විචාරකගේ අඩවිය – සමගාමී බ්ලොගර් අඩවියේ ලිපිනය – wicharaka.blogspot.com


Footprints   මොනවා…..? පියවර හතරක් තියලා යුද්ධයක් ඉවර කරන්න පුලුවන්ද?

පුළුවන් නිසා නේන්නම් මෙහෙම මාතෘකාවක් දැම්මේ.

ඒ කියන්නේ යුදබිමේ පියවර හතරක් තිබ්බම යුද්දේ ඉවරයි?

ඔව් ආයේ දෙකක් නෑ යුද්දේ ඉවරයි.

මේ….නිකං පිස්සු කියවන්නෙපා.

කිසිම පිස්සුවක් නෑ. ඕනෙම යුද්ධයක් අවසන් වෙන්නේ පියවර හතරකින්, හැබැයි ඒ පියවර හතර කියන්නේ, ඇවිදගෙන යන පියවර හතරක් නෙවෙයි. අවස්ථා හතරක්, කාල ඡේද හතරක්, සැලසුම් සහගත ක්‍රියාන්විත පියවර හතරක්………දැන් තේරුනාද?

හොඳයි, මේ කෙටි ලිපියෙන් මා ඔබව දැනුවත් කරන්නේ, සාම්ප්‍රදායික යුද ක්‍රම යටතේ, යුද්ධයක් සිදුවන්නේ කොහොමද කියන එකයි. සාම්ප්‍රදායික යුද්ධයක් කියන්නේ මොකක්ද කියලා මීට පෙර මා ඔබට කියා තිබුනත්, දැන් නැවත මතක් කිරීමක් කරන්නම්.

   සාම්ප්‍රදයික යුද්ධයක් යනු, ලෝකයේ පිළිගත් රාජ්‍යයන් දෙකක් හෝ ඊට වැඩි ගණනක් අතර, සම්මත යුද උපකරණ යොදාගනිමින්, සතුරු හමුදා සිටින තැන හඳුනාගනිමින්, හමුදා එකිනෙක මුහුණට මුහුණ ලා, ගොඩබිමෙන්, අහසෙන් සහ මුහුදෙන් භට පිරිස්, ගුවන් යානා, නෞකා යොදාගනිමින්, කරන යුද්ධයයි. මෙහිදී සමූල ඝාතක අවි පාවිච්චි කරන්නේ නැහැ.

   අද කාලයේදී නම්, සාම්ප්‍රදායික යුද උපක්‍රම භාවිත කරමින් සටන් කරන යුද්ධ, දකින්නට නැති තරම්. මා දන්නා තරමින්, අවසන් වරට, සාම්ප්‍රදායික යුද ක්‍රම භාවිතා කළේ, ෆෝල්ක්ලන්ත යුද්ධයෙදීයි. ඊට පෙර, 1965 ඉන්දු – පාකිස්ථාන් යුද්ධයේදී. හොඳයි, කොහොමද දැන් පියවර හතරකින් මේ යුද්ධය සිදුවෙන්නේ.

   සයිමන් අයියයි මාටින් අයියයි, හොඳම යාළුවො දෙන්නා වුණාට, පාරේ යනකොට හිනාවෙන ගෑනු ළමයට දෙන්නම වහ වැටිලා, අන්තිමට පාර මැද්දේ ගහගන්නවා. ඔය වැඩේ එකපාර වෙන්නේ නැහැ. ඉස්සර වෙලාම මේ අයියලා දෙන්නා, අර ගෑණු ළමයා තමන්ට අයිති කරගැනීමේ චේතනාව නිසා, එකිනෙකා සමග අමනාප වෙනවා, ඊළඟට දෙන්නගෙම යාලුවන්ට කියනවා, අනික් එක්කෙනාගේ වැරදි. පාරේදී හම්බවුනාම, ගස්සලා අහක බලාගෙන යනවා. හැන්දෑවට දෙකක් දාලා, පොඩ්ඩක් තර්ජනාත්මක කයිවාරු ගහනවා. ‘මම ඕකගේ කොළ බොක්ක එලියට අදිනවා කියලා’ පිහියක් එහෙම ඉනේ ගහගෙන ඉන්නවා.

   ඔන්න දෙන්නා හෝ, දෙන්නගෙන් එක්කෙනෙක්, එක දවසක කියනවා, ‘මම අද ඕකව බාවනවා’ කියලා. දෙන්නා යනවා දෙන්නව මුණගැහෙන්ඩ, දෙකෙන් එකක් බේරගන්ඩ. සටන ඇවිලෙනවා. දෙන්න සටන් කරමින් අර ගෑනු ළමයාගේ ගෙදරට ලංවෙනවා. එක්කෙනෙක් අනික් එක්කෙනාට හොඳටම ගහලා ගානුලමයව තමන්ගේ ගෙදර අරන් යනවා. අනික් එක්කෙනා අතාරින්නෙ නැහැ. දවස් කීපයකට පස්සේ ආපහු සටනට එනවා. ඔන්න ඔයවගේ තමයි මේ යුද්දෙත්.

   අපි දන්නවා ලෝකයේ සෑම රටකම තිබෙන ත්‍රිවිධ හමුදා, නිරන්තර පුහුණු කටයුතුවල යෙදෙනවා.

   මොනවා……..? අපේ රටෙත් එහෙමද?

   ඇයි අපේ රට මේ ලෝකෙට අයිති නැද්ද? අපිත් ඉතා හොඳින් පුහුණු කටයුතු කරගෙන යනවා හොඳේ?

   ඉතින් මෙවැනි පුහුණුවකින් සහ සූදානමකින් සිටින හමුදා, එළියට බහින්නේ, එම හමුදා අයත් රාජ්‍යයන්, කුමක් හෝ අර්බුදයක පැටලීමේ හේතුවෙන්. අර අයියලා දෙන්නා වගේ යම්කිසි රටවල් දෙකක් එකිනෙකාට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළොත්, ඒ රටවල්, පසමිතුරු රටවල් ලෙස සැළකෙනවා.

ඇමරිකානු ජනාධිපති රූස්වෙල්ට් ජර්මනියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමේ ලේඛනයට අත්සන් තැබීම

ඇමරිකානු ජනාධිපති රූස්වෙල්ට් ජර්මනියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමේ ලේඛනයට අත්සන් තැබීම

   (යුද්ධ ප්‍රකාශ කරනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙවෙයි. මෙහෙමයි කරන්නේ. අපි හිතමු අපේ රට යම්කිසි රටක් සමග යුද්ධ කරන්න යනවා කියලා. එතැනදී, අපේ රාජ්‍යයේ නායකයා විසින්, මුලින්ම විද්‍යුත් මාධ්‍ය මගින්, රටේ මහජනතාවට සහ ලෝකයට දන්වනවා, අහවල් දිනයේ අහවල් වෙලාවේ සිට, මා විසින් අහවල් රටට/රටවලට එරෙහිව යුද්ධමය තත්වයක් ප්‍රකාශ කරමි, කියලා. ඊට පස්සේ ඒ කරුණු සවිස්තරව දක්වන ලේඛනයකට අත්සන් තියනවා. එතැන් සිට, ඒ රටවල් දෙක,, එකිනෙකාට එදිරිවාදී රටවල් ලෙස සැලකෙන අතර, තම අභිමතය පරිදි, යුද්ධයට එළඹෙනවා)

   හොඳයි දැන් එහෙනම් අපි යමු, මෙවැනි සාම්ප්‍රදායික යුද්ධයක් සිදුවන පියවර හතර හඳුනාගන්නට.

පෙරමුණට ගමන් ගැනීම – Advance

  මෙතනදී සිදුවන්නේ, සතුරු හමුදා, එකිනෙකා මුහුණට මුහුණ ලා සටන් කිරීමේ දුරට එනතුරු, යුදබිමේ ඉදිරියට ගමන් කිරීමයි. මෙහිදී භූමිය අයිති කාටද යන්න ප්‍රශ්නයක් නොවේ. සටන ඇරඹීමයි වැදගත් වෙන්නේ. හිතන්න එපා අර අයියලා දෙන්නා වගේ, ‘අඩෝ වරෙන් පුලුවන්නම් ඩෝ’ කියලා කෑගහගෙන යන්නේ නැහැ. යන්න පුළුවන් උපරිම දුර වාහන වලින් (හැකිනම් සතුන් පිටේ) යනවා. එතන ඉඳලා පයින් යනවා. මෙහිදී විවිධ උපක්‍රම භාවිත කරමින් තමා ගමන් කරන්නේ. ඒ උපක්‍රම පසුව එන ලිපියකින් කියන්නම්. ඒ විදිහට යන ගමන, යුද න්‍යායේදී හඳුන්වන්නේ, ‘advance to contact – සතුරා සමග ගැටීම ඇතිවන තුරු ඉදිරියට යාම’ කියලයි. මේ ගමන් ගැනීමේදී, අතරමග සටන් ඇවිලෙන අවස්ථා තියනවා. සතුරාගේ කණ්ඩායම්, බලාපොරොත්තු රහිතව, අතරමගදී මුණගැහෙන්න පුළුවන්. එතනදී කරන්න වෙන්නේ, ඔවුන් සමග සටන් කරමින්ම ඉදිරියට ගමන් කිරීමයි. (යන ඔක්කොම හමුදාව ඒ වැඩේට අවශ්‍ය නැහැනේ. කොටසයි සටන් කරන්නේ) මේ විදිහට, සටන් කරමින් ඉදිරියට ගමන් කිරීම, න්‍යායාත්මකව හඳුන්වන්නේ, ‘advance in contct – සටන් කරමින් ඉදිරියට යාම’ කියලයි. ඔන්න පළමුවැනි පියවර ඉවරයි.

2 ප්‍රහාරය – Attack 

   ඔන්න මෙතනදී තමයි දෙකෙන් එකක් තීන්දු වෙන්නේ. ප්‍රහාරයේදී, තමන්ගේ උපරිම යුද ශක්තිය, සේනා බලය, උපක්‍රමික බව, යුද න්‍යාය යොදාගැනීම, වැනි සියලු අංශ වලින්, උපරිම දක්ෂතාවයෙන් යුක්තව සටන් කරන්න වෙනවා. ප්‍රහාරයක් එල්ල කිරීමේදී, ආදී කාලයේ වගේ මුහුණට මුහුණ ලා සටන් කරන්නේ නැහැනේ. දෙපක්ෂයේම යුද අගල් තියනවා, ඒවාට පහර දියයුතු වෙනවා. සතුරු කඳවුරු ආක්‍රමණය කරන්න වෙනවා, සතුරු හමුදා බලාපොරොත්තු නොවන පැත්තකින් වටකොට, පහර දීමට සිදුවෙනවා. කාලතුවක්කු, යුද ටැංකි, ගුවන් ප්‍රහාර, ඉතා කල්පනාකාරීව නියමිත අවස්ථාවේදී යොදාගන්න සිදුවෙනවා. භටපිරිස් යෙදවීම අරපිරිමැස්මෙන් කළයුතු වෙනවා. (මේවා ගැන පසුව ලියන්නම්)

3 ආරක්‍ෂා සංවිධානය – Defence 

   දැන් සටන ඉවරයි. එක පාර්ශවයක් දිනනවා, එක පාර්ශවයක් පරදිනවා. සමහරවිට මේ පැරදීම, උපක්‍රමික පසුබැසීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ, සතුරා තවත් ඉදිරියට ගෙන්වාගෙන පහර දෙන්න යොදන, උපක්‍රමයක්. ඒ කොහොම වෙතත්, මේ අවස්ථාවේදී සිදුවන්නේ මෙයයි. තමන් යුද බිමේ ඉදිරියට ගොස්, සටන්කර අල්ලාගත් ප්‍රදේශය හෝ, පසුබැස රැඳී සිටින ප්‍රදේශය ආරක්‍ෂා කරගැනීමට, උපක්‍රමශීලීව කටයුතු කළයුතුයි. මෙවැනි ප්‍රදේශයක් ආරක්ෂා කරගැනීම සඳහා, සම්මත මූලධර්ම තිබෙනවා. (පසුව ලියන්නම්) ඒ මූලධර්ම භාවිතා කරමින්, දැනට රැඳී සිටින ප්‍රදේශයෙන් පසුබැසීමට සිදු නොවන පරිදි ආරක්‍ෂා කරගැනීම තමයි, මේ පියවරේදී සිදුවන්නේ. 

4 ප්‍රතිසංවිධානය හෝ ආපසු ගමන – Reorganise or Withdrawal 

   ආරක්‍ෂා සංවිධානය නමැති පියවරේ ඉන්න ගමන්, කළයුතු වැදගත්ම වැඩේ තමයි, ප්‍රතිසංවිධානය. ඒ කියන්නේ, ඊළඟ සටනට සූදානම් වීම. මෙතැනදී වැඩ ගොඩක් තියනවා. පළමුවෙන්ම පිරිස් බලය ප්‍රතිසංවිධානය කරගත යුතුයි. දෙවනුව සෑම ආකාරයකම යුද්ධෝපකරණ වල අඩුපාඩු, ප්‍රතිපූරණය කරගත යුතුයි. ආහාර, ප්‍රවාහන, සංනිවේදන, වෛද්‍යාධාර, ආදී අනෙකුත් සියලු අංශ ප්‍රතිසංවිධානය කරගත යුතුයි. අපි අත්පත් කරගත් ප්‍රදේශයේ, කාලයක් රැඳී සිටින්නේනම්, මේ ප්‍රතිසංවිධාන කටයුතු වලට, දිනපතා පුහුණුවද ඇතුළත් වෙනවා. අපි එම ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයකට යන්නේ නම්, ඊට පෙර ප්‍රතිසංවිධානය නිමකර තිබිය යුතුයි. ඒ කිසිවක් නොකොට, ආපසු අපේ රටට/කඳවුරට/ එනවා නම්, ආපසු පැමිණීමේදී, සතුරු ප්‍රහාරයන්ට ලක්වීමේ අවදානමට මුහුණ දීම සඳහා, සූදානමින් යුක්තව, උපක්‍රමිකව, ආපසු පැමිණිය යුතුයි.

   ඔන්න ඔබ තවත් හමුදා පාඩමක් ඉගෙන ගත්තා. මා හිතන්නේ, මේ අඩවිය ආරම්භ කල දා සිට, මා ඔබට කියාදී ඇති මෙවැනි කරුණු, හොඳින් අධ්‍යයනය කළොත්, ඔබගේ හමුදා දැනුම ඉතා පුළුල් වන බවයි.

   තවත් මෙවැනිම ලිපියකින් හමුවෙමු. 

2016 පෙබරවාරි මස 15 වැනි දින 2326 පැය 

Advertisements

Comments on: "පියවර හතරයි යුද්දේ ඉවරයි…………! Four Phases of War" (6)

  1. නියමය් තුමනි..

  2. […] හතරක් ඔස්සේ තමයි ක්‍රියාකරන්නේ. මේ ගැන මම මීට පෙරත් ඔබට කියාදී තිබෙනවා… අද ලිපියෙන් මේ ආරක්‍ෂාව Defence ගැන වෙනත් […]

  3. […] හතරක් ඔස්සේ තමයි ක්‍රියාකරන්නේ. මේ ගැන මම මීට පෙරත් ඔබට කියාදී තිබෙනවා… අද ලිපියෙන් මේ ආරක්‍ෂාව Defence ගැන වෙනත් […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න. විවේචනය කරන්න. සංවාදයට එළඹෙන්න. යෝජනා ඉදිරිපත් කරන්න.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: