විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


1055   චී චී චී, මාතෘකාව දැකපු ගමන්, එකපාර හිතට එන ඒ වචනේ, කියන්නවත්, කමෙන්ට් වල ලියන්නවත් එපා. මම ලියලා තියෙන්නේ, ගල් කිරමුද කියලා. ඒ නිසා වෙන වැරදි අදහසක් ගන්න එපා. අහලා තියනවද ගල් කිරනවා කියලා දෙයක්? අහලා නෑ? ඔය ඇත්තන්ගේ වැඩිහිටියො නම්, හොඳට දන්නා දෙයක් මේක. අපි පුංචි කාලේ නිතර දැකපු දෙයක්. හැබැයි, ඒ කාලේ මේ වැඩේ උවමනාවට වඩා කරන අයට, ගෙවල් වලින් බලු බැනුම් අහන්න වෙනවා. සමහර අම්මලා කියනවා, මේක මහා සාපයක්ලු. සාපයක් තියනවද නැද්ද මන්දා, ඒ කාලේ ඉඳලම මේ වැඩේ වැඩිපුර කරන්නේ, ගෑණු ළමයි. ඒ වගේමයි මේක පුදුම ඇබ්බැහියක් ඒ කාලේ. මමත් පුංචි කාලේ, මගේ අක්කලා තුන්දෙනා එක්ක, මේ වැඩේ කරලා තියනවා. නමුත් ඒ තුන්දෙනාගේ දක්‍ෂතාවය එක්ක මට හැරෙන්නවත් බැහැ.

   හැබෑටම තවම අදහසක් ආවේ නැද්ද ඔලුවට, මොකක්ද මේ ගල් කිරිල්ල කියලා. මේකට තව නමක් කියනවා, ගල් දරනවා කියලා. දැන්වත් ටිකක් මතකයට ආවද? මේක ගෘහාශ්‍රිත ක්‍රීඩාවක්. අදනම් දකින්න ලැබෙන්නේ නැහැ. අද මේ ක්‍රීඩාව කරන්න දන්නා අය ඉන්නවානම්, ඔවුන්ගෙන් බහුතරය, මැදිවිය ඉක්මවූ අයයි.

   මම කියලා තියනවා මීට කලින් කීප වතාවක්ම, මට අක්කලා තුන් දෙනෙක් ඉන්නවා කියලා. මේ අක්කලා තුන්දෙනා මට ආදරය කරන්නෙත් තුන් විදිහකට. බාලම අක්කා හරිම සැරයි. මම ටිකක් වැඩිපුර පානය කරනවා කියලා, අපේ උන්දෑ කේලමක් කිව්වොත්, මට ඇමතුමක් ඇන්න, දෙනවා මගෙ කන් පිරෙන්නම. ඊළඟ අක්කා, ඒ කියන්නේ දෙවනියා, මට හරිම ආදරෙයි. අරයා වගේ නෙවෙයි, කියන්නෙත්, උඹලට ඔව්වගේ ආදීනව තේරෙයි තව පස්සට, කියලා විතරයි. ලොකු අක්කා, උඹට ඕනෙනම් හැදියන් නැත්නම් මැකියන් වර්ගයේ තමයි.

   දැන් මේ ගල් කිරිල්ලෙයි, අක්කලා තුන් දෙනයි අතර සම්බන්ධය මොකක්ද? ඒකනේ කියන්නේ. අද මම මේ තුන්දෙනාවම, දුරකථනයෙන්, අමතා අර කොන්සල්ට් ද මොකද්ද කළා. මොකෑ කිව්වොත්, මේ තුන්දෙනා, ඒ කාලේ (1960 දශකයේ) ගල් කිරීමේ විශේෂඥ වරියන් නිසා. ඔව් ඔව්, ගල් කිරිල්ලට ගිහින්, කෙහෙවලු පටලවා ගත්තම, අම්මගෙන් පාරවල් දෙක තුනක් වදිනවා පිට මැද්දට, ඩීන් ඩීන් ගාලා. ටිකක් අඬලා, තුන්දෙනාම ආයෙත් පටන්ගන්නවා සෙල්ලම. ඔව්වා ඔහොම තමයි නේද?

   දැන් මේ ගල් කිරිල්ල (අද කලේ කියන, ‘ගල් කරනවා’ කියන එක නෙවෙයි හොඳේ) ගැන ලිපිය ලියන්න නිමිත්ත මොකක්ද? මෙන්න මේකයි. අපේ ගෙදර වැඩට ගෙනත්, ඉතුරු වෙලා තියන කොන්ක්‍රීට් ගල් වගයක්, තිබෙන තැනින් වෙනත් තැනකට ඉවත් කරද්දී, එකවරම මට මේ අතීත මතකය පහළ වුනා.

   මම වහාම අපේ ඇත්තීගෙන් ඇහුවා, ඔයා දන්නවද ගල් කිරන්ඩ කියලා. ‘මොකක්’ කියලා, මගෙ දිහා බැලුවේ, මොකක්හරි මගෝඩි කතාවක් කියයි කියලා. මම කිව්වා, ඔයාට මතකද, පුංචි කාලේ, අර ගල් කැට පහක් අරගෙන කරන සෙල්ලම, කියලා. ආ………හරි හරි, ටිකක් මතක තියනවා කිව්වා. මම කිව්වා, හරි ඒ මතක තියන ටික මට පෙන්නන්න කියලා.

   ඒ අතරේ ඔන්න මම කැමරා බෑගය ඇරලා, කැමරාව සූදානම් කරනවා දැකලා අහපි, ඔය මොකටද කියලා. මම කිව්වා, මේක මගේ බ්ලොග් එකේ දාන්න, පින්තූර ගන්න ඕනේ කියලා. බෑ බෑ, මගේ පින්තූර දාන්න බෑ කිව්වා. මම කිව්වා හරි හරි, මූණ වැටෙන විදිහට පින්තූර ගන්නේ නැහැ කියලා. ඔන්න ඊට පස්සේ තමා, මේ නිදර්ශන පින්තූර ටික ගත්තේ. සාලේ ටයිල් උඩ ගල්කැට දාන්න බෑ කිව්වා. ඒ පාර කුස්සිය තමයි ස්ටුඩියෝ එක කරගත්තේ. ‘මළකෝලං පයින් යනව’ කියන්නේ ඔව්වට තමා. නෑ ඉතිං අපේ ප්‍රියම්බිකා තොමෝ, මූණ දාන්න එපා කිව්වේ, බලන අය, ‘ඇස් වහගනියි’ කියලා හිතලා වෙන්ඩෑ.

   ඇත්තටම, ගල් කිරීම ගෙවත් ගල් දැරීම ක්‍රීඩාව සම්බන්ධව යම් තොරතුරක්, අන්තර්ජාලයේ තිබේදැයි සොයා බැලුවම, මට හමුවුනේ, මෙන්න මේක විතරයි.

   අපේ අක්කලා තුන් දෙනාගෙන් දෙවැනි අක්කා, මේ වැඩේ ගැන හොඳම දැනීමක් තියන කෙනෙක්. බයිපාස් සැත්කමකින් පසු ඇතිවූ සංකූලතා නිසා, අදටත් දුක් විඳින ඇය, ගමන් කරන්නේ සැරයටියක ආධාරයෙන්. ඇයව වෙහෙසට පත් නොකර, කෙටියෙන් අසාගත් දේ, මෙතැන් සිට විස්තර කරනවා.

   ගල් කිරන ක්‍රීඩාවට, එක්කෙනෙකුට වැඩි පිරිසක් අවශ්‍යයි. නමුත් හතර පස් දෙනෙක් වුනාම කරදරයි. තුන් දෙනෙක් විතර තමා හොඳ. මේ සඳහා ගන්නේ, අඟල් 1.5 පමණ පැත්තක් තියන, ආසන්න වශයෙන් ඝනයක හැඩය ඇති, කළුගල් පහක්. හුඟක් බර ගල්, සිමෙන්ති පොළොවක් මත වැටුනම කෑලි කඩෙන ගල්, ගන්න එපා. මේ පින්තූර වල තියන සමහර ගල් පොඩි වැඩියි.

DSC04741

   මුලින්ම, අර කවඩි අරගෙන, සිංහල අවුරුද්දට කරන පංච දැමීමේදී වගේ, සළුවෙන්න හෙවත් සල්ලම් වෙන්න ඕනේ. ඒ සඳහා කරන්නේ, ගල් පහම මිටට අරගෙන, උඩ දමා, පිටි අල්ල ඇල්ලීමයි. පහත වැටෙන ගල් පහම හෝ එකක් හෝ පිටි අල්ලේ රැඳුනොත්, සළුවෙනවා. සළු නොවුනොත්,  ඊළඟ එක්කෙනාගේ වාරය.

DSC04734

   සළුවුන එක්කෙනා, (සළුවුන පිළිවෙලට අනුව)  ගල්කැට පහම අත්දෙකට ගන්නවා. (ආයුබෝවන් කියන විදිහට අත්දෙක තියාගන්නේ) අත් දෙක ඇතුලේ ගල් කැට ටික හොලවලා, බිමට දානවා. හොලවද්දී ගල් කැට එලියට විසිවුනොත්, ඊළඟ එක්කෙනාගේ වාරය. 

DSC04732

   දැන් එක ගල් කැටයක් අතට ගන්නවා. ඒ වෙලාවේදී අත වෙනත් ගල් කැටයක ගෑවුනොත්, තමන්ගේ වාරය අවසන්, ඊළඟ එක්කෙනාගේ වාරය. එයා මුල ඉඳලා පටන් ගන්න ඕනේ. අතට ගත්ත ගල් කැටේ උඩ දාලා, බිම වැටෙන්න කලින්, බිම තියන ගල් කැටයක් අතට අරන්, ඒ අතින්ම අල්ලගන්න ඕනේ, අර උඩ ගිහින් එන ගල් කැටේ. ඒ විදිහට, එක ගල් කැටයක් උඩ දාලා, බිම තියන ගල් කැට, දෙකක්, තුනක්, හතරක්, වශයෙන් අතට අරගැනීම සහ උඩ ගිහින් එන ගල් කැටය, ඒ අතින්ම ඇල්ලීම කරන්න ඕනේ. 

DSC04736

   ඊළඟ වතාවේදී කරන්නේ, එක ගල් කැටයක් පිටි අල්ලේ තබා උඩ දමා, අර විදිහටම බිම තියන එක ගලක්, දෙකක්, තුනක්, හතරක් ඇල්ලීමයි. ඊළඟට සෑහෙන අභියෝගයක් එනවා. එතැනදී කරන්නේ ආයෙත් එක ගලක් පිටි අල්ලට නොගෙන නිකම්ම උඩදමා, තමන්ගේ පපුවට එම ගල් උඩ දැමූ අත තියා, බිමින් ගලක් ගෙන, ඒ සමගම උඩ සිට බිම වැටෙන ගල ඇල්ලීම. මේකත් ගල් 2,3,4, වශයෙන් කරන්න ඕනේ. හැක් හැක් හැක්, පොටෝ කෙළින්න ගිහින්,  ඔන්න උඩ දාපු ගල බිම වැටිලා තියෙන්නේ…………………

DSC04738

   දැන්, එක ගල් කැටයක් පිටි අල්ලට ගෙන, උඩ දමා, පපුවට අත තියා, බිම තිබෙන ගල් 1,2,3,4, වශයෙන් ගතයුතුයි. මෙන්න මේ අවසාන අවස්ථාව ගැන, ක්‍රීඩාව ආරම්භ කිරීමට පෙර, එයට සහභාගි වන්නන් එකඟතාවයකට එනවා. එනම්, මේ පපුව අල්ලන අවස්ථා කීයක් කරනවාද යන්නයි. ඒ කියන්නේ, 1,2,3,4,5, වශයෙන්, ගල් කැට පහ ඇල්ලීම, කී වතාවක් කලයුතුද යන්නයි. ගල්කැට පහම අල්ලන එක වාරයක්, ‘පත්තුවක්’ ලෙසයි හැඳින්වෙන්නේ. ඉතින් මුලදීම එකඟතාවයකට එනවා, පත්තු තුනක් හෝ පහක් කලයුතුයි කියා. ක්‍රීඩාවේ ඕනෑම අවස්ථාවක දී, උඩ සිට වැටෙන ගල අල්ලාගන්න බැරිවුනොත්, බිමින් ඇහිඳගන්නා ගලක් අතහැරුනොත්, ඒ ක්‍රීඩකයා, ආපහු, ආරම්භක, එනම් පළමුවැනි පියවරේ සිට, නැවත පටන්ගත යුතුයි.  

   ඔබේ ප්‍රදේශවල මේ ක්‍රීඩාව වෙනත් නම්වලින් හැඳින්වෙනවා ඇති. ක්‍රීඩාවේ නීතිරීති මීට වඩා වෙනස් ඇති. ඔබේ අදහස් දැක්වීම් වල, එවැනි තොරතුරු ඇතුලත් වෙතැයි බලාපොරොත්තු වෙනවා. 

   ඉතින් අපිට පාන්ද/බනිස්ද/විස්කෝතුද/ කියා කියන්න බලාපොරොත්තුවන අය,  මේ ටික කියවන්න.

   බොහෝවිට, පරිගණක ක්‍රීඩා වලට පමණක් සීමාවී සිටින අද කාලේ දරුවන්ට, මෙයින් යම් ප්‍රයෝජනයක් තිබේද? 

තිබෙනවා. මෙන්න ප්‍රයෝජන;

1. අනෙකාගේ දක්‍ෂතා දෙස ඉවසීමෙන් බලන්නට පුරුදුවෙනවා. 

2. තම දක්‍ෂතා වර්ධනය කරගන්නට, අනෙකා නිරීක්‍ෂණය කොට, දැනුම උකහා ගැනීමට පෙළඹෙනවා. උපක්‍රම ඉගෙනගන්නවා. එය, වෙනත් අවස්ථාවන්ට, අනාගතයේදී යොදාගතහැකි වෙනවා. 

3. දරුවකු මෙය කරනවිට සිත, ඇස, අත, දැඩි සමායෝජනයකට ලක්කිරීමට සිදුවනවා. තමන්ගේ අතේ, ඇසේ, චාලක හැකියා, උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නට සිදුවෙනවා. එයින්, අධ්‍යාපන විද්‍යාවේදී, කියවෙන, Eye – Hand Coordination සහ Fine Mortar Skills වැඩි දියුණු වීමෙන්, ශරීර සෞඛ්‍යයට යහපතක් වෙනවා. මනසට ද අභ්‍යාසයක් ලැබෙනවා. සතපහක වියදමක් යන්නේ නැති මෙවැනි ක්‍රීඩා වලින්, පරිගණක ක්‍රීඩා වලටත් වඩා යම් සේවයක් වෙනවා. 

ඉතින් ඒ ටිකම මදිද?

හොඳයි. ඔබේ අදහස් බලාපොරොත්තුවෙන් ලිපිය මෙතෙකින් අවසන් කරනවා.

2016 අගෝස්තු මස 03 වැනි දින 2355 පැය 

Advertisements

Comments on: "ඉස්සර වගේ ගල් කිරමුද?" (12)

  1. මම ඉතින් දෙයියන්නෙ රටේ ඇත්තෙක් නෙව . උග්ගල් අලුත්නුවර දරුවන් මෑතකදීත් ඔබ විස්තර කරන ක්‍රීඩාවම (ඉාතම සුළු වෙනස් කම් දෙකතුනක් පමණක් තිබෙනවා) කරනු දක්නට ලැබුණා. ඒ සඳහා කළු ගල් කැබලි වෙනුවට යොදාගත්තෙ ප්‍රදේශය පුරා ඉතා පහසුවෙන් ලබාගත හැකි කැකුණ ඇට පහක්. එහි ව්‍යවහාර වන්නෙ “පත්තු දැමීම” ලෙසයි. කලාතුරකින් ඇතැමෙක් කැකුණ කිරනවා යනුවෙන්ද ව්‍යවහාර කරනවා

    • ගුණසිංහ මහත්තයා. කලින් ලිපියෙදි වගේම මම මේ ලිපියෙදිත් ගොන් වැඩක් කරගෙන. අම්මපා මීට පස්සේ මේ වගේ ලිපියක් ලියන්න කලින්, මම ඔබතුමාට ඊ මේල් එකක් එවන්නම්, මම මෙන්න මෙහෙම දෙයක් ලියන්න යනවා ඔබතුමා දන්නා දෙයක් තියනවනම් මට කියලා දෙන්න, කියලා. එතකොට ඒ කරුනුත් එකතුකරලා ලිපිය තවත් සාර්ථක කරගන්න පුළුවන් වෙනවා.

      ඔබතුමාට බොහොම ස්තුතියි මේ අදහස් එකතුකිරීම පිළිබඳව.

      • නැහැ නැහැ විචාරකතුමා ඔබතුමා ලියන මෙවැනි ලිපි අන්තර්ගතයන් ඉතාම වටිනවා. ඒවා අපේ රටේ පොදු සංස්කෘතික ලක්ෂණ වල විශේෂතා කදිමට විස්තර කරමින් විග්‍රහයක යෙදෙනවා. මේ අතර දි මා ලියන්නට උත්සාහ ගන්නෙ නවීකරණය පමා වූ ලංකාවේ විශේෂිත ප්‍රදේශයක පවතින සමාජය හැඩගැන් වූ සුවිශේෂතා. ඒ නිසාම ඔබේ යට කී ගණයට වැටෙන ලිපි කියවද්දී ඉබේම උග්ගල් අලුත්නුවර සමාජ සංස්කෘතික ලක්ෂණ වෙත යොමු වෙනවා. උදාහරණ විදිහට යුද කෑ ගැහිල්ල පිළිබඳ ලිපිය කියවද්දී මා යොමු වූයේ උග්ගල් අලුත්නුවර පෙරහර සම්ප්‍රදාය නිරීක්ෂණය කළ මහාචාර්යවරයකු මා සමග පැවසූ වදන්. මෙහි දීත් සිදු වූයේ එයයමියි.

  2. ලිපියට ස්තුතියි.
    මේ ක්‍රීඩාවේ මූලාරමභය මෙය විය හැකියි:
    https://en.wikipedia.org/wiki/Knucklebones
    දැන් මගේ වයස අවුරුදු 62යි. දකුණු පලාතේ ඉපදුන මගේත් එදා ඒ වයසේ හිටපු සියල්ලන්ගේත් ළමා කාලය වැඩිපුරම ගෙවුනේ මේ ක්‍රීඩාව සහ අදට කවුරුවත්ම කතා නොකරන සහ ලිඛිත සටහනක් වත් හොයා ගත නොහැකි තවත් ක්‍රීඩා රැසක් සමගයි.
    එක් පරම්පරාවක් තරම් කෙටි කාලයක් තුලදී සමාජයක මෙතරම් වෙනස් වීම් සිදුවීම අදහගන්නත් අමාරු තරම්. මේ කෙටි කාලය තුල අපේ භාෂාවේ අභාවයට ගියපු වචන සංඛ්‍යාව කොයි තරම් විය හැකි ද?
    ‘ගල් කිරීම’ ගැන කියනවා නම් අපේ ප්‍රදේශයේ ඊට භාවිතාවුන නම ‘ටක්ක ගැසීම’ කියන එකයි. මේ ක්‍රීඩාවේම වෙනස් ප්‍රබේධයක් තිබුනා ‘නීල කොබෝ’ කියලා.
    මීට අමතරව මේ ප්‍රමාණයේම ගල් 16 ක් (හෝ 32 ක්?) යොදා ගත්තු ‘පැටිකිත්තං’ කියල ක්‍රීඩාවක් තිබුනා. තවත් තිබුනා කුඩා ගල් 32 ක් විතර යොදා ගත්තු ‘ලේන ඉරි’ කියල ක්‍රීඩාවක්.
    මේ ක්‍රීඩා ගැන තවත් සඳහන් කළයුතු දෙයක් තමයි ජයග්‍රාහකයා විසින් පරාද වූ අයට දඬුවම් දෙන ක්‍රමය. ඒකට කිව්වෙ ‘තෙල් බේරනවා’ කියලයි. මතක් කරන කොටත් ඇස් වලට කඳුලු එනවා. (දුකට නෙවෙයි, දඬුවමේ බරපතල කමට!) ඒ කාලයේ සගයො දෙතුන් දෙනෙක් හමු වෙලා කතා කළා නං මේව ගැන පොතක් ලියන්න තරං කරුණු හොයා ගන්න පුලුවන්.
    අවුරුදු 50 ක් කියන්නෙ මහ කාලයක් නෙවෙයි. මේක කියවන බොහෝ දෙනෙක් මේ කියන ක්‍රීඩා ගැන මීට වඩා විස්තර දන්නවා කියල මං විශ්වාස කරනවා. ඔවුන්ටත් විස්තර එකතු කරන්න ඉඩ තබමින් නවතින්නම්.

    • ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මගේ අඩවි දෙකටම ඇවිත් අගනා අදහස් සමුදායක් එකතු කිරීම පිළිබඳව. මා ඔබට දීර්ඝ පිළිතුරක් ලබාදී තිබෙනවා මගේ බ්ලොගර් අඩවියේදී. http://wicharaka.blogspot.com එම පිළිතුර කියවා බලනමෙන්, ඉතා කාරුණිකව ඉල්ලනවා.

  3. ඇත්තම කිව්වොත් මමත් මෙහෙම සෙල්ලමක් ගැන ඇහුවේ මේ ලිපිය කියෙව්වට පස්සේ. 80 දශකයේ කෙනෙක් වුනත් කොළඹ සිටි නිසාදෝ මේවගේ ක්‍රීඩා ගැන මටත් එතරම් දැනුම් තේරුම් නැතිවා දෝ කියලත් හිතෙනවා. කොහොම වුනත් අදකාලේ හැදෙන “යාන්ත්‍රික” ළමයින්ට වඩා නම් අපිට දුවලා පැනලා ක්‍රීඩා කරන්නට වාසනාවන්ත වීම ගැන නම් තියෙන්නේ හිතේ සතුටක්.

    විචාරකතුමාගෙන් මෙවැනි වැදගත් අතීතාවර්ජනා ලිපි තව තවත් කියවන්නට අවස්ථාව ලැබේවි කියා සිතනවා.

    • බොහොම ස්තුතියි ඔබට, මේ ලිපිය ඇගයීම සහ මා දිරිමත් කිරීම පිළිබඳව. මා හිතාගත්තා මෙවැනි කරුණු ඇතුලත් ලිපි ඉදිරියේදීත් ලියන්නට.

      ඇත්තටම පරිගණකයට සහ ජංගම දුරකථනයට පමණක් සීමාවී, අතථ්‍ය Virtual ලෝක වලට සීමාවී සිටින බාල පරපුරට, කය වෙහෙසා කරන ක්‍රීඩාවක් මගින් මානසික වර්ධනයක්ද දීමට හැකිනම් ඉතා වටිනවා.

  4. අපේ පැතත‍ෙ කියන්නේ ටාක්ක ගහනවා කියල

  5. ​ඔබ තුමාට මම පණිවුඩ ​දෙකක්ම එවුවා blog එක හරහා. දැක්කාද නැද්ද කියලා මට විස්වාස නෑ . මමත් කෑගලු විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් . මම 1959 ඉඳලා 1967 විතර වෙනකල් විද්‍යාලේ තමා හිටියේ. ඔබතුමාගේ බ්ලොග් එක දැකලා බොහොම සන්තෝෂ හිතුනා අපේ එකෙක් මෙහෙම වැඩක් කරනවා නේද කියලා. මගේ නම තිස්ස අබේරත්න. මගේ email address එක: abeyratnet@gmail.com. ගල්කෙටීම නවත්තලා තරහ නැතිව මට ඔබතුමාගේ විස්තර දන්නලා එවනවාද?
    මා දන්නා තරමින් කෑගල්ල පැත්තේ කීවේ ගල් කොටනවා කියලයි, ගල් කිරනවා කියලා මම අහලම නෑ .

  6. යාන්තන් ඇබින්දන් මතකයක් තියනවා මෙහෙම සෙල්ලමක් ගැන. ගල් කිරනවා කියල තමා කිව්වේ මයේ හිතේ..

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: