විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Kitchen Fight   මේ දවස්වල වැඩිපුරම කතාවෙන්නේ ගහගැනිලි ගැන නේ. කොහොමටත් ඉතින් අපේ රටේ කවද්ද ගහගැනිලි අඩුවුණේ. ගෙදර දොර ගහගැනිලි වල ඉඳලා, උත්තරීතර (විපරීත?) පාර්ලිමේන්තු පොජ්ජ දක්වා, හැම තැනම ගහගැනිලි වලින් අඩුවක් නෑ. කටින් ගහගැනිල්ල නම් ඉතින්, අපේ ජාතික පුරුද්දක් නේද? කටින් ගහගන්න බැරි අයට අපේ රටේ ඉඩක් නෑ. රූපවාහිනී විවාදෙකදිත් ඔය කවුද දේසපාලුවෝ දෙන්නෙක් ගහගත්තා නේද එක පාරක්. ඔය මැති ඇමතිලාට දීලා තියන පිස්තෝල, පාර්ලිමේන්තු සභා ගර්භයට අරන් එන්න දුන්නානම්, ප්‍රශ්න හුඟක් විසඳෙනවා. මෝඩයෝ චුත වෙලා, ටිකක් හරි හොඳ මිනිස්සු ඉතුරු වෙනවා. නැද්ද මං අහන්නේ. මෙව්වා දැකලා අපිටම වෙඩි තියාගන්න හිතිලා නේද තියෙන්නේ? ‘අනේ කාලේ වනේ වාසේ’ කිව්වලු.

   හරි හරි, ඒ කතා පැත්තකින් තියලා, අද මාතෘකාවට බහිමුකො. අද මම තමුන්නැහෙලා එක්ක කතාකොරන්න ආවේ, හමුදාව විසින් කරනු ලබන, එක්තරා විශේෂ සටන් ක්‍රමයක් ගැනයි. ඉංග්‍රීසි භාෂාවෙන් නම් මේක හඳුන්වන්නේ Close Quarters Combat = CQC එහෙමත් නැත්නම්, Close Quarters Battle = CQB යනුවෙන්. අපිට කියන්න පුළුවන්, කෙටි දුර සටන්, එහෙම නැත්නම් නාගරික වීදි සටන්, කියලා. ඉංග්‍රීසියෙන් තවත් යෙදුමක් තියනවා Fighting in Built up Area = FIBUA කියලා. එයින් කියවෙන්නෙත් නාගරික ප්‍රදේශවල කෙරෙන සංග්‍රාමික කටයුතු හෙවත්, Urban Warfare කියන එකයි. 

   හම්මෝ……………ඒ කාලේ අපිට මේ FIBUA පුහුණුව දුන්නේ, මාදුරුඔය හමුදා කඳවුරේ. හොඳටම වදින පුහුණුවක්. අපරාදේ කියන්න බෑ, පැය 24 පුරාම වරින්වර විවිධ අභ්‍යාස තියන නිසා, බොහොම සනීපයි. ඒ වගේමයි, ජීව උණ්ඩ සහ ජීව අත් බෝම්බ පාවිච්චි කරමින් ලබන පුහුණුවක් නිසා, අනතුරුදායක බව බොහොම වැඩියි. 

   අපේ බොඩිය පුහුණු කඳවුරේ තියලා, ඇස්ට්‍රල් බොඩියෙන් ගෙදර යන්න වෙයි කියලා හිතෙන වෙලාවල් තියනවා. 

   හොඳයි, මෙතැන් සිට අපි, වෙනදා වගේම, ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන්, කරුණු සාකච්ඡා කරමු. 

මොකක්ද මේ කෙටි දුර සටන් කියන්නේ?

   කෙටි දුර සටන් කියන්නේ, ප්‍රතිවාදී යුද හමුදා (ත්‍රිවිධ හමුදා) කණ්ඩායම් දෙකක් අතර හෝ, ත්‍රිවිධ හමුදා කණ්ඩායමක් සහ ත්‍රස්තවාදී කණ්ඩායමක් අතර හෝ, පොලීසිය (විශේෂ පුහුණු පොලිස් ඒකක) සහ ත්‍රස්තවාදී/අපරාධකාරී කණ්ඩායමක් අතර සාමාන්‍යයෙන් උපරිම වශයෙන් මීටර් 100 ක් පමණ දුර සිට, (බොහෝවිට ඊට අඩු දුරක සිට) සැලසුම් සහගතව සහ උපක්‍රමශීලීව එල්ල කරන ප්‍රහාර මගින්, ප්‍රතිවාදීන් විනාශ කිරීම, අල්ලාගැනීම, ඔවුන් සතු යම් වටිනා දෙයක් අත්පත් කරගැනීම, වාහනයක් අල්ලා ගැනීම, ගොඩනැගිල්ලක් අත්පත් කරගැනීම, ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීම, වැනි අරමුණු සඳහා,  ඇතිවන සටන් වලටයි.  

   මේ සටන් ක්‍රමයට සෑහෙන දිග ඉතිහාසයක් තියනවා. මේ විදිහට විශේෂ පුහුණු කුඩා කණ්ඩායමක් යොදවා, විශ්මයජනක ලෙස පහරදීමෙන්, සතුරු කණ්ඩායම් මෙල්ල කළහැකි බව, මුලින්ම ප්‍රායෝගිකව ඔප්පු කළේ, චීනයේ ෂැංහයි නගරය, බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති (1854 – 1943) අවධියේදී, එහි සහකාර නාගරික කොමසාරිස් වරයා ලෙස කටයුතු කල,   William E. Fairbairn  විසිනුයි. පසු කාලයේදී බ්‍රිතාන්‍යයට ආපසු පැමිණි ඔහු මේ ප්‍රහාරක ක්‍රමය තවත් වැඩිදියුණු කර බ්‍රිතාන්‍ය හමුදාවපුහුණු කළා. 

කොහොමද ඉතින් ඔය සටන් මෙහෙයවන්නේ? 

   මේ වගේ සටනක් සමහරවිට බොහොම සංකීර්ණ වියහැකියි. මක්නිසාද යත්, මෙවැනි සටන් සිදුවන ගෙවල් සහ/හෝ ගොඩනැගිලි බහුල පරිසරයක, සාමාන්‍ය ජනතාවත් ඉන්නවා. අපි සටන් කරන්න යන කණ්ඩායමට පක්ෂපාත සාමාන්‍ය ජනතාවත් ඉන්නවා, මෙවැනි කණ්ඩායම්, බොහෝවිට, කාන්තාවන් සහ දරුවන් ඉදිරියට දමා, අප අතින් ඔවුන්ට හානි පමුණුවා, බේරී පැනගොස්, අපිට දෝෂාරෝපනය පටවන්නට උත්සාහ කරනවා. මේ නිසා, කෙටි දුර සටන් සඳහා සුවිශේෂී උපක්‍රම පාවිච්චි කරන්න වෙනවා. 

   හැබැයි එක දෙයක් කිවයුතුයි. මෙවැනි සටන් වලදී අහිංසක පුද්ගලයන් අපේ ප්‍රහාරවලින් මෙන්ම සතුරු ප්‍රහාරවලින් මැරෙන්නට/තුවාල ලබන්නට ඉඩ තිබෙනවා. ඔබ අතරින් සෑහෙන දෙනෙක් යුදමය තොරතුරු රැගත් බටහිරචිත්රපටි වල නරඹා ඇති කුඩා හමුදා කණ්ඩායම, සතුරුකඳවුරු, වීදි, ගොඩනැගිලි වලට ඇතුළු වී සටන් කරන ආකාරය. ඒ සටන් අයිතිවන්නේත් මේ කෙටි දුරසටන් නමැති වර්ගීකරණයටයි. ඔබ දැක ඇති ඒ සටන් වලදී බොහෝවිට හමුදා කණ්ඩායම් කතා කරන්නේ නැහැ. අණදීම් කරන්නේ සහ අදහස් හුවමාරු කරගන්නේ විශේෂ හස්ත සංඥා ක්‍රමයක් මගින්. මේ බලන්න එවැනි සංඥා කීපයක්. 

   ත්‍රස්තවාදී නායකයකුගේ බිරිඳ, ඔහුව ආවරණය වන සේ, ඉදිරියෙන් හිටගත්තා නම්, අපි දෙවරක් හිතන්නේ නැහැ. පළමුව ඇයට වෙඩි තබා, දෙවනුව ඔහුටත් වෙඩි තබනවා. බින් ලාඩන් ඝාතනය කල අවස්ථාවෙදීත්, ඇමරිකානු හමුදාව ඒ විදිහටයි ක්‍රියා කලේ. මක්නිසාදයත්, එවැනි දරුණු ගණයේ ත්‍රස්තවාදී නායකයකු, යලි කවදාවත් අපිට අහු නොවෙන්න පුළුවන්. නමුත්, එවැනි විශේෂ මෙහෙයුම් සඳහා යොදාගන්නේ, විශේෂ බලකාය, කමාන්ඩෝ බලකාය වැනි ඒකක පමණයි. කෙටිදුර සටන් වලදී බොහෝවිට පාවිච්චි කරන්නේ, කෙටි දුර වෙඩි තැබීමට සුදුසු, තුවක්කු වර්ගයි. මේවා සාමාන්‍යයෙන්, මිලිමීටර් 9 උණ්ඩ යොදන, තුවක්කු සහ පිස්තෝල බව සඳහන් කරන්න පුළුවන්. 

සිදුවන ක්‍රියාදාමය විස්තර කරන්න පුලුවන් ද? 


   ඔව් පුළුවන්.  සෑහෙන කාලයක් තිස්සේ මේ අඩවියේ ලිපි කියවන ඔබ දන්නවා ඇති, ඕනෑම හමුදා ක්‍රියාන්විතයක් සිදුවන්නේ, යම්කිසි සැලැස්මකට අනුව සහ යුද න්‍යාය අනුව බව. ඒ නිසා මේ කෙටිදුර සටන් සිදුවන්නේත් සම්මත මූලධර්ම පහක් පදනම් කරගනිමින්. අපි බලමු මොනවද ඒ මූලධර්ම කියලා. 

1. සවිස්තර සැලසුමක් සකසා ගැනීම:- ප්‍රහාරයට පෙර ඒ ස්ථානය පිළිබඳව ලබාගතහැකි සියලු විස්තර සොයාගත යුතුයි. පිහිටීම, ලඟාවිය හැකි මාර්ග, ආපසු පැමිණිය හැකි විකල්ප මාර්ග, ඉන්න සතුරන් පිරිස කී දෙනෙකුද? ගැහැණු පිරිමි වශයෙන් කීයද. ඔවුන් සතු අවි ආයුධ, මහජනතාවගේ සහාය ඔවුන්ට ලැබෙනවාද, ප්‍රහාරයේදී අහිංසක ජනතාවබෙරා ප්‍රහාරය එල්ල කරන්නේ කොහොමද, සතුරන්ගේ ආධාරයට තවත් පිරිස් ක්ෂණයකින් එන්නට ඉඩ තිබෙනවාද, අපිට තිබෙන ආධාරක කණ්ඩායම් මොනවාද, අපි පාවිච්චි කරන ආයුධ මොනවාද, අපේ පිරිස කී දෙනෙකුද, අපි එතනට යන්නේ සහ ආපසු එන්නේ කොහොමද, ඔන්න ඔය වගේ මහා තොරතුරු ගොඩක් ගැන හිතන්න වෙනවා. 

2. ප්‍රහාරයේ විශ්මයජනක බව:- සතුරා හීනෙන්වත් නොහිතන වෙලාවක, කාලයක, දිනයක, අවස්ථාවක, ප්‍රහාරය එල්ල කළ යුතුයි. එය අපේ වාසියට බෙහෙවින් හේතුවෙනවා. සතුරු කණ්ඩායමේ වැඩි දෙනෙක්, විවේකයෙන් ඉන්න/නිදාගෙන ඉන්න/නාන්න මූණ හෝදන්න යන/ කෑම ගෙනෙන්න යන/ වෙලාවක් තමා හොඳ.

3. ඉලක්කයට ඇතුළුවීමේ ක්‍රමය:- ඉලක්කය කියන්නේ ගොඩනැගිල්ලක් කියා හිතන්න. එහෙනම් එයට ඇතුළුවන්නේ කොතනින්ද, එක තැනකින්ද තැන් කීපයකින්ද, එසේ ඇතුළුවීමේදී සාමාන්‍ය ජනතාවට අවම හානියක් සිදුවන ආකාරයට කරන්නේ කොහොමද, මුරකාරයක් ලෙස සතුරන්ට හිතවත් සාමාන්‍ය ජනතාව යොදවා සිටීනම්, ඔවුන්ගේ බෙල්ලට දෙකක් ඇන/සිහිය නැතිවෙන්න පහරක් දී/ ඔලුවට පිස්තෝලයක් තබා බයකර/ අපේ අරමුණ ඉටුකරගැනීම. ඇතුළුවීමේ මාර්ග වල ඇතිවන විවිධ බාධා ජයගැනීම. 

4. වේගය:- මෙය ඉතා වැදගත් සාධකයක්. ඉලක්කයට කඩා පනින අවස්ථාවේ සිට, නොකඩවාම ප්‍රහාරය එල්ල කලයුතුයි. නැවතීමක් නැහැ, ඉලක්කය අත්පත් කරගන්නා තුරු. නොකඩවාම, වේගයෙන්, ප්‍රහාරය එල්ල කිරීම ඉතා වැදගත්. සමහරවිට සතුරන් තමන්ට ප්‍රහාරයක් එල්ලවන බව දැනුණාම, තමන් යටතේ ඉන්න ප්‍රාණ ඇපකරුවන් මරන්න ඉඩ තිබෙනවා. ඒවා වලක්වන ආකාරය රඳාපවතින්නේ වේගය මතයි. එමෙන්ම අනවශ්‍ය ලෙස වේගයක් ගතහොත් තමන් අතින් තමන්ගේ යටම තුවාල සිදුවිය හැකියි. 

5. ක්‍රියාන්විතයේ සාහසික බව:- සාහසික කියන වචනය ගැන අමනාපයක් ඇතිකර ගන්න එපා. නමුත් අර ඉහතදී කිව්වා වගේ, ඉලක්කය සම්පූර්ණ කරගන්න නම්, දරුණු විදිහට ප්‍රහාරය එල්ල කරන්න වෙනවා. එතනදී, අනුකම්පා විරහිතව කටයුතු කරන්න වෙනවා. දොරවල් ජනෙල් කඩාගෙන, බිත්ති පුපුරුවාගෙන, අත්බෝම්බ ගොඩනැගිල්ල තුලට එල්ල කරමින්, යටත්වන ලෙස මහා හඬින් කෑ ගසා කියමින්, පැනයන්නට හදන, විරුද්ධව නැගීසිටින සියල්ලන්  මරා දැමීම හෝ දැඩිලෙස පහරදී මර්දනය කිරීම තමයි සාහසික කම කියන්නේ. 

    පහත දැක්වෙන වීඩියෝවේ තිබෙනවා, කෙටි දුර සටන් මූලික පුහුණුව ලබන හැටි.

 

   මේ ලිපිය මීටවඩා දිගට ගෙන යාහැකි වුනත්, ‘කෙටි දුර සටන්’ කියන එක, ඔබට තේරුම් ගන්නට, ඉහත සඳහන් කරුණු ප්‍රමාණවත් යයි හිතනවා. තවත් ලිපියකින් හමුවෙමු. 


2016 මැයි මස 11 වැනි දින 0043 පැය   

Advertisements

Comments on: "ළඟ ළඟ ගහගැනිලි මෙන්න මෙහෙමයි" (12)

  1. “කොහොමද ඉතින් ඔය සටන් මෙහෙයවන්නේ….” කියවද්දි දැනුනෙ සැබෑ සටන්බිමක සිටිනවා වගේ හැඟීමක්. එය වීඩියෝව නරඹද්දී හෝ දැනුනේ නැහැ. විචරක තුමාගෙ මේ ලිපිය ලිවීමේ දී භාෂාව භාවිත කර ඇති ආකාරය එතරම්ම ප්‍රබලයි

  2. බොහොම ස්තුතියි විචාරකතුමාගේ මේ ලිපියට. ගොඩ කලෙකින් මේ බ්ලොග් අඩවියේ ප්‍රතිචාර දක්වන්න බැරි උනා. ඒ වුනාට හැම ලිපියක්ම කියෙව්වා. දිගටමා මේ වගේ ලිපි ලියන්න.

    ඔබතුමා මේ ලිපියට තව දේවල් ටිකක් පුළුවන් නම් එකතු කරන්න. අර හමුදාව සතුරෝ ඉන්න කාමරයකට ඇතුළු වෙන කොට අත් බෝම්බයක් ආකාරයට එල්ල කරන ගෑස් ප්‍රහාරය ගැන. ඒ වගේම කාමරයකට 4 දෙනෙක් හරි 2 ක් හරි ඇතුළු වෙනකොට එකිනෙකාට තමන්ගේ පැත්තේ අයගෙන්ම වෙඩි නොවදින විදිහට ඇතුළු වෙන හැටි වගේ දේවල් මේ ලිපියට ඇතුළු කරන්න

    • ඇගයීම ගැන බොහොම ස්තුතියි. මම හැමදාමත් කරන්නේ හැකිතරම් සරල විස්තරයක් කරන එකයි. ඔබ කියා ඇති කරුනුත් ඇතුළු කලානම් හොඳයි කියා හිතෙනවා. නමුත් ලිපිය දැන් සංස්කරණය කිරීම එතරම් පලක් නොවන බවයි මගේ හැඟීම. ඉදිරියේදී මීට සම්බන්ධ ලිපි පලවෙනවා. ඒවාට ඇතුලත් කරන්නම්.

  3. ප්‍රශ්නයක් ,හුගක් film වල දැකලා තියනවා මිට මොල්වපු අත ඉස්සුවාම ඔක්කොම stop and crouch position යනවා ,එක අතින් අංක පෙන්නන වැඩේ නම් එල එක දැකල තිබ්බේ නේ කලින්

    • google අය්යගෙන් ගෙන් ඇහුවා ,මේ තියෙන්නේ

      • මේ ලිපිය ගැන ඔබ දක්වා ඇති උනන්දුව ගැන මගේ ප්‍රශංසාව පිළිගන්න. මෙවැනි ලිපි මා ලියන්නෙත් කවුරුහරි මේ ඔස්සේ තවත් කරුණු හොයාබලනු ඇතැයි සිතාගෙනයි. ඔබ එය කර තිබෙනවා. ඇත්තටම මෙවැනි සංඥා රාශියක් තියනවා. ඒවා සමහරවිට රටෙන් රටට වෙනස්. එකම සංඥාවට රටවල් දෙකකදී කරන ක්‍රියාව හෝ ලබාදෙන අර්ථය වෙනස්. ඒ නිසයි සංඥා සුළු ප්‍රමාණයක් විතරක් පෙන්නුවේ.

        • ජිවිතේ යන්න හිටිය තැනකට යන්න බැරි උනා සර් ,ඒ හින්ද එකේ හැමදේම දැනගෙන ඉන්න බලන්නේ ,තවත් බොහෝ දේ ලියාව් කියලා හිතනවා 🙂

  4. Hello Sir,could you pls let me know your e-mail address

  5. සෑහෙන දවසකින් විචාරක තුමාව බැහැදකින්න ආවෙ..අර සංඥා ක්‍ර‍මය චිත්‍ර‍පට දර්ශන වලදි දැක තිබුනත් ඒ සංඥා වල අර්ථය දැනගත්තෙ නම් අද තමයි.

  6. අපුරු ලිපියක් වුනත් ඔබතුමා හදිස්සියේ වනාගෙන ගිහිං කියල වගේ පේනවා. වෙනදා ඔබතුමාගේ රටාව නෙවෙයි මේකේ තියෙන්නේ..

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: