විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


NelumYaya-1   නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙල අවසන් වන්නටත් කලින්, එදා ජනමාධ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයෙන් එලියට එද්දී, හිතේ ඇඳුනු රැඳුණු බොහොමයක් දේ දැන් මැකී ගොස් ය. වසර 40 කට වැඩි කාලයක්, ඇත්තටම මට මචං කෙනෙකු වී සිටි මගේ ලොකු අක්කාගේ මහත්තයා, රණවීර අයියා සමුගැනීම මට මහත් දුකකි. එදා සම්මාන උළෙලට ඇවිත් ඔක්කොම අයට විරිත්තුවේ ඒ දුකද දරාගෙනය. ඔහුගේත් මගෙත් සහෝදරකම එතරම්ම ගැඹුරුය. ඔහුට නිවන් සුව පතා ලිපිය අරඹමි. 
 
   නෙළුම් යායට ගොඩවෙන්නට සූදානමක් තිබුන අතරේ, හමුදා කඳවුරක තිබෙන උත්සවයකට යාමටද සූදානම් වන්නට සිදුවීම නිසා, මා සිටියේ මහත් උභතෝකෝටිකයකට මැදිවී ය. රණවීර අයියා රෝහලට ඇතුළු කලේ 20 වැනිදාය. දන්නා කියන හැමෝටම බැගෑපත් වී, රෝහලෙන් සියලු දේ කරගන්නට හැකිවිය. නමුත් රණවීර අයියා 24 වනිදා මෙලොව හැරගිය බැවින්, සියලු වැඩකටයුතු අතහැර ඔහුගේ අවමංගල්‍යය වෙනුවෙන් වෙහෙසෙන්නට සිදුවිය. 
 
   ඒ අතරේ කලාහිතේ කල්‍යාණට ඇමතුමක් දී, මගේ තත්වය විස්තර කලෙමි. ‘කොහොමහරි පැයකට දෙකකටවත් ඔලුව දාගන්න පුළුවන් නම් හොඳයි’ ඒ කියමනේ සහ ස්වරයේ,  ඉල්ලීම/උපදේශනය/නියෝගය/ යන සියල්ල ගැබ්ව තිබුණි. හ්ම්………මේකා මාව කමාන්ඩ් කරනවා එහෙනම් ඈ. හරි බලමුකෝ පොඩ්ඩක් ඔලුව දාන්ඩ. (මළගෙදර යනවිට, අමතර කලිසමක් සහ කමිසයක් බෑගයට ඔබාගත්තෙමි) 
 
   මට වරුවක් අවමංගල නිවසින් ඈත්වී යන්නට වෙන බව, එකපාරටම, ලොකු අක්කාට කියන්නට බැරිය. ඈ ඉන්න විදිහ දැක්කාම හිත වාවන්නේ නැත. මුලින්ම, ඒ පවුලේ පුත්තු තුන්දෙනාට සහ උන්ගේ බිරින්දෑ වරුන්ට, මේ තත්වය පහදා දී,
   (අනේ දෙයියනේ මේ බ්ලොග් ලියනවා කියන එක, මිනිස්සුන්ට තේරුම් කරලා දෙන පහසු ක්‍රමයක් කවුරුහරි කියා දීපල්ලා. මටනම් දැන් ඒ වැඩේ එපාවෙලා)  
   බෙල්ල ගහලා ගියත් වෙලාවට වැඩකිරීමේ පුරුද්ද හමුදා පුහුණුවෙන්ම ලැබී තිබීමේ වාසනාවට පින්සිද්දවෙන්න, දවල්ට හරියට නොකා, කොහොමහරි, හවස 2.16 ට, ජනමාධ්‍ය අමාත්‍යාංශ ශාලාවේ, ප්‍රධාන දොරටුව වෙත ආවෙමි. කිසිම හැලහොල්මනක් නැත, පිළිගැනීමේ කවුන්ටරයේ මොකෙක්වත් නැත. හුටා………මෙතන නෙවෙයිද තැන? කෝකටත් කියා වහාම කල්‍යාණට ඇමතුවෙමි. ‘ඔය වට වන්දනාවෙන් ඇවිත්, බෝධියත් වැඳගෙන එන්න’ කියා උපදෙස් ලැබුනෙමි. 
 
   හප්පොච්චියෙ බෝධිය ළඟ මාතලනා ‘රෝබ්බොක්’ එකක් දාලා ය. එන එන එකා චැක් කොරනවාය. මමත් ඉතින් මාතලනාට හග්  එකක් දී, මාතලනා කටේ ගහගෙන හිටිය කාල පන්දම නිවෙනතුරු සිට, ඇතුළට සැපත්වුනේමිය. ඔන්න ඉතිං නෙළුම් මල් පනින්නේ ඔය වෙලාවටය. මම හිතුවේ  මේ දැන් වැඩේ පටන් ගනියි කියලාය. මක්කැයි කිව්වොත්, කාලය මට වල්ලා පට්ට වලට වඩා වටිනවාය. ආපහු මළගෙදරට කල්තියා නොගියොත්, අක්කා, මාවත් මස්සිනා සමග ආදාහනාගාරයට බාරදෙන්නට ඉඩ තිබෙනවාය. හ්ම්……කමක් නෑ කමක් නෑ, මේක හමුදා පෙළපාලියක් නෙවෙයිනේ. දැන් ඉතිං අක්කා මාව කෑවත්, පුළුවන් තරම් වෙලා මෙතන ඉඳලා යනවාය. 
 
   ‘නෙලාගන්න බෑ මගේ අත දිග නෑ අනේ ඒත් තව නෙළුම් මල් නෙළුම් යායේ පිපියන්’ කියන හැඟීමෙන්, ශාලාවට ඇතුළු වුනෙමි. පොහ්……..වැඩේ මල් හතයි. සෑහෙන සෙනගක් එකතුවී සිටිති. දන්නා මූණු වගේම නොදන්නා මූණුත් ගොඩකි. වටේ යමින් පුළු පුළුවන් හ්මදෙනාටම අත දෙමින් මම අහවලා කියමින් විරිත්තුවෙමි. සුදීක සහ ඔමායා වාඩිවී සිටි පේලියේ ඉඩක් තිබුණු නිසා එතනට පාත්වුනෙමි. නමුත් අපි මොහොතකට නැගිට්ට පසු වෙනත් පිරිසක් එහි ඈඳිගත් බැවින, රසිකටත්, ඔහුගේ මවටත්, සහෝදරයාටත්, කරදරයක් වීගෙන, ආසන පේලිය අතරින්, වෙනත් තැනකට ගියෙමි. 
 
   හ්ම්..දැන් බලමුකෝ වැඩ කිඩ. අද මගේ නම මෙතන කියවෙනවාට සැකයක් නැත. මක්නිසාද යත්, මා පළකළ පොටෝ ටිකක් නිසා, මාත් මහලොකු පොටෝකාරයෙක් කියා නම් කිරීමක් පමණක් සිදුවී ඇත. අර කැමරාවා අද මෙතනට ඇවිත් හිටියා නම් ඌ දෙකොනින් හිනාවෙනු ඇත. කමක් නෑ, අපේ ප්‍රම්ප්‍රාවේ එකෙක්ගේ නම, මේ වගේ විසාල වේදිකාවක කියවෙනකොට කාටද ආඩම්බර? අනේ මං අර යුද්ද කතා ලියන එව්වාට ඔය මොකක්හරි දෙයක් ලැබෙයි කියලා හිත හදාගන්න තිබුණා. දැන් ඉතිං සම්මාන ගන්න ඔක්කොටම අප්පුඩි ගහලා, කලින්ම පැනගැනීමට දොරටු මතක තියාගැනීම වැදගත් කියා හිතාගෙන වැඩේ දිහා බලාගෙන හිටියාය. කොහෙද, සුදීකයේ පොං කැමරාවේ පොකස් ද මොකක්ද එක නැතිවෙලාය. ආසන පේලිය යට බැලුවත් වැටිලා තිබුනේ නැත. ඒක හොයන්න සුදීක අටමා ලඟට ගියේය. බලනකොට අටමා කැමරා බාස් වැඩෙත් දන්නවාය. 
 
   ඒ මදිවට ඔමායා ජරබරස් ගා මහා පතන්දර කැමරාවක් ඇගේ මල්ලෙන් එලියට ගත්තාය. බුදු අම්මෝ…….. ඒකෙන් දමලා ගැහුවොත්, ජනමාධ්‍ය අමාත්‍යංශ බිල්ඩිමත් කුඩු වෙනවාය. ඔන්න ඉතින් ඒකෙ තියන සුකුරුත්තන් වැඩ කෑලි බලන අතරේ, තව දිග මදි කියා, තවත් ලෙන්ස් කෑල්ලක් ඉස්සරහට හයි කොලාය. දැන්නං කැමරාව හැරෙව්වොත්, මීටර් දෙකක් එහා ඉන්න එකෙක්ගේ හොම්බේ වුනත්, අර ලෙන්ස් එක වදින්න ඇහැකිය. ඔන්න ඔමා දිගට හරහට පොටෝ කෙලින්න පටන් ගත්තාය. ඒ මදිවට ඒ ඇත්තී සම්මාන ගන්න අතරේ, ඒ කැමරා පතයෙන්, ඇගේ පින්තූර ගත්තේ නැත්තේ ඇයි කියා, මගේ හොම්බට අර ලෙන්ස් එකෙන් ඇන්නාය. අපි නොදන්නා කැමරා අතපත ගාලා, මොනවයින් මොනවා වෙයිද? 
 
   බෑ බෑ මේ විස්තරේ කියන්න ගියොත්, ලියන්න හිතාගෙන හිටිය දේ අමතක වෙනවාය. ඒ නිසා වැඩේට බහිමි. 
 
සම්මාන උළෙලේ සංවිධානය:- අති විශිෂ්ඨම නොවේ. නමුත් ඉවසීමත්, කැපවීමත්, උපරිමයෙන් යොදා, කර ඇති බව පෙනුනි. අජිත් මේ වැඩේට දරා තිබුණු වෙහෙස, ඔහුගේ මුහුණෙන් ඉතා හොඳින් පිළිබිඹු වුනා. සම්මාන උළෙලට පසු, කල්‍යාණට කොන්දේ අමාරුවක් එහෙම හැදෙන්නට නැතැයි කියා හිතමි. ඒ තරමට බර ඇද්ද හැටි හොඳින්ම දැක්කා. සම්මාන උළෙල වෙනුවෙන් සිදුවූ සම්පූර්ණ මහන්සිය ගැන වචනයක්වත් සඳහන් නොකර, නෙළුම් යාය කණ්ඩායමේ සියලුදෙනා සාමූහික වගකීමෙන් ක්‍රියාකර ඇති ආකාරය බෙහෙවින් ප්‍රශංසනීයයි. 
 
ඉදිරිපත් කිරීම:- මටනම් ඉවාන් ගේ හඬ සෞමය වැඩි බවක් පෙනුනි. ඔහු තුළ, මීට වඩා ඉතා ඉහලින් යමක් කිරීමේ හැකියාව ඇති බව පෙනුනි. 
 
   වේදිකාවේ බඩුබාහිරාදිය මීට වඩා සැලසුම් සහගතව ස්ථානගත කළා නම් හොඳයි. පැරා සහ නාලක වේදිකාවට ගොඩවෙන්නට ගියේ, බාධක තරණය කරමින්.
 
  එතන හිටිය ඔක්කොම වගේ බ්ලොගාලා බ්ලොගීලා තමා. ඔවුන් සෑහෙන බ්ලොග් අඩවි ගණනක් ගැන දන්නා බවත් ඇත්තයි. නමුත්, සම්මානයට නිර්දේශිත අඩවිවල, අදාළ ලිපිය සහිත පිටුව, පසුබිම් තිරයට යොමුකලා නම් හොඳයි. මක්නිසාද යත්, සමහර අය සම්මාන ගන්නා අතරේ, ඒ කවුද? මොකක්ද එයා ලියන අඩවිය? කියන කසුකුසුව ප්‍රේක්ෂකාගාරයේ තිබුණා. 
 
සංවාදශීලී බව:- පැරා සහ නාලක සමග යෙදුනු සංවාදයට හවුල් වෙන්නට, සභාවටත් අවස්ථාවක් ලැබුණා නම්, වඩාත් හොඳයි. (ඔව්, මමත් ඇතුළුව කියන එක තමයි එයින් අදහස් කලේ) එමෙන්ම, ප්‍රථම ස්ථාන දිනාගත් අයටවත්, තත්පර 30 කින් විතර, ස්තුතියක් කිරීමට අවස්ථාවක් දුන්නානම් හොඳයි. 
 
   තෑගි පිරිනමන්නට, ප්‍රවීණ බ්ලොග් කරුවන් යොදාගැනීම, හොඳයි. 
 
   ගීත ගායනයේදී, ප්‍රමාණවත් තරම් පෙර පුහුණුවක් කර නැතුවාදෝ කියා හිතුනා. ගීතයක් ආරම්භ කරන්නට ගත් කාලය වැඩියි. ශබ්ද මිශ්‍රකයක් සහ ඒ උපකරණ පාලකයකු සිටියේදැයි නොදැක්කෙමි. අර වීදුරුවෙන් එහා පැත්තේ හිටියේ ඒ අයද? සමහර අවස්ථා වලදී කටහඬ ගිලීයාම් සිදුවිය. කෙසේ වෙතත්, ඒ ගීත, දෙනෙත් පියාගෙන රසවින්දෙමි. 
 
   පළමුවෙන් ඉදිරිපත් කල කෙටි නාට්‍යයේ වේගය ඉතා වැඩියි. එතරම් කලබලෙන් එය කලයුතු නැතැයි සිතමි. ටිකක් විතර අධි රංග ලක්ෂණ දැක්කෙමි. උච්ඡාරණය එතරම්ම ඉහල ස්වරයකට ගතයුතු නොවේ. හොඳ ප්‍රබුද්ධ, කුඩා ප්‍රේක්ෂක පිරිසක් පමණි සිටියේ. සමහර අවස්ථා වල දී, රඟපෑම ඩ්‍රිල් එකක් වගේ පෙනුනි. පෙර පුහුණුව, කෙටි කාලයක් තුළ, වැඩි වාර ගණනක් කලාමයි, ඔය ඩ්‍රිල් තත්වය ඇතිවන්නේ. නළුවන් දෙදෙනා, බොහෝවිට, බිම බලාගෙන දෙබස් කිව්වෝය. සතර අභිනය සමබර නොවීය. හොඳ කථා ආකෘතියක් තිබුනත්, සමහර අවස්ථා, සාමාන්‍යපෙළ පන්තියේ දරුවන්, වාරාවසානයේ ඉදිරිපත් කරන රැඟුමක ස්වභාවය ඉසිලීය. 
 
   දෙවැනි නාට්‍යය බලන්නට නොසිටියෙමි. 
 
  ප්‍රධාන අමුත්තාව තනියම වාඩි කරවීම සුදුසු මදි. එතනට අජිත් ධර්ම සහ පැරා, නාලක, මාතලන්, රසික, වර්ණකුලසුරිය, වැනි ප්‍රවීණ බ්ලොග් කරුවන්ද, දෙපස අසුන්වල තැබීම ඉතා යහපත්. 
 
ස්තුතිය:- බ්ලොග් ලියන්නට පටන්ගෙන වසර හතරක් තුළ, මෙවැනි සම්මාන දෙකකට මා පාත්‍රවේයැයි සිහිනෙකිනුදු ප්‍රාර්ථනය නොකළෙමි. ඕනෑම යහපත් කාර්යයක යෙදෙන්නෙකු වෙත, යම් උත්තේජනයක්, ඇගයීමක් ලබාදීමෙන්, ඔහු තුළ චිත්ත ධෛර්යය වර්ධනය කරවා, ඔහුගේ නිර්මාණ කාර්යය, නොසිඳී නොබිඳී ඉදිරියට ගෙනයන්නටත්,  වඩාත් ඉහල මට්ටමේ නිර්මාණ බිහිකිරීමෙහි ලා, ඔවුන් උනන්දු කරවන්නටත්, මෙවැනි සම්මාන උළෙල, මොනවට ආධාර වන්නේද යන්න, නොකිව මනා ය. ඒ අතින්, නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙල, සිංහල බ්ලොග් ලෝකයේ අනාගතය ගැන බලාපොරොත්තු, ඉහලින්ම දල්වා ඇති බව ප්‍රශංසාභිමුඛව පවසමි. 
 
  අම්මෝ……….බඩගින්න. දවල්ට හරියට නොකා ඒමේ ප්‍රතිඵලය. ඒ මදිවට ඔමායත්, සුදීකත් බඩගින්න ගැන මැසිවිලි නැගුවා. පස්සේ මතක්වුනා, මේ වගේ ශාලා ඇතුලට, බඩගිනි නිවන දේ ගෙනත් දෙන්නේ නැති බව. ඒ අස්සේ, ඔමාට එකසිය ගානට කෝල් එනවා අම්මගෙන්. ‘බයවෙන්න එපා අම්මේ, මම ඉන්නේ නාකි පප්පෙක් ළඟ. උන්දෑ මාව බලාගන්නේ දරුවෙක් වගේ. අම්මා කලබල නොවී ඉන්න’ කියලා, කීප වරක් කියන්න සිද්දවුණා.  ප්‍රධාන මුත්තාගේ දේශනයත් අවසන්. දැන් ඉතින් යන්න වෙලාව හරි. ඕමා කිව්වා, ‘පනිමු සීයේ පනිමු’ කියලා. ඒ අස්සේ, ‘ආ………පොඩ්ඩක් ඉන්න, මම සීයට බඩුවක් ගෙනාවා, හැබැයි මෙව්වා හරිම සැරයි. සීයලා වගේ නාකින්ට නෙවේ, මෙව්වා තියෙන්නේ, අර අටමා වගේ කොල්ලන්ට හරිය. ඔන්න මෙව්වා ඇන්න අර අහිංසක ආච්චිට එහෙම කරදර කොරනවා නෙවෙයි හරිය’ කියලා, එළියේ තිබුන ලොරියකින් ඇදලා දුන්නා එකක්, බුදු අම්මෝ…………ඒකෙ විසාල. කොහොම ගෙනාවද මන්දා. මම වහාම එතන තිබුණු බිත්තිය ළඟ ඒ තෑග්ගයි ඔමාවයි තියලා පින්තූරයක් ගත්තා. මෙන්න බඩු.
 

   මේක දාලා තිබුනේ, ෆ්‍රිජ් එකක් දාන්න තරම් විසාල කවරෙක. ඒකේ හීබෘ ද, තාබෘ ද, ආබෘ ද, මොකක්ද බාසාවෙන් ගහලා තිබුනා, මෙව්වා ෂොට් එකක් දාපුවම, දඩ සයිස් වලහෙක් වුනත්, පූස් පැටියෙක් වගේ, බයිසිකල් බාස්කට් එකේ දාගෙන යන්න පුළුවන් කියලා. 

   යන්තම් අර එතන අල්ලපු වැටේ තියන යුදහමුදා පොලීසියේ, කෝප්‍රල් උන්නැහේලා දෙන්නෙකුට කියලා, බඩී වෑන් එකක් හොයාගෙන මේක පටවාගත්තා.

   ඔහෙලා හුඟ දෙනෙක් දන්නේ නැති තවත් රහසක් මම අල්ලාගත්තා. ඇත්තටම ඔමා වැඩ කරන්නේ ඊශ්‍රායල් හමුදාවේ. එදා සම්මාන උළෙලට දාගෙන ඇවිත් හිටියේ, ඊශ්‍රායල් කාලතුවක්කු හමුදාවේ බූට්ස් දෙකක්. කොහොමද වැඩ. ඒකනේ එයා කාටවත් බය නැත්තේ. කාටවත් නොදැනෙන්න පින්තූර ගොඩක් ගත්තා. ඔය ඔමාට අරවා මෙව්වා කියන්ඩ බලාගෙන ඉන්න අය පෙරේසම් වෙනවා හොඳයි. 

  දෙයියන්නේ රටේ අඩවියට අධිපති අපේ ගුණසිංහ මහත්තයාගේ පුත්‍ර රත්නයත්, මේ උළෙලේදී හඳුනාගන්න ලැබීම සතුටක්. නමුත් කතාකරන්න අවශ්‍යම බ්ලොග් සහෘදයන් බොහොමයකට, එක වචනයක්වත් කතාකරන්න නොලැබීම ලොකු දුකක්. 

  ඊළඟ නෙළුම්යායේ දී හමුවෙමු. නෙළුම් යාය දිනේවා!

පසුව එකතු කිරීම:- හුටා……………….අර බට කෑල්ල, බට කෑල්ල.

 
 
 

 අම්මපා ඒ බට කෑල්ල පෙදානය කිරීම නිමිත්තෙං අපේ කමියාට සහ පූසාට බොහොම ඉස්කෝතුය. මං හිතන්නේ, බට කෑල්ල අර බිල්ඩින් උයන්නාගේ වැඩ පොළකින් ගන්න ඇතිය කියාය. අන්තිමට බට කෑල්ල බොහොම පොරෝජං උනාය. අපේ කුස්සියේ වතුර බටයක ලීක් එකක් හදාගන්න, ඔය සයිස් බට කෑල්ලක් හොයා හොයා සිටියෙමුය. ඉතිං ඒක හොඳට රත් කරලා, ගම් ගාලා ගහගත්තෙමුය. (බට කෑල්ල ඕනේ කරලා තිබ්බ තැනට ගැහුවේ යකෝ)

2016 මාර්තු මස 28 දින 2358 පැය

Advertisements

Comments on: "නෙලුම් පිපීලා විල ලෙළ දෙනවා" (13)

  1. දෙයි හාමුදරුවනේ චුට්ටක් විතරක් නෙවෙි මේ ලිපියට මම කැමති තරම කොච්චර ද කියන්න බෑ.
    මට සම්මාන උළෙලට එන්ඩ බැරිවෙච්ච හිතේ අමාරුව තවමත් විඳිනවා විචරකතුමා සම්මාන උළෙල ගැන කියවෙන්නේ මොනවාදැයි සොයමින් බ්ලොග් ලිපි පීර පීරා බලමින් ඉන්නෙ.
    විචරකතුමා මුහුණ දුන්න වේදනා සහගත තත්ත්වය මස්සිනා සහ අක්කා ඇතුළු නෑදෑයන් වෙනුවෙන් යුතුකම් ඉටුකළ ආකරයත්, පසුව ඔබතුමාව අපේක්ෂා කළ බ්ලාග් සහෘදයන් වෙනුවෙන් යුතුකම් ඉටු කළ ආකාරයත් අප හැමටම වගකීම හා වගවීම සම්බන්ධ විශිෂ්ට ආදර්ශයක් දෙනවා.
    නෙළුම්යායේ මේ උළෙල අඩු පාඩු තිබුණත් විශ්වකර්ම එකක් බව පෙනෙනවා එය අලුත්ම අලුත් අත්දැකීමක් මාව නියෝජනය කළ පුතු එය නිම වූ මොහොතේම මා අමතමින් පැවසූ දේවලින් සහ පැරකුම් සහ ඔබේ පොස්ටුවත් කියෙවුවාම අජිත්ලා කළ්‍යානලා කරල තියෙන්නෙ හාස්කමක්. ඒගැන දැනකියාගන්න අපට අයිතිය තියන බව අජිත් ලාට කියමු විචාරකතුමා
    බ්ලොග් ලියන්නන් ගේ එකතුව නිසා අපේ රටට අලුත් අත්‍යවශ්‍ය උපසංස්කෘතියක් නිර්මාණය වෙම්න් පවතින් බවක් මට පෙනෙනවා. මට පැමිණීමට නොහැකිවීමේ වේදනාව චුට්ටකින් හෝ දරුවා එවීමෙන් නිවාගන්නට හැකිවීම සැනසීමක් කොමෙන්ටුව බ්ලොග් එකක් වෙන්න යන නිසා නවතිනවා.

    • ගුණසිංහ මහත්තා දැකගෙන අත අල්ලාගෙන කතාකරන්න තිබුන දුර්ලභ අවස්ථාවක් මග හැරුණා. හරිම දුකයි. පුතා ඇවිත් කතාකලාම සතුටක් දැනුණා. ඔබ වේදිකාවට නැග්ගා කියලා හිතාගන්න.

      මස්සිනාගේ මරණය නිසා මට සම්මාන උළෙලේ සම්පූර්ණ රසය විඳගන්නට බැරිවුනා. මොනවා කරන්නද ජීවිතේ හැටි.

      සම්මාන උළෙල අති විශ්ෂ්ඨ නොවුනත් ඉතා ඉහළයි.

      දක්වන ලද අදහස් වලට ඔබතුමාට බොහොම ස්තුතියි.

  2. අපේ උණුසුම් සුභ පැතුම්….

  3. අනේ අම්මේ ඇති යාන්තං. දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. පිට වුණේ ඕමා එක්ක හින්දා මම හිතාන හිටියේ …. ඒවා ඕනේ නෑ. ආයෙත් දවසක හමු වෙමු.

  4. ඔබට සම්මානයක් ලැබීම ගැන ගොඩක් සතුටුයි,
    සම්මාන උළෙලට එන්නට නොහැකිවීම ගැන ඇත්තේ කණගාටුවක්. අරාබියේ ඉන්න අපිට ඇල්කොහොල් තහනම්ය.

  5. මම තරහින් හිටියේ කලින් ගිය එක ගැන… කතාකරන්න කැමැත්තෙන් හිටියේ!
    ඒත් තත්වය තේරෙනකොට තරහ නිවුණ
    සුභපැතම් හා සංවේගය එකවර පළ කරනව ඉතිං

    • මොනවා කරන්නද. මටත් දුකයි. හුඟ දෙනෙක් එක්ක කතාකරන්න තිබුන දුර්ලභ අවස්ථාවක් නැතිවුනා.

      සුබපතුමටත්, සංවේගය පළකිරීමටත් බොහොම ස්තුතියි.

      ලැබෙන අවස්තාවක හමුවෙමු.

  6. සතුටුයි සම්මානයක් ලබුණ එකට …😎

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: