විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Screenshot (2)අපේ ත්‍රිවිධ හමුදාව, උතුරු නැගෙනහිර පළාත්වලින් ඉවත් කරන බවට, ප්‍රවෘත්ති පලවෙනවා. එමෙන්ම, හමුදාවේ ශක්තිය අඩු කිරීමට, රජය තීරණය කර ඇති බවත්, ඒ සඳහා ඇමරිකාව වැනි රටවලට පොරොන්දු වී ඇති බවත්, අග්නිදිග ආසියාවේ ආරක්ෂක කටයුතු පිලිබඳ මහා විශ්ලේෂක, කීර්ති වර්ණකුලසූරිය උන්නාන්සේ, පොරකාස කොර තිබෙනවා. නමුත්, ඒ තොරතුරු මූලාශ්‍ර සනාථ කරන කිසිදු සාධකයක්, උන්නාන්සේ විසින්, දියවෙන දිවයින පත්තරේ සඳහන් කර නැහැ.

   වසර 30ක් පමණ ඇදීගිය, කාලකන්ණි, අවාසනාවන්ත යුද්ධය, දැන් ඉවරයි. ඒ ගැන සතුටු නොවන්නේ, යුද්ධය ජාවාරමක් කරගෙන හිටිය අය පමණයි. ඒ ජාවාරම්කරුවන්ගේ ගොඩට, සමහර දේශපාලුවන් පවා ඇතුළත් වෙනවා. LTTE හිතවාදී සමහර දේශපාලුවන් වගේම, සමහර වෙනත් සංවිධානත් බලන්නේ, උතුර නැගෙනහිර පළාත්වලින්, හමුදාව සම්පූර්ණයෙන් ඉවත් කිරීමටයි. මෙහිදී ප්‍රමුඛත්වය ලැබෙන්නේ, යුද හමුදාවටයි. එයට ප්‍රධාන හේතුව, වඩා විශාල මෙන්ම, භූමියේ වැඩිපුර විසිරී සිටින්නේ, යුද හමුදාව වීමයි.

   යුද්ධය අවසන් නිසාත්, තවත් යුද්ධයක් ඇතිවෙතැයි හිතන්නට අපහසු නිසාත්, අප කුමක් කළයුතුද? හමුදා ඉවත් කිරීම/අඩු කිරීම/විසුරුවා හැරීම/පිළිබඳව අදහස් දක්වන අයගෙන් බහුතරයක්, ඒක පාර්ශ්විකව අදහස් දක්වන බවයි පෙනෙන්නේ. අපේ පාර්ලිමේන්තුව තුළ, බුද්ධිමය සංවාද වලට ඉඩක් නැතිවීමත්, මැති ඇමතිවරුන් ලෙස සිටින අයගෙන් බහුතරය, දේශපාලන වැද්දන් වීමත් නිසා, මෙවැනි මාතෘකා පිළිබඳව, රටේ මහජනතාවගේ අවබෝධය පුළුල්වන සංවාද, පාර්ලිමේන්තුව තුළ ඇතිවෙතැයි, සිතන්න අපහසුයි. අපේ පාර්ලිමේන්තුව තුළ, ඉතිහාසයේ සිටම සංවාද ඇතිවන්නේ, මියගිය පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු වෙනුවෙන්, ශෝකප්‍රකාශ කිරීමේදී පමණයි. කුමන පක්‍ෂයක් බලයේ සිටියද, සෑමවිටම සිදුවන්නේ, රජයේ සෑමදෙයකටම, විපක්ෂය විරුද්ධවීම පමණයි. අපි එතරම්ම පහත් ගෝත්‍රික ලක්ෂණ සහිත රටක්.  

   ඇත්තටම අපි කුමක් කළයුතුද? හමුදා ශක්තිය අඩුකළ යුතුද? හමුදාව උතුරු නැගෙනහිරින් ඉවත්කළයුතු ද? හමුදාව සිටිය යුත්තේ දකුණේ ප්‍රදේශවල පමණද? වෙනත් විකල්ප මොනවාද? මෙය ඉතා පුළුල්ව සලකාබලියයුතු බැරෑරුම් මාතෘකාවක්.

   නිකම් බොරු බයිලා ගහන්න එපා මහත්තයෝ. ඔය හමුදාකාරයෝ බාගයක් විතර යවනවකෝ ගෙදර. ඉවරයිනේ කතන්දරේ.

   හොඳයි, අපි හිතමු එහෙම කළා කියලා. අපි හිතමු, ත්‍රිවිධ හමුදාවෙන් බාගයක්, විශ්‍රාම යැව්වා කියලා. රජයට කෙටි කාලීනව ලාබයි. දිගුකාලීනව පාඩුයි. දැනටත්, මේ අපිවගේ පැන්සොන් කාරයන්ට පඩි ගෙවීම, බරපතළ ප්‍රශ්නයක් නේ. ඉතින් ත්‍රිවිධ හමුදාවෙන් බාගයක් විශ්‍රාම යැව්වොත්, වැටුප් ගෙවන්න ගිය වියදම අඩුවෙනවා. නමුත් අර ‘පැන්සොන් කාරයන්ගේ’ ගොඩ ලොකුවෙනවා. කෙටිකාලීනව හොඳයි, දිගුකාලීනව නරකයි. ඒ වගේම, ඔය විශ්‍රාම ගිය හමුදා සාමාජිකයෝ, මොනවා කරයිද ගෙදර ගිහින්? හොඳ වැඩ කරයිද නරක වැඩ කරයිද? බහුතරයක් හොඳ වැඩ කරනවා. නමුත්, නරක වැඩට පෙළඹෙන සුළුතරයක්, අනිවාර්යයෙන් ඉන්නවා. ඒ අය කරන නරක වැඩ, අර හොඳ ඔක්කොම මකා දමනවා. මේ නිසා, එහෙම විශ්‍රාම යවනවානම්, ඔවුන්ට, තම ජීවිතය අර්ථවත්ව ගෙනයාහැකි ආකාරයේ, පුහුණු වැඩපිළිවෙලකට යොමුකිරීමෙන් පසුව පමණයි, විශ්‍රාම යැවිය යුත්තේ.

   හමුදාව උතුරු නැගෙනහිර අහිංසක මිනිස්සුන්ගේ ඉඩම් අල්ලාගෙන, බලහත්කාරයෙන් කෑම්ප් ගහගෙන ඉන්න එක සාධාරණද?

   මේ ප්‍රශ්නයට උත්තරදෙන්න, යුද න්‍යාය අනුව කරුණු කීපයක් කියන්න වෙනවා. යම්කිසි රටක, යුද්ධයක් ඇතිවුණාම ක්‍රියාත්මක වෙන්නේ, යුද නීතියයි. (martial law) අපේ රටේ තිබුණේ, අභ්‍යන්තර යුද්ධයක් නිසා, හදිසි නීතිය, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත, වැනි නීති තමයි ක්‍රියාත්මක වුණේ. ඒ මොන නීතිය තිබුණත් නැතත්, යුද්ධය යුද්ධයමයි.

   ඇත්තටම අපේ හමුදාව සටන් කළේ, ප්‍රබල සතුරු හමුදාවක් සමග. මෙහිදී, යුද්ධයෙන් ජයගන්න නම්, භූමියේ පාලනය, තමන්ට නතුකරගැනීම අත්‍යවශ්‍ය සාධකයක්. යුද භූමියේ යම් යම් ප්‍රදේශ තිබෙනවා, සටනේ ජයග්‍රහණය මෙන්ම, තම ඉදිරිකටයුතු සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා, අනිවාර්යයෙන්ම රැඳීසිටීම පිණිස, උපක්‍රමික වශයෙන් වැදගත්වන ප්‍රදේශ. ඒවා යුද න්‍යායේදී හඳුන්වන්නේ, (Ground of Tactical Importance = GTI) යනුවෙන්. මේ GTI එකක් අහිමි වුනොත්, අපිව පරදා සතුරා GTI එක අල්ලගත්තොත්, අපිට අබ සරණයි! (සුද්දා උඩරට ආක්‍රමණය කරද්දී, අපි සුද්දට ගල් පෙරළුවා, සුද්දව ඇම්බුෂ් කළා, එහෙම කලේ GTI වල ඉඳලා. මුල්ලේරියාවේ සටන, රන්දෙනිවෙල සටන, ඌව වෙල්ලස්ස සටන කළේ, හොඳ GTI වල)

   ලෝකයේ නරක මිනිස්සු නැත, සංවර්ධනය තුළින් මිනිසුන්ගේ දේශපාලන, ජාතිවාදී, වර්ගවාදී, බෙදුම්වාදී, අදහස් සම්පූර්ණයෙන්ම නැතිකළ හැකිය, මිනිසුන්ට පූර්ණ නිදහස ලබාදීමෙන් පසු ඔවුහු සාමකාමීව වෙසෙති, වැනි අදහස්, බොහෝවිට වලංගු වුනත්, සෑමවිටම වලංගු නැහැ. මෙයින් මා අදහස් කරන්නේ, උතුරු නැගෙනහිර ජනතාව, හමුදා සපත්තුවෙන් පාගාගෙන සිටියයුතු බව නොවේ. උතුරු නැගෙනහිර ඇති සෑම කඳවුරක්ම වසාදැමීම, ණුවනට හුරු නොවන බවයි. උතුරු නැගෙනහිර ප්‍රදේශවල හමුදා කඳවුරු තිබුණේ, අපේ රටට නිදහස ලැබෙන්නත් පෙර සිටයි. ඊලාම් යුද්ධය නිසා, මහා පරිමාණ කඳවුරු සංකීර්ණ බිහිවුණා. ත්‍රිවිධ හමුදාවේම සංයුතිය වර්ධනය වුණා.

   මේ කඳවුරු පිහිටුවා තිබෙන්නේ, ශ්‍රී ලංකාව නමැති ඒකීය රාජ්‍යයට අයත් භූමියේ. ඒ නිසා, එක ප්‍රදේශයක ඉන්න අයට කියන්න බැහැ, අපේ ප්‍රදේශයට හමුදා කඳවුරු එපා කියා. එම කඳවුරු, ජාත්‍යන්තර නීතිය යටතේ සලකා බැලුවත්, කිසිදු නීතියක් උල්ලංඝනය කරමින් පිහිටුවා නැහැ. මහජනතාවට අයිති ඉඩම්, මානුෂවාදී නීතිය යටතේ සලකා නිදහස් කලත්, ජාතික ආරක්ෂාව යටතේ, නිදහස් නොකර තියන්නත් පුළුවන්.  අද වනවිට උතුරු නැගෙනහිර ප්‍රදේශවල මහජනතාවට අයිති ඉඩම්, සාපේක්‍ෂ වශයෙන් ඉතා සුළු කොටසක් පමණයි, හමුදාව පරිහරණය කරන්නේ. එයින් බොහොමයක් ඒවා, අත්‍යවශ්‍ය GTI. මේ නිසා, කළයුතු හොඳම විකල්පය වන්නේ, එම ඉඩම් අයිති අයට, ඔවුන්ගේ ඉඩම් හා සමාන ඉඩම්, වෙනත් සුදුසු ස්ථානයකින් ලබාදීම හෝ ඉඩම් වටිනාකම තක්සේරුකර වන්දි ගෙවීමයි.

   යුද්ධයක් එන්නේ නැති බව දැන දැනත්, මොකටද මෙච්චර ලොකු හමුදාවක් තියාගන්නේ?

   නැවත යුද්ධයක් එන්නේ නැහැ කියලා, 100% ක් සහතික කරලා කියන්න, කාටවත් බැහැ. යුද්ධය අවසන් කියලා, මහා පරිමාණයෙන් හමුදා විසුරුවා හැරියේ, දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව පමණයි. ඉතා සාමකාමී රටක් වශයෙන් ප්‍රසිද්ධ, ඕස්ට්‍රේලියාවේ පවා, අදටත් හමුදාවක් පවත්වාගෙන යනවා. එපමණක් නෙවෙයි, යුද්ධායුධ නිපදවීමෙනුත්, ඔස්ට්‍රේලියාව සෑහෙන ධනයක් උපදවනවා. යුද්ධයක් එන්නේ, ගහෙන් ගෙඩි එනවා වගේ, ඇසිපිය ගසන සැණින් නෙවෙයි, ක්‍රමාණුකූලව.

   1971 කැරැල්ල එනවිට, අපේ හමුදාව, දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව, සටන් කර තිබුණේ නැහැ. ඒ නිසා, කැරැල්ලේ මුල් අදියරේදී, කැරලිකරුවන්ට වාසි අත්වුණා. නිවැරදිව සටන් කරන්න නොදන්නා නිසා තමා, සැකකටයුතු අය මරා දමමින්, හිංසනකාරී ප්‍රති ත්‍රස්තවාදී ක්‍රමයට ක්‍රියා කළේ. ඊලාම් යුද්ධය ආරම්භ වූ අවදියේත්, ඒ තත්වය එහෙමමයි. RPG, .50 මැෂින් තුවක්කු, රාත්‍රී දුරදක්න ආදිය, අපේ හමුදාවලට කලින් LTTE එක ලබාගෙන තිබුණා. එතෙක් පොතේ දැනුමෙන් පමණක් දැනසිටි, සාම්ප්‍රදායික (conventional warfare) සටන් ක්‍රම, ත්‍රස්තවාදය මැඩපවත්වන්නට නොගැලපෙන බව වැටහුණේ, සෑහෙන හානියක් සිදුවුණාට පසුවයි. නව තත්වයට අනුවර්තනය වීම සඳහා, පුහුණු කටයුතු සම්පූර්ණයෙන් වෙනස් කරන්නත්, නවීන යුද උපක්‍රම භාවිත කරන්නත්, අති නවීන ආයුධ ලබාගන්නත්, හමුදාවේ භට සංඛ්‍යාව අතිවිශාල ලෙස වර්ධනය කරන්නත්, සිදුවුණා. යුද්ධය දිනුවේ එහෙමයි.

   එහෙනම් ඉතින් මොකද මේ හමුදාවට කරන්නේ?

   කරන්න දේවල් ගොඩක් තියනවා. මට පුදුමයි, ඇයි සමහර ඒවා නොකරන්නේ කියන එක ගැන. අපිට පුළුවන්, මෙන්න මේ වගේ දේවල් කරන්න.

  • ආරක්ෂක කවුන්සිලය විසින්, පවතින තත්වය ගැඹුරින් අධ්‍යයනය කොට, රටේ පවත්වාගෙන යායුතු අවම හමුදා සාමාජිකයන් සංඛ්‍යාව මෙපමණකැයි තීරණය කිරීම සහ, එකී අවම ප්‍රමාණය පවත්වාගෙන යාමට ගැලපෙන පරිදි, අලුතෙන් හමුදාවට බඳවාගැනීම් සීමා කිරීම.  (හැබැයි එකක් මතක තියාගන්න. යුද්දෙන් පස්සේ, අපේ ත්‍රිවිධ හමුදාවේම, පළපුරුදු, අතිදක්‍ෂ, නිලධාරීන් සහ සෙබළුන් අතිවිශාල සංඛ්‍යාවක් විශ්‍රාම ගත්තා. ඒ නිසා, දැන් අපේ හමුදාවේ සටන්කාරී බව යම් ප්‍රමාණයකින් පහත වැටී තිබෙන්නේ. මොනයම් ආකාරයක හෝ අසහනකාරී තත්වයක් රටේ ඇතිවුනොත්, බොහෝවිට එයට මුහුණදීම, බැරෑරුම් වන්නට ඉඩ තිබෙනවා)
  • හමුදා, රටේ සංවර්ධනයට යොදාගන්න පුළුවන්. ඉදිකිරීම් ක්‍ෂේත්‍රය, මාර්ග සංවර්ධන ක්‍ෂේත්‍රය, විදුලිබල සැපයුම් හා නඩත්තු සේවා, ආදී ක්‍ෂේත්‍රයන්හි හමුදාව යොදවන්න පුළුවන්. ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, වැනි රටවල ඉතා සාර්ථකව එසේ කරනවා. ආපදා කළමනාකරණය සඳහා, ඉතා පුළුල් ලෙස හමුදාව යොදාගන්න පුළුවන්. ඉහත සඳහන් කටයුතු කිරීමේදී, රජයට විශාල ලාභයක් ලැබෙනවා, ශ්‍රමිකයන්ගේ කෑමබීම, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම්, වැටුප් හා අනෙකුත් දීමනා, ප්‍රවාහන කටයුතු, වෛද්‍යාධාර, ආදිය සඳහා, අමුතුවෙන් මුදල් වැය කරන්නට සිදු නොවන නිසා. ඊනියා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නැති නිසා, වැඩ අඩාල වන්නේ නැහැ. (නමුත් කොමිස් කුට්ටි පස්සේ යන දේසපාළුවන්, අපිට ණයදෙන රටවලින් ඉදිරිපත්කරන කොන්දේසි, ආදිය මේ ආකාරයට හමුදාව යෙදවීමට බාධාවක් වන්නට ඉඩ තියනවා) 
  • එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා, අපේ රටෙන් යවන භටපිරිස් ප්‍රමාණය වැඩිකරගනීමට හැකිනම්, එය, අපේ රටට ඉතා විශාල ලෙස විදේශ විනිමය උපදවන මාර්ගයක් වනවා. එම සාමසාධක ක්‍රියා සඳහා රැගෙන යන සෑම යුද උපකරණයකටම, ගෙවීමක් සිදුකරනවා. එය, අප රටට, විශාල වශයෙන් විදේශ විනිමය ගෙන එන මාර්ගයක් වෙනවා. සාමසාධක රාජකාරි සඳහා තෝරාගන්නේ මානව හිමිකම් චෝදනා නැති හමුදාවල සාමාජිකයන් පමණයි. සාමාන්‍යයෙන්, අපේ රටෙන් සාමසාධක හමුදා රාජකාරි සඳහා යවන කිසිදු හමුදා සාමාජිකයකු, කුමන ආකාරයක හෝ විනය චෝදනා වලට ලක් නොවූ අය බව, සහතික කරගෙනයි යවන්නේ.
  • හමුදා සාමාජිකයන්ගේ අධ්‍යාපන සුදුසුකම් සලකා බලා ඔවුන්ව රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සුදුසු රැකියා සඳහා යොමුකිරීමේ වැඩපිළිවෙලක් සැකසිය හැකියි. එවිට නිකම් ගෙදරටවී සිටීමෙන් මනස අවුල්වී නීතිවිරෝධී දේ වලට යොමුවීම තරමක්දුරට හෝ අඩුවෙනවා.

   මෙතනින් එහාට තිබෙන්නේ, ඔබේ අවස්ථාව. ඔබේ අදහස් ඉතා අගය කරනවා. අපි හොඳ සංවාදයක යෙදෙමු.

2016 මාර්තු මස 03 වැනි දින 1314 පැය

Advertisements

Comments on: "ත්‍රිවිධ හමුදාවට කුමක් කලයුතුද?" (8)

  1. මූලාශ්‍රමය සාධක නැතුව එකිනෙකාගේ උපකල්පන මත සාකච්ඡාවන් ගෙන යාම බොහෝ විටම අපේ රටතුළ දකින්නට ලැබෙන සාමාන්‍ය තත්වයක්. බුද්ධියෙන් නොව තම තමාට ඇති වූ හැඟීම්වලට අනුව මුඛරි විදිහට අදහස් ප්‍රකාශයට පත් කිරීම නිසා ඇතිවන්නට ඉඩ තියන විනාශ දායී පලවිපාක සම්බන්ධව කල්පනා කරන අය අඩුයි විචාරකතුමා. දෙවන ඡේදයේ සිට ඔබ පැමිණෙන ගැඹුරු මාර්තෘකාව යටතේ හරවත් සංවාදයක් පාර්ලිමේන්තුව තුළින් කවරදාක හෝ ඇති වේයයි හිතන්නට සේයාවක්වත් පෙනෙන්නෙ නෑ. එතන පුංචි එව්වො සෙල්ලම් කරන තැනක් වගේ.
    ඇත්තටම මේ තේමාව යටතේ ප්‍රබුද්ධයන් අතරින් සමාජ ගතවන සාකච්ඡාවක් බවට පත්විය යතුමයි.ඒ මගින් සුදුසු වැඩපිළිවෙලක් ඉක්මණින් දියත්විය යුතුබව අවධාරණය වෙනවා. නැතිනම් ජාතී වාදීන් මගින් සහ පටු දේශපාලන අදහස්වලින් නොමග යන රට තුළ නැවතත් අවදානම් තත්ත්වයක් මතුවන්්නට ඉඩකඩ විවෘතවේවි.

    • ප්‍රවෘත්ති වාර්තා ඉදිරිපත් කිරීමේදී එහි විශ්වසනීයත්වයට ඉතා වැදගත් තැනක් ලැබෙනවා. එසේ නොවන ආකාරයට දිගටම ක්‍රියාකලොත් බොරුකාරයකු බව ලොවම හඳුනාගන්නවා.

      අපේ පාර්ලිමේන්තුව ගැන ඇතිවන්නේ හරිම දුකක්. අපි පාසල් සිසුන් ලෙස හිටිය කලේ කොතරම් වටිනා දේශපාලනඥයන්ද හිටියේ. නමුත් අද?

      • පාර්ලිමේන්තුවේ එවැනි සංවාද ගෙනයමින් රට ඥානනය කළ හැකි වටිනා මිනිසුන් වර්තමානයේ නොපැමිණෙන්නේ ඇයි ? එය එවැන්නන් නොපැමිණෙන තැනක් බවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් නිසා සිදුවූයේ දැයි සොයා බලා පිළියම් යෙදීමත් ඉතාම අවශ්‍ය කාර්යයක් බව මට හැඟෙනවා. මෙහිදී මනාප ක්‍රමය අවලංගු කර දැමිම සම්පූර්ණයෙන්ම නූනත් යම්තාක් දුරකට පිළීයමක් වන්නට ඉඩ තිබෙනවා නේද

        • අපි බොහෝවිට හිතනවා ජනතාව බුද්ධිමත්, හොඳ මිනිසුන් තෝරා පාර්ලිමේන්තුවට යවයි කියලා. නමුත් අපි තෝරණ හොඳ මිනිස්සු, පාර්ලිමේන්තුවට ගියාම, නරක මිනිසුන් වෙනවා. ඒ වගේමයි, කොච්චර කිව්වත්, පුද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා සහ දේශපාලන විචාර බුද්ධියක් නැති නිසා, අපි තවමත්, නරක මිනිසුන්වත් පාර්ලිමේන්තුවට යවනවා.

  2. බුද්ධික පෙරේරා said:

    පාර්ලිමේන්තුවේ සිටින ඇත්තන්ගේ brain wash කරන පුහුණු වැඩසටහන් වාගේ දේවල් කලයුතුයි නැත්නම් මේ රට කවදාවත් හදන්න බැ විගේෂයෙන් හමුදා පුහුණුවක් (විනය) දියයුතුයි
    හමුදා සෙබලුන් විශේෂයෙන් වෘතීමය සේවා වල යෙදවිම හෝ අතිරික්ත අයසිටීනම් එම සේවා වන් වෙත මුදාහැරිම රටේ දියුණුවට මනා පිටුවහලක් වනු නොවනු මානයි

    • උපාධියක් නැතත් කමක් නැහැ, ලෝකය ගැන හොඳ අවබෝධයක් නැති, ළිං මැඩියන පාර්ලිමේන්තුවට යාම ගැන දුකයි. එවැන්නන් බලයට පත්කරන නූගත් සමාජය ගැන ඇතිවන්නේ කෝපයක්.

      තමන්ගේ කාර්යභාරය ක්‍රමවත්ව, වේගවත්ව, නිවැරදිව, කරගන්නා ආකාරය රටේ සියල්ලන්ට හමුදාවේ අධීක්ෂණය යටතේ පුහුණු කරවිය යුතුයි.

      රාජ්‍ය/පෞද්ගලික අංශ දෙකටම යැවීමට සුදුසුකම් තියන හමුදා පුද්ගලයන් ඉන්නවා. නමුත් ඔවුන් නිදහස් කලයුත්තේ හමුදාවට පාඩුවක් නොවන ආකාරයටයි.

  3. ක්සැන්ඩර් said:

    වෘත්තිමය හමුදාවක් ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාව ඉතාම ඉහල තැනක ඉන්නවා කියල මම හිතනවා. කොයි යුද්ධයකදී වුනත් කොහොම හරි එකෙක් දෙන්නෙක් කුප්ප කම් කරන්න ඉන්නවා. හොදම උදාහරණය ඇමරිකානු මැරීන් සෙබළු ඇෆ්ගන් වැසියන් ඝාතනය කිරීම.

    කොහොමවුනත් ලංකා හමුදාවට මානව හිමිකම් චෝදනා එනවා කියන්නේ පුද්ගලිකව මම අහන්න ඉතා අකමැති දෙයක්. මේ කතාවට දේශපාලන මෙන්ම හමුදා ප්‍රධානින් ද වගකිවයුතු වෙනවා. අවසානයේ දේශපාලන ප්‍රධානින් කිසිම විටක හරවත් සංවාදවල යෙදෙනු දකින්න බැරි බව මතක් කරන්න කැමතියි. ඒ අපිම අපිටම කෙළවන්නට බත්කන මී හරක් ටිකක් පාර්ලිමේන්තුවට පැටවීමේ වරද නිසා ය

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: