විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


   ඔව්, මම පිළිගන්නවා. මාතෘකාව ටිකක් අශ්ලීල වචන වලින් ලියවෙලා තියෙන්නේ. නමුත් කරන්න දෙයක් නැහැ. දැන් දැන් අහන්න ලැබෙන දේවල් අනුව, මේ වගේ වචන තමා ලියන්න වෙන්නේ. මේ ලිපිය ලියන්න නිමිත්ත වුනේ යුද හමුදා නිලධාරියකු විසින්, තම බිරිඳ ඝාතනය කිරීමේ අරමුණෙන්, ඇයට වෙඩි තැබුවායයි චෝදනා ලැබීමේ සිද්ධියයි.

   ඔබ බොහෝ දෙනෙක්, දැන් මේ ගැන ජනමාධ්‍ය මගින් විස්තර දැනගෙන ඇති. මේ සිද්ධිය පළමු වරට ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත්වූ වහාම, මා ඒ ගැන සොයා බැලීමක් කළා. පැයක පමණ කාලයක් ඇතුළත, ඒ ගැන විශාල විස්තරයක් දැනගන්නට හැකිවුණා. නමුත්, සිද්ධියට සම්බන්ධ අයගේ ඉතිරිවී ඇති ආත්ම ගෞරවය සහ මානව හිමිකම් ගැන සලකා, මා දැනගත් දේ මෙහි ලියන්නට අදහස් කරන්නේ නැහැ.

   දැනට ජනමාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ වී ඇති තොරතුරු මෙසේයි.

   ශ්‍රී ලංකා යුද හමුදාවේ ලුතිතන් කර්නල් වරයකු, (මාජ්ජ කාරයෝ කියන විදිහට ලුතිනන් නෙවෙයි නිවරදි වචනය ලුතිතන්) සිය බිරිඳ සමග, කාලයක් තිස්සේ පැවති ආරවුලක ප්‍රතිඵලයක් වශයෙන්, ඔහු විසින් හෝ ඔහු විසින් ආධාරයට කැඳවාගත්, හමුදාවේ හෝ හමුදාවේ නොවන පුද්ගලයකු ලවා, සිය බිරිඳට වෙඩි තබා තිබෙනවා.

   එම නිලධාරියාගේ රියදුරු සෙබලා විසින්, පොලීසියට කර ඇති ප්‍රකාශයක් අනුව, නිලධාරියා විසින්, මෙම සිද්ධියෙන් පසු, මිලිමීටර් 9 කැලිබරයේ පිස්තෝලයක්, පාර්ලිමේන්තු පාරේ පාලම අසලදී, දියවන්නා ඔයට විසිකොට ඇති අතර, ඒ ගැන කිසිවක්, කිසිවකුට නොකියන ලෙස, එම රියදුරු සෙබලාට එතැනදීම කියා තිබෙනවා. නමුත්, අද දින, නාවික හමුදා කිමිදුම් කරුවන් විසින්, එම අවිය, දියවන්නා ඔය පතුලෙන් ගොඩ ගත්තා.

   මේ නිලධාරියා මෙසේ දියවන්නා ඔයාට විසිකළේ, යුද හමුදාවෙන් නිළ වශයෙන් තමන්ට නිකුත්කළ පිස්තෝලයයැයි සිතන්නට, මා තරමක් මැලිවනවා. එයට හේතුව, ඕනෑම හමුදා සාමාජිකයකු, හමුදාවෙන් තමන්ට නිකුත් කර ඇති ගිනි අවිය ගැන, පූර්ණ වගකීම දැරිය යුතුවීමයි. සංග්‍රාමික කාර්යයකදී ඇතිවන, පිළිගතහැකි හේතුවකින් විනා, වෙනත් කිසිදු ආකාරයකින්, තම පෞද්ගලික අවිය නැතිවුවහොත්, එම හමුදා සාමාජිකයාට එරෙහිව, ඉතා දැඩි විනය ක්‍රියාමාර්ග ගනු ලබනවා. සමහරවිට ඔහුව හමුදාවෙන් අස්කරන්නට පවා අවකාශ තිබෙනවා.

   මෙලෙස විසිකරන්නට නම්, එක්කෝ වෙනත් හමුදා සාමාජිකයකුගේ ගිනි අවියක් සොරාගත යුතුයි, නැතහොත්, යුද්ධ කාලයේදී, සතුරන්ගෙන් අල්ලාගත් ගිනි අවි, යුද හමුදාව වෙත බාරනොදී සඟවාගෙන, මෙවැනි අපරාධ සඳහා යොදාගන්නවා වියහැකියි.

   කෙසේ වෙතත් දැනට හෙළිවෙමින් පවතින කරුණු අනුව, නිලධාරියා වතුර හැලියට වැටී අවසානයි. ඔහු දැන් ඉන්නේ පොලිස් අත්අඩංගුවේ. දැන් තිබෙන්නේ, පොලීසිය ලිපගිනි මොලවා, නිලධාරියා උසාවියට ඉදිරිපත් කිරීමේ කොටස පමණයි.

   නමුත්, ඔහු තවමත් චුදිතයකු නිසා, අපි පූර්ව නිගමන වලට එළඹීම සුදුසු මදි. එහෙත්, මේ සිද්ධිය පිළිබඳව බැලූ බැල්මට නිරීක්ෂණය වන කරුණු අනුව, මෙම නිලධාරියා, වෙඩි තැබීමේ සිද්ධියට වගකිවයුතු බවක් හැඟෙනවා. ඔහු තම බිරිඳ සමග දික්කසාද නඩුවකට එළඹී සිටින බවත්, ඊට අදාලව ලද උසාවි නියෝගයන් හේතුවෙන්, මෙම නිලධාරියාගේ බිරිඳ දින කීපයකට පෙර, ඔවුන්ට අයත් නිවසේ පදිංචියට පැමිණ ඇත්තේ, කලකට පසුව බවත්, දික්කසාද නඩුව, ලබන සතියේ, උසාවියේදී විභාගවීමට නියමිතව තිබුන බවත්, පැවසෙනවා.

   ශ්‍රී ලංකා යුද හමුදාව තුළ, මෙවැනි සිද්ධියක් ඇතිවූ ප්‍රථම අවස්ථාව මෙය නොවෙයි. යටත්පිරිසෙයින්, මෙවැනි සිද්ධි එකක්, මීට පෙර සිදුවී තිබෙනවා. එම සිද්ධියේදී, යුදහමුදා බ්‍රිගේඩියර් වරයකු විසින්, තම පිස්තෝලයෙන් වෙඩි තබා, සිය බිරිඳව, නිදි යහනේදීම ඝාතනය කළ අතර, එය කිසිදු සැකයකින් තොරව උසාවියේදී ඔප්පුවීම නිසා, අද ඒ බ්‍රිගේඩියර් වරයා, මරණ දඬුවමට නියමිතව, වැලිකඩ බන්ධනාගාරයේ සිටිනවා.

   මේ හැර, හමුදා සාමාජිකයන් විසින්, තම පවුල් සංස්ථාව තුළ සහ සමාජය තුළ, පසුගිය කාලයේදී කරන ලද දරුණු අපරාධ සඳහා, උදාහරණ ඕනෑතරම් තිබෙනවා.

   මෙහෙම වෙන්නේ ඇයි? මෙවැනි සිදුවීම් වලට වගකිවයුත්තේ කවුද? ආමි කාරයෝ කියන්නේ, තුවක්කු බෝම්බ වලින් සෑම ප්‍රශ්නයක්ම විසඳන්න උත්සාහ කරන, අමනයින් පිරිසක්ද? අපි රණවිරුවන් කියා පුද සැලකිලි කරන්නේ, මේ වගේ පිරිසකටද? සමාජය පුරා, මෙවැනි අදහස් සහ මතවාද පැතිරීම, අපට වලක්වන්න බැහැ. නමුත්, මෙවැනි සිදුවීම් ලඝුකොට සලකන්නත් බැහැ.

   මා අද ඔබ සමග සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ, ‘යුද්දෙන් පස්සේ හමුදා විනය’ ගැන තොරතුරු ටිකක්.

   ඇයි යුද්දෙන් පස්සේ? යුද්ද කාලෙත් මේ වගේ දේවල් වෙන්න ඇති නේද? කියා, ඔබ අසන්නට පුළුවන්. මේකයි උත්තරේ. ඔව්, වෙන්න ඇති. නමුත් ඒ කාලේ මේවගේ අපරාධ කරලා, ඒ අපරාධ කාගේ හෝ පිට පටවා ගැලවෙන්නට, අවකාශය සහ ගැලපෙන වාතාවරණයක්, මේ රටේ තිබුණා. ඒ නිසා, ඒ කාලෙත් මේ වගේ දේවල් නොවුනා කියා, බැහැර කරන්නට අමාරුයි.

   දීර්ඝ කාලීන සංග්‍රාමයක් පැවති රටක, ඒ සංග්‍රාමයෙන් පසු, හමුදා සාමාජිකයන්, විවිධ ආකාරයේ ආතතියකට පත්වන බවත්, ඒ තත්වය කළමනාකරණය නොකලොත්, සමහර හමුදා සාමාජිකයන්, ඉතා දරුණු ලෙස හැසිරෙන්නට ඉඩ ඇති බවත්, මනෝ වෛද්‍ය විශේෂඥ, වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් මීට සෑහෙන කලකට ඉහතදී, ශ්‍රීලංකා යුදහමුදා සාමාජිකයන් ඇසුරෙන් ලද අත්දැකීම් තුළින් ලියන ලද පොතකින්, මනාව කරුණු පැහැදිලි කොට තිබෙනවා.

   ඇත්තෙන්ම මේ රටේ දැඩි ගිනි අවි පාලනයක් ඇතිකලයුතු බව, මා මීට පෙර ලිපියකින් අවධාරණය කළ අවස්ථාවේදී පවා, සඳහන් කළ එක් කරුණක් වන්නේ, ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක, සාමාජිකයන්ගේ නිවෙස්, හදිසි පරීක්ෂණයකට ලක්කළයුතු බවයි. අනවසර ගිනි අවි, ඔවුන් අත තිබෙන්නට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා.

   හමුදා සාමාජිකයකු, රටේ සම්මත නීතියට පටහැනි වරදක් කලවිට, ජනමාධ්‍ය මගින්, මෙතරම් උලුප්පා දක්වන්නේ ඇයි? සාමාන්‍ය සමාජ සම්මතය අනුව හමුදා සාමාජිකයන් පරමාදර්ශී චරිත වියයුතුයයි මහජනතාව දැඩිව විශ්වාස කරන අතර, ඔවුන් එසේ හැසිරෙතැයි, සෑමවිටම බලාපොරොත්තු වෙනවා.

   හමුදාවේ සමස්ත සාමාජිකත්වයෙන්, ඉතා සුළු පිරිසක් පමණයි, මෙවැනි අකටයුතුකම් වල යෙදෙන්නේ. නමුත්, ඒ ක්‍රියා තුළින්, සමස්ත හමුදාවේ කීර්තිනාමයට වදින කළු පැල්ලම, සුළුපටු නොවෙයි. අපේ සමාජය සැදී පැහැදී ඉන්නේ, කෑ මකුණාත්, නොකෑ මකුණාත් දෙන්නවම මරන්න බව, අමුතුවෙන් කිවයුතු නැහැ.

   මෙතනදී මා එක කරුණක් අවධාරණය කරන්නට කැමතියි. මෙවැනි වැරදිවලට හසුවන හමුදා සාමාජිකයන්ගෙන් බහුතරය, හමුදාව තුළදී විනයගරුකව හැසිරෙන අතර, බාහිර සමාජයේ හැසිරෙනවිටයි, මෙවැනි අකටයුතුකම් කරන්නේ. ඒ ඇයි කියන ප්‍රශ්නයට, මට වැටහෙන ආකාරයට දීමට තිබෙන උත්තරය වන්නේ, තම සිතෙහි ඇති ආතතිය, හමුදා නීති රීති වලට ඇති බිය නිසා මුදා නොහරින හමුදා සාමාජිකයන්, කඳවුරෙන් එළියට පැමිණි පසු, එය සමාජය වෙත, පවුල වෙත, මුදාහරින බවයි.

   මේ ගැන, මට වඩා හොඳින් කරුණු පැහැදිලි කළහැකි වන්නේ, වෛද්‍ය රුවන් ජයතුංග වැනි, සුදුසුකම් ලත් පුද්ගලයකුට කියා මා හිතනවා.

   හමුදා සාමාජිකයා අමුතු සතෙක්ද?

   මතකද දැන් කාලෙකට ඉහතදී, හමුදා සාමාජිකයන් අගය කිරීමේ ගීතයකදී කියවුනා, ‘අපෙන් එකෙකි මේ මිනිහා’ කියලා. ඒ කියන්නේ, හමුදා සාමාජිකයාත්, අපේ සමාජයේම එක් අංශුවක්. ඉතිං මේ අංශු, එකම දාමයකින් බැඳී පවතින නමුත්, විවිධ ඇදීම්, තෙරපීම්, හැලහැප්පීම්, වලට භාජනය වනවා. අර සමාජ අංශු දාමයෙන්, ඔහුවෙත සන්නිවේදනය වන හොඳ නරක තමයි, ඔහුගේ චෛතසිකයේ තැන්පත් වන්නේ. එහිදී ඔහු වඩාත් සංවේදී වන්නේ, ප්‍රතිචාර දක්වන්නේ, ඒ තොරතුරු වලට විනා හමුදාවේ නීතියට යටත් ක්‍රියාකාරකම් වලට නොවෙයි.

   හරි හරි, දැන් තමුසේ කියන්න හදන්නේ, හමුදා සාමාජිකයා ඉන්නේ මහා කරදර මැද්දේය, ඒ නිසා උන්ගේ ඔලුව අවුල් වෙලාය, එසේ ඔලුව අවුල්වීම නිසා, උන් කරන ඕනෑම අපරාධයක්, නොසලකා හැරිය යුතුයි කියලා නේද? ඒ කියන්නේ, හමුදා කාරයන්, එක්තරා ආකාරයක වරලත් චණ්ඩින් හැටියට පිලිගත යුතුයි කියන එකද?

   නැහැ. කිසිසේත්ම නැහැ. රටේ සිවිල් නීතියට ඉහලින් සිටින හෝ, එම නීතියෙන් රිංගා යාමට හැකි කිසිවෙකුත් නොසිටිය යුතුයි.

   නමුත් මේ ටිකත් අපි මතක තබාගත යුතුයි.

   හමුදා සාමාජිකයන්ගෙන් අති මහත් බහුතරය, සිය සේවා කාලයෙන් වැඩි කොටසක් ගෙවන්නේ, කඳවුරේ. තම පවුලේ අය සමග එක්වීමට, ඔහුට ඇත්තේ ඉතා සීමිත ඉඩකඩක්. එමෙන්ම හමුදාවක් පාලනය වන නීති රීති, සාමාන්‍ය සිවිල් ආයතනයක් පාලනය වන නීතිරීති වලට වඩා හාත්පසින්ම වෙනස් බව ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. අනිවාර්යයෙන් අණ පිළිපැදිය යුතුයි. අසාධාරණයක් වන්නේ නම් පමණක් උසස් නිලයකු වෙත පැමිණිලි කල හැකියි. නමුත් හමුදාවේ කියන්නේ, ‘ලබාදුන් අණ පිලිපදිනු ඉන්පසු පැමිණිලි කරනු – comply and complain’ කියලයි. මේ නිසා හමුදා සාමාජිකයන් අසරණ වන අවස්ථා නැතුවා නොවේ. එවැනි අත්දැකීම් රාශියක් මා සතුව තිබෙනවා.

   සර්, මගේ නෝනට බබෙක් හම්බවෙන්න ළඟයි. පොඩ්ඩක් ගිහින් බලලා එන්නද? යන ප්‍රශ්නයට පිළිතුර වන්නේ, මොකද තමුසේ ගිහින් ළමයා හම්බවෙන්න තටමන්නද? කියන එක නෙවෙයි.

   මැඩම්, මට පීරියඩ්ස් හැදෙනකොට බ්ලීඩ් වෙන එක වැඩිවෙලා. මට ගාඩ් එකේ ඉන්න අමාරුයි. මාව ලයිට් ඩියුටියකට දාන්න බැරිද? යන ප්‍රශ්නයට පිළිතුර, ගලන ඒවා ගලාගෙන යයි, තමුසේ ජොබ් එක කරනවා, කියන එක නෙවෙයි.

   ජ්‍යොෂ්ඨ නිලයන්ගෙන් සිදුවන කෙනෙහිලිකම්, ලිංගික අතවර, ඉවසාගත නොහැකිව, හමුදාවෙන් පැනගිය, සියදිවි හානි කරගත්, තමන්ට කරදර කරන එම ජ්‍යොෂ්ඨ නිලයාගේ සිරුර, පෙනේරයක් මෙන් හිල් වලින් පිරෙන්නට වෙඩි තැබූ, සොල්දාදුවන් ද මා දැක තිබෙනවා.

   තමන් දිවි පරදුවට තබා යුද්ධ කරද්දී, තමන් ලේ වගුරුවා උපයා දුන් මුදලින්, වෙනකෙකු හා පෙම්කෙලින තම බිරිද ගැන, සොල්දාදුවකු හිතන්නේ, එය ද, යුද්ධය මෙන්, තුවක්කුවෙන් විසඳිය යුතු ප්‍රශ්නයක් ලෙසයි.

   හමුදාවේ වැදගත් නිලයක් උසුලන, ආදර්ශවත් නිලධාරියකු ලෙස, තමන් ගතකරන ජීවිතය තුට්ටුවකට මායිම් නොකොට, තමන්ගේ ආදරණීය බිරිඳ, තමන්ගේ ආරක්ෂක මුරයේ සිටින සෙබළුන් සමග යහන් ගතවන්නේ නම්, එම ප්‍රශ්නය නොපමාව පිස්තෝලයෙන් විසඳිය යුතුයැයි, එම නිළධාරියාට හිතෙන්නේ, ඔහු නිතර අවි ආයුධ සමග ජීවත්වන නිසාය.

   තමන් ලොක්කෙකු නිසා, හමුදාවේ සෙබලියන් සමග, නැතහොත් වෙනත් අවලම් ගැහැනියක් සමග, කොතරම් නිදි වැදුනද, තම බිරිඳ ඒ ගැන කට නොහෙල්ලිය යුතුයැයි සිතන හමුදා සාමාජිකයන්, තමන්ගේ අවල කෙලි ගැන යුක්තිය ඉල්ලා, අධිකරණයේ පිහිට පතන තම බිරිඳ, වෙඩි තබා දැමියයුතු යයි සිතන්නේ, බලයෙන් මත්වීම නිසාය.

   ගෑණු නාන තැන් වලට ගොස් (හමුදාවේ භාෂාවෙන්, එයට යොදන කෙටි විකට යෙදුම, GNT යන්නය) හොරෙන් බලා සිටින්නට පුරුදු වූ මේජර් ජෙනරල් වරයකු, එක්තරා කාන්තාවකට කරන්නට ගිය බලපෑමක් නිසා, එම කාන්තාවගේ සැමියා විසින්, ඔහුව, තම බිරිඳව යොදවා උගුලකට අසු කරගෙන, තම නිවසේ ගෙමිදුලේ දණගස්වා තබා, හමුදාවට බාරදුන්නා. වලව්කාර නමක් ඇති මේ නිලධාරියාව, විශ්‍රාම යන කාලයට පෙර විශ්‍රාම ගන්වනු ලැබුවා.

   අපේ හමුදා සාමාජිකයන්, ඉදිරියේදීද, මෙවැනි ආකාරයට දරුණු අපරාධ වලට යොමුවීමට ඉඩ ඇති බව, අමුතුවෙන් කිවයුතු නොවේ. ඒ සඳහා විධිමත් කළමනාකරණ වැඩපිළිවෙලක් නොපමාව ආරම්භ කිරීම, ආරක්ෂක අමාත්‍යාංශය සතු බරපතළ වගකීමක් වෙයි. සෑම හමුදා සාමාජිකයකුම ඉහළ ප්‍රමිතියකින් යුත්, උපදේශන සේවයකට ලක්කළ යුතුය. එය ප්‍රමාදවන්නට වන්නට මෙවැනි අපරාධ තවදවත් දැකිය හැකිවනු ඇත.

   මමත් අපේ ගෑණිට වෙඩි තිබ්බා?

   මොකක්…………..?

   ඔව්, මම දෙපාරක්ම වෙඩි තිබ්බා. වෙඩි දෙකම හරියටම ඉලක්කෙට වැදුනා. නමුත්, මම තියපු වෙඩි වලින්, කවුරුවත් මැරුණේ නැහැ. ඉපදුනා. මගේ ආදරණීය බිරිඳ, මට රටක් වටිනා දූවරු දෙන්නෙක් තෑගි දුන්නා.

   අඹු සැමි ප්‍රේමයේ අගය නොදන්නා මිනිසුන්, හමුදාවේ නොව, දිව්‍ය ලෝකයේ සිටියත්, අමනකම් කරනවා.

2016 අගෝස්තු මස 30 වැනි දින 2343 පැය

Advertisements

Comments on: "ආමි කාරයෝ ගෑණිට වෙඩි තියන්නේ ඇයි?" (20)

  1. ඔක්කොම මිනිස්සු සත්තු ,කව්රු කොහොම කිවත් අපේ සත්ව ගති මතුවෙන තැන තියනවා
    එත් කරන්න කලින් හිතලා බලන එකත් අපිට විතරයි දීලා තියෙන්නේ

    • මොලයක් තිබුනට ඒක හරියට පාවිච්චි කරන අය බොහොම අඩුයි. තුවක්කුවෙන් සියලු ප්‍රශ්න විසඳන්නට යාම අමනකමක් බව තේරුම් නොගැනීම ගැන කනගාටුයි.

  2. මම කාලයක් හමුදා සාමාජිකාවකට ආලය කලා..ඇය නම් රැකියාවෙන් ගෙදර එන්නේ බොහෝම සන්තෝසයෙන්..නමුත් රැකියාවට යන්නේ මරන්න වගේ.. ඇයට ඒ කදවුරේ ජීවිතය තිත්ත වෙලා තිබුනේ..නමුත් අරං තිබුන නය ගෙවාගන්න විදියක් නැති නිසා ඇයට කදවුරට යන්න සිද්ද වුනා..

    ඇය මට කියූ දේවල් වලට වඩා නොකියූ දේවල් වැඩියි.. ඇය කදවුරෙන් එලියට එන්නේ රයිස් එකක්‍කොත්තුවක් කන්න බලාගෙන.. මොකද ඇතුලේ කෑම සවුත්තුයි..

    මම පුද්ගලිකව හිතන්නේ හමුදාවක් ඕනි යුද්ධයක් තියෙද්දී.. යුද්ධයක් ආවොත් කියලා තා ටික දෙනෙක් හමුදාවට තියාගත්තට කමක් නැ..ඒත් හමුදාව හරහා සිවිල් වැඩ කරන්න යන එක අවුල්.. සිවිල් වැඩ කලමනාකරනය කරගන්න එක ඒ අයගේ වැඩක්..පාරවල් අතුගෑමේ සිට නොයෙක් වැඩ වලට පහුගිය කාලේ හමුදාව යෙදෙව්වා..ඒවා බලය අයුතු ලෙස යොදාගැනීමක්..

    හමුදාව ගනනින් අඩු.. ඉන්න අයටත් සතුටින් ඉන්න ලැබෙන වාතාවරණයක් හැදෙනෝ නම් කාටත් හොදයි..

    • හමුදාවේ විතරක් නෙවෙයි, තවත් බොහොමයක් රැකියා වල යෙදෙන අය, අකමැත්තෙන් වැඩට යනවා නේද? හමුදාව කියන්නේ, මාසේ අන්තිමට වැටුප් ලබන රැකියාවක් කියලා හිතුවොත්, එය ඉක්මනින්ම එපා වෙනවා. හමුදාවේ ‘ස්ටයිල් එක’ වෙනස්. අන්න ඒ රටාව තේරුම්ගෙන, ඒ රටාවට අනුවර්තනය නොවුනොත්, හමුදාව අපායක්.

      යුද්ධයක් තිබෙන කාලයකදී සහ, යුද්ධයක් නැති කාලයකදී, හමුදාව පවත්වාගෙන යන්නේ කෙසේද කියන එක, හමුදා උපදේශන පොත්වල පැහැදිලිව සඳහන් වෙනවා. යුද්ධයක් නැති කාලයක, වැඩිපුර මහජනතාවගේ අවධානයට ලක් නොවන ආකාරයට හමුදාව පවත්වාගෙන යාම තමයි, වඩාත් උචිත වන්නේ.

      පහුගිය කාලයේ, අමන පාලකයන් විසින්, තම දේශපාලන අරමුණු සඳහා හමුදාව යොදාගනීම නිසා කෙලෙසුනේ, හමුදාවේ කීර්තිනාමයයි.

      බොහොම ස්තුතියි ඔබේ අදහස් වලට.

  3. අර වලව් පැලැන්තියේ නම එගො****ල නේද​?

    “ඔව්, මම දෙපාරක්ම වෙඩි තිබ්බා. වෙඩි දෙකම හරියටම ඉලක්කෙට වැදුනා. නමුත්, මම තියපු වෙඩි වලින්, කවුරුවත් මැරුණේ නැහැ. ඉපදුනා. මගේ ආදරණීය බිරිඳ, මට රටක් වටිනා දූවරු දෙන්නෙක් තෑගි දුන්නා.”
    ++++++++++++++++++++++++++++++++++++++++++ 😀

    • නැහැ. වෙනත් මාර** නමක්.

      වෙඩි තියනවනම් තියන්න ඕනේ ඒ විදිහට නේද? 😀

      • හරියටම හරි… එහෙම තමයි වෙඩි තියන්න ඕන​…කැම්පස් ඉන්න කාලේ වෙඩිපිටියක් සොයා ගත්තේ නැති නිසා රස්සාව කරන තැනින් හොයා ගනින් කියලා අම්මා කිව්වා.. ඒකත් නොකෙරුන නිසා අම්මම මට හරියන වෙඩිපිටියක් සොයලා දුන්නා… දැන් ඉතින් වෙඩි තැබීමේ නැකත එනකන් තුවක්කුව අල්ල අල්ල ඉන්නවා 😛 😛

  4. /දීර්ඝ කාලීන සංග්‍රාමයක් පැවති රටක, ඒ සංග්‍රාමයෙන් පසු, හමුදා සාමාජිකයන්, විවිධ ආකාරයේ ආතතියකට පත්වන බවත්../

    අම්මෝ මචං ඒ දවස් වල අපි හිටියෙත් ඇඳන් ඉන්න එකේ යන ගානට . ඉතින් තව මොන කතාද ….

    /ඔව්, මම දෙපාරක්ම වෙඩි තිබ්බා. වෙඩි දෙකම හරියටම ඉලක්කෙට වැදුනා. නමුත්, මම තියපු වෙඩි වලින්, කවුරුවත් මැරුණේ නැහැ. ඉපදුනා. මගේ ආදරණීය බිරිඳ, මට රටක් වටිනා දූවරු දෙන්නෙක් තෑගි දුන්නා./

    සිරා කතාව ++++++++++++++

  5. “මමත් අපේ ගෑණිට වෙඩි තිබ්බා?

    මොකක්…………..?

    ඔව්, මම දෙපාරක්ම වෙඩි තිබ්බා.”

    එතකොට වෙඩි තිබ්බේ දෙපාරක් විතරද?.. ආ හමුදා රාජකාරි නිසා අවිවේකව ඉන්න ඇති නේද?

  6. හත්මයා මට දැනගන්න අවශ්‍යයි ජෙනරාල් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයයෙන් යුද්ධ හමුදාවට නිලධාරින් ලෙස සේවයට එක් වන නිලධාරියෙන් අතරින් යුධ හමුදාපතිවරුන් පත් වෙනවා ද කියා.
    එමෙන්ම කෙඩෙට් නිලධාරි පුහුණුව කෙබඳු ද කියා ඔබතුමාට ලිපියක් පල කිරිමේ හැකියාවක් තිබේනම් එය සිදු කරන මෙන් ඉල්ලීමක් කරන්නටත් කැමතියි

    • ඔව්, ඒ සඳහා බාධාවක් නැහැ. එකම සුදුසුකම තමයි ඒ නිලධාරියා, සටන්කාරී රෙජිමේන්තුවකට හෝ ආධාරක සේනා වශයෙන් සැලකෙන රෙජිමේන්තුවකට අයත්වීම.

      කෙඩෙට් නිලධාරී පුහුණුව ගැන ලිපියකින් කරුණු දැක්වීමට නම් ලිපි දෙකක්වත් ලියන්න වෙනවා. ශරීර ශක්තියෙන් හා චිත්ත ධෛර්යයෙන් හීන, අධිෂ්ඨානශීලී බව නැති පුද්ගලයකු, ඉතා ඉහල අධ්‍යාපන සුදුසුකම් ලබා සිටියත්, කෙඩෙට් නිලධාරි පුහුණුවට ගැලපෙන්නේ නැති බව පමණක්, මෙතනදී කියන්න කැමතියි.

  7. මහත්මයා මට දැනගන්න අවශ්‍යයි ජෙනරාල් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයයෙන් යුද්ධ හමුදාවට නිලධාරින් ලෙස සේවයට එක් වන නිලධාරියෙන් අතරින් යුධ හමුදාපතිවරුන් පත් වෙනවා ද කියා.
    එමෙන්ම කෙඩෙට් නිලධාරි පුහුණුව කෙබඳු ද කියා ඔබතුමාට ලිපියක් පල කිරිමේ හැකියාවක් තිබේනම් එය සිදු කරන මෙන් ඉල්ලීමක් කරන්නටත් කැමතියි

    • ඔව් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් පිටවන, සියලු පාබල රෙජිමේන්තු සහ ඉංජිනේරු, සන්නාහ සන්නද්ධ, කාලතුවක්කු, යන රෙජිමේන්තු වල නිලධාරීන්ට පුළුවන් හමුදාපති වෙන්න.

      කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට නොගියත් ඒ තත්වය එහෙමමයි.

  8. කඩිනම් ප්‍රතිචාරය පිලිබඳ මාගේ ස්තුතිය.තවත් දින දහයකින් කෙඩෙට් නිලධාරී පුහුණුව සදහා මමත් දියතලාව බලා පිටත් විමට නියමිතයි.ඔබතුමාට හැකිනම් ඒ පිලිබඳ කෙටි ලිපියක් හෝ පළ කරන මෙන් ඉල්ලා සිටීමට කැමතියි.

    • දක්‍ෂ නිලධාරියකු වන්නට ඔබට මගෙන් සුබපැතුම්

      මා කෙඩෙට් නිලධාරි පුහුණුව ගැන ලිපියක් දැන් ලිව්වොත්, මා ලියන්නේ, මගේ කෙඩෙට් නිලධාරී පුහුණු කාලයට අදාලවයි. එය වර්තමානයට ගැලපෙන්නේ නැහැ කොහෙත්ම. දැන් පුහුණුව ඊට වඩා වෙනස්, වඩා උසස්. ඒ නිසා, ඒ සොඳුරු අත්දැකීම ඔබම සතුටු සිතින් විඳගන්න. ඒ තමයි වඩාත් ප්‍රඥාගෝචර ක්‍රියාව. මොකද, මම ලියන ලිපිය සමග, ඔබ, ඔබට ලැබෙන පුහුණුව සංසන්දනය කරන්න ගියොත්, ලොකු අවුලක් ඇතිවෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: