විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Military Parade   යුද හමුදාවේ පැවැත්වෙන විවිධ පෙළපාලි ගැන ලියවෙන මේ ලිපි මාලාවේ, පළමුවැනි කොටසෙන් සහ දෙවැනි කොටසෙන්, ඔබේ දැනුමට සෑහෙන කරුණු ප්‍රමාණයක් එක්වූ බව, ඔබෙන් ලද ප්‍රතිචාර වලින් පැහැදිලි වුන අතර, ඒ ගැන මා සතුටු වෙනවා. හමුදාවක්, පෙළපාලිවල යෙදෙනවා දකින්න, එදත් අදත් මහජනතාව කැමතියි.

   ඔබ දන්නවා ඇති, වර්තමානයේදී, අපේ රටේ නිදහස් දින පෙළපාලිය, සජීවීව රූපවාහිනියෙන් ප්‍රචාරය කරනවිට, ත්‍රිවිධ හමුදා නිලධාරීන් යොදවා, පසුබිම් කථනයක් ලෙස, නරඹන්නන්ට පැහැදිලි කිරීමක් ලබාදෙනවා, ඒ ඒ හමුදාවේ කුමන කොටස්ද, මේ අවස්ථාවේදී පෙළපාලියේ ගමන් කරන්නේ යන්න. නමුත් මෙවැනි ලිපියකින් එවැනි දීර්ඝ විස්තරයක් කිරීම තේරුමක් නැති වැඩක්. මා උත්සාහ කරන්නේ, සීමිත පිරිසකට පමණක් දකින්න ලැබෙන හෝ සාමාන්‍ය ජනතාවට දකින්න නොලැබෙන පෙළපාලි පිළිබඳව, ඔබව දැනුවත් කරන්නයි.  

   අද මුලින්ම බලමු, හමුදා පුහුණුව ලැබූවන්, (නිළධාරීන් සහ/හෝ සෙසු නිළයන්) විසිරයාමේ පෙළපාලියක් පැවැත්වෙන ආකාරය.  Passing out Parade = PoP) මෙවැනි පෙලපාලියක සාමාන්‍ය පිළිවෙත මෙයයි.

1. පෙළපාලියේ උප අණදෙන නිළධාරියා විසින්, පෙළපාලිය, පෙළපාලි භූමිය (Parade Ground) වෙත රැගෙන ඒම. තූර්ය වාදක කණ්ඩායමද මේ සමගම එනවා.

   (ඔබ දන්නවාද ඕනෑම හමුදා කඳවුරක, පෙළපාලි පැවැත්වීම සඳහා වෙන්කර තිබෙන භූමිය, ගෞරවාන්විත ස්ථානයක් ලෙසයි සැළකෙන්නේ. කිසිවකුටත් එහි නිකරුනේ රැඳී සිටින්නට බැහැ, අවශ්‍යතාවකින් තොරව, එය හරහා ගමන් කරන්නට බැහැ, නිල ඇඳුමෙන් හෝ ශාරීරික අභ්‍යාස ඇඳුමෙන් සැරසී නැත්නම්, කොහොමවත් එය හරහා ගමන් කරන්නට බැහැ, එය හරහා නිකම් ගමන් කරන්නට බැහැ, හමුදාවේ ක්‍රමයට ගමනේ යෙදිය යුතුයි. (march) පෙළපාලි භූමිය අවට වාඩිවී කතාබහේ යෙදී ඉන්න බැහැ, ගස් වැනි දේ වලට හේත්තුවී ඉන්නට බැහැ, පෙළපාලි භූමිය තුළ අනවශ්‍ය උසුළු විසුළු කිරීම, නිසි පිළිවෙතට අනුව හැඳ පැළඳ නොසිටිමින් පෙළපාලි භූමියට ඇතුළුවීම, පෙළපාලි භූමිය තුළ දුම්බීම, බුලත්විට කෑම, කෙළ ගැසීම, සපුරා තහනම්. ඒවා බරපතල දඬුවම් ලැබියහැකි වැරදි ලෙසයි සැළකෙන්නේ.)

2. පෙළපාලිය පෙළ සැදීම. මෙහිදී සරඹ උපදේශක වරුන් විසින් පෙළපාලිය නිවැරදිව පෙළගස්වනවා.

3. පෙළපාලියේ දෙවැනි අණදෙන්නා එක අවස්ථාවකදී, ‘පෙළපාලිය පසෙක අවි’ යන විධානය දෙනවා. එයින් කියවෙන්නේ, ‘පෙළපාලි අණදෙන නිලධාරි තුමනි, ඔබට පෙළපාලිය බාරදීමට මා සූදානම්’ කියන එකයි. මෙහිදී පෙළපාලි අණදෙන්නා පෙළපාලි භූමියට පැමිණ තමන්ට පිටුපා පෙළපාලියට මුහුණ ලා සිටහෙන සිටින පෙළපාලියේ දෙවැනි අණදෙන නිලධාරියාට මීටර් දෙක තුනක් පසුපසින් නවතිනවා.

4. පෙළපාලි අණදෙන නිලධාරියා පැමිණ නවතින හඬ,  පෙළපාලි දෙවැනි අණදෙන නිලධාරියාට ඇසෙනවා. (දැන්නම් දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ පෙළපාලි අණදෙන්නා එන්නේ අශ්වයකු පිට) ඔහු, ‘පෙළපාලිය නොසැලෙන්’ යන විධානය දී, ආපසු හැරී, පෙළපාලි අණදෙන්නා වෙත පැමිණ, ආචාර කර, මෙසේ වාර්තා කරනවා. සුභ උදෑසනක් වේවා තුමනි, නිලධාරීන්…..දෙනෙකුගෙන්ද, කැඩෙට් නිලධාරින්….දෙනෙකුගෙන්ද, කැඩෙට් නිලධාරිණියන්…..දෙනෙකුගෙන්ද, ජ්‍යොෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්….දෙනෙකුගෙන්ද, සමන්විත පෙළපාලියේ, සියල්ල සම්පූර්ණයි නිවැරදියි, පෙළපාලිය ඔබතුමාට භාරයි තුමනි’ මෙසේ වාර්තා කර ඔහු නැවතත් පෙළපාලි අණදෙන්නා වෙත ආචාර කර ආපසු හැරී, පෙළපාලියේ පසුපස කෙලවරට ගොස් නවතිනවා.

(මෙහිදී පෙළපාලියේ දෙවැනි අණදෙන නිලධාරි, පෙළපාලි අණදෙන නිලධාරිට ආචාර කරන්නේ, තම අසිපතෙන්. නමුත්, පෙළපාලි අණදෙන නිලධාරි ආචාර කරන්නේ, සාමාන්‍ය ක්‍රමයට salute කිරීමෙන්. කවදාවත්, තමන්ට වඩා පහළ නිළයක කෙනෙකුට, අසිපතෙන් ආචාර කරන්නේ නැහැ)

5. දැන්, පෙළපාලි අණදෙන නිළධාරියා, තම අසිපත, නියමිත ක්‍රමයට, (drill) කොපුවෙන් එළියට ගන්නවා. ඉන්පසු ඔහු, පෙළපාලිය සීරුවෙන් අවි යන විධානය දී, ආපසු හැරී, සූදානමෙන් සිටිනවා. (මේ සියල්ල කෙරෙන්නේ, පෙළපාලියට අදාළ ප්‍රධාන අමුත්තාගේ පැමිණීම සමග, කාල සම්බන්ධීකරණය සහිතවයි. පෙළපාලිය, නිකරුනේ, දිගු වේලාවක්, අව්වේ, පෙළපාලි භූමියේ තබාගන්නේ නැහැ. වැස්සොත්? වැස්සොත් ඉතින් ‘නෝ පෙළපාලි’ තමයි. කවදාවත්, වැස්සේ පෙළපාලියක් තියන්නේ නැහැ. වැසි කාලය ගැන හොඳින් හදාරා තමයි, පෙළපාලි දින වෙන්කරගන්නේ)

6. පෙළපාලි අණදෙන්නා, ‘පෙළපාලිය පහසුවෙන් සිටින්’ යන විධානය දී, හොඳින් කන්දීගෙන ඉන්නවා. ප්‍රධාන අමුත්තා කදවුරු මුරහල අසළට පැමිණ කඳවුරු මුරය පරීක්ෂාකරන ආකාරය ඇසෙන තුරු. කඳවුරු මුරපතු ප්‍රධාන මුත්තාට මුරය වාර්තා කිරීම පිණිස ‘මුරය උත්තමාචාර අවි’ යන විධානය දුන් වහාම පෙළපාලි අණදෙන්නා ‘පෙළපාලිය සීරුවෙන් සිටින්’ යන විධානය දෙනවා. (උත්තමාචාර අවි පිරිනමන අවස්ථාවේදී සියලුදෙනා සීරුවෙන් සිටගත යුතුයි. සාමාන්‍ය අමුත්තන්ට පවා උපදෙස් ලැබෙනවා, ඒ අවස්ථාවේදී, තමන් සිටින අසුනෙන් නැගී සිටින ලෙස)

7. ප්‍රධාන අමුත්තා, පීඨිකාව වෙත පැමිණෙන්නට ප්‍රථම, ‘පෙළපාලිය පසෙක අවි’ යන විධානය පෙළපාලියට දෙනවා. අමුත්තා පීඨිකාවට පැමිණි පසු මුලින්ම උත්තමාචාරයක් පුදකරනවා. ඉන්පසු, පෙළපාලි අණදෙන්නා පෙළපාලිය වාර්තා කරනවා. එකම එක වෙනසක් සහිතව. කියන පුලුවන්ද වෙනස? දෙවැනි අණදෙන නිලධාරියා, පෙළපාලි අණදෙන නිලධාරියාට වාර්තා කලාට වඩා, එක නිලධාරියෙක් දැන් වැඩියි. ඒ තමයි පෙළපාලි අණදෙන්නා. ඒ අනුව, එක නිලධාරියකු වැඩිකොට තමයි, අමුත්තාට පෙළපාලියේ සිටින සංඛ්‍යාව වාර්තා කරන්නේ.

502029778

8. දැන්, නවක නිලධාරීන්ට අසිපත ප්‍රදානය කිරීමේ අවස්ථාව එළඹෙනවා. ප්‍රධාන අමුත්තා අතින් තමයි එය පිරිනැමෙන්නේ.

9. ප්‍රධාන මුත්තා පෙළපාලිය පරීක්ෂා කිරීම ඉන් අනතුරුව සිදුකෙරෙනවා. 

10. ඉන් අනතුරුව, පෙළපාලිය, සාමාන්‍ය ගමනින් සහ සෙමෙන් ගමනෙන්, වට දෙකක් ගමන් කරනවා. එසේ ගමන් කරන අතර, ප්‍රධාන අමුත්තා සිටින පීඨිකාව ඉදිරිපිටින් යද්දී, අමුත්තාට ආචාර කරනවා. එවැනි පැරණි පෙළපාලියක, විනාඩියක් පමණක් දිවෙන වීඩියෝවක් මෙතන තිබෙනවා. 

 

11. ඉන් අනතුරුව පුහුණුවේදී විශේෂ දක්ෂතා දැක්වූවන් වෙත ත්‍යාග ප්‍රදානය කිරීම ප්‍රධාන අමුත්තා අතින් සිදුවෙනවා. ත්‍යාග ප්‍රදානයෙන් පසු අමුත්තා, උපරිම වශයෙන් විනාඩි 5 කට පමණ සීමාවන කථාවක් පවත්වනවා. එම කථාව අවසානයේදී නැවතත් උත්තමාචාරයක් ලබාදී, පෙළපාලිය ඉතා හැඟීම් බර තාලයකට තූර්ය වාදනයක් පැවැත්වෙද්දී විසිර යනවා.

   ලෝකයේ සෑම රටකම පාහේ පැවැත්වෙන, ජාතික උත්සව වලදී, හමුදා පෙළපාලි පැවැත්වෙන බව, ඔබ දන්නවා. අපේ රටේ තිබෙන, එවැනි ප්‍රධානතම පෙළපාලිය වන්නේ, නිදහස් දින පෙළපාලියයි. ඕනෑම රටක් තම ජාතික දින පෙළපාලියේදී හමුදා ශක්තිය විදහා පෑමත් සිරිතක්, සම්ප්‍රදායක්. මේ සඳහා කාලීනව ස්ථාවර නියෝග පැනවෙනවා.

   අද ලෝකයේ සෑම රටකම පාහේ ජාතික දිනය, විදේශ රාජ්‍ය නායකයන් පිළිගැනීම වැනි අවස්ථා වෙනුවෙන්, ඉදිරිපත් කෙරෙන පෙළපාලි වලදී, විවිධ ආරක්ෂක පියවර රැසක් ගන්නවා. එයින් එකක් තමා, එවැනි පෙළපාලියක සොල්දාදුවන් අතේ තිබෙන තුවක්කු, වෙඩිතැබිය නොහැකි තත්වයට පත්කිරීම. කොහොමද එහෙම කරන්නේ? හරිම සරලයි. එහිදී කරන්නේ, තුවක්කුවක තිබෙන පතරොමක් පත්තුවීමට අවශ්‍ය ප්‍රහාරය ලබාදෙන කොටස ඉවත් කිරීමයි. ඒ කියන්නේ තුවක්කුවේ පිස්ටන් කොටසේ පසුපස තිබෙන බෝල්ට් එක ඉවත් කිරීමයි.

   මෙහෙම කරලා විතරක් මදි. පෙළපාලිය පවත්වන හමුදා අංශයේ අණදෙන නිලධාරි විසින්, පෙළපාලිය පැවැත්වීමට පෙර,  ලිඛිත සහතිකයක්, අදාළ උසස් මූලස්ථානයට, (හමුදා මූලස්ථානයට/ආරක්ෂක සේනා මූලස්ථානයට/සේනාංක මූලස්ථානයට/බලසේනා මූලස්ථානයට) දෙන්නට ඕනේ, පෙළපාලියේ ගෙනියන සියලුම අවි, ආරක්‍ෂිත තත්වයට පත්කර ඇති බවට.

   එමෙන්ම පෙළපාලියේ ගෙනයන RPG, බර මැෂින් තුවක්කු, මල්ටි බැරල් රොකට් ලෝන්චර්, කාලතුවක්කු, යුද ටැංකි, මිසයිල්, ආදී සියලුම බර අවි ද, මෙලෙසම වෙඩි තැබිය නොහැකි තත්වයෙන් තමයි රැගෙන යන්නේ. නාවික ප්‍රහාරක යාත්‍රා, ප්‍රහාරක ගුවන් යානා, හෙලිකොප්ටර් ද, ඒ ආකාරයෙන්ම තමයි ගමන් කරන්නේ.

   සාමාන්‍යයෙන්, යුද ටැංකියක්, මෙවැනි පෙළපාලියක ගමන් කිරීමේදී, ප්‍රධාන ආරාධිත අමුත්තාට ආචාර කරන්නේ, යුද ටැංකියේ ප්‍රධාන තුවක්කුව අමුත්තා දෙසට හරවා, එය පොලොව දෙසට පහත් කිරීමෙන්. නමුත් දැන් එහෙම කරන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ, පෙළපාලිය යන පැත්තටම ප්‍රධාන තුවක්කුව හරවා තබාගෙන, ප්‍රධාන අමුත්තා සිටින පීඨිකාව අසලට පැමිණෙනවිට, පොලොව දෙසට පහත් කිරීමයි. 

   මෙසේ කරන්නේ ඇයි? මෙතරම් ආරක්ෂක පියවර රැසක්, මෙවැනි පෙළපාලියකදී ගන්නේ ඇයි? එයට සම්බන්ධ එක්තරා විශේෂ සිදුවීමක් තිබෙනවා. ඒ තමයි, ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට, මෙවැනි පෙළපාලියක් අතරතුරදී, පෙළපාලිය පැවැත්වූ රටේම රාජ්‍ය නායකයා, පෙළපාලියේ ගමන්කළ භට පිරිසක් විසින්ම ඝාතනය කිරීම. ඒ රාජ්‍ය නායකයා තමයි, ඊජිප්තු ජනාධිපති අන්වර් සදාත්. ඒ සිද්ධිය දැක්වෙන, මේ වීඩියෝවත් බලන්න.

   ලෝකයේ සමහර රටවල්, තමන්ගේ ත්‍රිවිධ හමුදාවන්හි අනන්‍යතාව කැපී පෙනීම සඳහා, විවිධාකාරයේ නිල ඇඳුම් මෙන්ම, හමුදා සරඹ විධි පවා වෙනස් ආකාරයෙන් සිදුකරනවා. සාමාන්‍යයෙන්, බොහොමයක් බටහිර රටවල් මෙන්ම, ආසියානු රටවල් සෑහෙන ගණනක්, අදත් අනුගමනය කරන්නේ, බ්‍රිතාන්‍ය හෝ ඇමරිකානු සම්ප්‍රදායේ හමුදා සරඹ විධි. නමුත්, විශේෂයෙන් කොමියුනිස්ට් රටවල්, තම හමුදාවන්හි අනන්‍යතාව පවත්වාගැනීම සඳහා විශේෂ වූ හමුදා ගමන් විලාශයක් යොදාගන්නවා. මෙය සාමාන්‍යයෙන් හඳුන්වන්නේ Goose Step March (තාරා ගමන?) යනුවෙන්. මෙහිදී, තම පාද ඉදිරියට එසවෙන ආකාරයේ ගමන් විලාශයක් තමයි අනුගමනය කරන්නේ. 

 

යම්කිසි සීමාවක් සහිතව මෙලෙස ගමන් කිරීමේදී අලංකාර බවක් තිබෙනවා.

නමුත් අර උතුරු කොරියාවේ මොළය නොමේරූ උන්නැහේට, අලුත් සරඹ විධි ඕනෑ වෙලා තියන බව පෙනෙනවා. මේ බලන්නකෝ උතුරු කොරියන් වැඩ.  

ඔය ඉහළින් තියන පින්තූර දෙක කමක් නෑ කියමුකෝ. එතකොට මේ පහළ තියන එව්වා මෙව්වා කොහොමද? 

නිකං ලෝකේ හිනස්සන විහිලු නේද මෙව්වා? අනේ අපිට ඔය තේ උඩිච්චියන්ගේ කකුල් එපා. අපිට අපේ කකුල් හොඳා.

හ්ම්………….අදට මේ ඇති නේද? ඊළඟ ලිපියෙන් තවත් පෙළපාලි බලමු. 

2016 මාර්තු මස 23 වැනි දින 0056 පැය

Advertisements

Comments on: "අපි නොදන්න පෙළපාලි (තුන්වැනි කොටස)" (11)

  1. සැඟවී තිබෙන බොහොම වැදගත් දැනුමක් ලැබුණා වගේම වෙනදා මෙන්ම විනෝදයකුත් ගෙන දෙන්නට ඔබේ රචනා ශෛලිය සමත්ව තිබෙනවා.

    • මේවා ලියනකොට පොඩි විනෝදයකුත් එකතු කලේ නැත්නම්, කියවන අය වෙහෙසට පත්වෙනවානේ ගුණසිංහ මහත්තයෝ. ඔබතුමා සැපෙන් සතුටින් ඇතැයි සිතනවා. ඊ මේල් එකක් එවලා ඇති. බලන්න.

      • ඔබතුමා එවා ඇති ඊ මේල් එකක් බැලුවා මම පිළිතුරක් සහ තවත් ලිපි දෙකක් එවා ඇති දැන්ම හැකිනම් බලන ලෙස ඉල්ලා සිටිනවා

  2. උත්සව අවස්ථා වල යොදා ගන්නා පෙරට්ටු සකස් වෙලා තියෙන්නේ අතීතයේ භාවිත වූ යුධ සටන් ක්‍රම වලට අනුවද ?….
    ඉන්දියාවේ පෙලපාලිවලදී ත් “. තාරා ගමන භාවිතා කරනවා දැකලාතියනවා ..
    ඉන්දු පකිස්ථාන බෝඩර් වල ගේට්ටු ඇරීමේ පෙලපාලිය විචිත්‍රයි

    • ඔව් මේ ගමන් කිරීමේ විධි, අවි රැගෙන යාම අසිපත රැගෙන යාම ආදී සියල්ලම ඉතා ඈත අතීතයේදී සංග්‍රාමික ක්‍රියා වලට අනුරූපව සකස් කරගත් ඒවා.

      ඉන්දියානු සහ පාකිස්ථානු හමුදා විසින්, දිනපතා, තම දේශසීමා විවෘත කරන/වසා දමන අවස්ථාවේදී කරන මෝඩ අහංකාර සරඹය, 😀 2010 වර්ෂයේදී නැවැත්තුවා, ඒවා නිසා සෙබළුන්ගේ කොන්ද කැඩෙන්න පුළුවන් බව, වෛද්‍යවරුන් විසින් පෙන්වාදීමෙන් අනතුරුව.

      http://www.telegraph.co.uk/news/worldnews/asia/india/7902742/India-ends-goose-stepping-ceremony-after-soldiers-knee-injuries.html

  3. //තේ උඩිච්චියන්ගේ කකුල් එපා.//
    වෙනසකටත් එක්ක නරකම නෑ..

    • බැලුවට නම් කමක් නැහැ. නමුත් උතුරු කොරියාවේ මානව හිමිකම් ඉතාම පහත මට්ටමක තියෙන්නේ. හමුදා පුහුණුව අති අමානුෂිකයි. මේ සෙබලියන් හිනාවෙන්නෙත් බලකිරීම නිසා.

  4. නියමයිනේ ….

  5. ට්ත්ුම්ාට්ට්ත්ුම්න්ි ඔබ්ග්ෙේ ස්ෙේසේවය අග්ය් ක්ර්ම්ි…ම්ෙේ ප්‍ප්‍රශ්නය ක්ට්ත්ව්ට් අඩ්ාඩ්ද්ාල් න්ොඋන්ට්ත් ප්ිල්ිපිලිතුරක් අප්ෙේඅපේක්ෂා ක්ර්ම්ි….ප්ස්ුග්ිර්ය් ඩ්ින්ෙඩ්ද්ින්ෙක් ස්ර්ට්ත් ෆ්ොන්ස්ෙේක්ා ම්හ්ට්ත්ාඇම්ට්ත්ි ට්ත්ුම්ා ක්ල් ක්ට්ත්ාව් න්ිව්ැනිවැරදි ට්ත්ඩ්ද්???(ග්ුන්ව්න් හ්ා න්ව්ික්ා හ්ම්ුඩ්ද්ා අව් අව්ට්ත්අවතක්සේරුවකට ල්ක් ක්ිර්ිීම්)

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: