළිබඳව, සැලකියයුතු තරම් බරපතළ මට්ටමෙන් සිතා බැලීමට ද, අධ්‍යක්‍ෂ වරුන් උත්සුක වියයුතුය.

   මෝටර් බයිසිකල් චිත්‍රපටියේ ප්‍රධාන නළුවා, මීට පෙර මම කිසිදු චිත්‍රපටි/ටෙලි නාට්‍ය/ නිර්මානයක දැක නැත්තෙමි. එබැවින්, මට ඔහු නවක නළුවෙකි. සමනලී ෆොන්සේකා නමැති නිළිය, මා මුල්වරට දුටුවේ, ටෙලි නාට්‍යයකිනි. එහිදී ඇයට පැවරී තිබුණේ, බොළඳ තරුණියකගේ චරිතයකි. එහිදී ඇය, සෑහෙන තරම් සාධාරණයක්, එම චරිතයට ඉෂ්ඨ කළාය.

   මෝටර් බයිසිකල් චිත්‍රපටියේ දී, මේ නළු නිලි යුවල, අධ්‍යක්‍ෂවරයා විසින් කියාදුන් අභ්‍යාස, (drill) අකුරටම කර පෙන්වනු විනා, කිසිදු රංගන වින්‍යාසයක්, ප්‍රතිභාවක්, නොපෙන්වයි. මට මතක්වුනේ, ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටියේ ප්‍රධාන නිළිය වූ, අනසුයා සුබසිංහ ය. (නම හරිද මන්දා) හෝ ගානා පොකුණේ ඇය දැක්වූ රංගන ප්‍රතිභාව, ප්‍රවීණයන්ට පවා අභියෝගාත්මක බව, මගේ අදහසයි. මෝටර් බයිසිකල් නළු නිළි යුවල, අධ්‍යක්‍ෂ වරයාගේ සෘෂි භාෂිතයෙන් එකදු මිලි මීටරයක්වත් වෙනස් වී, ස්වාධීනව යමක් කිරීමට උත්සාහ නොකිරීම නිසා, ඔවුන් සතු යම් රංගන කුසලතාවක් ඇත්නම්, එය මොටවී ගොස් ඇත්තේ ඉතා අවාසනාවන්ත ලෙසටය.

   වීණා ජයකොඩි, නෙතලී නානායක්කාර, දෙදෙනා අධ්‍යක්‍ෂ වරයා විසින් පාවිච්චි කරන්නේ නිකම් සක්ක ගල් දෙකක් ලෙස පමණි. වීණා ජයකොඩි, ඇගේ මව වූ රෝහිනී ජයකොඩි මෙන්ම, ජනප්‍රිය නිළියක මිස දක්‍ෂ නිලියක් නොවේ. අම්මා සහ, පියා නැති පුතා අතර සම්බන්ධය, මීට වඩා තීව්‍ර ලෙස දැක්වූවානම්, කතාවේ ගැඹුරක් ඇතිකළ හැකිව තිබුන නමුත්, කණගාටුදායක ලෙස එය චිත්‍රපටියෙන් ගිලිහී ඇත.

  කුමාර තිරිමාදුරට රඟපෑමට චිත්‍රපටි හෝ ටෙලිනාට්‍ය නැත්නම්, ත්‍රිරෝද රථයක් පදවා ජීවිකාව ගැටගසාගනීම යෙහෙකි.

   අනෙකුත් සුළු චරිත සඳහා ගෙන තිබෙන නවක නළු නිලියන්, ඉදිරියේදී, රංගනය ගැඹුරින් හදාරනු ඇතැයි සිතමි. ඔවුන් ගැන දැන්මම යමක් කීමට, මම ඉක්මන් නොවෙමි.

   මහේන්ද්‍ර පෙරේරා, හැමදාම, මේ චිත්‍රපටියේ දැක්වෙන ආකාරයේ චරිත වලට කොටු නොවී සිටින්නට උත්සාහ කරනවානම් හොඳයි. ප්‍රධාන නළුවා, මහේන්ද්‍ර පෙරේරාගෙන් බයිසිකලය මිලදීගන්නා අවස්ථාවේදී, මහේන්ද්‍ර පෙරේරාගේ ප්‍රතිභාව ඉදිරියේ, ප්‍රධාන නළුවා දැඩි පසුබෑමකට ලක්වෙයි.

   ට්‍රැෆික් පොලිස් විහිළු, පාක් එකේ ලව් කරන විහිළු, අද්‍යතන තරුණ පරපුරේ ගැටළු විග්‍රහ කිරීමක් ලෙස, මම නොදකිමි. යටත්පිරිසෙයින්, පෞද්ගලික අංශයේ රැකියා ස්ථානයක, මෙවැනි තරුණයන් සූරාකෑමට ලක්වන හැටි, ඔවුන් බලාපොරොත්තුවන සංගීත ලෝකය තුළ ඇත්තේ ද, නවකයන්ගේ හැකියාව විකුණාගෙන කෑමක් බව පෙන්වාදෙන අවස්ථා නිරූපනයක් ඇතිකලානම්, මීට වඩා අර්ථවත් ලෙස, මේ පරපුර, ‘විහින්ම පැන නැසීයන’ ඛේදවාචකයේ මහත නිරූපණය කරන්නට ඉඩ තිබුනි.

   චිත්‍රපටියක් වේගයෙන් ගලායාම පමණක්, එහි සාර්ථකත්වයට හේතු නොවේ. සංස්කරණ ශිල්පියා, රූප ඡේදනය කරන සමහර අවස්ථා, නිකම් කතුරෙන් කපා ඇලවීමක් වැනිය. පෙම්වතුන් යුවල මෝටර් බයිසිකලයේ යන අවස්ථා කීපයකදී, ඒ දුර්වලත්වය දකින්නට ලැබුණි. ආලෝක කරණයේදී සෑහෙන තරම් සාර්ථක බවක් දුටුවෙමි.

   අවසාන ජවනිකාවේදී, ප්‍රධාන නළුවා, රාත්‍රියේ පාර දිගේ ඇවිද එන අවස්ථාවේදී, පාරේ විදුලිපහන් කණු වලින් ආලෝකය පතිත වන ආකාරය, සාර්ථකව සකසා නැත. නළුවාට සමාන්තරව ගෙනයන ආලෝක කදම්බය, දැඩි කෘත්‍රිම බවක් පෙන්වයි. හිසට ඉහලින් මාරුවන (අඩුවී වැඩිවන) ආලෝක ධාරාවක් යෙදවූයේ නම් වඩාත් උචිතයි.

   වෙඩි හඬ ඉදිරිපත් කිරීම අතිශයෙන් අසාර්ථකය. පිස්තෝල වෙඩිල්ලක හඬ, බටහිර චිත්‍රපටියකින් අසා, ඒ අනුව හඬ මුසුකලානම් වඩාත් උචිතයි. මෙතන ඇහෙන්නේ ගල්බෝර හඬකි.

   මේ අධ්‍යක්‍ෂවරයා, අද්‍යතන තරුණ පරපුරවෙනුවෙන් හඬක් නගන්නට දරන ලද උත්සාහය ප්‍රශංසනීයය. ඒ සඳහා ඔහු යම් අධ්‍යයනයක් කර ඇති බවත්, යම් වෙහෙසක් දරා ඇති බවත් පෙනීයයි. කෙසේ වෙතත්, අද්‍යතන තාරුණ්‍යයේ සැබෑ ගැටළු ප්‍රාමාණික ගැඹුරකින් නිරූපණය කරන්නට ‘මෝටර් බයිසිකල්’ චිත්‍රපටිය 100%ක් සමත් නොවුනද, සමාජයේ අවධානය දිනාගැනීමට සමත් නිර්මාණයක් ලෙස මෙම චිත්‍රපටිය හැඳින්විය හැකිය.

   මේ අධ්‍යක්‍ෂවරයා, තවදුරටත් සිනමාව හදාරනු ඇතැයි අපේක්ෂා කරමි.

2016 සැප්තැම්බර් මස 11 වැනි දින 2345 පැය

Advertisements

Comments on: "හරියට නොපැදපු ‘මෝටර් බයිසිකල්’" (8)

  1. අනේ මන්දා, මමනම් තාම බැලුවෙ නෑ. කොහොම උනත් සිංදුනම් පජාතයි.මම ඇහුව. හොද ලිපියක්

    • ඇත්තටම මේ චිත්‍රපටියේ සංගීතය සහ පසුබිම් ගායනා අනවශ්‍ය ලෙස රැඩිකල් කරන්න යාමෙන් තමයි අප්‍රසන්න තත්වයක් ඇතිවී තිබෙන්නේ.

      ඇගයීම ගැන ස්තුතියි.

  2. /මට මතක්වුනේ, ‘හෝ ගානා පොකුණ’ චිත්‍රපටියේ ප්‍රධාන නිළිය වූ, අනසුයා සුබසිංහ ය. (නම හරිද මන්දා) හෝ ගානා පොකුණේ ඇය දැක්වූ රංගන ප්‍රතිභාව, ප්‍රවීණයන්ට පවා අභියෝගාත්මක බව, මගේ අදහසයි./
    අනුසුයා ලංකාවේ ඉන්ග්ලිෂ් වේදිකා නාට්‍යවල ප්‍රථිභාපූර්ණ රංගධාරියක්ලු.මම ඇයගේ රංගනය රස වින්දේ ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ කලම්බෝ වේදිකා නාට්‍යයෙන්.මම කලම්බෝ පස් වතාවක් බැලුවේ අනුසුයාගේ රංගනය හින්දා කියලත් කියන්න පුලුවන්

  3. මහත්මයාණනි, මා පොදුවේ යමක් කියන්නම්. මම නම් මෙම චිත්‍රපටිය නරඹා නැහැ. ඒ වගේම සිංහල චිත්‍රපටි මම දැන් නරඹන්නේ ඉතා කලාතුරකින් කියුවත් වරදක් නැහැ. මම නම් දකින විදියට හරසුන් බොළඳ චිත්‍රපටි සහ විකට, ෆැන්ටසි චිත්‍රපටි යනාදී චිත්‍රපටි හැරුන කොට සම්භාව්‍ය යයි වර්ගීකරණයට ලක්වන ඕනෑම රටක චිත්‍රපටියකින් එම රටේ සමාජ ස්වභාවය ඉස්මතු වෙනවා කියන අරුත තමයි මට සාමාන්‍යෙයන් තිබෙන්නේ.

    උදාහරණයකට ගත්තොත් හොලිවුඩ් චිත්‍රපටි බොහෝමයක පාහේ දික්කසාදය, එතනින් ගත්තහම ගිනි අවි භාවිතය, ගැහැණු පිරිමි අතර ඇතිවන කායික සම්බන්ධකම්, අවුරුදු 18 පිරුණ තරුණයන්ගේ ක්‍රියාකාරකම් යනාදිය ඒ රටවල සාමාන්‍යෙයන් තිබෙන ආකාරයම ආභාෂයට ගැනීම තමයි පෙනෙන්නේ. ඒ එක්කම් අපේ සිනමාව ගත්තහම ඒකේ දුක, පෂ්චත්තාපය, දිළිදුකම, විවාහයට පෙර ඇතිවන සබදකම් නිසා ජීවිත උඩුයටිකුරුවීම යනාදී බොහෝ කාරණා ඒ අපේ රටේ බහුතරයක් විදින්නාවූ හැලහැප්පීමම තමයි පෙන්වන්නේ.

    ඉන්දියාවේ ගත්තත් විනෝදාත්මක චිත්‍රපටි හැරුනකොට ඒ රටේ තිබෙන සමාජමය වටපිටාවම තමයි චිත්‍රපටි තුලට සවිඥානිකව හෝ අවිඥානිකාව ගැබ්වෙලා තිබෙන්නේ. එය තමයි මට නම් හැඟෙන දෙය…

    • බොහොම හොඳ අදහස් දැක්වීමක්. ඇත්තෙන්ම සෑම රටකටම ආවේනික ලක්‍ෂණ, ඒ ඒ සමාජයේ සිටින මිනිසුන්ගේ චර්යා ලක්ෂණ වලින් වගේම, ඔවුන් කරන කලා නිර්මාණ තුළිනුත් නිරූපණය වෙනවා.

      මෝටර්බයිසිකල් චිත්‍රපටිය, අපේ රටේ වල්මත්වූ තරුණ ජීවිත ගැන කියන්නට දරන ලද සතුටුදායක උත්සාහයක් ලෙස මමත් දකිනවා. නමුත් මෙහි ඇති පණිවිඩය සමාජගතවන ආකාරය සාර්ථක නැහැ.

      හොලිවූඩ් සහ ඉන්දියානු ජනප්‍රිය රැල්ලේ චිත්‍රපටි පමණයි අපේ ඇහැට වදින්නේ නමුත් බටහිර මෙන්ම පෙරදිග රටවල් බොහොමයක ඉතා අගනා නිර්මාණ බිහිවෙනවා. ඉරාන සිනමාවේ එවැනි විශ්මයජනක නිර්මාණ තිබෙනවා.

  4. චිත්‍රපටය නරඹා මිසක විචාරයේ යෙදීමට මට සිතෙන්නේ නැත.මගේ මුණු පොතේ නම් කිසිවෙකු ප්‍රකාශ කලේ මෙය තරුණ පරම්පරාවේ ඔහුගේ පැතිකඩ (ලියා තුබූ රචකයාගේ ) කතා වස්තුව බවයි. කෙසේ නමුදු බැලු කලෙක ඔබවෙත පැමිණෙන්නෙමි. (සිංහල චිත්‍රපට කවදා බලයි ද මට සිතාගත නොහැක 🙂 )

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: