විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


1   හෙහ් හෙහ් හෙහ්, යුද්දෙට ගියාම සද්දේ වැඩක් නෑ. යුද්දේ තමයි කරන්ඩ ඕනේ. නමුත් ඉතිං දැක්කනේ පහුගිය කාලේ, යුද්දෙයි සද්දෙයි දෙකම තිබුණා. සමහරු කටින් යුද්ද කළා. සමහරු කොළඹ සීතල කාමරවල ඉඳගෙන යුද්ද කළා. සමහර ‘මාජ්ජ’ කොළඹ ඉඳගෙන, අනුන්ගෙන් තොරතුරු අහගෙන ලිව්වා, මහා යුද වාර්තා හෝ ගාලා. අපේ රටේ සමහර අහිංසක ජනතාව, ඒ වාර්තා, ජාතක කතා වගේ විශ්වාස කළා. අනේ මන්දා, සිංහල රජකාලෙන් පස්සේ දිනුව ලොකුම යුද්දේ දිනලත්, අපිට තවමත් බැරිවුනා හරියට මිනිස්සුන්ගේ සිත් දිනාගන්ඩ. අන්න ඒක කළ දාට තමයි, යුද ජයග්‍රහණය තහවුරු වෙන්නේ. ඒ සඳහා සෑම ජාතියක්ම, සෑම දේශපාලන පක්‍ෂයක්ම යම් යම් පරිත්‍යාග කලයුතුයි. ඒක තමයි, ජයගතයුතු ලොකුම යුද්දේ.

   හොඳයි, ඒ කතාව එතනින් නවත්වා, මා කැමතියි, ඔබව අද මාතෘකාව වෙත කැඳවාගෙන යන්නට. මම මාතෘකාවේ සඳහන් කළ, යුද්ද කෑගැහිල්ල කියන වචනය, ඒ ආකාරයෙන් ඔබ අසා නැතුව ඇති. නමුත්, ‘Battle Cry හෙවත් යුද ඝෝෂාව’ (රණ ඝෝෂාව, රණගොස) යන්න, ඔබ මීට පෙර අසා ඇති. ඔබ දන්නවා නේද, වෙහෙසවී කරන යම් යම් වෘත්තීන්හිදී, වැඩකිරීමේ වෙහෙස නිවාගන්නට, කම්මැලිකම දුරලන්නට, අලසව වැඩ කරන අය අවදි කරන්නට, සාමූහිකව යොදන මිනිස් බලය ඒකරාශී කරන්නට, මිනිසා විවිධ හඬ නගන බව?

   උදාහරණ ගොඩක් කියන්න පුළුවන් නේද? ගොවිතැනේදී, ධීවර කර්මාන්තයේදී, කරත්ත වලින් භාණ්ඩ ප්‍රවාහනයේදී, ඔරු වැනි ජලයාත්‍රා පැදවීමේදී, පතල් කර්මාන්තයේදී, එවැනි හඬනැගීම් කෙරෙනවා. මේවා යම් ආකාරයක ගායනා ස්වරූපයෙන් හෝ එකවර ජවය යෙදවීම සඳහා කෙරෙන, සාමූහික හඬනැගීම් වන්නට පුළුවන්.

   අදත් අපේ පිරිස්, ලොකු බරක් එසවීමට හෝ තල්ලු කිරීමට උත්සාහ ගැනීමේදී, ‘හා ඕං එහෙනං, හා ඕං, හා ඕං ඇල්ලුවා, වැනි කෑගැසීම් භාවිත කරනවා නේද?

   ඒ විතරක් නෙවෙයි, මතකද බිග්මැච් කාලෙදි, විරුද්ධවාදී පාසලට ‘පරිප්පුවෝ’ ආදී උපහාර වචන කියමින්, තමන්ගේ පාසලට ජයවේවා,……………කොල්ලො වසයි, යකඩ කඳන් දෙකට කඩයි’ ආදී වශයෙන් යුද ඝෝෂා කරපු හැටි.

3

හෙහ් හෙහ්, බාලිකා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල බලන්න ගිහින් අනේ…….(කැමති නමක් දාගන්න) ‘හයියෙන් ෆාස්ටර්’………කියපු හැටි. 

2

   ඇයි ඉතින්, අදත් ඔය යන්නේ එක එක යාත්‍රා, ‘කාගෙද මේ බලවේගේ – අපෙ තොම්මගෙ බලවේගේ’ (බලුවේගේ?) කියා කියා. එව්වත් එක ජාතියක යුද ඝෝෂා තමයි, බලාගෙන යනකොට. 

      කෑගැසීම් කියනකොට මතක්වුණේ, මා, ලංකාවේ බටහිර වෙරල ආශ්‍රිත, ධීවර ගම්මාන පිහිටි ප්‍රදේශයක රාජකාරියේ යෙදී සිටියදී, දැල් ඇදීම සඳහා ප්‍රමාදවී පැමිණි තම මවට, තම පියා ඉදිරිපිටදීම, පුතකු ඇමතූ වදන් මෙහි ලියන්නට බැහැ. නමුත් මා පුදුමයට පත්කළ කාරණය වුණේ, ඒ පියාටත්, ඒ මවටත්, ඒ ගැන කිසිදු තැකීමක් නොවීමයි. ඒ මව, ඒ වදන් ඇයට කිව්ව ඒවා ලෙස නොසලකා, දැළ ඇදීමට පටන්ගත්තා. ‘දේසේ හැටියට බාසේ’ කියනවානේ.

   ඉතිං යුද්ද කරනකොටත් ඒ වගේ කෑගහනවද? අපොයි ඔව්, සතුරු ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර දෙනවිට, අපි සතුරු කඳවුරකට පහර දෙනවිට, 


‘වම්පැත්ත බලපල්ලා වම්පැත්ත……..’


‘3 ඉලක්කමට RPG ගහපන්, එතන ගෘප් එකක් ඉන්නවා වගේ…..’


‘ඉස්සරහින් වේව් ඇටෑක් එකක් එනවා වගේ, බලාගෙන හිටපල්ලා……’  


‘ඇමෝ ඉවරවේගන යන්නේ, ඇමෝ එවපල්ලා……..’ 


‘උන්ගේ බංකර් වලින් ෆයර් එකක් එනවා…….කවර් අරගෙන ගහපල්ලා…..’


   වගේ කෑගැහිලි සිද්දවෙනවා.  


   ඒ විතරක් නෙවෙයි, සතුරු කඳවුරක් වැනසුවාම, ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑ, අපේ කට්ටිය දෙනවා හූවක්, පළාත දෙදරන්න. ඕනෙනම්, අහසට පොකුරු වෙඩි ටිකකුත් තියනවා. සමහර වෙලාවට කෑගහලා නවත්තන්නේ, ‘යකෝ ඔය ඇති, හොඳට බලාපියව් වටේ හැමතැනම, හැංගිච්ච එවුන් ඉන්නවද කියලා’ කියලා තමයි නවත්තන්නේ.  

   නමුත් මම කියන්න යන්නේ, ඊට වඩා වෙනස් යුද ඝෝෂාවක් ගැන. ඉතා ඈත අතීතයේදී, මිනිසා, කඩු, දුණු, හෙල්ල, වැනි ආයුධ වලින් සටනට යද්දී, තම හමුදාවේ අභිමානය, බලය, ශක්තිය, සතුරා වෙත පෙන්වා සතුරා බියපත් කිරීම සඳහා යම් සාමූහික කෑගැසීම් කළා. මෙය හරියට සමාන වන්නේ, නවසීලන්තයේ ආදිවාසීන් ලෙස සැළකෙන, මඕරි ගෝත්‍රිකයන් විසින් ඉදිරිපත් කරන, හාකා නමැති, සාම්ප්‍රදායික චාරිත්‍ර විධික්‍රමයටයි. 

MaoriWardanceKahuroa

ඇයි මේ විදිහට යුධ ඝෝෂා පවත්වන්නේ? හේතු කීපයක් තියනවා. 

 1. තමන්ගේ කණ්ඩායම් හැඟීම සහ චිත්ත ධෛර්යය වර්ධනය කරගැනීමට.
 2. සතුරා වෙත තර්ජනාත්මක සහ බියවැද්දීමේ බලපෑමක් ඇතිකිරීමට.
 3. ප්‍රහාරය වඩාත් බලවත් ලෙස සතුරා වෙත එල්ල කිරීම සඳහා සියලු දෙනාගේ අවධානය ඒකරාශී කිරීමට. 
    යුධ ඝෝෂා පැවැත්වීම, ලෝකයේ සෑම මහාද්වීපයකම පාහේ ජීවත්වන, ජාතීන්/ගෝත්‍ර අතර, ඉතා ඈත අතීතයේ සිට තිබුණු චාරිත්‍රයක් බව, පුරාවෘත්ත වල සඳහන් වෙනවා. ඒ සෑම එකක්ම, මෙහි විස්තර කරන්නට මා අදහස් කරන්නේ නැහැ. 
    මේ ආකාරයට තම අභිමානය විදහා දැක්වූ/දක්වන, වෙනත් ජාතීන්ගේ යුද ඝෝෂාව ගැන, මෙතැන් සිට කරුණු ඉදිරිපත් කරනවා.
Bayonet-charge-1250
   ඇමරිකානු සිවිල් යුද්ධ සමයේදී මෙවැනි යුධ ඝෝෂා ඉදිරිපත් කර තිබෙන්නේ ගීතමය ස්වරූපයෙන්. විශේෂයෙන් යුදජයග්‍රහණ සැමරීම සඳහාත්, එවැනි ගීත සකසා තිබෙනවා. මේ ගීතය ඔබේ පැරණි මතකය අවදි කරනු ඇති. තත්පර 40 ක් ඇහුවම ඇති.

 

 

 පහත දැක්වෙන වීඩියෝවේ තිබෙන්නෙත්, ඇමරිකානු සිවිල් යුද්ධයේ ප්‍රවීනයන්ගේ හමුවකදී ඔවුන් එදා කල යුධ ඝෝශාව නැවත කර පෙන්වීමක්.

 

 

මේ විදිහට යුධ ඝෝෂා කරමින්, අතීතයේදී, සටනක් සිදුවන්නට ඇත්තේ, පහත දැක්වෙන, ඉතා කෙටි වීඩියෝවෙන් පෙන්වන ආකාරයටයි.

 

 

   මෙන්න තියනවා බලන්නම වටිනා යුධ ඝෝෂාවක්. රෝමන් අධිරාජ්‍යයේ සෙබළු යුධ ඝෝෂාව කළේ, තම පළිහ, මුහුණට ඉදිරියෙන් අල්ලාගෙනලු. එවිට ඝෝෂාවේ දෝංකාරය වැඩිවෙනවලු. මේ බලන්න, 1964 වර්ෂයේදී තිරගතවූ, ‘The fall of the Roman Empire’ චිත්‍රපටියේ, එවැනි අවස්ථාවක්.

 

   රෝම යුධ ඝෝෂාව හැඳින්වුණේ, ‘බැරිටස් Barritus’ යනුවෙන්. පැරණි රෝම මූර්තියක එවැනි අවස්ථාවක් දක්වා ඇති අයුරු, පහත දැක්වෙනවා.

list-battle-cries-centurion-143076528-E

   ඇමරිකානු නිදහස් සටනේදී, ඒකාබද්ධ හමුදාව විසින් නිර්මාණය කරගත්, ඇඟ කිලිපොලා යන යුධ ඝෝෂාවක් තිබුනා. මෙන්න අහන්න. තත්පර 8 යි ගතවෙන්නේ. මෙය හැඳින්වුණේ Banshee Yell යනුවෙන්. බාන්ෂී කියන්නේ, වියරු හඬින් කෑගසන අවතාරයක්ලු. 

 

පැරණි ග්‍රීක සම්ප්‍රදාය අනුව, සටනක් සඳහා සටන් බිමට යනතුරු, ග්‍රීක බලසේනා, විවිධ යුද ගීත ගායනා කළ බව, පුරාවෘත්ත වල සඳහන් වෙනවා. සටන් බිමට පැමිණ, සතුරා සමග ගැටෙන්නට පෙර, ඔවුන්, තම කඩුව හෝ හෙල්ල, තමන්ගේ පළිහේ ගටමින්,  සියලු දෙනා එකවර ‘අලාලා – එලේලූ’ යනුවෙන් යුද ඝෝෂා පවත්වා තිබෙනවා. 

list-battle-cries-alala-549578975-E

   දෙවැනි ලෝක මහා සංග්‍රාමයේදී, 1942 වර්ෂයේ මුල් භාගයේදී, ජර්මානු හමුදාව විසින්, රුසියාවේ ස්ටැලින්ග්‍රාඩ් නගරය වටකර, තම ආධිපත්‍යයට නතු කරගත් අතර, ටිකෙන් ටික ඉදිරියට යමින්, රුසියාව සිය ග්‍රහණයට ගැනීමට උත්සාහ කළා. එහෙත්, රුසියානු නායක ජෝසෆ් ස්ටාලින් විසින්, රුසියානු රතු හමුදාවේ ප්‍රතිපත්තියක් ලෙස පවත්වාගෙන ගිය, ‘එක පියවරක්වත් පසුපසට නොයනු’ යන ආදර්ශ පාඨය ක්‍රියාවට නැංවූ රතු හමුදාව, සෑමවිටම, ‘වොල්ගා නදියෙන් මෙහා අපට මව්බිමක් නැත’ යන පාඨය හඬ නගා කියමින්, සටනට එළඹුනා. එම පාඨය, ඒ කාලයේ යුද ඝෝෂාවක් ලෙස සැලකෙනවා. ඉහත සඳහන් පාඨ,  ස්ටැලින්ග්‍රාඩ් නගරය ගලවාගත් යුද විරුවන් සමරන ස්මාරක වලද සටහන් වෙනවා. 

 ජපන් රටටත් සෑහෙන යුද ඉතිහාසයක් තිබෙන බව, ඔබ දන්නවා. ජපන් අධිරාජ්‍යය දෙවැනි ලෝක මහා සංග්‍රාමයට එළඹෙන්නට පෙර සිටම, විවිධ සටන් වල යෙදී තිබෙනවා. ඔවුන්ගේ යුද ඝෝෂාවට අදාළ ප්‍රධාන හඬ නැගීමක් වුනේ, Banzai යන වචනයයි. මෙහි තේරුම, ‘වසර දස දහසක්යන්නයි. පසුකාලීනව මෙම වචනයද ඇතුලත්ව, ජපන් හමුදාව සකස් කරගත් යුද ඝෝෂාව වුනේ, ‘Tenno Heika Banzai’ යන්නයි. මෙයින් අදහස් කලේ, ‘අධිරාජයා දිගුකල් වැජඹේවායන අදහසයි. තම සිරුරේ බෝම්බ බැඳගෙනගුවනින් ගොස්, සතුරු නැව් වල දුම් කවුළුවට පැන, මරාගෙන මැරෙන, කමිකාසේ සටන් කරුවන්, එසේ පැන්නේ, මේ ඝෝෂාව කියමින්ලු.

   මා හිතනවා යුද ඝෝෂාව යනු කුමක්ද යන්න අවබෝධ කරගැනීමට මේ කරුණු ඔබට ප්‍රමාණවත්වේයැයි කියා. අද කාලෙදී නම් කිසිම හමුදාවක් මෙවැනි යුද ඝෝෂා පවත්වන්නේ නැහැ. හැබැයි මේ වෙලාවේ මතක්වුන පුංචි කතාවක් කියන්නම්. මේක ඇත්ත කතාවක්.

Parachute  දන්නවනේ උඩින් ගිහින්, රෙදි ගොට්ටෙන් පැනීම. ඔව් ඔව්, ඉතින් ඒක ගොට්ටක් වගේ නේ. ඔය ගොට්ටෙන් පැනිල්ල උගන්නන්නත්, ඉගෙනගන්නත්, බොහොම මහන්සි වෙන්න ඕනේ. ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයකින් සමත් වෙන්නත් ඕනේ. විවිධ ශාරීරික අභ්‍යාස කරවලා, උඩ පිණුම් බඩ පිණුම් ගස්සවලා, ඊළඟට, පොළොවේ ඉඳන් අඩි හැට හැත්තෑවක් විතර උස අට්ටාලයක ඉඳලා, පහළ තියන වතුර ටැංකියකට පන්නවනවා. උඩට ගිහින් බැලුවම, වතුර ටැංකිය පෙනෙන්නේ, ගිනිපෙට්ටියක් තරමටලු. 

   ඔන්න අපේ වීරයන් පිරිසක් ගියා පාකිස්ථානයට, ගොටු පැනිල්ල ඉගෙනගන්න. ඉතින් අර වතුර ටැංකියට පනින අවස්ථාව ආවා. පාකිස්ථානු උපදේශක වරුන් කිව්වා, ‘තමන්ගේ රටේ තියන යුද ඝෝෂාවක් කරගෙන’ පනින්න කියලා. පළවෙනියා පැන්නා, ‘කොමාන්ඩෝ………..’ කියාගෙන, දෙවැනියා පැන්නා ‘ජයවේවා………..’ කියාගෙන, තුන්වෙනියා පැන්නා, ‘බුදු අම්මෝ………………’ කියාගෙන. පාකිස්ථානු උපදේශකයන්ට තේරිලා තියනවා, ඒ යුද ඝෝෂාව ටිකක් අමුතුයි කියලා. ඒ නිසා පැන්න කෙනාගෙන් අහලා තියනවා, මොකක්ද ඒ යුද ඝෝෂාව කියලා. තවමත් බයේ වෙවුලමින් එයා කිව්වලු, මේක අපේ සිංහල රජ කාලේ යුද ඝෝෂාවක් කියලා.  

2016 ජූලි මස31 වැනි දින 2327 පැය   

Advertisements

Comments on: "යුද්ද කෑගැහිල්ල. හෑ…..ඒ මොකක්ද?" (5)

  1. US marine oorah කියලා කැගහන්නේ ඔය වගේමනේ ,
    දන්න කෙනෙක් කිවේ අපේ අය නම් හොද වචන සෙට් එකක් භාවිතා කරලලු කෑගහන්නේ ,දැම්මොත් කිව එක දාන්න වෙන්නේ තරු ටිකක් 🙂 🙂

    • හෙහ් හෙහ්, අපේ අය කෑගහන්නේ සටනක් දිනුවට පස්සේ. ඒ වෙලාවට ඉතින් හොඳ පද කියවෙනවා. එව්වා ගානක් නෑ ඒ වෙලාවට.

      මෙන්න මෙතන තියනවා අර US marine oorah එක.

  2. ලිපිය බොහොම අනර්ඝයි විචාරකතුමා. අලුත්නුවර පෙරහර දිය කපාගන එද්දි හූ කියමින් කෑ ගසමින් පෙරහරට ඉදිරියෙන් එන පිරිසක් සිටිනවා. පුරාණ ලේඛන වල සඳහන් වන්නෙ නිරෝහී කෙලියේ යෙදෙමින් රජු යුද සැනකෙලි පැවැත්වූ වගක්. දියකපාගන එද්දි ගරායකුන් සේ නගන හඬ සහ ව්ප්‍රකාර පුරාණ රජු යුද්ධයේ දී නැගූ රණඝෝෂාව විය හැකි බව මෙය නැරඹූ මහාචාරය පුංචිබණ්ඩාර සන්නස්ගලයන් පැවසුවා. නිරෝහි කෙලිය කියන්නෙ පළමු රාජසිංහ අවදියේ පැවති රණ ඝෝෂාව හැඳින්වූ නම විය හැකි බව පැවසෙනවා.
    වර්තමානය‍ෙ දකින්ඩ තියන විවිධ කණ්ඩායම්වල උද්ඝෝෂණ ත් යුද ඝෝෂාවලම විකෘතියක් විය හැකියි නේද

    • ෂඃ, හරිම වටිනවා ගුණසිංහ මහත්තයා, ඔබතුමා මෙහි සඳහන් කර තිබෙන තොරතුරු. මේ බව කලින් දන්නවානම්, මේ තොරතුරුත් ලිපියට ඇතුලත් කරන්න තිබුණා. කොහොම නමුත්, ඔබේ මේ අදහස් දැක්වීමෙන්, ලිපිය කියවන අයට යම් අතිරේක දැනුමක් ලැබීම ගැන සතුටුයි.

      ඔබතුමාට බොහොම ස්තුතියි.

      වර්තමානයේ තියන කණ්ඩායම් උද්ඝෝෂණ බොහොමයක් පටු අරමුණු මුල්කරගත් ඒවා බවයි පෙනෙන්නේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: