විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


artworks-000078503621-sssaju-t500x500   මේ ලිපිය ලියන්න නිමිත්ත පහළවුනේ, ඉතා අහඹු විදිහකටයි. අද, අපේ ප්‍රදේශයේ, සුබසාධක සංගමයේ මාසික සභා රැස්වීම පවත්වන දිනය. (සැම මසකම පළමුවැනි ඉරුදින) මම සමිතියේ ගරු ලේකම්. ඇත්තෙන්ම මේ ලේකම් තනතුර බාරගත් දා සිට, ඒ වෙනුවෙන් සෑහෙන වෙහෙසක් දරන්න වෙනවා. නමුත්, මා, සාමාජිකයන්ගේ සියලු තොරතුරු, සමිති වාර්තා, ගනුදෙනු වන සියලු ලිපි, ආදී මෙකී නොකී සියල්ල, පරිගණක ගතකරගෙන තිබෙන නිසා, සෑහෙන පහසුවක් තිබෙනවා. සමිති රැස්වීම පටන් ගන්නේ සවස 4.00 ට.

සමහර දිනවල සභාව උණුසුම් වෙමින්, රාත්‍රී 7.00 පමණ වනතුරු ඇදෙනවා. සමිති වාර්තාව, පිටු 10 ක් තරම් දිගට ලියවෙන අවස්ථා තිබෙනවා. සමිතිය අවසන්වී, ‘අපේ කට්ටිය’ අල්ලාප සල්ලාපයේ යෙදීමත් සිරිතක්. බොහෝවිට එය කෙලවර වන්නේ, නගරයේ අවන්හලකට ගොඩවී හෝ, අපේ ගෙදර ඉදිරිපස මිදුලේ රවුමට තැබූ පුටුවලට වී, සංවාදය සහ ලේ නහරද, තවත් උණුසුම් කරගැනීමෙන්.

මම අද කලින්ම අපේ කට්ටියගෙන් මිදී ගෙදර ආවේ, අද බ්ලොග් ලිපියක් ලියන්නට සිතා සිටි නිසයි. ඒ මාතෘකාව මෙය නොවේයි. වෙනත් දෙයක්. එය පසුවට තබා, මෙය ලියන්න සිදුවුණේ, ස්වාධීන රූපවාහිනී සේවයේ, වික්ටර් රත්නායකගේ සංගීත සේවය අළලා ප්‍රචාරය වුන වැඩසටහනක්, අද සවස අහම්බෙන් නැරඹීම නිසයි.

වික්ටර් රත්නායකගේ හඬට, මා දක්වන පෙරේතකම නිසාම, Home Theater System එක මගින්, ඒ හඬ, ඉහල මධුර තත්වයෙන් ඇසීම, එක්තරා ආකාරයකින්, මධුවිතක් රසවිදීමක් හා සමානවුවායයි කීම, අතිශයෝක්තියක් නොවෙයි. පසුගිය දිනවල, ප්‍රේමකීර්ති ද අල්විස් සැමරුම වෙනුවෙන්, ජාතික රූපවාහිනියෙන් ප්‍රචාරය වූ වැඩසටහන, රාත්‍රී 1.00 ට අවසන් වන තුරුත්, සිරස රූපවාහිනියෙන් කල වැඩසටහන මධ්‍යම රාත්‍රිය වනතුරුත්, ‘අහල පහල මිනිස්සු නිදාගන්නේ නැද්ද’ කියා, බිරිඳගෙන් දෝෂාරෝපණ එද්දීත්, හෝම් තියටර් එකෙන්ම ඇහුවේ, නිසි ශබ්ද ගුණය ඇසිය යුතු නිසාය.

ඇත්තෙන්ම, අවසන් මධු බින්දුව වීදුරුවට හලා ගන්නවාක් මෙන්, වැඩසටහනේ අවසන් වාද්‍ය ඛණ්ඩය දක්වාම, එම වැඩසටහන් රසවින්දෙමි. ඒ මධුර මනෝහර හඬ තුළ ගිලුනෙමි, පිහිනුවෙමි, සම වැදුනෙමි, මෝහනය වීමි, විශ්මයට පත්වීමි, සියලු මනෝ භාවයන් සංවර භාවයට පත්කරගතිමි.

වික්ටර් රත්නායකයන් මගේ සිතට ඇතුළුවුණේ, 1960 දශකයේදීය. ඒ කාලේ අපි, අපේ ඉස්කෝලෙන් පොසොන් පෝයට තොරණක් හැදුවෙමු. කොළඹ – මහනුවර මාර්ගයට දර්ශනය වන සේ ඉදිකරන මේ තොරණේ, ලයිට් වැඩ කලේ, ලොකු අයියලාය. ඒ කියන්නේ, උපනන්ද සේනාරත්න අයියා, දයා සඳගිරි අයියා, නිහාල් ජයකොඩි අයියා, ෂොම්බේ අයියා, (ඒ කාලේ සිටි අප්‍රිකානු ජන නායකයකුගේ මුහුණුවර තිබුන නිසා පටබැඳි නමක්. ඒ අයියගේ ඇත්ත නම මතක නෑ) මෞර්යවංශ අයියා, විජේනන්දන අයියා,  ජයසේකර අයියා,(රැබිට්) (රැබිට් ජයසේකර අයියා, රෝසපාට මිනිගවුමක් හැඳ, සුදුම සුදු කකුල් පෙන්නමින්, සන්ග්ලාස් එකක් සහ බටකොළ තොප්පියක් දමාගෙන, බිග් මැච් එකට ආවම, වැඩිපුර රැවටෙන්නේ, අපේ ලේඩි ටීචර්ලාය) ආනන්ද සූරියබණ්ඩාර අයියා, මගේම අයියා ලක්‍ෂ්මන්, වැනි අය ය.

අපේ කස්ටියේ, රාජා විජේතුංග, කේ.ඩී.එස්.ජයවර්ධන, ආනන්ද ජයවර්ධන, අසේල හඳගම, මයිකල් ගම්මන්පිල, බන්ධුල ජයවික්‍රම, අයි. ආර්. හරිශ්චන්ද්‍ර,  ගුණතිලක(ඩෝපර්), දේවදාස (හඩ්ඩා), (අම්මෝ……..බෑ බෑ, පස්සේ වෙන ලිපියක දාන්නං ලැයිස්තුව) අනෙකුත් ‘ඔඩ් ජොබ්’ කාරයෝය.

පොසොන් පෝය විශේෂ වන්නේ, අනාදිමත් කාලයක සිට පවත්වන මිහිඳු පෙරහැර නිසාය. මේ සියල්ලට සමගාමීව, භක්ති ගීත සන්දර්ශයක්ද සංවිධානය කෙරෙනවා. විවිධ පාසල් වලින්ද එහිදී ගායනා ඉදිරිපත් කෙරෙනවා.

අපේ කස්ටිය, තොරණේ ලයිට් දැමු පසු ‘පොඩි මල්ලිලාට’ තොරණ බලාගන්න කියා, නගරයේ ඉහල පහල ‘කරුණා කරන්නේ’ හුදු විනෝදය මෙන්ම, නගරයේ ඉදිකෙරෙන තොරණ දැකබලා ගැනීමට සහ, (මගේ මතකයේ හැටියට, 1968 වර්ෂයේ තොරණ 9 ක් තිබුනා) කඩචෝරු කෑම, විවිධ තොප්පි, වේවැල්, වෙස්මුහුණු, නලා, ආදිය මිලදී ගෙන, එයින් නානාප්‍රකාර වින්දනයක් ලබාගැනීම, පෙරහැර බලන්නට පැමිණ සිටින ජනතාවගෙන් හරුප අසාගැනීම, ඒකාලේ අපි කළුද සුදුද කියා නොදන්නා දෙයක් වුනත්, ‘ආදරය සුන්දර වරදකි’ යන හැඟීමෙන්, (එතකොට ඒ සින්දුව තියා ගායකයාවත් ඉපදිලා නැතුව ඇති) තම තමන්ගේ සෙනෙහෙවන්තියන්ට ආල හැඟුම් පාන අපේ කස්ටියේ අයගේ, හැලුප්කරුවා ලෙස සේවය කිරීම, ආදී දහසකුත් එකක් රාජකාරි කිරීම සඳහාය.

එක දෙයක් දිවුරා ප්‍රකාශ කලහැකිය. අපි කිසිවෙකුත්, ඒ කාලේ, සිගරට් එකක්වත් නොබිව්වෙමු. බිග් මැච් එක දවසේදී වත් නොබිව්වෙමු.

ඉතින් කෝ ඕයි වික්ටර් රත්නායක?

හරි හරි දෙයියෝ………. මේ එනවා, මේ එනවා. කොහොමද අප්පා අර රසගුලාව අමතක කොරන්නේ.

ඔන්න ඉතින් 1967 – 68 කාලේ තිබුන මේ පොසොන් සංගීත සන්ධ්‍යාවකට පැමිණි එක ගායකයකු, නිවේදකයා විසින් හඳුන්වා දුන්නේ, කඩුගන්නාවේ කලායතනයකින් හෝ පාසලකින් පැමිණි, ‘සංගීතාචාර්ය වරයකු’ ලෙස බව මතකය. ඔහුගේ නම එදා මතක හිටියේ නැත. නමුත් ඔහු සිහින් සිරුරක් ඇති, තරමක් උස පුද්ගලයකු බව මතකය. එමෙන්ම ඔහු ගැයූ ගීත කීපය, සියලු දෙනා විසින් ඉතා ආසාවෙන් අසා සිටි බවත් මතකය. සුදු පැහැති අත් දිග කමිසයක් හැඳ, කළු පැහැති සිහින් ටයි පටියක් පැළඳ සිටි බවත් මතකය. ක්‍රීම් ගා, ඉහලට පීරා තිබුණු රැළිති කේශ කලාපය, සීගිරි පර්වතය මෙනි. 

අපි 70 දශකයට පා තබද්දී, වික්ටර් රත්නායක අපේ හදවත් අරක් ගත්තේ, අපට නොදැනීමය.

අපේ පාසල් කාලයට පින් සිද්ධ වන්නට, භාෂාව, සාහිත්‍යය, (විශේෂයෙන් පැරණි සාහිත්‍ය කෘති පරිශීලනය ඇතුලත්, සාහිත්‍ය ඉතිහාසය) ගැන ලද අවබෝධය, පුවත්පත් සහ ගුවන්විදුලිය ඇසුරෙන්, කියවා අසා දැනගත් හරවත් විද්වත් අදහස් සමුදාය හේතුකොටගෙන, එවකට තිබුණු ජනප්‍රිය රැල්ල සහ සරල ශාස්ත්‍රීය සංගීත ධාරාව වෙන්කර ගැනීමට තරම් දැනුමක්, අපට ලැබුණි.

එහි පුරෝගාමීන් වුයේ, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, මහගම සේකර, මඩවල එස් රත්නායක, වැනි ගේය පද රචකයන්, සුනිල් සාන්ත, ඩබ්ලිව්.ඩී.අමරදේව, සුසිල් ප්‍රේමරත්න, නාරද දිසාසේකර, ඇතුළු මහ පිරිසකි.

වික්ටර්ලාගේ කාලයේ මේ ගායක පරපුර අතර, මහා පුදුමාකාර සහෝදරත්වයක් තිබුණු බව, වරින්වර එම ගායකයන් විසින් කල ප්‍රකාශ වලින් පසක් කරගැනීමෙන් පසු, ඔවුන් ලද සංගීත ශික්ෂණය තුළින්, ඔවුන් තුළ මානව දයාව කොතරම් තිබුනේද යන්න අවබෝධ වෙයි.

බොහෝවිට ඔවුහු, සමකාලීන තවත් ගායකයකු උදෙසා, තනු නිපදවති, තමන්ට ලැබෙන පදමාලා කියවා බලා, මෙය මට වඩා ගැලපෙන්නේ අහවලාගේ හඬට කියා තීරණය කර, එකී ගායකයාට එම පදමාලාව ගැයීමට පවරති. අවශ්‍යනම්, සංගීතය ද සකසා සපයා දෙති. වික්ටර් රත්නායකයන්ගෙන් ම උදාහරණයක් ගතහොත්, මිල්ටන් මල්ලවාරච්චි ගයන, ‘සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ’ ගීතයේ පදමාලාව, මුලින්ම ලැබී ඇත්තේ, වික්ටර් වෙතටය. එය කියවූ වික්ටර්, එකවරම තීරණය කරන්නේ, මේ පදමාලාව වඩාත් සුදුසු මිල්ටන් මල්ලවාරච්චිට බවය. ඉදින් ඔහු, ප්‍රේමකීර්ති ද අල්විස්ද සමග, මේ ගීතය නිමවා, මිල්ටන් ලවා ගායනා කරවා, ඔහු, ශ්‍රීලංකා ගුවන්විදුලි සේවයේ වර්ගීකරණයෙන් සමත් ගායකයකු බවට පත්කර දෙයි.

මිල්ටන් මල්ලවාරච්චි ගයන, ‘තනිවී සිටින්නයි මා අදහස් කලේ’ ගීතයද, ඒ ආකාරයෙන්ම, ක්ලැරන්ස් විජේවර්ධන වෙත ලැබුන පදමාලාවකි. නමුත් ක්ලැරන්ස්, එය තමන්ට වඩා මිල්ටන්ට සුදුසුබව කියා, ගීතය සකසා දුන්නේය.  

   වික්ටර් රත්නායකගේ කටහඬ තුළ මා දකින විශ්මය වන්නේ, එය එන්න එන්නම වඩාත් හැඟුම්බර වීමය. පරිණත වන්නට වන්නට, ඒ ගැයුමෙන් උපදින රසභාවයන් වඩාත් තීව්‍ර වීමය. කිසිදු ස්වරස්ථානයක්, වෙනස් නොකිරීමය. 1970 දශකයේදී ඇසූ ප්‍රමිතිය එලෙසින්ම රැකී තිබීමය. 

   එය නිරායාසයෙන් ගලා එන කටහඬකි, එහි මානව ප්‍රේමය ගැබ්ව තිබෙන්නේය, ඔහු ගයන්නේ, අප සිත තුළ, භාවමය ශාන්තිය උපදවන ආකාරයට විනා, භාව ප්‍රකෝපයන් ඇති නොකරන ආකාරයටය. එය, සිත නිවන, භාවමය සිහිල් සුළං රැල්ලකි.

 

වික්ටර් රත්නායක පිලිබඳ මගේ සිහිනයක් සැබෑ වුයේ 1974 වසරේදීය. එවකට මා පදිංචිව සිටියේ අවිස්සාවේල්ලට නුදුරු දෙහිඕවිට ප්‍රදේශයේය. ඊට ආසන්න නගරයක් වන රුවන්වැල්ල නගරයේ පොදු ක්‍රීඩාංගනය හෙවත්, පොදු ව්‍යවහාරයේ පවතින ‘මහවත්ත පිට්ටනියේ’ පැවැත්වුනු සංගීත සංදර්ශනයකට පැමිණෙන ගායක ගායිකාවන් ‘බලාගැනීමේ’ කාර්යය, මා වැනි තරුණ තරුණියන් පිරිසකට භාරවී තිබුණි. අපට තිබුණේ, ඔවුන්ව ඛාජ්ජ භෝජ්ජයෙන් සන්තර්පණය කරවා, සංදර්ශන වේදිකාව අසල සිට පැමිණෙන බයිසිකල් කරුවකුගේ පණිවිඩය අනුව, (මේ මොනවා අහනවද? කොහෙද දුරකථන තිබුනේ?) සංවිධායකයන් විසින් සපයා තිබුණු, මෝටර් රථයකින් ඔවුන්ව වේදිකාව වෙත රැගෙන යාමයි. 
 
  අනේ මගේ පූරුවේ පිනක් පැළදීමෙන්, මට, වික්ටර් රත්නායක සහ ටී.එම්.ජයරත්න යන ගායකයන් දෙදෙනාගේ ආවතේවකරු වීමේ වරම ලැබුණි. වික්ටර් රත්නයකයානෝ මට, ‘මල්ලි’ කියා ඇමතූහ.  මට එකවරම කියවුනේ ‘සර්’ කියාය. ‘නෑ නෑ මල්ලි මට අයියේ කිව්වම ඇති’ කියා, ඒ එදත් අදත් නොවෙනස් කරුණාබර හඬින්, එතුමෝ පැවසුහ. මම ඔවුන්ව මෝටර් රථය වෙත ගෙනගියෙමි. ‘එහෙනම් අයියලා යන්න මම මේ ටික බයිසිකල් එකේ එනවා’ කිව්වෙමි. ‘නෑ නෑ, මල්ලි ඉස්සරහින් නගින්න, අපි පස්ස සීට් එකට නගිනවා’ කියූ ඔවුන් දෙදෙනා, ඔවුන්ගේ විෂයයට අදාළ යමක් කතාකරමින් වේදිකාව වෙත ගියහ. මා වේදිකාව අසලින් බැස්සේ, මහා සෙනෙවියන් දෙදෙනෙකු ආරක්ෂා සහිතව රැගෙන ආ, ආරක්ෂක නිලධාරියකුගේ වේශයෙන් පපුව පුම්බාගෙනය. 

 ‘ස ප්‍රසංගය’ තුළින් ඔහු දායාද කළ, මහඟු දියමන්ති නිධානයක් හා සමාන ගීත සමුච්චය, ලෝකයේ ඕනෑම ගායකයකු හට, තම ගායන දිවිය තුළ උපදවා ගතහැකි, උපරිම කුසලතාවය පිලිබඳ, පරමාදර්ශයකි. ඔහුගේ ගායනා, විවිධ විෂයයන් අළලා නිමවීමද, ඉතා අගනේය. එය, හුදෙක් ලාබ ප්‍රේමයට සීමා නොවුණු, විවිධ පැතිකඩ ඔස්සේ පැතිරෙන ගී ගඟුලකි. එය, ඔහුගේ පූර්වජන්ම කුශල ඵලදීමකින්ම ලද දායාදයකි. 

   යුගයේ මහා ගාන්ධර්වයාණනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා!

2016 අගෝස්තු මස 07 වැනි දින 2354 පැය

Advertisements

Comments on: "වික්ටර් රත්නායක ගැන සොඳුරු මතකයක්" (12)

  1. මගේ අම්මා තාත්තා දෙන්නමත් වික්ටර් මහත්තයාට හරි කැමති, ස ප්‍රසංගය අවසාන අදියරේ ගාල්ලේ තිබිච්ච එකට දෙන්නම් යැවුවා ,අන්තිම සින්දුව කියද්දී දෙන්නටම කදුළු අවා කියලා දෙන්නම දෙන්නට හොරෙන් මට කීවා ,
    තනි තරුවේ සින්දුව දවසක් හවසක අහද්දී මටත් මාර දුකක් අවා හේතුවක් නැතුවම ,ගායකයෝ කියන්නේ මේ අයට ,දැන් ඉන්නේ music video හදන අයනේ 🙂

    • ඔබ කියා තිබෙන ‘රූප සින්දු’ කාරයෝ, පාරේ යනවිට පෑගෙන වැලි කැට ගානට ඉන්නවා. නමුත් කිසිම අගයක් නැහැ. ගීතයක් කියන්නේ, ස්වර සමුදායකින් කරන භාව ප්‍රකාශනයක්. එය කලහැක්කේ, සංගීත ඥානය සහිත ගායකයකුට පමණයි.

      සංගීතය රසවිඳීමේ ශක්තිය, දැනුම, ඇති, විවිධ වයස් කාණ්ඩ වලට අයත් බහුතරයක්, වික්ටර් රත්නායකගේ ගීත රසවිඳීමෙන් පෙනීයන්නේ, ඔහු විශ්වකර්ම ගාන්ධර්වයකු බවයි.

  2. වික්ටර් කියන්නේ මගේත් ප්‍රියතම ගායකයා. වික්ටර් ගැන ලිව්ව ඔබ ලිව්ව සටහන හරිම හැඟීම්බරයි. මමත් කාලෙකට කලින් වික්ටර් ගැන ලිපියක් ලිව්වා. පෝස්ට් කලදාට පස්සේ එදා වික්ටර්ගේ උපන්දිනය කියලා.

    මේ තියෙන්නේ මම ලිව්ව ලිපියේ ලින්ක් එක

    http://dukaa.blogspot.ae/2010/02/blog-post_17.html

    • ඔබේ ඒ ලිපිය කියෙව්වා. හරිම අගනා රටාවක්. ඒ නිසා කමෙන්ට්ස් විශාල ගණනක් ලැබී තිබෙනවා.

      දේශීය සංගීතය ගැන දන්නා ඕනෙම කෙනෙකුට තමන්ගේ මරණය දක්වා වික්ටර්ව අමතක වෙන්නේ නැහැ.

  3. සුන්දර සටහනක්. මේ දැනට ඉන්න සුන්දර මිනිසුන් ටික අප අතරින් සමු ගත්තට පස්සේ දෙවැනි පෙළක් ලෙස අපිට මේ වගේ සුන්දර මිනිසුන් සුන්දර නිර්මාණ කියලා කියන්න අය ඉඳිවි ද, නැත්නම් මේ අයවම නැවත් නැවත් කියවමින් ලියමින් විඳිමින් ඉන්න වේවි ද ..මේ කලා කෙතෙත් අපරිමාණව ගුරුවරු බිහිඋනා, බිහිවෙනවා, කලා ආයතනත් බොහොමයි එක එක නම් වලින්. එත් අපි තාමත් අගයන්නේ විඳින්නේ ලියන්නේ මතක තියා ගන්නේ මේ වියපත් සුන්දර කල කරුවන්ව පමණක් උනේ කොහොමද..

    • මේ පරපුර අවසන්වීම, ලෝක ස්වභාවයයි. දැන් ඉන්න පරපුර කුමක් කලයුතුද කියන එක, මා මීට පෙර ලිව්වා,

      මෙන්න මේ ලිපියෙන්.

      නමුත් අවාසනාවකට වගේ, දැන් ඉන්න පරපුර හිතන්නේ, ගායකයකු කියන්නේ, හොඳ කටහඬක් ඇති පුද්ගලයකු කියලයි. සංගීත ඥානය ගැන, ඔවුන් මොකවත් දන්නේ නැහැ,. දැනගන්න ඕනෑකමකුත් නැහැ. ඔවුන් හිතන්නේ, ප්‍රසංග වේදිකාවල, ඇති තරම් අනුන්ගේ සින්දු කියලා සල්ලි හොයන අනුකාරකයෝ, ගායකයන් කියලා.

      ඒ තමා, ජාතියේ අවාසනාව. මේ අගනා ගායක පරපුරේ කීර්තිය, ඔවුන්ගේ මරණින් පසුව වුනත්, අඩුවෙන්නේ නැහැ.

  4. අදටත් චාරිකාවක් යනකොට ගැයෙන ගී වලින් 99% ක්ම 70,80 දශක වල ගීත නේද නව පරම්පරාවේ ගීත බලෙන් ජනප්‍රිය කරවන ඒවයි
    විචාරකතුමනි ඔබගේ ලිපිය හරබරයි

    තරහ අවසරයි !
    ගේය පද රචනය හා ගී පද රචනය කියන්නේ දෙකක්ද පැහැදිලි කිරීමක් කරන්න

    • අද හදන (නිර්මාණය කෙරෙන නෙවෙයි) සින්දු (ගීත නෙවෙයි) බොහොමයක් ගයන්න පුළුවන් ඒවා කියපු අයට පමණයි. හැබැයි ඒ අයටත් බැහැ, පරිගණක තාක්ෂණයෙන් හදපු ‘කෑලි’ ටික පසුබිමෙන් වයන්නේ නැත්නම්, ඒ සින්දු කියන්න.

      නිර්මානාත්මක ගීතයක, අනාදිමත් කාලයක සිට, අපේ ලේ වලලට ඇතුළුවී තිබෙන දේශීයත්වය ගැබ්වෙනවා. ඒ නිසා, ඒවා නිරායාසයෙන් ගයන්නට හැකියි. ඒ ආරට හැදුනු පැරණි ගීත, අදත් පොදුවේ ගයන්නට හැකිවීමේ රහස එයයි.

      ගේය පද කියන්නේ, ගැයීම සඳහා ලියවුන වචන මාලාව කියන තේරුමයි.

      ගී පද, අපිට, ජන කවියකින්, ගාථාවකින්, තාලයකට ගයන පදමාලාවකින් උකහා ගන්නට පුළුවන්.

  5. වික්ටර් රත්නායකට තියෙන්නෙ හරි අපූරු හඬක්.ඔහුගේ ගිගිරි ගීත රාවේ ගීතය යූටියුබ් එකෙන් සැරින් සැරේ රස විඳිනවා.

  6. වික්ටර් රත්නායක යනු ආඩම්බරයක් නැති අපුරු මිනිසෙක්. මට ඔහු හමුවීමට දෝහා වෙතටම යන්න වුණා. අපුරු පින්තුරයකුත් සටහන් කරගන්න හැකිවුනා. ගොඩක් ගායක ගායිකාවන් මුණ ගැසී වැඩ කරන්නට මට එතෙර දී හැකි වුනත් මගේ හිතට ආඩම්බරයෙන් කියන්න පුළුවන් අය අතුරෙන් මෙතුමා ප්‍රධානයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: