විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Bunker Busting  මම කියන්න පටන් අරන් තිබුනේ, ඊලාම් යුද්ධය පැවති කාලයේදී, අපේ හමුදාවෙන් පවත්වාගෙන ගිය, ඉදිරි ආරක්ෂක ප්‍රදේශ වලට, LTTE ත්‍රස්තවාදී පහර දුන් ආකාරයයි. (ලිපියේ පළමුවැනි කොටස මෙතනින් බලන්න) අද කොටසෙන් තවදුරටත් කතාකරන්නේ, මේ තර්ජනය ජයගැනීමට, අපි ක්‍රියාකළ ආකාරය ගැනයි. පළමුවැනි කොටසේදී, ඔබට වැටහෙන්න ඇති, අපි කොයි තරම් ආධුනික ආකාරයකටද, යුද්ධයට මුහුණ දුන්නේ කියා.

   මේ යන්තම් අවුරුදු 16 – 18 ඇටිකිච්චෝ ඇවිල්ලා, අපේ කොල්ලන්ගේ බෙලි කපාගෙන යනවා නම්, එතන මොකක්හරි ලොකු වැරදීමක් තිබෙන බව පැහදිලිවම පෙනුණා. මෙතැනදී, LTTE කාරයෝ වැඩකලේ, හොඳින් පුහුණුවුණු, එක්තරා අභ්‍යාසයක් (DRILL) එකකට අනුවයි. ඒ මෙන්න මෙහෙම.

1. වැනි පියවර:- රෑ වෙනකොට බඩගාගෙන අපේ ආරක්ෂක තීරය අසලට පැමිණීම.

2. වැනි පියවර:- එකවරම මහා වෙඩි ප්‍රහාරයක් අපේ බංකර කීපයක් ඉලක්ක කරගෙන එල්ල කිරීම.

3. වැනි පියවර:- කුඩා පිරිසක් බඩගාගෙන ඇවිත් බංකර් අතරින් රිංගා පසුපසින් ප්‍රහාරයක් එල්ල කිරීම.

4. වැනි පියවර:- උපරිම හානියක් සිදුකර ආපසු යාම.

   දැන් අපි මොකද කරන්න ඕනේ? ඇත්තටම අපි යුද න්‍යාය අනුව කළහැකි උපරිමය කරන්න ඕනේ. ඒ ඒ ආරක්ෂක ප්‍රදේශයේ තත්වය අනුව, වෙන වෙනම සැලසුම් හදන්න ඕනේ. (මතකයි නේද සැලැස්මක් හදලා ගහන හැටි) නමුත්, ආරක්ෂක ප්‍රදේශයක් පවත්වා ගැනීමේ මූලධර්ම, හමුදා පොතේ පැහැදිලිව පෙන්වාදී තිබෙනවා. ඒ මූලධර්ම, එදාටත්, අදටත්, ලෝකයේ ඕනෑම ආරක්ෂක ප්‍රදෙශයකටත්, එක හා සමානව ගැළපෙනවා. ඒවා අනුගමනය නොකිරීමෙන් තමයි, අනිටු විපාක ලැබෙන්නේ.

   ඔන්න අපි කල්පනා කළා, බංකර් අතරින් අරුන් රිංගන්නේ, කිසිම බාධකයක් නැති නිසානේ. ඒ නිසා, බංකර් ඔක්කොම එකට යාවෙන විදිහට, සෑම බංකර් දෙකක් අතරම, පස් බැම්මක් ගහන්න ඕනේ කියලා. එතකොට, රිංගන්න එන එකා, අනිවාර්යයෙන් අර පස් බැම්මට උඩින් පනින්න ඕනේ. ‘වරකො පනින්න, දෙන්නං තොපිට කෑලි හැලෙන්න’ කියලා, අපි ලැස්ති වුණා. අපි, මේ පහල රූපයේ පෙනෙන විදිහට, බංකර් අතරට පස් බැම්මක් ගැහුවා.

20081219_EB02

   අම්මේ…….. මේ උතුරු පළාතේ තියන පස්, මහා වනචර පස් ජාතියක් පින්වත්නි. බැම්ම ඉක්මනින් බහිනවා. වැස්ස කාලෙට නිකම්ම දියවෙනවා. අලුවා වගේ.  ඔය අපේ පැතිවල තියන, අර හොඳට තදවෙන, රතු පස් වගේ නෙවෙයි. කිසි කමකට නෑ. ආයේ ආයේ හදලා ඉවරයක් නෑ. පේන්නැද්ද ඔය පින්තූරෙන්ම. හරියන්නෑ, අරුන් පරණ සෙල්ලමට ම එන්ඩ පටන්ගත්තා. හෙහ්, එව්වා කොහෙද. හමුදා පොතේ තියනවා තව වැඩ ගොඩක්. 

   දැන් මෙහෙම එක පෙළට බංකර් තිබුනම, දෙකක් අතරින් රිංගපු ගමන්, අපේ පාලන ප්‍රදේශය ඇතුළටම එන්ඩ පුළුවන්. එහෙම ඇවිත්, අපේ කෑම්ප් වලට රිංගලා, අපේ නිළ ඇඳුම් වලට සමාන නිළ ඇඳුම් ඇඳගෙන, කෑම්ප් එක ගැන ඔත්තු බලලා, මහ කුස්සියේ පෝලිමට ගිහින් බතුත් කාලා , ආපු ක්‍රමයටම ආපහු ගියා කියලා කතාවකුත් තිබුණා. 

   දැන් මොකෑ කරන්නේ. මෙන්න කරපු වැඩේ. බංකර් ගැහුවා සිග් සැග් ක්‍රමයට. ඒ වගේම බැම්ම ‘දෙබැම්ම’ කළා. දැන් බැම්ම මහා යුද අගලක් වුණා. පනින එකා මේ අගලට පැනලා ආයෙත් ඇතුලට පනින්න ඕනේ අපේ පැත්තට ඇතුළු වෙන්න නම්. අගලේ අපේ කට්ටිය ඉන්නවා. දැන් මෙන්න මෙහෙම තියෙන්නේ. 

Screenshot (208)

   ඔන්න අරුන්ට වැඩේ ටිකක් අමාරු වුණා. පනින්න එන එවුන් අපෙන් කෑවා. මේ අගලේ වාසිය තමයි, ඉදිරි භූමියට නොපෙනී, ක දිගේ  බංකර් අතරේ ගමන් කරන්නට අපට හැකිවීම. නමුත් මේ ක්‍රමය දිගුකල් පැවතුනේ නැහැ. අරුන් අලුත් වැඩක් පටන්ගත්තා. ඒ තමයි විශාල පිරිසක් යොදවා බංකර් දෙකකට හෝ තුනකට පහර එල්ල කර, ඇතුලට කඩාපැන, පෙර පරිදිම මහා විනාශයක් කිරීම. සමහර අවස්ථා වලදී, ඔවුන් අපේ ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර පවා රැගෙන ගියා. ඒවායින් අපිව අමතා, අපහාසාත්මක කතා කියන්නට පටන්ගත්තා. 

   මේ ක්‍රමය නිසා ඔන්න අපේ අය ටිකක් බයවුනා. සමහර තැන්වල රෑට බංකර් අතහැර පසුපස භූමියට වී, වෘත්තාකාර හැඩයකට භටපිරිස් යොදාගෙන ඉන්නත්, සමහරු ක්‍රියාකර තිබුණා. ප්‍රමාණවත් තරම් භටපිරිස් නොමැතිවීමත් එයට හේතුවුණා. යුද්ධය ආරම්භ වුන කාලයේ එක් බංකරයකට සෙබළුන් 5 – 6 ක් පමණ හිටියත් පසුව එය 2 – 3 ක් දක්වා පහත වැටුණු අවස්ථා තිබුණා. 

   සෑම බංකරයකටම භටපිරිස් යොදවන්නට නොසිටි නිසා, බංකර් පේලියේ අතරින් පතර, සමහර බංකර්, රාත්‍රී කාලයේදී අතහැර දමන්නටත්, රාත්‍රී කාලයට උපරිම භට පිරිසක් අවශ්‍ය නිසා, දිවා කාලයේදී, බංකර් තුන හතරකට එකක් පමණක්, සෙබළුන් යොදවා තබන්නටත් සිදුවුණා. දැන් ඉතිං මෙහෙම බලා ඉඳලා බැහැ. මොකද කරන්නේ. අපොයි තවත් වැඩ තියනවා. පොතේ මොනවා තිබුනත්, අපේ කට්ටිය, තැත් වරද න්‍යාය ඔස්සේ නොයෙක් දේ කළා. වවුනියාව වැනි ප්‍රදේශවල, ඉදිරි ආරක්ෂක ප්‍රදේශය ආසන්නයේම විදුලි බලය තිබුන නිසා, බංකර් පේලියට ඉදිරියෙන්, විදුලි පහන් සවිකරගන්නට අපේ අය ක්‍රියා කළා. නමුත් එය සෑමවිටම සාර්ථක වුණේ නැහැ. විදුලි පහන් වලට, සතුරු වෙඩි ප්‍රහාර එල්ලවුණා.   

   මේ විදිහට ලයිට් දාගෙන යුද්ධ කරන්න බැහැ. ලයිට් දාන්නේ ස්ථිරව පිහිටුවා තිබෙන හමුදා කඳවුරු වලට පමණයි. මේ නිසා, යුද න්‍යායට අනුව ක්‍රියා කිරීම හැර, වෙනත් විකල්පයක් නැති බව කාලීනව වටහාගන්නට පුලුවන් වුණා. 

   අපිට තේරුණා මුන් මේ උන්ගේ මහා එකාගේ ගෙදර යනවා වගේ එන්නේ, ඉදිරි භූමියේ බාධක මොකුත් නැති නිසා කියලා. එහෙනං හිටුකෝ කියලා, දැම්මා බාධක. මොනවද දැම්මේ. මුල් කාලයේදී, දුප්පත් අපිට කටු කම්බි සහ කොන්සර්ටිනා වයර් විතරයි ලැබුණේ. ඒවායින් දැම්මා බාධක. මෙන්න මේ වගේ. 

p042ai

   ඉදිරි භූමියේ තියන පොඩි ගස් කපලා, ඒ කණුවල, අපිළිවෙලට කටු කම්බි පැටලුවා. බිම ඉඳලා අඟල් හතරක් පහක් උසක සිට, අඩි තුනක් හතරක් විතර උසට සිටින විදිහට. ඊළඟට දැම්මා කොන්සර්ටිනා කම්බි, මෙන්න මේ විදිහට.

Concertina

‘දැන් වරෙල්ලකෝ පුලුවන්නම්, ගෙරි සුනඛ ධේනුවගේ පුත්‍රයෝ’ කියලා, අපි බය නැතුව හිටියා. මෙන්න බොලේ, මුන් මේ වැටවල් පුපුරවන්න ක්‍රමයක් හොයාගත්තනේ. ඒකට කියන්නේ ‘බැංගලෝර් ටෝර්පිඩෝ‘ කියලා. ඇත්තටම බැංගලෝර් ටෝර්පිඩෝ කියන්නේ, සෑහෙන්න දියුණු යුද්ධායුධයක්. නමුත්, කොටින්ට ඒවා හොයාගන්න බැරිවුණු නිසා, උන් හැදුවා මෙන්න මෙහෙම. ඒ කියන්නේ දිග පී.වී.සී. බටයකට හෝ ගැල්වනයිස් බටයකට වෙඩි බෙහෙත් පුරවනවා. ඒකට ඩෙටනේටර් එකක් හයිකරනවා. ඕක ගෙනත් අපේ වැටට යටින් රිංගවලා පුපුරවනවා. වැට උඩුකුරුඤ්ඤං. 

151

 මෙන්න බැංගලෝර් ටොර්පිඩෝ පරණ එකක් සහ අලුත් එකක්.

bangalores

55

    ඉතිං මොකේදැයි දන් වළඳන්නේ? හරි හරි ඉන්ඩකො පොඩ්ඩක්. පොතේ වැඩ තවම ඉවර නෑ. හෙහ් හෙහ්, මේක ජාතක පොත වගේ දිගයි. ඊළඟට අපි කලේ වියට්නාම් කාරයා කොපි කිරීම. දන්නවනේ වියට්නාම් උගුල් කියන එව්වා. ආයේ බඩු ෂුවර්.  අහුවෙච්චි එකා මෙන්න මෙහෙම නවතින්නේ

Punji Trap

 ඒ කියන්නේ ඉදිරි භූමියේ ඉතා තියුණු ලී උල් හිටෙව්වා. මේ උගුල වියට්නාම් යුද්ධයේදී ඇමරිකානු හමුදාවට එරෙහිව යොදාගත් එකක්. මේ තියෙන්නේ.

   හැබැයි ඉතිං මේ වගේ නෙවෙයි, මුළු ඉදිරි භූමියේම, එකිනෙකට අඟල් හයක් විතර පරතරය තියලා, හිටෙව්වේ. මේ උලක් අඟල් 8 – 10 ක් විතර උසයි. ඒ වගේම වැරනියා කෝටු, වලින් අඩි හතරක් විතර උස, වැටවල් කීපයක් ගැහුවා. වැරනියා කෝටු වැට අස්සෙන්, බැංගලෝර් ටෝපිඩෝ රිංගවන්න බැහැ. කෝටු එකකට එකක් අතර පරතරය, අඟලකටත් වඩා අඩුයි. 

   රෑට ඔව්වා කපන්න හදනවානම්, අපට ඇහෙනවා. මොකද දන්නවද? වැටේ හිස් ටින් එල්ලලා තියනවා හැමතැනම. එව්වා හෙලවුනොත්, (සතෙක් වැදිලා වුනත්) අපි වෙඩි දෙකතුනක් තියනවා. ඒ විදිහට වැට කපන්න ආව එවුන් සෑහෙන ගණනක්, උඩුකුරුඤ්ඤං කරවන්ඩ අපිට පුළුවන් වුණා. ඒ වගේම අර උල් වල පැටලිලා වැටිලා, උල් ඇනිලා සමහර එවුන් මැරුණා. වේදනාව නිසා රෑ තිස්සේ කෑගහලා මැරිච්ච එවුන් හිටියා. ඉතිං අපිට ඒ වෙලාවට එතැනට යන්න බැහැ. අපෙත් උල් ඇනෙනවා. මොකද උන් අපිට කිරි පොවලා යන්න ආවා නෙවෙයිනේ. (තරහ ගන්න එපා මහත්වරුනි. මේ යුද්ධයයි. යුද්ධයේදී අනුකම්පාව බොහොම අඩුයි) 

   කොටියා දැනගත්තා අපි ලේසියෙන් යුද්දේ අතාරින්නෙ නැහැ කියලා. ඒ වගේමයි අපිත් දැනගෙන හිටියා කොටියත් ලේසියෙන් යුද්දේ අතාරින්නෙ නැහැ කියලා. ඊළඟට මොකද වුණේ? දැන් කොටියට හොඳ පණිවිඩ හුවමාරු උපකරණ, මෝටාර්, RPG, ටොම්බා තුවක්කු, සැහැල්ලු මැෂින් තුවක්කුඅපිට වගේ නිල ඇඳුම්, බූට්ස් එහෙම තියන කාලේ. ඕවා පාවිච්චි කරලා කිසිම අනුකම්පාවක් නැතුව අපිට වැඩේ දෙන්ඩ පටන්ගත්තා. අපිට සෑහෙන විනාශයක් වුණා. 

   හිතුවද අපි බයවුණා කියලා. නෑ පින්වත්නි. පොත පොත පොත………, පොත තමයි පිහිට. අනේ අම්මේ…….. ඔය හමුදා පොත, පන්සීය පනස් ජාතක පොත වගේ දුම් අල්ලලා, වන්දනා කරන්න ඕනේ. ඔය පොත නිසා තමයි, ඔය තරමින් හරි අපි බේරුණේ. 

   හෙහ් හෙහ්, ලබන පාරනම් අම්මපා, මේකේ දෙකින් එකක් තීන්දු වෙන්ඩ, ඔක්කොම කියනවා. එතකල් පොඩ්ඩක් ඉවසලා ඉම්මු. 

2016 ජූලි මස 06 වැනි දින 2316 පැය 

Advertisements

Comments on: "අපිට ගැහුවා – අපිත් ගැහුවා (දෙවැනි කොටස)" (8)

  1. හමුදාවේ කුස්සිය ගැනත් ලිපියක් ලියන්නකෝ විචාරක තුමා

  2. නියම කතා නේ. අහන්නත් ආසයි.

  3. Bangalore ටෝපිඩෝ ගැනත් කියන්න ,මන් ඕක මුලින්ම දැක්කේ D -Day film එහෙක 🙂

  4. […]   මේ ලිපියේ පළමුවැනි කොටස සහ දෙවැනි කොටස කියවූ බොහෝ දෙනෙකුගේ ඉල්ලීම වුණේ, […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: