විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


BB    මේ ලිපියේ පළමුවැනි කොටස සහ දෙවැනි කොටස කියවූ බොහෝ දෙනෙකුගේ ඉල්ලීම වුණේ, තුන්වැනි කොටසත් ඉක්මනින් පලකරන ලෙසයි. නමුත්, සති අන්තයේදී නොසිතූ ලෙස මා අතිශයින් කාර්ය බහුල තත්වයකට පත්වුණා. අද (ජූලි 11 වැනිදා) තමයි නිදහසක් ලැබුනේ, මේ කොටස ලියන්න. පසුගිය ඊලාම් යුද්ධයේදී, අපේ හමුදාව මෙන්ම, LTTE ත්‍රස්තවාදීන් ද, බංකර් සාදාගෙන සටන් කල බව, ඔබ අසා තිබුනත්, රූපවාහිනී සහ/හෝ පුවත්පත් වාර්තා ඔස්සේ, එවැනි බංකර් වල පින්තූර දැක තිබුණත්, මොකක්ද මේ බංකර් යුද්දේ කියා, ඔබෙන් බොහෝ දෙනෙකු නොදන්නවා ඇති. ඇත්තටම, බංකර් යුද්දේ කියා කට වචනෙට කිව්වත්, යුද භූමියේ පවත්වාගෙන යන ආරක්‍ෂක ප්‍රදේශ මොනවගේද, ඒ ආශ්‍රිත සටන් සිදුවන්නේ කෙසේද, යන්න පිළිබඳව, ඔබේ දැනුම පුළුල් කිරීමයි, මේ ලිපි මාලාවේ අරමුණ.

   පසුගිය ලිපි කියවීමෙන් ඔබ දැනගත්තා, අපි තවමත් LTTE ප්‍රහාර වලක්වා ගැනීම සඳහා ආරක්ෂක පියවර ගනිමින් සිටින බව. කටුකම්බි දැමීම, කොන්සර්ටිනා වයර් දැමීම, ලී උල් හිටවීම, වැනි උපක්‍රම අපි කළා. නමුත්, ලෝකයේ කොහෙවත් නැහැ, බංකර්, 100% ක් සතුරු ප්‍රහාර වලින් වලක්වාගත හැකි ක්‍රමයක්.

   දැන් අපි ආරක්‍ෂාව තවත් වැඩිදියුණු කිරීමේ උපක්‍රම වලට අවතීර්ණ වුණා. ඒ තමයි, පුද්ගල නාශක බිම් බෝම්බ, ක්ලේමෝ බෝම්බ, ජම්පින්ග් මයින්ස්, ට්‍රිප් ෆ්ලෙයාර්ස්, වැනි දේ ආරක්‍ෂක වලල්ලේ සවිකිරීම. මේ වෙඩි ද්‍රව්‍ය ගැන මා මීට පෙර ඔබට අවම වශයෙන් දෙවතාවක් පමණ කියා දී තිබෙන නිසා නැවත මෙතන කියන්නේ නැහැ. මෙතනින් එක ලිපියක් සහ මෙතනින් තවත් ලිපියක් බලන්න පුළුවන්.

   මේ වනවිට අපේ පිරිස් බලය වැඩිවුනා, නව බඳවාගැනීම් නිසා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ප්‍රධාන බංකර් පේලියට පසුපසින් තවත් බංකර් සාදා, ඇතුලට රිංගන සතුරන්, සාර්කථව මර්දනය කිරීමටත්, බංකර් පේලියේ කොතැනකට හෝ සතුරු ප්‍රහාරයක් එල්ල වනවානම්, ආධාරක භට පිරිසක් යැවීමටත් හැකියාව ලැබුණා. තවත් දෙයක් තිබුණා. ඒ කාලේ අපේ සමහර නොදියුණු ලක්ෂණ යුද භූමියේත් ප්‍රදර්ශනය වුණා. ඒ මෙහෙමයි. අපි හිතමු බංකර් පේලියේ බංකර 50 ක් එක රෙජිමේන්තුවකට අයත් බලඇණියක් විසින් ආරක්ෂා කරනවා. එතැනින් එහාට ඉන්නේ වෙනත් බලඇණියක අය. මෙහෙම වුනාම, මුල් කාලයේදී, උන් එකාට එකා කතා නැහැ. මූණ බලන්නේවත් නැහැ. ඒ වගේ තැන්වලට කොටි ගැහුවම, මේගොල්ලෝ අරගොල්ලන්ගේ වැරැද්ද නිසා වුණේ කියනවා. ඒගොල්ලෝ මේ ගොල්ලන්ගේ වැරදි කියනවා. මේකට අපි හොඳ විසඳුමක් හොයාගත්තා. බලඇණි දෙකක භටපිරිස් යාවෙන ස්ථානයක තිබෙන බංකර් 5 ක් පමණ, ඒ බලඇණි දෙකේම සෙබළුන් මිශ්‍ර කර යෙදවීම තමයි, විසඳුම. ඔන්න අර වාද භේද අමතක වෙලා, ලෙඩේ හොඳවුණා. ඒ විතරක් නෙවෙයි, අපි ඉගැන්නුවා, මේ බල ඇණියට පහර එල්ලවනවා නම්, යාබද බලඇණියෙන්, ආධාරක වෙඩි, (මෝටාර්/මැෂින් තුවක්කු වැනි) ලබා දෙන්නත්, අවශ්‍ය නම් භටපිරිස් පවා එවන්නත්. අනේ අම්මපා, අපේ සමහර ජරා ගති, හමුදාවෙදි වත් නවත්තගන්න බැරි හැටි.

   දීර්ඝ කාලයක් බංකර්වල ඉන්නකොට හැදෙනවා, ‘බංකර් මානසිකත්වය’. අර, දූපත් මානසිකත්වය වගේ. ඒ කියන්නේ, බංකරය ඇතුලෙම ඉන්න තමයි බලන්නේ. ඉස්සරහට ගිහින් යුද්ධ කරන්න කැමති නැහැ. එහෙම කරන්න බැහැ. බංකර් වලට ඉස්සරහින් දාලා තියන බිම්වෙඩි, කටු කම්බි, ආදිය වගගෙන කැලේ වැවෙනවා. ඒවා පරිස්සමෙන් සුද්ධ කරන්න ඕනේ. නැත්නම් ඉස්සරහා මොකුත් පේන්නේ නැහැ. සතුරා ඇවිත් ඒවා ගලවාගෙන ගියත් දන්නේ නැහැ. ඒ නිසා කැලේ කපන්නම ඕනේ.

   (බිම් වෙඩි වැලලුවාම, ඉංජිනේරු රෙජිමේන්තුවෙන්, අපිට ලැබෙනවා, බිම්වෙඩි කෙතේ සිතියමක්. ඒ අනුව, බිම්වෙඩි තිබෙන තැන් හොයාගන්න පුළුවන්. බිම්වෙඩි වැළලීම, ඉංජිනේරු රෙජිමේතුවේ කාර්යයක්. අපිට බැහැ, හිතෙන හිතෙන තැන්වල බෝම්බ වලලන්න)

   බංකරේටම වෙලා හිටියොත්, සතුරා අපේ දෙපරැන්ද අස්සටම ඇවිත්, කොරන්ඩ ඕනේ ඔක්කොම දේවල් කොරලා යයි. ඒ නිසා අපි යන්න ඔනේ සතුරා ඉන්න භූමියට. දවල් කාලයේදී නම් උස ගහකට නැග්ගොත් ඈත පේනවා. අපි එකට කියන්නේ නිරීක්ෂණ මුරය කියලා. Observation Post ඒ වගේමයි, රෑටත් බංකර් පේලියෙන් ඉදිරියට ගිහින්, සතුරා එනවද බලන්න ඕනේ. ඒකට කියන්නේ, සවන්දීමේ මුරය Listening Post ඉතිං කොහොමද අර බෝම්බ වළලලා තියන භූමිය උඩින් එලියට යන්නේ එන්නේ? හෙහ් හෙහ්, ඒකට පොඩි සලකුණු දාලා තියනවා, පුංචි අඩිපාරක් ඉතුරුවෙන්න. ඒ විතරක් නෙවෙයි.

   අපි පටන්ගත්තා මුර සංචාර වල යෙදෙන්නට. එයින් හැකිවුනා, ඉදිරි භූමියේ ඉන්න කුඩා සතුරු කණ්ඩායම්, අන්ද මන්ද වන ආකාරයේ ප්‍රහාර එල්ල කරන්නට සහ ඔවුන්ගේ සැලසුම් අවුල් කරන්නට. එමෙන්ම අපි, දිවා රාත්‍රී දෙකේදීම, බංකර් වලට ඉදිරි භූමියේ, රැකසිට පහරදීම් යෙදෙව්වා. එහි ප්‍රතිඵලය වුණේ, අපේ බංකර් වලට ගහන්න එන සතුරු කණ්ඩායම්, අපි අතින් විනාශවීමයි. එයින්, සතුරාගේ චිත්ත ධෛර්යය, බරපතල ලෙස බිඳවැටෙනවා.

   මේ කාලය වනවිට, කොටින් අපේ බංකර්වලට RPG ප්‍රහාර එල්ල කරන තරමට වැඩිදියුණුවී හිටියා. ඒ නිසා අපේ බංකර්වල ආරක්‍ෂාව සඳහා බර මැෂින් තුවක්කු යෙදෙව්වා. GPMG, .50 සහ 12.7 වැනි මැෂින් තුවක්කු මේ ආකාරයට යොදවාගත්තා. මෙතැනදී පොඩි න්‍යායාත්මක කරුණක් තියනවා කියන්න.

   මේ විදිහට, බර මැෂින් තුවක්කුවක්, සතුරාට එකවර සොයාගැනීමට නොහැකිවන ආකාරයට, යුද භූමියේ සැඟවුණු ස්ථානයක සවිකර, සතුරා අපට පහර එල්ල කරන කෝණයට වඩා වෙනස් කෝණයකින්, අපේ ප්‍රහාරය එල්ල කිරීමයි ඒ න්‍යාය. මෙය හඳුන්වන්නේ, Enfilade fire from Defilade position යනුවෙන්. හම්මේ………සැර වැඩියි නේද? හරි හරි, ඒක අමතක කරන්නකෝ. මෙහෙම හිතන්න. සතුරා, අපි ඇති කියලා හිතාගෙන තියන වෙඩි, අපට නොවදින තැනක හැංගිලා, අපේ මැෂින් තුවක්කුවෙන් සතුරාව කම්බස් කිරීම. දැන් හරිනේ. ඔය පහලින් තියන පින්තූරේ බලන්න.

04980

   අර සතුරා කියන වචනේ තියන තැන, ඊතලෙන් පෙන්වන්නේ, සතුරා අපිව හොයාගෙන එන දිශාව. එහෙම වෙන්නේ, සතුරාට පෙනෙන අපේ බංකර් තියෙන්නේ ඒ පැත්තේ නිසා. නමුත් ඔය අස්සේ එක තැනක, අපි මැෂින් තුවක්කුවක් හයිකරනවා, බංකරයක් ඇතුලේ හෝ වැලි ගෝනි ආවරණයක (කොළ අතු එහෙම ගහලා හංගලා) ඒ මැෂින් තිවක්කුවෙන් එල්ලවන වෙඩි පහර, සතුරාගේ මූනට නෙවෙයි වදින්නේ හරහට. පේනවද මූනට මූණ දාලා, අපේ එක පිරිසක් වෙඩි තියනවා, බංකර් වල ඉඳලා. නමුත්, මැෂින් තුවක්කු පාර වදිනකොට, සතුරා හොල්මන් වෙනවා, ඒ හොහෙන්ද වෙඩි එන්නේ කියලා. නමුත් ඒ පැත්ත බලන්නත් කලින් සතුරා සුන්.

   මීළඟට අපි යුද්ධ ටැංකි සහ සන්නාහ සන්නද්ධ රථ යොදාගත්තා,  සන්නද්ධ රථ, ආරක්ෂක වළල්ලට ගෙන එන්න නම්, රළුවට හෝ සැකසුණු පාරවල් අවශ්‍යයි. ඒ වගේම, සතුරු RPG ප්‍රහාර වලින් වැළකී, පොළොවට හැකිතරම් ආසන්නව පැතිරී යන ලෙස, සන්නද්ධ රථවල තිබෙන මැෂින් තුවක්කු වලින් ප්‍රහාර එල්ල කිරීම සඳහා, බංකර් පේලියේ අතරින් පතර, සුදුසු ස්ථාන සැකසිය යුතුයි. ඒවා හඳුන්වානේ Hull down position යනුවෙන්. හල් – Hull කියන්නේ, සන්නද්ධ රථයක ඉදිරිපස කොටස. ඒ කොටස පොළොවේ මට්ටමට පහතින් සිටින ලෙස පොළොව කපා සැකසුවාම, පොළොවට ආසන්න මට්ටමෙන් යන ලෙස, වෙඩි තියන්න පුළුවන්. සතුරු යුද ටැංකියකට වත්, එකවර අපේ ටැංකිය ඉලක්ක කරගන්න අමාරුයි. (LTTE එක කවදාවත් යුද්ධ ටැංකි වලින් යුද්ධ කලේ නැහැ) බලන්න පහල තියන පින්තූරය. ඔය තියෙන්නේ Hull down කරලා. 

මේ අතරේ අපි, මෝටාර් අවි වලින්, ඉදිරි භූමියට ප්‍රහාර එල්ල කිරීම පටන්ගත්තා. භූමියේ තිබෙන අපේ සෑම බංකරයක්ම, GPS තාක්ෂනය මගින්, අක්ෂාංශ දේශාංශ අනුව අංකනය කළා. ඒ අනුව, අංක 1 බංකරය කිව්වොත්, පසුපස භූමියේ ඈතින් තියන, බලඇණි මූලස්ථානයේ හෝ බලසේනා මූලස්ථානයේ තිබෙන සිතියමෙන් බලා, හරියටම ඒ බංකරයට ඉදිරියෙන් පිහිටි භූමියට, මෝටාර් හෝ කාලතුවක්කු වෙඩි එවන්නට හැකියාව ලැබුණා. 

   නමුත් මෙහෙම කර කර ඉන්න බැහැ හැමදාම. අපි භූමිය අත්පත් කරගනිමින් ඉදිරියට යායුතුයි. යුද්ධය අවසන් කළයුතුයි. ජයග්‍රහණය අනිවාර්යයෙන් ලබාගත යුතුයි. 

   ඒ සඳහා අපි නව උපක්‍රම ආරම්භ කළා. ඒ තමයි, බංකර් ක්‍රමය අතහැර, කෙලින්ම භූමියේ සැඟවීම. මෙහි තිබෙන විශේෂ වාසිය තමයි, අපි කොහෙද ඉන්නේ කියලා, සතුරාට හොයාගන්න බැරිවීම. බංකර් තියනවානම් දන්නවා, අපි එතන ඉන්න බව. නමුත්, මහකැලේ, වෙස්වලාගෙන, සැඟවී ඉන්න අපිව සෙවීම, ලෙහෙසි නැහැ. ළඟට ආවොත්, අපි අතින් මරණය තෑගි ලැබෙනවා. 

   මෙය ඉතා අභියෝගාත්මක ක්‍රියාවක්. සමහරවිට, රාත්‍රියේදී මෙන්ම දවල් කාලයේදී වුවත්, සතුරා අපිට සමාන ඇඳුම් ඇඳ සිටීනම්, අපි සමග මිශ්‍ර වීමට වුවත් පුළුවන්. එහෙම වුන අවස්ථා එකක් දෙකක් තිබුණා. නමුත් අපි රහස් පද සහ වර්ණ පටි ක්‍රමය පටන්ගත්තාම, ඒ අපහසුතා මගහැරුණා. රහස් පදය කියන්නේ, වචන දෙකක්. මෙය කටින් කට කියනවා මිසක්, ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර වලින් කියන්නේ නැහැ. අපේ අයට පමණයි කියන්නේ. උදාහරණය:- ‘රතු – කුකුලා’. දැන් අපි භූමියේ ඉන්න අපේ වන/නොවන කෙනෙක් හඳුනා ගැනීමට, ඔහු අසලට ගොස්, ‘රතු’ කිව්වොත්, ඔහු ‘කුකුලා’ කියන්න ඕනේ. බැරිවුනොත් මරණය. 

   වර්ණ පටි කියන්නේ, එක් දිනකට හෝ දවසේ වරින්වර වෙනස්වන වර්ණ පටියක්, තමන්ගේ අත්දෙකෙන් එකක මැණික්කටුවේ බැඳ ගැනීමයි. එවිට අපි දන්නවා ඒ අපේ මිනිහෙක් බව. මේ සඳහා රහස් පද, වෙනනමම තියනවා. සෑම සෙබළකු අතම, වර්ණ පටි කට්ටලයක් තියනවා. උදාහරණය:- ‘බළලා මල්ලේ’ කියා කිව්වොත්, එහි තේරුම, ‘රතුපාට පටිය දකුණු අතේ බැඳගනින්’ කියන එක විය හැකියි. ‘සීයා ගෙදර’ කිව්වොත්, ‘නිල්පාට පටිය වම් අතේ බැඳගනින්’ කියන එක විය හැකියි. වම දකුණ මාරු කරගත්තොත් ‘අබ සරණයි’

advance

   බංකර් අතහැර, යුද භූමියට ගොස්, සංවිධානාත්මකව සටන් කිරීමෙන්, අපි යුද්ධය ජයගත්තා. නමුත්, සෑම යුද්ධයකදීම පාහේ, මේ විදිහට, බංකර් සහිත ආරක්‍ෂක ප්‍රදේශ පවත්වාගන්නට සිදුවෙනවා. බංකර් වල සිටිමින් කලයුතු වැදගත්ම කාර්යය වන්නේ, ඉදිරි සැලසුම් සකස්කර ගැනීමයි. 

   මේ ලිපි මාලාව කියවීමෙන්, ඔබ යම් දැනුමක් ලබන්නට ඇතැයි මා විශ්වාස කරනවා. මේ ලිපි තුන ඇතුළත, ගැඹුරු යුද න්‍යාය ගණනාවක්, ඇතුලත් කොට තිබෙනවා. මා ඒවා හමුදා පොතේ විදිහට ලිව්වා නම්, ඔබ මේ ලිපි කියවීම අත්හරිනවා. එක් න්‍යායක නමක් පමණයි, මා සඳහන් කලේ. ඒක නිකම් කුණුහරපයක් වගේ නේද? 

   හොඳයි, එහෙනම්, මේ  ලිපි මාලාව, මෙතෙකින් අවසන් වෙනවා. 

2016 ජූලි මස 12 වැනි දින 1043 පැය 

Advertisements

Comments on: "අපිට ගැහුවා – අපිත් ගැහුවා (තුන්වැනි කොටස)" (10)

  1. //LTTE එක කවදාවත් යුද්ධ ටැංකි වලින් යුද්ධ කලේ නැහැ//
    LTTE එකේ මරාගෙන මැරෙන බෝට්ටු, ළදරු අවදියේ සබ්මැරින් තිබුණා නේද?ඇයි ඔවුන්ට ආමඩ් කාර් හදන්ඩ අපහසුවුවේ?
    හසලක කෝපල් ගාමිණී විනාශ කළේ කොටින්ගේ සන්නද්ද රථයක් නේද?

    • යුද්ධ ටැංකියක් කෑලි ගලවා ගෙනත් හයි කරන්න විශාල කාලයක්, ශ්‍රමයක්, විශේෂඥ දැනුමක්, අවශ්‍යයි. යුද්ධ තංකිඋඅක් විශාලයි. ලේසියෙන් හංගන්න බැහැ. ගමන් කරනකොට හරි සද්දයි, දුම දානවා, ඈතට පේනවා. ආරක්ෂාවට වෙනම භට පිරිසක් ඕනේ. ඉන්ධන ගොඩක් ඕනේ, අමතර කොටස් පිටරටින්ම ගෙන්වන්න ඕනේ. නඩත්තු වියදම අධිකයි. ඒ නිසයි LTTE එක යුද්ධ ටැංකි පාවිච්චි නොකළේ.

      ඔව් පර්යේෂණ මට්ටමේ සබ්මැරින් තිබුණා. මරාගෙන මැරෙන බෝට්ටු කියන්නේ ටිකක් වැඩි දියුණු කරලා පුපුරන ද්‍රව්‍ය ගොඩක් හයිකරපු බෝට්ටු වලට.

      සන්නද්ධ රථ හදන්න අමුද්‍රව්‍ය ගෙනාවත්, අවශ්‍ය යාන්ත්‍රික කොටස් ලෝක වෙළඳපොලෙන් ගන්න බැහැ. ප්‍රවාහනය කිරීම ඊටත් වඩා අමාරුයි.

      කෝප්‍රල් ගාමිණී විසින් පහර දුන්නේ වටේට ඝන යකඩ තහඩු පාස්සා කෘත්‍රිම සන්නද්ධ රථයක් බවට පත්කළ බුල්ඩෝසරයකට.

  2. මේ ලිපි පෙළ පැවති යුද්ධ තත්ත්වය හමුවේ හමුදාව මුහුණ දුන් අභියෝග සහ ඒවා ජයග්‍රහණය කළ ආකරය පිළිබඳ හොඳ වැටහීමක් යුද්ධයට නොගිය අපට ලබා දුන්නා. ඒ වගේම අපේ හමුදාව ලබාදුන් ජයග්‍රහණය පොදු ජනතාවට භුක්ති විඳින්නට ලැබී තියන විදිහ ගැන ඇතිවන්නේ නම් ලොකු කණගාටුවක්

    • තව ටික කාලයක් ගියාම අපේ රටේ යුද්ධයක් තිබුනද කියලවත් බොහෝ දෙනෙකුට අමතක වෙයි. ඒ නිසයි මෙහෙම සටහන් මා වරින්වර තබන්නේ.

      ඔබතුමාගේ ඇගයීම ගැන බොහොම ස්තුතියි.

  3. දුමිදු said:

    ඔබ තුමාව අගේ කරනවා හැම මොහොතේම සත්‍ය තොරතුරු ලබා දෙන්නෙක් හැටියට .එත් මේකත් පොඩ්ඩක් බලලම ඉන්නකෝ .එක්කෝ මාද්‍ය අපිව රවට්ටනවා නැත්තම් ……

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: