විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


1465139844711009400   ශ්‍රී ලංකා යුද හමුදාවට අයත්, කොස්ගම ප්‍රදේශයේ පිහිටි, පතරොම් සහ වෙඩි ද්‍රව්‍ය මධ්‍යම ගබඩාව, (Central Ammunition & Explosive Dump) පුපුරායාමේ අනතුර හේතුවෙන්, ඉතා සංකීර්ණ තත්වයක් දැන් මතුවී තිබෙනවා. අපේ ‘මාජ්ජ’ බොහොමයක, මේ සිද්ධිය වූ අවස්ථාවේ සිට අද දක්වා වාර්තා කරන්නේ, මධ්‍යම අවි ගබඩාව Central Armoury) පුපුරා ගිය බවයි. මධ්‍යම අවි ගබඩාව තියෙන්නේ, වෙනම දිහාවක. (නෑ නෑ, ඒ කොහෙද කියලා ඔහෙලට දැනගන්න අවශ්‍ය නැහැ. ඒක පුපුරන්නේ නැහැ. ඒ නිසා බය නැතුව ඉන්නවා හොඳයි.)

අපේ රටට, වරින් වර, මෙවැනි අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ දීමට සිදුවන්නේ, දේව සාපයක් නිසා යයි, අපේ පැත්තේ වැඩිහිටියකු කියනු අසා, මා මුවින් නොබැන සිටියේ, ඒ ගැන මගේ අදහස් දැක්වීම, තවත් පිපිරීම් මාලාවකට හේතුවනු ඇතැයි සිතුන නිසයි.  

   මේ සිද්ධියට දේශලනය ගෑවෙන එක වලක්වන්න බැහැනේ. දැනටමත් සමහර මාධ්‍ය වල පශ්චාත් (පශ්චාද්?) මරණ පරීක්ෂණ පැවැත්වෙනවා. කපුටෝ හත් දෙනෙක් වමනේ කළ කතා පළවෙනවා. රජය විසින්ම, සියල්ල, ඇත්ත ඇති හැටියෙන් කියනවා නම්, සාවද්‍ය තොරතුරු සහ කටකතා පැතිරීම වැළකෙනවා. අද උදේම, මාධ්‍යවේදීන් පිරිසක්, ගුවනින් ගෙනගොස් සිද්ධිය වූ තැන පෙන්නන්නයි තිබුනේ. (ගොඩබහින්න බැහැ. තවම පුපුරනවා) ඩ්‍රොන් කැමරා වලින්, රූපවාහිනී නාලිකා හොඳ ප්‍රයෝජනයක් අරන් තිබුණා. 

   මාධ්‍ය සාකච්ඡා නම් සතුටුදායක නැහැ. බස්නාහිර ආරක්‍ෂක සේනා ආඥාපති, මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ, සෑහෙන ආතතියකින්, මාධ්‍යවේදීන්ට මුහුණදුන් බව පෙනුනා. ඇත්තෙන්ම, මෙය හමුදාවේ අභිමානය, කීර්තිය, පිලිබඳ අභියෝගාත්මක තත්වයක්. මාධ්‍ය සාකච්ඡා වලට සහභාගිවූ  දේශපාලනඥයන්ද තම වාසියට, තමන්  නොදන්නා විෂයය කරුණු ඇදබෑවා. රුපියල් සීය හිඟන්නලාගේ ගොම්මන්පිල උන්නාන්සේත්, කැබ් හැප්පෙනගේ මං අමද්‍යප හේරත් උන්නාන්සේත්,  පසුපසට ගාමී එකේ නොපුබුදු උන්නාන්සේත්, කිව්වේ, මෙතන තිබුනේ අවි ගබඩාවක් කියලයි. අගමැති උන්නාන්සේත් එතරම් චිත්ත ධෛර්යයකින් කතාකරපු බවක් පෙනුනේ නැහැ.  ඔය අල්ල පනල්ලේ, වෙබ් අඩවි වලින්, ‘පශ්ම පශ්චාද්’ මරණ පරීක්‍ෂණ තියලා. මේ බලන්න. 

Screenshot (105)

 (මුණ්ඩ/පුණ්ඩ) ගබඩා කිරීම ගැන දන්නා මේ විසේස අඥයා, පරචිත්ත විජානන ඥානය ඇත්තෙකු විය යුතුය. එහෙම නැත්නම් කොහොමද, මේ සිද්ධිය ගැන පරීක්ෂණයක් නොකොට, වෙනත් රටක සිට මෙහෙම මතවාද පතුරවන්නේ? උන්නැහේට එක්කෝ මෙව්වා දිවැසින් පෙනෙනවා වියයුතුය.

   ලෝකයේ ඕනෑම හමුදා අවි/පතරොම් ගබඩාවක්, සතුරන්ගේ අතට පත්වීම වැලැක්වීම සඳහා, එවැනි සතුරු ආක්‍රමණයකදී, පුපුරවා හරිනවාලු. ඇත්තය. නමුත් එය කරන්නේ, මේ ගබඩාව හදන ගමන් එවැනි ඇටවීමක් සවි කිරීමෙන් නොවෙයි. හොඳ පුහුණුවක් සහිත, යුද හමුදා ඉංජිනේරු රෙජිමේන්තු සාමාජිකයන් කීපදෙනෙකුට, එය සුළු වෙලාවකින් කලහැකිය. කරන්නේ අවසාන මොහොත එළඹෙන බව දැනුනොත් පමණයි. 

  අපොයි අර විසේස අඥයා දන්නා දේවල් හැබෑට. 

මෙන්න ඊළඟ එක.

Screenshot (109)

   මේක දෙවන අවි ගබඩාවලු. මොනවා දෙවන ද? සතුට දෙවන ද, දුක දෙවන ද? එහෙම නැත්නම් දෙවැනි ගබඩාවද? ඒත් ඉතින් මේ වාර්තාවේ කියන්නේ, අවි ගබඩාව කියලනේ. ඒවා යකඩ ගොඩවල්නේ, කොහොමද ඒවා පුපුරන්නේ? 

   මේ කඳවුර භාරව ඉන්නේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉලෙක්ට්‍රොනික හා යාන්ත්‍රික බලකාය කියා, මේ වාර්තාවේ තිබේ. අපේ යුද හමුදාවට, ‘ඉලෙක්ට්‍රොනික සහ යාන්ත්‍රික බලකාය’ නමින් අලුත් බලකායක් තිබෙන බව, මා දැනගත්තේ, අද මේ වාර්තාව කියවීමෙන් පසුවය. මොකාද දන්නේ නෑ ඔය අලුත් බලකාය පිහිටෙව්වේ? සමහරවිට, ඔතන අල්ලපු වැටේ ඉන්න, අපේ දිනේෂ් ගුණවර්ධන ගරු මන්ත්‍රීතුමා වෙන්ඩෑ. 

   අපි දන්නා විදිහට නම්, යුද හමුදාවට අයත් අවි සහ වෙඩි ද්‍රව්‍ය, නිල ඇඳුම්, සියලුම උපකරණ, කාර්යාල අවශ්‍යතා, ගෙන්වීම, ගබඩා කිරීම, බෙදා හැරීම, භාරව සිටින්නේ, ශ්‍රී ලංකා යුද හමුදා යුද්ධෝපකරණ බලකායයි. කොස්ගම ගබඩාව පාලනය කලෙත්, ඒ බලකායෙනි. එහෙනම් අනුමානයක් නෑ, උන්ව එතනින් එලවලා, තමන්ට අයිති නැති ජොබ් එකක් කරපු, මේ අලුත් බලකාය තමා, කොස්ගම වැඩේ කන්න ඇත්තේ. අනේ අනේ නන්නානේ.

   උණ්ඩ ගබඩාවක් ගිනිගත්විට මිනිසුන් රහිත ප්‍රදේශයක නම්, ඒ මතට ගුවනින් බෝම්බ හෙලා, සියලු පිපිරුම් ඉක්මනින් අවසන් කලහැකිය. කොස්ගම ඒ වැඩේ කරන්නට නොහැකිය. 

මෙන්න තවත් වාර්තා.

Screenshot (114)

Screenshot (115)

Screenshot (118)

   ඇයි දෙයියනේ, හමුදා කඳවුරක පතරොම් ගබඩාව හදිසියේ පුපුරා ගියාම, ඒ වගකීම, අනිවාර්යයෙන්ම එන්නේ, හමුදාවට නෙවෙයි නම්, කොස්ගම ග්‍රාම නිලධාරි තුමාට හෝ, පවුල් සෞඛ්‍ය නිලධාරිනියට නෙවෙයිනේ. දේශපාලන විපරීත භාවයෙන්, මොළ කොලොප්පන් රෝගය උත්සන්න වූ උන්නැහේලා, මේ වගේ විහිලු මෙවැනි අවස්ථා වල කරන එකයි දුක.  ඒ මදිවට කියනවා, LTTE එක කොස්ගමට ගැහුවනම් මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ? දෙගොල්ලෝ ගහගනියි. දක්ෂයා දිනයි. ආයේ වෙන මොකක්ද? 

   පොහ්, මේ අඩවි වල ඉන්න ආරක්‍ෂක විශේෂඥ වාර්තාකාරයෝ ගැන, ඇමරිකාවේ පෙන්ටගනය එහෙම දැනගත්තොත්, උන්ට පෙන්ටගනයේ විශේෂඥ ජොබ් දෙන්න, ඔබාමා මාමා විසින්ම එයාර් බස් A 320 යානයක් පදවාගෙන, මේ රටට එනවා සිකුරුය. බලන්න, යුද්ධයට බයේ, වාලධිය දෙපරැන්ද අස්සේ ගසාගෙන සිටි මේ විශේෂඥ මහත්තුරු, අර යුද්ධය පැවති කාලයේ එලියට බැස්සානම්, අපිට ඒරොප්පෙටත් වැඩක් දෙන්න තිබුනේය. කැනඩාවේ කොටි ඩයස්පෝරාව, පෝර බෑග් වලට දමා, දඹුල්ලේ එළවලු ගොවීන්ට දෙන්න තිබුනේය. ඔහොමය මෙහෙමය. 

Screenshot (120)

   කොස්ගම කඳවුර හමුදාවේ සුවිශේෂ කඳවුරක්ලු. මොකක්ද සුවිශේෂත්වය කියා කියන්නේ නැත. සුවිශේෂත්වය, මෙතන මුලින්ම තිබුණු ශ්‍රී ලංකා යුද හමුදා භටකාර්ය සම්පාදන හා අණදීමේ මූලස්ථානයද? (Logistic Command) ඉන්පසු පිහිටවූ, මධ්‍යම අවි ගබඩාව ද? ඊට සමගාමීව පිහිටවූ, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය ද? ඊටත් පසුව, අවි ගබඩාව ඉවත්කොට පිහිටවූ, වෙඩි ද්‍රව්‍ය ගබඩාවද? මෙතනින් සහමුලින් ඉවත් කරන්නට සැලසුම්කර තිබුනේ, වෙඩි ද්‍රව්‍ය ගබඩාවයි. ඒ බව, අද පැවති මාධ්‍ය හමුවේදී, බස්නාහිර ආඥාපති වරයා ප්‍රකාශ කළා. එතනින් එහාට මේ වාර්තාව දේශලන උපකල්පන මත ලියවී ඇති බැවින් විහිලු සහගතය. එමෙන්ම සිකේ පුංහල වලින් ලියා ඇත. (උදාහරණ:-  අහම්බුව, අවධානම්, විධිවිදාන, ස්රුජු,)

   හොඳයි. මේ විසූක දස්සන දිගේ ගියා දැන් ඇති නේද? දැන් අපි ටිකක් යථාර්ථවාදීව මේ ගැන බලමුද? මේ සිද්ධියට යුද හමුදාව සම්පූර්නයෙන් වගකිව යුතුයි. ඒකෙ දෙකක් නැත. හමුදාවේ බස්නාහිර ආඥාපති වරයා, තම ආඥාපති පත්වීමෙන්, ඉල්ලා අස්විය යුතුය. මේ ගැන යුද හමුදාපති වරයා හැකි ඉක්මනින්, ප්‍රකාශයක් කලයුතු අතර, ආරක්ෂක ලේකම් වරයා මගින්, සේනාධිනායක ජනාධිපතිවරයාට, සවිස්තර වාර්තාවක් සැපයිය යුතුය.  මේ කඳවුරු භූමිය ගැන, සතුටුදායක අවබෝධයක් ඇති පුද්ගලයකු ලෙස, මා නිර්දේශ කරන්නේ, මෙම භූමිය කිසිසේත්, පතරොම්/අවි ආයුධ ගබඩා කිරීමට නුසුදුසු බවයි. 

හේතු:-

1. මෙය ප්‍රධාන මාර්ගයකට යාබදව සහ සීඝ්‍රයෙන් වර්ධනය වන ජනාවාස සංකීර්ණයකට මැදිව පවතී. 

2. අවට උස්බිම් වල සිට පහසුවෙන් කඳවුරු භූමිය නිරීක්‍ෂණය කළහැකිය.

3. පිපිරුමක් ඇතිවුනොත් කොතරම් භයානකද යන්න දැනටමත් ඔප්පුවී තිබේ. 

   එබැවින් මා නිර්දේශ කරන්නේ, හදිසි අවස්වථාකදී යෙදවිය හැකි, යුද හමුදා බලඇණි දෙකක් පමණ, මේ භූමියේ රඳවා තැබීම පමණක් සුදුසු බවයි. එහෙම නැත්නම්, අර උඩවලවේ තියන, වාහන අලුත්වැඩියා කරන හමුදා වැඩපොළ, මෙතනට ගේන්නකෝ.

   මේ ස්ථානයේ තිබුන, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය පමණක් මෙහි තිබුනේ නම්, වඩාත්ම යෝග්‍යය. මේ පිපිරුමෙන්, එම මූලස්නථාය සම්පූර්ණයෙන් වැනසී තිබේ. ජීවිත හානි අවම වුවද, සමස්ත ස්වේච්ඡා බලසේනාවේ අතීතය, වර්තමානය, කැටිකොටගත් සියලු ලිපිලේඛන, සමරු සටහන්, අධි ලේඛන, නැවත සැකසීමට හැකි නොවනු ඇත. ඒ හැමටම වඩා, සියලු ස්වේච්ඡා හමුදා සාමාජිකයන්ගේ, පෞද්ගලික ලිපිගොණු විනාශවී ඇත්නම්, එය ඉතා බරපතල තත්වයකි. සමස්ත ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාව, 1983 වර්ෂයේ සිට, මේ දක්වා නොකඩවා සක්‍රිය සේවයේ යෙදී සිටී. ඊට පෙර සක්‍රිය සේවයේ සිටියේ, ස්වේච්ඡා බලසේනාවේ තෝරාගත් ඒකක පමණි. 

 හොඳයි, මේ පතරොම් ගබඩා සිද්ධියට මේ තරම් විශාල තැනක් ලැබුනේ ඇයි? 

1. කෙලින්ම ජනජීවිතයට බලපෑ නිසා.

2. කිසිසේත් බලාපොරොත්තු නොවූ ව්‍යසනයක් නිසා. 

3. වලක්වාගත හැකිව තිබුණු ව්‍යසනයක් දැන දැනම වෙන්නට ඉඩහැරියා යයි චෝදනා එල්ලවන නිසා. 

   මෙච්චර දෙයක් වෙලත් අපේ අය ඒවා නරඹන්න යන මානසිකත්වයෙන් සිටීම ගැන, මම පුදුම වෙන්නේ නැහැ. වැලිඔය ප්‍රදේශයේදී, අපි MBRL ප්‍රහාරක රථය, වෙල් යායක් මැදට අරන් ගියා, LTTE ප්‍රදේශයකට ප්‍රහාරයක් එල්ල කරන්න. ගෑණු, නයිටි පිටින් ළමයි ඉනේ ගහගෙන දුවගෙන ආවා, මල්වෙඩි බලන්න එනවා වගේ. අපේ සැරයන් කෙනෙක් හොඳ වචන ටිකක් කිව්වම, ඈතට ගිහින් බලාගෙන හිටියා. 

article-doc-bj547-F4Fm0B87Yf42da652fa04767d47-286_634x446

article-doc-bj547-F4Fm0B87Yf42da652fa0476791d-570_634x407

article-doc-bj547-37dVGmcFzcbe4a19030a72c04a49-103_634x425 (1)

article-doc-bj547-37dVGmcFzcbe4a19030a72c04001-922_634x421

   කොස්ගම තත්වය දැනගැනීම සඳහා, දන්නා කියන සියලු දෙනාට කතාකළා. දැනට තත්වය ගැන මෙන්න මේ ටිකයි කියන්න තිබෙන්නේ. 

1. විශාල ප්‍රදේශයක් පුරා, වී වැපිරුවා වගේ, බෝම්බ පතරොම් වෙඩි ද්‍රව්‍ය විසිරී තිබෙනවා. එයින් විශාල ප්‍රමාණයක්, නැවත පුපුරායාමේ අවදානමක් තිබෙනවා. 

2. කොළඹ – අවිස්සාවේල්ල පාර මත, විශාල බෝම්බ ගොඩක් විසිරී තිබෙනවා. ඒවා නිකම්ම ඉවත් කරන්න බැහැ. එහෙම කරන්න ගියොත් පුපුරන්න ඉඩ තියනවා. ඒවා නිසි පිළිවෙත අනුව නිෂ්ක්‍රිය කළයුතුයි. ඒ සඳහා සැලකියයුතු කාලයක් ගතවෙනවා. දින කීපයක්.

3. නිවාස මත/තුළ, ගෙවතු වල විසිරී තිබෙන බෝම්බ වලින් මහජනතාවට, විශේෂයෙන් නොදන්නාකම නිසා ඒවා අතපතගන්න යන කුඩා ළමුන්ට, තරුණ අයට, ජීවිත හානි සිදුවීමේ අවදානමක් තිබෙනවා. කුඩා වනරොද වල, පාලු ගෙවතු වල, ඇස නොගැටී තිබෙන බෝම්බ, කාලයක් ගියාට පසුව වුනත්, පිපිරීමේ අවදානම තිබෙනවා. ඒ නිසා, නොදන්නා නාඳුනන කිසිවක් අතපතගාන්නට යාම, මරුවාට අත වැනීමක්. 

මේ පිපිරීම අපේ රටේ පළමුවැනි එකද? 

   අපොයි නැහැ. ඔබ අතරින් ඉතා ස්වල්ප දෙනෙකුට පමණයි මතකයක් ඇත්තේ, මීට පෙර, 2010 වසරේදී, වවුනියාව, වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ පතරොම්  සහ වෙඩි ද්‍රව්‍ය ගබඩාව, දින දෙකක් තිස්සේ, මේ ආකාරයෙන්ම ගිනිගෙන පුපුරා විනාශවූ හැටි. ඒ ගැන මාධ්‍ය වාර්තා පළවුනා. එහිදී සිදුවුනෙත්, අධික උෂ්ණත්වය හේතුවෙන්, වෙඩි ද්‍රව්‍ය වලට ගිනි ඇවිලී විනාශවීමයි. වවුනියාව නගරයේ කොටසක ජනතාව ඉවත් කරන්නටත් සිදුවුනා.

   1999 වර්ෂයේදී වවුනියාවට උතුරෙන් පිහිටි තාණ්ඩිකුලම් නමැති ප්‍රදේශයේ පිහිටුවා තිබුණු අපේ හමුදාවේ අවි ගබඩාවකට LTTE කාලතුවක්කු ප්‍රහාරයක් එල්ලවුනා. එම ගබඩාවත් දිනක් දෙකක් තිස්සේ පුපුරා ගියා. 

   ඔය කොස්ගම ගබඩාව වගේ දහ ගුණයකටත් වඩා විශාල, පතරොම් සහ වෙඩි ද්‍රව්‍ය ගබඩාවක්, ඉස්සර කොළඹ තිබුණා. දන්නවද කොහෙද තිබුනේ කියලා? ගාලු මුවදොර පිටිය යට. එය තමයි, ඒ කාලේ යුද හමුදා පතරොම් ගබඩාව. සුද්දගේ කාලයේ එකක්. පැරණි යුද හමුදා මූලස්ථානයෙන් තමයි, ඇතුළුවන දොරටුව තිබුනේ. ඔබෙන් කාටහරි ගාලු මුවදොර පිටියේ අතීතය මතක නම්, ඉස්සර එහි තිබුණා, පොළොවෙන් අඩි කීපයක් ඉහලට එසවුණු වායු කුටීර. එයින් අර ගබඩාවේ වාතාශ්‍රය පවත්වා ගත්තා. මා එකම එක වරක් ඒ ගබඩාවට ගොස් තිබෙනවා. හඃ හඃ, අද එහෙම තිබිලා පිපිරුවානම් කොහොමද වැඩේ? 

85868404

   මේ විදිහට පතරොම් ගබඩා පිපිරීමේ ලෙඩේ මේ අපේ රටට විතරක් තියන දෙයක්ද? 

   අපොයි නැහැ. මේ ලෙඩේ ලෝකය පුරාම තිබෙනවා. යුද්ධ තිබෙනතාක් කල්, අනාරක්‍ෂිත ගබඩා තිබෙනතාක් කල්, ආරක්ෂිතව තිබෙන ගබඩා නිසිපරිදි කළමනාකරණය සහ නඩත්තු කිරීම නොකරනතාක් කල්, මේ ලෙඩේ තියනවා. 

මෙන්න අල්ලපු වැටේ ඊයේ පෙරේදා වෙච්චි දේ. 

මෙන්න ඔබාමා මාමට වෙච්චි දේ 

මේ ගබඩා ආරක්‍ෂිතව හදන්න ක්‍රමයක් නැද්ද? 

   අපොයි තියනවා. මෙව්වා මේ වී ගබඩා හදනවා වගේ හදන්න බැහැ. ඒ සඳහා ජාත්‍යන්තරව පිළිගන්නා ක්‍රමවේදයන් තියනවා. අපේ හමුදාවේ යුද්ධෝපකරණ බලකායේ නිලධාරීන්, පිටරටවල ගිහින්, ඒ ගැන විශේෂඥ පුහුණුවක් ලබනවා, කාලීනව. පුහුණුව ලැබුවට පස්සේ ඒ අයව හඳුන්වන්නේ, Ammunition Technical Officer = ATO කියලා. ඒ අය තමයි යුද බිමේ තියන ගබඩා පාලනය කරන්නේ සහ හමුදා ඒකක වල තියන කුඩා පරිමාන ගබඩා ඉදිකිරීම, පවත්වාගැනීම, නඩත්තුව ගැන උපදෙස් දෙන්නේ. මේවා ඉදිකරන ආකාරය ගැන අන්තර්ජාලයෙන් බලන්නත් පුළුවන්. 

Screenshot (136)

Screenshot (141)

Screenshot (141)

වැඩ අවසන් කලාට පස්සේ පෙනෙන්නේ මෙහෙමයි. බලන්න, මෙය පොලොව යට නෙවෙයි තියෙන්නේ. මෙවැනි ගබඩාවක තබන්නේ, න්‍යෂ්ටික අවි නොවන, මිසයිල් නොවන, පුපුරන ද්‍රව්‍ය. 

ESH-2-Jan-16

මේ තියෙන්නේ එවැනි ගබඩා සංකීර්ණයක් 

featured-ESH8-1140x395

   මේවා ඇතුලේ කොහොමද බඩු තියලා තියෙන්නේ?

   මෙන්න මෙහෙම තමා තියෙන්නේ.ඔය පහළ තියන පින්තූරයෙන් පෙන්නන ‘කෙහෙල් මුව’ තමා දැන් කොස්ගම පුරාම විසිරිලා තියෙන්නේ. 

155mmMustardGasShells

ඉතිං අප්පච්චියේ මේ මගුලෙන් ගැලවෙන ක්‍රමයක් නැද්ද? 

තියනවා තියනවා. 

   මේ ගබඩා හැකි ඉක්මනින් ජන ශූන්‍ය ප්‍රදේශ වලට ගෙනයා යුතුයි. අරයකා අර විල්පත්තුවේ බලෙන් අල්ලගත්ත ඉඩම් වල මේ ගබඩා හැදුවනම් ඉවරයි වැඩේ. නැද්ද මං අහන්නේ. 

  අනවශ්‍ය (කල් ඉකුත්වූ/කල් ඉකුත්වන, දැනට අපි පාවිච්චි කරන අවි වලට නොගැලපෙන) වෙඩි ද්‍රව්‍ය විනාශ කළයුතුයි. 

  ත්‍රිවිධ හමුදාවේ වෙඩි ද්‍රව්‍ය ගබඩා ඉදිකිරීම, පාලනය, කළමනාකරණය, හමුදා පොතේ තිබෙන අදාළ නීති රෙගුලාසි, අකුරට පිළිපදිමින්, කලයුතු අතර ඒ ගැන ඉතා දැඩි විනයක් පවත්වාගත යුතුයි. 

   විශේෂ ව්‍යාපෘතියක් සේ සලකා, කඩිනම් සැලැස්මක් යටතේ, ත්‍රිවිධ හමුදාවේ සෑම වෙඩි ද්‍රව්‍ය ගබදාවක්ම දැඩිව පරීක්‍ෂා කොට, කෙටි කාලීන ආරක්‍ෂක පියවර වහාම ගතයුතුයි. 

   ඉතිං………..තවත් බෝම්බ පුපුරන්නට පෙර, කලයුතු දේ බොහොමයි. 

2016 ජූනි මස 06 වැනි දින 2342 පැය 

Advertisements

Comments on: "තවත් බෝම්බ පුපුරන්නට පෙර…………." (14)

  1. බොහෝම වැදගත් සවිස්තරාත්මක දැනුවත් කිරීමක් විචාරකතුමා මේ පිළිබඳ ඔබතුමාගේ ලිපියක් අපේක්ෂාවෙන් හිටියෙ අපේ “මාජ්ජ හැසිරෙන විදිහ” සෑහෙන කාලෙක ඉඳලම සිහි කල්පනාව තියන අය දන්න හන්ද නැවත නැවතත් ස්තුතියි විචාරකතුමා. හැබැයි ඉතින් බොරු බේගල්, තමන්ට හිතෙන දේවල් කිය කිය දැනටමත් සෑහෙන විදිහට මාජ්ජ වෙළඳාම කරගෙන යනව.

  2. සර් මේකට මොකක් කියාවිද කියලා බලාගෙන හිටියේ ,මොනවා උනත් ජිවිත හානි නැති නම් ඇති ,මොකද ඒවා සල්ලි දීලා ගන්න බැනේ ,මෙච්චර දෙයක් වෙලත් ජිවිත 1 විතරයි නැති උනේ කියන එකෙන් මේකේ තිබිච්ච ආරක්ෂාව ගැන කියන්න පුළුවන් .

  3. Very good article Sir.

  4. මමනං ප්‍රසිද්ධ මාධ්‍යට මොකුත් මතයක් ඉදිරිපත් කරන්නෙ නෑ… කියන්න තියෙන්නේ ආරක්ෂක අංශ තවමත් ඒ සම්බන්ධව පරීක්ෂණ කරයුතු සිදුකරමින් යනවා, ඉස්සරහට දැනගන්න පුලුවන් වෙයි හැමෝටම. (කියලා) 😀

    • මෙහෙමයි සහන්, කියන්න තොරතුරු, මාධ්‍ය විසින් එකතුකරගන්නවා අසීමිතව. නමුත්, උකුණු පුකක් තරම්වත් මොලයක් තියෙන්න ඕනේ, මේ හොයාගත්ත දේවල් වලින්, කිවයුත්තේ මොකක්ද, නොකිවයුත්තේ මොකක්ද කියන එක. මුන් කරන්නේ, අනික්ව චැනල් වලට උඩින් යන්න ඕනේ නිසා, ඕනේ එකයි එපා එකයි ඔක්කොම වගකීමෙන් තොරව ඇදබාන එක. අන්න එකයි වැරදි.

  5. Sri Lanka Electrical and Mechanical Engineers (SLEME)

    https://en.wikipedia.org/wiki/Sri_Lanka_Electrical_and_Mechanical_Engineers

    මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?

    • ඔව් පැහැදිළි කරන්නම්. විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව කියන එකයි මේ ඉංග්‍රීසි යෙදුමේ තේරුම. අපේ රට ශ්‍රී ලංකාව නිසා අපේ රටේ තියන විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව නම් කරන්නේ ශ්‍රී ලංකා විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව නමින්. Sri Lanka Army Electrical & Mechanical Engineers Regiment = SLEME

      මේ රෙජිමේන්තුව, සංග්‍රාමික කටයුතු සඳහා, ආධාරක බලකායක් Support Arm ලෙසයි සලකන්නේ. ඔවුන් සතු ප්‍රධාන කාර්යය වන්නේ යුද හමුදාව සතු සියලුම වාහන අලුත්වැඩියා කිරීම, පණිවිඩ හුවමාරු යන්ත්‍ර හැර, (එම යන්ත්‍ර අලුත්වැඩියා කරන්නේ සංඥා බලකායෙන්) යුද හමුදාවේ ප්‍රයෝජනයට ගන්නා සියලුම විදුලි සහ විද්‍යුත් උපකරණ අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම, (හමුදා රෝහල්වල තිබෙන විද්‍යුත් සහ විදුලි වෛද්‍ය උපකරණ පවා) යුධ ටැංකි නඩත්තු කිරීම, අවි ආයුධ නඩත්තු කිරීම, යන කාර්යයන්. ලංකාව පුරාම මේ රෙජිමේන්තුවට අයත් අලුත්වැඩියා කිරීමේ වැඩපොලවල් තිබෙනවා.

      මේ එම රෙජිමේන්තුවේ වෙබ් අඩවිය

  6. බුද්ධික said:

    විචාරක තුමනි හදිසි ආපදාවකදී (ගිනිගැනීමකදී,ගංවතුරකදී හා නායයාමකදී )සාමාන්‍ය ජනතාව ක්‍රියා කල යුතු ආකාරය පිලිබඳව ලිපියක් ලියනවානම් හොදයි ආරක්ෂිත ස්ථානයක් සොයාගැනීම රැගෙන යා යුතු දැ පිලිබඳවත් දැනුවත් කරනවානම් හොදයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: