විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


March past   ඉස්කෝලේ ගිය කාලේදී නම්, වාර්ෂික ක්‍රීඩා උත්සවයේ ගමනාචාර පෙළපාලිය සඳහාවත්, ඩ්‍රිල් කරලා ඇති නේද තමුන්නාන්සේලා? හැබෑටම එහෙමවත් වම දකුණ ගහපු නැති අයත් ඉන්නවානේ මං අහන්නේ. බොහොමයක් පාසල්වල සමහර ළමයි, හැම දෙයක්ම කරනවා. පාසලේ තියන බොහොමයක් සමිති සමාගම් වල සාමාජිකත්වය දරනවා, බාලදක්ෂ, ශිෂ්‍යභට ව්‍යාපාරවල යෙදෙනවා, ක්‍රීඩා වලටත් යනවා. හැබැයි ඔය මොකවත් නොකරන, ශරීර හොරුත් ඉන්නවා. හැබැයි ඒ වගේ අයට, ජීවිතයට මූණ දෙන්න අමාරුවෙනවා, සමාජානුයෝගය අඩු නිසා. මෙන්න මේ ටික මුලින්ම කිව්වේ, හමුදාවේ ඩ්‍රිල් කෙරිල්ල ගැන, අද යමක් කතාකරන්න අදහස් කරන නිසා. ඉස්කෝලවල වගේ නෙවෙයිනේ, හමුදාවේ ඩ්‍රිල් කෙරිල්ල ටිකක් ඇඟට වදින්න ලැබෙන බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

   ඒ මදිවට අද අපේ රටේ අවුරුද්දකට සෑහෙන පෙළපාලි ගණනක් තියනවානේ. මැයි පෙළපාලි, වර්ජන පෙළපාලි, ඉල්ලීම් පෙළපාලි, විරෝධතා පෙළපාලි, තව කීයක් ජාතිද. අර අමුඩ පෙළපාලි යෑම මීට පස්සේ කරන්නේ නැතිලු නේද? පව් අප්පා අමුඩ කට්ටිය. 

   හමුදාවට අලුතෙන් සෙබලියන් බඳවා ගත්තම, මුලදී ඒගොල්ලෝ හිතන්නේ, අර ඉස්කෝලෙදි කළා වගේ, ‘වාම් දාක් වාම් – වාම් දාක් වාම්’ කියලා, නැලවිල්ලේ ගමන් කරන්නයි. නමුත්, සරඹ උපදේශක වරියන් විසින් ඔවුන්ව නිවැරදි කරනවා. (සරඹ උපදේශකවරු කියන්නේ, ‘මොනවද ළමයි යනවකෝ ‘චෙස්’ (chest) ෆෝවඩ් දාලා, පුක් බෑක් දාලා’ කියලයි)  ඒ කියන්නේ, පපුව ඉදිරියට දමා, කඳ තරමක් පසුපසට බර කර යන්න කියන එකයි.  ඔබ සෑහෙන්න දැක ඇති, හමුදාවේ විවිධ පෙළපාලි. නමුත් ඔබට දකින්නට නොලැබෙන, එහෙමත් නැත්නම්, ඉතා කලාතුරකින් පමණක් දකින්නට ලැබෙන පෙළපාලි, හමුදා කඳවුරු තුළ පැවැත්වෙනවා.

   (නෑ නෑ එව්වා ඉතින් පෙළපාලි නෙවෙයිනේ. ඔය ටිකක් ලොකු සාදයක් තිබ්බම වෙන වෙන පෙළපාලිත් යනවා) මෙහෙම, අතනින් මෙතනින් මේ කතාව කියන්න බැහැ. ඒ නිසා, පිළිවෙලකට පටන්ගෙන කතාව කියන්නම්.

මොකක්ද හමුදා පෙළපාලියක් කියන්නේ? 

   හමුදා පෙළපාලියක් කියන එක මෙන්න මෙහෙම නිර්වචනය කරන්න පුළුවන්.

යම්කිසි හමුදා සොල්දාදුවන් පිරිසක් (සමූහයක්) එකිනෙකාට ආසන්නව විවිධ හැඩතල අනුව (close formation) ගමන් කරමින්/නැවතී සිටිමින්, ප්‍රදර්ශනය කරන්නාවූ සංදර්ශනාත්මක අභ්‍යාසය, පෙළපාලියයි. 

   අද අපි දකින පෙළපාලි, මෑත යුගයට අනුගත වන පරිදි සකසාගත් ඒවායි. නමුත් හමුදා පෙළපාලිය කියන්නේ, ඈත අතීතයේදී පැවති යුද හමුදා, සටන් බිමට පිවිසීමේදී අනුගමනය කළ, සාම්ප්‍රදායික හමුදා පිළිවෙතයි. මේ පහත පින්තූරයේ තිබෙන්නේ, හුණුගල් පුවරු කැටයමක්. ලෝක ඉතිහාසයේ, මිළ කල නොහැකි පුරාවස්තුවක්. ඉරාකයෙන් මේ පුරාවස්තුව හොයාගත්තේ, මෙසපොතේමියානු යුගයේ, යුද ජයග්‍රහණයක් ස්මරණය කරන්න සැකසු, ශිලා ස්තම්භයකින්. අද මෙය පැරීසියේ කෞතුකාගාරයක සුරක්ෂිතව තිබෙනවා. බලන්න මෙහි පැහැදිළිව පෙනෙනවා, පලිහ වලින් ආවරණය ගෙන, සොල්දාදුවන් පිරිසක්, ඝණයක හැඩය සකසාගෙන, ගමන් කරන හැටි. මේ යන්නේ කෙළින්ම යුද භූමියට. 

Stele_of_Vultures_detail_01-transparent

   මෙහෙම ලංවෙලා යනකොට, ආරක්ෂාව හොඳයි. හිතටත් හයියක් තියනවා. අපි සාමාන්‍ය ජීවිතයේදීත් එහෙම නේද ක්‍රියාකරන්නේ? නමුත් අද කාලේ, මේ විදිහට ගුලි ගැහිලා යුද බිමේ ගියොත්, එක මැෂින් තුවක්කු/මෝටාර්/රොකට්/කාලතුවක්කු/ගුවන් ප්‍රහාරයක්/ මගින්, විශාල පිරිසක් වනසන්න පුළුවන්. ඒ නිසා අද කාලයේදී මෙය, ජාතික, සංග්‍රාමික, විශේෂ උත්සව අවස්ථා වෙනුවෙන්, සංදර්ශනාත්මක සහ හමුදා අභිමානය, විනයවත් බව, අණදීම සහ අණ පිළිපැදීමේ කාර්යක්ෂම බව, හමුදා ශක්තිය, නිරූපණය, කෙරෙන අභ්‍යාසයක් පමණක් වන අතර, එවැනි පෙළපාලි පවත්වන්නේ, සාමය පවතින කාලයක හෝ යුද මෙන් ඈත්ව පිහිටි ප්‍රදේශවල පමණයි.  

   මීළඟට මා බලාපොරොත්තු වෙනවා, හමුදාවේ පැවැත්වෙන පෙලපාලි කීපයක් ගැන ඔබට හැඳින්වීමක් කරන්න. 

කඳවුරු මුර පරීක්‍ෂාව – Guard Turnout 

   නිළ වශයෙන්, ප්‍රථම වරට, යම්කිසි කඳවුරකට පැමිණෙන උසස් නිළධාරියකුට හෝ, කඳවුරේ පැවැත්වෙන උත්සවයක්, පෙළපාලියක් වෙනුවෙන්, ප්‍රධාන අමුත්තා ලෙස සහභාගිවන නිළධාරියා වෙනුවෙන්, යම් රෙජිමේන්තුවක/බලඇණියක සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන උත්සවයට පැමිණෙන, එම රෙජිමේන්තුවේ/බලඇණියේ අණදෙන නිලධාරියාට, සහ අවශ්‍ය යයි සිතෙන වෙනත් වැදගත් අවස්ථා වලදී මේ පෙළපාලිය පිරිනමන්න පුළුවන්. මේ පෙළපාලියට අණදෙන්නේ, කඳවුරු මුරයේ මුරපති (සාමාන්‍යයෙන් සැරයන් නිලයේ කෙනෙක්) විසින්.

   (හරි හරි, කඳවුරු මුරය කියන්නේ, යම්කිසි කඳවුරක ආරක්ෂාව සඳහා, වරින්වර සොල්දාදුවන් මාරුවෙමින්, පැය 24 පුරා පවත්වාගෙන යන, ආරක්ෂක මුරයයි. පෙළපාලියට එක්වන්නේ, එම අවස්ථාවේ මුරයෙන් නිදහස්ව සිටින සොල්දාදුවන් හතර දෙනෙක්, බියුගල් නලාකරු, සහ මුරපති)

   අර උසස් නිලධාරියා කඳවුරු ගේට්ටුවෙන් ඇතුළුවන විටම, කඳවුරේ ප්‍රධාන නිළධාරියා විසින්, ආචාර කර පිළිගන්නවා.

GT 3

   මේ වනවිට පෙළපාලිය, කඳවුරේ මුරහල guard room ඉදිරිපිට, පෙළපාලිය පැවැත්වීමට වෙන්කර තිබෙන ස්ථානයේ, පෙළ සදා සීරුවෙන් ඉන්නවා. මුරපති විසින්, කල්තබා, ‘මුරය…….පෙළ සදන්’ යන අණ දීම අනුව තමයි, නියමිත ස්ථානයට අනුපිළිවෙලින් ගමන්කර, පෙළ සදන්නේ. පෙළපාලිය පිළිගන්න නිලධාරියා, තමන්ට මුහුණලා සිටින පෙළපාලියේ හරි මැදට පැමිණ, පෙළපාලිය දෙසට හැරී නවතිනවා. පෙළපාලිය අණදෙන්නා සිටින්නේත් එම පේලියේ හරි මැද. එවිට පෙළපාලි අණදෙන්නා මුලින්ම, ‘කඳවුරු මුරය, පසෙක………… අවි’  කියන නියෝගය දෙනවා. එවිට පෙළපාලිය ඉන්නේ මෙහෙමයි.

GT 1

   බලන්න මේ අයගේ අවිය ඔසවා, සිරුරේ දකුණු පැත්තේ සිටින ලෙස අල්ලාගෙන ඉන්නවා. ඒ තමයි, ‘පසෙක අවි’ ඉරියව්ව. ඊ ලඟට මුරපති, ‘කඳවුරු මුරය උත්තමාචාර අවි’ කියන නියෝගය දෙනවා. එවිට මුරය, තම අවියෙන්, උත්තමාචාරය පුද කරනවා. ආචාරය පිළිගන්නා නිලධාරියා ද ආචාර කරනවා. බියුගල් නලාකරු, එම පෙළපාලියට අදාළ (හමුදාවෙන් සම්මත) වාදනය ඉදිරිපත් කරනවා. මෙන්න ඒ වාදනය. තත්පර 15 යි යන්නේ. ඒ නිසා අහන්න.  

   බියුගල් වාදනය අවසන් කල පසුව, නැවතත්, ‘පසෙක අවි’ කියන අණ වචනය, මුරපති දෙනවා. එතෙක් අර නිලධාරියාද ආචාර කරගෙන ඉන්නවා. 

GT 2

   ඊළඟට මුරපති අඩියක් පෙරට එනවා. පැමිණ, බට් සෙලියුට් කියන ක්‍රමයට ආචාර කර, (තුවක්කුව පසෙක අවි ඉරියව්වේ තිබියදී, වම් අතේ අත්ලෙන්, තුවක්කුවේ බට් එකේ ඉදිරි පැත්තට තට්ටුවක් දී ආචාර කිරීම තමයි, බට් සෙලියුට් එක කියන්නේ. පින්තූරයක් හොයාගන්න නැත) මෙන්න මෙහෙම මුරය වාර්තා කරනවා.

GT 4

   සුබ උදෑසනක් වේවා තුමනි, (මේ පෙළපාලිය තියන්නේ උදේ වරුවේ පමණයි සාමාන්‍යයෙන්) සෙබල අංක …….වන මම, (අංකය, නිළය, නම, කියනවා) …………රෙජිමේන්තුවේ (මේ පෙළපාලිය පැවැත්වෙන කඳවුරේ නම) කඳවුරු ආරක්‍ෂක මුරයේ අණදෙන්නා වෙමි. මුරයේ සියල්ල සම්පූර්ණයි, නිවැරදියි, ඔබතුමාගේ පරීක්‍ෂාවට සූදානම් තුමනි’ මෙසේ වාර්තා කර ඔහු ආපසු පියවරක් පසුපසට ගෙන පේළියට එක්වනවා. ඊළඟට මේ පෙළපාලිය පිළිගන්නා අර නිලධාරියා, එක පෙළට සිටගෙන සිටින, බියුගල්කරු, මුරපති, මුරසෙබළුන් සහිත පේළිය, තම වම් අත පැත්තෙන් පටන් ගෙන, දකුණු අත පැත්ත දක්වා, ගමනේ යෙදෙමින්, පරීක්‍ෂා කරනවා.

GT 5

   එය අවසාන වෙනවා විනාඩියකින් පමණ. නිලධාරියා, ආපසු තමන් සිටිය ස්ථානයට පැමිණ, (පේලියේ හරි මැදට ඉදිරියෙන්) සිටගන්නවා. ඉන්පසු එම නිලධාරියා, මුරපතිට කියනවා, පෙළපාලිය හොඳයි/සතුටුදායකයි කියලා. (කවදාවත් නරකයි කියන්නේ නැහැ. එහෙම කියන තත්වයෙන් ඉදිරිපත් කරන්නෙත් නැහැ)

download (1)එවිට මුරපති යලිත් අණදෙනවා, ‘මුර සෙබළ නොසැලෙන්, සෙස්සන් මුරගෙට…….යා,’ යනුවෙන්. අර පේළියේ අන්තිමට ඉන්න සෙබලා, එහෙමම සීරුවෙන් සිටිද්දී, අනික් සියලු දෙනා දකුණට හැරෙනවා. ‘ඇලේ අවි’ කියන ඉරියව්වට තම අවිය ගන්නවා. මේ පින්තූරයේ තියෙන්නේ ඒ ඉරියව්ව. ඒ හා සමානවම, අර නිලධාරියාත් දකුණට හැරෙනවා. නිලධාරියා ආචාර කර එතනින් පිටවෙනවා. මුර සෙබලා හැර සියලු දෙනා, දෙගුණයක් ගමන් වේගයෙන් (double up) මුරහලට යනවා.  

   ඔන්න ඕකට තමයි, කඳවුරු මුර පරීක්ෂාව කියන්නේ. මෙය ඉතා කලාතුරකින් තමයි, සාමාන්‍ය මහජනතාවට දකින්නට ලැබෙන්නේ. මීට පස්සේ, මේ වගේ දෙයක් දැක්කොත්, පරීක්ෂාවෙන් බලන්න, එතන සිදුවන දේ. තවත් කොටසකින් හමුවෙමු. 

2016 මාර්තු මස 10 වැනි දින 0022 පැය

Advertisements

Comments on: "අපි නොදන්න පෙළපාලි (පළමුවැනි කොටස)" (15)

  1. බෑලූ බැල්මට බොහොම සරළ ක්‍රියාකාරකම් වෙන්න ඇති කියල හිතන දේවල් කෙතරම් ගැඹුරුද කියල තෝරගන්න විචාරකතුමා සමාජගත කරන මේ තේමාව යටතේ ලියන ලිපි අවස්ථාව සලසනවා.

  2. මමත් පාසලේ ශිෂ්‍යභට ඛණ්ඩයේ ඉන්න කාලේ පෙළපාලි නම් අප්‍රමාන ගිහින් තියෙනවා. විනොදජනකම එක තමයි පාසලේ බිග් මැච් එක අවසන් වෙලා ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉඳන් මගේ පාසලට මීටර් 800ක් පමණ දුරක් ශිෂ්‍යභට ඛණ්ඩයත් බටහිර තුර්යවාදක ඛණ්ඩයත් ගමන් කරන්නේ පෙළපාලියෙන්. ගාලු කොළඹ පාර දෙපැත්තේ ටියුෂන් අහවර වෙලා එන ගෑනු ලමිස්සියෝ දිහා හොරැහින් බල බල චෙස් ෆෝවඩ් දාලා පුක් බැක් දාලා යනකොට නම් පට්ටම ගැම්මක් තමයි එන්නේ.

    මහත්මයා මම අහලා තියෙනවා ඝන සරඹ පුහුණු කිරීමේ අරමුණ කොම්පාසු සංචාර වගේ අවස්ථා වලදී එක සමාන පියවර තැබීම සෙබළුන්ට වාසියක් වෙන නිසා පියවර අතර දුර සමාන කරන්න කියලා. මේ කතාව ඇත්තද? හමුදාවේ සරඹ පුහුණු කිරීමේ අරමුණු ඔබතුමන් සඳහන් කරලා තියෙන ඒවා අමතරව වෙන මොනවද?

    • ගාල්ලේ ඉදන් 800m දුරින් බිග් මැච් ගහන ඉස්කෝලේ මොකක්ද මචන් ????

    • හෙහ් හෙහ්, අපිත් පාසල් ශිෂ්‍යභටයන් කාලේ ඔහොම තමයි අප්පා. ඔව්වා තමයි ලැබෙන බෝනස්.

      ඝන සරඹ squad drill ඉගෙනීමෙන් සියලුම සොල්දාදුවන් එක සමාන පියවර තබන්න ඉගෙන ගන්නවා. පෙළ සැදීමේදී, ‘අතේ දුර’ තියාගන්න ඉගෙනගන්නවා. සංග්‍රාමික කටයුතු සඳහා එයින් යම් ප්‍රයෝජනයක් ලැබෙන බව ඇත්ත.

  3. පෙරට ආචාර කරන්. 2 3 අප් , 2 3 කට්.(ඕන් මම සැලුට් කරා.)

  4. ම්ම්.හොඳ ලිපියක් … kduඑකේදී දැකලා තියෙනවා ..

  5. niyamay thumani

  6. […]  ‘අපි නොදන්න පෙළපාලි’ ලිපි මාලාවේ පළමුවැනි කොටසට, ඔබෙන් ලද ප්‍රතිචාර වලට ස්තුතිවන්ත […]

  7. […] පෙළපාලි ගැන ලියවෙන මේ ලිපි මාලාවේ, පළමුවැනි කොටසෙන් සහ දෙවැනි කොටසෙන්, ඔබේ දැනුමට සෑහෙන […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: