විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


   ශ්‍රී ලාංකික පුරවැසි විවිධ වෘත්තිකයන්, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාව වෙත බඳවාගෙන, අධිකාරියට පත්කිරීමේ වැඩපිළිවෙලක්, දැනට ක්‍රියාත්මක වෙනවා. මෙහි පළමු අදියර, මෑතකදී නිමවූ බව, වෙබ් අඩවි වාර්තාවකින් දැනගන්නට ලැබුණා. මේ පහත දක්වා තිබෙන්නේ, එම වාර්තාවයි. මේ වාර්තාවේ සඳහන් වන්නේ, මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන තවත් රටක් වන්නේ, සිංගප්පූරුව බවයි. නමුත් මා දන්නා තරමින්, විවිධ වෘත්තිකයන් හමුදා සේවය සඳහා යොදාගන්නා රටවල් අතරින්, ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය, වැනි රටවල්ද ප්‍රමුඛස්ථානයක් ගන්නවා. උදාහරණයක් වශයෙන්, ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත පේට්‍රියට් මිසයිල් ක්‍රියාත්මක කරවන කණ්ඩායම් වල  වැඩි දෙනෙක්, ස්වේච්ඡා හමුදා නිලධාරීන්.

මෙවැනි වැඩපිළිවෙලක් මගින් අපේ රටට ගතහැකි ඵල ප්‍රයෝජන මොනවාද?

   ඇත්තෙන්ම, මෙවැනි වැඩපිළිවෙලක් මගින්, අපට ලබාගතහැකි විපුල ඵල ප්‍රයෝජන අතර මුල්ම තැන ගන්නේ, කාර්යක්‍ෂමතාවය වැඩිදියුණු කරගැනීම, කර්යෝත්පාදක ශක්තිය වැඩිදියුණු කරගැනීම, සහ යම් කාර්යභාරයකින් සාර්ථක ප්‍රතිඵල උත්පාදනය කිරීමෙහි ලා විශාල සේවයක් ඉටුවීමයි. 

එහෙනම් ඉතින් මුළු ලෝකෙම තියන උසස් කළමනාකරණ පාඨමාලා ඔක්කොම නවත්තලා හැම මිනිහවම හමුදාවට බැන්දුවානම් ඉවරයිනේ

නැහැ නැහැ,  ඔබ ඔය හිතන්නේ මහදැනමුත්තා ක්‍රමයට. මුලින් කිව්වා වගේ, මේ ක්‍රමය ලංකාවේ විතරක් සිද්ධ වෙන දෙයක් නෙවෙයිනේ. ලෝකයේ තවත් රටවලත්, මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. මෙයින් අදහස් කරන්නේ නැහැ, කළමනාකරණය පිලිබඳ ඉහලම පුහුණුව මෙයයි කියා. ඕනෙම ඉලක්කයකට යන්න, ක්‍රම එකකට වඩා තිබෙන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවද? ඒ නිසා විවිධ මට්ටමේ කාර්යභාරයන් ඉටුකරන, විවිධ අධ්‍යාපනික සහ සමාජයීය තලවලින් පැමිණි පුද්ගලයන් සමග කටයුතු කිරීමේදී, මෙවැනි හමුදා පුහුණුවක් තුලින් ලබාගන්න යම් යම් පරිපාලන ක්‍රමවේදයන් පිලිබඳ දැනුම, සාමාන්‍ය පරිපාලන ක්‍රමවේදයන්ට වඩා ප්‍රතිඵලදායී සහ කාර්යක්‍ෂමව යොදාගතහැකි අවස්ථා තිබෙනවා. 

එහෙනම් ඔය ඉස්කෝලවල ප්‍රින්සිපල්ලාට දුන්න හමුදා තනතුරු වලින් මේ වෙනකොට පාසල් විනය අන්තිම ඉහලට ගෙනත් තියෙන්න එපායැ. කෝ එහෙම වෙලා නැහැනේ. 

අපොයි එතැනදී වුනේ කටුස්සාගේ කරේ රත්තරන් බැන්දා වගේ වැඩක් නේ. දේශපාලන හෙන්චයියලාට තමයි වැඩිපුර ඒ වගේ තනතුරු හම්බවුනේ. පුංචි පුහුණුවක් දීලා, එකපාර කර්නල් වගේ තනතුරක් දුන්නම, කටුස්සගේ කරේ රත්තරන් මාලයක් දැම්මා වගේ වෙනවා. යුද න්‍යාය පිලිබඳ කිසිම පුහුණුවක් නැහැ. හමුදා දැනුමක් නැහැ. කළමනාකරණය, පරිපාලනය, උපක්‍රමික දැනුම යන කිසිවක් එයාලගේ පුහුණුවේ නැහැ. ඔවුන් ලබාගත් අධිකාරිය Commission යුද හමුදාවේ අධිකාරියට සමාන නැහැ. (ජාතික ශිෂ්‍යභට බලකායේ National Cadet Corps = NCC අධිකාරි ලත් නිලයන්, යුද හමුදාවේ අධිකාරියට සමාන වන්නේ නැහැ. ඊට කලින් තිබුන ශ්‍රී ලංකා ශිෂ්‍යභට බලකාය Sri Lanka Cadet Corps = SLCC සහ ලංකා ශිෂ්‍යභට බලකායේ Ceylon Cadet Corps = CCC අධිකාරිය, යුද හමුදාවේ (ත්‍රිවිධ හමුදාවේ) අධිකාරියට සමානයි) 

ඉතින් මේ පිං කර්නල් කෙනෙක් තමයි, අර කුරුණෑගල ඉස්කෝලෙක, අහිංසක ගෑණු ළමයෙකුට, සියදිවි නසාගන්න සැලැස්සුවේ. මේ පිං හමුදා නිළ අහෝසි කරලා, වර්තමානයේදී චක්‍රලේඛ සහ ගැසට් නිවේදන නිකුත්කර තිබුනත්, සමහරු තවමත් ඒවා පාවිච්චි කරනවා. මම දැක්කා දකුණු පළාතේ, එලගවන්න අමාරු ප්‍රින්සිපල් නෝනා කෙනෙක්, තවම මේ තනතුරු නාමය පාවිච්චි කරනවා. මේ අයගෙන් ඇහුවොත්, යුද්ධයේ මූලධර්ම දහය මොනවාද කියලා, ඇඳගෙන ඉන්න වස්තරේම පහවෙනවා. 

හොඳයි මොනවද ඉතින් මේ ආණ්ඩුවෙන් පුහුණු කරපු මේ හමුදා හෙන්චයියන්ට කරන්න පුළුවන්? 

මේ හෙන්චයියන්ගේ ලොකු වෙනසක් තියනවා, අර හෙන්චයියන්ට වඩා. වැදගත්ම දේ තමයි, මේ අයට ඉහල මට්ටමේ හමුදා පුහුණුවක් ලබාදී තිබෙනවා. ඒ කියන්නේ, හදිසියකදී මේ අයව යුද්දෙට යවන්න පුළුවන්. ඔවුන්ට ලබාදී තිබෙන අධිකාරි බලය, ත්‍රිවිධ හමුදාවේ අධිකාරි බලයට සමානයි. ඇත්තටම ඔවුන්, අර පිං නිලනාම නෙවෙයි දරන්නේ. ඔවුන්,  ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ අධිකාරි ලත් නිලධාරීන්. 

මතක තියාගන්න. ශ්‍රීලංකා ත්‍රිවිධ හමුදාවට ලබාදෙන, ඉහලම වීර පදක්කම වන, ‘පරම වීර විභූෂණය‘ පදක්කමෙන්, අපේ හමුදා ඉතිහාසයේ පළමුවරට පිදුම් ලැබුවේ, තම දිවිපුදා සටන් කල, ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ නිලධාරියකු වන, කපිතන් සාලිය උපුල් අලදෙණියයි. 

යුද්ධ කරන්න නම් ඉතින් නිත්‍ය හමුදාව ඉන්නවනේ. අනික දැන් යුද්ධයක් නැහැනේ. ඉතින් මොකටද මේ වගේ අය පුහුණු කරන්නේ? රාජ්‍ය/පෞද්ගලික ආයතනවල සේවක නිදහස යට කරලා, මිලිටරි පාලනයක් හදන්න නේද මේ අරඅඳින්නේ? 

ඔන්න ඕකට තමයි පැන්තාලියේ කිඹුලන් දකිනවා කියන්නේ. මිනිස්සු දැන් ඉස්සර තරම් මෝඩ නැහැ. ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා, දුර තියාම මිනිස්සු දන්නවා. ඔබ හිතනවද මේ වගේ අය ආයතන ප්‍රධානීන් හැටියට පත් කරලා, මිලිටරි පාලනයක් හදාගෙන, මේ ආණ්ඩුවට හැමදාම ඉන්න පුළුවන් වෙයි කියලා? එහෙම කරන්න ගියොත්, මම නම් හිතන්නේ, විදේශීය බලවේග වල සහයත් අරගෙන, 1971, 1988, තත්වයට වඩා දරුණු, මහජන නැගිටීමක් ඇතිවෙනවා.

එහෙනම් මොන කෙහෙම්මලක්ද මේ මිනිස්සුන්ගෙන් කරන්න පුළුවන්? 

බලන්න අපේ රටේ, එක අවුරුද්දකට, වැඩ වර්ජන, අකුරට වැඩ කිරීම්, ලෙඩ නිවාඩු දැමීමේ ව්‍යාපාර, වතු සේවක, විදුලිය, ජලය, සෞඛ්‍ය සේවා, ප්‍රවාහන, දුරකථන සේවා, වැනි ආයතන වල වර්ජන කොච්චර තියනවද? එයින් කොච්චර මහජන පීඩාවක් ඇතිවෙනවද. මේ වගේ අවස්ථාවල යුද හමුදාව යෙදෙව්වට, හමුදාවට පුළුවන් වෙන්නේ, ඒ ඒ ආයතනවලට යම් භෞතිකමය හානියක් වීම වළක්වාගන්න විතරයි. ඒ ආයතනයේ ක්‍රියාකාරිත්වය ප්‍රතිෂ්ඨාපනය කරන දැනුම, හමුදාවට නැහැ. මේ වගේ වෘත්තිකයන්, හමුදා නිලධාරීන් ලෙස පුහුණු කර ගත්තම, ඔවුන්ට අදාළ ක්‍ෂේත්‍රය වෙත ඔවුන්ව යොමු කරවන්න පුළුවන්. එමගින් එකී සේවාවන් බිඳ නොවැටී පවත්වාගන්නටත්, අහිංසක මහජනතාවට සිදුවන පීඩාව අවම කරගන්නටත් පුළුවන්. (ඔවුන්ට පුළුවන් අනෙකුත් හමුදා නිලධාරීන්ට හමුදා සෙබළුන්ට උගන්වන්න, කලයුතු දේ) 

ඒ කියන්නේ වැඩවර්ජන කඩාකප්පල් කරනවා? 

නෑ නෑ නෑ, වැඩවර්ජන කරන අය ඒවා කරගෙන යන්න. මහජනතාව පීඩාවට පත්වීම අවම කිරීම පමණයි, හමුදාවෙන් කෙරෙන්නේ. ඒක වැරැද්දක් ද? 

මේ වැඩපිළිවෙලේ මම අකමැති එකම එක දෙයයි තියෙන්නේ. ඒ, මේ ව්‍යාපාරයට දී තිබෙන නම. ‘අපි ආමි’ හා….පෝ…..අජපල් නමක්. මේ නම දැක්කම, මිනිස්සු හිතන්නෙම, මෙතන තියෙන්නේ මිලිටරිකරණය කියලා. අපි ආමි කියලා, නිකම් ආමි පාට් දැමීම සුදුසු මදි. ‘අපෙන් රටට’ වගේ නමක් දැම්මනම් හොඳයි. 

2016 අප්‍රේල් මස 06 වැනි දින 2322 පැය

Advertisements

Comments on: "අපි ආමි ද? අපි ආවෙමු ද?" (10)

  1. ඔබතුමාගේ ලිපිය බොහොම වැදගත් තැනක් ස්පර්ශ කර තිබෙනවා. විදුහල්පති තනතුරු ධාරීන්ට හමුදාවේ නිලතනතුරු දුන්නත් ඒ “විදුහල්පතිවරුන්” පත්වීම් ලිපියෙන් පමණක් එය ලැබූ අය ද යනන සලකා නැහැ. විචාරකතුමණි මා මෙහිදී පවසන්ට උත්සාහ කළේ විදුහල්පති ගුරු යන තනතුරු වල වැජඹෙන බොහොමයක් දෙනා එම තනරුවලින් බැබලෙන්ට තැත්කරන්නන් මිස “තනතුරු බබලවන අධ්‍යාපනයන්” ලෙස දැකගන්ට බැරි ස්වභාවයක් තියන නිසයි. බොහොම දෙනෙක් ඉහළින් එන නියෝග ගැන බලා ඉන්න යටත් සේවකයන් මිස ළමයින් ගැන කල්පනා කරන මිනිසුන් බව දක්නට නොලැබෙන ස්වභාවයක් හින්දයි. ඔබතුමා සදහන් කරන නිදසුන් වල සිටින්නේ එවැනි වහලුන් මිස හමුදා නිල තනතුරු ලැබීමට සුදුසු අය නොවෙයි නේද ? මේ තනතුරු ප්‍රදානයන් ගැන නැවත සලකා බැලීමට වටිනවා

    • අනේ මන්දා ගුණසිංහ මහත්තයෝ, ඉස්සර මතකද අර කානි මානි කියලා විහිළුවක් තිබුනේ. ඒ වගේ තමයි මේ විදුහල්පති තනතුරු දීමයි, හමුදා නිල කිලෝ ගානට බෙදා දීමයි. ඒ නිල නාමය හෑල්ලු වෙනවා විතරයි. දේශපාලන පලිගැනීම් කියලා, ලෝක බොරු කියලා, මෙලෝ සුදුසුකමක් නැති එවුන් විදුහල්පති වෙනවා. පොදු වැසිකිලියක්වත් පරිපාලනය කරගන්න දන්නේ නැහැ උන්. කාට කියන්නද? 😀

      • ඒක හරිම ඛේදවාචකයක් විචාරක තුමා අධ්‍යාපන ය සම්බන්ධ ඉහළම තැන සිටි පහළම තැන දක්වා විශාල බිඳවැටීමක ලකුණු පෙනෙන්ට පටන් ගත්තෙ අපේ කාලේ සිටම වගේ නේද තත්ත්වය එන්න එන්නම තත්ත්වය භියජනක විදිහට වර්ධනය වෙනවා. මේ ගැටළුවට පිළියම් සෙවීම රාජ්‍යයයක ආණ්ඩුව හා විපක්ෂය යන දෙකේම ප්‍රමුඛ අවධානය දිය යුතු තැනක් වුනත් වගේ වගක් නැතුව ඉන්නවා.

  2. හොඳලිපියක් ..+++++++++++

  3. පුතා ,ආවෙමු කියන්න ආමි කියන්න එපා …….:) සමාවෙන්න සර් ,මට මතක් උනේ එක ,මිට හොද නමක් දාන්න තිබ්බා,පුද්ගලික අංශයේ අයට ඕකට එන්න බැරිද ?

    • ඇයි ආමි එකේ මහත්තයෙක් ගෙදර ගිහිල්ලා නෝනට කිව්වලු අපිආමි කියලා. නෝනා කිව්වලු මමනම් හිතුවේ අද නේවි කියලා. 😀

      පෞද්ගලික අංශයේ අයටත් එන්න පුළුවන්. නමුත් බොහොමයක් පෞද්ගලික ආයතන, තම සේවකයන් වැටුප් සහිතව නිදහස් කරන්න කැමති නැහැ, මේ වගේ පුහුණුවකට.

  4. තුමනි, විදුහල්පතිවරු පිළිබඳ කතාවේ දි සැම ක‍ෙනෙකුටම අදාල න‍ෙංවන බව කිව යුතුය. විරකැට්ය රාජපක්ෂ මැදි විදුහල 2005 සිට සිසුන්ග‍ෙේ විනය පිරිහිම නිසාා විදුහල්පතිවරු 4 ද‍ෙනෙ‍ෙකෙුට වසර 2 තුල ඉවත්වන්නට සිදුවිය.එම අර්බුදය නිමාකර පාසල නැවත රටේ මුල් පාසල් 20 තුලට පැමිණිය හැකිවිය.ඒ ඔබ කියන ආකාරයේ විදුහල්පති ක‍ෙනෙක් මගිනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: